Showing posts with label Ravi Wickramasinghe. Show all posts
Showing posts with label Ravi Wickramasinghe. Show all posts

Sunday, 23 February 2014

නිර්වාණයේ දොරකඩ හිඳිමින් තටමමි


අලුතෙන් හොයාගත්තු තටමන ක්‍රමේ සාමාන්‍ය වෙලාවලදි බොහොම ප්‍රයෝජනවත්. ඒ උණාට අසාමාන්‍ය වෙලාවලදි ඒකත් හරියන්නෙ නෑ කියල මට මේ දැන් හිතුණා. ඇත්තට ඒකෙ අලුත් දේකුත් නෑ. ඉස්කෝලෙදි ඉගෙනගත්තු ආහාර මාර්ග පද්ධතියෙ රූපෙ අමතක වෙලා නැත්තං වැඩි ප්‍රතිඵල ලැබෙන විදියට තටමන්නෙ කොහොමද කියන එක ඕන කෙනෙක්ට හොයාගන්න පුළුවන්. ඔය මහ බඩවැල කියන එක ඇඟ ඇතුළෙ විහිදිල තියෙන විධිය හොයාගත්තම හරි. ඒ අනුව සිරුර නම්‍යශීලීව හසුරවන්නෙ කොහොමද කියල අත්හදාබැලුවම ගොඩ!

දැන් මේ ඉඳගත්තු දෙවෙනි වතාව ගෙවෙන්නෙ. මුල් වතාවෙ ගොඩක් සැහැල්ලුවෙන් එළියට ගියාට පැය භාගයක් ඇතුළත ආයෙම ඇතුළට එන්න වුණා. අම්මට නෝටිෆයි කරගෙනම රිංගපු නිසා දැන් මට ඇහෙනව එයා බැදපු දුරු කොටන සද්දෙ. දාඩිය දාන්න තරං වේදනාවෙන් ඇඹරි ඇඹරි ඉද්දිත් අම්ම ගැන ආදරේ ෂොක් වෙන්න මට මොහොතක් ගියෙ නෑ. වැඩිය සමාජ ආශ්‍රයට කැමති නැතත් එයා ආදරේ කරන අය එක්ක විතරක් ජීවත්වෙලා ඉගෙනගෙන තිබුණු එයාගෙ සංවේදීකම හැමදාම එහෙමයි. ඒ නිසා එයා මටත් නොකියම බෙහෙත ලෑස්ති කරනව. තුන්වෙනි වතාවෙ ආයෙ ඉඳගන්න නොවෙන බව මට දැන් ෂුවර්. බඩේ අමාරුවට දුරු ටිකක් බැදල කුඩු කරල උණු වතුර ටිකක කලවම් කරල ටිකක් වෙලා තැම්බෙන්න තියල බොන එක ෂුවර් ෂොට්! හැබැයි හැම ජාතියෙම රුජාවලට ඒක සෙට් වෙනවද කියල මං දන්නෙ නෑ.

දවල් ඔපිස් එකටම කෑම ගෙනත් දුන්නෙ දානෙ ගෙදරකින්. සෙක්ෂන් එකේ වැඩ කරන ළඟපාත ගෙවල් තිබුණ පොරක් බාස්කට් තුන හතරකට බතුයි වෑංජනයි දාගෙන ඇවිත් තිබුණා. සාමාන්‍යයෙන් සෙනසුරාදාව කෑම සම්බන්ධයෙන් ආතල් දවසක්. එදාට හැමෝම කැෂුවල් එන්නෙ ගොඩක් රිලැක්ස් එකේ. සතියෙ දවස්වල කරල ඉවර කරගන්න බැරි වැඩ කොටස සෙනසුරාදා නිවි සැනසිල්ලෙ කරන්නෙ වෙනදට නැති සැහැල්ලුවකින්. ඒ සැහැල්ලුව වැඩි වෙන්නෙ කවුරු හරි ගෙදරින් හදාගෙන එන කිරිබතක්, රොටියක් වගේ එකක් සෙට් වුණාම. එහෙම නැත්තං දවල් එකයි කාලට රුහුණු බේකරියෙන් උණු උණුවෙන් දාන පාන් දෙක තුනක් කට්ටිය සල්ලි දාල ගේන්නෙ සිසිල හෝටලේ පරිප්පු මාළු හොදි මික්ස් එකත් එක්ක. පාං ගෙඩි තුන විනාඩි දහයක් ඇතුළත ඉවර වෙන්නෙ ඇඟට පතට නොදැනී. ඒකත් එක්කම හැදෙන ප්ලේන්ටියත් ගැහුවම මරු.

දවල් දාණෙ ගිලල හවස ගෙදර ඇවිත් නෙට් එකෙත් එහෙ මෙහෙ රවුම් ගහලා මේ දවස්වල බලන එක්ස් ෆයිල්ස් එකෙත් තව එපිසෝඩ් එකක් දෙකක් බලාගෙන හිටියෙ බුදු ෆිට් එකේ. මායා දමයන්ති කියන 'පුරහඳ ලෙස ඔබ සමකළ මගෙ මුහුණේ' සින්දුව මොකක්දෝ රියැලිටි ෂෝ එකක කෙල්ලෙක් කියනව නියමෙට. ඒක ඉස්සර ටීවි එකේ ගියා විෂුවල් එකකුත් එක්ක. මායා දමයන්ති සාරියකුත් පටලගෙන වැවක් අයිනට වෙලාද කොහෙද ඒ සින්දුව කියනවා. නළලෙ තිලකයක් තිබුණද කියල මතක නෑ. ඇත්තට මරු සින්දුව. ගී පැදුරට ලිව්වද මන්දා. මොනව වුණත් රියැලිටි කෙල්ලගෙ වොයිස් මරු. සින්දුව ඉවරයි. දැන් ඇහෙන්නෙ විනිශ්චය බුවාල ඒකිට මොනව හරි කියන්න ඕන කමට කියවන බයිල ටිකක්. අම්මල පැල් බැඳගෙන ඒව ෆලෝ කරනව. මම මගේ ලෝකෙ වෙනම ෆලෝ කරනව. අපි දෙන්නගෙ වෙනසක් නෑ. ඒ අතරෙ චිකන් ගන්න සල්ලි නැති නිසා ගෙනාපු චිකන් රසැති සෝයා මීට් එක්ක අම්ම අලුතෙන් හොයාගෙන තිබුණ බිත්තර පපඩං අනාගෙන රතු ලූණු ගෙඩි දෙක තුනකුත් හපාගෙන බත් ටිකකුත් කාල හැරෙද්දි තමයි අභ්‍යන්තර විප්ලවයක් පටංගන්නව කියල තේරුණේ.

