Showing posts with label blogs. Show all posts
Showing posts with label blogs. Show all posts

Thursday, 11 June 2020

කම්මැලිකමේ ඩිප්‍රෙෂන්



අවට පාළුය. කාර්යාල සගයින් කිහිප දෙනෙක් මුකවාඩම් බැඳගෙනම කථාවක නියැලී සිටියි. එහෙත් උන්ගේ බොහෝ කතා මෙන් ඒවා මට දුරස්ථය. උන්ට බොහෝ ඇත්තේ ළමා ප්‍රශ්නය. වයිරස් පහරදීම් හමුවේ ඉස්කෝලෙට නොයා ගෙදර සිටින දරුවන් බලාගැනීමේ ප්‍රශ්න ය. එක්කෝ සැමියා නිවසේ රැඳවිය යුතුය. නැත්නම් දරුවන් කාර්යාලයට රැගෙන ආ යුතුය. ගුරුවරුන් විසින් ඔන්ලයින් පවරනු ලබන පැවරුම් සකස් කල යුතුය. ඉස්කෝල ඉක්මනින් අරිනවානම් හොඳ ය.

මට ඒ ප්‍රශ්න නැත. ප්‍රශ්න නැති කම ප්‍රශ්නයක් කරගෙනද නැත. සුළු ප්‍රශ්න හදාගෙන ඒවාට විසඳුම් හොයන ජීවන විලාසය දැන් හුරුය. ඒත් ප්‍රශ්න නැතිකම හීන්නෝන්මාදය වැනි (හෝ එවන් නමක් තියෙන) ලෙඩක් බවට පත් කරගත් අයවලුන් ගැන චිත්‍රපටි මා බලා ඇත. ඒ තත්වයට කියන වඩාත් හුරු නම ඩිප්‍රෙෂන් ය.

මේ ගැන පසු කාලීනව මා වඩාත් කල්පනා කර ඇත. සතුටින් සිටින ලෙස පෙන්වූ, එහෙත් සිය දිවි හානි කරගෙන මරණයට පත් වූ ජනප්‍රිය පුද්ගලයින්ගේ සිනා මුහුණු යෙදූ පින්තූරයක් යටින් "This is how depression look like" වැනි පාඨ යෙදූ පින්තූර බුකියේ ෂ‍ෙයා වනු මම දැක ඇත්තෙමි. එනම් සතුටින් සිටිනවා යැයි පෙන්වන පුද්ගලයෙක් තුළ සැබැවින්ම තිබෙන්නට ඉඩ ඇත්තේ මවාගත් සතුටක් බව ඉන් අදහස් වේ. වඩාත් සිනාසෙන්නා වඩාත් අසතුටෙන් සිටින්නා වෙන්නට බැරි කමක් නැත.

මා ඉතා අඩුවෙන්ම සිනාසෙන්නෙකැයි මා තරමක් දන්නා හඳුනන අය කියනු ඇත. නිතර හමුවන හොඳින් සෙට් වෙන අයනම් මා හොඳින් සිනාසෙන්නෙකු බව දන්නා බව මම සිතමි. එහෙත් සිනාසීම මා විසින් පාලනය කරන්නක් නොවේ. බොහෝ මිනිසුන් සිනාසෙන දේවල්වලට මට සිනා නොයයි. ඒත් ඒ දෙයට මිනිසුන් සිනාවීම මට හාස්‍යයට කරුණක් වන්නට හැක. ඒ වැනි අවස්ථාවල හිතින් සිනාසෙනවා ඇර දත් විලිස්සා සිනාසීමට උවමනාවක් මට ස්වභාවිකවම එන්නේ නැත. වඩාත් උපහාසාත්මක අවස්ථාවක කට කොනට නැගෙන අවඥාසහගත සිනාව වළක්වන්නට මා උත්සාහ ගන්නේද නැත.

ඇතැම්විට මා සිනාසෙන්නේ ඉතාම සුළු දෙයකිනි. එය කෙනෙකුගේ හැසිරීමක්, නොපෑහෙන දෙබසක් වැනි දෙයක් නිසා විය හැක. වෙනත් කෙනෙකුට එහි හාස්‍යයක් නොපෙනෙන්නට ඉඩ තිබේ. ඒත් වැදගත්ම කාරණය ඩිප්‍රෙස් නොවී ජීවත්වීමයි.

මේ සටහන ලියවෙන්නේ කුමක් නිසාද කියා මා නොදනිමි. මෙය ලියන්නට ඇරඹි මොහොතේ එහි හැඩය ගැන අදහසක් මට තිබුණේ නැත. ඒත් පසුගිය පොසොන් පෝය දවසේ රාත්‍රියේ එළිමහනේ දුම් වැටියක් සමග තනිවුණ මොහොතක සිතට ආ වැකි කීපයක් කවි ආරකට අමුණා අද දින මිනිකවියේ පළ කිරීම මේ සටහනට නිමිත්ත විය.

මිනිකවිය ඇතුළු "Fit එකේ සෙට් වෙන සෙට් එකේ" සාමූහික වැඩ අරඹා දැන් වසර දහයක් සම්පූර්ණ වීමට ආසන්නය. ඒවා දැන් අප්ඩේට් වෙන්නේ ඉඳ හිටය. ඒත් ඒ වැඩ ආතල්ය. මිනිකවියට අද වෙද්දී මා කවි සියයකට එකක් වැඩියෙන් ලියා ඇත. ඒවාට කවි කියා කියන්නටත් නොහැකි බව මට හැඟේ. කවි ගැන පසුගියදා පොතක කියවූ සටහන්වලින් මා ඒ ගැන දැනගත්තෙමි. කවිය කවියක් වීමට එයට වචනත්, අර්ථයත්, රිද්මයත්, ගලායාමත් වැනි මට තේරෙන වචනවලින් සහ නොතේරෙන වචනවලින් කියවෙන සාධක ගණනාවක් අඩු වැඩියෙන් අවශ්‍ය බව එහි කියා තිබිණි. ඉතින් මා කවි ලියන්නෙක් නොවේ. හුදෙක් කවි වගේ ප්‍රකාශ නිකුත් කරන්නෙකි.

මේ සටහන ලිවීම දැන් එපා වීගෙන යයි. අද දිනය පුරාම කාර්යාලයේ අනෙකුත් සගයින් කුමක්දෝ උත්සවයකට සහභාගී වන්නට ගිහින් මහ වේලාවක් නැත. මට කරන්නට මහ ලොකු වැඩකුත් නැත. ඉතින් ලියන්නට සිතුවෙමි.

කාලෙක පටන් ලියමින් සිටිනා ඉංග්‍රීසි සටහන අවසන් කිරීමට මට අවශ්‍ය ය. දැනටත් එහි කොටස් කීපයක් පළ කර ඇත. ඒත් එය අවසන් කිරීම පහසු කටයුත්තක් නොවේ. ආදරය, කසාදය, පවුල සහ දරුවන් ගැන කියවීම් වෙනස් වීමේ අවසානයක් නැත. එහෙත් මූලිකව මා කල්පනා කරන දේවල් වෙනස් කරන්නට තවමත් තාර්කික හේතුවක් මට නැත.

ඇයටද එය එසේම යැයි මම විශ්වාස කරමි. ජීවිතය පිළිබඳ දරණ අසම්මත අදහස් ප්‍රශ්ණ කරන අයට දෙන්නට ඇයට උත්තර ඇතැයි මම සිතමි. මන්ද ජීවත්වීම දිනෙන් දින අභියෝගයක් වෙමින් පවතියි. එය අභියෝගයක් කරගැනීමෙන් මිස ජීවිතයක් ඇත්තේ නැත. සම්මත ප්‍රවාහයට යට වන්නට සිදු වනු ඇත. එවිට කළකිරීම ඇතිවනු ඇත. ඉන්පසු නැවතත් ඩිප්‍රෙෂන්ය.

Sunday, 12 May 2013

ස්ටාර්ට් ලයින් එක අඳිමුද?



මේක ලියවෙන්න ආසන්නතම හේතුව චාමි විසින් බුකියෙ ෂෙයා කරපු බස්සාගෙ ස්ටේටස් අප්ඩේට් එකක්. බසුතුමා ඒකෙ සෑහෙන්න හිතේ අමාරුවෙන් කතා කරල තිබුණෙ. ඔය හිතේ අමාරුව සංවේදීකම තියෙන, පොළොවෙ ජීවත්වෙන කාටත් තියෙන එකක්. නමුත් ගොඩක් අය ඇහෙන්නෑ පේන්නෑ වගේ ඉන්න නිසා මේ ගැන මෙහෙමවත් කතා කරන්නෙ ඉවසන් ඉන්න බැරිම වුණ මනුස්සයෙක් විතරයි. ඉතිං බස්සගේ ඒ කතාව කියෙව්වම ආතක්පාතක් නැතිව මගේ හිතේ එහෙ මෙහෙ යමින් තිබුණ අදහස් කීපයක් එලියට දාන්න ඒක හොඳ ස්ටාට් එකක් කියල හිතුණා.

මේ වෙන දේවල් බැලුවම කියෙව්වම අපි ජීවත්වෙන සමාජය සීඝ්‍රයෙන් කඩාවැටෙමින් යනව කියල තේරෙනවා. ඒකට කියන අනිත් වචනෙ පිරිහෙනවය කියන එක. ඕක එක එක විධියට දකින්න පුළුවන්. දියුණුවෙන් දියුණුවට පත් වෙන ඒවත් සමාජෙ තියෙනව. නමුත් ඒකට සාපේක්ෂව මානුෂික වටිනාකම්වලින් අපි දියුණු වෙන්නෙ අනිත් පැත්තට. පත්තරවල, ටීවීවල සහ කටින් කට ආරංචි වෙන අපරාධ හැමතැනම. කෙනෙක් කියයි ඒ කාලෙත් එහෙම තමයි. දැන් ජනමාධ්‍ය දියුණු වෙලා කියලා. ඒ කතාව වැරදි නෑ. නමුත් හරියටම හරිත් නෑ. පහුගිය අවුරුද්ද දෙක ඇතුලත අපි අහන දකින දේවල් සෑහෙන්න වෙනස් වෙලා කියන එක මග අරින්න බැරි ඇත්තක්. අය යුද්දෙ නැතුව පාළුයි සෙට් එක කියනව වගේ යුද්ධෙ අවසන් වීම නිසා ලංකාවට මගහැරුණු කුරිරු ත්‍රාසය නැවත ලබාගන්න තියෙන උවමනාව නිසා උදාවුණ තවත් තත්ත්වයක්ද ඒක?

