Showing posts with label society. Show all posts
Showing posts with label society. Show all posts

Monday, 11 July 2022

තොපිත් පල

 


පාවිච්චි කල මාස්ක් එක පාරෙ දානවනං

ටොපි චොකලට් අයිස්ක්‍රීම් කාල ඒව ඔතපු පොලිතින් හිටපු තැනම දානවනං

පේජ් කාරයන්ගෙ පින්තූර පෝස්ට් හෙවිල්ලක් බැලිල්ලක් නැතුව ෂෙයා කරනවනං

සෝෂල් මීඩියාවල දකින තමන්ගෙ ඇජොන්ඩාවට සෙට් වෙන ඕන බොරුවක් ආයෙ ආයෙ පතුරුවනවනං

විශේෂිත කාරණයක් වෙනුවෙන් හදාගත්ත චැට් ගෘප් අස්සෙ කිසිසේත්ම අදාල නැති පෝස්ට් දානවනං

පෝලිමක ඉඳල වැඩක් කරගන්න පුරුද්දක් නැත්තං

ආයතනයකින් වැඩක් කරගනිද්දි නියමිත ක්‍රමය අනුගමනය කරනව වෙනුවට ආයතනය ඇතුලෙ කන්ටැක්ට් හරහා වැඩේ කරගන්න ට්‍රයි කරනවනං

ට්‍රැෆික් එකක් සෙට් වුණාම ඉවක්බවක් නැතුව හෝන් ගහනවනං

ගෙදර සවුන්ඩ් සෙටප් එක හතර වටේ ගෙවල්වලටත් ඇහෙන්න දානවනං

තමන්ට ඕන දේ වෙනුවෙන් ඕන බොරුවක් කියනවනං

තමන්ට අයිති නැති, අයිති කාරයෙක් පේන්න නැති දෙයක් දැක්කම ගන්න හිතෙනවනං

තමන් අතින් වරදක් උනාම ඒක පිලිගන්න බෑ වගේ හිතෙනවනං, වෙන එකෙක්ව අහු කරනවනං

පොදු තැන්වලදි තමන් විතරයි ඉන්නෙ වගේ ෆෝන් එකෙන් හෙණ හයියෙන් වීඩියෝ බලනවනං

අනිත් උන් වැරදියි කියන ගමන් තමන් හරි සුදනා කියල හිතනවනං

තොපිත් වැඩක් නෑ තොපිත් පල!


Thursday, 27 August 2020

The Boy Who Harnessed the Wind (2019) - චිත්‍රපටිය ගැන අදහස්

 



ස්පොයිල් විය හැක

මේ චිත්‍රපටිය බලන්න ගන්නෙ චිත්‍රපටි ගෘප් එකකින් ලැබෙන ඔත්තුවක් මත. චිත්‍රපටියෙ නමින්ම ඉඟි කරන විදියට මේක ධනාත්මක සිතුවිලි ඇති කරන චිත්‍රපටියක්. තමන්ගෙ සීමා බිඳගෙන ඉදිරියට යන ජීවිතයක් පිළිබඳ චිත්‍රපටියක්. එහෙම චිත්‍රපටි මහ ලොකු ගාණක් නැතත් තියෙන ඒව බැලුවම දැනෙන හැඟීම් ජීවිතේ ගැන සුබවාදී සිතුවිලි ඇති කරනව. ඒකට ඒ චිත්‍රපටිය හැදෙන්නෙ මොන රටේද, උන් කතා කරන්නෙ මොන භාෂාවද, උන් මොන පාටද, තේමා වෙන්නෙ මොකක්ද වගේ කිසි දෙයක් අදාළ නෑ. මිනිස්සු විදියට තමන් උපන් ජීවන තත්ත්වය ස්වෝත්සාහයෙන් වෙනස් කරගෙන වඩා පහසු ජීවන තත්ත්වයක් කරා යන චරිත අපිවත් දිරිගන්වනව. මේ චිත්‍රපටිය බලන්න ගන්නෙම ඒ අදහස ඇතිවයි.

Chiwetel Ejiofor කියන නළුවාගේ නම කවදාවත් මතක තිබුණේ නැහැ. ඔහු රඟපෑ මතක ඇති රංගනයක් තියෙන්නෙ 12 years a slave චිත්‍රපටියෙ පමණයි. නමුත් චිත්‍රපටි ගණනාවක සහය නළුවෙක් විදියට පෙනී සිටි ඔහුගේ පෞරුෂය හිතේ ඇඳිල තියෙන එකක්. මේ චිත්‍රපටිය ඔහුගේ අධ්‍යක්ෂණයක්. තිර රචනයත් ඔහුගේමයි. කරන චරිතයත් කරනව උපරිමයෙන්ම.

මලාවි රාජ්‍යයේ දිළිඳු ගොවි පවුලක අවුරුදු 13ක පුතා ඇහිඳගන්න දැනුමකින් තමන්ගෙ පියාගෙ වගාවට වතුර පොම්ප කරන්න සුළං මෝලක් නිර්මාණය කිරීම තමයි චිත්‍රපටියෙ තේමාව වෙන්නෙ. ඒක බැලූ බැල්මට මහ ලොකු දේකුත් නෙවෙයි වගේ පෙන්න පුළුවන්. නමුත් එහෙම තීරණයක් ගන්න ඔහුට සිද්ධ වුණේ ඇයි කියන එක චිත්‍රපටිය පුරාම විහිදුවන ඛේදනීය හේතුවක්. ඒ තීරණය ගන්නෙ ඔහුගෙ කුතුහලය නිසා විතරක්ම නෙවෙයි. කුතුහලය ඔස්සේ යන්න පුළුවන් යම් දුරකට. නමුත් බාධක නොසලකා මිනිහෙක් වෙනස් වැඩකට බහින්නෙ විකල්පයක් අවශ්‍ය නිසා. විකල්පයක් සෙවීම ඔහුගේ වැඩක් බවට පත් කරගත්ත නිසා. තමන්ට කල හැකි දෙයින් වැඩක් ගත්ත නිසා. මිනිස් ශිෂ්ටාචාරය ලෝකය වෙනස් කරන මට්ටමට සංවර්ධනය වෙන්නෙම එහෙම මිනිස්සු නිසා. ඒ අර්ථයෙන් ගත්තම විලියම් කම්ක්වම්බා කියන දරුවා මිනිහෙක්.

චිත්‍රපටිය පුරාම දකින්න ලැබෙන මානව බැඳීම් හා ඝට්ටනයන් ඉතාම සංවේදීයි. පවුල පිළිබඳවත් සාමූහිකත්වය සහ සහජීවනය පිළිබඳවත් මේ ජනතාව තුළ තියෙන ආකල්පය බොහොම ගෞරවණීය එකක් බව පේනවා. ඒ වගේම ඒක පාරම්පරිකව උරුමකරගෙන ආපු වටිනාකමක් බවත් පේනවා. ඉපදුන නිසා ජීවත් වෙනවාට වඩා වටිනාකමක් එකිනෙකා සම්බන්ධයෙන් ඔවුන් තුළ පවතින බව පැහැදිලියි. නමුත් චිත්‍රපටියෙ කියවෙන කාල සීමාව වෙද්දි දේශපාලකයන් විසිනුත් ව්‍යාපාරික ප්‍රජාව විසිනුත් ජනතාව සතු ඒ වටිනාකම් වෙනස් කරමින් ලාභ ප්‍රයෝජන ලබා ගන්න විධිය චිත්‍රපටිය තුළට යොදාගැනීමෙන් චිත්‍රපටියේ වටිනාකම තව ඉහළ ගිහින් තියෙනවා.

චිත්‍රපටිය හැදෙන්නෙ පොතකින්. පොත ලියල තියෙන්නෙ විලියම් කම්ක්වම්බා විසින්ම තම අත්දැකීම ඇසුරිනුයි. පොත කියවන්න හොයාගැනීමේ උවමනාවකුත් තියෙනවා. අප්‍රිකානු කලාපයේ ජීවිත ගැන වඩා යථාර්ථවාදී විස්තරයක් චිත්‍රපටියටත් වඩා පොත තුළ විස්තර වෙනව ඇති කියල හිතෙනවා. කවුරුන් හෝ ඒක පරිවර්තනය කරනවානම් පැති කීපයකින් රස විඳින්න පුළුවන් කෘතියක් වෙයි කියලත් හිතෙනවා.

මේක නාට්‍යමය චිත්‍රපටියක්. දූවිලි පිරුණු කාෂ්ටක කැළඹිලි සහිත ගමනකින් ඔබව නිල්ලත් සැනසිල්ලත් පිරුණු අවසානෙකට ගෙන යන චිත්‍රපටියක්. එහෙනම් බලන්න!


https://www.imdb.com/title/tt7533152/

Tuesday, 18 August 2020

මැගලන්

Source - https://www.historyextra.com/period/tudor/ferdinand-magellan-fatal-voyage-discovery-first-circumnavigation-globe/


තොරතුරුමය විපරිතබව නිසා විද්‍යාව, විද්‍යාත්මක චින්තනය, තාක්ෂණය වගේ දේවල් ආගම් සහ සංස්කෘති එක්ක පටලවගන්නව ඇතැම් උදවිය. ඒ ගැන තර්කත් සෑහෙන්න යනව පේනව. තමන් ඉන්න ෆ්‍රේම් එක අනුව මේ ගැන එකිනෙකා කියන දේවල් වෙනස් වෙනව. මේ ගැන මමත් කල්පනා කරන නිසා මම ඉන්න ෆ්‍රේම් එකේ ඉඳන් මේ ගැන මට හිතෙන දේවල් ටිකක් කියල දාන්න ඕන කියල හිතුවා.

මේ වෙනකොට ලෝකය සංස්කෘතිකමය සහ භූගෝලීය විදියට ධ්‍රැවීකරණය වෙන්න අරන්. එහෙම නැත්තං සමාජ මාධ්‍යවල ප්‍රබලත්වයත්, විද්‍යුත් මාධ්‍ය ඔස්සේ පුවත්වලට ලැබිල තියෙන වටිනාකමත් එක්ක ඒ ධ්‍රැවීකරණය වීම් පේනව වැඩි වෙලා. අවුරුදු 10-15කට කලින් ලෝකයේ ඇස නොගැටුනු බොහොම සුළු සිදුවීමක් මේ වෙනකොට ලෝකයේම අවධානය ලබාගන්න ප්‍රවෘත්තියක් විදියට ඉස්මතු වෙනවා. ඒ නිසාම ලෝකයේ එක් එක් ජනවර්ගයන් තමන්ට අනන්‍ය ලක්ෂණ විශේෂ කරගෙන ඒකට අයිඩෙන්ටිටියක් හදාගන්න කරන උත්සාහ කිරීම් අපට පේනව වෙනදට වඩා. මිනිසුන් අතර සබඳතා හදාගැනීමේ හැකියාවන් දියුණු වීමත් එක්ක මේ කණ්ඩායම්ගත වීම් ගොඩක් තීවෘව සිද්ධ වෙනව. ලෝකෙ කොහේ හරි ඉඳන් තමන් අයිත් ජන කණ්ඩායම වෙනුවෙන් වැඩ කරන ඩයස්පෝරා තියෙනව.

ඒ වෙන්නෙ ආර්ථික අවශ්‍යතාවයන් අනුව ලෝකය ගෝලීයකරණය වෙන ගමන්මයි. ලෝකය වෙළඳාම අතින් ගත්තම එකම පොළක් වගේ වෙමින් තියෙනවා. අන්තර්ජාතික වෙළඳාම නැතිව පවතින රටවල් තියෙනවද කියලත් සැකයි. මේ වෙළඳාම අනිත් සියලු දේට වඩා බලවත් බව නම් පැහැදිලියි. මොකද ලෝකය මෑත සියවස් කීපය තුළදි වෙනස් වෙන්නෙම ඔය අන්තර්ජාතික වෙළඳාම මූලික කරගෙනයි. ඒ ආර්ථික සාධකය විසින් අර සංස්කෘතික ඇකිළීම් යම් තරමකට අවශෝෂණය කරගෙන කියලත් පැහැදිලියි. ඒක පැහැදිලි කරගන්න ආසන්නම උදාහරණයක් පහුගිය දවසක දැක්කෙ බුකියෙදි. ඇමරිකානු ජනතාවට තියෙන චීන විරෝධය කියාපාන්න ඇමරිකානුවෝ පාවිච්චි කරන Boycott China කියල ගහපු සමහර කැප්, ටීෂර්ට් වගේ දේවල් නිපදවන්නෙත් චීනයේ බවයි ඒකෙන් කියවුණේ. මේක මේ විදියටම ඩොනල්ඩ් ට්‍රම්ප්ගෙ දේශ මාමක කැම්පේන්වලදිත් වුණා කියලයි දැනගන්න ලැබෙන්නේ. Make America great again කියන පාඨය ඇතුළත් නිෂ්පාදන ඇමරිකාවට එන්නෙත් චීනය ඔස්සේ. අනිත් අතට ලංකාවෙ 'සිංහලේ' කැම්පේන් එකේ ස්ටිකර් අලෙවි කළ මුස්ලිමුන්ගෙ පින්තූර අපි දැකල තියෙනවා.

කොහොම නමුත් ලෝකය ආර්ථිකයෙන් ගෝලීයකරණය වෙද්දි සංස්කෘතිකව ඒ ඒ සංස්කෘතීන් තුළම හැකිලෙන බවක් පේනවා. තමන්ගෙ උරුමය හොයාගෙන වෙන් වෙන්න, තමන් අදහන ආගම අනුව වෙන් වෙන්න, තමන්ගෙ නිජ බිම් හරහා වෙන් වෙන්න වගේ විවිධ සංස්කෘතික සාධක ගොඩක් මේ වෙන් වීම්වලට හේතූන් වෙනවා. මේකට සෝෂල් මීඩියාවලිනුත් සමහර විට ඇතැම් දේශපාලන ප්‍රවාහයන්ගෙනුත් ලොකු උදව්වක් ලැබෙනවා.

ඒක එහෙම තියෙද්දි ලෝක පුරවැසි බව පිළිගන්න අතරම එක් එක් සංස්කෘතිවල වෙනස්කම් දිහා සෞන්දර්යාත්මකව බලන්න පුළුවන් මිනිස්සු කොටසකුත් ඉන්නවා. එහෙම රුචිකත්වයක් ලැබෙන්න කියවීම, සංගීතය, චිත්‍රපටි සහ තොරතුරු පරිශීලනය වගේ දේවල් ඉවහල් වෙනවා. ලෝක සාහිත්‍යය කියවන මිනිහෙක්ට ඒ සාහිත්‍යයට අදාළ සමාජයේ අයට තියෙන ප්‍රශ්න අපට තියෙන ප්‍රශ්නවලින් වෙනස් නොවන බව තේරෙනවා. ලෝකෙ හැදෙන විවිධ චිත්‍රපටි බලන, විවිධ සංගීතයන් අහන කෙනෙක්ට ලෝකය එකම ගමක් කියන එක තේරෙනවා. යූටියුබ් එකේ මාක් වීන්, ට්‍රෙවර් ජේම්ස්, සොනී සයිඩ් වගේ කෑම මූලික කරගත්ත සංචාරකයන්ගෙ වැඩසටහන් විතරක් ටිකක් විචක්ෂණව බලන කෙනෙක්ට වුණත් ලෝකය අවශ්‍යතා අතින් බොහොම සමානය කියල තේරෙන්න ඕන. මේ වැටහීම ඍජුව හෝ වක්‍රව ලැබෙන දෙයක් වෙන්න පුළුවන්. චිත්‍රපටියකින් කියවෙන සිදුවීම බොරුවක් වුණත්, ඒකෙන් නිරූපණය කරන්නෙ අර්ධ සත්‍යයක් වුණත් ඒ අස්සෙ කෙනෙක්ට අතුරු අර්ථ තේරෙන්න පුළුවන්. චිත්‍රපටියෙන් වැඩක් නෑ. ඒත් ඇයි එහෙම චිත්‍රපටියක් හැදෙන්නේ කියන එක අස්සෙ අල්ලගන්න තියෙනව පොටක්.

මේ හැමදේම ඇසුරු කරලත් ඒවයේ අතුරු කතා නොතේරෙන ගල් මිනිස්සුත් ඉන්නව වෙන්න පුළුවන්.

මේ වෙද්දි තොරතුරු අතිරික්තයි. තොරතුරුවල විශ්වසනීයත්වය දෙතුන්වතාවක් පරීක්ෂා කරන්න වෙනවා. මොකද තොරතුරු මූල ෂුවර් නැති වේගෙන එන්නේ. තොරතුරු කියන්නෙත් ආදායමක් (ආදායමක් කරගත නොහැකි දෙයක් නෑනෙ) වීම මත තොරතුරු වෙනස් කිරීම මගින් වක්‍රාකාරව ඉපයීම කරන්න පුළුවන්. ඉවක් බවක් නැතුව උපයන්න තියෙන පෙරේතකම නිසා ඕනම දේකට එහෙම වෙන එක ස්වභාවිකයි. උදාහරණ අවශ්‍ය නෑ. තොරතුරු මෙහෙයවීම ඡන්ද ව්‍යාපාරවලට යොදවගත්ත විදිය ගැන ෆේස්බුක්-කේම්බ්‍රිජ් ඇනලිටිකා සිදුවීමේදී හොඳින්ම අනාවරණය වුණා. ෆේස් බුක් ඇඩ් සිස්ටම් එක හැදිල තියෙන්නෙම පරිශීලකයන් විසින් ඇතුළත් කරන තොරතුරු පදනම් කරගන්න විදියටයි.

මැගලන් ගැන කියන්න අරන් මේව කියවන්න ගියේ ඇයි? විද්‍යාව සහ ආගම් අතර නොනැවතී පවතින පටලැවිල්ල ගැනනෙ මුලින් කියන්න ඕන කළේ. පළවෙනි එක තමයි ඔය දෙක තියෙන්නෙ අවශ්‍යතාවයන් දෙකක් උදෙසා වීම. ආගමක් මගින් වෙන්නෙ මිනිස්සුන්ගෙ මූලික දාර්ශනික ප්‍රශ්න තුනකට (මට දැනට හිතෙන තරමට) උත්තර දෙන එක. සාමාන්‍යයෙන් පට්ට අමු මිනිහෙක් ගත්තම ඌට උගෙ භෞතික අවශ්‍යතා ටික ඉෂ්ට වෙලා තියෙනවනං එන ප්‍රශ්න ටිකක් තියෙනවා.

ඒ කියන්න ඌ හොඳ සනීප කාලගුණේක හොඳ වාසස්ථානෙක ජීවත් වෙන ගමන් හොඳට කාලා බීල ලිංගික උවමනාවලුත් ඉෂ්ට කරගෙන ඉන්නවනං ඌට මහ ලොකුවට වොරි වෙන්න දෙයක් ඇත්තෙ නෑ. ඒ නිසාම තව දේවල් හිතන්න ගත්තොත් ඌට එනවා ඔය කියන ප්‍රශ්න ටික.

