Showing posts with label marriage. Show all posts
Showing posts with label marriage. Show all posts

Friday, 14 August 2020

ඇවිලෙනසුලුයි (2020) - සිංහල චිත්‍රපටිය ගැන අදහස්

 

ස්පොයිල් වීමට ඉඩ තිබේ!


ලංකාවෙ වර්තමාන චිත්‍රපටි ලෝලියො චිත්‍රපටිවලට ලොල් වෙලා තියෙන්නෙ සිංහල චිත්‍රපටි නිසාවත් චිත්‍රපටි ශාලාවල චිත්‍රපටි බලලවත් නෙවෙයි. බොහොම දෙනෙක් බලල තියෙන සිංහල නොවන චිත්‍රපටි ප්‍රමාණය වැඩියි වගේම හෝල්වල බලනවට වඩා ගෙදර ඉඳන් චිත්‍රපටි බැලෙන වාර ගණනත් ඉතාම වැඩියි. ඒ නිසාම හෝල් එකක් අස්සෙදි වෙනම ප්‍රශ්න ටිකකට මූණ දෙන්න වෙනවා. උදාහරනෙකට සිංහල නොවන චිත්‍රපටියක් සබ් එක්ක බලද්දි බැරි වෙලාවත් දෙබසක් මිස් වුණොත් ආපහු තප්පර ගාණක් බැක්වර්ඩ් කරල බලන්න විදියක් නෑ. ඒ වගේම භාෂා භේදයකින් තොරව බැරි වෙලාවත් යම් දර්ශනයක් තුළ සිද්ධ වෙන දේ ප්‍රොසෙස් කරගන්න ඕනවට වඩා කල් ගත්තොත් චිත්‍රපටිය මිස් වෙනවා. ඔහොම දේවල් නිසා හෝල් එකක චිත්‍රපටියක් බැලීම වෙනත් විදියකින් ඒ චිත්‍රපටියම බලනවට වඩා වෙනස් අත්දැකීමක්. හෝල් එකක් තුළදි අපේ තේරුම් ගැනීමේ හැකියාවත්, ප්‍රොසෙසිං හැකියාවත් පරීක්ෂාවට ලක් වෙනවා.

මේ කතාව කියන්න ඕන වුණේ ඇවිලෙනසුලුයි නරඹද්දිත් ඒක ආයෙම බැක්වර්ඩ් යවලා බලන්න ඕන කියලා හිතුණ අවස්ථා ගාණක්ම තිබුණ නිසා. එහෙම වුණේ ප්‍රොසෙසිං ප්‍රශ්නෙකට වඩා රූපරාමුව හෝ අදාළ දර්ශනය ආයෙම බලන්න උවමනා වීම නිසයි. ඒක සිංහල චිත්‍රපටියක් සම්බන්ධයෙන් පළමු වතාවට වුණ දෙයක්. රූප රාමු සහ කැමරාව හැසිරවීම තදින් හිතට වැදුණ නිසයි ඒ. ඉතිං අනාගතේ යම් දවසක එහෙම බලනකල් චිත්‍රපටිය ගැන හිතුණ දේවල් සටහන් නොකර ඉන්න හේතුවකුත් නැහැ. ඇත්තටම මේ ලියවෙන්නෙ චිත්‍රපටිය ගැනමත් නෙවෙයි. චිත්‍රපටියෙ වටපිටාව ගැන පසුව හිතුණ දේවල් ටිකක්.

ඇවිලෙනසුලුයි චිත්‍රපටිය දවල් 1.30ට බලද්දි අපි ඊට කලින් 10.30 දර්ශනයෙදි ‘සූස්ති‘ චිත්‍රපටිය බලලයි හිටියෙ. මේ චිත්‍රපටි දෙකම රෝඩ් ට්‍රිප් ගණයට දාන්න පුළුවන්. දෙකම ටිකක් එකම ආකෘතියක චිත්‍රපටි. හැබැයි තේමාවන් ඉතාම වෙනස්. චිත්‍රපටි දෙකේම සමනලී සිටීම එක්ක එක්තරා විදියකට එකම ගලායාමකුත් නොදැනුණා නෙවෙයි.

ඇවිලෙනසුලුයි තුළ දර්ශන දිගහැරෙන ස්ටයිල් එක, පර්ච්ඡේද වෙන් කර තිබීම, වර්ණ භාවිතය, යොදාගන්න සංගීතය, සිදුවීම්වල ස්වභාවය, ප්‍රචණ්ඩත්වය වගේ දේවල් අස්සෙ ටරන්ටිනෝ සහ ඩේවිඩ් ලින්ච් හමුවීම මට විතරක් වුණ දෙයක් නෙවෙයි කියලා පසුව විස්තර කියවද්දි තේරුණා. ටරන්ටිනෝගෙ චිත්‍රපටි සේරම වගේ බලල තිබුණත් ලින්ච්ගේ චිත්‍රපටි අතරින් කීපයක් විතරයි මම බලල තියෙන්නේ. ඒ බලපු චිත්‍රපටි ගැන පැහැදිලි කරගන්න ඕන නිසා කියවපු සහ නරඹපු අමතර දේවල් අස්සෙ ලින්ච් ගැන දැනගත්ත දේවල් ‘ඇවිලෙනසුලුයි‘ තේරුම්ගනිද්දි උදව් වුණා. මේ දේවල් ගැන මම ඉගෙනගෙන නැහැ. ඒ නිසා මුලධාර්මිකව මේ අදහස් 100%ක් නිවැරදි නොවෙන්න වෙන්න පුළුවන්. වඩා නිවැරදිව දන්න කෙනෙක් කියල දුන්නොත් අපි හැමෝටම ඉගෙනගන්න පුළුවන් වෙයි.

ලින්ච් සැලකෙන්නෙ අතාත්විකවාදී (surrealist) සිනමාකරුවෙක් විදියට. ඔහුගේ නිර්මාණ අස්සෙ සැබැවින් පේන දේට එපිටින් හෝ ඇතුළතින් පවතින අදහසක් ගැන ඔහු කතා කරනවා. චිත්‍රපටිය බලන මනුස්සයා චිත්‍රපටිය අස්සට ගන්න අවස්ථා තියෙනවා. අභව්‍ය සිදුවීමක් හෝ වස්තුවක් විසින් චිත්‍රපටියට අදාළ සිදුවීම් ගොඩනගනවා. ඒව තේරුම්ගන්න එකත් එකිනෙකාගෙ කියවීම් ප්‍රමාණය අනුව තීරණය වෙනවා. මුල මැද අග පිළිවෙළට ගැළපුණ කතා කීමකට වඩා ඔහු සිදුවීම් පෙළක් ඉදිරිපත් කරනවා. ඒ සිදුවීම් ඔස්සේ එකිනෙකාට දැනෙන තේරෙන දේවල් ඔස්සේ අර්ථ දක්වගන්න දේ වෙනස් වෙන්න පුළුවන්. ඒ වගේම තමන්ගෙ නිර්මාණ ගැන පැහැදිලි කිරීම් ලින්ච් විසින් කළා කියල මම කියවල නෑ. ඔහු කියන්නෙ තමන් චිත්‍රපටියක් නිර්මාණය කරන්නෙම චිත්‍රපටි භාෂාවෙන් කියල. ඒව තේරුම්ගන්න වෙන භාෂාවකින් බෑ. ඒ අතින් ඔහු ප්‍රේක්ෂකයාට කිසිම අවස්ථාවක් හෝ සමාවක් නොදෙන අධ්‍යක්ෂවරයෙක්.

මේ ලින්ච් ගැන කතාව කිව්වෙ ‘ඇවිලෙනසුලුයි‘ ගැන කියවන්න ලැබුණ වෙනත් සටහනක අතාත්විකවාදය ගැනත් කියල තියෙන නිසා. ඒ ගැන දැනගෙන චිත්‍රපටිය බැලීමෙන් චිත්‍රපටිය විඳින්න පහසුවක් වෙන්න පුළුවන්. දැනටමත් බලලා තියෙනවනම් ඒ අත්දැකීම තව තීවෘ කරගන්න පුළුවන්. එහෙම නැත්තං චිත්‍රපටිය අස්සෙ අතරමං වීම ම චිත්‍රපටිය මගින් ලැබෙන දේ විදියට තේරුම්ගන්න පුළුවන්. 

ඇවිලෙනසුලුයි චිත්‍රපටිය මම බලල තියෙන සිංහල චිත්‍රපටි අතර තාක්ෂණිකව ආසන්නයෙන් පරිසමාප්ත එකක්. කැමරාව මෙහෙයවෙන්නෙ කලින් ලංකාවෙ නිර්මාණයක නොදැකපු පරාසයක. සිංහල චිත්‍රපටියක් අස්සෙ එහෙම ෆ්‍රේම් දකින්න ලැබුණ එක අලුත්ම අත්දැකීමක්. පාටවල් අස්සෙ දැනෙන්නෙ එක්තරා තනිකමක්. එහෙම වර්ණවලින් ප්‍රකාශනයක් කරන දේශීය සිනමාවේ අවස්ථා ඉතාම විරලයි. කලිනුත් කිව්ව වගේ ආයෙම බලන්න ඕන කියල හිතුණ දර්ශන ගාණක්ම තිබුණා. සමස්තයක්  විදියට ඇවිලෙනසුලුයි රූපාවලිය ඉතාම ආකර්ෂණීයයි. ඒක කොලිටි වැඩක්. 

ඒ කොලිටි එකම මට මියුසික් අස්සෙත් ඇහුණා. ‘මැණිකෙ මම ආයෙ ගෙදර එනවා‘ එක විදියකින් තීම් එකක්. චිත්‍රපටිය තුළ සිදුවන නැවත මුණගැහීම් සින්දුවට ලින්ක් කරගන්නත් ඕනනං කෙනෙක්ට පුළුවන්. රඟපාන උන් අතරෙ ප්‍රියන්ත සිරිකුමාර ඉන්න සුළු කොටස අනිත් කොටස්වලින් වෙන්වෙලා පේනවා. මීට වඩා අවස්ථා දෙන්න ඕන ඔහුට.

සාමාන්‍යයෙන් සංස්කෘතිය අස්සෙ මිනිස්සුන්ගෙ ෆැන්ටසිය හදන්නෙම කසාද බඳින්න. 'ඊට පස්සෙ' ළමයි හදාගෙන උන්ව බලා කියාගෙන ස්වභාවධර්මයේ චක්‍රය ගත කරන්න. හැබැයි ඔය 'ඊට පස්සෙ' කොටස අස්සෙ තියෙන අභියෝග ගැන සංස්කෘතික කතා බහ ඉතාම අඩුයි. කතාවට කියන්නෙ පවුලෙ ගිනි පිටට දෙන්න එපා කියල. ඒ නිසා දීර්ඝ කාලීනව එකට ජීවත් වෙද්දි සමහර විට මුහුණ දෙන්න වෙන අමිහිරි තත්ත්වයන් ගැන, පීඩනය ගැන අත්දැකීමකින් මිස කෙනෙක්ට දැනගන්න තියෙන ඉඩ අඩුයි. පොළොවෙ පය ගහල ඉන්න මිනිස්සුන්ට මේක බොහෝ දුරට කළමනාකරණය කරගන්න පුළුවන්. ඒත් එහෙම නොවෙන අවස්ථා ඉතාම වැඩියි කියල හිතෙනවා. මේ වෙද්දි සෝෂල් මීඩියා විසින් ඒ පීඩනය යම් තරමකට උරාගන්නවා. පණ දීගෙන ලව් කරලා බැඳලා අවුරුද්දකින් දෙකකින් මිනිහට/ ගෑනිට කොමික් හින්ට් ගහපු පෝස්ට් ශෙයා වෙනවා. බැලූ බැල්මට ඒව විහිළු තමයි. හැබැයි එහෙම එකක් ප්‍රකාශ කරන්න උවමනා වීමේ මානසිකත්වය ටිකක් සීරියස් එකක්. කොහොම නමුත් සෝෂල් මීඩියාවලට රිලීස් කරලත්  දරාගන්න අමාරු ජීවිතයක් සම්බන්ධයෙන් කෙනෙක් ගන්න තීරණ කලින් කියන්න බෑ. මේක සුළුවෙන් වුණත් චිත්‍රපටියෙන් පස්සෙ හිතන්න පෙළඹුණ දෙයක්. මෙතනම කියල දැම්මා. 

