ස්පොයිලර්ස් සහිතයි.
පොතේ විවරණයක් නොව, කියවද්දි හිතුන එක එක ඒවායි.
කේ.කේ.
සමන් කුමාරගේ පොත් අතරින් මම කියවල තියෙන්නෙ පිණි අහුරක් ඉහිරුණා පොත
විතරයි. ඒක 2002/3 කාලෙ විතර අරන් ඒ කාලෙදිම කියවපු එකක්. 2002/3 කියන්නෙ
මං දැන් හිතන විදිය ගත්තම ළදරු කාලයක් වගේ කියල දැන් හිතුණ වුණත් සහ ඒ පොත
සහමුලින්ම මට තේරුණේ නැතත් මං ඒ පොතට සහ ඒකෙ තිබුණ විවෘත ගතියට ඒ දවස්වලත්
කැමති වුණා. ඒත් ඊට පස්සෙ සමන්ගෙ පොතක් මම කියවල නැහැ මේ වෙනකල්. ඒකට හේතුව
මම කියවන්නෙක් නොවී හිටපු කාලයක් තිබුණ නිසයි. පොමා ගොර්දයෙව්, දනිලොව්
නම් වියෝලා වාදකයා, ඔවුන් යුධ වැදුනේ මව්බිම වෙනුවෙනි පළමු වෙළුම වගේ
පොත්වලින් පස්සෙ තමයි මම කියවන එක නතර කළේ. ඔය දෙදාස් මුල් කාලෙදිම. ඒව මට
තේරුණේ අසාර්ථක පරිවර්තන විදියට. මොකද පෙරළුෑ නැවුම් පස, සියක් වසක
හුදකලාව, ලොලිටා වගේ අති විශිෂ්ට පරිවර්තනයන් කිහිප වරක් කියවලා පරිවර්තනය
ඉතාම රසවත්ව කල හැකියි කියල හොඳටම දැනිල තියෙද්දි ඊට වඩා රසයෙන් අඩු පොත්
කියවන්න ඉබේම මැලි වුණා. පොත් ගෘප්වල වරින් වර ඉස්මතු වුණ පොත් රැළි ගැන
හොඳ අදහසක් මට තිබුණෙ නෑ වගේම ඒවයේ නිතර කතා කරපු ගුරු ගීතය වගේ පොතක් මට
නිරස වීම නිසාම පොත් ගෘප්වල නිර්දේශත් මග ඇරලා තමයි හිටියේ. ඒ එක්කම
චිත්‍රපටිවලට ඇබ්බැහි වීමත් පොත් කියවන්නෙක් නොවී ඉන්න හේතු වුණා.
වරින්
වර පොතක් දෙකක් කියෙව්වත් මං ආයෙත් නිතරම පොත් කියවන්නෙක් වෙන්නෙ දෙදාස්
දහ නමයෙන් පස්සෙ. කාර්යාලීය ප්‍රවාහන සේවය නිසා යන එන ගමන් පැයක දෙකක විතර
කාලයක් දවසකට කියවන්න පුළුවන් වුණා. දැන් බොහෝ විට මම සමාන්තරව පොත් දෙකක්
කියවනවා. හැබැයි දැන් නව කතාවක් කියවන එකෙන් මට ප්‍රහර්ෂයක් දැණෙන්නෙ නැති
තරම්. දැන් ගොඩක් වෙලාවට යම් විෂයන් සම්බන්ධයෙන් ලියවුණු පොත් පමණක්
කියවීමේ නැඹුරුවක් තමයි තියෙන්නේ. නව කතාවක් කියවන්න ඒක අති විශේෂ එකක්
වෙන්නම වෙනවා. එහෙම නැත්තං සංකීර්ණ පොතක් කියෙව්වට පස්සෙ ඔළුවට පොඩි
නිදහසක් දෙන්න කියවන සරළ පොතක් විදියට නව කතාවක් තේරෙන්න පුළුවන්. එහෙම සරළ
විකල්පයක් විදියට තෝරගත්තත් සමන්ගෙ පොත සංකීරණද සරළද කියන එක පැහැදිළි නෑ.
කොහොම වුණත් පාට්නර් පොත් පෙරේතියක් නිසාම සමන්ගෙ පොත් කීපයක්ම
අපේ අල්මාරියේ තිබුණා. මහිලාවංශය ලෝන්ච් එකේදි සමන්ගෙ අත්සනින්ම පොතක් ගන්න
පුළුවන් කියල මාව ඇදගෙන ගියේ රචියා. ඒකත් අලුත් පිටම තැන්පත් වෙලා තිබුණා.
ගුඩ්රීඩ් එකේ කියවීමට බලාපොරොත්තු වෙන පොත් ලිස්ටෙකට දාගත්ත පොත් එකින් එක
කියවන ක්‍රියාවලියෙ හිටියත් සමන්ගෙ පොතක් කියවන්න ඕන කියල හිතෙන්නෙ පොර
සන්නස්ගල එක්ක කරපු ඉන්ටවිව් එක ඇහුවට පස්සෙ.
සර්පයාගෙ පොතක්
කියන්නෙ වෙනස් අත්දැකීමක් බව මම කියන්න ඕන නැහැ. ඔහුව කියවන්න පටංගන්නෙම
මොකක් හරි තව ලේයර් එකක් දෙකක් යටින් තියෙනවද කියන අදහසත් එක්ක. නමුත් එහෙම
මහ ලොකු එකකුත් නෑ කියලයි මට දැන් හිතෙන්නේ.
සමහර විට වෙන කෙනෙක්ට
'මාක්ස් ලයිව් ඉන් ශ්‍රී ලංකා' කෙටි කතාවක් වෙන්න පුළුවන්. සර්පයා ඒක
අදිනවා සෑහෙන්න ඇදිල්ලක්. හොඳ ලිවිලිකාරයෙක් වෙන්න ඒ හැකියාව ඕන. ඒකෙදි වට
පිටාවෙ තියෙන සමහර දේවල් මතු වෙනවා. සමහර ඒවට වදිනවා. සමහර ඒව කුඩු වෙලා
විසි වෙනවා.
පොත ඇතුලේ ගලාගෙන යන ගැහැණු පිරිමි සංවාදය ඉවර වෙන
එකක් නෙවෙයි. ඒක තමයි මට ඒකෙ තියෙන ආකර්ශනීයම සංවාදය. ඒක අපි කොයි තරම්
සංවාද කලත් එක පාර්ශවයකටවත් අනෙක් පාර්ශවය තේරුම් නොයන සංවාදයක්. සංස්කාර
සහ ධර්මතා ගැන කතාව අස්සේ යන්න පුලුවන් උපරිමය කොහෙද? සංස්කාර කියන්නෙ අපි
නිෂ්පාදනය කරගත්ත තත්වයන් (හදාගත්තුවා) විදියටත්, ධර්මතා කියන්නෙ
ස්වභාවයෙන්ම ඇති වී තියෙන තත්වයන් විදියටත් තේරුම් ගත්තොත් ගැහැණියගේ
ධර්මතාවයන් තියෙන්නෙ ගැහැණියගේ සංකේත ලෝකයෙනුත් බැහැරින්ද කියන ප්‍රශ්නය
එනවා. ඒ කියන්නෙ එයාලත් තාම එයාල කව්ද කියන එක දන්නෙ නෑ.
මේ ඉදිරි
අදහස් ටිකට කාලාන්තරයක් තිස්සෙ කියවල තියෙන දේවල් එකතු වෙලා තියෙනවා. ඒ
කාලෙ මේ දේවල් කියෙව්වෙ කිසිම තේරුමක් නැතුව. නමුත් කාලාන්තරයක් එක්ක සමාජය
අස්සෙ විවිධ ගෑණු පිරිමි ඇසුරු කරද්දි ඒ කියවපු ඒවායින් ඇත්ත කියල තේරෙන
දේවල් ටිකක් තියෙනවා. ඉතිං මම මේ කියන්නෙ මට තේරෙණ ටික. කිසිම පර්ෆෙක්ට්
අදහසක් ලෝකයේ නැති නිසා වඩා නිවැරදියි කියල මට කල්පනා වෙන දැනුමකින් මේවා
අනාගතේදි ප්‍රතිස්ථාපනය වෙන්න පුළුවන්.
අපි දන්නවා අපිට තවත්
කෙනෙක්ට යමක් තේරුම් කරවන්න ඒ කෙනා නොදන්න භාෂාවකින් බෑ. අපි කෙනෙක්ට
කියනවා "ඔයා එන ඉරිදා උදේ අටට නුගේගොඩ බෝ ගහ ගාවට එන්න" කියලා. ඒක අනිත්
කෙනාට තේරුම් යන්න නම් එයා ඔයා කියපු වාක්‍යයේ හැම වචනෙකම ඔයා අදහස් කරපු
තේරුම දැනගන්න ඕන. ඒ වචන දෙන්නටම වැටහෙන පොදු වචන සෙට් එකේ තියෙන්න ඕන.
එකක් හරි මිස් වුනොත් හමුවීම මඥ්ඥං වෙන්න පුළුවන්. එන ඉරිදා, උදේ අට,
නුගේගොඩ, බෝ ගහ කිව්වම වෙන ගහක පටලා නොගැනීම වගේ හේතු ගොඩක් ඒකට තියෙනවා.
ඔය ටිකට පොදු අර්ථ ටිකක් තියෙනවා වගේම ඒ අර්ථ ටික එකම තේරුමෙන් ඔයත් එයත්
එක වගේම දන්නවා වෙන්න ඕන.
