Showing posts with label hospital. Show all posts
Showing posts with label hospital. Show all posts

Monday, 2 April 2018

අහිමි වීම් ගණනාවකට පසු...


අහිමි වීම තරම් ජීවත් වන පෘතග්ජනයකුට වේදනාකාරී දෙයක් නොමැත. එය නොසැලකිය හැකි කුඩා වස්තුවක සිට ආදරණීයයකුගේ අහිමිවීමක්, නැතිනම් හෘදයාංගම හැඟීමක අහිමිවීමක් යනාදී වශයෙන් ඕනෑම දෙයක අහිමි වීමක් විය හැක.

බොහෝ දෙනා තම ආදරණීයයෙක් මිය යාම දරාගත නොහැක්කැයි සිතති. එහෙත් ඊටත් වඩා රිදවනාසුලු අහිමිවීම් තිබේ. සදාකාලිකව නැත්තටම නැතිවී අහිමිවීමට වඩා දෑස් මානයේ පෙනි පෙනී දෑත් මානයේ දැවටෙමින් තිබියදී අහිමි වී තිබීම දරාගත හැක්කක් නොවේ.

මා සිවිලිම දෙස බලමින් කල්පනාකාරීව සිටිනා වාට්ටුවේ මට ඉදිරි ඇඳේ නිදනා හැත්තෑ විය ඉක්ම වූ ගුණසේකර අංකල් මා රෝහල්ගත වූ දින සිටම එහි රැඳී සිටින්නෙකි. ඔහුගේ ඇසක කාචය අලුත් කිරීම සඳහා ඔහු රෝහල්ගත වී ඇත. ඇස් තුල පීඩනය ඉහල ගොස් තිබීම හේතුවෙන් එය යථා තත්ත්වයට පත් වන තුරු රැඳී සීටීමට ඔහුට සිදුව ඇත.

ගතවූ දින කීපය තුල ආශ්‍රය ඇතිවූ රෝහල් මිතුරන් අතර ගුණසේකර අංකල් අති විශේෂ නැත. ඇත්තෙන්ම මෙම දින කීපය තුල තදින් වැටහුණු කරුණක් නම් විශේෂ පුද්ගලයින් යනුවෙන් කිසිවකු නැති බවයි. සියල්ලන්ටම ඇත්තේ පුවත්පත්වල ප්‍රවෘත්ති මවනා සාමාන්‍ය මිනිසුන් සතු සාමාන්‍ය ජීවිතයි. ඒවා සුවිශේෂ නැත. එහෙත් අවශ්‍ය කෙනෙකුට හදාරන්නට තරම් වටිනා ඉතිහාසයක් සියලු ජීවිතවල ඇත.

ගුණසේකරගේ එකම පුතා බොහෝ කාලයක් වෑයම් කර වෛද්‍ය උපදෙස් පිළිපැද වදාගත්තකු වන අතර එකා යකා තත්ත්වයට පසු කාලීනව පත්ව ඇත. පුතා ඔහුගේ බිරිඳගේ පැත්ත ගැනීම දරාගත නොහැකිව ගුණසේකරගේ බිරිඳ මිය ගොස් වැඩි කාලයක් ඉක්ම ගොස් නැත. දින දෙකකට පමණ වරක් පුතා හෝ ලේලිය ගුණසේකර බලන්නට පැමිණේ. ඔවුන් සමග ගුණසේකරගේ වැඩි ඇයි හොඳැයියක් නැති බවද පෙනේ. එහෙත් ඒ පුතාගේ හෝ ලේලියගේ හැසිරීම් අනුව ඔවුන් නරුම මිනිසුන් යැයි මට හැඟෙන්නේද නැත.

ගුණසේකර අංකල්ගේ කතාව පමණක් අසා ඔහුගේ දරුවන් ගැන තීරණය කල නොහැක. සෑම කතාවක් සඳහාම අඩු තරමින් දෙපැත්තක් ඇත. ඒත් අප පුරුදුව ඇත්තේ එක් පැත්තක කතාවට විතරක් සවන් දීමටය.

