Showing posts with label චිත්‍රපටි. Show all posts
Showing posts with label චිත්‍රපටි. Show all posts

Thursday, 27 August 2020

The Boy Who Harnessed the Wind (2019) - චිත්‍රපටිය ගැන අදහස්

 



ස්පොයිල් විය හැක

මේ චිත්‍රපටිය බලන්න ගන්නෙ චිත්‍රපටි ගෘප් එකකින් ලැබෙන ඔත්තුවක් මත. චිත්‍රපටියෙ නමින්ම ඉඟි කරන විදියට මේක ධනාත්මක සිතුවිලි ඇති කරන චිත්‍රපටියක්. තමන්ගෙ සීමා බිඳගෙන ඉදිරියට යන ජීවිතයක් පිළිබඳ චිත්‍රපටියක්. එහෙම චිත්‍රපටි මහ ලොකු ගාණක් නැතත් තියෙන ඒව බැලුවම දැනෙන හැඟීම් ජීවිතේ ගැන සුබවාදී සිතුවිලි ඇති කරනව. ඒකට ඒ චිත්‍රපටිය හැදෙන්නෙ මොන රටේද, උන් කතා කරන්නෙ මොන භාෂාවද, උන් මොන පාටද, තේමා වෙන්නෙ මොකක්ද වගේ කිසි දෙයක් අදාළ නෑ. මිනිස්සු විදියට තමන් උපන් ජීවන තත්ත්වය ස්වෝත්සාහයෙන් වෙනස් කරගෙන වඩා පහසු ජීවන තත්ත්වයක් කරා යන චරිත අපිවත් දිරිගන්වනව. මේ චිත්‍රපටිය බලන්න ගන්නෙම ඒ අදහස ඇතිවයි.

Chiwetel Ejiofor කියන නළුවාගේ නම කවදාවත් මතක තිබුණේ නැහැ. ඔහු රඟපෑ මතක ඇති රංගනයක් තියෙන්නෙ 12 years a slave චිත්‍රපටියෙ පමණයි. නමුත් චිත්‍රපටි ගණනාවක සහය නළුවෙක් විදියට පෙනී සිටි ඔහුගේ පෞරුෂය හිතේ ඇඳිල තියෙන එකක්. මේ චිත්‍රපටිය ඔහුගේ අධ්‍යක්ෂණයක්. තිර රචනයත් ඔහුගේමයි. කරන චරිතයත් කරනව උපරිමයෙන්ම.

මලාවි රාජ්‍යයේ දිළිඳු ගොවි පවුලක අවුරුදු 13ක පුතා ඇහිඳගන්න දැනුමකින් තමන්ගෙ පියාගෙ වගාවට වතුර පොම්ප කරන්න සුළං මෝලක් නිර්මාණය කිරීම තමයි චිත්‍රපටියෙ තේමාව වෙන්නෙ. ඒක බැලූ බැල්මට මහ ලොකු දේකුත් නෙවෙයි වගේ පෙන්න පුළුවන්. නමුත් එහෙම තීරණයක් ගන්න ඔහුට සිද්ධ වුණේ ඇයි කියන එක චිත්‍රපටිය පුරාම විහිදුවන ඛේදනීය හේතුවක්. ඒ තීරණය ගන්නෙ ඔහුගෙ කුතුහලය නිසා විතරක්ම නෙවෙයි. කුතුහලය ඔස්සේ යන්න පුළුවන් යම් දුරකට. නමුත් බාධක නොසලකා මිනිහෙක් වෙනස් වැඩකට බහින්නෙ විකල්පයක් අවශ්‍ය නිසා. විකල්පයක් සෙවීම ඔහුගේ වැඩක් බවට පත් කරගත්ත නිසා. තමන්ට කල හැකි දෙයින් වැඩක් ගත්ත නිසා. මිනිස් ශිෂ්ටාචාරය ලෝකය වෙනස් කරන මට්ටමට සංවර්ධනය වෙන්නෙම එහෙම මිනිස්සු නිසා. ඒ අර්ථයෙන් ගත්තම විලියම් කම්ක්වම්බා කියන දරුවා මිනිහෙක්.

චිත්‍රපටිය පුරාම දකින්න ලැබෙන මානව බැඳීම් හා ඝට්ටනයන් ඉතාම සංවේදීයි. පවුල පිළිබඳවත් සාමූහිකත්වය සහ සහජීවනය පිළිබඳවත් මේ ජනතාව තුළ තියෙන ආකල්පය බොහොම ගෞරවණීය එකක් බව පේනවා. ඒ වගේම ඒක පාරම්පරිකව උරුමකරගෙන ආපු වටිනාකමක් බවත් පේනවා. ඉපදුන නිසා ජීවත් වෙනවාට වඩා වටිනාකමක් එකිනෙකා සම්බන්ධයෙන් ඔවුන් තුළ පවතින බව පැහැදිලියි. නමුත් චිත්‍රපටියෙ කියවෙන කාල සීමාව වෙද්දි දේශපාලකයන් විසිනුත් ව්‍යාපාරික ප්‍රජාව විසිනුත් ජනතාව සතු ඒ වටිනාකම් වෙනස් කරමින් ලාභ ප්‍රයෝජන ලබා ගන්න විධිය චිත්‍රපටිය තුළට යොදාගැනීමෙන් චිත්‍රපටියේ වටිනාකම තව ඉහළ ගිහින් තියෙනවා.

චිත්‍රපටිය හැදෙන්නෙ පොතකින්. පොත ලියල තියෙන්නෙ විලියම් කම්ක්වම්බා විසින්ම තම අත්දැකීම ඇසුරිනුයි. පොත කියවන්න හොයාගැනීමේ උවමනාවකුත් තියෙනවා. අප්‍රිකානු කලාපයේ ජීවිත ගැන වඩා යථාර්ථවාදී විස්තරයක් චිත්‍රපටියටත් වඩා පොත තුළ විස්තර වෙනව ඇති කියල හිතෙනවා. කවුරුන් හෝ ඒක පරිවර්තනය කරනවානම් පැති කීපයකින් රස විඳින්න පුළුවන් කෘතියක් වෙයි කියලත් හිතෙනවා.

මේක නාට්‍යමය චිත්‍රපටියක්. දූවිලි පිරුණු කාෂ්ටක කැළඹිලි සහිත ගමනකින් ඔබව නිල්ලත් සැනසිල්ලත් පිරුණු අවසානෙකට ගෙන යන චිත්‍රපටියක්. එහෙනම් බලන්න!


https://www.imdb.com/title/tt7533152/

Friday, 14 August 2020

ඇවිලෙනසුලුයි (2020) - සිංහල චිත්‍රපටිය ගැන අදහස්

 

ස්පොයිල් වීමට ඉඩ තිබේ!


ලංකාවෙ වර්තමාන චිත්‍රපටි ලෝලියො චිත්‍රපටිවලට ලොල් වෙලා තියෙන්නෙ සිංහල චිත්‍රපටි නිසාවත් චිත්‍රපටි ශාලාවල චිත්‍රපටි බලලවත් නෙවෙයි. බොහොම දෙනෙක් බලල තියෙන සිංහල නොවන චිත්‍රපටි ප්‍රමාණය වැඩියි වගේම හෝල්වල බලනවට වඩා ගෙදර ඉඳන් චිත්‍රපටි බැලෙන වාර ගණනත් ඉතාම වැඩියි. ඒ නිසාම හෝල් එකක් අස්සෙදි වෙනම ප්‍රශ්න ටිකකට මූණ දෙන්න වෙනවා. උදාහරනෙකට සිංහල නොවන චිත්‍රපටියක් සබ් එක්ක බලද්දි බැරි වෙලාවත් දෙබසක් මිස් වුණොත් ආපහු තප්පර ගාණක් බැක්වර්ඩ් කරල බලන්න විදියක් නෑ. ඒ වගේම භාෂා භේදයකින් තොරව බැරි වෙලාවත් යම් දර්ශනයක් තුළ සිද්ධ වෙන දේ ප්‍රොසෙස් කරගන්න ඕනවට වඩා කල් ගත්තොත් චිත්‍රපටිය මිස් වෙනවා. ඔහොම දේවල් නිසා හෝල් එකක චිත්‍රපටියක් බැලීම වෙනත් විදියකින් ඒ චිත්‍රපටියම බලනවට වඩා වෙනස් අත්දැකීමක්. හෝල් එකක් තුළදි අපේ තේරුම් ගැනීමේ හැකියාවත්, ප්‍රොසෙසිං හැකියාවත් පරීක්ෂාවට ලක් වෙනවා.

මේ කතාව කියන්න ඕන වුණේ ඇවිලෙනසුලුයි නරඹද්දිත් ඒක ආයෙම බැක්වර්ඩ් යවලා බලන්න ඕන කියලා හිතුණ අවස්ථා ගාණක්ම තිබුණ නිසා. එහෙම වුණේ ප්‍රොසෙසිං ප්‍රශ්නෙකට වඩා රූපරාමුව හෝ අදාළ දර්ශනය ආයෙම බලන්න උවමනා වීම නිසයි. ඒක සිංහල චිත්‍රපටියක් සම්බන්ධයෙන් පළමු වතාවට වුණ දෙයක්. රූප රාමු සහ කැමරාව හැසිරවීම තදින් හිතට වැදුණ නිසයි ඒ. ඉතිං අනාගතේ යම් දවසක එහෙම බලනකල් චිත්‍රපටිය ගැන හිතුණ දේවල් සටහන් නොකර ඉන්න හේතුවකුත් නැහැ. ඇත්තටම මේ ලියවෙන්නෙ චිත්‍රපටිය ගැනමත් නෙවෙයි. චිත්‍රපටියෙ වටපිටාව ගැන පසුව හිතුණ දේවල් ටිකක්.

ඇවිලෙනසුලුයි චිත්‍රපටිය දවල් 1.30ට බලද්දි අපි ඊට කලින් 10.30 දර්ශනයෙදි ‘සූස්ති‘ චිත්‍රපටිය බලලයි හිටියෙ. මේ චිත්‍රපටි දෙකම රෝඩ් ට්‍රිප් ගණයට දාන්න පුළුවන්. දෙකම ටිකක් එකම ආකෘතියක චිත්‍රපටි. හැබැයි තේමාවන් ඉතාම වෙනස්. චිත්‍රපටි දෙකේම සමනලී සිටීම එක්ක එක්තරා විදියකට එකම ගලායාමකුත් නොදැනුණා නෙවෙයි.

ඇවිලෙනසුලුයි තුළ දර්ශන දිගහැරෙන ස්ටයිල් එක, පර්ච්ඡේද වෙන් කර තිබීම, වර්ණ භාවිතය, යොදාගන්න සංගීතය, සිදුවීම්වල ස්වභාවය, ප්‍රචණ්ඩත්වය වගේ දේවල් අස්සෙ ටරන්ටිනෝ සහ ඩේවිඩ් ලින්ච් හමුවීම මට විතරක් වුණ දෙයක් නෙවෙයි කියලා පසුව විස්තර කියවද්දි තේරුණා. ටරන්ටිනෝගෙ චිත්‍රපටි සේරම වගේ බලල තිබුණත් ලින්ච්ගේ චිත්‍රපටි අතරින් කීපයක් විතරයි මම බලල තියෙන්නේ. ඒ බලපු චිත්‍රපටි ගැන පැහැදිලි කරගන්න ඕන නිසා කියවපු සහ නරඹපු අමතර දේවල් අස්සෙ ලින්ච් ගැන දැනගත්ත දේවල් ‘ඇවිලෙනසුලුයි‘ තේරුම්ගනිද්දි උදව් වුණා. මේ දේවල් ගැන මම ඉගෙනගෙන නැහැ. ඒ නිසා මුලධාර්මිකව මේ අදහස් 100%ක් නිවැරදි නොවෙන්න වෙන්න පුළුවන්. වඩා නිවැරදිව දන්න කෙනෙක් කියල දුන්නොත් අපි හැමෝටම ඉගෙනගන්න පුළුවන් වෙයි.

ලින්ච් සැලකෙන්නෙ අතාත්විකවාදී (surrealist) සිනමාකරුවෙක් විදියට. ඔහුගේ නිර්මාණ අස්සෙ සැබැවින් පේන දේට එපිටින් හෝ ඇතුළතින් පවතින අදහසක් ගැන ඔහු කතා කරනවා. චිත්‍රපටිය බලන මනුස්සයා චිත්‍රපටිය අස්සට ගන්න අවස්ථා තියෙනවා. අභව්‍ය සිදුවීමක් හෝ වස්තුවක් විසින් චිත්‍රපටියට අදාළ සිදුවීම් ගොඩනගනවා. ඒව තේරුම්ගන්න එකත් එකිනෙකාගෙ කියවීම් ප්‍රමාණය අනුව තීරණය වෙනවා. මුල මැද අග පිළිවෙළට ගැළපුණ කතා කීමකට වඩා ඔහු සිදුවීම් පෙළක් ඉදිරිපත් කරනවා. ඒ සිදුවීම් ඔස්සේ එකිනෙකාට දැනෙන තේරෙන දේවල් ඔස්සේ අර්ථ දක්වගන්න දේ වෙනස් වෙන්න පුළුවන්. ඒ වගේම තමන්ගෙ නිර්මාණ ගැන පැහැදිලි කිරීම් ලින්ච් විසින් කළා කියල මම කියවල නෑ. ඔහු කියන්නෙ තමන් චිත්‍රපටියක් නිර්මාණය කරන්නෙම චිත්‍රපටි භාෂාවෙන් කියල. ඒව තේරුම්ගන්න වෙන භාෂාවකින් බෑ. ඒ අතින් ඔහු ප්‍රේක්ෂකයාට කිසිම අවස්ථාවක් හෝ සමාවක් නොදෙන අධ්‍යක්ෂවරයෙක්.

මේ ලින්ච් ගැන කතාව කිව්වෙ ‘ඇවිලෙනසුලුයි‘ ගැන කියවන්න ලැබුණ වෙනත් සටහනක අතාත්විකවාදය ගැනත් කියල තියෙන නිසා. ඒ ගැන දැනගෙන චිත්‍රපටිය බැලීමෙන් චිත්‍රපටිය විඳින්න පහසුවක් වෙන්න පුළුවන්. දැනටමත් බලලා තියෙනවනම් ඒ අත්දැකීම තව තීවෘ කරගන්න පුළුවන්. එහෙම නැත්තං චිත්‍රපටිය අස්සෙ අතරමං වීම ම චිත්‍රපටිය මගින් ලැබෙන දේ විදියට තේරුම්ගන්න පුළුවන්. 

ඇවිලෙනසුලුයි චිත්‍රපටිය මම බලල තියෙන සිංහල චිත්‍රපටි අතර තාක්ෂණිකව ආසන්නයෙන් පරිසමාප්ත එකක්. කැමරාව මෙහෙයවෙන්නෙ කලින් ලංකාවෙ නිර්මාණයක නොදැකපු පරාසයක. සිංහල චිත්‍රපටියක් අස්සෙ එහෙම ෆ්‍රේම් දකින්න ලැබුණ එක අලුත්ම අත්දැකීමක්. පාටවල් අස්සෙ දැනෙන්නෙ එක්තරා තනිකමක්. එහෙම වර්ණවලින් ප්‍රකාශනයක් කරන දේශීය සිනමාවේ අවස්ථා ඉතාම විරලයි. කලිනුත් කිව්ව වගේ ආයෙම බලන්න ඕන කියල හිතුණ දර්ශන ගාණක්ම තිබුණා. සමස්තයක්  විදියට ඇවිලෙනසුලුයි රූපාවලිය ඉතාම ආකර්ෂණීයයි. ඒක කොලිටි වැඩක්. 

ඒ කොලිටි එකම මට මියුසික් අස්සෙත් ඇහුණා. ‘මැණිකෙ මම ආයෙ ගෙදර එනවා‘ එක විදියකින් තීම් එකක්. චිත්‍රපටිය තුළ සිදුවන නැවත මුණගැහීම් සින්දුවට ලින්ක් කරගන්නත් ඕනනං කෙනෙක්ට පුළුවන්. රඟපාන උන් අතරෙ ප්‍රියන්ත සිරිකුමාර ඉන්න සුළු කොටස අනිත් කොටස්වලින් වෙන්වෙලා පේනවා. මීට වඩා අවස්ථා දෙන්න ඕන ඔහුට.

සාමාන්‍යයෙන් සංස්කෘතිය අස්සෙ මිනිස්සුන්ගෙ ෆැන්ටසිය හදන්නෙම කසාද බඳින්න. 'ඊට පස්සෙ' ළමයි හදාගෙන උන්ව බලා කියාගෙන ස්වභාවධර්මයේ චක්‍රය ගත කරන්න. හැබැයි ඔය 'ඊට පස්සෙ' කොටස අස්සෙ තියෙන අභියෝග ගැන සංස්කෘතික කතා බහ ඉතාම අඩුයි. කතාවට කියන්නෙ පවුලෙ ගිනි පිටට දෙන්න එපා කියල. ඒ නිසා දීර්ඝ කාලීනව එකට ජීවත් වෙද්දි සමහර විට මුහුණ දෙන්න වෙන අමිහිරි තත්ත්වයන් ගැන, පීඩනය ගැන අත්දැකීමකින් මිස කෙනෙක්ට දැනගන්න තියෙන ඉඩ අඩුයි. පොළොවෙ පය ගහල ඉන්න මිනිස්සුන්ට මේක බොහෝ දුරට කළමනාකරණය කරගන්න පුළුවන්. ඒත් එහෙම නොවෙන අවස්ථා ඉතාම වැඩියි කියල හිතෙනවා. මේ වෙද්දි සෝෂල් මීඩියා විසින් ඒ පීඩනය යම් තරමකට උරාගන්නවා. පණ දීගෙන ලව් කරලා බැඳලා අවුරුද්දකින් දෙකකින් මිනිහට/ ගෑනිට කොමික් හින්ට් ගහපු පෝස්ට් ශෙයා වෙනවා. බැලූ බැල්මට ඒව විහිළු තමයි. හැබැයි එහෙම එකක් ප්‍රකාශ කරන්න උවමනා වීමේ මානසිකත්වය ටිකක් සීරියස් එකක්. කොහොම නමුත් සෝෂල් මීඩියාවලට රිලීස් කරලත්  දරාගන්න අමාරු ජීවිතයක් සම්බන්ධයෙන් කෙනෙක් ගන්න තීරණ කලින් කියන්න බෑ. මේක සුළුවෙන් වුණත් චිත්‍රපටියෙන් පස්සෙ හිතන්න පෙළඹුණ දෙයක්. මෙතනම කියල දැම්මා. 

අපි කතා අහන්න හුරු වුණ මිනිස්සු පිරිසක්. මුල මැද අග පිළිවෙලින් තියෙන කතා තමයි පුංචි කාලෙ ඉඳන් අහන්නෙ. මූලික වශයෙන් ජාතක කතා, ජන කතා, ආරබි නිශොල්ලාසය වගේ පොතකින් ආපු කතා, හාන්ස් ක්‍රිස්ටියන් ඇන්ඩර්සන් ලියපු කතා පුංචි කාලෙ ඉඳන්ම අහලා ඒ කතා රස විඳීමේ ආශාවෙම දිගුවක් විදියටයි හුඟ දෙනෙක් චිත්‍රපටි ලෝලියෙක් වෙන්නේ. සීරියස් චිත්‍රපටි ලෝලීන් එතනින් නොනැවතී විවිධ චිත්‍රපටි වර්ග හොයාගෙන යනවා. ඒ ඔස්සේ විවිධ රසයන් විඳිනවා. ඇවිලෙනසුලුයි කියන්නෙත් සිංහල සිනමාවට හැදුණ වෙනස්ම රසයක චිත්‍රපටියක්. ඒක අස්සෙ කතාවක් හොයන්න ගියොත්නම් අවුලක් වෙනවා. කතාවක් කියනවට වඩා මේකෙ තියෙන්නෙ සිදුවීම් පෙළක්. ඒ අස්සෙ කතා කීපයක් තියෙන බවක් දැනෙන්නත් පුළුවන්. එහෙම නැත්තං ඒ එකම කතාවක අවස්ථා දෙකක්ද? එහෙමත් නැත්නම් එකම කතාවේ නිරූපණයන් දෙකක්ද? වර්තමානයට අතීතය හමුවීමක්ද? ඔය එකක්වත් නැති පේන දේවල් විතරක් ඇතුළත් සිම්පල් කතාවක්ද?

ඒක බේරුම් කරගන්න එක තනි තනි ප්‍රේක්ෂකයගෙ වැඩක්. ඔබ චිත්‍රපටි ශාලාවට යන්නෙ කණ්ඩායමක් එක්ක වුණත් චිත්‍රපටිය ඔබට දෙන්නෙ පුද්ගලික අත්දැකීමක්.