දානෙට හම්බුණ කිසිම එකක් අවුල් වෙලා තිබුණෙ නෑ. මස් මාළු මුකුත් නොතිබුණ පියෝ වෙජිටේරියන් කෑමක් නිසා එහෙම අවුලක් වෙන්නත් බෑ. ඒත් මොකක් හරි අවුල් ගිහින් තියෙනවා. මුලින් වැඩේ සිම්පල් එකක් වගේ වුණාට පිඟාන හෝදන්න කුස්සියට ගිහින් ටිකකින් තමා බරපතල වෙන්න ආවෙ. හොඳ වෙලාවට වෙන කවුරුවත් ටොයිලට් එකට රිංගල නොහිටියෙ. ඇතුළට ගියෙ පැය බාගෙකට එන්නෙ නෑ කියාගෙන. කොහොමත් වැඩේ බරපතල වුණත් නැතත් ටොයිලට් එක කියන්නෙ පැය කාලක් බාගයක් නිදහසේ ගත කරන්න පුළුවන් තැනක්.

ඒක ගැන ගොඩක් ඉස්සර ඉඳන් අපි කතා කරල තියෙනව. ටොයිලට් එක මාර නිදහස් තැනක්. අතිශය පෞද්ගලික තැනක්. ඒකෙන් එළියෙදි ඕන කෙනෙක්ට, අපේ ජීවිතේට එබෙන්න පුළුවන්. අපිව මොනිටර් කරන්න පුළුවන්. අපි ගැන තීරණය කරන්න පුළුවන්. ඒත් ටොයිලට් එක එහෙම නෙවෙයි. දොර වහගත්තට පස්සෙ ඒක කොච්චර ගඳ ගැහුවත් ගාණක් නෑ. අපි බොහොම සැහැල්ලු වෙන තැනක් ඒක. මානසිකව ගත්තත් ශාරීරික ක්‍රියාවලිය පැත්තෙන් ගත්තත් ටොයිලට් එක අපිව බරකින් නිදහස් කරන තැනක්.

දොරක් සම්පූර්ණයෙන් වැහුණම තියෙන ආරක්ෂිත හැඟීමත් එක්ක මිනිස්සු වැඩි වෙලාවක් ටොයිලට් එකේ ඉන්න හින්දද මන්දා ඔය පොෂ් තැන්වල පොදු වැසිකිළිවල සම්පූර්ණ දොරක් වෙනුවට දො‍රේ යටින් හිස් ඉඩක් තියෙන බාග දොරක් තියෙන්නෙ. සමහර විට ඒකට වෙන හේතුවක් ඇති. නමුත් ඒක මානසිකවත් බලපානවා වෙන්න ඕන. මොකද සම්පූර්ණයෙන් නොවැහුණු දොරකින් කූඩු වෙල ඉද්දි ආරක්ෂිත හැඟීමක් දැනෙන්නෙ නෑ. ඒ නිසා එහෙම ටොයිලට් එකක් ඇතුළෙදි මනෝ ගහන්න වෙන්නෙ නෑ. ඒ නිසා පොෂ් තැන් වල තියෙන පොදු වැසිකිළිවල ට්‍රැෆික් හිටින්න ඉඩ අඩුයි. මොකද කට්ටිය ඒකට යන්නෙ වැඩේ කරන්න මිස සැහැල්ලු ‍වීමේ මානසික අවශ්‍යතාවය නිසා නෙවෙයි.

පින්තූර කඩේ වැඩ කරද්දි දවසක් රෙසිප්ෂන් එකේ වැඩ කරපු කෙල්ලෙක් පින්තූර කපල කොටල දාමින් හිටපු අපි ළඟට ඇවිත් හිනා වෙවී ආතල් කතාවක් කිව්ව. 'ලේඩීස් ටොයිලට් එක මාර සුවඳයි අප්පා... අර දැන් එළියට ගිය කස්ටමර් මගෙනුයි ලොකේෂන් අහගත්තෙ. එයා එළියට ඇවිත් හෙණ සන්තෝසෙං ගියේ. ලොකූ අමාරුවකින් ගැලවුණා වගේ...' ඒ දවස්වල ස්ටාෆ් එකට වෙනම ටොයිලට් තිබුණෙ නෑ. ස්ටාෆ් එකයි කස්ටමර්ලයි එකම ටොයිලට් සිස්ටම් එක තමයි පාවිච්චි කළේ. මොනව වුණත් අනුන්ගෙ ඒව තරං තමංගෙ ඒව ගඳ නෑ නේද කියල එදා අපි හෙණ වාදයක් පටංගත්තා.

ඒක කියද්දි තමයි ගනේගොඩයට මොරකැටිය හන්දියෙ තිබුණ ටොයිලට් හෝටලේ මතක් වෙන්නෙ. මිනිහට සෙක්ෂන් එකක හෙඩ් තනතුර දුන්නට පස්සෙ උදේ 8 වෙද්දි වැඩට එන්න ඕන වුණා. වෙනද මිනිහ ආවෙ 9 ට. මාසයක් දෙකක් යනකල් මිනිහ 8 ට ආවා. හැබැයි එන අතරමග මොරකැටියෙදි බස් එකෙන් බැහැල අර හෝටලේ ටොයිලට් එකටත් ගිහින් තමයි පොර එන්නේ. මොකද මාසයක් විතර යනකල් මිනිහට ටොයිලට් ටයිම් එක ටියුන් කරගැනීමේ ප්‍රශ්නෙ ආවා. පස්සෙ හෝටලේ මිනිස්සු ගනේගොඩයව දකිද්දිම 'ආ එන්න මහත්තයා' කියල කෙළින්ම ටොයිලට් එක ක්ලියර් කරල දුන්නලු. කොහොම වුණත් පස්සෙ කාලෙක දුමක් ගන්න හෝටලේට ගියත් ඒකෙ කොල්ලො බුවා දිහා බැලුවෙ නෝන්ඩි හිනාවකින්.

ගොඩක් ඉස්සර දවසක මහ රෑ ගමේ ඉඳන් කොළඹ එද්දි රෑ එකොළහට විතර කුරුවිට හරියෙදි මටත් අද වගේම පෙරළිල්ලක් ආවා. දෙතුන් වතාවක් ඉවසල බැරි තැන 'ඉස්සරහ දාල යන්න' කියල බැහැල කෙළින්ම ගියෙ වහන්න ඔන්න මෙන්න කියල තිබුණ සිල්ලර කඩේකට. මං හිතන්නෙ ඒක සිගරට් විකුණන්නම රෑ වෙනකල් ඇරගෙන හිටපු කඩයක්. හොඳ වෙලාවට පිටිපස්සෙ මෝඩ ගඩොල් බිත්ති තිබුණ ටොයිලට් එකක් තිබුණා. ඒක ලෑල්ලක් හේත්තු කරල දොර වහගන්න වෙන විදියෙ එකක්. ලෑල්ලත් දොරට හේත්තු කරලම දියවෙලා ගිහින්. ඇතුළෙ ලයිට් එකකුත් නෑ. ඒ දවස්වල මගෙ ෆෝන් එක ටෝච්, ෆ්ලෑෂ් තිබුණ එකක් නෙවෙයි. ස්ක්‍රීන් එකේ එළියෙන් වැඩ ටික කරගත්ත. මුදලාලි මහත්තය මොනව වුණත් වතුර එකත් ගෙනත් තිබ්බ දොර ගාවින්. මිනිහට ස්තූති කරල මදි හින්දා මම ක්‍රිස්කො පැකට් එකකුයි රට ඉඳි පන්සීයකුයි ගත්ත. සිගරට් ගන්න ඇවිත් හිටපු තවත් හොඳ කොල්ලෙක් උගෙ මොපෙඩ් එකේ දාගෙන ගිහින් මාව කුරුවිට හන්දියෙන් බැස්සුවා.

