Thursday 26 March 2009

Lage Raho Munna Bhai බාගෙන බැලීම

Lage Raho Munna Bhai කියන්නෙ මම බලපු හොඳම හින්දි චිත්‍රපටි අතරිනුත් හොඳම එකක්. මේක ආවෙ 2006දි. මේකට කලින් Munna Bhai MBBS කියල එකකුත් ආව. ඒකත් මරු. ඒකටත් කලින් කමල් හසන් ඉන්න ඒකෙ දෙමළ පිටපත ඇවිත් තිබුණ. ඒකත් මරේ මරු.

මම Munna Bhai MBBS ගැන කියන්නෙ නෑ. ඒත් Lage Raho Munna Bhai ගැන නම් කියන්නම ඕන කියල හිතුණ. මේක මම මුලින් බැලුවෙ 2007දි විතර. ඒ දවස් වල ඒක තුන්පාරක් විතර බැලුවා එක එක යාළුවො එක්ක. චිත්තර පටි බාන්න අවස්ථාව ලැබීමත් එක්ක ආයෙත් මේක බැලීමේ උවමනාව ඇතිවුණා. පිළිවෙලින් බලන්න ඕන නිසා මුලින් Munna Bhai MBBS බැලුවා. ඒක torrent එකක තිබිලා දවස් එකහමාරක් තිස්සෙ මම බෑවා.

ඒ වුණාට Lage Raho Munna Bhai බාන්න torrent නෑ. තිබුණ එකත් දවස් දෙකක් විතර බෑවිලා 60% විතර නතර වෙලා තියෙනවා දැකලා මගේ හිත දුක් වෙන්න ගත්තා. හොයන්න පුළුවන් හැම තැනම හෙව්වත් හම්බ වුණේ නෑ torrents. තිබුණ ඒවයෙත් හොඳ සෞඛ්‍ය තත්ත්වයක් පෙන්නුම් කලේ නැති නිසා ඊට පස්සෙ direct links හොයන්න ගත්තා.

Direct links තිබුණෙත් Rapid Share ඒවයි. ඒ ගැන හැමෝම දන්නව ඇතිනේ. මම නම් ආසම නැති වෙලයි හිටියෙ RS වලට. නමුත් Lage Raho Munna Bhai බාන්න වෙන විකල්පයක් තිබුණෙත් නැති නිසා මම වෙන ක්‍රමයක් බැලුවා. පස්සෙ ගුගල් දෙයියන්ගෙ උදව්වෙන් මෙන්න මේ මෘදුකාංගය හොයාගත්තා. මේකෙ නම Rapidshare Auto Downloader. හරිම ප්‍රයෝජනවත් උපාංගයක් වෙනව මට ඉදිරියෙදි. ඔයාලටත් වැදගත් වෙයි. අපට අවශ්‍ය ගොනු වල RS ලිපින මේකට ඇතුල් කලාම මේකෙන් පිළිවෙලින් එක එක බානව. waiting time එකේදි මෙයා වරින් වර request යවල waiting time එක ඉවර වුණ ගමන් ඊළඟ ගොනුව බාන්න ගන්නව. දාගෙන බලන්න. සමහර විට torrents වල seeds නැති චිත්‍රපටි බාද්දි RS links තිබුණොත් මේක වැදගත් වෙයි.

ලගේ රහෝ මුන්නා භායි එකේ කතාව තිර රචනය සංස්කරණය සහ රඟපෑම් ඉතාම ඉහලයි. සංජේ දත්ගෙ රඟපෑමටත් වඩා මම එයාගෙ සගයා සර්කිට්ගෙ රඟපෑමට ආසයි. දෙන්න පොඩි එවුන් වගේ විහිළු කතා කියද්දි පණ යනකන් හිනා වෙන්න පුළුවන්.

මෙතනින් බලන්න ලගේ රහෝ මුන්නා භායි එකේ විස්තර.

මෙන්න මෙතන හොඳ avi පිටපතක් තියෙනව.

මෙතන තියෙන්නෙ mkv පිටපතක්. හැබැයි ඒකෙ ඉංග්‍රීසි උපසිරැසි embedded.

මෙන්න සින්දුවක්.




Pal Pal Har Pal - Lage Raho Munna Bhai

Friday 20 March 2009

එන්න, කොන්ද පණ නැති ශ්‍රී ලාංකිකයෙක් වෙන්න.

මේ සටහන මතවාදී යුධ බිමේ යුධ වදින රණ විරුවකු‍ගේ තවත් ඒක පාර්ශවීය මානුෂීය මෙහෙයුමකි. එකම වෙනස මින් ජයගත ‍නොහැකි වීමයි.

අනේ මන්ද මට රූපවාහිනී වල තියෙන මල විකාර ගැනම ලියන්න හිතෙන්නෙ ඇයි කියල. ඒකට හේතුව ගොඩක් දරුණු එකක්. ඒක මොකක්ද කියල පසුව කියන්නම්.

අද රූපවාහිනිය බලල මම මට හැමදාමත් හිතෙන ඒත් කවදාවත් කියන්න නොහිතුණ දෙයක් ගැන කියන්න කල්පනා කලා. පවුලේ අනිත් අයගේ හිත සුව පිණිස එයාල බලන නාලිකා බලන්න වෙන තවත් කාලකණ්නියෙක් තමයි මමත්. මට නොදැනුවත්වම මම රූපවාහිනිය අසල රැ‍ඳෙන හැම වෙලාවෙම ඒකෙ යන මල විකාර මගේ ඔළුවට වැටෙනව.

මේ රූපවාහිනී නාලිකා වල පෙන්වන රබර් නාට්‍ය ගැන විතරක් දැනට කතා කලාම ඇති කියල මට හිතුණ. දැන් ලංකාවෙ හැම නාලිකාවකම වගේ රබර් නාට්‍ය යනව. ‍මේව අතරෙ හොඳ ඒව නෑ කියනව නෙවෙයි. ඒ වුණාට මිනිස්සුන්ව ඉන්න තැනින් ඉහලට ගෙනියන ආකාරයේ නිර්මාණ නම් නැති තරම්. මේ කතා මේ තරම් දිගට ඇදෙන්නෙ මේ වගේ.

tvteledrama road

මේකෙ රතුපාටින් පේන ඉර දිගේ කතාව සරලව කියන්න පුළුවන් වුණාට මේ පෙන්නන ඒවයෙ මිනිස්සුන්ගෙ මන්ද බුද්ධික වැඩ නිසා කතාව කියවෙන්නෙ කළු පාට ඉර දිගේ වටේම අරන් ගිහින්.

