Showing posts with label happiness. Show all posts
Showing posts with label happiness. Show all posts

Friday, 2 June 2023

සතුටින් ඉන්නෙ කොහොමද?

 

මේක සිය දිවි හානි කරගැනීම ගැන මලී ලියපු ෆේස්බුක් හෑල්ලකට දාපු කමෙන්ට් ඒකක් සහ ඒ්කට ආපු ප්‍රතිපාර්ශවීය පිළිතුරකට ලියපු පිළිතුරක්.

මේ සටහන ගැන මට දැනට හිතෙන දේ මේක. සම්පූර්ණයෙන්ම වැරදි වෙන්න පුළුවන්.

මානසිකව බිඳවැටීම කියන්නෙ සාපේක්ෂව අලුතෙන් ඉස් මතු වෙලා තියෙන ප්‍රශ්නයක් වෙන්න ඕන. මම හිතන්නෙ නෑ එහෙම ප්‍රශ්න අතීතයේදි තිබුණ විධිය ගැන පරීක්ෂණ කරලා තියෙනවා කියලා. අතීතයෙදිත් තියෙන්න ඇති. නමුත් අපේ සමාජ ජීවිත සංකීරණ වීම එක්ක මානසික අවුල් වැඩි වෙලා තියෙනවා කියන එකයි මගේ අදහස.

ඕකෙන් ගැලවිලා ඉන්න නම් සරලවම තමන්ගෙ රසඥතාවය සෑහෙන්න දියුණු කරගන්න ඕන. එහෙම නැත්නම් ඒක නැති කරලම දාලා වර්කොහොලික් වෙන්න ඕන. හිත්වලට එන හිස්කම පුරවන්න පුළුවන් ඔය ක්‍රම දෙකට කියලයි මට හිතෙන්නෙ. රසය දියුණු කෙනෙක්ට ලෝකයේ රස විඳින්න දේවල් ඕන තරම් තියෙනවා. කෑමක් බීමක්, කළා නිර්මාණයක් හෝ බොහොම සුළු දේවල් රස විඳගන්න පුළුවන් නම් හිස්කම ඒව අස්සෙ දිය වෙලා යනවා. වර්කොහොලික් කෙනෙක්ට නම් වැඩ අස්සෙ ඕක දිය කරල දාන්න පුළුවන්.

තමන්ගෙ බලාපොරොත්තු බොහොම සුළු අනාගතයකට සීමා කරගන්න පුළුවන් නම් සෑහෙන්න හොඳයි. ඒකෙන් අදහස් කරන්නෙ නෑ දිග අනාගතයකට ප්ලෑන් කරන්න එපා කියලා. ප්ලෑන් කරන්න. වැඩ කරන්න. බලාපොරොත්තු නොවෙන්න. වෘත්තීයමයව ඇරුණම කාගෙන්වත් මොකවත් බලාපොරොත්තු නොවෙන ගානට එන්න පුළුවන් නම් මරු. අමාරුයි. හැබැයි පුළුවන්.

උදේ නැගිට්ටම මගේ තියෙන ලොකුම බලාපොරෙත්තුව හවස ගෙදර ඇවිත් ගහන සිගරට් එක. රෑ වෙද්දි කැමති එපිසෝඩ් එකක් බලන එක, යූ ටියුබ් සංවාදයක් අහන එක. එතනින් එහා බලාපොරොත්තු කියන ඒවාට වැදගත් කමක් ලැබෙන්නෙ ඒ අවස්ථාව අනුවයි. ඒ බලාපොරොත්තු වෙනුවෙන් වෙන මහන්සිය අපතේ යන්නෑ කියන කාරණය මත විතරයි මංනං බලාපොරොත්තුවක් පස්සෙන් යන්නේ.

සමාජ ජීවියෙක් වෙද්දි ඕනම කෙනෙක් සමාජයෙන් බලාපොරොත්තු වෙනවා පිළිගැනීමක්. ඒ එක්කම තමන් විසින් ළඟා විය යුතු ජීවිත මට්ටමක් ගැන බලාපොරොත්තුවකුත් තියෙනවා. ඒවා නොලැබෙද්දි නොසන්සුන් වෙනවා. සමාජෙත් එක්ක අවම සම්බන්ධ තියාගෙන සමාජටෙ බ.ම්.බු. ගහගන්න කියල ඉන්නත් පුළුවන්. හිතෙන් හදාගත්ත ස්ටෑන්ඩර්ඩ් හිතෙන්ම විනාශ කරල දාන්න පුළුවන්. හිත පොළොව මට්ටමේම තියාගන්න පුළුවන් නම් මරු මම හිතන්නෙ.

මේ කියපු දේවල් බහුතරයකට අදාළ කරගන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඒ නිසා ඉතිං ඔය ඇඟේ කෙමිකල් ටික බැලන්ස් කරගන්න බෙහෙත් බොන එකත් හොඳයි.

සමාජයෙන් එන ප්‍රශ්නයකට සමාජෙන් උත්තර හොයන්න බැරිදත් මන්දා. කොහොම වුණත් මේවට යුනිවර්සල් උත්තර නෑ.

හෑල්ලෙන් හෑල්ල උතුම් හෑල්ලක් වේ.


---------------------

මේකෙන් සෙල්ෆිෂ් වීමක් ගැන නෙවෙයි කියන්නෙ. තමන් තුළ ගොඩනගාගන්න පුළුවන් මානසික තත්වයන් ටිකක් ගැන. ඒකෙන් බලාපොරොත්තු වෙන්නෙ බාහිරින් එන බලපෑම්වලදි නොසැලී ඉන්න හැකියාව ලැබෙන එක. මොකද අපි මොන විදියට හිටියත් බාහිරින් අපට යොමු වෙන බිඳවැටීම්වලට මුහුණ දෙන්න වෙනවා. අපේ හිත ඒවයින් බිඳගන්නෙ නැතුව තියාගන්නෙ කොහොමද කියලයි මම ඔය කියපු එකේදි කල්පනා කරන්නේ. හැබැයි ඒකෙන් කියන්නෙ නෑ හැඟීම් දැනීම් නැති ගල් මිනිහෙක් වෙන්න ඕන කියන එකත්. ඉමෝෂන් එකකදි සංවේදී වෙලා ඒකට ප්‍රතික්‍රියා කරන එක තමයි හොඳම. හැබැයි ඒක පස්සෙ එල්ලිලා ඉන්නෙ නැතුව ඒකෙන් වෙන ලෙඩ හදාගන්නෙ නැතිව ඉන්න පුළුවන් අර දේවල් පුහුණු කළාම. අපි සේරම මේ එක එක තත්වයන්වලදි ස්‍රාවය වන හෝමෝන සහ කෙමිකල්වල වහල්ලු තමයි ඉතිං.

මෙහෙම තත්වයක් ප්‍රගුණ කළා කියලා මිනිහෙක් වගකීම් විරහිත වෙන්නෙ නෑ. ඕන නම් තවත් වගකීම් සහගත වෙයි. එක අතකින් මේකෙන් මිනිහෙක්ට නරුමයෙක් වෙන්නත් පුළුවන් සාන්තුවරයෙක් වෙන්නත් පුළුවන්. ඔය දෙන්නා බවටම පත්වෙන්න පුළුවන් නම් අයිඩියල්. එතකොට තමන් වොරි වෙන්න ඕන සීමා ටික හොඳටම අඳුනගන්න පුළුවන්. ලෝකෙම ප්‍රශ්න තමන්ට දාගන්නවද නැත්තං තමන්ට අදාළ ප්‍රශ්න විතරක් දාගන්නවද කියල එතකොට ෆිල්ටර් කරගන්න පුළුවන්.

Friday, 26 May 2023

අම්මගෙ රොටිය

 


 

අම්මා රොටි හදද්දි
පැටි කාලෙදි ඉල්ලුවා මතකයි
අම්මා හීනි රොටියක් ඕන
කර කර ගාල හැපෙන්න
අම්මා කොහොම හරි
රොටියක් හදල දුන්නත්
සමහර වෙලාවට හිතපු තරම්
ඒක තුනී නැතිවෙනකොට
හිත නොරොක් වුණත් මතකයි

අද ඉඳහිට පවුලට
ගෑස් ලිපේ රොටී හදනකොට
තේරෙනවා අමාරුව
අඟුරු නොවී අමුත් නැතිව ගාණට
රොටි තුනී කරල පුච්චන
මතක් වෙනව අම්මව
අකීකරු ගින්දර එක්ක
දර ලිපේ රොටි පුච්චපු
හිත කඩා වැටෙනවා එතකොට

පවුලේ අය රොටි දෙක තුන
හරිම රහයි කියා කනකොට
හිත යටින් නැගෙන සතුටට
දැනෙනවා අම්මාත් හවුල් බව
අම්මා හදන විදියටම
ඒ රහටම සුවඳටම
රොටිය පිච්චිලා එනකොට
හිත පිරී සැනසෙන්නෙම
මතක් වෙලා අම්මාව

2023-05-21

Tuesday, 18 December 2018

සතුට හමුවන තුරු

සතුට එතනයි කියා
හතර අතම බලා
කූඩැල් අඩි තියමින්
කෙතෙක් දුර යන්නද?

ලස්සනම මල සොයා
ලෝකයම පීරමි කියා
මුලු පොලොවම වටේ
ආයෙත් මුලට එන්නද?

ජීවිතයෙ දුක වහන
එක එක වර්ණ ඇතිරිලි
සාප්පු පුරා ඇවිද
කෙතරම් ගන්න ඕනද?

ලෝකෙම පෙනෙන දෑසට
තමන්වම බලන්නට
කණ්නාඩියක් ම ඕන බව
ඇහැට කොහෙ දැනෙන්නද?

උදාවෙන මොහොත හැමවිට
එයට පෙර මොහොත සිඳ
නිබඳවම අලුත්වන බව
පරණ මතකයට සිහිවෙයිද?

Wednesday, 9 September 2015

කොට කෑලි


මමයි කුමායි අහම්බයකින් කාලෙකට පස්සෙ හමු වුණේ ටිකක් ඈත ගමක පැවතුණු එකම පොදු රාජකාරියට ආයතන දෙකකින් සහභාගි වුණ නියෝජිතයන් විධියටයි.

රාජකාරිය අවසන් වෙලා හවස 3ට විතර ගෙවල් බලා යන්න කලින් අපි දෙන්නා මහ පාර අයිනෙ ගමට හැරෙන හන්දියෙ ළඟ තිබුණ එකම සිල්ලර බඩු කඩේට ගොඩවුණා. දෙන්නා දුම් කූරු දෙකක් පත්තුකරගෙන ආගිය කතා කියවන්න ගත්තෙ පැරණි මතකයන් අතර හිතින් සැරිසරමින්.

පවුල් ගැනත් ළමයි ගැනත් සුපුරුදු කතා ටිකෙන් ටික යොමු වුණේ දේශපාලනේට.

ඉතිං කොහොමද ඡන්දෙ එහෙම? Yeahපාලනේ සැපද?

