Showing posts with label food. Show all posts
Showing posts with label food. Show all posts

Friday, 26 May 2023

අම්මගෙ රොටිය

 


 

අම්මා රොටි හදද්දි
පැටි කාලෙදි ඉල්ලුවා මතකයි
අම්මා හීනි රොටියක් ඕන
කර කර ගාල හැපෙන්න
අම්මා කොහොම හරි
රොටියක් හදල දුන්නත්
සමහර වෙලාවට හිතපු තරම්
ඒක තුනී නැතිවෙනකොට
හිත නොරොක් වුණත් මතකයි

අද ඉඳහිට පවුලට
ගෑස් ලිපේ රොටී හදනකොට
තේරෙනවා අමාරුව
අඟුරු නොවී අමුත් නැතිව ගාණට
රොටි තුනී කරල පුච්චන
මතක් වෙනව අම්මව
අකීකරු ගින්දර එක්ක
දර ලිපේ රොටි පුච්චපු
හිත කඩා වැටෙනවා එතකොට

පවුලේ අය රොටි දෙක තුන
හරිම රහයි කියා කනකොට
හිත යටින් නැගෙන සතුටට
දැනෙනවා අම්මාත් හවුල් බව
අම්මා හදන විදියටම
ඒ රහටම සුවඳටම
රොටිය පිච්චිලා එනකොට
හිත පිරී සැනසෙන්නෙම
මතක් වෙලා අම්මාව

2023-05-21

Wednesday, 1 March 2023

ලන්ච් රූම් ප්‍රේමය

 

උදයෙත් දහවලෙත් ඇය මේසෙක එපිට
බත්මුල ලිහයි නිහඬව ඇයගෙම ලොවක
ලන්ච් රූමයේ වෙනකෙකු නැති අවට
ඇගෙ හැඩ විඳිමි මෙහි සිට මම ඇස් අගක

වදනක් නොබා ඇය බත්පත වළඳන්නේ
දුරකථනයට එබිලයි මම බත් කන්නේ
ඈ පෙර දැක නොමැති බව නිසැකව දන්නේ
ස්ථාන මාරු ලැබ විය යුතුයි ඇය එන්නේ

පෙනුමෙන් නොමැත ඇගෙ ඒ හැටි විශේෂයක්
මේ දහසක් කතුන් වැඩ කරන පරිශ්‍රයක්
උන් අතරේ මම දන්නේ දහ දොළහක්
ඒ අතරට ඈත් ආවොත් ප්‍රහර්ෂයක්

වැඩි මිතුරුකම් ගැන නෑ මට මනාප
තනිවම හිඳිමි මම නැහැ කිසි විලාප
වැඩි සබඳකම් වාතයි විවිධ ස්වරූප
ඇය නැහැ වෙනස් එ වුණත් නෑ අමනාප

ඇගෙ කුසගින්න මට කුසගිනි වෙලාවෙම
දැණුනේ කොහොම මගෙ සිතුවිලි පුරා මම
හිත යට සිට නැගෙන පිබිදුම තලා බණ
ආදරේ ඇත්තෙ බඩවල අපෙ sync වුණ

Wednesday, 6 July 2011

‍පැත්තකට කෙළ හලමින් තක්කාලි සෝස් හැදුවෙමි


තක්කාලි සෝස් ලේසියෙන්ම හදාගන්න පුළුවන් කියල කාලෙකට ඉස්සර ආරංචි වුණ වෙලේ ඉඳන් ගෙදර තක්කාලි සෝස් හදන්න මට හෙන.... පොඩි ආසාවක් ඇති වුණා. ඒත් එක එක එව්ව මෙව්ව නිසා ඕක හදාගන්න එක ටිකෙන් ටික කල් ගියා. සාමාන්‍යයෙන් අපේ ගෙදර ඔය සුකුරුත්තන් කෑම හැදුවෙ තාත්ත. අම්ම නං ගොඩක් අනිත් අම්මල වගේම ටීවී එකේ හදන හැම කෑමක්ම බලාගෙන ලියාගත්තත් කවදත් එකම රෙසිපිය දාන්න කමයි කැමති. කොහොම හරි අන්තිමේ ඔය වැඩේ ඇඟේ ගහන්න උන්න අපේ තාත්තත් යන්න ගියා. ඒකෙන් වුණේ වැඩේ මටත් අමතක වුණ එක.