ඵලදායි තැටමිල්ලත් හරි යන්නෙ නෑ වගේ. මම ආයෙමත් ඉරියව්ව වෙනස් කළේ ඒකෙන්වත් සෙතක් වෙයිද බලන්න.. ම්හු... ඒක හරියන්නෙත් නෑ... උණ්ඩුකපුච්චෙ හරියෙ ඉඳන් මහාන්ත්‍රය දිගේ එහෙ මෙහෙ හතර අතට අඬු විහිදුන ලොකු යකඩ බැකෝ එකක් හිමින් හිමින් බඩවැල් බිත්ති හාරගෙන එනවා. මට දාඩිය දානවා. අම්ම උණු වතුර බෝතලෙන් කෝප්පෙට වතුර වක් කරනවා. ඇඟ ඇතුල ත්‍රීඩී බලන්න පුළුවන් සයිට් එකකින් දැකපු අභ්‍යන්තර ඉන්ද්‍රිය පද්ධතියෙ රූපරාමු හතර පහක් වේගෙන් හිතේ මැවෙනවා. අන්තිමේ රූපයි සිතුවිලියි නැති වෙලා වේදනාව ඉතිරි වෙනවා. කොමඩ් එක උඩ මම ඇඹරෙනවා.

අන්තර්ජාල වැසියෙක් වුණ මුල්ම කාලෙක ලියපු ජරාම ජරා කවිය මගේ නිර්මාණයක්මත් නෙවෙයි. ඒක රවි මහත්තයගෙයි මගෙයි සම නිර්මාණයක්. අයියෝ මිස්ටර් රවි... මට මගඇරුණු සිරා පොරවල් අතරෙ තවත් එකෙක්. ටොයිලට් යන එක සිල්ගන්න එකට වඩා ප්‍රැක්ටිකල් බව කියනව ඇහුණ මුල්ම මනුස්සයා. ඒ වෙද්දි වාක්‍යයක් නොවී මගේ හිතේ තිබුණ ඒ අදහස මගේ පිස්සු අදහසක් නොවෙන බව කියපු මනුස්සයා.

වේදනාව ගුද මාර්ගයේ කෙළවරට ඇවිත් නතර වෙලා තියෙන්නෙ මොන කෙහෙල්මලකටද?.. සාමාන්‍යයෙන් අන්තිම හරියෙදි සාම්ප්‍රදායික තැටමිල්ල හොඳට වැඩකරනව වුණාට මේ පාර ඒකටත් උත්තර නොදී ඉන්න තරං හයිය තියෙන්නෙ මොන විධියෙ එකකටද? මම කාපු මොකක්ද මේ පිස්සු කෙළල තියෙන්නෙ... බැකෝ එකේ දිග අඬුව මොකක හරි පැටලිලාද? මොන මල මගුලක්ද... මට තේරෙනව මේකෙන් පස්සෙ බඩු ඉවරයි කියල. ආයෙ කොහෙවත් වේදනාවක් දැනෙන්නෙ නෑ. ඉතිං මේකෙන් පස්සෙ සම්පූර්ණයෙන් මං නිදහස් කියල මං දන්නව. මට ස්වර්ගස්ථ වෙන්න පුළුවන් කියල මං දන්නව. මට මොහොතකට නිර්වාණයට සමවදින්න පුළුවන් කියල මං දන්නව. මං ඉන්නෙ ඒකෙ දොර ගාව කියලත් මට තේරෙනව. අයියෝ..හ්... ඉක්මනට එළියට පලයංකො බෙට්ට!

Wednesday, 28 September 2011

පිස්සෙක්...!


පිස්සාව මා දන්නෙ සැලකිය යුතු කලක පටන්ය. වසර ගණනාවක්ම ඔහු එදිනෙදා මට හමුවී ඇත. ඒ බොහෝවිට අපි කතා කර ඇත. ලෝකයේ ඇති විවිධ දේ ගැන ඔහුගේම දෘෂ්ඨියකින් දකින ඔහුට ඇත්තෙන්ම ඇති පිස්සුවක් නැත. නමුත් ඔහුගේ දෘෂ්ඨිය පිහිටා ඇත්තේ මාත් ඔබත් අන් අයත් ඇතුලත් සාමාන්‍ය සිතීමේ අවකාශයට පරිබාහිරින්ය. අපට ඔහු දකින ලෙසින් දකින්නට හැකියාවක් නැත. නමුත් ඔහුට අප දකින දේත් ඉක්මවා දේවල් පෙනේ. එමෙන්ම ඒ ගැන විමසිලිමත් අයවලුන් හා තම අදහස් කියවයි.

සත්තකින්ම ඔහුට පිස්සෙක් යැයි කීමට මගේ දිව නැමෙන්නේ නැත.

එහෙත් අන් සියල්ලෝම ඔහුට පිස්සා යැයි අමතන නියාවෙන් මම ද ඔහු පිස්සෙක් කොට සැලකීමට පුරුදුව හිඳිමි.

මන්ද ඔහු හා එක්ව තවත් පිස්සෙක් වීමට මට උවමනා නැති බැවිණි. නැතහොත් මා කුහකයෙකු බැවිණි.

