Showing posts with label gossip. Show all posts
Showing posts with label gossip. Show all posts

Saturday, 20 September 2014

සොරොව්වෙන් එළියට කෝච්චියකින්

ගුණසිරි ජයවර්ධන මහත්තයගෙ සොරොව්ව පොතේ මුල් පිටු කීපය කියවද්දිම ඒක එක දිගට කියවගෙන යන්න පුළුවන් පොතක් බව මට තේරුණා. සුසන්ත කියන පාසල් ගුරුවරයගෙ සංකීර්ණ මනෝභාවයන් පිළිබඳ කතාවක් වුණත් ගුණසිරි මහතාගේ සරළ ලේඛණ විලාසය හින්දා ඔළුවට බරක් නැතිව කියවන ගමන් ආයෙ ආයෙමත් සුසන්තගේ ජීවිතේ මට දක්වන සමානකම් ගැන හිතන්න මට පුළුවන් වුණා. ඒක ඇත්තටම එක විධියකට මාවම නැවත කියවීමක් වගේ. සුසන්ත කියන්නෙ මම නෙවෙයි. නමුත් සුසන්තට සමාජය ගැන තියෙන ඇතැම් කියවීම්වලට සෑහෙන්න සමාන කියවීම් මටත් තියෙන බව මට තේරුණා. මම ටික වෙලාවක් සුසන්තවයි මාවයි ගලපන්න උත්සාහ ගත්ත. තම තමංගෙම ලෝක හදාගෙන බාහිර ලෝකයත් එක්ක සීමිත සම්බන්ධකම් විතරක් තියාගත්තු දෙන්නෙක්... ඒත් ටිකකින් මට වැටහුනේ සුසන්තගේ චරිතය වෙන ඕනම කෙනෙකුගේ චරිතය වෙන්න පුළුවන් කියල. පිටත සමාජෙ ගැන තියෙන අදහස් සුසන්ත හෝ මම දරනව වගේම වෙන ඕනම කෙනෙක් තමංගෙ ජීවිත කාලෙ කොයි මොහොතක හෝ දරල ඇති කියල මට හිතුණ.

රස්සාව කරන තැන වෙනස්වෙල සති කීපයක්ම ගතවෙලා තිබුණට තවමත් මට ඒ වෙනසට හුරුවෙන්න අමාරුයි. රස්සාවල් කරපු අවුරුදු දහයකට වැඩි කාලෙ පුරාම ගෙදර ඉඳන් රැකියා ස්ථානයට යන්න පැයකට වඩා කාලයක් ගත කරන්න වුණේ අළුත් සේවා ස්ථානයට ස්ථාන මාරුව ලැබීමත් එක්ක. කලින් වැඩ කරපු තැන් කීපයටම ගෙදර ඉඳන් විනාඩි දහයක් පහලොවක් විතර ගතකරල පයින් යන්න පුළුවන්. ඒ නිසා පාන්දර හයට නැගිටල හතට වාද්දුවෙන් කෝච්චියෙ නැගල අටට කොල්ලුපිටියෙන් බැහැල අටයි කාල වෙන්න කලින් ඇඟිලි සලකුණු මැෂින් එකේ ඇඟිල්ල තියාගන්න එක තවමත් අමාරු වැඩක්. එහෙම කරගත්තු දවස්වලදි හවස හතරට ඕෆ් වෙලා කොච්චියකින් ගෙදර යද්දි හවස හය වෙනවා. ගෙදර ගියාම තියෙන තෙහෙට්ටුව සිගරට්ටුවකිනුයි අම්මගෙ කිරි තේ එකෙනුයි නැති කරගන්න ගන්න උත්සාහය තවම ඒ හැටි සාර්ථක නෑ.

‘කෝච්චියෙ ඔයාට තවම යාළුවො ටිකක් නැද්ද පුතේ?‘

මම තේ එක තොලගාන අතරෙ අම්ම ඇවිත් ඉදගන්නව.

‘නෑ...‘

මම කියනව.

‘තවම අළුත්නේ. ටික දවසක් යද්දි කට්ටියක් හම්බවෙයි‘

‘හපෝ නැති එක හොඳයි. නැත්තං කච කචේ කච කචේ ඉවරයක් නැහැ. ඊට වඩා හොඳයි කල්පනාවක් දාගෙන යන එක‘

‘එහෙම තමයි පුතේ... ඒ මිනිස්සු දවසකට පැය දෙක තුනක් එකටම ඉන්න මිනිස්සුනේ...කියවන්න දේවල් ඇති ඕන තරං‘

‘ඒ වුණාට සමහර වෙලාවට වදයක්නේ. කියවන්නෙත් මෙලෝ වැඩක් නැති වල්පල්.‘

අම්මා නිහඬ වෙනවා. ඈ මුලදිම තර්ක කරන එක ඉවත දානවා. හරියට තර්කයේ නිශ්ඵලත්වය ඈ අත්දැකීමෙන් වටහාගෙන තියෙනව වගේ.

සංවාදය වෙනුවෙන් ඇගේ තර්කය පිළි නොගත්තත් අම්මා නිවැරදි බව මම කතාව පටංගද්දිම දන්නවා. උදේ හවස කෝච්චියේ යන මිනිස්සු එකම පන්තියක මිනිස්සු ටිකක්. බාගෙට බාගයක් රජයේ සේවකයො සහ පෞද්ගලික සේවකයින්. කෝච්චියෙ ගමන්කරන අයගෙ කියුම් කෙරුම් ගැන ඕන තරම් කියවල තිබුණත් ඒක සැබෑ අත්දැකීමක් වෙන එක දිරවගන්න ටිකක් අමාරු වුණා මට. මුලදි දිගින් දිගටම දුර ගමන් දුම්රියවල තෙරපෙමින් තැම්බෙමින් ගිය මට කාර්යාල දුම්රියවලට මගේ කාල සටහන හුරු කරගන්න ටික දවසක් ගියා. ඒත් ඒ කෝච්චිවල යන මිනිස්සුත් එක්ක මුලදි ඒක ඒ තරම් ලේසි වුණේ නැහැ. එදිනෙදා සාමාන්‍ය වල්පල් එක්ක ටීවී එකේ මෙගා මලවිකාරත් ආයෙ ආයෙමත් රිපීට් වුණා. එක එකාව, විශේෂයෙන් ගෑණු අයව බයිට් වුණා. වතාවක් පානදුරෙන් නැගපු දරුවෙක් ලැබෙන්න ඉන්න ගෑණු කෙනෙක්ට පිරිමියෙක් නැගිටල සීට් එක දුන්නෙ ‘මේකි සීට් එක ගන්න ඕන නිසාම කොට්ටයක් බැඳන් එනවද කොහෙද?‘ කියලයි. කොල්ලුපිටිය දක්වාම ඔවුන් අතරෙ සිද්ධ වුන සුහද කතාවත් එක්ක මට තේරුණෙ ඔවුන් බොහොම සමීප මිතුරු කණ්ඩායමක් බවයි.

කෝච්චියෙ ඉන්න තනි තනි කණ්ඩායම් අතරෙ තියෙන සුහදකම ඒ අය අතරෙ වෙනම පුංචි ලෝක නිර්මාණය කරල තිබුණ. ඒත් තනිකම හැමදේටම වඩා වින්දනීය වුණ මට ඒක කරච්චලයක් වුණා. මම කල්පනා කළේ බ්ලොග් එකට ඒ ගැන කවියකුත් ලියන්න.

කාර්යාල කෝච්චියේ
එකම පන්තියක යන අපෙන්
කොටසක් සීට් වල ඉඳගෙන
කාපට් පාරවල් ගැන
කුඩු කන්ටේනර් ගැන
උස්සපු ළමයි ගැන
ස්ත්‍රී දූෂණ ගැන
සුදු නංගිලෙග ටෙලි ගැන
බුජුම්පියෝ ගැන
තළු මරන අතරෙ
සීට්වල ඉඳගන්න වරම් නැති
අපෙන් තවත් කොටසක්
සීට් අතරෙ හිටගෙන
බකං නිලාගෙන
කෝච්චියෙන් බහිනකොට
කැනිබලෙක්ට උවමනානම්
ගම්මිරිස් ඉහාගෙන
කන්න හැකි තරමට තැම්බීගෙන

සුසන්ත ටිකෙන් ටික සාමාන්‍ය මනුස්සයෙක් වෙනවා. ඒ කියන්නෙ එක විධියකට කපටියෙක්. සාමාන්‍යයෙන් නම් එක මිනිහෙක්වත් තමන් කපටියෙක් බව විශ්වාස කරන්නෙ නැහැ. නමුත් ජීවත්වීමට අපි කරන අරගලයම කපටි සහගතයි. සොරොව්ව පොතේ මහ ලොකු පිටු ගණනක් ඒ ගැන වෙන් නොවුණත් ජීවිතේට අපට තියෙන එකම විකල්පය විධියට ඉදිරිපත් වෙන්නෙ ඒක.

මගේ කල්පනා ලෝකය බිඳුණෙ නහය කඩාගෙන ගිය පල් ගඳකින්. කොහොමත් මුහුදුබඩ මාර්ගයේ ඔහොම පල් ගඳ එන තැන් කීපයක්ම කෝචිචිය පහු කරවනවා. අදාල නගරයේ සේරම කසල වතුර මූදට වැටෙන තැන් තමයි ඒ. කොයි තරම් ගැඹුරු කල්පනාවකින් වුණත් කෙනෙක්ව මුදවන්න ඒක සමත්.

කෝච්චියෙ මිතුරන් හමුවුණාද කියන එක ගැන අම්මා ආයෙ වතාවක් ඇහුවා දවසක්. ඒත් මට දෙන්න තිබුණෙ එකම උත්තරේ. මම දන්න කවුරුවත් කෝච්චියෙ නෑ. ඒ වෙද්දි හැමදාම හමු නොවුණට එදිනෙදා කෝච්චියෙ යන, එකම තැන්වලින් නගින බහින කීප දෙනෙක් මට නිච්චි වෙලා තිබුණත් ඒ අය එක්ක කතා කරන්න මට උවමනා වෙලා තිබුණෙ නෑ.

‘මිනිස්සුන්ව අඳුණගන්න එක වටිනවනෙ පුතේ‘

අම්ම කියන්නෙ එහෙම.

‘මිනිස්සු තමංගෙ වැඩේ හරියට කරනවනං පුද්ගලිකව දැන ගත්තෙ නැතිවට කමක් නෑ අම්මා. තමන්ගෙ වැඩේ හරියට නොකරන නිසා තමයි පෞද්ගලික දැන හැඳුනුම්කම් ඕන වෙන්නෙ‘

එතකොට මම කියන්නෙ එහෙම.

‘ඒ වුණාට ඔයා කට්ටිය එක්ක කතා කරල අඳුනගනියි පස්සෙ‘

අම්ම හදන්නෙ එහෙම කියල තමන් සැනසෙන්නද එහෙම නැත්තං ආදරණීය විධානයක් දෙන්නද කියන කතාව දන්නෙ අම්ම විතරයි.

ඒත් මට කිසිම උවමනාවක් නෑ මිනිහෙක් එක්ක බලෙන් කතා කරන්න. අවශ්‍යතාවයකට කතාකරන එක හෝ මිනිහෙක්ට උදව් අවශ්‍ය වෙලේක දැන හැඳුණුම් නොතකා උදව් කරන එක වෙනම කතාවක්. කොහොමත් රාජකාරියෙදි හෝ පෞද්ගලික ජීවිතේදිවත් දැන හැඳුනුම්කම්වලට වඩා අවශ්‍යතාවයට මුල් තැන දෙන එකයි මගේ පුරුද්ද. ඒ වගේම උදව්වක් උවමනා වෙලේක ඒ උදව්ව ඇත්තටම ඒ මිනිහට උවමනාද කියන කාරණාව ගැන මගේ විනිශ්චය මත ඒ මිනිහට උදව් කරන එක හෝ උදව් නොකරන එකට වෙන කිසිම සාධකයක් අදාල නෑ. ඒ නිසා මිනිහෙක් මාත් එක්ක එකම වෙලාවට වැඩට යනවා කියන කාරණය මත විශේෂයෙන් ඒ මිනිහව අඳුණගන්න මට උවමනා වුණේම නෑ.

නමුත් අම්මා ඒ වෙලාවෙදිත් හරි කියල මම දැනගෙන හිටිය. මේ වෙනකොට ජීවිතේ කියන්නෙ එහෙම එකක්. දැන හැඳීනීම් මත ඕනම දෙයක් ‘කරගන්න‘ පුළුවන්.

ගුණසිරි මහත්මයගෙ කලින් පොත්වලින් දෙකයි මම කියවල තියෙන්නෙ. හැබැයි මේ පොතේ රටාව කලින් පොත් ලියවිල තිබුණු සාර්ථක සහ කතාව පුරාම වගේ සංවිධානය වුණ විඥානධාරා ආකෘතියට ඒ තරමටම ගැලපෙන්නෙ නෑ කියල මට හිතුණ. චරිතයක් විධියට ගොඩනැගෙන්නෙ සුසන්ත විතරයි. ඒ අතින්නම් ඔහු බොහොම ගැඹුරකට ගිහිං තියෙනව. ඒත් සමහර වෙලාවලදි ටිකක් කෘතිම බවක් දැණෙන්න ගන්නව. ඒ එක්කම ඔහුගේ කතා ශෛලිය ගැන තියෙන පූර්ව දැනීම හින්දම කතාවෙ අවසානය ගැන මට දෙවෙනි පරිච්ඡේදය වෙනකොට ඉඟි ලැබුණා. ඔහුගේ අනිත් කතාවලත් චරිතවල හැසිරීම මම දැනගෙන හිටපු නිසා ඒ ඉඟි නිකංම ඉඟි නොවෙන බවට තිබුණ මගේ සැකය අවසානෙ නිරවුල් වුණා. කොහොම වුණත් ගුණසිරි මහත්තයගෙ මම කියවපු අනිත් පොත් වගේ සොරොව්ව පොත ප්‍රමාණවත් කාලයක් සැලසුම් කරල නෑ වගේ ගතියක් මට තේරුණේ. සුසන්තගේ චරිතය ගැන ඇතිවෙන බැඳීමට අමතරව පොත කියවන්න වාසියක් වෙන්නෙ ගුණසිරි මහතාගේ පහසු වාග් ශෛලිය විතරයි.

කාර්යාල කෝච්චියෙ යන මිනිස්සු ගැන මගේ ආකල්ප වෙනස් වෙමින් තියෙනවා. එහෙම වෙනස් වෙන්න කලින්ම අර වගේ කවියක් බ්ලොග් එකේ නොලියන්න මම තීරණය කළේ හැමෝටම අවස්ථාවක් අවශ්‍යයි කියන අදහස මට තියෙන නිසා. පුද්ගලික හෝ සංකල්පීය වෙනස්කම් මත මිනිස්සුන්ව කපල දාන එක මම නතර කරල නොසෑහෙන්න කාලයක් ගිහින්. හොරු, තක්කඩි වගේම ආගමික, ජෝතිෂ්‍යමය හැම මිනිහෙක් සම්බන්ධයෙන්ම අවසාන තීරණය මරණය විතරක්ය කියන එක තේරුම් අරගෙනත් සෑහෙන්න කාලෙකට පස්සෙයි එහෙම වුණේ. මිනිස්සුන්ව අයින් කරන එක ලස්සන චිත්‍රයක් හෝදල නිකංම නිකං කැන්වස්එක මතුකරගන්නව වගේ වැඩක්. ගහකොල කඳු වැටි කපල නිම්නවලට පුරවල ලෝකය පැතලි කරනව වගේ වැඩක්.

මේ වෙනසට බලපාපු තවත් එක සිදුවීමක් වුණේ දවසක් උදේ කෝචිචියෙ මිතුරු කණ්ඩායමක් සින්දු කියන්න ගත්තු එක. හැරෙන්නවත් බැරිවෙන්න තෙරපිල හිටපු මට ඒ කවුද කියලවත් දැනගන්න විධියක් තිබුණෙ නෑ. ඒක වුණේ කෝච්චි පෙට්ටියෙ අනිත් කෙලවරේ. මුලින්ම ඇහුනෙ ටී.එම්. ජයරත්නගෙ සින්දු ටිකක්. ලේසියෙන්ම පස් වෙනි වටය දක්වා යන්න පුළුවන් හඬවල් ටිකක් එතන තිබුණා. රත්මලාන පහුවෙද්දි ටී.එම්.ගෙන් ජෝතිට මාරු වුණේ තවත් සුන්දරම සින්දු පෝලිමක් එක්ක. මේ මිනිස්සු උදේ පහටවත් නැගිටිනව ඇති. හවසට ගෙදර යද්දි හය හතවත් වෙනව ඇති. අවදියෙන් ගෙදර ගත කරන පැය කීපයට අමතරව වින්දනයකට ඉඩක් තියෙන්නෙ කෝච්චියෙ මිතුරු හමුවෙ වෙන්නත් ඇති.