අනේ මන්ද බං... සේරම මහ අවුලක් වෙලා දැන්... උන් උන්ගෙ ප්‍රශ්ණ තමයි රටේම ප්‍රශ්ණ වෙලා තියෙන්නෙ. මිනිස්සුන්ගෙ ප්‍රශ්ණ හැමදාම ගොඩගැහෙනවා.

ඉස්සරත් එහෙම තමයි බං... තමන් වෙනස් නොවී රට වෙනස් වෙන්නෙ නෑ කියන එක මිනිස්සුන්ට තේරෙන්නෙ නෑ.

ඒ වුණාට හැමදාම කට්ටිය ඡන්දෙ ඉල්ලන්නෙ වෙනසක් කරන්න. ඡන්දෙ ගත්තම වෙනස කරගන්නෙ එයාලට...


අපේ කතාව දුම් උගුරු අතර වරින් වර නතර වුණා... ප්ලේන්ටියක් බොන්න තැනක් පේන මානෙක නොතිබුණ නිසා කුමා පළතුරු බීම බොතල් දෙකක් ගත්තා. දුම් උගුරු අතරෙ සැන්ඩ්විච් කරමින් ඒ බීම බෝතලේ හිස් කරන අතරෙ තප්පර කීපෙකට මනෝ ලෝකෙකට ගිය මගේ අවධානය ආයෙමත් පියවි ලෝකෙට යොමුවුණා. ඒ වෙද්දි කුමාගෙ අවධානය යොමු වෙලා තිබුණෙ කඩේට ගොඩවෙලා හිටපු අපේ වයසෙම වගේ කියල හිතෙන කාන්තාවක් දිහාට.

සීනි 100යි, තේ කොල 50යි, පොඩි කිරිපිටි පැකට් එකයි, රතු ළූනු 100යි. මිරිස් කුඩු 50යි. පොල් ගෙඩියයි...

කඩේ මුදලාලි ලැයිස්තුවක් කියවනව. ලැයිස්තුවේ තියෙන්නෙ කවුන්ටරේ හිටගෙන හිටපු කාන්තාව ඉල්ලපුව. බඩු සියල්ල රුපියලේ ෂොපිං බෑග් එකකට දමාගත් ඇය ඒ මල්ල දකුණතේ ඇඟිලිවල පටලා පොල් ගෙඩියත් ඒ අතට ගත්තා.

වමතේ පොඩිවෙලා තිබුණ රුපියල් කොල කීපයක් මුදලාලි අතට ගියා. ඉතිරි වුණ කාසිවලින් ඇගේ සායෙ එල්ලිය හිටපු අවුරුදු 5-6ක විතර පොඩි එකාට ජෙලි පැකට් එකක් ලැබුණා. ඌ ඒක ගත්තෙ නිධානයක් ලැබුණ වගේ සතුටකින්. ඒ පොඩි එකා බාලාංශෙ වගේ පන්තියක වෙන්න ඕන. මඩ පැල්ලමින් බොර පාට වුණ සුදු කමිසෙ කලිසමට යට වෙලා තිබුණෙ බාගෙට.

ගනු දෙනු බේරපු කාන්තාව හිමින් හිමින් හන්දියෙන් හැරිලා ගම ඇතුලට ඇදුණා. පොඩි එකාගෙ පිටේ එල්ලුන ඉස්කෝල බෑග් එකේ ජනප්‍රිය දේශපාලකයෙක් ඉලක්කමක් දිහා බලාගෙන හිනා වෙමින් හිටිය.

මගේ කට කොනට හිනාවක් ආවා...

කුමාගෙ දුම් කූරෙ අග අඟලක අලු වැටියක්. මම උගෙ මූණ දිහා බැලුවා...

උගේ මූණෙත් උපහාසාත්මක හිනාවක්...

ඒත් ඒක හිනාවෙන්න ඕන දෙයක් නොවෙන බව ඌත් දන්න බව මම දන්නවා.

වැඩක් නෑ බං... බම්බුව...

දුම් කූරෙන් ක්ෂණිකව උගුරු දෙකක් ඇදලා කුමා කොට කෑල්ල බිම දාල සපත්තුවෙන් පොඩි කලා.

Wednesday, 15 August 2012

කළු නැන්දගෙ දුව

අපේ ගමේ කවුරුත් දන්නා නැන්දලා දෙන්නෙක් සිටී. ඔවුන් මා කුඩා කල පටන් දැන හැඳින උන් කාන්තාවන් දෙදෙනෙකි. එක්කෙනෙක් සුදු නැන්දාය. ඇය පැහැපත්ය. ඇයගේ සැමියාගේ සොයුරිය අනිත් තැනැත්තියය. එම සොයුරා සහ ඇය දැඩි ලෙස කාල වර්ණය. එහෙයින් ඇය කළු නැන්දාය. ගමේ පැරණි පරපුරේ සාමාජිකයන් වන ඔවුන්ගෙ සැමියන් මියගොස් බොහෝ කල්ය. ගම පසුකර ගලා ගිය සුන්දරම කාලයක මතක සටහන් ලෙස ඔවුන්ගේ මුහුණුවර තවමත් මට මතක තිබේ. ඔවුන් ගොවිතැනින් දිවි ගෙවූ අහිංසක මිනිසුන් ලෙස මා සිතේ තැන්පත්ය.

එම පවුල් දෙකම වෙසෙන්නේ එකම ඉඩමකය. එය වර්තමානයේදී ඔවුන්ගේ දරුවන්ගේ වාසභූමීන් ලෙස බෙදී යමින් තිබේ. නමුත් ගහ කොලින් වට වූ අඳුරු පාළු ස්වභාවයකින් යුතු වූ එම ඉඩම මට තවමත් මතකය.

සුදු නැන්දාගෙත් කළු නැන්දාගෙත් දරුවන් මටත් වඩා වැඩිමහලුය. ඔවුන්ගෙන් ඇතැමෙක්ද දැන් තරමක දරුවන් සිටින දෙමාපියෝ වෙති. ඒහෙත් කළු නැන්දාගේ පුතුට අමතර එකම දියණිය වයස අවුරුදු 40ක්ද ඉක්මවමින් අවිවාහකව වෙසෙන්නීය. මා කළු නැන්දාගේ දුව ලෙස හඳුන්වන්නේ ඇයවයි.

හිටි අඩියේ කළු නැන්දාගේ දුව මතක් වීම අහම්බයක් නොවේ. ඇය කොහොමත් සුනිල් එදිරිසිංහයන්ගේ 'චන්ද්‍රමඬල' ගීතය හේතුවෙන් සැලකිය යුතු කාලයක් අමරණීය වී සිටිනු ඇත. චන්ද්‍රමඬල ගීතය ගී පැදුර වෙත ලිවීම සඳහා සොයන්නට වූ විට මට යූ ටියුබයේ තිබී හමුවුණේ නිධානයකි. සුනිල් එදිරිසිංහයන්ගේ ජව සම්පන්න හඬ සදා නොමැකෙනු ඇතැයි විශ්වාස කිරීමට මා කැමති වුවද එය වියැකෙන දිනක් පැමිණෙන බව මම දනිමි. සුනිල් එදිරිසිංහයන් සහමුලින්ම අමතක වන අනාගතයක්ද වන බව මම දනිමි. එහෙත් චන්ද්‍රමඬල ගීතය ගුවන්විදුලියේදී කුඩා කල සවන් විඳි වතාවලදී මෙන්ම වර්තමානයේදීත් මා වෙත කළු නැන්දාගේ දුව සිහිගන්වයි.



කළු නැන්දාගේ දුව රැකියාවක් කරයි. එය සුවිශාල වැටුපක් හෝ සමාජ තත්ත්වයකට හිමිකම් ලබන්නක් නොවේ. ඇගේ රාජකාරි ස්ථානයට යාමට සිදුවන අවස්ථා වලදී ඇතැම්විට ඇය මට හමුවේ. එවිට ඇය 'කොහොමද මල්ලී' යැයි මා අමතා කල හැකි උදව්වක් කරයි. සාමාන්‍යයෙන් කාර්යාලයෙන් ප්‍රමාද වී පැමිණෙන දින වලදී මා ගම මැදින් නිවසට පැමිණෙන අතරමග ඈ පසු කර යමි. ඇය තමන්ගේ නිල ඇඳුම වූ නිල් පැහැ සාරිය හැඳ ඇගේ මිතුරියක්ද සමග ගමන් ගන්නීය. ඇය අහම්බෙන් හෙළන බැල්ම විටෙක මා නෙත ගැටෙන අතර ඒ බැල්ම මතින් ඇය බෙහෙවින් තෘප්තිමත්ව සිටින බවක් මම හඟිමි. අවස්ථාව අනුව ඇයට සිනාවකින් සංග්‍රහ කරමි.

වසරකට පමණ පෙර මාගේ නැන්දණියගේ අභාවයේ සත්දින පිංකම දැනුම්දීම සඳහා මා කළු නැන්දාගෙ නිවසට ගියෙමි. එය පෙර කී ඉඩමේ කෙළවර කඳු බෑවුමක පිහිටා ඇත්තකි. මෝඩ ගඩොලින් බැඳ වැලි මිශ්‍ර මැටි බදාමයෙන් කපරාරු කර ඇත. විමසිල්ලෙන් බැලූ විට එය එකම එක කාමරයක් පමණක් බව පෙනේ. නමුත් පැරණි ගැමි නිවසක මෙන් විවෘත කුඩා ආලින්දයක් එහි විය. ගෙබිම ගොම ආලේපනයකි. ඒ ආලින්දය කෙළවරක පොළොවේ මැටියෙන්ම සාදා ගොම ආලේප කල ලිප් දෙකකි. ඒ මත දැල්වී අවසන් වූ දර අඟුරුය. පසෙකින් දර කැබලි කීපයක් සහ මැටි හට්ටි කීපයකි.

ගෙතුළ සිට සමස්ත හිසම ‍ඇතිරිල්ලකින් ආවරණය කරගෙන කළු නැන්දා පිටතට පැමිණියාය. ඇයගේ මුහුණුවර කුඩාකල මතකයන් අතුරින් මතුකර ගැනීමට මා දැරූ තැත ව්‍යර්ථ විය. දැන් ඇයගේ මුවේ ඇත්තේ එක් දතකි. ඇය උපැස් පලඳින්නීය. කාලවර්ණව තිබූ කෙස් සැලකිය යුතු තරමක් සුදු වී ඇත.

මා ඇයට දානය ගැන පවසා ඇගේ සහභාගීත්වය අපේක්ෂා කරන බැව් පැවසීමි. දානය කෙසේ වෙතත් ධර්ම දේශනාව ශ්‍රවණය කිරීමට තමා පැමිණෙන බව දන්වමින් ඇය ආගිය තොරතුරු කියවන්නට විය.