සරලව වෙන්න පුළුවන් දේවල් මිනිස්සුන්ගෙම ගොං කම් නිසා දිගට ඇදීම මත තමයි මේ කතා මේ තරම් දිගට ඇදෙන්නේ. මේ නාට්‍ය වල මිනිස්සු එකෙකුට එකෙක් විශ්වාස නෑ. සුදු මිනිස්සු නොහිතන මොහොතක කළු වෙනව. කෙලින් තීරණ ගන්න බැරි ගතිය නිසා සරලව වෙන්න තියෙන දේ දිගට ඇදිල රබර් වෙලා නාට්‍ය කාරයව පෝසත් කරනව.

මේ දිහා මිනිස්සු බලන්නෙත් තමන්ට වෙන ගානට හායි හූයි කියාගෙන. අපේ ගෙදර අයටත් වැඩේ තේරුණාට බලන්න වෙන එකක් නෑ. රූපවාහිනිය ක්‍රියා විරහිත කරලත් ඉන්න බෑ. මම ගෙදර අයට කිව්ව මේව බලල සත්තුන්ටත් අන්න වෙනව කියල. තීරණයක් ගන්න බැරිව ලත වෙන කොන්ද පණ නැති පී වර්ගයේ අය වෙනව කියල.

මේ ගැන කාලෙක ඉඳන් කතාවක් යන්තම් තිබුණත් තාම මේ මානසිත අවපාතකරණය බරපතල සමාජ ගැටළුවක් විධියට තේරුම් අරන් නෑ කවුරුවත්. මම කලිනුත් නොයෙක් තැන්වල කියල තියෙනව වගේ අපට ප්‍රභාකරන්ට වඩා සතුරෙක් ඉන්නව. ඒ සතුරා කොයි තරම් කපටිද කියනවනම් එයා අපේ සතුරෙක් කියලවත් කට්ටියට තේරෙන්නෙ නෑ. එයා අපිට විෂ කවන්නෙ සීනි තවරල. සීනි බෝල කන්න මිනිස්සු හරි කැමතියිනේ.

සමහර විට උතුරේ මානුෂික මෙහෙයුමට පස්සෙ ලොක්කන්ට තේරුණොත් තව යුද්ධ කරන්න තියෙනව සමාජය දියුණු කරන්න. දැනට යන්තම් පවතින ඒ යුද්ධයක මමත් යුධ සෙබලෙක් ;) තවත් සෙබලු යුධ වදිනව. සමහර විට එයාල දන්නෙත් නෑ එයාල යුද්ධයක් කරනව කියල. කොහොමත් මේ ‍නොපැහැදිලි සතුරාගෙන් මිනිස්සුන්ව මුදාගන්න පුළුවන් හැම තැනම එයාල සටන් කරනව. බොහෝ විට මට නම් ඒක නිසා හෙම්බත් වෙන එකට වඩා දෙයක් වෙන්නෙ නෑ. නමුත් සෙබලෙක් මිය යන තුරු යුද්ධය නවත්වන්නෙ නෑ.

ඒ නිසා මමත් මේ කිසිම තේරුමක් නැති සටහන දානව.

මේක කියවල වැඩක් නැති නිසා මම මෙතනින් ගත්තු මේක අහන්න. ඒකත් වැඩක් නැත්තං ඉතිං.....




Pitastharaya Kasun Kalhara-The Romantic Opera(New Album)

අවශ්‍ය කෙනෙක් වෙනුවෙන් - මේ සින්දුව උපුල් ශාන්ත සන්නස්ගල මහත්මය ලියපු එකක්. සංගීතය සහ ගායනය කසුන් කල්හාර.

ඒ වගේ තව සින්දුවක් අහන්න මෙතනට යන්න.

Monday 16 March 2009

දෙවියන් විසින් තේරූ යුවලක්...

මම Rab ne bana di jodi චිත්‍රපටිය බැලුව. ඒ ගැන කියන්න ඕන කියල හිතුණ.

දෙවියන් විසින් තේරූ යුවලක් කියන්නෙ Rab ne bana di jodi චිත්‍රපටයෙ තේරුම කියල අන්තර්ජාලයෙම තිබුණ. RNBDJ මම කාලෙකට පස්සෙ බලපු ලස්සන හින්දි චිත්‍රපටියක්. සාමාන්‍යයෙන් ෂාරුක් ඉන්න ඒව පරක්කු වෙලා හරි බලනව. නමුත් මේක බලන්න ඕන කියල එක්කෙනෙක් කියපු නිසා එයා වෙනුවෙන් බාගෙන මම බැලුව. කවුරුත් හැබැයි දැන්ම බාන්න එපා. තවම හොඳ පිටපතක් නෑ හොයාගන්න. සේරම කැමරා කොපි තමයි තියෙන්නේ. මේ බාපු එකෙත් ශබ්දය ටිකක් අවුල්. සමහර තැන් කීපයකදි හොඳටම අවුල්. රූප රාමුත් කීප වතාවක් කැමරාව නාභිගත නොවීම නිසා බොඳ වෙනව. ඒ වුණාට ඒ දවස් වල අපට හරියට රූපවාහිනී නොපෙනෙන දවස්වල සුදු තිත් එක්ක අමාරුවෙන් උප සිරැසි කියවමින් චිත්‍රපටි බලපු මට මේක බලන එක කජ්ජක් වුණේ නෑ.

චිත්‍රපටි‍ය හොඳයි. අන්තිම වෙනකල් හොඳට රස විඳින්න පුළුවන්. හරිම සාම්ප්‍රදායික සැමියෙක් තමන්ගෙ බිරිඳ වෙනුවෙන් වෙනස් වෙන විධිය තමයි කතාවට තේමාව වෙන්නේ. නමුත් ඔහු වෙනස් වෙන්නෙ වෙනම පුද්ගලයෙක් විධියටයි. ඔහු තමන්ගෙ බිරිඳව වෙනත් ස්වරූපයකින් ඇවිත් දිනාගන්න ආකාරය සහ ඒකෙදි වෙන සිදුවීම් පෙලක් තමයි තියෙන්නේ. හරිම ලස්සනයි.