චිත්‍රපටිය බලල නැති කෙනෙක් මේ සටහන මේ තරම් දුර කියෙව්වනම් දැන් තියෙන්නෙ වහාම ඒක බලන්න. මේක හැමෝටම හරියන චිත්‍රපටියක් නෙවෙයි. හැබැයි ලංකාවෙ සිනමාව දියුණු වෙනවනම් මේ ආකාරයේ චිත්‍රපටිත් ඕනමයි. විවිධ විදියේ අන්තර්ජාතික සිනමා නිර්මාණ රස විඳින ලාංකික චිත්‍රපටි රසිකයින් ලංකාවෙ සිනමාවට ආකර්ෂණය වෙන්න ඒ විවිධත්වය අත්‍යවශ්‍යයි.

Monday, 10 August 2020

Nagarkirtan (2017) - බෙංගාලි චිත්‍රපටය



මේක බෙංගාලි චිත්‍රපටිවලට, හරියටම කිව්වොත් රිත්වික් චක්‍රබෝර්ති  කියන නළුවා රඟපාන චිත්‍රපටිවලට වහ වැටුණ කාලෙ ඉඳන් බලන්න හොයපු චිත්‍රපටියක් වුණත් බාගන්න පුළුවන් කොපියක් අප්ලොඩ් වෙලා තිබුණෙ මෑතකදි. ඒ නිසා වහාම බලන්න ඕන වුණා. 

ඉන්දීය සිනමාවෙ සංක්‍රාන්ති ලිංගිකත්වය ගැන කතා කරන චිත්‍රපටි ඕන තරම් ඇති. එහෙම අයට ඒ සංස්කෘතිය ඇතුලෙ තියෙන පිළිගැනීම මොකක්ද කියන එකත් රහසක් නෙවෙයි. මම හිතන්නෙ කෙනෙක්ගේ ලිංගික නැඹුරුව ඒ පුද්ගලයාගේ පාලනයෙන් තොර දෙයක්. ඒක කිසිසේත්ම වෙනත් අයගෙ පාලනයට නතු වෙන එකක් නෙවෙයි. පුංචි කාලෙ සිද්ධ වෙන මානසික ගොඩනැගීම් නිසා හෝ උපතින්ම ලැබෙන ස්වභාවික හේතු නිසා කෙනෙක් ‘සම්මත‘ මොඩල් එකෙන් පිට පනින්න පුළුවන්. නමුත් ඒ කියලා ඒ අයට දැණෙන හැඟීම්වල කිසිම වෙනසක් නෑ. 

මේ චිත්‍රපටිය බලන්න ගත්තෙ ඇත්තටම කලින් කියපු නළුවා නිසා වුණාට මේක මට මාර චිත්‍රපටියක් වෙන්නෙ Riddhi Sen කියන නළුවා නිසා. ඒක මේකප් එකෙන් එහා ගිය සීරියස් රඟපෑමක්. ඒ නිසාම ඔහු මේ වෙද්දි ඉන්දීය ජාතික සම්මානය දිනාගත්ත ලාබාලම නළුවා වෙලා ඉවරයි. ඒ වගේම කියවන්න ලැබුණ විධියට යම් ශ්‍රේණිගතකිරීමකදි ඒ රංගනය පසුගිය දශකයේ ඉන්දියාවේ හොඳම රංගනයන් සීයටත් ඇතුලත් වෙලා තියෙනවා. 

සංගීතය කොහොමත් චිත්‍රපටියක් එක්ක වෙලෙන්න ලබා දෙන්නෙ අරුම සහයෝගයක්. මම මේ චිත්‍රපටියෙදිත් අත්වින්ද දෙයක් ඒක.

මේක අතිශයින් නාට්‍යමය චිත්‍රපටියක්. මේ දක්වා බලපු බෙංගාලි චිත්‍රපටි අනුවනම් ඒ නිර්මාණකරුවන් මිනිස්සුන්ගෙ ජීවිතයේ ගැඹුරුම තැන් ගැන කතා කරන්න පුදුම දක්ෂයින්. මේ චිත්‍රපටියෙදිත් සාමාන්‍ය මිනිස් හැඟීම් ගැන වෙනස්ම දෘෂ්ඨියකින් දැකල ගොඩනංවපු පරිසමාප්ත සිදුවීම් පෙළක් දැකගන්න පුළුවන්. 

1337x අඩවියේ තියෙනවා. නාට්‍යමය චිත්‍රපටි රසිකයින්ට මේක සෑහෙන්න වටියි.

Monday, 3 August 2020

සූස්ති (2020) - සිංහල චිත්‍රපටිය ගැන අදහස්


ස්පොයිල් වීමට ඉඩ තිබේ.

මේ චිත්‍රපටිය හෝල් එකකට ගිහින් බලන්න පුළුවන් වෙයි කියල හිතුණ එකක් නෙවෙයි. ඒකට විවිධ හේතු කීපයක්ම තිබුණා. නමුත් කලින් සැලසුම් කරගෙන හිටපු දේවල් කීපයක් වෙනස් වීම නිසා සූස්ති චිත්‍රපටියත් ඇවිලෙනසුලුයි චිත්‍රපටියත් එකම දවසක එකම ශාලාවක 10.30ට සහ 1.30ට බලන්න පුළුවන් වුණා.

සූස්ති චිත්‍රපටියෙ ට්‍රේලර් එකවත් නොබල ඒ ගැන කිසිම දෙයක් කියවන්නෙවත් නැතුව හිටි පසුබිමකයි මම හෝල් එකට ගියේ. රෝඩ් ට්‍රිප් වර්ගයේ චිත්‍රපටියක් බවත් දසුන් පතිරණ රඟපාන බවත් විතරයි මට මතක තිබුණෙ. චිත්‍රපටියෙ විනාඩි පහළොවක් විතර යනකල්ම මම හිතුවෙ දසුන් ප්‍රධාන චරිතෙකට ඇති කියලයි :P

චිත්‍රපටිය ගැන මට හිතුණ සමස්ත අදහස ගත්තොත් කියන්න වෙන්නෙ ‘මරු! තව පොලිෂ් වුණා නං මරේ මරු‘ වගේ එකක්. එහෙම එකක් ඉබේම දැනෙන එක වළක්වන්න බෑ. මේ වෙද්දි ලංකාවෙ මිනිස්සු සැලකිය යුතු පිරිසක් අඩු ගානෙ චිත්‍රපටි සහ ටෙලි නාට්‍ය සම්බන්ධයෙන් ජාත්‍යන්තරය ඇසුරු කරන අය. ඒ නිසා එයාලව රවට්ටන්න බෑ.  ඒ නිසා ඒක සාමාන්‍යයෙන් හැම විදියෙම චිත්‍රපටි බලන මනුස්සයෙක්ට හිතෙන්න පුළුවන් දෙයක්. ඉතිං මට හිතෙන දේ ඒක. වැඩේ මරු. තව ටිකක් පොලිෂ් වුණානං තවත් මරු. හැබැයි ලංකාවෙ වැඩක් විදියට නියමයි. සූස්ති කොහොමත් බහුතරයක් මිනිස්සු නරඹන්න ඉඩ තියෙන වර්ගයේ චිත්‍රපටියක් නෙවෙයි. නමුත් බහුතරයකගේ රසාස්වාදය විවිධත්වය දිශාවට තවත් නැඹුරු කරන්න කරන වෑයම දිගටම සිදුවිය යුත්තක්. දෙදාස් පන්සීයේ සහ පන්සිය පනහේ ම හිරවෙලා ඉන්න ඕන නෑ. සූස්ති කියන්නෙ ඒ විදියෙ සාම්ප්‍රදායික ප්‍රේක්ෂකයිනුත් ආකර්ෂණය කරගන්න පුළුවන් විදියෙ චිත්‍රපටියක්. ඉතිං ඒක බලල රස විඳපු බහුතරයක් නොවන අය විසින් පෙළඹවීමක් ඇති කල යුතුයි. මේ වෑයම ඒ වෙනුවෙන්.

‘සූස්ති‘ සිනමාවේ විවිධත්වය හොයන ප්‍රේක්ෂකයා නොරවටන චිත්‍රපටියක්. මේ වගේ බටහිර හෝ යුරෝපීය චිත්‍රපටි ගණනාවක් බලල තිබුණත් මේක ඊට වෙනස්. මොකද මේ රෝඩ් ට්‍රිප් එක අස්සේ ලංකාවෙ මේ මොහොතේ ඇත්ත අල්ලගෙන තියෙනවා. ‘සූස්ති‘ අපි ජීවත් වෙන සමාජය නිරුවත් කරල අපේ මූණටම දමල ගහන චිත්‍රපටියක්. සිංහල සිනමාව කියන එක මේ හැරෙන පැත්ත, එහෙම නැත්තං බෙදෙන අත්ත ශක්තිමත් වෙන්න ඕන කියන එකයි මගේ එකම පැතුම. මොකද මේක ෆිල්ම් ගැනත් සමාජය ගැනත් ස්ටඩි එකකින් එන එකක් මිස ෆිල්ම් හදන්න උපකරණ තියෙන නිසා එළියට ආපු වැඩක් කියල පේන්නෙ නෑ. එහෙම එකක් සම්පූර්ණයෙන් ගොඩ යන්නෙ මිනිස්සු ඒක බැලුවොත් තමයි.

කළණගෙ ලිවීම් ගැන මම දැනගෙන හිටියෙ ඔහු කවි පොතක් පළ කරපු බව කියවල තිබුණ නිසා. යූටියුබ් එකේ දැක්ක සම්මුඛ සාකච්ඡාවකදි ඔහු උත්තර දෙන විදියෙන් ඔහු කියවීමක් හැදෑරීමක් සහිතව වැඩේ ඇතුළෙ ඉන්න මනුස්සයෙක් කියන අදහසත් මට තිබුණා. ඒ නිසා ඔහුගේ ලිවිල්ල ගැන බලාපොරොත්තුවක් තිබුණා.

ලිවිල්ල ඉතාම හොඳ තැනක තිබුණත් තවත් මටසිළුටු කරන්න තිබුණා කියන අදහස මට තියෙනවා. චිත්‍රපටිය තුළ ගොඩනැගෙන සංවාදය දියුණුයි. ඒත් සමහර දෙබස් අස්සෙ ප්‍රායෝගික නැති තැනක් දෙකක් බලද්දි අහු වෙනවා. ඒක වෙන්නෙ චිත්‍රපටියට යොදවාගෙන ඉන්න මයින්ඩ් එක බිඳවැටීම නිසා. හරියට වීඩියෝ එකක ග්ලිච් එකක් වගේ එහෙම ස්වභාවික නොවෙන පොලාපැනීම් තේරෙනවා. ඒ සංවාදය තව ටිකක් බිමට ගේන්න පුළුවන්ද කියල මම දන්නෙ නෑ. සමහර විට පිටපත් ගැන තව තවත් සාකච්ඡා කළා නම් එහෙම වෙනස් වෙන්න තිබුණා. සමහර විට මෙ චිත්‍රපටිය ගැන ඔවුන්ගේ සාකච්ඡාවල දිගුව එළියට එන්න ඉඩ තියෙන්න ඊළඟ නිර්මාණයේදි වෙන්නත් පුළුවන්. එහෙම වෙන්න කියන එකත් මගේ පැතුමක්.

ඒ උඩින් කියපු දේ සෑහෙන්නෙ මගඇරෙන්නෙ කළණ සහ සමනලීගෙ රඟපෑම නිසා. කලින් සමනලී රඟපාපු එකක් බලල නෑ වගේම කළණව ගත්තොත් මම ඔහුගේ කූඹියෝ ටෙලියවත් සම්පූර්ණයෙන් බලල නෑ. මට හිතෙන්නෙ සමනලීගෙ රඟපෑම චිත්‍රපටිය පුරාම අපූරුයි. කළණගේ දෙබස් ඩිලිවරිය සමහර විට ඔහුම ලියපු නිසාද මන්දා ඉතාම ස්වභාවිකයි. දෙන්නම චරිතය තේරුම් අරන් සීන් එකේ ඉන්න බව තේරෙනවා.

අනිත් අතට මට හිතෙන්නෙ මේකෙ ඉන්න දෙමව්පියො දෙන්න ඕනම නෑ කියලයි. ඒ දර්ශන කීපය විසින් ෆ්ලෝ එක කඩල දානව වගේම ඒ ටික නොතිබුණා කියල කතාවෙ තීම් එකට ලොකු බාධාවක් වෙන්නෙ නෑ. සමහර විට ප්‍රධාන නළු නිළි දෙපළගේ සාකච්ඡා අස්සෙ නොකියවෙන කෝණයකුත් චිත්‍රපටිය අස්සට දාන්න කුෂාන් සහ කළණ දෙන්නට ඕන වෙන්න ඇති. සාමාන්‍යයෙන් මුලින්ම නිර්මාණයක් කරද්දි වෙන ප්‍රශ්නයක් ඒක. තියෙන ඔක්කොම රිංගවන්න යන එක. සමහර විට චිත්‍රපටියේ ගලායාම කඩල පොඩි විවේකයක් දීම අරමුණක් වුණා වෙන්නත් ඇති.

මේකෙ සංගීතයත් ගීතයත් ගේන වයිබ් එක නියමයි. කැමරාව මෙහෙයවීම වෙනම වැඩක්. එක දිගට සෑහෙන්න වෙලාවක් රූපගත කරපු දර්ශන කීපයක්ම තිබුණා. කලින් එහෙම වැඩ තියෙන සිංහල චිත්‍රපටි දැකල තිබුණෙ නැහැ. ඒ දීර්ඝ දර්ශන අස්සෙ ඇදෙන දෙබස් තියෙනව කියන්නෙ කට්ටිය වැඩේ ෆුල් සීරියස් අරන් කියන එකයි.

අපේ රටේ (ලෝකෙමත් සමහර විට) මේ වෙනකොට තියෙන සමාජ විපරිත බව ඇතිවෙන්නෙ අධ්‍යාපනය අවුල් වීම නිසා කියල මට හිතෙනව. ඉවසීම, විනය වගේ වචන නොදන්න, ප්‍රශ්නයක් දිහා විවිධ පැතිවලින් බලන්න නොතේරෙන, අන්‍යෝන්‍ය ගෞරවය රැකගෙන වැඩ කරන්න නොතේරෙන මිනිස්සු පේනව වැඩියි. ඒක ක්ෂණිකව වුණ දෙයක් නෙවෙයි. ආර්ථික සමාජ පද්ධතීන් වෙනස් වීමත් එක්ක ඒකට හැඩගැහෙන ක්‍රමවේද අප්ඩේට් නොවීමේ අවුලක්. ඒක මේ වෙද්දි අපේ සමාජෙ පුරාම පැතිරුණු එකක්.  එපා වෙන තරමට හැම තැනකදිම හමුවෙන, රිපීට් වෙන දෙයක්. ඒ අස්සෙ ඔය සේරම එපා වෙලා ඉන්න කෙනෙක්ට බොහොම සුළු සිදුවීමක් ඇති ජීවිතේ එපා වෙලා මැරෙන්න ඕන වෙන. එහෙම වෙලාවක ජීවිතේ වෙනස් විදියකට දකින්න පෙළඹවීමක් ඇති වෙන්න තප්පරයක් ප්‍රමාණවත් වෙයිද?

මේ චිත්‍රපටිය එක්තරා විදියක පරීක්ෂණයක් කියල මට හිතෙනවා. ලංකාවෙ මේ වගේ ස්ක්‍රිප්ට් එකකට යන්න පුළුවන් දුර මොන වගේද කියන එක පරීක්ෂාවට ලක් වෙන තැනක්. දේශපාලනය ගැන ඇක්ෂන් මට්ටමේ නිර්මාණ බිහි වෙලා තිබුණත් ඒක දාර්ශනික පැත්තකින් ගොඩනගමින් බිහිවුණ චිත්‍රපටියක් මම බලල නෑ. මම හිතන්නෙ මේක ඒ වගේ වැඩවලට හොඳ ප්‍රවේශයක්. සමාජය ගැන කියවීමක්, සංවාදයක් ඔළුවට දාන චිත්‍රපටියක්. මේ කාලෙ හැමෝම සමාජ දේශපාලනික විශ්ලේෂකයෝ වෙලා ඉන්න නිසා මෙහෙම එකකට වටිනාකමක් ලැබෙයි කියල හිතනවා. මේ ලංකාවට අවශ්‍ය ටිත්‍රපටියක්. අපේ ජීවිත ගැන සංවාද කරන අපේ චිත්‍රපටියක්.

හැබැයි ඒ සංවාදය හෝල් එකෙන් එළියෙත් සිද්ධ විය යුතුයි. නිර්මාණය මගින් ඇති කරන සමාජ බලපෑම ක්‍රමයෙන් සමාජයේ වෙනස් වීමට බලපෑ යුතුයි. ඉතින් ඔබ සූස්ති නැරඹිය යුත්තේ ඒ නිසයි.

https://www.imdb.com/title/tt10827784/


Wednesday, 29 July 2020

The Newspaper (2020) - ද නිව්ස්පේපර් සිංහල චිත්‍රපටිය ගැන අදහස්




ස්පොයිලර්ස් අඩංගුයි

මේ සිංහල චිත්‍රපටිය හෝල් එකේ බලන්න උවමනාව ඇති වුණේ සරත් කොතලාවල සහ කුමාර තිරිමාදුර මහත්වරු අපිව අමාරුවේ දාපු අවස්ථා අවම නිසා. ඒ කියන්නෙ රංගනය පැත්තෙන්. අධ්‍යක්ෂකවරු විදියටත් එයාල සුපිරි වැඩක් කරයි කියන බලාපොරොත්තුව තිබුණා. ඒ නිසාම විවිධ සමූහවල මේක බලපු උදවිය පල කරපු එක සටහනක්වත් කියවන්නෙ නැතිවයි මම හෝල් එකට ගියේ. ට්‍රේලර් එක බැලුවෙත් මේ සටහන ලියද්දි. ඒක මට මගහැරිල තිබුණෙ.

මේක සෑහෙන්න පරිසමාප්ත හැඟීමක් ඇති කරපු චිත්‍රපටියක්. නියර්ලි පර්ෆෙක්ට්. ඒක මට තේරෙන මට්ටමින් රඟපෑම්, තිර රචනය, අදියුරුවම, සංස්කරණය, කලා අධ්‍යක්ෂණය හා සංගීතය වගේ කලාත්මක සහ තාක්ෂණික අංග සියල්ලම සමව සහ උපරිමයෙන් දායක වෙලා වුණ වැඩක්. අඩුපාඩුවක් නොපෙනුණ තරම්. ඒ කතාව මුලදිම කියල ඉන්න ඕන.

සිංහල චිත්‍රපටියක් විදියට මීට කලින් අවසානෙට මෙහෙම හැඟීමක් ආවෙ 'හෝ ගාන පොකුණ' චිත්‍රපටියෙන්. ලාංකික චිත්‍රපටියක් විදියට 'කෝමාලි කිංග්ස්' චිත්‍රපටියෙන්. ඔය කාල සීමාව ඇතුළත හෝල් එකකට ගිහින් සිංහල චිත්‍රපටියක් බලල නෑ. ඒ නිසා තිබුණත් මට අහුවෙන්න විදියක් නෑ.

මේක ඉදිරිය ගැන සුබවාදී බලාපොරොත්තු ඇති කරවන්නක්. සිංහල සිනමාව වෙනුවෙන් වැඩක් කරන්න පුළුවන් තව දෙන්නෙක්ම ඉන්නවා. එයාලගෙ කුළුදුල් වැඩේ සාර්ථක වුණොත් ඉදිරියටත් එයාලා ලංකාවට වගේම ලෝකෙටමත් රසවිඳින්න තරම් කොලිටි වැඩ කරයි.

චිත්‍රපටියක් සාර්ථක වීමේ පළමු අවස්ථාව තිර රචනයයි බොහෝ විට. රටවල්, අනුව ඒක වෙනස් වෙන අවස්ථා තියෙනවා. නළු නිළියො නිසා හෝල්වලට ඇදෙන රසිකයො ලංකාවෙ නෑ මම හිතන්නෙ. එයාලට ඕන කතාවක්. තමන්ට කනෙක්ට් වෙන්න පුළුවන් කතාවක්. රජ කතා සහ ආගමික කථාවලට කොහොමත් ඇදෙන පිරිස ගැන නෙවෙයි මේ කියන්නේ. ඊට වෙනස් විදියකට ජීවිතේට මූණ දෙන, ජීවත් වෙන්න කට්ටක් කන අතරෙ පොඩි විනෝදෙකට, හෝ වෙනසකට චිත්‍රපටියක් බලන සැලකිය යුතු කොටසක් ගැන. ඒ කොටසත් අර කලින් කියපු ආගමික කතා රසිකයිනුත්, ඒ දෙගොල්ලොම නොවෙන රසිකයිනුත් එකතු කරගන්න පුළුවන් තිර පිටපතක් ලියන එක ලේසි වැඩක් නෙවෙයි. 'නිව්ස්පේපර්' ඒ මට්ටමේ වැඩක්.