අපි කතා අහන්න හුරු වුණ මිනිස්සු පිරිසක්. මුල මැද අග පිළිවෙලින් තියෙන කතා තමයි පුංචි කාලෙ ඉඳන් අහන්නෙ. මූලික වශයෙන් ජාතක කතා, ජන කතා, ආරබි නිශොල්ලාසය වගේ පොතකින් ආපු කතා, හාන්ස් ක්‍රිස්ටියන් ඇන්ඩර්සන් ලියපු කතා පුංචි කාලෙ ඉඳන්ම අහලා ඒ කතා රස විඳීමේ ආශාවෙම දිගුවක් විදියටයි හුඟ දෙනෙක් චිත්‍රපටි ලෝලියෙක් වෙන්නේ. සීරියස් චිත්‍රපටි ලෝලීන් එතනින් නොනැවතී විවිධ චිත්‍රපටි වර්ග හොයාගෙන යනවා. ඒ ඔස්සේ විවිධ රසයන් විඳිනවා. ඇවිලෙනසුලුයි කියන්නෙත් සිංහල සිනමාවට හැදුණ වෙනස්ම රසයක චිත්‍රපටියක්. ඒක අස්සෙ කතාවක් හොයන්න ගියොත්නම් අවුලක් වෙනවා. කතාවක් කියනවට වඩා මේකෙ තියෙන්නෙ සිදුවීම් පෙළක්. ඒ අස්සෙ කතා කීපයක් තියෙන බවක් දැනෙන්නත් පුළුවන්. එහෙම නැත්තං ඒ එකම කතාවක අවස්ථා දෙකක්ද? එහෙමත් නැත්නම් එකම කතාවේ නිරූපණයන් දෙකක්ද? වර්තමානයට අතීතය හමුවීමක්ද? ඔය එකක්වත් නැති පේන දේවල් විතරක් ඇතුළත් සිම්පල් කතාවක්ද?

ඒක බේරුම් කරගන්න එක තනි තනි ප්‍රේක්ෂකයගෙ වැඩක්. ඔබ චිත්‍රපටි ශාලාවට යන්නෙ කණ්ඩායමක් එක්ක වුණත් චිත්‍රපටිය ඔබට දෙන්නෙ පුද්ගලික අත්දැකීමක්.

චිත්‍රපටිය බලල නැති කෙනෙක් මේ සටහන මේ තරම් දුර කියෙව්වනම් දැන් තියෙන්නෙ වහාම ඒක බලන්න. මේක හැමෝටම හරියන චිත්‍රපටියක් නෙවෙයි. හැබැයි ලංකාවෙ සිනමාව දියුණු වෙනවනම් මේ ආකාරයේ චිත්‍රපටිත් ඕනමයි. විවිධ විදියේ අන්තර්ජාතික සිනමා නිර්මාණ රස විඳින ලාංකික චිත්‍රපටි රසිකයින් ලංකාවෙ සිනමාවට ආකර්ෂණය වෙන්න ඒ විවිධත්වය අත්‍යවශ්‍යයි.

Tuesday, 8 May 2018

ඇගේ සාරය සොයා


අඩක් දැවී ගොස් ඇති දුම්වැටිය සිය සියොළඟම මා වෙත පූජා කරන්නට දැල්වී බලා හිඳී. විනාඩි කීපයකට මා ගත සිත තැතිගැන්මෙන් මුදවා සමාපත්තියකට ගෙන එන්නට දුම්වැටිය ජීවිතය පුදන්නේය.

මා හාත්පස අඳුරු බිත්ති අතර කිසිදු ආලෝකයක් නැති අඳුරකට මුහුණ දී හිඳිමි. වියළී පිළිස්සී අඟුරුව ගල් වී ගිය හදවත් කුහරයක පතුලේ මම දුම්වැටියේ ආලෝකය පමණක් ඇතිව බලා හිඳිමි.

ඇගේ ආදරයේ තවදුරටත් සාරයක් නොමැති බව වැටහුණු ඇසිල්ලේම සියොළඟම පිපිරී අවකාශයට විසිරී ගියේය. එකෙනෙහිම කළු කුහරයක් පරිද්දෙන් මාගේ ආදරයේ සියළු ස්කන්ධය හදවතට කැටිව මා ද එතුල සිර වී ඇත. ආදරයේ අධික ස්කන්ධයම මා ඉන් මුදවනු නොහී ඒ වෙත අල්ලා තබාගෙන ඇත. ආදරයට පවතින්නේ කිනම් ස්කන්ධයක්ද යන්න ආදරය සෙලවෙන තුරු කිසිවකුට වැටහෙන්නේ නැත. එහෙයින් මා තුල වූ ආදරය කළු කුහරයක් නිපදවන්නට තරම් විසල් වන බවක් කිසි විටක මට වැටහී තිබුනේ නැත. එහෙත් නොවිය යුතු දේම සිදුව ඇත.

ලිංගික ඇසුරක් තුල එක් උපරිමයකින් නැවතී එහි තෘප්තිය මොහොතක් විඳ ඇකිලෙන පිරිමින්ට ගැහැණියගේ සුරතාන්තයේ අනන්තය නොපෙනී ගොස් ඇත්තේ එලෙසින්මය. ඇය පිරිමියා ඉක්මවා සැරිසරන්නීය. ස්ථානීය සුවය සැපක් යැයි විශ්වාස කර එහි තැන්පත් වන්නට කැමති පිරිමින්ට නොවැටහෙන්නේ එය ය. ආදරයේ සාරය අහිමි වන තුරු පිරිමින්ට ආදරය වැටහෙන්නේ නැත. එය වැටහුණු විට පිරිමින් හිස් ලූ ලූ අත දුවමින් ආදරයේ සාරය සොයන්නට නිරර්ථකව වෙහෙසෙති.

ඇයගේ ආදරයේ සාරය ඇත්තේ ඈ තුලමය. එය කිසිදු පිරිමියකුට හිමි නොවේ. එය ඇයට පමණක් වැටහෙන, ඇයට පමණක් අයත් වන, පිරිමින් තමන් සතු යැයි රැවටෙන එහෙත් කිසිදා සදහට පිරිමියකු හට හිමි නොවන්නකි. ඇයගේ ආදරයේ සාරය සරුංගලයකි. එහි නූල නොකඩා තමන් අත තබාගැනීමට ගැහැණිය දක්ෂය.

මා සාරය අහිමි හදවතක් තුල තනිව ඇත්තෙමි. ඒ හදවත තව දුරටත් මා වෙනුවෙන් උද්දීපනය නොවේ. එය හැඟීයාමම බියකරුය. ජිවිතය බැලූ බැල්මට කෙතෙක් උද්දාමව පැවතියද ජීවිතය කැප කළ අරමුණ අහිමිව ඇති බව පසක් වීම මරණය තරම්ම බියකරුය.

ඇගේ ආදරයේ සාරය කොහිද? ඒ සොයන්නට යාම ම මා විසින් ඈ වෙත දරනා ආදරයට කරන පිටුපෑමකි. මගේ ආදරය මා කෙරෙන් ඈ වෙත කොන්දේසි විරහිතව විහිදෙන්නකි. එය සජීවී අජීවී සියල්ලට හිරු රැසක් මෙන් සමව විහිදෙන්නක් වී ආත්මාර්ථකාමීව නොතිබුණේ නම් ප්‍රතිපලය අමතක කර වඩාත් උත්තම තැනක රැඳෙන්නට මට අවකාශ තිබුණි. එහෙත් මා උත්තම නැති ආත්මාර්ථකාමී මනුස්සයෙකි. එහෙයින් ඇගේ ආදරය නැවත මා වෙත විහිදෙන්නේද යන්න සියුම්ව නිරීක්ෂණය කිරීමේ පිරිමි ගොන්කම මම කරමි. ඇගේ ආදරය ඇත්තටම කොහිද? එහි සාරය මවෙතින් ඉවත්ව රැඳී ඇත්තේ කොහිද? නොඑසේනම් ඇගේ ආදරය එහි සාරය කිසි කලෙක මා වෙත හිමි නොවූ, ආදරයේ නාමයෙන් සිදු කල එදිනෙදා වතාවත් සහ ක්‍රියාවන් පමණක්ව පැවති මායාවක් පමණක්ද?

ඇගේ ආදරයේ සාරය කොහිද? එය ඈ කැමති තැනකය. ඇගේ කැමැත්ත තුල ඇයට සතුටක් ලැබෙයි නම් නැවත සාරය සොයමින් වල්මත් වීමෙන් කිසිදු ප්‍රතිඵලයක් ලැබෙන්නේ නැත. සාරය අහිමි බුලත් විටක් මෙන් හපයක් වීමට සූදානමින් විකල්ප සෙවිය යුතුය. නැත්නම් මිය යා යුතුය. නොඑසේ නම් මල් උයන්, මත් ලැගුම්, තරු, සඳු, දේදුණු, වැසි, හිම රැඳුණු ඇගේ දිනයක අවසානයේ මේ කුටියේ ඇඳ මත ඇයගේ හුදෙක් වල්ලභයා ධුරය නොසිතාම භාර ගත යුතුය.

දුම්වැටිය නිවෙන්නට පෙර මම තවත් දුම් වැටියක් දල්වමි. එහි මඳ ආලෝකය අැය නික්ම ගොස් ඉතිරිව ඇති හිස්කම පමණක් නැවත නැවතත් පෙන්වමින් සිත පුළුස්සා දමයි.

ඒ හිස්කම නැවත නැවතත් දකින්නට අකමැත්තෙන් දුම්වැටියකුදු නොදල්වා මේ පාලුව ගෙවා දැමිය නොහැක. විකල්ප මහත් තරමක් නැත. මේ පාලු ගැඹුරේ මත්ව මෙහිම මිය යාමද, ඇගේ හදවතට ඈ හිත්ගත් කලාපයක නැවත පොපියන්නට ඉඩ දී නික්ම යාමද, තවමත් වචනයේ පරිසමාප්ත අර්ථයෙන් බලගැන්වී ඇති ආදරය දරාගෙන රැඳී සිටීමද, නැතිනම් වඩා සාධනීය අවසානයක් වෙනුවෙන් කාලයට තවත් ඉඩ දීමද මා වෙත ඉතිරිව ඇති විකල්ප ය.

එහෙත් තීරණය ගන්නට නොහැකි දහසක් හේතු හිස මත හොවා මම හැකිලී හිඳිමි. එහෙයින් දැනට අඳුරේ ගැලී පැවතීම මිස අන් විකල්පයක් මට නැත. ආදරය ප්‍රබලවත්ම එහි වියෝවද ප්‍රබලය. අඳුරුය.

ගැහැණිය සතුව සාරයක් ඇතැයි පිරිමින් එය සොයන්නට යයි. ජීවිතය උහතෝකෝටික කරගනී. එහෙත් ගැහැණියගේ සාරය ඇයද නොදන්නා එකක් බවට කිසිදු සැකයක් නැත. ඇයට එය වගක් නැත. එහෙයින් ඈ සියල්ලට විවෘතය. සියල්ල දරාගන්නට මහා ලොකු වෑයමක් ඇයට අවශ්‍ය නැත. ගැහැණිය දුහුල් යැයි සිතන්නට පිරිමින් කැමති වුවද ගැහැණියගේ දෘඩ බව හමුවේ පිරිමින් පිදුරු ගසකට දෙවෙනි නැත. එහෙත් පිරිමි ලෝකය තුල ගැහැණියගේ අර්ථ දැක්වීම සහමුලින්ම වෙනස්ය. ඒ අර්ථ දැක්වීම තුල රැඳෙන්නට ගැහැණුන් කැමති වන තාක් පිරිමින්ට පාටි දැමිය හැක. හිත වියලා දැමීමට ඉන් පසු පිරිමි ඉගෙන ගනු ඇත.

මම තවත් දුම්වැටියක් දල්වමි. හාත්පස අඳුරට ඉන් එලියක් නැත.

Friday, 6 April 2018

නිදි ලොවක සුරඟන


සුමුදුව පිරිමදිමි සෙමින්
දහදිය සුවඳ කෙස් රැළි අතර
නුඹ හිස ඇඟිලි තුඩින්

බලා හිඳිමි දෙස
වුවනේ වල ගොඩැලි
තවමත් සුමටව දැණෙන
කෙමෙන් නැගී එන රැළි
ජීවිතය ගෙවී යන බව
නොකියා කියන

දෙතොල් මත ඇඳී ඇති
මද සිනහව මා කෙරේ යැයි
සිත් දරමින් තුටු වෙමි
දෙතොල් මත තැබූ
හාදුවලට වඩා
දෙතොලේ රැළි ඇති බව දකිමි
එකිනෙක ගණින්නට ගොස්
අපොහොසත්ව විඩා වෙමි

කලක සිහින්ව හිඳ ඉඟි පෑ
නිකටත් කම්මුලත්
රවුම්ව වැඩී ඇති බව
නුහුරුවෙන් වුව පිළිගනිමි

දිවෙන් පිරිමැදි
අතීතයේද සිත් බැඳි
පුංචි රැවුල් ගස් කීපයක්
තවමත් එහි ඇති බව දකිමි

මට්ටම් සමමිතික දෙබැම යට
වැසී ඇති දෙනෙත් පිය තුල
දෑස් නලියනු දකිමි
නුඹ දකින සිහිනයේ
එක් පසෙක හෝ
මා සිටී යැයි තුටිමි

නුඹ මද සිනා නගනු බලමි
දකින සිහිනය සිතේ මවන්නට
නිරර්ථකව උත්සාහ දරමි
නුඹ දෙස බලා සැනසෙමි

දෙනෙත් දෙස බලා හිඳිමි
දෙනෙත් දෙස බලා හිඳිමි
නුඹ දෙනෙත් විවර කර
මා දෙස බලන තුරු

නුඹේ නින්දට බාධා නොකරමි
නින්ද හමාර කර යම් දිනෙක
නුඹ මදෙස බලන තුරු
නුඹ පසෙකින් වැතිර හිඳිමි


Monday, 2 April 2018

අහිමි වීම් ගණනාවකට පසු...