පහුගිය දවසක ඔපීසියෙ කෑම වෙලාවෙදි කාන්තාවො සෙට් එක කතා වුණා තක්කාලි වල ගණන් සෑහෙන්න අඩු වෙලා... කිලෝව රුපියල් 10-15ටත් තියෙනවා කියල. ඔතනදි තමයි අර හැංගිල තිබුණ තක්කාලි සෝස් හැදීමේ ආසාව ආයෙත් මතුවුණේ. එදාම ඕක අම්මට කියල බැලුව. බැලින්නම් එයත් ඒ වෙද්දි ඔය ලොයිඩ් මහත්තයගෙ වස සරණිය එහෙම බලල වැඩේ පොඩ්ඩක් අල්ලගෙනයි හිටියෙ. ඉතිං බල බලා ඉන්නෙ නැතිව අම්මට කිව්ව පොළට ගියාම තක්කාලි කිලෝවක් විතර ගේන්න කියලා...

මම තක්කාලි සෝස් හදන වීඩියෝ කීපයක් හොයල ඒව අම්මටත් පෙන්නුව. ඊට පස්සෙ ඔන්න පහුගිය දවසක අම්මයි මමයි දෙන්න එකතු වෙලා හදන්න පටන් ගත්ත තක්කාලි සෝස්.

තක්කාලි සෝස් හැදිල්ලෙ විශේෂත්වය තමයි ප්‍රධාන ක්‍රමය ඇරුණම සෝස් එක හදන්න ක්‍රම ගොඩක් තිබීම. ඒ එක්කම තමන්ගෙ කැමැත්ත අනුව ඒකට එකතු කරන්න පුළුවන් රසකාරක වල සීමාවකුත් නැහැ. ඒ වගේම තමන්ට කැමති විධියට තක්කාලි වලට අමතරව වෙනත් එලවලු වලින් පොඩ්ඩක් බැගින් එකතු කරගන්නත් පුළුවන්.

එහෙනම් අපි හදමු. මේක ගැන පෝස්ට් එකක් ලියන්න පුළුවන් නේද කියල මතක් වුණේ පස්සෙ නිසා පියවරෙන් පියවර දාන්න නම් පින්තූර නෑ. තියෙන ටිකත් මගෙ K770i එකෙන් දුර්වල ආලෝක තත්ත්වය උඩ ෆ්ලෑෂර් සහිතව සහ රහිතව ගත්තු එව නිසා කොලිටිය පිළිබඳ සමාව භජන්න.


අවශ්‍ය ද්‍රව්‍ය -

ඉදුණු තක්කාලි කිලෝවක් පමණ

සීනි ග්‍රෑම් 75ක්

ලුණු කුඩු මේස හැඳි 1ක් හෝ අවශ්‍ය ප්‍රමාණයට

හෝ මිරිස් කරලක් දෙකක් (මේවට නයි මිරිස් කියලත් කියනවා. වෙන නමක් තියෙනවද දන්නේ නෑ.. හෙන සැරයි සහ සුවඳයි. මේව අපි හිතල දැම්මේ සුවඳ වෙන්නත් එක්ක... කරල් දෙකක් ටිකක් වැඩියිත් වගේ.)

කෑලි මිරිස් මේස හැඳි 2-3ක් (සැරට ඕනනම් තව දාන්න පුළුවන්. මම හෝ මිරිස් දාපු නිසා කෑලි මිරිස් ඒ තරම් දැම්මෙ නෑ.)

කරපිංචා ටිකක්

කෝන් පිටි හැඳී කීපයක් (ඔය කෑම හදන උදවිය මේවට කියන්නෙ කෝන් ෆ්ලා කියල. මේව නැතත් අවුලක්නම් නැති වෙයි.)