අවුරුදු දෙක තුනකට කලින් මලයාලම් චිත්‍රපටිවල මැජික් නොවන මැජික් එකට මම අහුවෙන්නෙ අහම්බයකින් නෙවෙයි. ඒ චිත්‍රපටි අතරින් සැලකිය යුතු ප්‍රමාණයක තියෙන්නෙ ලංකාවෙ මිනිස්සුන්ගෙ ජීවිත වගේම ඒවා. ඒ කතා අපේම කතා. වෙන සංස්කෘතියක කතාවලට වඩා ගැමි මලයාලම් සංස්කෘතියෙ කතා ලංකාවෙම කතාවක් වෙනවා. ටැප් වතුරෙන් සැන්ඩි කරල අරක්කු බොන, සෙට් වෙනවයි කියල ප්ලෑන් ගහල සෙට් වෙන අවස්ථාවල ඉඳල ගඟෙන් රෙදි හෝදල රබර් සෙරෙප්පු දාගෙන චිරිස් චිරිස් සද්දෙ එක්ක ගෙට ගොඩ වෙන චරිත දක්වා දේවල් දකිද්දි ලංකාවෙ චිත්‍රපටි ගැන දැනෙන්නෙ හිස් හැඟීමක්. ඒ හිස්කම පුරවන චිත්‍රපටියක් විධියට දැනුණ එකක් තමයි ‘නිව්ස්පේපර්‘ කියන්නේ.

මේක දුවවන්නෙ සරත් සහ කුමාර දෙන්නත්, පසුව මාෂිත් වුණාට බොහොම සුළු චරිතෙකට ඉන්නෙත් රඟපෑමේ හොඳම ජීවය හිමි කලාකරුවන් වීම නිසා අපිට ගොඩනැගෙන විශ්වාසය වාසියක් වෙනවා චිත්‍රපටියට. ට්‍රේලර් එකට තියෙන යූටියුබ් කමෙන්ට් අස්සෙත් ඒක තමයි කියවෙන්නේ. ඒ විශ්වාසය චිත්‍රපටිය පුරාම පලුදු නොකර තියාගන්න කට්ටිය සමත් වෙලා තියෙනවා. විශේෂයෙන් සරත් කුමාර (තනි නමක්) රසායනය අස්සෙ අපට දැනෙන හෘදයාංගම මිත්‍රත්වය චිත්‍රපටිය පුරාම අපිව වශී කරන සාධකය වෙනවා. මොනව වුණත් උන් දෙන්නට උන් දෙන්න ඉන්නවා කියන අදහසින් අපට ආරක්ෂාවක් දැනෙනවා. රූප රාමුත්, අවශ්‍යම මොහොතේ යෙදවෙන සංගීතයත්, මට සිලුටු ඡේදනයත් මේ හැඟීම පවත්වගන්න දෙන්නෙ උපරිම සහයක්. මේ සියල්ලේ ගිනියම අවසාන ජවනිකාවෙදි ඔබේ දෑස් කෙවෙනි උණු කරමින් ගලා යන්න පුළුවන්.

මට හිතුණා ලුවිස්ගේ චරිතය තව ටිකක් සංවර්ධනය වෙන්න තිබුණ කියලා. සමහර අවස්ථාවලදි ඒ තරම්ම ඔහුව ගොන් නොකර දෙබස්වලින් වැඩි රසයක් දෙන්නත් තිබුණා කියල මට හිතුණා. මට ඒ චරිතය පැහැදිලිව විස්තර නොවෙන චරිතයක්. ඒක ගොඩ දාන්න ලේසි චරිතයකුත් නෙවෙයි. මොනව වුණත් තිරිමාදුර මහත්තයාගේ රඟපෑම ඉස්තරම්. කර්කශ අවස්ථාවක ලුවිස් කියන වචන රත්තරන්.

සාමාන්‍යයෙන් චිත්‍රපටියක එසෙන්ස් එක, එහෙම නැත්තං සාරය වචනවලට ගේන ඒම කරන්න අමාරු වැඩක්. ලොකු දාර්ශනික සහ සාමාජයීය හැදෑරීමක් එක්ක උත්සාහ කළයුතු දෙයක් ඒක. ඒ කොහොම නමුත් අවසානයෙදි චිත්‍රපටියෙ මතකයේ රැඳෙන සහ අපිව කම්පනය කරන කොටස ඒක. එහෙම සාරයක් නැති චිත්‍රපටි අපට ඉක්මනින්ම අමතක වෙලා යනවා. සාරවත් චිත්‍රපටි අපි නැවත නැවතත් බලනවා. අපේ ජීවිතවලට ඒ සාරයෙන් අංශුවක් හරි තව අරගන්න උත්සාහ කරනවා. ‘නිව්ස්පේපර්‘ චිත්‍රපටියත් ආයෙත් බලන්න තරම් ආත්මයක් තියෙන චිත්‍රපටියක්. චිත්‍රපටිය පුරාම දැනෙන හැඟීම ඒ අපිව ඒ චරිතවලට සම්බන්ධ කරනවා. එයාලගෙ හැඟීම් අපට දැනෙනවා. ඒ බැඳීම් අපේ බැඳීමක් වෙනවා. ඒ අස්සෙ සමහර මොහොතක අපට අපිවම විනිශ්චය වෙන මොහොතක් එළඹෙන්න පුළුවන්.

මේක දූවිලි ගැන චිත්‍රපටියක්. දූවිලි අපි කවුරුත් ගණං ගන්නෙ නැහැනෙ. මේකත් එහෙම ගණං නොගන්න මිනිස්සුන්ගෙ කතාවක්. ඕනම කෙනෙක්ට දූවිල්ලක් වෙන්න යන්නෙ සුළු මොහොතයි. බලය සහ ධනය තියෙන අය ඒකෙන් ගැලවුණත් සාමාන්‍ය අපිට ගැලවෙන්න ලේසි නෑ. අපි විශ්වාස කරන පරමාදර්ශවත්, අපේ පැමිණිලි අහන්න පඩි ගන්න අයවත්, අපි විශ්වාස කරන බොහොම අයවත් එහෙම මොහොතක අපි වෙනුවෙන් ඉදිරියට එන එකක් නෑ. එයාලත් ගොඩක් විට අපිව දූවිල්ලක් කරන්න ඉදිරිපත් වෙන්න පුළුවන්. මොකද බොහෝ විට ඒ අයටත් ඒ නිසා දූවිලි වෙන්න සිද්ධ වෙනවා. එහෙමයි සාමාන්‍ය අපට වෙන්නේ. ඒ නිසා මේක අපේ කතාවක්.

මේක අපි බැලුවෙ වාද්දුවෙ නිව් වින්ස් සිනමාහලේ. කොවිඩ් වසා දැමීමෙන් පස්සෙ විවෘත කරල දවස් දෙකයි. බලන්න හෝල් එකේම හිටියෙ අපේ පවුලෙ හතර දෙනා විතරයි. හෝල් එක වායු සමණිත රු. 250 ටිකට් එකට සරිලන එකක්. චිත්‍රපටිය බ්‍රයිට්නස්, කන්ට්‍රාස්ට් අඩු පතෝලමය පෙනුමකින් බලන්න ලැබුණෙ. ලෙන්ස් එකේ අවුලක් කියල ඔපරේටර් මල්ලි කිව්වා.

අවසාන වශයෙන්, මේක විචාරයක් නෙවෙයි. රස කෑමක් ලැබුණ කපුටෙක්ගෙ කෑ ගැසීමක්. ඔබ ලංකාවෙ සිනමාවක් දකින්න කැමති කෙනෙක්නම් අනිත් අයටත් ඒ පෙළඹීම කරන්න. මේක හොඳ කාලයක් නෙවෙයි. ඒ නිසා තමන්ගෙත් අනිත් අයගෙත් ආරක්ෂාව තහවුරු වෙන විදියට ගිහින් නිව්ස්පේපර් බලන්න.

https://www.imdb.com/title/tt9711868/

Komaali Kings (2018) - කෝමාලි කිංග්ස් - හඳුන්වාදීම



පහුගිය වසර කීපය තුල ලංකාවෙ හැදුණු චිත්‍රපටි අතර ශාලාවකට ගිහින් බලන්න තරම් හොඳයි කියල හිතුණ චිත්‍රපටි අතලොස්ස අතරින් හොඳම එක මොකක්ද කියල ඇහුවොත් ඒ අනිවාර්යයෙන්ම කෝමාලි කින්ග්ස් කියල කියන්න මට පුළුවන්. ඒක කියන්න පුළුවන් වෙන්නෙ චිත්‍රපටිය ඔන්ලයින් බලාගන්න දීල තියෙන අවස්ථාවෙන් ප්‍රයෝජනය අරන් දෙවෙනි වතාවටත් චිත්‍රපටිය බැලුවට පස්සෙයි. මොකද දෙහිවල කොන්කෝඩ් එකේ චිත්‍රපටිය බලපු අත්දැකීම ඒ තරම් හොඳ එකක් වුණේ නෑ. වෙහෙසකර දවසකට පස්සෙ කීප වතාවක් නින්ද යෑම එක්ක කතාවෙ හොඳම ප්ලොට් පොයින්ට් ටිකක් මගඇරිල තිබුණ. ඒ වගේම සබ් එක්ක හෝල් එකේ චිත්‍රපටියක් බලද්දි නතර කරල කියවගන්න ඕන වෙලාවලදි ඒක කරගන්න බැරි වීමත් ඒකට එක හේතුවක්. මොකද කොන්කෝඩ් එකේ පෙන්නුවෙ සිංහල සබ් තියෙන වර්ෂන් එක නෙවෙයි.

නමුත් දැන් එයාල චිත්‍රපටිය ඔන්ලයින් බලන්න අවස්ථාව දීල තියෙනව. කැමති නම් සිංහල හෝ ඉංග්‍රීසි සබ් එක්කම https://ceynema.com/ සයිට් එකේ. ගෙවන්න වෙන මුදල ඒ හැටි ගාණක් නෙවෙයි.

කෝමාලි කිංග්ස් චිත්‍රපටිය ඊට කලින් 1976 නිපදවුණ කෝමාලිකල් චිත්‍රපටියෙන් ආභාශයක් ගත්ත බවක් කියවෙනවා. ඒ වුණත් මේක බොහොම සාර්ථකව නිපදවුණ, අධ්‍යක්ෂණය වුණ චිත්‍රපටියක්. කිං රත්නම් ඒ අතින් ඇත්තටම වැඩකාරයෙක්. පොඩි පොඩි අවුල් තැන් අතාරින්න පුළුවන් තරම්.

වැඩියෙන්ම මගේ හිත ගත්තෙ සිවාට රඟපාන රාජා ගනේෂන් මහතාගේ රඟපෑම. ඒ එක්කම රොසාන්ට රඟපාන කමල්රාජ් බාලක්‍රිෂ්ණන් හොඳටම වැඩේ ගොඩ දානවා. තව අර ටැබ් එක උස්සන් බ්ලැක්මේල් කරන පොඩි එකත් මරු.

මේක සිම්පල් කතාවක්. සිම්පල් කතාවකින් පැය දෙකක චිත්‍රපටියක් ගොඩදාන හැකියාව මීට කලින් දැනෙන්න දැකල තිබුණෙ මලයාලම් චිත්‍රපටිවලින් විතරයි. නමුත් ඒ වැඩේ කරන්න පුළුවන් ලංකාවෙ එවුනුත් ඉන්නව කියල දැණෙන එක මාර හැඟීමක්.

https://www.imdb.com/title/tt7977914

Tuesday, 16 June 2015

අදහසක් ආවොත් කණේ පාරක්

The Hitchhiker's guide to the galaxy (2005) කියන චිත්‍රපටියෙ එක ස්ථානයක් තියෙනවා ප්‍රධාන චරිත ටික පහු කල යුතු. මෙතනදි හිතේ කිසිම විදියක අදහසක් ඇති වෙන්න බෑ. අදහසක් හිතට ආවොත් වැලි අතරින් මතු වෙන සවලකින් (මැස්සන්ට ගහන fly swatters කියල කියන්නේ) මූණට පාරක් වදිනවා.


අවුරුදු ගාණකට කලින් මේ සීන් එක දැකපු වෙලේ ඉඳන් හිතෙන්නෙ අපේ රටේ බහුතර උන්ව වගකිවයුතු පුරවැසියො කරන්නත් මෙහෙම එකක් ඕන කියලයි.



Tuesday, 4 June 2013

ඔළුව ඇතුලෙ චිත්‍රපටි


ක්රූඩ්ස් බලල ඒකෙ ත්‍රිමාණ අත්දැකීම ගැන බලන්න සෙට්වුණ උං එක්ක සංවාදෙක ඉන්න ගමන් කල්පනාවට මුල පුරපු දේවල් ටිකක් ලියන්න හිතුණා නිකමට. චිත්‍රපටි බැලීම වගේම චිත්‍රපටිවලින් ගොඩනැගෙන අතුරු අවකාශය ගැනත් විමසිල්ලෙන් ඉන්න එක සාමාන්‍යයෙන් පිස්සු රසිකයන්ට තියෙන උවමනාවක්. ඒ පසුබිම ගැන කලින් මෙතන සහ මෙතන ලියවිලා තියෙනවා. ඒ එක්කම ඕනම කෙනෙක්ට අනාගතේදි චිත්‍රපටි නළුවෙක් වෙන්න අවස්ථාව සලසන විද්‍යාත්මක සොයාගැනීම ගැන මෙතන තියෙනවා. හැබැයි දිග චිත්‍රපටි බලන්න අකමැති අය මේ සටහනටත් කොහොමත් කැමති වෙන එකක් නෑ.

අපි පොඩි කාලෙ හෝ දැණෙන්න චිත්‍රපටි බලන්න පටන්ගත්තු කාලෙ කවදාවත් ලබන්න නොහිතපු අත්දැකීමක් ත්‍රිමාණ චලන රූප තාක්ෂණය ඔස්සේ අපට විඳින්න ලැබිල තියෙනව. ඒ හැකියාව චිත්‍රපටියක සජීවී බව තීවෘ කරන ප්‍රබල සාධකයක්. සාමාන්‍ය විධියට දෘෂ්‍ය රූප සහ හඬ විතරක් ආශ්‍රය කරගෙන චිත්‍රපටිය විඳිනවට අමතරව ‍ත්‍රිමාණය ඔස්සේ අපට එක්තරා විධියකට විත්‍රපටියෙ තල දෘෂ්‍ය පරාසය තුල ගැඹුර ගැන අත්දැකීම විඳගන්න පුළුවන්. ඒක ඇත්තටම අපේ ඇස් රවට්ටනවා. ත්‍රිමාණය තලීය දර්ශන මාධ්‍යකින් පෙන්නන තාක්ෂණික පැහැදිලිකිරීම වීඩියෝ කතා කියන සම්පත් මෙතන කියල තියෙනවා.

ජුරාසික් පාක් චිත්‍රපටිය ප්‍රදර්ශණය වුණ කාලෙදි චිත්‍රපටි ශාලාවේ පුටුව යට ස්පීකර් හයි කරල ශබ්දයෙන් අමතර වින්දනයක් දෙන විධියෙ වැඩක් ක්‍රියාත්මක වුණා. ඒක ගැන ඊට පස්සෙ වැඩිය ඇහුණෙ නැත්තෙ සාමාන්‍ය දෙයක් වුණ නිසාද?

වෙනත් රටවල සිනමා ශාලාවේ පුටුව මෝටර්වලින් චලනය කරමින් චිත්‍රපටියෙ අවස්ථාවට අදාල කම්පනයන් ප්‍රේක්ෂකයට දැනෙන්න සලස්වන ක්‍රමයක් තියෙන බව කියවල තියෙනව. ලංකාවෙ එහෙම ශාලාවක් තියෙනවද මන්දා.

ඉස්සර රූපවාහිනියෙ ගිය beyond 2000 වැඩසටහනේ පෙන්නුව චිත්‍රපටියට අදාල එක එක සුවඳ වර්ග ඒ ඒ අවස්ථාවලදි නිකුත් කරන ක්‍රමයක් ගැන. මට මතක විධියට ඒක ජපානෙදි අත්හදා බලපු ව්‍යාපෘතියක්. ඒක අනුව සුවඳ වර්ග කීපයක් කාට්‍රිජ් විධියට පුටුවෙම තැනක රඳවන්න පුළුවන්. ඒ ඒ සුවඳ නිකුත් කරන්න ඕන වෙලාවල් චිත්‍රපටියෙ සේයා පටලය අනුව කලින් සැලසුම් කලාම චිත්‍රපටිය පෙන්වන අතරෙ අදාල අවස්ථාවලදි ඒ සුවඳ නිකුත් වෙනවා. ඒක වාණිජ මට්ටමින් ක්‍රියාත්මක වෙනවද කියන එක ෂුවර් නෑ. හැබැයි වෙනවනං ඒක වෙනම විධියෙ මාකට් එකකට දොර අරිනවා.

උදාහරණෙකට අපි හිතමු චිත්‍රපටියෙ ප්‍රධාන නළුවා පොල් සම්බල්, කුම්බලා කරවල බැදුම එක්ක කැකුළු හාලෙ බත් කන දර්ශනයක් තියෙනව කියලා. ඒක යද්දි කුම්බලා කරවල, පොල් සම්බල් සහ උණු බත්වල සුවඳ ශාලාව පුරා විහිදෙනවා. ඊට පස්සෙ ඉන්ටවල් දෙනවා. ඉන්ටවල් එකේදි සිනමා ශාලාවෙ කැන්ටිමේ තියෙනවා කුම්බලා කරවල, පොල් සම්බල් එක්ක උණු බත් පැකට්! බඩු විකිණෙන්නෙ නැති වෙයිද? (උදාහරණෙට පේස්ට්‍රිවලට වඩා බත් ෂේප් නේ)

මේ විධියෙ අමුතු අමුතු අතුරු ගැජට් කෑලි අටවපු පුටුවල ඉඳන් චිත්‍රපටි බලන්න දැනටත් අවස්ථාවක් තියෙනවා. හැබැයි සාමාන්‍ය චිත්‍රපටි ශාලාවකට ඒ වගේ දේවල් වියදම් වැඩි නිසා මේව තියෙන්නෙ ඔය ඩිස්නිලන්තෙ වගේ 'තීම් පාක්' සංකල්පයේ තැන්වල තියෙන සිනමා ශාලාවල කියල තමයි කියවන්න ලැබුණේ. ඒවට කියන්නෙ 4D චිත්‍රපටි ශාලා කියල.

ඒ කිව්වෙ අතුරු කතා ටිකක්. මම මේක ලියන්න හිතුවෙ අනාගතේදි චිත්‍රපටි වින්දනය කරන්න අපට මොන මොන විධියෙ තාක්ෂණයන් ලැබෙයිද කියන එක ගැන ටිකක් කතා කරන්නයි.

දැනට ගෙදරදි චිත්‍රපටියක් බලනවනං කෙනෙක්ට සිද්ධවෙනව තමන්ගෙ රූපවාහිනී හෝ පරිගණක තිරයේ සීමාවේ රැඳෙන්න. ටිකක් සල්ලි තියෙනවනං වීඩියෝ ‍ප්‍රොජෙක්ටරයක් ගන්න පුළුවන්. ඒත් ඒවයෙ බල්බ් එක පිච්චුනාම දාගන්න එක මාර වාතයක්. ජංගම දුරකථනයේ ප්‍රොජෙක්ටරයක් ඇතුලත් වෙන කතාවක් ටික කාලෙකට කලින් කියෙව්වට ඒක තවම මාකට් වෙලා නෑ. Samsung galaxy beam කියල එකක් ගිය අවුරුද්දෙ ආවත් ඒ ගැන ඒ තරං හොඳ ප්‍රතිචාර ලැබිල නැද්ද මන්දා. මට හිතෙන්නෙ ඒකට හේතුව ප්‍රොජෙක්ටර් යාන්ත්‍රණය විසින් සෑහෙන්න විදුලියක් පාවිච්චි කිරීම වෙන්න ඕන. ඒක ජංගම දුරකථනයේ බැටරියට දරාගන්න අමාරුයි. නමුත් ඒකෙන් කියන්නෙ නෑ ප්‍රොජෙක්ටරේ ජංගම දුරකථනෙකට එන්නෙ නෑ කියල. වැඩේට ප්‍රමාණවත් බල සැපයුමක් හැදුණු දවසක ෆෝන් එක බිත්තියකට එල්ල කරලා අඩි තුන හතරක ප්‍රමාණයට චිත්‍රපටි බලන්න අපිට පුළුවන් වෙයි.