අවකාශයේ අදහස් තියෙනවා. ඒ අදහස්වලට
හැමෝටම ඇක්සස් තියෙනවා. භාෂාව කියන ශබ්ද මාලාවලින් ඒ ඒ අදහසට ගැලපෙන වචන
නිර්මාණය වෙලා තියෙනවා. ඔයා ඔයාගෙ අදහසට ගැලපෙන වචන ටිකක් අරන් අකුරු
විදියට ගලපලා අනිත් කෙනාට පෙන්වනවා. එයත් ඒ අකුරු කියවලා ඒකට අදාල වචනවලට
අදාල අදහස අර අවකාශයෙන් තේරුම්ගන්නවා. මේ ක්‍රියාවලියෙදි දෙවෙනි පුද්ගලයාට
මොකක් හරි වචනයකට අදාල අදහසට ඇක්සස් නැත්නම් (එයා ඒ වචනේ තේරුම දන්නෙ
නැත්නම්) එයාට පණිවිඩය තේරෙන්නෙ නෑ. භාෂාව කියන්නෙ අදහස් ඩිලිවර් කරන
ක්‍රමය තමයි. ඒත් අපි කී දෙනෙක් තමන්ගෙ මව් බාසාවවත් හොඳින් ප්‍රගුණ කරල
තියෙනවද? ඒ නිසා භාෂාව ගැන දැනුවත්කම අදහසක් ඩිලිවර් කරද්දි ඉතාම වැදගත්
වෙනවා. පාර්ශව දෙකකට යමත් තේරෙන්න නම් ඒ දෙන්නටම කොමන් භාෂාවක් තියෙන්නම
වෙනවා. ඒ වගේම ඒ කොමන් භාෂාව සහ අදාල පාර්ශව භාවිතා කරන මුල් භාෂා අතර
වචනවලට නිශ්චිත තේරුම් තියෙන්නම වෙනවා.
ලෝකයේම පිරිමි සහ ගැහැණු
හිතන විධි ගත්තම ඒ ක්‍රම දෙකකට බවත් (ප්‍රධාන ක්‍රම දෙකක් කියලයි හිතන්න
වෙන්නේ. ගැහැණු පිරිමි අන්ත දෙකට අයිති ප්‍රධාන ක්‍රම දෙකයි. ඒ දෙක මැද
ලොකු පරාසයක භාෂාවල් ඇති), ඒ ක්‍රම එකිනෙකට සංකල්පීය තලයේදිම වෙනස් නිසා
ඒවා මොනවද කියල අනිත් පාර්ශවයට තේරුම් කරවන්න පුළුවන් පොදු භාෂාවක් ඕන
බවත්, මෑතක් වෙනකල්ම මේකට පොදු භාෂාවක් කියල තියෙන්නෙ පිරිමි භාෂාවම බවත්,
ගැහැණු හිතන විධිය මෙහෙමයි කියල පිරිමි විසින් පිරිමි භාෂාවෙන් කියල තියෙන
කතා සේරම ඇත්තද කියල අපි ආයෙත් හිතන්න ඕන බවත්, ගැහැණු විසින් තමන්ගෙ
භාෂාවෙන් කතා කරන්න පටන් අරන් තියෙන බවත් තමයි මම හිතන්නේ. ඒ ගැන තමයි මේ
සත දෙක.
කාන්තාවගේ අතීත භූමිකාව වුණේ පවුල නඩත්තු කරන එක. එයාට
තිබුණෙ ගෙදර ඉඳන් දරුවො බලාගන්න එක. පවුල වෙනුවෙන් සම්පත් උත්පාදනය කළේ
පිරිමියා. ඒ නිසාම පිරිමියා නිවසෙන් පිට රැඳෙද්දි කාන්තාව රැඳෙන්නෙ නිවස
ඇතුලෙ හෝ තවත් කාන්තාවන් එක්ක. මේක බොහෝ දුරට සිද්ධ වුණ අපිට පොදුවෙ
පිළිගන්න පුළුවන් ඇත්තක් කියල මම හිතනවා.
ක්‍රමයෙන් ලෝකය කාලය හරහා
වර්තමානයට එද්දි අවශ්‍ය වෙන අළුත් දැනුම නිපදවන්න සංවාද පටංගන්නෙ පිරිමින්
විසින්. මොකද බොහොමයක් බාහිර අභියෝගවලට මුහුණු දෙන්නෙ පිරිමි. එයාල ඒවට
උත්තර හොයනවා. සමහර විට ඒවට ගැහැණිය දායක වෙලා තියෙන්න පුළුවන්. එක අතකට එක
පාරම ලෝකය පිරිමියාගේ නිර්මිතයක් කියන එකම අසාධාරණ අදහසක්. ලෝකය වෙනස්
කරපු පිරිමින් කී දෙනෙක් කාන්තාවන්ගේ නිසා ඒ දේවල් කලා වෙන්න බැරිද? ඒක
වෙනම සංවාදයක්. කොහොම නමුත් ප්‍රධාන වශයෙන් ලෝකයේ අළුත් දැනුම නිපදෙව්වෙ
පිරිමියා කියල පිලිගත්තම මේ කතාව ගොඩනගන්න ලේසියි. අපි ඒක උපකල්පනයක් කියලා
ගත්තත් පසුව ඒක ඇත්ත වෙන්න හොඳටම ඉඩ තියෙනවා. (කාන්තාවන්ට කිසිම ගෞරවයක්
නැති එයාල තමන්ගේ අයිතිය බලපැවැත්වෙන භාණ්ඩ විදියට සලකන තනි තනි පිරිමිත්,
සංවිධානත් තාම ලෝකයේ ඉතිරි වෙලත් තියෙනවා. මේ උත්තම පුරුෂත්වය තුල
කාන්තාවනුත් කැමති යම් ලිංගික සංකේතකරණයක් තියෙනව වෙන්න පුළුවන්. නමුත් ඒක
පෞද්ගලිකයි.) කොහොම නමුත් අළුත් දැනුම පිරිමියා නිපදවද්දි ඒ දැනුම සහ දැනුම
ඔස්සේ ලෝකයේ වෙන වෙනස්කම් සිද්ධ වෙන්නෙ පිරිමියාට ඕන විධියට. පිරිමි
ඔළුවක් ඇතුලෙ. පිරිමියාගේ ආසාව වෙනුවෙන්. බොහෝ විට නොදැනුවත්වම.
පිරිමියා
ඒ විධියට ලෝකය නිර්වචනය කරන වැඩේ කරන අතරෙ එයාලා කාන්තාවවත් ඒ ලෝකයට
ඇතුලත් කරනවා. නැතිනම් කාත්තාව මේ වගේ කියල තමන් හිතං ඉන්න ආකෘතිය පොදු එක
බවට පත් කරනවා. කාන්තාවට අර්ථ දැක්වීමක් දෙන්නෙ පිරිමියා විසින්. තවමත් අපි
කාන්තාව කියල පිලිගන්නෙ පිරිමින් නිර්වචනය කරන කෙනෙක්. ඒක බොහොම වෙලාවට
කාත්තාවමත් පිළිගන්නවා. ඒක හැර එයාලට විකල්පයක් නැති තරම්. අපි ලිබරල් කියල
කාන්තාවන්ම කියාගන්න අවස්ථාවලදිත් බොහොම වෙලාවට වෙන්නෙ ඇයට නොදැනීම තවත්
ලෙවල් එකක පිරිමි අවශ්‍යතාවයක් ඉටු කිරීමක්.
හැබැයි ඒ ඇත්තටම
කාන්තාවමද? ඇය හිතන විධියට ඇය කවුද? ඇයගේ ආසාව මොකක්ද? ඒව පැහැදිලි නැති
දේවල්. සරලවම ගත්තොත් කාන්තාව පැහැදිලිව නිර්වචනය කරන්න පිරිමි නිර්මාණය
කරපු භාෂාවකට බෑ. කාන්තාවගේ සාරය පිරිමි ඔළුවට අහුවෙන්නේ නෑ කියල කියන්නෙම
ඇගේ සාරය විස්තර කරන්න පිරිමි භාෂාවකට බැරි නිසා. ඒ නිසාම පිරිමි අපි හිතනව
කාත්තාවන්ට සාරයක් නැහැ කියල.
හැබැයි දැන් සියවසක විතර ඉඳන්
කාන්තාවන් ක්‍රමයෙන් තමන්ව ප්‍රකාශ කරන්න ඔවුන්ගේම භාෂාවක් නිර්මාණය
කරගනිමින් ඉන්නව. ඔවුන් ලෝකය තමන්ගෙ භාෂාවෙන් අර්ථ දක්වාගනිමින් ඉන්නවා. ඒ
නිසාම ඇය ස්වාධීන වෙමින්, පිරිමියාගේ බලපෑමෙන් මිදෙමින් ඉන්නවා. මේ අර
කලින් කියපු ලිබරල් එක නෙවෙයි.
බුකියෙ කීප වරක් ෂෙයා වෙනව දැකපු පෝස්ට් එකක් තියෙනවා.
'පිරිමින්ට මුදල් ලැබුණු විට ඔහු තම ගැහැණියට උපරිමයෙන් සලකයි
ගැහැණුන්ට මුදල් ලැබුණු විට පිරිමියකු අවශ්‍ය නොවන බව ඇයට වැටහෙයි'
මේක
බොහෝ දුරට ඇත්ත. ප්‍රශ්නය තමයි මේක දිහා අපි බලන්නෙ ශිෂ්ටාචාරය පුරාම
ගොඩනගාගෙන ආපු පිරිමි දැණුමින් වීම. ඒ නිසා මෙහෙම වෙන එක වස වැරැද්දක්ය,
සංස්කෘතිය විනාශ වීමක්ය, මිනිස් පැවැත්මට තර්ජනයක්ය වගේ ඒව තමයි එක පාරම
කෙනෙක්ගෙ ඔළුවට යන්නේ. නමුත් වැඩේ කියන්නෙ ඔය පෝස්ට් එකේ කියන තත්වය
උදාවෙලා තියෙන්නෙ කාත්තාව තමන්ගේ ලෝකය අර්ථ දක්වගන්න පටන් අරන් තිබීම නිසා
වීම. ඇය තමන්ගේ වාග් මාලාව අනුව, ඇගේ භාෂාවෙන් ලෝකය අර්ථ දක්වන්න පටන් අරන්
තියෙනවා. ඒ ලෝකයේදි ඇයට ඕන මුදල් වෙන්න පුළුවන්. පිරිමි නෙවෙයි වෙන්න
පුළුවන්. මුදල් කියන්නෙ මේ යුගයේදි ගැහැණු පිරිමි බේදයකින් තොරව යම් ආකාරයක
සතුටක් ලබාගන්න පුළුවන් ක්‍රමයක්. එහෙම නෙවෙයි කියන අය වෙනස් කරන්න
පුළුවන් මුදලේ ප්‍රමාණය මත. ඔබට ඕනෑ අසීමිතව මුදල්ද නැත්නම් ඔබටම ගැලපෙන
කාන්තාවක්ද කියන ප්‍රශ්ණය ආවොත් ඔබ දෙන උත්තරය මොකක්ද?
