Showing posts with label politics. Show all posts
Showing posts with label politics. Show all posts

Friday, 2 June 2023

සතුටින් ඉන්නෙ කොහොමද?

 

මේක සිය දිවි හානි කරගැනීම ගැන මලී ලියපු ෆේස්බුක් හෑල්ලකට දාපු කමෙන්ට් ඒකක් සහ ඒ්කට ආපු ප්‍රතිපාර්ශවීය පිළිතුරකට ලියපු පිළිතුරක්.

මේ සටහන ගැන මට දැනට හිතෙන දේ මේක. සම්පූර්ණයෙන්ම වැරදි වෙන්න පුළුවන්.

මානසිකව බිඳවැටීම කියන්නෙ සාපේක්ෂව අලුතෙන් ඉස් මතු වෙලා තියෙන ප්‍රශ්නයක් වෙන්න ඕන. මම හිතන්නෙ නෑ එහෙම ප්‍රශ්න අතීතයේදි තිබුණ විධිය ගැන පරීක්ෂණ කරලා තියෙනවා කියලා. අතීතයෙදිත් තියෙන්න ඇති. නමුත් අපේ සමාජ ජීවිත සංකීරණ වීම එක්ක මානසික අවුල් වැඩි වෙලා තියෙනවා කියන එකයි මගේ අදහස.

ඕකෙන් ගැලවිලා ඉන්න නම් සරලවම තමන්ගෙ රසඥතාවය සෑහෙන්න දියුණු කරගන්න ඕන. එහෙම නැත්නම් ඒක නැති කරලම දාලා වර්කොහොලික් වෙන්න ඕන. හිත්වලට එන හිස්කම පුරවන්න පුළුවන් ඔය ක්‍රම දෙකට කියලයි මට හිතෙන්නෙ. රසය දියුණු කෙනෙක්ට ලෝකයේ රස විඳින්න දේවල් ඕන තරම් තියෙනවා. කෑමක් බීමක්, කළා නිර්මාණයක් හෝ බොහොම සුළු දේවල් රස විඳගන්න පුළුවන් නම් හිස්කම ඒව අස්සෙ දිය වෙලා යනවා. වර්කොහොලික් කෙනෙක්ට නම් වැඩ අස්සෙ ඕක දිය කරල දාන්න පුළුවන්.

තමන්ගෙ බලාපොරොත්තු බොහොම සුළු අනාගතයකට සීමා කරගන්න පුළුවන් නම් සෑහෙන්න හොඳයි. ඒකෙන් අදහස් කරන්නෙ නෑ දිග අනාගතයකට ප්ලෑන් කරන්න එපා කියලා. ප්ලෑන් කරන්න. වැඩ කරන්න. බලාපොරොත්තු නොවෙන්න. වෘත්තීයමයව ඇරුණම කාගෙන්වත් මොකවත් බලාපොරොත්තු නොවෙන ගානට එන්න පුළුවන් නම් මරු. අමාරුයි. හැබැයි පුළුවන්.

උදේ නැගිට්ටම මගේ තියෙන ලොකුම බලාපොරෙත්තුව හවස ගෙදර ඇවිත් ගහන සිගරට් එක. රෑ වෙද්දි කැමති එපිසෝඩ් එකක් බලන එක, යූ ටියුබ් සංවාදයක් අහන එක. එතනින් එහා බලාපොරොත්තු කියන ඒවාට වැදගත් කමක් ලැබෙන්නෙ ඒ අවස්ථාව අනුවයි. ඒ බලාපොරොත්තු වෙනුවෙන් වෙන මහන්සිය අපතේ යන්නෑ කියන කාරණය මත විතරයි මංනං බලාපොරොත්තුවක් පස්සෙන් යන්නේ.