හින්දි චිත්‍රපටි වලට ආස අයට හොඳට රස විඳින්න පුළුවන් වෙයි. මෙතනින් විස්තර බලන්න. මේකෙ තියෙන Haule Haule කියන සින්දුව කියන Sukhwinder Sing මේ ගීතය වෙනුවෙන් පසුගිය filmfare උළෙලෙදි හොඳම ගායකයාට හිමි සම්මානයත් දිනාගත්ත. හරිම ලස්සන සිංදුවක්. ෂාරුක් මේකෙදි දාන ඩාන්ස් එකටත් මගෙ හිත ගියා.





Rab Ne Bana DI Jodi - Haule Haule

Saturday 14 March 2009

ලස්සනම ග්‍රහය ඉන්නෙ අපේ සෞරග්‍රහ මණ්ඩලේ හරිද?

වර්ෂ 4045....
ඔය කාලෙදි පෘථිවිය අයිති සෞරග්‍රහ මණ්ඩලයෙන් පිටත් වෙනම තාරුකා වලට අයිති ග්‍රහලෝක වල මිනිස් ජනාවාස තියෙනව. ඒවයෙත් පරම්පා කීපයක් පුරා වර්ධනය වුණ සංස්කෘතියක් හරහා එයාල වෙනමම මිනිස් කණ්ඩායම් විධියට ජීවත් වෙනව.

ඒ වගේම 25 වෙනි ශතවර්ෂයෙදි විතර මිනිස්සු පිටසක්වල ජීවීන් එක්ක ඇතිකරගන්න සම්බන්ධ හරහා ආලෝක වර්ෂ ගාණක් ඈත තියෙන පිටසක්වල ලෝක එක්ක අපි නොයෙක් ගණු දෙනු කරනව.

විශ්වය පුරා විහිදුණ අඳුරු අංශු මූලික වුණ සන්නිවේදන ජාලය මේ සියළු ලෝක පරිගණක හරහා විශ්ව ව්‍යාප්ත ජාලයක් බවට පත් කරලයි තියෙන්නේ. ඒ හරහා මිනිස්සු වෙනත් මිනිස් ජනාවාස වල ඉන්න මිනිස්සු සහ වෙනත් ජීවීන් සමග තොරතුරු හුවමාරු කරගන්නව.

ඒ වෙනකොට සිංහල බ්ලොග් සංසදය විශ්ව ව්‍යාප්ත වෙලා ඉවරයි. ඇත්තම කිව්වොත් ඒ වෙනකොට ඒක විශ්ව බ්ලොග් සංසදයේ සාමාජිකයෙක් වෙලා. විශ්ව බ්ලොග් සින්ඩිකේටරය ඕනම භාෂාවකින් කියවන්න තාක්ෂණික හැකියාව ඒ වෙනකොට ලැබිල තිබුණ නිසා ඕනම බ්ලොග්කරුවෙක්ට භාෂා භේදයකින් තොරව ඕනම කෙනෙක් ලියන දෙයක් කියවන්න පුළුවන්කම තිබුණ.

මෙන්න විශ්ව බ්ලොග් සින්ඩිකේටරයේ බ්ලොග් සටහනක් සහ පලවුණ අදහස්. මේක ලියල තියෙන්නෙ A කියල වෙනත් වර්ගයක ජීවියෙක්.


A - මා මිතුරෙකු හමුවීමට ඔහු ජීවත්වන විශ්වයේ සුන්දරම ග්‍රහලොවට මම අද පැමිණියෙමි. මෙය අපගේ සෞරග්‍රහ මණ්ඩලයේ 17වන තැන පිහිටි පයෙටන් ‍ලෝකයයි. මෙය අලංකාර වන්නේ මෙහි වටා දිවෙන අලංකාර ග්‍රහක වලල්ල නිසාවෙනි. දිනපතා උදෑසන සහ සවස හිරු එලියෙන් අහස පුරා සිහින් චාපයක් මෙන් දිස්වන මෙය නෙතට රස ගෙනෙයි. වසරේ ඇතැම් කාලවලදී පයෙටන් ලෝකයේ චන්ද්‍රයා සහ මෙම වලලු එකම විට අහසේ දිස්ව මනස්කාන්ත දසුනක් මවන බව මා මිතුරා පැවසීය.....

මේක දිග වැඩියි.. අපි කමෙන්ට් වලට එමු.


B - සංචාරය ගැන කිව්වට ස්තූතියි. මාත් ආසාවෙන් ඉන්නෙ පයෙටන් වල සවාරියක් දාන්න.

C - මම හිතන්නෙ විශ්වයේ තියෙන ලස්සනම ලෝකය පයෙටන් නෙවෙයි. ඒක තමයි අපේ සෞරග්‍රහ මණ්ඩලයේ සෙනසුරු. ඒකට ඔය තනි පටියක් වගේ නෙවෙයි. ඝණ වළලු තීරයක් තියෙනවා.

D - ඔව් ඔව්... පයෙටන් කොහෙද ලස්සනම ග්‍රහලෝකය වෙන්නේ. අපේ මව් ලෝකය පෘථිවිය අයිති ග්‍රහ මණ්ඩලයෙ තියෙන සෙනසුරු තමයි දැනට මමත් දැකල තියෙන ලස්සනම ග්‍රහලෝකය. පහුගිය නිවාඩුවට මම එහෙ තියෙන නැවතුම්පලක හෝටලයක ඉඳන් පැය ගානක් සෙනසුරු දිහා බලන් හිටියා.

B - C, D කියන කතා ඇත්ත වෙන්න පුළුවන්. මමත් සෙනසුරු වල පින්තූර දැකල තියෙනව. ඒ වුණාට පයෙටන් ලොකයෙ තරම් සුන්දරත්වයක් ඒ වළලු වල නෑ. අනික පයෙටන් ලොකයේ වළලු වල දියමන්ති සංඝටක නිසා හිරු එලියෙදි ඒ වලල්ල දිලිසෙනව.

