Showing posts with label children. Show all posts
Showing posts with label children. Show all posts

Tuesday, 21 June 2011

කණේ වැටුණු එදිනෙදා කතාවක්!


මෙය කාර්යාලයේ දහවල් කෑම පැයේදී මතුවී පැමිණි එදිනෙදා කතාවක් මතින් හටගත් අදහසක් වන අතර කිසි සේත්ම සීරියස් නැති තවත් කතාවකි.

මාස කීපයකට පෙර මාගේ කාර්යාලීය මිතුරා උතුම් වූ පීතෘත්වය ලැබීය. ඔහු විසින් නිතර දෙඩීමේ යෙදෙන ඔහුගේ කුඩා දියණියගේ දඟකාරකම් දහවල් කෑම පැයේදී අප තුටු කරවන අංගයක් වෙමින් පවතී. අද දින ආහාර ගන්නා අතරතුර මා මිතුරා පැවසූවේ තව මසකින් පමණ දියණියගේ කණ් විදීමට අවශ්‍ය බවයි.

මම එයට එක හෙලා විරුද්ධ වීමි.

"ඒකි ලොකු වෙලා එයාටම ඕන කියල හිතුණොත් එයා විදගනියි."

මම කීවෙමි.

"ලොකු වුණාම විදින්න අමාරුයිනෙ. එතකොට වේදනාව වැඩියි."

"ඒ වුණාට එයාට ඕන නිසානෙ එතකොට විදගන්නේ..."

මිතුරා මා දෙස අවඥ්ඥා සහගත බැල්මක් හෙලීය.

"උඹ ඔය කියන එක ප්‍රායෝගික නෑ මචන්..."

ඔහු කීය.

"උඹල ඔය ඉන්න හීන ලෝක වල දේවල් හැබෑ ලෝකෙ කරන්න බෑ බං..."

ඒ ඔහුගේ බැල්ම තුල ගම්‍ය වූ ඔහු නොකී දේ ය.

ලබන මස ඔහු තම දියණියගේ කන් පෙති සිදුරු කිරීමට වග කියනු ඇත.

ලංකාවේ ගැහැණිය ගැහැණියක් කිරීම ඇරඹෙන්නේ එලෙසය.

මෙය අළුත් මාතෘකාවක් නොවේ.

වසර දොළහකට පමණ පෙර මා ඇතුළු එවක පාසල් අවදියේ හුන් මිතුරන් කීප දෙනෙකුගේම මොළයේ සාම්ප්‍රදායික මළකඩ සෝදා හරින ලද සඟරාවක කුඩා දියණියන්ගේ කන් විදීමේ අර්බුදය ගැන ලිපි කීපයක් පලවී තිබිණ. දැන් ඒවා මතකයට නැගෙන්නේ නැතත් බොහෝ ගැඹුරු දාර්ශණික හේතු සහ කාරණා සපයමින් අදාල කන් විදීමේ කටයුත්ත ගැහැණියට ස්ත්‍රීත්වය එබ්බවීමේ පුරුෂ ක්‍රියාවලියේ ආරම්භක අවස්ථාවක් ලෙස එහි විස්තර වී තිබුණි.

එකල වචනාර්ථයේ රැඩිකල් චින්තන සංකල්පයේ බැස හුන් අප එම අදහස් හිස් මුදුණින් ගෙන මහා සොයාගැනීමක් සේ සාකච්ඡා කල අයුරු මට මතකය.

ගැහැණිය සහ පිරිමියා යනුවෙන් මානසිකවම වෙන් කිරීමේ කටයුත්තට අත් පොත් තැබෙන්නේ දියණියන්ගේ කන් පෙති සිදුරු කිරීමෙනි. බොහෝ විට මෙය සිදු කිරීමට තීරණය කරන පියවරුන් ඉන්දියාවේ කාන්තාවන් විසින් සිදු කරන සති පූජාව පිළිබඳව උණුසුම් ලෙයින් ප්‍රකෝපිත වන්නවුන්ය. තමන්ගෙ දියණියට කිසිදු අනතුරක් සිදුවන්නට ඉඩ නොදෙමැයි සිතින් ගිවිස ගන්නා මව සහ පියා යන වධකයින් දෙදෙනා විසින්ම තම දියණියගේ කඳුලු දකිමින් ඇයගේ දෙකන් පෙති විද දමයි. එහෙත් එය සාධාරණය. මන්ද එළොවටත් මෙළොවටත් දෙළොවටම නැති අතරමැදියකු ලෙස තම දියණිය වැඩෙනවා දකින්නට දෙමාපියන් අකමැති බැවිණි.

