තක්කාලි සෝස් ලේසියෙන්ම හදාගන්න පුළුවන් කියල කාලෙකට ඉස්සර ආරංචි වුණ වෙලේ ඉඳන් ගෙදර තක්කාලි සෝස් හදන්න මට හෙන.... පොඩි ආසාවක් ඇති වුණා. ඒත් එක එක එව්ව මෙව්ව නිසා ඕක හදාගන්න එක ටිකෙන් ටික කල් ගියා. සාමාන්‍යයෙන් අපේ ගෙදර ඔය සුකුරුත්තන් කෑම හැදුවෙ තාත්ත. අම්ම නං ගොඩක් අනිත් අම්මල වගේම ටීවී එකේ හදන හැම කෑමක්ම බලාගෙන ලියාගත්තත් කවදත් එකම රෙසිපිය දාන්න කමයි කැමති. කොහොම හරි අන්තිමේ ඔය වැඩේ ඇඟේ ගහන්න උන්න අපේ තාත්තත්
යන්න ගියා. ඒකෙන් වුණේ වැඩේ මටත් අමතක වුණ එක.
පහුගිය දවසක ඔපීසියෙ කෑම වෙලාවෙදි කාන්තාවො සෙට් එක කතා වුණා තක්කාලි වල ගණන් සෑහෙන්න අඩු වෙලා... කිලෝව රුපියල් 10-15ටත් තියෙනවා කියල. ඔතනදි තමයි අර හැංගිල තිබුණ තක්කාලි සෝස් හැදීමේ ආසාව ආයෙත් මතුවුණේ. එදාම ඕක අම්මට කියල බැලුව. බැලින්නම් එයත් ඒ වෙද්දි ඔය ලොයිඩ් මහත්තයගෙ වස සරණිය එහෙම බලල වැඩේ පොඩ්ඩක් අල්ලගෙනයි හිටියෙ. ඉතිං බල බලා ඉන්නෙ නැතිව අම්මට කිව්ව පොළට ගියාම තක්කාලි කිලෝවක් විතර ගේන්න කියලා...
මම තක්කාලි සෝස් හදන වීඩියෝ කීපයක් හොයල ඒව අම්මටත් පෙන්නුව. ඊට පස්සෙ ඔන්න පහුගිය දවසක අම්මයි මමයි දෙන්න එකතු වෙලා හදන්න පටන් ගත්ත තක්කාලි සෝස්.
තක්කාලි සෝස් හැදිල්ලෙ විශේෂත්වය තමයි ප්‍රධාන ක්‍රමය ඇරුණම සෝස් එක හදන්න ක්‍රම ගොඩක් තිබීම. ඒ එක්කම තමන්ගෙ කැමැත්ත අනුව ඒකට එකතු කරන්න පුළුවන් රසකාරක වල සීමාවකුත් නැහැ. ඒ වගේම තමන්ට කැමති විධියට තක්කාලි වලට අමතරව වෙනත් එලවලු වලින් පොඩ්ඩක් බැගින් එකතු කරගන්නත් පුළුවන්.
එහෙනම් අපි හදමු. මේක ගැන පෝස්ට් එකක් ලියන්න පුළුවන් නේද කියල මතක් වුණේ පස්සෙ නිසා පියවරෙන් පියවර දාන්න නම් පින්තූර නෑ. තියෙන ටිකත් මගෙ K770i එකෙන් දුර්වල ආලෝක තත්ත්වය උඩ ෆ්ලෑෂර් සහිතව සහ රහිතව ගත්තු එව නිසා කොලිටිය පිළිබඳ සමාව භජන්න.
අවශ්‍ය ද්‍රව්‍ය -
ඉදුණු තක්කාලි කිලෝවක් පමණ
සීනි ග්‍රෑම් 75ක්
ලුණු කුඩු මේස හැඳි 1ක් හෝ අවශ්‍ය ප්‍රමාණයට
හෝ මිරිස් කරලක් දෙකක්
(මේවට නයි මිරිස් කියලත් කියනවා. වෙන නමක් තියෙනවද දන්නේ නෑ.. හෙන සැරයි සහ සුවඳයි. මේව අපි හිතල දැම්මේ සුවඳ වෙන්නත් එක්ක... කරල් දෙකක් ටිකක් වැඩියිත් වගේ.)