අහිමි වීම තරම් ජීවත් වන පෘතග්ජනයකුට වේදනාකාරී දෙයක් නොමැත. එය නොසැලකිය හැකි කුඩා වස්තුවක සිට ආදරණීයයකුගේ අහිමිවීමක්, නැතිනම් හෘදයාංගම හැඟීමක අහිමිවීමක් යනාදී වශයෙන් ඕනෑම දෙයක අහිමි වීමක් විය හැක.

බොහෝ දෙනා තම ආදරණීයයෙක් මිය යාම දරාගත නොහැක්කැයි සිතති. එහෙත් ඊටත් වඩා රිදවනාසුලු අහිමිවීම් තිබේ. සදාකාලිකව නැත්තටම නැතිවී අහිමිවීමට වඩා දෑස් මානයේ පෙනි පෙනී දෑත් මානයේ දැවටෙමින් තිබියදී අහිමි වී තිබීම දරාගත හැක්කක් නොවේ.

මා සිවිලිම දෙස බලමින් කල්පනාකාරීව සිටිනා වාට්ටුවේ මට ඉදිරි ඇඳේ නිදනා හැත්තෑ විය ඉක්ම වූ ගුණසේකර අංකල් මා රෝහල්ගත වූ දින සිටම එහි රැඳී සිටින්නෙකි. ඔහුගේ ඇසක කාචය අලුත් කිරීම සඳහා ඔහු රෝහල්ගත වී ඇත. ඇස් තුල පීඩනය ඉහල ගොස් තිබීම හේතුවෙන් එය යථා තත්ත්වයට පත් වන තුරු රැඳී සීටීමට ඔහුට සිදුව ඇත.

ගතවූ දින කීපය තුල ආශ්‍රය ඇතිවූ රෝහල් මිතුරන් අතර ගුණසේකර අංකල් අති විශේෂ නැත. ඇත්තෙන්ම මෙම දින කීපය තුල තදින් වැටහුණු කරුණක් නම් විශේෂ පුද්ගලයින් යනුවෙන් කිසිවකු නැති බවයි. සියල්ලන්ටම ඇත්තේ පුවත්පත්වල ප්‍රවෘත්ති මවනා සාමාන්‍ය මිනිසුන් සතු සාමාන්‍ය ජීවිතයි. ඒවා සුවිශේෂ නැත. එහෙත් අවශ්‍ය කෙනෙකුට හදාරන්නට තරම් වටිනා ඉතිහාසයක් සියලු ජීවිතවල ඇත.

ගුණසේකරගේ එකම පුතා බොහෝ කාලයක් වෑයම් කර වෛද්‍ය උපදෙස් පිළිපැද වදාගත්තකු වන අතර එකා යකා තත්ත්වයට පසු කාලීනව පත්ව ඇත. පුතා ඔහුගේ බිරිඳගේ පැත්ත ගැනීම දරාගත නොහැකිව ගුණසේකරගේ බිරිඳ මිය ගොස් වැඩි කාලයක් ඉක්ම ගොස් නැත. දින දෙකකට පමණ වරක් පුතා හෝ ලේලිය ගුණසේකර බලන්නට පැමිණේ. ඔවුන් සමග ගුණසේකරගේ වැඩි ඇයි හොඳැයියක් නැති බවද පෙනේ. එහෙත් ඒ පුතාගේ හෝ ලේලියගේ හැසිරීම් අනුව ඔවුන් නරුම මිනිසුන් යැයි මට හැඟෙන්නේද නැත.

ගුණසේකර අංකල්ගේ කතාව පමණක් අසා ඔහුගේ දරුවන් ගැන තීරණය කල නොහැක. සෑම කතාවක් සඳහාම අඩු තරමින් දෙපැත්තක් ඇත. ඒත් අප පුරුදුව ඇත්තේ එක් පැත්තක කතාවට විතරක් සවන් දීමටය.

රෝඩ් රනර් කාටුනයේ දක්ෂයා කොයෝටේ නම් වෘකයායි. තාක්ෂණික සැලසුම්කරුවකු හෝ ඉංජිනේරුවකු වශයෙන් කොයෝටේට හපන් කිසිවකු ලොව නැත. උත්සාහය අතින්ද ඔහුට සමවන කිසිවකු නැත. ඒත් නිරන්තරයෙන් ජය ගන්නේ රෝඩ් රනර් නම් පැස්බරායි. රෝඩ් රනර් කොයෝටේගේ උගුල්වලින් බේරී යාම ගැන සතුටු වන අප කොයෝටේගේ කතාව අසන්නට හිතන්නේවත් නැත. ඇත්ත වශයෙන්ම ඒක පාර්ශවිකව හිතන්නට අපව හුරු කල ළමා කාටුන් සියල්ලේම තත්ත්වය එකය. මෙම තත්ත්වය පෙන්වාදෙමින් නිර්මාණකරුවෙකු විසින් කරන ලද කාටුන් චරිතවල විකල්ප අවසානයන් දැක්වෙන පින්තූර ඇල්බමයක් බුකියේ සැරිසරනු පසු කලෙක දුටිමි. එහෙත් තීරණ ගැනීමේදී අපි තවමත් ඉන්නේ ඉතාම පටු සීමාවකය.

පසුගිය දින වාට්ටුවේ සිට ජාතික රෝහලේ අනතුරු ඒකකය වෙත මාගේ වැලමිට පෙන්වීම සඳහා ගිලන් රථය තුල ගමන් කල අවස්ථාවේදී හමුවූ මැදිවිය ඉක්ම වූ කාන්තාවගේ කතාවද ඇත්තෙන්ම සාමාන්‍යය. ඇගේ දෙවන සැමියාගේ බීමත් වීරකම් හේතුවෙන් ඇගේ දකුණු ඇස තුවාල වී ඇත. ස්වාමියා සැඟව ගොස් ඇති අතර ඇය තනිව විත් රෝහල්ගතව ඇත. ඇයට දරුවන් සිටින්නේ පළමු විවාහයෙනි. පළමු සැමියා හෝ දරුවන් ඇය පිළිබඳව දන්නා බවක් පෙනෙන්නට නැත. දෙවන සැමියා සමග පැන යාම නිසා ඇගේ නෑදෑ හිත මිතුරන් සියල්ලන්ද ඇයට අහිමිව ඇත. මට හැඟුනු ආකාරයට ඇයගේ දෙවන සැමියා නීත්‍යානුකූලද නැත. සැමියන් දෙදෙනෙක්, දරුවන් හා ඥාතීන් සිටියද ඈ මසක් පමණ තනිව රෝහල්ගතව සිටින්නීය.

එම කාන්තාව සමග ගිලන් රිය නැවත පැමිණෙන තෙක් ජාතික රෝහලේ ඉදිරිපස බංකුවක් මත හිඳගෙන සිටියදී එම බංකුවේම අනිත් කෙලවර හිඳගෙන සිටි තරුණිය හඬාවැටෙනු දුටිමි. ඇය මුස්ලිම් ජාතික තරුණියක් වූ බැවින් කාන්තාව දෙමළ බසින් ඇය ඇමතීය. පසුව ඈ මට විස්තර කල පරිදි තරුණියගේ මව නොසිතූ මොහොතක මිය ගොස් ඇත. මරණය සමග සමීප අත්දැකීම් කීපයක්ම පැවතියද මෙම සිදුවීම මා නැවතත් කම්පනය කලේය.

මරණය සම්බන්ධයෙන් 'නොසිතූ මොහොතක' යන්න අදාල නොවන බවද මට වැටහුනි. අහිමිවීම නොසිතූ මොහොතක නොසිතූ වේශයෙන් පැමිණිය හැක.

ඇසට කෝටුවක් ඇනීම නිසාද, ඇසට ඇසිඩ් බිඳුවක් වැටීම නිසාද, ඇණයක් ගසනා අවස්ථාවක එහි හිස ගැලවී ඇස මත වැදීම නිසාද, බිත්තියේ පොටි තවරන අවස්ථාවක එයින් බිඳක් ඇසට වැටීම නිසාද අක්ෂි රෝගීන් බවට පත් වූ කිහිප දෙනෙකු හා මුලින් කී ගුණසේකර අංකල්ද මාගේ වාට්ටු මිතුරන් බවට පත්ව ඇත. එයින් එකෙක් දැන් නැත. ඇතැම් විට අද මට මේ මිතුරන් හැර දමා යන්නට සිදුවනු ඇත.

ඉන් පසු මුහුණ දීමට සිදුවන ලෝකය පිළිබඳ මට සියුම් බියක් ඇත. මට මුහුණ දෙන්නට වන්නේ අහිමි වූ ලෝකයකටද? කිසිවක් ගැන ඉක්මන් තීරණ ගැනීම සුදුසු නැත. එහෙත් අහිමි වීමේ වඩාත්ම වේදනාකාරී, හිමි වුවත් අහිමි වීමේ බියකරු අවදානමට මුහුණ දෙන්නට සිදු වේ යැයි මා නොසන්සුන්ව හිඳිමි. ළංව සිටියත් ඈත්ව ජීවත්වන්නට සිදුවන කෘතිම ජීවිතයක් හිමිවේ යැයි බියපත්ව හිඳිමි. එය වඩාත්ම බියකරු අහිමි වීමයි.

එහෙත් ජීවිතයට මුහුණ දෙන්නට සිදුවේ. ඒ ගැන සුභවාදී බලාපොරොත්තු දැල්වීම වඩා යහපත් බව මම සිතමි. එහෙයින් අහිමිවීම් දරාගෙන ජීවිතයට මුහුණ දෙන්නට මම ශක්තිය එක් කරමි. මරණය තෙක් හිතේ ගතේ පිරී තිබේ යැයි අපේක්ෂිත මාගේ ආත්ම ශක්තිය මම එක් කරමි.


Sunday, 1 April 2018

ආදරයට පෙම් කරමින්...


යාන්තම් ආදරය යන වචනය කුණුහරුපයක් නොවන තරමට මුහුකුරා ගිය අවදියේ පටන් සිත තුල පමණක් ඵල නැගුණු ඒක පාර්ශවික ආදර කතන්දර ගණනාවකට පසු මම එහි ඊළඟ පියවර තැබුවෙමි.

සියල්ලටම හැකිතාක් විද්‍යාත්මක පැහැදිලි කිරීම් බලාපොරොත්තු වූ මා ආදරයටද විද්‍යාත්මක පැහැදිලි කිරීමක් සෙව්වෙමි. බොහොම පසුකලෙක ගැහැණිය විද්‍යාවට හසු නොවන මානයේ පවතින්නියක් බවත් පිරිමි ආදරය හා ගැහැණු ආදරය දෙයාකාර විය හැකි බවත් තේරුම් ගතිමි. ඇතැම් විට ඒ වන විට මා ප්‍රමාද වී සිටියා වැඩිද යන්න කීමට මා තවම ඉක්මන් වැඩිය.

සුභාවිත ඇසුරු කර හිස් මුදුනේ තබා සිටි 'ආදරය රාගයෙන් තොරය' යන උපදේශය අහඹු, අසාර්ථක, හුදකලා තත්පර කීපයක් තුල ඈ තුරුල් කරගත් මොහොතක යට කලිසම තෙත් වූ දා මුසාවක් ලෙස පුස් වී විනාශ වී ගියේය. ආදරය රාගයෙන් වෙන් කල නොහැක්කකැයි එදින සිට මා වටහා ගතිමි. එසේ වන්නේ කෙසේද යන්න පිලිබඳ කුතුහලයෙන් එදින සිට මා ආදරයට සමීකරණ සොයන්නට පටන් ගත්තෙමි.

මූලික රසායනය වැනි පාඩමක විද්‍යුත් චුම්භක වර්ණාවලිය පෙන්වනවාක් මෙන් ඍජු දණ්ඩක් ඇඳ එහි දෙකෙලවර sex සහ soul ලෙස නම් කලෙමි. එක් කෙළවරක් රතු වර්ණයෙන්ද අනෙක් කෙලවර නිල් වර්ණයෙන්ද සංතෘප්තය. දණ්ඩේ එක් කෙලවරක සිට එහි අනෙක් කෙලවරට එම වර්ණ දෙක ක්‍රමයෙන් තුනී වී යයි. දණ්ඩ මැදදී වර්ණ දෙකම සම ඝනත්වයෙන් යුක්තය. සැබෑ ආදරය ඇත්තේ දණ්ඩේ හරි මැද බව මා ඊ තලයක් ගසා නම් කලෙමි. එම සටහනේ පිටපතක් එවක පිටු ගණන් ලියූ ලිපියකට ඇතුලත් කර ඇයට දුන්නෙමි.

ඒ ආදරය බීදී ගියේ ඒ පඬිකම් නිසා නොවේ. තවත් සැලකිය යුතු කලකට පසු කරන්නට යෙදුනු සැලකිය යුතු වෙනත් පඬිකම් හේතුවෙනි.

එය එවැනි රූප සටහන්ද සහිත පඬිකමක් කල පලමු හා අවසාන අවස්ථාව විය. ඉන්පසු ජීවිතය තුල විවිධ පිටු පෙරලුනු අතර ඒ ඒ පිටු අතර නොයෙක් වර්ගයේ ආදර කතා අත්දුටුවෙමි. ඒ එක් එක් ආදරයන් තුල ඊටම අනන්‍ය වූ සුවිශේෂකමක් සමග ඉතාම පොදු සාධකද ගණනාවක් ඇති බව දුටිමි. ආදරයට එකම රූප සටහනක් සැකසීමේ මගේ උවමනාව ක්ෂය වී ගියේය.

