Friday 14 August 2020

ඇවිලෙනසුලුයි (2020) - සිංහල චිත්‍රපටිය ගැන අදහස්

 

ස්පොයිල් වීමට ඉඩ තිබේ!


ලංකාවෙ වර්තමාන චිත්‍රපටි ලෝලියො චිත්‍රපටිවලට ලොල් වෙලා තියෙන්නෙ සිංහල චිත්‍රපටි නිසාවත් චිත්‍රපටි ශාලාවල චිත්‍රපටි බලලවත් නෙවෙයි. බොහොම දෙනෙක් බලල තියෙන සිංහල නොවන චිත්‍රපටි ප්‍රමාණය වැඩියි වගේම හෝල්වල බලනවට වඩා ගෙදර ඉඳන් චිත්‍රපටි බැලෙන වාර ගණනත් ඉතාම වැඩියි. ඒ නිසාම හෝල් එකක් අස්සෙදි වෙනම ප්‍රශ්න ටිකකට මූණ දෙන්න වෙනවා. උදාහරනෙකට සිංහල නොවන චිත්‍රපටියක් සබ් එක්ක බලද්දි බැරි වෙලාවත් දෙබසක් මිස් වුණොත් ආපහු තප්පර ගාණක් බැක්වර්ඩ් කරල බලන්න විදියක් නෑ. ඒ වගේම භාෂා භේදයකින් තොරව බැරි වෙලාවත් යම් දර්ශනයක් තුළ සිද්ධ වෙන දේ ප්‍රොසෙස් කරගන්න ඕනවට වඩා කල් ගත්තොත් චිත්‍රපටිය මිස් වෙනවා. ඔහොම දේවල් නිසා හෝල් එකක චිත්‍රපටියක් බැලීම වෙනත් විදියකින් ඒ චිත්‍රපටියම බලනවට වඩා වෙනස් අත්දැකීමක්. හෝල් එකක් තුළදි අපේ තේරුම් ගැනීමේ හැකියාවත්, ප්‍රොසෙසිං හැකියාවත් පරීක්ෂාවට ලක් වෙනවා.

මේ කතාව කියන්න ඕන වුණේ ඇවිලෙනසුලුයි නරඹද්දිත් ඒක ආයෙම බැක්වර්ඩ් යවලා බලන්න ඕන කියලා හිතුණ අවස්ථා ගාණක්ම තිබුණ නිසා. එහෙම වුණේ ප්‍රොසෙසිං ප්‍රශ්නෙකට වඩා රූපරාමුව හෝ අදාළ දර්ශනය ආයෙම බලන්න උවමනා වීම නිසයි. ඒක සිංහල චිත්‍රපටියක් සම්බන්ධයෙන් පළමු වතාවට වුණ දෙයක්. රූප රාමු සහ කැමරාව හැසිරවීම තදින් හිතට වැදුණ නිසයි ඒ. ඉතිං අනාගතේ යම් දවසක එහෙම බලනකල් චිත්‍රපටිය ගැන හිතුණ දේවල් සටහන් නොකර ඉන්න හේතුවකුත් නැහැ. ඇත්තටම මේ ලියවෙන්නෙ චිත්‍රපටිය ගැනමත් නෙවෙයි. චිත්‍රපටියෙ වටපිටාව ගැන පසුව හිතුණ දේවල් ටිකක්.

ඇවිලෙනසුලුයි චිත්‍රපටිය දවල් 1.30ට බලද්දි අපි ඊට කලින් 10.30 දර්ශනයෙදි ‘සූස්ති‘ චිත්‍රපටිය බලලයි හිටියෙ. මේ චිත්‍රපටි දෙකම රෝඩ් ට්‍රිප් ගණයට දාන්න පුළුවන්. දෙකම ටිකක් එකම ආකෘතියක චිත්‍රපටි. හැබැයි තේමාවන් ඉතාම වෙනස්. චිත්‍රපටි දෙකේම සමනලී සිටීම එක්ක එක්තරා විදියකට එකම ගලායාමකුත් නොදැනුණා නෙවෙයි.