ඇයත් දියණියත් එම නිවසේ වෙසෙයි. දිනපතා උදෑසන 6ට රාජකාරියට වාර්තා කිරීමට දියණිය පිටව යන්නීය. ඇය ඊට ප්‍රථම ආලින්දයේ ඇති ලිපේ බතක් සහ එළවළුවක් දෙකක් පිසියි. දිවා ආහාරය ලෙසද මුලක් බැඳගන්නා ඇය නික්ම ගිය පසු කළු නැන්දා නැවතත් විවේකයෙන් වෙසෙයි. උදේ දවල් දෙක එක් වේලකින් පිරිමහගනියි. දියණිය සවස 5-6 අතර සේවය නිමවී පැමිණෙන තුරු බලා හිඳියි.

ඇය තම අවිවාහක දියණිය පිළිබඳ දුක් වන්නීය. නමුත් ඇයටද විකල්පයක් නැති සෙයකි. දියණිය තම තනිකම රැකියාවට දියකර හරී. නිවසට පැමිණ ගුවන් විදුලියෙන් සිත මොට්ට කරගනියි. සිත මුළා කරගනියි.

කළු නැන්දාගේ දියණිය කාලවර්ණය. උසය. සිනාව පියකරුය. ඇය පිළිබඳ අනුකම්පාත්මක හැඟීමක් මට ඇත. එය දැනෙන්නට පටන්ගත්තේ ඇයගේ දින චර්යාව පිළිබඳ කණ වැකුණු දා පටන්ය. ජීවිතයේ තනිකම දිනයේ සිදුවීම් තුළ බොඳකරගන්නට ඇය උත්සාහ දරයි.

ඇයගේ ජීවිතය කුමන අතකට යන්නේද යන්න පිළිබඳ මට අදහසක් නැත. කළු නැන්දාත් ඇගේ දියණියත් පිළිබඳ මට ඇත්තේ දුකකි. අසංවේදී වීම දුක නැති කිරීමේ මග ලෙස මට වැටහී යමින් ඇත. මන්ද මා ඉපදෙන්න‍ටත් පෙරම මාගෙන් සැලකිය යුතු කොටසක් මට අහිමිව ගොස් තිබේ.

තවමත් සතියකට දෙකකට වරක් කළු නැන්දාගේ දුව බැල්ම හෙළා සැඟව යන්නීය. දැන් ඇගේ බැල්ම තුල මට සතුටක් පෙනෙන්නේ නැත.

Thursday, 3 February 2011

ජීවිතය අයිතියකි..! The Sea Inside

ජීවිතේ ගැන අපි මොන දේ හිතුවත් ඒක ඇත්තටම තමාට අයිති දෙයක් විධියට ගොඩක් දෙනා හිතනවා. අපිට සහමුලින්ම අපි හිතන විධියටම ජීවත් වෙන්න බැරි වුණත් පුළුවන් උත්සාහයක් දරල අපි අපිට ඕන විධියටම ජීවත් වෙන්න යන්නෙ අපේ ජීවිතේ අයිතිය තියෙන්නෙ අපට කියල අපි හිතන නිසා...

මරණයත් අපිට අයිති දෙයක් අපි ඒ ගැන වැඩිය නොහිතා හිටියට.

මරණය ජීවිතයට ගෙන ඒමත් අපේ අයිතියක් කියල හිතුවොත්? ඒ කියන්නෙ මට උවමනා නම් ඕන වෙලාවක මැරෙන්න තියෙන හැකියාව මගේ අයිතියක් කියල හිතුවොත්...

සාමාන්‍යයෙන් මිනිස්සු මරණය ගැන හිතන්නෙ නෑ. හිතුවත් මරණය කියන්නෙත් තමන්ගෙ අයිතියක් විධියට හිතන්න සාමාන්‍යයෙන් මිනිස්සු කැමති නෑ. මරණය මහ භයංකර දෙයක් විධියට කිරුළු පළඳල ඉන්න නිසා මරණය ගැන නොහිතා ඒක ස්කිප් කරල මරණයෙන් පසු තියෙනවාය කියන ජීවිතය සුන්දර කරගන්න උත්සාහ කරන එක තමයි මිනිස්සු කරන්නේ. ඒ මිසක් මරණය කියන්නෙ සුන්දර දෙයක් විධියට දකින්න පුළුවන් මිනිස්සු නැති තරම්. මරණය කියන්නෙ මහ පාපතර වැඩක් කියල තමයි අපට උගන්වන්නෙත්...

ඒත් ජීවිතය ඔය කියන තරම්මත් වටිනවද?

මරණය ගැන සමීප අත්දැකීම් සමුදායකට පස්සෙ ඒ ගැන කියවෙන සුන්දරම චිත්‍රපටියක් බලන්න මට පුළුවන් වුණා. මේක සත්‍ය කතාවක් ඇසුරින් නිර්මාණය වුණ චිත්‍රපටියක්. No country for old men චිත්‍රපටියෙ දුෂ්ඨයාගෙ චරිතයෙන් කලින් හම්බවෙලා තියෙන ඒත් දැනගෙන නොහිටපු Javier Bardemගේ සුපිරි රංගනයක් එක්ක චිත්‍රපටිය පුරාම දැණුනෙ අපූරු සජීවී බවක්...

චිත්‍රපටියෙ නම Mar Adentro හෙවත් ඉංගිරිසියෙන් The Sea Inside. මේක ස්පාඤ්ඤ චිත්‍රපටියක්. IMDBය පැත්තෙ ගිහින් කැරැට්ටුව හොයාගන්න පුළුවන්.

Ramón Sampedro කියන්නෙ තරුණ මසුන් මරන්නෙක්. ඔහු තමන්ගෙ තරුණ කාලෙ ලෝකෙ වටේ රවුම් ගහමින් බොහොම සන්තෝසෙන් ජීවත් වුණ පුද්ගලයෙක්. වයස අවුරුදු 25දි ඔහුට අනතුරක් සිදුවීම නිසා ශරීරයේ බෙල්ලෙන් පහල කොට‍ස අප්‍රාණික වෙනව. සංවේදන නැති වෙලා යනව.

ඇඳටම වෙලා ජීවිතේ ඉතිරි කාලය ගෙවන්න සිද්ධ වෙන ඔහු තමන්ගෙ ජීවිතය නැති කරගන්න උදව් ඉල්ලනව. අතපය අප්‍රාණික නිසා ඔහුට වෙන කෙනෙක්ගෙ සහයෙන් තොරව ජීවිතය අහිමි කරගන්නත් විධියක් නෑ.

ඇඳටම වෙලා ගෙවන රමෝන්ගේ කතාව කි‍යවෙන්නෙ ඔහුට හමු වෙන ගැහැණුන් දෙන්නෙක් එක්ක. එක්කෙනෙක් උත්සාහ කරන්නෙ ජීවිතේ වටිනාකම ඔහුට කියල දෙන්න. අනිත් කෙනා ඔහුගේ මරණය වෙනුවෙන් තියෙන අයිතිය දිනාගන්න ඔහුට උදව් කරන නීතීඥවරියක්. කොහොම නමුත් අවසානෙදි රමෝන් වෙනස්වීම කොහොම වුණත් මේ කාන්තාවන් දෙන්නගෙ ජීවිත රමෝන් නිසා වෙනස් වෙනව.

ජීවිතය තමන් හොඳින් වටහාගත්තු බවත්, ඒ නිසාම ඒක අවසන් කරගන්නත් තමන්ට අයිතියක් තියෙන බවත්, මේව කියන්නෙ තමන්ට පිස්සු නිසා නොවෙන බවත් ලෝකයට කියන්න රමෝන් දරන උත්සාහය වක්‍රව අපිව ප්‍රශ්ණ කරන්නෙ මේ නීතිය කියන එක මොන තරම් නොවටිනා සීමාවක්ද කියන එක ගැනයි. ඒ එක්කම මරණය ගැනත් ජීවිතය ගැනත් අපට ආයෙම හිතන්න ඉඩක් චිත්‍රපටියෙ අවසානෙදි ඉතිරි වෙනව.

සංගීතය ගැන මට ලොකුවට කියන්න බැරි වුණත් අන්තිමේ මම රැපිඩ් ෂෙයා එක්ක ලොකු සෙල්ලමක් කරල මේකෙ සංගීත ඛණ්ඩ ටික බාගත්තා. ඒ සංගීතය දැණෙන්නෙ වෙනස් විධියට. වෙලාවකට තනිකම, පාළුව එක්ක ආයෙත් මුදුනකට යන්න පුළුවන් ඒවත් එක්ක. ඇත්තටම චිත්‍රපටියෙදි Ramón අතපය පණ නැති ඇ‍ඳේම ඉන්න පුද්ගලයෙක් වුණාට ඔහුගේ සිතුවිලි වල ප්‍රාණවත් බව සංගීතයෙන් සුන්දරව නිරූපණය වෙනවා. වතාවක් ඔහු ජනේලයෙන් එලියට පියාඹන්නෙ ඔහුව ප්‍රේමයෙන් වෙලපු ඇයව හොයාගෙන. ඒ සුළු මොහොත එකම සංගීතමය ප්‍රමෝදයක්.

අවසානයේ රමෝන් තමන්ගෙ අරමුණ වෙත යනව. ඒ වෙනුවෙන් ඔහු අවුරුදු 28ක් නීතිය එක්ක සටන් කරනව. ඒත් ඔහුට ඒකට ඉඩක් ලැබෙන්නෙ නෑ. අන්තිමේ තමන්ට කිට්ටුම හිතවතුන් කීප දෙනෙක් මාර්ගයෙන් තමන්ගෙ අරමුණ කරා යන්න ඔහු සැලසුම් කරනව. ‍අදාල මිතුරන් කාටවත් වරදක චෝදනාවක් නොඑන විධියට ඔවුන්ව තමන්ගෙ අරමුණ වෙනුවෙන් දායක කරගන්න ඔහුට පුළුවන් වෙනව.

ඔහුගෙ අවසාන වචන වලින් ඔහු ඒ බව කියනව.

නඩුකාරයිනි, දේශපාලන සහ ආගමික බලධරයිනි, ගෞරවය ගැන ඔබ දන්නේ මොනවද? ඔබේ හෘදය සාක්ෂියේ පිලිතුර කුමක් වුණත් මට මේ වැදගත් ජීවිතයක් නෙවෙයි. මට අඩුතරමෙ ගෞරවණීය ලෙස මැරෙන්න උවමනයි. ඔබලාගේ ආයතන වල කම්මැලිකම මාව මහන්සි කරවනව. අද මට අපරාධකා‍රයෙක් වෙන්න වෙලා තියෙන්නෙ ඒ නිසා. ඔබ දැනගත යුතුයි මගේ මරණය සිදුවෙන ක්‍රියාවලිය අපරාධමය නෙවෙන පුංචි පුංචි ක්‍රියාවන් ගණනාවකින් යුක්ත බව. යාළුවො කීපදෙනෙක්ගෙ උදව්වෙන් ඒව සිද්ධ වෙන්නෙ. ආණ්ඩුව ඔවුන්ට වරද පටවනවනම් ඔවුන්ට හිමි දඬුවම විධියට ඔවුන්ගේ අත් කපාදාන්න කියල මම ඉල්ලනව. මොකද ඔවුන්ගෙ දායකත්වය එපමණයි. මේ ක්‍රියාවලියේ නිර්මාතෘ මමයි.