පිස්සා රැකියාවක් කරයි. ඒ පින්තූර වෙනස් කර දීමයි. ඔහු ජීවත් වන නගරයේ මුඩුක්කු පරිසරයේ වෙසෙන නීතියෙන් අවිවාහක, නොඑසේ නම් විවාහ ඡායාරූපයක් නොමැති යුවල සොයා මංගල ඡායාරූපය ඩිජිටල් ක්‍රමයට ඔවුනට සකස් කර දී පිස්සා මුදලක් ගනී. ඒ වෙනුවෙන් ඔහුට අවශ්‍ය වන්නේ පෙර කී යුවලගේ ඡායාරූප දෙකක් පමණි. ඒවාත් රැගෙන මා හමුවට එන ඔහු මා ලවා එම යුවලට පරිගණකයෙන් සාරි සහ කෝට් අන්දවා කොණ්ඩය කළු කොට, සෙවණැලි මකා, ඇහි බැම හදා, තොල් සායම් උලා තම පින්තූරය සකස් කරවාගනියි. පසුව එය මුදල්කර ගනී. ඒ ආකාරයෙන් පින්තූර සකසා දීමට අගනුවර ඇති විවිධ පරිසරයන්හි සැරිසරමින් නෛතිකව අවිවාහක හෝ මංගල ඡායාරූප නොමැති යුවල සොයයි. තම මවත් සමග නගරයේ මධ්‍යයේ කුඩා මුඩුක්කුවක තනිව වෙසෙන ඔහුට ඒ මගින් ලැබෙන ආදායම ප්‍රමාණවත්ය. මා සමග කියා ඇති පරිදි නගරයේ පන්සලේ පුස්ථකාලයේ කියවමින් ගෙවන දිනයක පන්සලේ දානයද ඔහුට ප්‍රමාණවත්ය. එසේම කීප වතාවක් මටද හමුවන්නට ඇරයුම් කර ඇති වෛශ්‍යාවන් කීප දෙනෙකු ඔහුගේ මෛථුන්‍ය අවශ්‍යතා පිරිමසයි.

නමුත් ඔහු පිස්සකු වීමෙන් වලකන්නට එය ප්‍රමාණවත් වූයේ නැත. ඔහුව දන්නා, ඔහුගේ කීම් අසා ඇති කවුරුත් ඔහුට පිස්සා යැයි කියයි. ඔහු එය සිනාවෙන් පිලිගන්නා මුත් කණකට නොගනී.

තම පින්තූරය මා ලවා සාදාගන්නා පැය භාගයක, පැයක පමණ කාලය ඔහුට මා සමග තම දාර්ශනික කතා කීමට අවකාශ සලසයි. මා අති දක්ෂ සවන් දෙන්නකු බැවින් හා මට නොදැණෙන දෑ බොහෝමයකට මා අසංවේදී බැවින් ඔහු මා ප්‍රිය කරයි. මා ද කම්මැලිකමෙන් මිදීමට ඔහු කියවන ඕනෑම දෙයක් අසන්නට සූදානම් වෙයි. එහිදී ඔහු නගන විවිධ ප්‍රශ්ණ තුල අතරමං වන මා කරමින් සිටින රාජකාරිය කරන්නේ හුරුවෙනි. Photoshop මෘදුකාංගයේ පින්තූර සංස්කරණය කරන අතර බොහෝවිට මම ඊට විශාල අවධානයක් යොමු කරන්නේ නැත. එය මා හට පයිත්තියන් වී තිබූ බැවින් මම අනිච්ඡානුගවම එය කරන්නට හැකි වූවෙක් වීමි. එබැවින් පිස්සා ළඟ ඇති විට මා අවධානයෙන් කරන්නේ ඔහු නගන ගැටළු වලට පිලිතුරු සෙවීමයි.

පසුගිය දිනෙක පිස්සා මා වෙත එල්ල කලේ ප්‍රශ්නාවලියකි. ඒ අවසන තම ගැටයට ඔහු මා හසු කරගත්තේය.

"ජීවිතේ කියන්නෙ මොකක්ද පුතා?"

"ජීවිතේ...???"

මම කල්පනා කරමි. මා ඒ පිළිබඳව සිතා නැත. සිතා තිබුණත් ජීවිතය යන්න තනි වාක්‍යයකින් විග්‍රහ කල හැක්කක්ද?

"ඒක එහෙම මොකක්ද කියල කියන්න බෑනේ..."

මම ගැටළුවෙන් ලිස්සා යාමට තැත් කරමි.

"හරි... ජීවිතේ අරමුණ මොකක්ද?"

පිස්සා නැවත අසයි.

"ජීවත් වෙන එක තමයි..."

මම එකවරම පිලිතුරු දුනිමි. එය බොහෝ දුරට නිවැරදි විය යුතුය. ජීවත් වීමට වඩා අරමුණක් ජීවිතයට තිබිය නොහැක. මරණින් මතු ඇතැයි සිතන සංකල්පීය සුගතිය හෝ අගතිය වෙනුවෙන් වර්තමානය විනාශ කරගෙන ඇති ලෝකයක මා කිසිදු ආගමකට අයත් නොවූවෙක් බැවින් ආගමික පැහැදිලි කිරීම් මා දැන සිටියේ නැත.

"ඒ කියන්නෙ ඒක රවුමක් ‍වගේ එකක් නේද පුතා.."

පිස්සා ඔහු කියන දේ පිලිබඳව සැලකිය යුතු තරමකින් සිතා ඇති බව මම දනිමි. ඔහු ක්‍රමයෙන් මතවාදය ගොඩනගන්නේ ඔහුට උවමනා තැනට මා ගෙන ඒමටය. නමුත් මා ඔහු තරම් ඒ පිළිබඳව සිතා නැත.

"ඒ කිව්වේ?"

මම අසමි.

"ඒ කියන්නෙ ජීවිතේ කියන එක නිර්වචනය කරන්න අපට ජීවිතේම ප්‍රයෝජනයට ගන්න වෙනවනේ. මුල කෝකද අග කෝකද කියල හොයන්න බැරි රවුමක් වගේ ජීවිතය ඒක වටේම කැරකෙනව."

"හ්ම්..."

මම කියමි. එය මට සහමුලින්ම වැටහුනේ නැත. නමුත් එය මා ඉගෙන ඇති if, then, else වැනි ලූපයක් එය තුලදී ම නැවත කැඳවීමක් වැන්නකි.

"ජීවිතේ අරමුණ තමයි ඒක පවත්වගැනීම. ඒකනේ පුතා මිනිස්සු ඇතුලත්ව ඔය ගහ කොල, සත්තු හැමදේම ජීවිතය පවත්වගන්න උත්සාහ කරන්නේ..."

පිස්සා පවසන දෙයට විරුද්ධ තර්කයක් ගොඩනැගීමට මට නොහැක. මෙහිදී ඔහුට සවන් දීම වඩා සුදුසු දෙයයි.

"විශ්වයේම තියෙන මූලධර්මයක් තමයි ඔය මුකුත් නැතිවට වඩා මොකක් හරි තියෙන එක හොඳයි කියන එක. විශ්වය සහ ජීවය ආරම්භ වෙන්නෙම ඒ මූලධර්මය මත. මොකද ඒව නැත්තං මුකුත් නෑනේ..."

පිස්සා හොඳ කියවන්නෙක් බව මම දැන සිටියෙමි. යම් හෙයකින් ඔහුගේ අධ්‍යාපන සහතික දුටුවේ නම් මා පුදුමයෙන් වික්ෂිප්ත වන්නට ඉඩ තිබෙන්නට හැකියාවක් ඇත. ඔහු ලෝකයේ බොහෝ දේවල් පිළිබඳව ලබා ඇති දැනුම සහතිකයකින් මිණිය නොහැකි බව මම සිතමි. නමුත් ඒ වෙනුවට ඔහුට 'පිස්සා' යන ගෞරව නාමය ලැබී තිබේ.