C - මහාචාර්ය මිගෙත් සොරන්ගෙ යුනිපීඩියා පිටු බලන්න. පයෙටන් ලෝකයේ වළල්ල ඉස්සර හිටපු රජ කෙනෙක් කෘතිමව හදපු එකක්. එයාගෙ ලොකුකම් පෙන්නන්න. ඒ වගේද සෙනසුරුගෙ වළලු. ඒව සෙනසුරුගෙ වයස තරම්ම පැරණියි. අනික ඒව ස්වභාවිකයි.

E - මේ මේ පයෙටන් වල රජවරුන්ට විතරක් බණින්න එපා හරිද? පයෙටන් වළලු නිර්මාණය කලේ රජ කෙනෙක් තමයි. අවුරුදු දෙදාස් ගාණකට කලින් තිබුණ තාක්ෂණයක් ඒක. ඔය පෘථිවියෙ ඔළුවල මයිල් තියෙන අය කොහෙද ඒච්චර කෙරුවාවක් කරන්නෙ. ඒ දවස් වල ඔය පෘථිවියෙ කට්ටිය රෙදි එල්ලගෙන රළු පාරවල් වල රෝද තියෙන වාහන වල ගියෙ. අපි එතකොටත් විශ්වයේ වෙනත් ලෝකත් හොයාගෙන.

D - @ E ඔයා ඔළුවෙ මයිල් නැති ගෙඹි මූණක් තියෙන පයෙටනයෙක් වෙන්න ඇති. ඒ වුණාට අපේ සෞරග්‍රහ මණ්ඩලයේ ඉතිහාසය ගැන දන්නෙ නෑ. අපේ සෙනසුරු තමයි විශ්වයේ ලස්සනම ග්‍රහය. ඒක එදත් එහෙමයි අදත් එහෙමයි. ඔයා අත් දෙකින් හිටගෙන කිව්වත් මම ඔයා කියන එක පිළිගන්නෙ නෑ... අනික ඔයාලා....

හික් හික්... ඊට පස්සෙ ඇත්තටම වැඩක් ඇති කමෙන්ට් එකක් තිබුණෙ නෑ. ඊට පස්සෙ තිබුණ කමෙන්ට් වගේ ඒව මේ ‍කාලෙ සිංහල බ්ලොග් සින්ඩිකේටරෙත් තියෙනව. මුලින් කතාව කියන මනුස්සය කියන දේ ඒ මනුස්සයගෙ පැත්තෙන් නොබල තමන් අයිති පාර්ශවය හෝ තමන් දරණ මතයට අර මනුස්සය නම්මගන්න යනව.

අපි ඒ කතාව අමතක කරමු.....

දැන් අද මම ලියන බ්ලොග් සටහන කියවන්න...

තමන් අයිති පාර්ශවය කියන එක මිනිස්සුන්ට අවිඥානිකවම තියෙන දෙයක්. මටත් ඒක තියෙනවා. නමුත් දේපල වෙනුවෙන්, ජාතියක් හෝ ආගමක් වෙනුවෙන් වෙන මනුස්සයෙක්ව නොසලකා හැරීම ඇ‍‍ර‍ඹෙන්නෙ එතනින්. ඒක වෙනත් කුලයකට අයිති මනුස්සයෙක්ව මරා දැමීම සාධාරණීකරණය කරන්න තරම් බලවත්. ඒක නිසයි අපි මිය යන රණවිරුවන් ගැන දුක් වෙන ගමන් අතපය කැඩිල සීසීකඩ විසිරුණ LTTE සංවිධානයේ සාමාජිකයන්ගෙ සිරුරු දිහා බලල සතුටු වෙන්නේ. ඔකුන්ට ඔහොම වෙලා මදි කියල සාප කරන්නේ. ඒ ගැන මම මෙතනදි කියන්න යන්නෙ නෑ.

මේ තමන් අයත් පාර්ශවය අපි කතා කරන මාතෘකාවට (විෂය) අදාලව ව්‍යාප්ත වෙන එකක්. මුලින්ම ඉන්නෙ මම. මම මුලින් මාව ආරක්ෂා කරගැනීම හෙවත් මගේ මතය දැරීම වෙනුවෙන් සටන් කරනව. ඊට පස්සෙ මගේ පවුල වෙනුවෙන් කතා කරනව. පවුලෙ කෙනෙක්ගෙ දේකදි පවුලෙ නොවන කෙනෙක්ගෙ දේකදි දක්වනවට වඩා උනන්දුවක් දක්වනව. පවුලෙ අයට උදව් කරන්න කැප වෙනව. ඊට පස්සෙ අපිට මිතුරන් සහ සමාජයෙ අපිට තියෙන විවිධ සම්බන්ධ වෙනුවෙන් කැප වෙන්න සිද්ධ වෙනව. ඒ වෙනුවෙන් කතා කරන්න සහ පෙනී සිටින්න පෙළඹෙනව.

ඊටත් පස්සෙ අපට පෙනී සිටින්න රටක් තියෙනව. රටට කලින් මම සහ පවුල වගේ සමාජ සම්බන්ධයන් නෑ වගේ සයිබර් අවකාශයේ ප්‍රකාශන කරන අයටත් සැබෑ ජීවිතේ රට එන්නෙ පසුව. ක්‍රිකට් ගහන අය සහ රට වෙනුවෙන් පෙනී ඉන්න තව නොයෙක් අයටත් නොදැනුවත්වම රට වෙනුවෙන් පෙනී ඉන්න එයාල කරන රස්සාව උදව්වක් වෙලා තියෙනව. රස්සාව කරන්නෙ තමන් සහ තම පවුල වෙනුවෙන්. හත්ඉලව්වට ගහපු කලාබරේ වගේ ඒ රස්සාව රට වෙනුවෙන් පෙනී සිටීමක් වුණා. ඉතිං එයාල හරි ආඩම්බරයි....

