Monday 3 August 2020

සූස්ති (2020) - සිංහල චිත්‍රපටිය ගැන අදහස්


ස්පොයිල් වීමට ඉඩ තිබේ.

මේ චිත්‍රපටිය හෝල් එකකට ගිහින් බලන්න පුළුවන් වෙයි කියල හිතුණ එකක් නෙවෙයි. ඒකට විවිධ හේතු කීපයක්ම තිබුණා. නමුත් කලින් සැලසුම් කරගෙන හිටපු දේවල් කීපයක් වෙනස් වීම නිසා සූස්ති චිත්‍රපටියත් ඇවිලෙනසුලුයි චිත්‍රපටියත් එකම දවසක එකම ශාලාවක 10.30ට සහ 1.30ට බලන්න පුළුවන් වුණා.

සූස්ති චිත්‍රපටියෙ ට්‍රේලර් එකවත් නොබල ඒ ගැන කිසිම දෙයක් කියවන්නෙවත් නැතුව හිටි පසුබිමකයි මම හෝල් එකට ගියේ. රෝඩ් ට්‍රිප් වර්ගයේ චිත්‍රපටියක් බවත් දසුන් පතිරණ රඟපාන බවත් විතරයි මට මතක තිබුණෙ. චිත්‍රපටියෙ විනාඩි පහළොවක් විතර යනකල්ම මම හිතුවෙ දසුන් ප්‍රධාන චරිතෙකට ඇති කියලයි :P

චිත්‍රපටිය ගැන මට හිතුණ සමස්ත අදහස ගත්තොත් කියන්න වෙන්නෙ ‘මරු! තව පොලිෂ් වුණා නං මරේ මරු‘ වගේ එකක්. එහෙම එකක් ඉබේම දැනෙන එක වළක්වන්න බෑ. මේ වෙද්දි ලංකාවෙ මිනිස්සු සැලකිය යුතු පිරිසක් අඩු ගානෙ චිත්‍රපටි සහ ටෙලි නාට්‍ය සම්බන්ධයෙන් ජාත්‍යන්තරය ඇසුරු කරන අය. ඒ නිසා එයාලව රවට්ටන්න බෑ.  ඒ නිසා ඒක සාමාන්‍යයෙන් හැම විදියෙම චිත්‍රපටි බලන මනුස්සයෙක්ට හිතෙන්න පුළුවන් දෙයක්. ඉතිං මට හිතෙන දේ ඒක. වැඩේ මරු. තව ටිකක් පොලිෂ් වුණානං තවත් මරු. හැබැයි ලංකාවෙ වැඩක් විදියට නියමයි. සූස්ති කොහොමත් බහුතරයක් මිනිස්සු නරඹන්න ඉඩ තියෙන වර්ගයේ චිත්‍රපටියක් නෙවෙයි. නමුත් බහුතරයකගේ රසාස්වාදය විවිධත්වය දිශාවට තවත් නැඹුරු කරන්න කරන වෑයම දිගටම සිදුවිය යුත්තක්. දෙදාස් පන්සීයේ සහ පන්සිය පනහේ ම හිරවෙලා ඉන්න ඕන නෑ. සූස්ති කියන්නෙ ඒ විදියෙ සාම්ප්‍රදායික ප්‍රේක්ෂකයිනුත් ආකර්ෂණය කරගන්න පුළුවන් විදියෙ චිත්‍රපටියක්. ඉතිං ඒක බලල රස විඳපු බහුතරයක් නොවන අය විසින් පෙළඹවීමක් ඇති කල යුතුයි. මේ වෑයම ඒ වෙනුවෙන්.

‘සූස්ති‘ සිනමාවේ විවිධත්වය හොයන ප්‍රේක්ෂකයා නොරවටන චිත්‍රපටියක්. මේ වගේ බටහිර හෝ යුරෝපීය චිත්‍රපටි ගණනාවක් බලල තිබුණත් මේක ඊට වෙනස්. මොකද මේ රෝඩ් ට්‍රිප් එක අස්සේ ලංකාවෙ මේ මොහොතේ ඇත්ත අල්ලගෙන තියෙනවා. ‘සූස්ති‘ අපි ජීවත් වෙන සමාජය නිරුවත් කරල අපේ මූණටම දමල ගහන චිත්‍රපටියක්. සිංහල සිනමාව කියන එක මේ හැරෙන පැත්ත, එහෙම නැත්තං බෙදෙන අත්ත ශක්තිමත් වෙන්න ඕන කියන එකයි මගේ එකම පැතුම. මොකද මේක ෆිල්ම් ගැනත් සමාජය ගැනත් ස්ටඩි එකකින් එන එකක් මිස ෆිල්ම් හදන්න උපකරණ තියෙන නිසා එළියට ආපු වැඩක් කියල පේන්නෙ නෑ. එහෙම එකක් සම්පූර්ණයෙන් ගොඩ යන්නෙ මිනිස්සු ඒක බැලුවොත් තමයි.