සුදු ළූණු බිකි 5-6ක්

තව ඔය එනසල්, කරාබු නැටි, ගම්මිරිස්, කුරුඳු වගේ රසකාරක ඕන දෙයක් පොඩ්ඩ පොඩ්ඩ

ඔලිව් ඔයිල් නැති නිසා පොල්තෙල් මේස හැඳි කීපයක්

විශේෂ උපකරණ විධියට බ්ලෙන්ඩරයක් සහ ටිකක් ලොකු සිදුරු තියෙන පෙණේරයක් හොයාගන්න වෙනවා. තේ පෙරණ, පිටි හලන එව්ව නෙවෙයි... ඔය පොල්කිරි පෙරන්න ගන්න මිලිමීටරේ විතර සයිස් සිදුරු තියෙන එකක්.


සාදන ක්‍රමය

මුලින්ම තක්කාලි ටික තම්බන්න පුළුවන් තරම ප්‍රමාණයකට වතුර ටිකක් උණු වෙන්න තියන්න. ඒක රත් වෙන අතරෙ තක්කාලි ටික සෝදලා ඒවයෙ පැත්තකින් උඩ ඉඳන් පහලට පොත්ත විතරක් කැපෙන ගානට කැපුමක් දාන්න. වතුර ඩාන්ස් කරද්දි ඒකට තක්කාලි ටික දාල විනාඩි 6-7ක් විතර තම්බන්න.

ඊට පස්සෙ තක්කාලි ටික හැන්දකින් අරගෙන සීතල වතුරෙ දාල රස්නෙ යනකල් ටිකක් වෙලා තියෙන්න දෙන්න. එතකොට තක්කාලි වල පොත්ත නිකංම බුරුල් වෙලා යනව අර කැපුම නිසා. ඒ තක්කාලි එක එක අරගෙන පොත්ත ගලවලා අයින් කරන්න. ලොකු සිදුරු තියෙන පෙනේරය භාජනයක් උඩින් තියලා ඒකට තක්කාලි ටික දාල විනාඩියක් විතර තියන්න වතුර බේරෙන්න. (වතුර බේරුවෙ නැතත් කමක් නෑ... මොකද පස්සෙ වතුර එකතු කරන්න වෙන්නත් පුළුවන්. අපි මේ තියරියට හදන්න ගිය නිසයි වතු‍ර බේරුවේ...)

වතුර බේරෙන අතරෙ අර මිරිස්, ළූනු වගේ ඒව පොඩියට කපල (ලොයිඩ් අංකල් කියන්නෙ චොප් කරනව කියල) තියාගන්න...

ටිකක් උස සාස්පානක් ලිපේ තියල ඒකට තෙල් ටික දාල කරපිංච එක්ක පොඩියට කපාගත්තු එව්ව සේරමත් දාල පොඩ්ඩක් තෙම්පරාදු කර‍ගන්න. ලිපේ ගින්දර වැඩි නොකර මද ගින්නේ තමයි වැඩේ වෙන්න ඕන.

ඒකට වතුර බේරපු තක්කාලි ටික දාල කෑලි වෙන් වෙන විධියට හැඳිගාන්න. විනාඩි 10-15ක් එහෙම කරලා කුරුඳු, ගම්මිරිස්, කරදමුංගු, කරාබු නැටි වගේ හොයාගත්තු සේරම රසකාරක ඒකට දාන්න. ඒ එක්කම කෑලි මිරිස්, සීනි, අවශ්‍ය තරමට ලුණු එක්ක අනිත් නොදාපු සේරමත් දාගන්න. දාල ආයෙත් හැඳිගාන්න. ඒ අතරට කෝන් පිටි මේස හැඳි 2-3ක් ඒ තරලයට එකතු කරන්න. ඒකෙන් සෝස් එක ටිකක් උකු වෙනවා.



ඔය සේරම එකතු කලාට පස්සෙත් තව විනාඩි 20-30ක් විතර හැඳිගාමින් සෝස් එක හදන්න වෙනවා. රස බලල අඩුවැඩිය එකතු කරන එකත් ඒ අතරෙ කරන්න පුළුවන්. උකු වැඩියි වගේ දැණෙනවනම් වතුර පොඩ්ඩක් එකතු කරල ආයෙ හැඳි ගාන්න. ‍ඊට පස්සෙ භාජනේ ලිපෙන් බාල ටිකක් නිවෙන්න තියන්න. බ්ලෙන්ඩර් එකට සේරම දාල ‍විනාඩියක් විතර බ්ලෙන්ඩ් කරගන්න. ඊටත් පස්සෙ ඒක ආයෙමත් අර ලොකු සිදුරු සහිත පෙනේරයට දාල තක්කාලි ඇටයි වෙනත් පොඩි නොවුණු හප ටිකයි පෙරල අයින් කරන්න.