"හැමෝම ආසයි ජීවත් වෙන්න. මිනිස්සු, සත්තු වගේම ගහ කොලත් කැමතියි ජීවත් වෙන්න."

ඔහු නොනවත්වා කියවයි.

"ගහ කොල?"

මම අසමි. මා දන්නා ගහ කොල පණ නැති අජීවී වස්තූන්ය. ඒවාට ජීවිතය පිළිබඳ හැඟීමක් තිබිය නොහැක.

"ගහ කොල වලට පණ තියෙනවා. ඒවත් ජීවි කොටසක් කියල පාඩම් පොත් වලින් ඉගෙනගෙන නැද්ද?"

ඔහු අසයි. පින්තූරයේ මනාලියගේ මුහුණේ කුරුලෑ ලප stamp ටූලයෙන් මකන අතර මම මතකය අවදි කරමි. ශාකවලට පරිභවයෙන් සහ ආදරයෙන් අමතා ඉන් නිකුත් වන විද්‍යත් ආරෝපන වල වෙනස සෙවීම සම්බන්ධ පරීක්ෂණයක් කල විද්වතෙකු ගැන සටහනක් ඉංග්‍රීසි පාඩම් පොතක තිබුණා මතකය. එහි අවසානයේ ශාකවලට හැඟීමක් වැනි දෙයක් දැණෙන බවක් නිගමනය කර තිබුණි.

"හප්පා..."

මට කියවුණි. ඉහත තර්කය අනුව ගස්කොලන් වලට ප්‍රාණයක් තිබේ. එම ප්‍රාණය සහිත වූ ගහ කොල මා ආහාරයට ගනිමි. මා නිර්මාංශකයකු නොවූවත් මාංශය යන්න අර්ථකථනය කිරීමේදී මා අනුගමනය කර තිබුණේද සම්මත ක්‍රමයයි. එනම් මාංශය වනාහි දුවන පනින කෑ ගසන සත්ත්වයින්ගේ මාංශය ලෙසයි. නමුත් අද දින දහවල මා අනුභව කල පිපිඤ්ඤා පෙත්ත මාංශයකි. පරිප්පු ව්‍යංජනය මාංශයෙන් සැදී ඇත. නොකා ඉවත් කල කරපිංචා කොල කීපය මාංශයි. ඒවායේ යුෂ මා උරා බී ඇත. එකම වෙනස වන්නේ ඒවා සත්ත්ව මාංශ නොවීමයි. නමුත් ඒවාත් මාංශ ලෙස වර්ග කලහොත් නිර්මාංශකයන්.....?

"එහෙනම් ඔය නිර්මාංශ කට්ටියට කන්න දෙයක් නැති වෙනවනේ...?"

මා කීවේ ජයග්‍රාහී හැඟීමෙනි. අවසානයේ ඔහු ගොඩනගන තර්කය බිඳ දැමීමට සමත් අදහසක් මට පහල වී ඇත. ශාක සහ සත්ත්ව කොටස් වලින් සාදන සියළු ආහාර මාංශ ලෙස සලකන සන්ධර්භයේදී නිර්මාංශභක්ෂකයින් සියල්ලන්ටම හීන් දහදියක් දමනු නොඅනුමානය. එය එසේ විය නොහැකි බැවින් පිස්සාගේ තර්කය බිඳ වැටේ.

"එහෙම හිතන්න ඕන නෑ."

සිනාවෙන් පිලිතුරු දුන් පිස්සා සුපුරුදු පරිදි එයටද සාවධානව පිලිතුරු ගොනු කරන්නට විය.

"ඒක තමයි ස්වභාව ධර්මය කියන්නේ... අපි හැමෝම එක එක විධියට ස්වභාව ධර්මයේ දේවල් පරිභෝජනය කරනවනේ... කෑමට ගහක කොලයක්, ගෙඩියක් නැත්තං සතෙක්ගෙ මසක් වුණත් අපි පරිභෝජනය කරනවනේ. ඒක අපිට වගේම සත්තු ගහකොල වගේ දේවල් වලටත් පොදුයි. සතෙක් බඩගින්න නිවාගන්න ගහක් කෑමට ගන්නවා. ඒ සතාව වෙනත් මාංශ භක්ෂක සතෙක් කෑමට ගන්නවා. ඒ සතා මැරුණම උගේ සාරයෙන් ගහක් වැඩෙනවා."

"මම ඒක දන්නවා. අර ලයන් කිං එකේ ඒක තිබුණා..."

"මම ඒව බලල නෑ... ඒ වුණාට ඔය සුද්දො ඕව කියල තියෙන්නෙත් නිකං වෙන්න බෑනෙ.... ඒවයින් හරි කමක් නෑ ඉගෙන ගන්නයි ඕන..."

"හැබැයි එතකොට අර පාපය කියන එකට අර්ථයක් නැති වෙනවනේ...."

"එතන තමයි ප්‍රශ්ණෙ. මොනව වුණත් ඔය ආගම් වලින් මිනිස්සුන්ව යම් යම් සීමා වලට කොටු කිරීමෙන් වෙලා තියෙන්නෙ හොඳ දෙයක්. නැත්තං මිනිස්සු කරන විනාශයේ කෙලවරක් නෑ. සේරම විනාස කරලයි නවතින්නේ. මොකද මිනිස්සුන්ට ඕන එකකට හේතු හදාගන්න එක ලොකු දෙයක් නෙවෙයිනේ... එතනදි පාපය කියන සංකල්පය සෑහෙන්න වැදගත්. ආ... පුතා ඔය මිනිහගේ රැවුල තරුණ කාලෙ ලොකුවට තිබුණලු. පොඩ්ඩක් හදමු.."

මම burn ටූලයෙන් මනාලයාගේ රැවුල මැද එය කළු කරමි. දැන් ඔහුගේ රැවුල වඩාත් රළු ය. ඒ අතර මට පසුගිය දිනවල ජනප්‍රිය වූ ප්‍රවෘත්තියක් සිහිවේ.

"ඇයි අර කෝවිලේ සත්තු මැරන්න ගියේ... ඒකත් එහෙම එකක් තමයි නේ... තේරුමක් නැති විනාශයක්..."

"ඔව්... ඒකත් එහෙම එකක් තමයි. සතෙක් කෑමට මරණ එකයි සංකල්ප මූලික කරගෙන මරන එකයි දෙකක්. ඔය දෙක බැලන්ස් කරගන්න බැරි වීම තමයි මිනිස්සුන්ගෙ අවුල."

"අර Gods must be crazy කියන film ‍එකේ විධියට ඒ මිනිස්සු සතෙක්ව මරලා ඒ මළ කඳට ස්තූති කරනවා තමන්ගෙ කුසගින්න නිව්වට..."