රෝඩ් රනර් කාටුනයේ දක්ෂයා කොයෝටේ නම් වෘකයායි. තාක්ෂණික සැලසුම්කරුවකු හෝ ඉංජිනේරුවකු වශයෙන් කොයෝටේට හපන් කිසිවකු ලොව නැත. උත්සාහය අතින්ද ඔහුට සමවන කිසිවකු නැත. ඒත් නිරන්තරයෙන් ජය ගන්නේ රෝඩ් රනර් නම් පැස්බරායි. රෝඩ් රනර් කොයෝටේගේ උගුල්වලින් බේරී යාම ගැන සතුටු වන අප කොයෝටේගේ කතාව අසන්නට හිතන්නේවත් නැත. ඇත්ත වශයෙන්ම ඒක පාර්ශවිකව හිතන්නට අපව හුරු කල ළමා කාටුන් සියල්ලේම තත්ත්වය එකය. මෙම තත්ත්වය පෙන්වාදෙමින් නිර්මාණකරුවෙකු විසින් කරන ලද කාටුන් චරිතවල විකල්ප අවසානයන් දැක්වෙන පින්තූර ඇල්බමයක් බුකියේ සැරිසරනු පසු කලෙක දුටිමි. එහෙත් තීරණ ගැනීමේදී අපි තවමත් ඉන්නේ ඉතාම පටු සීමාවකය.

පසුගිය දින වාට්ටුවේ සිට ජාතික රෝහලේ අනතුරු ඒකකය වෙත මාගේ වැලමිට පෙන්වීම සඳහා ගිලන් රථය තුල ගමන් කල අවස්ථාවේදී හමුවූ මැදිවිය ඉක්ම වූ කාන්තාවගේ කතාවද ඇත්තෙන්ම සාමාන්‍යය. ඇගේ දෙවන සැමියාගේ බීමත් වීරකම් හේතුවෙන් ඇගේ දකුණු ඇස තුවාල වී ඇත. ස්වාමියා සැඟව ගොස් ඇති අතර ඇය තනිව විත් රෝහල්ගතව ඇත. ඇයට දරුවන් සිටින්නේ පළමු විවාහයෙනි. පළමු සැමියා හෝ දරුවන් ඇය පිළිබඳව දන්නා බවක් පෙනෙන්නට නැත. දෙවන සැමියා සමග පැන යාම නිසා ඇගේ නෑදෑ හිත මිතුරන් සියල්ලන්ද ඇයට අහිමිව ඇත. මට හැඟුනු ආකාරයට ඇයගේ දෙවන සැමියා නීත්‍යානුකූලද නැත. සැමියන් දෙදෙනෙක්, දරුවන් හා ඥාතීන් සිටියද ඈ මසක් පමණ තනිව රෝහල්ගතව සිටින්නීය.

එම කාන්තාව සමග ගිලන් රිය නැවත පැමිණෙන තෙක් ජාතික රෝහලේ ඉදිරිපස බංකුවක් මත හිඳගෙන සිටියදී එම බංකුවේම අනිත් කෙලවර හිඳගෙන සිටි තරුණිය හඬාවැටෙනු දුටිමි. ඇය මුස්ලිම් ජාතික තරුණියක් වූ බැවින් කාන්තාව දෙමළ බසින් ඇය ඇමතීය. පසුව ඈ මට විස්තර කල පරිදි තරුණියගේ මව නොසිතූ මොහොතක මිය ගොස් ඇත. මරණය සමග සමීප අත්දැකීම් කීපයක්ම පැවතියද මෙම සිදුවීම මා නැවතත් කම්පනය කලේය.

මරණය සම්බන්ධයෙන් 'නොසිතූ මොහොතක' යන්න අදාල නොවන බවද මට වැටහුනි. අහිමිවීම නොසිතූ මොහොතක නොසිතූ වේශයෙන් පැමිණිය හැක.

ඇසට කෝටුවක් ඇනීම නිසාද, ඇසට ඇසිඩ් බිඳුවක් වැටීම නිසාද, ඇණයක් ගසනා අවස්ථාවක එහි හිස ගැලවී ඇස මත වැදීම නිසාද, බිත්තියේ පොටි තවරන අවස්ථාවක එයින් බිඳක් ඇසට වැටීම නිසාද අක්ෂි රෝගීන් බවට පත් වූ කිහිප දෙනෙකු හා මුලින් කී ගුණසේකර අංකල්ද මාගේ වාට්ටු මිතුරන් බවට පත්ව ඇත. එයින් එකෙක් දැන් නැත. ඇතැම් විට අද මට මේ මිතුරන් හැර දමා යන්නට සිදුවනු ඇත.