රටටත් පස්සෙ අපට දකුණු ආසියාව තියෙනව. අපි දකුණු ආසියානු කලාපීය සහයෝගීතාවයක් හදාගෙන ඒ තුල ඒකරාශී වුණ ස්ථායි පැවැත්මක් වෙනුවෙන් සාකච්ඡා කරනව. දකුණු ආසියාව ගැන කතා කරනව. ඊටත් පස්සෙ අපිට ආසියාව තියෙනව. ආසියාවෙ සංස්කෘතිය දේශගුණය වගේ හොයාගන්න පුළුවන් හැම එකකින්ම අපි ආසියාව ගැන ආඩම්බර වෙනව. ඒ වෙනුවෙන් පෙනී ඉන්නව. ඇමරිකාව ආසියාවෙම පොදු සතුරා කරන් ඇමරිකාවට බනිනව. ඊටත් පස්සෙ අපි අපේ වපරිසයට මැදපෙරදිග යුරෝපය සහ හැකි වුණොත් අප්‍රිකාවත් ඈඳගන්නව. ලෝකයේ බිහිවුණ ආගම් සියල්ල ආසියාවෙන් සහ මැදපෙරදිගින් බිහිවුණා කියනව. මිනිසාගේ සම්භවය අප්‍රිකාවෙන් කියල කියනව. අප්‍රිකාවට ළඟින් ඉන්න එක ගැනත් ආඩම්බර වෙන්න ඕන නම් අපට පුළුවන්කම තියෙනව.

ඊට පස්සෙ අපට ඇමරිකාව හෝ ඔස්ට්‍රේලියාවත් ගාවගන්න පුළුවන්.

ඕක ගැන ඔය තරම් කියවන්න ඕනත් නෑ... ලංකාවෙ ක්‍රිකට් කණ්ඩායම ඉන්දියාවත් එක්ක සෙල්ලම් කරද්දි ලංකාවට සපෝට් කරන අපි ඉන්දියාව ඔස්ට්‍රේලියාවත් එක්ක සෙල්ලම් කරද්දි ඉන්දියාවට සපෝට් කිරීම තරම් මේ තමන් අයත් පාර්ශවය කියන අදහස සරලයි.

ඉතිං අනාගතේ දවසක අපි පෘථිවිය වෙනුවෙන් කතා කරයි. තවත් ඈත අනාගතේකදි අපි සෞරග්‍රහ මණ්ඩලේ වෙනුවෙන්මත් කතා කරයි. සමහර විට යම් දවසක අපේ අනාගත පරම්පරාව ක්ෂීර පථය වෙනුවෙන් යුධ වදියි.

Wednesday 11 March 2009

පැල්ලම්


දුක හිතුණා මට
මගේ නොසැලකිල්ලෙන්
මඩ පැල්ලම් ඉසුණාට
අපි දෙදෙනා එක්ව
පාට කල බිත්තියේ

ඒ නොසැලකිල්ලට
සිත දුකින් පිරී නුඹෙ
දෑස් රතු වූ විට
තවත් දුක් වුණා මම
නුඹෙ දුකත් හිතාගෙන

තව වරක් එක්ව අපි
මඩ කහට ‍සෝදලා
වර්ණ ගන්වමු විනා
අන් යමක් නොමැත මට
දැන් නුඹට කියන්නට

එන්න නුඹ නෙත් පිහන්
මේ අපේ බිත්තියේ
මඩ කහට විසිරුවා
ආයෙමත් එකතු වී
එකට පැල්ලම් මකමු


ecH on 2009-03-09


මෙය රෙදි සෝදන කුඩු, සබන්, සිමෙන්ති හෝ තීන්ත දැන්වීමක් නොවන බව කරුණාවෙන් සලකන්න.

Monday 9 March 2009

වෙනස් කිරීම

අපි හැමෝම අ‍පි මෙහෙමයි කියල ප්‍රතිරූපයක් හදාගෙනයි ඉන්නේ. අපි ආසයි ඒ ප්‍රතිරූපයම අනිත් හැමෝගෙන්මත් දකින්න. අපේම ප්‍රතිපත්ති තුල අපි අතිශය ප්‍රජාතන්ත්‍රවාදී හෝ අන් මත ගරු කිරීමේ ස්ථාවරයක් හදාගෙන හිටියත් අන් අය අපේ කතාව පිලිගන්නවා දැකීම අපේ පරම බලාපොරොත්තුවයි.

ඒක මිනිස්සුන්ට පරම්පරාවෙන්ම, නැත්නම් පුංචි කාලෙ ඉදන් ඔළුවට දාගන්න ඒවයිම වර්ධනය වෙන විකාර(?) උවමනාවක්.

ඒක නැති කරන්න පුළුවන් අධ්‍යාපනයෙන්ම. අනිත් අයට ගරු කරන, එයාලට ඇහුම්කන් දෙන සාවධාන පුද්ගලයෙක් වෙන්න පුළුවන් ඕන කෙනෙක්ට. ඒත් ඒ දේවල් විධිමත්ව හදාරන්න පවතින ජීවිතය ඇසුරින් ඒ දේවල් උගන්වන ක්‍රමයක් නෑ. යම් තරමකට අගම් වලින් මේ හික්මීම ඇති කලත් ආගම් කියන්නෙ තව දුරටත් මිනිස්සුන්ව වෙනස් කරන්න පුළුවන් සාධකයක් නෙවෙයි. ඒ වුණාට යම් කෙනෙක්ට ආගමක් හරහා වුණත් තමා ලොකුයි කියල හිතන ගතිය නැති කර ගන්න පුළුවන්. එහෙම අය ඉන්නව.

මොනව වුණත් තමන් නොහිතන මොහොතක ආයෙත් තමා තුල ඉන්න සත්ත්වයගෙ අමු හැඟීම් එලියට එන්න පුළුවන්.

ඒ වෙලාව කලින් කියල එන්නෙ නෑ. ඒ නිසාම පරෙස්සම් වෙන්න වෙනව. මොකද අධ්‍යාපනය හරහා හික්මවන හඟීම් අතිශය දරුණු වෙන්න පුළුවන්.

ඒ ගැන නෙවෙයි ඇත්තටම කියන්න ඕන කලේ. දැනුවත්ව හෝ නොදැනුවත්ව අපි අනිත් අයව වෙනස් කරනව. නැත්නම් වෙනස් කරන්න උත්සාහ කරනව. අපට ඕන විධියට.

එක අතකට අපි යම් කෙනෙක්ට තමන්ගෙ මතයෙ ඉන්න දෙන අවස්ථාව හරහා අපි එයාලට අපේ මතයේ තියෙන නිදහස් බව ගැන ඇඩ් එකක් දානව.