වැඩේ කියන්නෙ මේ කාලෙ වෙද්දි වෙන කවරදාටත් වඩා ආගමික ප්‍රබෝධය 'කියන එක' තියෙන්නෙ ‍ගොඩක් ඉදිරියෙන්. මම හිතන්නෙ හැම ආගමකම. නමුත් ඇත්තටම ආගම්වල තියෙන අර්ථයන් මිනිස්සු අතරෙ තියෙනවද කියන ප්‍රශ්ණයට උත්තර නෑ. සාමාන්‍යයෙන් ඕන මිනිහෙක් එක්ක කතා කරද්දි හිතෙන්නෙ 'මූ මාර හොඳ මිනිහෙක්' කියලා. හම්බවෙන හැමෝම වගේ සර්ව සාධාරණයි. අවංකයි. පරාර්ථකාමීයි. නමුත් සමාජයක් විධියට අපි ජීවත්වෙන වටපිටාව එහෙම නැහැ. අවුල කොතනද?

මේ දවස්වල වෙසක් එකට අපේ ඔෆිස් එකෙන් සංවිධානය වෙන සීල ව්‍යාපාරය ඇතුලෙ තියෙන පඩ ෂෝ ටික ගැන වුණ කතාවකදි කෙල්ලෙක් කියපු කතාව වටින්නෙ ඒක කෙල්ලෙක් කියපු නිසාමයි.

'ඉස්සර තමයි සීලෙ තිබුණෙ. ඊට පස්සෙ සීල ව්‍යාපාර තිබුණා. දැන් සීලෙ හැලිල ව්‍යාපාර තමයි තියෙන්නේ.'

පඩ ෂෝ සමාජය කියන එක මේ වෙනකොට සමාජය නම් කරන්න පුළුවන් එක ක්‍රමයක්. පොඩ්ඩක් හිතල බැලුවොත් ඇයි එහෙම කියන්නෙ කියල තේරෙයි.

ඔය සියළු දේවල් අස්සෙ අපේ විශ්වාසයන් සේරම විනාශ වෙනවා. අපි පිළිගත්තු සාරාර්ථ අපේ ජීවිත පෝෂණය කරනවා වෙනුවට අපිට කෙලවනවා. සමහරුන්ට මේක තේරෙනවා. අහිංසක මිනිස්සු ගොඩ දෙනෙක්ට මේක තේරෙන්නෙ නෑ. ගොඩක් කපටි තවත් කොටසක් තේරුණත් තේරෙන්නෙ නෑ වගේ ඉන්නවා. එ‍් එක්කම අනිත් මිනිස්සුන්ට කොචෝක් දානවා. හැබැයි ඒ අය තමයි පරිණාමිකව ඉදිරියෙන් ඉන්න මිනිස්සු. එයාල ඕන පැත්තට හැරෙන්න පුළුවන් ලැජ්ජාවක් නැති අය. ලැජ්ජාව නැති වීම අද යුගයේ අවශ්‍යතාවයක්.

අපි විතරක් නෙවෙයි. අපෙන් පස්සෙ එන පරම්පරාව, අපේ දරුවො එන්නෙත් මෙහෙම විකාර වුණ සමාජ‍යකට. ඒ නිසා මේක වෙනස් කරන්න අවශ්‍යයි කියන කතාව තමයි බස්ස කියල තිබුණෙ. කතාව ඇත්ත. මේක ගොඩක් පරණ කතාවක්. හැම තිස්සෙම තියෙන සිස්ටම් එක අවුල් තමයි. වඩා හොඳ සිස්ටම් එකක් වෙනුවෙන් අනාදිමත් කාලෙක ඉඳන්ම හීනයක් තියෙනවා. ඒ හීනය ගොඩක් මිනිස්සුන්ව ජීවත් කරල තියෙනව වගේම ඒ හා සමාන මිනිස්සු ටිකක් මරණයට පත් කරලත් තියෙනවා. ඒ හීනය හොඳ මාකට් එකක් තියෙන වෙළඳ භාණ්ඩයක් දැන්.

ටික කාලෙකට කලින් වුණ සෙට් වීමකදි එක යාළුවෙක් කිව්වෙ ඇමරිකාව වගේ රටක් මාර හොඳ ඇති කියලා. ඒ වගේ රටක හිටියනං මෙහෙම අවුලක් වෙන එකක් නෑ කියලා. ඌ එහෙම කිව්වෙ ඒ වගේ රටක ටැලන්ට් එක මාකට් කරන්න තියෙන ඉඩ වැඩි නිසා. ලංකාවෙදි ටැලන්ට් එක කියන්නෙ මිනිහෙක්ට දියුණු වෙන්න තියෙන අවම සාධකය වෙලානෙ තියෙන්නෙ. ගොට්ට ඇල්ලුවොත් තමයි ගොඩ යන්නේ. කොහොම නමුත් මේ වෙනකොට ලෝකෙටම තියෙන්නෙ සහ පොම්ප කරන්නෙ ඇමරිකානු සිහිනයක්. ඉතිං ඇමරිකාව ගැන ඒ දවස්වල මමත් එහෙම හිතුවා. නමුත් ඇත්ත ඒක නෙවෙයි. ඇමරිකාව වගේ දියුණුයි කියල කියන රටවල් තරම් මිනිස්සුන්ව සිස්ටම් එකෙන් පාගන රටවල් තවත් නැහැ. එකම වෙනස ඒ පෑගිල්ල පරම්පරා කීපයක් තිස්සෙ බොහොම සංවිධානාත්මකව වෙන නිසා දැණෙන්නෙ නැතිව ගිහින් තියෙන එක. එහෙම කියන්න මම ඇමරිකාවට ගිහිල්ලවත්, ගියපු කෙනෙක් එක්ක ඒ ගැන කතා කරලවත් නෑ. නමුත් ඇමරිකාවෙන් එලියට එන චිත්‍රපටි අස්සෙ තියෙන අතුරු කතාවල සහ යටින් යන කතාවල ඇමරිකාවෙ හෙළුව ප්‍රදර්ශණය වෙනවා. මම දන්නව චිත්‍රපටි බොරුයි කියල. නමුත් අතුරු කතා බොරු නෙවෙයි.

ඒක කියද්දි මතක් වෙන්නෙ ළඟදි බලපු sirius (2013) වාර්තා චිත්‍රපටිය. ඒක ඇමරිකානු රජයේ රහස් ව්‍යාපෘති ගැන එලිකරන්න කරපු චිත්‍රපටියක්. තේමාව පිටසක්වල ජීවීන්. (මේ ගැන උනන්දු අය අනිවා බලන්න) ඒකෙ එක තැනක කියවෙනව මෙහෙම. ඇමරිකාවෙ තියෙන සල්ලිවලින් 40%ක අයිතිය තියෙන්නෙ 1%ක ජනතාවට. 80%ක ජනතාවට තියෙන්නෙ සල්ලිවලින් 7%ක් විතරයි. ලංකාව වගේමයි නේ...

Sirius චිත්‍රපටියෙ අදාල රූප රාමුව



මට අනුව නම් ඇමරිකාවෙ ගොඩක් ඉන්නෙ ආසාව මියගිය මිනිස්සු. තව දුරටත් උන්ගෙ ජීවිතවල ගන්න දෙයක් නැහැ. උන්ට ජීවත්වෙනව කියල දනවන එකම හැඟීම බය විතරයි. ලෝකෙ වෙන රටකින් ඇවිත් අපට ගහයි කියන බය විතරයි උන්ට හැඟීමක් කියල තියෙන්නේ. එහෙම නොවෙන අය නෑ කියල ඒකෙන් කියවෙන්නෙ නෑ. උන් තමයි මෙහෙ වගේම ලොක්කෝ. අර කති බොති සුඛති ඩයල් ටික. හැබැයි ජීවිතේ කියන්නෙ ඒකමද? ඔයාලත් හඳට ගල් විසි කරනවද?



ඉතිං අපි ලංකාවෙ සිස්ටම් එක වෙනස් කරන්නෙ ඇමරිකාව ටාගට් කරගෙන නම් ඒකෙ කිසි තේරුමක් නෑ. ඇමරිකාව ලංකාවට වඩා සාටර්. නමුත් වැඩේ කොතනින් හරි පටන් ගන්න ඕන. කොතනින්ද පටන්ගන්නේ.

මට හිතෙන්නෙ අධ්‍යාපනය කියලා. මිනිස්සුන්ව වගේම ළමයින්ව දැනුවත් කරන්න අවශ්‍යයි. මේ ගැන නදීක ජයවර්ධන පහුගිය දවසක misic.lk එකෙන් කරපු google hangout එකේදි කතා කලා. එයා කතා කලේ සංගීතෙට අදාලව විතරක් වුණාට ඒ කියපු කතාව සමස්ථ සමාජයේම ගැටළුවලට උත්තරයක් දෙනවා. මිනිස්සුන්ව දැනුවත් කරන්න අවශ්‍යයි. මිනිස්සුන්ට දැක්මක් අවශ්‍යයි. ඒ දැක්ම ලබා දෙන්න තිබුණ ක්‍රම සේරම විනාශ වෙලා තියෙද්දි කොහොමද ආයෙත් පටංගන්නෙ කියන එකයි ඉතිරි වෙන ප්‍රශ්ණය.