මම ආවෙ කොහෙන්ද?
මම ඉන්න විදිය හරිද? ඉන්න ඕන කොහොමද?
මම මැරුණට පස්සෙ යන්නෙ කොහෙද?

ආගම් බිහි වෙන්න හේතු වුණ මූලික අදහස් බිහි කරපු මිනිස්සු ඒ කාලෙට සාපේක්ෂව ඔය ප්‍රශ්න වලට උත්තර හොයන්න හිතන්න ඇති. පස්සෙ කාලෙක එයාලගෙ ෆෑන් බේස් එක විසින් ඒ අදහස් ව්‍යාප්ත කළා. ඒ අස්සෙ ඒ අදහස් ඔස්සේ ව්‍යාපාර ගොඩ නැගුණා. පූජක ව්‍යාපාර. මේ ඔස්සේ මිනිස්සුන්ට තව විදියක පාලනයක් යොදවන්න පුළුවන් කියල තේරුණ ගමන් ඒවට රාජ්‍ය අනුග්‍රහයත් ලැබුණා. ආගමික සංවිධාන බලවත් වුණා. මේ වෙද්දි ඒව විශාල ධනයක් සහිත ව්‍යාපාර බවට පත්වෙලා තියෙනවා. ඉපදෙන ඕනම මිනිහෙක් දෙමව්පියන්ගේ අනුහසින් ආගමිකයෙක් වෙලා ඉපදෙන නිසා ආගම කියන එක පොඩි කාලෙ ඉඳන්ම ජීවිතේට ගැටගැහෙන එකෙන් වළකින්න අමාරුයි. ඒ නිසාම ආගමික සේවාවන් ලබාගැනීමත්, සේවා සැපයීමත් එක්තරා විදියක පාරිභෝගිකයන්ගේ සහ සැපයුම්කරුවන්ගේ පද්ධතියක් වෙලා තියෙනවා. මේ ක්‍රමයෙන් තොර ලෝකයක් හිතාගන්නවත් බැරි තරමට මේ පද්ධතිය ප්‍රබලයි.

ඒ වගේම මේක තමන්ගෙ කැමැත්තෙන් ආගම අතහරින අය වෙත ලොකු පීඩනයක් එල්ල කරන්න තරම් බලවත් ව්‍යාපාරයක්. ඒ වගේම මිනිස්සුන්ව මෙහෙයවන්න මේ ආගමික පද්ධතීන්ට තියෙන හැකියාව නිසා තාමත් ආගමික ව්‍යාපාරවලට දේශපාලනික සහයෝගය ලැබෙනවා.

ආගමික පද්ධති කියන්නෙ ඒ තුළම ස්වාධීන පද්ධති. ඒ තුළින් සියල්ලටම පිළිතුරු තියෙනවා. බොහොමයත් පද්ධති අවුරුදු දාස් ගාණක් තිස්සේ තෙම්පරාදු වෙලා නිසා සහ පාරම්පරිකව ආගමෙන් තොර ජීවිතයක් හිතාගන්නත් බැරි තරමට මිනිස්සු ආගමීකරණය වෙලා තියෙන නිසා ඒවා ප්‍රශ්න කරන අය අඩුයි. ප්‍රශ්න කළත් ඒ හැම ප්‍රශ්නයකටම අදාළ පද්ධතිය තුළම උත්තරයක් තියෙන නිසා තවත් දීර්ඝ කාලයක් ඒවට පවතින්නත් පුළුවන්. හැබැයි ආගම් බිහි වීමේ ආරම්භක හේතු සහ අවශ්‍යතාවයන් ටික ටික සෑහෙන්න වෙනස් වෙලා. මේ වෙද්දි ආගම තමන්ගෙ මූලික දාර්ශනික ප්‍රශ්නවලට උත්තර දෙන මූලයන් විදියට ගවේෂණය කරන එක කරන්නෙ සුළු දෙනෙක්. බොහොමයක් අයට ඒක පූජනීය, ආරක්ෂා කළ යුතු, වතාවත් මගින් රැකිය යුතු දෙයක් විතරයි. එහෙම නැත්තං රස්සාවක් විතරයි.

විද්‍යාව කියන්නෙ ඒකට සෑහෙන්න වෙනස් දෙයක්. විද්‍යාව කියන එක උත්තර හොයන්නෙම වෙනස් විදියෙ ප්‍රශ්න වලට. ඒ වගේම ප්‍රශ්නෙට නිශ්චිත උත්තරයක් එනකල් ඒ හෙවිල්ල නවතින්නෙත් නෑ. ඒ නිශ්චිත උත්තරෙත් පසු කාලෙක වඩාත් සත්‍යාසන්න සොයාගැනීමකින් එළියට විසිවෙන්න පුළුවන්. ප්‍රශ්න ඇහිල්ලත් නවතින්නෙ නෑ.

දේවල්/ සිදුවීම් වෙන්නෙ කොහොමද?
දේවල් හැදිල තියෙන්නෙ මොනවයින්ද/ මොනවයින්ද?
අතීතය මොන වගේද?
අනාගතයෙ මොකක් වෙයිද?

මේ දැනට හිතුණ මූලික ප්‍රශ්න කීපයක් විතරයි. කෙනෙක් කුතුහලය මෙහෙයවන දිසාව ඔස්සේ හැමදාම අළුත් ප්‍රශ්න එන්න පුළුවන්. හැබැයි ඒ ප්‍රශ්නවලට කෙනෙක් හොයාගන්න උත්තර හිතුමතේ ප්‍රකාශ කරන්න බෑ. ඒව පදනම් වෙන්නෙ තහවුරු කල හැකි සාක්ෂි මත. ඒ වගේම එක සාක්ෂියක් මත හෝ එක ප්‍රතිඵලයක් මත තීරණය වන දෙයක් නොවිය යුතුයි. එකම තත්ත්වයන් යටතේ ප්‍රතිඵල සමාන විය යුතුයි. වෙනස් තත්ත්ව යටතේ ලැබෙන ප්‍රතිඵල පැහැදිලි කල හැකි විය යුතුයි.

ඉතිං සමහර වෙලාවට යම් ප්‍රශ්නෙකට විද්‍යාත්මක උත්තරයක් හොයන්න කෙනෙක්ගෙ ජීවිත කාලයක් ප්‍රමාණවත් නොවෙන්න පුළුවන්. කෙනෙක් හොයාගන්න මූලික දේ පසුව සාමූහිකව ගොඩනැගෙන දෙයක් වෙන්නෙ ඒක නිසයි. ඒකෙදි මේ වෙනකල් හරියටම පැහැදිලි කර නොගත් දෙයක් වෙනුවෙන් දැනට තියෙන වඩාත්ම තාර්කික පැහැදිලිකිරීම පිළිගැනෙනවා. මේක සිද්ධ වෙන ක්‍රමය ගැන මට තියෙන සාධනීය අදහස මිස ඇත්තටම සිද්ධ වෙන දේ නෙවෙයි. විද්‍යාත්මකව හිතුව කියල මිනිස්සු උත්තම වෙන්නෙ නෑ. ඉරිසියාව කුහකකම තියෙන නිසා අළුත් අදහස් ඕන තරම් නිෂ්ප්‍රභ වෙලා ඇති.

විද්‍යාවත් බටහිර පෙරදිග විදියට වෙන් කරගෙන දඟලන පිරිසක් ඉන්නවා. වෙනස් තත්ත්ව යටතේ වෙනස් දැනුම් පද්ධතීන් ඔස්සේ එකම ප්‍රශ්නයට විවිධ විසඳුම් හැදිල තියෙනව වෙන්න පුළුවන්. හැබැයි එකිනෙක ගැටෙද්දි ඒ විසඳුම්වලින් වඩාත් සාර්ථක එක තමයි පවතින්නේ. යම් විසඳුමක් සාර්ථක වීම කියන එක, ඒක කොයි තරම් හොඳින් මාකට් වෙනවද කියන එක මතත් රඳා පවතිනවා. දැනුම සොරාගැනීම, සැඟවීම, වෙනස් කිරීම වගේ දේවල් නිසා යම් යම් දැනුම් පද්ධතීන් ක්‍රමයෙන් බිඳ වැටිලා තියෙනවා. උදාහරණයකට අසනීපයක් හැදුණ කෙනෙක් ගත්තොත් එයා ඒ අසනීපෙට විවිධ වර්ගයේ බෙහෙත් කරනව වෙන්න පුළුවන්. ඉංග්‍රීසි වෙදකමින් පටන් අරන්, දේශීය, ආයුර්වේද, චීන ආදී වෙනස් ප්‍රතිකාර විදි ගොඩක් කරලත් හොඳ නොවුනට තොවිලයක් කරල හොඳ වෙන්න පුළුවන්.

විද්‍යාවත් එක්ක ඇරගන්න එන කට්ටිය ගන්න සුලභ ප්‍රහාරාත්මක උදාහරණයක් තමයි නිව්ටන් සහ අයින්ස්ටයින්. ගුරුත්වය පිළිබඳව නිව්ටන් ඉදිරිපත් කරපු අදහස් දැන් වලංගු නැති බවත් ඒවා අයින්ස්ටයින් විසින් ප්‍රතිස්ථාපනය කරපු බවත් තමයි එයාල පුන පුනා කියන්නේ. වැඩේ කියන්නෙ ඒකම තමයි විද්‍යාව වඩාත් තාර්කික සත්‍යයක් කියන්න තියෙන සාධකය. නිව්ටන් ඔහු ජීවත් වුණ 17 සියවස වනවිට තිබුණ දැනුම සහ තාක්ෂණය ඔස්සේ හිතල දේවල් ටිකක් කිව්වා. ඒව වැරදි නැහැ. අදටත් ඒ ආශ්‍රයෙන් කරන ගණනය කිරීම් වලංගුයි. හැබැයි ඔහුට සම්පූර්ණ කරන්න නොහැකි වුණ කොටසක් තියෙනවා. ඔහු ප්‍රශ්නය දිහා බලපු විදියට බලලා ඒක සම්පූර්ණ කරන්න බැහැ. ඒ දියුණු කිරීම තමයි අයින්ස්ටයින් කරන්නේ. අයින්ස්ටයින් ප්‍රශ්නය දිහා බලන විදිය වෙනස් කරල වඩාත් තියුණු පිළිතුරක් හොයාගන්නව.

ගුරුත්වය අදාළ වස්තු අතර ඇතිවෙන ආකර්ෂණයක් විදියට තේරුම්ගන්න නිව්ටන් ඒ ආකර්ෂණය වස්තූන්වල ස්කන්ධය මත රඳා පවතිනව කියල පැහැදිලි කරනවා. අයින්ස්ටයින් ගුරුත්වය තේරුම් ගන්නෙ වස්තූන් විසින් අවකාශ කාලයේ ඇතිකරන වක්‍රතාවයක් විදියට. මේ අර්ථදැක්වීම නිව්ටන්ගෙ අර්ථදැක්වීමට වඩා පුළුල්ව සත්‍යාපනය වෙනව. ඒ ඔස්සේ අනුමාන කරන සිදුවීම් පසුව ඔප්පු වෙනව. ඒ නිසාම සාපේක්ෂතාවාදය කේන්ද්‍රගත වුණ දැනුම මේ වෙද්දි පැහැදිලිකිරීම් කරද්දි වඩාත් වලංගු වෙනව. ඒක නිව්ටන්ගේ අදහස්වලම එක්තරා දිගුවක්. නිව්ටන් ප්‍රතිස්ථාපනය වීමක්ම නෙවෙයි. මේ දිගු මිනිස් ශිෂ්ටාචාරය පවතින තුරාම දැනුම සම්බන්ධයෙන් සිද්ධ වෙන දෙයක්.

නිව්ටන් සහ අයින්ස්ටයින් කියපු දේවල් තවත් තියුණු වෙමින් සහ පැහැදිලිවෙමින් පවතිනවා. ඉදිරියේදී ගුරුත්වය වගේ අදහසක් පැහැදිලි කරන්න වෙනම මූලධර්ම නිර්මාණය වෙයි. විද්‍යාව වඩාත් නිවැරදි උත්තර හොයාගනියි. කවුරුවත් නිව්ටන් හෝ අයින්ස්ටයින් හෝ හෝකින්ස් හෝ දෙවිවරු කරගෙන නැති නිසා ඔවුන් ඉතිහාසයේ ඔවුන්ට හිමි ස්ථානයේ සලකුණක් විදියට අනාගතයට ඉතිරි වෙයි. මොකද නිව්ටන් කෙනෙක් නැතුව අයින්ස්ටයින් කෙනෙක් බිහිවෙන්න තියෙන අවකාශය වෙනස් වෙනවා. පයිතගරස් කෙනෙක් නොහිටියා නම් ඊට පස්සෙ ලෝකයේ චින්තනය විහිදුන විදියම වෙනස් වෙනවා. හැබැයි ඒකෙන් අදහස් කරන්නෙ නෑ ඒ අය නොහිටියාට වෙන කෙනෙක් ඒ තැනට නොඑයි කියලා. නිව්ටන් නොහිටියා නම් සමකාලීන හෝ පසුකාලීන වෙනත් විද්‍යාඥයෙක් නිව්ටන් කියපු දේම කියන්න පුළුවන්. පසු කාලෙක අයින්ස්ටයින් කියපු දේවල් වෙනස් කෙනෙක් කියන්න පුළුවන්.

මේකෙදි තේරුම් ගන්න ඕන වෙන්නෙ 'විද්‍යාව' කියන අදහස් ටික පුද්ගලයන් මත නොරැඳෙන බවයි. ඒක ඇත්ත හොයාගන්න කරන උත්සාහයක්. ඒ උත්සාහය නතර වෙන එකක් නෙවෙයි.

ලෝකය ගෝලාකාරයි කියල මුලින්ම කියල තියෙන්නෙ පයිතගරස් කියල කියවෙනවා. හැබැයි ඒක සැක සහිතයි. පසුව ප්ලේටෝ සහ ඇරිස්ටෝටල් වඩාත් නිවැරදිව ඒක අනුමාන කරනවා. පසුකාලීනව විවිධ විද්‍යාඥයින් ලෝකයේ ගෝලීය බව පැහැදිලි කරන සාධක හොයාගන්නවා.

15 සියවස වගේ වෙද්දි යුරෝපීයයන් මුහුද තරණය කරන්න පටන්ගන්නවා. පෘතුගාලෙ කොලොම්බස් ඇමරිකාව කිට්ටුවට යනවා. ඇමරිගෝ වෙස්පුචි කියන ඉතාලි ජාතිකයා ඇමරිකාවටම යනවා. පෘතුගීසිකාර වස්කෝ ද ගාමා ලෝක ගෝලයේ දකුණට යාත්‍රා කරලා දකුණු අප්‍රිකා මහද්වීපය යටින් ගිහින් මුහුදු මාර්ගයෙන් ඉන්දියාවට එනවා. ෆර්ඩිනන්ඩ් මැගලන් අත්ලන්තික් සාගරය හරහා දකුණු ඇමරිකා මහද්වීපය යටින් ගිහින් ආයෙත් පැසිෆික් සාගරයේ පොලිනීසියානු දූපත් හරහා පිලිපීනයට එනවා. පිලිපීන දූපත් අතර ක්‍රිස්තියානිය ප්‍රචාරය කරන වැඩේ අතරෙ ස්වදේශික ගෝත්‍රිකයන් අතින් මැගලන් මරා දැමෙනවා. ඔහු මිය ගියාට පස්සෙ ඔහුගෙ නාවික කණ්ඩායමේ කපිතන්වරයෙක් වෙන ජුවාන් සෙබස්තියන් එල්කානෝ විසින් ඉන්දියන් සාගරය හරහා අප්‍රිකා මහද්වීපයේ යට කේප් තුඩුවත් බැහැ දැකලා ආයෙත් අත්ලන්තික් සාගරය හරහා පෘතුගාලෙට යනවා. ඒ ඔස්සේ ලෝකයේ වටේ යන්න පුළුවන් කියන එක ප්‍රායෝගිකව කරන්න පුළුවන් දෙයක් කියල පැහැදිලි වෙනවා.

විසි වෙනි සියවසේදි රොකට් තාක්ෂණයේ දියුණුවත් එක්ක මිනිස්සු පොළොවේ තල පෘෂ්ටයේ සීමාවෙන් මිදිලා ගුවනට ගිහින් පොළොවේ ගෝලාකාර බව නිරීක්ෂණය කළා. මූලධර්ම ඔස්සේ හෝ නිරීක්ෂණයන් ඔස්සේ දැකපු ගෝලාකාර ලෝකය ඇත්තටම ගෝලීයයි කියල ඇහින් දැක්කා.

මේ සියලු දේ බටහිර විද්‍යාවෙන් කරපු රැවටිලි ගානට දාල කතා කරන පිරිස් ඉන්නවා. ඒ අය තමන් ඉන්න භාජනේ ඇතුලෙම ඉන්න එක හොඳයි. දැනුම කියන දේට සංස්කෘතිය, ජාතිය, ආගම වගේ බේද තවරනකල් ලෝකය අස්සෙ තව පොඩි කෑලි වෙන් වෙලා තියෙන එක වළක්වන්න බෑ.

මැගලන් විසින් දැනුවත්ව හෝ නොදැනුවත්ව ලෝකය වටේ යාම හේතුවෙන් එතෙක් ලෝකය ගැන තිබුණ දැනුම වඩා නිවැරදි වුණා. විද්‍යාත්මක චින්තනය කියන පද්ධතිය ඔස්සේ ලෝකයේ දැනුම වඩාත් නිවැරදි වෙමින් තියෙන එකට සීමාවක්වත් නැවතීමක්වත් නෑ. ඕනම දැනුම් පද්ධතියක් දිගටම පවතින්නෙ විද්‍යාත්මක තර්කයට අදාළ නම් විතරයි.


Thursday, 22 August 2019

අමිත් ද සංඛ



පද රචකයකු නැති
ගීයක් ගයයි
තමන්ම ලියූ ගීයක්
පැරණි තනුවක තාලෙට
ගයන්නට තතනයි

සිතට එන පද
ගැයෙන පිළිවෙල
අපිළිවෙලට
ලෝකය දුටුවාට
කවියකි එය සුමට

පද රචකයකු වී නම්
කොහෙ ලියවෙයිද
මේ පද කෙසේවත්
ලිව්වේ පද මමත්
තේරෙන විධියට මටත්

වැටුණ වතුරට
පිහිනන්න බැරිකමට
අතපය ගසන් අවට
දරයි තැත රැඳී ඉන්නට
ඔබන්නට එන්නෙපා යටට

පිහිනන්න හුරු වෙමි
එහා ඉවුරට පීනමි
ඒ ඉවුරත් රස බලමි
ඒකත් මේකමයි හිතුණොත්
ආයෙ මෙගොඩට පීනමි



Monday, 13 August 2018

සැමරීමට ඇමතීමක්...