මේ හැම දෙයින්ම අපි කරන්න යන්නෙ අනිත් මනුස්සයව අපේ ඇස් වලට ලස්සන විධියට සරසල දකින්න යන එකයි.

යම් කෙනෙක් තුල තියෙන සුන්දරත්වය එයාව වෙනස් නොකර දකින්න අපට පුළුවන් නම්...

උළුපුව රත් වූ නිසා...

දවසක් දෙකක් මුළු රැයක් පුරා චිත්‍රපටි බාද්දි මගේ උළුපුව හොඳටම රත්වෙනව කියල මට තේරුණ. ඒකට කරන්න තිබුණෙ රත්වීම වලක්වන ක්‍රමයක් හොයාගන්න එකයි. නමුත් heat sink එකක් වගේ දෙයක් හොයාගන්න තිබුණෙ නෑ. මට මතකයි කවුදෝ බ්ලොග් මිතුරෙක් හොඳ ඇලුමිනියම් heat sink එකක් හයි කරල වැඩේ කරගෙන තියෙනව ලියල තිබුණ. ඒ යාළුවව දැන් මට මතක නෑ. මේක කියෙව්වොත් අදාල සටහනට link එකක් දෙන්න comment එකක් විධියට.

කොහොම හරි මට එහෙම එකක් හොයාගන්න ලැබුණෙ නෑ.

කුස්සිය පැත්තෙ යවුමක් දාද්දි තිබුණ ඇළුමිනියම් කෝප්පයක්. ඒක ගෙනත් උළුපුව උඩ තිබ්බා. එතකොට වැඩේ හරි ගියාට කෝප්පෙත් එකසිය ගානට රත් වෙනව. ඉතිං මොකද කලේ. දැම්ම කාලක් විතර පිරෙන්න වතුර. ඊට පස්සෙ ඔන්න නියමෙට වැඩ. උළුපුවත් රත් වුණාට දැන් සෑහෙන්න අඩුයි.

ඉතිං වැඩේ හරි. වතුර ටික වාෂ්ප වෙද්දි තව ටිකක් දාන්න විතරයි තියෙන්නේ. හැබැයි වතුර දාන්න ගිහිල්ල හලාගත්තොත් නාන්නයි වෙන්නේ.


upuluwa

TCP View - කලාට කමක් නෑ කෙලවගන්න එපා...

සාමාන්‍යයෙන් තාක්ෂණික දේවල් ගැන කියන්න තරම් මම ඒ ගැන දන්නෙ නෑ. මම හිර වෙන වෙලාවලදි කොහෙන් හරි හොයාගෙන ගැලවෙනව මිස ඒ දේවල් මට මතක තියෙන්නෙ නෑ. ඒ නිසා එකම දේ දෙපාරක් කරද්දි මම එක වගේම නාන්න පුළුවන්.

කොහොම වුණත් අද මට හම්බ වුණ TCP View කියන පුංචි මෘදුකාංගය මගේ පරිගණකයේ ඇති කරපු වෙනස නිසා මේක බෙදාගන්න හිතුවා. සමහර විට මේ ගැන ඔයාල දන්නව ඇති. පුළුවන් නම් වැඩි විස්තර කියල දෙන්න.

මගේ ජාල සම්බන්ධයේ වේගය එන්න එන්නම දුර්වල වුණ හින්ද මම එක එක ඒව කල්පනා කලා ඒකට හේතුව හොයන්න. මට හිතුණ මගේ පරිගණකයෙන් ඇති කරගන්න සම්බන්ධතා ප්‍රමාණය යම් විධියකට බලපානව ඇති කියල. රවුටරෙත් හැමවෙලේම රත් වෙන්නෙ නෑනේ. ඒ නිසා මම නිකං google ‍දෙයියගෙ කණට මෙහෙම කෙඳිරුව

view list of network connections

මේක මුමුණන්න කලින් එක එක ඒව කියල බැලුව. හරි ගියේ මේක විතරයි.

කොහොම හරි ඒකෙදි ලැබුණ ප්‍රතිචාර ඔස්සේ ගියාම ම‍ට TCP view බාගන්න සබැඳිය හම්බ වුණා. මේක පුංචි zip ගොනුවක එන exe ගොනුවක්. ඒක දුවද්දි දැනට පරිගණකයෙන් ජාලයට සම්බන්ධ වෙලා තියෙන සේරම සම්බන්ධ පෙන්නනවා. මම ඉතිං ආතක් පාතක් නැති කීපයක් select කරලා right click කරලා delete කලා. අවුලක් නැ. තව ටිකක් කලා. හ්ම්... වැඩ. අන්තිමේ අර svchost කට්ටියගෙ ටිකකුත් මැකුවා. එතකොට නම් යන්තරේ හරිම කාරුණිකව restart වෙන බව කියල මිනිත්තුවකින් restart වුණා.

ඊට පස්සෙ ඉඳන් මාර speed නෙ අනේ.....

(ඒ කිව්වෙ අපට පෙන්නන උපරිමය වෙන 50KBps තමයි)

මේ ගැන දන්න කෙනෙක් මේක පොඩ්ඩක් බලල අයින් කල යුතු නැති system connections ගැන ටිකක් කිව්වොත් නියමයි.

Sunday 8 March 2009

Helixed...

Helixed...

In my 2D sine curved life
I was just believing
that all the nonsense they talk
is just some other crap
which is going to stop
my free and calm tour
of the life I was going
to be made splendid

Then there was you
on the other dimension
which made it deep
on the other axis...
it was simply a revolution
I was not planning
in any way I could think

Now my life is a helix
in the 3D world


ecH on 2009-03-08


yakomapo

Thursday 5 March 2009

ප්‍රතිචක්‍රීකරණය

රූපවාහිනී නාලිකා වල දැන් යන ටෙලි නාට්‍ය වල තියෙන්නෙම සමාජයෙ තියෙන කුහකකම්. එෆ් එම් නාලිකා වලත් තියෙන්නෙම ඒ වගේ සමාජයේ මල විකාර පැතිකඩවල් සම්බන්ධ කතා. ප්‍රවෘත්ති ගත්තත් තියෙන්නෙම ඒව තමයි. මිනිස්සු කරන ‍ජඩ වැඩ, කුපාඩිකම්, දූෂණ, වංචා, මිනී මැරුම් තමයි ප්‍රවෘත්ති වලත් තියෙන්නේ. ඊට අමතරව ලණුත් තියෙනව තමයි.