සිනමා ශාලා අතින් ගත්තොත් අපේ දෘෂ්‍ය පරාසය සම්පූර්ණයෙන්ම ආවරණය වෙන විධියෙ පුළුල් තිර සිනමා ශාලාවල හැදෙන්න ඉඩ තියෙනවා. දැනටමත් එහෙම ඒව තියෙනව කියල මම කියවල තියෙනවා. ඒකෙන් වෙන්නෙ සාමාන්‍යයෙන් අපට ඇස් දෙකෙන්ම ආවරණය වෙන අංශක 170ක විතර කෝණයක පරාසය තිරයෙන් සම්පූර්ණයෙන්ම ආවරණය වීමයි. ඒ කියන්නෙ ඒක ලොකු තිරයක්. ඒකෙන් චිත්‍රපටියක් නරඹද්දි අපිට තිරයේ සීමාව දැණෙන එකක් නෑ.

චිත්‍රපටිය රස විඳින එක ඊට වඩා පුද්ගලික මට්ටමට යද්දි අපට ලැබෙන්න පුළුවන් ගොගල්ස් දෙකක්. ඒ කියන්නෙ ඇස් සම්පූර්ණයෙන්ම ආවරණය වෙන විධියෙ කණ්නාඩි යුවලක්. ඒකෙන් ආයෙමත් අපේ ඇස්වලට විතරක් පෞද්ගලික දෘෂ්‍ය පරාසයක දර්ශණ අපිට ලබා දෙනවා. මේක දැනටමත් වීඩියෝ ක්‍රීඩාවල තියෙන තාක්ෂණයක්. ඇත්තටම කිව්වොත් ඒ තාක්ෂණේ තවත් දියුණුයි. නිකංම නිකං චලන රූප පෙන්නනවට වඩා ඒකට පුළුවන් අපේ ක්‍රියාකාරකම් ඒ වෙලාවෙදිම සැකසුම් කරල වීඩියෝ ක්‍රීඩාවට යොමු කරවන්න. හැබැයි ඒ හැකියාව තනිකරම ගොගල්ස්වල හැකියාවක් නෙවෙයි. virtual reality හෙවත් අතථ්‍ය යථාර්ථය, augmented reality හෙවත් වර්ධිත යථාර්ථය වගේ තාක්ෂණයන් වීඩියෝ ක්‍රීඩාවලට ටිකෙන් ටික පැමිණෙමින් තියෙනව.

සමහර විට ඒ තාක්ෂණය චිත්‍රපටි කර්මාන්තයටත් ආවොත් අපි චිත්‍රපටි බලන විධිය සහමුලින්ම වෙනස් වෙන්න ඉඩ තියෙනවා. එතකොට පැත්තක ඉඳන් චිත්‍රපටිය නරඹනව වෙනුවට අපට යම් යම් විධිවලින් චිත්‍රපටිය එක්ක ගණු දෙනු කරන්න පුළුවන් වෙයි. චිත්‍රපටිය විවිධ කැමරා කෝණ වලින් බලන්න පුළුවන් වෙයි. චිත්‍රපටියෙ දර්ශණ තල ඔස්සේ දුවගෙන යන්න පුළුවන් වෙයි. හැබැයි එහෙම වෙන්න නං ඒ චිත්‍රපටිය තව දුරටත් සාමාන්‍ය විධියට හදපු චිත්‍රපටියක් වෙන එකක් නෑ. චිත්‍රපටි නිෂ්පාදන තාක්ෂණයත් ඒ එක්කම අළුත් වෙයි. කවුද දන්නේ.

ඔය ක්‍රමය තවත් දියුණු වෙද්දි අපට පුළුවන් වෙයි චිත්‍රපටියෙ චරිතයක් වෙන්න. ඒ කියන්නෙ කලින් කියපු අථත්‍ය යථාර්ථය හෙවත් සිංහලෙන් වර්චුවල් රියැරිටි වගේ තාක්ෂණේකින්. ඒ වෙද්දි චිත්‍රපටි ඇතුලෙ ප්‍රේක්ෂකයට ආදේශ වෙන්න පුළුවන් විධියෙ විවෘත වුණ චරිත නිර්මාණය වෙයි. තවත් ඉදිරියට යද්දි විත්‍රපටිය විවිධ විකල්ප අවසානයන් කීපයක් තියෙන විධියට නිර්මාණය වෙයි. එක්කෝ දුෂ්ධයා මැරෙයි. නැත්තං කෙල්ල තනි වෙයි. අවශ්‍ය අවසානය තීරණය කිරීම ප්‍රේක්ෂකයට ලැබෙයි. හරියට වීඩියෝ ගේම් එකකදි වගේම චිත්‍රපටියෙ ඇතුලෙදි අපට චිත්‍රපටිය වෙනස් කරන්න අවස්ථාවක් ලැබෙයි. වීඩියෝ ගේම් එකක් ඇතුලෙ වර්චුවල් චරිත රඟපානව වගේ චිත්‍රපටියක් ඇතුලෙත් කීප දෙනෙක්ට වර්චුවල් විධියට රඟපාන්න ලැබෙයි. එහෙම වුණොත් යාළුවො එකතු වුණාම චිත්‍රපටියක සජීවීව රඟපාන්න සෙට් වෙයි. තුන් හතර දෙනෙක් චිත්‍රපටියෙ චරිතවලට ඇතුල් වෙලා චිත්‍රපටියෙ ඇතුලෙ ජීවත් වෙමින් චිත්‍රපටිය රස විඳියි.

මේක මෙහෙම වෙන්නෙ නෑ කියල ඕන තරම් තර්ක ගේන්න පුළුවන්. නමුත් වර්තමානයෙදි ලෝකය ගමන් කරන්නෙ පෞද්ගලික රසවින්දනය පැත්තට. යම් දෙයක වින්දනය හැකි තරම් පෞද්ගලික වෙන විධියට ලබා දෙන්නයි මේ වෙද්දි කටයුතු වෙන්නෙ. මූඩ් එකට ගැලපෙන්න කැමතිම සින්දුව ඉල්ලනව වගේ අනාතගේදි මූඩ් එකට ගැලපෙන්න චිත්‍රපටියත් වෙනස් කරල ඉල්ලුවොත් දෙන්න බඩු තියෙන්න එපැයි ;-)

මෙතනදි මතක් වෙන්නෙ ක්ලාක් මහත්තයගෙ 3001 වීර චාරිකාවෙදි කියවෙන මොළ වැස්ම කියන උපකරණය. මේක තාක්ෂණිකව සහ ජෛව විද්‍යාත්මකව සැබෑ වෙන්න තව සෑහෙන කාලයක් යයි. තාක්ෂණය ගමන් කරන විධිය අනුව අනිවාර්යයයෙන් සැබෑ වෙන්න හැකියාව තියෙනවා. මේකෙ සංකල්පය ගොඩක් සරළයි.

අපි දන්නව අපිට සංවේදන කියල තේරෙන්නෙ මොළය විසින් තේරුම්ගන්න සංඥාවන් කියල. ඇස් වලින්, කන්, නාසය, දිව, ස්පර්ශය කියන ‍භෞතික සංවේදකවලින් ලැබෙන සංඥා ඔස්සේ මොළය තේරුම්ගන්නව ඒ මොකක්ද කියල. මේ සංවේදන අපට විද්‍යුත් පරිපථයකින් ඉලෙක්ට්‍රොනික සංඥා බවට හරවගන්න පුළුවන් නම් අපට ඒකෙන් සෑහෙන්න දෙවල් ටිකක් කරන්න පුළුවන්. මොළ වැස්ම කියල කියන්නෙ මේ වැඩේ කරන උපකරණය. ඒක 3001 වගේ කාලෙ වෙද්දි හැමෝගෙම හිසේ හමට යටින් හිස් කබල මත තැන්පත් කරන පරිපථ ගොඩක් තියෙන තුනී හෙල්මට් එකක් වගේ එකක් කියල හිතමු. ඒකෙන් විහිදෙන ඉලෙක්ට්‍රෝඩ මොළයේ සංවේදන තේරුම්ගන්න සෛල දක්වා දිවෙනවා. ඒකෙන් මොළයෙන් නිකුත් කරන සංඥා විද්‍යුත් තරංග බවටත්, විද්‍යුත් තරංග මොළයෙන් තේරුම්ගන්න පුළුවන් සංඥා බවටත් පත් කරනව. ඒ වගේම ඒ සංඥා වෙනත් ග්‍රාහකයකට යවන්න පුළුවන් ගුවන් විදුලි පරිපථයකුත් මොළ වැස්මෙ තියෙනවා. සරළවම කිව්වොත් මොළේට කොම්පියුටරයක් හයි කලා වගේ වැඩක්. මේක නිකංම නිකං විද්‍යා ප්‍රබන්ධයක කතාවක් විතරක් නෙවෙයි. මේ දේවල් වර්තමානයෙදි පර්යේෂණ මට්ටමෙන් ක්‍රියාත්මක වෙනව.

මේකෙදි අපි හිතන දේවල් ලියනව හෝ කියනව වෙනුවට ඒව ඉලෙක්ට්‍රොනිකව වෙන තැනකට යවන්න පුළුවන්. ඒ වගේම අපට කියවන්න අවශ්‍ය දෙයක් දෑහින් කියවන්නෙ නැතිව කෙලින්ම මොළයට ඉන්පුට් කරන්න පුළුවන්. ඔයාල මේට්‍රික්ස් චිත්‍රපටිය බලල තියෙනවනං තේරෙයි මේ කියන්නෙ ඒකෙ කියන ට්‍රේනින් ‍ප්‍රෝග්‍රෑම් ලෝඩ් කරන එක නේද කියලා.

චිත්‍රපටි බැලිල්ල මෙතනට සම්බන්ධ වෙන්නෙ එහෙම. ඒ කියන්නෙ තව දුරටත් චිත්‍රපටියට පිටින් ඉඳන් ඒක බලනව වෙනුවට මොළ වැස්ම ඔස්සේ අපට පුළුවන් චිත්‍රපටිය අපේ ඔළුව ඇතුලෙ විකාශය කරවන්න. මෙතනදි වෙන්නෙ අපේ මොළේට චිත්‍රපටියෙ රූප මාලාව පේන්න සලස්වන එක. ඒකට හරියන උපකරණයකුත් එයි. අපට අවශ්‍ය චිත්‍රපටිය අර උපකරණය මගින් ගුවන්විදුලි තරංග ඔස්සේ මොළ වැස්මට ලැබෙන්න සලස්වනවා. මොළ වැස්මෙන් ඒ රූප අපේ මොළයේ තියෙන දෘෂ්‍ය රූප තේරුම්ගන්න සෛල වලට ලබා දෙනවා.

නමුත් මට හිතෙන්නෙ ඒක ඊට වඩා දියුණු වෙයි. අර කලින් කියපු චිත්‍රපටියක් ඇතුලෙ චරිතයකට ආදේශ වෙලා චිත්‍රපටිය විඳින එක මොළ වැස්ම නිසා තවත් ඉදිරියට යයි. ඔන්ලයින් වීඩියෝ ගේම් සෙල්ලං කරනව වගේ අපි යාළුවො එක්ක චිත්‍රපටියෙ චරිතවලට ආදේශ වෙලා චිත්‍රපටි බලයි. ඒක වෙනකල් අපි වගේ උන් (මේ වෙනකල් මේක කියවන උන්) නොහිටියොත් හොඳා නැත්තං අර මත් වෙන ඒව පාවිච්චි කරනව වගේ දවස් ගණන් චිත්‍රපටි අස්සෙ ජීවත් වෙන්න ගනියි. ‍ආර්ථිකේට කොයි තරං පාඩුවක්ද ;-)






_______________________________________________

බෝනස්

All Time 10s කියන යූ ටියුබ් චැනල් එකෙන් ලෝකෙ කාටවත් තවමත් පැහැදිලි උත්තර දීගන්න බැරි වුණ ගැටළු 10ක් ගැන විද්‍යාත්මක පදනමින් කතාකරන්න අවස්ථාවක් අරගෙන. අඩුගානෙ උන්ට ඒ ගැන කතාකරන්න තරං දියුණු කැපෑසිටියක් තිබීම ගැන ඉරිසියාවෙන් මාත් බැලුවා. කැමැත්තෝ ඒක ගිහින් බලත්වා.

Saturday, 21 July 2012

ගල් ජීවිතයෙන්...



කාර්යාලයෙ ඉතාම හදිස්සි වැඩක යෙදෙන්න පටන්ගන්නකොටම දුරකථනය සාක්කුව ඇතුලෙ වෙව්ලන්න ගත්තා. මේ වෙලාව ලේසියෙන් කෙනෙක්ට මට සම්බන්ධ වෙන්න පුළුවන් වෙලාවක් නෙවෙයි. ඒත් මේ ඇමතුම කොයිම වෙලාවකදිවත් රිජෙක්ට් කරන්න පුළුවන් එකකකුත් නෙවෙයි. ජීවිතේ ඉතිරිවෙලා තියෙන මනුස්ස සම්බන්ධ කීපය අතරින් එකක් එහා කොනේ තියෙන බව මම දන්න නිසයි ඒ.

හලෝ....

මම ඇමතුමට පිළිතුරු දුන්නා...

උඹ අම්බාණක් වැඩද?

ගනේගොඩ අද නම් තවමත් හොඳ සිහියෙන්...

නෑ නෑ ෂේප්...

ඒ මම කවදත් දෙන උත්තරය. ගනේගොඩ වෙනුවෙන් මම දන්න තරමින් මම ලේසියෙන් බිසි වෙලා නෑ. කොහොමත් ඔහු එහෙම කතා කරන්නෙ මාසෙකට දෙකකට සැරයක් විතරයි...

උඹ බිසි වුණත් කරන්න දෙයක් නෑ බං.. මම දැන් ටිකකට කලින් අම්බාණක් ඇඬුව. මේක දරාගන්න අමාරුයි බං.

ඔහු කියාගෙන ගියා.

ඇයි මොකක්ද වෙලා තියෙන්නෙ?

මුකුත් වෙලා නෑ. දරාගන්න අමාරුයි බං. මේව මං කාටද කියන්නෙ?

මොකද ඉතිං අඬන්න හේතුව?

හේතුවක් නෑ හර්ෂ මට අම්ම මතක් වුණා. චූටි මතක් වුණා. අමරෙගෙ පරණ සින්දු ටික ඇහෙනකොට හිස්ට්‍රියට ගිහින් ඉතිං ඇඬුණ. මේව කියන්න එකෙක් නෑ බං. මිනිස්සුන්ට කවදද මේව තේරෙන්නෙ.

මිනිස්සුන්ට වැඩ තියෙනවනෙ ඉතිං. දරාගන්න වෙනවා.

උඹ කියන්නෙ විකල්පයක් නෑ කියලද? උඹ කවදාවත් එහෙම අඬල නැද්ද?

සෑහෙන්න ඉස්සර. අම්මයි තාත්තයි හින්ද.

උඹ මොකද කළේ ඉතිං.

මං ගල්ගැහුණ ඉතිං. වෙන කරන්න දෙයක් නෑ. ඒ කාලෙ එහෙම ඒව කතා කරන්න තරං ෆිට් මනුස්සයෙක් හිටියෙ නෑනෙ.

දරාගන්න එක තමයි නේද බං සීන් එක? දරාගන්නෙ කොහොමද මචං. ඒකෙත් ඉවරයක් නෑ බං. හැඟීම් දැණෙනව වැඩි වුණාමත් මාර වාතයක්.

දැන් අපි ඉන්න ලෝකෙදි ඒක ලෙඩක්.

මොනව කරන්නද බං.. උඹ එහෙනං වැඩක් කරගනිං.

ළඟපාත දුමක් තියෙනවනං ඉතිං ඔය ෆීලිං එක වාෂ්ප කරල දාන්න... නැත්තං නින්දක් දාල නැගිටින්න.

වෙන කරන්න දෙයක් නෑ බං. මං ගාව රුපියල් දහයක් තිබුණා. ගේ අස්සෙ අවුස්සල බලල ඉතිරි ගාන හොයාගන්න ඕන දුමක් ගේන්න.

හා හා ඕන එකක්. හොයාගන්න බැරි වුණොත් ආයෙත් ඇති තරම් අඬන්න.


දුරකථන සංවාදය සුපුරුදු බායි කීපයකට පස්සෙ නිමා වුණේ හිතේ තැන්පත් වුණ බරක් එක්ක. හැමදාම ඔහුත් එක්ක සංවේදී සංවාදයකින් පස්සෙ මට තනියෙන් හිතන්න ඉතිරි වෙන හැඟීම මට දැණුනෙ කාලෙකින්. ඒ තරමට ඔහුත් මමත් ඈත් වෙන්න අරන්. ඇත්තම කිව්වොත් ජීවිතේ අපි අතර ලොකු ප්‍රතිරෝධයක් ඇති කරලා. එකිනෙකා එක්ක සංවාදෙකට වඩා අදහස් තමන් තුලම ගොනු වෙන තනිකමක් ගොඩනැගිලා.

ජීවිතේ අර්ථදැක්වීම් සෑහෙන්න ප්‍රමාණයක් අළුතෙන් හඳුනාගත්තු මිනිහෙක්ට ආදරේ වෙනුවට මිනිස් සම්බන්ධ වල ගනුදෙනු තේරෙද්දි ජීවිතේ අමාරු වෙන එක සරල ඇත්තක්. ඒ අස්සෙ වටේ තියෙන සීමිත මිනිස් සම්බන්ධතා අස්සෙ තියෙන ආදරේ දැණෙද්දි ඇඬනව තමයි. අඬනව ඇරෙන්න ඒකට වෙන විසඳුමක් නැති තරම්. තමන් අසරණයි නම්, තමන්ට උදව් කරන්න ඉන්න අය ඊටත් වඩා අසරණයි නම් මිනිහෙක්ට වෙන විකල්පයක් නැතුව ඇති.

ජීවිතයත් මරණයත් අතර එක්තරා යුද්ධයක් කරමින් ජීවත් වෙන මනුස්සයෙක් වෙනුවෙන් මට කරන්න පුළුවන් මොකක්ද? හැම මාසෙකදිම ගිගා බයිට් විස්සක තිහක චිත්‍රපටි ටිකක් එක්ක දුම් කූරු හතරක් පහක් විතරක්??? සමහර විට ඔව්. ජීවිතේ වෙනස්වීම් එක්ක එතනින් එහා සංවාද සේරම වචන කීපයකට විතරක් සීමා වෙද්දි, මට ඔහු එක්ක රැඳෙමින් චිත්‍රපටියක් ගැන මොළේ අවුල් කරන සාකච්ඡාවක යෙදෙන්න කාලයක් නැති වෙලා ගිහින්.

එහෙම නැත්තං මුල්ලකින් ඇදල ගන්න 'මම කවුද' කියන උත්තර නැති ප්‍රශ්ණෙ ඔස්සේ හාවගේ ලොම්වලිනුත් මිදිල අභ්‍යවකාශයේ නිමක් නැති එකඟත්වයකුත් නැති සංවාදවල කිමිදෙන්න....

ජීවිතේ සංකීර්ණ වෙලා... හැඟීම් ගල්කරගන්න ඕන වෙලා. අච්චු වලට හැඩගැහුණ ජීවිත අස්සෙ හුරු පුරුදු ඇනුවල් වෙනස්වීම් ඇරුණම කිසිම අහම්බයක් නැතිවීම ඔහුගෙත් ම‍ගේත් සිග් සැග් සයිනාකාර ජීවිත ලීනියර් කරන්න අරන්...

උඹ ආයෙ එනකොට එහෙනං අළුත් වස්තු සම්භාරයක් අරන් වරෙන්...

ඔහු හැමදාම සමුගනිද්දි කිව්වෙ එහෙම.

ගිගා බයිට් විස්සක තිහක වස්තු සම්භාරය...

අඩු තරමෙ ඒ වචන කීපය තාමත් අපි සම්පූර්ණයෙන්ම ගල් වෙලා නෑ කියන එකට සාක්ෂියක් වුණා...

Friday, 23 September 2011

හොඳ නොවන චිත්‍රපටි පිස්සුව | Love for movies!


ඊයෙ කියෙව්ව නෙව මෙතනට එනකල්... මේ ඉතිරි ටික...