ඇවිලෙනසුලුයි තුළ දර්ශන දිගහැරෙන ස්ටයිල් එක, පර්ච්ඡේද වෙන් කර තිබීම, වර්ණ භාවිතය, යොදාගන්න සංගීතය, සිදුවීම්වල ස්වභාවය, ප්‍රචණ්ඩත්වය වගේ දේවල් අස්සෙ ටරන්ටිනෝ සහ ඩේවිඩ් ලින්ච් හමුවීම මට විතරක් වුණ දෙයක් නෙවෙයි කියලා පසුව විස්තර කියවද්දි තේරුණා. ටරන්ටිනෝගෙ චිත්‍රපටි සේරම වගේ බලල තිබුණත් ලින්ච්ගේ චිත්‍රපටි අතරින් කීපයක් විතරයි මම බලල තියෙන්නේ. ඒ බලපු චිත්‍රපටි ගැන පැහැදිලි කරගන්න ඕන නිසා කියවපු සහ නරඹපු අමතර දේවල් අස්සෙ ලින්ච් ගැන දැනගත්ත දේවල් ‘ඇවිලෙනසුලුයි‘ තේරුම්ගනිද්දි උදව් වුණා. මේ දේවල් ගැන මම ඉගෙනගෙන නැහැ. ඒ නිසා මුලධාර්මිකව මේ අදහස් 100%ක් නිවැරදි නොවෙන්න වෙන්න පුළුවන්. වඩා නිවැරදිව දන්න කෙනෙක් කියල දුන්නොත් අපි හැමෝටම ඉගෙනගන්න පුළුවන් වෙයි.

ලින්ච් සැලකෙන්නෙ අතාත්විකවාදී (surrealist) සිනමාකරුවෙක් විදියට. ඔහුගේ නිර්මාණ අස්සෙ සැබැවින් පේන දේට එපිටින් හෝ ඇතුළතින් පවතින අදහසක් ගැන ඔහු කතා කරනවා. චිත්‍රපටිය බලන මනුස්සයා චිත්‍රපටිය අස්සට ගන්න අවස්ථා තියෙනවා. අභව්‍ය සිදුවීමක් හෝ වස්තුවක් විසින් චිත්‍රපටියට අදාළ සිදුවීම් ගොඩනගනවා. ඒව තේරුම්ගන්න එකත් එකිනෙකාගෙ කියවීම් ප්‍රමාණය අනුව තීරණය වෙනවා. මුල මැද අග පිළිවෙළට ගැළපුණ කතා කීමකට වඩා ඔහු සිදුවීම් පෙළක් ඉදිරිපත් කරනවා. ඒ සිදුවීම් ඔස්සේ එකිනෙකාට දැනෙන තේරෙන දේවල් ඔස්සේ අර්ථ දක්වගන්න දේ වෙනස් වෙන්න පුළුවන්. ඒ වගේම තමන්ගෙ නිර්මාණ ගැන පැහැදිලි කිරීම් ලින්ච් විසින් කළා කියල මම කියවල නෑ. ඔහු කියන්නෙ තමන් චිත්‍රපටියක් නිර්මාණය කරන්නෙම චිත්‍රපටි භාෂාවෙන් කියල. ඒව තේරුම්ගන්න වෙන භාෂාවකින් බෑ. ඒ අතින් ඔහු ප්‍රේක්ෂකයාට කිසිම අවස්ථාවක් හෝ සමාවක් නොදෙන අධ්‍යක්ෂවරයෙක්.

මේ ලින්ච් ගැන කතාව කිව්වෙ ‘ඇවිලෙනසුලුයි‘ ගැන කියවන්න ලැබුණ වෙනත් සටහනක අතාත්විකවාදය ගැනත් කියල තියෙන නිසා. ඒ ගැන දැනගෙන චිත්‍රපටිය බැලීමෙන් චිත්‍රපටිය විඳින්න පහසුවක් වෙන්න පුළුවන්. දැනටමත් බලලා තියෙනවනම් ඒ අත්දැකීම තව තීවෘ කරගන්න පුළුවන්. එහෙම නැත්තං චිත්‍රපටිය අස්සෙ අතරමං වීම ම චිත්‍රපටිය මගින් ලැබෙන දේ විදියට තේරුම්ගන්න පුළුවන්. 