මා හට ඇති ගැටළුව වන්නේද එයයි. දෙකන් පෙති නොවිදි ගැහැණු දරුවකු වර්ධනය වීමේදී අන් ගැහැණු ළමුන් අතර ඇයගේ පැවැත්මේ වෙනස ඇයට කෙසේ බලපානු ඇත්ද? ඇගේ කන් පෙති නොවිදීම පිළිබඳ ඇගේ මිතුරියනුත්, ගුරුවරියනුත් ඇයව ‍මුළුගත කිරීමට ඉඩ ඇත. නිවස අවට වෙසෙන්නන් ඇයව අමුතු සත්ත්වයෙක් ලෙස දකින්නට ඉඩ ඇත. ඥාතීන් අතර ඇය අවපස ලෙස සුවිශේෂ වනු ඇත. ඇය නිතර ඇයගේ අඩුවක් ගැන සිතමින් සිටින්නියක් වනු ඇත. එවිට ඇයට විසඳුමක් ලෙස ස්ව කැමැත්තෙන්ම කන් පෙති විදගැනීමට උවමනා වනු ඇත. එය අතිශය වේදනාකාරී දෙයක් වන නිසාම ඇය තම දෙමාපියන්ට ශාප කරනු ඇත.

"අනේ ඔයාලගෙ කෙහෙල්මල් ආදරේ.... පුංචි කාලෙදිම මගේ කන් විද්දනම් ඉවරයිනේ...."

කඳුළු පිරි දෙනෙතින් ඇය නගන්නට ඉඩ ඇති මැසිවිල්ල එසේ නොවනු ඇතැයි කිව හැකිද?

දෙමාපියන් සැලිකිලිමත් වීමට අවශ්‍ය වනුයේ එය පමණක්ම නොවේද?

සියල්ලටම වඩා බියකරු සාධකය වනු ඇත්තේ ඇයගේ ස්ත්‍රීත්වයේ උවමනාවන් සහ ලක්ෂණයන්ද මෙකී කන් නොවිදීමේ අඩුව නිසා ඇයට අහිමි වන්නට හැකිද යන්නයි. එනම් ඇය පිරිමියකු ලෙස දැණෙන ගැහැණියක වේද යන්නයි. එය පිළිබඳව කීමට තරම් ඒ සම්බන්ධ දැනුමක් මට නොමැති බැවින් එම අවස්ථාව විශ්ලේෂණය කරගැනීම ඔබට බාරය. කන් නොවිදි ගැහැණු දරුවකුගේ මානසික ලිංගිකත්වය ඒ හේතුව නිසාම වෙනස් වන්නට ඉඩ තිබේද?

මට සිතෙන්නේ එසේ වීමට හැකියාවක් නම් නැති වග වුවත් දියණියන්ගෙ කන් පෙති විදින්නට පෙරුම් පුරන පියවරුන්ට නම් එය එසේ වනු ඇතැයි සිතීම වාසි සහගතය.

එසේ වුවත් මා පවසන්නේ සිය දියණියගේ සිඟිති කන් පෙත්ත සිදුරු කරන්නට පළමු සෑම දෙමාපියෙක් විසින්ම සිය කණ් පෙත්ත සිදුරු කරවා ගැනීමට උත්සාහයක් ගත යුතු බවය. නොඑසේ නම් කණ් විදීම යනු දරුවන් ආයෝජනයක් ලෙස දැකීමේම තවත් එක් පැත්තක්ද යන්න පිළිබඳව නැවත සිත අවදි කල යුතු බවය.

සියල්ල අවසානයේ කීමට තවත් යමක් ඇත. මේ සටහන ලියවෙන්නේ දිනක් තුල දෙවතාවක් මා ගැහැණු දරුවන්ගේ කන් පෙති සිදුරු කිරීමේ මානුෂික වෘත‍ය පිළිබඳ සිත් පහල කල බැවිණි.

පාසල් අවදියේ මා හා එක්ව පෙර කී රැඩිකල්මය නොයෙක් දේ හදාල සහ ඒ පිළිබඳව කථා කල මා මිතුරෙක් සිය දරු දෙදෙනාත් බිරිඳක් කැටුව අද දින මට සම්මුඛ විය. එකල ඔහු තමා දිනෙක දියණියකගේ පියෙකු වූ විටෙක කිසි කලෙකවත් ඇගේ කන් පෙති නොවිදින බවට කැඩ කැඩූවකු වූ අතර මෙකල ඔහු වසරකට මදක් වැඩි වයසැති කන් පෙති විදින ලද දියණියක් කරපින්නාගෙන සිටියේය.

