මනෝජ් ගීතිකා එක්ක ඉස්පිරිතාලෙට ආවෙ ලොකු අක්කව බලන්න. කලින්දා රෑ රුධිර පීඩනේ වැඩි වෙලා ලොකු අක්කව ඉස්පිරිතාලෙ නවත්තල.
ඉහල මාලෙට නගින පළල් පඩිපෙලේ වයසක සීය කෙනෙක් අමාරුවෙන් හෙමින් හෙමින් අත්වැල අල්ලගෙන ඉහලට නගිනවා...
"නගින්න අමාරුයි නේද සීයා..." මනෝජ් සීයගෙ දකුණු අත යටින් අත දාල සීයව වත්තම් කරගෙන හෙමින් ඉහලට එක්කගෙන ගියා...
සීයා රෝහලේ රෝගියෙක් බව පේන්න තිබුණා. මැණික් කටුවෙ තිබුණ සේලයින් දෙන්න අමුණපු කටුවක්.
ඒත් මේ උඩ තට්ටුවෙ තියෙන්නෙ කාන්තා වාට්ටුවක්.
"මේ... සීය වාට්ටුව වරද්දගෙනද දන්නෑ... උඩ තියෙන්නෙ ගෑණු අයගෙ වාට්ටුවනේ" ගීතිකා මනෝජ්ගෙ කණට කෙඳිරුව.
"සීය හරි වාට්ටුවටද යන්නේ...?" මනෝජ් ඇහුවා.
වැරදි වාට්ටුවට ගිහින් අනිත් පාර බලධාරියගෙන් බැණුම් අහගන්නත් වෙයි උදව් කලා මදිවට...
"නෝන ඉන්නෙ උඩ වාට්ටුවෙ මහත්තයෝ..." සීය හරිම හෙමින් මිමිණුවා...
ඒ කියපු කතාව මනෝජ්ට තේරුණෙ නැතත් සීයට යන්න උවමනා උඩ වාට්ටුවට බව ඒ කතාවෙන් තේරුණ නිසා මනෝජ් ආයෙ මුකුත් කියන්න ගියෙ නෑ...
වාට්ටුව පටන් ගන්න කොරිඩෝව ගාවදි මනෝජ් සීයට සමු දීල ලොකු අක්ක හිටපු පැත්තට හැරුණා. සීය මූණ පුරා හිනාවක් ඇඳන් මනෝජ් දිහා බැලූ බැල්මෙ වචන වලට පෙරලන්න බැරි තරම් ස්තූතියක් ගැබ්වෙලා තිබුණ.
මනෝජ් ගීතිකාවත් ඇදන් සෙනග අස්සෙන් ලොකු අක්කගෙ ඇඳ ගාවට ගියා. අක්කගෙ පුතයි දුවයි දෙන්නත් ඇවිත් හිටිය. ඒ එක්කම ලොකු අක්කලගෙ ගෙදරට අල්ලපු ගෙදර සින්ති අක්කත් ඇවිත්.
ආගිය තොරතුරු කතා කරමින් දොස්තරල කියපුව ගැන අහමින් ඉන්න අතරෙ සින්ති අක්ක කොහේදෝ ගිහින්... එයා නොදන්න කෙනෙක් නෑ ඉස්පිරිතාලෙ... කාව හරි හම්බවෙන්න යන්න ඇති කියල ලොකු පුතා කිව්ව.
ලෙඩ්ඩුන්ට කෑම දෙන කෑම ට්‍රොලිය තල්ලු කරන් ආපු රෝහලේ සේවිකාවො දෙන්නෙක් කෑම ඕන කට්ටියට කෑම බෙදුවා.. මනෝජ් ලොකු අක්කත් එක්ක ආයෙමත් ලෙඩ ගැන කතාව ඇදගෙන ගියා...
"අනේ පව් අර සීයයි ආච්චියි... දෙන්නම වාට්ටු දෙකේ නැවතිලලු... " කොහෙදෝ ඉඳන් ආපු සින්ති අක්ක මැද්දට පැන්නා.