කාන්තාවගේ
පරම අරමුණ පිරිමියෙකුගේ ආදරය හරි මොකක් හරි ලැබීම කියන එක පිරිමි ඔළුවේ
අදහසක්. ඒක කාන්තාවගේ අදහස විය යුතුම නෑ. ඉතිං පිරිමියා පිළිබඳව කාන්තාව
තුල තියෙන අදහස වෙනස් වෙමින් තියෙනවා. ඉතිහාසය පුරාම කාන්තාව මත පටවපු
පිරිමි බලය දැන් ගිලිහෙමින් තියෙනවා. ඒකට ප්‍රතිචාර දක්වන්නත් අනිත් පැත්තට
තල්ලු කරන්නත් ඇය පටන් අරන් තියෙනවා. ඇය ස්වාධීන ජීවියෙක් වෙන්න පටන් අරන්
ඇයට ඕන විධියට ඇගේ ලෝකයට අර්ථ දෙමින් තියෙනවා.
මේ නිසාම මානව
සම්බන්ධතාවල විලාසය ඉදිරි අඩ සියවස වගේ කාලය ඇතුලත රුදුරු විදියට වෙනස්
වෙන්න නියමිතයි. රුදුරු කියල කියන්නෙ අපි උපකල්පනය නොකරන විදියකට. ඒකෙදි
අපි අද උත්තම තත්වයන්වල තියල සලකන සංස්කෘතිකමය දේවල් උඩු යටිකුරු වෙන්න ඉඩ
තියෙනවා.
ඒ වෙද්දි ගැහැණියගේ භාෂාව තේරුම්ගන්න පිරිමියාට පුළුවන්
වෙයි කියල අපට හිතන්න වෙනවා. මොකද මේ වෙද්දි ඒ භාෂාව තේරෙන්නෙ නැහැ
පිරිමින්ට. ඒ නිසාම මේ කාලෙ කාන්තාව තමන්ගේ භාෂාවෙන් ඇමතුවම හෝ ක්‍රියා
කලාම පිරිමි ගල් වෙනවා. මැරෙන්න යනවා සමහර විට යක්කු වෙනවා. මැරෙන තුරාවට
ඔබව පතාගෙන කියලා ටැටූ ගහනවා. තමන්ව අතෑරපු කෙල්ලව හොයන් ගිහින් කරදර
කරනවා. මරන්න වුණත් පෙළඹෙනවා. ඒ අර පිරිමි ආධිපත්‍ය අභියෝගයට ලක් වීම
නිසයි. කාන්තාව තමන්ට යටත්ව ඉන්න ඕන කියල හිතන පරණ පිරිමි ගතිය නිසයි. දැන්
ටික ටික මේ ධ්‍රැව මාරු වෙන්න අරන්. සමහර රටවල මේක අනිත් පැත්තටත් ගිහින්
ගැහැණු තනියෙන් ඉන්න උත්සාහ කරද්දි පිරිමි අය ජීවිත කාලෙම එකට ඉන්න ගැහැණු
හොයන් ආසියාවට එනවා කියලා අපේ මස්සිනා බන්දුෂා ළඟදි පාට්නර්ට කියල තිබුණා.
එහෙම මාරු වෙන්න පුළුවන් ඉතිං. කොහොම නමුත් ඉදිරියේදී යම් කාලෙක මේක
සෑහෙන්න සමතුලිත වෙයි. සමාජයේ සාරධර්ම කියන ඒවා වෙනස් වෙයි. වෙනස් වීම නතර
වෙන එකකුත් නෑ ඉතිං.
සමන්ගෙ පොතේ ඔය ධර්ම කතිකාව ඇති වෙන්නෙත් ඒ
අවුල විසඳගන්න ඕන නිසයි. තවමත් මම කියවල තියෙන සහ සමාජය තුල ප්‍රදර්ශනය වෙන
තත්වයන් මත තීරණය කළොත් කාන්තාවන්වත් එයාලගෙ භාෂාව හරියට අඳුරගෙන නෑ. ඒක
නිසා අපි පොදුවේ කියන්නේ කාන්තාවගේ ආසාව එයාලවත් දන්නෙ නෑ කියල. මම හිතන්නෙ
එයාලගේ ආසාව තේරුම්ගන්න ඕන කරන භාෂාව පිරිමි විසින් නිර්මාණය කරල නෑ. ඒ
නිසා පිරිමි භාෂාවක් ඇතුලේ ගැහැණුන්ගෙ ආසාව විස්තර කරන්න වචන නෑ. ඒ වචන
පිරිමින්ට හදන්න බෑ. ඒත් මේ වෙනකොට වෙනස ආරම්භ වෙලා තියෙනවා. භාෂාවෙන් කෙසේ
වෙතත් ක්‍රියාවන්වලින් ගැහැණිය පිරිමියාගේ ග්‍රහණයෙන් මිදෙමින් ඉන්නවා.
ඒ්ක භාෂාවෙන් තේරුම් ගන්න අපට සෑහෙන්න කාලයක් යයි.
පොතේ ඡේද අස්සේ
යටින් උඩින් සහ සමාන්තරව යන කොමඩික් ෆීලිං එක තමයි පොතට මාව රඳවපු සාධකය.
ඒක හිනාව හාස්‍යය නෙවෙයි. බකස් ගාල ගිහින් ඉවර වෙන හිනාවකට වඩා කට කොනකට
නැගෙන මන්දස්මිතියක් සෑහෙන්න කාලයක් රඳවල තියන හාස්‍යයක්. උපහාසයක්
අපහාසයක් සේරම එකතු වුන හැඟීමක්. ලංකාවෙ ස්ටෑන්ඩ් අප් කොමඩිවලට හිනා යන්නෙ
නෑ කියන මිනිස්සු ගොඩකට මේ වැඩේ කොහොම තේරෙයිද කියන අවුල මට ආවා ඉතිං. එයාල
කොහොමත් සමන්ව කියවනව වෙන්න බෑ.
පොතක් කියවීම කියන්නෙ ගනු දෙනුවක්.
පොත කියවීම සඳහා සන්තක කරගැනීමට දරණ වියදම හෝ වෑයම, කියවන්න වැය කරන කාලය
වගේ දේවලට සාපේක්ෂව පොත විසින් කියවන්නාට යමක් ලබා දෙන්න ඕන. ඒක
සංතෘෂ්ටියක්, දුකක් ආදී වෙන් කරගන්න පුළුවන් ඕනම හැඟීමක් හෝ කීපයක් වෙන්න
පුලුවන්. මේ පොතෙන් දැනෙන එකට එහෙම වචන නෑ. මංමුලා වෙලා යාම කිව්වොත් සමහර
විට හරි ඇති. හැබැයි රෑ වෙනකල් හිටියොත් එළියක් හොයාගන්න පුළුවන්. හදිසි
නම් ගහකට නගින්න පුළුවන්. ඒ දෙකටම ඔබට පුහුණුවක් ඕන.
අපිට ඇත්තක්
ඕන. පට්ට ඇත්ත කතා ජනප්‍රියයි. ඒත් ඇත්තත් සිහිනයක් අතර සිද්ද වෙන ගනුදෙනු
ටික වෙනුවෙන් ඉඩක් ඕන. ඒක උවමනා කෙනෙක්ට පොත හොඳට සෙට් වෙන්න පුළුවන්.
අපි
දකිනවා සමහර විචාරවලදිත්, බුකි හෑලිවලත් සමහර අය වටේ යනවා. සර්වජන
ෆේස්බුක් එකේ සමහර හෑලිවල තියෙන්නෙ "මම මේ වටේ යන්නේ. මැද මාර එකක්
තියෙනවා. ඒක මං දන්නවා හැබැයි කියන්නෙ නෑ" වගේ එකක්.
ඇත්තම ඇත්ත
හේතුව එයාලා මැද තියෙන එක මොකක්ද කියලා නොදන්න එක වෙන්න පුළුවන්. එහෙම
නැත්නම් ඇත්තටම මැද කිසි දෙයක් නැති වීම. මැද තියෙනවා කියන එකත් නිශ්චිත
නෑ. ඒ නිසා අපට තියෙන්නෙ තම තමන්ගේ භාෂා සහ අවබෝධතා ලෝකවල ඉඳන් මැද තියෙන
යමක් තේරුම් ගන්න දරණ උත්සාහ කිරීම විතරයි. මැද හෙණ එකක් තියෙනවා කියල ලොකු
හෑල්ලක් ලියාගෙන එද්දිම අපි තේරුම් ගන්න ඕන දේ තමයි ගොඩක් වෙලාවට එයා දන්න
ලබ්බක් නෑ කියන එක. ලියන හෝ කියන මනුස්සයා ගොඩනගන්න හිතලවත් නොතිබුණ
ඇත්තක් හෝ යථාර්ථයක් කියවන්නා විසින් හොයන්න යන එක තේරුමක් ඇති වැඩක්
නෙවෙයි.