මම මේ ගැන හාමිනේට කිව්වම උන්දැ ඇහුවෙ ‘ඇයි ඉතිං ඔයා එතනට ගියෙ නැත්තෙ?‘ කියලයි. එහෙම අහනකල් මට ඒක කල්පනා වුණේ නෑ. යන්න විධියක් නොතිබුණත් උවමනාවක් තිබුණ නම් සෙනග මැදින් ගිහින් එතනට එකතුවෙන්න පුළුවන්කම තිබුණ නේද කියල මට හිතුණා. ඒත් උවමනාව විතරක් මදි. නොදන්න මිනිස්සු ටිකක් අතරට එකපාර එකතු වෙන්න ආත්ම විශ්වාසයත් ඕන.

සුසන්ත තියන්නෙ අතිශය ආත්ම විශ්වාසයක් සහිත පුද්ගලයෙක්. නමුත් ඔහු ඒ ආත්ම ශක්තිය භාවිතා කරන්නෙ නෑ. එහෙම කරන්න අවශ්‍යතාවයක් ඔහුට නෑ. එදිනෙදා ජීවිතේදි ආත්ම ශක්තිය මත මිනිස්සු තමන්ගෙ අවශ්‍යතාවයන් දිනාගනිද්දි සුසන්තට දිනාගන්න තරම් අවශ්‍යතා නෑ. සුසන්ත තමන්ගෙ ඉස්කෝලෙදි බංකු තුනක් එකතු කරල හදාගත්තු ඇඳක නිදාගන්න එක ගැන දුක් වෙන්නෙ නෑ. ඒක ඔහු ජීවත් වෙන විධිය. නමුත් පොත දිගහැරෙන්නෙ ඔහු තමන්ගෙ ආත්ම ශක්තිය භාවිතා කරල මිනිස්සුන්ගෙ විශ්වාසය දිනාගන්න අවස්ථාවල් එක්ක.

ඒ බව කියවද්දි මට මතක් වෙන්නෙ මගේ ජීවිතේ නුගේගොඩ නගරය වටේ ගැවසුන කාලය. එක පැත්තකින් බැඳුම් ලණු ලිහිල ගැලවිල තිබුණ පන් පැදුරුකුයි පෙරවන්න රෙද්දකුයි විතරක් එක්ක තට්ටු හතරක බිල්ඩිමක උඩම තට්ටුවෙ තුන් පැත්තකින් විවෘත ආලින්දයක මම නිදාගත්තු රාත්‍රීන් ගැන කිසිම දුකක් හෝ කණගාටුවක් මට නැහැ. ඒක ඒ කාලෙදි දැණුන ස්වභාවික ජීවිතයේ රසය විඳීමක් විතරක් වුණා. එහෙම නිදාගත්තු සමහර රාත්‍රීන්වල වහිනකොට ඒක දැණෙන්නෙ කකුල්වලට හිරිකඩ වැටෙද්දි. එතකොට බිත්තිය අයිනටම ගිහින් ගුළි වෙනවා. ඒව ජීවිත කාලෙම මතක තියෙන සුන්දර මතක. ජීවිතේ ඉදිරි කාලය ශක්තිමත් කරන්න පදනම් වුණ අත්දැකීම්.

කෝච්චියෙ ඒකමිතික ශබ්ද රටාව හිටිගමන් වෙනස්වෙන්නෙ පාලමක් උඩින් යද්දි. ආපහු ටිකකින් සුපුරුදු ශබ්දයම. ගුණසිරි ජයවර්ධන මහත්තයගෙ පොත් ලිවීමත් ඒ වගේ ඒකමිතිකයිද කියල මට හිතුණ. කියවපු පොත් තුනේම අඩු වැඩි වශයෙන් තියෙන ආකෘතිය ඔහු ලේඛණයට භාවිතා කරන සූත්‍රයක්ද කියල මට හිතෙනව. ඔහු චරිත කීපයක් සහ කතාවක් සහිත සැකිල්ලක් හදාගන්නව. කතාවේ ආරම්භය, ගලා යෑම සහ අවසානය සැකිලිගත කරනව. කතාව හැමවේලේම උත්තම පුරුෂයෙන් ලියවෙන හින්දා ඒ චරිතය වඩාත් ගැඹුරට සැලසුම් කරනව. අවශේෂ චරිත කීපයක් භාවිතා කරල ඔහුගෙ අවසානෙට ඍජුවම යන්න අපහසු විධියට කතාව විකෘති කරනව. චරිත තෝරගනිද්දි ඒ ඒ චරිත අතර සම්බන්ධයක් තිබීම හෝ නොතිබීම මත කතාවේ සිදුවීම් ගොඩනැගෙනව. ඉතින් අපි කියවන්නෙ විකෘති වුණ සාමාන්‍ය සරළ කතාවක්. කතාව තුල සිදුවීම් එකින් එකට මුහුණ දෙමින් අපි කරන්නෙ අර විකෘතීන් ටික ලිහාගන්න එක. ඒක කියවමින් අවසානය දක්වා යද්දි අදාල සම්බන්ධතා වටහාගැනීමත් එක්ක අපි පොතේ විකෘතීන් විසඳගන්නව. අන්තිමේදි අපිට කතාව ඉවර කරගන්න අවශ්‍ය වෙන විධියටම කතාව අවසාන වෙනවා.

ඒ ගැන ආයෙම හිතද්දි කල්පනා වුණේ කවුරුත් කරන්නෙ ඒ දේම නේද කියලයි.

මම පොත වහල බෑග් එකේ දාගත්තෙ පින්වත්ත ස්ටේෂම පහුවුණ බව දැණුන හින්දයි. සොරොව්ව ආයෙම වතාවක් මම මොනවද කරන්නෙ කියන එක ගැන සීරියස් වෙන්න අවස්ථාවක් දීල තියෙනවා. ඒ එක්කම එහෙම සීරියස් වෙන්න ඕනද කියන ප්‍රශ්ණෙත් ආයෙම එනවා. ජීවිතේට නිරපේක්ෂ තීරණ අවශ්‍යයි. ප්‍රතිපත්ති සහ මූලධර්මත් අවශ්‍යයි. නමුත් ජීවත් වෙනවා කියන්නෙ ඔය දෙක තුනම සහ තව තව ඒව ගොඩක් එක එක විධියට පාවිච්චි කරන්න වෙන අලකලංචියක්. මම බෑග් එකත් කරේ එල්ලගෙන සීට් එකෙන් නැගිට්ටා. සෙනග පොදියක් දොර ගාව පොදි කනවා බැහැගන්න. ඒ එක්කම වාද්දුව නැවතුමේ යකඩ කට බෙරිහන් දෙනවා.

‘පළවෙනි වේදිකාවට දැන් පැමිණි දුම්රිය ගාල්ල බලා ධාවනය වේ. මෙම දුම්රිය ගාල්ල දක්වා ඇති සෑම දුම්රිය ස්ථානයකම නවත්වනවා ඇත...‘


ආශ්‍රිත සටහන් -

පොත් 10 අභියෝගය සහ ඔත්තු

මා වඩාත් සසල කළේ මෙහි නිරූපිත මානුෂීය බැඳීම්

සොරොව්ව නැවත හදන්න!

Thursday, 28 February 2013

මටත් පිස්සු ඕයි!



පහුගිය දවසක පිස්සා මහතා ආයෙත් මට හම්බ වුණා. යාළු කොල්ලො කෙල්ලො කීප දෙනෙක් එක්ක පොඩියට සෙට් වුණ හැන්දෑවකදි පොර ආයෙමත් අපට බයිලයක් ගැහුවා. ඒ විධියටම නොවුණත්, ටිකක් අවුට් ඩේටඩ් වුණත් ඒක මෙන්න මෙහෙම ලියල දාන්න හිතුවා. ලියාගන්න උදව් කරපු අපේ ගෙදර උන්දැට මුලින්ම ස්තූතිය. මේක අම්බාණක් දිග නිසා කෑලිවලට කඩල කියවගන්ඩ වෙයි. ඒකට පහසු වෙන්ඩ ඕන්න පරිච්ඡේද වෙන් කරලම තියෙනවා.



  1. අනුන්ගෙ රෙදි සහ තමන්ගෙ රෙදි
  2. චංගුමී සහ ගුද රමණය
  3. ජෝතික්ෂය අනුව අහසින් ගල් වැටෙන තැන්
  4. සුපිරි අහම හෙවත් සුපර් ඊගෝ
  5. ඉතිරි නැතිව බෙදන්න
  6. ඇනුවල් එකමස්ථාන ට්‍රිප් එක
  7. සුපර් කොලිටි ජීවිතයක්
  8. හලාල් අමාත්‍යංශය
  9. වේදනා නොදී මැරූ ඌරු මස් හොදී





අනුන්ගෙ රෙදි සහ තමන්ගෙ රෙදි

සිංහලද මුස්ලිම්ද දෙමළද හොඳ? නෑ ඉතිං මම එහෙම කතාවක් කියන්නේ නෑ. හැම එකාම කාළකණ්නියෝ. ජාතිය කියන එක ගාව ගත්ත තැන දෙමළ ද සිංහල ද මුස්ලිම් ද මොකෙක්ද එහෙම වෙනසක් නෑ උන් ඔක්කොම කාළකණ්නියෝ. ජාතිය කියන එක ගාව ගත්ත ගමන්ම එතන අවුලක් තියනවා.

මිනිස්සු එක එක භාෂාව කතා කරනවා වෙන්න පුළුවන්. ඒක ඉතිං අපි ඉපදෙන රට, සංස්කෘතිය වගේ එවා එක්ක තියන එකක් නේ. නමුත් ඒක පදනම් කරගෙන මම හොඳයි අනිත් මනුස්සයා නරකයි කියාගෙන ඒව මේවා කරන එක නම් කිසි තේරුමක් නෑ. මම කියන්නේ නෑ මුස්ලිම් මිනිස්සු හරියි කියලා. එහෙම කියනවනම් ඒක අම්බානෙක වැරදියි. උන් හෙන කාළකණ්නි තක්කඩි. මොකද උන් හෙන බිස්නස් කාරයොනේ. උන් හෙන තක්කඩියි ඇත්තටම සිංහල මිනිස්සුන්ට වැඩිය. සිංහල උන්ට වැඩිය කපටියි. උන් කොහොම හරි උන්ගේ වැඩ කරගන්නවා.

සිංහල මිනිස්සු හැමදාම උන්ගේ ඒවට බැණ බැණ බොරුවට කෑගහනවා. අපි උන් කරනව වගේ දෙයක් කරන්නෙත් නෑ. වෙන මොනව හරි කරල දියුණු වෙන්නෙත් නෑ. මොකද අපි හැම තිස්සෙම අනිත් මනුස්සයාගේ රෙද්ද බල බල ඉන්නවා මිසක් අපි දියුණු වෙන වැඩක් කරන්නේ නැහැනේ. ඒක ඉතිං හැම දාම වෙච්ච කේස් එකනේ. ඕක තේරුම් ගත්ත කොටසක් ඉන්නවා. බහුතර සිංහලයෝ, මං කියන්නේ සිංහල බහුතර මිනිස්සු හැමදාම කරේ කවුරු හරි බූරුවෙක් කියන එකක් අහගෙන ඌට වැඳගෙන ඇන්දිලා ඉන්න එක. අන්තිමට උන් ඇවිල්ලා අපිට පස්ස පැත්තට ඇරලා යනවා අපි දන්නෙත් නෑ. ඒකනේ හැම දාම උනේ නේ? ඕගොල්ලෝ ගියපාරත් අර හෙළ උරුමෙ කිය කිය නැටුවනේ. අන්තිමට ගහපු පදේකුත් නෑ, නටපු නැටුමකුත් නෑ, බෙරේ පලුවකුත් නෑ, මොකුත් නෑ. උන් ශේප් එකේ ඇතුලට ගියා. පස්සෙ ඇතුලේ හිටපු ලොක්කෝ ටිකක් මන්ත්‍රීලා ඇමතිලා උනා.



චංගුමී සහ ගුද රමණය

දැන් ඉතිං මිනිස්සු ආතල් එකේ ඉන්නවා අර කලින් විදියටම. උන් එන්න කලිනුත් ඒ වගේ. දැන් ඉන්නෙ ඊටත් අන්ත විදියට. උන් ඉතිං මළ උරුමේ කියලා අර මගුල ඇතුලට ගියාට මොකද කරේ? කරපු මගුලක් නෑනේ අන්තිමට. බොරුවට කෑ ගැහුවා. ඡන්දේ දුන්නා තියලා හිටු කියලා. පස්සෙ දුන්නා අම්මට සිරි අපි වෙනුවෙන් අපි අරවා මේවා කියලා. දැන් මොකද වෙලා තියෙන්නේ? දැන් කතාවක් නෑ. දැන් චංගුමී බලනවා කට්ටිය. දැන් අර, ඒවා නෑ. අපිට ඒවා ඕනේ නෑ. අපිට පඩි ඕනෙත් නෑ. ජීවිතේ කොලිටියක් ඕනත් නෑ. රට දියුණු වෙන්න ඕනෙත් නෑ. දියුණුව කියලා පෙන්නුවම ඇති. මොකක්ද ඉතිං දියුණුව නේ? ඔක්කොම ඉතිං යනවා යනවා යනවා අපිට පෙනි පෙනි කොච්චර නාස්ති කරනවාද මිනිස්සු නේ?

දැන් ඊයේ පෙරේදා කියනවා තෙල් බාර ඇමති, උගේ පළවෙනි උත්සවේට කෝටියක් පැනලලු වියදම. අළුතෙන් පේන්ට් ගාලා මල් පෝච්චි ගෙනත් දාලා ඒ මිනිස්සුන්ට වැඩ කරනවාට දවස් හතරක ඕටී දීලා. ඔක්කොම බැලුවම කෝටිය පැනලලු වියදම. ඒ උනාට ඒකේ අර මිනිස්සු යන ටොයිලට් වල හෙන ජරාවලු. කැඩිලලු අරවා මේවා වෙලාලු. උත්සවේට අච්චර වියදම් කරනවා අර වගේ එකක් හදන්න අමාරු ඇති. ඇස් පනා පිට පේනවා. අපි ඒවා ගණන් ගන්නේ නෑ. මොකද ඒවා ප්‍රශ්ණ විදියට අපිට තේරෙන්නේ නැහැ නේ. අපිට තියෙන රියල් ප්‍රශ්ණේ වෙනුවට මේ වෙන ප්‍රශ්ණ ටිකක් එහෙං මෙහෙං අපේ ඔළු වලට එහෙන් මෙහෙන් දානවා. චංගුමී එනවා. ඔය ටීවී එකේ කතා බලන එක නම් මෙලෝ රහක් නැති වැඩක්. ඊට වඩා හොදයි පත්තරයක් බලනවා. බැළුවත් වැඩක් නෑ විචාර බුද්ධියක් කියල එකක් නෑනේ අපිට. මැටි කරලානේ තියෙන්නේ අපිව. ඒ කියන්නේ අපි දෙයක් කියවලා ඒක එහෙම වෙන්නේ ඇයි කියලා හිතන්නේ නෑ. ඒ මැටි කම හින්දම තමයි අර අපිට දවස් හතෙන් මතක නෑ කියලා ප්‍රභාකරන් කිව්වේ.

