Thursday 27 August 2020

The Boy Who Harnessed the Wind (2019) - චිත්‍රපටිය ගැන අදහස්

 



ස්පොයිල් විය හැක

මේ චිත්‍රපටිය බලන්න ගන්නෙ චිත්‍රපටි ගෘප් එකකින් ලැබෙන ඔත්තුවක් මත. චිත්‍රපටියෙ නමින්ම ඉඟි කරන විදියට මේක ධනාත්මක සිතුවිලි ඇති කරන චිත්‍රපටියක්. තමන්ගෙ සීමා බිඳගෙන ඉදිරියට යන ජීවිතයක් පිළිබඳ චිත්‍රපටියක්. එහෙම චිත්‍රපටි මහ ලොකු ගාණක් නැතත් තියෙන ඒව බැලුවම දැනෙන හැඟීම් ජීවිතේ ගැන සුබවාදී සිතුවිලි ඇති කරනව. ඒකට ඒ චිත්‍රපටිය හැදෙන්නෙ මොන රටේද, උන් කතා කරන්නෙ මොන භාෂාවද, උන් මොන පාටද, තේමා වෙන්නෙ මොකක්ද වගේ කිසි දෙයක් අදාළ නෑ. මිනිස්සු විදියට තමන් උපන් ජීවන තත්ත්වය ස්වෝත්සාහයෙන් වෙනස් කරගෙන වඩා පහසු ජීවන තත්ත්වයක් කරා යන චරිත අපිවත් දිරිගන්වනව. මේ චිත්‍රපටිය බලන්න ගන්නෙම ඒ අදහස ඇතිවයි.

Chiwetel Ejiofor කියන නළුවාගේ නම කවදාවත් මතක තිබුණේ නැහැ. ඔහු රඟපෑ මතක ඇති රංගනයක් තියෙන්නෙ 12 years a slave චිත්‍රපටියෙ පමණයි. නමුත් චිත්‍රපටි ගණනාවක සහය නළුවෙක් විදියට පෙනී සිටි ඔහුගේ පෞරුෂය හිතේ ඇඳිල තියෙන එකක්. මේ චිත්‍රපටිය ඔහුගේ අධ්‍යක්ෂණයක්. තිර රචනයත් ඔහුගේමයි. කරන චරිතයත් කරනව උපරිමයෙන්ම.

මලාවි රාජ්‍යයේ දිළිඳු ගොවි පවුලක අවුරුදු 13ක පුතා ඇහිඳගන්න දැනුමකින් තමන්ගෙ පියාගෙ වගාවට වතුර පොම්ප කරන්න සුළං මෝලක් නිර්මාණය කිරීම තමයි චිත්‍රපටියෙ තේමාව වෙන්නෙ. ඒක බැලූ බැල්මට මහ ලොකු දේකුත් නෙවෙයි වගේ පෙන්න පුළුවන්. නමුත් එහෙම තීරණයක් ගන්න ඔහුට සිද්ධ වුණේ ඇයි කියන එක චිත්‍රපටිය පුරාම විහිදුවන ඛේදනීය හේතුවක්. ඒ තීරණය ගන්නෙ ඔහුගෙ කුතුහලය නිසා විතරක්ම නෙවෙයි. කුතුහලය ඔස්සේ යන්න පුළුවන් යම් දුරකට. නමුත් බාධක නොසලකා මිනිහෙක් වෙනස් වැඩකට බහින්නෙ විකල්පයක් අවශ්‍ය නිසා. විකල්පයක් සෙවීම ඔහුගේ වැඩක් බවට පත් කරගත්ත නිසා. තමන්ට කල හැකි දෙයින් වැඩක් ගත්ත නිසා. මිනිස් ශිෂ්ටාචාරය ලෝකය වෙනස් කරන මට්ටමට සංවර්ධනය වෙන්නෙම එහෙම මිනිස්සු නිසා. ඒ අර්ථයෙන් ගත්තම විලියම් කම්ක්වම්බා කියන දරුවා මිනිහෙක්.

චිත්‍රපටිය පුරාම දකින්න ලැබෙන මානව බැඳීම් හා ඝට්ටනයන් ඉතාම සංවේදීයි. පවුල පිළිබඳවත් සාමූහිකත්වය සහ සහජීවනය පිළිබඳවත් මේ ජනතාව තුළ තියෙන ආකල්පය බොහොම ගෞරවණීය එකක් බව පේනවා. ඒ වගේම ඒක පාරම්පරිකව උරුමකරගෙන ආපු වටිනාකමක් බවත් පේනවා. ඉපදුන නිසා ජීවත් වෙනවාට වඩා වටිනාකමක් එකිනෙකා සම්බන්ධයෙන් ඔවුන් තුළ පවතින බව පැහැදිලියි. නමුත් චිත්‍රපටියෙ කියවෙන කාල සීමාව වෙද්දි දේශපාලකයන් විසිනුත් ව්‍යාපාරික ප්‍රජාව විසිනුත් ජනතාව සතු ඒ වටිනාකම් වෙනස් කරමින් ලාභ ප්‍රයෝජන ලබා ගන්න විධිය චිත්‍රපටිය තුළට යොදාගැනීමෙන් චිත්‍රපටියේ වටිනාකම තව ඉහළ ගිහින් තියෙනවා.

චිත්‍රපටිය හැදෙන්නෙ පොතකින්. පොත ලියල තියෙන්නෙ විලියම් කම්ක්වම්බා විසින්ම තම අත්දැකීම ඇසුරිනුයි. පොත කියවන්න හොයාගැනීමේ උවමනාවකුත් තියෙනවා. අප්‍රිකානු කලාපයේ ජීවිත ගැන වඩා යථාර්ථවාදී විස්තරයක් චිත්‍රපටියටත් වඩා පොත තුළ විස්තර වෙනව ඇති කියල හිතෙනවා. කවුරුන් හෝ ඒක පරිවර්තනය කරනවානම් පැති කීපයකින් රස විඳින්න පුළුවන් කෘතියක් වෙයි කියලත් හිතෙනවා.

මේක නාට්‍යමය චිත්‍රපටියක්. දූවිලි පිරුණු කාෂ්ටක කැළඹිලි සහිත ගමනකින් ඔබව නිල්ලත් සැනසිල්ලත් පිරුණු අවසානෙකට ගෙන යන චිත්‍රපටියක්. එහෙනම් බලන්න!


https://www.imdb.com/title/tt7533152/

No comments:

Post a Comment

මං ඔයාගෙ එකේ බයිල ගහන නිසාවත් ඔයා මාව දන්න නිසාවත් නෙවෙයි. මගේ වමනෙ පාර දැකල ඔයාලටත් වමනෙ යන්ඩ වගේ එනවනම් විතරක් මේ කොමඩ් එකට දාන්ඩ!