එහෙත් ආදරය යන්න තේරුම් ගැනීමේ නොඑසේ නම් එයට නිර්වචනයක් ලබා දීමේ වෑයම අත්හැරීමට හේතුවක් එවකට මට නොතිබුණි. ආදරය තුල දැනෙන සියල්ල 'machine' යන අදහසට ඇති නිර්වචනය මෙන් වචන ගණනාවකින් යුත් වාක්‍යයක් තුලට බහාලිය හැකි බවට මම විශ්වාස කලෙමි. ඒ මා ය. ඉතා සෙමෙන් පරිණාමයට ලක් වෙමින් නොයෙක් අතුරු මාවත් ඔස්සේද ගමන් කල මා ය.

කෙසේ වුවත් ආදරය යනු සියලු වර්ගයේ භෞතික මිනිස් බැඳිම්වල නරුමකම් වසාලීමට ශිෂ්ඨත්වය තුල උපත ලබා දුන් හැඟීමක්ය යන්න දැනටත් මම විශ්වාස කරන ආදරයේ නිර්වචනයකි.

පේන විධියට මා එතරම් පරිණාමය වී නැත. බිරිඳ යස අගේට විග්‍රහ කරන පරිදි මා සියල්ල පැහැදිලි, සියල්ල මනාව අර්ථ දැක්වුණු, අහම්බයක් හෝ පොලාපැනීමක් නැති ස්ථාපිත වටපිටාවක් තුල මාගේ සුව පහසු කලාපය ස්ථාපනය කරගෙන සිටින්නෙකි. ඇත්තෙන්ම එම කලාපයෙන් පිට මා ස්ථානගත විය හැක්කේ කොතැනකදී ද යන්න මා සිතා නැත. එය සිතීමම භයංකරය. මාගේ සුවපහසු කලාපයෙන් පිටතට එන්නට මට බල කරන්නන් පරිස්සම් විය යුතුය. කෙසේ වුවත් ඕනෑම මිනිසකුගේ සුව පහසු කලාපය ඔහුටත් වඩා ඔහුගේ බිරිඳ දන්නා බව නම් සහගහන ඇත්තකි. එය බොහෝ සැමියන් දන්නේද යන්න නම් සැක සහිතය.

එහෙත් ආදරය යනු පරිණාමය වන්නකි. එය නිතර බිඳෙමින් නැවත ගොඩනැගෙමින් කඳුලු සහ සිනා අතර එයට හිතුමතේ ජීවිතයක් එහෙ මෙහෙ යවමින් පරිණාමය වන්නකි.

එසේ පරිණාමය වන ආදරයක් කාලාන්තරයකදී ආදරය කරන්නා තුල තැන්පත් වේ. එය හදවතට, මොළයට, සිරුරට උරා ගනී. සියලු ශාරීරික සීමා අභිබවා පැලපදියම් වේ. දීර්ඝ කාලයක් පවතී. ලෝකයට බොරු කරමින් සිනා නොවුවද එකිනෙකා දෙස බලා ජීවිත කාලයක් සිනාසෙන බොහෝ යුවතිපතීන් ආදරයේ ඒ අඩියේ තැන්පත් වූ රසය විඳින්නෝය.

ඒ පාඩම මට කියා දුන්නේ මාගේ විවාහය පිලිබඳව කරන ලද පූර්ව සාකච්ඡාවකදී මාගේ පොඩි මාමා විසිනි. ආදරය යනු ඔය දැන් දැනෙන එකම නොවන බවත්, පවුලක් වීම තුල එයට අලුත් අර්ථ ලැබෙන බවත් ඔහු පැවසීය. ගෑණි මහත් වෙනවද, කොණ්ඩෙ ඉදෙනවාද, පඩ අරිනවද, රෑට ගොරවනවද, කට ගඳද වගේ ඒවා ගණන් නොගන්න මට්ටමක් දක්වා ආදරය ගමන් කරන බවත්, දිවි හිමියෙන් කැපවීම දක්වාත් ඉන් ඉදිරියට සියලු කොන්දේසි අභිබවමින් උත්කර්ෂය දක්වාත් ආදරය ගමන් කරන බව ඔහු කියා දුන්නේය. මව්පියන් තම දරුවන්ට දක්වන්නාක් මෙන් කොන්දේසි විරහිත අපිරිමිත ආදරයක් දක්වා එය ගමන් කරන බවත් ඔහු තමන්ගේ වචනවලින් කියා දැම්මේය.

මා එය අත් විඳිමින් සිටිමි. අවම වශයෙන් එහි බෝතලය අරින ශබ්දය මම රස විඳිමි. බෝතලය රස විඳින්නට ලැබේවායි ඉත සිතින් බලාපොරොත්තු දල්වා සිටිමි. හිත තුලට කිඳා බැස ඇති ආදරය විවිධ වර්ණයෙන් දිදුලනු අත් විඳින්නට පෙරේතකමේ සිටිමි.

ඇය කෙරෙහි මා තුල අපිරිමිත ආදරයක් පවතින බව මම දනිමි. එය ඇයටම පමණක් විවරව මියෙනා තෙක් පවත්වාගන්නට මට ආත්ම විශ්වාසයක් පවතින බව මම දනිමි. මෙලෙස ලියා දමනවාට වඩා වෙනස් කිසිදු ක්‍රමයකින් ඒ බව ප්‍රකාශ කරන්නට මට නොහැකි බව මම දනිමි. එය දැනෙන්නට හඟවන්නට, බෙදාගන්නට හෝ ඒ මත නැහෙන්නට තියරටිකල් පඬියකු වන මා අසමත් බව මම දනිමි. ඒ සඳහා මා දන්නා ක්‍රම අල්පය. සිතා මතා වචන තෝරා ජීවිතය ගැන මෙසේ සටහන් ලියූවද ඇත්ත ජීවිතය තුල වචන මුමුණද්දී මා ඉතා රළුව අමු වචනයෙන් සියල්ල එකවර කියන්නට ගොස් අනාගන්නෙක් වෙමි. වචනවලට අයිසින් දමා කියන්නට දන්නා චාටු කතාකාරයෙක් නොවීම නිසාම අහිමිව ඇත්තා යැයි මා සිතන බොහෝ දේවල් අතරට ඈ අයත් නොවීම මාගේ වාසනාවකි. අඩු තරමින් මම එසේ විශ්වාස කරන්නට කැමැත්තෙමි.

මන්ද ආදරය ඒක පාර්ශ්විකය. එසේය. කෙතරම් හිත රිදවනසුලු වුවත් ආදරය ඒක පාර්ශ්වික වීම වැලැක්විය හැක්කක් නොවේ. ඇවටාර් චිත්‍රපටියේ ජීවීන් සතු වනවා මෙන් ස්නායු පද්ධතිය එක් කරන ජෛව සම්බන්ධයකින් තොරව ආදරය ද්වි පාර්ශවීය ද යන්න සොයත හැකි අන් ක්‍රමයක් නැත. ආදරයක් නොහැඳිනූ, ගොරෝසු කැලෑවෙන් එලි බැස ශිෂ්ඨ වී ආදරයට වහල් වූ මිනිසා ලද සාපය එයයි. හුදෙක් වචනයෙන් කියනා, චුම්භනයෙන්, ලිංගික ආලෝලනයෙන් දැනෙනා, හැඟෙනා, ලැබෙනා සියල්ල සැබැවින්ම ආදරය නිසා හටගත්තේ දැයි සොයාගැනීමට ක්‍රමයක් නැත.

එහෙයින් ආදරය 'විශ්වාසය' නම් වචනයෙන් අදහස් කරන කොන්දේසි ගොන්නක්ද සමග එන ටෝටල් පැකේජයක් ලෙස බාරගැනීමට මිනිසාට සිදුව ඇත. ආදරය හුදෙක් ආදරය මතම නොරැඳී වෙනත් අටමගල් ඔස්සේද කිරා මැන ගන්නට මිනිසාට සිදුව ඇත.

ආදරය ඒ තුලම සාපයක් වන්නේ එහෙයිනි.


Friday, 30 March 2018

ඇඳක් මත ජීවිතය


සාමාන්‍ය ජීවිතය අහිමිවන රෝහල් ඇඳක් මතදී ජීවිතය නැවතත් හමුවීමට ඉඩ තිබේ. කල්පනාවක්, සිතිවිල්ලක් නොනැගී පීඩා වුන හිතකින් ආයෙත් ජීවිතේ ගැන හිතන්නට පුංචි අවස්ථාවක් එමගින් ලැබේ.

ඕනෑම මිනිසෙක්ට ජීවත්වීමට උවමනා කරන ශක්තිය ලැබෙන්නේ ඔහු තුල ඔහු ගැනම පවතින ආත්ම විශ්වාසය, ගර්වය වැනි සාධක ගණනාවක් නිසා බව මම සිතමි. ආහාර නැති වූ පමණින් මිනිසකු මියගිය යන්නේ නැත. එහෙත් ජීවිතයට ඇති ආදරය බිඳුණු මිනිසකු එක් මොහොතක් වත් ජීවත් වේ යැයි මම නොසිතමි.

ජීවත්වීම ශාරීරීක සාධකවලට වඩා මානසික සාධක මත රැඳී පවතින්නකි. මිනිසා 'මිනිසා' වීම හේතුවෙන් උරුමයෙන් ලැබී ඇති තවත් එක් තත්ත්වයකි එය.

පසු ගිය සති කීපය ගෙවී ගියේ නොසිතූ පරිදි ඇවිලුණු ගිණි නිවන්නට උත්සාහ දරමින් ය. ඉතාම විශ්වාසයෙන් තීරණය කල ඇතැම් දේවල් සියයට සියයක්ම විශ්වාසදායී නොවන බව හෙලි වීමත් සමග ජීවිතයට ගිණි ඇවිලීම සාමාන්‍ය දෙයක්දැයි කියන්නට ප්‍රමාණවත් අත්දැකීම් මට නැත.

වල දැමූ අතීත ඩ්‍රැකියුලාවකු නැවත උත්ථානය වී ඇත. ඩ්‍රැකියුලාට එක් ක්ෂණයකින් ඔබේ ජීවීතය සුනු විසුනු කොට එහි සාරය උරා බීමට හැක. පෙනෙන හැටියට අතීතයේදී වල දමන්නට පෙර ඩ්‍රැකියුලාගේ හදවත පසාරු කර රිදී උලක් යවා නැත. ඉතින් නියමිත මොහොත පැමිණෙන තෙක් බලා සිටි ඩ්‍රැකියුලා ජීවීතය උරා බොන්නට වලෙන් නැගිට පැමිණ තිබේ.

ජීවීතය පිළිබඳ තීරණය කරන්නට පෙර ඒ ගැන ස්වයං ඇගයීමක් කල යුතුය. කිසිසේත්ම සාධාරණ නොවුනත් එය කල යුතුය. එය ලියා දැක්විය හැක්කක් නොවේ.

කෙතරම් රැඩිකල් අදහස් දැරූවද සියලුම දෙනා උත්සාහ කරන්නේ සාමාජික වශයෙන් 'හොඳ' යැයි සම්මත දිවියක් ගෙවන්නටය. අපරාධකරුවන් යනු ඒ හොඳ පෙනුම නඩත්තු කරන්නට වෙනම වෙහෙසෙන පිරිසකි. වක්‍රාකාරයෙන් සමාජයට අහිතකර දෑ කරන බොහොමයක් ඒ වරදකාරී හැඟීමෙන් මිදෙන්නට පිංකම් කරති. ඇත්ත ජිවිතේ ජඩකම් සමාජ මාධ්‍ය හරහා වසා ගන්නට උත්සාහ කරන නූතන වංකයින්ද සිටිති.

මා සියයට සියයක් සාධාරණ පට්ට පර්ෆෙක්ට් පුද්ගලයෙක් නොවේ. එහෙත් සමාජයට අවම කරදරයක් කරමින් ජීවත් වෙන්නට උත්සාහ දරන්නෙක්මි. සල්ලි තියෙන විට විනෝදයත්, සල්ලි නැති විට ඔහේ ජීවීතයත් ගෙවන්නෙමි. අවාසනාවකට නිතර මුදල් අත නොරැඳීම නිසා මගේ ජීවීතය බොහෝ විට ඒකාකාරී ය. ජීවිතය ගැටලුවක් වීමට එයද එක් හේතුවක් බව මම දනිමි.

එහෙත් හැකි හැම විටම මා මානුෂික වෙන්නට උත්සාහ දරමි. බොහොමයක් තැන්වලදී අත්හරින්නට සිදුවුවද තීරණය මා සතු වන හැමවිටම මා සාධාරණ වෙන්නට උත්සාහ දරමි. මේ සටහන රෝහල් ඇඳක් මතදී දුරකථනයෙන් කොටන්නට සිදුව ඇති කාරණය සම්බන්ධයෙන්ද එවන් තත්ත්වයක් පවතී.