මිනිස්සු සමරන්න ආසයි. නැචුරල් හේතුවක් නැත්නම් මොකක් හරි හේතුවක් හදාගෙන හරි සමරන්නයි මිනිස්සු කැමති. මේ කියන්නෙ එක එක දින සමරන එක ගැන. ඒ අතරට උපන් දින, මරණ දින, සංවත්සර දින වගේ පෞද්ගලික සැමරීම්වල ඉඳන් ජාතික දින, ජාතික විරු දින, මව්වරුන්ගේ දින, කාන්තා දින, දූවරුන්ගේ දින, ප්‍රසිද්ධ පොරවල්ගේ ජන්ම දින වගේම ග්ලෝබල් දිනත් තියෙනව. සමහර අය ඒ සැමරීම් වෙනුවෙන් සූදානම් වෙන විධිය දැක්කම හිතෙනවා 'මෙහ්' කියලා. එහෙම කියන්නෙ සැමරීම්වලට විරුද්ධව නෙවෙයි. සැමරීම් වරදක් නෑ. ජීවිතේ පල්ස් එකේ වෙනසක් වෙනවනම් සැමරීම් වඩාත්ම හොඳයි. ඔය පල්ස් එක එකිනෙකාට දැණෙන විධිය වෙනස් වීම නිසයි මේ ප්‍රශ්ණ ඔක්කොම. අනික සැමරීම් කරන්න එක එක අය තෝරගන්න විධි අනුව සැමරීම ගැන ඒ අය හිතන්නෙ මොනවද, කොහොමද කියන එක ගැන අදහසක් ගන්න පුළුවන්.

මේ තියෙන්නෙ එහෙම ඒව ගැන පරණ අදහස් ටිකක්. ඒ හැටි වැදගත් නෑ.

ඔය එක එක කාරණේට දින වෙන් කිරීම එක අතකට ඒ කාරණේට අදාල පාර්ශවය අන්දන්න කරන වැඩක් විධියට දකින්නත් පුළුවන්. සමහර විට වෙනත් අරමුණකින් ආරම්භ වෙලා පස්සෙ සහමුලින්ම ඒ අරමුණ වෙනස් වුණ වෙනත් බොහොමයක් දේවල්වලට සිද්ධ වෙලා තියෙනව වගේ යම් දිනයක් නම් කිරීමේ මූලික අරමුණෙන් බැහැර වුණ දේවල් ටිකක් වෙනුවෙන් තමයි ඔය සැමරුම් දින පසු කාලීනව පාවිච්චි වෙන්නේ. උදාහරණෙකට අම්මාවරුන්ගෙ දිනේදි, රණ විරුවන්ගෙ දිනේදි ඒ ඒ අය ගැන කට්ටිය බොහොම සතුටින් කතා කරනව තමයි. මේක ආරම්භ වෙන්න ඇත්තේ ඒ අයට විශේෂ වටිනාකමක් දෙන්න ඕන නිසා. ඒක නිසා එයාලගෙ ජීවන තත්ත්වය දියුණු වෙයි කියල හිතලා. හැබැයි පසුකාලීනව ඒ ඒ දිනවලදි ගොඩක් දෙනෙක් ඒ ගැන කතා කරන බව පෙන්නන්න තමයි කැමති. අපි බොහොම දෙනෙක් නොහිතා කරන දෙයක් තමයි කතා කරන බව ප්‍රදර්ශණය කරන එක. අර මිනිස්සුන්ගෙ ජීවන තත්ත්වය එතනමයි. මිනිස්සු ඒ දිනය පාවිච්චි කරන්නෙ ඉතිරි දින 364 පුරාම සිද්ධවෙන නොසැලකීමෙන් ගැලවෙන්න.

මිනිස්සු කැමතියි අවධානයට ලක් වෙන්න. එහෙම නැත්තං තමන්ගෙ හොඳ පැත්ත අවධානයට ලක් කරවන්න. හැබැයි තමන්ගෙ නරක පැත්ත පුළුවන් තරම් හංගන එකත් ඒකෙම කොටසක්. සාමාන්‍යයෙන් අපි මිනිස්සු එක් කතාබහ කරද්දි මේක තේරෙණවා. අපිට කතා බහ කරද්දි හම්බවෙන්නෙ බොහොම හොඳ මිනිස්සු. වැරදි නොකරන, එහෙම නැත්තං වැරදි අවම වශයෙන් කරන, වැරැද්ද පෙන්නුවොත් තේරුම්ගන්න විධියෙ, ඒ වගේම අනිත් අය වැරැද්දක් කරනව දකිද්දි ලේ කෝප වෙන නිවැරදිමාමක නිහතමානී අය. හැබැයි සමාජයක් විධියට ලංකාවෙ මිනිස්සු දිහා බැලුවම පේනවා පොදුවෙ ගත්තම උන් අවුල් කියලා. කෙරෙන්නෙම, තියෙන්නෙම අවුල් වැඩ. ඉහළ ඉඳන් පහලටම... එතකොට සමාජෙ ඉන්නෙ අපි නෙවෙයිද? අපි කරන වැරදි නිසා නෙවෙයිද සමාජෙ අවුල් වෙලා තියෙන්නෙ. තනි තනිව ගත්තම පට්ට හොඳ අපි පොදුවෙ ගත්තම අවුල් වෙන්නෙ ඇයි?

මට තේරෙන හේතුව සරළයි. මිනිස්සු කරන්නෙ මවාපෑමක්. මිනිස්සු කැමති මවාපාන්නයි. තමන් සතුව නැති දෙයක් වුණත් මවාපාන්න පුළුවන් නම් ඒකට මිනිස්සු කැමතියි. මේක දැනගෙන වෙන දෙයක් නොවෙන්න පුළුවන්. සාමාන්‍යයෙන් 'තමන් ප්‍රසිද්ධව හැසිරෙන විධිය ඔස්සේ වෙනත් මිනිස්සුන්ව හසුරුවන' දේශපාලකයො හෝ වෙනත් පබ්ලික් ෆිගර්ස් ඇරුණම සාමාන්‍ය මිනිස්සු නම් තමන් කරන්නෙ මොකක්ද කියල දැනුවත් නැති තරම්. එයාල අහිංසකයි. ඒ නිසා රැල්ලට ගිහින්. ඒ අයට සැමරීම් කියන්නෙත් එහෙම මවාපාන්න ලැබෙන අවස්ථාවක්.

මේක ටිකක් එහාට හිතුවොත් පේන්නෙ මිනිස්සුන්ගෙ හිස් කම. මිනිස්සු හිස් වෙන්නෙ කොහොමද? මිනිස්සු හිස් වෙන්නෙ හිතන්නෙ නැති නිසාම නෙවෙයි. සම්බන්ධතා ගෙවී යාම හින්දා. මේක අසාධාරණ කතාවක් විධියට බැලූ බැල්මට පේනවා. ඒත් කාලයත් එක්ක අපි ගනු දෙනු කරන හැම දේ එක්කම අපට තියෙන සම්බන්ධය ගෙවිල යනවා. ඒක අලුත් ෆෝන් එකක්, කාර් එකක් වගේ දෙයක් එක්ක මුලින් ඇතිවෙන බැඳීම සහ පසු කාලිනව වෙනස් වෙන බැඳීම ආශ්‍රයෙන් හිතන්න පුළුවන්. අලුත් ෆෝන් එකක් අපි ගන්නෙ ඒකෙ තියෙන ෆීචර්ස් ගැනත් හිතලා. හැබැයි කාලයක් යද්දි ඒ ෆීචර්ස් දැණෙන්නෙ නැතිව යනවා. එහෙම නැත්තං ඒ ෆීචර්ස් තියෙන ෆෝන් තව ඕන තරම් තියෙන බව දැණෙන්න ගන්නවා. අළුත් එකකට ආස වෙනවා. අපි ආසාවෙන් අයිති කරගන්න බොහොමයක් වස්තූන් සම්බන්ධයෙන් සිද්ධ වෙන්නෙ ඒක.

මේ තත්ත්වෙ බලපාන්නෙ උපකරණ වලට විතරක් නෙවෙයි. අපේ ජීවිතවලට අළුතින් එන හැම එකකම ඇත්ත ඒකයි. අළුත් පිට දැණෙන ගතිය පහු පහු වෙනකොට දැණෙන්නෙ නැති වෙනවා. සම්බන්ධතා කියන්නෙත් කාලයත් එක්ක ක්ෂය වෙන ඝණත්වයක් තියෙන දෙයක්. ඒක සාමාන්‍ය තත්ත්වයක්. සම්බන්ධතා ගොඩක් සහිතව වුණත් කෙනෙක් තනි වෙන්න පුළුවන්. ෆෝන් එකේ කන්ටැක්ට් බරගාණක් තියෙද්දි කෝල් කරන්න කෙනෙක් නැති වෙන්න පුළුවන්. දෙනෝදාහන් නුවන් අතර තමන්ගෙ නුවන් වටහගන්න දෙනුවනක් නැති මොහොතක් එන්න පුළුවන්.

අවුරුද්දක විතර අතීතයෙදි සිය දිවිනසාගත්ත කීප දෙනෙක්ගෙ සමාජ මාධ්‍ය භාවිතාව බැලුවම තේරෙන්නෙ ඒ අය බොහොම සාර්ථක සමාජ මාධ්‍ය ජීවියෝ බවයි. සන්තෝසෙන් සැමරීම් කල බවයි. හැබැයි ඒ අයට සැබෑ ජීවිතෙන් පලා යන්න ඕන වුණේ මේ සැමරීම් මවාපෑමක් වුණ නිසාද? තනි වීම දරාගන්න බැරි වුණ නිසාද?

තනි වීම සමහර විට ලෙඩක් වෙන තරමට එහෙ මෙහෙ වෙන්න පුළුවන්. ලෙඩේ සීරියස් වුණොත් ජීවිතේ තියෙන සම්බන්ධතා අරුම පුදුම හෝ අවුල් වියවුල් පැතිවලට යන්න පුළුවන් ලෙඩක්. ලෙඩේ හොඳ කරගන්න නම් සම්බන්ධතාවය අළුත් කරගන්න වෙනවා. එහෙම නොවුණොත් අවසානෙදි ක්‍රමයෙන් වෙන්නෙ ජීවිතේ ඒකාකාරීකමත් එක්ක හිස් වෙලා යන එක. අපි බැඳිල තියෙන වස්තූන් සම්බන්ධව තියෙන හැඟීම තුනී වෙලා යන එක. තව දුරටත් ඒ සම්බන්ධතාවල අරුමය, පුදුමය නැතිවෙලා යන එක. අන්න එතනදිත් ඔය සැමරීම් වැදගත් වෙනව. සැමරීමක් කියන්නෙ ඒ ඒකාකාරීත්වයෙන් ගැලවෙන්න ක්‍රමයක්. අඩු ගානෙ තාවකාලිකව ආයෙත් සම්බන්ධතාවය අළුත් කරගන්න මාර්ගයක්.

අර දහසක චුම්බන පිසදා ජීවිතේ ගොඩගන්න රෝමියෝ වගේ.

ඒ වගේම සැමරීම් තුලින් සම්බන්ධතාවයන් පවත්වගන්න පුළුවන් වීම සහ අළුත් කරගන්න පුළුවන් වීම සුභ පතන්න එකතු වෙන අයට හොඳ ඉල්ලමක්. වෙන දවස්වලට තමන්ට කිසි සේත්ම අදාල නැති දෙයක් සමරන්න එකතු වෙන එකෙන් මිනිස්සු ඒ "අදාල නැති කරගෙන තිබීමේ" වරදකාරී හැඟීමෙන් ගැලවෙන්න අවස්ථාවක් උදාකරගන්නවා. ඒ දේට තමන් තුල වටිනාකමක් තියෙනව කියල දනවගන්නවා. ඒ වගේම ඒක ප්‍රදර්ශණය කරන්න ගන්නවා.

මේකට කැප්ටන් පයිරේට් හදපු මීම් එක මරු!


Link

සමාජ මාධ්‍ය කියන්නෙ මේවට තව තල්ලුවක් දෙන එකක්. ෆේස්බුක් විශේෂයෙන්ම හිට් වෙන්නෙ මිනිස්සුන්ගෙ තියෙන ඔය ස්වභාවික ආසාවල් අඳුණගෙන ඒක සාර්ථකව ෆේස්බුක් තුලට ඇතුලත් කරන හින්දයි. සුභ පතන්න උවමනා නම් පෞද්ගලිකව සුභපතන්න පුළුවන්කම සහ පුළුවන් විධි ඕන තරම් තියෙද්දි 'ආහ් මම මෙයාට සුභ පැතුවා හොඳේ' කියල ලෝකෙට පේන්නම කියන්න මිනිස්සුන්ට අවස්ථාවක් ලබා දීල තියෙන්නෙ ඒක හින්දා. ඇත්තටම ෆේස්බුක් වෝල් එක කියන්නෙ එහෙම ලෝකෙට පේන්න තමන්ගෙ පැවැත්ම ප්‍රදර්ශණය කරන්න කැමති හැමෝම වෙනුවෙන් තියෙන එකක්.

ලෝකෙට පේන්න සුභ පතන්න කැමති අයත් ලෝකයේ අවධානය ඕන අයත් එකට සෙට් වෙන තැනකදි වෙනදා පෞද්ගලික වුණ සුභපැතීම් ලෝකෙටම පේන්න සිද්ධ වෙනවා. මෙතනදි මේ තත්ත්වය ගැන මිසක් ඒක හොඳද නරකද කියන එක නෙවෙයි මේ කියන්නේ. ඒක හොඳ හෝ නරක වෙන්නෙ ඒ ඒ මනුස්සය අනුව. සමහරු ඒකට කැමති වෙන්නත් සමහරු අකමැති වෙන්නත් පුළුවන්.

මිනිස්සුන්ට සැමරීමට තියෙන මේ උනන්දුව පාවිච්චි කරන කොටසකුත් ඉන්නවා. ඒකෙන් දේශපාලනික අවශ්‍යතාවයක් හෝ වෙළඳ අවශ්‍යතාවයක් සපුරාගන්නවා. සමහර විට ඒක තවදුරටත් විවේචනය කරන්න බැරි තරමට සාමාන්‍ය තත්ත්වයක් බවට පත් වෙලා. රැවටිල්ල මත දුවන සිස්ටම් එකකදි ජස්ටිෆයි වෙන්නෙ රැවටිල්ල.

ඊළඟට තියෙන්නෙ මෙහෙම සැමරීම් දිනවලට දෙන වටිනාකම. එහෙම දිනයක් මාර දිනයක් කිරීම ඇතුලෙම අනිත් දින ටික නිකංම අප්සෙට් වෙනවා. ඒකම අනිත් පැත්තට ගත්තොත් අනිත් දවස් අප්සට් නිසාම සැමරීම 'මාර' කරගන්න වෙනවා. සැමරීමට තියෙන්නෙ මාර උද්‍යෝගයක්. අනිත් දවස් මලානිකයි. එතකොට අනිත් දවස් අප්සට් නොකරගෙන 'මාර' කරගන්න බැරිද? ඒක කරන්න ටිකක් අමාරුයි. හේතුව ජීවිතේ කියන්නෙ එහෙම උද්‍යෝගයක් නිතරම තියෙන්නෙ නැති එකක්.

ඒ උද්‍යෝගයක් නැති බෝරිං ජීවිතේට වෙනසක් කරගන්න සැමරීමක් ඕනම තමයි!

Saturday, 11 October 2014

තාරා මගේත් දෙව් දුව

තාරා යනු කවුදැයි මා දන්නෙ නැත. එය සෙවීමටද උවමනාවක් මට නැත. එහෙත් සිත පැහැරගත් විජේමාන්නයන්ගේ තාරා ගැන බිඳක් ලියන්නට උවමනාය.

යුද්ධය හා උදාව ඇති එහි පශ්චාත් තත්ත්වයන් ගැටළු සියල්ලට විසඳුමක්ද යන්න ගැන විජේමාන්නයන් ප්‍රශ්ණ කරයි. එයට කිසිවකු පිළිතුරු නොදෙන බව දැන දැනම ඔහු එම ප්‍රශ්ණය නගයි. ඇත්තෙන්ම ඔහු පිළිතුර දනී. එක් පිරිසක් විජයග්‍රහණයෙන් උද්දාමව ජයපැන් බොන ඇසිල්ලේ තාරා සදහටම නික්ම යවන්නේ එහෙයිනි. ඇයට කල හැකි කිසිවක් නැත. හුදු සෞන්දර්යවාදී සාහිත්‍ය ලෝලීන් පිරිසක් මනෝ ප්‍රහර්ෂයට ලක් කරනු හැර තාරාට කරන්නට යමක් ඉතිරිව නැත.

තාරා ලංකීය සාහිත්‍යයේ පවතින තැන එතරම් ඉහල නොවිය හැක. ඉහත කී ප්‍රශ්ණ නැගීම හැර ඉන් එපිට දේශපාලනීය මැදිහත්වීමක්ද ඉන් සිදුවන බවක නොපෙනේ. සරාංශය ගත්විට එහි එතරම් ගත යුත්තක් ඇති බවක්ද නොදැණේ.

එහෙත් එය විශිෂ්ට ලිවීමක් බව කිව යුතුය.

එසේ කිව හැක්කේ මන්ද යන්න නැවතත් සිත අවදි කල යුතු කරුණකි. විජේමාන්නයන්ගේ වාග් කෞෂල්‍ය වෙනදා මෙන්ම ලගන්නා සුළුය. අන් කිසිදු කරුණකින් තොරව වුවද තාරා විශිෂ්ට ලිවීමක් ලෙස දැණෙන්නේ එබැවිනි.

තාරා අවදි කරන්නේ මාගේ කාන්සාමය මතකයන්ය යන්න ප්‍රතික්ෂේප කල නොහැකි සත්‍යයකි. පැරණි ප්‍රේමයන් සම්බන්ධ එම මතකයන් බොහොමයක් අමතකවන්නට ඉඩ දී ඇත. එහෙත් මීදුමත්, කඳු වැටිත්, තේ වතුත්, සීතලත් කැටිවුණ මතකයන් කිසිදා අමතක වන්නට ඉඩක් නැත. එම තෙත් මතකයන්ගෙන් තොරව වුවද අතීත සුන්දර සිහිනයක් සැබෑ ජීවිතය තුල විඳින්නට අකමැති අයෙක් වේද?