දැන් සෝස් එක හරි. මම කලා වගේ ඇඟිල්ල ඔබල ටිකක් අරන් දිවේ ගාල බලන්න :P


අපි හදපු එකේ කඩේ තියෙන ඒවට වඩා ගතියක් තිබුණත් අර නයි මිරිස් කරල් දෙකක් දාපු නිසා ටිකක් විතර සැර වැඩි වුණා මුලදි. අදට දවස් 2ක් වෙනව හදල. දැන් නම් සැර අඩුයි. ගෙදර උන් කන විධියට තව දවස් කීපයක් තියෙයි :D

මේක ශීතකරණයක තියාගෙන සතියක් විතර කන්න පුළුවන් වෙයි. අපි කල් තියාගන්න රසායන ද්‍රව්‍ය නොදැම්ම නිසා ඊට වඩා තියාගන්න නම් බැරි වෙයි.

මේක හැදිල්ල ඉගෙනගන්න බලපු වීඩියෝවක විධියට හරියටම සෝස් එකේ පදම එන්න නම් ඒක පැය 1 1/2ක් ලිපේ තියන්න ඕනලු.

විනාකිරි සහ සෝඩියම් බෙන්සොඒට් එකතු කරල මේක බෝතල් කරල කල් තියාගන්න පුළුවන් විධියට හදාගන්න පුළුවන්.

සාමාන්‍යයෙන් අපි දන්නෙ එකම එක තක්කාලි සෝස් එකක් වුණාට ‍තක්කාලි සෝස් කිව්වම එකක් නෑ.... ඒක වෙනත් කෑමක් රස කරන්න පාවිච්චි කරන එකක් නිසා තමන්ට උවමනා දේවල් එකතු කරල සහ උයන වෙලාව වෙනස් කරල සෝස් එකේ රස සහ ස්වභාවය වෙනස් කරගන්න පුළුවන්. මම දැකපු එක වීඩියෝවකදි කෙනෙක් කැරට්, බෙල් පෙපර්, ගෝව වගේ ඒවත් දැම්මා... මොනව වුණත් ගොඩක්ම තියෙන්නෙ තක්කාලි නිසා බ්ලෙන්ඩ් වුණාට පස්සෙ ‍කෝකත් තක්කාලි සෝස් තමයි.

මේක ගැන හොයද්දි මේ සෝස් හැදිල්ල ගැන සිංහලෙන්ම කියාදෙන වීඩියෝවක් හම්බ වුණා. ඒක මෙතනින් බලන්න. ඒ එක්කම ඒ සයිට් එකත් ගොවිතැන් ගැන උනන්දු අයට මරුවට හිතට අල්ලයි.

ඔයිට අමතරව එක එක විධි වලට තක්කාලි සෝස් හදන විධි දැනගන්න මෙතනින් පුළුවන්!

Tuesday, 17 February 2009

දැල් දැමීම

පුංචි කාලෙ ඉඳන් කියවල විතරක් තිබුණ සංසිද්ධියක් සතියකට විතර කලින් මම අත්වින්ද සජීවීව. බටහිර වෙරල තීරයේ පුංචි නගරයකට ගිය සවාරියකදි මුහුදෙ දැල් දාල මාළු අල්ලන විධිය මම දැක්ක. ඒ ගැන අමුතුවෙන් කියන්න ඕන වෙන එකක් නෑ බොහොමයක් දෙනාට. ඒ නිසා මම ඒකෙ තාක්ෂණික දේවල් ගැන කියන්න යන්නෙ නෑ.

මොනව වුණත් එතන හිටපු කෙනෙක්ගෙන් මම දැනගත්තු කරුණු කීපයක් ඒ සිද්ධියත් එක්ක ගලපන්න හිතුවා.