මම ආසාවෙන් බැළුව. ඕනනම් කෙලින්ම මෙතනින් ගන්න තියෙනව...

Friday, 19 November 2010

සතුකරගත් වස්තුව...

මම නිවසට වස්තුවක් ගෙන ආමි. එය නැවුම්ය. නොයිඳුල්ය. සුවඳවත්ය. සුපිරිසුදුය. තවත් පොත් පත්තර පෙරලා සුන්දරත්වය විවරණය කරන වදන් සියල්ලක්ම ගෙන වර්ණනයේ යෙදෙන්නට තරම් එය මනරම්ය. එහෙත් මා මේ කතාව ඔබට කිව යුතුය. එහෙයින් මම පොත් පෙරලන්නට නොයමි.

එය ගෙන ඒමට මට මහා කර්තව්‍යයන් රැසක් කිරීමට සිදු විය. මෙ වූ මහාර්ඝ වස්තුව දුටු මොහොතේ පටන් නිවසට ගෙන ඒම දක්වා ගතවූ දිගු කාලය එලෙසින්ම කීම දුෂ්කර බැවින් සැකෙවින් කියමි.

එය දුටු මොහොත කාලානුරූපීව නිශ්චිත නැතත් එය දිස්වූ මොහොත මා විඳගත් අපූරුව මට හොඳහැටි මතකය. එහි සුවඳට රැවටී පියඹා ආ සමනළුන් රෑනක් ඒ අසලින් පියාඹා ගියේ මා වික්ෂිප්තවමිනි. විහඟ ගී රාවයක් නිරතුරුව ඒ අස රැඳුණේ එය නිරතුරු එලිමහනේ සොබාදහමේ රඳවමිනි... ඒ සියල්ල එක් ක්ෂණයකින් ම සිත වෙලා වශීකෘතකොට ශුන්‍ය වී ගියේ එයත් මාත් අතර හිඩැසද ශුන්‍ය කරමිනි. සමනළුන්ට කෙදිනකවත් පුරවා සැනසෙනු නොහැකි සෞම්‍ය වූ හැඟුම් රාශියක් විසින් එකී හිඩැස පුරවා දමන ලදී... ඉතින් මා ඒ වස්තුව අසල විය.

එතැන් පටන් දින ගණනක්ම මා ඒ අස රැඳුණු අතර නිරතුරුවම මාගේ පුද්ගලික සියලු දෑ නවතා දමා එකී වස්තුව වෙත ආශක්තව හුන්නෙමි. මා ඒ වටා ගී කීයෙමි. කවි ගැයීමි. ගිතාරය තාල භාණ්ඩයක් කොට නිතැතින් ඒ අස්වසනු පිණිස වැයීමි. මා ඒ අස වැතිරී දින ගණන් ගෙවීමි.

ම ජීවිතය මේ මනනන්දනීය වස්තුවෙන් විනිර්මුක්ත කරගත නොහෙන බැව් පසක් වන තුරුම මම ඒ අසල දැවටී හුන්නෙමි. අවසන මම ප්‍රත්‍යක්ෂයන් අත්විඳිමි. මා ඉන් තොරව ජීවිතයේ අර්ථ නොදකින බැව් මම ප්‍රත්‍යක්ෂ කළෙමි... ඉදින් වහා එහි අයිතිකරුවන් ඇමතීමි.

දිගු කලෙක මතවාදී වාග් සංග්‍රාමයන්ට පසුව මා ප්‍රමාණවත් තරම් මේ වස්තුව ම සතුකර ගැනීමේ කාරණා වලින් සන්නද්ධ වූයෙමි. එකල්හිම අයිතිකරුවන් වෙත ඉන් දමා ගසා උන් අවනත කරවා කෙටි උත්සව ශ්‍රීයක් මවා පා වස්තුව නිවසට පන්නා ගෙන ආමි.

ඉන් පසු මා නිරතුරුවම වස්තුව වටා ප්‍රීතියෙන් නැටීමි... නැවත නැවතත් ගී ගැයීමි... ඒ සනසාලීමි... ඒ දෝවනය කරලීමි... එය නැවුම්වම තාරුණ්‍යයෙන් තබා ගනු වස් නේක වූ වෛවාරන්න කොස්මෙටිකයන් ගෙනවුත් ගල්වාලීමි. ලත් ඇසිල්ලක පිරිසිදු කලෙමි.

දින සති මාස ගෙවී ගියේ මා හා වස්තුව අතර වූ කුහුල බිඳවමිනි. පෙර ඒ පිළිබඳ නොදැන හුන් අවදියේ චිත්ත මස්තකයේ මැවුම් පෑ දර්ශනයන් තවත් නම් අරුමයක් නොවී හුරු පුරුදු විය. එවිට වස්තුව පිළිබඳ මා නොදැන හුන්නක් නොවීය. මා පිරි නොමැදි තැනක් නොවීය. මා නොදැවටුණු තැනක් නොවීය. මා නුදුටු ඇස නොගැටුණු මුල්ලකුදු නොවීය. මා ආදරය නොකල පෘෂ්ඨයකුදු නොවීය.

අවසන ඒ මා හට කිසිවකුදු නොවීය. හුදෙක් ඒ මගේ අයිතියක් වූවා මිස තවත් මට ඒ සන්තානයේ ආදරයක් නොවීය. මුලින්ම වස්තුව දුටු‍ කෙනෙහි දැණුනු ආශ්වාදය එලෙසින්ම සිත්වදින එක් මොහොතක තෘප්තියක් පමණක් මා සතු විය. ඒ ද කෙමෙන් කෙමෙන් කල් ගනිමින් දැනී නොදැනී ගෙවෙමින් තිබූ දෛනික චර්යාවේ වර්තනයක් ඇතිකිරීමට අසමත් වී ය. සදාකල්ම ස්පර්ශ වේ යැයි උපකල්පිත සිතිවිලි කිසිවක් මා තුල ඉතිරි නොවී වියෝජනය වී යන්නට විය. මා වියවුල්ව තනිවන්නට වීමි.

සැකෙවින්ම මා වරෙක දැඩිව ලොල්ව විසූ වස්තුව කෙමෙන් කෙමෙන් මා තුල අවිශේෂව නිදන්ගතව ඇති සියල්ල මෙන් විශේෂණය නොවී පවතින්නට විය. එහෙයින්ම මා තුල ඒ කෙරේ වූ සැලකිල්ල මදින් මද වියැකී ඒ හුදෙක් මා මෙතෙක් නිවසට ගෙනා සෑම වස්තුවකටම අත්වූ ඉරණම වෙත අනාතගය හොවමින් වී ය.

කලෙක ඇවෑමෙන් මා තරුණ විය ඉක්මවා වයෝවෘධ විය. මාගේ මහාර්ඝ වස්තුවද කෙමෙන් දුහුවිලි නැගී, කඩතොලු වී, රැල් නැගී සුනම්‍ය වූ ලක්ෂණ වියැකී වන්නට විය. මා ඒ පිළිබඳ අවබෝධ හීන ව සිටි අතර තවත් ඒ මා නිවසේ අංගයක් දෝ යන්න නොනැගෙන තරමට ඒ මට එදිනෙදා පසුවන එක් සිද්ධියක් පමණක්ම වෙමින් හොත්තේය.‍ මේ සිතන ‍මොහොතේද එය මා පසෙක පවතින අතර ම සිතේ ඒ පිළිබඳ කිසිදු හැඟීමක් නැත්තේ ය. දැන් ඒ ඉවත හෙලා විනාශ කිරීමට කාලයයි.

මා වෛරී නෙතින් ඒ දෙස බලමි. ඒත් මොහොතක් නැවතත් සිත් යොමා බැලිය යුතු බැව් මට හැ‍ඟේ.

මා ඉන් උගෙන ඇත්තෙමි. මා ජීවිතය තුල අත්පත් කරගන්නා ලද සියළු වස්තු කෙරෙන් මා අවශෝෂණය කොට නොගත් දෑ රාශියක් මා මෙකී වස්තුවෙන් උකහා ඇත්තෙමි. කලෙක මාගේ සමස්ත තෘප්තියම දරාගත් වස්තුව තවත් එක් වස්තුවක් පමණක්ම යන වග මා උගෙන ඇත්තෙමි. එය මාගේ පරිහරණයෙන් ඉඳුල්ව යන, කුණු වැකී දිරාපත් වන සේම මගේ මසැස තව වරක් රවටන එක් වස්තුවක් පමණක් වුව මට ඒ විනාශ කර දැමුමට සිත් නොදේ. වරෙක එය මාගේ ජීවිතය විය. එක් මොහොතක හෝ මාගේ ජීවිතයේ සමස්ථයම ඒ වස්තුව වෙන ඌණනය වූ නිමේෂයන් මා පසු කර ඇත. එහෙයින් එය ජීවී ලෙස මා පැවැත්වූ සාධකයකි. මාගේ සිහිය නොවිකල්ව පැවැත්වූ මාගේ නේක පිරිමැදීම් හා පෙම් කිරීම් සුවචව විඳගත් නිෂ්චලයකි. මාගේ ආදරය දරාගත් උසුලන්නකි.

මා නැවත ඒ වස්තුව දෙස දෙවූ දෑසින් බලමි.

දකින්න එය!

එසේය. එය ‍මුල් වර මෙන් පැහැපත්ය. නොයිඳුල්ය. මනරම්ය. සුපිරිසිදුය. සුවඳවත්ය.

එය නැවතත් නැවුම්ය.

.............................

සේයාව මෙතනිං

Saturday, 9 October 2010

කම්මැලිත්වය සහ ජෝන් ලෙනන්


මේ සටහනට කම්මැලිත්වය කියල නම දාල සතියක් ‍විතර draft එකක් විධියට තිබුණා. කම්මැලිත්වය නිසා ඒක ලියන්න වුණේ නෑ. ඕන් අද දානවා අද දවස විශේෂ කම්මැලියෙක්ගෙ උපන් දිනයක් නිසා...

කම්මැලිත්වය කියන්නෙ අපි දන්න කම්මැලිකම, නැත්තං අලසකමටම කියන වෙනත් වචනයක් විධියට ගන්න පුළුවන්. ඒක කලින් අහල නෑ වගේ දැණෙන්නෙ එහෙම වචනයක් නැති නිසා. ඒ වුණාට වචනෙ වරදින්න විධියක් නෑ. ටිකක් විතර විධග්ගයි වගේ වුණාට ඒක සුන්දර වචනයක්...