Wednesday, 6 April 2011

ආදි ශිෂ්‍ය සංගමය


ඊයේ දහවලදී මා හට මිතුරෙකුගෙන් ඇමතුමක් ලැබුණි.

ඉදිරියේදී පැවැත්වීමට නියමිත සුහද හමුවක් ගැන ඔහු විනාඩියක් පමණ කියවූවේය.

පාස‍ල් කාලයේ සගයන්ගේ සුහද හමුවක් පැවැත්වීමට ඔවුන් සූදානම්ය. දින කීපයකට පෙරාතුව වෙනත් මිතුරෙකුද මා අමතා අදාල හමුවීමේ ඉසව්ව වෙනුවෙන් ලෝගෝවක් නිර්මාණය කරගැනීමේ අවශ්‍යතාවය පිළිබඳව පැවසීය. පාසලේ පැරණි මිතුරන් දහ දොලොස් දෙනෙකු එක්ව ආදි සිසු සංගමයක් වැන්නක් සාදාගැනීමට අර අදී. ඒ දැනටත් නාමිකව ඇති එකට අමතරව විය යුතුය.

මිනිසා සමාජශීලී සත්ත්වයෙක් බව උගෙන ඇතත් ස්වභාවයෙන්ම සමාජශීලී නොවූ මම ඔවැනි හමුවීම් පිළිබඳව ධනාත්මක ලෙස සිතීම උගහටය. තෙමසකට පෙර පැවති ක්‍රිකට් තරගාවලියට සහභාගි වීමට නොහැකි වූයේ මා එදින කොළඹ පැමිණ ඇයත් සමග රෝන්දයක යෙදී සිටි නිසාවෙනි. ඊටත් පෙර පැවැත්වූ හමුවීම් සැසියේදී මා සිටියේ මාගේ පියාගේ අවමගුල කරමත පටවාගෙනය.

එහෙත් මේ අවස්ථාවේදී මෙය වෙනුවෙන් සහභාගි වීමට මට සිදුවනු ඇත.

මම ඔවුන් වෙනුවෙන් ලාංඡනයක් නිර්මාණය කරන්නට පටන් ගතිමි. එය නිර්මාණය කරගෙන යාමේදී පැරණි මතකයන්ද නව සිදුවීම්ද සමග සිත ඒ මේ අත දිව ගොස් අවසන බ්ලොගය දෙසට යොමු විය.

ඉතින් මම ලියමි.

මේ මිතුරන් බොහොමයක් පාසල් අවදියෙන් පසු මට හමුවී ඇත්තේ දෙතුන් වරකි. හේතුව වසර අටකට ආසන්න කාලයක් මා ගමින් බැරව සිටීමය. ඒ කා‍ලයත් වර්තමානයත් සලකන විට මා වෙනස් වී ඇත්තේ අභ්‍යන්තරයෙන් පමණි. බාහිරින් මා තවමත් පැරණි, නොවෙනස් හා ඒකචර වන අතර පෙර කී මිතුරන් බොහොමයක් දෙනා දෙන්නා තුන් දෙනා හතර දෙනා වී ඇත. දැන් ඔවුන්ගේ දරුවන්ට පාසල් සොයන කාලය පැමිණ ඇත්දෝයි මට සිතේ. මන්ද පාසල පාදක කරගත් හමු පැවැත්වීමට වෙනත් හේතුවක් තවමත් මට නොදැණෙන බැවිණි.

වරක් මා සේවය කල ආයතනයක ප්‍රධානියා හෙවත් බොසා අධ්‍යාපනය ලද පාසලේ පැරණි මිතුරකු ආයතනයට පැමිණි අවස්ථාවක ඔවුන් අතර ඇතිවූ සාකච්ඡාවක් මට සිහිවේ.

බොසාගේ මිතුරාගේ දරුවා එම වසරේදී පාසලට ඇතුලත් කර තිබූ අතර එය ජනප්‍රිය පාසලකි. එ‍ය බොසා සහ මිතුරා අධ්‍යාපනය ලද පාසල වූ අතර මිතුරාගේ දරුවා එම පාසලට ඇතුලත් කරගැනීමේදී සලකා තිබූ ප්‍රධාන කාරණය වූයේ පියා පාසලේ ආදිශිෂ්‍ය සංගමයේ සාමාජිකයකු වීමය. එවකට මාගේ බොසාට දරුවන් නොසිටි අතර ඔහුගේ මිතුරාගේ උපදෙස වූයේ හැකි ඉක්මනින් බොසාට සහ බොසාගේ බිරින්දෑට තම පාසල්වල ආදි සිසු සංගමයන් හි සාමාජිකත්වය ලබාගන්නා ලෙසයි. එවිට දරුවකු ලැබී නියමිත වයස පැමිණෙන විට පාසලට ඇතුලත් කරගැනීමේ හැකියාව නිතැතින්ම හිමිවන බව මිතුරාගේ අදහස විය.