ඒක ඉතිං ඇත්තනේ කතාව නේ? අපිට මතක නැහැනේ අපි ඉතිහාසේ හිටපු විදිය. ඒවා මොකුත් මතක නෑ. ඉස්සර කාලේ වීරයා දැන් හතුරා. එහෙමනේ වෙන්නේ. ඉස්සර කරුණා කියන්නේ හතුරෙක්. ඒත් දැන් මිතුරෙක් ඇයි ආණ්ඩුවට හේත්තු උනානේ. ඒක හින්දා ඌ මිනිස්සු මැරුවේ නෑ. ඌ සිංහල මිනිස්සු මැරුවෙත් නෑ. දෙමළ මිනිස්සු මැරුවෙත් නෑ. මුස්ලිම් මිනිස්සු මැරුවෙත් නෑ. ඌ දැන් සිරා ඩයල් එකක්. ඌ හෙන පොරක්. අපිට හැමදාම වෙන්නේ ඕක තමයි. අන්තිමට ඔය කියන උන් ඇවිල්ලා අපිට ඇරලා යනවා. අපි උඩ බලන් ඉන්නවා හැමදාම . අපි ඉතිං ඊට පස්සේ තව කවුරු හරි එකෙක් හොයාගෙන ඌ කියන එකක් අහගෙන ආ.. එහෙයි එහෙයි ඔව් ඔව් ඒක තමයි ඇත්ත කිය කිය වඳිනවා. මං අද කියන්නං 2016 ආයේ ඡන්දයක් එනවා. සමහර විට ඊට කලින් එයි. ඔය ඔයාලගෙ සේනාව ඡන්දේ ඉල්ලා ඇතුලට ගිහිල්ලා ඕගොල්ලන්ට... මට ඉතිං හරි වචනෙම කියන්න හිතෙනවා... ඕගොල්ලන්ට පුකේ ඇරියේ නැත්තං බලන්න. අපි දන්නෑ. ඕගොල්ලෝ ඉතිං එදාටත් චංගුමී බල බල ඉඳියි.



ජෝතික්ෂය අනුව අහසින් ගල් වැටෙන තැන්

නිකං හිතන්න මේ ඊයේ පෙරේදා මාස කීපයක් ඇතුලත කොච්චර දේවල් වුණාද නේ? එක එක දේවල් වෙනවානේ. එළි එනවා. ඒලියන්ස්ල පේනවා. ලෝක විනාසේ එනවා. කාලයක් තිස්සේ අපිට කතා කරන්න දේවල් තිබ්බනේ. ඒ අස්සේ අරගොල්ලෝ එක එක දේවල් ගත්තා. ඒගොල්ලන්ගේ දීමනා හදා ගත්තා. අරවා මේවා එක එක දේවල් කර ගත්තා. ඊට පස්සේ කාලයක් එළි පේනවා කට්ටියට. දැන් කාටවත් එ‍ළි පෙන්නේ නෑ. දැන් අහසින් එක එක දේවල් වැටෙනවා. ඒක තමයි අළුත්ම ට්‍රෙන්ඩ් එක. දැන් ඔය කොහෙන්ද නුවර කිට්ටුවට වැටිලා. මේක ඉතිං හරියටම කියන්න බෑ. ඒ උනාට අපි සාමාන්‍යයෙන් දන්නවා වැලිගොඩකට උඩ ඉදන් මොනා හරි වැටුනම එතන වලක් හැදෙනවා කියන එක. එහෙම වෙනවනෙ නේ? ලොකූ ගල් කුට්ටියක් සාමාන්‍ය මට්ටමෙන් පස් ගොඩකට අතඇරියමත් එතන සාමාන්‍ය වලක් හැදෙනවා කියන එක දන්නවනෙ නේ? නමුත් ඔය අරෙහෙට මෙහෙට වැටිලා තියෙන ඒවා පොළව උඩ තියෙනවා පොළොව නිකං ෆ්ලැටේ ෆ්ලැට්. හෙණ ලොකු කුට්ටි තියෙන්නේ. ඒවා වැටුනා කියලා කිසි සළකුණක් නෑ. තණකොළ ගොඩ උඩින් නිකං ලස්සනට ගෙනත් තියලා වගේ. ඔය සමහරක් ඒවා මට නම් දැක්ක ගමන්ම හිනා ගියා.

දිරපු ගල් තියනවා. එක එක ඔය වතුර ගලන තැන් වලින් එහෙම කාලයක් තිස්සේ අස්සෙන් එහෙන් මෙහෙන් වතුර ගිහින් දිරලා, මැදිලා ඒ ගල් වල අමුතු රටාවල් හැදිලා තියෙන්නේ. ඔය ගලක් ඉතිං වෙන කොහෙන් හරි ගෙනිහිල්ලා අරහේ කොහේ හරි ගිහිං තිබ්බයින් පස්සේ ඒ පැතිවල ඒ වගේ ගල් දැකලා නෑ මිනිස්සු. මොකද ඒවා ඒ පැතිවල නෑ. ඒවා තියෙන්නේ උඩින් වතුර වැටෙන දිය ඇළි වගේ තියෙන පැතිවල. එහෙම තැනක හැදෙන්න පුළුවන් ඒ ගල් කාලයක් තිස්සේ. අපිට කියන්න බෑ කොහේ හැදෙන ඒවාද කියලා. නමුත් කොහේ හරි තියෙන එකක් වෙන පළාතක හාත් පසින් තියෙන්නේ නැති වෙන්න පුළුවන්. ඉතිං එතෙන්ට ඒ ගල ගෙනිච්චට පස්සේ අම්මට සිරි ඒ පැත්ත පලාතක මිනිස්සු ඒ වගේ ඒ පාට ගලක් දැකලා නෑ. ලංකාවේ අපි කොච්චර පැති වලද ගිහින් තියෙන්නේ? ඔය ලංකාවේ හැම අඟලක්ම ආවරණය කරන එකක් ජීවිතේට කරන්න බැහැනේ. ඉතිං කොහේ හරි තියෙන එකක් මෙතන පෙන්නපු ගමන් අප්පට සිරි මේක අහසින් වැටිච්ච එකක් කියලා ඔන්න පත්තු වෙනවා. ටිවි එකේ යනවා. මිනිස්සු බලනවා. උන්ටත් එක එක ඒවා පේන්න ගන්නවා ඊට පස්සේ. ඇයි ඉතිං මේක මරු වැඩේ නේ. ඒක තමයි පහුගිය දවස් වලත් උනේ. දැන් ඉතිං ඔය දැකපු එළි එකක්වත් පැහැදිලි වෙලා තියනවාද? මම ඉස්සරත් කිව්වේ ඔය කියපු මිනිස්සුන්ට නඩු දාන්න ඕනේ. ඇයි මිනිස්සුනව නොමග යවනවට. ඔය බොරු කියලා. එතකොට ඔය ලෝක විනාසේ කියලා පම්පෝරි ගහපු අයියලා ජ්‍යෝතිශ්‍යකාරයෝ. උන්ට නීතිමය පියවර ගන්න ඕන. ඕගොල්ලෝ තාමත් ඕවා බලනවානේ. තාමත් විශ්වාස කරනවා. ඔය ලොකු කප් ගහපු උන් තමා කිව්වේ. උන් කියන ඒවා තාමත් පත්තර අරන් බලනවා කට්ටිය.



සුපිරි අහම හෙවත් සුපර් ඊගෝ

දැන් අපි කිව්වේ මුස්ලිම් මිනිස්සුන්ගේ කතන්දරේනේ. මම නම් කියන්නේ ඉතිං ඔගොල්ලොත් ඔහොම ගිහින් අන්තිමේදි වෙන්නේ ඒ මිනිස්සු වෙලා නතර වෙන එක. ඔතන ඉතිං පොඩි ඊරිසියාවක් වගේනේ තියෙන්නේ ඕකෙ ඇත්තටම. ඒ මිනිස්සු ඒ ගන්න සල්ලි වලින් ඒගොල්ලන්ගේ පවුල් පෝෂණය කරනවා. මොකක් හරි සංවිධානෙකින් ඒ ගොල්ලන්ගේ ජාතිය පෝෂණය කරනවා. මම කියන්නේ ඉතිං ඒ වගේ ජාතික ව්‍යාපාර ඕනනෙ අනේ. ඕනෙම රටක තියෙන්න ඕනේ ඒ වගේ ව්‍යාපරයක්. ඒගොල්ලෝ නිකං රාජ්‍ය නොවන සංවිධානයක් වගේ. එහෙම හිතන්න ඉතිං. එකම වෙනස ඒක එක ආගමක්. ඒගොල්ලන්ගේ යම් ප්‍රතිපත්ති විදියකට ඒක කරනවා. යම් යම් විදි වලින් අරමුදල් රැස් කරලා ඒගොල්ලන්ගේ මිනිස්සු අතරේ ඒ මුදල් බෙදා දෙනෙවා. ඒක ඉතිං හොඳ දියුණු හොඳ සමාජයක ලක්ෂණයක්නේ. ඒ සිස්ටම් එක හොඳයි මම කියන්නේ. සිංහල මිනිස්සු අතරේ එහෙම ක්‍රමයක් තියනවද? ඒ කරොත් එහෙම ඒ සල්ලි එකතු කරන එකා හොරා කනවා. ඕකනේ වෙලා තියෙන්නේ. ඉස්සෙල්ලා ඒවා හැදෙන්නේ නැතුව බොරුවට වෙන මිනිස්සු ටිකක් ඒගොල්ලන්ගේ එක හදාගන්න එකට අපිට මොකුත් කියන්න බෑ. ඒ කතා කරන එක තනිකර ඊරිසියාව සම්බන්ධ දෙයක්.

අපිට නැති ආතල් එකක් අනිත් මිනිස්සු ගන්නවා කියලා අපිට අර හිතෙන්නේ. හැම තිස්සෙම අල්ලපු ගෙදර මනුස්සයා මොනාද ගන්නේ? බලන්න මෙයාට සල්ලි තියනවා. මෙයාට වාහනයක් තියෙනවා. අරවා ගන්නවා මේවා ගන්නවා. මට මොකුත් නෑ. අපිට අර ඊරිසියාවක් හිතෙන්නේ. ඕකම තමයි ඔතනත් තියෙන්නේ. අනික ඔය ජාතිවාදය කියන එක දාන්නේ හෙන පරාජිත මිනිස්සු. දියුණු මිනිස්සු ඔය ජාතිවාදේ කියන එක මහා ලොකුවට ගණන් ගන්නේ නෑ. ඒ මිනිස්සු ශිෂ්ඨ මිනිස්සු. අපි ශිෂ්ඨ මිනිස්සු කියලා කියන්නේ එහෙම අයට. ශිෂ්ඨාචාරගත වෙනව කියන්නේ මිනිස්සු වනචාරී බවෙන් මිදිලා ටික ටික ශිෂ්ඨ වෙනවා කියන එකනේ. ඉතිං ඒ ශිෂ්ඨත්වය තනිකර අපේ මොළේ, බුද්ධියත් එක්ක ගණුදෙණු කරන එකක්. මම කියන්නෙ මුස්ලිම් මිනිහ ශිෂ්ඨයි සිංහලය වනචාරියි කියල නෙවෙයි. උන් දෙගොල්ලොටම මේක පොදුයි. උන් දොගොල්ලොම පට්ට අශිෂ්ඨයි. මුලින්ම කිව්වෙ ජාතිය කියන එක එද්දිම එතන අවුලක් තියෙනව කියලා ඒකයි.



ඉතිරි නැතිව බෙදන්න

ශිෂ්ඨ මනුස්සයෙක් කියන්නේ දියුණු මනුස්සයෙක්. එයාට භාෂාවක් තියනවා කතා කරන්න. එයා භාෂාවක් ඔස්සේ අදහස් සන්නිවේදනය කරනවා. කතා කරනවා. මිනිස්සුන්ව තේරුම් ගන්නවා. ඒ මනුස්සයාගේ තියෙන සංස්කෘතික වෙනස් කම් ඇතුලේ ලස්සනක් තියෙනවා. ඒ මනුස්සයෙක් මුස්ලිම් වෙලා ඉන්නවා වගේ මම සිංහල හෝ වෙන මොකෙක් හරි වෙලා ඉන්නවා එක ඇතුලේ සුන්දරත්වයක් තියෙනවා.මට ආවේනික ලක්ෂණ ටිකක් තියෙනවා. මම කතා කරන විදියක් තියෙනවා. මම කතා කරන භාෂාවේ වචන ටිකක් තියෙනවා. ඒ වචන වලින් මම දේවල් කියන විදියක් තියෙනවා. ඊට අමතරව සංස්කෘතියේ මට වෙනස් වෙනස් දේවල් ටිකක් තියෙනවා. ඒගොල්ලන්ගේ උත්සව තියෙනවා. අපේ උත්සව තියෙනවා ඒවා ඇතුලේ ඒ සුන්දරත්වය, ලස්සන, සංස්කෘතිකමය දේවල් තියෙන එක නිසා තමයි මේ සමාජයක් කියලා දෙයක් තියෙන්නේ පොදුවේ. එහෙම නැත්තං හෙන බෝරින් නේ? ඇයි නිවාඩු? ඒගොල්ලෝ හින්දා අපිට අවුරුද්දකට නිවාඩු කොච්චරක් එනවාද? ඒගොල්ලන්ට අපි හින්දා කොච්චර නිවාඩු හම්බ වෙනවාද? මං කියන්නේ එක දෙයක් විතරයි. ඉතිං එහෙම දේවල් තියෙනවා. ඒවා අපි අගය කරන්නේ නැතුව, ඒවා රස විඳින්නේ නැතුව ආ... මුං වැඩක් නෑ... මුංට ගහන්න ඕනේ... මේවා හරියන්නේ නෑ... ඉතිං ඔහොම කරන්න ගියොත් අපිට කෙලවරක් නෑ.

ඔය බෙදිල්ලේ කෙලවර කියන්න? දැන් ඉස්සර අපිට ප්‍රභාකරන් හිටියා ගහගන්න. ගහලා ගහලා ගහලා ඒ මිනිහව මරලා දැම්මා. දැන් හරි! දැන් අපිට ඒත් ඉන්න බෑ. දැන් අපිට කවුරු හරිම ඕනේ. අර හරියට කතා කර කර ඉන්න කවුරු හරි ඕනේ වගේ කවුරු හරි ඕනේ ගහ ගහ ඉන්න. දැන් ඕන්න අල්ල ගත්ත මුස්ලිම් මනුස්සයා. දැන් උන්ටත් ගහලා ගහලා එයාවත් ඉවර කරලා දානවා. මේක සිංහලයගෙම වැරැද්දක් කියනව නෙවෙයි. ආගම, ජාතිය කියන සංකල්ප මිනිස්සුන්ව වෙන් කරගන්න තියෙන මල විකාර විධියට තේරුම් අරගෙන තියෙන එක තමයි කාගෙත් ප්‍රශ්ණෙ.

මේ කතා කියනකොට ඕගොල්ලන්ට මාව මරන්න හිතෙනව ඇති. මූ මුස්ලිම් මිනිහගෙ පැත්ත අරන් කියල හිතෙනව ඇති. එහෙම එකක් නෑ. මේ කියන ටික උන්ටත් අදාලයි. දැන් මෙතන ඉන්නෙ සිංහල මිනිස්සු නිසයි මේක කියන්නෙ. මේ යන විධියට ගිහින් ආයෙත් රටේ මිනිස්සුන්ගෙ ලේ හැලෙන මට්ටමකට ආවොත් ඒ වැරැද්දට අහුවෙන්න එපා කියන පණිවිඩේ විතරයි මට දෙන්න ඕන.

අපි හිතමු එහෙම කලා කියලා. මුස්ලිම් මිනිස්සුන්ව පන්නලා දැම්මා. දැන් උනුත් නෑ. හැබැයි දැන් ඊළඟට ක්‍රිස්තියානි කාරයො ඉන්නවා. උනුත් වෙන ආගමකනේ. ඊටපස්සෙත් ආයේ ඕක රිපීට් වෙන්නේ නැද්ද. ඊට පස්සේ ඕගොල්ලෝ ඔය හිතන් ඉන්නවා වගේ හෙන සාමකාමී හෙන ආඪ්‍ය වෙච්ච ආශ්චර්යය එයි කියලා.. හෙහ්..!!



ඇනුවල් එකමස්ථාන ට්‍රිප් එක

දැන් ආශ්චර්යේ ලණුව කෑවනේ එක පාරක් නේ? ඒ ලණුව අපට මතක කාලේ එක පාරයි කෑවේ. ඒත් ඇත්තට ඉස්සර ඉඳන්ම කාපු ලණුවක් ඒක. ඒ උනාට අපට මතක ඉතිහාසේ තියෙන්නේ උපරිම අවුරුදු 20ක් 30ක් විතරනේ. ඊට එහා මතකේ ඉන් ඩීටේල් නැහැනේ. අවුරුදු 30ක මතකෙනුත් අපිට කොච්චරද හරියට මතක? බොහොම පොඩ්ඩයිනේ. ඉතිං මේ දන්න කාලේ තියන දේවල් වලින් අපි හිතන්නේ නැතුව මහා පරිමාණෙන් හිතලා වැඩක් නෑ. මතක කාලෙ වෙලා තියෙන දේවල් දැක්කම හොඳට තේරෙනවා වෙන්නේ මොකක්ද කියලා ඕන මනුස්සයෙක්ට. අපි හැම තිස්සෙම ඇන්දෙනවා ගොනාට වගේ. කවුරු හරි කියන දෙයක් විශ්වාස කරගෙන අපි ඇත්ත ප්‍රශ්නේ අමතක කරලා බොරු ප්‍රශ්ණ ටිකක් ඔළුවට දාගෙන දුක් විඳිනවා.