සමාජ ජීවියෙක් වෙද්දි ඕනම කෙනෙක් සමාජයෙන් බලාපොරොත්තු වෙනවා පිළිගැනීමක්. ඒ එක්කම තමන් විසින් ළඟා විය යුතු ජීවිත මට්ටමක් ගැන බලාපොරොත්තුවකුත් තියෙනවා. ඒවා නොලැබෙද්දි නොසන්සුන් වෙනවා. සමාජෙත් එක්ක අවම සම්බන්ධ තියාගෙන සමාජටෙ බ.ම්.බු. ගහගන්න කියල ඉන්නත් පුළුවන්. හිතෙන් හදාගත්ත ස්ටෑන්ඩර්ඩ් හිතෙන්ම විනාශ කරල දාන්න පුළුවන්. හිත පොළොව මට්ටමේම තියාගන්න පුළුවන් නම් මරු මම හිතන්නෙ.

මේ කියපු දේවල් බහුතරයකට අදාළ කරගන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඒ නිසා ඉතිං ඔය ඇඟේ කෙමිකල් ටික බැලන්ස් කරගන්න බෙහෙත් බොන එකත් හොඳයි.

සමාජයෙන් එන ප්‍රශ්නයකට සමාජෙන් උත්තර හොයන්න බැරිදත් මන්දා. කොහොම වුණත් මේවට යුනිවර්සල් උත්තර නෑ.

හෑල්ලෙන් හෑල්ල උතුම් හෑල්ලක් වේ.


---------------------

මේකෙන් සෙල්ෆිෂ් වීමක් ගැන නෙවෙයි කියන්නෙ. තමන් තුළ ගොඩනගාගන්න පුළුවන් මානසික තත්වයන් ටිකක් ගැන. ඒකෙන් බලාපොරොත්තු වෙන්නෙ බාහිරින් එන බලපෑම්වලදි නොසැලී ඉන්න හැකියාව ලැබෙන එක. මොකද අපි මොන විදියට හිටියත් බාහිරින් අපට යොමු වෙන බිඳවැටීම්වලට මුහුණ දෙන්න වෙනවා. අපේ හිත ඒවයින් බිඳගන්නෙ නැතුව තියාගන්නෙ කොහොමද කියලයි මම ඔය කියපු එකේදි කල්පනා කරන්නේ. හැබැයි ඒකෙන් කියන්නෙ නෑ හැඟීම් දැනීම් නැති ගල් මිනිහෙක් වෙන්න ඕන කියන එකත්. ඉමෝෂන් එකකදි සංවේදී වෙලා ඒකට ප්‍රතික්‍රියා කරන එක තමයි හොඳම. හැබැයි ඒක පස්සෙ එල්ලිලා ඉන්නෙ නැතුව ඒකෙන් වෙන ලෙඩ හදාගන්නෙ නැතිව ඉන්න පුළුවන් අර දේවල් පුහුණු කළාම. අපි සේරම මේ එක එක තත්වයන්වලදි ස්‍රාවය වන හෝමෝන සහ කෙමිකල්වල වහල්ලු තමයි ඉතිං.

මෙහෙම තත්වයක් ප්‍රගුණ කළා කියලා මිනිහෙක් වගකීම් විරහිත වෙන්නෙ නෑ. ඕන නම් තවත් වගකීම් සහගත වෙයි. එක අතකින් මේකෙන් මිනිහෙක්ට නරුමයෙක් වෙන්නත් පුළුවන් සාන්තුවරයෙක් වෙන්නත් පුළුවන්. ඔය දෙන්නා බවටම පත්වෙන්න පුළුවන් නම් අයිඩියල්. එතකොට තමන් වොරි වෙන්න ඕන සීමා ටික හොඳටම අඳුනගන්න පුළුවන්. ලෝකෙම ප්‍රශ්න තමන්ට දාගන්නවද නැත්තං තමන්ට අදාළ ප්‍රශ්න විතරක් දාගන්නවද කියල එතකොට ෆිල්ටර් කරගන්න පුළුවන්.