සින්ති අක්ක කවුරු හරි එක්ක කතා කරපු ටිකට ඕපයක් හොයාගෙනද? කට්ටියම බැලුවා සින්ති අක්ක බලන් හිටපු දිහා.
මනෝජ් වාට්ටුවට එක්කරගෙන ආපු සීය තවත් ආච්චි කෙනෙක් එක්ක ඇවිත් කෑම ට්‍රොලියෙන් කෑම ගන්නව. දෙන්න බත් දෙකක් බෙදාගෙන වාට්ටුව කෙළවරේම ඇඳට ගිහින් ඉඳගෙන කන්න පටන්ගත්ත. දෙන්නටම එක වගේ වයස. ඇවිදගන්නෙත් අමාරුවෙන්..
"අනේ හරිම පව්... ළමයි නැද්ද දන්නෙ නෑ..." ගීතිකා මනෝජ්ගෙ අතින් අල්ලගෙන කිව්ව.
"ළමයි හතර දෙනෙක් ඉන්නවලු... සලකන්නෙ නෑලු..." එහෙම කිව්වෙ ලොකු අක්කට අල්ලපු ඇඳේ හිටපු ලොකු අක්කගෙ වයසෙම වගේ අක්ක කෙනෙක්. එයා ඇඳේ හරි බරි ගැහිල ඉඳගත්තෙ කතාව කියන්න. ඒ අක්ක කෝච්චියක් වගේ කියවන්න දස්සයි කියල උදේ ආපු වෙලේ ලොකු අක්ක කියල තිබුණ.
"ඔය සීය කෑම ගන්න වෙලාවට ආච්චිව හොයාගෙන එනව. එයා ඉන්නෙ පහල පිරිමි වාට්ටුවේ..."
"පව් නේද..." කව්දෝ කිව්ව.
"ළමයි බලන්නෙ නෑලු... ඔය වැඩිහිටි නිවාසෙන් තමයි ගෙනත් බාර දීල තියෙන්නෙ... ආච්චි දැන් සති දෙකක් විතර ඉන්නවලු..." අල්ලපු ඇඳේ අක්ක සම්පූර්ණ කතාවම කියනවා...
දරුවෙක්ට එහෙම වෙන්න පුළුවන්ද?
මනෝජ් කල්පනා ලෝකෙකට වැටුණ. මනෝජ්ට අම්මල දෙන්නෙක් හිටිය. එක්කෙනෙක් වදාපු අම්ම. අනිත් එක්කෙනා මේ ලොකු අක්ක. මනෝජුත් ලොකු අක්කත් අතර තිබුණ අවුරුදු 16ක විතර වයස් පරතරේ නිසා පුංචි කාලෙ මනෝජ්වයි අනිත් සහෝදර සහෝදරියො 4 දෙනාවයි හැදුවෙ ලොකු අක්කා... අදටත් පුංචි දේටත් ලොකු අක්ක ගාවට දුවගෙන එන මනෝජ්ට ලොකු අක්ක ගැන තිබුණෙ අම්ම කෙනෙක් ගැන දැණෙන හැඟීමක්. ගීතිකා එක්ක විවාහ වුණ දවසෙ ඉඳන් ලොකු අක්ක ගැන ඒ හැඟීම ගීතිකාටත් පොවන්න මනෝජ් උත්සාහ කලේ ඒකයි.
සීය ආච්චි එක්ක කෑම කාල ඉවර වෙලා ආයෙත් හෙමින් හෙමින් වාට්ටුවෙ කොරිඩෝව දිහාට ඇදුණ. ආච්චි හිස් පිඟන් දෙකත් අතේ තියාගෙන ඇඳේ ඉඳගෙන බලන් හිටිය. ආච්චිගෙ ඇඳට අල්ලපු ඇඳේ හිටපු අම්මව බලන්න ඇවිත් හිටපු තරුණ ගෑණු ළමයෙක් සීයව වත්තන් කරන් එලියට ගියා...