කළණගෙ ලිවීම් ගැන මම දැනගෙන හිටියෙ ඔහු කවි පොතක් පළ කරපු බව කියවල තිබුණ නිසා. යූටියුබ් එකේ දැක්ක සම්මුඛ සාකච්ඡාවකදි ඔහු උත්තර දෙන විදියෙන් ඔහු කියවීමක් හැදෑරීමක් සහිතව වැඩේ ඇතුළෙ ඉන්න මනුස්සයෙක් කියන අදහසත් මට තිබුණා. ඒ නිසා ඔහුගේ ලිවිල්ල ගැන බලාපොරොත්තුවක් තිබුණා.

ලිවිල්ල ඉතාම හොඳ තැනක තිබුණත් තවත් මටසිළුටු කරන්න තිබුණා කියන අදහස මට තියෙනවා. චිත්‍රපටිය තුළ ගොඩනැගෙන සංවාදය දියුණුයි. ඒත් සමහර දෙබස් අස්සෙ ප්‍රායෝගික නැති තැනක් දෙකක් බලද්දි අහු වෙනවා. ඒක වෙන්නෙ චිත්‍රපටියට යොදවාගෙන ඉන්න මයින්ඩ් එක බිඳවැටීම නිසා. හරියට වීඩියෝ එකක ග්ලිච් එකක් වගේ එහෙම ස්වභාවික නොවෙන පොලාපැනීම් තේරෙනවා. ඒ සංවාදය තව ටිකක් බිමට ගේන්න පුළුවන්ද කියල මම දන්නෙ නෑ. සමහර විට පිටපත් ගැන තව තවත් සාකච්ඡා කළා නම් එහෙම වෙනස් වෙන්න තිබුණා. සමහර විට මෙ චිත්‍රපටිය ගැන ඔවුන්ගේ සාකච්ඡාවල දිගුව එළියට එන්න ඉඩ තියෙන්න ඊළඟ නිර්මාණයේදි වෙන්නත් පුළුවන්. එහෙම වෙන්න කියන එකත් මගේ පැතුමක්.

ඒ උඩින් කියපු දේ සෑහෙන්නෙ මගඇරෙන්නෙ කළණ සහ සමනලීගෙ රඟපෑම නිසා. කලින් සමනලී රඟපාපු එකක් බලල නෑ වගේම කළණව ගත්තොත් මම ඔහුගේ කූඹියෝ ටෙලියවත් සම්පූර්ණයෙන් බලල නෑ. මට හිතෙන්නෙ සමනලීගෙ රඟපෑම චිත්‍රපටිය පුරාම අපූරුයි. කළණගේ දෙබස් ඩිලිවරිය සමහර විට ඔහුම ලියපු නිසාද මන්දා ඉතාම ස්වභාවිකයි. දෙන්නම චරිතය තේරුම් අරන් සීන් එකේ ඉන්න බව තේරෙනවා.

අනිත් අතට මට හිතෙන්නෙ මේකෙ ඉන්න දෙමව්පියො දෙන්න ඕනම නෑ කියලයි. ඒ දර්ශන කීපය විසින් ෆ්ලෝ එක කඩල දානව වගේම ඒ ටික නොතිබුණා කියල කතාවෙ තීම් එකට ලොකු බාධාවක් වෙන්නෙ නෑ. සමහර විට ප්‍රධාන නළු නිළි දෙපළගේ සාකච්ඡා අස්සෙ නොකියවෙන කෝණයකුත් චිත්‍රපටිය අස්සට දාන්න කුෂාන් සහ කළණ දෙන්නට ඕන වෙන්න ඇති. සාමාන්‍යයෙන් මුලින්ම නිර්මාණයක් කරද්දි වෙන ප්‍රශ්නයක් ඒක. තියෙන ඔක්කොම රිංගවන්න යන එක. සමහර විට චිත්‍රපටියේ ගලායාම කඩල පොඩි විවේකයක් දීම අරමුණක් වුණා වෙන්නත් ඇති.