අපේ ඇත්ත ප්‍රශ්නේ ඕක නෙවෙයි. අපි කාගෙත් ඇත්ත ප්‍රශ්නෙ ජීවත් වෙන ප්‍රශ්ණේ. කොහොමද ජීවත් වෙන්නේ. කොහොමද අපි ජීවත් වෙන ක්‍රමේ ලස්සන කරගන්නේ? මිනිහෙක් දියුණු වෙනවා කියන්නේ අර අපි සාමාන්‍යයෙන් කියන්නෙ ආඪ්‍ය වෙච්ච ජීවිතයක් ගත කරන්න පුළුවන් තත්වෙකට එනවා කියලා. අන්න ඒකනේ. වැඩිපුර වැඩ කරන්න ඕනේ නෑ. වැඩ කරන්නෙ ප්‍රමාණවත් ගාණකට. එහෙමනේ අපි කියන්නේ. වැඩිපුර අපි ආදරේ කරන මිනිස්සුත් එක්ක ඉන්න පුළුවන්. ළමයි එක්ක ඉන්න පුළුවන් අම්මලා තාත්තලා එක්ක ඉන්න පුළුවන්. අපිට යාළුවෝ එක්ක ට්‍රිප් එකක් යන්න පුළුවන්. අපට විවේකයක් හදා ගන්න පුළුවන්කමක් ලැබෙනවා. ඒකට සල්ලි ටිකක් ඉතිරි කරගන්න එකත් අමාරු වැඩක් නෙවෙයි. ජීවිතේ දැනට වඩා එන්ජෝයි කරන්න පුළුවන්. දැන් අපි ගෙවන ජීවිත එහෙමද? විනෝදය කියන්නේ මොකක්ද? විනෝදය කියලා ඔයාලා දන්නේ රෑට ගිහිං චංගුමී බලන එක. අර කතා ටික බලන එක ඒක තමයි විනෝදේ. මිනිස්සුන්ට කොච්චර දේවල් කරන්න පුළුවන්ද?

මිනිස්සුන්ට කරන්න කොච්චර දේවල් තියෙනවාද? ෆිල්ම් බලන්න යනවා. මිනිස්සු ට්‍රිප් යනවා. ට්‍රිප් කියන්නේ එසේ මෙසේ ට්‍රිප් නෙවෙයිනේ මිනිස්සු යන්නේ. ලොකු ට්‍රිප් යනවා. රට වටේ යනවා. එහෙම යන්න පුළුවන්නෙ නේ අපිට? අඩු තරමේ අවුරුද්දකට ට්‍රිප් දෙකක් යන්න පුළුවන්. නමුත් ගිහින් තියෙනවාද එහෙම? ඕගොල්ලෝ ට්‍රිප් ගියත් කරන්නේ කොළඹ හරි නුවර හරි ගිහින් ඔය ශොපින් කරලා එන එක. කතරගම හැම අවුරුද්දෙම යනවා. සිරිපාදෙ යනවා. ඕව තමයි ට්‍රිප්. ඊට වැඩිය දේවල් තියෙනවා. අපි පුංචි කාලේ කොච්චර දේවල් කරාද? අපි ස්වභාවික පරිසරයත් එක්ක කොච්චර ගැවසුනාද? ලංකාවේ කොච්චර තැන් තියනවාද බලන්න යන්න? අපි හැමදාම එක්කෝ අනුරාධපුරේ යයි එක්කෝ පොළොන්නරුවේ යයි. ඊට වැඩිය කොච්චර තැන් තියෙනවාද ? මම ගිහිල්ලත් නෑ. මේ මල ඉලව් කියෙව්වට මම ඕගොල්ලගෙන් වැඩි වෙනසක් නෑ. නමුත් මගේ අදහස තියෙන්නේ එහෙම යන්න ඕන කියලා. අඩු තරමේ එහෙම විවේකයක් හදා ගන්න ඕන කියලා. අඩු තරමේ අවුරුද්දට තුන් පාරක් කොහේ හරි යන්න ඕන කියලා. ගෙදර මිනිස්සු එක්ක නැත්තං යාළුවෝ ටිකක් එක්ක.



සුපර් කොලිටි ජීවිතයක්

මම හිතන්නේ නෑ එහෙම ගොඩක් මිනිස්සුන්ගේ ජීවිත වල තියෙනවා කියලා. පවුල් පිටින් යන ට්‍රිප් බොහොම කලාතුරකින්නේ තියෙන්නේ නේ? ඉතිං අපිට එහෙම තත්වෙකට එන්න පුළුවන්. යන එක ප්‍රශ්ණයක් නොවෙන්න. ඒ ගියායින් පස්සේ ඔෆිස් එකෙන් කෝල් කරලා අරක තියෙනවාද මේක තියෙනවාද කෝ මේක ඇයි කරලා නැත්තේ? යතුර තියලා ගියේ නැද්ද? ඔහොම අහනවා නම් ඒකේ වැඩක් නැහැනේ නේ? ඉතිං අපිට එහෙම ක්‍රමේකට යන්න පුළුවන්. ඒක තමයි එක විධියකට ශිෂ්ඨත්වය කියන්නේ. මිනිස්සු දියුණු වෙනවා. මිනිස්සුන්ට හොඳට කෑම බීම තියෙනවා. පෙරේතකමට පිරෙන්න කනවා නෙවෙයි. කන්න බොන්න තියෙනවා ප්‍රමාණවත් විදියට. මිනිස්සුන්ට දුක් විඳින්න දෙයක් නෑ. ට්‍රිප් එකක් යන්න තමන්ගේ වාහනයක් තියෙනවා. ඒ කියන්නෙ සාමාන්‍යයෙන් අවුලක් නැතිව අනිත් මිනිහ ගැන ප්‍රශ්ණයක් නැතිව හැමෝටම වැඩ කරන්න වගේම විනෝදෙන් ඉන්න අවස්ථාවක් තියෙනවා. මම කියන්නෙ එහෙම තත්වයක්!

දැන් අපි ගත්තොත් මේක බෙදිලා අවුලක් වෙලානේ තියෙන්නේ. එක කොටසකට තියෙන ඔක්කොම ටික තියෙනවා. උන්ට වැඩියත් එක්ක තියෙනවා. උන් එවාගෙන් පිස්සු කෙලිනවා අම්බානෙකට. කාර් රේස් යනවා. තව කොටසක් ඉන්නවා ඇති මගුලක් ඇත්තෙම නෑ. වැඩිය ඕනේ නෑ අපිවම ගන්න. මෙතන ඔය වෙනස ඇයි වෙලා තියෙන්නේ නේ? ඔය වෙනස වෙලා තියෙන්නේ අපි හැමදාම ඇන්දෙන හින්දා. අපි කවදාවත් ඇත්ත ප්‍රශ්ණේ තේරුම් ගන්නේ නෑ. අපිට තියන ප්‍රශ්ණ අපි තේරුම් ගන්නේ නෑ. ඒක නිසා හැමදාම වෙන්නේ ලොකු මිනිස්සු ටිකක් එකතු වෙලා නැති මනුස්සයව පාගලා දාන එක. මම කියන්නේ නෑ අද ඊයෙ වුණා කියල. ඕක හෙන කාලෙක ඉඳන් ලෝකේ පුරාම එහෙමයි. ඒක යම් තරමකට තියෙන්නත් ඕන කියල මට හිතෙනවා. ඕකට අපි කියන්නේ 80-20 තියරිය කියලා. දැන් නම් ඒක වෙනස් වෙලා 90-10 තියරි කියලා එකක් වෙලා තියෙන්නේ. ඒ කියන්නේ එක රටක මිනිස්සු ප්‍රතිශතයෙන් 90%ක් අතේ 10%ක සල්ලි ප්‍රමාණයක් විතරයි තියෙන්නේ. සල්ලි වලින් 90%ක් තියෙන්නේ මිනිස්සුන්ගෙන් 10%ක් අතේ. සල්ලි වලින් සීයට දහයක් තමයි 90%ක් මිනිස්සු අතරේ බෙදිලා තියෙන්නේ. දැන් ඕකනේ වෙලා තියෙන්නේ. එක කොටසක් ඉන්නවා ඒගොල්ලන්ට තියෙනවා සල්ලි ඕන තරම් තියෙනවා. තව හෙන ගොඩක් මිනිස්සු ඉන්නවා ඒගොල්ලන්ට චුට්ට චුට්ට සල්ලි තියෙන්නේ. ඒක එහෙම වෙන එක අවුල්නේ. ඒක එහෙම වෙලා තියෙන්නේ ඇයි? අපි ඒ ප්‍රශ්ණ වෙනුවෙන් කතා කරන්නේ නැති හින්දා. එහෙම්මම කියන්නත් බෑ එක අතකට. වැඩ කරන මිනිස්සු, සල්ලි හොයන්න උවමනා මිනිස්සු අර 90% ගොඩේ ඉඳන් 10% ගොඩට යනවා. වැඩ නොකරන කම්මැලියොත් මේකෙන් වාසි ගන්න යයි අන්තිමට.



හලාල් අමාත්‍යංශය

මෙහෙම දේවල් ගැන කතා කරද්දි එහෙම ඇත්තටම කරන්න පුළුවන්ද කියලත් සැක හිතෙනව. මොකද අපි කවදාවත් එහෙම ආර්ථික පරිසරයක ජීවත් වෙලා නෑ. ඒක එක පාර වෙන්නෙත් නෑ. වුණත් එක ස්ථාවරයක තියෙන එකකුත් නෑ. කොහොම නමුත් ඇත්ත ප්‍රශ්ණෙ තේරෙණකල්, ඒක ගණන් නොගන්න කල් බහුතරයකට හැමදාම කම්මුලේ අත ගහගෙනයි ඉන්න වෙන්නේ. මමත් එහෙම තමයි. මම ඕගොල්ලන්ගෙන්, අනිත් මිනිස්සුන්ගෙන් ගැලවිලා කියනවා නෙවෙයි. නමුත් මම කතා කරනවා ඒක ගැන. මිනිස්සුන්ට ඒ ගැන කියලා දෙනවා. උඹලා මෙහෙම කරොත් එහෙම මෙහෙම වෙනවා කියලා. කතා කර කර ඉඳලත් හරි යන්නෙ නෑ හැබැයි. නමුත් ප්‍රශ්ණ ගැන අවබෝධයක් තියෙන සමාජයක් ඒ ප්‍රශ්ණ වලට සංවේදී මිනිස්සුන්ව පාලකයො විධියට පත් කර ගනියි.

දැං එතකොට හලාල්! දැන් ඔතන තියෙන්නෙත් ඕකෙම වෙන ප්‍රශ්ණයක් විතරයි. මොකද මෙච්චර දවසක් කිසි ප්‍රශ්ණයක් නැතුව ඕගොල්ලෝ හලාල් කෑවා නම් දැන් මොකද මේ කලබල වෙලා? හලාල් කියන්නේ එක විධියකට වලංගුයි කියන එක. ඒ කියන්නේ ඒක කෑමට සුදුසුයි කියන එක. ඒ අදහසම හෙන මොංගල් එකක් තමයි. නමුත් කෑමක් හදන කොලිටි එක ගැන ගත්තම හලාල් කන එක හලාල් නැති ඒවා කනවට වැඩිය ආරක්ෂා සහගතයි. මොකද ඒවා හදන්නේ මොනයම් හෝ ආගමකින් වලංගු ක්‍රමයකට. මොන ආගමකවත් උනත් ඒවා වැරදියට හදන්නේ නැහැ නේ. ඉස්ලාම් ආගම කියලා ඒවා ඒගොල්ලෝ මිනිස්සුන්ට අජීර්ණ වෙන විදියට හදන්නේ නැහැනේ නේ? එගොල්ලෝ හලාල් කියලා ඒකට වස දාන්නේ නැහැ නේ. ඒගොල්ලෝ යම් තත්වයක් බලාපොරොත්තු වෙනවා. මේවා හදනකොට මේවා තියෙන්න බෑ. මේවා මේ විදියට මේ කොලිටීස් වලින් තියෙන්න ඕනේ. ඒ වගේ තියරි ටිකක් තමයි ඒවායින් බලන්නේ. ඇත්තට ඒක රජයකින් කරන්න ඕන වැඩක්. මම කියන්නෙ හලාල් ගහන එක නෙවෙයි. ඒ තත්ත්වෙ නිෂ්පාදනවල තියාගන්න එක චෙක් කරන එක. එහෙම වුණොත් ඒකට වෙන අමාත්‍යංශ පිහිටුවලා ඇමතිලා පත් කරලා තව ටිකක් මණ්ඩලේ වැඩි කර ගනියි අපේ අයියලා.

ආගමික අර්ථයෙන් හලාල් කියන්නෙ මෙලෝ වැඩක් නැති අදහසක්. මුස්ලිම් මිනිස්සු ඌරව නොකා අනිත් සත්තු කනව වගේම බූරු අදහසක්. ඒ ගැන ඕගොල්ලෝ එක එක පැති වලින් අහපුවනේ කියන්නේ. මමත් අහපුව තමයි කියන්නේ හැබැයි හොයලා බලලා කීප දෙනෙක්ගෙන් අහලා. මොකද මේ එක්කෙනෙක්ගෙන් දෙන්නෙක්ගෙන් අහපුවම කියන්නේ ඒගොල්ලෝ හිතන් ඉනන් ඒවනේ. මමත් දැන් කියන්නේ මම කියවපු දෙයක් නේ. මටත් තාම කවුරුවත් හරි ඩෙෆිනිෂන් එකක් දීලා නෑ හලාල් යනු මේකයි කියලා. මුස්ලිම් මිනිහෙක්ගෙන් ඇහුවොත් ඌත් ෂුවර් දන්නෙ නෑ. උං දන්නෙ පොතේ තියෙනවා අපිත් කරනවා කියන්න විතරයි. අර දෙන දේ කාල වෙන දේ බලාගෙන ඉන්න හොඳම මොඩල් එකේ කට්ටියනෙ ඒ අය. ප්‍රශ්ණ කිරීම් නෑ. හරියට අපි වගේම තමයි නේද?



වේදනා නොදී මැරූ ඌරු මස් හොදී

මේ ගැන වඩා විශ්වාසනීය මනුස්සයෙක් මට කියපු විධියට හලාල් කියන්නේ ඕනෙම දේකදි ඒකේ වලංගු කම චෙක් කරන එක විදියක් SLS වගේ එකක් කියලා. SLS වල වෙන වෙන තියරි ටිකක් බලන්නේ. මේකේ බලන්නේ වෙන තියරි ටිකක්. කෑම සම්බන්ධයෙන් ගත්තොත් ඒක කෑමට සුදුසු ද වගේ එකක්. සතෙක් මරණ එකක් ගත්තොත් එහෙම, සතෙක් මරණවා කියන්නේ මොනා උනත් උගේ හිතේ කෝපයක් එනවා. ඒ කෝපයත් එක්ක සතා මැරුවොත් පස්සේ සතාගේ ලේ වලට ඒ කෝපයෙන් එන හැඟීමෙන් යමිකිසි විදිහේ වැරදි බලපෑමක් එන්න පුළුවන්. සතා කෝපයෙන් මැරුණා කියන්නේ ඒ සතාගේ ලේවලට යම්කිසි විසක් එකතු වෙන්න පුළුවන්. අපි දන්නේ නෑ අපිට ඔප්පු කරන්න බෑ ඒක. විද්‍යාවෙන් ඔප්පු කරන්න බෑ. මටත් මුලින් ඇහුවම මඤ්ඤං වගේ. නමුත් අපි එහෙම හිතනවා. එහෙම වෙන්න හැකියාවක් තියෙනවා කියලා. ඉතිං හලාල් වලදි ඒක එහෙම නොවෙන්න ඒ වේදනාව, මර‍ණ භය කියන එක අවම වශයෙන් දැනෙන විදියටලු මරන්නේ. මම දන්නේ නෑ. ඒ මම අහපු කතාවක්. ඔය වීඩියෝවල නං එහෙම පේන්නෙ නෑ. අනික වේදනාවක් නැතිවෙන්න බෙල්ල කපනව කියන්නෙ මල විකාරයක්. කොහොම වුණත් ඒ විදියට තියෙන කෑම කන එක අපිට අනිත් කෑම කනවාට වැඩිය හොඳ වෙන්න පුළුවන්.