වෙලාව දවල් 1ට කිට්ටුයි. අපි කීප දෙනෙක් වෙරලෙ එහෙ මෙහෙ ඇවිදිමින් හිටිය ටිකක් ඈත දැල අදිමින් ඉන්න අය දිහා බලාගෙන. එතනට නොයා ඉන්න බැරි වුණා මට. ඒ වෙලාවෙ දැල සෑහෙන්න තරමක් ගොඩට ඇදලයි තිබුණෙ. එතන ගැහැණු පිරිමි සෙරම 20කට වඩා හිටිය. දැලේ ලූපයේ කෙලවර මුහුදෙ මීටර 50කට වඩා ඈතින් තිබුණෙ. ඒ වුණාට බොහොම ඉක්මනින් දැල ගොඩට ආවා.

මම හිතපු තරම් මාළු හිටියෙ නෑ. ඒ වුණාට සට සට ගාමින් පණ ගැහෙන මාළු රොත්තක් ඒ දැලේ රැඳිල හිටිය. ඒ අතරෙ බොහොමයක් රිදී පාට අඟල් 6 කට වඩා දිග මාළු. අඩියකට වඩා දිග අය කීප දෙනෙකුත් දැල්ලො කීපදෙනෙකුත් හිටියා. කලබල වුණාම බඩ පිම්බෙන වර්ගයේ පුංචි මාළු හිටිය. මට මතක් වුණේ
Finding Nemo චිත්‍රපටිය. ඒකෙත් ඉන්නවා ඒ වගේ එක්කෙනෙක්.

කොහොම හරි මාළු ටික එතන හිටපු 20-30ක් මිනිස්සු බලන් ඉද්දි විනාඩියකට වඩා දඟලල මිය ගියා. ඒ අර මිනිස්සු 20-30 දෙනත් එයාලගෙ පවල් වල අයත් ජීවත් කරවන්න. මට මොහොතකට හිතුණා මම ලබන කාලකණ්නි සතුට ගැන. ඒත් ඒක එහෙම තමයි. ඒක තමයි ස්වභාවධර්මය. අපි ඒක වෙනස් කලාට තවමත් අපි ස්වභාවධර්මයට යටයි.

මේ මාළු දැල දිනකට කීප වතාවක් එලනවා කියල එතන හිටපු ධීවර මහත්මයෙක් කිව්ව. ඒ වගේම පවුල් 10-15ක් මේ දැල නිසා ජීවත් වෙනවලු. පසුව දැනගන්න ලැබුණා මේ දැල අයිති මනුස්සයෙක් ඉන්න බව. දැල්ලො ටික එයා අරන්. ඉතිරි මාළු ටිකම රුපියල් 2000කට විකිණිලා. එහෙම විකිණුනේ නැති පුංචි මාළු වෙරලෙම ඉතිරි වෙන්න ඇති.

ඒක එතනින් ඉවරයි. මම ලබපු අත්දැකීම එපමණයි. ඊට පස්සෙ මම කැරකෙන්න ගත්තා. කලින් දා සමහර විට අර දැලෙන්ම ගොඩට ආපු පුංචි මාළු තෙලින් කර වෙල අපේ දිව පිනවන්න ගත්තා රසම රස සුදු ළූණු බයිට් එකක් එක්ක. හතරැස් බෝතලයක් රැස් විහිදුවමින් ඉවර වුණා.

ජීවිතේ එහෙමයි. මිනිස්සු දැල් දානවා. ඒ සල්ලි වලින් කාල බීල පවුල් නඩත්තු කරනවා. ගොඩ එන මාළු තෙල් නාගෙන ආයෙත් වෙරළට ගිහින් දැල් දානව බලන්න යන මිනිස්සුන්ගෙ බඩවල් වලට යනවා.

Saturday, 9 August 2008

අහේනිය

බත් ගැන කතාවත් එක්ක මට අද මුහුණ දෙන්න වුණ තවත් කතාවක් කියන්න හිතුවා. අද දවල් ආහාරය ගන්න ගිය වෙලාවෙ මගේ නැන්ද කෙනෙක් එක්ක කතාවක් දාන්න අවකාශ ලැබුණා. කතා කලේ ජීවත් වෙන්න අද තියෙන අමාරුව ගැනයි.