-----------------------------------------------------------

චිත්‍රපටි බැලිල්ලෙ ඊළඟ අදියරට එන්නෙ මම අන්තර්ජාලයට එකතු වීමත් එක්ක. අවුරුදු ගාණක් ඊ-මේල් විතරක් හුවමාරු කරමින් ඉඳල 2008දි සයිබරයේ සත්ත්වයෙක් විධියට අමාරුවෙන් අඩිය තැබීමත් එක්කම චිත්‍රපටි බලන, ඒ ගැන කතාකරන, හුවමාරු කරන කීප දෙනෙක්ම මට හම්බවෙනව. ඒ අයත් එක්ක චිත්‍රපටි වලින් නැවතුනේ නැති සංවාද හරහා එයාල එක්ක ගැඹුරු මිතුරුකම් ගොඩක් ඇති වෙනව. ඔය අතරින් මුලින්ම මට ටොරන්ට් වලින් බාගත්තු චිත්‍රපටි එකතුව ලබාදෙන්නෙ සම්පත්. ඒක එයා අධ්‍යාපනය සඳහා රටෙන් පිටත් වෙන්න කලින් DVD එකක මට තැපැල් කරන චිත්‍රපටි එකතුවක්. ඒකෙ තියෙන්නෙ Across the Universe, Eternal Sunshine of the Spotless Mind, Into the Wild, Kite Runner සහ Once කියන චිත්‍රපටි කීපය. ඒ එක්කම වදයක් නැතිව ඒව බලන්න මට SM PLAYER මෘදුකාංගයත් එයා ඒකෙම එවනව. ඔය චිත්‍රපටිවලින් කීපයක් ගැනම අපි කලින් කතාකරල තිබුණ නිසා ඒව මට සෑහෙන්න වටින දේවල් වුණා ඒ දවස් වල. ඒ එක්කම තමයි අන්තර්ජාලයෙන් චිත්‍රපටි බෑම කියන ඒක ගැන මම හොයන්න යන්නේ. නමුත් මට ඒ වෙද්දිවත් මගේම කියල පරිගණකයක් හෝ අන්තර්ජාලයෙන් බාන්න තරම් හැකියාවක් නොතිබුණ නිසා ඒ වැඩේ ගැන නොහිත හිටියා. හැබැයි You've got mail කියන, ඒ දවස්වල හොඳටම වැදුණ චිත්‍රපටියක් මම youtube එකෙන් කෑලි විධියට බෑවා.

ඔය ඔබ නලයෙන් බාන එකත් රසවත් වැඩක් වුණා ඒ දවස් වල. ඇත්තම කිව්වොත් මෙලෝ රහක් නෑ ඒ බෑවිල්ල. ඒ කාලෙ ඔය ඩවුන්ලෝඩ් මැනේජර්, වීඩියෝ වඩුන්ලෝඩර් වගේ එව්ව ගැන හාංකවිසියක්වත් දැනගෙන නොහිටපු නිසා බාගන්න වෙන විධියක් තිබුණෙම නෑ. ඒත් youtube වීඩියෝවක් හාඩ් ඩිස්ක් එකේ කොහෙට හරි buffer වෙන්න ඕන කියල මම දැනගෙන හිටිය. ඔය ගැන පොඩ්ඩක් අවුස්සලා බැලුවම මෙන්න user folder එකේ Local Settings\Temp කියන පාත් එකට .tmp ෆයිල් එකක් එනවා වීඩියෝවක් බලද්දි. හැබැයි මේක වීඩියෝවෙන් අයින් වුණ ගමන් මැකෙනවා. ඒ වගේම කොපි කරන්නත් බෑ. නමුත් වැඩෙත් කෙරෙන්න ඕන නිසා මම කලේ වීඩියෝ 4ක් විතර play වෙන්න දාල සේරම සම්පූර්ණ වුණාට පස්සෙ මැෂින් එකේ තියෙන reset බොත්තම ඔබපු එකයි. යන්තරේ ආයෙ ඔන් වුණාම යස අගේට අර පාත් එකේ අදාල ෆයිල් ටික තිබුණා. මැෂින් එක reset වෙනකොටත් වීඩියෝ ටික බ්‍රවුසරේ ලෝඩ් වෙලා තිබුණ නිසා සිස්ටම් එකෙන් ඒව මකන්න වෙලාවක් නෑ. කොහොම හරි ඒවයෙ extension එක .flv කරගත්තම වැඩේ හරි.

නොදන්න කාලෙ ඔහොම කලාට දැන්නම් ඒ වැඩේට ඕන තරම් බඩු තියෙනවා. නමුත් ඒ දවස්වල මට චිත්‍රපටි බෑමේ පිස්සුව හැදුණනම් අපේ බොසාට අළුත් කොම්පියුටර් කීපයක්ම ගන්න සිද්ධ වෙන්න තිබුණා මගේ reset කිරිල්ල නිසා.

හරි... ඒ අතුරු කතාවක්...

චිත්‍රපටි බැලීමේ පුරුද්ද සම්පූර්ණයෙන්ම අළුත් වෙන්නෙ ඔයාල දන්න රේවන් හෙවත් අපේ බෝ නිසා. එයා කලින් ඉඳන්ම චිත්‍රපටි බාමින් බලපු කෙනෙක්. ඒ නිසාම අපේ හමුවීම් අතරෙදි එයාගෙ මුළු චිත්‍රපටි ගබඩාවම මට හම්බ වෙනවා. ඔය කාලෙදි මම මිලට ගන්න 80 GB IDE හාඩ් ඩිස්ක් එක (පෝටබල් නෙවෙයි. IDE කේබල් එකත් එක්ක උස්සන් යන්නේ :P) එයාගෙ යන්තරේට ගහල ඒකෙන් මගේ හාඩ් එකට කොපි කරල තමයි මම චිත්‍රපටි ගත්තේ. ඒ දවස්වල එයාට තිබු‍ණ යන්තරේ එක පාරම ඔය හාඩ් එක detect නොකරපු නිසා අපි කාපු කටු නම් කියල වැඩක් නෑ. චිත්‍රපටි 100ක් විතර කොපි වෙනවට වඩා වෙලා යනව හාඩ් එක connect කරන්න. කොහොම හරි ඒ දවස්වල දවසට චිත්‍රපටි දෙකක් කොහොම හරි බලනවා. නැත්තං ඔය චිත්‍රපටි 100 ඉවර කරගන්නෙ කොහොමද? රේවනුත් දවසකට චිත්‍රපටි 2කට වඩා බෑව නෙව.

ඔය චිත්‍රපටි වලින් හොඳම ඒව මම DVD වලට දාගෙන ගනේගොඩ අයිය එක්ක බෙදාගන්නවා. එ‍්වත් එකතු කරන්න පටන්ගන්නවා.

2009 මුලදි ආයෙත් මම ගමට එනවා. ඔය කාලෙ බ්ලොග් හොඳටම ලියවුණ කාලෙ සහ අන්තර්ජාලය අස්සෙ එක එක සංගම් වල ක්‍රියාන්විතයේ හිටපු කාලෙ නිසා ගමට ආපුගමන් කරන මුල්ම කටයුත්තක් තමයි ගෙදරට ජාලෙ හදාගන්න එක. ඊට පස්සෙ චිත්‍රපටි බැලිල්ල සහ බෑම ගැන කවර කතාද? මුල් කාලෙ දවසකට චිත්‍රපටි දෙක හමාරක්වත් නොබල මිස නිදා‍ගත්තෙනම් නෑ. හාඩ් ඩිස්ක් එකේ තිබුණ ඒවයි මම කැමති ඒවයි සේරම හවස හයේ ඉඳන් පාන්දර වෙනකල් බැලිල්ල තමයි කලේ. රස්සාවට යන්න උදේ 7.30 ට නැගිට්ටත් ෂේප් නිසා කිසි අවුලක් නැතිව චිත්‍රපටි වෙනුවෙන් නිශාචර වුණා.

ඒ එක්කම මට ඕන වෙනව අඩුගානෙ මම බාන ඒවවත් බැකප් කරගන්න. ඒ නිසා සුපුරුදු විධියට DVD අරගෙන ඒව පිරෙන ප්‍රමාණයට ඒවට චිත්‍රපටි wright කරනව. ඒ එක්කම ඒව හරියට maintain කරන්න ඕන නිසා CD bank කියන organizer එක පාවිච්චි කරල ඒව අංක කරගන්නවා. DVD වල අදාල චිත්‍රපටියෙ නමයි අංකයයි ලියනවා. ඔහොම එකතු කරපු DVD දැනට නම් තියෙන්නෙ 160ක් විතර. බලපුවයින් හොඳම කියල හිතෙන ඒව විතරක් ඔහොම තියාගන්න නිසා තාමත් ඒ ගාණෙන් ෂේප්.

2009 අගදි මට යාළුවෙක්ගෙන් තෑග්ගක් විධියට ගිගා බයිට් 300ක පෝටබල් හාඩ් එකක් ලැබෙනව. ඕක ලැබුණ එක නිකං රජ වුණා වගේ වැඩක්. දන්න කියන හැමෝගෙන්ම ගත්තුව ඕකෙ පුරවගත්ත. සැරින් සැරේ රේවන් හම්බවුණාමත් ඒකෙ බාගයක් පිරුණා. ඊට අමතරව ඔෆිස් එකේ වගේම වෙනත් යාළුවන්ගෙන් ලැබෙන ඒවත් දැන් මුලින්ම යන්නෙ ඒකට. ඒකෙ කාලයක් තිස්සෙ හොඳට තෙම්පරාදු වුණාට පස්සෙ තමයි චිත්‍රපටිය බැලෙන්නේ. මොකද දැන් තියෙන ඉඩකඩත් එක්ක ලැබෙන හැම චිත්‍රපටියක්ම බලන්නත් බෑ. ඒ නිසා බලන්න කලින් විනාඩි කීපයක් ඔය IMDB පැත්තෙ ගිහින් කමෙන්ට් එකක් දෙකක් කියවලා, එහෙම නැත්තං අධ්‍යක්ෂල ගැන හරි නළු නිලියො ගැන හරි සලකලා තමයි චිත්‍රපටිය බලන්න වෙන්නේ.

වර්තමානය වෙද්දි චිත්‍රපටි බැලීමත් සයිනාකාරයි. ඒ කියන්නෙ එක කාලෙකට හිටු කියලා චිත්‍රපටි බලනවා. අනිත් කාලෙට චිත්‍රපටි අතෑරලා ඔය ටියුටෝරියල් බලන එක හෝ ලිවීම වගේ වෙන වෙන අනංමනං. මේ කාලෙ ආයෙත් ගෙවෙන්නෙ චිත්‍රපටි සමයක්. මොකද තාම පිස්සුව හොඳ නෑ. ඒ නිසාමයි මේ ගැන ඔන්න ඔහේ ලියල දානව කියල හිතුණේ.

මම දන්නව මේකෙන් කාටවත් ඇති වැඩක් නෑ කියල. ඒත් වැඩක් ඇති වැඩම කරන්න ඕනත් නෑනේ... :D

Thursday, 22 September 2011

චිත්‍රපටි පිස්සුව | Beware of Snakes!



කාලෙකින් අත නොතිය තිබුණ ලට්ට ලොට්ට ගොඩක් අවුස්සද්දි හම්බවුණ CD කීපයක් නිසා ලියන්න හිතුණ දෙයක් මේක. එක අතකින් ඉතිහාස කතාවක්. එක අතකින් මට චිත්‍රපටි පිස්සුව හැදුණ හැටි ගැන කතාවක්.

කතා කරන්න රටේ ප්‍රශ්ණනම් ඕන තරම් තියෙනවා. ඒත් හැමදාම ඒවම කතා කරලත් හරියන්නෙ නෑ. අනික බ්ලොග් එකට විවිධත්වයකුත් එපැයි.

මට හිතෙන්නෙ මට ඔය පිස්සුව ජාන වලින් ලැබුණ එකක්. අම්මගෙ පරම්පරාවමත් තාත්තගෙ පරම්පරාවමත් සැලකිය යුතු තරමින් චිත්‍රපටි බලපු සහ ඒ ගැන කතා කරපු අය. ඒ නිසා අම්මත් එක්ක පුංචි කාලෙ ඉඳන්ම ටීවී වල ගියපු චිත්‍රපටි බලන පුරුද්ද මට තිබුණා. ගොඩක් ඉස්සර අපට කොහෙත්ම බලන්න හිතෙන්නෙ නැති දෙමළ චිත්‍රපටි බලන්න අම්ම රෑ 10 වෙනකල් ඇහැරල ඉන්නව මට මතකයි. පස්සෙ කාලෙ මට මතකයි අපට ITN යන්තම් පේන්න ගත්තු දවස් වල පවා ‍නොයිස් අම්බාණක් එක්ක අපි යන්තම් සබ්ටයිටල් කියවගෙන හින්දි චිත්‍රපටි බැලුවා.

කොහොම හරි ඊට පස්සෙ මගේ අම්මගෙ ආදරණීය මලයා හෙවත් මගේ මාමණ්ඩි එයාගෙ ගෙදරට අරන් ආපු VCR ප්ලේයර් එක අර පිස්සුව තවත් වැඩි කරන්න දායක ‍වුණා. ඒ දවස් වල අපි මාසෙකට දෙතුන් වතාවක් එහෙට සෙට් වෙන්නෙ රුපියල් හැටක් දීල VCR ටේප් දෙකකුත් අරගෙන. ඒ කාලෙ ඔය ස්ටැලෝන්, ශ්වාසෙනගර් වගේ නළුවන්ගෙ චිත්‍රපටි හොඳට හිට්. මට මතකයි දවසක් අපේ බාප්ප කෙනෙක් කිව්වා "අද උඹල ෂෝ මුකුත් ගේන්න එපා.. මට ඉරේෂා හම්බවෙනව දවල්ට" කියල. අපිත් බලං හිටිය ඉරේෂා සිංහල ෂෝ එක බලන්න. බැලින්නම් ඒ ශ්වාසෙනගර්ගෙ Eraser චිත්‍රපටිය. :D කොහොමින් හරි ඒ දවස්වල සැලකිය යුතු තරමක් හින්දි චිත්‍රපටිත් ඕකෙ පිහිටෙන් තමයි බැලුවේ. මම හිතන්නෙ ඊට පස්සෙ උදාවුණ කාලෙදි හින්දි චිත්‍රපටි හොයාගෙන බලන පුරුද්ද මග ඇරුණ නිසා ඔය මාමගේ VCR එකෙන් බලපු හින්දි චිත්‍රපටි වලට තාමත් මම කැමතියි.

ඔය කාලෙට සමගාමීව 96 ලෝක කුසලානෙද කොහෙද පෙන්නන්න ස්වර්ණවාහිනියත් අපට පේන්න ගත්තා. ඒකෙ නෙව චිත්‍රපටි ගියේ. අර ජාතික එකේ හැමදාම පතුරු ගහපු අභිමාන්, ආරාධනා වගේ එව්ව සේරම කැලේ ගියෙ ස්වර්ණවාහිනියෙන් අයිෂ්වර්යා රායිල, කාජල්ල, දේව්ගන්ල, අලි ඛාන්ල සාලෙටම ගෙනැල්ල අතෑරියට පස්සේ. අභිමාන්, ආරාධනා කියන්නෙ පට්ට ක්ලැසික් චිත්‍රපටි වුණාට ඒ දවස්වල ඒව එපා වෙන තරමට පෙන්නලා තිබුණ නිසා අවුරුද්දක්වත් පරණ නැති අළුත්ම චිත්‍රපටි ‍පෙන්නන්න ගත්තම අපට නත්තල්... නෑ.. අවුරුදු වගේ.

ඔය සේරම කොළොම්පුරේ ගමනින් කෙලවර වෙනව. 2001 ඉදන් අවුරුදු කීපයක් යනකල් චිත්‍රපටි බලන්න ලොකු අවස්ථා නොලැබුණ තරම්. ඒ දවස්වල නැවතිල හිටපු ඥාති ගෙදර රාත්‍රියට ටීවී එක බැලුවෙ නෑ කවුරුත්. ඒ නිසා ටීවී එකෙන් චිත්‍රපටි බැලිල්ලටත් සොරි වුණා. නමුත් අතරින් පතර ඒ කාලෙත් චිත්‍රපටියක් ටීවී එකේ බලාගන්න බැරි වුණේ නෑ. ඒ කාලෙ තිබුණ එකම විසඳුම වෙනත් මාර්ග වලට යොමු වෙන එක තමයි. ඒ නිසා නුගේගොඩ ක්විනලන් එකයි මෙට්රෝ එකයි තමයි රජ දහන වුණේ. ඔය කාලෙ චිත්‍රපටි හෝල් අස්සෙ අපූරු පුද්ගලයො හම්බ වෙලා තියෙනව වගේම මාර ආතල් සිදුවීම් වෙලා තියෙනවා. ඒවයින් ගොඩක් දැන් මතක නෑ. නැත්තං මතක් කරගන්න උවමනාවක් නෑ. මුල්ම දවස් වල වතාවක් ඉංග්‍රීසි චිත්‍රපටියක් බලන්න ක්වින්ලන් එකට ගියා. ඒ දවස්වල ඒක EAP අයගෙ නෙවෙයි. ඒ දවස්වල කිසිම පිරිසිදුකමක් නැති කසිකබල් හෝල් එකක් ඒක. (දැනුත් ලොකු වෙනසක් නෑ තමයි...) ඔය කියපු දවසෙ ඉංග්‍රීසි චිත්‍රපටිය තිබුණෙ පැය බාගයක් විතරයි. ඉන්ටවල් එකෙන් පස්සෙ ගියෙ වෙනම එකක්. ඒකෙ තිබුණෙ ඉස්කෝලෙ ටීචර්ගෙ නිරුවත බලන්න පොරකන ගැටව් ටිකක කතාවක්. ඒක නිලුත් නෑ කහත් නෑ රෝසත් නෑ වර්ගයේ එකක්. පස්සෙ ඒවගේ සිදුවීම් කීපයක්ම වුණා. කියන්න තරම් දෙයක් නැති. කොහොම හරි ඒ කාලය චිත්‍රපටි සම්බන්ධයෙන් කිසි වගතුවක් නැති කාලයක්.

ඔය අතරෙ මම කරමින් හිටපු රස්සාව වෙනස් වෙලා මම නුගේගොඩ පින්තූර කඩේ වැඩට යනව. එතන මම කියන මනුස්සයා මැකිල ආයෙමත් හැදුණ තැනක්. මම හිතන්නෙ මට හම්බවුණ ආකර්ශනීයම මිතුරන් බොහොමයක් මට හම්බවුණේ එතනදි. ඒ වගේම ඒ රැකියා ස්ථානය වක්‍රව චිත්‍රපටි ක්ෂේත්‍රයටත් සම්බන්ධ වුණ නිසා මට ක්ෂේත්‍රයේ ඉන්න අයත් අඳුණගන්න ලැබුණා. එයාලත් එක්ක කතා කරන්න වගේම චිත්‍රපටි ගැන දැනුම බෙදාගන්න එතන හොඳ ස්ථානයක් වුණා.

එතනදි මට හමුවුණ, මාත් ඇතුළුව කිහිප දෙනෙකුගේම රසය වෙනත්ම තැනකට ගෙනාපු කීප කීප දෙනෙක් හිටියා. එක්කෙනෙක් දැනටමත් කීප වතාවක්ම කතා කරල තියෙන ගනේගොඩ අයියා. අදටත් මම එයාව අදහන්නෙ නැති එක විතරයි. එයා රජයේ චිත්‍රපටි අංශයේ (GFU) හිටපු සංස්කරණ ශිල්පියෙක්. නෙගටිව් ෆිල්ම් තමයි එයා එඩිට් කරල තියෙන්නේ. ඒ දැණුමත්, එයා සතුව තිබුණ චිත්‍රපටි වින්දනය පිළිබඳ රසයත් ටිකෙන් ටික දැනටත් මාව වෙනස් කරනවා. දැනටත් චිත්‍රපටි සම්බන්ධයෙන් මට හොඳම සංවාදය තියෙන්නෙ එයත් එක්ක. හැබැයි දැන් දැන් සංවාදයක් නැතිවම අපි දෙන්න එකඟ වෙන තැන් ගොඩක් අපට තියෙනවා.

අනිත් කෙනා පාලිත අයියා. එයා ඉස්සර කිරුළපන චණ්ඩියෙක්ලු. බැන්දට පස්සෙ හැම චණ්ඩියටම වෙන වැඩේ වෙලා. එයත් හැම වර්ගයකම චිත්‍රපටි බලන හොඳ රසිකයෙක්. එයා තමයි ඒ දවස්වල අපේ නිල චිත්‍රපටි සැපයුම්කරු. එයා සතුව තිබුණා ලොකු චිත්‍රපටි එකතුවක්. ඒ කාලෙ DVD වත් ඒ තරම් ජනප්‍රිය නැති නිසා VCD තමයි ප්‍රධාන මාධ්‍යය. ඉතිං පින්තූර කඩේ බෝඩිමේ රාත්‍රි‍යට නවාතැන්ගන්න ගමන් අපි කළේ චිත්‍රපටි බලපු එක. සමහර වෙලාවට අභ්‍යවකාශගත වෙලා ;-)

පාලිත අයියට චිත්‍රපටි කුළියට දෙන කඩයක්ම හම්බ වෙලා තිබුණ කියලයි අපට අහන්න ලැබුණෙ. ඒ කියන්නෙ එයාගෙ යාළුවෙක් කරමින් හිටපු වීඩියෝ කඩයක් වහල ඒ තැටි සේරම පාලිත අයියට දුන්න බවක් අහන්න ලැබුණා. ඉතිං පාලිත අයිය කලේ තමන් ගාව නැති චිත්‍රපටි හොයමින් එකතු කරපු එක. ඒ දවස්වල එයාගෙ පඩියෙන් සැලකිය යුතු කොටසක් වෙන්වුණා VCD මිලට ගන්න.