මා අනතුරට පත්කල කොල්ලා ගැන මට දුකක් ඇත. ජීවීතය ඇරඹූ විගස අනතුරකින් චෝදනාවකට ලක් වීම තරුණයෙකුට විය හැකි අවාසනාවන්තම දෙයකි. එම තරුණයාගේ පියා යන්තම් තරුණ වියේ්දී විවාහ වු අවුරුදු පනහක්වත් නැති පහල මධ්‍යම ප්‍රාන්තිකයකු බව පෙනේ. අනතුර සැලවූ විගස රෝහලට පැමිණ මා පිලිබඳව සොයා බලා අවශ්‍ය සියලු කටයුතු සිදු කිරීමට ඔහු වග බලා ගත්තේය.

ඇතැම් විට ඒ ඔහුගේ කපටිකම වෙන්නට හැකිය. එහෙත් ඔහු වඩා ප්‍රායෝගිකය. ඔහු කපටියෙක් බව කියන්නට තරම් මුහුණ බලා අභ්‍යන්තරය කියන්නට මා පුහුණු වී නැත.

ඔහු තුලින් තමන්ගේ දරුවා වෙනුවෙන් කල හැකි සියල්ලම කරන පියෙක්ව මම දකිමි. මට මගේ පියාද, බිරිඳගේ පියාද ඇතුලු බොහෝ පියවරුන් සිහිවේ. ඔවුන්ගේ දුක සිහිවේ. සියලු දේ කලමනාකරණය කරමින් තම දරුවාගේ අනාගතය ආරක්ෂා කරගන්නට උත්සාහ දරන මේ පියා විඳින දුකෙහි වෙනසක් මට නොදැනේ.

සංවේදීකමත්, උවමනාවට වඩා කල්පනා කිරීමත් කඩා දැමිය නොහැකි තරමට ජීවිතයට බද්ධ වී ඇති පුරුදු බැවින් ඒ තුල ඕනෑම වෙලාවක ගිලී යන්නට මට හැක. මා එයින් දුක් විඳිමි.

මිනිසුන්ව උවමනා තරමට වඩා විශ්වාස කිරීමෙන්ද මා බැට කමි. එයින්ද දුක් විඳිමි.

දුක නැති කරගන්නට එහි මූලය සොයා එය අතික්‍රමණය කල යුතුය. රෝහල් ඇඳෙන් එපිට ලෝකය තුල කරගන්නට වැඩක් ඇත.

ප.ලි. - මේ සටහන ඉතාම ඉහල බලාපොරොත්තුවකින් අවසන් වුවද අසනීප තත්ත්වය සුව වූ විගස නැවතත් සුපුරුදු ජීවිතයට මා හැඩ ගැසෙන බව මටද රහසක් නොවේ. එහෙත් තවත් බලාපොරොත්තුවක් ඇත.



Sunday, 25 March 2018

ආගාධයක් තුල...

සියල්ල උපරිම උද්වේගයකින් අවසන් වුවත් ඔහු සතුටට පත්වෙලා හිටියෙ නැහැ. ඇත්තෙන්ම කලින් ඉඳන් ඔහුගේ හිතේ තිබුණු බර තවත් තදින් දැණෙන්න අරන් තිබුණා. ඇගේ නිරුවත් ළමැද මත එක් අතක් ඔබා ඈ පසෙකින් මුණින් අතට වැතිරී හිඳිද්දී තවමත් ඇගේ හදවත වේගයෙන් ගැහෙන බව ඔහුට දැණුනා. ඇගේ මුහුණෙන් දාඩිය බිඳු කීපයක් වැගිරෙමින් තිබුණා. අඩවන් දෑසෙන් පෙණුනෙ තෘප්තිමත් බවක්. ඒත් ඈ සහමුලින්ම තෘප්තිමත්ද කියන එක ඔහු කොහොම දැනගන්නද? සංසර්ගයකට බිඳුණු හදවත් පාස්සන්න කොහෙත්ම පුළුවන්කමක් නෑ.

ලෝකයම නිහඬ වෙමින් මහා පාළුවක් ඇදීයන්න පටන් අරන්. ඒක හදවත ඉරාගෙන යන්න තරම් ප්‍රබල එකක්.... නෑ... හදවත ඉරිල ගියානම් එක පාරින් වේදනාව ඉවර වෙන්න තිබුණා. ඒ හැඟීම ඊටත් දරුණුයි. වේදනාව ඊටත් රෞද්‍රයි. ඒක ඉතිහාසෙ ඉඳන් වර්තමානෙ දක්වා ඈත මෑත සිදුවීම් මතක් කරමින් හදවතට අනින්න පටන් අරන්... වරින්වර සිහි නැගෙමින් ආයෙත් හිස්කමේ තුනී වෙමින් මේ පාළුවේ වේදනාව හදවත වටේ ඇවිදිමින් හදවතට ඉව ඇල්ලුවා. වේදනාවට හදවත ලේසියෙන් ගොදුරු කරගන්න පුළුවන්.

විශ්වාසය පළුදු වෙන එක තරම් ආදරේ වේදනාවක් බවට පත් කරන තව දෙයක් තියෙනවද කියල ඔහුට හිතාගන්න බැරි වෙලයි හිටියෙ. ඒ තරමටම ඔහු එහෙම වෙයි කියල බලාපොරොත්තු වුණ කෙනෙක් නෙවෙයි. ආදරේ කියන වචනය අළුතින් නිර්වචනය කරපු හැඟීමකින් ඔහු එක්ක එකට බැඳුණු ඇය තමන්ගෙ විශ්වාසය බිඳින බව ඔහුට කිසිම විධියකින් පිළිගන්න කැමති වුණේ නැහැ. ඒත් අවසානයේ සිද්ධ වෙලා තිබුණෙත් ඒකයි. ඈට තිබුණා ඔහුගෙන් සඟවන්න දෙයක්. වෙන කෙනෙක්, වෙන ආදරයක් නෙවෙයි. ඒක එච්චර සංකීර්ණ කරගන්න ඔහුට ඕන වුණේ නෑ. ඒත් හංගන්න දෙයක්? ඔහු ගැන තවදුරටත් විශ්වාසයක් නැතිකමක්? තව දුරටත් ඇගේ සියළු අදහස්, වේදනාවන්, මනස්ගාත ඔහේ අතාරින්න පුළුවන් කුණු කූඩය විධියට ඔහුව අවශ්‍ය නැති බවට ඇය තීරණය කර තිබීමක්?

ඔව්... විශ්වාසය බිඳෙන්න අරන් තිබීමක්... ඈ ඔහුගෙන් ගිලිහී ගිහින් තිබුණා. කොයි තරම් වේදනාවෙන් වුණත් ඒක පිළිගන්න ඔහුට සිද්ධ වෙලා තිබුණා. ඒක පිළිගන්න වෙනව කියන එක තරම් වේදනාකාරී දේකට ඔහු මුහුණ දීලම තිබුණෙ නෑ.

ඈ ඔහුට කතා කළේ වෛරයකින් නෙවෙයි. ඇගේ ජීවිතේ විනාස වෙලාය කියන කනස්සල්ලෙන්. කලකිරීමෙන්. ඒක ඇගේ වරදක් නෙවෙයි. අතීතයේ ඈත් ඔහුත් හීන මවපු වර්තමානය කරා ඈව එක්ක යන්න ඔහු අසමත් වෙලා හිටියා. අඩු තරමෙ ඒකට ඈට උදව් කරන්න ඔහු අසමත් වෙලා හිටියා. අවුරුදු කීපයක් ගෙවෙද්දි තමන්ගෙ ජීවිතේ එකම තැනක පල් වෙමින් තියෙන බවත්, තමන් දැකපු හීනවල කොටසක්වත් සැබෑ කරගන්න පුළුවන් තරමකට ජීවිතේ වෙනස් වෙලා නැති බවත්, වෙන්නෙත් නැති බවත් ඇය පසක් කරගෙන හිටියා. ඇගේ ජීවිතේට ශක්තියක් විය යුතුව තිබුණ ඔහුගේ ආදරය අවුරුදු ගාණක් පුරාම ඈව හිර කරගෙන හිටියට වඩා දෙයක් කරල නැති බවයි ඇගේ අදහස.

සරළවම, ඇද වැටෙමින් හිටි ඇගේ ජීවිතේට ඔහු තවත් බරක් විධියට එකතු වෙලා හිටියා. ඈට ගොඩ එන්න බැරි තරම් ගැඹුරු ආගාධයකට ඔහු ඇයත් සමග වැටෙමින් හිටියා. විවාහය කියන දම්වැලෙන් ඇය ඔහුට ගැටගැහිල හිටිය.

ඒ බව බොහොම සීරුවෙන් වියාගත්තු වචනවලින් ඈ ඔහුට කියල දැම්මා. පුළුවන් තරම් ඔහුගේ හිත නොරිදෙන්න සුමටව කරුණු පැහැදිලි කරමින් ඇය තමන්ගෙ ප්‍රශ්ණය ඔහුට කියල දැම්මා. ඔහුගෙන් වෙන් වෙන්න ඕන වුණත් ඒකට ඇයට තියෙන නොහැකියාවේ අසරණකම ඇය කියා හිටියා. ඈට සමාජය කියන බාධකය එක්ක ගැටළුවක් තිබුණා. සමාජය නොතිබුණා නම් ඈ දැනටත් තීරණයක් අරන් ඉත්ත තිබුණා. මේ සේරම ඈ කියල දැම්මා... ඇයට පුළුවන් තරම් ආදරය කැටි කරගෙන සුමටව. ඒත් කොයි තරම් සුමට වුණත් ඔහුට ඒ වචන දරුණු වුණා. ගිණි කන්දක් පුපුරා ගිය තරම් ක්ෂණයකින් ඔහු කිසිසේත්ම නොහිතපු අහම්බයක් විධියට ඒ වචන ඔහුව පුළුස්සමින් ඔහු මත ඇද වැටුණා.

රුචිරාණනි අහන්න... එකපාර මා මරන්න...

ඔහුට ඒ ගීතය නරක විධියට විවේචනය කරපු පඬියන් ගැන තරහක් ඇති වුණා.

ඇගේ ජීවිතේ අලුත් වෙන්න පටන් අරන් තිබුණ බව ඔහුට නොදැණෙන තරමටම ඔහු ඇගෙන් ඈත් වෙලයි හිටියෙ. ඇත්තටම පවුලක් නොවුණ, කෙමෙන් කෙමෙන් වියළි විවාහ දිවියක් බවට පත්වෙමින් තිබුණ ජීවිත දෙකක හිමිකරුවන් වෙලා ඔහේ මැරෙනකල් ජීවත් වෙන ගාණට ඔවුන්ගේ ජීවිත දිරා ගොසින් තිබුණා.

හීනවලට වඩා යථාර්ථය එක්ක ඔට්ටු වෙමින් ඔහු තව තවත් ඒ නිද්‍රාශීලී කාල සටහන් ජීවිතේ ගැඹුරට කිඳා බහිමින් හිටියා. හීන යථාවන් බවට පත් කරගන්න ක්‍රමයක් ගැන හිතන්නවත් වෙලාවක් නැති කාර්ය බහුල ජීවිතයක ඔහු පැටළිලා හිටියා. ඒ අතරෙ ආදරේ වියළෙමින් තිබුණ බවක්වත් නොදැණෙන තරමට ඔහුත් ඇයත් අතර ආත්මීයත්වය මිය යන්න පටන් අරන් තිබුණා.

ඒත් ඈට තවමත් හීන තිබුණ. ඈ තවමත් හීන දැක්කා. වේලෙමින් තිබුණ හීන සැබෑ කරගැනීමේ මාර්ගය වෙනස් කරන්න වුණත් ඇයට පුළුවන් බව ඇය තේරුම් අරගනිමින් හිටියා. ඇයට ඔහුගේ ආදරය හුදෙක් වචනයක් බවට පත්වෙමින් තිබුණා. එහෙම නැත්නම් ඔහු ඇගේ ආදර කලාපයේ පොදු තැනකට තල්ලු වෙමින් හිටියා. තවත් ඔහු හීන මැව්වෙ නැහැ. ඔහු වියලී ගොස් අප්‍රාණිකව වැතිරී හිටියා.

ඈට තව දුරටත් ඒ බව හිතේ තියාගෙන දුක් වෙන්න උවමනා වුණේ නෑ. එහෙම නැත්නම් වේදනාව තද කරගෙන පිපිරෙන්න කොහෙත්ම උවමනා වුණේ නෑ. ඒ නිසා ඈ කතා කලා. තවමත් ගැහෙන ඇගේ හදවතේ රුධිර නාල ඔස්සේ ජීවිතේ ගැන අළුත් බලාපොරොත්තු ගමන් කරන බව ඈ ඔහුට පෙන්නුවා. ඈට ඔහුගෙන් ගැලවෙන්න උවමනා බව ඈ කියල දැම්මා. වර්තමානයේ සිටින අසුබවාදී දුර්වල ඔහු වෙනුවට අඩු තරමෙ ජීවිතේ ගැන සුබවාදීව ඈ සමග ආදරෙන් බැඳුණු පැරණි ඔහු ඇයට උවමනා බව ඈ කියා හිටියා. ඈට ඔහුගෙන් සඟවන්න තිබුණෙ ඔහුගේ නොහැකියාව ගැන ඇගේ කාංසාව විතරයි. ටිකෙන් ටික ඔහුගෙන් ගිලිහෙද්දී යම් මොහොතක ඔහු තමාගෙන් සම්පූර්ණයෙන්ම වියුක්ත බවත්, ඔහුටත් කණ පුරා දෝෂාරෝපණය කරන්න පුළුවන් තරමට ඔහුගෙන් ඈ ඈත්ව ඇති බවත් ඇයට දැණුනා.