ඉන් පසු මුහුණ දීමට සිදුවන ලෝකය පිළිබඳ මට සියුම් බියක් ඇත. මට මුහුණ දෙන්නට වන්නේ අහිමි වූ ලෝකයකටද? කිසිවක් ගැන ඉක්මන් තීරණ ගැනීම සුදුසු නැත. එහෙත් අහිමි වීමේ වඩාත්ම වේදනාකාරී, හිමි වුවත් අහිමි වීමේ බියකරු අවදානමට මුහුණ දෙන්නට සිදු වේ යැයි මා නොසන්සුන්ව හිඳිමි. ළංව සිටියත් ඈත්ව ජීවත්වන්නට සිදුවන කෘතිම ජීවිතයක් හිමිවේ යැයි බියපත්ව හිඳිමි. එය වඩාත්ම බියකරු අහිමි වීමයි.

එහෙත් ජීවිතයට මුහුණ දෙන්නට සිදුවේ. ඒ ගැන සුභවාදී බලාපොරොත්තු දැල්වීම වඩා යහපත් බව මම සිතමි. එහෙයින් අහිමිවීම් දරාගෙන ජීවිතයට මුහුණ දෙන්නට මම ශක්තිය එක් කරමි. මරණය තෙක් හිතේ ගතේ පිරී තිබේ යැයි අපේක්ෂිත මාගේ ආත්ම ශක්තිය මම එක් කරමි.


Sunday, 13 February 2011

ලොකු අක්කා...


මනෝජ් ගීතිකා එක්ක ඉස්පිරිතාලෙට ආවෙ ලොකු අක්කව බලන්න. කලින්දා රෑ රුධිර පීඩනේ වැඩි වෙලා ලොකු අක්කව ඉස්පිරිතාලෙ නවත්තල.

ඉහල මාලෙට නගින පළල් පඩිපෙලේ වයසක සීය කෙනෙක් අමාරුවෙන් හෙමින් හෙමින් අත්වැල අල්ලගෙන ඉහලට නගිනවා...

"නගින්න අමාරුයි නේද සීයා..." මනෝජ් සීයගෙ දකුණු අත යටින් අත දාල සීයව වත්තම් කරගෙන හෙමින් ඉහලට එක්කගෙන ගියා...

සීයා රෝහලේ රෝගියෙක් බව පේන්න තිබුණා. මැණික් කටුවෙ තිබුණ සේලයින් දෙන්න අමුණපු කටුවක්.

ඒත් මේ උඩ තට්ටුවෙ තියෙන්නෙ කාන්තා වාට්ටුවක්.

"මේ... සීය වාට්ටුව වරද්දගෙනද දන්නෑ... උඩ තියෙන්නෙ ගෑණු අයගෙ වාට්ටුවනේ" ගීතිකා මනෝජ්ගෙ කණට කෙඳිරුව.

"සීය හරි වාට්ටුවටද යන්නේ...?" මනෝජ් ඇහුවා.

වැරදි වාට්ටුවට ගිහින් අනිත් පාර බලධාරියගෙන් බැණුම් අහගන්නත් වෙයි උදව් කලා මදිවට...

"නෝන ඉන්නෙ උඩ වාට්ටුවෙ මහත්තයෝ..." සීය හරිම හෙමින් මිමිණුවා...

ඒ කියපු කතාව මනෝජ්ට තේරුණෙ නැතත් සීයට යන්න උවමනා උඩ වාට්ටුවට බව ඒ කතාවෙන් තේරුණ නිසා මනෝජ් ආයෙ මුකුත් කියන්න ගියෙ නෑ...

වාට්ටුව පටන් ගන්න කොරිඩෝව ගාවදි මනෝජ් සීය‍ට සමු දීල ලොකු අක්ක හිටපු පැත්තට හැරුණා. සීය මූණ පුරා හිනාවක් ඇඳන් මනෝජ් දිහා බැලූ බැල්මෙ වචන වලට පෙරලන්න බැරි තරම් ස්තූතියක් ගැබ්වෙලා තිබුණ.