ගීතිකාගෙ ඇස් කෙවෙනි වල කඳුළු බින්දුවක් රැඳිල තියෙනව මනෝජ් දැක්ක.
රෝහල් ආරක්ෂක අංශයෙන් ඇවිත් එලවනකංම මනෝජ්, ගීතිකයි ලොකුපුතයි දුවයි සින්ති අක්කයි එක්ක ලොකු අක්කව ශක්තිමත් කරන්න විහිලුවෙන් තහලුවෙන් පැය බාගයක් ගෙව්වා. රුධිර පීඩනේ පැත්තකට දාල ලොකු අක්කත් කැකිරි පැලුවා.. අන්තිමේ ලොකු අක්කට සමු දීල පස් දෙනාම එලියට ආවා...
පහල තට්ටුවෙ පිරිමි වාට්ටුව පහුකරගෙන යද්දි අර සීය ආයෙමත් හම්බවුණා... එයා කොරිඩෝවෙ එළියෙ දාල තියෙන ඇඳක ඉඳගෙන කොරිඩෝවෙ කණු අතරින් පේන අහස දිහා බලාගෙන කල්පනාවක. මුහුණෙ දරාගන්න බැරි දුකක පෙනුමක්...
මනෝජ්ගෙ අතින් අල්ලන් හිටපු ගීතිකාගෙ අතේ ග්‍රහණය දැඩි වෙනව මනෝජ්ට දැණුනා...
පින්තූරෙ මෙතනින්...
නිර්මාණාත්මක රචනයක් කරලා ලිව්වට කවුරු හරි ලබපු සැබෑ අත්දැකීමක්ද කියලා හිතෙනවා..!
ReplyDeleteකොතන හරි වැරැද්දක් තියනවා නේද? දරුවෝ හතරදෙනෙක් ඉන්න දෙමාව්පියන්ට පිට දරුවෝ උපකාරෙට ඉන්නකොට... ඒත් කමක් නෑ එහෙම හරි ඉන්නවා කියලා හිත හදා ගත්තැහැකිනේ..!
අනිත් අතට මේකේ කතා ගොඩයිනේ..! ලොකු අක්කාගෙයි මල්ලිගෙයි සම්බන්ධතාවේ.. ඒක කොයි තරම් මානූෂීයද?
සමාජය විශමයි..! එච්චරයි කියන්න වෙන්නේ..! :(
මේ වගේ සිදුවීමක් මමත් දැකල තියනව අවුරුදු ගාණකට කලින් ඩෙංගු හැදිල රෝහල් ගත වෙලා ඉඳිද්දි.
ReplyDeleteකාලයත් එක්ක, දරුවන්ගෙ අලුත් සම්බන්ධතාත් ඇතුලුව නිර්මාණය වෙන පරිසරයත් දෙමවුපියන්ගෙ වටිනාකම් වෙනස් වෙන්න හේතු වෙනව. දරුවො නිදහස සොයනව. දෙමවුපියො වටිනාකම් සොයනව.ගැටීම් ඇතිවෙනව.
මේ කතාව කියවලා මගේ ඇස් තෙත් වෙද්දි මට මතක් උනා මම තාමත් මනුස්සයෙක් කියලා.
ReplyDeleteහරේගේ ලිවීම හැකියාව ගැන මට අමුතු දෙයක් කියන්න නැති උනත් මේක සත්‍ය සිදුවීමක් නිසා මට යමක් කියන්න හිතුනා.
ඔයා ආපහු ඔය සීයා දකිනවා නම් සීයාට වගේම ආච්චිටත් මේ කියවන අපේ වචන වගේම ආදරේත් දෙන්න පුළුවන් නම් වටිනවා.
මේල එකකින් ඉතිරි දේවල් කියන්නම්.
මට මාව මතක් කලාට බොහොම පින් හරේ.