ඔය අතරට ආපු අනිත් එක්කෙනා නලින්. එයා පාදුක්කෙ කොල්ලෙක්. අදටත් කොළඹ ආවොත් අනිවා සෙට් වෙන ඩයල් අතරෙ එකෙක්. ඌට තිබුණෙ කව්බෝයි පිස්සුව. මිනිහ තමයි මාවත් කව්බෝයි පිස්සෙක් කළේ. ඔය ක්ලින්ට් මහත්තය රඟපාපු චිත්‍රපටි, චාල්ස් ‍බ්‍රොන්සන් මහත්තයගෙ චිත්‍රපටි අභ්‍යවකාශගත වෙන ද්‍රව්‍යයත් එක්ක බොහොම නිවි සැනසිල්ලෙ ගලාගෙන යන චිත්‍රපටි නිසා ඒව සෑහෙන්න රස වින්දා අපි.

ඔය කාලෙ තමයි මටත් චිත්‍රපටි එකතු කිරීමේ පිස්සුව හැදෙන්නේ. ඒකට හේතුව පාලිත අයියගෙන් චිත්‍රපටියක් ඉල්ලගන්න තිබුණ අමාරුව. මොකද මිනිහ වැඩිය කැමති වුණේ නෑ ඒව බෙදාහදාගන්න. හේතුව චිත්‍රපටිවලට එයාගෙ ආදරේ වැඩිකම. අනික ගොඩක් අය ඉල්ලගෙන යන ඒව ආයෙ ගෙනත් නොදීම. නමුත් එයාගෙ විශ්වාසය දිනාගන්න එක අමාරු වුණේ නෑ. මමයි නලිනුයි ගනේගොඩයි තුන් දෙනත් ලාවට චිත්‍රපටි මිලට ගන්න පටන් ගත්තා. ඒ දවස්වල නුගේගොඩ අනුලා එක ගාව දැනටත් තියෙන කඩේ (පිරමිඩ්ද කොහෙද නම) අපේ ගෙදර වගේ. ඊට පස්සෙ නුගේගොඩ රංග පීඨෙ ගාව CD විමන, තව සුපර් මාකට් එක ඇතුලෙ චිත්‍රපටි කඩ පේලි ටික.. වගේ නුගේගොඩ අවට DVD විකුණපු තැන් අපේ වාසස්ථාන වුණා. අපි ඒ ගත්තුව පාලිත අයියත් එක්ක හුවමාරු කරගත්තා. ඒ වැඩේ හොඳට ගියා.

ඔය කාලෙම මට පුරුද්දක් තිබුණා පාගොඩ පාරෙ සමුද්‍රසිරියෙ තිබුණ චිත්‍රපටි කඩෙන් අයිඩෙන්ටිය තියල රුපියල් තිහට හතලිහට චිත්‍රපටි ගන්න. ‍ගොඩක් විට එතනින් අරන් චිත්‍රපටිය හොඳනම් තියාගන්නම කඩෙන් ගන්නව VCD චිත්‍රපටිය රුපියල් 120/-ට. ඒ දවස්වල CD එකක් 60 ගානෙ තමයි VCD තිබුණෙ. නැත්තං හිස් CD දෙකක් අරන් write කරනව.

ඒ අතරෙ තමයි කොහුවල පාරෙ චිත්‍රපටි කඩයක් දැම්මෙ. දැන් ඒකෙ කොටසක් තමයි අර මුස්ලිම් කෑම කඩේ. (ඔය dinemore එක ඉස්සරහම වගේ) ඉස්සර ඒක සම්පූර්ණයෙන්ම චිත්‍රපටි විතරයි තිබුණේ. ඒක කරේ පකිස්ථාන් ජාතිකයෙක්. අපි කඩේට කිව්වෙ පකිස්ථාන් කාරයගෙ කඩේ කියල. ඒකෙ හිටපු ලස්සන පකිස්ථාන් පෙනුමැති අක්කලා නිසාත්, එතන තිබුණ හොඳ collection එක නිසාත් කාලයක් යද්දි ඒක අපේ ප්‍රධාන VCD මිලට ගැනීමේ ස්ථානය වුණා.

අනුන්ගෙන් හරි කුලියට හරි ගන්න චිත්‍රපටි ළඟ තියාගන්නත් ඔය වෙද්දි උවමනාව ඇති වෙනව. ඒ කියන්නෙ චිත්‍රපටි එකතු කිරීමේ පිස්සුව. ඒ නිසා ඊළඟට පටන්ගන්නෙ චිත්‍රපටි CD වලට burn කරල තියාගන්න එක. ඕකට මම සෑහෙන්න කාලයක් පාවිච්චි කළේ Maxell කියන CD වර්ගය. දැන් නම් ඒක වැඩිය දකින්නත් නෑ. නමුත් රුපියල් 30-40ක් වගේ ගාණකට ඒ දවස්වල ගන්න තිබුණ හොඳම එක ඒක. ඒවයෙ චිත්‍රපටි wright කරල, CD වල ලියන පෑනකින් A සහ B ලියල, පුංචි සිලි මල්ලකට ඒව දැම්මා. පින්තූර කඩේ පින්තූර ප්‍රින්ට් කරල අපතේ යන කොල වලින් මම ඒවට කවරත් හැදුව. ඔය මුලින්ම කියපු ලට්ට ලොට්ට අස්සෙ තිබුල හම්බ වුණේ එහෙම ඒව ටිකක් තමයි.

ගනේගොඩ අයිය DVD player එකක් ගන්නෙ ඒ කාලෙදි. 2005 - 2006 දි විතර. ඒ වෙද්දි VCD වල තිබුණ අන්තිම වෙද්දි හිර වෙන ගතිය නිසා ඒව එපා වෙලයි තිබුණෙ. ඉතිං වඩාත් හොඳ DVD නිසා VCD වලට තිත වැටුණා. ඊට පස්සෙ අපි හෙව්වෙ DVD. ඒවයෙත් චිත්‍රපටි 4-5 තියෙන collection DVD තමයි අපේ ප්‍රියතම. රුපියල් 200 - 250 වගේ ගාණකට Full quality චිත්‍රපටි 5ක්ම හම්බවෙන එක තරම් දෙයක් ඒ දවස්වල තිබුණෙ නෑ. ඒ දවස්වල තිබුණ හොඳම collection DVD වර්ග තමයි superbit සහ ultra entertainment කියන්නේ. ඒවයෙ තිබුණ collections සෑහෙන්න හොඳ තත්ත්වෙක තිබුණා. චිත්‍රපටිය DVD තත්ත්වයෙන්ම තිබුණා. අනික සම්පූර්ණ චිත්‍රපටියමත් අගදි පෙන්වන එක නමක්වත් අඩු නැතිව තිබුණා. කැමරා කොපි නෑ. සබ්ටයිටලුත් හොඳට වැඩ කලා. ඉතිං පුළුවන් තරම් ට්‍රයි ‍කලේ ඒවම ගන්න.

සැලකිය යුතු කාලයක් මම කලේ ඔය විධියට DVD කලෙක්ෂන් මාර්ගයෙන් චිත්‍රපටි බැලිල්ල. අපි අතරෙ හිටපු විවිධ රුචිකත්වයන් තිබුණ යාළුවො නිසා එක එක විධියෙ චිත්‍රපටි අපි අතරෙ එකතු වුණා.


---------------------------------------------------------------
මේ පිස්සුව හිතුවට වඩා කල් පැවතුන එකක් කියල තේරුණේ ලියන්න ගත්තම. මේක දැන් මාසයක් තිස්සෙ ලියනවා. ඒත් තාම ඉවර නෑ.

කොටස් වශයෙන් ලියන එක මම කැමති නැති වැඩක් වුණත් මේකෙ ඉතිරි කොටස හෙට තමයි දාන්න වෙන්නේ...

Sunday, 5 June 2011

කැත නළුවෙක් එක්ක දිග...... ටෙක් කතාවක්!




සුරින්දර් සේරම අතෑරල දාල හිටියත් චිත්‍රපටි බැලිල්ල නතර කලේ නෑ. හැමදාම රෑ එක දෙක වෙනකල් චිත්‍රපටියක් දෙකක් බලල මිස සුරින්දර්ට නිදාගන්න බැරි වුණා. රඟපාන්න තිබුණ සුළු අවස්ථාවත් නැත්තටම නැතිවෙලා නිසා චිත්‍රපටි වින්දනයෙන් උපරිම තෘප්තියක් ලබන්නයි ඔහුට උවමනා වුණේ.

සුරින්දර් මුම්බායි නගරයේ නළුකම් හොයාගෙන ආවෙ බැංග්ලෝරයේ කරමින් හිටපු පරිගණක ඉන්ජිනේරු රස්සාව අතෑරලා. ඒ නළුවෙක් වෙන්න තිබුණ ආසාව හින්දමයි. ඒ ආයතනය ඔහුගෙ ඥාතියෙක්ගෙ වීම නිසා ආයෙ වතාවක් එතන රස්සාව ගන්න අමාරු නැති වග ඔහු දැනගෙන හිටියා. දන්න අඳුරණ යාළුවො එක්ක නිෂ්පාදකවරු අධ්‍යක්ෂවරු ගණනාවක් පස්සෙ අවුරුදු කීපයක්ම ඇවිද්දත් සුරින්දර්ගෙ රළු පෙනුම මොනම චරිතයකටවත් ගැලපුනේ නෑ. යාන්තම් අඬල දොඩල ලැබුණු සුළු චරිතයත් කරන්න බැරි වුණේ සුරින්දර්ට සිද්ධ වුණ හදිසි අනතුර නිසා. නොහිතපු වෙලාවක ලිස්සල වැටුණු වෙලේ මේස රෙද්ද පැටලිලා උණු වතුර පෝච්චිය බිමට වැටුණෙ උණු වතුර සුරින්දර්ගෙ කම්මුලේ තවරමින්. වතුර ගලාගෙන ගියේ කවදාවත් හොඳ කරන්න බැරි රුදුරු කැළලක් සුරින්දර්ගෙ දකුණු කම්මුලේ ඉතිරි කරමින්. සැත්කම් කීපයකින් පස්සෙ ආරෝග්‍ය ශාලාවේ ගෙවුණ සතී කීපය තුල සුරින්දර්ගෙ හිතේ ඉතිරි වෙලා තිබුණ නළුකම් බලාපොරොත්තු ටිකත් දියවෙල ගියා.

ඒ අවුරුදු එකහමාරකට කලින්. නොදැනුවත්වම තමන්ගෙ චිත්‍රපටි හීනය වෙනුවෙන් සුරින්දර් ජීවිතේ අවුරුදු කීපයක්ම වැය කරල තිබුණ.

ඔහුට යාන්තමින් අදහසක් පහල වුණේ හ‍යවෙනි වතාවටත් ලගේ රහෝ මුන්නා භායි බලද්දි. සුරින්දර් ඒ චිත්‍රපටියට අතිශයින් ප්‍රිය කලත් ඔහුට කවදාවත් ඒ චිත්‍රපටිය තමන්ගෙ පෙම්වතියට පෙන්නගන්න බැරි වුණා. ඔහු චිත්‍රපටිය ගැන ගුණ උපරිමයෙන් වර්ණනා කලත් පෙම්වතිය ඒ කිසි දෙයක් කණකට ගත්තෙ නෑ. ඇයට තිබුණ එකම හේතුව වුණේ ඇය සන්ජේ දත්ට අකමැති වීම. ඒ නිසාම ඇය සන්ජේ රඟපාන කිසිම චිත්‍රපටියක් බැලුවෙ නෑ.

සුරින්දර් කල්පනා කලා...

ඇයි හැමදාම එකම අය රඟපාන චිත්‍රපටි බලන්නෙ? රඟපාන නළු නිලියො වෙනුවට අපට කැමති කෙනෙක්ව ආදේශ කරගන්න විධියක් නැද්ද?

ඔහු හිතුවා...

සුරින්දර්ගෙ අනාගතේම වෙනස් කරපු අදහස ඔහුට ආවෙ එතනදි.

ඔහු ආයෙම සියල්ල දමල ගහල බැංග්ලෝරයට ගියේ ඒ අදහස ක්‍රියාත්මක කරවන්න.

ඊට පස්සෙ ඔහු තමන්ගෙ අදහස ක්‍රියාත්මක කරවන්න පුළුවන් පද්ධතියක් සැලසුම් කලා.

දැනටත් චිත්‍රපටි වලදි යොදාගන්න motion capture ක්‍රමවේදයම සෑහෙන්න දියුණු කරන්නයි සුරින්දර් සැලසුම් කලේ. මේ ක්‍රමයෙදි නළුවෙක් අවශ්‍ය වුණේ අවශ්‍ය චලනයන් ලබාගන්න විතරයි. සියළුම රඟපෑම් සිදු කලේ ත්‍රිමාණ අංකිත අවකාශයක. ඒ දත්ත සියල්ල අවශ්‍ය පරිදි සංශෝධනය කරලා ගබඩා කලා. ඒ ඒ නළුවන් වෙනුවෙන් නිමැවුණ ත්‍රිමාන චරිත තමයි අවසාන රංගනයෙ හිටියෙ. ඒ ඒ අවස්ථා වලදි තිබුණ හැඩ ගැන්වීම්, හැඟීම් නිරූපනයන්, ඇඳුම්, ආලෝකය වගේ වෙනස් වෙන සාධකත් වෙනම ගබඩා වුණා. වෙනම tracks වල!

සුරින්දර් සැලසුම් කලේ ඔහුගේ ක්‍රමය චිත්‍රපටි ශාලාවලට පාවිච්චි කරන්න නෙවෙයි. ඔහු ඉලක්ක කලේ නිවාස සිනමා පද්ධති. ඔහු ගබඩා මාධ්‍යය විධියට පාවිච්චි කරන්න හිතුවෙ blue-ray තැටි හෝ HD-DVD තැටි. සිනමා ශාලාවලට චිත්‍රපටියෙ සාමාන්‍ය පිටපතක් සකස් වුණා.

සුරින්දර්ගෙ අදහස වුණේ ඕනෑම කෙනෙක්ව චිත්‍රපටියෙ නළුවෙක්ට ආදේශ කරගැනීමේ අවස්ථාවක් දෙන්නයි. චිත්‍රපටියෙ චරිත වල රඟපෑම් අංකිතව ගබඩා වෙලා තිබුණ නිසා වෙනත් ඕනම කෙනෙක්ගෙ මුහුණේ ත්‍රිමාණ සැකසුමක් චිත්‍රපටියෙ නළුවෙක්ගෙ මුහුණට ආදේශ කරගන්න පුළුවන් වුණා. උවමනා වුණේ කෙනෙක්ගෙ මුහුණෙ ත්‍රිමාණ අංකිත පිටපතක් විතරයි. ඒ පිටපත නිපදවගන්න මෘදුකාංගයක් ඔහුට ලේසියෙන් හදාගන්න පුළුවන් වුණා. අමතර දෙයක් විධියට අවශ්‍ය වුණේ පරිගණකයකට සවි කරපු කැමරාවක් විතරයි.

ඔහුම ඔහුගේ පද්ධතිය මුල් වතාවට පරීක්ෂා කලා.

තමන්ගෙ ලැප්ටොප් එක ඉදිරියේ ඔහු ඉඳගත්තා. ඒකෙ තිබුණ වෙබ් කැම් එකෙන් ඔහුගේ මුහුණේ ඉදිරිපස සහ පැති පෙනුමෙ පින්තූර ගත්තා. ඒ පින්තූර දෙක මෘදුකාංගයට ලබාදුන්නම මෘදුකාංගයෙන් ඔහුගෙ මුහුණෙ ත්‍රිමාණ ආකෘතියක් හැදුවා.

ඊට පස්සෙ ඔහු චිත්‍රපටියට චරිත ආදේශ කරන්න හදපු මෘදුකාංගය විවෘත කලා. ඒකෙ ඒ වෙද්දිත් පරීක්ෂණ සඳහා නිපදවුණ ඔහුගෙ චිත්‍රපටිය ප්‍රවේශනය කරල තිබුණා. ඔහුට තිබුණෙ ඒකෙ ඕනෑම චරිතයක් තෝරන්න. ඊට පස්සෙ ඔහු ඒ චරිතයේ පෙනුම වෙනුවට තමන්ගෙ ස්වරූපය ආදේශ කරගන්න කියල විධානයක් දුන්නා. එතනදි ඔහුගෙ ත්‍රිමාණ මුහුණු අනුරුව චිත්‍රපටියෙ චරිතයට ආදේශ වුණා. ඒ ඒ අවස්ථාව අනුව ගබඩා වෙලා තිබුණ රඟපෑම්, හැඟීම්, වෙස් ගැන්වීම් වගේ දේවල් චරිතයට එකතු වුණා.

කල යුතු වුණේ එපමණයි. චිත්‍රපටිය ධාවනයට අණ දුන්නට පස්සෙ ටික වෙලාවකින් සුරින්දර් චිත්‍රපටියේ රඟමින් හිටියා. සැබෑ නළුවෙක් වගේම.

චිත්‍රපටිය render වුණේ තථ්‍ය කාල හෙවත් real time ක්‍රමයට. පුංචි pre buffering ක්‍රමයකුත් තිබුණා. වානිජ වශයෙන් මේ ක්‍රමය හඳුන්වල දෙනකොට ඒ තාක්ෂණික දේවල් ගැන වැඩි අවධානයකින් සලකන්න සුරින්දර් හිතුවා. ඇත්තටම ඔහුට උවමනා වුණේ තාක්ෂණික දැනුමක් නැති කෙනෙක්ට මේ ක්‍රමයේ පහසුව සලසවන්න.

වසර ගානකට පස්සෙ සුරින්දර් සිනමාව සහ විද්‍යුත් චලන රෑප කලාව අළුත් මාවතකට යොමු කරපු නිර්මාණ ශිල්පියෙක් විධියට ඉහලම ගෞරවයට පාත්‍ර වුණා. තමන්ගෙ නිර්මාණයේ පේටන්ට් අයිතිය ලබාගෙන ඔහුම අදාල තැටි ධාවන යන්ත්‍ර නිපදවන්න පටන් ගත්තා. ඔහුම චිත්‍රපටි නිෂ්පාදකයෙක් වුණා. ඔහුම රඟපෑවා. ඔහුගේ අළුත් චරිත ආදේශන ක්‍රමය ඉක්මනින් මිනිස්සු වැළඳගත්තෙ හැමෝටම නළුවො වෙන්න උවමනාවක් තිබුණ හින්දා සහ ඒක බොත්තම් කීපයක් එබීමෙන් කරගන්න පුළුවන් දෙයක් වෙන තරමට සරල වෙලා තිබුණ නිසයි.

ඇත්තටම සුරින්දර්ගෙ සැලසුම සරල එකක් වුණා. ඔහුගේ වාණිජව නිපදවපු යන්ත්‍රය සාමාන්‍ය blue-ray හෝ HD-DVD ධාවන යන්ත්‍රයක් වගේමයි. ඒකෙ USB සම්බන්ධක කීපයක් තිබුණා. ඒ එක්කම ස්පර්ශ සංවේදී පුංචි වර්ණ තිරයකුත්. චිත්‍රපටිය තිබුණ තැටියෙ render කරපු චිත්‍රපටියෙ මුල් පිටපත වගේම චරිත හැර පසුබිම පමණක් render කරපු පිටපතකුත් තිබුණා. ඒ එක්කම රඟපෑම්, හැඟීම්, චරිත වල ලක්ෂණ, ආලෝකය වගේ වෙනස් වෙන සාධක අඩංගු ගොනු සහ ඒව එකිනෙක සම්බන්ධ කරන විධාන අඩංගු ගොනුත් තැටියෙ තිබුණා. මුල් අවස්ථා වලදි චරිත වෙනස් කරන්න අවස්ථාව ලැබුණෙ ප්‍රධාන චරිත සඳහා විතරයි.