මම කියන්නෙ ඒක නෙවෙයි. ඔය ඉලව්ව අවුරුදු දාස් ගාණක් තියෙන එකක්. ලංකාවෙත් අපි දැන දැන ඕක මතක කාලෙ ඉඳන් තියෙන්න ඇති. හැබැයි ඔය හලාල් ප්‍රශ්ණේ දැන් ඇදිලා ආවේ මිනිස්සුන්ගේ ඡන්දේ ගන්න බලාගෙන. එහෙම නැත්තං අර නාට්‍ය මාලාවෙ තව එකක්. අර ඕගොල්ලන්ගෙ සේනාවෙ යුනිෆෝම් කාරයන්ට පාර්ලිමේන්තුවට යන්න ඕනේ හින්දා. ඒගොල්ලෝ ඇවිල්ලා කතන්දරයක් හදලා දැම්මා එළියට. අපේ මිනිස්සු ඇන්දුනා. දැන් ඊළඟ ඡන්දෙදි ඒගොල්ලෝ ඡන්දේ අරන් ඇතුලට යනවා. ඕගොල්ලන්ට හුළං! ඔගොල්ලන්ට ගෙදර ගිහිල්ලා අර ටීවි එකේ යන චංගුමී බල බල ඉන්න පුළුවන්!

මට හිතෙන්නෙ ඔය ජාතීන් අතර යුද්ධ තව අවුරුදු සීයක් දෙසීයක් යද්දි නැති වෙයි. මොකද දැන් ලෝකෙ එක ගාණට දැනුම ව්‍යාප්ත වෙනවා. තොරතුරු ව්‍යාප්ත වෙනවා. දැන් ඔය ඉන්ටර්නෙට්වලත් මිනිස්සු ජාති බෙදිල ගහගත්තට ඒ උන් සංක්‍රාන්ති කාලෙක ඉන්න නිසා. තව කාලයක් යද්දි ඉපදෙන උන්ට ඔයිට වඩා වැඩ තියෙයි. අන්තිමේදි තාක්ෂණය මිනිස්සුන්ව එකතු කරයි. සමහර විට මට එතනදි පොඩ්ඩක් වැරදිලා වෙන්න පුළුවන්.

සමහර විට මේ මුළු බයිලාවම මට වුණ මහම මහ වස වැරැද්දක් වෙන්න පුළුවන්.


..........

පිස්සා කතාව නතර කලා. නදීකා හිටියෙ කම්මුලේ අත් දෙක ගහගෙන කතාව අහගෙන. එයා පිස්සාව නිවැරදි කලා.

'අයියෙ චංගුමී ගිය සතියෙ ඉවර වුණා...'

Thursday, 14 April 2011

කොහා වෙනුවට SMS


සුපුරුදු නිවාඩු දවසකදි වගේම අදත් ඇහුරුණේ පරක්කු වෙලා. ගෙර අනිත් උදවිය නම් ටීවී එක වටේ ඉඳගෙන අවුරුදු සමරනවා. ඒකෙ එකම ඇඩ් එක යනවා එපා වෙනකල්ම... ඇත්තටම ඇහැරුණෙත් ඒකෙ එපා කරපු සද්දෙට. නැත්තං තවත් ටිකක් වෙලා හීනයක් බලන්න තිබුණා...

ඒත් හීන බලන්නත් එක දිගට බැරි වුණා මේ ෆෝන් එක එක දිගට නාද වුණ නිසා. කොහොමත් කොහා වෙනුවට දැන් මේක ආදේශ වෙලා... නම්බර් නැති කට්ටියත් ඇස්ඇම්ඇස් එවලා... හැමදාම වෙනව වගේ එකම මැසේජ් එක වටේ කැරකෙනවා.... ඒත් සාහිත්‍යයෙන් කවීත්වයෙන් අනූන මැසේජ් කීපයක්ම තිබුණා.

මම මේ දාන්නෙ ඒ ආපු කීපයක්...

මටය කියල පතන්න විශේෂ අවුරුදු පැතුමක් නැති නිසා මේ ටික මෙහෙම දාන්නෙ අඩු තරමෙ බලන කෙනෙක්ටවත් ප්‍රයෝජනයක් වෙන්න පුළුවන් නිසා...

-----------------------

සිනා ගෙනෙන කිරි ඉතිරෙන සුබ අළුත් අවුරුද්දක් වේවා - සිනා කෙසේ වෙතත් කිරි නම් උතුරවනව නේ... අපට ඉතිං හිනාගියොත් උපහාසෙට, නැත්තං මේ වෙන මල විකාර වලට යන හිනාවක් තමයි!

ලැබූ සිංහල අවුරුද්ද සිතන පතන සියළු දේ ඉටුවන වාසනාවන්ත එකක් වේවා - අවුරුදු ගාණක් තිස්සෙ සිතන එකයි පතන එකයි කරනව වුණාට ඒ වෙනුවෙන් වැඩ නොකර පැතුව කියල විතරක් කොහෙ ඉටු වෙන්නද? අපට ඉතිං විශ්ව ශක්තියත් වැඩ නෑනේ...

එරබුදු කුසුමින්, රබන් සුරලෙන් , කොවුල් නදින්, පවසයි මෙලෙසින්... වේවා සාමය සතුට පිරි සුභම සුභ සිංහල අළුත් අවුරුද්දක් - සාහිත්‍ය නම් මරු. ඒ වුණාට මේ පාරත් කොවුල හිටියෙ ටීවී එකේ විතරයි, රබනුත් ගැහුවෙ ඒකෙ තමයි... එරබුදු ගසුත් කපල දාලනේ...

Sun cant cn 2 earth, bt sent its wish as rays, clouds cant cm 2 earth, bt send its wish as rain, i cant cn 2 u nw, bt sending my wish as SMS - අව්වට කර වෙලා වැස්සට නායයද්දි තමයි ඔය කියන විශ් එකේ ගතිය තියෙන්නේ...

Before sun moves to mesha from meena, Before you see the new year sun rises, I wish you Happy and prosperous new year - මේක ආවෙ අවුරුදු ඉර පායලත් ඉවර වුණාම.. උදේ 9ට විතර....

සිනා කැන් හද පුරා විහිදෙන, ජීවිතේ පැතුම් ඉටුවෙන, ලැබ තවත් දිරි යන්න පෙරටම, පතමි හැම යහපතම වෙන්නට - අනේ නියමයි... දතක් නරක් වෙලා නිසා ඔය හිනා කැන දාන එක තමයි කේස් එක...

-----------------------

මේ එවපුවයින් ටිකක් ගතියක් තියෙන කීපයක්... එකම වගේ ඒවත් අයින් කලා... කොහොමත් ලැබෙන එස්එම්එස් ප්‍රමාණය එන්න එන්නම අඩු වෙන එක හොඳයි. ඈත ඉන්න උන් නම් කමක් නෑ... මේ නිතර දෙවේලෙ හම්බ වෙන උනුත් ඒව එවද්දි තමයි දුක. මේව ගැන ඔය විවේචන දැම්මෙ අහිතකින් නෙවෙයි. ඒව එවන්නෙ ඇත්තටම ඒ මිනිස්සු මට තියෙන බැඳීම නිසා... මේ දැම්මෙ ඒව දැක්ක ගමන් මට හිතුන දේවල් තමයි... මගෙ වෙලාවට උන් එකෙක්වත් මේක බලන එකක් නෑ...

කොහොමත් මම නම් ඉන්නෙ පිස්සු හැදිල නිසා මම ඒ සේරටම සුභ උපන් දිනයක් කියල ගහල ඇරියා....

ඒත් මේ අපේ බ්ලොග් යාළුවෙක්ගෙ ඔත්තුවකින් හම්බවුණ සයිට් එකකින්...

දුරකථන සමාගම් ගැන දුක්ඛ:ප්‍රාප්ත වෙන උදවිය නම් මේක පාවිච්චි කරන්න එපා...

-----------------------

ඇත්තට මෙතන විරෝධාකල්පයක් නෑ... තියෙන්නෙ ගන්න පුළුවන් තැනතින් සතුටු වෙන්න චාන්ස් එකක් තියෙනවද කියල බැලිල්ලක් විතරයි. මේ යන විධියට මේකට විකල්ප හැදෙන්නෙත් නැති නිසා දියුණු වෙමින් යද්දි පැරණි දේවල් නාම මාත්‍රික වෙනව වගේ අවුරුද්දත් ටීවි එක විසින් අපේ ඇ‍ඟේ ගහන දෙයක් බවට පත් වෙලා කියන එක බොරුවක් නෙවෙයි.

එහෙනං ඔයාලටත් සෙම වේවා....


අන්තිම වෙනකල් මේක කියෙව්වනම් මේවත් කියවන්න ආස වෙයි...


Friday, 8 April 2011

ජෑම් බෝතලයට අසුවූ භූතයා...



මලයාගේ ලැප්ටොප් එකේ තිබුණ එක එක වැඩ කෑලි අතරෙ තිබුණ තව එකක් එයාම වටේට පෙන්නනවා. භූතයො අල්ලන එකක්. ටික දවසකට කලින් චැනල් එකක ගිය වැඩසටහනක්. බ්ලොග් එකකත් තිබුණ මතකයි.

එක මනුස්සයෙක්ට පේන භූතයව අනිත් මනුස්සය කෝටුවකින් වීදුරු බෝතලේකට දානව. ඒ වැඩේ කරන මනුස්සයටත් නොපෙනෙන භූතය බෝතලේට දැම්මට පස්සෙ කැමරාවටත් පේනව. මම හිතන්නෙ අර භූතයො පේන මනුස්සයගෙ ඇස් දෙකේ කැමරාවක් හයි කරලද දන්නෙ නෑ.

අම්මල නැන්දල පුංචිල ආච්චිල කම්මුල්වල අත් තියාගෙන මේක බලනව. කට්ටියම වැඩිය බය වෙලා තිබුණෙ දැකපු දේවල් වලට වඩා ඇහුණ සංගීතයට. එක ටෝන් එකක බියකරු සංගීතයක් තමයි පසුබිමේ වාදනය වුණේ. ඉතිං සමහර කට්ටිය භූතයව දකින්න කලින්ම කන් දෙක වහගෙන. කොහොම හරි අන්තිමේදි කට්ටියම බෝතලේට අහුවුණ භූතයො දැකල තිබුණ.

ඒ වෙලාවෙ මම ඒක බලන්න ඒ තරම් උනන්දු වුණේ නැතත් කට්ටිය කීප වතාවක්ම මේක බලපු නිසා මමත් මොකක්ද මේ කියල පස්සෙ බැලුවා. මට නම් බෝතලේ ඇතුලෙ එහෙම එකක් පෙනුණෙ නෑ. සාමාන්‍යයෙන් වීදුරු බෝතලයක් කොහොම හැරෙව්වත් දිලිසෙන හින්දා භූතයා කොහොමත් ඉන්නෙ බෝතලේ ඇතුලෙම තමයි. ඒක හරියට බුදු පිළිමෙන් රැස් විහිදුනා වගේ වැඩක්. සාමාන්‍යයෙන් අපිට පේන, නමුත් ඒක සාමාන්‍ය දෙයක් නිසාම අපි ගණන් නොගන්න දෙයක්. ඒ දේ දකින්න උවමනාවක් ඇති කරගෙන බැලුවම බඩු පේනවා... බෝතලේ පෘෂ්ඨය මට්ටම් නැති නිසා පරාවර්තනය වෙන ආලෝක කිරණ නිසා ඇති වෙන ප්‍රතිබිම්භ.

ඉතිං ඒ අය අල්ලපු විධියට මටත් භූතයෙක් අල්ලන්න පුළුවන්.

මෙන්න බලන්න මම අල්ලපු භූතයා.



මෙයාව මම ඇල්ලුවෙ පැන්සලකින්. හිටියෙ මගෙ රවුටරේ යට හැංගිලා. භූතයෙක් වෙන්න කලින් හෙන බේබද්දෙක්ද කොහෙද බෝතලේ දැක්ක ගමන් ඒකට රිංගගත්තා. බෝතලේ පරණ ජෑම් බෝතලයක් කියල පොරට මීටර් වුණේම නෑ.

කොහොම වුණත් මේ කතාව අනිත් අයට පහදල දෙන්න මට පුළුවන් වුණේ නෑ. මේ භූත කතාව ඇත්තය කියන්නත් බොරුය කියන්නත් දෙපැත්තටම ඕන තරම් කතා තියෙන නිසා මේක එක පැත්තකින් නතර වෙන්නෙ නෑ. ඒ නිසා තමන් අදහන එකක් අදහගෙන ඉන්න දෙන එක තමයි හොඳම දේ.

භූතයෙක්ට රුපියල් 1000 ගානෙ විතර චාජ් කරල ‍භූතයො අල්ලන වැඩේ කරන්නත් හිතයි... :D

Tuesday, 5 May 2009

Official වෙසක් කූඩුයි හමයි නමයි

කොහොමද කට්ටිය වෙසක් කූඩු හදනවද? නැත්තං කඩෙන් අරන් අලවනවද? මොනව වුණත් වෙසක් කියන්නෙ කූඩු ඇලවිල්ලට වඩා දෙයක්නේ. ඒ වුණාට වෙසක් දිනය උත්සවයක් වෙන්නෙ මේ ආමිස පූජා ‍නිසයි. ඒ වගේම වෙසක් කූඩු හැදිල්ලෙනුයි ඇලවිල්ලෙනුයි සතුටක් ලැබෙන්නෙ නැත්තෙමත් නෑ.

මම පුංචි කාලෙ හැම වෙසක් එකටම එක එක විධියෙ කූඩු හැදුව වුණාට පස්සෙ කාලෙ කූඩු හැදිල්ල නතර වුණ. අධ්‍යාපනයට හිත වැටීම සහ එක එක ප්‍රතිපත්ති වලට අනුගත වීම තමයි ඒකට හේතුව. ඒ වුණාට වෙසක් කූඩුවක් හදන එකෙන් ලොකු සතුටක් ලබන්න පුළුවන්.

මේ පාර ගෙදර වෙසක් කූඩු හදන්නෙ නෑ. ඒ වෙනුවෙන් වැය කරන්න වෙලාවක් නැති කම සහ සේරටම වැඩියෙන් කම්මැලිකමත් තමයි හේතුව. බකට් ටිකක් එල්ලල ෂේප් වෙමු කියල අම්මට කියල මම පැත්තකට වෙල හිටිය.

ඒ වුණාට අද කාර්යාලෙදි වෙසක් කූඩු කමිටුව කියල එකක් පත් කරල මාවත් ඒකෙ සාමාජිකයෙක් කලා. අළුතින් කාර්යාලයට ගිය අපේ කණ්ඩායම දැන් හැම එකකටම මාට්ටු කරල පරණ අය කර අරින ගතියක් තියෙනවා. ඒකෙන් අපටත් ගැලවෙන්න බෑ. තාම අළුත් නිසා මුකුත් කියන්නත් බෑ.

ඒ නිසා අද දවසෙම මම තවත් අය එක්ක ලී පටි ගෙනාව. අත් රතු කරගෙන තැන් දෙක තුණක් තුවාල කරගෙන කියත් පටි වලින් ඒව කැපුව. බොහොම අමාරුවෙන් සැකිලි කීපයක් හදල අඩු තරමෙ අපේ සැලැස්ම ප්‍රායෝගික බව දැනගත්ත. ඔය අතරෙ වැඩේ නොකරන උපදෙස් දෙන්නන්ගෙ බර බරෙත් අහගෙන හිටිය. හෙටත් ආයෙ පටන්ගන්න ඕන ඉතිරි ටික.

මෙතන තියෙන වැඩේ මේකයි. සතුටත් එක්ක කලකිරීමත් දැණෙනවා. මොකද අපේ හම යද්දි තව කට්ටියකගෙ නම යන විධියටයි වැඩේ සිද්ධ වෙන්නෙ.

අපි සැනසුණා. කමක් නෑ අපට සතුට ඉතිරි වෙනවනේ අන්තිමේදි.