මනෝජ් ගීතිකාවත් ඇදන් සෙනග අස්සෙන් ලොකු අක්කගෙ ඇඳ ගාවට ගියා. අක්කගෙ පුතයි දුවයි දෙන්නත් ඇවිත් හිටිය. ඒ එක්කම ලොකු අක්කලගෙ ගෙදරට අල්ලපු ගෙදර සින්ති අක්කත් ඇවිත්.

ආගිය තොරතුරු කතා කරමින් දොස්තරල කියපුව ගැන අහමින් ඉන්න අතරෙ සින්ති අක්ක කොහේදෝ ගිහින්... එයා නොදන්න කෙනෙක් නෑ ඉස්පිරිතාලෙ... කාව හරි හම්බවෙන්න යන්න ඇති කියල ලොකු පුතා කිව්ව.

ලෙඩ්ඩුන්ට කෑම දෙන කෑම ට්‍රොලිය තල්ලු කරන් ආපු රෝහලේ සේවිකාවො දෙන්නෙක් කෑම ඕන කට්ටියට කෑම බෙදුවා.. මනෝජ් ලොකු අක්කත් එක්ක ආයෙමත් ලෙඩ ගැන කතාව ඇදගෙන ගියා...

"අනේ පව් අර සීයයි ආච්චියි... දෙන්නම වාට්ටු දෙකේ නැවතිලලු... " කොහෙදෝ ඉඳන් ආපු සින්ති අක්ක මැද්දට පැන්නා.

සින්ති අක්ක කවුරු හරි එක්ක කතා කරපු ටිකට ඕපයක් හොයාගෙනද? කට්ටියම බැලුවා සින්ති අක්ක බලන් හිටපු දිහා.

මනෝජ් වාට්ටුවට එක්කරගෙන ආපු සීය තවත් ආච්චි කෙනෙක් එක්ක ඇවිත් කෑම ට්‍රොලියෙන් කෑම ගන්නව. දෙන්න බත් දෙකක් බෙදාගෙන වාට්ටුව කෙළවරේම ඇ‍‍ඳට ගිහින් ඉඳගෙන කන්න පටන්ගත්ත. දෙන්නටම එක වගේ වයස. ඇවිදගන්නෙත් අමාරුවෙන්..

"අනේ හරිම පව්... ළමයි නැද්ද දන්නෙ නෑ..." ගීතිකා මනෝජ්ගෙ අතින් අල්ලගෙන කිව්ව.

"ළමයි හතර දෙනෙක් ඉන්නවලු... සලකන්නෙ නෑලු..." එහෙම කිව්වෙ ලොකු අක්කට අල්ලපු ඇ‍ඳේ හිටපු ලොකු අක්කගෙ වයසෙම වගේ අක්ක කෙනෙක්. එයා ඇ‍ඳේ හරි බරි ගැහිල ඉඳගත්තෙ කතාව කියන්න. ඒ අක්ක කෝච්චියක් වගේ කියවන්න දස්සයි කියල උදේ ආපු වෙලේ ලොකු අක්ක කියල තිබුණ.

"ඔය සීය කෑම ගන්න වෙලාවට ආච්චිව හොයාගෙන එනව. එයා ඉන්නෙ පහල පිරිමි වාට්ටුවේ..."

"පව් නේද..." කව්දෝ කිව්ව.

"ළමයි බලන්නෙ නෑලු... ඔය වැඩිහිටි නිවාසෙන් තමයි ගෙනත් බාර දීල තියෙන්නෙ... ආච්චි දැන් සති දෙකක් විතර ඉන්නවලු..." අල්ලපු ඇ‍ඳේ අක්ක සම්පූර්ණ කතාවම කියනවා...

දරුවෙක්ට එහෙම වෙන්න පුළුවන්ද?