අමතර -
අලියාගේ වෘෂණ කෝෂ හිසේ පිහිටා ඇති බව සහ අලියාට
අලි කන් ඇත්තේ ඒවා සිසිල් කිරීම සඳහා පවන් සැලීමට බව සමන් ලියා ඇතත් ඒ කතාව
බොරුවකි. එය සමන් සිතා මතා ලිව්වා වන්නටද බැරි නැත. වෘෂණ ශරීර අභ්‍යන්තරයේ
ඇති තවත් සතුන් සිටී. ඒත් තවමත් මේ වෘෂණ අලින්ගේ ශරීර අභ්‍යන්තරයේ
තිබෙන්නේ ඇයිද යන්න නොවිසඳුණ ගැටළුවකි. සමහරවිට අලි වෘෂණ ශරීර අභ්‍යන්තරයේ
පිහිටා ඇත්තෙ ඒවා වෙනත් සිවුපා ක්ෂීරපායීන්ගේ මෙන් බාහිරින් පිහිටා
තිබුණොත් අලියා වැනි බරසාර සත්වයෙකුට ඒවා කළමනාකරණය කරගැනීම දුෂ්කර නිසා
වන්නට පුළුවන්ය.
Showing posts with label women. Show all posts
Showing posts with label women. Show all posts
Tuesday, 4 July 2023
කේ.කේ. සමන් කුමාරගේ මාක්ස් ලයිව් ඉන් ශ්‍රී ලංකා පොත ගැන අදහස්
Tuesday, 8 May 2018
ඇගේ සාරය සොයා
අඩක් දැවී ගොස් ඇති දුම්වැටිය සිය සියොළඟම මා වෙත පූජා කරන්නට දැල්වී බලා හිඳී. විනාඩි කීපයකට මා ගත සිත තැතිගැන්මෙන් මුදවා සමාපත්තියකට ගෙන එන්නට දුම්වැටිය ජීවිතය පුදන්නේය.
මා හාත්පස අඳුරු බිත්ති අතර කිසිදු ආලෝකයක් නැති අඳුරකට මුහුණ දී හිඳිමි. වියළී පිළිස්සී අඟුරුව ගල් වී ගිය හදවත් කුහරයක පතුලේ මම දුම්වැටියේ ආලෝකය පමණක් ඇතිව බලා හිඳිමි.
ඇගේ ආදරයේ තවදුරටත් සාරයක් නොමැති බව වැටහුණු ඇසිල්ලේම සියොළඟම පිපිරී අවකාශයට විසිරී ගියේය. එකෙනෙහිම කළු කුහරයක් පරිද්දෙන් මාගේ ආදරයේ සියළු ස්කන්ධය හදවතට කැටිව මා ද එතුල සිර වී ඇත. ආදරයේ අධික ස්කන්ධයම මා ඉන් මුදවනු නොහී ඒ වෙත අල්ලා තබාගෙන ඇත. ආදරයට පවතින්නේ කිනම් ස්කන්ධයක්ද යන්න ආදරය සෙලවෙන තුරු කිසිවකුට වැටහෙන්නේ නැත. එහෙයින් මා තුල වූ ආදරය කළු කුහරයක් නිපදවන්නට තරම් විසල් වන බවක් කිසි විටක මට වැටහී තිබුනේ නැත. එහෙත් නොවිය යුතු දේම සිදුව ඇත.
ලිංගික ඇසුරක් තුල එක් උපරිමයකින් නැවතී එහි තෘප්තිය මොහොතක් විඳ ඇකිලෙන පිරිමින්ට ගැහැණියගේ සුරතාන්තයේ අනන්තය නොපෙනී ගොස් ඇත්තේ එලෙසින්මය. ඇය පිරිමියා ඉක්මවා සැරිසරන්නීය. ස්ථානීය සුවය සැපක් යැයි විශ්වාස කර එහි තැන්පත් වන්නට කැමති පිරිමින්ට නොවැටහෙන්නේ එය ය. ආදරයේ සාරය අහිමි වන තුරු පිරිමින්ට ආදරය වැටහෙන්නේ නැත. එය වැටහුණු විට පිරිමින් හිස් ලූ ලූ අත දුවමින් ආදරයේ සාරය සොයන්නට නිරර්ථකව වෙහෙසෙති.
ඇයගේ ආදරයේ සාරය ඇත්තේ ඈ තුලමය. එය කිසිදු පිරිමියකුට හිමි නොවේ. එය ඇයට පමණක් වැටහෙන, ඇයට පමණක් අයත් වන, පිරිමින් තමන් සතු යැයි රැවටෙන එහෙත් කිසිදා සදහට පිරිමියකු හට හිමි නොවන්නකි. ඇයගේ ආදරයේ සාරය සරුංගලයකි. එහි නූල නොකඩා තමන් අත තබාගැනීමට ගැහැණිය දක්ෂය.
මා සාරය අහිමි හදවතක් තුල තනිව ඇත්තෙමි. ඒ හදවත තව දුරටත් මා වෙනුවෙන් උද්දීපනය නොවේ. එය හැඟීයාමම බියකරුය. ජිවිතය බැලූ බැල්මට කෙතෙක් උද්දාමව පැවතියද ජීවිතය කැප කළ අරමුණ අහිමිව ඇති බව පසක් වීම මරණය තරම්ම බියකරුය.
ඇගේ ආදරයේ සාරය කොහිද? ඒ සොයන්නට යාම ම මා විසින් ඈ වෙත දරනා ආදරයට කරන පිටුපෑමකි. මගේ ආදරය මා කෙරෙන් ඈ වෙත කොන්දේසි විරහිතව විහිදෙන්නකි. එය සජීවී අජීවී සියල්ලට හිරු රැසක් මෙන් සමව විහිදෙන්නක් වී ආත්මාර්ථකාමීව නොතිබුණේ නම් ප්‍රතිපලය අමතක කර වඩාත් උත්තම තැනක රැඳෙන්නට මට අවකාශ තිබුණි. එහෙත් මා උත්තම නැති ආත්මාර්ථකාමී මනුස්සයෙකි. එහෙයින් ඇගේ ආදරය නැවත මා වෙත විහිදෙන්නේද යන්න සියුම්ව නිරීක්ෂණය කිරීමේ පිරිමි ගොන්කම මම කරමි. ඇගේ ආදරය ඇත්තටම කොහිද? එහි සාරය මවෙතින් ඉවත්ව රැඳී ඇත්තේ කොහිද? නොඑසේනම් ඇගේ ආදරය එහි සාරය කිසි කලෙක මා වෙත හිමි නොවූ, ආදරයේ නාමයෙන් සිදු කල එදිනෙදා වතාවත් සහ ක්‍රියාවන් පමණක්ව පැවති මායාවක් පමණක්ද?
ඇගේ ආදරයේ සාරය කොහිද? එය ඈ කැමති තැනකය. ඇගේ කැමැත්ත තුල ඇයට සතුටක් ලැබෙයි නම් නැවත සාරය සොයමින් වල්මත් වීමෙන් කිසිදු ප්‍රතිඵලයක් ලැබෙන්නේ නැත. සාරය අහිමි බුලත් විටක් මෙන් හපයක් වීමට සූදානමින් විකල්ප සෙවිය යුතුය. නැත්නම් මිය යා යුතුය. නොඑසේ නම් මල් උයන්, මත් ලැගුම්, තරු, සඳු, දේදුණු, වැසි, හිම රැඳුණු ඇගේ දිනයක අවසානයේ මේ කුටියේ ඇඳ මත ඇයගේ හුදෙක් වල්ලභයා ධුරය නොසිතාම භාර ගත යුතුය.
දුම්වැටිය නිවෙන්නට පෙර මම තවත් දුම් වැටියක් දල්වමි. එහි මඳ ආලෝකය අැය නික්ම ගොස් ඉතිරිව ඇති හිස්කම පමණක් නැවත නැවතත් පෙන්වමින් සිත පුළුස්සා දමයි.
ඒ හිස්කම නැවත නැවතත් දකින්නට අකමැත්තෙන් දුම්වැටියකුදු නොදල්වා මේ පාලුව ගෙවා දැමිය නොහැක. විකල්ප මහත් තරමක් නැත. මේ පාලු ගැඹුරේ මත්ව මෙහිම මිය යාමද, ඇගේ හදවතට ඈ හිත්ගත් කලාපයක නැවත පොපියන්නට ඉඩ දී නික්ම යාමද, තවමත් වචනයේ පරිසමාප්ත අර්ථයෙන් බලගැන්වී ඇති ආදරය දරාගෙන රැඳී සිටීමද, නැතිනම් වඩා සාධනීය අවසානයක් වෙනුවෙන් කාලයට තවත් ඉඩ දීමද මා වෙත ඉතිරිව ඇති විකල්ප ය.
එහෙත් තීරණය ගන්නට නොහැකි දහසක් හේතු හිස මත හොවා මම හැකිලී හිඳිමි. එහෙයින් දැනට අඳුරේ ගැලී පැවතීම මිස අන් විකල්පයක් මට නැත. ආදරය ප්‍රබලවත්ම එහි වියෝවද ප්‍රබලය. අඳුරුය.
ගැහැණිය සතුව සාරයක් ඇතැයි පිරිමින් එය සොයන්නට යයි. ජීවිතය උහතෝකෝටික කරගනී. එහෙත් ගැහැණියගේ සාරය ඇයද නොදන්නා එකක් බවට කිසිදු සැකයක් නැත. ඇයට එය වගක් නැත. එහෙයින් ඈ සියල්ලට විවෘතය. සියල්ල දරාගන්නට මහා ලොකු වෑයමක් ඇයට අවශ්‍ය නැත. ගැහැණිය දුහුල් යැයි සිතන්නට පිරිමින් කැමති වුවද ගැහැණියගේ දෘඩ බව හමුවේ පිරිමින් පිදුරු ගසකට දෙවෙනි නැත. එහෙත් පිරිමි ලෝකය තුල ගැහැණියගේ අර්ථ දැක්වීම සහමුලින්ම වෙනස්ය. ඒ අර්ථ දැක්වීම තුල රැඳෙන්නට ගැහැණුන් කැමති වන තාක් පිරිමින්ට පාටි දැමිය හැක. හිත වියලා දැමීමට ඉන් පසු පිරිමි ඉගෙන ගනු ඇත.
මම තවත් දුම්වැටියක් දල්වමි. හාත්පස අඳුරට ඉන් එලියක් නැත.
Wednesday, 14 March 2018
නිහඬවම...