තාරා පැහැරගන්නේ ඔබේ ඒ ආශාවයි.

ප්‍රියංගා යනු එම සිහිනය සැබෑව තුලද සිහිනයක් පමණක්ව විඳින්නට භාණුක බැඳ දමන්නියයි. ඇය භාණුකගේ බිරිඳව නොසිටියානම් මෙහි කියන්නට කතාවක් නැත. මන්ද ප්‍රියංගා නොවන්නට තාරා හා භාණුක දරුවන්ද පිරිවරා ගෙවන ඒකමිතික ජීවිතයක් අරඹන්නට ඉඩ ඇති බැවිනි. එහෙත් ප්‍රියංගා භාණුක ලිහා දැමිය යුතු වපරිසය දනී. මෙම තුන්කොන් ප්‍රේමය තුල ඇගේ චරිතය මා හට අභව්‍ය බව දැනෙන්නේ එහෙයිනි. නොඑසේ නම් ඇය තාරාටත් ඉදිරියෙන් රැඩිකල්ය. අවබෝධශීලීය. එවන් ගැහැණුන් සැබෑ ලොවේ සිටීදැයි මම නොදනිමි.

ගොඩගත් තාරා මා තෙහෙට්ටු කරවන්නීය. ඇය මාගේ මනසේ රූපගත කිරීම මට අපහසුය. මන්ද විජේමාන්නයන්ගේ තාරාට සම කර හැකි රුවක් මා අතීතයේද වර්තමානයේද දැක නැත. එය සිතින් මවාගන්නටද මා අපොහොසත්ය. නැතිනම් මා උවමනාවට වඩා ක්ෂුද්‍ර ලක්ෂණ ගැන උනන්දු වනවා වන්නට පුළුවන.

කෙසේ වුවද මට තාරා දෙව් දුවක් ලෙසම සිටින්නට අවශ්‍යය.

මට ඈ නැවත වලදමන්නට උවමනාය.

Saturday, 20 September 2014

සොරොව්වෙන් එළියට කෝච්චියකින්

ගුණසිරි ජයවර්ධන මහත්තයගෙ සොරොව්ව පොතේ මුල් පිටු කීපය කියවද්දිම ඒක එක දිගට කියවගෙන යන්න පුළුවන් පොතක් බව මට තේරුණා. සුසන්ත කියන පාසල් ගුරුවරයගෙ සංකීර්ණ මනෝභාවයන් පිළිබඳ කතාවක් වුණත් ගුණසිරි මහතාගේ සරළ ලේඛණ විලාසය හින්දා ඔළුවට බරක් නැතිව කියවන ගමන් ආයෙ ආයෙමත් සුසන්තගේ ජීවිතේ මට දක්වන සමානකම් ගැන හිතන්න මට පුළුවන් වුණා. ඒක ඇත්තටම එක විධියකට මාවම නැවත කියවීමක් වගේ. සුසන්ත කියන්නෙ මම නෙවෙයි. නමුත් සුසන්තට සමාජය ගැන තියෙන ඇතැම් කියවීම්වලට සෑහෙන්න සමාන කියවීම් මටත් තියෙන බව මට තේරුණා. මම ටික වෙලාවක් සුසන්තවයි මාවයි ගලපන්න උත්සාහ ගත්ත. තම තමංගෙම ලෝක හදාගෙන බාහිර ලෝකයත් එක්ක සීමිත සම්බන්ධකම් විතරක් තියාගත්තු දෙන්නෙක්... ඒත් ටිකකින් මට වැටහුනේ සුසන්තගේ චරිතය වෙන ඕනම කෙනෙකුගේ චරිතය වෙන්න පුළුවන් කියල. පිටත සමාජෙ ගැන තියෙන අදහස් සුසන්ත හෝ මම දරනව වගේම වෙන ඕනම කෙනෙක් තමංගෙ ජීවිත කාලෙ කොයි මොහොතක හෝ දරල ඇති කියල මට හිතුණ.

රස්සාව කරන තැන වෙනස්වෙල සති කීපයක්ම ගතවෙලා තිබුණට තවමත් මට ඒ වෙනසට හුරුවෙන්න අමාරුයි. රස්සාවල් කරපු අවුරුදු දහයකට වැඩි කාලෙ පුරාම ගෙදර ඉඳන් රැකියා ස්ථානයට යන්න පැයකට වඩා කාලයක් ගත කරන්න වුණේ අළුත් සේවා ස්ථානයට ස්ථාන මාරුව ලැබීමත් එක්ක. කලින් වැඩ කරපු තැන් කීපයටම ගෙදර ඉඳන් විනාඩි දහයක් පහලොවක් විතර ගතකරල පයින් යන්න පුළුවන්. ඒ නිසා පාන්දර හයට නැගිටල හතට වාද්දුවෙන් කෝච්චියෙ නැගල අටට කොල්ලුපිටියෙන් බැහැල අටයි කාල වෙන්න කලින් ඇඟිලි සලකුණු මැෂින් එකේ ඇඟිල්ල තියාගන්න එක තවමත් අමාරු වැඩක්. එහෙම කරගත්තු දවස්වලදි හවස හතරට ඕෆ් වෙලා කොච්චියකින් ගෙදර යද්දි හවස හය වෙනවා. ගෙදර ගියාම තියෙන තෙහෙට්ටුව සිගරට්ටුවකිනුයි අම්මගෙ කිරි තේ එකෙනුයි නැති කරගන්න ගන්න උත්සාහය තවම ඒ හැටි සාර්ථක නෑ.

‘කෝච්චියෙ ඔයාට තවම යාළුවො ටිකක් නැද්ද පුතේ?‘

මම තේ එක තොලගාන අතරෙ අම්ම ඇවිත් ඉදගන්නව.

‘නෑ...‘

මම කියනව.

‘තවම අළුත්නේ. ටික දවසක් යද්දි කට්ටියක් හම්බවෙයි‘

‘හපෝ නැති එක හොඳයි. නැත්තං කච කචේ කච කචේ ඉවරයක් නැහැ. ඊට වඩා හොඳයි කල්පනාවක් දාගෙන යන එක‘

‘එහෙම තමයි පුතේ... ඒ මිනිස්සු දවසකට පැය දෙක තුනක් එකටම ඉන්න මිනිස්සුනේ...කියවන්න දේවල් ඇති ඕන තරං‘

‘ඒ වුණාට සමහර වෙලාවට වදයක්නේ. කියවන්නෙත් මෙලෝ වැඩක් නැති වල්පල්.‘

අම්මා නිහඬ වෙනවා. ඈ මුලදිම තර්ක කරන එක ඉවත දානවා. හරියට තර්කයේ නිශ්ඵලත්වය ඈ අත්දැකීමෙන් වටහාගෙන තියෙනව වගේ.

සංවාදය වෙනුවෙන් ඇගේ තර්කය පිළි නොගත්තත් අම්මා නිවැරදි බව මම කතාව පටංගද්දිම දන්නවා. උදේ හවස කෝච්චියේ යන මිනිස්සු එකම පන්තියක මිනිස්සු ටිකක්. බාගෙට බාගයක් රජයේ සේවකයො සහ පෞද්ගලික සේවකයින්. කෝච්චියෙ ගමන්කරන අයගෙ කියුම් කෙරුම් ගැන ඕන තරම් කියවල තිබුණත් ඒක සැබෑ අත්දැකීමක් වෙන එක දිරවගන්න ටිකක් අමාරු වුණා මට. මුලදි දිගින් දිගටම දුර ගමන් දුම්රියවල තෙරපෙමින් තැම්බෙමින් ගිය මට කාර්යාල දුම්රියවලට මගේ කාල සටහන හුරු කරගන්න ටික දවසක් ගියා. ඒත් ඒ කෝච්චිවල යන මිනිස්සුත් එක්ක මුලදි ඒක ඒ තරම් ලේසි වුණේ නැහැ. එදිනෙදා සාමාන්‍ය වල්පල් එක්ක ටීවී එකේ මෙගා මලවිකාරත් ආයෙ ආයෙමත් රිපීට් වුණා. එක එකාව, විශේෂයෙන් ගෑණු අයව බයිට් වුණා. වතාවක් පානදුරෙන් නැගපු දරුවෙක් ලැබෙන්න ඉන්න ගෑණු කෙනෙක්ට පිරිමියෙක් නැගිටල සීට් එක දුන්නෙ ‘මේකි සීට් එක ගන්න ඕන නිසාම කොට්ටයක් බැඳන් එනවද කොහෙද?‘ කියලයි. කොල්ලුපිටිය දක්වාම ඔවුන් අතරෙ සිද්ධ වුන සුහද කතාවත් එක්ක මට තේරුණෙ ඔවුන් බොහොම සමීප මිතුරු කණ්ඩායමක් බවයි.

කෝච්චියෙ ඉන්න තනි තනි කණ්ඩායම් අතරෙ තියෙන සුහදකම ඒ අය අතරෙ වෙනම පුංචි ලෝක නිර්මාණය කරල තිබුණ. ඒත් තනිකම හැමදේටම වඩා වින්දනීය වුණ මට ඒක කරච්චලයක් වුණා. මම කල්පනා කළේ බ්ලොග් එකට ඒ ගැන කවියකුත් ලියන්න.

කාර්යාල කෝච්චියේ
එකම පන්තියක යන අපෙන්
කොටසක් සීට් වල ඉඳගෙන
කාපට් පාරවල් ගැන
කුඩු කන්ටේනර් ගැන
උස්සපු ළමයි ගැන
ස්ත්‍රී දූෂණ ගැන
සුදු නංගිලෙග ටෙලි ගැන
බුජුම්පියෝ ගැන
තළු මරන අතරෙ
සීට්වල ඉඳගන්න වරම් නැති
අපෙන් තවත් කොටසක්
සීට් අතරෙ හිටගෙන
බකං නිලාගෙන
කෝච්චියෙන් බහිනකොට
කැනිබලෙක්ට උවමනානම්
ගම්මිරිස් ඉහාගෙන
කන්න හැකි තරමට තැම්බීගෙන

සුසන්ත ටිකෙන් ටික සාමාන්‍ය මනුස්සයෙක් වෙනවා. ඒ කියන්නෙ එක විධියකට කපටියෙක්. සාමාන්‍යයෙන් නම් එක මිනිහෙක්වත් තමන් කපටියෙක් බව විශ්වාස කරන්නෙ නැහැ. නමුත් ජීවත්වීමට අපි කරන අරගලයම කපටි සහගතයි. සොරොව්ව පොතේ මහ ලොකු පිටු ගණනක් ඒ ගැන වෙන් නොවුණත් ජීවිතේට අපට තියෙන එකම විකල්පය විධියට ඉදිරිපත් වෙන්නෙ ඒක.

මගේ කල්පනා ලෝකය බිඳුණෙ නහය කඩාගෙන ගිය පල් ගඳකින්. කොහොමත් මුහුදුබඩ මාර්ගයේ ඔහොම පල් ගඳ එන තැන් කීපයක්ම කෝචිචිය පහු කරවනවා. අදාල නගරයේ සේරම කසල වතුර මූදට වැටෙන තැන් තමයි ඒ. කොයි තරම් ගැඹුරු කල්පනාවකින් වුණත් කෙනෙක්ව මුදවන්න ඒක සමත්.

කෝච්චියෙ මිතුරන් හමුවුණාද කියන එක ගැන අම්මා ආයෙ වතාවක් ඇහුවා දවසක්. ඒත් මට දෙන්න තිබුණෙ එකම උත්තරේ. මම දන්න කවුරුවත් කෝච්චියෙ නෑ. ඒ වෙද්දි හැමදාම හමු නොවුණට එදිනෙදා කෝච්චියෙ යන, එකම තැන්වලින් නගින බහින කීප දෙනෙක් මට නිච්චි වෙලා තිබුණත් ඒ අය එක්ක කතා කරන්න මට උවමනා වෙලා තිබුණෙ නෑ.

‘මිනිස්සුන්ව අඳුණගන්න එක වටිනවනෙ පුතේ‘

අම්ම කියන්නෙ එහෙම.

‘මිනිස්සු තමංගෙ වැඩේ හරියට කරනවනං පුද්ගලිකව දැන ගත්තෙ නැතිවට කමක් නෑ අම්මා. තමන්ගෙ වැඩේ හරියට නොකරන නිසා තමයි පෞද්ගලික දැන හැඳුනුම්කම් ඕන වෙන්නෙ‘

එතකොට මම කියන්නෙ එහෙම.

‘ඒ වුණාට ඔයා කට්ටිය එක්ක කතා කරල අඳුනගනියි පස්සෙ‘

අම්ම හදන්නෙ එහෙම කියල තමන් සැනසෙන්නද එහෙම නැත්තං ආදරණීය විධානයක් දෙන්නද කියන කතාව දන්නෙ අම්ම විතරයි.

ඒත් මට කිසිම උවමනාවක් නෑ මිනිහෙක් එක්ක බලෙන් කතා කරන්න. අවශ්‍යතාවයකට කතාකරන එක හෝ මිනිහෙක්ට උදව් අවශ්‍ය වෙලේක දැන හැඳුණුම් නොතකා උදව් කරන එක වෙනම කතාවක්. කොහොමත් රාජකාරියෙදි හෝ පෞද්ගලික ජීවිතේදිවත් දැන හැඳුනුම්කම්වලට වඩා අවශ්‍යතාවයට මුල් තැන දෙන එකයි මගේ පුරුද්ද. ඒ වගේම උදව්වක් උවමනා වෙලේක ඒ උදව්ව ඇත්තටම ඒ මිනිහට උවමනාද කියන කාරණාව ගැන මගේ විනිශ්චය මත ඒ මිනිහට උදව් කරන එක හෝ උදව් නොකරන එකට වෙන කිසිම සාධකයක් අදාල නෑ. ඒ නිසා මිනිහෙක් මාත් එක්ක එකම වෙලාවට වැඩට යනවා කියන කාරණය මත විශේෂයෙන් ඒ මිනිහව අඳුණගන්න මට උවමනා වුණේම නෑ.

නමුත් අම්මා ඒ වෙලාවෙදිත් හරි කියල මම දැනගෙන හිටිය. මේ වෙනකොට ජීවිතේ කියන්නෙ එහෙම එකක්. දැන හැඳීනීම් මත ඕනම දෙයක් ‘කරගන්න‘ පුළුවන්.

ගුණසිරි මහත්මයගෙ කලින් පොත්වලින් දෙකයි මම කියවල තියෙන්නෙ. හැබැයි මේ පොතේ රටාව කලින් පොත් ලියවිල තිබුණු සාර්ථක සහ කතාව පුරාම වගේ සංවිධානය වුණ විඥානධාරා ආකෘතියට ඒ තරමටම ගැලපෙන්නෙ නෑ කියල මට හිතුණ. චරිතයක් විධියට ගොඩනැගෙන්නෙ සුසන්ත විතරයි. ඒ අතින්නම් ඔහු බොහොම ගැඹුරකට ගිහිං තියෙනව. ඒත් සමහර වෙලාවලදි ටිකක් කෘතිම බවක් දැණෙන්න ගන්නව. ඒ එක්කම ඔහුගේ කතා ශෛලිය ගැන තියෙන පූර්ව දැනීම හින්දම කතාවෙ අවසානය ගැන මට දෙවෙනි පරිච්ඡේදය වෙනකොට ඉඟි ලැබුණා. ඔහුගේ අනිත් කතාවලත් චරිතවල හැසිරීම මම දැනගෙන හිටපු නිසා ඒ ඉඟි නිකංම ඉඟි නොවෙන බවට තිබුණ මගේ සැකය අවසානෙ නිරවුල් වුණා. කොහොම වුණත් ගුණසිරි මහත්තයගෙ මම කියවපු අනිත් පොත් වගේ සොරොව්ව පොත ප්‍රමාණවත් කාලයක් සැලසුම් කරල නෑ වගේ ගතියක් මට තේරුණේ. සුසන්තගේ චරිතය ගැන ඇතිවෙන බැඳීමට අමතරව පොත කියවන්න වාසියක් වෙන්නෙ ගුණසිරි මහතාගේ පහසු වාග් ශෛලිය විතරයි.

කාර්යාල කෝච්චියෙ යන මිනිස්සු ගැන මගේ ආකල්ප වෙනස් වෙමින් තියෙනවා. එහෙම වෙනස් වෙන්න කලින්ම අර වගේ කවියක් බ්ලොග් එකේ නොලියන්න මම තීරණය කළේ හැමෝටම අවස්ථාවක් අවශ්‍යයි කියන අදහස මට තියෙන නිසා. පුද්ගලික හෝ සංකල්පීය වෙනස්කම් මත මිනිස්සුන්ව කපල දාන එක මම නතර කරල නොසෑහෙන්න කාලයක් ගිහින්. හොරු, තක්කඩි වගේම ආගමික, ජෝතිෂ්‍යමය හැම මිනිහෙක් සම්බන්ධයෙන්ම අවසාන තීරණය මරණය විතරක්ය කියන එක තේරුම් අරගෙනත් සෑහෙන්න කාලෙකට පස්සෙයි එහෙම වුණේ. මිනිස්සුන්ව අයින් කරන එක ලස්සන චිත්‍රයක් හෝදල නිකංම නිකං කැන්වස්එක මතුකරගන්නව වගේ වැඩක්. ගහකොල කඳු වැටි කපල නිම්නවලට පුරවල ලෝකය පැතලි කරනව වගේ වැඩක්.

මේ වෙනසට බලපාපු තවත් එක සිදුවීමක් වුණේ දවසක් උදේ කෝචිචියෙ මිතුරු කණ්ඩායමක් සින්දු කියන්න ගත්තු එක. හැරෙන්නවත් බැරිවෙන්න තෙරපිල හිටපු මට ඒ කවුද කියලවත් දැනගන්න විධියක් තිබුණෙ නෑ. ඒක වුණේ කෝච්චි පෙට්ටියෙ අනිත් කෙලවරේ. මුලින්ම ඇහුනෙ ටී.එම්. ජයරත්නගෙ සින්දු ටිකක්. ලේසියෙන්ම පස් වෙනි වටය දක්වා යන්න පුළුවන් හඬවල් ටිකක් එතන තිබුණා. රත්මලාන පහුවෙද්දි ටී.එම්.ගෙන් ජෝතිට මාරු වුණේ තවත් සුන්දරම සින්දු පෝලිමක් එක්ක. මේ මිනිස්සු උදේ පහටවත් නැගිටිනව ඇති. හවසට ගෙදර යද්දි හය හතවත් වෙනව ඇති. අවදියෙන් ගෙදර ගත කරන පැය කීපයට අමතරව වින්දනයකට ඉඩක් තියෙන්නෙ කෝච්චියෙ මිතුරු හමුවෙ වෙන්නත් ඇති.