කම්මැලිත්වය ගැන ලියන්න හිතුණේ පහුගිය අවුරුද්දකට වැඩි කාලයක් මම හෙනම කම්මැලියෙක් විධියට හිටපු එක ගැන කියන්න ඕන කරපු නිසයි. 2009 මැයි මාසෙන් බ්ලොග ලිවිල්ල නතර කරල ආයෙම 2010 සැප්තැම්බර් වල පටන්ගන්නකල්ම අතරින් පතර ඔය කමුබොමු, බයිස්කෝප්, ෆිට් එක සහ one|zero|zero වගේ බ්ලොග් වලට ලිව්ව මිස මම වෙන මුකුත් ලිව්වෙ නෑ...

ජාලයෙන් බාහිර මගේ ජීවිතේ ඒ කාලෙ ඇතුලත එක එක විධියට ගලාගෙන ගියත් ජාලය තුල අතරින් පතර එක්කෙනෙක්ට දෙන්නෙක්ට කමෙන්ට් දමමින් මම ගත කලේ පට්ට ලෙසම කම්මැලි ජීවිතයක්... ඇතිවෙන්න චිත්‍රපටි බලපු ඇතිවෙන්න සින්දු අහපු ඒ කාලෙ නම් තාම ඉවර නෑ. ඒත් බ්ලොග ලිවීම සඳහා කම්මැලිත්වය මැඩලා නැගී සිටින්න පටන් අරන් මම :P

ඒ වුණත් කිසි දෙයක් නොහිත ඇඳකට වෙලා පොතක් බැලීම, නැත්තං චිත්‍රපටියක් දිහා බලාගෙන ඉඳීම, නැත්තං ඔය කිසි දෙයක් නොකර දවසක් විතර නිදාගැනීම කියන දේවල් කම්මැලිකමේ ආසන්නතම ලක්ෂණ විධියට තාම මං සතුව තියෙනව. එයිනුත් නින්ද කියන්නෙ ජීවිතයේ මම ලබන උපරිම තෘප්තියයි.

කම්මැලිකම සහ නින්ද ගැන කියද්දි අනිවාර්යයෙන්ම බෙදාගන්න උවමනා කරන මගේ ප්‍රියතම සින්දුවක් තියෙනව.



The Beatles - I'm only sleeping



මේකෙන් කියවෙන්නෙත් කම්මැලියෙක් ගැන... මම දන්න තරමින් තේරුම් කරන්න බලන්නම්...

මම උදේ නැගිටින විට
ඔළුව උස්සල මම ඈනු
ම් අරිනව

මම සිහිනයක් මැද ඉන්න විට
මගේ ඇඳේ උඩුගං බලා පාවෙමින්
කරුණාකරල මාව ඇහැරවන්න එපා, හොලවන්නවත් එපා
ඉන්න විධියට මට ඉන්න දෙන්න, මම මේ නිදාගන්නව විතරයි


පේන විධියට හැමෝම හිතන්නෙ මම කම්මැලියෙක් කියල
මට කමක් නෑ, මං හිතන්නෙ උන්ට පිස්සු
වේගයෙන් හැමතැනම දුවනවා...
උන්ටම තේරෙනකල් ඒකෙ කිසි වැඩක් නෑ කියල
කරුණාකරල මගේ දවස කන්න එපා, මම හැතැප්ම ගාණක් දුරින්
ඒ එක්කම මම මේ නිදාගන්නව විතරයි


මගේ ජනේලෙන් පේන ලෝකය දිහා ඇහැ ගහගෙන
මගේ වෙලාව පාවිච්චිකරන්
මෙතනම වැතිරිලා සීලිම දිහා බලාගෙන
නිදිමත එනකල් මම ඉන්නේ
කරුණාකරල මගේ දවස කන්න එපා, මම හැතැප්ම ගාණක් දුරින්
ඒ එක්කම මම මේ නිදාගන්නව විතරයි


මගේ කවුළුවෙන් පේන ලෝකය දිහා ඇහැ ගහගෙන
මගේ වෙලාව පාවිච්චිකරන්
මම උදේ නැගිටින විට
ඔළුව උස්සල මම ඈණුම් අරිනව
මම සිහිනයක් මැද ඉන්න විට
මගේ ඇඳේ උඩුගං බලා පාවෙමින්
කරුණාකරල මාව ඇහැරවන්න එපා හොලවන්නවත් එපා
ඉන්න විධියට මට ඉන්න දෙන්න, මම මේ නිදාගන්නව විතරයි


පේන තේරුමට වඩා දෙයක් මේ සින්දුවෙ තියෙනව වුණාට ඒක කෙලින්ම ‍කම්මැලිකමට අදාල නෑ. ‍කොහොම හරි මේ කියන්නෙ නිදාගන්න එක පරම සුවය කරගත්ත කම්මැලියෙක් ගැන... මේක බීටල්ස්ලගෙ Revolver ඇල්බම් එකේ තියෙන තවත් එක සුන්දර සින්දුවක්.

.........

මුලින්ම කිව්ව අද දවසේ (ඔක්තෝබර් 09) විශේෂත්වය තමයි මේ සින්දුව කියන ජෝන් ලෙනන්ගෙ 70 ‍වෙනි උපන් දිනය අද වීම. ඒක මට මතක තිබුණෙ නැතත් ගුගල් ඩූගල් එක වෙනස් වෙලා තිබුණම මට හිතුණා මේ සටහන ඔහු වෙනුවෙන් වෙන් කරන්න. කොහොමත් අර කම්මැලි සින්දුව මේ සටහනට ඇතුල් කරන්න මගේ බලාපොරොත්තුවක් තිබුණනේ...

ජෝන් ලෙනන් ‍අපට හිටපු සංගීතමය මානව හිතවාදීන් කීප දෙනෙක් අතරින් ඉදිරියෙන් හිටපු ශ්‍රේෂ්ඨ කලාකරුවෙක්. ඔහු බීටල්ස් සමග කරපු නිර්මාණ දැනටත් සංගීතමය විප්ලව. ඔහුගේ සිහිනය වුණේ කවදාවත් උදා වෙයි කියල හිතන්න බැරි සුන්දර ලෝකයක්. ඒ වගේ ලෝකයක් බලාපොරොත්තු වෙන අය පිස්සො විධියට ගණන් ගන්න බව ඔහු දැනගෙන හිටිය.




කම්මැලිකම නැතිව මේ ලිපිය පල කරන්න පුළුවන් වීම ගැන මාර සන්තෝසයි....

Tuesday, 5 May 2009

Official වෙසක් කූඩුයි හමයි නමයි

කොහොමද කට්ටිය වෙසක් කූඩු හදනවද? නැත්තං කඩෙන් අරන් අලවනවද? මොනව වුණත් වෙසක් කියන්නෙ කූඩු ඇලවිල්ලට වඩා දෙයක්නේ. ඒ වුණාට වෙසක් දිනය උත්සවයක් වෙන්නෙ මේ ආමිස පූජා ‍නිසයි. ඒ වගේම වෙසක් කූඩු හැදිල්ලෙනුයි ඇලවිල්ලෙනුයි සතුටක් ලැබෙන්නෙ නැත්තෙමත් නෑ.

මම පුංචි කාලෙ හැම වෙසක් එකටම එක එක විධියෙ කූඩු හැදුව වුණාට පස්සෙ කාලෙ කූඩු හැදිල්ල නතර වුණ. අධ්‍යාපනයට හිත වැටීම සහ එක එක ප්‍රතිපත්ති වලට අනුගත වීම තමයි ඒකට හේතුව. ඒ වුණාට වෙසක් කූඩුවක් හදන එකෙන් ලොකු සතුටක් ලබන්න පුළුවන්.

මේ පාර ගෙදර වෙසක් කූඩු හදන්නෙ නෑ. ඒ වෙනුවෙන් වැය කරන්න වෙලාවක් නැති කම සහ සේරටම වැඩියෙන් කම්මැලිකමත් තමයි හේතුව. බකට් ටිකක් එල්ලල ෂේප් වෙමු කියල අම්මට කියල මම පැත්තකට වෙල හිටිය.

ඒ වුණාට අද කාර්යාලෙදි වෙසක් කූඩු කමිටුව කියල එකක් පත් කරල මාවත් ඒකෙ සාමාජිකයෙක් කලා. අළුතින් කාර්යාලයට ගිය අපේ කණ්ඩායම දැන් හැම එකකටම මාට්ටු කරල පරණ අය කර අරින ගතියක් තියෙනවා. ඒකෙන් අපටත් ගැලවෙන්න බෑ. තාම අළුත් නිසා මුකුත් කියන්නත් බෑ.

ඒ නිසා අද දවසෙම මම තවත් අය එක්ක ලී පටි ගෙනාව. අත් රතු කරගෙන තැන් දෙක තුණක් තුවාල කරගෙන කියත් පටි වලින් ඒව කැපුව. බොහොම අමාරුවෙන් සැකිලි කීපයක් හදල අඩු තරමෙ අපේ සැලැස්ම ප්‍රායෝගික බව දැනගත්ත. ඔය අතරෙ වැඩේ නොකරන උපදෙස් දෙන්නන්ගෙ බර බරෙත් අහගෙන හිටිය. හෙටත් ආයෙ පටන්ගන්න ඕන ඉතිරි ටික.

මෙතන තියෙන වැඩේ මේකයි. සතුටත් එක්ක කලකිරීමත් දැණෙනවා. මොකද අපේ හම යද්දි තව කට්ටියකගෙ නම යන විධියටයි වැඩේ සිද්ධ වෙන්නෙ.

අපි සැනසුණා. කමක් නෑ අපට සතුට ඉතිරි වෙනවනේ අන්තිමේදි.

Sunday, 26 April 2009

යානි සමග සංගීතයෙන් මත් වෙන්න

මේ කියන්න යන්නෙ තවත් ග්‍රීකයෙක් ගැන. ඔහු යානි හෙවත් යානි ක්‍රිසොමැලිස් (Yanni Chryssomallis) මොහු ගැන මෙච්චර කාලයක් මම නොලිව්වෙ ඇයිද මන්දා. කොහොම නමුත් ඔහු නූතනයේ මාව සංගීතයෙන් මත් කරවපු තවත් ලෝක පූජිත සංගීතඥයෙක්. කියන්නෙ නම් ඔහු සංගීතය තනිවම ඉගෙනගත්තා කියලයි.

යානිගේ එක් සංගීත ප්‍රසංගයක වීඩියෝ පිටපතක් යා ටීවී එකේ තිස්ස අයියා මාර්ගයෙන් අපට ලැබුණා වසර කීපයකට කලින්. මාසයක් විතර අපට එපා වෙනකල් ඒ පැය එක හමාරක පමණ ප්‍රසංගය පසුබ්මේ වාදනය වෙද්දි අපි වැඩ කලේ.