මට නම් ඔය ආහාර වල මිල ගණන් ගැන කිසිම අදහසක් නෑ. කෑම බීම ගෙවල් වලට අරන් යෑමේ උවමනාවක් තවම නෑනේ. ඒත් අපේ වැඩිහිටි පරපුර නම් ඒව ගැන විමසිලිමත්නේ. පරිභෝජන ද්‍රව්‍ය වල මිල ගණන් වල විචලනය වීම් එයාල දන්නව. මම දන්නෙ එහෙම ආර්ථික විපර්යාසයක් වෙනව කියල විතරයි.

නැන්ද හරිම දුකින් කතා කරනව එයා ගැන. හැමදේම මිල වැඩිවෙලා ලැබෙන සොච්චම ඒ තරමටම තියෙද්දි. ටික කාලෙකට කලින් රුපියල් 30ට ගත්තු ලුණු පැකට් එක දැන් රුපියල් 45ක් ලු. රට වටේම මුහුද තිබුණට බලන්න ලුණු වලට ගිය කලක්! වෙනද ලුණු පැකට් 3ක් රුපියල් 10ක ඉතිරි මුදල් එක්ක රුපියල් සීයට ලැබෙද්දි දැන් ඒ මුදලම ඉතිරි ලැබෙනවලු ලුණු පැකට් දෙකක් එක්ක. ලයිට් බිල වතුර බිල සියයට එකසිය පණහකට වඩා වැඩි වෙලා.

වෙනද රුපියල් 5000ක් වියදම් කරල ගෙදරට ගන්න බඩු ටිකම ගන්න දැන් 12000ක් යනවලු. මේව හරියටම හරි කියල මම හිතනව. මොකද ඒයාල නුගේගොඩ පාරම්පරික පදිංචිකාරයෝ. කොහොම හරි කඩේ මුදලාලි නැන්දට කියනවලු "නෝන වෙනද ගන්න බඩු ටිකම තමයි අදත් ගන්නේ. පොඩ්ඩක් වත් එහා මෙහා වෙලා නෑ" කියලා. ඇත්තනේ. එකම බඩු ටික වුණාට ඒවයේ මිල දෙගුණයකින් වැඩි වෙලා.

මේ අහේනිය තියෙන්නෙ දුප්පතුන්ට විතරයි. පෝසතුන්ට මේ ආර්ථික වෙනස දැනෙන්නේ නෑ. හරිම වැඩක් තමයි. කොච්චර නෑ කිව්වත් ඇඳුම් සාප්පු වල මාර සෙනග. ඒවයෙ වාහන නැවතුම් හවසට පිරෙනවා හැමදාම. අළුතෙන් දාපු නුගේගොඩ ඩොනල්ඩ් අප්පුහාමිගෙ කඩේ හුස්මක් ගන්න බැරි තරම් සෙනග දකින හැම වෙලේම.

ඇත්තම ප්‍රශ්නය ආදයම් බෙදීයාමේ විෂමතාවය කියල තමයි කියන්න වෙන්නේ. ඒත් ඒ ගැන මෙතන කියන්න ගියොත් කෙලවරක් නැති පැති ගොඩක සරන්න වෙනවා...

දුප්පතුන් අද ගොඩක් කැපකිරීම් කරලයි තියෙන්නේ මේ යුද්ධය වෙනුවෙන්. ඒක ගැන මතවාදත් සෑහෙන්න තියෙනවනේ. මෑත කාලෙකදි මිනිස්සු බහුතරයක් එක අරමුණක් වෙනුවෙන් කැප වුණේ මේ ‍යුද්ධය වෙනුවෙන් තමයි. "අපි ටිකක් ඉවසමු යුද්ධෙ ඉවර වෙනකල්" කියල තමයි බොහොමයක් දෙනා කිව්වෙ. එයාල වෙනුවෙන් හැමදාම යුධ පුවත් ලැබෙනව. ඒවයින් දුප්පතුන් සැනසෙනව ඇති. මේ අහේනිය දරාගෙන.