මම මේ ගැන හාමිනේට කිව්වම උන්දැ ඇහුවෙ ‘ඇයි ඉතිං ඔයා එතනට ගියෙ නැත්තෙ?‘ කියලයි. එහෙම අහනකල් මට ඒක කල්පනා වුණේ නෑ. යන්න විධියක් නොතිබුණත් උවමනාවක් තිබුණ නම් සෙනග මැදින් ගිහින් එතනට එකතුවෙන්න පුළුවන්කම තිබුණ නේද කියල මට හිතුණා. ඒත් උවමනාව විතරක් මදි. නොදන්න මිනිස්සු ටිකක් අතරට එකපාර එකතු වෙන්න ආත්ම විශ්වාසයත් ඕන.

සුසන්ත තියන්නෙ අතිශය ආත්ම විශ්වාසයක් සහිත පුද්ගලයෙක්. නමුත් ඔහු ඒ ආත්ම ශක්තිය භාවිතා කරන්නෙ නෑ. එහෙම කරන්න අවශ්‍යතාවයක් ඔහුට නෑ. එදිනෙදා ජීවිතේදි ආත්ම ශක්තිය මත මිනිස්සු තමන්ගෙ අවශ්‍යතාවයන් දිනාගනිද්දි සුසන්තට දිනාගන්න තරම් අවශ්‍යතා නෑ. සුසන්ත තමන්ගෙ ඉස්කෝලෙදි බංකු තුනක් එකතු කරල හදාගත්තු ඇඳක නිදාගන්න එක ගැන දුක් වෙන්නෙ නෑ. ඒක ඔහු ජීවත් වෙන විධිය. නමුත් පොත දිගහැරෙන්නෙ ඔහු තමන්ගෙ ආත්ම ශක්තිය භාවිතා කරල මිනිස්සුන්ගෙ විශ්වාසය දිනාගන්න අවස්ථාවල් එක්ක.

ඒ බව කියවද්දි මට මතක් වෙන්නෙ මගේ ජීවිතේ නුගේගොඩ නගරය වටේ ගැවසුන කාලය. එක පැත්තකින් බැඳුම් ලණු ලිහිල ගැලවිල තිබුණ පන් පැදුරුකුයි පෙරවන්න රෙද්දකුයි විතරක් එක්ක තට්ටු හතරක බිල්ඩිමක උඩම තට්ටුවෙ තුන් පැත්තකින් විවෘත ආලින්දයක මම නිදාගත්තු රාත්‍රීන් ගැන කිසිම දුකක් හෝ කණගාටුවක් මට නැහැ. ඒක ඒ කාලෙදි දැණුන ස්වභාවික ජීවිතයේ රසය විඳීමක් විතරක් වුණා. එහෙම නිදාගත්තු සමහර රාත්‍රීන්වල වහිනකොට ඒක දැණෙන්නෙ කකුල්වලට හිරිකඩ වැටෙද්දි. එතකොට බිත්තිය අයිනටම ගිහින් ගුළි වෙනවා. ඒව ජීවිත කාලෙම මතක තියෙන සුන්දර මතක. ජීවිතේ ඉදිරි කාලය ශක්තිමත් කරන්න පදනම් වුණ අත්දැකීම්.

කෝච්චියෙ ඒකමිතික ශබ්ද රටාව හිටිගමන් වෙනස්වෙන්නෙ පාලමක් උඩින් යද්දි. ආපහු ටිකකින් සුපුරුදු ශබ්දයම. ගුණසිරි ජයවර්ධන මහත්තයගෙ පොත් ලිවීමත් ඒ වගේ ඒකමිතිකයිද කියල මට හිතුණ. කියවපු පොත් තුනේම අඩු වැඩි වශයෙන් තියෙන ආකෘතිය ඔහු ලේඛණයට භාවිතා කරන සූත්‍රයක්ද කියල මට හිතෙනව. ඔහු චරිත කීපයක් සහ කතාවක් සහිත සැකිල්ලක් හදාගන්නව. කතාවේ ආරම්භය, ගලා යෑම සහ අවසානය සැකිලිගත කරනව. කතාව හැමවේලේම උත්තම පුරුෂයෙන් ලියවෙන හින්දා ඒ චරිතය වඩාත් ගැඹුරට සැලසුම් කරනව. අවශේෂ චරිත කීපයක් භාවිතා කරල ඔහුගෙ අවසානෙට ඍජුවම යන්න අපහසු විධියට කතාව විකෘති කරනව. චරිත තෝරගනිද්දි ඒ ඒ චරිත අතර සම්බන්ධයක් තිබීම හෝ නොතිබීම මත කතාවේ සිදුවීම් ගොඩනැගෙනව. ඉතින් අපි කියවන්නෙ විකෘති වුණ සාමාන්‍ය සරළ කතාවක්. කතාව තුල සිදුවීම් එකින් එකට මුහුණ දෙමින් අපි කරන්නෙ අර විකෘතීන් ටික ලිහාගන්න එක. ඒක කියවමින් අවසානය දක්වා යද්දි අදාල සම්බන්ධතා වටහාගැනීමත් එක්ක අපි පොතේ විකෘතීන් විසඳගන්නව. අන්තිමේදි අපිට කතාව ඉවර කරගන්න අවශ්‍ය වෙන විධියටම කතාව අවසාන වෙනවා.

ඒ ගැන ආයෙම හිතද්දි කල්පනා වුණේ කවුරුත් කරන්නෙ ඒ දේම නේද කියලයි.

මම පොත වහල බෑග් එකේ දාගත්තෙ පින්වත්ත ස්ටේෂම පහුවුණ බව දැණුන හින්දයි. සොරොව්ව ආයෙම වතාවක් මම මොනවද කරන්නෙ කියන එක ගැන සීරියස් වෙන්න අවස්ථාවක් දීල තියෙනවා. ඒ එක්කම එහෙම සීරියස් වෙන්න ඕනද කියන ප්‍රශ්ණෙත් ආයෙම එනවා. ජීවිතේට නිරපේක්ෂ තීරණ අවශ්‍යයි. ප්‍රතිපත්ති සහ මූලධර්මත් අවශ්‍යයි. නමුත් ජීවත් වෙනවා කියන්නෙ ඔය දෙක තුනම සහ තව තව ඒව ගොඩක් එක එක විධියට පාවිච්චි කරන්න වෙන අලකලංචියක්. මම බෑග් එකත් කරේ එල්ලගෙන සීට් එකෙන් නැගිට්ටා. සෙනග පොදියක් දොර ගාව පොදි කනවා බැහැගන්න. ඒ එක්කම වාද්දුව නැවතුමේ යකඩ කට බෙරිහන් දෙනවා.

‘පළවෙනි වේදිකාවට දැන් පැමිණි දුම්රිය ගාල්ල බලා ධාවනය වේ. මෙම දුම්රිය ගාල්ල දක්වා ඇති සෑම දුම්රිය ස්ථානයකම නවත්වනවා ඇත...‘


ආශ්‍රිත සටහන් -

පොත් 10 අභියෝගය සහ ඔත්තු

මා වඩාත් සසල කළේ මෙහි නිරූපිත මානුෂීය බැඳීම්

සොරොව්ව නැවත හදන්න!

Sunday, 12 May 2013

ස්ටාර්ට් ලයින් එක අඳිමුද?



මේක ලියවෙන්න ආසන්නතම හේතුව චාමි විසින් බුකියෙ ෂෙයා කරපු බස්සාගෙ ස්ටේටස් අප්ඩේට් එකක්. බසුතුමා ඒකෙ සෑහෙන්න හිතේ අමාරුවෙන් කතා කරල තිබුණෙ. ඔය හිතේ අමාරුව සංවේදීකම තියෙන, පොළොවෙ ජීවත්වෙන කාටත් තියෙන එකක්. නමුත් ගොඩක් අය ඇහෙන්නෑ පේන්නෑ වගේ ඉන්න නිසා මේ ගැන මෙහෙමවත් කතා කරන්නෙ ඉවසන් ඉන්න බැරිම වුණ මනුස්සයෙක් විතරයි. ඉතිං බස්සගේ ඒ කතාව කියෙව්වම ආතක්පාතක් නැතිව මගේ හිතේ එහෙ මෙහෙ යමින් තිබුණ අදහස් කීපයක් එලියට දාන්න ඒක හොඳ ස්ටාට් එකක් කියල හිතුණා.

මේ වෙන දේවල් බැලුවම කියෙව්වම අපි ජීවත්වෙන සමාජය සීඝ්‍රයෙන් කඩාවැටෙමින් යනව කියල තේරෙනවා. ඒකට කියන අනිත් වචනෙ පිරිහෙනවය කියන එක. ඕක එක එක විධියට දකින්න පුළුවන්. දියුණුවෙන් දියුණුවට පත් වෙන ඒවත් සමාජෙ තියෙනව. නමුත් ඒකට සාපේක්ෂව මානුෂික වටිනාකම්වලින් අපි දියුණු වෙන්නෙ අනිත් පැත්තට. පත්තරවල, ටීවීවල සහ කටින් කට ආරංචි වෙන අපරාධ හැමතැනම. කෙනෙක් කියයි ඒ කාලෙත් එහෙම තමයි. දැන් ජනමාධ්‍ය දියුණු වෙලා කියලා. ඒ කතාව වැරදි නෑ. නමුත් හරියටම හරිත් නෑ. පහුගිය අවුරුද්ද දෙක ඇතුලත අපි අහන දකින දේවල් සෑහෙන්න වෙනස් වෙලා කියන එක මග අරින්න බැරි ඇත්තක්. අය යුද්දෙ නැතුව පාළුයි සෙට් එක කියනව වගේ යුද්ධෙ අවසන් වීම නිසා ලංකාවට මගහැරුණු කුරිරු ත්‍රාසය නැවත ලබාගන්න තියෙන උවමනාව නිසා උදාවුණ තවත් තත්ත්වයක්ද ඒක?

වැඩේ කියන්නෙ මේ කාලෙ වෙද්දි වෙන කවරදාටත් වඩා ආගමික ප්‍රබෝධය 'කියන එක' තියෙන්නෙ ‍ගොඩක් ඉදිරියෙන්. මම හිතන්නෙ හැම ආගමකම. නමුත් ඇත්තටම ආගම්වල තියෙන අර්ථයන් මිනිස්සු අතරෙ තියෙනවද කියන ප්‍රශ්ණයට උත්තර නෑ. සාමාන්‍යයෙන් ඕන මිනිහෙක් එක්ක කතා කරද්දි හිතෙන්නෙ 'මූ මාර හොඳ මිනිහෙක්' කියලා. හම්බවෙන හැමෝම වගේ සර්ව සාධාරණයි. අවංකයි. පරාර්ථකාමීයි. නමුත් සමාජයක් විධියට අපි ජීවත්වෙන වටපිටාව එහෙම නැහැ. අවුල කොතනද?

මේ දවස්වල වෙසක් එකට අපේ ඔෆිස් එකෙන් සංවිධානය වෙන සීල ව්‍යාපාරය ඇතුලෙ තියෙන පඩ ෂෝ ටික ගැන වුණ කතාවකදි කෙල්ලෙක් කියපු කතාව වටින්නෙ ඒක කෙල්ලෙක් කියපු නිසාමයි.

'ඉස්සර තමයි සීලෙ තිබුණෙ. ඊට පස්සෙ සීල ව්‍යාපාර තිබුණා. දැන් සීලෙ හැලිල ව්‍යාපාර තමයි තියෙන්නේ.'

පඩ ෂෝ සමාජය කියන එක මේ වෙනකොට සමාජය නම් කරන්න පුළුවන් එක ක්‍රමයක්. පොඩ්ඩක් හිතල බැලුවොත් ඇයි එහෙම කියන්නෙ කියල තේරෙයි.

ඔය සියළු දේවල් අස්සෙ අපේ විශ්වාසයන් සේරම විනාශ වෙනවා. අපි පිළිගත්තු සාරාර්ථ අපේ ජීවිත පෝෂණය කරනවා වෙනුවට අපිට කෙලවනවා. සමහරුන්ට මේක තේරෙනවා. අහිංසක මිනිස්සු ගොඩ දෙනෙක්ට මේක තේරෙන්නෙ නෑ. ගොඩක් කපටි තවත් කොටසක් තේරුණත් තේරෙන්නෙ නෑ වගේ ඉන්නවා. එ‍් එක්කම අනිත් මිනිස්සුන්ට කොචෝක් දානවා. හැබැයි ඒ අය තමයි පරිණාමිකව ඉදිරියෙන් ඉන්න මිනිස්සු. එයාල ඕන පැත්තට හැරෙන්න පුළුවන් ලැජ්ජාවක් නැති අය. ලැජ්ජාව නැති වීම අද යුගයේ අවශ්‍යතාවයක්.

අපි විතරක් නෙවෙයි. අපෙන් පස්සෙ එන පරම්පරාව, අපේ දරුවො එන්නෙත් මෙහෙම විකාර වුණ සමාජ‍යකට. ඒ නිසා මේක වෙනස් කරන්න අවශ්‍යයි කියන කතාව තමයි බස්ස කියල තිබුණෙ. කතාව ඇත්ත. මේක ගොඩක් පරණ කතාවක්. හැම තිස්සෙම තියෙන සිස්ටම් එක අවුල් තමයි. වඩා හොඳ සිස්ටම් එකක් වෙනුවෙන් අනාදිමත් කාලෙක ඉඳන්ම හීනයක් තියෙනවා. ඒ හීනය ගොඩක් මිනිස්සුන්ව ජීවත් කරල තියෙනව වගේම ඒ හා සමාන මිනිස්සු ටිකක් මරණයට පත් කරලත් තියෙනවා. ඒ හීනය හොඳ මාකට් එකක් තියෙන වෙළඳ භාණ්ඩයක් දැන්.

ටික කාලෙකට කලින් වුණ සෙට් වීමකදි එක යාළුවෙක් කිව්වෙ ඇමරිකාව වගේ රටක් මාර හොඳ ඇති කියලා. ඒ වගේ රටක හිටියනං මෙහෙම අවුලක් වෙන එකක් නෑ කියලා. ඌ එහෙම කිව්වෙ ඒ වගේ රටක ටැලන්ට් එක මාකට් කරන්න තියෙන ඉඩ වැඩි නිසා. ලංකාවෙදි ටැලන්ට් එක කියන්නෙ මිනිහෙක්ට දියුණු වෙන්න තියෙන අවම සාධකය වෙලානෙ තියෙන්නෙ. ගොට්ට ඇල්ලුවොත් තමයි ගොඩ යන්නේ. කොහොම නමුත් මේ වෙනකොට ලෝකෙටම තියෙන්නෙ සහ පොම්ප කරන්නෙ ඇමරිකානු සිහිනයක්. ඉතිං ඇමරිකාව ගැන ඒ දවස්වල මමත් එහෙම හිතුවා. නමුත් ඇත්ත ඒක නෙවෙයි. ඇමරිකාව වගේ දියුණුයි කියල කියන රටවල් තරම් මිනිස්සුන්ව සිස්ටම් එකෙන් පාගන රටවල් තවත් නැහැ. එකම වෙනස ඒ පෑගිල්ල පරම්පරා කීපයක් තිස්සෙ බොහොම සංවිධානාත්මකව වෙන නිසා දැණෙන්නෙ නැතිව ගිහින් තියෙන එක. එහෙම කියන්න මම ඇමරිකාවට ගිහිල්ලවත්, ගියපු කෙනෙක් එක්ක ඒ ගැන කතා කරලවත් නෑ. නමුත් ඇමරිකාවෙන් එලියට එන චිත්‍රපටි අස්සෙ තියෙන අතුරු කතාවල සහ යටින් යන කතාවල ඇමරිකාවෙ හෙළුව ප්‍රදර්ශණය වෙනවා. මම දන්නව චිත්‍රපටි බොරුයි කියල. නමුත් අතුරු කතා බොරු නෙවෙයි.

ඒක කියද්දි මතක් වෙන්නෙ ළඟදි බලපු sirius (2013) වාර්තා චිත්‍රපටිය. ඒක ඇමරිකානු රජයේ රහස් ව්‍යාපෘති ගැන එලිකරන්න කරපු චිත්‍රපටියක්. තේමාව පිටසක්වල ජීවීන්. (මේ ගැන උනන්දු අය අනිවා බලන්න) ඒකෙ එක තැනක කියවෙනව මෙහෙම. ඇමරිකාවෙ තියෙන සල්ලිවලින් 40%ක අයිතිය තියෙන්නෙ 1%ක ජනතාවට. 80%ක ජනතාවට තියෙන්නෙ සල්ලිවලින් 7%ක් විතරයි. ලංකාව වගේමයි නේ...

Sirius චිත්‍රපටියෙ අදාල රූප රාමුව



මට අනුව නම් ඇමරිකාවෙ ගොඩක් ඉන්නෙ ආසාව මියගිය මිනිස්සු. තව දුරටත් උන්ගෙ ජීවිතවල ගන්න දෙයක් නැහැ. උන්ට ජීවත්වෙනව කියල දනවන එකම හැඟීම බය විතරයි. ලෝකෙ වෙන රටකින් ඇවිත් අපට ගහයි කියන බය විතරයි උන්ට හැඟීමක් කියල තියෙන්නේ. එහෙම නොවෙන අය නෑ කියල ඒකෙන් කියවෙන්නෙ නෑ. උන් තමයි මෙහෙ වගේම ලොක්කෝ. අර කති බොති සුඛති ඩයල් ටික. හැබැයි ජීවිතේ කියන්නෙ ඒකමද? ඔයාලත් හඳට ගල් විසි කරනවද?



ඉතිං අපි ලංකාවෙ සිස්ටම් එක වෙනස් කරන්නෙ ඇමරිකාව ටාගට් කරගෙන නම් ඒකෙ කිසි තේරුමක් නෑ. ඇමරිකාව ලංකාවට වඩා සාටර්. නමුත් වැඩේ කොතනින් හරි පටන් ගන්න ඕන. කොතනින්ද පටන්ගන්නේ.

මට හිතෙන්නෙ අධ්‍යාපනය කියලා. මිනිස්සුන්ව වගේම ළමයින්ව දැනුවත් කරන්න අවශ්‍යයි. මේ ගැන නදීක ජයවර්ධන පහුගිය දවසක misic.lk එකෙන් කරපු google hangout එකේදි කතා කලා. එයා කතා කලේ සංගීතෙට අදාලව විතරක් වුණාට ඒ කියපු කතාව සමස්ථ සමාජයේම ගැටළුවලට උත්තරයක් දෙනවා. මිනිස්සුන්ව දැනුවත් කරන්න අවශ්‍යයි. මිනිස්සුන්ට දැක්මක් අවශ්‍යයි. ඒ දැක්ම ලබා දෙන්න තිබුණ ක්‍රම සේරම විනාශ වෙලා තියෙද්දි කොහොමද ආයෙත් පටංගන්නෙ කියන එකයි ඉතිරි වෙන ප්‍රශ්ණය.