මනෝජ් කල්පනා ලෝකෙකට වැටුණ. මනෝජ්ට අම්මල දෙන්නෙක් හිටිය. එක්කෙනෙක් වදාපු අම්ම. අනිත් එක්කෙනා මේ ලොකු අක්ක. මනෝජුත් ලොකු අක්කත් අතර තිබුණ අවුරුදු 16ක විතර වයස් පරතරේ නිසා පුංචි කාලෙ මනෝජ්වයි අනිත් සහෝදර සහෝදරියො 4 දෙනාවයි හැදුවෙ ලොකු අක්කා... අදටත් පුංචි දේටත් ‍ලොකු අක්ක ගාවට දුවගෙන එන මනෝජ්ට ලොකු අක්ක ගැන තිබුණෙ අම්ම කෙනෙක් ගැන දැණෙන හැඟීමක්. ගීතිකා එක්ක විවාහ වුණ දවසෙ ඉඳන් ලොකු අක්ක ගැන ඒ හැඟීම ගීතිකාටත් පොවන්න මනෝජ් උත්සාහ කලේ ඒකයි.

සීය ආච්චි එක්ක කෑම කාල ඉවර වෙලා ආයෙත් හෙමින් හෙමින් වාට්ටුවෙ කොරිඩෝව දිහාට ඇදුණ. ආච්චි හිස් පිඟන් දෙකත් අතේ තියාගෙන ඇ‍ඳේ ඉඳගෙන බලන් හිටිය. ආච්චිගෙ ඇ‍ඳට අල්ලපු ඇ‍ඳේ හිටපු අම්මව බලන්න ඇවිත් හිටපු තරුණ ගෑණු ළමයෙක් සීයව වත්තන් කරන් එලියට ගියා...

ගීතිකාගෙ ඇස් කෙවෙනි වල කඳුළු බින්දුවක් රැඳිල තියෙනව මනෝජ් දැක්ක.

රෝහල් ආරක්ෂක අංශයෙන් ඇවිත් එලවනකංම මනෝජ්, ගීතිකයි ලොකුපුතයි දුවයි සින්ති අක්කයි එක්ක ලොකු අක්කව ශක්තිමත් කරන්න විහිලුවෙන් තහලුවෙන් පැය බාගයක් ගෙව්වා. රුධිර පීඩනේ පැත්තකට දාල ලොකු අක්කත් කැකිරි පැලුවා.. අන්තිමේ ලොකු අක්කට සමු දීල පස් දෙනාම එලියට ආවා...

පහල තට්ටුවෙ පිරිමි වාට්ටුව පහුකරගෙන යද්දි අර සීය ආයෙමත් හම්බවුණා... එයා කොරිඩෝවෙ එළියෙ දාල තියෙන ඇඳක ඉඳගෙන කොරිඩෝවෙ කණු අතරින් පේන අහස දිහා බලාගෙන කල්පනාවක. මුහුණෙ දරාගන්න බැරි දුකක පෙනුමක්...

මනෝජ්ගෙ අතින් අල්ලන් හිටපු ගීතිකාගෙ අතේ ග්‍රහණය දැඩි වෙනව මනෝජ්ට දැණුනා...


පින්තූරෙ මෙතනින්...

Tuesday, 26 October 2010

පණුවන්ට බෙහෙත්…!

"කුමාරෝ... මේං මේ පොඩි එකාව ඉස්පිරිතාලෙට අරන් පලයන්..."

ලොකු අක්ක ජනේලෙන් ඔළුව දාගෙන බෙරිහන් දෙනකොට කුමාර මෙලෝ සිහියක් නැතුව සල් ගහ යට බංකුවෙ දිගෑදිලා කකුල් දෙක සල් අත්තක තියන් බයිල රිමික්ස් එකක් අහන් හිටියේ... කොලිටි අඩු ඉයර් ෆෝන්... ඒවයෙ සද්දෙ කඩාගෙන ලොකු අක්කගෙ කෑගැහිල්ල ඇහුණා... කුමාර සල් ගහ යට බංකුවෙන් නැගිට්ට.

"ෂිට්... නිවාඩු දවසෙවත් පොඩ්ඩක් ආතල් එකේ ඉන්ඩ දෙන්නෙ නෑනේ..." කුමාරට කියවුණා...

රබර් සෙරෙප්පු දෙක කකුලෙ පටලගත්ත කුමාර හෙමින් හෙමින් ගේ දිහාට ඇදුණා...