( අර ලොකු අක්කා දැන් හොඳින් ඇති කියලා හිතනවා. )
//ගීතිකා එක්ක විවාහ වුණ දවසෙ ඉඳන් ලොකු අක්ක ගැන ඒ හැඟීම ගීතිකාටත් පොවන්න මනෝජ් උත්සාහ කලේ ඒකයි.//
ReplyDeleteමේ වෙලාවද මන්ද මචං මට කොහොම හරි හිතෙන්නේ මේ ලයින් එක පට්ට සිරා කියල.. හෙට වෙද්දි ඒක වෙනස් වෙන්න පුලුවන්. ඒක නිසා දැම්ම ලියන්නං.
ඔන්න ඕකයි කොලුවො, යථාර්තය. මං ඉන්න තැනට එහා පැත්තෙ තියෙන්නෙ හයි ක්ලාස් වැඩිහිටි නිවාසයක්.ඔය තරම්ම දුක්බර නැති වුනත් ඔය යථාර්තය මං හැමදාම දකිනව.
ReplyDeleteබටහිර රටවල ක්‍රමේ ඔයාල දන්නව ඇතිනෙ. 16, 18 වෙනකොට ලමයි ගෙවල්වලින් යනවා( නැත්නං, අසල්වැසියො අහනවා 'ඇයි, ඒ ලමයට, මොකක් හරි ප්‍රශ්ණයක්ද' කියල). දෙමව්පියො තනියම ජීවත්වෙනවා, වයසට ගියාම වැඩිහිටි නිවාසවලට යනවා. ගොඩක් වැඩිහිටි අය, බල්ලො, පූසො ඇති කරනව(මෙහේ සුපර් මාකට් වල, බල්ලො,පූසො කෑම, අයිටම් තියෙන අයිල්, ලමයින්ගෙ අයිටම් තියෙන අයි තරම්ම විසාලයි). අවුරුද්දකට සැරයක්, උන්ගෙ "අම්මගෙ දවසට" සහ "අප්පගෙ දවසට" දරු මුණුබුරු සැට් එකම දෙමව්පියො බලන්න එනවා.
එහෙම කිව්වාට, මෙහෙ වයසක් අය හරි ස්වාධීනයි. අපේ නං හැරමිට්ටෙන් යන වයසෙ අය, තමංගෙම වාහන එලවගෙන යනවා. අප්පා බලන්න එපැයි, ආච්චි අම්මල සැන් පව්ඩර් උලල හැඩවෙල ෂොපින් යන උජාරුව. අද පරම්පරාව කෙසේ වෙතත්, හෙට ඔය තත්වය ලංකාවෙ ඇති උනොත් මං පුදුම වෙන්නෙ නෑ.අනික, ඉන්නවයි කියල වුනත් "අත පල්ලෙන් වැටිල" වගේ දරුවො ගාව ඉන්නවට වඩා, මෙහෙම ඉන්න එක හොඳද මන්දා? හැමදේටම මිලක් තියෙන මේ සමාජයේ, මං නං කවදහරි අනුන්මත යැපෙන්න බලාපොරොත්තුවක් නෑ. අර වාසනාවන්ත ආච්චි-සීයා දෙන්නට වගේ හොඳ සහකාරියක් ලඟින් හිටියොත් හොඳටම ඇති.
සිරාවට මේක සැබෑ අත්දැකීමක් වෙන්නත් පුළුවන්. ඒක මට අදාල නෑ. ලංකාවේ වගේ ලමයින් දෙමව්පියෝ මත යැපෙන ඒ වගේම අන්තිම කාලේ මව්පියෝ ලමයි මත යැපෙන වෙන රටක් වෙන නෑ වෙන්න ඇති. මම නම් කියන්නේ සිස්ටම් එක වෙනස් වෙන්න ඕනි. දෙමව්පියෝ ලමයින්ව අතාරින්න ඕනි. ඒත් මචං මේ ලෝකෙ මනුස්සකම කියලා එකකුත් තියෙනවානේ.. අනේ මන්දා බං.. මට වෙලාවකට තේරෙන්නේ නෑ...
ReplyDeleteමලී - මේක ඇත්තටම නිර්මාණාත්මක රචනයක් කියන්න බැරි එකක්. සිදුවීම් පෙලක් පැණි කෑලි ටිකක් එකතු කරල අඹරල අරන් තියෙන්නේ... වැරැද්දක් තියෙනවා තමයි... මොනව කරන්නද...