මම හිතන්නෙ සමාජය තුල ලෝකය ගැන මිනිස්සු ගැන තියෙන දැණුම අල්ප වීම ලොකු අවුලක්. මිනිස්සු ඉන්නෙ ළිං මැඩියො වගේ. ළමයි ගැන කතා කරල වැඩක් නෑ. ඒකට ප්‍රධාන හේතුවක් වෙන්නෙ කියවීම අඩු වීම කියලයි මට හිතෙන්නේ. හැබැයි කියවනව කියල කියවන්නෙ පත්තර විතරක් වීමත් අවුලක්. එකෙන් වෙන්නෙ අවුලෙන් අවුලට පත්වීම. සාහිත්‍යය නැති වීම ලොකුම අවුලක්. ඉස්සර පොත්පත් කියවන මිනිස්සු හිටපු කාලෙක ළමයි විධියට අපි මුහුණ දීපු සමාජය ‍මීට වඩා හොඳයි කියන කතාව ඕන කෙනෙක් කියයි. දැන් කියවීමේ මාධ්‍යයන් පොත්වල ඉඳන් වඩා දියුණු ක්‍රමවලට මාරු වෙලා තියෙනවා. තවමත් මිනිස්සු කියවනවා. කියවන්නෙ මොනවද කියන එකෙයි අවුල තියෙන්නෙ. ඕන කෙනෙක්ට ඕන දෙයක් ලියන්න පුළුවන් තරම් සමාජය ලිබරල් වෙලා තියෙද්දි ඒ ගැන පැත්තක ඉඳන් බයිල ගහන එකත් තේරුමක් ඇති වැඩක් නෙවෙයි. අනික මොන සාහිත්‍යය කියෙව්වත් ඇඟට ගන්නෙ නැත්තං ඇති වැඩක් නැහැ. බුද්ධියක් වැඩෙන්නෙ නැහැ. දැනුම සහ බුද්ධිය කියන්නෙ දෙකක්. (knowledge and intelligence) ඕන තරං දැනුම තියෙන උන් හොයාගන්න පුළුවන්. හැබැයි ජීවිතේ සම්බන්ධයෙන් ක්‍රියා කරද්දි තමයි තේරෙන්නෙ උන්ට බුද්ධිය නෑ කියලා. දැන් දැන් එදිනෙදා හම්බවෙන මිනිස්සු අතරෙනං 'සිහි බුද්ධිය' නැති උනුත් සෑහෙන්න ඉන්නවා.

අනිත් කාරණේ දැනුවත් කිරීම. දැනුවත් කරල මිනිස්සුන්ව වෙනස් කරන්න පුළුවන්ද? මේක ටිකක් අවුල් සහගතයි. දැනුවත් කිරීම අවශ්‍යයි කියල මම ම කලින් කිව්වත් මට හිතෙන්නෙ දැනුවත් කිරීම මේ වෙනකොට අසාර්ථක වැඩක් කියල. මොකද සමාජයෙ ඉන්නෙ සියල්ල දත් මිනිස්සු. එහෙම උන් දැනුවත් කරන්න යද්දි උන් අහනව ‘ඇයි අවුල්ද’ කියලා. විෂය ගැන ඉගෙනගෙන එන්න කියල කියනවා සෑහෙන්න විධග්ග විධියට. ඉතිං දැනුවත් කරන්නෙ කාවද?

හැබැයි ඔය ගොඩක් දැනුවත් කිරීම් ෆේස්බුක් එකේදිනම් වෙනවා අස්ප ගණංවලින්. ඒකෙ ඉතිං නොවෙන මගුලක් නෑනෙ. මේ ලියන බ්ලොග් අතරෙත් මේ ගැන ඕන තරං කතා වෙනවා. මෙතනින් එලියට ඒක යන්නෙ කොහොමද කියන එක තමයි අවුල. ඇත්ත ජීවිතේදි කතාකරන්න තියෙන නොහැකියාව ෆේස්බුක් එකෙන් හෝ බ්ලොග් එකෙන් පිටකරනවද කියලත් මට හිතෙනවා. හැබැයි ඔන්ලයින් පෙනී ඉන්න මතවාද වෙනුවෙන් ඇත්ත ජීවිතේදිත් පෙනී ඉන්න කෙනෙක් නිරායාසයෙන්ම වැඩට බැහැල ඉන්න බවත් මෙතනදි කියන්න ඕන.

අපේ පොඩි මාමා (අම්මගෙ ලොකු මලයා) අපේ තාත්තට පස්සෙ අපිව සැලකිය යුතු තරම් වෙනස් කරපු මනුස්සයෙක්. ඒක පොඩි කාලෙ ඉඳන් මේ දක්වාම එහෙම්ම ම තියෙන දෙයක්. තාත්ත නැති නිසා අදටත් ඕනම දේකදි පොඩි මාමගෙන් ටිකක් උපදෙස් අහන එක අපි කරන දෙයක්. එයා කියන්න තියෙන දේ කෙලින් කියන, වැරැද්දට එතනම බනින, සරළ නිර්ව්‍යාජ ජීවිතයක් ගෙවන මනුස්සයෙක්. අපේ ඥාති වර්ගයා අතර අපිට සමීපතම පුද්ගලයා එයායි. වැඩේ කියන්නෙ පවුලෙ අනිත් ඥාතීන් අතරෙ එයා ඉන්නෙ පැත්තක. එයාගෙ ඍජු විවේචන අනිත් අයට දිරවන්නෙ නෑ. අනිත් අය කරන මෝඩ ජෝක් වලට පොඩි මාමා බණින නිසා එයාව හැම එකකටම සම්බන්ධ කරගන්නෙ නෑ. දැනුවත් කරන්න යාම තුල ඕන කෙනෙක්ට අත්වෙන ඉරණම ඒ වගේ වෙන්න පුළුවන්. සමාජයෙන් පැත්තකට වෙන්න වෙන එක. තමන්ගෙ ආතල් කැඩෙන දේවල්වලට මිනිස්සු කැමති නෑනෙ.

මිනිස්සු හැමෝම ඉන්නෙ රෝලක. ලොකු පඩියක් ගත්ත කියල ඒකෙ වෙනසක් වෙනව කියල මම හිතන්නෙ නෑ. මොකද පඩියට හරියන්න තියෙන වියදම් ඒ වගේ. හම්බවෙන පඩියට හරියන්න ජීවත් වෙනවට වඩා ‍අපි ජීවත් වෙන්නෙ හම්බවෙන පඩිය යාන්තම් ගැටගහගන්න සිද්ධ වෙන ගානට. ඒක ගැන කතාකරන්න ගියොත් කතාව වෙන වෙන පැති වල යනව. මොනව වුණත් ජීවිතේ නැතිකරගන්න, හෝ කෑම නැතිව මැරෙන්න වෙන ගානට දුප්පත් වුණ කවුරුත් නෑ මට හිතෙන විධියට. අනික සති දෙකෙන් දෙකට ජනතාවට දෙන චුයින්ගමුත් දවස් කීපයක් හපන්න පුළුවන්. ඒ නිසාම මේ යන විධිය තාමත් බහුතරයකට ලොකු බලපෑමක් කරල නෑ.

මෙහෙම අච්චාරුවක් වෙනස් කරන්නෙ කොහොමද? දන්න දේශපාලන විකල්ප ගැන බලාපොරොත්තු අතාරින්න වෙලා තියෙද්දි කොහොමද මේක කරන්නේ. කවුද පටංගන්නෙ? මොනවද කරන්නේ? කරන්නනං වැඩ ඕන තරං ඇති. ඒ අතරෙ ගොඩක් තියෙනව ඇත්තෙ ප්‍රසිද්ධියෙ කියන්න බැරි ඒව. එදා මෙදා තුර අපේ සාම්ප්‍රදායික විකල්පය වුණ ඉඟුරු දීල මිරිස් ගැනීම තව දුරටත් කරනවද? නැත්තං 'විකල්ප' විකල්ප ගැන හිතනවද? ෆේස්බුකියෙම තිබුණ යෝජනාවක් අනුව අළුත් ‍දේශපාලන පක්ෂයක් සංවිධානය කරන එකත් හොඳ වැඩක් වෙන්න පුළුවන්. එහෙම නැත්තං සමාජය තුල අපි බලාපොරොත්තු වෙන වෙනස පුළුවන් තරං අපේ තනි ජීවිතවලට ඇතුල් කරගන්න ඕන. අනිත් අයට ගයිඩ් එකක් වෙන්න ඕන.

නමුත් වැඩක් වෙයිද?

සමාජය වෙනස් කරන්න ඕනය කියන එක ඇත්තක්. සමාජය කියන්නෙ මිනිස්සු. මිනිස්සු වෙනස් වෙන්න සූදානම්ද?

Friday, 12 April 2013

ඩවුන් ටවුන් පල්ස් හෙවත් යටිනුවර ස්පන්ද!


පහුගිය 06 වෙනි සෙනසුරාද කොට්ටාවෙ මහල්වරාවෙ බේකරිය ගාව අමුතු වැඩක් සිද්ධ වුණා. Down town pulse මහා සංගීත රාත්‍රිය! එහෙම කිව්වම නිකං FM එකක ‍වගේ නේ... මේක 2013 අවුරුද්දට අළුත් වුණාට වැඩේ අළුත් නෑ. ගිය අවුරුද්දෙත් තිබුණා Saturday night fever නමින්.

සංගීතය, ලංකාවෙදි නං ගීතය, සින්දු ගැන අපි ඕන තරම් කතා කරනවා. ඕන තරං සින්දු අහනවා. සාමාන්‍යයෙන් සංගීතය කියන එක විතරක් අහන්න තරං ඇම්මක් තියෙන උන් නං ටිකක් අඩුයි. නමුත් කොයි කවුරුත් සින්දුනං අහනවා. හැබැයි අපි ගොඩක් වෙලාවට සින්දු අහන්නෙ අහන්නං වාලෙ කිව්වොත් හරි. කෙල්ලෙක්ට ට්‍රයි කරද්දි, බූට් එකක් එහෙම කෑවම නං සින්දු හිටු කියලා මතක් වෙනව වුණාට සාමාන්‍යයෙන් වෙන අවස්ථාවලදි අපි සින්දු සීරියස් ගන්නෙ නෑ.

හැබැයි ඩවුන් ටවුන් පල්ස් කියන්නෙ සීරියස් වැඩක්. අඩු ගානෙ මම එහෙම හිතන්න කැමතියි. ඒ නිසාම ඒක අළුත් වැඩක් විධියට අඳුණගන්න තවත් සාධකයක් එකතු වෙනවා. රහක් නැති දියාරු බෝරිං සංගීත ව්‍යාපෘති අතරෙ මේක දැණෙන වැඩක් වෙන්නෙ ඒක නිසයි.

මුල්ම කාරණේ ම‍ට මේක සම්පූර්ණයෙන්ම ජීර්ණය කරගන්න බැරිවීම. ඒ කියන්නෙ ගෙදර ඉඳන් නිදහසේ අහන තරම් අවබෝධයෙන් මේක පහලට යවාගන්න බැරි වීම. දැනීම්, විඳීම් අතින් නම් වැඩේ යන්තම් ෂේප් කරගත්තා. නමුත් මේක එතනින් නතර කරන්න පුළුවන් වැඩක් නෙවෙයි. දැනිලා විඳලා එතනින් නතර කරන්න නම් මේ ගැන මෙහෙම කතා කරන එකෙත් වැඩක් නෑ.

ඒ නොහැකි වීමට හේතු වෙන පළවෙනි එක කොළඹ ආවම හැදෙන හිසේ ඇම්ම. සාමාන්‍යයෙන් ඇම්ම තියෙන්නෙ වෙන තැනක වුණාට කොළඹදි හිසේ ඇම්මකුත් එනවා. ඒක මට මෙතනට සෙට් වෙන්න ලොකුම බාධකය වුණා කියල මට හිතෙන්නෙ. අනිත් කාරණේ ඒක බලන්න යන්න සෙට් වුණ උන් ටික. උන්ගෙ රහ තිබුණෙ වෙන තැනක ;-) එතන වෙන ප්‍රොජෙක්ට් එකක් තිබුණ නිසා ඒකට සෙට් වෙන එක ප්‍රධාන වුණා. ඒ නිසා මේ සටහන ලියන්නෙ ඩවුන් ටවුන් පල්සෙදි රැප් කියපු drill team එකේ සින්දු එකහමාරක් විතර යද්දි නැගිටල ආපු එකෙක්.

ඩවුන් ටවුන් පල්ස් නිකංම නිකං සංගීත ප්‍රසංගයකින් වෙනස් වෙන්නෙ කොහොමද? මේ ගැන දැනටමත් තැන් කීපයක කතා කරල තියෙනව මම දැක්ක. ප්‍රධානම දේ මේ ප්‍රසංගය වෙනුවෙන් ඉදිරිපත් වුණ ශිල්පීන් ප්‍රධාන ධාරාවේ නිර්මාණකරුවො‍ නොවීම. ඔවුන් විකල්ප සංගීතවේදීන් වීම. ඒක එහෙම වෙන්නෙ කොහොමද කියල මේක කියවගෙන යනකොට සමහර විට පත්තු වෙයි. අනිත් කාරණේ ලංකාවෙ අපි ඉන්න සමාජ තලයෙදි ලයිව් නෑසුණ සංගීතයක් වෙනුවෙන් ඉඩක් ලැබීම. ඒ සංගීතය තුල සිංහල චවන මීට පෙර ඇහුණට වඩා වෙනස් විධියකට හඬනැගීම.

ප්‍රසංගය සම්බන්ධ මතකය පින්තූර ටිකකට එහා ගෙනියන්න අවස්ථාවක් ලබා දීම තමයි අනිත් විශේෂත්වය. ඒ තමයි මහා Down Town Pulse පුස්ථකය.

පොත


මේ වැඩේ කරන බේකරියෙ සෙට් එකේ විරාජ් මහත්තය මෙතන කියල තියෙන විධියට ලංකාවෙ විකල්ප සංගීතයේ මෑත යුගයේ තදයො විධියට අපි දන්න ඉන්ද්‍රචාප, නදීක වගේ අයගෙ අදහස් නම් පොතේ නැති වුණාට ප්‍රමාණික දැනුමක් තියෙනවයි කියල හිතන්න පුළුවන් කට්ටියක් පොතේ ගොඩක් දේවල් කියල තිබුණ. මම හැමදාම හිතනව වගේ මුකුත් නැතිවට වඩා මොකක් හරි තියෙන එක හොඳයි. ඒ නිසාම පොත මරු! ඇරියස් ටික ඊළඟ පාර අල්ලමු!

පොත කියවද්දිත්, වෙනත් ලිවීම් කියවද්දිත් මට තේරුණේ අපි ඕනම දෙයක් තේරුම්ගන්න කලින් ඒව අපි දන්න ආකෘතිවලට රිංගවන්න යනවය කියන එක. ඒක අපි හැමෝම කරන වැඩක්. ඒ ගැන ඉස්සර දවසක ලිව්ව මතකයි මෙතන සහ ඊටත් ඉස්සර මෙතන. (දැන් ඒ අතීතය ගැන ඉරිසියයි ඕයි!) අපි ලේසියටයි එහෙම කරන්නෙ. මොකද අපි දන්නෙ නැති, ඉගෙනගෙන නැති දෙයක් ගැන තේරුම්ගන්න කරන්න වෙන හැදෑරීම කරන්න අපි මාර කම්මැලියි. නැත්තං එහෙම හැදෑරීමක් ඕනය කියල අපිට හිතෙන්නෙ නෑ. ඒ නිසාම අපි දන්න ස්ට්‍රක්චර්ස් කීපයක් අස්සට දාල හැමදේම තේරුම්ගන්න යනව. ‍

ඩවුන් ටවුන් පල්ස් කණ්ඩායම් ගැනත් එහෙම කියවීම් කීපයක් මම දැක්ක. නිර්මාණකරුවා ගේන යෝජනාව අහනව වෙනුවට තමන් හිතං ඉන්න එක ඇතුලට නිර්මාණකරුවව ගේන්න යන එක. හරියට අපිට ඉන්න බොස්ල වගේ. එලියට බැහැල කල්පනා කරන්න කැමතිම නෑ. කොහොම වුණත් ඒ හින්ද සමහර කියවන්නන්ට ‍ඩවුන් ටවුන් පල්ස් නිර්මාණකරුවන්ව අහුවෙන්නෙ නෑ. ඕනවට වඩා ගොඩක් පොත් කියෙව්වමත් ඔහොම ඒව වෙනව මගෙ හිතේ.

එකපාර පොතට පැන්නට මට මුලින්ම කියන්න ඕන එතනදි සහ පසුව හිතුණ අමු දේවල් ටිකක් ගැන. මට මුලින්ම හිතුණෙ ‍ඩවුන් ටවුන් පල්ස් අතරෙදි ඔය කියන පල්ස් දෙකක් අතරෙ හෙන පත සානුවක් තියෙනව නේද කියලයි. ඒ කියන්නෙ ලොකු පල්ස් දෙකක් අතර ලොකු ෆ්ලැට් ගතියක්. එහෙම වුණේ ගොඩක් සංගීත කණ්ඩායම්වල නිර්මාණ එකම ටෝන් එකකින් තිබීම. සමහර විට ඔවුන්ට තියෙන එකම නිර්මාණ ටික ඒව වෙන්න පුළුවන්. නමුත් මේක අළුත් වැඩක්, සහ ප්‍රසංගයක් නිසා තෝරගන්න ගීත අතරෙ පොඩි ටෝන්මය විවිධත්වයක් තිබුණ නම් හොඳයි කියල හිතුණ.

ගෝෂා - චින්තක ගීතදේව


අජිත් කුමාරසිරි මේ කැටගරියෙ තදයා හෙවත් ආරම්භකයා කිව්වොත් හරි. ඔහු ගැන අපි දන්නෙ අවුරුදු ගාණක ඉඳන්. ඒ නිසාම මේ විධියෙ සංගීතෙකට කැමති අය අතරෙ අජිත් දැන් ස්ටාර් කෙනෙක්. එදා ඒක මට තේරුණා. ඔහුට එහෙම වෙන්න ඕනවට වඩා අවශ්‍යතා සම්පූර්ණයි. නමුත් ඔහු ගායනා කරපු ගීත ගැන මගෙ කැමැත්තක් නෑ නයි නටවන එක ඇරුණම. මේ දවස්වල ජිනීවා කේස් එක ආයෙමත් නැගල යන නිසා මාත් එක්ක හිටපු එක්කෙනෙක් පෙරුම් පුරාගෙන හිටියෙ ඒක කියයි කියලා. ඒ කොහොම වුණත් ඒ වගේ තැනකදි කලින් අපි අහපු දන්න සින්දුවක් කිව්වනං ‍වඩා හොඳ වෙන්න තිබුණා.