ආදරේ කියන්නෙ වචනයක් විතරද කියල ඈ හිතුවා. සැබෑ ආදරය කියන්නේ විහිළුවක්ද කියල ඈ හිතුවා. ඒක වචනෙකින් එක් අයෙකුටත්, හැඟීමෙන් වෙනත් අයෙකුටත් ලබා දෙන්න පුළුවන් දෙයක්. ඇත්තටම ඒක මිනිස්සු දෙදෙනෙක් වෙනුවෙන් සීමා විය යුතු නෑ. අවශ්‍යනම් උවමනා තරම් ආදරය කල හැකිව තිබුණා. වචනයෙන් හෝ හැඟීමෙන්.

විවාහය කියන ‘පද්ධතියේ ආකෘතික බැඳීම‘ වචනවලින් විතරක් පවත්වගන්න පුළුවන් එකක් වෙලා තිබුණා. ආදරය නැතත් වෙන් වීමක් නැහැ. ඒක ඔහේ තියෙනවා. ඒත් පද්ධතිය විසින් විවාහය තුල පාලනය කරගන්න බල කරන දේවල් කිසිවක් පද්ධතියට අනුකූල නැති ඇයට අදාල වුණේ නෑ. ඇයගේ ආදරය විවෘත එකක්. අඩු ගණනෙ ඔහු ඒක විශ්වාස කරන බව ඈ හිතුවා. ඔහුට ආදරේ ප්‍රකාශ කිරීම තුල පමණක්, එහෙම නැත්නම් ඔහුගේ ලිඟුව ප්‍රාණවත් වන විට ඔහු වෙනුවෙන් සැදී පැහැදී සිටීම තුල පමණක් විවාහය පවත්වාගත හැකි බව ඈ හිතුවා. වචනයෙන් ආදරේ ප්‍රකාශ කරන තෙක් ආදරේ නොනැසී පවතියිද?

ඒත් ආදරේ කියන්නෙ වචන විතරක්ය කියන එක පිළිගන්න ඈටත් කැමැත්තක් තිබුණෙ නෑ. තවමත් ඈ තුල ගැඹුරු පතුලක ඔහු වෙනුවෙන් යලි ඇවිලිය හැකි ආදරයක් ඈ සතු වුණා.

ඈ ඔහුව තුරුල් කරගත්තා.


Wednesday, 15 August 2012

කළු නැන්දගෙ දුව

අපේ ගමේ කවුරුත් දන්නා නැන්දලා දෙන්නෙක් සිටී. ඔවුන් මා කුඩා කල පටන් දැන හැඳින උන් කාන්තාවන් දෙදෙනෙකි. එක්කෙනෙක් සුදු නැන්දාය. ඇය පැහැපත්ය. ඇයගේ සැමියාගේ සොයුරිය අනිත් තැනැත්තියය. එම සොයුරා සහ ඇය දැඩි ලෙස කාල වර්ණය. එහෙයින් ඇය කළු නැන්දාය. ගමේ පැරණි පරපුරේ සාමාජිකයන් වන ඔවුන්ගෙ සැමියන් මියගොස් බොහෝ කල්ය. ගම පසුකර ගලා ගිය සුන්දරම කාලයක මතක සටහන් ලෙස ඔවුන්ගේ මුහුණුවර තවමත් මට මතක තිබේ. ඔවුන් ගොවිතැනින් දිවි ගෙවූ අහිංසක මිනිසුන් ලෙස මා සිතේ තැන්පත්ය.

එම පවුල් දෙකම වෙසෙන්නේ එකම ඉඩමකය. එය වර්තමානයේදී ඔවුන්ගේ දරුවන්ගේ වාසභූමීන් ලෙස බෙදී යමින් තිබේ. නමුත් ගහ කොලින් වට වූ අඳුරු පාළු ස්වභාවයකින් යුතු වූ එම ඉඩම මට තවමත් මතකය.

සුදු නැන්දාගෙත් කළු නැන්දාගෙත් දරුවන් මටත් වඩා වැඩිමහලුය. ඔවුන්ගෙන් ඇතැමෙක්ද දැන් තරමක දරුවන් සිටින දෙමාපියෝ වෙති. ඒහෙත් කළු නැන්දාගේ පුතුට අමතර එකම දියණිය වයස අවුරුදු 40ක්ද ඉක්මවමින් අවිවාහකව වෙසෙන්නීය. මා කළු නැන්දාගේ දුව ලෙස හඳුන්වන්නේ ඇයවයි.

හිටි අඩියේ කළු නැන්දාගේ දුව මතක් වීම අහම්බයක් නොවේ. ඇය කොහොමත් සුනිල් එදිරිසිංහයන්ගේ 'චන්ද්‍රමඬල' ගීතය හේතුවෙන් සැලකිය යුතු කාලයක් අමරණීය වී සිටිනු ඇත. චන්ද්‍රමඬල ගීතය ගී පැදුර වෙත ලිවීම සඳහා සොයන්නට වූ විට මට යූ ටියුබයේ තිබී හමුවුණේ නිධානයකි. සුනිල් එදිරිසිංහයන්ගේ ජව සම්පන්න හඬ සදා නොමැකෙනු ඇතැයි විශ්වාස කිරීමට මා කැමති වුවද එය වියැකෙන දිනක් පැමිණෙන බව මම දනිමි. සුනිල් එදිරිසිංහයන් සහමුලින්ම අමතක වන අනාගතයක්ද වන බව මම දනිමි. එහෙත් චන්ද්‍රමඬල ගීතය ගුවන්විදුලියේදී කුඩා කල සවන් විඳි වතාවලදී මෙන්ම වර්තමානයේදීත් මා වෙත කළු නැන්දාගේ දුව සිහිගන්වයි.



කළු නැන්දාගේ දුව රැකියාවක් කරයි. එය සුවිශාල වැටුපක් හෝ සමාජ තත්ත්වයකට හිමිකම් ලබන්නක් නොවේ. ඇගේ රාජකාරි ස්ථානයට යාමට සිදුවන අවස්ථා වලදී ඇතැම්විට ඇය මට හමුවේ. එවිට ඇය 'කොහොමද මල්ලී' යැයි මා අමතා කල හැකි උදව්වක් කරයි. සාමාන්‍යයෙන් කාර්යාලයෙන් ප්‍රමාද වී පැමිණෙන දින වලදී මා ගම මැදින් නිවසට පැමිණෙන අතරමග ඈ පසු කර යමි. ඇය තමන්ගේ නිල ඇඳුම වූ නිල් පැහැ සාරිය හැඳ ඇගේ මිතුරියක්ද සමග ගමන් ගන්නීය. ඇය අහම්බෙන් හෙළන බැල්ම විටෙක මා නෙත ගැටෙන අතර ඒ බැල්ම මතින් ඇය බෙහෙවින් තෘප්තිමත්ව සිටින බවක් මම හඟිමි. අවස්ථාව අනුව ඇයට සිනාවකින් සංග්‍රහ කරමි.

වසරකට පමණ පෙර මාගේ නැන්දණියගේ අභාවයේ සත්දින පිංකම දැනුම්දීම සඳහා මා කළු නැන්දාගෙ නිවසට ගියෙමි. එය පෙර කී ඉඩමේ කෙළවර කඳු බෑවුමක පිහිටා ඇත්තකි. මෝඩ ගඩොලින් බැඳ වැලි මිශ්‍ර මැටි බදාමයෙන් කපරාරු කර ඇත. විමසිල්ලෙන් බැලූ විට එය එකම එක කාමරයක් පමණක් බව පෙනේ. නමුත් පැරණි ගැමි නිවසක මෙන් විවෘත කුඩා ආලින්දයක් එහි විය. ගෙබිම ගොම ආලේපනයකි. ඒ ආලින්දය කෙළවරක පොළොවේ මැටියෙන්ම සාදා ගොම ආලේප කල ලිප් දෙකකි. ඒ මත දැල්වී අවසන් වූ දර අඟුරුය. පසෙකින් දර කැබලි කීපයක් සහ මැටි හට්ටි කීපයකි.

ගෙතුළ සිට සමස්ත හිසම ‍ඇතිරිල්ලකින් ආවරණය කරගෙන කළු නැන්දා පිටතට පැමිණියාය. ඇයගේ මුහුණුවර කුඩාකල මතකයන් අතුරින් මතුකර ගැනීමට මා දැරූ තැත ව්‍යර්ථ විය. දැන් ඇයගේ මුවේ ඇත්තේ එක් දතකි. ඇය උපැස් පලඳින්නීය. කාලවර්ණව තිබූ කෙස් සැලකිය යුතු තරමක් සුදු වී ඇත.

මා ඇයට දානය ගැන පවසා ඇගේ සහභාගීත්වය අපේක්ෂා කරන බැව් පැවසීමි. දානය කෙසේ වෙතත් ධර්ම දේශනාව ශ්‍රවණය කිරීමට තමා පැමිණෙන බව දන්වමින් ඇය ආගිය තොරතුරු කියවන්නට විය.

ඇයත් දියණියත් එම නිවසේ වෙසෙයි. දිනපතා උදෑසන 6ට රාජකාරියට වාර්තා කිරීමට දියණිය පිටව යන්නීය. ඇය ඊට ප්‍රථම ආලින්දයේ ඇති ලිපේ බතක් සහ එළවළුවක් දෙකක් පිසියි. දිවා ආහාරය ලෙසද මුලක් බැඳගන්නා ඇය නික්ම ගිය පසු කළු නැන්දා නැවතත් විවේකයෙන් වෙසෙයි. උදේ දවල් දෙක එක් වේලකින් පිරිමහගනියි. දියණිය සවස 5-6 අතර සේවය නිමවී පැමිණෙන තුරු බලා හිඳියි.

ඇය තම අවිවාහක දියණිය පිළිබඳ දුක් වන්නීය. නමුත් ඇයටද විකල්පයක් නැති සෙයකි. දියණිය තම තනිකම රැකියාවට දියකර හරී. නිවසට පැමිණ ගුවන් විදුලියෙන් සිත මොට්ට කරගනියි. සිත මුළා කරගනියි.

කළු නැන්දාගේ දියණිය කාලවර්ණය. උසය. සිනාව පියකරුය. ඇය පිළිබඳ අනුකම්පාත්මක හැඟීමක් මට ඇත. එය දැනෙන්නට පටන්ගත්තේ ඇයගේ දින චර්යාව පිළිබඳ කණ වැකුණු දා පටන්ය. ජීවිතයේ තනිකම දිනයේ සිදුවීම් තුළ බොඳකරගන්නට ඇය උත්සාහ දරයි.

ඇයගේ ජීවිතය කුමන අතකට යන්නේද යන්න පිළිබඳ මට අදහසක් නැත. කළු නැන්දාත් ඇගේ දියණියත් පිළිබඳ මට ඇත්තේ දුකකි. අසංවේදී වීම දුක නැති කිරීමේ මග ලෙස මට වැටහී යමින් ඇත. මන්ද මා ඉපදෙන්න‍ටත් පෙරම මාගෙන් සැලකිය යුතු කොටසක් මට අහිමිව ගොස් තිබේ.

තවමත් සතියකට දෙකකට වරක් කළු නැන්දාගේ දුව බැල්ම හෙළා සැඟව යන්නීය. දැන් ඇගේ බැල්ම තුල මට සතුටක් පෙනෙන්නේ නැත.

Sunday, 10 April 2011

බලධාරිනිය, සුපර් මෑන් සහ එම්.එස්. ප්‍රනාන්දු



ඊයේ දහවල් දහයට පමණ මාගේ දුරකථනය සාක්කුවේ සිට දඟලන්නට විය. මා හට බලධාරිනියගෙන් ඇමතුමක් ලැබෙන බව එය අතට ගෙන බැලූ විට වැටහිනි. එවෙලේ මා කාර්යාලයේ පරිගණකයෙන් එම්.එස්. ප්‍රනාන්දුගේ “මැණිකෙ මම ආයෙ ගෙදර එනවා.... මට හරි කේන්ති යනවා” ගීතය අසමින් එම්.එස්. එක්සෙල්හි ෆෝමියුලාවක් සමග ඔට්ටු වී සිටියෙමි. ඇත්තෙන්ම එම ගීතයට සමවැදී මා හට අප්‍රතිහත පුරුෂ ධෛර්යයක් කා වැදී තිබුණි. එහෙත් බලධාරිනිය කතා කරන බව දුටු විගස එය හුලං ගිය බැළුමක් සේ අප්‍රාණිකව ඇද වැටී සිඳී බිඳී ගොස් මා වියවුල් විය.

දැන් මා කරමින් සිටිනා රාජකාරිය වැඩක් නැත. අසමින් සිටිනා ගීතයද වැඩක් නැත. වහා පිළිතුරු දිය යුතුය. නැතිනම් වැඩ වරදී.

මම දුරකථනයට පිළිතුරු දුන්නෙමි.

“හෙල්ලෝ......ව්..”

මා තො‍ඳොල් ස්වරයෙන් යුතු විය.