මා උවමනා තරම් චිත්‍රපට බලා ඇති බැවින් මටද කීමට දේවල් හිඟ නොවේ.

"ඒ කතාව මමත් කියවල තියෙනවා. ඒක පැරණි මිනිස්සු අතර තිබුණ දෙයක්. එයාල ස්වභාව ධර්මයේ සමබරතාව ගැන දැනගෙන හිටියා. ඒ නිසාම එයාල මාංශ අනුභව කලා වුණත් වියරුවෙන් සත්තු මරන්න ගියේ නෑ. සත්තු විතරක් නෙවෙයි. ගහකොලට පවා ඒ මිනිස්සු ගෞරවය දුන්නා. ගහක්, සතෙක් නැතිව තමන්ට පැවැත්මක් නෑ කියල ඒ අය තේරුම් අරන් හිටියා."

"ඒ වුණාට ඔය දැන් මරන විධියට ආගමික අදහස් මත සත්තු මරන එක නම් හෙනම චාටර්..."

"ආගමික පදනම මත සත්තු මරන එක වගේමයි මල් පූජා කරන එකත්.... ඇයි ඒක හොඳයි කියලද හිතන්නේ?"

මම විශ්මයෙන් වික්ෂිප්තව පිස්සා දෙස බලුවෙමි. ඔහු සූදානම් වන්නේ කුමකටදැයි මට වැටහෙන්නේ නැත. මල් පූජාව පිළිබඳව මට කිසිදා නොසිතුණු අදහසක් ඔහු මතු කර ඇත. නමුත් එය විමසිය යුතු කාරණයකි. මම නැවත මොනිටරය වෙත දෑස් ඔබාගතිමි. නමුත් මගේ මනස තිබුණේ වෙනත් තැනකය.

ඇසිල්ලකින් මා අප දෙදෙනා කල සාකච්ඡාවේ හරය වෙත පැමිණියෙමි. මල් යනු ජීවී වස්තුවක කොටසකි. වඩාත් නිවැරදිව කිවහොත් ගසක බීජ හටගැනීමේ ක්‍රියාවලියට හෙවත් පරාගණයට මූලික වන්නේ ගසේ පුෂ්පයයි. පුෂ්පය ගසකින් වෙන් කිරීම ගසේ පැවැත්ම සහමුලින්ම උදුරා දමන ක්‍රියාවලියක ආරම්භයකි. එසේනම්....?

මම නැවත පිස්සා දෙස බැලීමි...

"ඒක ඒ තරම් සරල නෑ නේද?"

පිස්සා සිටින්නේ සිනාමුසුවය...

"අවුරුදු සිය දහස් ගානක් ආගමික සංකල්ප උඩ මල් කොයිතරම් ගස් වලින් කැඩිල නිකංම පරවෙලා ගිහින් ඇද්ද? ගහටවත් මලටවත් වැඩක් නැතිව?"

"ඒකත් හරි තමයි... "

මම කීවෙමි. පිස්සා මාගේ හිස මත ඇණයක් තබා මිටයකින් තඩිබාමින් සිටී. ලොව පවතින සියල්ල මිනිස් නිර්වචන මත වටහාගනු ලැබූ භූතාර්ථයන් පමණක්ද?

"ඔය මිනිස්සු ප්‍රාණය නිර්වචනය කරගෙන තියෙන හැටිනේ...,"

මම කියමි.

"ඔව්... ලෝකෙ තියෙන හැමදේම මිනිස් නිර්වචන. ඒව ඔප්පු කරන්න මිනිස්සුන්ට සාධකත් ඕන තරම් හොයාගන්න පුළුවන්..."

"‍මොන සාධකද?"

"ආගමික සාධකම ඕන තරම් තියෙනවා. ආගමික සාධක කියන ඒව ප්‍රශ්ණ කරන්න තහනම් ඒවනේ..."

මගේ මුවේ සිනාවක් මැවිණි... මා හට කියා ඇති පරිදි පිස්සා නගරයේ ප්‍රධාන පන්සලේ ලොකු හාමුදුරුවන්ගේ මිතුරෙකි. එසේම පන්සලේ පුස්තකාලයේ නිත්‍ය සාමාජිකයෙකි. ඔහු කියවන තරමක් කියවා ඇත්තේ එහිදීය.

"හෙහ් හෙහ්... ඒක තමයි නේ..."

"ඒකනේ... දැන් මම මේ කියපු කතා ටික පන්සලේ හාමුදුරුවොත් එක්ක කිව්වොත් මට සෑහෙන්න පාඩුයිනේ..."

"ඔව් ඔව් ආයෙ කියවල ඉවරයි."

"ඇයි දානේ...? ඒකනේ අපට මේව හිතල මෙහෙම සන්තෝස වෙන්න පුළුවන්. කියන්න ගියොත් වැඩක් නෑ.... මේ එක නෙවෙයි... ඔය පින්තූරෙ දැන් ගානට තියෙනව. තව ටිකක් පොලිෂ් කරල ප්‍රින්ට් කරන්න දාන්න. මට දෙක‍ට කෙනෙක්ව හම්බවෙන්න යන්න තියෙනව පන්සල ගාව කඩේට. හාමුදුරුවො ගැන කිව්වමයි මතක් වුණේ..."

පිස්සා අසුනෙන් නැගිට සිටගත්තේය... හමුවීමට නියමිත පුද්ගලයා අනිවාර්යයෙන්ම ඔහුගේ තවත් පින්තූර ගොදුරකි...

"ආ... රයිට්... මම ප්‍රින්ට් එක අවුට් කරල තියන්නම්..."

පිස්සා සමුගෙන ගියේය. මම මගුල් පින්තූරයේ ක්ෂුද්‍ර දෝෂ සොයමින් ඒවා පිලිසකර කරන්නට වීමි. මගේ පසෙක අනිත් පරිගණකයේ රාජකාරි කරන මිතුරා ගීත අසමින් සිටි ඉයර් ෆෝන් යුගල ඉවත් කරමින් මා වෙත ළං විය.

"මොනාද බං අරූ ඔච්චර කියෙව්වේ?"

මිතුරා උපහාසායෙන් විමසීය. මමද උපහාසයෙන් පිළිතුරු දුනිමි.

"දන්නැද්ද බං උගේ පිස්සු ටෝක්.... ඌ වගේම මෙලෝ රහක් නෑ..."

Friday, 5 December 2008

ඔයාගෙ බඩවැල් වලට මම ආදරෙයි රත්තරන්

මේක ඇත්තටම නිකන් ජෝක්මය සටහනක්. ඒ වුණාට ලියන්න හිතුවා ලැබුණ පුංචි විවේකයෙදි. අද මගේ මිතුරා රවි මහත්තයා ඇවිත්, අපි දෙන්නා ටිකක් කතා කලා. එයා මගෙන් ඇහුවා මම කාට හරි රත්තරන් කියලා කියල කියෙනවද කියලා. මම ඔව් කිව්වා සහ ඒ එක්ක ලොකු කතාවක් ඇදුණා අපි දෙන්නා අතර. මේක සාරංශයක්...