අජිත් කුමාරසිරි


කලිනුත් කිව්ව වගේ ‍ඩවුන් ටවුන් පල්ස් අවබෝධයෙන් ජීර්ණය කරගන්න විධියක් නෑ එතන තත්ත්වෙ උඩ. ඒ නිසා අළුත්ම සින්දු යූ ටියුබ් හරි මොකක් හරි එකකින් අහනකල් දිරවගන්න එක ලේසි වෙන එකක් නෑ.

අනිත් එක ඩ්‍රිල් ටීම්. එයාල එනව කිව්වම මම සතුටු වුණා. නමුත් එයාල වෙනුවෙන් තිබුණ ඇරෙන්ජ්මන්ට් එක ටිකක් අවුල් වගේ. ඒ නැතත් මොකක්දෝ අවුලක් තිබුණා. එතන හිටපු ක්‍රවුඩ් එකට එයාලව අල්ලගන්න පුළුවන් වුණාද මන්දා. අපිත් රැඳිල හිටියෙ එයාල එනකල්. නමුත් මැදදි නැගිටින්න වුණා.

ඩ්‍රිල් ටීම්


සමහර වෙලාවට සින්දුවලට පොලිටික් කෑලි උවමනාවෙන්ම දාලද මන්දා කියලත් හිතුණා. ඒ වෙලාවෙ හිතුණෙ. දැන් මතක නෑ මොනව ගැනද හිතුණෙ කියල. සමහර විට විකල්ප වීමේ උවමනාවම ඒකට පෙළඹෙව්වද මන්දා. ඔතනදි විකල්ප වෙන්නෙ කොහොමද, ඇයිද කියන එකත් හිතන්න වෙනවා. ලෝකෙ එක එක කාලෙදි ඒ ඒ තත්ත්වයන්ට අදාලව විකල්ප සංගීතඥයො බිහි වෙලා ඇති. ඒ කියපු විකල්ප සංගීතය කියල අපි දන්නෙ සංගීතෙ ප්‍රධාන ධාරාවකට අභියෝගයක් කරන වෙනත් සංගීතයක් කියල නම් ඒක ‍මෙතනදි හරි. මොකද මෙතනදි එලියට ආපු වචන සහ සංගීතය අපි සාමාන්‍යයෙන් සින්දුවලින් අහන වචන හෝ සංගීතය නෙවෙයි.

සාම්ප්‍රදායිකව අපි අහපු සිංහල ගීතයෙ වචන වෙනස් කලේ චාමින්ද රත්නසූරිය කියලයි මට හිතෙන්නෙ. අජිත් කුමාරසිරිව මට අහුවෙන්නෙ ඊට පස්සෙ. ඩැඩීල අහුවෙන්නෙ ඊටත් පස්සෙ. වෙන කව්රු නව රැල්ලට සින්දු කිව්වත් ඒ වචන හරිම සාම්ප්‍රදායිකයි. හැමදාම අපිට ආදරේ විග්‍රහ කරගන්න හඳයි, වැවයි, ඇසුයි නැතිව අමාරුයි. දැන් දැන් මේ සංකේත ටික නාගරීකරණය වෙලා වුණාට යොදාගන්නෙ අර අර්ථයෙන්මයි. පැහැදිලි චිත්‍රයක් වගේ දර්ශණය ගානට මවල දෙනවා. ඇස් දෙක පියාගත්තම සමනල්ලු පියාඹනවා. දැන් නං සමහරු මුලින් වීඩියෝ එකට නටලා ඒකට හරියන්න තනුවක් දාලා ඒකට වචන දාලයි සින්දු හදන්නෙ කියල තේරෙනවා.

මොනව වුණත් අපි විඳින හැඟීම් අමාරුවෙන් හරි වචන කරන එක චාමින්දට, අජිත්ට සහ ඩැඩීට පස්සෙ මට ටොප් එකටම අහුවුනේ ‍ඩවුන් ටවුන් පල්ස් වලින්. ඒ වචන අළුත්!

ඒ එක්කම අමිල සඳරුවන් ගැන මට තිබුණ අදහස තව පළල් වුණා කියල හිතෙනවා මේකෙන්. එයාගෙ ස්වභාවික ගැයිල්ල මට මතක් කලේ බොබ් ඩිලන්ව. ඩිලන්ගෙ අහල තියෙන සින්දු අතරෙ ඔහුත් බොහොම ස්වභාවිකව හඬ හැසිරෙව්ව කියල මතකයි. අමිල කියන මේ සින්දුව ඊයෙ පෙරේදා දවසක හමුවීම ආයෙමත් අමිලව අළුත් කලා.




කව්රු මොනව කිව්වත් මෙහෙම තැනකට ආපු ‍ඩවුන් ටවුන් පල්ස් සංගීතවේදීන් ගැන මට තියෙන්නෙ ලොකු පැහැදීමක්. සංගීතය කියන එක අවශ්‍ය අයට ඒක පිපාසයක් වගේ එකක්. එහෙම එකේ මිරිඟු ගොඩක් එක්ක ඉඳල හිටල වතුර වලක් හම්බවෙන කාන්තාරෙක උන් කරන වැඩේ සිරා.

මම දන්නෙ නෑ එතන හිටපු කී දෙනෙක් කවදා වෙනකල් වැඩේ දිගටම කරයිද කියලා. මොකද ලංකාවෙ නෙවෙයි කොහෙදිත් ජීවත් වෙද්දි මාකට් එක ඕන වෙනවා. ජීවිතේ එක්ක ගනුදෙනු කරද්දි පැෂන් එක අතාරින්න සිද්ධ වෙන්න පුළුවන්. මමනං කියන්නෙ එහෙම වෙන දවසක අතෑරලා දාන්න කියලයි. නිකං පඩ ෂෝ සහ බයිල ගගහ අසාර්ථක ප්‍රොජෙක්ට්වල රැඳිල ඉන්න එපා.

මට අහුවුණ තව එකක් මේ විකල්ප කියන අයගෙ තියෙන සමාජ භීතිකාව ගැන කතා. මීඩියා භීතිකාව හෝ මීඩියා වලින් හැංගීම හෝ වෙනම කොටසක් විධියට කැපිල පෙන්න තියෙන උවමනාව කියල ගමු. ඒක මානසික අසහනයක්? මටනං එහෙම හිතෙන්නෙ නෑ. ඒ තරං මම එක්කෙනෙක්ගෙවත් ඇත්ත ජීවිතේ දන්නෙ නෑ. අර කලින් කියපු විරාජ්ගෙ ඉන්ටවිව් එ‍කේ තිබුණ විධියටනං මාධ්‍යවලට විකිණෙන්න ඕන නෑ කියල කට්ටිය කිව්වලු. අනේ මන්දා ඕවා.

උඹලට සල්ලි නෑ කියලනං මට හිතෙනව. තිබුණ නම් වීඩියෝවක් කරල දායි. මොකද ඇත්තටම එහෙම මීඩියාවලට ගියා කියල අවුලක් නෑ. සමහර විට යම් දවසක උඹල බලපෑමක් කරන්න පුළුවන් කොටසක් විධියට හැදෙද්දි ඒ අවකාශය ඕපන් වෙයි. එතකොට හැංගිල වැඩක් නෑ. හැබැයි මීඩියාවලට තමන්ව උරාගන්න දුන්නොත් විනාසයි. ඒක ගානට වෙන්න ඕන වැඩක්. පුළුවන් නම් මීඩියා එක්ක ගනුදෙනු කරන අළුත් විධියක් හොයාගනිල්ලා.

කිසිම දෙයක් නොකර ඉන්නවට වඩා උඹල කරන විධියට හරි කරන එක ලොකු දෙයක් කියල මම හිතන්නෙ. මොකද එහෙම නොකර ඉන්න අය ඉන්නවා. උන් වෙන වෙන බිස්නස් කරනවා. නැත්තං කම්මැලිකම හරි වෙන මොකක් හරි නිසා උන් මෙහෙම වැඩ කරන්නෙ නෑ. ඔය රියැලටි ප්‍රෝග්‍රෑම්වලින් එහෙම කුණු මුල්ලට වෙලා හිටපු උන්ට තල්ලුවක් දුන්නා. නමුත් අපි දන්නව රියැලටියෙන් එලියට එද්දි ගොඩක් විට උන් ආයෙත් හරි යන්නෙ කුණු මුල්ලටම තමයි කියල. මොනව වුණත් රියැලටියටවත් නොයා අතෑරල දාල ඉන්න උන්ට පට්ට මානසික අසහනයක් තියෙනව වෙන්න ඕන.

මේ ලියවිල්ලෙ තරංග ආයාමය සෑහෙන්න දිග නිසා නතර කරන්න වෙලාව හරි. අන්තිමේදි කියන්න තියෙන්නෙ කතා කාරයො මොනව කිව්වත් තමන්ට දැණෙනකල් වැඩේ ඇදගෙන යමු කියලයි. කොහොමත් අපේ රටේ න්‍යායකාරයො වැඩියි. ඒකට මාත් ඇතුලත්. දන්න මගුලකුත් නෑ කොරන උලව්වකුත් නෑ. දන්නෙ රටේ නැති මල විකාරවලින් කොල පුරවන්න විතරයි. ඒ පුරවන‍්නෙත් අනිත් මිනිස්සු කරපු කියපුව ගැන. ඒවත් ඕන තමා. හැබැයි ඒව බේස් කරගෙන වෙනස් වෙන්න උවමනාවක් නෑ. ඒ නිසා මම කියපුවවත් ගණං ගන්න එපා.

පුළුවන් තාක් දිගටම ගේමෙ ඉමු! ජය වේවා!



-----------------------------------------------------------------
පින්තූරවලට අනුග්‍රහය ලබා දුන් ලිෂාන්ට ස්තූතිය!

ඩවුන් ටවුන් පල්ස් පස්සෙන් යන්න ඕන නම්!
down town pulse on FB

Saturday, 9 March 2013

ගිලිහුන ස්වර - නදීක ගුරුගේ, ජගත් වික්‍රමසිංහ, අජිත් කුමාරසිරි


මේ කෙටි සටහන ලියවෙන්නෙ ගිලිහුන ස්වර වාර්තා වැඩසටහන බෙදාගන්න විතරමයි.

සංගීතය කියන නිමක් නැති අවකාශයේ තැන් තුනක ඉන්න තුන් දෙනෙක් ඒ ගැන කතා කරන දේවල් දැනගන්න!

නදීක ගුරුගේ, ජගත් වික්‍රමසිංහ සහ අජිත් කුමාරසිරි මේ කතා කරන්නෙ සංගීතය ඔවුන්ට දැණෙන විධියට.

අධ්‍යක්ෂ සංජීව අනුර සෙනෙවිරත්න කියන විධියට මේ වාර්තා වැඩසටහන මාධ්‍ය වලින් ප්‍රතික්ෂේප වෙලා තියෙනවා. ඒ නිසා ඔන්ලයින් මාධ්‍යය හැර මේක බලන්න වෙන විධියක් නැති වෙයි ;-)



Saturday, 2 March 2013

අදත් පිස්සු ඕයි!!!


කලින් සටහන ගැන දිනුක මතු කරපු කරුණුවලට උත්තර දෙනකොට හිතුණේ ඒ ගැනත් වෙනම ලියන්න තරං දේවල් තියෙනව කියල. ‍ඒ නිසාම මේ සටහනට එන්නෙ මට පිස්සු ඕයි එකේ දිගුවක්. ඒ නිසා මේකත් පිස්සු කතාවක් කියල අමතක කරල දාන්න පුළුවන්!

මිනිස්සු අතර ‍තියෙන බේද නැති වෙලා ලෝකය ෆ්ලැට් වෙලා යන එකක් ගැන අපි බයිල ගැහැවට සමහර විට අවුරුදු දාස් ගාණකින්වත් මිනිස්සු එහෙම එක තැනකට එන එකක් නෑ. සමාජයක් විධියට පවතින්න, කාලයත් එක්ක ඉදිරියට යන්න උවමනා කරන ඩ්‍රයිව් එක සපයන ප්‍රධාන සාධකයක් තමයි ඔය බෙදීම්. මොකද බෙදීම් නිසා සමාජය ඇක්ටිව් වෙලා තියෙනවා. බෙදීම් නැතිනං නිකං පරිප්පු නැති හෝටලේ වගේ ජීවිතේ මෙලෝ රහක් නැති වෙන්න තිබුණා. අනික බෙදීම් නැති සමාජයක අපි ජීවත් වෙලාම නැති නිසා එහෙම එකක් වුණාම කොහොම වෙයිද කියල හිතාගන්න බැරි තරම්.

මිනිස්සු තනි යායකට එනවා කියන්නෙ ඔය වෙනස්කම්වලට ගරු කරන්න හැඩගැහෙන එක. නැතුව ඒක සමාජවාදයක් නෙවෙයි මට හිතෙන හැටියට. සමාජවාදෙ ධනවාදෙට වඩා භයංකරයි ගොඩක් පැති වලින්. ඔය අන්ත දෙක අතරෙ මේ දැන් තියෙනවට වඩා හොඳ එකක් හොයාගන්න එක ලේසි වෙන එකක් නෑ. කැරකිලා කැරකිලා ඇවිත් ලෝකෙ ගොඩක් රටවල් තියෙන්නෙ මෙතන. හැබැයි ඒ සමහර රටවල බහුතරයකට හොඳ කොලිටි ජීවන තත්ත්වයක් ඇති කියල මට හිතෙනවා මිනිස්සු එක්ක කතා කරද්දි. මම කියන්නෙ වැඩ නොකර පඩි ගන්න එකක් නෙවෙයි. රටේ ආර්ථිකේ එක්ක හැමෝටම හොඳින් ඉන්න පුළුවන් විධියක්. ආර්ථික විද්‍යාව දන්න කෙනෙක් සමහර විට දැන් මේක කියවන එක නතර කරලා කියයි මූට ඇත්තටම පිස්සු තමයි කියලා.

අනිත් වෙනස්කම්වලට ගරු කරන්න බැරි හේතු ඕන තරම් ඇති. ගොඩක් දුරට වෙලා තියෙන එකක් තමයි අපි මෙහෙමයි කියල අනිත් අයට ඇනල කියන්න යන එක. ඔය මුස්ලිම් මිනිස්සු පල්ලියෙ යටිගිරියෙන් දවසට කීප වතාවක් බණ කියන එකයි පෝය දවස්වලට ගම දෙවනත් වෙන්න පන්සලේ බණ කියන එකයි දෙකම ඔය අතින් මහ මොංගල් දේවල්. තම තමන්ගෙ එක කරගෙන පාඩුවෙ හිටියනං හැමෝටම හොඳින් ඉන්න තිබුණා.

නමුත් අපි දන්නෙ නෑ අනාගතේ ගැන. අනාගතේ හොඳ වෙයි කියල හිතන්නත් බෑ. ඒ නිසා මේ ශිෂ්ඨ සමාජය ගැන කැක්කුමෙන්, බලාපොරොත්තුවෙන් ඉඳල ඇති වැඩේ මොකක්ද? අපි ඉන්නෙ පට්ට චාටර් සමාජෙක. ඒ නිසා හැමෝම වගේ අනාගතේ ගැන බලාපොරොත්තු අතෑරලා දාලා මේ තියෙන සිස්ටම් එකත් එක්ක එකතු වෙලා ඒකෙ මරිසින් අතරෙ නරුමයො වගේ ජීවත් වෙනවා. අනිකාට කෙල වුණත් අපි හොඳින් ඉන්න ඕන කියන න්‍යායෙ සවිඥ්ඥාණිකව ඉන්නවා. ඒ අතරෙ හෙන පොරතාවී බ්ලොග් පෝස්ට් ලියනවා ;-) අපි සේරම ඒ ගොඩේ ඉන්න නරුමයෝ. තවම වෙලා නැත්තං හෙට අනිද්දට හැමෝම නරුමයෙක් වෙන්න නියමිතයි.

හැබැයි පිස්සා එහෙම නෑ. ඌ උඩුගම් බලා පීනන්නෙක්. ඌට අඟලක්වත් උඩහට හෙල්ලෙන්න බැරි තරමට ග‍ඟේ පහලට ගලන ප්‍රවාහය සැර වැඩියි. ඒත් පිස්සා කාගෙන ඉන්නවා. මිනිහා අනාගතේ ගැන බලාපොරොත්තු අතෑරලා නෑ. ඒ නිසාම මිනිහට යාළුවො නැති තරං. ඉන්නෙ බොහොම ටිකක්. මිනිහගෙ පැවැත්ම අනිත් අයට දිරවන්නෙ නෑනෙ. ඔය අපි අහං හිටියට මිනිහගෙ කතා වෙන අය අහන්නෙ නෑ. ඒත් මිනිහ වැඩේ අතාරින්න සූදානම් නෑ.

මිනිහ පිස්සෙක් වෙන්නෙ ඒ නිසාමයි.

Wednesday, 25 July 2012

හිඟන ස්ටාර් අරමුදල

සල්ලි නැති කෙල්ලක් පාරෙ ගියපු ගෑණියෙක්ගෙ මාලයක් කැඩුවා. කෙල්ල පොලිසි ගිහින් කිව්වෙ මාර අනුවේදනීය කතා පුවතක්. ඒ කතා පත්තරවලින් පට්ට ගැහුව. ටීවී නිව්ස් පටි අස්සෙ සිංහල බාසාවෙ තියෙන ඇඬන වදන් වලින් තරුණියගෙ කතාව කොටස් කලා. ඒ මදිවට නිව්ස් කියන ඩයල් එක කතා කලේ කෙල්ලව කසාද බඳින්න වුණත් කැමති ගාණට.

තමන්ගෙ දුප්පත්කම වෙනුවෙන් එහෙම පියවරක් ගත්තු ඒ කෙල්ල දවසින් වීරයෙක් වුණා. එක අතකට සාධනීය වීරයො මැරිල ඉද්දි ඕන කෙනෙක්ට වීරයෙක් වෙන්න කරන්න තියෙන්නෙ එහෙම නීති විරෝධී වීරකමක් විතරයි.

බැරි වෙලාවත් ඕක කොල්ලෙක් කරානං උගේ ඇට නැතිව එන්න වෙන්නෙ.... නෑ නෑ.. ඌ තාම කූඩුවෙ එහෙනං.

ඒක කියනකොට මතක්වෙන්නෙම මේ දවස්වල හිට් වෙන නිව්ස් කෑලි. මම බොහොම සන්තොසෙන් ගෙදර ඉන්නෙ මේ දවස්වල ටීවී එක කැඩිල නිසා. නිකමටවත් ඔය කුණු නිව්ස් අහන්න සිද්ධ වෙන්නෙ නෑ. ඒ වුණාට ඔෆිස් ගිය ගමන් එතන ඉන්න ගෑණු ටික කලින් දා ගියපු කුණු නිව්ස් කියන්නෙ රහ කර කර.