"ඇයි මොකද මේ....? පෝය දවසෙ කියලවත් බලන්නෙ නැතුව පව් වැඩ කරනව..."

"මොකක්ද බං පව් වැඩේ.... මේ පොඩි කොල්ල ඊයෙ හවස ඉදන් ‍බඩ රිදෙනව කියල කෙඳිරිගානව.... මූට ගිහින් බෙහෙත් ටිකක් අරන් දියං..."

ලොකු අක්ක කොස් පළුවක් කපාගෙන මදුළු ගලවනව...

"ෂික්...! මම මගේ පාඩුවෙ ඉද්දි උදැල්ල දාන එක පව් වැඩක් නෙවෙයිද? කෝ අයිය නැද්ද?"

"එයා අම්මට දානෙ අරං පන්සලට ගියෙ දැක්කෙ නැද්ද? උන්දැ හිටියනං මං උඹට කියනවද බං... මෙන්න මූව එක්ක පලයන් හොඳ එකා වගේ... තෙල් ගහන්න රුපියල් සීයක් දෙන්නං ආවම..."

ලොකු අක්කට ඕන කොහොම හරි කුමාර එක්කම පොඩි එකාව බෙහෙත් ගන්න යවන්නයි...

"මංජු ලැට් එකට ගියෙ නැද්ද?"

කුමාර ඇහුවෙ ඒක තුරුම්පුවක් කියල හිතාගෙන...

"එහෙම එකක් නෙවෙයි මං හිතන්නෙ... අසමෝදගම් බෝතලේ බාගයක්ම ඉවර කලානේ... පණුවොද කොහෙද.."

"හා හා... කෝ එහෙනං මංජුව ලෑස්ති කරල ගන්න..."

කුමාර පල්සරේ එලියට ගත්ත. කණ්නාඩිය වගේ දිලිසෙනවා... ඊයෙ හවස ඇවිත් සයිකලේ හොඳට හෝදල පිහිදල තිබ්බෙ හවස වත්සලාව බලන්න පංසල පැත්තෙ රවුමක් දාන්න. දැන් ඉස්පිරිතාලෙට ගිහින් ඇවිත් ආයෙ පිහිදන්න වෙනව...

කුමාර හෙල්මට් දෙකත් එලියට අරන් එන අතරෙ මංජුල කොට කලිසමයි ටී ෂර්ට් එකයි ගහගෙන මූණ බෙරි කරගෙන ආව...

"උඹ අඬනව හෙම නෙවෙයි පුතේ... මට බෑ උඹව නලවන්න... කෝ  නගින්න පරිස්සමින්..." කුමාර පුංචි තරවටුවක් එක්ක සයිකලේ ස්ටාට් කලා...

පන්සලේ සිල් ගන්න අයට දානෙ අරන් ඉස්පිරිතාලෙ ඉස්සරහින් ගිය උපාසිකාවො දිහා බල බල කුමාර ඉස්පිරිතාලෙට ඇතුල් වුණා... පෝය නිසා ඉස්පිරිතාලෙත් පාළු වෙලා... වැඩ කරන එවුනුත් නැද්ද මන්දා... හැමදාම බුදු මැදුර ඉස්සරහ වැලි මිදුලෙ ඉන්න බලු නඩේ නං අද අඩු වෙලා එකෙක් දෙන්නෙක් වැතිරගෙන හිටියා... අනිත් එවුන් දන් සුවඳ එක්ක පන්සලට ගිහින් වෙන්න ඇති....

"කෝ එන්න මංජු...."

කුමාර මංජුගෙ අතින් අල්ලන් ඕපීඩිය පැත්තට ගියා...

ඉස්පිරිතාලෙ පාළු ගතිය නිසා පෝය දවස් වලට මිනිස්සු ලෙඩ වෙන්නෙ නැද්ද මන්දා කියල කුමාරට හිතුණත් ඕපීඩිය ඇතුලෙ පුටු වල ගෑණු පිරිමි හතර පස් දෙනෙක් ඉඳගෙන හිටිය. කුමාරත් තුණ්ඩුවක් අරන් ඊලඟ පුටුවෙ වාඩි වුණා.... දොස්තර මහත්තයෙක් නං ඉන්න වගක් පේන්න නෑ...