කවුළුවේ කම්බි කූරු අතරින්
ඇදී එන හඳ එළියට
මුහුණේ රටා මවන්නට ඉඩ දී
ඉර බැහැපු රාත්‍රියක
වැතිරී හිඳියි ඇය
ඈත ඒ තරු දෙස බලා
ඇය හෙලන සුසුම්
නොදැනෙන තරමට
ඈත්ව ගොස් ඇත ඔහු
අනුකම්පාවක යදම් බිඳ
ඒ සිර මැදිරියෙන් මිදී
පලා යන්නට එපිට ලෝකෙට
හිතේ වීරිය නැතිව
තනිව හඬයි ඇය
ඇගේ කම්මුලක ගලා යන
කඳුළු බිඳු දැන ඒ පිසින්නට
ඉඩ නොදෙන ආත්මාර්ථ හිතින්
ගොළු වී හිඳියි ඔහු
Saturday, 11 October 2014
තාරා මගේත් දෙව් දුව
තාරා යනු කවුදැයි මා දන්නෙ නැත. එය සෙවීමටද උවමනාවක් මට නැත. එහෙත් සිත පැහැරගත් විජේමාන්නයන්ගේ තාරා ගැන බිඳක් ලියන්නට උවමනාය.
යුද්ධය හා උදාව ඇති එහි පශ්චාත් තත්ත්වයන් ගැටළු සියල්ලට විසඳුමක්ද යන්න ගැන විජේමාන්නයන් ප්‍රශ්ණ කරයි. එයට කිසිවකු පිළිතුරු නොදෙන බව දැන දැනම ඔහු එම ප්‍රශ්ණය නගයි. ඇත්තෙන්ම ඔහු පිළිතුර දනී. එක් පිරිසක් විජයග්‍රහණයෙන් උද්දාමව ජයපැන් බොන ඇසිල්ලේ තාරා සදහටම නික්ම යවන්නේ එහෙයිනි. ඇයට කල හැකි කිසිවක් නැත. හුදු සෞන්දර්යවාදී සාහිත්‍ය ලෝලීන් පිරිසක් මනෝ ප්‍රහර්ෂයට ලක් කරනු හැර තාරාට කරන්නට යමක් ඉතිරිව නැත.
තාරා ලංකීය සාහිත්‍යයේ පවතින තැන එතරම් ඉහල නොවිය හැක. ඉහත කී ප්‍රශ්ණ නැගීම හැර ඉන් එපිට දේශපාලනීය මැදිහත්වීමක්ද ඉන් සිදුවන බවක නොපෙනේ. සරාංශය ගත්විට එහි එතරම් ගත යුත්තක් ඇති බවක්ද නොදැණේ.
එහෙත් එය විශිෂ්ට ලිවීමක් බව කිව යුතුය.
එසේ කිව හැක්කේ මන්ද යන්න නැවතත් සිත අවදි කල යුතු කරුණකි. විජේමාන්නයන්ගේ වාග් කෞෂල්‍ය වෙනදා මෙන්ම ලගන්නා සුළුය. අන් කිසිදු කරුණකින් තොරව වුවද තාරා විශිෂ්ට ලිවීමක් ලෙස දැණෙන්නේ එබැවිනි.
තාරා අවදි කරන්නේ මාගේ කාන්සාමය මතකයන්ය යන්න ප්‍රතික්ෂේප කල නොහැකි සත්‍යයකි. පැරණි ප්‍රේමයන් සම්බන්ධ එම මතකයන් බොහොමයක් අමතකවන්නට ඉඩ දී ඇත. එහෙත් මීදුමත්, කඳු වැටිත්, තේ වතුත්, සීතලත් කැටිවුණ මතකයන් කිසිදා අමතක වන්නට ඉඩක් නැත. එම තෙත් මතකයන්ගෙන් තොරව වුවද අතීත සුන්දර සිහිනයක් සැබෑ ජීවිතය තුල විඳින්නට අකමැති අයෙක් වේද?
තාරා පැහැරගන්නේ ඔබේ ඒ ආශාවයි.
ප්‍රියංගා යනු එම සිහිනය සැබෑව තුලද සිහිනයක් පමණක්ව විඳින්නට භාණුක බැඳ දමන්නියයි. ඇය භාණුකගේ බිරිඳව නොසිටියානම් මෙහි කියන්නට කතාවක් නැත. මන්ද ප්‍රියංගා නොවන්නට තාරා හා භාණුක දරුවන්ද පිරිවරා ගෙවන ඒකමිතික ජීවිතයක් අරඹන්නට ඉඩ ඇති බැවිනි. එහෙත් ප්‍රියංගා භාණුක ලිහා දැමිය යුතු වපරිසය දනී. මෙම තුන්කොන් ප්‍රේමය තුල ඇගේ චරිතය මා හට අභව්‍ය බව දැනෙන්නේ එහෙයිනි. නොඑසේ නම් ඇය තාරාටත් ඉදිරියෙන් රැඩිකල්ය. අවබෝධශීලීය. එවන් ගැහැණුන් සැබෑ ලොවේ සිටීදැයි මම නොදනිමි.
ගොඩගත් තාරා මා තෙහෙට්ටු කරවන්නීය. ඇය මාගේ මනසේ රූපගත කිරීම මට අපහසුය. මන්ද විජේමාන්නයන්ගේ තාරාට සම කර හැකි රුවක් මා අතීතයේද වර්තමානයේද දැක නැත. එය සිතින් මවාගන්නටද මා අපොහොසත්ය. නැතිනම් මා උවමනාවට වඩා ක්ෂුද්‍ර ලක්ෂණ ගැන උනන්දු වනවා වන්නට පුළුවන.
කෙසේ වුවද මට තාරා දෙව් දුවක් ලෙසම සිටින්නට අවශ්‍යය.
මට ඈ නැවත වලදමන්නට උවමනාය.

Saturday, 29 September 2012
ගැහැණු අදාල කරගැනීම
ගැහැණුන් කියන බොහොමයක් දේවල් වලට පිරිමින් එකඟ වෙන බව පෙන්නුවත් ඇත්තටම ගැහැණු සම්බන්ධ සුළු කාරණා කීපයක් ඇරුණම එයාල සම්බන්ධව වෙනත් කිසිම දෙයක් පිරිමින්ට අදාල නෑ. ඇත්තම කිව්වොත් විශේෂයක් නෑ. ගැහැණු සම්බන්ධව එයාල මොනව කරගත්තත් ඒක පිරිමින්ට ප්‍රශ්ණයක් නෙවෙයි. පිරිමින්ට උවමනා වෙන්නෙ තමන්ට අදාල ටික ගැහැණු අතින් ඒ විධියට සිද්ධ වෙන එක විතරයි.
අවුරුදු කීපෙකට කලින් මගේ මිත්‍රයා සංජීව එයාගෙ බිරින්දෑ එක්ක ආපු වෙලේ අපි ගැහුවා සුපුරුදු පරිදි ටවුම වටේ පොඩි රවුමක්. ඒක අපේ යාළුවො සෙට් එක එකතු වුණාම පුරාණෙ ඉඳන් කරගෙන ආපු සාමාන්‍ය වල බැහිල්ලක්. මේ පාර සංජීවගෙ බිරින්දෑ ෂානිකා එක්ක මංජුලගෙ ගෑණු ළමයත් අපට එකතු වුණා.
ටවුමෙ මැදදි ගෑණු ළමයින්ට ඕන වුණා ෂොපිං කරන්න. පිරිමි අපිනං කවදාවත් එහෙම සෙට් වුණාම ෂොපිං කරන සිරිතක් තිබුණෙ නෑ. අපි වැඩිම වුණොත් පකඩ හෝ කඩල ටිකක්, වඩේ කීපයක් අරන් හප හප යයි. ඒ වුණාට මෙදා පාර ඒක වුණේ එහෙම. ගෑණු අයට ෂොපිං කරන්න යන්න දෙන එක කල යුතු වැඩක් වුණා. ඉතිං කාන්තාවො ෂොපිං කරල එනකල් අපි කඩේ එලියට වෙලා කදයක් දැම්මා.
ඒ වෙනකොට මට ආපු ප්‍රශ්ණෙ කාන්තාවොත් එක්ක ෂොපිං කිරීමේ ගැටළුවට මූණ දෙන්නෙ කොහොමද කියන එක. ඒ වෙනකොට පවුල් ජීවිතේ අත්දැකීම් තිබුණ සංජීවගෙ උත්තරේ හරිම සරළයි.
"ඕන එකක් ලස්සනයි කිව්වම වැඩේ ඉවරයි. දවසක් මායි ගෑණියි ඇඳුම් ගන්න ගියාම එයා එකක් තේරුවම ඒක හොඳ නෑ කියල මම කිව්ව කියල මාර ප්‍රශ්ණයක් වුණේ.. එදා ඉඳන් මම එකක්වත් හොඳ නෑ කියන්නෙ නෑ... ඇත්තටම උන්ට කැමති එකක් කරගත්තට අපිට ඒක අදාලම නෑනෙ බං... මට අදාල වෙන ටික හරියට තියෙනකල් පවුල් අවුලක් වෙන්නෙ නෑ..."
මේක සාමාන්‍යයෙන් හැමවෙලේම වගේ ඇත්තක්. පිරිමි අය ගැහැණු අයවත් ගැහැණු අය පිරිමි අයවත් ඔහොම පොඩ්ඩක් රවට්ටනවා... ඒක එකිනෙකාට නොකියා ඉන්න තාක් කිසි ප්‍රශ්ණයක් නැතිව වැඩේ වෙයි... කිව්වොත් වෙන්නෙ මෙහෙම රෑ තිස්සෙ ඇහැරගෙන අකුරු කොටන්න.
කාන්තාව රවට්ටන්නෙ නැතිව බොහොම තදින් ඇයට ඇත්තම කියලා ජීවිතේ ගැඹුරු තැන් ස්පර්ශ කරගෙන ආදරේ කියන සංකල්පය ඇතුලෙ පවතින එක මාර අමාරුයි. එහෙම වෙන්න තියෙන නොහැකියාව ගැන මට හොඳ අත්දැකීම් තියෙන නිසා අන්තිමේ මම තීරණය කළේ ආදරේ කියන්නෙ සංස්කෘතික මරිසියක් කියල.