චිත්‍රපටිය බලන මනුස්සයට උවමනා වුණේ අර USB සම්බන්ධකය හරහා කැමරාවක් හෝ flash drive එකක් යන්ත්‍රයට සම්බන්ධ කරලා තමන්ගෙ මුහුණෙ ඉදිරි සහ පැති පෙනුමෙ පින්තූර දෙකක් මෘදුකාංගය වෙත ලබා දෙන එකයි. ඊට පස්සෙ ඒ පින්තූර දෙක පාවිච්චි කරලා යන්ත්‍රය තුල තිබුණ මෘදුකාංග වලින් ස්වයංක්‍රීයව මුහුණේ ත්‍රිමාන අනුරුවක් නිර්මාණය වෙනවා. චිත්‍රපටියෙ අදාල චරිතයකට මේ මුහුණ සම්බන්ධ කලාට පස්සෙ pre rendering වලට තත්පර කීපයක් ඉන්න වෙනවා. ඊට පස්සෙ තමන්ම රඟපාන චිත්‍රපටියක් බලන්න ප්‍රේක්ෂකයට පුළුවන්.

ඊට පස්සෙ සුරින්දර්ට පුළුවන් වුණා නළුවෙක් වීමේ හීනය සැබෑ කරගන්න. අධ්‍යක්ෂවරු, නිෂ්පාදකවරු ඔහුව හොයාගෙන ආවා. මූණෙ පැත්තක ලොකු කැලලක් තියෙන නළුවා විධියට සුරින්දර් ලෝකෙම ජනප්‍රිය වුණා.

Thursday, 3 February 2011

ජීවිතය අයිතියකි..! The Sea Inside

ජීවිතේ ගැන අපි මොන දේ හිතුවත් ඒක ඇත්තටම තමාට අයිති දෙයක් විධියට ගොඩක් දෙනා හිතනවා. අපිට සහමුලින්ම අපි හිතන විධියටම ජීවත් වෙන්න බැරි වුණත් පුළුවන් උත්සාහයක් දරල අපි අපිට ඕන විධියටම ජීවත් වෙන්න යන්නෙ අපේ ජීවිතේ අයිතිය තියෙන්නෙ අපට කියල අපි හිතන නිසා...

මරණයත් අපිට අයිති දෙයක් අපි ඒ ගැන වැඩිය නොහිතා හිටියට.

මරණය ජීවිතයට ගෙන ඒමත් අපේ අයිතියක් කියල හිතුවොත්? ඒ කියන්නෙ මට උවමනා නම් ඕන වෙලාවක මැරෙන්න තියෙන හැකියාව මගේ අයිතියක් කියල හිතුවොත්...

සාමාන්‍යයෙන් මිනිස්සු මරණය ගැන හිතන්නෙ නෑ. හිතුවත් මරණය කියන්නෙත් තමන්ගෙ අයිතියක් විධියට හිතන්න සාමාන්‍යයෙන් මිනිස්සු කැමති නෑ. මරණය මහ භයංකර දෙයක් විධියට කිරුළු පළඳල ඉන්න නිසා මරණය ගැන නොහිතා ඒක ස්කිප් කරල මරණයෙන් පසු තියෙනවාය කියන ජීවිතය සුන්දර කරගන්න උත්සාහ කරන එක තමයි මිනිස්සු කරන්නේ. ඒ මිසක් මරණය කියන්නෙ සුන්දර දෙයක් විධියට දකින්න පුළුවන් මිනිස්සු නැති තරම්. මරණය කියන්නෙ මහ පාපතර වැඩක් කියල තමයි අපට උගන්වන්නෙත්...

ඒත් ජීවිතය ඔය කියන තරම්මත් වටිනවද?

මරණය ගැන සමීප අත්දැකීම් සමුදායකට පස්සෙ ඒ ගැන කියවෙන සුන්දරම චිත්‍රපටියක් බලන්න මට පුළුවන් වුණා. මේක සත්‍ය කතාවක් ඇසුරින් නිර්මාණය වුණ චිත්‍රපටියක්. No country for old men චිත්‍රපටියෙ දුෂ්ඨයාගෙ චරිතයෙන් කලින් හම්බවෙලා තියෙන ඒත් දැනගෙන නොහිටපු Javier Bardemගේ සුපිරි රංගනයක් එක්ක චිත්‍රපටිය පුරාම දැණුනෙ අපූරු සජීවී බවක්...

චිත්‍රපටියෙ නම Mar Adentro හෙවත් ඉංගිරිසියෙන් The Sea Inside. මේක ස්පාඤ්ඤ චිත්‍රපටියක්. IMDBය පැත්තෙ ගිහින් කැරැට්ටුව හොයාගන්න පුළුවන්.

Ramón Sampedro කියන්නෙ තරුණ මසුන් මරන්නෙක්. ඔහු තමන්ගෙ තරුණ කාලෙ ලෝකෙ වටේ රවුම් ගහමින් බොහොම සන්තෝසෙන් ජීවත් වුණ පුද්ගලයෙක්. වයස අවුරුදු 25දි ඔහුට අනතුරක් සිදුවීම නිසා ශරීරයේ බෙල්ලෙන් පහල කොට‍ස අප්‍රාණික වෙනව. සංවේදන නැති වෙලා යනව.

ඇඳටම වෙලා ජීවිතේ ඉතිරි කාලය ගෙවන්න සිද්ධ වෙන ඔහු තමන්ගෙ ජීවිතය නැති කරගන්න උදව් ඉල්ලනව. අතපය අප්‍රාණික නිසා ඔහුට වෙන කෙනෙක්ගෙ සහයෙන් තොරව ජීවිතය අහිමි කරගන්නත් විධියක් නෑ.

ඇඳටම වෙලා ගෙවන රමෝන්ගේ කතාව කි‍යවෙන්නෙ ඔහුට හමු වෙන ගැහැණුන් දෙන්නෙක් එක්ක. එක්කෙනෙක් උත්සාහ කරන්නෙ ජීවිතේ වටිනාකම ඔහුට කියල දෙන්න. අනිත් කෙනා ඔහුගේ මරණය වෙනුවෙන් තියෙන අයිතිය දිනාගන්න ඔහුට උදව් කරන නීතීඥවරියක්. කොහොම නමුත් අවසානෙදි රමෝන් වෙනස්වීම කොහොම වුණත් මේ කාන්තාවන් දෙන්නගෙ ජීවිත රමෝන් නිසා වෙනස් වෙනව.

ජීවිතය තමන් හොඳින් වටහාගත්තු බවත්, ඒ නිසාම ඒක අවසන් කරගන්නත් තමන්ට අයිතියක් තියෙන බවත්, මේව කියන්නෙ තමන්ට පිස්සු නිසා නොවෙන බවත් ලෝකයට කියන්න රමෝන් දරන උත්සාහය වක්‍රව අපිව ප්‍රශ්ණ කරන්නෙ මේ නීතිය කියන එක මොන තරම් නොවටිනා සීමාවක්ද කියන එක ගැනයි. ඒ එක්කම මරණය ගැනත් ජීවිතය ගැනත් අපට ආයෙම හිතන්න ඉඩක් චිත්‍රපටියෙ අවසානෙදි ඉතිරි වෙනව.

සංගීතය ගැන මට ලොකුවට කියන්න බැරි වුණත් අන්තිමේ මම රැපිඩ් ෂෙයා එක්ක ලොකු සෙල්ලමක් කරල මේකෙ සංගීත ඛණ්ඩ ටික බාගත්තා. ඒ සංගීතය දැණෙන්නෙ වෙනස් විධියට. වෙලාවකට තනිකම, පාළුව එක්ක ආයෙත් මුදුනකට යන්න පුළුවන් ඒවත් එක්ක. ඇත්තටම චිත්‍රපටියෙදි Ramón අතපය පණ නැති ඇ‍ඳේම ඉන්න පුද්ගලයෙක් වුණාට ඔහුගේ සිතුවිලි වල ප්‍රාණවත් බව සංගීතයෙන් සුන්දරව නිරූපණය වෙනවා. වතාවක් ඔහු ජනේලයෙන් එලියට පියාඹන්නෙ ඔහුව ප්‍රේමයෙන් වෙලපු ඇයව හොයාගෙන. ඒ සුළු මොහොත එකම සංගීතමය ප්‍රමෝදයක්.

අවසානයේ රමෝන් තමන්ගෙ අරමුණ වෙත යනව. ඒ වෙනුවෙන් ඔහු අවුරුදු 28ක් නීතිය එක්ක සටන් කරනව. ඒත් ඔහුට ඒකට ඉඩක් ලැබෙන්නෙ නෑ. අන්තිමේ තමන්ට කිට්ටුම හිතවතුන් කීප දෙනෙක් මාර්ගයෙන් තමන්ගෙ අරමුණ කරා යන්න ඔහු සැලසුම් කරනව. ‍අදාල මිතුරන් කාටවත් වරදක චෝදනාවක් නොඑන විධියට ඔවුන්ව තමන්ගෙ අරමුණ වෙනුවෙන් දායක කරගන්න ඔහුට පුළුවන් වෙනව.

ඔහුගෙ අවසාන වචන වලින් ඔහු ඒ බව කියනව.

නඩුකාරයිනි, දේශපාලන සහ ආගමික බලධරයිනි, ගෞරවය ගැන ඔබ දන්නේ මොනවද? ඔබේ හෘදය සාක්ෂියේ පිලිතුර කුමක් වුණත් මට මේ වැදගත් ජීවිතයක් නෙවෙයි. මට අඩුතරමෙ ගෞරවණීය ලෙස මැරෙන්න උවමනයි. ඔබලාගේ ආයතන වල කම්මැලිකම මාව මහන්සි කරවනව. අද මට අපරාධකා‍රයෙක් වෙන්න වෙලා තියෙන්නෙ ඒ නිසා. ඔබ දැනගත යුතුයි මගේ මරණය සිදුවෙන ක්‍රියාවලිය අපරාධමය නෙවෙන පුංචි පුංචි ක්‍රියාවන් ගණනාවකින් යුක්ත බව. යාළුවො කීපදෙනෙක්ගෙ උදව්වෙන් ඒව සිද්ධ වෙන්නෙ. ආණ්ඩුව ඔවුන්ට වරද පටවනවනම් ඔවුන්ට හිමි දඬුවම විධියට ඔවුන්ගේ අත් කපාදාන්න කියල මම ඉල්ලනව. මොකද ඔවුන්ගෙ දායකත්වය එපමණයි. මේ ක්‍රියාවලියේ නිර්මාතෘ මමයි.

මම ආසාවෙන් බැළුව. ඕනනම් කෙලින්ම මෙතනින් ගන්න තියෙනව...

Tuesday, 21 April 2009

Dance with සොර්බා නම් ග්‍රීකයා

සෝර්බා නම් ග්‍රීකයා මුලින්ම පොතකින් මම හඳුනගත්ත මනුස්සයෙක්. මේ පොත ලියල තියෙන්නෙ ග්‍රීක රචක නිකොස් කසන්ට්සාකිස් (Nikos Kazantzakis). නමුත් පරිවර්තනය කරල තියෙන්නෙ සද්ධාතිස්ස වඩිගමංගාව මහත්මය. මුලින්ම මේ පොත මම මිලට ගත්තෙ 2001දි විතර ඒ කාලෙ නුගේගොඩ තැපැල් කන්තෝරුව ඉදිරිපස පිහිටල තිබුණ විදර්ශන පොත්හලෙන්. ඒ දවස්වල පොතේ ඇතැම් දේ නොතේරුණත් මම ඒක ආසාවෙන් රසවින්ද. මේ පොත ගැන ආනන්දවර්ධන මහත්මයගෙ සටහනක් මම පසුව දැක්ක.

සොර්බා කියන්නෙ නිදහසේ ජීවත් වුණ මනුස්සයෙක්. ඔහු වටා තිබුණෙ අතිශය සීමිත බැඳීම් ටිකක්. ජීවිතය පිළිබඳ ඔහුට තිබුණෙ පුළුල් දැනුමක්. කිසි දෙයක් සැලෙන්න හේතුවක් නොවෙන බව ඔහු ප්‍රත්‍යක්ෂ කර තිබුණා සහ දුක සතුට හැම දේම ඔහු විඳගත්තෙ සුන්දර නර්තනයකින්.

කොහොම හරි මේ පොත මගෙන් ඉල්ල ගත්ත කෙනෙක් නැවත මට මේක දුන්නෙ නෑ. පසු කාලෙක පොත ගැන ගැඹුරින් සාකච්ඡා කරන්න පුළුවන් මිතුරන් කීප දෙනෙක් හමුවුණත් ඔවුන්ට කතාව කියනව ඇරෙන්න මට යමක් බෙදාගන්න තිබුණෙ නෑ.

පහුගිය දවසක නුගේගොඩ සරසවියෙදි ආයෙත් මම පොත ගත්ත. ඒක කියවන්න නැවතත් මගෙ හොඳම මිතුරෙක්ට දුන්න. (එයා පොත කිළුටු කලත් නැති කරන්නෙ නෑ. :D)

මේ නමින් තියෙන චිත්‍රපටිය මම හොයාගත්තෙ පසුවයි. ඒකෙ නමත් Zorba the Greek තමයි. ඒ වුණාට ග්‍රීක බසින් තමයි තිබුණෙ. ප්‍රධාන චරිතය කරන්නෙ ඇන්තනි ක්වින් කියන නළුව. මම වැඩිය අහල නෑ එයා ගැන. ඒ වුණාට රඟපෑම් නම් උපරිමයි. පොතේ තරම් විස්තර චිත්‍රපටියෙ නැති වුණාට තියෙන ටිකත් ඇති. මේ හැම මගුලක්ම අපි මැරෙනකල් විතරයිනේ. ඒ නිසා කිසි දෙයක් ඕනවට වඩා ගණංගන්න ඕන නෑ.

මම වැඩිය ඒ ගැන කියන්නෙ නෑ. මම චිත්‍රපටියෙ දෙබසක් කියල නවතින්නම්. මේ දෙබසට පූර්විකාව වෙන්නෙ ග්‍රීකයන් තුර්කි ජාතිය සමග වෛරයකින් පසුවීමයි. මෙය සිදුවෙන්නෙ සෝර්බා සහ ඔහුගේ ස්වාමියා අතරයි.

Boss - I don't believe you give a damn about your country.

Zorba - Don't you talk to me like that!

Look here, here, here! (Shows healed wounds on his chest)
Nothing on the back.
I have done things for my country...
that would make your hair stand.
I have killed, burned villages,raped women.
And why?
Because they were Turks or Bulgarians!
That's the rotten damn fool I was.
Now I look at a man,any man...
and I say he is good,he is bad.
What do I care if he's Greek or Turk?
As I get older, I swear by the bread I eat...

I even stop asking that.
Good or bad? What is the difference?
We all end up the same way:
Food for worms.
And as for women...

Thursday, 26 March 2009

Lage Raho Munna Bhai බාගෙන බැලීම

Lage Raho Munna Bhai කියන්නෙ මම බලපු හොඳම හින්දි චිත්‍රපටි අතරිනුත් හොඳම එකක්. මේක ආවෙ 2006දි. මේකට කලින් Munna Bhai MBBS කියල එකකුත් ආව. ඒකත් මරු. ඒකටත් කලින් කමල් හසන් ඉන්න ඒකෙ දෙමළ පිටපත ඇවිත් තිබුණ. ඒකත් මරේ මරු.

මම Munna Bhai MBBS ගැන කියන්නෙ නෑ. ඒත් Lage Raho Munna Bhai ගැන නම් කියන්නම ඕන කියල හිතුණ. මේක මම මුලින් බැලුවෙ 2007දි විතර. ඒ දවස් වල ඒක තුන්පාරක් විතර බැලුවා එක එක යාළුවො එක්ක. චිත්තර පටි බාන්න අවස්ථාව ලැබීමත් එක්ක ආයෙත් මේක බැලීමේ උවමනාව ඇතිවුණා. පිළිවෙලින් බලන්න ඕන නිසා මුලින් Munna Bhai MBBS බැලුවා. ඒක torrent එකක තිබිලා දවස් එකහමාරක් තිස්සෙ මම බෑවා.

ඒ වුණාට Lage Raho Munna Bhai බාන්න torrent නෑ. තිබුණ එකත් දවස් දෙකක් විතර බෑවිලා 60% විතර නතර වෙලා තියෙනවා දැකලා මගේ හිත දුක් වෙන්න ගත්තා. හොයන්න පුළුවන් හැම තැනම හෙව්වත් හම්බ වුණේ නෑ torrents. තිබුණ ඒවයෙත් හොඳ සෞඛ්‍ය තත්ත්වයක් පෙන්නුම් කලේ නැති නිසා ඊට පස්සෙ direct links හොයන්න ගත්තා.

Direct links තිබුණෙත් Rapid Share ඒවයි. ඒ ගැන හැමෝම දන්නව ඇතිනේ. මම නම් ආසම නැති වෙලයි හිටියෙ RS වලට. නමුත් Lage Raho Munna Bhai බාන්න වෙන විකල්පයක් තිබුණෙත් නැති නිසා මම වෙන ක්‍රමයක් බැලුවා. පස්සෙ ගුගල් දෙයියන්ගෙ උදව්වෙන් මෙන්න මේ මෘදුකාංගය හොයාගත්තා. මේකෙ නම Rapidshare Auto Downloader. හරිම ප්‍රයෝජනවත් උපාංගයක් වෙනව මට ඉදිරියෙදි. ඔයාලටත් වැදගත් වෙයි. අපට අවශ්‍ය ගොනු වල RS ලිපින මේකට ඇතුල් කලාම මේකෙන් පිළිවෙලින් එක එක බානව. waiting time එකේදි මෙයා වරින් වර request යවල waiting time එක ඉවර වුණ ගමන් ඊළඟ ගොනුව බාන්න ගන්නව. දාගෙන බලන්න. සමහර විට torrents වල seeds නැති චිත්‍රපටි බාද්දි RS links තිබුණොත් මේක වැදගත් වෙයි.

ලගේ රහෝ මුන්නා භායි එකේ කතාව තිර රචනය සංස්කරණය සහ රඟපෑම් ඉතාම ඉහලයි. සංජේ දත්ගෙ රඟපෑමටත් වඩා මම එයාගෙ සගයා සර්කිට්ගෙ රඟපෑමට ආසයි. දෙන්න පොඩි එවුන් වගේ විහිළු කතා කියද්දි පණ යනකන් හිනා වෙන්න පුළුවන්.

මෙතනින් බලන්න ලගේ රහෝ මුන්නා භායි එකේ විස්තර.

මෙන්න මෙතන හොඳ avi පිටපතක් තියෙනව.

මෙතන තියෙන්නෙ mkv පිටපතක්. හැබැයි ඒකෙ ඉංග්‍රීසි උපසිරැසි embedded.

මෙන්න සින්දුවක්.




Pal Pal Har Pal - Lage Raho Munna Bhai

Monday, 16 March 2009

දෙවියන් විසින් තේරූ යුවලක්...

මම Rab ne bana di jodi චිත්‍රපටිය බැලුව. ඒ ගැන කියන්න ඕන කියල හිතුණ.

දෙවියන් විසින් තේරූ යුවලක් කියන්නෙ Rab ne bana di jodi චිත්‍රපටයෙ තේරුම කියල අන්තර්ජාලයෙම තිබුණ. RNBDJ මම කාලෙකට පස්සෙ බලපු ලස්සන හින්දි චිත්‍රපටියක්. සාමාන්‍යයෙන් ෂාරුක් ඉන්න ඒව පරක්කු වෙලා හරි බලනව. නමුත් මේක බලන්න ඕන කියල එක්කෙනෙක් කියපු නිසා එයා වෙනුවෙන් බාගෙන මම බැලුව. කවුරුත් හැබැයි දැන්ම බාන්න එපා. තවම හොඳ පිටපතක් නෑ හොයාගන්න. සේරම කැමරා කොපි තමයි තියෙන්නේ. මේ බාපු එකෙත් ශබ්දය ටිකක් අවුල්. සමහර තැන් කීපයකදි හොඳටම අවුල්. රූප රාමුත් කීප වතාවක් කැමරාව නාභිගත නොවීම නිසා බොඳ වෙනව. ඒ වුණාට ඒ දවස් වල අපට හරියට රූපවාහිනී නොපෙනෙන දවස්වල සුදු තිත් එක්ක අමාරුවෙන් උප සිරැසි කියවමින් චිත්‍රපටි බලපු මට මේක බලන එක කජ්ජක් වුණේ නෑ.

චිත්‍රපටි‍ය හොඳයි. අන්තිම වෙනකල් හොඳට රස විඳින්න පුළුවන්. හරිම සාම්ප්‍රදායික සැමියෙක් තමන්ගෙ බිරිඳ වෙනුවෙන් වෙනස් වෙන විධිය තමයි කතාවට තේමාව වෙන්නේ. නමුත් ඔහු වෙනස් වෙන්නෙ වෙනම පුද්ගලයෙක් විධියටයි. ඔහු තමන්ගෙ බිරිඳව වෙනත් ස්වරූපයකින් ඇවිත් දිනාගන්න ආකාරය සහ ඒකෙදි වෙන සිදුවීම් පෙලක් තමයි තියෙන්නේ. හරිම ලස්සනයි.