මේ කරුණ මේ අයුරින්ම අවස්ථා කීපයකදී මාගේ මිතුරන්, පාරිභෝගිකයන් සහ ඥාතීන් සම්බන්ධයෙන් අත් විඳ ඇත්තෙමි. ඔවුන් ආදි සිසු හමු පිළිබඳ උනන්දු වන්නේ තම දරුවාගේ අධ්‍යාපන අවශ්‍යතා වෙනුවෙනි. එහි වරදක් මට නොපෙනේ. තරගකාරීත්වය අතරේ සියල්ල එසේ ගණුදෙනු බවට වෙස් පෙරලී ඇත.

මා නැවත මාගේ මිතුරන් පිලිබඳ සිතමි. ඔවුන්ගේ අරමුණ කුමක් වුව එසේ කුමන හෝ අරමුණක් වෙනුවෙන් මිනිසුන් එක්වීම යහපත්ය. මාගේ සහභාගීත්වය හෝ දායකත්වය මාගේ තීරණයක් වුව කල්ලි ගැසීම සාමාජික කාරණා අරභයා යහපත් බැව් මම විශ්වාස කරමි. මා සාමාජික සත්ත්වයෙක් නොවීම අනුන් පිළිබඳව මා හට එසේ සිතන්නට බාධාවක් වී නොමැත.

එහෙත් ඔවුන් මා බලාපොරොත්තු වනු ඇත.

මා නැවත ලාංඡනයේ කටයුත්තට අත ගසමි.

අඩු තරමේ අනාගතයේ දිනෙක සංගමය උවමනා වූ විටක ලාංඡනය නිර්මාණය කරදී තිබීම මා හට වාසියක් වනු ඇත.

Monday, 4 April 2011

ගෑණු/පිරිමි ළමයින්ගෙ බර වෙනස්වීම - වයසත් එක්ක


දැං ඔය ළමයි ලෙඩෙක් බලන්න වාට්ටුවකට, නැත්තං දොස්තර කෙනෙක් ගාවට බෙහෙත් ගන්න එහෙම ගියාම ඔය පේන්න තියෙන තරාදියකිං බර කීයද කියල බලනව නෙව. ඕක ඉතිං කොයි කවුරුත් බලන්න කැමති දෙයක්නේ. ඉතිං බර බලල බර ගැනයි අඩු කරගන්න එක ගැනයි වැඩි කරගන්න එක ගැනයි කන්න හොඳ කෑම ගැනයි නැති කෑම ගැනයි ලොකූ කතාවක් තමයි ඊට පස්සෙ හැදෙන්නේ...

අපිට කිරන්න පුළුවන් බර එහෙම වුණාට සාමාන්‍යයෙන් ගෑණු ළමයෙක් පිරිමි ළමයෙක් ලොකු වීගෙන එද්දි එයාලගෙ බර බොහොම අපූරු විධියට වෙනස් වෙනවා. මේ වෙනස් වෙන ආකාරයේ බර දැණෙන්නෙ සහ කිරන්නෙ ඉතිං දෙමව්පියෝ තමයි.

මිනිස් වර්ගයා ගත්තම සාමාන්‍යයෙන් ජීවිත කාලෙන් හතරෙන් එකක විතර කාලයක් හැදෙන්නේ දෙමව්පියන් එක්ක නෙව. ඔය කාලෙනං ඉතිං එක එක සංස්කෘති එක්ක ගත්තම වෙනස් වෙනව. ඉතිං මේක ලංකාවට අදාලව සාකච්ඡාවට ගත්තම සරලව මනුස්සයෙක් තමන්ගෙ දෙමව්පියො ගාව අවුරුදු විස්සක් තිහක් විතර හැදෙනවනේ...

ඔය අවුරුදු විස්සක තිහක කාලෙ ඇතුලත ලංකාවෙ පිරිමි ළමයෙක්ගෙ බර සහ ගැහැණු ළමයෙක්ගෙ බර දෙමව්පියන්ට දැණෙන්නෙ විධි දෙකකට.