අර චාමින්දගෙ වචන ටික නදීකගෙ ගිටාර් කෑලි අස්සෙ කසුන් කියල දාන්නෙ නියමෙට...

Tuesday, 21 June 2011
කණේ වැටුණු එදිනෙදා කතාවක්!
මෙය කාර්යාලයේ දහවල් කෑම පැයේදී මතුවී පැමිණි එදිනෙදා කතාවක් මතින් හටගත් අදහසක් වන අතර කිසි සේත්ම සීරියස් නැති තවත් කතාවකි.
මාස කීපයකට පෙර මාගේ කාර්යාලීය මිතුරා උතුම් වූ පීතෘත්වය ලැබීය. ඔහු විසින් නිතර දෙඩීමේ යෙදෙන ඔහුගේ කුඩා දියණියගේ දඟකාරකම් දහවල් කෑම පැයේදී අප තුටු කරවන අංගයක් වෙමින් පවතී. අද දින ආහාර ගන්නා අතරතුර මා මිතුරා පැවසූවේ තව මසකින් පමණ දියණියගේ කණ් විදීමට අවශ්‍ය බවයි.
මම එයට එක හෙලා විරුද්ධ වීමි.
"ඒකි ලොකු වෙලා එයාටම ඕන කියල හිතුණොත් එයා විදගනියි."
මම කීවෙමි.
"ලොකු වුණාම විදින්න අමාරුයිනෙ. එතකොට වේදනාව වැඩියි."
"ඒ වුණාට එයාට ඕන නිසානෙ එතකොට විදගන්නේ..."
මිතුරා මා දෙස අවඥ්ඥා සහගත බැල්මක් හෙලීය.
"උඹ ඔය කියන එක ප්‍රායෝගික නෑ මචන්..."
ඔහු කීය.
"උඹල ඔය ඉන්න හීන ලෝක වල දේවල් හැබෑ ලෝකෙ කරන්න බෑ බං..."
ඒ ඔහුගේ බැල්ම තුල ගම්‍ය වූ ඔහු නොකී දේ ය.
ලබන මස ඔහු තම දියණියගේ කන් පෙති සිදුරු කිරීමට වග කියනු ඇත.
ලංකාවේ ගැහැණිය ගැහැණියක් කිරීම ඇරඹෙන්නේ එලෙසය.
මෙය අළුත් මාතෘකාවක් නොවේ.
වසර දොළහකට පමණ පෙර මා ඇතුළු එවක පාසල් අවදියේ හුන් මිතුරන් කීප දෙනෙකුගේම මොළයේ සාම්ප්‍රදායික මළකඩ සෝදා හරින ලද සඟරාවක කුඩා දියණියන්ගේ කන් විදීමේ අර්බුදය ගැන ලිපි කීපයක් පලවී තිබිණ. දැන් ඒවා මතකයට නැගෙන්නේ නැතත් බොහෝ ගැඹුරු දාර්ශණික හේතු සහ කාරණා සපයමින් අදාල කන් විදීමේ කටයුත්ත ගැහැණියට ස්ත්‍රීත්වය එබ්බවීමේ පුරුෂ ක්‍රියාවලියේ ආරම්භක අවස්ථාවක් ලෙස එහි විස්තර වී තිබුණි.
එකල වචනාර්ථයේ රැඩිකල් චින්තන සංකල්පයේ බැස හුන් අප එම අදහස් හිස් මුදුණින් ගෙන මහා සොයාගැනීමක් සේ සාකච්ඡා කල අයුරු මට මතකය.
ගැහැණිය සහ පිරිමියා යනුවෙන් මානසිකවම වෙන් කිරීමේ කටයුත්තට අත් පොත් තැබෙන්නේ දියණියන්ගේ කන් පෙති සිදුරු කිරීමෙනි. බොහෝ විට මෙය සිදු කිරීමට තීරණය කරන පියවරුන් ඉන්දියාවේ කාන්තාවන් විසින් සිදු කරන සති පූජාව පිළිබඳව උණුසුම් ලෙයින් ප්‍රකෝපිත වන්නවුන්ය. තමන්ගෙ දියණියට කිසිදු අනතුරක් සිදුවන්නට ඉඩ නොදෙමැයි සිතින් ගිවිස ගන්නා මව සහ පියා යන වධකයින් දෙදෙනා විසින්ම තම දියණියගේ කඳුලු දකිමින් ඇයගේ දෙකන් පෙති විද දමයි. එහෙත් එය සාධාරණය. මන්ද එළොවටත් මෙළොවටත් දෙළොවටම නැති අතරමැදියකු ලෙස තම දියණිය වැඩෙනවා දකින්නට දෙමාපියන් අකමැති බැවිණි.
මා හට ඇති ගැටළුව වන්නේද එයයි. දෙකන් පෙති නොවිදි ගැහැණු දරුවකු වර්ධනය වීමේදී අන් ගැහැණු ළමුන් අතර ඇයගේ පැවැත්මේ වෙනස ඇයට කෙසේ බලපානු ඇත්ද? ඇගේ කන් පෙති නොවිදීම පිළිබඳ ඇගේ මිතුරියනුත්, ගුරුවරියනුත් ඇයව මුළුගත කිරීමට ඉඩ ඇත. නිවස අවට වෙසෙන්නන් ඇයව අමුතු සත්ත්වයෙක් ලෙස දකින්නට ඉඩ ඇත. ඥාතීන් අතර ඇය අවපස ලෙස සුවිශේෂ වනු ඇත. ඇය නිතර ඇයගේ අඩුවක් ගැන සිතමින් සිටින්නියක් වනු ඇත. එවිට ඇයට විසඳුමක් ලෙස ස්ව කැමැත්තෙන්ම කන් පෙති විදගැනීමට උවමනා වනු ඇත. එය අතිශය වේදනාකාරී දෙයක් වන නිසාම ඇය තම දෙමාපියන්ට ශාප කරනු ඇත.
"අනේ ඔයාලගෙ කෙහෙල්මල් ආදරේ.... පුංචි කාලෙදිම මගේ කන් විද්දනම් ඉවරයිනේ...."
කඳුළු පිරි දෙනෙතින් ඇය නගන්නට ඉඩ ඇති මැසිවිල්ල එසේ නොවනු ඇතැයි කිව හැකිද?
දෙමාපියන් සැලිකිලිමත් වීමට අවශ්‍ය වනුයේ එය පමණක්ම නොවේද?
සියල්ලටම වඩා බියකරු සාධකය වනු ඇත්තේ ඇයගේ ස්ත්‍රීත්වයේ උවමනාවන් සහ ලක්ෂණයන්ද මෙකී කන් නොවිදීමේ අඩුව නිසා ඇයට අහිමි වන්නට හැකිද යන්නයි. එනම් ඇය පිරිමියකු ලෙස දැණෙන ගැහැණියක වේද යන්නයි. එය පිළිබඳව කීමට තරම් ඒ සම්බන්ධ දැනුමක් මට නොමැති බැවින් එම අවස්ථාව විශ්ලේෂණය කරගැනීම ඔබට බාරය. කන් නොවිදි ගැහැණු දරුවකුගේ මානසික ලිංගිකත්වය ඒ හේතුව නිසාම වෙනස් වන්නට ඉඩ තිබේද?
මට සිතෙන්නේ එසේ වීමට හැකියාවක් නම් නැති වග වුවත් දියණියන්ගෙ කන් පෙති විදින්නට පෙරුම් පුරන පියවරුන්ට නම් එය එසේ වනු ඇතැයි සිතීම වාසි සහගතය.
එසේ වුවත් මා පවසන්නේ සිය දියණියගේ සිඟිති කන් පෙත්ත සිදුරු කරන්නට පළමු සෑම දෙමාපියෙක් විසින්ම සිය කණ් පෙත්ත සිදුරු කරවා ගැනීමට උත්සාහයක් ගත යුතු බවය. නොඑසේ නම් කණ් විදීම යනු දරුවන් ආයෝජනයක් ලෙස දැකීමේම තවත් එක් පැත්තක්ද යන්න පිළිබඳව නැවත සිත අවදි කල යුතු බවය.
සියල්ල අවසානයේ කීමට තවත් යමක් ඇත. මේ සටහන ලියවෙන්නේ දිනක් තුල දෙවතාවක් මා ගැහැණු දරුවන්ගේ කන් පෙති සිදුරු කිරීමේ මානුෂික වෘතය පිළිබඳ සිත් පහල කල බැවිණි.
පාසල් අවදියේ මා හා එක්ව පෙර කී රැඩිකල්මය නොයෙක් දේ හදාල සහ ඒ පිළිබඳව කථා කල මා මිතුරෙක් සිය දරු දෙදෙනාත් බිරිඳක් කැටුව අද දින මට සම්මුඛ විය. එකල ඔහු තමා දිනෙක දියණියකගේ පියෙකු වූ විටෙක කිසි කලෙකවත් ඇගේ කන් පෙති නොවිදින බවට කැඩ කැඩූවකු වූ අතර මෙකල ඔහු වසරකට මදක් වැඩි වයසැති කන් පෙති විදින ලද දියණියක් කරපින්නාගෙන සිටියේය.
Friday, 26 November 2010
ස්ත්‍රීන් නැති හෙටක්!
අසභ්‍ය වෙබ් අඩවි තහනම් කරල, පෙම්වතුන්ව පන්නල දාල, අම්මලට සාරි අන්දල, අක්කලට ඔසරි අන්දල, නංගිලට ළමා සාරි අන්දල, අබිසරුලියන් කූඩුවල දාල රටම සුද්ද කලත් කාන්තාවන්ට තිබුණ ලිංගික බලහත්කාරකමේ ප්‍රශ්ණ නැවතුණේ නෑ...