මම හිතන්නෙ සමාජය තුල ලෝකය ගැන මිනිස්සු ගැන තියෙන දැණුම අල්ප වීම ලොකු අවුලක්. මිනිස්සු ඉන්නෙ ළිං මැඩියො වගේ. ළමයි ගැන කතා කරල වැඩක් නෑ. ඒකට ප්‍රධාන හේතුවක් වෙන්නෙ කියවීම අඩු වීම කියලයි මට හිතෙන්නේ. හැබැයි කියවනව කියල කියවන්නෙ පත්තර විතරක් වීමත් අවුලක්. එකෙන් වෙන්නෙ අවුලෙන් අවුලට පත්වීම. සාහිත්‍යය නැති වීම ලොකුම අවුලක්. ඉස්සර පොත්පත් කියවන මිනිස්සු හිටපු කාලෙක ළමයි විධියට අපි මුහුණ දීපු සමාජය ‍මීට වඩා හොඳයි කියන කතාව ඕන කෙනෙක් කියයි. දැන් කියවීමේ මාධ්‍යයන් පොත්වල ඉඳන් වඩා දියුණු ක්‍රමවලට මාරු වෙලා තියෙනවා. තවමත් මිනිස්සු කියවනවා. කියවන්නෙ මොනවද කියන එකෙයි අවුල තියෙන්නෙ. ඕන කෙනෙක්ට ඕන දෙයක් ලියන්න පුළුවන් තරම් සමාජය ලිබරල් වෙලා තියෙද්දි ඒ ගැන පැත්තක ඉඳන් බයිල ගහන එකත් තේරුමක් ඇති වැඩක් නෙවෙයි. අනික මොන සාහිත්‍යය කියෙව්වත් ඇඟට ගන්නෙ නැත්තං ඇති වැඩක් නැහැ. බුද්ධියක් වැඩෙන්නෙ නැහැ. දැනුම සහ බුද්ධිය කියන්නෙ දෙකක්. (knowledge and intelligence) ඕන තරං දැනුම තියෙන උන් හොයාගන්න පුළුවන්. හැබැයි ජීවිතේ සම්බන්ධයෙන් ක්‍රියා කරද්දි තමයි තේරෙන්නෙ උන්ට බුද්ධිය නෑ කියලා. දැන් දැන් එදිනෙදා හම්බවෙන මිනිස්සු අතරෙනං 'සිහි බුද්ධිය' නැති උනුත් සෑහෙන්න ඉන්නවා.

අනිත් කාරණේ දැනුවත් කිරීම. දැනුවත් කරල මිනිස්සුන්ව වෙනස් කරන්න පුළුවන්ද? මේක ටිකක් අවුල් සහගතයි. දැනුවත් කිරීම අවශ්‍යයි කියල මම ම කලින් කිව්වත් මට හිතෙන්නෙ දැනුවත් කිරීම මේ වෙනකොට අසාර්ථක වැඩක් කියල. මොකද සමාජයෙ ඉන්නෙ සියල්ල දත් මිනිස්සු. එහෙම උන් දැනුවත් කරන්න යද්දි උන් අහනව ‘ඇයි අවුල්ද’ කියලා. විෂය ගැන ඉගෙනගෙන එන්න කියල කියනවා සෑහෙන්න විධග්ග විධියට. ඉතිං දැනුවත් කරන්නෙ කාවද?

හැබැයි ඔය ගොඩක් දැනුවත් කිරීම් ෆේස්බුක් එකේදිනම් වෙනවා අස්ප ගණංවලින්. ඒකෙ ඉතිං නොවෙන මගුලක් නෑනෙ. මේ ලියන බ්ලොග් අතරෙත් මේ ගැන ඕන තරං කතා වෙනවා. මෙතනින් එලියට ඒක යන්නෙ කොහොමද කියන එක තමයි අවුල. ඇත්ත ජීවිතේදි කතාකරන්න තියෙන නොහැකියාව ෆේස්බුක් එකෙන් හෝ බ්ලොග් එකෙන් පිටකරනවද කියලත් මට හිතෙනවා. හැබැයි ඔන්ලයින් පෙනී ඉන්න මතවාද වෙනුවෙන් ඇත්ත ජීවිතේදිත් පෙනී ඉන්න කෙනෙක් නිරායාසයෙන්ම වැඩට බැහැල ඉන්න බවත් මෙතනදි කියන්න ඕන.

අපේ පොඩි මාමා (අම්මගෙ ලොකු මලයා) අපේ තාත්තට පස්සෙ අපිව සැලකිය යුතු තරම් වෙනස් කරපු මනුස්සයෙක්. ඒක පොඩි කාලෙ ඉඳන් මේ දක්වාම එහෙම්ම ම තියෙන දෙයක්. තාත්ත නැති නිසා අදටත් ඕනම දේකදි පොඩි මාමගෙන් ටිකක් උපදෙස් අහන එක අපි කරන දෙයක්. එයා කියන්න තියෙන දේ කෙලින් කියන, වැරැද්දට එතනම බනින, සරළ නිර්ව්‍යාජ ජීවිතයක් ගෙවන මනුස්සයෙක්. අපේ ඥාති වර්ගයා අතර අපිට සමීපතම පුද්ගලයා එයායි. වැඩේ කියන්නෙ පවුලෙ අනිත් ඥාතීන් අතරෙ එයා ඉන්නෙ පැත්තක. එයාගෙ ඍජු විවේචන අනිත් අයට දිරවන්නෙ නෑ. අනිත් අය කරන මෝඩ ජෝක් වලට පොඩි මාමා බණින නිසා එයාව හැම එකකටම සම්බන්ධ කරගන්නෙ නෑ. දැනුවත් කරන්න යාම තුල ඕන කෙනෙක්ට අත්වෙන ඉරණම ඒ වගේ වෙන්න පුළුවන්. සමාජයෙන් පැත්තකට වෙන්න වෙන එක. තමන්ගෙ ආතල් කැඩෙන දේවල්වලට මිනිස්සු කැමති නෑනෙ.

මිනිස්සු හැමෝම ඉන්නෙ රෝලක. ලොකු පඩියක් ගත්ත කියල ඒකෙ වෙනසක් වෙනව කියල මම හිතන්නෙ නෑ. මොකද පඩියට හරියන්න තියෙන වියදම් ඒ වගේ. හම්බවෙන පඩියට හරියන්න ජීවත් වෙනවට වඩා ‍අපි ජීවත් වෙන්නෙ හම්බවෙන පඩිය යාන්තම් ගැටගහගන්න සිද්ධ වෙන ගානට. ඒක ගැන කතාකරන්න ගියොත් කතාව වෙන වෙන පැති වල යනව. මොනව වුණත් ජීවිතේ නැතිකරගන්න, හෝ කෑම නැතිව මැරෙන්න වෙන ගානට දුප්පත් වුණ කවුරුත් නෑ මට හිතෙන විධියට. අනික සති දෙකෙන් දෙකට ජනතාවට දෙන චුයින්ගමුත් දවස් කීපයක් හපන්න පුළුවන්. ඒ නිසාම මේ යන විධිය තාමත් බහුතරයකට ලොකු බලපෑමක් කරල නෑ.

මෙහෙම අච්චාරුවක් වෙනස් කරන්නෙ කොහොමද? දන්න දේශපාලන විකල්ප ගැන බලාපොරොත්තු අතාරින්න වෙලා තියෙද්දි කොහොමද මේක කරන්නේ. කවුද පටංගන්නෙ? මොනවද කරන්නේ? කරන්නනං වැඩ ඕන තරං ඇති. ඒ අතරෙ ගොඩක් තියෙනව ඇත්තෙ ප්‍රසිද්ධියෙ කියන්න බැරි ඒව. එදා මෙදා තුර අපේ සාම්ප්‍රදායික විකල්පය වුණ ඉඟුරු දීල මිරිස් ගැනීම තව දුරටත් කරනවද? නැත්තං 'විකල්ප' විකල්ප ගැන හිතනවද? ෆේස්බුකියෙම තිබුණ යෝජනාවක් අනුව අළුත් ‍දේශපාලන පක්ෂයක් සංවිධානය කරන එකත් හොඳ වැඩක් වෙන්න පුළුවන්. එහෙම නැත්තං සමාජය තුල අපි බලාපොරොත්තු වෙන වෙනස පුළුවන් තරං අපේ තනි ජීවිතවලට ඇතුල් කරගන්න ඕන. අනිත් අයට ගයිඩ් එකක් වෙන්න ඕන.

නමුත් වැඩක් වෙයිද?

සමාජය වෙනස් කරන්න ඕනය කියන එක ඇත්තක්. සමාජය කියන්නෙ මිනිස්සු. මිනිස්සු වෙනස් වෙන්න සූදානම්ද?

Tuesday, 28 June 2011

බ්ලොග් කියවන දානපතියාගේ සමාජ සත්කාරය



කන්නංගර මාවතේ ඇවිත් හැමදාම ලිප්ටන් වටරවුමෙන් වාහනේ දානකොට දකින දැන්වීම් පුවරුවල වෙනසක් රාජරත්න මහත්තයට තේරෙන්න අරන් ටික දවසක්. ටිකක් කල්පනා කරල බැලුවමයි තේරුණේ ඒ හන්දියෙ තියෙන මහ විසාල ඇඳුම් කඩේ ඉස්සරහ අර සින්දු කියන කොල්ලො දෙන්නගෙ විසාල දැන්වීමක් ගහලය කියල. නිකංම නෙවෙයි, නාටු වුණාට ලස්සන බලු පැටියෙකුත් එක්ක. ඩ්‍රයිවර් ආරියපාලගෙන් ඕක ගැන ඇහුවට ඒ මනුස්සය දැනගෙන හිටපු දේකුත් නෑ. කාර්යාලෙට ගිහින් මේ ගැන හොයල බලන්න ඕන කියල රාජරත්න හිතාගත්තා.

ඔෆීසිය හැමදාම වගේ කාර්ය බහුලයි. ඒත් ප්‍රධාන විධායක නිලධාරිය විධියට සුපුරුදු අත්සන් ගැහිලි කීපයකට පස්සෙ රාජරත්නට ඉන්ටනෙට් එකේ එහෙ මෙහෙ කැරකෙන්න පැයක දෙකක සුපුරුදු අවස්ථාව ගන්න පුළුවන් වුණා. රැස්වීම් වුණත් හැමදාම නෑනේ.

ලොකු කොල්ල පිටරට ඉඳන් ලියන බ්ලොග් එක අහම්බෙන් ඇහැ ගැහිල රාජරත්න මහත්තයත් දැන් බ්ලොග් කියවිල්ලට ඇබ්බැහි වෙලා. සාමාන්‍යයෙන් මුලින්ම ගුගල් රීඩරේ ඇදගෙන ඒකට ආපු අප්ඩේට් බලන්නයි රාජරත්න පුරුදු වෙලා හිටියෙ. ඊට පස්සෙ පිළිවෙලින් එක එක සින්ඩිකේටරේ පලවෙන බ්ලොග් කියවන්නයි හොඳ ඒවා රීඩරේට දාගන්නයි තමයි දවසෙ පැයක් හමාරක් විතර වෙන් වුණේ.