පසුව අපට ඔහුගේ ගීත, වීඩියෝ DVD පෙලක්ම ලැබුණා. ඒ වගේම ලංකාවෙ වගේම ලෝකයේත් බොහොමයක් වෙළඳ දැන්වීම් සහ රූපවාහිනී වැඩසටහන් වල පසුබිම් සංගීතයන් ඔහුගේ නිර්මාණ බව අපට දැණුනා. පුරා පැයගානක් සංගීතයෙන් මත් වෙලා ඉන්න ඔහු නිසා අපට පුළුවන් වුණා. ඔහු විශිෂ්ඨයෙක් වෙනව වගේම ඔහුට සහය වෙන සංගීත භාණ්ඩ වාදකයන් වුණත් විශිෂ්ඨයන්. ඒ ව‍ගේම ඔහුගේ ප්‍රසංග අදටත් ලෝකයේ විවිධ තැන් වල පැවැත්වෙනවා වසරකට වරක් හෝ දෙවරක්.

මම වැඩිය කියන්නෙ නෑ. ඕන කෙනෙක්ට හොයාගන්න පුළුවන්නේ.


Yanni - The Storm


Yanni - Reflections of passion - Royal Albert Hall, London

මේ විකිපීඩියාවෙන්

මේ ඔහුගෙ වෙබ් පිටුව

ඔයාලත් මත් වෙන්න.

Tuesday, 21 April 2009

Dance with සොර්බා නම් ග්‍රීකයා

සෝර්බා නම් ග්‍රීකයා මුලින්ම පොතකින් මම හඳුනගත්ත මනුස්සයෙක්. මේ පොත ලියල තියෙන්නෙ ග්‍රීක රචක නිකොස් කසන්ට්සාකිස් (Nikos Kazantzakis). නමුත් පරිවර්තනය කරල තියෙන්නෙ සද්ධාතිස්ස වඩිගමංගාව මහත්මය. මුලින්ම මේ පොත මම මිලට ගත්තෙ 2001දි විතර ඒ කාලෙ නුගේගොඩ තැපැල් කන්තෝරුව ඉදිරිපස පිහිටල තිබුණ විදර්ශන පොත්හලෙන්. ඒ දවස්වල පොතේ ඇතැම් දේ නොතේරුණත් මම ඒක ආසාවෙන් රසවින්ද. මේ පොත ගැන ආනන්දවර්ධන මහත්මයගෙ සටහනක් මම පසුව දැක්ක.

සොර්බා කියන්නෙ නිදහසේ ජීවත් වුණ මනුස්සයෙක්. ඔහු වටා තිබුණෙ අතිශය සීමිත බැඳීම් ටිකක්. ජීවිතය පිළිබඳ ඔහුට තිබුණෙ පුළුල් දැනුමක්. කිසි දෙයක් සැලෙන්න හේතුවක් නොවෙන බව ඔහු ප්‍රත්‍යක්ෂ කර තිබුණා සහ දුක සතුට හැම දේම ඔහු විඳගත්තෙ සුන්දර නර්තනයකින්.

කොහොම හරි මේ පොත මගෙන් ඉල්ල ගත්ත කෙනෙක් නැවත මට මේක දුන්නෙ නෑ. පසු කාලෙක පොත ගැන ගැඹුරින් සාකච්ඡා කරන්න පුළුවන් මිතුරන් කීප දෙනෙක් හමුවුණත් ඔවුන්ට කතාව කියනව ඇරෙන්න මට යමක් බෙදාගන්න තිබුණෙ නෑ.

පහුගිය දවසක නුගේගොඩ සරසවියෙදි ආයෙත් මම පොත ගත්ත. ඒක කියවන්න නැවතත් මගෙ හොඳම මිතුරෙක්ට දුන්න. (එයා පොත කිළුටු කලත් නැති කරන්නෙ නෑ. :D)

මේ නමින් තියෙන චිත්‍රපටිය මම හොයාගත්තෙ පසුවයි. ඒකෙ නමත් Zorba the Greek තමයි. ඒ වුණාට ග්‍රීක බසින් තමයි තිබුණෙ. ප්‍රධාන චරිතය කරන්නෙ ඇන්තනි ක්වින් කියන නළුව. මම වැඩිය අහල නෑ එයා ගැන. ඒ වුණාට රඟපෑම් නම් උපරිමයි. පොතේ තරම් විස්තර චිත්‍රපටියෙ නැති වුණාට තියෙන ටිකත් ඇති. මේ හැම මගුලක්ම අපි මැරෙනකල් විතරයිනේ. ඒ නිසා කිසි දෙයක් ඕනවට වඩා ගණංගන්න ඕන නෑ.

මම වැඩිය ඒ ගැන කියන්නෙ නෑ. මම චිත්‍රපටියෙ දෙබසක් කියල නවතින්නම්. මේ දෙබසට පූර්විකාව වෙන්නෙ ග්‍රීකයන් තුර්කි ජාතිය සමග වෛරයකින් පසුවීමයි. මෙය සිදුවෙන්නෙ සෝර්බා සහ ඔහුගේ ස්වාමියා අතරයි.

Boss - I don't believe you give a damn about your country.

Zorba - Don't you talk to me like that!

Look here, here, here! (Shows healed wounds on his chest)
Nothing on the back.
I have done things for my country...
that would make your hair stand.
I have killed, burned villages,raped women.
And why?
Because they were Turks or Bulgarians!
That's the rotten damn fool I was.
Now I look at a man,any man...
and I say he is good,he is bad.
What do I care if he's Greek or Turk?
As I get older, I swear by the bread I eat...

I even stop asking that.
Good or bad? What is the difference?
We all end up the same way:
Food for worms.
And as for women...

උත්කර්ෂය

උපන් දා සිට දුටු
නෙත් සිත් පිනවූ සියළු දෑ
සම කර
මවාගන්නට තැනූ
වර්ණවත් සිතුවම
අවර්ණයි

නන් වූ කලා රචකයින්ගේ
කවි කතා නාටක කියවා
විඳින්නට තැතනූ
සිතිවිල්ල
අසම්පූර්ණයි

එක් ඇසිල්ලක
වර්ණවත්ව
එම සිතිවිල්ලෙන්
සංතෘප්ත වූ විට
සැබැවින්ම දැණෙන
නිසල තෘප්තිය හමුවේ


Ech on 21st of April 2009

Wednesday, 11 March 2009

පැල්ලම්


දුක හිතුණා මට
මගේ නොසැලකිල්ලෙන්
මඩ පැල්ලම් ඉසුණාට
අපි දෙදෙනා එක්ව
පාට කල බිත්තියේ

ඒ නොසැලකිල්ලට
සිත දුකින් පිරී නුඹෙ
දෑස් රතු වූ විට
තවත් දුක් වුණා මම
නුඹෙ දුකත් හිතාගෙන

තව වරක් එක්ව අපි
මඩ කහට ‍සෝදලා
වර්ණ ගන්වමු විනා
අන් යමක් නොමැත මට
දැන් නුඹට කියන්නට

එන්න නුඹ නෙත් පිහන්
මේ අපේ බිත්තියේ
මඩ කහට විසිරුවා
ආයෙමත් එකතු වී
එකට පැල්ලම් මකමු


ecH on 2009-03-09


මෙය රෙදි සෝදන කුඩු, සබන්, සිමෙන්ති හෝ තීන්ත දැන්වීමක් නොවන බව කරුණාවෙන් සලකන්න.

Monday, 9 March 2009

වෙනස් කිරීම

අපි හැමෝම අ‍පි මෙහෙමයි කියල ප්‍රතිරූපයක් හදාගෙනයි ඉන්නේ. අපි ආසයි ඒ ප්‍රතිරූපයම අනිත් හැමෝගෙන්මත් දකින්න. අපේම ප්‍රතිපත්ති තුල අපි අතිශය ප්‍රජාතන්ත්‍රවාදී හෝ අන් මත ගරු කිරීමේ ස්ථාවරයක් හදාගෙන හිටියත් අන් අය අපේ කතාව පිලිගන්නවා දැකීම අපේ පරම බලාපොරොත්තුවයි.

ඒක මිනිස්සුන්ට පරම්පරාවෙන්ම, නැත්නම් පුංචි කාලෙ ඉදන් ඔළුවට දාගන්න ඒවයිම වර්ධනය වෙන විකාර(?) උවමනාවක්.

ඒක නැති කරන්න පුළුවන් අධ්‍යාපනයෙන්ම. අනිත් අයට ගරු කරන, එයාලට ඇහුම්කන් දෙන සාවධාන පුද්ගලයෙක් වෙන්න පුළුවන් ඕන කෙනෙක්ට. ඒත් ඒ දේවල් විධිමත්ව හදාරන්න පවතින ජීවිතය ඇසුරින් ඒ දේවල් උගන්වන ක්‍රමයක් නෑ. යම් තරමකට අගම් වලින් මේ හික්මීම ඇති කලත් ආගම් කියන්නෙ තව දුරටත් මිනිස්සුන්ව වෙනස් කරන්න පුළුවන් සාධකයක් නෙවෙයි. ඒ වුණාට යම් කෙනෙක්ට ආගමක් හරහා වුණත් තමා ලොකුයි කියල හිතන ගතිය නැති කර ගන්න පුළුවන්. එහෙම අය ඉන්නව.

මොනව වුණත් තමන් නොහිතන මොහොතක ආයෙත් තමා තුල ඉන්න සත්ත්වයගෙ අමු හැඟීම් එලියට එන්න පුළුවන්.

ඒ වෙලාව කලින් කියල එන්නෙ නෑ. ඒ නිසාම පරෙස්සම් වෙන්න වෙනව. මොකද අධ්‍යාපනය හරහා හික්මවන හඟීම් අතිශය දරුණු වෙන්න පුළුවන්.

ඒ ගැන නෙවෙයි ඇත්තටම කියන්න ඕන කලේ. දැනුවත්ව හෝ නොදැනුවත්ව අපි අනිත් අයව වෙනස් කරනව. නැත්නම් වෙනස් කරන්න උත්සාහ කරනව. අපට ඕන විධියට.

එක අතකට අපි යම් කෙනෙක්ට තමන්ගෙ මතයෙ ඉන්න දෙන අවස්ථාව හරහා අපි එයාලට අපේ මතයේ තියෙන නිදහස් බව ගැන ඇඩ් එකක් දානව.

මේ හැම දෙයින්ම අපි කරන්න යන්නෙ අනිත් මනුස්සයව අපේ ඇස් වලට ලස්සන විධියට සරසල දකින්න යන එකයි.

යම් කෙනෙක් තුල තියෙන සුන්දරත්වය එයාව වෙනස් නොකර දකින්න අපට පුළුවන් නම්...

Sunday, 8 March 2009

Helixed...

Helixed...

In my 2D sine curved life
I was just believing
that all the nonsense they talk
is just some other crap
which is going to stop
my free and calm tour
of the life I was going
to be made splendid

Then there was you
on the other dimension
which made it deep
on the other axis...
it was simply a revolution
I was not planning
in any way I could think

Now my life is a helix
in the 3D world


ecH on 2009-03-08


yakomapo

Tuesday, 24 February 2009

සතුට මා තුල...