පත්තර ගත්තත් එහෙමයි. පිටු හැටක විතර සති අග පත්තරේක මිනිස්සු කරපු හොඳ වැඩ වලට වෙන් වෙන්නෙ පිටු බාගයයි.

මිනිස්සු හොඳ වැඩ කරන්නෙ නැද්ද?

නැත්නම් මේ සදාචාරවත් සත්‍ය මාධ්‍ය වාර්තාකරණයද?

කොහොම වුණත් ගෙවල්වල මිනිස්සු ආයෙ ආයෙත් මිනිස්සුම කරන කුණු වැඩ දකිනව, අහනව සහ කියවනව. ඒ අස්සෙ පෝය දවසට නිදි කිර කිර බණත් අහනව. පහුවදා ඉඳන් ආයෙත් අර දේවල්ම ඇසුරු කරනව.

මාධ්‍ය වලින් කරන්නෙ සමාජයේ තියෙන දේම ආයෙ ආයෙත් සමාජය තුලම කරකවන එකයි. ඉතිං මොන තරම් ආණ්ඩු මාරු වුණත්, මොන තරම් දේශපාලකයො ආවත්, මොන තරම් බ්ලොග් ලිව්වත් වචන වලින් ඇරගත්තත් ලංකාවට ඉදිරියක් නෑ.

අපි හැමදාම එකම තැන.

සපත්තු


පහුගිය දවසක මම සපත්තු ජෝඩුවක් ගන්න කඩේට ගිහින් ආවෙ හිස් අතින්. හිතට හරියන එක සපත්තුවක්වත් එතන තිබුණෙ නෑ.

මෙච්චර කාලයක් මම දාපු එක සපත්තුවක්වත් මගේ කකුලේ හැඩයට ගැලපුණේ නෑ. එක්කො ඇඟිලි තියෙන හරිය රවුම්. නැත්තං හතරැස්. දැන් කඩවල් වල තියෙන්නෙ කඩු දාන්න හදපු කොපු වගේ උල් සපත්තු. කාලයක් තිබුණ හිමේ යද්දි දානව වගේ උඩට නැමුණු සපත්තු. ඒ එක්ක අඩිය අඟල් එක හමාරක් විතර උස සපත්තු. වතාවක් තෑග්ගකට හම්බවුණ ඒ ‍වගේ සපත්තු දෙකක් දාපුවම කකුල්වලට නොයෙක් අමාරුකම් දැණෙන්න ගත්ත.

මගේ හිතට හොඳටම හරිගියෙ කැන්වස් සපත්තු විතරයි. ඒක කකුලට පහසුවක් වුණා. ගානත් සැලකිය යුතු තරමක් අඩුයි.

ඒ වුණාට ඒව දාන්න බෑනෙ වැඩට යද්දි. ඒ නිසා මම මගේ කකුල රිදවන සපත්තු දාගෙන උදේ වැඩට යනව. :(

මම දන්නව මම මට සපත්තු දාන්න තියෙන අපහසුව ගැන කතා කලාට සපත්තු ගන්න සල්ලි නැති ලක්ෂ ගානක් ලෝකෙ ඉන්නව. සපත්තු දාන්න කකුල් නැති අයත් ගොඩක් ඉන්නව.

මේක වගේ කිසිම තේරුමක් නැති සටහනකින් එයාලට කිසිම වැඩක් නෑ කියලත් මම දන්නව.

ඒ වුණාට උදේට සපත්තු දාද්දි හැමදාම මට මේ ගැන හිතෙනව.

Wednesday 4 March 2009

ගොඩගසාගත් ඉතිහාසය විනාශ කලෙමි

ජීවත්වෙන තුරාවට අපි දේවල් ගොඩගසාගනිමින් ඉන්නව. අපේ ඔළු ගෙඩිය එක එක දේවල් වලින් පිරෙනව. සමහරක් දේවල් ජීවිතේ ගෙනියන්න ගොඩක් ප්‍රයෝජනවත්. සමහරක් දේවල් කිසිම වැඩක් නෑ. ඒ වුණාට ඒ දේවල් අපේ ඔළු වලට වැටෙනව.

සාමාණ්‍යයෙන් මිනිස්සුන්ට අනවශ්‍ය දේවල් අමතක වෙනව. අවුරුදු ගාණකට කලින් ඉගෙනගත්ත දෙයක්, හමුවුණ කෙනෙක් අපිට යලි යලිත් සිහි නොවුණොත් අමතක වෙන්න පුළුවන්. ඒක ඇත්තටම ඉබේ සිද්ධ වෙන දෙයක්. නමුත් එහෙම වීමේ හැකියාව එකිනෙකාට වෙනස් වෙන්න පුළුවන්.

ඔළු ගෙඩිය වගේම අපි භෞතික දේවලුත් දවසින් සවස ගොඩගහගන්නව. ඒ විවිධ දේ වෙන්න පුළුවන්.

පුංචි කාලෙ ඉඳන් මම එකතු කරපු දේවල් බොහොමයක් ගෙදර අල්මාරියක් පුරා පුරවල තිබුණ. පත්තර වලින් කපාගත්ත ඒව, පත්තර අතිරේක, සඟරා සහ ඉස්කෝලෙ පොත් පත් වගේ බොහොමයක් දේවල් එක් අල්මාරියක තට්ටු කීපයක් පුරා තිබුණ. ඉස්කෝලෙන් පස්සෙ මම ගෙදර නොහිටපු අවුරුදු ගණනාව පුරාම කවුරුවත් ඒව අත පත ගාල තිබුණෙ නෑ. නමුත් නැවත ගෙදර ඇවිත් ඒව ගැන හොයල බලද්දි ඒව අතිශය යල් පැනල කියල මට හිතුණ. පරණ විදුසර පත්තර වල තිබුණ දේවල් බොහොමයක්, පරිගණක සඟරා.. සටහන් පොත් වගේ සියල්ල තුල තිබුණ දැණුම අදට වලංගු වුණේ නෑ.