කෑලි මිරිස් මේස හැඳි 2-3ක්
(සැරට ඕනනම් තව දාන්න පුළුවන්. මම හෝ මිරිස් දාපු නිසා කෑලි මිරිස් ඒ තරම් දැම්මෙ නෑ.)
කරපිංචා ටිකක්
කෝන් පිටි හැඳී කීපයක්
(ඔය කෑම හදන උදවිය මේවට කියන්නෙ කෝන් ෆ්ලා කියල. මේව නැතත් අවුලක්නම් නැති වෙයි.)
සුදු ළූණු බිකි 5-6ක්
තව ඔය එනසල්, කරාබු නැටි, ගම්මිරිස්, කුරුඳු වගේ රසකාරක ඕන දෙයක් පොඩ්ඩ පොඩ්ඩ
ඔලිව් ඔයිල් නැති නිසා පොල්තෙල් මේස හැඳි කීපයක්
විශේෂ උපකරණ විධියට බ්ලෙන්ඩරයක් සහ ටිකක් ලොකු සිදුරු තියෙන පෙණේරයක් හොයාගන්න වෙනවා. තේ පෙරණ, පිටි හලන එව්ව නෙවෙයි... ඔය පොල්කිරි පෙරන්න ගන්න මිලිමීටරේ විතර සයිස් සිදුරු තියෙන එකක්.
සාදන ක්‍රමය
මුලින්ම තක්කාලි ටික තම්බන්න පුළුවන් තරම ප්‍රමාණයකට වතුර ටිකක් උණු වෙන්න තියන්න. ඒක රත් වෙන අතරෙ තක්කාලි ටික සෝදලා ඒවයෙ පැත්තකින් උඩ ඉඳන් පහලට පොත්ත විතරක් කැපෙන ගානට කැපුමක් දාන්න. වතුර ඩාන්ස් කරද්දි ඒකට තක්කාලි ටික දාල විනාඩි 6-7ක් විතර තම්බන්න.
ඊට පස්සෙ තක්කාලි ටික හැන්දකින් අරගෙන සීතල වතුරෙ දාල රස්නෙ යනකල් ටිකක් වෙලා තියෙන්න දෙන්න. එතකොට තක්කාලි වල පොත්ත නිකංම බුරුල් වෙලා යනව අර කැපුම නිසා. ඒ තක්කාලි එක එක අරගෙන පොත්ත ගලවලා අයින් කරන්න. ලොකු සිදුරු තියෙන පෙනේරය භාජනයක් උඩින් තියලා ඒකට තක්කාලි ටික දාල විනාඩියක් විතර තියන්න වතුර බේරෙන්න. (වතුර බේරුවෙ නැතත් කමක් නෑ... මොකද පස්සෙ වතුර එකතු කරන්න වෙන්නත් පුළුවන්. අපි මේ තියරියට හදන්න ගිය නිසයි වතුර බේරුවේ...)
වතුර බේරෙන අතරෙ අර මිරිස්, ළූනු වගේ ඒව පොඩියට කපල (ලොයිඩ් අංකල් කියන්නෙ චොප් කරනව කියල) තියාගන්න...
ටිකක් උස සාස්පානක් ලිපේ තියල ඒකට තෙල් ටික දාල කරපිංච එක්ක පොඩියට කපාගත්තු එව්ව සේරමත් දාල පොඩ්ඩක් තෙම්පරාදු කරගන්න. ලිපේ ගින්දර වැඩි නොකර මද ගින්නේ තමයි වැඩේ වෙන්න ඕන.
ඒකට වතුර බේරපු තක්කාලි ටික දාල කෑලි වෙන් වෙන විධියට හැඳිගාන්න. විනාඩි 10-15ක් එහෙම කරලා කුරුඳු, ගම්මිරිස්, කරදමුංගු, කරාබු නැටි වගේ හොයාගත්තු සේරම රසකාරක ඒකට දාන්න. ඒ එක්කම කෑලි මිරිස්, සීනි, අවශ්‍ය තරමට ලුණු එක්ක අනිත් නොදාපු සේරමත් දාගන්න. දාල ආයෙත් හැඳිගාන්න. ඒ අතරට කෝන් පිටි මේස හැඳි 2-3ක් ඒ තරලයට එකතු කරන්න. ඒකෙන් සෝස් එක ටිකක් උකු වෙනවා.