ඒ වුණාට අද මුලින්ම බලන්න ගත්තෙ කොළඹ හතේ නෝනගෙ කඩේ ඉස්සරහ ගහල තිබුණ කටවුට් එක ගැන.

වැඩි අමාරුවක් නැතිව ගුණවර්ධන නෝනගෙ බලු සත්කාරය ගැන හොයාගන්න රාජරත්නට පුළුවන් වුණා. ඒක ඇත්තටම හොඳ වැඩක්... රාජරත්න හිතුවා. ඒත් ඉතිං කිසිම පිළිසරණක් නැති මිනිස්සු ඕන තරම් ඉද්දි බල්ලන්ට මොකටද මේ සත්කාරේ? රාජරත්න මහත්තයට පොඩියට ඉරිසියාවකුත් හිතුණා. පරම්පරාවෙන්ම උරුම වුණ ව්‍යාපාර ටික මේ තරම් දියණු වෙලා තිබුණත් තමන්ට බැරි වුණානෙ ඔහොම එකක්වත් පටංගන්න. යන තැනකටවත් වැඩක් වෙන්න!

රාජරත්න මහත්තයටත් ඕන වුණා තමන්ට තියෙන ධනස්කන්ධයෙන් ටිකක් වැය කරල ප්‍රජා සත්කාරයක් කරන්න.

ටික දවසකට පස්සෙ ආයෙමත් ඔය පස්සපැත්තෙ ගේට්ටුව ගැන බ්ලොග් ලියන චාමි කියන දරුපවුල්කාරයා ලියපු බ්ලොග් සටහනක් රාජරත්න මහත්තය දැක්ක. ඒක නිකං කැරකිල්ල හැදෙන විධියෙ සටහනක් වුණාට රාජරත්න මහත්තයට ඒක තේරුම්ගන්න තරම් ඔළුව කරකවගන්න වෙලාවක් තිබුණෙ නෑ එවෙලෙ.

ඊට පස්සෙ කාර්ය බහුල මාස කීපයක් ගෙවිල ගියේ අර කටවුට් එක ගැනවත්, බලු සත්කාරය ගැනවත් වෙන කිසිම සත්කාරයක් ගැනවත් මහන්සි වෙන්න රාජරත්න මහත්තයට ඉඩ නොදී. එක දිගට වැඩ ගොඩක් කරද්දි බ්ලොග් අස්සෙ කැ‍රකෙන එකත් ටිකක් විතර මගඇරිලයි තිබුණෙ. හැමදාම පුරුද්දට බැලෙන One|Zero|Zero එක්ක ගොසිප් සයිට් ඇරුණම වෙන කිසිම එකක් කියවන්න වෙලාවක් තිබුණෙ නෑ.

ආයෙමත් ඔය සත්කාරෙ ගැන රාජරත්න මහත්තයට කල්පනා වුණේ One|Zero|Zero එකේ ගිය තවත් මල විකාර පෝස්ට් එකක් දැක්කම.

පාරෙ ඉන්න බල්ලොන්ට වඩා කොයි කරම් අහිංසකද හරියට කන්නවත් නැතිව පාරෙ ඉන්න හිඟන්නො? බල්ලො නම් කුණු බාල්දියක් හරි පෙරලගෙන කනව. හිඟන්නන්ට ඒ විධියටවත් කිසිම පිළිසරණක් නෑනෙ.

රාජරත්න මහත්තයට ආවෙ නියම අදහසක්. අළුතෙන් කැස්බෑවෙ පටන්ගන්න ඉන්න ඇළුමිනියම් බඩු ෆැක්ටරියෙ වැඩටත් මිනිස්සු ඕන වෙලා තියෙන එකේ පාරෙ ඉන්න හිඟන්නු කීප දෙනෙක්ටවත් සත්කාරයක් කරන්න පුළුවන්නම්....

රාජරත්න මහත්තය දවස් ගානක් මේ ගැන කල්පනා කලා. එයාට හිතුණෙම ඒක නියම අදහසක් කියල. ඒක හොඳ අදහසක් නොවෙන්න හේතුවක් රාජරත්න මහත්තයට හිතුණෙම නෑ. අන්තිමේ එයා කල්පනා කලා මේ ගැන කතා කරන්න හිඟන්නෙක් එක්කම.

සෙනසුරාදා වරුවෙන් ගෙදර යද්දි පිළියන්දල පහු කරපු ගමන් ටිකක් නිදහස් තැනක හිටපු හිඟන මනුස්සයෙක් රාජරත්න මහත්තය දැක්ක. අවුරුදු පනහක විතර පෙනුමක් එක්ක බැලූ බැල්මට අතපය හොඳට තිබුණ නිසා මේ මනුස්සය එක්ක කතා කරන එක හොඳයි කියල එයාට හිතුණ. වහාම ආරියපාලට කියල වාහනේ නවත්තගෙන රාජරත්න මහත්තය හිඟන මනුස්සය හිටපු පැත්තට ගියා.

"මේ උන්නැහේ..."

"ආ... මහත්තයෝ..."

හිඟන මනුස්සයගෙ මූණට එකපාරම දුකක් ආරූඪ වුණා. අත් දෙක රාජරත්න මහත්තය දිහාවට පාමින් ඒ මනුස්සය ඉස්සරහට ආව.

"උන්නැහේ මොකද කරන්නේ?"

"අර නෝන කෙනෙක් ගෙනත් දුන්න පාර්සලේ ලෙහාගෙන දැනුයි කාල ඉවර වුණේ මහත්තයෝ..."

තාමත් මනුස්සයගෙ අත ආයාචනා ස්වරූපයෙන් යමක් ඉල්ලන විලාසයෙන්...

"හා... මේ.... ලොකු උන්නැහේ රස්සාවක් හෙම කරන්න කැමති නෑ...?"

"අනේ ඉතිං අපිට කව්ද රස්සා දෙන්නේ... තිවුණ රස්සා වලටත් හෙණගහපු නිසානෙ මහත්තයෝ මේ අතපාන්නේ..."

මනුස්සයගෙ අත්දෙක දිහා බලපු රාජරත්න මහත්තයගෙ අත ඉ‍බේම සාක්කුවට ගියා. පර්ස් එකේ තිබුණ අඩුම කොලෙන් එකක් හිඟන්නගෙ අතට. ඒක තැඹිලි පාටට හිඟන්නගෙ අතේ ගුළි වුණා. මූණට ආපු සන්තෝසෙකුත් එක්ක.

"එහෙම නෙවෙයි... රස්සාවක් දුන්නොත් කරගෙන ඉන්න පුළුවන්ද?"

"රස්සාවක් කිව්වෙ මහත්තයො මොන වගේ එකක්ද?"

"දැන් ඔහේගෙ අතේ පයේ අමාරුවක් නෑනේ... ඇළුමිනියම් කපන මැෂින් හසුරුවන එක තමයි රස්සාව... අළුත් ඇළුමිනියම් වැඩපලක."

"එතකොට මහත්තයො පඩියකුත් දෙනවද?"

"නැත්තං මනුස්සයෝ රස්සාවක් දෙන්න කතා කරයිද? රුපියල් 15000ක් මාසෙට දෙනවා. නවතින්න තැනකුත් හම්බවෙයි."

මොන ප්‍රජා සත්කාරෙ වුණත් මිනිහෙක් වෙනුවෙන් දරන්න පුළුවන් ප්‍රයෝජ්‍ය වටිනාකම ගැන රාජරත්නට දැනුමක් තිබුණා.

"එතකොට කෑම බීම?"

"ඒව සපයගන්න නෙව පඩියක් දෙන්නේ? මොකද කියන්නේ...? ඔහේට එහෙම වැඩ කරන්න පුළුවන් නම් රස්සාව තියෙනවා."

"අනේ මහත්තයෝ...."

හිඟන මනුස්සයගෙ මුහුණට ආවෙ පුංචි හිනාවක්!

"ඔය කියන විධියට මහත්තයො මට දවසකට පඩිය එන්නෙ රුපියල් පන්සීයක් විතරනේ... මම බස් වලට නැගල, පාරෙ හිඟා කාලත් දවසකට රුපියල් අටසීයට වඩා හොයනව මහත්තයෝ... අනික කෑම? උදේට නම් ඔය පාන් කෑල්ලක් කඩෙන් ගත්තට දවල්ට හම්බවෙනව රෑටත් හරියන්න හොඳ බත් එකක් දෙකක් හැමදාම. එහෙමත් දවසකට තමයි කඩෙන් කෑම ගන්න වෙන්නේ..."

"ඒ කියන්නෙ ඔහේට මේ රස්සාව හොඳයි මම දෙන්න යන එකට වඩා...?"

"ඒකනේ මහත්තයෝ.... වැඩක් කියල කරන්න දේකුත් නෑ නෙව... කම්මැලිනං නිකං හිටියා... අපේ එව්වො එකෙක්වත් මහත්තයගෙ රස්සාවට එන එකක් නෑ..."

රාජරත්නට බඩ කපාගන්න හිතුණා...

ආපහු වාහනේට නැගල ගෙදරට යන ගමන් රාජරත්න කල්පනා කලේ බල්ලො වෙනුවෙන් කරන්න පුළුවන් දේවල් මිනිස්සු වෙනුවෙන් කරන්න බැරිවීම ගැනයි. ඒත් සමහර විට පාරෙ ඉන්න බල්ලෙක්ගෙන් ඔය කතාවම ඇහුවොත් සමහර විට උගෙ උත්තරෙත් ඔයිට වෙනස් වෙන එකක් නැති වෙන්න තිබුණා. උනුත් හිතපු තැන ලැග්ගා... හිතපු දේ කෑවා... හිතුණු බැල්ලියෙක් එක්ක පෙම් කෙලියා... ඉඳල හිටල ගල්පාරක් කෑවට නිදහසේ හිටියා... දැන් කොහෙද එහෙම නිදහසක්? ගුණවර්ධන නෝන කරන්නෙ බලු අයිතීන් උල්ලංඝනය කරන ඕනම නැති වැඩක්. රාජරත්න එහෙම හිතුව...

හිතේ තිබුණ බර ටිකක් හෑල්ලු වුණා.