පිරිමි ළමයෙක් ගත්තම තරුණ කාලෙ වෙනකල් ඒ තරම් බරක් නැති ගානයි... සාමාන්‍යයෙන් අවුරුදු තිහක් පනිනකල් වුණත් පිරිමි ළමයෙක්ගෙ බර වැඩි වෙන්නෙ නෑ. තිහ පනිනකොටනං අම්මල තාත්තලට පිරිමි දරුව‍ගෙ බර දැණෙන්න ගන්නව. ඔන්න තිහ පැනපු ගමන් පිරිමි ළමයෙක්ගෙ බර සීග්‍රයෙන් ඉහල යන්න පුළුවන්. ඒ එක්කම පිරිමි ළමයෙක් සම්බන්ධයෙන් ඕක කලින්ම වෙන්න පුළුවන් කොල්ලට රස්සාවක් නැත්තං. ඒ කියන්නෙ ඔය ළමයි වගේ විශ්ව විද්‍යාලෙ ගිහින් ඉගෙනගෙන රස්සාවල් කරන වයසෙදි රස්සාවක් නැති වුණාම ඕං තිහ නෙවෙයි විසි පහ වුණත් බර වැඩි වෙනවා. විශ්ව විද්‍යාලවල නොගිහින් රස්සාවකුත් නොකර ගෙදරට වෙලා හිටියොත් විසි පහ නෙවෙයි විසි එක වුණත් දෙමව්පියන්ට හොඳට දැණෙන ගානට බර වැඩි වෙන්න පුළුවන්.

ගෑණු ළමයෙක් සම්බන්ධයෙන් මේක වෙනස්. සාමාන්‍යයෙන් ලංකාව වගේ ආසියාතික රටවල්වල තාමත් ගෑණු ළමයි ඉපදෙනකොටම හරි බරයි. ඔය බර ආයෙත් සෑහෙන්න ඉහල යනව ගෑණු ළමය මල්වර වුණාම. ඒ ඉහල යෑම නවතින්නෙම නෑ... ගෑණු ළමය ඉගෙන ගත්තත් නැතත් සෑහෙන්න කාලයක් යනකල් ඔය ඉහල යන බරේ සීඝ්‍රතාවෙ වෙනසක් වෙන්නෙම නෑ. ගෑණු දරුවෙක් අවුරුදු තිහක් වෙනකල් දෙමව්පියො ගාව ඉන්නව කියන්නෙ ඉතිං දෙමව්පියන්ට උහුලන්න බැරි ගානයි.

ඔය බර එක පාරම අඩු වෙන්නෙ දරුව පෙලවහක් කරගත්තම තමයි. ඊට පස්සෙ දෙමව්පියො ඔය කියන බරෙන් නිදහස් වෙනව. ඒ එක්කම ඔය බර දැණෙන ප්‍රමාණය වෙනස් වෙන සාධක ගොඩකුත් තියෙනව.

දැං ඔය ළමයි ඔච්චර ඉගෙනගෙනත් තියෙන එකේ මේක තේරුං කරගන්න ඒ හැටි අමාරුවක් නැතුව ඇති නෙව. තම තමංගෙ දන්න කියන පවුල් වල දෙමවිපියන්ගෙ දරුවන්ගෙ කතා එක එක අරං බැලුවනං මේ කියන කතාව තේරුංගන්න පුළුවන්.

අද පැවරුමක් විධියට ගෙදර ගිහින් හිතල බලල ලියාගෙන එන්න ඔය අපි කතා කරපු විධියට දෙමව්පියන්ට දරුවන්ගෙ බර දැණෙන ප්‍රමාණය වෙනස් කරන බාහිර සාධක මොනවද කියල....



..................................................................................................

ඉහත සටහන මාගේ මලයාගේ අධ්‍යාපන හඬ ගොණුවක තිබී හමුවූ අපූරු දේශනයක කොටසකි. මේ බර වෙනස් වීමට අදාල ප්‍රස්ථාරයක්ද ඇති බව ඔහු පැවසූ නමුත් මලයා තමාගේ සටහන් ගෙනවිත් නොතිබුණ බැවින් ඔහුගේ ලැපේ තිබූ ගොනුව ශ්‍රවණය කර අදාල අවසරයන් මත උපුටා පලකරන ලදී.

Sunday, 13 February 2011

ලොකු අක්කා...


මනෝජ් ගීතිකා එක්ක ඉස්පිරිතාලෙට ආවෙ ලොකු අක්කව බලන්න. කලින්දා රෑ රුධිර පීඩනේ වැඩි වෙලා ලොකු අක්කව ඉස්පිරිතාලෙ නවත්තල.