"මොකද‍ මේ යට ඇඳුම් නෑ කියන්නේ....?"

එම ස්වරය අතිශය රෞද්‍රය. ඇය එදින ලියූ බ්ලොග් සටහන කියවා විය යුතුය.

"මොකක්?" මම බබා වීමි.

"මේ... මට බබා පාට් දාන්න එපා හලෝ... යට ඇඳුම් නැත්තං ඒ ගැන බ්ලොග් වල නොදා සල්ලි දීල අරගන්නව. ලැජ්ජාවක් කියල එකක් ගෑවිලවත් නැද්ද? හොඳ වෙලාවට ඕව කියවන එවුන් එකෙක්වත් මාව දන්නෙ නෑ... නැත්තං මටයි පාරෙ බැහැල යන්න වෙන්නෙ නැත්තේ. මොනවද හලෝ මේ කරන වැඩ?"

"හ්ම්ම්... මම කිව්වෙ මට කවුරුවත් එහෙම එකක් දීල නෑ කියලනේ..."

"දීල නෑ කියන්නේ? යට ඇඳුම් තෑගි වලට දෙන සිරිතක් තියෙනවද? එහෙම කොයි රටේද වෙන්නේ? ඔච්චර සංකර ඇමරිකාවෙවත් එහෙම දෙන්නෙ නැතිව ඇති. ලංකාවෙ සංස්කෘතියෙ කොහොමත් එහෙම නෑ.... මේව නිසා ඒවත් පටන් ගනියි. ඔයාල වගේ එවුන් තමයි ලංකාවෙ සංස්කෘතිය කන්නේ..."

"අනේ නෑ ඉතිං මම එහෙම හිතාගෙන නෙවෙයි කිව්වේ... මිනිස්සු සැලකිලිමත් වෙන්නෙ බාහිර ගැන විතරයි කියන එකට උදාහරණයක් වගේනෙ මම ඒක ගත්තේ..."

මා ඉතා දුක්බරව කීවෙමි. අහිංසක මෝඩ් එකට ස්විච් වෙනවා හැර මෙවන් අවස්ථාවක වෙනත් දෙයක් කරන්නට නැත.

"ඒ වුණාට ඕව සින්ඩි වල යනවා... පොඩි ළමයි ඕව බලනවා. මොනවද ඒ අයට වෙන්නෙ? පුංචි කාලෙම ඔළුව නරක් වෙනවා."

"අනේ ඉතිං පුංචි ළමයින්ගෙ සින්ඩියෙ මගේ බ්ලොග් එක පේන්නෙ නෑනේ... අනික ඔය අන්තර්ගතේ ගැන සැලකිලිමත් වෙනවය කියන බණ්ඩි වලටත් මම මගේ බ්ලොග් එක දාල නෑ..."

"සින්ඩි බණ්ඩි නෙ‍වෙයි හලෝ... බලනව අන්තිමේ ඔහේට කිණ්ඩිත් එක්ක නෝන්ඩි වෙන්නයි වෙන්නේ... ඒවයින් වැඩක් නෑ... මට ඉවසන්න බැරි මේ යට ඇඳුම් කතාවට. මොන එහෙකටද හලෝ එහෙම කතාවක් කිව්වෙ... ඕක කියවලා දැන් හැදෙන කොල්ලො කෙල්ලො වැලන්ටයින් එකටත් යට ඇඳුම් දෙන්න ගනියි. එතකොට යට ඇඳුමෙ සයිස් එක බලන්න, අන්දල ඉවර වෙලා හැඩ බලන්න එහෙම උඩ ඒව ගලවන්න වෙනවා. හිතනව බලන්න ඕක මොන තත්වෙකට වෙනස් වෙයිද කියලා... ඒක සංස්කෘතියට කොහොම බලපායිද කියලා..."

"අයියෝ මම ඔය තරං හිතුවෙ නෑ... මේක මේ හැමෝම අඳින ඇඳුමක් ගැනනෙ තියෙන්නේ..."

"හැමෝම ඇන්දට පේන්න අඳින්නෙ නෑනේ... අනික ඒව පුද්ගලික දේවල් මිස තෑගි විධියට ඉල්ලන ඒව නෙවෙයිනේ... ලැජ්ජාවක් නැද්ද?"

"හ්ම්ම්..."

"ඔන්න ඕක සුපර් මෑන් වත් ඉල්ලුවනං සාධාරණයි... ඒ මිනිහ ඕක අඳින්නෙ උඩින්නේ... ඒවයින් වැඩක් නෑ... වහාම ඔය පෝස්ට් එක අයින් කරනව. නැත්තං බ්ලොග් එක හැක් කරවගෙන මම නරක ගෑණි කියන්න එපා."

ඇය සුපුෂ්පිත වී දුරකථනය විසන්ධි කලාය.

මම නැවත එම්.එස්. සමග ඔට්ටුවෙන්නට පටන් ගතිමි. එහෙත් මට සුපර් මෑන් මැවී පෙනෙන්නට විය.

ඇයට මීටර් වූවා මෙන් සුපර් මෑන්ටනම් ඔහුගේ අවට උන් අය විසින් ප්‍රසිද්ධියේ යට/උඩ ඇඳුම් රැගෙන දෙන්නට ඇත.

අළුත් අවුරුද්ද කිට්ටු වන විට රතු පැහැ යට ඇඳුම සොයාගන්නටවත් නොතිබෙන්නට ඇත.

ලාංකිකයන්ටත් පොදුවේ යට ඇඳුම උඩට අඳින්නට බැරිද?

චහ්.... එහෙමවත් වුණානම් මට ඊයේ ලියූ සටහන ලියන්නට උවමනා නොවෙනු ඇත.

දැන් ඉතින් ඒවා මේවා වැඩක් නැත...

1994 අප්‍රේල් 9 වෙනිදා හෙවත් වසර 17කට පෙර ඊයෙ මෙන් දිනයකදී අපෙන් සමුගත් බයිලා චක්‍රවර්ති, සදාතනික කලාකරු එම්.එස්. ප්‍රනාන්දු මහතා තම බලධාරිනියට ගැයූ ගීතය වින්දනය කළ යුතුය.



ඇත්තෙන්ම මම ඊයේ ලියූ සටහන ඉවත් නොකරමි. ඇයගේ හැටි බලාගන්නට මට උවමනාවක්ද තිබේ.... එය එසේ නොවුවහොත් එම්එස්ගේ ගීතය මට විකල්පයකි.

Monday, 4 April 2011

ගෑණු/පිරිමි ළමයින්ගෙ බර වෙනස්වීම - වයසත් එක්ක


දැං ඔය ළමයි ලෙඩෙක් බලන්න වාට්ටුවකට, නැත්තං දොස්තර කෙනෙක් ගාවට බෙහෙත් ගන්න එහෙම ගියාම ඔය පේන්න තියෙන තරාදියකිං බර කීයද කියල බලනව නෙව. ඕක ඉතිං කොයි කවුරුත් බලන්න කැමති දෙයක්නේ. ඉතිං බර බලල බර ගැනයි අඩු කරගන්න එක ගැනයි වැඩි කරගන්න එක ගැනයි කන්න හොඳ කෑම ගැනයි නැති කෑම ගැනයි ලොකූ කතාවක් තමයි ඊට පස්සෙ හැදෙන්නේ...

අපිට කිරන්න පුළුවන් බර එහෙම වුණාට සාමාන්‍යයෙන් ගෑණු ළමයෙක් පිරිමි ළමයෙක් ලොකු වීගෙන එද්දි එයාලගෙ බර බොහොම අපූරු විධියට වෙනස් වෙනවා. මේ වෙනස් වෙන ආකාරයේ බර දැණෙන්නෙ සහ කිරන්නෙ ඉතිං දෙමව්පියෝ තමයි.

මිනිස් වර්ගයා ගත්තම සාමාන්‍යයෙන් ජීවිත කාලෙන් හතරෙන් එකක විතර කාලයක් හැදෙන්නේ දෙමව්පියන් එක්ක නෙව. ඔය කාලෙනං ඉතිං එක එක සංස්කෘති එක්ක ගත්තම වෙනස් වෙනව. ඉතිං මේක ලංකාවට අදාලව සාකච්ඡාවට ගත්තම සරලව මනුස්සයෙක් තමන්ගෙ දෙමව්පියො ගාව අවුරුදු විස්සක් තිහක් විතර හැදෙනවනේ...

ඔය අවුරුදු විස්සක තිහක කාලෙ ඇතුලත ලංකාවෙ පිරිමි ළමයෙක්ගෙ බර සහ ගැහැණු ළමයෙක්ගෙ බර දෙමව්පියන්ට දැණෙන්නෙ විධි දෙකකට.

පිරිමි ළමයෙක් ගත්තම තරුණ කාලෙ වෙනකල් ඒ තරම් බරක් නැති ගානයි... සාමාන්‍යයෙන් අවුරුදු තිහක් පනිනකල් වුණත් පිරිමි ළමයෙක්ගෙ බර වැඩි වෙන්නෙ නෑ. තිහ පනිනකොටනං අම්මල තාත්තලට පිරිමි දරුව‍ගෙ බර දැණෙන්න ගන්නව. ඔන්න තිහ පැනපු ගමන් පිරිමි ළමයෙක්ගෙ බර සීග්‍රයෙන් ඉහල යන්න පුළුවන්. ඒ එක්කම පිරිමි ළමයෙක් සම්බන්ධයෙන් ඕක කලින්ම වෙන්න පුළුවන් කොල්ලට රස්සාවක් නැත්තං. ඒ කියන්නෙ ඔය ළමයි වගේ විශ්ව විද්‍යාලෙ ගිහින් ඉගෙනගෙන රස්සාවල් කරන වයසෙදි රස්සාවක් නැති වුණාම ඕං තිහ නෙවෙයි විසි පහ වුණත් බර වැඩි වෙනවා. විශ්ව විද්‍යාලවල නොගිහින් රස්සාවකුත් නොකර ගෙදරට වෙලා හිටියොත් විසි පහ නෙවෙයි විසි එක වුණත් දෙමව්පියන්ට හොඳට දැණෙන ගානට බර වැඩි වෙන්න පුළුවන්.

ගෑණු ළමයෙක් සම්බන්ධයෙන් මේක වෙනස්. සාමාන්‍යයෙන් ලංකාව වගේ ආසියාතික රටවල්වල තාමත් ගෑණු ළමයි ඉපදෙනකොටම හරි බරයි. ඔය බර ආයෙත් සෑහෙන්න ඉහල යනව ගෑණු ළමය මල්වර වුණාම. ඒ ඉහල යෑම නවතින්නෙම නෑ... ගෑණු ළමය ඉගෙන ගත්තත් නැතත් සෑහෙන්න කාලයක් යනකල් ඔය ඉහල යන බරේ සීඝ්‍රතාවෙ වෙනසක් වෙන්නෙම නෑ. ගෑණු දරුවෙක් අවුරුදු තිහක් වෙනකල් දෙමව්පියො ගාව ඉන්නව කියන්නෙ ඉතිං දෙමව්පියන්ට උහුලන්න බැරි ගානයි.

ඔය බර එක පාරම අඩු වෙන්නෙ දරුව පෙලවහක් කරගත්තම තමයි. ඊට පස්සෙ දෙමව්පියො ඔය කියන බරෙන් නිදහස් වෙනව. ඒ එක්කම ඔය බර දැණෙන ප්‍රමාණය වෙනස් වෙන සාධක ගොඩකුත් තියෙනව.

දැං ඔය ළමයි ඔච්චර ඉගෙනගෙනත් තියෙන එකේ මේක තේරුං කරගන්න ඒ හැටි අමාරුවක් නැතුව ඇති නෙව. තම තමංගෙ දන්න කියන පවුල් වල දෙමවිපියන්ගෙ දරුවන්ගෙ කතා එක එක අරං බැලුවනං මේ කියන කතාව තේරුංගන්න පුළුවන්.

අද පැවරුමක් විධියට ගෙදර ගිහින් හිතල බලල ලියාගෙන එන්න ඔය අපි කතා කරපු විධියට දෙමව්පියන්ට දරුවන්ගෙ බර දැණෙන ප්‍රමාණය වෙනස් කරන බාහිර සාධක මොනවද කියල....



..................................................................................................

ඉහත සටහන මාගේ මලයාගේ අධ්‍යාපන හඬ ගොණුවක තිබී හමුවූ අපූරු දේශනයක කොටසකි. මේ බර වෙනස් වීමට අදාල ප්‍රස්ථාරයක්ද ඇති බව ඔහු පැවසූ නමුත් මලයා තමාගේ සටහන් ගෙනවිත් නොතිබුණ බැවින් ඔහුගේ ලැපේ තිබූ ගොනුව ශ්‍රවණය කර අදාල අවසරයන් මත උපුටා පලකරන ලදී.

Monday, 18 October 2010

ආදරයක් වෙනුවෙන්… සතුටින් ඉතිරී..

අපි පන්තිය අවසන් වෙලා හෙමින් හෙමින් පාර දිගේ ගියේ එදා දවසෙ ඉස්කෝලෙදි වුණ සිදුවීම් ගැන කතාවක් එක්ක. පන්තියට ආපු එක එක ඉස්කෝල වල ළමයි අතරෙ ඈත් ඇගේ යෙහෙළියන් කණ්ඩායමත් අපට ඉදිරියෙන් යමින් හිටිය. ඉස්කෝලෙ ඇඳුම් වලට දෙගුණ වුණ සුන්දරත්වයක් එක්ක උන් හිනා වුණේ පිටිපස්ස බලමින් අපි ගැන කතා කරමින් කියල අපට තේරුණ.