සතුට තමයි අපි බලාපොරොත්තු වෙන එකම දේ. අපි මොනව කලත් අවසානයේ සතුට මිස අපි වෙන යමක් ගැන හිතන්නෙ නෑ. සතුට ගැන නොහිතනවාය කියල වෙන මොන මොන දේවල් කලත් ඒ හැම දේම කෙලවර වෙන්නෙ අපි සතුට හඹා යාම හමුවේයි.

සතුට වෙනස් එකිනෙකාට. සතුට විවිධයි. ඒක අනෙක් ඕනම හැඟීමක් විඳිනවා වගේම එකිනෙකාට අන්‍යෝන්‍ය වශයෙන් බහිෂ්කාරයි. ඒ කොහොම වුණත් සතුට විධියට කෙනෙක්ට දැණෙන හැඟීමේ ලොකු වෙනසක් නැතිව ඇති.

සතුට දැණෙන්න නිදහස ඕන. නිදහස කියන්නෙ නිරායාස සතුටක් ලැබෙන දෙයක්. සතුට විඳින්න නිදහසක් නැත්නම් ඒ සතුටට අරුතක් නෑ.

ඒ අතරෙ අපි හිතන දේ ඒ විධියට ඉටු වීම තුල ආයෙමත් සතුටට අර්ථ තියෙනව.

අපි හිතන දේවල් සිද්ධ වීම තුල. හිතෙන අය එක්ක ඉන්න ලැබීම තුල. හිතන දේවල් ලැබීම තුල...

හැමෝගෙම ජීවිත වල හෙටක් තියෙනව. එහෙම නැතිව ඉන්න පුළුවන්. ඒ කියන්නෙ අද පමණක් ඉන්නවය කියන එකයි. අද පමණක් ඉන්න පුළුවන් වුණාට ඒ විධියට පවතින්න අමාරු වට පිටාවක් තමයි අපි අවට තියෙන්නේ. රස්සාවක් කරන්න වෙනව. මිනිස්සු ඇසුරු කරන්න වෙනව. සම්බන්ධතා ගොඩනගන්න සහ පවත්වගන්න වෙනව. එහෙම ඉන්න මිනිස්සු අතර අද විතරක් ජීවත් වෙන්න ඕන වුණොත් ලොකු කැපකිරීම් ටිකක් කරන්න වෙනව. එහෙම පුළුවන් වුණොත් නම් ඔය සතුට දුක කියන දේවලුත් වැඩක් නෑ තමයි. ඔය හැම දේකටම උපේක්ෂාව තුල විසඳුමකුත් තියෙනව.

ඒ වුණාට සතුට දැණෙද්දි ඒක නොවිඳ මොනව කරන්නද?

ඉතිං.....





රෑ සඳුත්
උදෑසන මල් පෙතිත්
දිවා තුරු යට සිසිල් සෙවණත්
මෙතුවක් කවියන් නුඹව සම කල සියල්ලත්
එක පෙළින් ගෙන...
ඒ නුඹට සම කරමි
බිය හැර

රෑ සඳු බැස ගොස්
උදා මල් පර වී
පත් හැලී තුර යට උණසුම් ව
කවි සිතිවිලි වියලී ගොස් වියැකුණත්
බියක් නෑ මට
නුඹ ඒ කිසිවකට
සම නොවන නිසාම

නුඹ අසම සම නුඹමයි
මා සිත ගෙන දොවා පිසදා
සියුම්ව දෑතින්ම ගෙන විමසිලි කොට
එහි වූ නෙක සියුම් සිතිවිලි බිඳිති කැටි කර
සුවඳ කවා හැඩ කල
නුඹම මිස අන් අයෙක් නැත
මා ඉදිරි මාවතේ අතර තුර




හික් හික්...

සතුට ඉස්මොල්ලෙ ගියාම ඔහොම වෙනවා. ගණං ගන්න එපා. ;)

Thursday, 19 February 2009

සතුට සත්තු වත්තේ....

අපි සතුට ලබනව විවිධ ක්‍රමවලින්.

සත්තු වත්තෙදිත් අපි ලබන්නෙ සතුටක්ද?

මෑතකදි මම මගේ ඥාතියෙක් (මෙතැන් පටන් ප්‍රියන්ත කියල ගමු) එක්ක කරපු කතාවක් මගේ කලින් බ්ලොග් සටහන ලියද්දි මතක් වුණා. ඔහු වතාවක් මගේ නුගේගොඩ කාර්යාලයට ආපු වෙලේක ඔහුගේ බිරිඳට සත්තු වත්ත බලන්න යන්න ඕන වුණා. ඔවුන්ගේ පදිංචිය ටිකක් ඈත නිසා කොළම එන්නෙ කලාතුරකින්. කොහොම වුණත් ප්‍රියන්ත මේ ගමනට කැමති වුණේ බොහොම අකමැත්තෙන්. ඔහුට සත්තු වත්තට යන්න කිසිම උවමනාවක් තිබුණෙ නෑ.

සත්තුවත්තෙදි අපි ලබන්නෙ කාලකණ්නි සතුටක්. ඔහු කිව්වා.

ඇත්තටම අපි නොදැනුවත්වම සත්තුවත්තෙදි ලබන දේ සතුට හෝ මොකක් වුණත් ඒක හරිම අසාධාරණ සතුටක් නෙවෙයිද? නිකමට හිතන්න අපි කූඩුවක ඉද්දි සත්තු වත්තෙ සත්තු අප දිහා බලමින් විහිළු කරමින් නිදැල්ලේ හැසිරුණොත්?

සමහර විට සත්තුන්ට කන්න බොන්න දෙනව නම් ඉන්න තැන කෘතිම පුංචි එකක් වුණාට කමක් නැද්ද දන්නෙ නෑ. මට
Madagaskar චිත්‍රපටිය මතක් වුණා. මේකෙ තියෙන සත්වෝද්‍යානයේ ඉන්න සිංහය මිනිස්සුන්ට පේන්න කෑගහල ෂේප් එකේ ඉන්න කෙනෙක්. තමන්ට වෙලාවට හම්බ වෙන මස් කුට්ටිය තමයි ඔහුගෙ එකම සිතිවිල්ල. ඉන්න පරිසරය ගැන ගානක් නෑ.

ඒ වුනාට ලංකාවෙ සත්වෝද්‍යාන වල නම් සත්තු ඉන්නෙ අතිශය සීමිත පරිසරයක. අපට වැඩිය ඇවිදින්න ඕන නෑ. ලේසියෙන් සත්තුන්ව බලල සතුටු වෙන්න පුළුවන්.

ඉතිං සතුටු වෙන්න....

Saturday, 14 February 2009

මගේ තනි විනෝද ගමන

කොස්ලන්ද කියන්නෙ පුංචි නගරයක්. තියෙන්නෙ බෙරගල නගරයෙන් කන්ද පහලට වැල්ලවාය දක්වා දිවෙන පාරෙ හරි මැදක. එහෙම කියන්නෙ කොස්ලන්ද නගරයෙ ඉඳන් බෙරගලටත් වැල්ලවායටත් අය කරන බස් ගාස්තුව එකක් වීම නිසයි.

අද උදේ මම බදුලු කොළඹ බස් එකක බෙරගලට ගිහින් එතනින් වැල්ලවාය බස් එකක් අරන් කොස්ලන්දට ගියා. බෙරගල කියන්නෙත් පුංචි හන්දියක්. එතනින් කන්ද ඉහලට යන පාර යන්නෙ හපුතලට. කන්ද පහලට යන පාරෙ තමයි කොස්ලන්ද තියෙන්නේ. හපුතලේ ඉඳන් කන්ද බැහැගෙන එද්දි පහලින් පෙනෙන ඈත ක්ෂිතිජය දක්වාම දිවෙන කඳු වැටි පිරුණ නිම්නය වෙතට තමයි බෙරගලින් ඇරඹෙන කොස්ලන්ද පාර ඇදෙන්නේ.

මේ පැත්ත හරිම ලස්සනයි. කඳු මුදුන් මීදුමෙන් වැහිලයි තියෙන්නේ. පරිසර දූෂණයක් නෑ. මධ්‍යස්ථ කාලගුණයක් තියෙන්නේ. මිනිස්සු වුණත් අහිංසක දිළිඳු අය.

කොස්ලන්ද දිසා රෝහල ඉදිරිපිට තියෙන පුංචි කඩෙන් උදේ ආහාරය විධියට මම පොල් රොටි දෙකයි පැටිස් එකයි ලැවරියයි ප්ලේන්ටියයි සේරම රුපියල් 65කට ගත්තා. ගාණ අදහන්න බැරි නිසා මම ආයෙත් ඇහුවම ගාණත් වැරදි නෑ. කොළඹදි ඔය ටික කන්න රුපියල් 150ක් වත් යනව.

මම මං ගිය වැඩේ කරගෙන ආයෙමත් කොස්ලන්දෙන් වැල්ලවාය බස් එක අරන් මම වැල්ලවායට ගියා. ආ පාරෙම නොගියෙ රට තොට බලන්න ඕන නිසයි. ඒ මගදි තමයි දියළුම දිය ඇල්ල තියෙන්නෙත්. ඒක මහ විශාල කන්දක් මුදුනෙ ඉඳන් පහලට වැටුණෙ මාව මා තුලම හකුලවමින්. මොකද ඒක වැටෙන්නෙ හරිම ඉහලකින්. හරියට දුරකථන කුළුණක් ගාව ඉඳන් ඒකෙ මුදුන බලනව වගේ එකක් තමයි ඒකත්.



මට මතකයි හයේ පන්තියෙද කොහෙද සිංහල පාඩම් පොතක දියළුම ගැන පාඩමක් තිබුණා. ඒ වුණාට කවදාවත් මට ඒක බලන්න යන්න වුණේ නෑ. ඔන්න අද ගියා. :D

කොහොම හරි වැල්ලවායට ගිහින් එතනින් ආයෙත් ඇල්ල නගරය හරහා බදුල්ලට යන බස් එකක මං ගෙදර ආවා. ඒ පාරට කවුරුත් කට වහරේ කියන්නේ ඇල්ල-වැල්ලවාය පාර කියලා. ඒ පාරෙ තමයි රාවණ ඇල්ල තියෙන්නේ. ඒක නම් මම කලින් දැකල තියෙනවා. ඒක ඒ තරම්ම උස නැතත් ගලා යන රටාවෙ ලතාවක් තිබුණ.



රාවණ රජ මහ විහාරයත් තියෙන්නෙ ඊට ටිකක් නුදුරින්. ඔය එකක්වත් මම බැලුවෙ බස් එකෙන් බැහැල නෙවෙයි. බස් එකේම කවුළුවෙන්. කොහොම වුණත් ආයෙ විශේෂ අවස්ථාවකදි මිස ඔය පලාතෙ යන්න නොවෙන නිසා ඕන වුණෙත් දැනගන්නත් එක්ක මම ගිය ඒ චාරිකාවෙන් මම ලොකු තෘප්තියක් ලැබුව.

සමහරවිට දවසක ආයෙත් වඩා හොඳින් ඒ දේවල් විඳින්න පුළුවන් වෙයි.