ගෑණු දූෂණය කරපුව, ළමයි පිච්චුන ඒව, අම්මල කිරි බොන වයසෙ ළමයි දාල ගිය ඒව, පොඩි කොල්ලන්ව අපයෝජනය කරපුව රූප රාමුවෙන් රාමුවට විස්තර කරන්නෙ සියුමැලි ළඳවල් කියල බැලූ බැල්මට පේන ගෑණු. අනේ උන්ගෙ සියුමැලිකම. උන්ට හරියට ඒ අපරාධකාරයො දැන් මාර පොරවල් වෙලා වගේ කියල මට හිතෙනව. මොකද ඔය සිදුවීම් උස්සල දාල කියවන විධියට ඒව කරන උන් නිකංම ස්ටාර්ල වෙලා... ළඟදිම එකක් පටන්ගනියි එස්.එල්. පෝන් ස්ටාර් කියල. ඒ වෙනකොටනං ටී.වී. එක හදාගන්න වෙනව.

දැන් කාලෙ පොඩි කෙල්ලක් අපයෝජනය කරාම මාර පොරක් වෙන්න පුළුවන්. එහෙම කරපු උන් අල්ලල හිරේ දැම්මම උන් වෙනුවෙන් බැනර් උස්සන් පාරට බහින උන් ටිකකුත් ඉන්නවනේ.

එව්ව වැඩක් නෑ... ඔන්න අර මාලෙ කඩපු කෙල්ල අන්තර්ජාලෙ අස්සෙත් පොරක් වුණා. එයාගෙ කතාව ලෝකෙ පුරාම පැතිරුණා. ඒ එක්කම කවුදෝ කරපු යෝජනාවකින් කෙල්ල වෙනුවෙන් අරමුදලක් පටන්ගත්තා. ඒක ‍සෑහෙන්න නැගල ගියා. පරම්පරා ගාණකට හරියන්න කෙල්ලගෙ එකවුන්ට් එක පිරුණා.

මේක නිහඬව බලාගෙන හිටපු කීප දෙනෙක් වැඩේ අල්ලගත්තා. මේක මරු වැඩේ. හරියට අර බස් වලට නැගල තාත්ත පොල් ගහෙන් වැටුණ, කසාදෙ කැඩුණ අක්ක ළමයි දුසිමක් එක්ක ගෙදර ඇවිත් ඉන්න, ගෑණිට පිළිකාවක් හැදුණ, ළමයි හතර දෙනෙක් ඉස්කෝලෙ යන්න බැරිව ඉන්න, වගේ කතා කියල ලංකාවෙ දුගී දුප්පත් බස් මගීන්ගෙන්ම ගාණ කපාගන්න දුගී දුප්පත් අයියල කරනව වගේ වැඩක්.

ඔන්ලයින් හිඟමන් යැදීමක්. කොහොමද ඒක?

මේ කාලෙ හැම ඉලව්වක්ම ඔන්ලයින් නිසා හිඟමනට විතරක් එහෙම නොවී තියෙන්න බෑනෙ. අර ඉස්සෙල්ලාම සව්දි ගිහින් ආවම අපේ යාළුවෙක් කිව්ව වගේ 'උන්ගෙ බලු කූඩුවක් හැදුවත් ඒකත් ඒසී කරනව බං' වගේ වැඩක්. විශ්ව ගම්මානයට ලංකාව යද්දි හිඟන්නො ටික දාල යන්න බෑනෙ.

කට්ටිය වැඩේ පටන්ගත්තා. වැඩිය මතු වෙන්නෙ නැතිවෙන්න ගාණට වැඩේ ගියා. බො‍රුවට කරදරයට ලක්වුණ විධියට මිනිස්සුන්ව පෙන්නලා අරමුදල් හැදුවා.

වැඩේ නැගල ගියා.

මේක බලාගෙන හිටියෙ අන්තර්ජාලෙ හිටපු ආණ්ඩුවට සම්බන්ධ කට්ටියක්. අන්තර්ජාලය මාර්ගයෙන් සමාජ සේවය කියල සල්ලි හොයන එක හරි ලේසි වැඩක්. ඔය රට ඉඳන් වැඩ කරන උන් ලොකු ගණං දානවා. කම්පැණි වලින් ඇට්ටි හැලෙන්න ගරන්න පුළුවන්. එස් එම් එස් කැම්පේන් කරලත් බර ගාණක් හොයාගන්න පුළුවන්නේ....

උන්දල රැස්වීමකදි යොජනාවක් ගෙනාවා. අසරණ වුණ මිනිස්සු වෙනුවෙන් පිහිට වෙන අරමුදලක්. ඒකට ඔන්ලයින් දායක වෙන්න පුළුවන්. ලංකාවෙ යම් අසරණකමකට ලක්වෙන ඕන කෙනෙක්ට ඒකෙන් ප්‍රතිලාභ ගන්න පුළුවන්. මේක මරු වැඩක්. රාජ්‍ය ආරස්සාවත් තියෙනවනේ...

කට්ටිය ඔය යෝජනාව සකස් කරලා ලොක්කන්ට ඉදිරිපත් කලා.

‍හප්පා.... තවත් අරමුදලක්....!!!

ලොක්කන්ගෙ කටවල්වල කොන් කන්වලට ඇදුණා...

Tuesday, 28 June 2011

බ්ලොග් කියවන දානපතියාගේ සමාජ සත්කාරය



කන්නංගර මාවතේ ඇවිත් හැමදාම ලිප්ටන් වටරවුමෙන් වාහනේ දානකොට දකින දැන්වීම් පුවරුවල වෙනසක් රාජරත්න මහත්තයට තේරෙන්න අරන් ටික දවසක්. ටිකක් කල්පනා කරල බැලුවමයි තේරුණේ ඒ හන්දියෙ තියෙන මහ විසාල ඇඳුම් කඩේ ඉස්සරහ අර සින්දු කියන කොල්ලො දෙන්නගෙ විසාල දැන්වීමක් ගහලය කියල. නිකංම නෙවෙයි, නාටු වුණාට ලස්සන බලු පැටියෙකුත් එක්ක. ඩ්‍රයිවර් ආරියපාලගෙන් ඕක ගැන ඇහුවට ඒ මනුස්සය දැනගෙන හිටපු දේකුත් නෑ. කාර්යාලෙට ගිහින් මේ ගැන හොයල බලන්න ඕන කියල රාජරත්න හිතාගත්තා.

ඔෆීසිය හැමදාම වගේ කාර්ය බහුලයි. ඒත් ප්‍රධාන විධායක නිලධාරිය විධියට සුපුරුදු අත්සන් ගැහිලි කීපයකට පස්සෙ රාජරත්නට ඉන්ටනෙට් එකේ එහෙ මෙහෙ කැරකෙන්න පැයක දෙකක සුපුරුදු අවස්ථාව ගන්න පුළුවන් වුණා. රැස්වීම් වුණත් හැමදාම නෑනේ.

ලොකු කොල්ල පිටරට ඉඳන් ලියන බ්ලොග් එක අහම්බෙන් ඇහැ ගැහිල රාජරත්න මහත්තයත් දැන් බ්ලොග් කියවිල්ලට ඇබ්බැහි වෙලා. සාමාන්‍යයෙන් මුලින්ම ගුගල් රීඩරේ ඇදගෙන ඒකට ආපු අප්ඩේට් බලන්නයි රාජරත්න පුරුදු වෙලා හිටියෙ. ඊට පස්සෙ පිළිවෙලින් එක එක සින්ඩිකේටරේ පලවෙන බ්ලොග් කියවන්නයි හොඳ ඒවා රීඩරේට දාගන්නයි තමයි දවසෙ පැයක් හමාරක් විතර වෙන් වුණේ.

ඒ වුණාට අද මුලින්ම බලන්න ගත්තෙ කොළඹ හතේ නෝනගෙ කඩේ ඉස්සරහ ගහල තිබුණ කටවුට් එක ගැන.

වැඩි අමාරුවක් නැතිව ගුණවර්ධන නෝනගෙ බලු සත්කාරය ගැන හොයාගන්න රාජරත්නට පුළුවන් වුණා. ඒක ඇත්තටම හොඳ වැඩක්... රාජරත්න හිතුවා. ඒත් ඉතිං කිසිම පිළිසරණක් නැති මිනිස්සු ඕන තරම් ඉද්දි බල්ලන්ට මොකටද මේ සත්කාරේ? රාජරත්න මහත්තයට පොඩියට ඉරිසියාවකුත් හිතුණා. පරම්පරාවෙන්ම උරුම වුණ ව්‍යාපාර ටික මේ තරම් දියණු වෙලා තිබුණත් තමන්ට බැරි වුණානෙ ඔහොම එකක්වත් පටංගන්න. යන තැනකටවත් වැඩක් වෙන්න!

රාජරත්න මහත්තයටත් ඕන වුණා තමන්ට තියෙන ධනස්කන්ධයෙන් ටිකක් වැය කරල ප්‍රජා සත්කාරයක් කරන්න.

ටික දවසකට පස්සෙ ආයෙමත් ඔය පස්සපැත්තෙ ගේට්ටුව ගැන බ්ලොග් ලියන චාමි කියන දරුපවුල්කාරයා ලියපු බ්ලොග් සටහනක් රාජරත්න මහත්තය දැක්ක. ඒක නිකං කැරකිල්ල හැදෙන විධියෙ සටහනක් වුණාට රාජරත්න මහත්තයට ඒක තේරුම්ගන්න තරම් ඔළුව කරකවගන්න වෙලාවක් තිබුණෙ නෑ එවෙලෙ.

ඊට පස්සෙ කාර්ය බහුල මාස කීපයක් ගෙවිල ගියේ අර කටවුට් එක ගැනවත්, බලු සත්කාරය ගැනවත් වෙන කිසිම සත්කාරයක් ගැනවත් මහන්සි වෙන්න රාජරත්න මහත්තයට ඉඩ නොදී. එක දිගට වැඩ ගොඩක් කරද්දි බ්ලොග් අස්සෙ කැ‍රකෙන එකත් ටිකක් විතර මගඇරිලයි තිබුණෙ. හැමදාම පුරුද්දට බැලෙන One|Zero|Zero එක්ක ගොසිප් සයිට් ඇරුණම වෙන කිසිම එකක් කියවන්න වෙලාවක් තිබුණෙ නෑ.

ආයෙමත් ඔය සත්කාරෙ ගැන රාජරත්න මහත්තයට කල්පනා වුණේ One|Zero|Zero එකේ ගිය තවත් මල විකාර පෝස්ට් එකක් දැක්කම.

පාරෙ ඉන්න බල්ලොන්ට වඩා කොයි කරම් අහිංසකද හරියට කන්නවත් නැතිව පාරෙ ඉන්න හිඟන්නො? බල්ලො නම් කුණු බාල්දියක් හරි පෙරලගෙන කනව. හිඟන්නන්ට ඒ විධියටවත් කිසිම පිළිසරණක් නෑනෙ.

රාජරත්න මහත්තයට ආවෙ නියම අදහසක්. අළුතෙන් කැස්බෑවෙ පටන්ගන්න ඉන්න ඇළුමිනියම් බඩු ෆැක්ටරියෙ වැඩටත් මිනිස්සු ඕන වෙලා තියෙන එකේ පාරෙ ඉන්න හිඟන්නු කීප දෙනෙක්ටවත් සත්කාරයක් කරන්න පුළුවන්නම්....

රාජරත්න මහත්තය දවස් ගානක් මේ ගැන කල්පනා කලා. එයාට හිතුණෙම ඒක නියම අදහසක් කියල. ඒක හොඳ අදහසක් නොවෙන්න හේතුවක් රාජරත්න මහත්තයට හිතුණෙම නෑ. අන්තිමේ එයා කල්පනා කලා මේ ගැන කතා කරන්න හිඟන්නෙක් එක්කම.

සෙනසුරාදා වරුවෙන් ගෙදර යද්දි පිළියන්දල පහු කරපු ගමන් ටිකක් නිදහස් තැනක හිටපු හිඟන මනුස්සයෙක් රාජරත්න මහත්තය දැක්ක. අවුරුදු පනහක විතර පෙනුමක් එක්ක බැලූ බැල්මට අතපය හොඳට තිබුණ නිසා මේ මනුස්සය එක්ක කතා කරන එක හොඳයි කියල එයාට හිතුණ. වහාම ආරියපාලට කියල වාහනේ නවත්තගෙන රාජරත්න මහත්තය හිඟන මනුස්සය හිටපු පැත්තට ගියා.

"මේ උන්නැහේ..."

"ආ... මහත්තයෝ..."

හිඟන මනුස්සයගෙ මූණට එකපාරම දුකක් ආරූඪ වුණා. අත් දෙක රාජරත්න මහත්තය දිහාවට පාමින් ඒ මනුස්සය ඉස්සරහට ආව.

"උන්නැහේ මොකද කරන්නේ?"

"අර නෝන කෙනෙක් ගෙනත් දුන්න පාර්සලේ ලෙහාගෙන දැනුයි කාල ඉවර වුණේ මහත්තයෝ..."

තාමත් මනුස්සයගෙ අත ආයාචනා ස්වරූපයෙන් යමක් ඉල්ලන විලාසයෙන්...

"හා... මේ.... ලොකු උන්නැහේ රස්සාවක් හෙම කරන්න කැමති නෑ...?"

"අනේ ඉතිං අපිට කව්ද රස්සා දෙන්නේ... තිවුණ රස්සා වලටත් හෙණගහපු නිසානෙ මහත්තයෝ මේ අතපාන්නේ..."

මනුස්සයගෙ අත්දෙක දිහා බලපු රාජරත්න මහත්තයගෙ අත ඉ‍බේම සාක්කුවට ගියා. පර්ස් එකේ තිබුණ අඩුම කොලෙන් එකක් හිඟන්නගෙ අතට. ඒක තැඹිලි පාටට හිඟන්නගෙ අතේ ගුළි වුණා. මූණට ආපු සන්තෝසෙකුත් එක්ක.

"එහෙම නෙවෙයි... රස්සාවක් දුන්නොත් කරගෙන ඉන්න පුළුවන්ද?"

"රස්සාවක් කිව්වෙ මහත්තයො මොන වගේ එකක්ද?"

"දැන් ඔහේගෙ අතේ පයේ අමාරුවක් නෑනේ... ඇළුමිනියම් කපන මැෂින් හසුරුවන එක තමයි රස්සාව... අළුත් ඇළුමිනියම් වැඩපලක."

"එතකොට මහත්තයො පඩියකුත් දෙනවද?"

"නැත්තං මනුස්සයෝ රස්සාවක් දෙන්න කතා කරයිද? රුපියල් 15000ක් මාසෙට දෙනවා. නවතින්න තැනකුත් හම්බවෙයි."

මොන ප්‍රජා සත්කාරෙ වුණත් මිනිහෙක් වෙනුවෙන් දරන්න පුළුවන් ප්‍රයෝජ්‍ය වටිනාකම ගැන රාජරත්නට දැනුමක් තිබුණා.

"එතකොට කෑම බීම?"

"ඒව සපයගන්න නෙව පඩියක් දෙන්නේ? මොකද කියන්නේ...? ඔහේට එහෙම වැඩ කරන්න පුළුවන් නම් රස්සාව තියෙනවා."

"අනේ මහත්තයෝ...."

හිඟන මනුස්සයගෙ මුහුණට ආවෙ පුංචි හිනාවක්!

"ඔය කියන විධියට මහත්තයො මට දවසකට පඩිය එන්නෙ රුපියල් පන්සීයක් විතරනේ... මම බස් වලට නැගල, පාරෙ හිඟා කාලත් දවසකට රුපියල් අටසීයට වඩා හොයනව මහත්තයෝ... අනික කෑම? උදේට නම් ඔය පාන් කෑල්ලක් කඩෙන් ගත්තට දවල්ට හම්බවෙනව රෑටත් හරියන්න හොඳ බත් එකක් දෙකක් හැමදාම. එහෙමත් දවසකට තමයි කඩෙන් කෑම ගන්න වෙන්නේ..."

"ඒ කියන්නෙ ඔහේට මේ රස්සාව හොඳයි මම දෙන්න යන එකට වඩා...?"

"ඒකනේ මහත්තයෝ.... වැඩක් කියල කරන්න දේකුත් නෑ නෙව... කම්මැලිනං නිකං හිටියා... අපේ එව්වො එකෙක්වත් මහත්තයගෙ රස්සාවට එන එකක් නෑ..."

රාජරත්නට බඩ කපාගන්න හිතුණා...

ආපහු වාහනේට නැගල ගෙදරට යන ගමන් රාජරත්න කල්පනා කලේ බල්ලො වෙනුවෙන් කරන්න පුළුවන් දේවල් මිනිස්සු වෙනුවෙන් කරන්න බැරිවීම ගැනයි. ඒත් සමහර විට පාරෙ ඉන්න බල්ලෙක්ගෙන් ඔය කතාවම ඇහුවොත් සමහර විට උගෙ උත්තරෙත් ඔයිට වෙනස් වෙන එකක් නැති වෙන්න තිබුණා. උනුත් හිතපු තැන ලැග්ගා... හිතපු දේ කෑවා... හිතුණු බැල්ලියෙක් එක්ක පෙම් කෙලියා... ඉඳල හිටල ගල්පාරක් කෑවට නිදහසේ හිටියා... දැන් කොහෙද එහෙම නිදහසක්? ගුණවර්ධන නෝන කරන්නෙ බලු අයිතීන් උල්ලංඝනය කරන ඕනම නැති වැඩක්. රාජරත්න එහෙම හිතුව...

හිතේ තිබුණ බර ටිකක් හෑල්ලු වුණා.


-----------------------------------------------------------------------------------------

රාජරත්ත මුදලාලිට ප්‍රජා සත්කාරයක් කිරීමට අවශ්‍යයි නම් බ්ලොග් අවකාශය වෙනුවෙන් යමක් නොකරන්නේ මන්ද? හොඳ සින්ඩියක් වෙනුවෙන් වියදම් නොකරන්නෙ මන්ද? යුධ අනාථයින් වෙනුවෙන්, රණ විරුවන් වෙනුවෙන් වියදම් නොකරන්නේ මන්ද? වැනි ඕන නැති ප්‍රශ්ණ නොඅසන්න.

Thursday, 2 December 2010

පහු වුණ මොහොතක...

මම තනියම

මමයි පෙම්වතියයි

මමයි පවුලෙ උදවියයි

මමයි යාළුවොයි

මමයි සමාජයයි