Monday, 4 May 2009

යන්න තැනක් නැති පාලමක්

මම ඉන්න අපේ නගරෙ තියෙනව පුංචි ගමක්. මේ ගමට යන්න ගඟකින් එගොඩ වෙන්න ඕන. මට මතකයි මම දෙකේ තුනේ වගේ පංතියක ඉද්දි මේ ගමේ හිටපු පාසල් මිතුරෙක්ගෙ ගෙදර ගියා අපි ග‍ඟෙන් එගොඩ වෙලා.

මේ ගමට වාහන වලින් යන්න පුළුවන් පාරක් තියෙනව වුණාට ඒකට වටයක් යන්න ඕන. පයින් යද්දි යන්න තියෙන ලේසිම විධිය තමයි ග‍ඟෙන් එගොඩ වෙලා යන එක.

මෑතකදි මගේ තවත් මිතුරෙක් එක්ක මම මේ ගමට එහා ගමේ මිතුරෙක් හමුවෙන්න ගියා. ගිහින් ආපසු එද්දි ඒ මිතුරා මාව කෙටි පාරකින් එක්කරගෙන ආවා. ඒ කෙටි පාර තියෙන්නෙ අර මුලින් කියපු ගම හරහායි. මම එතකොටයි දැක්කෙ. ගඟ හරහා ලොකු පාලමක් හදලා. ඒ පාලම ගමේ ගෙවල් කීපයක් තියෙන තැනකට වැටෙනවා.

අවාසනාව සහ හාස්‍යය මේකයි. පාලම ගමත් එක්ක සම්බන්ධ වෙන හරියෙ තියෙන්නෙ බයිසිකලයකින් වුණත් අමාරුවෙන් විතරක් යන්න පුළුවන් පටු පාරක්. ඒ කියන්නෙ පාලමෙන් ගමට පිවිසෙන වාහනයකට පා‍ලමෙන් එපිටට පිවිසෙන්න පුළුල් මාර්ගයක් නෑ. එතන තියෙන ගෙදර උදවිය පාර හරස් කරල වැ‍ටක් ගහල.

හේතුව හොයල බලද්දි වෙලා තියෙන්නෙ වන්දි ප්‍රශ්ණයක් මත මේ නිවසේ උදවිය තමන්ගෙ ඉඩමෙන් පාලමේ ඉදිකිරීම් වලට කොටස් දී නැති වීමයි. ඒ නිසා ලක්ෂ ගාණක් මුදල් වියදමින් හදපු පාලමෙන් නිසි ප්‍රයෝජනයක් නැති වෙලා. පයින් යන අයයි බයිසිකල් වලින් යන අයයි විතරක් පාලම පාවිච්චි කරනව. ඊට අමතරව අවට උදවිය රෙදි වේලගන්න පාල‍මේ දෙපස කොන්ක්‍රීට් අත් වාරු පාවිච්චි කරනව.

මම දන්නෙ නෑ වරද කාගෙද කියල. නමුත් කාලයක් දුෂ්කරව ගමට ගිය ගමේම අය වෙනුවෙන් හැදුන පාලමෙන් නිසි ප්‍රයෝජනයක් අරගන්න ගමේම අය නිසා ගමේම අයට බැරි වෙලා. ඉතිං අපේ පාලකයන්ටම හරියනව නේද අපි.

නැන්දලා, මාමලා සහ ඇන්ටිලා අන්කල්ලා...

මගේ මිතුරෙක් වසරකට කලින් විවාහ වුණා සාමාන්‍ය පෙළ විද්‍යාව උගන්වපු ගුරුවරියකගේ දියණියක් සමග. ඒ අවදියෙ අපි ඒ ගුරුතුමියට කතා කලේ සුපුරුදු විධියට ටීචර් කියලයි. නමුත් දැන් මගේ මිතුරා ඇයට කතා කරන්නෙ 'ඇන්ටි' කියලා. මේක ඔස්සේ ගිය මගේ සිතිවිලි නතර වුණේ කොහේවත් නැති තැනක. රටේ පවතින දේශපාලනික, ආර්ථික සහ යුධමය වාතාවරණය යටතේ මේක තවත් තේරුමක් නැති කතාවක්.

අපි අපේ ඥාති වන නැන්දලා සහ මාමලාට නැන්දා සහ මාමා නමින්ම අමතනව. ඒ කියන්නෙ මව් පාර්ශවයේ සොහොයුරන්ට සහ ඔවුන්ගේ භාර්යාවන්ට මාමා සහ නැන්දා ‍විධියටත් පිය පාර්ශවයේ සොහොයුරියන්ට සහ ඔවුන්ගේ ස්වාමිපුරුෂයන්ට නැන්දා සහ මාමා විධියටත් තමයි අපි කතා කරන්නේ.

නමුත් ඊට පරිබාහිරව අපට හමුවන අපේ පියාගේ සහ මවගේ මිතුරු මිතුරියන් අපි හඳුන්වන්නෙ අංකල්ලා සහ ඇන්ටිලා කියල. ඒ වගේම අපේ ඥාති නොවන ඕනම වැඩිහිටි පිරිමියෙක් සහ කාන්තාවක් අපට අංකල් සහ ඇන්ටි වෙනව. ඒක අපේ දෙමව්පියන්ම තමන්ගෙ මොකක් හරි හීනමානයක් වහගන්න අපට හුරු කරවපු එකක්. නමුත් ඒක දැන් අපට හුරු වෙලා. මේ හුරුකිරීම් බොහොමයක් නිසා අපි නොදැනුවත්වම බොහොමයක් දේවලට හිර වෙලා තියෙනව. ඒ අතරෙ නැන්ද මාම කියන එක ඇන්ටි (ආන්ට් කියන එකට ආදරේ එකතු වෙලා නේද ඇන්ටි හැදිල තියෙන්නේ :P) සහ අංකල් වීම සරල සහ කරදරකාරී නොවන එකක් විතරයි.

තව එකක්...

මෑතකදි මමත් මගේ මිතුරෙකුත් බස් රියක ගමණක් යද්දි නැග්ග ඇන්ටි කෙනෙක් පොඩි පුතා එක්ක. ඇය දරුවට කතා කලේ ඉංග්‍රීසියෙන්. නමුත් එක වතාවකදි දරුව කුමක් හො දෙයක් කටේ ඔබාගත්ත. එතකොට ඇය දරුවට කෑ ගැහුවෙ 'චී බබා කැත වැඩ කරන්න එපා. අහකට දාන්න.' කියලයි.

අමතක වුණ එකක්....

සරම සහ චීත්ත අඳින හෝ ගැමි පෙනුම ඇති සියලුම වැඩිහිටියන්ට නැන්දා සහ මාමා ලෙස අමතන මාගේ තවත් මිතුරකු සිටී. නමුත් ඔහු කලිසම සහ ගවුම් ඇඳි බටහිර පන්නයේ වැඩිහිටියන්ට අංකල් සහ ඇන්ටි කීමට ද නොපැකිලේ.

Friday, 20 March 2009

එන්න, කොන්ද පණ නැති ශ්‍රී ලාංකිකයෙක් වෙන්න.

මේ සටහන මතවාදී යුධ බිමේ යුධ වදින රණ විරුවකු‍ගේ තවත් ඒක පාර්ශවීය මානුෂීය මෙහෙයුමකි. එකම වෙනස මින් ජයගත ‍නොහැකි වීමයි.

අනේ මන්ද මට රූපවාහිනී වල තියෙන මල විකාර ගැනම ලියන්න හිතෙන්නෙ ඇයි කියල. ඒකට හේතුව ගොඩක් දරුණු එකක්. ඒක මොකක්ද කියල පසුව කියන්නම්.

අද රූපවාහිනිය බලල මම මට හැමදාමත් හිතෙන ඒත් කවදාවත් කියන්න නොහිතුණ දෙයක් ගැන කියන්න කල්පනා කලා. පවුලේ අනිත් අයගේ හිත සුව පිණිස එයාල බලන නාලිකා බලන්න වෙන තවත් කාලකණ්නියෙක් තමයි මමත්. මට නොදැනුවත්වම මම රූපවාහිනිය අසල රැ‍ඳෙන හැම වෙලාවෙම ඒකෙ යන මල විකාර මගේ ඔළුවට වැටෙනව.

මේ රූපවාහිනී නාලිකා වල පෙන්වන රබර් නාට්‍ය ගැන විතරක් දැනට කතා කලාම ඇති කියල මට හිතුණ. දැන් ලංකාවෙ හැම නාලිකාවකම වගේ රබර් නාට්‍ය යනව. ‍මේව අතරෙ හොඳ ඒව නෑ කියනව නෙවෙයි. ඒ වුණාට මිනිස්සුන්ව ඉන්න තැනින් ඉහලට ගෙනියන ආකාරයේ නිර්මාණ නම් නැති තරම්. මේ කතා මේ තරම් දිගට ඇදෙන්නෙ මේ වගේ.

tvteledrama road

මේකෙ රතුපාටින් පේන ඉර දිගේ කතාව සරලව කියන්න පුළුවන් වුණාට මේ පෙන්නන ඒවයෙ මිනිස්සුන්ගෙ මන්ද බුද්ධික වැඩ නිසා කතාව කියවෙන්නෙ කළු පාට ඉර දිගේ වටේම අරන් ගිහින්.

සරලව වෙන්න පුළුවන් දේවල් මිනිස්සුන්ගෙම ගොං කම් නිසා දිගට ඇදීම මත තමයි මේ කතා මේ තරම් දිගට ඇදෙන්නේ. මේ නාට්‍ය වල මිනිස්සු එකෙකුට එකෙක් විශ්වාස නෑ. සුදු මිනිස්සු නොහිතන මොහොතක කළු වෙනව. කෙලින් තීරණ ගන්න බැරි ගතිය නිසා සරලව වෙන්න තියෙන දේ දිගට ඇදිල රබර් වෙලා නාට්‍ය කාරයව පෝසත් කරනව.

මේ දිහා මිනිස්සු බලන්නෙත් තමන්ට වෙන ගානට හායි හූයි කියාගෙන. අපේ ගෙදර අයටත් වැඩේ තේරුණාට බලන්න වෙන එකක් නෑ. රූපවාහිනිය ක්‍රියා විරහිත කරලත් ඉන්න බෑ. මම ගෙදර අයට කිව්ව මේව බලල සත්තුන්ටත් අන්න වෙනව කියල. තීරණයක් ගන්න බැරිව ලත වෙන කොන්ද පණ නැති පී වර්ගයේ අය වෙනව කියල.

මේ ගැන කාලෙක ඉඳන් කතාවක් යන්තම් තිබුණත් තාම මේ මානසිත අවපාතකරණය බරපතල සමාජ ගැටළුවක් විධියට තේරුම් අරන් නෑ කවුරුවත්. මම කලිනුත් නොයෙක් තැන්වල කියල තියෙනව වගේ අපට ප්‍රභාකරන්ට වඩා සතුරෙක් ඉන්නව. ඒ සතුරා කොයි තරම් කපටිද කියනවනම් එයා අපේ සතුරෙක් කියලවත් කට්ටියට තේරෙන්නෙ නෑ. එයා අපිට විෂ කවන්නෙ සීනි තවරල. සීනි බෝල කන්න මිනිස්සු හරි කැමතියිනේ.

සමහර විට උතුරේ මානුෂික මෙහෙයුමට පස්සෙ ලොක්කන්ට තේරුණොත් තව යුද්ධ කරන්න තියෙනව සමාජය දියුණු කරන්න. දැනට යන්තම් පවතින ඒ යුද්ධයක මමත් යුධ සෙබලෙක් ;) තවත් සෙබලු යුධ වදිනව. සමහර විට එයාල දන්නෙත් නෑ එයාල යුද්ධයක් කරනව කියල. කොහොමත් මේ ‍නොපැහැදිලි සතුරාගෙන් මිනිස්සුන්ව මුදාගන්න පුළුවන් හැම තැනම එයාල සටන් කරනව. බොහෝ විට මට නම් ඒක නිසා හෙම්බත් වෙන එකට වඩා දෙයක් වෙන්නෙ නෑ. නමුත් සෙබලෙක් මිය යන තුරු යුද්ධය නවත්වන්නෙ නෑ.

ඒ නිසා මමත් මේ කිසිම තේරුමක් නැති සටහන දානව.

මේක කියවල වැඩක් නැති නිසා මම මෙතනින් ගත්තු මේක අහන්න. ඒකත් වැඩක් නැත්තං ඉතිං.....




Pitastharaya Kasun Kalhara-The Romantic Opera(New Album)

අවශ්‍ය කෙනෙක් වෙනුවෙන් - මේ සින්දුව උපුල් ශාන්ත සන්නස්ගල මහත්මය ලියපු එකක්. සංගීතය සහ ගායනය කසුන් කල්හාර.

ඒ වගේ තව සින්දුවක් අහන්න මෙතනට යන්න.

Saturday, 14 March 2009

ලස්සනම ග්‍රහය ඉන්නෙ අපේ සෞරග්‍රහ මණ්ඩලේ හරිද?

වර්ෂ 4045....
ඔය කාලෙදි පෘථිවිය අයිති සෞරග්‍රහ මණ්ඩලයෙන් පිටත් වෙනම තාරුකා වලට අයිති ග්‍රහලෝක වල මිනිස් ජනාවාස තියෙනව. ඒවයෙත් පරම්පා කීපයක් පුරා වර්ධනය වුණ සංස්කෘතියක් හරහා එයාල වෙනමම මිනිස් කණ්ඩායම් විධියට ජීවත් වෙනව.

ඒ වගේම 25 වෙනි ශතවර්ෂයෙදි විතර මිනිස්සු පිටසක්වල ජීවීන් එක්ක ඇතිකරගන්න සම්බන්ධ හරහා ආලෝක වර්ෂ ගාණක් ඈත තියෙන පිටසක්වල ලෝක එක්ක අපි නොයෙක් ගණු දෙනු කරනව.

විශ්වය පුරා විහිදුණ අඳුරු අංශු මූලික වුණ සන්නිවේදන ජාලය මේ සියළු ලෝක පරිගණක හරහා විශ්ව ව්‍යාප්ත ජාලයක් බවට පත් කරලයි තියෙන්නේ. ඒ හරහා මිනිස්සු වෙනත් මිනිස් ජනාවාස වල ඉන්න මිනිස්සු සහ වෙනත් ජීවීන් සමග තොරතුරු හුවමාරු කරගන්නව.

ඒ වෙනකොට සිංහල බ්ලොග් සංසදය විශ්ව ව්‍යාප්ත වෙලා ඉවරයි. ඇත්තම කිව්වොත් ඒ වෙනකොට ඒක විශ්ව බ්ලොග් සංසදයේ සාමාජිකයෙක් වෙලා. විශ්ව බ්ලොග් සින්ඩිකේටරය ඕනම භාෂාවකින් කියවන්න තාක්ෂණික හැකියාව ඒ වෙනකොට ලැබිල තිබුණ නිසා ඕනම බ්ලොග්කරුවෙක්ට භාෂා භේදයකින් තොරව ඕනම කෙනෙක් ලියන දෙයක් කියවන්න පුළුවන්කම තිබුණ.

මෙන්න විශ්ව බ්ලොග් සින්ඩිකේටරයේ බ්ලොග් සටහනක් සහ පලවුණ අදහස්. මේක ලියල තියෙන්නෙ A කියල වෙනත් වර්ගයක ජීවියෙක්.


A - මා මිතුරෙකු හමුවීමට ඔහු ජීවත්වන විශ්වයේ සුන්දරම ග්‍රහලොවට මම අද පැමිණියෙමි. මෙය අපගේ සෞරග්‍රහ මණ්ඩලයේ 17වන තැන පිහිටි පයෙටන් ‍ලෝකයයි. මෙය අලංකාර වන්නේ මෙහි වටා දිවෙන අලංකාර ග්‍රහක වලල්ල නිසාවෙනි. දිනපතා උදෑසන සහ සවස හිරු එලියෙන් අහස පුරා සිහින් චාපයක් මෙන් දිස්වන මෙය නෙතට රස ගෙනෙයි. වසරේ ඇතැම් කාලවලදී පයෙටන් ලෝකයේ චන්ද්‍රයා සහ මෙම වලලු එකම විට අහසේ දිස්ව මනස්කාන්ත දසුනක් මවන බව මා මිතුරා පැවසීය.....

මේක දිග වැඩියි.. අපි කමෙන්ට් වලට එමු.


B - සංචාරය ගැන කිව්වට ස්තූතියි. මාත් ආසාවෙන් ඉන්නෙ පයෙටන් වල සවාරියක් දාන්න.