පැය කාලක් විතර ගෙවුණා...

"නංගි දොස්තර මහත්තය දැන්ම එන එකක් නැද්ද...?"  කුමාර බැරිම තැන ගිහින් තුණ්ඩු කවුන්ටරේ හිටිය නංගිගෙන් ඇහුවා... ලස්සන නංගි කෙනෙක්. ටිකක් සැර පාටයි...

"එනකල් ටිකක් ඉන්න... දැන් එයි..."

නංගි හිතපු තරම්මත් සැර නෑ...

ආයෙත් ඇවිත් ඉඳගත්ත.... ‍ඉස්පිරිතාලෙ ලොකු දොස්තර මහත්තයගෙ ඩිස්පැන්සරියනං අල්ලපු වත්තෙ. ඒක තිබුණෙ ලොකු දොස්තර මහත්තයගෙ ක්වාටස් එකේමයි... ගරාජ් එකේ පැත්තක් ලෑලි වලින් වෙන් කරල තමයි එක හදල තිබුණේ... ගියානං දැන්ම බෙහෙත් ගන්න තිබුණ... ඒත් රුපියල් දෙසීයක්වත් එපැයි ඒකෙන් බෙහෙත් ගන්න...

කුමාර ටිකක් ඉස්සිල ජනෙල් පියන් අතරින් අල්ලපු වත්ත දිහා බැළුව... ලොකු මහත්තය එතන බෙහෙත් දෙනව වෙන්න ඕන... දෙතුන් දෙනෙක් ක්වාටස් එකේ ගරාජ් එකේ බංකුවෙ ඉඳගෙන ඉන්නව කුමාරට පෙණුන... දෙවෙනි වතාවෙ බලද්දි හන්දියෙ ප්ලාස්ටික් මාළ වළලු කඩේ සුමියගෙ නෝන පොඩි එකීවත් උස්සගෙන එළියට එනව දැක්ක...

තවත් විනාඩි දහයක් පහලොවක් විතර ගෙවුණා...

දෙවෙනි දොස්තර මහත්තය මෝටර් සයිකලේ ඇවිත් පෝටිකෝවෙම සයිකලේ නතර කරල ඇතුලට ආව... අද එයා වෙන්න ඕන වැඩ බලන්නේ... කොහොමත් ඒ මහත්තය පැයකට දෙකකට සැරයක් ඇවිත් ඕපීඩී එකේ ඉන්න ලෙඩ්ඩු ටික බලල යනව. එයාගෙ ඩිස්පැන්සරිය නං තිබුණෙ ටවුමෙ කන්නංගර මාවතේ උඩහට වෙන්න... කිලෝමීටරයක්වත් නැති නිසා ඒ දොස්තර මහත්තයට එහෙම කරන එක ලේසි වුණා... කොහොමත් ගමේ ඉස්පිරිතාලෙ ලෙඩ්ඩු හැම වෙලේම නැති එකේ නිකං කාමරේට වෙලා ඉඳල වැඩකුත් නෑනේ...

තවත් විනාඩි දහ පහලවකට විතර පස්සෙ කුමාරට මංජුව තල්ලු කරගෙන දොස්තර මහත්තයගෙ කාමරේට යන්න පුළුවන් වුණා...

දොස්තර මහත්තයත් පොඩි එකාගෙ බඩ මිරිකල නලාවෙනුත් බලල බෙහෙත් ලියල දුන්නා...

"පණුවො තමයි... මේ බෙහෙත ඔය කියල තියෙන විධියට තුන් වේලක් අරන් බලන්න ඕන හො‍ඳේ..."

"හොඳමයි..."

කුමාර මංජුවත් එක්කන් එලියට ආව. ඕපීඩී එකේම මංජුව ඉන්දවල බෙහෙත් දෙන කවුන්ටරේට ගියා. කලින් බෙහෙත් ගත්තු කීප දෙනා එතන පෝලිමේ හිටගෙන...

"කෝ ඩිස්පැන්සර් මහත්තය නැද්ද...?" බෙහෙත් දෙන තැන කවුළුවෙන් ඇතුලෙ කවුරුවත් පේන්න නොහිටපු නිසා කුමාර ඉස්සරහින් හිටපු මැදිවියේ කාන්තාවගෙන් ඇහුවා...