තමන්ගෙ පෙම්බරියට හෝ පෙම්බරාට රත්තරන් කියල අමතන එක කාලාන්තරයක් පුරා තියෙනවා මම දන්න තරමින්. අපේ අම්මල තාත්තල ආදරේ කරද්දිත් එයා‍ලගෙ දෙමව්පියො ආදරේ කරද්දිත් මේ රත්තරන් භාවිතා කරන්න ඇති. කොහෙන් පටන්ගත්තද මන්දා මේ රත්තරන් කෑල්ල. අර කුස පබාවතී කතාවෙත් රත්තරන් කඳක් ගැන කියවෙන හින්දා මේක ලොකු ඉතිහාසයක් තියෙන කතාවක් කියලා හිතන්න පුළුවන්. කොහොම නමුත් ඒක ඉන්දියාවෙන් හෝ වෙනත් බටහිර රටකින් ආපු භාවිතාවක් කියල කියන්නත් බෑ වගේ මට නම්.

කොහොම නමුත් මට තේරෙන විධියට "මම ඔයාට ආදරෙයි රත්තරන්" කෑල්ල අද වෙනකල්මත් පෙම්වතුන් පෙම්වතියන් භාවිතා කරනව. ඒ වගේම එකක් තමයි ඔය "මැණිකේ" කෑල්ල. මගේ මැණිකෙ කියල දැන් නම් තමන්ගෙ බිරින්දැට කියනවද දන්නෙ නෑ පිරිමි අය.

ඒ කාලෙ උදවියට දැනගන්න තිබුණ වටිනාම දේ රත්තරන් සහ පොදුවේ මැණික් තමයි. නමුත් දැන් ආභරණ වලට පාවිච්චි කරන වඩා වටින ලෝහ තියෙනවනේ ප්ලැටිනම් වගේ. (ප්ලැටිනම් කියන්නෙ වටිනම ලෝහය නෙවෙයි. හැබැයි රත්තරන් වලට වඩා වටින ඒකෙන් අභරණ හදනවා.) ඒ වුණාට තාම අපි අපේ ප්‍රේම ලෝකයට ප්ලැටිනම් ගෙන්නගෙන නෑ නේද?

හික් හික්.. මෝඩ ප්‍රශ්ණයක් තමයි... අර සින්දුවක නම් තියෙනවා "ප්ලැටිනම් කඳකටත් වැඩිය වටිනව මට ඔයාව, ෆ්ලෑෂ් ලයිට් වලට වැඩිය එලියයි ඔබෙ හිනාව" කියල.

මම් නම් මගේ එක්කෙනාට text කරද්දි ඉඳල හිටල කියනව Hi Platee කියල.. ;)


--------------------------

ඔය කතාව යන අතරෙ දීපිකාගෙ සින්දුවක් ගියා පසුබිමින්...

"මගේ කඳුළු වැල්.. ඔබට සිනා මල්..
මගේ සුසුම් වැල්... ඔබට පවන් රැල්..." කියලා...

මිස්ටර් රවි කෑ ගහල කිව්වා... එතකොට මගේ බඩවැල් ඔබට මොනවගේද කියලා.....

Friday, 17 October 2008

TV with a Guarantee Man - Ravi Wickramasinghe

ඔයාලා මගේ යාළුවා රවි මහත්තයව දන්නවනේ.. මේ එයාගෙ මල විකාර ඔළුව‍ට ආපු මල විකාර තවත් අදහසක්...

Thursday, 11 September 2008

රවි මත් වී - මොහාන් හොඳින් - අබා පැත්තක

මේක අපේ රවි මහත්තය ටිකක් මත් වෙලා ආපු දවසක අපේ තවත් පාරිභෝගික මිතුරෙක් වන මොහාන් හෙට්ටිආරච්චි අයිය එක්ක කරපු දෙබසක්. කොහොමත් රවි මහත්තය බිව්වම මාර ගති. හරියට අපේ තාත්ත වගේ. වටේම අය‍ට සතුට බෙදනවා. එයා තුල කොහොමත් වැඩ වාසය කරන විනෝදකාමියාගෙත් හොඳම කොටස එලියට එනවා දෙකක් දැම්මම. හික් හික්...

මේකට නිදාන කතාවක් තියෙනවා. මූල බීජය ආයෙත් අබා. අබාට විරුද්ධව පුංචි පුංචි සංස්කෘතිකමය විසංවාද මතු වුණානේ. මොහාන් මහත්මය මේ විසංවාද වලට එකඟව අබාට බැන්නා අපිත් එක්ක. එයා වැඩ කරන්නෙත් චිත්‍රපට කෙෂ්ත්‍රයේ නිසා අපි නම් ඒව ගනන් ගන්නෙ නෑ. එයා හරිම හොඳ මනුස්සයෙක්. ඒ වුණාට විෂයානුබද්ධ සාකච්ඡා වලදි එයත් ඉන්නෙ කණ්නාඩි දාගෙන. ඒව එහෙම තමයි.

කොහොම හරි මොහාන් අබාට බැණපු කතාව අපි රවිට කිව්ව. රවි අබා බලල නෑ මේ වෙනකල්ම. ඒත් එයා සංවේදී මනුස්සය නිසා අබා නොබැලුවත් කලාව කලාව විධියට රස විඳින්න තියෙන හැකියාව උඩ අබාට විවේචන ගෙනාවෙ නෑ. මේ දෙන්නම මගේ හොඳම පාරිභෝගිකයෝ. රස්සාව වෙනම සහ මිත්‍රත්වය වෙනම පවත්වගන්න මෙයාල දන්නවා. ඒ නිසා ඕන දෙයක් මම සහ මගේ දෙපස ඉන්න සගයො එක්ක කියවන්න මෙයාල මැලි නෑ. වැ‍ඩේ කෙරුණත් නැතත් මෙයාල අපේ ළඟ ඉඳන් මොනා හරි දේවල් ටිකක් කියෙව්වොත් ඒ දේවල් වල ගන්න දේවල් සහ පැලෙනකල් හිනාවෙන්න දේවල් තියෙනවා. ඒ නිසා මෙයාල දෙන්නටම අපි කැමතියි.

මට මතකයි මොහාන් මහත්තය අර රූපවාහිනී චැනලයක නර්තන තරුව තෝරපු දවසට පහුවදා කියපු කතාව.

"අද මට මාර සතුටුයි අප්පා.. දැන් අපට ඩාන්සින් ස්ටාර් කෙනෙකුත් ඉන්නව. දැන් තව මොනවද අපට අඩු"

හික් හික්....