C - මම හිතන්නෙ විශ්වයේ තියෙන ලස්සනම ලෝකය පයෙටන් නෙවෙයි. ඒක තමයි අපේ සෞරග්‍රහ මණ්ඩලයේ සෙනසුරු. ඒකට ඔය තනි පටියක් වගේ නෙවෙයි. ඝණ වළලු තීරයක් තියෙනවා.

D - ඔව් ඔව්... පයෙටන් කොහෙද ලස්සනම ග්‍රහලෝකය වෙන්නේ. අපේ මව් ලෝකය පෘථිවිය අයිති ග්‍රහ මණ්ඩලයෙ තියෙන සෙනසුරු තමයි දැනට මමත් දැකල තියෙන ලස්සනම ග්‍රහලෝකය. පහුගිය නිවාඩුවට මම එහෙ තියෙන නැවතුම්පලක හෝටලයක ඉඳන් පැය ගානක් සෙනසුරු දිහා බලන් හිටියා.

B - C, D කියන කතා ඇත්ත වෙන්න පුළුවන්. මමත් සෙනසුරු වල පින්තූර දැකල තියෙනව. ඒ වුණාට පයෙටන් ලොකයෙ තරම් සුන්දරත්වයක් ඒ වළලු වල නෑ. අනික පයෙටන් ලොකයේ වළලු වල දියමන්ති සංඝටක නිසා හිරු එලියෙදි ඒ වලල්ල දිලිසෙනව.

C - මහාචාර්ය මිගෙත් සොරන්ගෙ යුනිපීඩියා පිටු බලන්න. පයෙටන් ලෝකයේ වළල්ල ඉස්සර හිටපු රජ කෙනෙක් කෘතිමව හදපු එකක්. එයාගෙ ලොකුකම් පෙන්නන්න. ඒ වගේද සෙනසුරුගෙ වළලු. ඒව සෙනසුරුගෙ වයස තරම්ම පැරණියි. අනික ඒව ස්වභාවිකයි.

E - මේ මේ පයෙටන් වල රජවරුන්ට විතරක් බණින්න එපා හරිද? පයෙටන් වළලු නිර්මාණය කලේ රජ කෙනෙක් තමයි. අවුරුදු දෙදාස් ගාණකට කලින් තිබුණ තාක්ෂණයක් ඒක. ඔය පෘථිවියෙ ඔළුවල මයිල් තියෙන අය කොහෙද ඒච්චර කෙරුවාවක් කරන්නෙ. ඒ දවස් වල ඔය පෘථිවියෙ කට්ටිය රෙදි එල්ලගෙන රළු පාරවල් වල රෝද තියෙන වාහන වල ගියෙ. අපි එතකොටත් විශ්වයේ වෙනත් ලෝකත් හොයාගෙන.

D - @ E ඔයා ඔළුවෙ මයිල් නැති ගෙඹි මූණක් තියෙන පයෙටනයෙක් වෙන්න ඇති. ඒ වුණාට අපේ සෞරග්‍රහ මණ්ඩලයේ ඉතිහාසය ගැන දන්නෙ නෑ. අපේ සෙනසුරු තමයි විශ්වයේ ලස්සනම ග්‍රහය. ඒක එදත් එහෙමයි අදත් එහෙමයි. ඔයා අත් දෙකින් හිටගෙන කිව්වත් මම ඔයා කියන එක පිළිගන්නෙ නෑ... අනික ඔයාලා....

හික් හික්... ඊට පස්සෙ ඇත්තටම වැඩක් ඇති කමෙන්ට් එකක් තිබුණෙ නෑ. ඊට පස්සෙ තිබුණ කමෙන්ට් වගේ ඒව මේ ‍කාලෙ සිංහල බ්ලොග් සින්ඩිකේටරෙත් තියෙනව. මුලින් කතාව කියන මනුස්සය කියන දේ ඒ මනුස්සයගෙ පැත්තෙන් නොබල තමන් අයිති පාර්ශවය හෝ තමන් දරණ මතයට අර මනුස්සය නම්මගන්න යනව.

අපි ඒ කතාව අමතක කරමු.....

දැන් අද මම ලියන බ්ලොග් සටහන කියවන්න...

තමන් අයිති පාර්ශවය කියන එක මිනිස්සුන්ට අවිඥානිකවම තියෙන දෙයක්. මටත් ඒක තියෙනවා. නමුත් දේපල වෙනුවෙන්, ජාතියක් හෝ ආගමක් වෙනුවෙන් වෙන මනුස්සයෙක්ව නොසලකා හැරීම ඇ‍‍ර‍ඹෙන්නෙ එතනින්. ඒක වෙනත් කුලයකට අයිති මනුස්සයෙක්ව මරා දැමීම සාධාරණීකරණය කරන්න තරම් බලවත්. ඒක නිසයි අපි මිය යන රණවිරුවන් ගැන දුක් වෙන ගමන් අතපය කැඩිල සීසීකඩ විසිරුණ LTTE සංවිධානයේ සාමාජිකයන්ගෙ සිරුරු දිහා බලල සතුටු වෙන්නේ. ඔකුන්ට ඔහොම වෙලා මදි කියල සාප කරන්නේ. ඒ ගැන මම මෙතනදි කියන්න යන්නෙ නෑ.

මේ තමන් අයත් පාර්ශවය අපි කතා කරන මාතෘකාවට (විෂය) අදාලව ව්‍යාප්ත වෙන එකක්. මුලින්ම ඉන්නෙ මම. මම මුලින් මාව ආරක්ෂා කරගැනීම හෙවත් මගේ මතය දැරීම වෙනුවෙන් සටන් කරනව. ඊට පස්සෙ මගේ පවුල වෙනුවෙන් කතා කරනව. පවුලෙ කෙනෙක්ගෙ දේකදි පවුලෙ නොවන කෙනෙක්ගෙ දේකදි දක්වනවට වඩා උනන්දුවක් දක්වනව. පවුලෙ අයට උදව් කරන්න කැප වෙනව. ඊට පස්සෙ අපිට මිතුරන් සහ සමාජයෙ අපිට තියෙන විවිධ සම්බන්ධ වෙනුවෙන් කැප වෙන්න සිද්ධ වෙනව. ඒ වෙනුවෙන් කතා කරන්න සහ පෙනී සිටින්න පෙළඹෙනව.

ඊටත් පස්සෙ අපට පෙනී සිටින්න රටක් තියෙනව. රටට කලින් මම සහ පවුල වගේ සමාජ සම්බන්ධයන් නෑ වගේ සයිබර් අවකාශයේ ප්‍රකාශන කරන අයටත් සැබෑ ජීවිතේ රට එන්නෙ පසුව. ක්‍රිකට් ගහන අය සහ රට වෙනුවෙන් පෙනී ඉන්න තව නොයෙක් අයටත් නොදැනුවත්වම රට වෙනුවෙන් පෙනී ඉන්න එයාල කරන රස්සාව උදව්වක් වෙලා තියෙනව. රස්සාව කරන්නෙ තමන් සහ තම පවුල වෙනුවෙන්. හත්ඉලව්වට ගහපු කලාබරේ වගේ ඒ රස්සාව රට වෙනුවෙන් පෙනී සිටීමක් වුණා. ඉතිං එයාල හරි ආඩම්බරයි....

රටටත් පස්සෙ අපට දකුණු ආසියාව තියෙනව. අපි දකුණු ආසියානු කලාපීය සහයෝගීතාවයක් හදාගෙන ඒ තුල ඒකරාශී වුණ ස්ථායි පැවැත්මක් වෙනුවෙන් සාකච්ඡා කරනව. දකුණු ආසියාව ගැන කතා කරනව. ඊටත් පස්සෙ අපිට ආසියාව තියෙනව. ආසියාවෙ සංස්කෘතිය දේශගුණය වගේ හොයාගන්න පුළුවන් හැම එකකින්ම අපි ආසියාව ගැන ආඩම්බර වෙනව. ඒ වෙනුවෙන් පෙනී ඉන්නව. ඇමරිකාව ආසියාවෙම පොදු සතුරා කරන් ඇමරිකාවට බනිනව. ඊටත් පස්සෙ අපි අපේ වපරිසයට මැදපෙරදිග යුරෝපය සහ හැකි වුණොත් අප්‍රිකාවත් ඈඳගන්නව. ලෝකයේ බිහිවුණ ආගම් සියල්ල ආසියාවෙන් සහ මැදපෙරදිගින් බිහිවුණා කියනව. මිනිසාගේ සම්භවය අප්‍රිකාවෙන් කියල කියනව. අප්‍රිකාවට ළඟින් ඉන්න එක ගැනත් ආඩම්බර වෙන්න ඕන නම් අපට පුළුවන්කම තියෙනව.

ඊට පස්සෙ අපට ඇමරිකාව හෝ ඔස්ට්‍රේලියාවත් ගාවගන්න පුළුවන්.

ඕක ගැන ඔය තරම් කියවන්න ඕනත් නෑ... ලංකාවෙ ක්‍රිකට් කණ්ඩායම ඉන්දියාවත් එක්ක සෙල්ලම් කරද්දි ලංකාවට සපෝට් කරන අපි ඉන්දියාව ඔස්ට්‍රේලියාවත් එක්ක සෙල්ලම් කරද්දි ඉන්දියාවට සපෝට් කිරීම තරම් මේ තමන් අයත් පාර්ශවය කියන අදහස සරලයි.

ඉතිං අනාගතේ දවසක අපි පෘථිවිය වෙනුවෙන් කතා කරයි. තවත් ඈත අනාගතේකදි අපි සෞරග්‍රහ මණ්ඩලේ වෙනුවෙන්මත් කතා කරයි. සමහර විට යම් දවසක අපේ අනාගත පරම්පරාව ක්ෂීර පථය වෙනුවෙන් යුධ වදියි.

Thursday, 5 March 2009

සපත්තු


පහුගිය දවසක මම සපත්තු ජෝඩුවක් ගන්න කඩේට ගිහින් ආවෙ හිස් අතින්. හිතට හරියන එක සපත්තුවක්වත් එතන තිබුණෙ නෑ.

මෙච්චර කාලයක් මම දාපු එක සපත්තුවක්වත් මගේ කකුලේ හැඩයට ගැලපුණේ නෑ. එක්කො ඇඟිලි තියෙන හරිය රවුම්. නැත්තං හතරැස්. දැන් කඩවල් වල තියෙන්නෙ කඩු දාන්න හදපු කොපු වගේ උල් සපත්තු. කාලයක් තිබුණ හිමේ යද්දි දානව වගේ උඩට නැමුණු සපත්තු. ඒ එක්ක අඩිය අඟල් එක හමාරක් විතර උස සපත්තු. වතාවක් තෑග්ගකට හම්බවුණ ඒ ‍වගේ සපත්තු දෙකක් දාපුවම කකුල්වලට නොයෙක් අමාරුකම් දැණෙන්න ගත්ත.

මගේ හිතට හොඳටම හරිගියෙ කැන්වස් සපත්තු විතරයි. ඒක කකුලට පහසුවක් වුණා. ගානත් සැලකිය යුතු තරමක් අඩුයි.

ඒ වුණාට ඒව දාන්න බෑනෙ වැඩට යද්දි. ඒ නිසා මම මගේ කකුල රිදවන සපත්තු දාගෙන උදේ වැඩට යනව. :(

මම දන්නව මම මට සපත්තු දාන්න තියෙන අපහසුව ගැන කතා කලාට සපත්තු ගන්න සල්ලි නැති ලක්ෂ ගානක් ලෝකෙ ඉන්නව. සපත්තු දාන්න කකුල් නැති අයත් ගොඩක් ඉන්නව.

මේක වගේ කිසිම තේරුමක් නැති සටහනකින් එයාලට කිසිම වැඩක් නෑ කියලත් මම දන්නව.

ඒ වුණාට උදේට සපත්තු දාද්දි හැමදාම මට මේ ගැන හිතෙනව.

Wednesday, 4 March 2009

ගොඩගසාගත් ඉතිහාසය විනාශ කලෙමි

ජීවත්වෙන තුරාවට අපි දේවල් ගොඩගසාගනිමින් ඉන්නව. අපේ ඔළු ගෙඩිය එක එක දේවල් වලින් පිරෙනව. සමහරක් දේවල් ජීවිතේ ගෙනියන්න ගොඩක් ප්‍රයෝජනවත්. සමහරක් දේවල් කිසිම වැඩක් නෑ. ඒ වුණාට ඒ දේවල් අපේ ඔළු වලට වැටෙනව.

සාමාණ්‍යයෙන් මිනිස්සුන්ට අනවශ්‍ය දේවල් අමතක වෙනව. අවුරුදු ගාණකට කලින් ඉගෙනගත්ත දෙයක්, හමුවුණ කෙනෙක් අපිට යලි යලිත් සිහි නොවුණොත් අමතක වෙන්න පුළුවන්. ඒක ඇත්තටම ඉබේ සිද්ධ වෙන දෙයක්. නමුත් එහෙම වීමේ හැකියාව එකිනෙකාට වෙනස් වෙන්න පුළුවන්.

ඔළු ගෙඩිය වගේම අපි භෞතික දේවලුත් දවසින් සවස ගොඩගහගන්නව. ඒ විවිධ දේ වෙන්න පුළුවන්.

පුංචි කාලෙ ඉඳන් මම එකතු කරපු දේවල් බොහොමයක් ගෙදර අල්මාරියක් පුරා පුරවල තිබුණ. පත්තර වලින් කපාගත්ත ඒව, පත්තර අතිරේක, සඟරා සහ ඉස්කෝලෙ පොත් පත් වගේ බොහොමයක් දේවල් එක් අල්මාරියක තට්ටු කීපයක් පුරා තිබුණ. ඉස්කෝලෙන් පස්සෙ මම ගෙදර නොහිටපු අවුරුදු ගණනාව පුරාම කවුරුවත් ඒව අත පත ගාල තිබුණෙ නෑ. නමුත් නැවත ගෙදර ඇවිත් ඒව ගැන හොයල බලද්දි ඒව අතිශය යල් පැනල කියල මට හිතුණ. පරණ විදුසර පත්තර වල තිබුණ දේවල් බොහොමයක්, පරිගණක සඟරා.. සටහන් පොත් වගේ සියල්ල තුල තිබුණ දැණුම අදට වලංගු වුණේ නෑ.

ඉතිං මම ඒ සේරම වගේ ඉවත් කරලා මගේ අළුත් ලට්ට ලොට්ට ටිකකින් ඒ ඉඩ පිරෙව්වා.

මගේ ඔළු ගෙඩියත් මට ඕන වෙලාවට එහෙම නවීකරණය කරගන්න පුළුවන් නම්....

Sunday, 1 March 2009

ශ්‍රී ලංකාවේ අභිමානය

මේ කියන්න යන දේ මම කලක් තිස්සේ නිරීක්ෂණය කරපු දෙයක්. අද කියල දාන්න හිතුණා.

කාලෙකට පස්සේ ශ්‍රී ලංකාවේ අභිමානය ඔස්සේ විකාශනය වුණ සිංහල චිත්‍රපටියක් බලන්න ලැබුණා. නම කස්තුරි සුවඳ. විකාශනය වුණේ ඊයෙ හෙවත් සෙනසුරාදා දවල්. මේක ජනප්‍රිය සින්දු තියෙන ගාමිණී මාලනී රඟපාන ලස්සන චිත්‍රපටියක්. ෆ්‍රෙඩී සහ බන්දු දෙන්නත් විකටයන් විධියට රඟපානවා. ඒ වුණාට මට ඒ දෙන්නගෙ විකට වැඩ වලට වඩා හිනා ගියා වෙනත් දෙයක් නිසා.

‍මේ චිත්‍රපටියෙ අවස්ථා කීපයක්ම තියෙනවා ප්‍රධාන සහ සෙසු නළුවන් දුම් පානය කරන. දුම් වැටිය අතේ තියාගෙන ඉන්න දර්ශනය හොඳට පෙන්නලා ඒක උරද්දි කොටු දානවා. ඒ කියන්නේ දුම් වැටි නරක වෙන්නෙ උරන්න විතරයි නිසා වෙන්න ඇති. මොකද පත්තු වෙන දුම් වැටියක අතේ තියාගෙන හිටිය කියල මුකුත් වෙන්නෙ නෑනේ නේද?

මම දුම් පා‍නයේ ආදිනව ගැන හෝ ඒකෙ හොඳ නරක ගැන කියන්න යන්නෙ නෑ. කවුරුවත් ඒ ගැන කතා කරන්නත් එපා. ඒක නෙවෙයි මට කියන්න ඕන. මේ කරන දෙපැත්තටම නැති පොන්න වැඩ ගැන. එක්කො පෙන්නන්න ඕන නැත්නම් කපලම දාන්න ඕන.