ඉතිං මම ඒ සේරම වගේ ඉවත් කරලා මගේ අළුත් ලට්ට ලොට්ට ටිකකින් ඒ ඉඩ පිරෙව්වා.

මගේ ඔළු ගෙඩියත් මට ඕන වෙලාවට එහෙම නවීකරණය කරගන්න පුළුවන් නම්....

Tuesday 3 March 2009

නදීක ජයවර්ධන එක්ක සිහිනයක්

පහුගිය පෙබරවාරි 23 වෙනිද නදීක ජයවර්ධන එයාගෙ පළවෙනි ගීත ඇල්බමය එලි දැක්වුව. අනිවාර්යයෙන්ම යන්න ඕනකම තිබුණත් මට යන්න ලැබුණෙ නෑ. ඒ වුණාට ඇල්බම් එක මට ලැබුණ.

හරිම අපූරු ගීත එකතුවක් කියල මට හිතුණ. හැබැයි සමහර ගීත බටහිර ගීත වල සංගීත කොටස් යන්තමින් අනුකරණය කරල තියෙනව. ඒ නිසා සංගීතයේ genuine භාවයට 100%ක් ලකුණු දෙන්න බෑ. නමුත් ගීත ටික විඳින්න ඒක බාධාවක් නෙවෙයි.

මේ ඇල්බමය සම්පූර්ණයෙන්ම බටහිර සංගීත රටා අනුසාරයෙන් තමයි හැදිල තියෙන්නේ. ඒ වුණාට කන් අඩි පුපුරණ සංගීතයකට වඩා ගිටාරයත් එක්ක මුසු වුණ ලයාන්විත බවක් හැම ගීතයකම තියෙනවා. සංගීතයට ලැදි ඕන කෙනෙක්ට ආයාසයකින් තොරව අහන් ඉන්න පුළුවන්.

මේක නදීකගෙ ජනප්‍රියම ගීතය. තව ඕන අය ඔබනළයේ හොයල බලන්න.





Kiyanna Kiyanna - Nadeeka Jayawardena

Sunday 1 March 2009

ශ්‍රී ලංකාවේ අභිමානය

මේ කියන්න යන දේ මම කලක් තිස්සේ නිරීක්ෂණය කරපු දෙයක්. අද කියල දාන්න හිතුණා.

කාලෙකට පස්සේ ශ්‍රී ලංකාවේ අභිමානය ඔස්සේ විකාශනය වුණ සිංහල චිත්‍රපටියක් බලන්න ලැබුණා. නම කස්තුරි සුවඳ. විකාශනය වුණේ ඊයෙ හෙවත් සෙනසුරාදා දවල්. මේක ජනප්‍රිය සින්දු තියෙන ගාමිණී මාලනී රඟපාන ලස්සන චිත්‍රපටියක්. ෆ්‍රෙඩී සහ බන්දු දෙන්නත් විකටයන් විධියට රඟපානවා. ඒ වුණාට මට ඒ දෙන්නගෙ විකට වැඩ වලට වඩා හිනා ගියා වෙනත් දෙයක් නිසා.

‍මේ චිත්‍රපටියෙ අවස්ථා කීපයක්ම තියෙනවා ප්‍රධාන සහ සෙසු නළුවන් දුම් පානය කරන. දුම් වැටිය අතේ තියාගෙන ඉන්න දර්ශනය හොඳට පෙන්නලා ඒක උරද්දි කොටු දානවා. ඒ කියන්නේ දුම් වැටි නරක වෙන්නෙ උරන්න විතරයි නිසා වෙන්න ඇති. මොකද පත්තු වෙන දුම් වැටියක අතේ තියාගෙන හිටිය කියල මුකුත් වෙන්නෙ නෑනේ නේද?

මම දුම් පා‍නයේ ආදිනව ගැන හෝ ඒකෙ හොඳ නරක ගැන කියන්න යන්නෙ නෑ. කවුරුවත් ඒ ගැන කතා කරන්නත් එපා. ඒක නෙවෙයි මට කියන්න ඕන. මේ කරන දෙපැත්තටම නැති පොන්න වැඩ ගැන. එක්කො පෙන්නන්න ඕන නැත්නම් කපලම දාන්න ඕන.

මේ අය මේ වාරණය දාන්නෙ පුංචි ළමයි බලන නිසානේ. ඒ වුණාට මේකෙන් වෙන්නෙ පුංචි එකෙක්ගෙ කුතුහලය තවත් ඇවිස්සෙන එකයි. ඇයි අච්චර හොඳට තිබුණ රූපරාමුවට කොටු දාන හේතුව හොඳ සෞඛ්‍යයෙන් ඉන්න ඕන පුංචි එකෙක් විමසනවනේ.

මේක අපි කතා කරල වැඩක් නැති තවත් එක මාතෘකාවක් විතරයි. මොකද ලංකාවෙ මාධ්‍ය සංස්කෘතිය ගැන කතා කරල වැඩක් නැති නිසා. එක්කෝ මේ වගේ චිත්‍රපටි නොපෙන්වා ඉන්න ඕන. නැත්නම් ඒව වැඩිහිටියන්ට විතරක් බලන්න පුළුවන් වෙලාවලට පෙන්වන්න ඕන.

එහෙම වුණොත් දිවා කාලයේ මේ නාලිකා වලට විකාශනය කරන්න දෙයක් නැති වෙනව. නැත්නම් ඒ වෙලාවෙත් කච පච වැඩසටහන් බලන්න වෙනව.

මම වැඩිය රූපවාහිනී නොබලන නිසා මට එයාල මොනව පෙන්නුවත් කමක් නෑ. නමුත් රටේ ඉන්න අනිත් මිනිස්සු සහ ළමයි හරක් කියල හිතාගෙන කරන වැඩ දකිද්දි පොඩ්ඩක් නලියනව.

මම දන්නව මම නලියල වැඩක් නෑ කියල. මමත් ඇතුළුව අපි සේරම ගතින් හරක් නොවුණට දිවා රෑ නොබලා රටේ සුළුතරයක් සල්ලිකාරයන්ට බර අදින හරක් තමයි.

ඇත්තටම හරක් අපට වඩා උසස්. අඩුගානෙ උන් දන්නෙ නෑ උන් හරක් කියල.