ReplyDeleteරේ - මේක ලියවෙද්දි දරුවන්ට අවාසි පැත්තට බර වෙලා ලියවෙන්නෙ මම මේක දකින්නෙ දෙමව්පියන්ගෙ පැත්තෙන් විතරක් නිසා... සැබෑ තත්ත්වෙ වෙනස් වෙන්න පුළුවන් ඇත්තටම... පසුව දැනගත්තු විධියට ඇත්ත තත්ත්වය මේකෙන් වෙනස් නෑ...
ඉල් - ඔයාට ඔයා මනුස්සයෙක් කියල දැණුනනම් හොදා.. අපි ඉදිරියට බලමු මොකක්ද මේ දෙන්න වෙනුවෙන් කරන්න පුළුවන් කියලා... ලොකු අක්කා තවම ඉස්පිරිතාලේ... වෙන වෝඩ් එකක..
පි - ඒක මම හිතන්නෙ පවුලට පිටින් කෙනෙක් එකතුවෙද්දි ඒ දේට ලක් වෙන අය අනිවා බලාපොරොත්තු වෙන දෙයක් නේද.. පිට කෙනා අපේ කෙනා බවට පත් වෙන්නෙ එයා ඔය පොවන ඒව හොඳට බිව්වොත් තමයි ගොඩක් විට...
සිරි - එහෙම වුණාට ඒ සමාජය මානුෂික නෑ කියල කියන්නත් බෑනෙ නේ... ඒ අය අතර අපට වඩා ගැඹුරු මිනිස් සම්බන්ධ තියෙනව ඇති. නමුත් ජීවත් වෙද්දි ඒක කරන්න ඕන හොඳම ක්‍රමය බවට ඔය ක්‍රමේ පත්වෙලා නේ.. මම හිතන්නෙ ලංකාවෙ ඔය ස්වාධීන දෙමාපිය පරම්පරාව ඇති වෙන්න පටන් අරන් තියෙන්නේ... හැබැයි දරුවො කියන්නෙ අනාගත ආයෝජනයක් කියල හිතන අයත් එක්ක ඕක ටිකක් අමාරු වැඩක්...
ආ - මටත් තේරෙන්නෙ නෑ මොකක්ද හරි කියල... අර සාධාරණවාදය තමයි කෝකටත් දාන්න හිතෙන්නේ. කොහොම නමුත් සිස්ටම් එක වෙනස් වෙන්න පටන් අරන් තියෙන්නේ...
අනේමන්දා බං මට එච්චර දැනුන්නැද්දත් මන්දා. උඹේ කලින් කතාවල තිබ්බ මොනවැයේ හරි අඩුවක් දණුනා. උඹට වෙච්ච දෙයක් නිසාද නැද්ද කියලා මම දන්නේ නෑ.
ReplyDeleteඕක නිකං චක්‍රයක් වගේ දෙයක්...
ReplyDeleteහුඟක් අයට තමන් තමන්ගෙ අම්මලා තාතතලාට සලකපු හැති වැරදි කියලා තේරෙන්න වයසට යන්න ඕනෙ...
මුචා - අවුලක් නෑ බංස්... මම ලියන හැම එකම උඹටවත් වෙන කාටවත් අඩු ගානෙ මටවත් වදින්න ඕන කියල එකක් නෑනේ... මමත් මම ලියන හැම එකකටම කැමති නෑ දෙවෙනි පාර කියවද්දි... උඹට දැණුන දේවල් ටික තමයි ගාන... :D
ReplyDeleteහරි - ගොඩක් දෙනා හිතන්නෙ තමන් වයසට නොයන. ලෙඩ නොහැදෙන අමරණීය අය කියලනේ... තමන්ට නොවෙන තාක් ගොඩක් අයට (මමත් ඇතුලත්ව) දේවල් තේරෙන්නෙ නෑ...