සංස්කෘතියයි, සභ්‍යත්වයයි, දේශීයත්වයයි, අපේකමයි, සිංහලකමයි, දෙමළකමයි, මුස්ලිම්කමයි, වෙස්ටන්කමයි අරවයි මේවයි මොකකවත් වෙනසක් වුණෙත් නෑ...
පත්තරවල හැමදාම ස්ත්‍රීන්ගේ පතිවෘත්තාව සිඳුණ කතා පල වුණා. සංස්කෘතිය, සභ්‍යත්වය වගේ ඉස්සෙල්ල කියපු සෙට් එකටම කෙලවගත්තු ප්‍රවෘත්ති හැමදාම පල වුණා.
දවසේ වැරැද්ද කොපි කරපු හැම ටීවී චැනල් එකේම දවසේ වැරද්ද කිය කිය පෙන්නන්න කාන්තා ප්‍රශ්ණයකුත් තිබුණා. අදාල නිව්ස් එකට මුල් වුණ කාන්තාවගේ හත්මුතු පරම්පරාවගේම අලගිය මුලගිය තැන් හොයමින් රබර් වෙවී නිව්ස් අයිටම් ගියා. ප්‍රවෘත්ති නිවේදකයො කම්මුල් වල අත් තියාගෙන දුක් වුණා. නිවේදිකාවො හොටු පෙර පෙර ඇඬුවා.
ඔහොම කාලයක් යද්දි කාන්තාවගේ ප්‍රශ්ණය කාන්තාවමයි කියල දොදොල් මූණක් තියෙන ලොක්කෙක් හොයාගත්ත.
ඉක්මනටම ඒක රටේ තියෙන ලොකුම ප්‍රශ්ණය වුණා. ටීවීවලින් ලොකු බඩවල් තිබුණ සුදු රෙද්දයි කෝට් එකයි ඇඳගත්තු පිරිමි හිටු කියලා කාන්තාවන්ට දෙහි කැපුවා. මනස්කාන්ත, අයස්කාන්ත, තරුණ, කඩවසම් නිවේදකවරු තම තමන්ගෙ ගැඹුරු, දාර්ශණික, විධග්ග වචන මාලාව දාල මේ සොයාගැනීමේ හිස්තැන් පිරෙව්වා. මේක ඊළඟ අවුරුද්දෙ නොබෙල් තෑග්ග දෙන්න වටින සොයාගැනීමක් කියල දේශපාලන විචාරකයො උදේ හවා ජප කලා.
අහා!චාර්යවරු, මහාචාර්යවරු, මනෝවිශ්ලේෂකවරු මේ නව සොයාගැනීම මනෝ විද්‍යාත්මකව, රසායන විද්‍යාත්මකව, අභ්‍යවකාශ විද්‍යාත්මකව සහ නිකං විද්‍යාත්මකව, විශ්ලේෂණාත්මකව, පච්චාත් පශ්චාත් නූතනවාදීව, ව්‍යවහාරික ගණිතමයව විග්‍රහ කලා. ජෝතීර්වේදීල කුජ, බුධ, ගුරු, එක්ක ශුක්‍රත් ගාවගෙන මදිපාඩුවට කුයිපර් පටියත් අස්සට දාගෙන මේ නව ප්‍රවණතාවයට ජෝතිර්වේදී පැහැදිලිකිරීම් කලා.
රේඩියෝවල හැමදාම පාන්දරට මලකඩ හඬවල් යටිගිරියෙන් බෙරිහන් දීල කාන්තාවන් සංකල්පීයව අතුගාල දැම්මා.
පත්තරවල කාන්තාවන්ගෙ පින්තූරයක්වත් පල වුණේ නෑ. රේඩියෝ වල කාන්තා හඬවල් යන්ත්‍රානුසාරයෙන් පිරිමි බවට පත්කරා.
ටීවී වල තිබුණෙම කොටු විතරයි.
ඇඟේ මස්රොදක් නැතිව ඇට ගැහුණු මිනිස්සු රොත්තක් කාන්තාවට එරෙහිව කොඩි, බෝඩ් උස්සන් පෙලපාලි ගියා.
බ්ලොග්කාරයො දෙපැත්තකට බෙදිලා පරම්පරාවල් සිහි කලා. සමාජ ජාල අඩවි වලට ගිහින් පොඩි කොල්ලො අළුත් කුණුහරුප ඉගෙනගත්තා.
කාන්තාව කොටස් වශයෙන් තහනම් වුණා. කාන්තාව අප්‍රසිද්ධ වස්තුවක් වුණා. ප්‍රසිද්ධියේ කාන්තාබව නිරූපණය කිරීම මත කාන්තාවො හත්අටදෙනෙක් ගෝනි වලින් වහල උසාවි ගෙනිච්චා.
කාන්තාව කැබලිකර වහල දැම්මා..
අන්තිමේ කාන්තාවො සර්වාංගෙම ලෝගු පුරවගත්තා.
දැන්වීම්වල, ටෙලිවල, චිත්තරපටිවල කාන්තාවන්ට රඟපාන්න වුණෙත් පිරිමින්ට!
දැන් පිරිමින්ට කාන්තා අවස්ථා ඇවිත්. පිරිමි තරගෙට කාන්තාවො වෙන්නයි උත්සාහෙ.
පිරිමින්ගෙ රුව වඩවන ආලේපන වැහි වැහැලා. කලින් තිබුණ ජාති සේරගෙම ‘වොමෙන්’ කියල තිබුණ තැන් වල ‘වො’ කපල ‘මෙන්’ ඉතිරි කලා.
දැන් කාන්තා විලාසය ඇති පිරිමින්ට රජ මගුල්!
----------------------------
පින්තූරෙට අනුග්‍රහය - http://www.imagesofceylon.com/
Monday, 18 October 2010
ආදරයක් වෙනුවෙන්… සතුටින් ඉතිරී..
අපි පන්තිය අවසන් වෙලා හෙමින් හෙමින් පාර දිගේ ගියේ එදා දවසෙ ඉස්කෝලෙදි වුණ සිදුවීම් ගැන කතාවක් එක්ක. පන්තියට ආපු එක එක ඉස්කෝල වල ළමයි අතරෙ ඈත් ඇගේ යෙහෙළියන් කණ්ඩායමත් අපට ඉදිරියෙන් යමින් හිටිය. ඉස්කෝලෙ ඇඳුම් වලට දෙගුණ වුණ සුන්දරත්වයක් එක්ක උන් හිනා වුණේ පිටිපස්ස බලමින් අපි ගැන කතා කරමින් කියල අපට තේරුණ.
මම හිටියෙ මට පිටුපාගෙන ඉදිරියෙන් යමින් හිටපු ඈ දෙස බලාගෙන... තව වංගු දෙකක් පහුවුණ ගමන් ඇයටත් මටත් තනිව කතාකරන්න තියෙන දේවල් ගැන හිතමින්... හැමදාම වගේ කියන්න ඕන කියලා හිතාගෙන එන දේවල් මට අදත් අමකත වෙන්න අරන්. ඊයෙ රෑ කරුණු විධියට මතක තියාගත්තු එකක්වත් දැන් මට මතක නෑ...
මම ඇගේ මිතුරියන් දිහා බලන්න ගත්තා... කෙලිලොල් වියේ යෞවනය තමයි ඔය...
ඇගේ මිතුරියන් සියළු දෙනාට පෙම්වතුන් හිටිය නිර්මලීට හැර...
මගේ වම්පසින් ගමන්ගත්තු සංජුල හැර මගේ අනෙක් මිතුරන් හැමෝමත් පෙම්සුව විඳිමින් හිටිය එක එක මට්ටම්වලින්...
“සංජු උඹට අරය ගැන මුකුත්ම හිතෙන්නෙ නැද්ද බං?”
මම නිර්මලීව පෙන්නල සංජුට තට්ටුවක් දාල ඇහුවා...
“අනේ බං මම කවදාවත් එයා ගැන හිතල නෑ...”
“උඹට හිතුණ දවසක කියහං. ඒකි හොඳ කෙල්ලක්...”
එතනින් පස්සෙ අපි වෙන්වෙන හන්දියට යනකල් අපි අතරෙ කතාවක් ඇති වුණේ නෑ... යාළුවෝ සේරම එක පැත්තට වෙන්වුණා... මමයි ඇයයි අපි යන පාරට වැටුණා...
සති කීපයක් ගෙවුණා. ආයෙත් අපට පන්ති තියෙන දවසක්... ඉස්කෝලෙදි සංජු මට කිට්ටු වුණා...
“හර්ෂ, මචං අරයට කොල්ලෙක් නැද්ද ඇත්තටම?”
කොල්ල ඇහුවෙ හෙණ ලැජ්ජාවෙන් වගේ...
“උඹට එයා ගැන හිතුණද අන්තිමේදි....? නෑ.. නෑ... මම දන්න තරමින් අහලකවත් නෑ... මොකද උන් සෙට් එකේ සංගමේ අනුමැතිය අනුව තමයි කොල්ලො approve වෙන්නේ... ඉතිං ඉන්නවනං මම දන්නවා...”
“උඹ කතා කරල බලනවද උඹේ එක්කෙනා එක්ක?”
“හරි මම කතා කරන්නම්... ඒත් ඉතිං ඒක උඹ ඒකිගෙන්ම ඇහුවනම් ඉවරයි...”
“ඉස්සෙල්ල හොයල බලමු”
සංජු මගේ බයිසිකලේ ගත්තා... මම නැග්ග ඒකෙ බාර් එකට... මාවත් දාගෙන සංජුවා පැද්දා නිර්මලී ගෙදර යන පාර දිගේ... එයා එයාගෙ ලැසි ගමනින් හෙමින් හෙමින් යමින් හිටිය. සංජු එයා ගාවදි බයිසිකලේ තිරිංග තද කලා...
“ඔයාගෙ ජීවිතේට වසන්තය ඇවිත් තියෙනවද නිර්මලී”
මම කෑ ගැහුවා... නිර්මලී බය වෙලා වගේ... අපි දිහා බලාගෙන පාර මැද ගල් පිළිමයක් වෙලා...