මේකෙ සංගීතයත් ගීතයත් ගේන වයිබ් එක නියමයි. කැමරාව මෙහෙයවීම වෙනම වැඩක්. එක දිගට සෑහෙන්න වෙලාවක් රූපගත කරපු දර්ශන කීපයක්ම තිබුණා. කලින් එහෙම වැඩ තියෙන සිංහල චිත්‍රපටි දැකල තිබුණෙ නැහැ. ඒ දීර්ඝ දර්ශන අස්සෙ ඇදෙන දෙබස් තියෙනව කියන්නෙ කට්ටිය වැඩේ ෆුල් සීරියස් අරන් කියන එකයි.

අපේ රටේ (ලෝකෙමත් සමහර විට) මේ වෙනකොට තියෙන සමාජ විපරිත බව ඇතිවෙන්නෙ අධ්‍යාපනය අවුල් වීම නිසා කියල මට හිතෙනව. ඉවසීම, විනය වගේ වචන නොදන්න, ප්‍රශ්නයක් දිහා විවිධ පැතිවලින් බලන්න නොතේරෙන, අන්‍යෝන්‍ය ගෞරවය රැකගෙන වැඩ කරන්න නොතේරෙන මිනිස්සු පේනව වැඩියි. ඒක ක්ෂණිකව වුණ දෙයක් නෙවෙයි. ආර්ථික සමාජ පද්ධතීන් වෙනස් වීමත් එක්ක ඒකට හැඩගැහෙන ක්‍රමවේද අප්ඩේට් නොවීමේ අවුලක්. ඒක මේ වෙද්දි අපේ සමාජෙ පුරාම පැතිරුණු එකක්.  එපා වෙන තරමට හැම තැනකදිම හමුවෙන, රිපීට් වෙන දෙයක්. ඒ අස්සෙ ඔය සේරම එපා වෙලා ඉන්න කෙනෙක්ට බොහොම සුළු සිදුවීමක් ඇති ජීවිතේ එපා වෙලා මැරෙන්න ඕන වෙන. එහෙම වෙලාවක ජීවිතේ වෙනස් විදියකට දකින්න පෙළඹවීමක් ඇති වෙන්න තප්පරයක් ප්‍රමාණවත් වෙයිද?

මේ චිත්‍රපටිය එක්තරා විදියක පරීක්ෂණයක් කියල මට හිතෙනවා. ලංකාවෙ මේ වගේ ස්ක්‍රිප්ට් එකකට යන්න පුළුවන් දුර මොන වගේද කියන එක පරීක්ෂාවට ලක් වෙන තැනක්. දේශපාලනය ගැන ඇක්ෂන් මට්ටමේ නිර්මාණ බිහි වෙලා තිබුණත් ඒක දාර්ශනික පැත්තකින් ගොඩනගමින් බිහිවුණ චිත්‍රපටියක් මම බලල නෑ. මම හිතන්නෙ මේක ඒ වගේ වැඩවලට හොඳ ප්‍රවේශයක්. සමාජය ගැන කියවීමක්, සංවාදයක් ඔළුවට දාන චිත්‍රපටියක්. මේ කාලෙ හැමෝම සමාජ දේශපාලනික විශ්ලේෂකයෝ වෙලා ඉන්න නිසා මෙහෙම එකකට වටිනාකමක් ලැබෙයි කියල හිතනවා. මේ ලංකාවට අවශ්‍ය ටිත්‍රපටියක්. අපේ ජීවිත ගැන සංවාද කරන අපේ චිත්‍රපටියක්.

හැබැයි ඒ සංවාදය හෝල් එකෙන් එළියෙත් සිද්ධ විය යුතුයි. නිර්මාණය මගින් ඇති කරන සමාජ බලපෑම ක්‍රමයෙන් සමාජයේ වෙනස් වීමට බලපෑ යුතුයි. ඉතින් ඔබ සූස්ති නැරඹිය යුත්තේ ඒ නිසයි.

https://www.imdb.com/title/tt10827784/


No comments:

Post a Comment

මං ඔයාගෙ එකේ බයිල ගහන නිසාවත් ඔයා මාව දන්න නිසාවත් නෙවෙයි. මගේ වමනෙ පාර දැකල ඔයාලටත් වමනෙ යන්ඩ වගේ එනවනම් විතරක් මේ කොමඩ් එකට දාන්ඩ!