මේ අය මේ වාරණය දාන්නෙ පුංචි ළමයි බලන නිසානේ. ඒ වුණාට මේකෙන් වෙන්නෙ පුංචි එකෙක්ගෙ කුතුහලය තවත් ඇවිස්සෙන එකයි. ඇයි අච්චර හොඳට තිබුණ රූපරාමුවට කොටු දාන හේතුව හොඳ සෞඛ්‍යයෙන් ඉන්න ඕන පුංචි එකෙක් විමසනවනේ.

මේක අපි කතා කරල වැඩක් නැති තවත් එක මාතෘකාවක් විතරයි. මොකද ලංකාවෙ මාධ්‍ය සංස්කෘතිය ගැන කතා කරල වැඩක් නැති නිසා. එක්කෝ මේ වගේ චිත්‍රපටි නොපෙන්වා ඉන්න ඕන. නැත්නම් ඒව වැඩිහිටියන්ට විතරක් බලන්න පුළුවන් වෙලාවලට පෙන්වන්න ඕන.

එහෙම වුණොත් දිවා කාලයේ මේ නාලිකා වලට විකාශනය කරන්න දෙයක් නැති වෙනව. නැත්නම් ඒ වෙලාවෙත් කච පච වැඩසටහන් බලන්න වෙනව.

මම වැඩිය රූපවාහිනී නොබලන නිසා මට එයාල මොනව පෙන්නුවත් කමක් නෑ. නමුත් රටේ ඉන්න අනිත් මිනිස්සු සහ ළමයි හරක් කියල හිතාගෙන කරන වැඩ දකිද්දි පොඩ්ඩක් නලියනව.

මම දන්නව මම නලියල වැඩක් නෑ කියල. මමත් ඇතුළුව අපි සේරම ගතින් හරක් නොවුණට දිවා රෑ නොබලා රටේ සුළුතරයක් සල්ලිකාරයන්ට බර අදින හරක් තමයි.

ඇත්තටම හරක් අපට වඩා උසස්. අඩුගානෙ උන් දන්නෙ නෑ උන් හරක් කියල.

Tuesday, 17 February 2009

දැල් දැමීම

පුංචි කාලෙ ඉඳන් කියවල විතරක් තිබුණ සංසිද්ධියක් සතියකට විතර කලින් මම අත්වින්ද සජීවීව. බටහිර වෙරල තීරයේ පුංචි නගරයකට ගිය සවාරියකදි මුහුදෙ දැල් දාල මාළු අල්ලන විධිය මම දැක්ක. ඒ ගැන අමුතුවෙන් කියන්න ඕන වෙන එකක් නෑ බොහොමයක් දෙනාට. ඒ නිසා මම ඒකෙ තාක්ෂණික දේවල් ගැන කියන්න යන්නෙ නෑ.

මොනව වුණත් එතන හිටපු කෙනෙක්ගෙන් මම දැනගත්තු කරුණු කීපයක් ඒ සිද්ධියත් එක්ක ගලපන්න හිතුවා.

වෙලාව දවල් 1ට කිට්ටුයි. අපි කීප දෙනෙක් වෙරලෙ එහෙ මෙහෙ ඇවිදිමින් හිටිය ටිකක් ඈත දැල අදිමින් ඉන්න අය දිහා බලාගෙන. එතනට නොයා ඉන්න බැරි වුණා මට. ඒ වෙලාවෙ දැල සෑහෙන්න තරමක් ගොඩට ඇදලයි තිබුණෙ. එතන ගැහැණු පිරිමි සෙරම 20කට වඩා හිටිය. දැලේ ලූපයේ කෙලවර මුහුදෙ මීටර 50කට වඩා ඈතින් තිබුණෙ. ඒ වුණාට බොහොම ඉක්මනින් දැල ගොඩට ආවා.

මම හිතපු තරම් මාළු හිටියෙ නෑ. ඒ වුණාට සට සට ගාමින් පණ ගැහෙන මාළු රොත්තක් ඒ දැලේ රැඳිල හිටිය. ඒ අතරෙ බොහොමයක් රිදී පාට අඟල් 6 කට වඩා දිග මාළු. අඩියකට වඩා දිග අය කීප දෙනෙකුත් දැල්ලො කීපදෙනෙකුත් හිටියා. කලබල වුණාම බඩ පිම්බෙන වර්ගයේ පුංචි මාළු හිටිය. මට මතක් වුණේ
Finding Nemo චිත්‍රපටිය. ඒකෙත් ඉන්නවා ඒ වගේ එක්කෙනෙක්.

කොහොම හරි මාළු ටික එතන හිටපු 20-30ක් මිනිස්සු බලන් ඉද්දි විනාඩියකට වඩා දඟලල මිය ගියා. ඒ අර මිනිස්සු 20-30 දෙනත් එයාලගෙ පවල් වල අයත් ජීවත් කරවන්න. මට මොහොතකට හිතුණා මම ලබන කාලකණ්නි සතුට ගැන. ඒත් ඒක එහෙම තමයි. ඒක තමයි ස්වභාවධර්මය. අපි ඒක වෙනස් කලාට තවමත් අපි ස්වභාවධර්මයට යටයි.

මේ මාළු දැල දිනකට කීප වතාවක් එලනවා කියල එතන හිටපු ධීවර මහත්මයෙක් කිව්ව. ඒ වගේම පවුල් 10-15ක් මේ දැල නිසා ජීවත් වෙනවලු. පසුව දැනගන්න ලැබුණා මේ දැල අයිති මනුස්සයෙක් ඉන්න බව. දැල්ලො ටික එයා අරන්. ඉතිරි මාළු ටිකම රුපියල් 2000කට විකිණිලා. එහෙම විකිණුනේ නැති පුංචි මාළු වෙරලෙම ඉතිරි වෙන්න ඇති.

ඒක එතනින් ඉවරයි. මම ලබපු අත්දැකීම එපමණයි. ඊට පස්සෙ මම කැරකෙන්න ගත්තා. කලින් දා සමහර විට අර දැලෙන්ම ගොඩට ආපු පුංචි මාළු තෙලින් කර වෙල අපේ දිව පිනවන්න ගත්තා රසම රස සුදු ළූණු බයිට් එකක් එක්ක. හතරැස් බෝතලයක් රැස් විහිදුවමින් ඉවර වුණා.

ජීවිතේ එහෙමයි. මිනිස්සු දැල් දානවා. ඒ සල්ලි වලින් කාල බීල පවුල් නඩත්තු කරනවා. ගොඩ එන මාළු තෙල් නාගෙන ආයෙත් වෙරළට ගිහින් දැල් දානව බලන්න යන මිනිස්සුන්ගෙ බඩවල් වලට යනවා.

Monday, 16 February 2009

අභිමානය

අභිමානය හැමෝටම තියෙන දෙයක්නේ. කවුරු මොනව කිව්වත් ඕනම කෙනෙක් තමන් ගැන, තමන්ගෙ හැකියාවන් ගැන, තමන්ට තියෙන පිළිගැනීම ගැන යනාදී නොයෙක් හේතු මුල් කරගෙන ස්වයං අභිමානයකින් තමයි ඉන්නේ. අභිමානයත් මිනිස් හැඟීමක්. ඒක මේ සමාජයේ තුලනයට උවමනා කරනවා කියලයි මට හිතෙන්නේ.

ප්‍රශ්ණෙ ඒක නෙවෙයි. හැම දේම වගේ මේක හින්දත් ප්‍රශ්ණ ඇති වෙන්න පුළුවන්. මේ අභිමානය ඉහවහා ගියාම තමයි ලොකුම ප්‍රශ්ණෙ. ඇත්තටම අද අපි මුහුණ දෙන ලොකු, පුංචි, දේශීය සහ ජාත්‍යන්තර, පවුල් සහ අසල්වැසි හැම ප්‍රශ්ණයක්ම නොවිසඳී පවතින්නත් මේ අභිමානය හේතුවක් වෙනව.

අභිමානය ඔළුව පුරා ඔඩු දුවපුවම ඕන කෙනෙක් අධිමානයකට පත් වෙනව. එතකොට මේ ලෝකෙ ඉන්න සිරාම සිරා පොර තමන්ය කියන හැඟීම එනව. ඒක ආවට පස්සෙ හැම වෙලේම අවට සමාජයෙන් තමාට ඒ ඉහල මානසික තත්ත්වයෙන් පවතින්න ඕන කරන පිළිගැනීම බලාපොරොත්තු වෙනව. ඒක නැති වුණාම යකා නැගල හතර වටේ දෙවනත් කරල එක එක විකාර කරනව.

අභිමානය බිඳ වැටෙද්දි ඕන කෙනෙකුට පවතින්න අමාරුයිනේ. ඒක ඉහවහ ගිය කෙනෙක්ට තමන් කවුද, ඉන්නෙ කොහෙද කියල පවා අමතක වෙන්න පුළුවන්. ඒ නිසා අභිමානයත් ඕනවට වඩා වැඩි වුණාම ඒක ලෙඩක් වෙනව.

මගේ ජීවිතේ මට හමුවුණ බොහොමයක් ලොක්කො මේ අභිමානය ඔළුවෙ තියාගත්තු උදවිය. ඒ නිසාම එයාල හැම වෙලේම නිවැරදියි. තමන්ගෙ වරදක් නිවැරදි කරනවටත් අකමැතියි. අතපසු වීමකින් හරි අපි වගේ පොඩි අය අතින් වෙන වැරැද්දක් නිසා එයාලගෙ අභිමානයට හානි වුනොත් ලොක්කො මුළු සේවා කාලය පුරාම අපව කපල දාන්නත් ඉඩ තියෙනව.

මොන විධියෙන් අභිමානය ගොඩනගාගත්තත්, ඒ පුද්ගලයගෙ තරාතිරම මොකක් වුණත් සරල සත්‍යය කියන දේ ඒ අභිමානයටවත් තරාතිරමටවත් යටත් නෑ. ඒ නිසා සත්‍යයට පුළුවන් අභිමානය බිඳින්න. නමුත් ප්‍රවේශමෙන්. අභිමානයෙන් පිරුණ අයත් එක්ක ඇත්ත කතා නොකරන තරමට හොඳයි. ඒ වගේ අයට තවත් අභිමානය ටිකක් දීල තමන්ගෙ වැඩේ කරගන්න එක තමයි කල යුත්තේ.

අභිමානය දෙන්න. ඒත් ගනිද්දි සැලකිලිමත් වෙන්න. :D

Friday, 13 February 2009

තාත්තයි මමයි වැඩට ගියා

අද උදේ මම නැගිට්ටෙ 4.15ට. තාත්තත් ඒ වෙලාවටම. දෙන්නම උදේ 5.45 වෙද්දි බස් එකේ නැගල පැය තුනකටත් වඩා දිග ගමනකින් පස්සෙ මාව අනුයුක්ත කරල තියෙන සේවා ස්ථානයට ගියා. ඇත්තටම තාත්ත ආවෙ එයාට ඒ පරිසරය බලන්න ඕන කියලයි. මීට කලින් එයා ඒ පළාතට ගිහින් නෑ. කොහොම හරි උදේ නැගිටල පැයගානක් බස් එකේම යන විධියෙ රාජකාරියකට මම කැමති වුණේ නෑ මුලින්. මම අර්ධ නිශාචරයෙක් නිසා කොයි තරම් රෑ වෙනකල් ඇහැරල හිටියත් උදේ නම් නිදාගන්න ඕන. මම දන්න තරමින් අපේ පරම්පරාවෙ බොහොම දෙනෙක්ගෙ තත්ත්වෙ ඒකයි.

නමුත් අපේ තාත්ත මට මතක කාලෙදි අවුරුදු 8ක් පැය තුනක කාලයක් ගෙවම්න් උදේ පාන්දර වැඩට ගියා. ඊට කලින් තව අවුරුදු දෙකක් ඊටත් වඩා ඈතක වැඩ කලා . ඊටත් කලින් තවත් අවුරුද්දක් විතර තව කොහේදෝ දුරක වැඩ කලා කියල කිව්වා. කොහොම හරි ඒ සේවා ස්ථාන සියල්ලටම ගෙදරින් පැය තුනකට එහා කාලයක් ගතකරලයි යන්න තිබිල තියෙන්නේ.

මට මතකයි මං අටේ පන්තියෙ ඉද්දි පන්තියෙ ටීචර්ගෙ පොත අත්සන් කරන්න ඕන නිසා පාන්දර 4.30ට විතර තාත්තට වඳින්න නින්දෙන් ඇහැරුණා. පස්සෙ තාත්ත ඒක නිකංම අත්සන් කලේ අපි උදේ නැගිටින්න ඕන නෑ කියල හිතල.

ඒ කාලෙ තාත්ත ගෙදර අවෙ රෑ 9ත් පහු වෙල. එයා රෑ වෙලා සුරුට්ටුවකුත් පත්තු කරන් ඇවිත් දොරේ සීනුව ගැහුව. ඒක පුරා අවුරුදු 8ක් මම අත්වින්ද. ඒ කාලෙ ඒක ගානක් නෑ. නමුත් පසුව මම ඒ හරහා මගේ තාත්තව සෑහෙන්න තේරුම්ගත්ත. මගේ තාත්ත ලෝකෙ ඉන්න හැම තාත්තෙක්ම වගේ ගොඩක් කැපකිරීම් අපි වෙනුවෙන් කරපු කෙනෙක්. යුතුකමක් විධියට සලකල හරි අපිව මිනිස්සු කරන්න එයා එයාගෙ ජීවිතයම පාරට වැය කරල තියෙනව යම් කාලෙකදි.

ඒ අතින් ගත්තම මාව එල්ලන්න වටිනව. රස්සාවකදි ඒ රස්සාවෙ සුදුසුකම් වලට අමතරව මම දාහක් දේවල් දිහා බලනව. අපිට ගානක් නෑ. මොකද අම්මල තාත්තල සැප දීලනෙ හදල තියෙන්නේ.

මේ තමයි පරම්පරා දෙකක් අතරදි ලෝකයේ වුණ වෙනස ඒ පරම්පරා වලට බලපාල තියෙන විධිය. කැමැත්තෙන් හෝ අකමැත්තෙන් අපි මේ විධියට හැදිල. යම් දවසක අපිටත් අපේ තාත්තගෙ/අම්මගෙ භූමිකාව රඟදක්වන්න සිද්ධ වෙන්න පුළුවන්. එහෙම නොවුණත් අපේ කලින් පරම්පරාව ගෙවපු ජීවිතය ගැන පොඩ්ඩක් හොයල බැලුවනම් අපේ ජීවිතේ මීට වඩා හොඳ කරගන්න ගොඩක් දේවල් ගන්න පුළුවන්.

Thursday, 12 February 2009

තාත්තයි මමයි SALE ගියා

අපේ තාත්ත සෑහෙන්න වැඩ කරනව. මේ වියපත් වයසෙදි පවා එයා නිකං ඉන්න කෙනෙක් නෙවෙයි. ගෙදර තියෙන සුළු සුළු වැඩවල ඉඳන් නොයෙක් වැඩ එයාට තියෙනව. එයා කරන වැඩ එක්ක බලද්දි මම එයින් දහයෙන් එකක්වත් කරන්නෙ නෑ. එක්කො පරිගණකය ඉදිරියෙ. නැත්නම් පොතක් බදාගෙන. මම ඒ ගැන කල්පනා කලාමයි හිතුණෙ ඒක බොහොමයක් දෙමව්පියන් සම්බන්ධයෙන් සාමාන්‍ය ඇත්තක් බව. අපේ අම්මල තාත්තල දැන් පවා කරන වැඩත් එක්ක අපට හැරෙන්නවත් බෑ.

හවස තාත්තයි මමයි ගියා බදුළු මහ රෝහලට තාත්තගෙ මිත්‍රයෙක් හම්බ වෙන්න. රෝහල් භූමිය තුල තියෙනවා ජනප්‍රිය ගෘහ විදුලි උපකරණ සමාගමක ජංගම අලෙවිසැලක්. අද මම ඒක දැකපු තුන්වෙනි දවස. මම දන්නෙ නෑ ඒක නිසා රෝහලට අමතර ආදායමක් ලැබෙනවද කියල. කොහොම හරි සනීප වෙලා ගෙදර යන ගමන් බ්ලෙන්ඩර් එකක්, ටෝස්ටරයක් වගේ දෙයක් ගෙදර අරන් යන්න කැමති රෝගීන් ඇති කියල මට හිතුණා.