-----------------------------------------------------------------------------------------

රාජරත්ත මුදලාලිට ප්‍රජා සත්කාරයක් කිරීමට අවශ්‍යයි නම් බ්ලොග් අවකාශය වෙනුවෙන් යමක් නොකරන්නේ මන්ද? හොඳ සින්ඩියක් වෙනුවෙන් වියදම් නොකරන්නෙ මන්ද? යුධ අනාථයින් වෙනුවෙන්, රණ විරුවන් වෙනුවෙන් වියදම් නොකරන්නේ මන්ද? වැනි ඕන නැති ප්‍රශ්ණ නොඅසන්න.

Tuesday, 24 May 2011

අලුත් වැඩක් එක්ක අලුත්ම අලුත් ගොඩ්ඩ්‍රොයිඩ් ෆෝන් එකක්!

කාලෙන් කාලෙට කරන්න හිතාගෙන ඉන්න වැඩ අතරෙ තව වැඩක් ඔෆීෂයල් විධියට පටන්ගන්නයි මේ සූදානම. පටන් අරන් කාලයක් වුණත් දැන් තමයි වැඩේ හරියට කරගෙන යන්න පටන්ගන්නේ. ඉතිං ඔය ඉන්න කවුරු හරි කතුර අරන් රිබන් එක කපන එකයි ඇත්තේ... කතුර දාපු බන්දේසිය අල්ලගෙන ඉන්න ලස්සන ගෑණු ළමයව පේනව නේද? ;-)

අවුරුදු ගාණක් පරිගණක චිත්‍රණය ආශ්‍රිත රස්සාවල් කරල දැන් නිකංම නිකං මෙලෝ රහක් නැති රස්සාවක් කරගෙන ඉද්දි තමයි නිකංම නිකං අකුරු විතරක් ලියනවට වඩා කරන්න දේවල් තියෙනව නේද කියල හිතුණෙ. ඒ අදහසත් හිතේ තියාගෙන කම්මැලිකමේ කාලයක් හිටියත් කවද හරි කරන්න ඕන දේ කරන්න සිද්ධ වෙනව. ඒ නිසා මගේ චිත්‍රණමය අත්දැකීම් බෙදාගන්න වෙනම අඩවියක් පටන්ගන්න හිතුවා. ද්විමය තලයක කරන පෙරළි ගැන තමයි මේකෙ කතාකරන්න සූදානම. කෙටියෙන් දන්න විධියට කිව්වොත් පරිගණක ආශ්‍රිත චිත්‍රණය හෙවත් සිංහලෙන් graphic designing ගැන තමයි කියන්න සූදානම. ඊට අමතරව ඒක මගේ නිර්මාණ, ඔය කොමික් කෑලි වගේ ඒව පබිලිස් කරන්නත් යොදාගන්නව. දැනට තියෙන්නෙත් ඒව විතරයි තමයි.

මේක එක විධියක පිම්මක්. සාමාන්‍යයෙන් ජීවිතේ සම්බන්ධ ලිවීම් ඇතුලට මුදල් සම්බන්ධකරගන්න එක ගැන මගේ මනාපයක් නැතත් මේක එහෙම කරන්න මගේ අදහසක් නෑ. ඒ කියන්නෙ බලන්න ටිකට් ගන්න ඕන කියල නෙවෙයි. නමුත් ඒක ඔන්නොහේ විකිණෙන්න දාල කියලයි. ඒ නිසා ‍මේකෙ සයිඩ් බාර් එකේ පිං කැටයක් තියෙනවා. ඒක ගැනත් කියල ඉන්න ඕන නිසා මෙතනම කිව්වා. ඔය පිං කැටේ ඔහේ තිබුණාවෙ. සමහර විට ඕක කඩන්න ඕන වෙන එකක් නැතිවෙයි.

එහෙනම් කියවන්න විඳගන්න අළුත් අත්දැකීමක්.

එන්න... ගොඩ්ඩ්‍රොයිඩ් ෆෝන් එක බලන්න.

පිවිසෙන්න මෙතනින්.....


Tuesday, 19 April 2011

The Making of මොහොතින් මොහොත - One|Zero|Zero for dummies




One|Zero|Zero කිව්වම ඔය කවුරුත් දැන් දන්නවනේ... මේක මේ අපේ කිං රාවණාට මහරගම කිට්ටුවදි නිකමට වගේ හිතුන දෙයක්. උගේ තියෙන කැසිල්ලට ඕක අපේ සෙට් එකට කියල දැම්මා. අපේ තිබුණ කැසිල්ලත් එක්ක සෙට් එකේ කට්ටියගෙ අදහස් එක්ක මේල් දෙතුන්සීයක් විතර එහෙ මෙහෙ යන අතරෙ ඕක One|Zero|Zero විධියට සැලසුම් වුණා. ඊට පස්සෙ උගේ ගල් මරණය, කාටවත් ආගන්තුක නැති ආගන්තු:කයා, ශ්වේතඥ්ඥ කුජින්ත සහ හම සඳුන් නොදරුවාගේ පරිපාලනයෙන් එලියට ඇවිත් උන්ට ඕක කරගන්න බැරි වෙද්දි දන්තජ ලිෂ් සහ සුන්දර මඩ හරේගේ (ඒක තමයි ප්‍රසිද්ධියෙ කියන නම... රහසින් නම් මොන මොන පව් කරගන්නවද දන්නෙ නෑ... :P) ගරු දායකත්වයෙන් හැඩගැන්විලා දැන් වදන් සියයක වියමන් ලස්සනට ඇදීගෙන යනවනේ...

ඔය ටික කාලෙකට කලින් හොඳම ග්ලොබ් එක කියල සම්මානයකුත් හම්බ වුණානේ....

ඉතිං මේ කියන්නෙ මම වතාවක් ඕකට ‍වචන සීයක් ලියද්දි අනුගමනය කරපු දේවල් කීපයක් තමයි. කීපයක් කිව්වට ලිවීම කියන වැඩේ කරන්න තියෙන්නෙ ඉතිං එකම විධියක්නෙ ඉතිං. ලියන එක තමා... ;-)

නමුත් වචන සීයක් කියන්නෙ අභියෝගයක්. ටිකක් තියුණු සීමාවක්. සාමාන්‍යයෙන් නම් අපි වචන ගැන නොහිත ගේමක් නැතිව ලියාගෙන ගියාට වචන සීමාවත් එක්ක අපට හිතන්න අමතර දේවල් ගොඩක් ලැබෙනව. ඒක නිකංම ලියාගෙන යනවට වඩා බරපතල වෙන්න පුළුවන්. නමුත් අදාල ක්‍රම අනුව වැඩේ කරගත්තොත් වචන සීයක් කියන්නෙ අපට උවමනා දේ කියන්න ඕනවටත් වඩා නිදහසක් තියෙන සීමාවක් කියල තේරෙනව. හැබැයි සීමාවකට ලඝු වීම නිසා මේ වචන සීය ඇතුලෙ යම් නිර්මාණාත්මක දේවල් කිරීමේ අභියෝගයකුත් අවස්ථාවකුත් තියෙනව.

මේ කරන්න යන පැහැදිලි කිරීම මට වඩා හොඳට කරන්න පුළුවන් අයත් ඇති. ඒත් දැන් ඒක ගැන කතා කරන්න යන්නෙ මම. මට පුළුවන් විධියට...

කොයි කතාව කියන්නත් වස්තු බීජය කියල එකක් එපැයි. ඒ කියන්නෙ කතාවක බේස් එක හෙවත් හරය. ඕක මොකක් හරි සිදුවීමක්, මතකයක්, හැඟීමක් වගේ ඕනම දෙයක් වෙන්න පුළුවන්නේ. මේ වස්තු බීජය කියන එක ලියන කියවන හැමෝම දන්න එකක් නිසා ඒ ගැන ඒ තරමින් කිව්වම ඇති. වැඩිදුර ඉගෙනගන්න ඕන කට්ටිය අපේ සර්ප පන්තියට යන්න...

කොහොම හරි කතාවක් සම්පූර්ණ වෙන්න එහෙම බේස් එකක් ඕන. නැත්තං කතාවෙ ඉවරයක් නෑ වගේම තේරුම්ගැනීමේ අවුල් ඇතිවෙන්න පුළුවන්. එහෙම කියලා හොඳ වස්තු බීජ තියෙන කතා කණට ගැහුව වගේ තේරෙනව කියල කියන්නත් බෑ. ඒක කියවන කෙනා අනුව තමයි. කණට ගැහුවත් නොදැණෙන අය ඉන්න පුළුවන්නේ.... :P සමහර විට අපි කලින් කියවලා තියෙන දේවල්, කියවලා තියෙන ප්‍රමාණයන් වගේ ‍සාධක මේ වස්තු බීජය තේරුම්ගැනීමෙදි සෑහෙන්න වැදගත් වෙනව. මොනව වුණත් නිර්මාණයක ආරම්භය මැද හෝ අවසානය කියන්නෙ අනිවාර්ය අංග නෙවෙයි. ඒක එහෙම වෙන්නෙ ඇයිද කියල පැහැදිලි කරන්න මට දැණුමක් නෑ වගේම මෙතනට ඒක ඝෘජුව අදාලත් නෑ.

කොහොම නමුත් අපි ලියපු කතාව පල වුණාට පස්සෙ කාටහරි ඔය කතාව තේරෙන්නෙ නැත්තං අර තේරුනේ නෑ හරි රහක් නෑ කියන එක‍ට හරියක් දාන්නත් පුළුවන්නේ.... නැත්තං ඇනෝ විධියට ඇවිත් දෙඤ්ඤං තොපිට කියලා පළු යන්න බණින්නයි තියෙන්නේ... ඇඩ්මින්ල ඉන්නවනෙ අදාල නැති කමෙන්ට් අයින් කරන්න... :P

ඔන්න ඉතිං වස්තු බීජයක් හොයාගත්තා.... දැන් ඒකෙන් කතාවක් ගොඩනැංවීම.

‍සාමාන්‍යයෙන් අපට යමක් පැහැදිලි කරන්න එක වාක්‍යයක් ඇති වෙන්න පුළුවන්. නැත්තම් දෙකක් හෝ වැඩිම වුණොත් පහක්... ඔය එක වාක්‍යයක තියෙන්න පුළුවන් වචන ගාන දහයක් හෝ පහලොවක් කියලා ගමු. එතකොට වචන පහලොවක් තියෙන වාක්‍ය පහකින් අපි අපේ කතාව කිව්වොත් එතනම වචන හැත්තැ පහක් තියෙනව.