හින්දි චිත්‍රපටි වලට ආස අයට හොඳට රස විඳින්න පුළුවන් වෙයි. මෙතනින් විස්තර බලන්න. මේකෙ තියෙන Haule Haule කියන සින්දුව කියන Sukhwinder Sing මේ ගීතය වෙනුවෙන් පසුගිය filmfare උළෙලෙදි හොඳම ගායකයාට හිමි සම්මානයත් දිනාගත්ත. හරිම ලස්සන සිංදුවක්. ෂාරුක් මේකෙදි දාන ඩාන්ස් එකටත් මගෙ හිත ගියා.





Rab Ne Bana DI Jodi - Haule Haule

Sunday, 1 March 2009

ශ්‍රී ලංකාවේ අභිමානය

මේ කියන්න යන දේ මම කලක් තිස්සේ නිරීක්ෂණය කරපු දෙයක්. අද කියල දාන්න හිතුණා.

කාලෙකට පස්සේ ශ්‍රී ලංකාවේ අභිමානය ඔස්සේ විකාශනය වුණ සිංහල චිත්‍රපටියක් බලන්න ලැබුණා. නම කස්තුරි සුවඳ. විකාශනය වුණේ ඊයෙ හෙවත් සෙනසුරාදා දවල්. මේක ජනප්‍රිය සින්දු තියෙන ගාමිණී මාලනී රඟපාන ලස්සන චිත්‍රපටියක්. ෆ්‍රෙඩී සහ බන්දු දෙන්නත් විකටයන් විධියට රඟපානවා. ඒ වුණාට මට ඒ දෙන්නගෙ විකට වැඩ වලට වඩා හිනා ගියා වෙනත් දෙයක් නිසා.

‍මේ චිත්‍රපටියෙ අවස්ථා කීපයක්ම තියෙනවා ප්‍රධාන සහ සෙසු නළුවන් දුම් පානය කරන. දුම් වැටිය අතේ තියාගෙන ඉන්න දර්ශනය හොඳට පෙන්නලා ඒක උරද්දි කොටු දානවා. ඒ කියන්නේ දුම් වැටි නරක වෙන්නෙ උරන්න විතරයි නිසා වෙන්න ඇති. මොකද පත්තු වෙන දුම් වැටියක අතේ තියාගෙන හිටිය කියල මුකුත් වෙන්නෙ නෑනේ නේද?

මම දුම් පා‍නයේ ආදිනව ගැන හෝ ඒකෙ හොඳ නරක ගැන කියන්න යන්නෙ නෑ. කවුරුවත් ඒ ගැන කතා කරන්නත් එපා. ඒක නෙවෙයි මට කියන්න ඕන. මේ කරන දෙපැත්තටම නැති පොන්න වැඩ ගැන. එක්කො පෙන්නන්න ඕන නැත්නම් කපලම දාන්න ඕන.

මේ අය මේ වාරණය දාන්නෙ පුංචි ළමයි බලන නිසානේ. ඒ වුණාට මේකෙන් වෙන්නෙ පුංචි එකෙක්ගෙ කුතුහලය තවත් ඇවිස්සෙන එකයි. ඇයි අච්චර හොඳට තිබුණ රූපරාමුවට කොටු දාන හේතුව හොඳ සෞඛ්‍යයෙන් ඉන්න ඕන පුංචි එකෙක් විමසනවනේ.

මේක අපි කතා කරල වැඩක් නැති තවත් එක මාතෘකාවක් විතරයි. මොකද ලංකාවෙ මාධ්‍ය සංස්කෘතිය ගැන කතා කරල වැඩක් නැති නිසා. එක්කෝ මේ වගේ චිත්‍රපටි නොපෙන්වා ඉන්න ඕන. නැත්නම් ඒව වැඩිහිටියන්ට විතරක් බලන්න පුළුවන් වෙලාවලට පෙන්වන්න ඕන.

එහෙම වුණොත් දිවා කාලයේ මේ නාලිකා වලට විකාශනය කරන්න දෙයක් නැති වෙනව. නැත්නම් ඒ වෙලාවෙත් කච පච වැඩසටහන් බලන්න වෙනව.

මම වැඩිය රූපවාහිනී නොබලන නිසා මට එයාල මොනව පෙන්නුවත් කමක් නෑ. නමුත් රටේ ඉන්න අනිත් මිනිස්සු සහ ළමයි හරක් කියල හිතාගෙන කරන වැඩ දකිද්දි පොඩ්ඩක් නලියනව.

මම දන්නව මම නලියල වැඩක් නෑ කියල. මමත් ඇතුළුව අපි සේරම ගතින් හරක් නොවුණට දිවා රෑ නොබලා රටේ සුළුතරයක් සල්ලිකාරයන්ට බර අදින හරක් තමයි.

ඇත්තටම හරක් අපට වඩා උසස්. අඩුගානෙ උන් දන්නෙ නෑ උන් හරක් කියල.

Thursday, 19 February 2009

සතුට සත්තු වත්තේ....

අපි සතුට ලබනව විවිධ ක්‍රමවලින්.

සත්තු වත්තෙදිත් අපි ලබන්නෙ සතුටක්ද?

මෑතකදි මම මගේ ඥාතියෙක් (මෙතැන් පටන් ප්‍රියන්ත කියල ගමු) එක්ක කරපු කතාවක් මගේ කලින් බ්ලොග් සටහන ලියද්දි මතක් වුණා. ඔහු වතාවක් මගේ නුගේගොඩ කාර්යාලයට ආපු වෙලේක ඔහුගේ බිරිඳට සත්තු වත්ත බලන්න යන්න ඕන වුණා. ඔවුන්ගේ පදිංචිය ටිකක් ඈත නිසා කොළම එන්නෙ කලාතුරකින්. කොහොම වුණත් ප්‍රියන්ත මේ ගමනට කැමති වුණේ බොහොම අකමැත්තෙන්. ඔහුට සත්තු වත්තට යන්න කිසිම උවමනාවක් තිබුණෙ නෑ.

සත්තුවත්තෙදි අපි ලබන්නෙ කාලකණ්නි සතුටක්. ඔහු කිව්වා.

ඇත්තටම අපි නොදැනුවත්වම සත්තුවත්තෙදි ලබන දේ සතුට හෝ මොකක් වුණත් ඒක හරිම අසාධාරණ සතුටක් නෙවෙයිද? නිකමට හිතන්න අපි කූඩුවක ඉද්දි සත්තු වත්තෙ සත්තු අප දිහා බලමින් විහිළු කරමින් නිදැල්ලේ හැසිරුණොත්?

සමහර විට සත්තුන්ට කන්න බොන්න දෙනව නම් ඉන්න තැන කෘතිම පුංචි එකක් වුණාට කමක් නැද්ද දන්නෙ නෑ. මට
Madagaskar චිත්‍රපටිය මතක් වුණා. මේකෙ තියෙන සත්වෝද්‍යානයේ ඉන්න සිංහය මිනිස්සුන්ට පේන්න කෑගහල ෂේප් එකේ ඉන්න කෙනෙක්. තමන්ට වෙලාවට හම්බ වෙන මස් කුට්ටිය තමයි ඔහුගෙ එකම සිතිවිල්ල. ඉන්න පරිසරය ගැන ගානක් නෑ.

ඒ වුනාට ලංකාවෙ සත්වෝද්‍යාන වල නම් සත්තු ඉන්නෙ අතිශය සීමිත පරිසරයක. අපට වැඩිය ඇවිදින්න ඕන නෑ. ලේසියෙන් සත්තුන්ව බලල සතුටු වෙන්න පුළුවන්.

ඉතිං සතුටු වෙන්න....

Tuesday, 17 February 2009

දැල් දැමීම

පුංචි කාලෙ ඉඳන් කියවල විතරක් තිබුණ සංසිද්ධියක් සතියකට විතර කලින් මම අත්වින්ද සජීවීව. බටහිර වෙරල තීරයේ පුංචි නගරයකට ගිය සවාරියකදි මුහුදෙ දැල් දාල මාළු අල්ලන විධිය මම දැක්ක. ඒ ගැන අමුතුවෙන් කියන්න ඕන වෙන එකක් නෑ බොහොමයක් දෙනාට. ඒ නිසා මම ඒකෙ තාක්ෂණික දේවල් ගැන කියන්න යන්නෙ නෑ.

මොනව වුණත් එතන හිටපු කෙනෙක්ගෙන් මම දැනගත්තු කරුණු කීපයක් ඒ සිද්ධියත් එක්ක ගලපන්න හිතුවා.

වෙලාව දවල් 1ට කිට්ටුයි. අපි කීප දෙනෙක් වෙරලෙ එහෙ මෙහෙ ඇවිදිමින් හිටිය ටිකක් ඈත දැල අදිමින් ඉන්න අය දිහා බලාගෙන. එතනට නොයා ඉන්න බැරි වුණා මට. ඒ වෙලාවෙ දැල සෑහෙන්න තරමක් ගොඩට ඇදලයි තිබුණෙ. එතන ගැහැණු පිරිමි සෙරම 20කට වඩා හිටිය. දැලේ ලූපයේ කෙලවර මුහුදෙ මීටර 50කට වඩා ඈතින් තිබුණෙ. ඒ වුණාට බොහොම ඉක්මනින් දැල ගොඩට ආවා.

මම හිතපු තරම් මාළු හිටියෙ නෑ. ඒ වුණාට සට සට ගාමින් පණ ගැහෙන මාළු රොත්තක් ඒ දැලේ රැඳිල හිටිය. ඒ අතරෙ බොහොමයක් රිදී පාට අඟල් 6 කට වඩා දිග මාළු. අඩියකට වඩා දිග අය කීප දෙනෙකුත් දැල්ලො කීපදෙනෙකුත් හිටියා. කලබල වුණාම බඩ පිම්බෙන වර්ගයේ පුංචි මාළු හිටිය. මට මතක් වුණේ
Finding Nemo චිත්‍රපටිය. ඒකෙත් ඉන්නවා ඒ වගේ එක්කෙනෙක්.

කොහොම හරි මාළු ටික එතන හිටපු 20-30ක් මිනිස්සු බලන් ඉද්දි විනාඩියකට වඩා දඟලල මිය ගියා. ඒ අර මිනිස්සු 20-30 දෙනත් එයාලගෙ පවල් වල අයත් ජීවත් කරවන්න. මට මොහොතකට හිතුණා මම ලබන කාලකණ්නි සතුට ගැන. ඒත් ඒක එහෙම තමයි. ඒක තමයි ස්වභාවධර්මය. අපි ඒක වෙනස් කලාට තවමත් අපි ස්වභාවධර්මයට යටයි.

මේ මාළු දැල දිනකට කීප වතාවක් එලනවා කියල එතන හිටපු ධීවර මහත්මයෙක් කිව්ව. ඒ වගේම පවුල් 10-15ක් මේ දැල නිසා ජීවත් වෙනවලු. පසුව දැනගන්න ලැබුණා මේ දැල අයිති මනුස්සයෙක් ඉන්න බව. දැල්ලො ටික එයා අරන්. ඉතිරි මාළු ටිකම රුපියල් 2000කට විකිණිලා. එහෙම විකිණුනේ නැති පුංචි මාළු වෙරලෙම ඉතිරි වෙන්න ඇති.

ඒක එතනින් ඉවරයි. මම ලබපු අත්දැකීම එපමණයි. ඊට පස්සෙ මම කැරකෙන්න ගත්තා. කලින් දා සමහර විට අර දැලෙන්ම ගොඩට ආපු පුංචි මාළු තෙලින් කර වෙල අපේ දිව පිනවන්න ගත්තා රසම රස සුදු ළූණු බයිට් එකක් එක්ක. හතරැස් බෝතලයක් රැස් විහිදුවමින් ඉවර වුණා.

ජීවිතේ එහෙමයි. මිනිස්සු දැල් දානවා. ඒ සල්ලි වලින් කාල බීල පවුල් නඩත්තු කරනවා. ගොඩ එන මාළු තෙල් නාගෙන ආයෙත් වෙරළට ගිහින් දැල් දානව බලන්න යන මිනිස්සුන්ගෙ බඩවල් වලට යනවා.

Wednesday, 15 October 2008

ආදර බයිලා සමග පුරුදු වෙනස් වීම

අදහස් ගොන්නක් හිතේ තියාගෙනයි මේ සටහන ලියන්නේ... මේක ඉලාස්ටික් වෙන්න ඉඩ තියෙනවා. ඒත් ලියන්නම ඕන.

අද (2008-10-14) මම මගේ පෙම්වතිය එක්ක කොටු ගැහුවා.. රවුම් නෙවෙයි. ඒ කියන්නේ පරිමිත විවිධ බහු අස්‍රාකාර හැඩ ඔස්සේ අපි අද ඇවිද්දා. කිලෝමී‍ටර් ගානක් වටේම මිනිස්සුන්ව ඉරිසියාවෙන් සහ හීනමානී දුප්පත්කමින් පුපුරවමින් අපි අපේම පුංචි Portable LAN එකක් හදාගෙන දෙඩෙව්වා. බස් කීපයක් පුරා දොඩමලු වුණා. ආයෙත් කාලෙකට ගන්න බැරි දේවල් සහ අවස්ථා ගොඩක් අද අපි අහිංසක විධියට භුක්ති වින්දා. මම ආයෙත් ඇයගෙන් පිරිලා දැන්....

ඇය සමුඅරන් ගියාට පස්සෙ මම ඇයට කවියක් කෙටුව. මේ තියෙන්නෙ නැවත සංස්කරණය කරපු එකක්.

නුඹේ අත්
පොකුරු මත
මා දමා ආ
මගේ අත
නැතිවත්
මා පූර්ණයි
සිත පුරා පිරි
නුඹේ මතකින්

දන්නැද්ද මඤ්ඥං වුණාම ලියවෙන ඒවා ;)

අපි දෙන්නා පෝයට වහපු වාහන හදන ස්ථානයක ආවරණය පැතුවා වැහැපු වෙලේක. වැස්ස පායලත් පැය බාගයක් යන කල් අපි කතා කලා බොහොම දේවල්. අපේ මහගෙදර විප්ලවවාදී කවියා ගැන කතාවක් ඇදුණු වෙලාවක අපිට මාතෘකාව විධියට ආයෙත් විප්ලවය ආවා.

තනි තනි මිනිස්සු වෙනස් නොවී මොන තරම් මූලධර්ම වලින් විප්ලව කලත් පලක් නෑ. මේ කියන විප්ලවයෙන් පස්සෙ ආයෙත් තියෙන්නෙ පරණ පාලන ක්‍රමයමයි. වෙනස් ලොක්කො ටිකක් ඇවිත් වෙනස් දර්ශණයක් එක්ක. එයාල එක පරම්පරාවක් ඕක කරයි. ඒත් මේ පොදු මහජනයාගේ කුහක කම් සහ පොදු තෘෂ්ණාව එක්ක කවදාවත් කතිකාමය විප්ලවයෙන් සර්ව සාධාරණ සමාජයක් කෙසේ වෙතත් ටිකක් ෂේප් එකක් වත් ගොඩනගන්න බෑ.

මට මතක් වෙන්නෙ 1984. මේක ජෝජ් ඕවල් ලියපු පොතක්. මම කියෙව්වෙ නම් සිංහල පරිවර්තනය. මේකෙ කියවෙන්නෙ විප්ලවයක් හරහා සමාජවාදී අන්තයකට ගිය සමාජයක් ගැන. ඕන නම් පොත හොයාගන්න. මගේ චිත්‍රපටි බාන මිතුරාට කියල මමත් චිත්‍රපටිය හොයාගන්න ඕන බලන්න.

විප්ලවයක් අපට ඕන. ඒක දැනුමේ විප්ලවයක්. සිතිවිලි විප්ලවයක්. මිනිස්සු හිතන විධි වෙනස් වෙන්න ඕන. ඒ වෙනුවෙන් විධිමත් පිලිවෙලක් සම්මත වෙන්න ඕන. ඒක කවදාවත් නොවෙන නිසා විප්ලවයක් කියලා හැමදාම අපිට වචන ටිකක් විතරක් තියෙයි.

මිනිස්සු තමා හිතන විධියට හුරු වෙලයි ඉන්නේ. පුංචි කාලෙ ඉඳන් ඔළුවෙ පිරෙන නා නා විධ දේවල් නිසා ඇත්ත නිවැරදිව දකින්න තියෙන හැකියාව මොට වෙලයි තියෙන්නේ මිනිස්සුන්ගේ. ඇත්තටම කිව්වොත් මාත් එක්කම. මම අර සම්පත් කිව්ව වගේ මගේ මොලය හෝදමින් ඉන්න අවධියක් තමයි දැන් පසුවෙන්නේ. ඒකෙදි මට මගේ මොලේ ඇතුලෙ හිර වෙලා තියෙන මල විකාර එක එක අහු වෙල, මම ඒව විනාශ කරල තියෙනව ඕන තරම්.

මම පහුගිය දවසක වුණ සිද්ධියක් කියන්නම්. අපේ ආයතනයට අමු ද්‍රව්‍ය සපයන ආයතනයේ වෙළඳ නියෝජිත මහත්මය (x ලෙස ගමු) දවසක් අපිත් එක්ක දුමකට සෙට් වුණ වෙලාවක අපි ජීවිතේ ගැන කතා කලා. මේ පුද්ගලය විවාහ වෙලා වැඩි කාලයක් නෑ. ඒ අපි දන්න තරුණියක් එක්ක. x කියන්නෙ කන බොන දේවල් මගඅරින විධියෙ කෙනෙක් නෙවෙයි. ජීවිතය ජොලියෙ ගෙවන්න ආස කෙනෙක්. ටික ටික ගෙවන්න වාහනයකුත් අරන්. අපට වඩා හොඳින් ඉන්නව වගේ පේනව. ඒ වුණාට අපට තියෙන ආර්ථික මැසිවිල්ල එයාටත් තියෙනව. එයාට අපට වඩා තියෙනව වගේ. වාහනේට ගෙවන්න මාසෙකට රුපියල් 40,000ක් අනිවාර්යයෙන් ඕනලු. ඊට අමතරව නඩත්තු වියදම් වුණත් එහෙමයිලු. x මේ කතා කියමින් අපිත් එක්ක කතා කලා.

ඒ අස්සෙ එයා මෙහෙම කිව්ව.

"මොනව වුණත් අපි ජීවත් වෙන්න පුරුදු වෙලා ඉන්න විධිය වෙනස් කරන්න අමාරුයිනේ බං"

ඒක x ගේ අදහස. ම‍ට හිතෙන්නේ මේ වෙනස් නොවීමයි අවුල. අපි අපේ උවමනාව වටහා ගන්නෙ නෑ. ඒ අනුව වෙනස් වෙන්නෙත් නෑ. කලිනුත් කිව්ව වගේ අපි පුරුදු වලට ඇබ්බැහි වෙලා තව තව දරුණු ලෙස පුරුදු වලට ඇබ්බැහි වෙමින් ඉන්නව. මේ පුරුදු වෙනස් කරල මිස විප්ලවයක් ගැන හිතන්න බෑ. ඇත්තටම අපි වෙනස් ‍වීම ගැන හිතන්නවත් කැමති නෑ. හිතන විධියත් (Pattern) අපි පුරුදු කරගෙන ඉන්න නිසා විධිමත් හැදෑරීමකින් මේ ගැන කතා කරල විසඳගත්තොත් මිස වෙන විසඳුමක් මට පේන්නෙ නෑ.

ඕන නම් මේ සේරමත් දාර්ශණික සහ ආගමික තර්ක තුල දිය කරන්න පුළුවන්. ඒව තුල තියෙනව හිත සනසන ධනාත්මක චින්තනවාදී අදහස් ඕන තරම් මේ ‍වගේ විකාර නොහිතෙන්න.

මේ කවිය ලිව්වෙ ගනේගොඩ විමානේ සිට...


වෙනස් වීම



නුඹ වෙනස් වන්න
ලෝකය වෙනස් කරන්න

උස් මිටි භේද නැති
දුප්පත් පෝසත් වෙනස නැති
අද අපගේ සිහින තුල ඇති
ලොවක් බිහි කරන්න
නුඹ වෙනස් වන්න

...

..

.

ඒත් ..

නුඹ වෙනස් නොවේ
නුඹට වෙනස් වීමට ඇති
අවස්ථා සියල්ල
කරුමයටත්
දෙවියන්ටත්
ඉගැන් වූ බොරු වලටත්
යට කර
එයටම ඇබ්බැහිව
වෙනස් වනු නොහැකිව
නුඹ ලෙසම හිඳින නුඹ
කෙදිනකවත්
වෙනස් නොවේ

කුණු වෙමින්
නොවෙනස් ලොවක



© හරේෂ් එරංග
2008-10-02