ඉහල මාලෙට නගින පළල් පඩිපෙලේ වයසක සීය කෙනෙක් අමාරුවෙන් හෙමින් හෙමින් අත්වැල අල්ලගෙන ඉහලට නගිනවා...

"නගින්න අමාරුයි නේද සීයා..." මනෝජ් සීයගෙ දකුණු අත යටින් අත දාල සීයව වත්තම් කරගෙන හෙමින් ඉහලට එක්කගෙන ගියා...

සීයා රෝහලේ රෝගියෙක් බව පේන්න තිබුණා. මැණික් කටුවෙ තිබුණ සේලයින් දෙන්න අමුණපු කටුවක්.

ඒත් මේ උඩ තට්ටුවෙ තියෙන්නෙ කාන්තා වාට්ටුවක්.

"මේ... සීය වාට්ටුව වරද්දගෙනද දන්නෑ... උඩ තියෙන්නෙ ගෑණු අයගෙ වාට්ටුවනේ" ගීතිකා මනෝජ්ගෙ කණට කෙඳිරුව.

"සීය හරි වාට්ටුවටද යන්නේ...?" මනෝජ් ඇහුවා.

වැරදි වාට්ටුවට ගිහින් අනිත් පාර බලධාරියගෙන් බැණුම් අහගන්නත් වෙයි උදව් කලා මදිවට...

"නෝන ඉන්නෙ උඩ වාට්ටුවෙ මහත්තයෝ..." සීය හරිම හෙමින් මිමිණුවා...

ඒ කියපු කතාව මනෝජ්ට තේරුණෙ නැතත් සීයට යන්න උවමනා උඩ වාට්ටුවට බව ඒ කතාවෙන් තේරුණ නිසා මනෝජ් ආයෙ මුකුත් කියන්න ගියෙ නෑ...

වාට්ටුව පටන් ගන්න කොරිඩෝව ගාවදි මනෝජ් සීය‍ට සමු දීල ලොකු අක්ක හිටපු පැත්තට හැරුණා. සීය මූණ පුරා හිනාවක් ඇඳන් මනෝජ් දිහා බැලූ බැල්මෙ වචන වලට පෙරලන්න බැරි තරම් ස්තූතියක් ගැබ්වෙලා තිබුණ.

මනෝජ් ගීතිකාවත් ඇදන් සෙනග අස්සෙන් ලොකු අක්කගෙ ඇඳ ගාවට ගියා. අක්කගෙ පුතයි දුවයි දෙන්නත් ඇවිත් හිටිය. ඒ එක්කම ලොකු අක්කලගෙ ගෙදරට අල්ලපු ගෙදර සින්ති අක්කත් ඇවිත්.

ආගිය තොරතුරු කතා කරමින් දොස්තරල කියපුව ගැන අහමින් ඉන්න අතරෙ සින්ති අක්ක කොහේදෝ ගිහින්... එයා නොදන්න කෙනෙක් නෑ ඉස්පිරිතාලෙ... කාව හරි හම්බවෙන්න යන්න ඇති කියල ලොකු පුතා කිව්ව.

ලෙඩ්ඩුන්ට කෑම දෙන කෑම ට්‍රොලිය තල්ලු කරන් ආපු රෝහලේ සේවිකාවො දෙන්නෙක් කෑම ඕන කට්ටියට කෑම බෙදුවා.. මනෝජ් ලොකු අක්කත් එක්ක ආයෙමත් ලෙඩ ගැන කතාව ඇදගෙන ගියා...

"අනේ පව් අර සීයයි ආච්චියි... දෙන්නම වාට්ටු දෙකේ නැවතිලලු... " කොහෙදෝ ඉඳන් ආපු සින්ති අක්ක මැද්දට පැන්නා.

සින්ති අක්ක කවුරු හරි එක්ක කතා කරපු ටිකට ඕපයක් හොයාගෙනද? කට්ටියම බැලුවා සින්ති අක්ක බලන් හිටපු දිහා.

මනෝජ් වාට්ටුවට එක්කරගෙන ආපු සීය තවත් ආච්චි කෙනෙක් එක්ක ඇවිත් කෑම ට්‍රොලියෙන් කෑම ගන්නව. දෙන්න බත් දෙකක් බෙදාගෙන වාට්ටුව කෙළවරේම ඇ‍‍ඳට ගිහින් ඉඳගෙන කන්න පටන්ගත්ත. දෙන්නටම එක වගේ වයස. ඇවිදගන්නෙත් අමාරුවෙන්..