ඔය සේරම එකතු කලාට පස්සෙත් තව විනාඩි 20-30ක් විතර හැඳිගාමින් සෝස් එක හදන්න වෙනවා. රස බලල අඩුවැඩිය එකතු කරන එකත් ඒ අතරෙ කරන්න පුළුවන්. උකු වැඩියි වගේ දැණෙනවනම් වතුර පොඩ්ඩක් එකතු කරල ආයෙ හැඳි ගාන්න. ඊට පස්සෙ භාජනේ ලිපෙන් බාල ටිකක් නිවෙන්න තියන්න. බ්ලෙන්ඩර් එකට සේරම දාල විනාඩියක් විතර බ්ලෙන්ඩ් කරගන්න. ඊටත් පස්සෙ ඒක ආයෙමත් අර ලොකු සිදුරු සහිත පෙනේරයට දාල තක්කාලි ඇටයි වෙනත් පොඩි නොවුණු හප ටිකයි පෙරල අයින් කරන්න.
දැන් සෝස් එක හරි. මම කලා වගේ ඇඟිල්ල ඔබල ටිකක් අරන් දිවේ ගාල බලන්න :P
අපි හදපු එකේ කඩේ තියෙන ඒවට වඩා ගතියක් තිබුණත් අර නයි මිරිස් කරල් දෙකක් දාපු නිසා ටිකක් විතර සැර වැඩි වුණා මුලදි. අදට දවස් 2ක් වෙනව හදල. දැන් නම් සැර අඩුයි. ගෙදර උන් කන විධියට තව දවස් කීපයක් තියෙයි :D
මේක ශීතකරණයක තියාගෙන සතියක් විතර කන්න පුළුවන් වෙයි. අපි කල් තියාගන්න රසායන ද්‍රව්‍ය නොදැම්ම නිසා ඊට වඩා තියාගන්න නම් බැරි වෙයි.
මේක හැදිල්ල ඉගෙනගන්න බලපු වීඩියෝවක විධියට හරියටම සෝස් එකේ පදම එන්න නම් ඒක පැය 1 1/2ක් ලිපේ තියන්න ඕනලු.
විනාකිරි සහ
සෝඩියම් බෙන්සොඒට් එකතු කරල මේක බෝතල් කරල කල් තියාගන්න පුළුවන් විධියට හදාගන්න පුළුවන්.
සාමාන්‍යයෙන් අපි දන්නෙ එකම එක තක්කාලි සෝස් එකක් වුණාට තක්කාලි සෝස් කිව්වම එකක් නෑ.... ඒක වෙනත් කෑමක් රස කරන්න පාවිච්චි කරන එකක් නිසා තමන්ට උවමනා දේවල් එකතු කරල සහ උයන වෙලාව වෙනස් කරල සෝස් එකේ රස සහ ස්වභාවය වෙනස් කරගන්න පුළුවන්. මම දැකපු එක වීඩියෝවකදි කෙනෙක් කැරට්, බෙල් පෙපර්, ගෝව වගේ ඒවත් දැම්මා... මොනව වුණත් ගොඩක්ම තියෙන්නෙ තක්කාලි නිසා බ්ලෙන්ඩ් වුණාට පස්සෙ කෝකත් තක්කාලි සෝස් තමයි.
මේක ගැන හොයද්දි මේ සෝස් හැදිල්ල ගැන සිංහලෙන්ම කියාදෙන වීඩියෝවක් හම්බ වුණා.
ඒක මෙතනින් බලන්න. ඒ එක්කම
ඒ සයිට් එකත් ගොවිතැන් ගැන උනන්දු අයට මරුවට හිතට අල්ලයි.
ඔයිට අමතරව එක එක විධි වලට තක්කාලි සෝස් හදන විධි දැනගන්න
මෙතනින් පුළුවන්!