ඒක අපේ නලින්ට කිව්වම එයා කිව්ව,

"ඇයි හෙට අනිද්දට ටාසන් ස්ටාර් කෙනෙකුත් හම්බ වෙනව අපිට"

ආයෙත් හික් හික්...

ඔන්න ඉතිං රවි මහත්මයා දෙකක් දාල ආපු වෙලේක මොහාන් මහත්මයව හමු වුණා. මේක මේ විධියටම නෙවෙයි වුණේ. මම මේක ටිකක් සංස්කරණය කලා ලියන්න පුළුවන් විධියට. ඒත් දෙබසට බාධාවක් නෑ.

රවි - ආ... මිස්ට මොහාන් කොහොමද?

මොහාන් - ආ හලෝ.. ඉතිං.. කාලෙකට පස්සෙ නේ..

රවි - මම ඔයාව හම්බ වෙන්නමයි හිටියෙ... ඒක නෙවෙයි.. මම අද ටිකක් බීල ඉන්නෙ හරිද?

මොහාන් - ආ නියමයිනෙ ඉතිං...

රවි - ඒ වුණාට කියන්න එපැයි.. මොකද මම සාමාන්‍යයෙන් දවල්ට බත් කෑවට කාල ඉන්නව කියල විශේෂයෙන් කියන්නෙ නෑනෙ. බිව්ව කියල විතරයි කියන්න පුළුවන්..

මොහාන් - හහ් හා.. ඒකත් එහෙමයි නේ.. මොකෝ හම්බ වෙන්න ඕන වුණා කිව්වෙ?

රවි - ඔයා අබාට දෝෂාරෝපණය කලා කියල ආරංචියි..

මොහාන් - කවුද කිව්වෙ? මුං සෙට් එකද? අම්මපා මුංව..

රවි - නෑ නෑ නෑ... අපි මෙහෙම ගමු..

මොහාන් - කියන්නකො බලන්න

රවි - ඔයා අබාව දන්නවද?

මොහාන් - නෑ

රවි - ඒකනේ.. මම දන්නෙත් නෑ..

මොහාන් - හික් හික්..

රවි - වැඩේ කියන්නෙ ජැක්සන් දන්නෙත් නෑ...

මොහාන් - ඒක හරි... ඒත් මූලාශ අනුව...

රවි - නෑ නෑ නෑ... ඔය මූලාශ්‍ර ලියපු අය දන්නෙත් නෑ... ඒ විතරක් නෙවෙයි පරණවිතාන මහත්තය දන්නවද? නෑ... ආනන්ද කුමාරස්වාමි මහත්තය දන්නවද? ඒත් නෑ.. මහාවංශය ලියපු එක්කෙනා? එයත් නෑ...

මොහාන් - බලාගෙන යනකොට කවුරුවත් දන්නෙ නෑ..

රවි - ඒකනේ වැඩේ! කවුරුවත් ඒ කාලෙ ඇත්තටම වුණ කතාව දන්නෙ නෑ..

මොහාන් - ඒ වුණාට මේකෙන් කියන යටි පෙල..

රවි - මොන යටි පෙලක්ද මගුලක්ද මන් දන්නෙ නෑ. මේක නිකං පරම්පරා ගානක් මිනිස්සු අතරෙ විවිධ විධියට පැවතුණ කතාවක්.. ඒක ගැන ඔච්චර වද වෙලා වැඩක් නෑ. අනික ඕක ගැන ඔහොම දුක් විඳිනව නම් තව මොන තරම් දේවල් තියෙනවද මිනිස්සුන්ට කෑ ගහන්න. හිහ් හිහ්...

මොහාන් - ඒකත් ඇත්ත නේද?

රවි - .....

මොහාන් - ...




තව දිගට ගියා කතාව. ඒත් ඕන ටික තමයි ඔය. අන්තිමේදි අපි කවුරුවත් හරි කතාව දන්නෙ නෑ. ඒත් අනේමන්දා එක එක රාමු ඇතුලෙ කතාව අල කරන් අපි කරන්න වැඩ නැතිවට වැඩ හදාගෙන.

අබා ගැන ආයෙම කතා කරන්න හිතුවෙ ලඟදි මට නැවතත් අවස්ථා දෙකකදි අබා බලන්න වෙන හින්ද. එකක් මගෙ යාළුවො එක්ක. අනෙක ගෙදර කට්ටිය එක්ක. එයාල දන්නෙ නෑ මම තනියම බලපු බව. මොකද වෙන අවට ගැටලු වලින් මිදිල චිත්‍රපටියක් බලන්න තනියම යන්න එපැයි. කොහොම හරි මේ ඉදිරි වතා දෙකේදිම මට සජීවී සාකච්ඡා කරන්න පුළුවන් චිත්‍රපටිය නිම වුණ ගමන්ම. ඒකට පූර්විකාවක් විධියට සහ ඉදිරියෙදි මගේ වමනෙ පිටුවෙදි හමුවෙන්න නියමිත මගේ මිත්‍ර රවි සහ මොහාන් යුග්මය ගැන අදහසක් ගන්නත් මේ වැමෑරිල්ල යොදාගත්තා.

Thursday, 31 July 2008

කැළණි ගඟට නඩු දාන්න...

කැළණි ගඟට නඩු දාන්න කියන කතාව රවි මහත්තයා කීපවරක්ම කියපු කතාවක්. කැළණි ගඟ අවට ජීවත් වෙන පවුල් ගණනක්ම කැළණි ගඟ පිටාර ගැලීම නිසා පීඩාවට පත් වුණානේ පහුගිය දවස්වල. ඒ පුවත නිසා රවි මහත්තය‍ට හිතුණ දෙයක් තමයි ඒක. හැමදේටම රෙදි උස්සන් කලබල වෙන අපේ උදවිය හරි නම් කැළණි ගඟටත් නඩු දාන්න ඕනෙය කියන එක සාධාරණ නැද්ද?

මේක මොකක් හරි නිර්මාණයක් විධියට එලියට දාන්න අපි දෙන්නටම ඕන කලත් ඒක නිර්මාණයකට ගොනු කරගන්න ටිකක් අමාරු වුණා.

අපි කල්පනා කලා දෙබසක්. උසාවියේ තමයි වැඩේ වෙන්නේ. කැළණි ගඟ තමයි චූදිතයා. මිනිස්සු කැළණි ගඟට බනිනවා.

කැළණි ගඟ කියනවා

"ඇයි මම විතරක්? අර චීනෙ හොවැංහෝ හැම අවුරුද්දෙම ගලනවා. එයාට මුකුත් ප්රශ්ණයක් නෑ. කවුරුත් එයාට නඩු දාන්නෙ නෑනෙ. අපි දුප්පත් පොඩි ගංගාවල් නිසා තමයි සේරම"

කියලා...

Wednesday, 30 July 2008

ජරාම ජරා කවියක්...

Jaraa Kaviyak
මේක ගැන විස්තරයක් පසුව දෙන්නම්...