"අනේ හරිම පව්... ළමයි නැද්ද දන්නෙ නෑ..." ගීතිකා මනෝජ්ගෙ අතින් අල්ලගෙන කිව්ව.

"ළමයි හතර දෙනෙක් ඉන්නවලු... සලකන්නෙ නෑලු..." එහෙම කිව්වෙ ලොකු අක්කට අල්ලපු ඇ‍ඳේ හිටපු ලොකු අක්කගෙ වයසෙම වගේ අක්ක කෙනෙක්. එයා ඇ‍ඳේ හරි බරි ගැහිල ඉඳගත්තෙ කතාව කියන්න. ඒ අක්ක කෝච්චියක් වගේ කියවන්න දස්සයි කියල උදේ ආපු වෙලේ ලොකු අක්ක කියල තිබුණ.

"ඔය සීය කෑම ගන්න වෙලාවට ආච්චිව හොයාගෙන එනව. එයා ඉන්නෙ පහල පිරිමි වාට්ටුවේ..."

"පව් නේද..." කව්දෝ කිව්ව.

"ළමයි බලන්නෙ නෑලු... ඔය වැඩිහිටි නිවාසෙන් තමයි ගෙනත් බාර දීල තියෙන්නෙ... ආච්චි දැන් සති දෙකක් විතර ඉන්නවලු..." අල්ලපු ඇ‍ඳේ අක්ක සම්පූර්ණ කතාවම කියනවා...

දරුවෙක්ට එහෙම වෙන්න පුළුවන්ද?

මනෝජ් කල්පනා ලෝකෙකට වැටුණ. මනෝජ්ට අම්මල දෙන්නෙක් හිටිය. එක්කෙනෙක් වදාපු අම්ම. අනිත් එක්කෙනා මේ ලොකු අක්ක. මනෝජුත් ලොකු අක්කත් අතර තිබුණ අවුරුදු 16ක විතර වයස් පරතරේ නිසා පුංචි කාලෙ මනෝජ්වයි අනිත් සහෝදර සහෝදරියො 4 දෙනාවයි හැදුවෙ ලොකු අක්කා... අදටත් පුංචි දේටත් ‍ලොකු අක්ක ගාවට දුවගෙන එන මනෝජ්ට ලොකු අක්ක ගැන තිබුණෙ අම්ම කෙනෙක් ගැන දැණෙන හැඟීමක්. ගීතිකා එක්ක විවාහ වුණ දවසෙ ඉඳන් ලොකු අක්ක ගැන ඒ හැඟීම ගීතිකාටත් පොවන්න මනෝජ් උත්සාහ කලේ ඒකයි.

සීය ආච්චි එක්ක කෑම කාල ඉවර වෙලා ආයෙත් හෙමින් හෙමින් වාට්ටුවෙ කොරිඩෝව දිහාට ඇදුණ. ආච්චි හිස් පිඟන් දෙකත් අතේ තියාගෙන ඇ‍ඳේ ඉඳගෙන බලන් හිටිය. ආච්චිගෙ ඇ‍ඳට අල්ලපු ඇ‍ඳේ හිටපු අම්මව බලන්න ඇවිත් හිටපු තරුණ ගෑණු ළමයෙක් සීයව වත්තන් කරන් එලියට ගියා...

ගීතිකාගෙ ඇස් කෙවෙනි වල කඳුළු බින්දුවක් රැඳිල තියෙනව මනෝජ් දැක්ක.

රෝහල් ආරක්ෂක අංශයෙන් ඇවිත් එලවනකංම මනෝජ්, ගීතිකයි ලොකුපුතයි දුවයි සින්ති අක්කයි එක්ක ලොකු අක්කව ශක්තිමත් කරන්න විහිලුවෙන් තහලුවෙන් පැය බාගයක් ගෙව්වා. රුධිර පීඩනේ පැත්තකට දාල ලොකු අක්කත් කැකිරි පැලුවා.. අන්තිමේ ලොකු අක්කට සමු දීල පස් දෙනාම එලියට ආවා...

පහල තට්ටුවෙ පිරිමි වාට්ටුව පහුකරගෙන යද්දි අර සීය ආයෙමත් හම්බවුණා... එයා කොරිඩෝවෙ එළියෙ දාල තියෙන ඇඳක ඉඳගෙන කොරිඩෝවෙ කණු අතරින් පේන අහස දිහා බලාගෙන කල්පනාවක. මුහුණෙ දරාගන්න බැරි දුකක පෙනුමක්...

මනෝජ්ගෙ අතින් අල්ලන් හිටපු ගීතිකාගෙ අතේ ග්‍රහණය දැඩි වෙනව මනෝජ්ට දැණුනා...