මේක ඉතිං වචන ගැන ගැන කරන්න බෑ... මම කිව්වෙ සරලව අදහස.

දැන් අපේ වස්තු බීජය සම්බන්ධ කරල කතාව ගොඩනංවන්න ඕන. ඒකට චරිත, අවස්ථා, සිදුවීම් ඇතුල් කරන්න ඕන. මූලික කතාව කියන්න වචන හැත්තැපහක් හොඳටම ප්‍රමාණවත් වෙලා තියෙද්දි ඉතිරි වචන විසි පහ පුරවන්න වැල් වටාරම් වාක්‍යයක් දෙකක් ලියන්නත් වෙනව. ඒකට ඔය වටපිටාව, කාලගුණය වගේ දෙයක් උදව් කරගන්න පුළුවන්. ඒ වගේම වචන අස්සෙ වැඩ කෑලි දානකොටනම් නොදැනීම වචන සීය ඉක්මවන්න පුළුවන්. එතකොට ටිකක් ඈත ඉඳන් බලල බාබර් කොණ්ඩෙ ෂේප් කරනව වගේ වැඩි කෑලි පොඩ්ඩක් ෂේප් කරල දාන්න වෙනව.

මේක මම කියන්න යන්නෙ උදාහරණයකින්...

මීට මාස කීපයකට කලින් මම බැලුව Edward Scissorhands කියන චිත්‍රපටිය. Johnny Depp (එඩ්වඩ්) එක්ක Winona Ryder (කිම්) රඟපාන මේ චිත්‍රපටිය සෑහෙන්න කාලෙක ඉඳන් බලන්න ඉඳල ඉඳල හොයාගෙන බැළුවෙ ඔය දෙන්නම මගෙ ප්‍රියතම නළු නිලි යුවලක් නිසා. ඉතිං චිත්‍රපටිය පුරා ඒක ඇතුලෙ මට පුද්ගලික එක එක කතා හදාගන්න ගමන් විනෝනාට ආදරය කරමින් මම චිත්‍රපටිය බැලුවා. මේකේ එක අවස්ථාවක් තියෙනවා එඩ්වඩ් අයිස් වලින් දේව දූතයෙක්ගෙ රූපයක් කැටයම් කරන. ඒකෙදි අයිස් කෑලි වැටෙන්නෙ හිම වැස්සක් වගේ. කිම් ඇවිත් මේ හිම වැස්ස යට නැටුමක් නටනව. ඒ මොහොතෙ එයා එඩ්වඩ් ගැන උපරිම හැඟීමකින් ඉන්නේ. ඒ එක්කම පසුබිම් සංගීතයත් කැමරා කෝණත් එක්ක ඒ කොටස මාව උපරිමයෙන්ම වශී කරනව.

මේ බලන්නකෝ ඒ කෑල්ල....




ඔන්න ඉතිං චිත්‍රපටිය ඉවර වෙලා ටික වෙලාවක් යනකල් මම චිත්‍රපටියෙ කික් එකෙන් ඉද්දි ඔය සිදුවීම මට තදින්ම දැණෙන්න ගන්නව. ඒක හරියට සුරංගනා කතාවක කෑල්ලක් වගේ කියල මට හිතෙනව. ඔය කාලෙ සීයෙ කතා ලිවිල්ලේ මුදුනක හිටපු මට මේ සිදුවීම කතාවකට ගේන්න උවමනා වෙනව. ඉතිං මම ඒකෙ කෑල්ල කෑල්ල වචන සහ වාක්‍ය වලින් ගොඩ නගනව.


සුරංගනා කතාවක හිම වැටුණ රැයක විදුලි කණුවක් යට ලා එලියක ඇය නටමින් හිටියා... ඒ නැටුම කෙලවරදි අඳුරු මුල්ලක හිටපු මගේ පපු තුරුලට වෙලා ඈ ඇගේ ආදරේ මට කිව්වා... මම ඒ දෑස් දිහා බලන් හිටියෙ පුංචි මොහොතක්. ඒක ජීවිතේ නැවතුණු මොහොතක් වුණාට මම ඒ මොහොත ඇතුලෙ ජීවිත කාලයක් හිටියා...


මේක මගේ ෆයිනල් කතාවෙ මුල් ඡේදය විතරයි. මුලින්ම මේක ලියවුණේ මීට වෙනස් විධියකට. පසුව වෙනස් වෙලා කැපිල කෙටිල ඉතිරි වුණ කෑල්ල තමයි ඔය.

කොහොම හරි මේක මේ ගානට ලියවුණාට පස්සෙ මට තවත් ඒකට එකතු කරන්න දෙයක් නැති වුණා. මට කියන්න උවමනා කරන සේරම මේ වාක්‍ය කීපයෙ රැඳිල තියෙනව කියල හිතුණ. කාලගුණයත් වටපිටාවත් ඒ මොහොතෙ මට දැණුනු පීක් හැඟීමත් මේ ලියවුණ කොටසෙ හොඳටම තියෙනව කියල මට හිතුණා.. ඊට වඩා ඒ ගැන ලියන්න ගියොත් තියෙන ටිකත් දියාරු වෙනවා. ඒ නිසා ඇත්තටම මට උවමනා වුණේ කතාව මේ තරම් විතරක් කරන්න. ඒ වුණාට වචන සීයක ඉඩ සම්පූර්ණ කලයුතු වුණා. ඒ හින්දා ඒක පසුව හිතන්න කියල මම වැඩේ අතර මග නතර කරල දැම්මා...

සතියකට දෙකකට විතර පස්සෙ මට මේ කතාව සම්පූර්ණ කරන්න උවමනා වෙනවා. ඒ ගැන හිතමින් ඉද්දි මට මතක් වෙන්නෙ බලධාරිනිය එක්ක තිබුණ මගේ සම්බන්ධය ඒ දවස් වල විචලනය වුණ විධිය. ඒ දවස් ටිකේ ඒ සම්බන්ධයෙ කිසිම අළුත් ගතියක් තිබුණේ නෑ. දෙන්නම රාජකාරි වැඩ එක්ක හෙම්බත් වෙලා හිටියෙ. ඒ එක්කම මට කල්පනා වෙනව අපි දෙන්න අතරෙ අතරින් පතර ඇතිවෙන හැඟීම් අස්සෙ අර චිත්‍රපටිය බලද්දි මට දැණුන හැඟීම් විඳීම් සේරම තිබුණ නේද කියල. ඒ කියන්නෙ ඒ වෙලාවෙ අධෝවාතයක් තරම්වත් ගණන් නොගත්තට බලධාරිනිය කියන්නෙ හිම වැස්සක නටපු සිහින සුරංගනාවිය නේද කියල මට මතක් වුණා... (ඒ වෙලාවෙ කිසිම දෙයක් පාවිච්චි කරල හිටියෙත් නෑ හැබැයි... :පී)

ඔන්න මට කතාව ලියන්න පොටක් පෑදෙනව. දැන් මම කතාව ගොතන්න යන්නෙ ආදරය කියන සම්බන්ධය සන්තතික නැති බව කියන්නයි. ආදරය කියන එකත් හැම වෙලේම පීක් එකට එන්නෙ නැති සාමාන්‍ය එකක් වෙන බව කියවෙන විධියටයි මම දැන් කතාව ලියන්න යන්නේ... ඒකෙදි අර මුල් ඡේදයේ ලියවුණ දේ සහමුලින්ම අනිත් පැත්තට ගහන්න ඕන දෙවෙනි ඡේදයෙන්. එතනදි වචන ගානත් සැලකිල්ලට අරන් මම ඔය සාමාන්‍ය මිනිහෙක් කරන්න කැමති දේවල් ටිකක් ඒකට ගාවනවා. කෑම, පත්තර, චිත්‍රපටි එක්ක ක්‍රිකට්... ඒ දේවල් සමහර වෙලාවට මහ ලොකු දේවල් වුණාට මනුස්සයෙක්ගෙ ජීවිතේ සාමාන්‍යකරණය වුණ දේවල්නේ... ඉතිං ඔන්න මම ලියනව...


ඊළඟ දවසෙ ආයෙමත් උදේ නැගිටල මුහුණ හෝදල පටන්ගන්න ඉරි තලපු ජීවිතේ ඇය සාමාන්‍ය ගෑණියක්... ජීවිත කාලෙන් මොහොතක් ඈත් එක්ක ගෙවන එක කෑම පිඟානක්, පත්තරයක්, චිත්‍රපටියක්, ක්‍රිකට් තරගයක් වගේ සරල දෙයක් වෙලා.


මේක ලියවුණාට පස්සෙත් කතාව සම්පූර්ණ නෑ... ඕන නම් මෙතනින් වුණත් කතාව නතර කරන්න පුළුවන් වුණාට වචන සීයක් උවමනයි. ඉතිං මම ආයෙත් හිතනව. ඒකෙදි මට තේරෙනව මේ දෙවෙනි ඡේදයෙ විධියටත් හැමදාම නෑ කියල. ආයෙත් අර මුල් තත්ත්වෙට යන්න පුළුවන්. ඒ මුල් ඡේදයෙ කියවෙන සුන්දර මතකයකට හරිම පොඩි වෙලාවකින් ආයෙත් යන්න පුළුවන්. ආදරේ ඇතුලෙ ඕක හරියට අර හදවතේ ගැස්ම පෙන්නන සටහනක් වගේ ඉහල පහල යන එකක්නේ... ඔන්න මම ආයෙ කතාව හරවනව මේ සංසිද්ධි දෙකම එක තැනකට ගේන්න.


ඒත් හිම පියලි වලින් වැහිල ඇගේ නෙත් දෙක තාම ආරක්ෂිතයි... විශේෂ කෑමක්, හොඳ කාටුන් එකක්, දැණෙන චිත්‍රපටියක්, සික්සර් එකක් වගේ...


මෙතනදි වෙන්නෙ අර මුල් ඡේදයෙදි උපරිමයකට ගොඩනංවල දෙවෙනි ඡේදයෙදි බිඳල දාපු සම්බන්ධය බැලන්ස් කරන එක... ඒක හරියට දෙන්නෙක් ගහගනිද්දි තුන්වෙනිය මැද්දට පැනල ෂේප් කරනව වගේ වැඩක්.