ඇවිලෙනසුලුයි චිත්‍රපටිය මම බලල තියෙන සිංහල චිත්‍රපටි අතර තාක්ෂණිකව ආසන්නයෙන් පරිසමාප්ත එකක්. කැමරාව මෙහෙයවෙන්නෙ කලින් ලංකාවෙ නිර්මාණයක නොදැකපු පරාසයක. සිංහල චිත්‍රපටියක් අස්සෙ එහෙම ෆ්‍රේම් දකින්න ලැබුණ එක අලුත්ම අත්දැකීමක්. පාටවල් අස්සෙ දැනෙන්නෙ එක්තරා තනිකමක්. එහෙම වර්ණවලින් ප්‍රකාශනයක් කරන දේශීය සිනමාවේ අවස්ථා ඉතාම විරලයි. කලිනුත් කිව්ව වගේ ආයෙම බලන්න ඕන කියල හිතුණ දර්ශන ගාණක්ම තිබුණා. සමස්තයක්  විදියට ඇවිලෙනසුලුයි රූපාවලිය ඉතාම ආකර්ෂණීයයි. ඒක කොලිටි වැඩක්. 

ඒ කොලිටි එකම මට මියුසික් අස්සෙත් ඇහුණා. ‘මැණිකෙ මම ආයෙ ගෙදර එනවා‘ එක විදියකින් තීම් එකක්. චිත්‍රපටිය තුළ සිදුවන නැවත මුණගැහීම් සින්දුවට ලින්ක් කරගන්නත් ඕනනං කෙනෙක්ට පුළුවන්. රඟපාන උන් අතරෙ ප්‍රියන්ත සිරිකුමාර ඉන්න සුළු කොටස අනිත් කොටස්වලින් වෙන්වෙලා පේනවා. මීට වඩා අවස්ථා දෙන්න ඕන ඔහුට.

සාමාන්‍යයෙන් සංස්කෘතිය අස්සෙ මිනිස්සුන්ගෙ ෆැන්ටසිය හදන්නෙම කසාද බඳින්න. 'ඊට පස්සෙ' ළමයි හදාගෙන උන්ව බලා කියාගෙන ස්වභාවධර්මයේ චක්‍රය ගත කරන්න. හැබැයි ඔය 'ඊට පස්සෙ' කොටස අස්සෙ තියෙන අභියෝග ගැන සංස්කෘතික කතා බහ ඉතාම අඩුයි. කතාවට කියන්නෙ පවුලෙ ගිනි පිටට දෙන්න එපා කියල. ඒ නිසා දීර්ඝ කාලීනව එකට ජීවත් වෙද්දි සමහර විට මුහුණ දෙන්න වෙන අමිහිරි තත්ත්වයන් ගැන, පීඩනය ගැන අත්දැකීමකින් මිස කෙනෙක්ට දැනගන්න තියෙන ඉඩ අඩුයි. පොළොවෙ පය ගහල ඉන්න මිනිස්සුන්ට මේක බොහෝ දුරට කළමනාකරණය කරගන්න පුළුවන්. ඒත් එහෙම නොවෙන අවස්ථා ඉතාම වැඩියි කියල හිතෙනවා. මේ වෙද්දි සෝෂල් මීඩියා විසින් ඒ පීඩනය යම් තරමකට උරාගන්නවා. පණ දීගෙන ලව් කරලා බැඳලා අවුරුද්දකින් දෙකකින් මිනිහට/ ගෑනිට කොමික් හින්ට් ගහපු පෝස්ට් ශෙයා වෙනවා. බැලූ බැල්මට ඒව විහිළු තමයි. හැබැයි එහෙම එකක් ප්‍රකාශ කරන්න උවමනා වීමේ මානසිකත්වය ටිකක් සීරියස් එකක්. කොහොම නමුත් සෝෂල් මීඩියාවලට රිලීස් කරලත්  දරාගන්න අමාරු ජීවිතයක් සම්බන්ධයෙන් කෙනෙක් ගන්න තීරණ කලින් කියන්න බෑ. මේක සුළුවෙන් වුණත් චිත්‍රපටියෙන් පස්සෙ හිතන්න පෙළඹුණ දෙයක්. මෙතනම කියල දැම්මා. 