බලමු යද්ධෙ ඉවර වුණාම (?) මේ ගැටළු විස‍ඳෙයිද කියලා.. ඊට කලින් යුද්ධෙ ඉවර වෙනකල් ඉමුකෝ.

බත්....

මේක ලියන්න හිතුණෙ ඇයිද කියල අහන්න එපා. කිසි තේරුමක් නැති වෙන්න පුළුවන්. ඒත් මට හිතුණ දේ නේ.

මට මේ බත් බත් විධියටම කාල එපා වෙලා. අද දවල් කෑමට ගෙදර ගියාම කන්න බත් ව්‍යංජන කීපයක් එක්කම තිබුණත් මගේ හිත ගියෙ සිලි මල්ලක ඔතල තිබුණ පාන් කාලකට! ඒ එක්කම පොල් සම්බල් දීසියක් වහල තිබුණ. කවර කතාද? දවල් කෑම එපමණයි. ඒක හිතේ තියාගෙන කල්පනා කරද්දි තමයි කාලාන්තරයක් මගේ හිතේ හොල්මන් කරපු මේ අදහස ලියන්න හිතුණේ.

අද තියෙන කාර්ය බහුලත්වයත් එක්ක අපේ ආහාර පුරුදු ක්‍රමයෙන් වෙනස් වේගෙන යනව. පාන් කියන ආහාරය ප්‍රධාන ආහාරය වෙලා තිබුණ කාලයක්ම. සාපේක්ෂව තිරිඟු පිටි කෑම වල මිල ගණන් පහුගිය වසර කීපය තුල දරුණුවටම ඉහල ගිය නිසා නැවත මිනිස්සු සහල් ආහාර වලට පුරුදු වෙමින් ඉන්නව. ඒත් මම අහල තියෙන විධිය අනුව අපට සහල් හරහා විවිධ කෑම වර්ග පිලියෙල කරගන්න තියෙන හැකියාව අල්පයි. අවුරුදු සීයකට විතර කලින් සිට එපිටදී නම් සහල් ප්‍රධාන ආහාරය වුණා විතරක් නෙවෙයි, ඒ හරහා විවිධ ආහාර වර්ග පිළියෙල වුණ හැටියකුත් තියෙනව. ඒත් දැන් ඉඳි ආප්ප, ආප්ප වගේ ඒව හැර ෂෝ කේස් වල දාල උදේට කඩවල තියෙන නොයෙක් කෙටි කෑම වර්ග වගේ ලේසියෙන් සහල් වලින් ආහාර පිලියෙල වෙන්නෙ නැති තරම්. අවුරුදු කාලෙට නම් තියෙනව වුණාට ඒ කැවිලි නේ. ඒ මාසෙට පස්සෙ ආයෙත් බත් බත් ම තමයි.

‍සහල් වලින් බැරිද වෙනස් වෙනස් කෙටි කෑම හදන්න. රෝල්ස් පැටිස් නොවුණට ඒ වගේ ලේසියෙන් පරිභෝජනය කරන්න පුළුවන් කෙටි කෑම වර්ග?


ඒක කරන්න පුළුවන් නම් සෑහෙන්න ප්‍රචාරයක් දීල හරියට රණ විරුවන් ගැන මොරාල් එක හදනව වගේ දෙයක් කරන්න පුළුවන් සහල් ආශ්‍රිත කෑම වලටත්.

එහෙම කිව්වම ඔයාල කියයි "ඇයි ඕයි බත් තියෙන්නෙ! කනවකෝ" කියල. මං මුලින්ම කිව්වෙ මට බත් එපා වෙලා කියල. හික්! වෙනස් ආකාරයකට බත් කන්නයි මට දැන් ඕන. ඒක කරන්න පුළුවන් සහ ව්‍යාපාරික මට්ටමින් පවා සෑහෙන්න දියුණු කරන්න පුළුවන් මගේ සිතිවිල්ලක් තමයි මම කිව්වෙ.

සහල් භාවිතා කර නිපදවූ කෙටි කෑම වලට හොඳ ඉල්ලුමක් හදන්න බැරි වෙන එකක් නෑ මගෙ හිතේ..