හැබැයි ඕක හැම වෙලේම හරියන්නෙත් නෑ... තුන්වෙනිය ගුටිකන වෙලාවලුත් තියෙනව.

ඉතිං ඔය කිව්වෙ මම එක කතාවක් ලියපු හැටි. හැබැයි සමහර වෙලාවට කතාව ලියාගෙන ගියාම වචන ගාන සීය ඉක්මවනව. ඒකෙදි කතාවට හානි නොවෙන්න ඔය පරිසරේ, කාලගුණේ වගේ කෑලි ගලවන්න වෙනව. වචන හරඹ දාල කතාව වචන සීයකට ටියුන් කරන්න වෙනව. වචන සීයේ අභියෝගයේ නියම කොටස තමයි ඔය ටියුන් කිරිල්ල.

ඔය ලියපු සම්පූර්ණ කතාව මෙතන තියෙනව. මේ සටහනට මේ කතාවම තෝරගත්තෙ අර වෙනස්වීම් පැහැදිලි කරන්න ලේසි නිසයි, සහ මෑතකදි ලියපු සීයෙ කෑලි අතරෙ මේක ටිකක් කල් ගතවෙමින් ගොඩනැගුණු නිර්මාණයක් නිසයි.

මට හිතෙන විධියට ඕනම කතාවක් වචන සීයකින් ලියන්න පුළුවන්. දිග නව කතාවක් වුණත්... හැබයි ඒකෙදි අර චරිත, සිදුවීම් වෙනුවට වෙනත් දේවල් ටිකක් ආදේශ කරන්න වෙයි. උදාහරණයක් විධියට ඔය ගොඩක් දෙනෙක් දන්න ගම් පෙරලිය වගේ කතාවක් සීයකට කෙටි කලොත් ඒකෙ ඉන්න චරිත වෙනුවට ඔය ගම වෙනස් වීම, නාගරීකරණය වගේ කවුරුත් කියවන්නෙ නැති වර්ගයේ කතාවක් හැදෙයි ;-)

මොනව වුණත් මට දැනට ‍තේරෙන විධියට අපට කියන්න උවමනා කරන දේ පැහැදිලිව හඳුනාගත්තොත් ඒක වචන සීයකට කෙටි කරල ලියන එක අමාරු නෑ. එක අතකට ඒක ලිවීම හරහා විනෝද වෙන්න පුළුවන් අවස්ථාවක්. ඒ වගේම උවමනා නම් වචන සීය ඇතුලෙ පද පෙරලි, වචන හරඹ වගේ දේවල් කරල නිකංම නිකං කතාවක් වෙනුවට කියවන කෙනාට අළුත් අත්දැකීමක් ලැබෙන විධියෙ නිර්මාණයක් කරන්නත් පුළුවන්.

ඉතිං මේ සටහන ලිව්වෙ ලියන කියන කට්ටියට අභියෝගයක් සමග ලිවීමේ තෘප්තිය ගැන කියන්න. බ්ලොග් අවකාශෙ පුරාම ගත්තම එක එක විධියට එක එක දේවල් ගැන එක එක විධියෙ නිර්මාණ කරන අය ඉන්න එකේ තමන්ගෙ ලිවිල්ල නිකංම ලිවිල්ලක් විතරක් නොවෙන බව දැන‍ගැනීමේ ආතල් එක පොඩ්ඩක් විඳින්න සීයෙ කතාවක් ලියන්න තල්ලුවක් දෙන්න.

ඉතිං ලියන්න... වචන සීයෙ කතාවක්... අභියෝගාත්මක අකුරු වලින්...



----------------------------------------------------------

ප.ලි. - ලියන්න ආසාවෙන් හිටපු අයට මේ සටහන කියවල ලිවිල්ල එපා වුණා නම් හිතේ අමාරුව යන්නත් එක්ක මෙන්න පිළිගන්න ජොලි සීයගෙ ලලක්කා....





අනුග්‍රහය - Siribiris

Wednesday, 23 March 2011

අපිත් මමීකරණය වෙයිද?


ඥාතීන් කීප දෙනෙක්ගෙන් දුරස් වුණ මගේ ඥාති ආච්චි කෙනෙක් පහුගියදා මෙලොවින් සමුගත්තා. අපේ ගෙදරට ගෙවල් කීපයකට එපිටින් තමයි මළගෙදර තිබුණේ. දරුවන් හත් අට දෙනෙකුගෙ (මමවත් ගාණ දන්නෙ නෑ) අම්ම කෙනෙක් වුණ මේ ආච්චි ගමේ බොහොම ආදරයට පාත්‍රවුණ කාන්තාවක් වෙලා හිටියා.

මළ ගෙදර වැඩ කටයුතු එක්ක හතර වටේට ලයිට් දාන්න, වයර් අදින්න ටෙන්ට් ගහන්න වගේ වැඩ වලට උදව්වක් වෙන්න මම උදේ ඉඳන් එහෙ හිටියා. සුමනෙ අංකලුත් ඇල්බට් අංකලුත් කුමාර අයියත් එකතු වෙලා ගේ දෙපැත්තෙ ටෙන්ට් එල්ලුවා. ඊට පස්සෙ ඇල්බට් සහ කුමාර දෙන්න පුවක් කපද්දි සුමනෙ අංකලුත් මමත් පාර පැත්ත අඳුරු නිසා පාරට වෙන්න බල්බ් එකක් දාන්න වයර් එකක් අදින්න සූදානම් වුණා.

ඒත් පැය බාගෙකින් ඉවර වෙන්න තිබුණ ඒ වැඩේට අපට පැය තුනක් ගියා. ඒ වෙන මොකක්වත් නිසා නෙවෙයි, ආච්චිව මමීකරණය කරන්න තිබුණ නිසා.

දේහයට අවසන් ගෞරව දක්වන්න ගෙදරට ආපු පන්සලේ හාමුදුරුවන්ගෙන් පටන්ගෙන, මරණාධාර සමිතියෙන්, දායක සභා අරමුදලෙන්, තරුණ ජවය සමිතියෙන්, ප්‍රජා සංවර්ධන කමිටුවෙන්, කුළඟන සමිතියෙන්, තිස්සපුර ගමේ වැඩිහිටි සමිතියෙන්, දහම් පාසල් ගුරු මණ්ඩලයෙන් වගේම..... ලොකු පුතා වැඩ කරපු විදුලි බල මණ්ඩලේ සුභ සාධක සමිතියෙන්, ඒකෙම ආරක්ෂක අංශයෙන්, කළමනාකරණ සහකාර නිලධාරි සමිතියෙන්..... ලොකු දුව උගන්වපු ඉස්කෝලෙ ගුරු මණ්ඩලයෙන්, සමාජ සත්කාර්ය සමිතියෙන්.... මද්දු පුතා වැඩ කරපු කොම්පැණියෙ සුභසාධක සමිතියෙන් වගේම නාලිකා දුව වැඩ කරපු ක්‍රීඩා අමාත්‍යංශෙ කාර්යාල සමිතියෙන් වගේ නම් වලින් මතක තියාගන්න බැරි තරම් සමිති ගාණකින් මේ මමීකරණ කටයුත්තට ඕන කරන රෙදි කෑලි ගෙනාවා.

පරණ මමීකරණයෙයි මේ වතාවෙ මුහුණ දෙන්න වුණ මමීකරණයෙයි වෙනස්කම් නම් සෑහෙන්න තියෙනවා. එකක් තමයි මේ මමීකරණයෙදි කල් තබාගන්න උත්සාහ කරන්නෙ අදාල දේහය නොවීම. මේකෙදි කල් තබාගන්නෙ මේ රෙදි කෑල්ල ලබාදෙන පාර්ශවයයි. ඉතිං රෙදි කෑල්ල ලබා දුන්නෙ කවුද කියල අඳුනගන්න රෙද්ද පුරා අදාල පාර්ශවයෙ නම ගම එක්ක මොකක් හරි ශෝක ප්‍රකාශයක් ලියල තියෙනව. ‍



මේ රෙද්ද ලබාදුන් පාර්ශවය කියන එක බොහොම වැදගත්. ඒක මළගෙදරට එන උදවියට පේන්න තියෙන්න ඕන. ඒ නිසා දේහය වටේ ඖෂධ එක්ක එකතු කරල ඔතනව වෙනුවට මේ රෙදි කෑලි මළ ගෙදර වටේ එල්ලනව. එන අයට පේන තැනක හොඳට පේන්න.

මේ මමීකරණ වැ‍ඩේ කොයි තරම් දුර දිග ගියාද කියනවා නම් අපට අනිත් වැඩ නතර කරන්න වුණා. අනිත් එක ඒව ගහන්න ඉඩක් තිබුණෙත් නෑ. අන්තිමේ කලින්ම ඇවිත් ගිය, ආයෙත් ඒවිය කියල නොහිතන පාර්ශව කීපයක රෙදි උඩින් අළුත් ඒව එල්ලුව. මොනව කරන්නද?

ඉතිං... මේ තරම් වටේ රවුම් ගහමින් මම කියන්න යන කතාව දැන් ෂඛ්ෂුඩඛ් ෂේ පැහැදිලියි නේද? මේ කියන්න යන්නෙ මළ ගෙවල් වල බැනර් ගැහිල්ල ගැන...

ගෙනත් දෙන අය මේ බැනර් ගෙනත් දෙන්නෙ ඒකෙන් තමන් මේ ක්‍රියාවලිය පසුපස ඉන්නව කියන එක පෙන්නන්න. ඒක අදාල පාර්ශවයට සහ පවුලට සම්බන්ධ මනුස්සයටත් පොඩි කික් එකක්. උදාහරණයක් විධියට විදුලි බල මණ්ඩලේ වැඩ කරන පුතාට තමන්ගෙ ආයතනයේ බැනර් එකක් ගහල තියෙන එක පොඩි ආඩම්බරකාර කාරණයක් වෙනව ඇති. නමුත් බැනර් එක ගැහිල්ල හැර මළගෙදර කටයුතු වලට වෙනත් දායකත්වයක් බැනර් එක දෙන අය නොකරනව වෙන්නත් පුළුවන්.