පින්තූරෙ මෙතනින්...

Saturday, 2 October 2010

කසාදයක් කරගත් ගැහැණියක්…

මේක මට ලියන්න විශේෂ හේතුවක් නැතත් අපේ මරේ එක දිගට කාන්තා විමුක්තිය ගැන කතා කරද්දි මේක ගැනත් කිව්වොත් හොඳයි කියල හිතුණා. කතාව සත්‍යයි නම් ගම් මනඃකල්පිතයි.

සාවිත්‍රිගේ වයස අවුරුදු 27යි. බැඳල මාස හයයි. එයා දැන් මාස හතරක ගැබක් තියෙන, අම්ම කෙනෙක් වෙන්න බලාගෙන ඉන්න සුන්දර ගැහැණියක්.

අද උදේ සාවිත්‍රි වැඩට ඇවිත් හොඳටම ඇඬුවා. හේතුව කෙලින්ම අපට කිව්වෙ නැතත් අපේ ඕපදූප මීටර් වලට අහුවුණ විධියට කලින් දා රාත්‍රියේ සාවිත්‍රිගේ සැමියා ඇයට පහර දීල තිබුණ.

මේක ගැන යාළුවො ටික කතා වෙද්දි අපේ ලාබාල ගයාන් කිව්ව "සාවිත්‍රිටත් හැරිච්චගමන් එකක් දෙන්නනේ තිබුණේ" කියල.

එතකොට සුජානි මිස් කිව්වෙ "ඒ මිනිහ රළු හැඩිදැඩි මිනිහෙක්. ඒ නැතත් පිරිමින්ට එහෙම ගහන්නෙ නෑනෙ ගෑණු" කියල.

ආයෙ ගයාන් කියනව "ඒක තමයි ලංකාවෙ ගෑණුන්ගෙ වැරුද්ද" කියල.

මෙතන තියෙන්නෙ ගුටිකෑම හා ගුටි දීම ගැන ප්‍රශ්ණයක් නෙවෙයි. මේ පේන විධියට මේ යුවතිපතින්ට තියෙන ගැටළුව මොකක් වුණත් පළවෙනි කාරණය විධියට ගහ මරාගන්න ගානට ප්‍රශ්ණ ඇදෙන්න තරම් දෙන්න අතර අවබෝධයක් නැද්ද? ඊළඟ එක මේ දරුවෙක් දරාගෙන ඉන්න අම්ම කෙනෙක්ය කියන එක ඒ තාත්තටම අමතක වීම මාර අවුලක් නේද?

ඇත්තම කතාව ඒකත් නෙවෙයි කියලයි අපි තර්ක කලේ... මේ විවාහය මොකක් වුණත් යෝජිත විවාහයක් වෙන්න ඇති. නැත්තං තමන් ජීවිත කාලෙම ඉන්න කියල කසාද බඳින මනුස්සයගෙ හැටි ස්වභාවය නොදැන ඉන්න විධියක් නෑනේ ප්‍රේම කරල විවාහ වුණා නම්...

යෝජිත විවාහයකින් පස්සෙ දෙන්න තම තමන් ගැන හරියට අඳුනගන්නෙවත් නැතිව ළමයි හදන්නත් කල්පනා කරලා... දැන් තමයි කසාදෙ ර‍ඟේ තේරෙන්නේ. ඒත් දැන් කෝච්චිය ගිහින් ඉවරයිනේ.

කසාදෙකදි අන්‍යෝන්‍ය අවබෝධය කියන දේ වැදගත්ම සාධකය කියලයි මම නම් දන්න තරමින් හිතෙන්නේ. ප්‍රමාණවත් අවබෝධයක් නැතිව ඉදිරි පියවර තිබ්බොත් අවුලක්. හරියට කඹයක් උඩ ඇවිදිනව වගේ වැඩක් ඒක.

මම මේක මේ තරම් දෙයක් කරගත්තට ඇත්තටම මේක මේ තරම් දරුණු නැතිව ඇති. සමහර විට අද රාත්‍රියෙ සාවිත්‍රිගෙ සැමියා එයාගෙන් සමාව අරන් වැඳවැටිල ෂේප් වෙලා දෙන්න කොහේ හරි රෙස්ටුරන්ට් එකකට ගිහිල්ල කෑම ගන්නත් ඇති. නමුත් එහෙම වුණාය කියල මේ වුණ සිදුවීම ලෝකෙ ඕනම තැනක ආයෙ සිදුවෙන්‍නෙ නෑ කියන්න බෑනේ....