ආයි මොනවද? මට නං මේක බොක්කටම වැදිල බම්ප් වෙලා ආයිත් වැදුනා. ඔහේ හරි, මෙහේ හරි මේ වයස අයගේ පොදු ලක්ෂණයක් විදිහට මට පේන්නෙ "තනිකම." මං එතනින් යන එන වෙලාවට, හම්බවෙන මේ අය අහිංසක විදිහට හිනාවෙනව. ඒ වෙලාවට නං මගේ පපුවත් කඩා වැටෙනව. වෙලාවෙ හැටියට සුභ පතන්නත්, සුළු උදව්වක් අවශ්‍ය නං ඒක කරල දෙන්නත් මං කවදාවත් පසුබට වෙන්නෙ නෑ.
ReplyDeleteසීත කාලෙ පටන්ගන්න ඉස්සෙල්ලා එක්කෙනෙක් හැමදාම දඬු ලේන්නුන්ට කෑමදෙන්න පුරුදු වෙලා හිටිය. එයා කතාකලාම මේ වල් ලේන්නු සැට් එක එන්නෙ පිම්මෙ, ඇයි ඉතිං " ෆ්‍රී මීල්" එකක් නෙ.. මෙහෙ සීතකාලෙ, බල්ලො ස්වෙටර් අන්දෝල, මේස්දාලා තමා එලියට ගෙනියන්නෙ. මට හැමදාම මතක් වෙන්නෙ, නටවන්න ගෙනියන රිලව්. මේ ලඟදී හිම වැටිච්ච දවසක් තව එක්කෙනෙක් එයාගෙ බලු නකුටව ඇවිද්දෝනව. මට හිනාගියා, මු මට ගෙරෙව්වා ,අර අහිංසක මනුස්සයා කිව්වා"Now,now. That's not the way to say good mornning to the nice man" මාත් හිනාවෙගනම අර නකුට කිට්‍ටු කරල සිංහලෙන් කිව්වා" බැල්ලිගෙ පුතා, දෙන්න හිතෙනව දත් සැට් එක බඩට යන්න " කියලා. ඊට පස්සෙ හිනාවෙලා අර මනුස්සයට කිව්වා "nice doggie" කියලා. දැං අර නකුටා මාත් එක්ක ඔරොප්පුවට දකින කොටම ගොරෝනව.
හෙ හේ... ෂුවර් එකට ඔය බල්ලට ලංකාවෙ එකෙක්ගෙ සම්බන්ධයක් ඇති. අර කිව්වත් වගේ වයසක අය ගොඩක් තමන්ගෙ තනිකම මකාගන්නෙ සත්තුන්ගෙන් තමයි. අපේ ලොකු තාත්තගෙ වත්තෙ ලේනුන්ට කෑම දෙන්න හදපු තැන් කීපයක්ම තිබුණා. දවසට කීප වතාවක් ලේන්නු ඇවිත් ලොකු තාත්ත අනල ඒ තැන්වලින් තියන කෑම කන්න පුරුදු වෙලා හිටිය. අපි එහෙ ගියාමත් ලොකු තාත්ත අපට ලේන්නු පෙන්න පෙන්න සන්තෝස වුණා.
ReplyDeleteඅපේ නැන්ද අපිත් එක්කමයි ඉන්නේ. දැන් අවුරුදු 70ත් පන්නලා. එයාගෙ තනි නොතනියට ඉන්නෙ සඳමාලි. (එයා ගැන වෙනම ලියන්න හිතාගෙනයි ඉන්නේ) සඳමාලිත් එක්ක එක එක ඒව කියව කියව ඉන්න එක තමයි නැන්දට එයගෙ තනිකම මකාගන්න කරන්න තියෙන්නේ... කොයිතරම් අවට කට්ටිය හිටියත් වයසත් එක්ක ඇතිවෙන තනිකම තවත් මනුස්සයෙක්ගෙන් පිරවෙනවට වඩා සතෙක්ගෙන් පිරෙනව ඇති... මොකද සත්තු ආදරේ දක්වන්නෙ මිනිස්සු වගේ නෙවෙයි...