මොනව වුණත් බැනර් දැමීම ගැන මටනම් හිතෙන්නෙ ඒක ලකුණු දාගැනීම සහ දමා දීම පිණිස හැදුණ එකක් කියලයි. ඒක නිකං ටැලි විෂ න් එකේ ක්‍රිකට් මැච් එකක්, ටෙලි නාට්‍යයක් වගේ ඔය එක එක ඒවයෙ තියෙන ඇඩ් දැමිල්ලට දෙවෙනි නෑ. මියගිය මනුස්සය වෙනුවෙන් කරන්න තියෙන හොඳම දේ මළගෙදර උදවියට අනවශ්‍ය කරදරයක් නොවී දේහයට අවසන් ගෞරව දක්වන එක. උදව්වක් කරන එක. (අඩු තරමෙ තමන් බැනර් එකක් ගෙනාවනම් ඒක එල්ලන්න සපෝට් එකක්වත් දෙන එක?)

ඒ විධියට ගත්තම මේකෙ තියෙන අවුල විධියට මට පේන්නෙ වෙන එකක්. ගොඩක් විට මේ බැනර් ගේන උදවිය බැනර් එක මළ ගෙදරට සම්බන්ධ කාට හරි දීල මාරු වෙනව. පස්සෙ ඒක එල්ලීම, බලාගැනීම, ගැලවීම, සේදීම සහ නැවත බාර දීම කියන කාරනා සේරම මළගෙදර උදවිය විසින් බලාගන්න වෙනව. කෙනෙක් මියගියාම කරන්න ඉතිරි වෙන නොයෙක් වැඩ අස්සෙ මේ බැනර් කෙරුවාව ඇත්තටම ලකුණු සඳහා ඇර වෙනත් කිසිම වැඩක් නැති අමතර වැඩක් විධියට ගෙදර උදවියගෙ කර උඩ වැටෙනව කියල තමයි මට නම් හිතෙන්නේ.

හැබැයි එකක්. මේක පටන් ගන්නෙ මළ ගෙයක් තියෙන ස්ථානය පැමිණෙන අමුත්තන්ට දන්වන්න සුදු කොඩියක් දැමීමේ චාරිත්‍රයෙන්. ගොඩක් ඉස්සර මම සහභාගි වුණ මළ ගෙදරකදි සෑහෙන්න වයසක සීය කෙනෙක් තමයි මට ඒ කතාව කිව්වෙ. ඉස්සර මළ ගෙදර ඉදිරියෙ සුදු කොඩියක් දාන එක හැර වෙන දෙයක් තිබිල නෑ. පස්සෙ පස්සෙ මේ සුදු කොඩියට අනුග්‍රාහකයො සෙට් වෙනව. ඉතිං නම ලොකුවට පේන්න ඕන නිසා කොඩිය බැනර් එකක් වෙනව. අනුග්‍රාහකයො වැඩි වෙනකොට මළ ගෙදරට එන පාර දිගේම තියෙන හන්දි වල බැනර් වැටෙනව. ඒක එක අතකට නොදන්න මළ ගෙයක් හොයාගෙන යද්දි සෑහෙන්න උදව්වක් වෙනව තමයි.

දැන් ඉතිං කාලෙ වෙනස් තාලෙ අළුත්. මදය කෙසේ වෙතත් පොත්ත ලස්සනට තියෙන්න ඕන නිසා හැම තැනකදිම වෙනව වගේ මළ ගෙවල් වලත් සෝබන වලට තමයි වැඩිම කාලයක් එක්ක වියදමත් වෙන්නේ.

ඒක ඉතිං කෑල්ලෙන් කෑල්ල කතා කරත් ඉවර කරන්න බැරි දෙයක් නිසා මම කියන්නම් නූතන විධියට මමීකරණය වෙන්න ඕන නම් කරන්න ඕන වැඩේ.

හරි ලේසියි... ඔය දන්න කියන හැම සමිතියකම සංගමේකම සාමාජිකත්වෙ ගන්න. වැඩ නොකලට කමක් නෑ. නමට පෙනී ඉන්න. මැරුණට පස්සෙ කට්ටියම ඇවිත් මමීකරණය කරයි....

ඉතිං මේ අපි යම් දවසක මරණයට පත්වුණාට පස්සෙ මෙන්න මෙහෙම මමි බැනර් තියෙයි නේ... :P



------------------------------------------------------------------------------------------------------

අනිච්ඡාවත සංඛාරා...
ඔබ ගිය පසු නොහඬා කුමක් කරන්නද?
ඩෙඩ් කැටගරියට දමනවා මිසක

සිංහල බ්ලොග්කරුවන්ගේ සංගමය

------------------------------------------------------------------------------------------------------

වයධම්මා සංඛාරා...
සිතිවිල්ලකුදු ඉතිරි නැතිවම ඔබ ගිහින්
නැවත ප්‍රතිසන්ධිය ලද වහා පටස් කරන්න

ශෝකී ලාංකීය සිතුවිලි

------------------------------------------------------------------------------------------------------

ජීවිතේ බස් රියකි. දිනෙක කැ‍ඩෙනවා සත්තයි
බෘම් බෘම් බෘම් ගාල හුචස් ගා නැවතුනේ ඇයි?

සිව්හෙලේ මහා සම්මත ගූ ගල් බස් සංගමය

------------------------------------------------------------------------------------------------------

System Failure.
කලින් බැකප් කලත් දැන් ‍ෆෝමැට් කලත් පලක් නම් නැත.

ටෙක් කතා.com

------------------------------------------------------------------------------------------------------

අයියෝ!

sindiya.com

------------------------------------------------------------------------------------------------------

සමුගත්තද ඔබ, මියෙන්නේ නැත
ඔබේ පොරත්වය
ඔබට නිවන, මෝක්ෂය හෝ නැවත මහ පොළොව

හත්மாளுwa

------------------------------------------------------------------------------------------------------

Have a nice time at Heaven!
Gods may read you then

kottu

------------------------------------------------------------------------------------------------------


තව ඕන තරම් කට්ටිය බැනර් නම් දායි... මට ඒව හිතන්න කම්මැලියි... ඔය ලොකුම බැනර් ටිකක් ගැන තමයි ලිව්වේ...

ඇත්තටම මමීකරණය ගැන දැනගන්න ඕනනම් සත්සමුදුර කියවන්න.

Thursday, 30 September 2010

ආයෙත් ලිවිල්ල...

ආයෙත් ලිවිල්ල පටන්ගන්න කලින් ආයෙත් ලිවිල්ල ගැනම කලින් කියපු කතාවක් මෙතනම දැම්ම නම් හොඳයි කියල හිතුණ. මේක කලින් පල වුණේ අපේ Fit එකේ යාළුවො සෙට් එකේ මූලිකත්වයෙන් සහ ලියන හැමෝගෙම දායකත්වයෙන් පවත්වගෙන යන සීයගෙ බ්ලොග් එකෙයි.

මමත් දැන් categorized


කාලයක් තිස්සෙ නොලියපු බ්ලොග් එක ආයෙත් ලියන්න උවමනාවක් සෑහෙන්න ඈතක ඉඳන් ළඟටම ඇවිත්.
බ්ලොගර් වලින් වර්ඩ්ප්‍රෙස් වලට import කලාම ‍දාල තිබුණ සටහන් සේරම uncategorized කියන ප්‍රවර්ගයට එකතු වෙලා තිබුණ.
මනෝ තෘප්තියටත් එක්ක මම category cloud කියන විජට්ටුවත් දැම්ම.
මුලින්ම ඒකෙ uncategorized කියල විතරක් ලොකුවටම තිබුණ.
එක එක සටහන නැවත කියවන ගමන් එක එක ප්‍රවර්ග වලට වෙන් කලා.
එතකොට වෙනත් ප්‍රවර්ග එකතු වෙලා uncategorized කියල ලොකුවට පෙන්නපු ප්‍රවර්ගය පුංචිම වුණා ටිකෙන් ටික.

................

මමත් මටවත් අයිති නැති මනුස්සයෙක් වෙලා හිටිය ජීවිතේ එක කාලයක්!
දැන් මම එක එක වෙලාවට එක එක අයට ඕන විධියට.
මගේය කියන ලෝකය දැන් ටික ටික පුංචි වීගෙන යනවා...

තාමත් කැටගරි වලාවෙ uncategorized කියන එක ලොකුවට තියෙනවා... ඉදිරියෙදි මම ලිව්වොත් සහ මේ බ්ලොග් එක පවත්වගත්තොත් ඕක ටික ටික පුංචි වෙයි.

එහෙම අවිශ්වාසෙට කිව්වෙ කලින් කිව්ව වගේ ළඟටම ආපු ලිවීමේ උවමනාව ඉක්මනටම ආයෙත් ඈතට යන්නත් පුළුවන් නිසයි. කාලයක් එක දිගට කිසිම දෙයක් කරන්න තියෙන අකමැත්ත ලිවිල්ලටත් ඒ වගේම අදාලයි හැම වෙලේම. ඒ නිසා ලියන එක දැනට ස්ථිර වුනාට ඉදිරියෙදි ඒ ගැන කියන්න බෑ.

ඇත්තටම ලියනවට වඩා කල්පනා කරල මා තුලම දේවල් විසඳගන්න එකට මම කැමති වෙලයි ඉන්නේ. ලිවිල්ල කිසිම තේරුමක් නෑ වෙලාවකට. ඒකෙන් අපි හිතන දේ මොට්ට වෙලා ලියවෙනව හැර වෙන දෙයක් වෙන්නෙම නෑ ‍බොහොම වෙලාවට. ඒ නිසා ලියන එකත් නවත්තලා කල්පනා කරන එක විතරක් කරන්න ගත්ත මම. ඒකත් ඇති වෙලා ආයෙත් ලියන්න හිතුණ කියමුකෝ...

ඉතිං බලමු අනාගතේදි හම්බවෙන්න... ජීවිතේ හරිම කොටයි. ඒකෙ කිසිම තේරුමක් නැති වුණත් ජීවත් වෙනතාක් අපි හැමෝම කරන්නෙ ජීවිතේ තේරුමක් දකින්න යන එකනේ...


මෙම සටහන ලියන අවස්ථාවේදී මෙම බ්ලොගය සෙවාදායකයක් මත පිහිටවූ වර්ඩ්ප්‍රෙස් සංස්කරණයක් මත ගොඩනැගෙමින් තිබූ බව කරුණාවෙන් සලකන්න.