මම හිටියෙ මට පිටුපාගෙන ඉදිරියෙන් යමින් හිටපු ඈ දෙස බලාගෙන... තව වංගු දෙකක් පහුවුණ ගමන් ඇයටත් මටත් තනිව කතාකරන්න තියෙන දේවල් ගැන හිතමින්... හැමදාම වගේ කියන්න ඕන කියලා හිතාගෙන එන දේවල් මට අදත් අමකත වෙන්න අරන්. ඊයෙ රෑ කරුණු විධියට මතක තියාගත්තු එකක්වත් දැන් මට මතක නෑ...

මම ඇගේ මිතුරියන් දිහා බලන්න ගත්තා... කෙලිලොල් වියේ යෞවනය තමයි ඔය...

ඇගේ මිතුරියන් සියළු දෙනාට පෙම්වතුන් හිටිය නිර්මලීට හැර...

මගේ වම්පසින් ගමන්ගත්තු සංජුල හැර මගේ අනෙක් මිතුරන් හැමෝමත් පෙම්සුව විඳිමින් හිටිය එක එක මට්ටම්වලින්...

“සංජු උඹට අරය ගැන මුකුත්ම හිතෙන්නෙ නැද්ද බං?”

මම නිර්මලීව පෙන්නල සංජුට තට්ටුවක් දාල ඇහුවා...

“අනේ බං මම කවදාවත් එයා ගැන හිතල නෑ...”

“උඹට හිතුණ දවසක කියහං. ඒකි හොඳ කෙල්ලක්...”

එතනින් පස්සෙ අපි වෙන්වෙන හන්දියට යනකල් අපි අතරෙ කතාවක් ඇති වුණේ නෑ... යාළුවෝ සේරම එක පැත්තට වෙන්වුණා... මමයි ඇයයි අපි යන පාරට වැටුණා...

...........................

සති කීපයක් ගෙවුණා. ආයෙත් අපට පන්ති තියෙන දවසක්... ඉස්කෝලෙදි සංජු මට කිට්ටු වුණා...

“හර්ෂ, මචං අරයට කොල්ලෙක් නැද්ද ඇත්තටම?”

කොල්ල ඇහුවෙ හෙණ ලැජ්ජාවෙන් වගේ...

“උඹට එයා ගැන හිතුණද අන්තිමේදි....? නෑ.. නෑ... මම දන්න තරමින් අහලකවත් නෑ... මොකද උන් සෙට් එකේ සංගමේ අනුමැතිය අනුව තමයි කොල්ලො approve වෙන්නේ... ඉතිං ඉන්නවනං මම දන්නවා...”

“උඹ කතා කරල බලනවද උඹේ එක්කෙනා එක්ක?”

“හරි මම කතා කරන්නම්... ඒත් ඉතිං ඒක උඹ ඒකිගෙන්ම ඇහුවනම් ඉවරයි...”

“ඉස්සෙල්ල හොයල බලමු”

...........................

සංජු මගේ බයිසිකලේ ගත්තා... මම නැග්ග ඒකෙ බාර් එකට... මාවත් දාගෙන සංජුවා පැද්දා නිර්මලී ගෙදර යන පාර දිගේ... එයා එයාගෙ ලැසි ගමනින් හෙමින් හෙමින් යමින් හිටිය. සංජු එයා ගාවදි බයිසිකලේ තිරිංග තද කලා...

“ඔයාගෙ ජීවිතේට වසන්තය ඇවිත් තියෙනවද නිර්මලී”

මම කෑ ගැහුවා... නිර්මලී බය වෙලා වගේ... අපි දිහා බලාගෙන පාර මැද ගල් පිළිමයක් වෙලා...

“ඔන්න මම වසන්තය අරන් ආවා”

සංජු බයිසිකලේ මගෙ අතට දීල නිර්මලී ගාවට ගියා... මම උන් දෙන්නට යන්න දීල පැත්තකට වුණා...
...........................

ඊට පස්සෙ ගෙවුණෙ අවුරුදු කල්පයක් තරම් දිග කාලයක්... ඒ කාලෙදි වරින් වර කොළඹ රොටරියෙදි සක්‍යා සහ නුගේගොඩ ගම්සභා හන්දියෙන් හැරිල යන පාරෙ පන්ස‍ලේ ටියුෂන් පන්ති වලදි සංජුගෙයි නිර්මලීගෙයි ආදර කතාව ගලාගෙන ගියා... වතාවක් කඳුළු, තව වතාවක් හිනාව...

අතරින් පතර මම ඒ දෙන්නගෙ කතාව පැත්තකින් අහගෙන හිටියා... කැමතියි අකමැතියි... ජීවිතේ සරල රේඛාවක් නෙවෙයි...

ආදරේ, අධ්‍යාපනේ, ජීවිතේ හැමදේම අවබෝධ වෙමින් ගෙවපු කාලයක ම‍ගේ ජීවිතේ පැත්තක බිත්තියක් පාමුල ඉඳගෙන මේ දෙන්න එයාලගෙ ආදර කතාව ලියමින් හිටිය...

සංජු විශ්ව විද්‍යාලයට ගියා...

නිර්මලීට හොඳ රස්සාවක් හම්බ වුණා...

අළුත් යාළුවො, අළුත් වාසස්ථාන සහ අළුත් ‍පෙම්වතියන් එක්ක මම ටික ටික ඒ අයගෙනනුත් තවත් බොහෝ දේවල් වලිනුත් ඉවත් වුණා... මම වෙනත් මාර්ගයක මගේ ගමන යමින් හිටිය...

අතරින් පතර ගමේදි සංජු හමුවුණ වෙලාවලදි ඒ දෙන්න හොඳින් ඉන්න බව ආරංචි වුණා...
...........................

අද දවල් මට නොදන්න අංකයකින් ඇමතුමක් ආව.

“හලෝ...”

“හර්ෂ?”

“ඔව්...”

“මම මේ සංජුල. ඔයා ගෙදරද ඉන්නේ?”

“හප්පා... මම නං දැන් ඔෆිස් එකේ... මේ දවස්වල ඉරිදත් වැඩ... ඇයි ඇයි?”

“හවස කීය වෙයිද ගෙදර යද්දි?”

“මම කොහොමත් පහමාර හය වෙද්දි ගෙදර යනවා... ඇයි?”

“හරි මම එන්නම් ඒ වෙලාවට”

“හා හරි.. අවුලක් නෑ...”

“හරි එහෙනම් තියන්නං”
...........................

හවස හයයි කාල වෙද්දි සංජු අපේ ගෙදර ආවා.

“මම මේ ආවෙ උඹට මුලින්ම ආරාධනාව කරන්න”

සංජු මගේ අතට කවරයක් දුන්නා.

“හිහ්... මට හිතුණා ඔහොම එකක්! තැංක් යූ...”

මට දැණුනේ කියන්න බැරි තරම් ලොකු සතුටක්...

“ඔයාට සෑහෙන්න වගකීමක් තියෙනවනේ.. ඒ නිසා මුලින්ම කියන්න ඕන කියල හිතුවේ... එන්නම ඕන හරි”

“අවුලක් නෑ එදාට එන්න පුළුවන්...” මම කැලැන්ඩරේ බලල කිව්ව...

අපි දෙන්න හරි බරි ගැහිල ලොකු කතාවක් පටන් ගත්ත.
...........................

සංජු ගිය වෙලේ මට හිතුණෙ මේ ගැන ලියන්න ඕන කියලා... ඒ මේ ලෝකෙ ප්‍රේමය සපථ කරගෙන ඒක විවාහය දක්වා අරන් ගිහින් සතුටින් පවත්වගන්න පෙම්වතුන් වෙන්වෙන්... ඒ වගේ විවාහය දක්වා යන ප්‍රථම ප්‍රේම ගොඩක් අඩු එකේ මේ අවස්ථාව ගොඩක් විශේෂයි.. ඒ නිසා මම මේ සටහනින් සුභ පතනවා ඔවුන් දෙදෙනාට සුභම සුභ යුග දිවියකට...


ඕං කමිං!

ප.ලි. අර ඒ දවස් වල මගේ ජීවිතේ හිටපු ඇය තවත් ඇයවලුන්ගෙන් ප්‍රතිස්ථාපනය වුණා... එක එක පැතිවල සැරිසරල ගොඩනැගිල තියෙන මගේ ජීවිතේට වෙන්න පුළුවන් හොඳම දේ දැන් මට සිද්ධ වෙලයි තියෙන්නේ... ඇය මේ සටහන කියෙව්වම අද මට මොනව අහගන්න වෙයිද මන්දා... ඔන්න කෝල් එකක් කියනකොටම...

Saturday, 2 October 2010

කසාදයක් කරගත් ගැහැණියක්…

මේක මට ලියන්න විශේෂ හේතුවක් නැතත් අපේ මරේ එක දිගට කාන්තා විමුක්තිය ගැන කතා කරද්දි මේක ගැනත් කිව්වොත් හොඳයි කියල හිතුණා. කතාව සත්‍යයි නම් ගම් මනඃකල්පිතයි.

සාවිත්‍රිගේ වයස අවුරුදු 27යි. බැඳල මාස හයයි. එයා දැන් මාස හතරක ගැබක් තියෙන, අම්ම කෙනෙක් වෙන්න බලාගෙන ඉන්න සුන්දර ගැහැණියක්.

අද උදේ සාවිත්‍රි වැඩට ඇවිත් හොඳටම ඇඬුවා. හේතුව කෙලින්ම අපට කිව්වෙ නැතත් අපේ ඕපදූප මීටර් වලට අහුවුණ විධියට කලින් දා රාත්‍රියේ සාවිත්‍රිගේ සැමියා ඇයට පහර දීල තිබුණ.

මේක ගැන යාළුවො ටික කතා වෙද්දි අපේ ලාබාල ගයාන් කිව්ව "සාවිත්‍රිටත් හැරිච්චගමන් එකක් දෙන්නනේ තිබුණේ" කියල.

එතකොට සුජානි මිස් කිව්වෙ "ඒ මිනිහ රළු හැඩිදැඩි මිනිහෙක්. ඒ නැතත් පිරිමින්ට එහෙම ගහන්නෙ නෑනෙ ගෑණු" කියල.

ආයෙ ගයාන් කියනව "ඒක තමයි ලංකාවෙ ගෑණුන්ගෙ වැරුද්ද" කියල.

මෙතන තියෙන්නෙ ගුටිකෑම හා ගුටි දීම ගැන ප්‍රශ්ණයක් නෙවෙයි. මේ පේන විධියට මේ යුවතිපතින්ට තියෙන ගැටළුව මොකක් වුණත් පළවෙනි කාරණය විධියට ගහ මරාගන්න ගානට ප්‍රශ්ණ ඇදෙන්න තරම් දෙන්න අතර අවබෝධයක් නැද්ද? ඊළඟ එක මේ දරුවෙක් දරාගෙන ඉන්න අම්ම කෙනෙක්ය කියන එක ඒ තාත්තටම අමතක වීම මාර අවුලක් නේද?

ඇත්තම කතාව ඒකත් නෙවෙයි කියලයි අපි තර්ක කලේ... මේ විවාහය මොකක් වුණත් යෝජිත විවාහයක් වෙන්න ඇති. නැත්තං තමන් ජීවිත කාලෙම ඉන්න කියල කසාද බඳින මනුස්සයගෙ හැටි ස්වභාවය නොදැන ඉන්න විධියක් නෑනේ ප්‍රේම කරල විවාහ වුණා නම්...

යෝජිත විවාහයකින් පස්සෙ දෙන්න තම තමන් ගැන හරියට අඳුනගන්නෙවත් නැතිව ළමයි හදන්නත් කල්පනා කරලා... දැන් තමයි කසාදෙ ර‍ඟේ තේරෙන්නේ. ඒත් දැන් කෝච්චිය ගිහින් ඉවරයිනේ.

කසාදෙකදි අන්‍යෝන්‍ය අවබෝධය කියන දේ වැදගත්ම සාධකය කියලයි මම නම් දන්න තරමින් හිතෙන්නේ. ප්‍රමාණවත් අවබෝධයක් නැතිව ඉදිරි පියවර තිබ්බොත් අවුලක්. හරියට කඹයක් උඩ ඇවිදිනව වගේ වැඩක් ඒක.

මම මේක මේ තරම් දෙයක් කරගත්තට ඇත්තටම මේක මේ තරම් දරුණු නැතිව ඇති. සමහර විට අද රාත්‍රියෙ සාවිත්‍රිගෙ සැමියා එයාගෙන් සමාව අරන් වැඳවැටිල ෂේප් වෙලා දෙන්න කොහේ හරි රෙස්ටුරන්ට් එකකට ගිහිල්ල කෑම ගන්නත් ඇති. නමුත් එහෙම වුණාය කියල මේ වුණ සිදුවීම ලෝකෙ ඕනම තැනක ආයෙ සිදුවෙන්‍නෙ නෑ කියන්න බෑනේ....