අපි කතා අහන්න හුරු වුණ මිනිස්සු පිරිසක්. මුල මැද අග පිළිවෙලින් තියෙන කතා තමයි පුංචි කාලෙ ඉඳන් අහන්නෙ. මූලික වශයෙන් ජාතක කතා, ජන කතා, ආරබි නිශොල්ලාසය වගේ පොතකින් ආපු කතා, හාන්ස් ක්‍රිස්ටියන් ඇන්ඩර්සන් ලියපු කතා පුංචි කාලෙ ඉඳන්ම අහලා ඒ කතා රස විඳීමේ ආශාවෙම දිගුවක් විදියටයි හුඟ දෙනෙක් චිත්‍රපටි ලෝලියෙක් වෙන්නේ. සීරියස් චිත්‍රපටි ලෝලීන් එතනින් නොනැවතී විවිධ චිත්‍රපටි වර්ග හොයාගෙන යනවා. ඒ ඔස්සේ විවිධ රසයන් විඳිනවා. ඇවිලෙනසුලුයි කියන්නෙත් සිංහල සිනමාවට හැදුණ වෙනස්ම රසයක චිත්‍රපටියක්. ඒක අස්සෙ කතාවක් හොයන්න ගියොත්නම් අවුලක් වෙනවා. කතාවක් කියනවට වඩා මේකෙ තියෙන්නෙ සිදුවීම් පෙළක්. ඒ අස්සෙ කතා කීපයක් තියෙන බවක් දැනෙන්නත් පුළුවන්. එහෙම නැත්තං ඒ එකම කතාවක අවස්ථා දෙකක්ද? එහෙමත් නැත්නම් එකම කතාවේ නිරූපණයන් දෙකක්ද? වර්තමානයට අතීතය හමුවීමක්ද? ඔය එකක්වත් නැති පේන දේවල් විතරක් ඇතුළත් සිම්පල් කතාවක්ද?

ඒක බේරුම් කරගන්න එක තනි තනි ප්‍රේක්ෂකයගෙ වැඩක්. ඔබ චිත්‍රපටි ශාලාවට යන්නෙ කණ්ඩායමක් එක්ක වුණත් චිත්‍රපටිය ඔබට දෙන්නෙ පුද්ගලික අත්දැකීමක්.

චිත්‍රපටිය බලල නැති කෙනෙක් මේ සටහන මේ තරම් දුර කියෙව්වනම් දැන් තියෙන්නෙ වහාම ඒක බලන්න. මේක හැමෝටම හරියන චිත්‍රපටියක් නෙවෙයි. හැබැයි ලංකාවෙ සිනමාව දියුණු වෙනවනම් මේ ආකාරයේ චිත්‍රපටිත් ඕනමයි. විවිධ විදියේ අන්තර්ජාතික සිනමා නිර්මාණ රස විඳින ලාංකික චිත්‍රපටි රසිකයින් ලංකාවෙ සිනමාවට ආකර්ෂණය වෙන්න ඒ විවිධත්වය අත්‍යවශ්‍යයි.

No comments:

Post a Comment

මං ඔයාගෙ එකේ බයිල ගහන නිසාවත් ඔයා මාව දන්න නිසාවත් නෙවෙයි. මගේ වමනෙ පාර දැකල ඔයාලටත් වමනෙ යන්ඩ වගේ එනවනම් විතරක් මේ කොමඩ් එකට දාන්ඩ!