"දැන්ද කොහෙද කෑමට ගිහින් ආවේ... අත් සෝද‍න්ඩ ගියා මයෙ හිතේ..."

ආයෙත් එතන තව වෙලාවක් පෝලිමේ ඉන්න කුමාරට සිද්ධ වුණා... අන්තිමේ දොස්තර මහත්තය මංජුලට ලියපු බෙහෙත් තුණ්ඩුව කවුන්ටරේට දුන්නා...

"මේක නං හෙට තමයි ගන්න පුළුවන්"

ඩිස්පැන්සර් මහත්තය තුණ්ඩුව ‍යකඩ කූරෙ ගැහුවා...

"ඇයි මහත්තය බෙහෙත් නැද්ද?"

"බෙහෙත් තියෙනව... ඒ වුණාට ඉතිං පෝය දවසට පණු බෙහෙත් දෙන්න හොඳ නෑනේ..."

"එහෙමත් එකක්ද?" කුමාරගෙ කට කොණට හිනාවක් ආව...

"එහෙමත් එකක්ද අහන්නේ..? එහෙම තමයි.... දැන් ගිහින් හෙට ටිකට් එක අරන් ඇවිත් බෙහෙත් ගන්න..." ඩිස්පැන්සර් මහත්තයටත් හිනාවක් ගියා...

"ඉතිං මහත්තයො බෙහෙතුත් තියෙනවනං ආයෙ හෙට එන්න ඕන නෑනේ...." කුමාර ටිකක් බැගෑපත් වුණා... එහෙම නොවී වැඩේ වෙන පාටක් නෑ... මේ මනුස්සය විහිළු කරනවද කවුද දන්නේ...

ඒත් ඩිස්පෙන්සර් මහත්තයත් එයාගෙ එතික්ස් වලටයි වැඩ...!

"කිව්වම තේරෙන්නෙ නැද්ද මහත්තයෝ... පෝය දවස්වලට පණු බෙහෙත් නිකුත් කරල පවු පුරවගන්නද කියන්නේ...?  හෙට ටිකට් එක අරන් එන්න. බෙහෙත් තුණ්ඩුව මං ගාව තියාගන්නවා..."

ඩිස්පැන්සර් මහත්තය කරන්නෙ විහිළුවක් නෙවෙයි කියල කුමාරට හොඳටම පැහැදිලියි... කරන්න දෙයක් නෑ...

කුමාර ආපහු මංජුල ගාවට ගියා...

"මාමෙ අපි යමු? දැන් රිදෙනවා ටිකක් අඩු වෙලා...." මංජුල එහෙම කිව්වෙ එතනින් පැනගන්න ඕනවට මිස ඇත්තටම රිදිල්ල හොඳ වුණ නිසා නෙවෙයි කියල මූණ බෙරි වෙලා තියෙන හැටියෙන් කුමාරට තේරුණා. පැයක් විතර ඉස්පිරිතාලෙ රැඳිල ඉඳල පොඩි එකා හිටියෙ හෙම්බත් වෙලා...

කුමාර පර්ස් එක අතට ගත්තා... රුපියල් සීයෙ කොල තුනකුයි පණහෙ කොලේකුයි තියෙනවා... දවස් හතරකින් පඩි හම්බවෙනකල් සයිකලේට තෙල් ගහන්න තියෙන්නෙත් ඔච්චරයි...

"මොකද කරන්නේ....???" කුමාර කල්පනා කරමින්ම මංජුගේ මූණ දිහා බැලුව... ඌ තාමත් මූණ ඇඹුල් කරගෙන සයිකලේ දිහාව බලන් හිටියෙ ඉක්මනට ගිහින් ඒකෙ නැගල මෙතනින් පැනල යමු කියන්න ව‍ගේ...

ඒත් පොඩි එකා ඉන්නෙ වේදනාවෙන් කියල කුමාරට තේරුණ...

"අපි බෙහෙත් අරගෙනම යමු..."

කුමාර මංජුලගෙ අතින් අල්ලන් ලොකු දොස්තර මහත්තයගෙ ක්වාටස් එක පැත්තට ගියා...