“ඔන්න මම වසන්තය අරන් ආවා”
සංජු බයිසිකලේ මගෙ අතට දීල නිර්මලී ගාවට ගියා... මම උන් දෙන්නට යන්න දීල පැත්තකට වුණා...
ඊට පස්සෙ ගෙවුණෙ අවුරුදු කල්පයක් තරම් දිග කාලයක්... ඒ කාලෙදි වරින් වර කොළඹ රොටරියෙදි සක්‍යා සහ නුගේගොඩ ගම්සභා හන්දියෙන් හැරිල යන පාරෙ පන්සලේ ටියුෂන් පන්ති වලදි සංජුගෙයි නිර්මලීගෙයි ආදර කතාව ගලාගෙන ගියා... වතාවක් කඳුළු, තව වතාවක් හිනාව...
අතරින් පතර මම ඒ දෙන්නගෙ කතාව පැත්තකින් අහගෙන හිටියා... කැමතියි අකමැතියි... ජීවිතේ සරල රේඛාවක් නෙවෙයි...
ආදරේ, අධ්‍යාපනේ, ජීවිතේ හැමදේම අවබෝධ වෙමින් ගෙවපු කාලයක මගේ ජීවිතේ පැත්තක බිත්තියක් පාමුල ඉඳගෙන මේ දෙන්න එයාලගෙ ආදර කතාව ලියමින් හිටිය...
සංජු විශ්ව විද්‍යාලයට ගියා...
නිර්මලීට හොඳ රස්සාවක් හම්බ වුණා...
අළුත් යාළුවො, අළුත් වාසස්ථාන සහ අළුත් පෙම්වතියන් එක්ක මම ටික ටික ඒ අයගෙනනුත් තවත් බොහෝ දේවල් වලිනුත් ඉවත් වුණා... මම වෙනත් මාර්ගයක මගේ ගමන යමින් හිටිය...
අතරින් පතර ගමේදි සංජු හමුවුණ වෙලාවලදි ඒ දෙන්න හොඳින් ඉන්න බව ආරංචි වුණා...
අද දවල් මට නොදන්න අංකයකින් ඇමතුමක් ආව.
“හලෝ...”
“හර්ෂ?”
“ඔව්...”
“මම මේ සංජුල. ඔයා ගෙදරද ඉන්නේ?”
“හප්පා... මම නං දැන් ඔෆිස් එකේ... මේ දවස්වල ඉරිදත් වැඩ... ඇයි ඇයි?”
“හවස කීය වෙයිද ගෙදර යද්දි?”
“මම කොහොමත් පහමාර හය වෙද්දි ගෙදර යනවා... ඇයි?”
“හරි මම එන්නම් ඒ වෙලාවට”
“හා හරි.. අවුලක් නෑ...”
“හරි එහෙනම් තියන්නං”
හවස හයයි කාල වෙද්දි සංජු අපේ ගෙදර ආවා.
“මම මේ ආවෙ උඹට මුලින්ම ආරාධනාව කරන්න”
සංජු මගේ අතට කවරයක් දුන්නා.
“හිහ්... මට හිතුණා ඔහොම එකක්! තැංක් යූ...”
මට දැණුනේ කියන්න බැරි තරම් ලොකු සතුටක්...
“ඔයාට සෑහෙන්න වගකීමක් තියෙනවනේ.. ඒ නිසා මුලින්ම කියන්න ඕන කියල හිතුවේ... එන්නම ඕන හරි”
“අවුලක් නෑ එදාට එන්න පුළුවන්...” මම කැලැන්ඩරේ බලල කිව්ව...
අපි දෙන්න හරි බරි ගැහිල ලොකු කතාවක් පටන් ගත්ත.
සංජු ගිය වෙලේ මට හිතුණෙ මේ ගැන ලියන්න ඕන කියලා... ඒ මේ ලෝකෙ ප්‍රේමය සපථ කරගෙන ඒක විවාහය දක්වා අරන් ගිහින් සතුටින් පවත්වගන්න පෙම්වතුන් වෙන්වෙන්... ඒ වගේ විවාහය දක්වා යන ප්‍රථම ප්‍රේම ගොඩක් අඩු එකේ මේ අවස්ථාව ගොඩක් විශේෂයි.. ඒ නිසා මම මේ සටහනින් සුභ පතනවා ඔවුන් දෙදෙනාට සුභම සුභ යුග දිවියකට...
ප.ලි. අර ඒ දවස් වල මගේ ජීවිතේ හිටපු ඇය තවත් ඇයවලුන්ගෙන් ප්‍රතිස්ථාපනය වුණා... එක එක පැතිවල සැරිසරල ගොඩනැගිල තියෙන මගේ ජීවිතේට වෙන්න පුළුවන් හොඳම දේ දැන් මට සිද්ධ වෙලයි තියෙන්නේ... ඇය මේ සටහන කියෙව්වම අද මට මොනව අහගන්න වෙයිද මන්දා... ඔන්න කෝල් එකක් කියනකොටම...

...........................

| ඕං කමිං! |
ප.ලි. අර ඒ දවස් වල මගේ ජීවිතේ හිටපු ඇය තවත් ඇයවලුන්ගෙන් ප්‍රතිස්ථාපනය වුණා... එක එක පැතිවල සැරිසරල ගොඩනැගිල තියෙන මගේ ජීවිතේට වෙන්න පුළුවන් හොඳම දේ දැන් මට සිද්ධ වෙලයි තියෙන්නේ... ඇය මේ සටහන කියෙව්වම අද මට මොනව අහගන්න වෙයිද මන්දා... ඔන්න කෝල් එකක් කියනකොටම...
Saturday, 2 October 2010
කසාදයක් කරගත් ගැහැණියක්…
මේක මට ලියන්න විශේෂ හේතුවක් නැතත් අපේ මරේ එක දිගට කාන්තා විමුක්තිය ගැන කතා කරද්දි මේක ගැනත් කිව්වොත් හොඳයි කියල හිතුණා. කතාව සත්‍යයි නම් ගම් මනඃකල්පිතයි.
සාවිත්‍රිගේ වයස අවුරුදු 27යි. බැඳල මාස හයයි. එයා දැන් මාස හතරක ගැබක් තියෙන, අම්ම කෙනෙක් වෙන්න බලාගෙන ඉන්න සුන්දර ගැහැණියක්.
අද උදේ සාවිත්‍රි වැඩට ඇවිත් හොඳටම ඇඬුවා. හේතුව කෙලින්ම අපට කිව්වෙ නැතත් අපේ ඕපදූප මීටර් වලට අහුවුණ විධියට කලින් දා රාත්‍රියේ සාවිත්‍රිගේ සැමියා ඇයට පහර දීල තිබුණ.
මේක ගැන යාළුවො ටික කතා වෙද්දි අපේ ලාබාල ගයාන් කිව්ව "සාවිත්‍රිටත් හැරිච්චගමන් එකක් දෙන්නනේ තිබුණේ" කියල.
එතකොට සුජානි මිස් කිව්වෙ "ඒ මිනිහ රළු හැඩිදැඩි මිනිහෙක්. ඒ නැතත් පිරිමින්ට එහෙම ගහන්නෙ නෑනෙ ගෑණු" කියල.
ආයෙ ගයාන් කියනව "ඒක තමයි ලංකාවෙ ගෑණුන්ගෙ වැරුද්ද" කියල.
මෙතන තියෙන්නෙ ගුටිකෑම හා ගුටි දීම ගැන ප්‍රශ්ණයක් නෙවෙයි. මේ පේන විධියට මේ යුවතිපතින්ට තියෙන ගැටළුව මොකක් වුණත් පළවෙනි කාරණය විධියට ගහ මරාගන්න ගානට ප්‍රශ්ණ ඇදෙන්න තරම් දෙන්න අතර අවබෝධයක් නැද්ද? ඊළඟ එක මේ දරුවෙක් දරාගෙන ඉන්න අම්ම කෙනෙක්ය කියන එක ඒ තාත්තටම අමතක වීම මාර අවුලක් නේද?
ඇත්තම කතාව ඒකත් නෙවෙයි කියලයි අපි තර්ක කලේ... මේ විවාහය මොකක් වුණත් යෝජිත විවාහයක් වෙන්න ඇති. නැත්තං තමන් ජීවිත කාලෙම ඉන්න කියල කසාද බඳින මනුස්සයගෙ හැටි ස්වභාවය නොදැන ඉන්න විධියක් නෑනේ ප්‍රේම කරල විවාහ වුණා නම්...
යෝජිත විවාහයකින් පස්සෙ දෙන්න තම තමන් ගැන හරියට අඳුනගන්නෙවත් නැතිව ළමයි හදන්නත් කල්පනා කරලා... දැන් තමයි කසාදෙ රඟේ තේරෙන්නේ. ඒත් දැන් කෝච්චිය ගිහින් ඉවරයිනේ.
කසාදෙකදි අන්‍යෝන්‍ය අවබෝධය කියන දේ වැදගත්ම සාධකය කියලයි මම නම් දන්න තරමින් හිතෙන්නේ. ප්‍රමාණවත් අවබෝධයක් නැතිව ඉදිරි පියවර තිබ්බොත් අවුලක්. හරියට කඹයක් උඩ ඇවිදිනව වගේ වැඩක් ඒක.
මම මේක මේ තරම් දෙයක් කරගත්තට ඇත්තටම මේක මේ තරම් දරුණු නැතිව ඇති. සමහර විට අද රාත්‍රියෙ සාවිත්‍රිගෙ සැමියා එයාගෙන් සමාව අරන් වැඳවැටිල ෂේප් වෙලා දෙන්න කොහේ හරි රෙස්ටුරන්ට් එකකට ගිහිල්ල කෑම ගන්නත් ඇති. නමුත් එහෙම වුණාය කියල මේ වුණ සිදුවීම ලෝකෙ ඕනම තැනක ආයෙ සිදුවෙන්‍නෙ නෑ කියන්න බෑනේ....

Subscribe to:
Posts (Atom)
.jpg)