බලාගෙන ඉමු.

Wednesday, 31 December 2008

2009 ගැන නිකං ඉන්න බැරි කමට....

හැමෝම අළුතෙන් උදාවෙන කැලැන්ඩර් අවුරුද්දෙ අසිරිය සමරන්න සූදානමින්. බෝනස්ද අරවද මේවද දීමනා ලැබුණත් නොලැබුණත් හැමෝගෙම මුහුණු වල බලාපොරොත්තුවක් පිරිලා.

මට නම් අළුත් අවුරුද්ද ව‍ගේ දින මිශ්‍ර වුණ සංකල්ප වැඩිය දැනෙන්නෙ නෑ. ඔය දවස් මතක තියාගෙන ඉන්න පුළුවන් කාටද? මතක තියාගන්න තව කොයි තරම් දේවල් තියෙනවද? ඒ නිසා මගේ යාළුවන්ගෙ වුණත් උපන්දින වලට මගේ සුභ පැතුම් ලැබෙන්නෙ කවුරු හරි ඒක කිව්වමයි. එහෙම වුණාට වටේ ඉන්න හැමෝම අළුත් අවුරුද්ද ගැන කතා කරද්දි මටත් පුංචි කිතියක් දැනෙනව තමයි. මට තියෙන වැදගත්ම වැඩේ තමයි පළවෙනිද වරුවෙන් වැඩ ඉවර කරන්න පුළුවන් වීම. ආයතනයෙන් ලැබෙන උදේ කෑම සහ දවල් කෑම දෙක කාල කලින් පැනල කොහේ හරි ගිහින් සෙටා වෙන එක තමයි කට්ටියගෙ සැලැස්ම. මමත් ඒ එක්කම විසිවෙයි.

අළුත් අවුරුද්දත් එක්ක මගේ ජීවිතේ වෙනසක් වෙන්න නියමිතයි. ඒක හරියට වුණොත් මගේ ඔන්ලයින් ජීවිතයත් සීමා කරන්න සිද්ධ වෙයි. වෙනස් රස්සාවක්, වෙනම සහෝදර සේවක පිරිසක් එක්ක මට අළුත් ගමනක් යන්න පුළුවන්කම ලැබිලයි තියෙන්නේ. පුරා අවුරුදු පහක් රැකියාව කරපු තැන අතිශයින්ම මට හොඳම තැනක් වුණත් මගේ වෘත්තීයමය දියුණුව උදෙසා මට යන්න වෙනව. දුකයි සතුටයි දෙකම.

කාලයක් තිස්සෙ හිතේ තියෙන වැඩ කන්දරාවක් ඉවර කරන්න පටන්ගන්න ඕන. අළුත් ජීවිතයක් ඇත්තටම පටන්ගන්න කා‍ලෙ ඇවිත් දැන්..

බලමු මොකද වෙන්නෙ කියලා.

මට නම් අළුත් අවුරුද්ද කියල විශේෂයක් නෑ ඉතිං. ඒ වුණාට කට්ටයටම ලබන අළුත් කැලැන්ඩර් අවුරුද්ද සල්ලි වලින් සහ ගුණ ධර්ම වලින් ඉතිරේවාහ්!


Sunday, 21 December 2008

ආලවක නරක නෑ තමයි ලතී

බය වෙන්න එපා.

මේ කියන්නෙ ආලවක ගැ‍න නෙවෙයි. වසන්ත දුක්ගන්නාරාල මහත්තයගෙ ආලවක නරක නෑ කෙටි කතා පොත ගැනයි.

ඒකෙ ඉතිං බය වෙන්න දෙයක් තියෙනවයැ. මූට පිස්සු

ඔයාල හිතයි

මට පිස්සු කියල හිතන්න එපා. එහෙම හිතන්න ඔයාලට තියෙන අයිතියටත් මම මුකුත් කියන්නෙ නෑ. ඒ වුණාට පොතේ වටින දෙයක් තියෙන නිසා ලියන්න හිතුණ.

මේ පොත මම මා සතු කරගන්න දැඩි තෘෂ්ණාවෙන් පෙලෙමින් හිටපු පොතක්. සාමාන්‍යයෙන් තෘෂ්ණාව තියාගන්න එක හොඳ නෑ තමයි. ඒ වුණාට ඉතිං මගේ ඒ අහිංසක තෘෂ්ණාවෙන් කාටවත් හානියක්වත් කරදරයක්වත් වුණේ නෑ. ඒ තියා මටවත් මුකුත් වුණේ නෑ. ඒක නිකං ඔහේ තිබුණ.

කොහොම හරි මේ පොත තිබ්බෙ එයාගේ අයිතියත් මගේ කරගැනීමේ සාම්ප්‍රදායික තෘෂ්ණාවෙන් මාව වෙලන ලතීගෙ ගෙදර. ලතී පොත අරන් තිබුණ. මට කලින්. ඉතිං ලතී මගේ වෙන එක අහන්නත් දෙයක්ද? මගේ කරගන්න පෙරුම් පුරල වත් ඒ වෙනුවෙන් පතාගෙන ගොතාගෙන ඔතාගෙන ඇවිත් නෑ කියලවත් එයා ම‍ගේ නොවී ඉඳියිද? එයාගෙ සිතිවිලි මගේ වගේ නොවී තියෙයිද? එයා ඉන්නෙ, හුස්ම ගන්නෙ, දත් මදින්නෙ, හිනා වෙන්නෙ, හිතන්නෙ, කියවන්නෙ මම වගේ නෙවෙයිද? එයා ආස කරන්නෙ මම ආස කරන දේවල් වලට නෙවෙයිද? එයා සල්ලි දීල අරන් රාක්ක පුරා පුරවල තිබ්බෙ මගේ අහිංසක තෘෂ්ණාවන් තුල රැඳිල තියෙන ආශාවේ වස්තු නෙවෙයිද? ඉතිං එයා මගේ නෙවෙයි කියල හිතන්නවත් පුළුවන්ද?

ඇත්තම කිව්වොත් එයා මම වගේ නොවන වෙලාවලුත් ඕන තරම්. ඒ වුණාට ඒව මේ වෙලාවෙ මතක් කරන්න ඕන නෑනේ. ඒව එහෙම තමයිනේ.. ;)

මම කාමරේට ඇවිත් ඇඳුම් උනන, කෑම කන සහ මුහුණ අතපය සෝදල පිහිදන ගමන් එක හුස්මට පොත කියවල ඉවර කලා. කාලෙකින් එහෙම පොතක් එක දිගට කියවල ඉවර කලේ. ඒ තරම්ම මේ පොත මාව වශී කලා. ඒකට ප්‍රධාන හේතුව දුක්ගන්නාරාලගේ භාෂා විලාසය කිව්වොත් හරි. නිකං මාවම ප්‍රශ්ණ කරන රීතියක්. නිරන්තරයෙන් අපි පහුකරන නොයෙක් දේවල් දිහා නැවතත් වෙනම මානයකින් හැරී බැලීමක්. හරිම අපූරුයි.

මේකට පෙරවදන ලියල තියෙන්නෙ ඩබ්ලිව්. ජයසිරි මහත්තය. එතුමගේ පස්සෙ ලියපු පෙරවදන තුලදිත් මම ලෝකාරම්භය ගැන බුදුන් දේශනා කලා කියන රස පොළොවේ කතාව රේඩියෝ එකෙන් අහන් ඇමරිකාවෙ ලෝක වෙළඳ මධ්‍යස්ථානෙ ගුවන් යානෙක නැගල ගිහිං පුපුරවල බෝම්බයක් බඩේ බැඳන් මම මැරෙනව නේද දෙයියනේ කියල හිත හදාගෙන මැරෙන්න ලෑස්ති වුණා. එක එක මිනිස්සු එකම වෙලාවෙ දිවි ගෙවන අනේකවිධ ක්‍රම ගැන මම හිත අවදි කලා. අනේ අපොයි මමත් හිතන දේවල්. කමක් නෑ මලවිකාරත් වමනෙ දානව කියල මම මුලින්ම කියලම තියෙන නිසා සේප් සේප්!

ඔය අස්සෙ පලමුවෙන්ම ලතීගෙ අතින් මට හදල දුන්න තේ එක නිසා මගේ බඩ අර සියළුම පෙම්වතුන්ගේ ඉගෙනගත් හෙවත් සාම්ප්‍රදායික බඩේ රුජාවෙන් පෙලෙන්න ගත්ත. ඒ තේ එකේ අති විශේෂ රසයක් නොතිබුණත් ඒක මට ගොඩක් රස වුණා නේද කියල මට හිතුණ. ආයෙත් ඒ වර්ගයේ තේ එකක් බොන්න ඕන කියල මගේ ඇතුලෙ ඉන්න ශිෂ්ඨ පිරිමිය හිත පුරවගෙන කෑ ගැහුව. එයා ගැන මම බලන්න එපැයි. එයා මම කියන සමස්ථය නිර්මාණය කරන කොටස් වල සාමාජිකයෙක්නේ.

ඉතිං ... ආලවක නරක නෑ කියන්නෙ මම කියවපු හොඳම කෙටිකතා එකතුවක්. එකම විධියට අපි හමදාම ගෙවන ජීවිතය ආයෙත් මුල ඉඳන් විඳින්න පටන්ගන්න හොඳ ඇරඹුමක්. අනික ජයසිරි මහත්තය කියල තිබුණ වගේ මේ කතා වල මහ ලොකු දෙයක් නෑ. ඒ වගේ කතා ලෝක ඉතිහාසයේ එදා මෙදාතුර හැමදාම සිද්ධ වුණා සහ වෙනව. හැමදාම කතා ලියන අය ලිව්වෙ එකම කතා ටික තමයි. ඒ වුණාට ඒ කතා ලියන විධි එකිනෙකාට වෙනස් නිසා හැමදාම අපි අළුත් කතා කිය කිය පරණ කතාම කියවනව.

කවුරු මොනව කිව්වත් කියවීම නම් මිනිසා සම්පූර්ණ කරයි තමයි. ඒ නිසා කියවන කෙනෙක්ට මේ පොත සෑහෙන්න වටිනව.

පොත කියවල අවසන් වෙද්දි මගේ හිත ලතී ගැන ආදරෙන් පිරුණ. එයත් එක්ක බලද්දි නම් මේ පොතේ තියෙන්නෙ පොඩ්ඩයි. එයා ගාවනේ හොඳම ටික තියෙන්නේ. මම කියන්නෙ එයා සර්ව සම්පූර්ණ ජනපද කල්‍යාණියක් නොවුණට සහ වෙලාවකට එයා ආලවකට විතරක් දෙවෙනි වෙන්න තරම් රුදුරු වුණාට ආලවකත් නරක නෑනේ දෙයියනේ. ඉතිං එයා කොහෙ නරක් වෙන්නද?

ලතී හරී ෂෝක්. එහෙම එකේ ඉතිං ආලවකත් හරි හොඳ යකෙක් තමයි.