Wednesday, 31 May 2023

චූටි බුබුල


තව තව කුඩා කරමි
මා ආරක්ෂිත බුබුල
හිවලුන් වෘකයන්
සිංහ කෝට් කාරයින්
බූරූ මේස් කාරයින්
පඩ ෂෝ ආගමිකයින්
ආගමික නිරාගමිකයින්
ඊනියා ප්‍රජාතන්ත්‍රවාදීන්
මැදවාසී අන්තවාදීන්
ගොබ්බ සමාජවාදීන්
හිඟන ධනවාදීන්
හැත්ත බුරුත්තම
පන්නා තනි වෙමි
චූටි බුබුල තුල
අහුමුළු අස්සෙන්
ජීවිතය සොයාගමි



2023-05-29

Thursday, 23 February 2023

නිවන් සුව ලැබේවා

එපා කරපු එවුන්ට නිවන් සුව පතන එක මරු වැඩක්. ඒක කවුරුවත් ප්ලෑන් නොකරපු සෝෂල් වැඩක් කියලයි දැනට මට හිතෙන්නෙ. එහෙම කියන එක නිවන ගැන වැරදි විදියට අර්ථ දැක්වීමක් කියල සමහර අය කියනවත් ඇහුණා.

මෙතනදි කට්ටිය නිවන් සුව ලැබේවා කියල කියන්නෙ 'මැරියං' කියල කියන එකටනේ. අපි කොහොමත් හරියටම ඕන දේ කියනවට වඩා වටේ යන්න දක්ෂ නිසා එහෙම නොකියා ටිකක් පොලයිට් විදියට 'නිවන් සුව' කියල කියනවා.

ලංකාවෙ ඝන වස්තුවල ධර්ම ඩිලිවරිය කොහොමද කියනවනම් නිවන් සුවය කියන එක මැරුණට පස්සෙ ලැබෙන එකක් කියල තමයි මිනිස්සු තේරුම් අරන් ඉන්නේ. ඒ නිසා මැරුණට පස්සෙ ඒක ලැබියං කියල ප්‍රාර්ථනා කරල පොඩ්ඩක් හිත සනසවගන්නවා.

කොහොම වුණත් නිවන් ලබපු කෙනෙක්ට ආයෙ ඉපදීමක් තියෙන්න විදියක් නෑ තියරියට අනුව නම්. නිවන් දැකපු කෙනෙක් නැවත ඉපදීම කියන හුය බිඳල දාල නිදහස් මනුස්සයෙක් වෙනවා. ඊට පස්සෙ එයාට ඉපදීමක් නෑ. නිවන් දැකපු කෙනෙක් දිව්‍ය ලෝකෙකවත් අපායකවත් ඉපදෙන්නෙ නෑ. චුත වෙලා නැති වෙලාම යනවා.

ඉතිං මිනිස්සු තමන්ට එපා වුණ උන්ට නිවන් සුව ලැබේවා කියන එකේ අවුලක් නෑ. මොකද උන් අපායකවත් ආයෙ ඉපදෙන්න ඕන උන් නෙවෙයි.

Monday, 11 July 2022

තොපිත් පල

 


පාවිච්චි කල මාස්ක් එක පාරෙ දානවනං

ටොපි චොකලට් අයිස්ක්‍රීම් කාල ඒව ඔතපු පොලිතින් හිටපු තැනම දානවනං

පේජ් කාරයන්ගෙ පින්තූර පෝස්ට් හෙවිල්ලක් බැලිල්ලක් නැතුව ෂෙයා කරනවනං

සෝෂල් මීඩියාවල දකින තමන්ගෙ ඇජොන්ඩාවට සෙට් වෙන ඕන බොරුවක් ආයෙ ආයෙ පතුරුවනවනං

විශේෂිත කාරණයක් වෙනුවෙන් හදාගත්ත චැට් ගෘප් අස්සෙ කිසිසේත්ම අදාල නැති පෝස්ට් දානවනං

පෝලිමක ඉඳල වැඩක් කරගන්න පුරුද්දක් නැත්තං

ආයතනයකින් වැඩක් කරගනිද්දි නියමිත ක්‍රමය අනුගමනය කරනව වෙනුවට ආයතනය ඇතුලෙ කන්ටැක්ට් හරහා වැඩේ කරගන්න ට්‍රයි කරනවනං

ට්‍රැෆික් එකක් සෙට් වුණාම ඉවක්බවක් නැතුව හෝන් ගහනවනං

ගෙදර සවුන්ඩ් සෙටප් එක හතර වටේ ගෙවල්වලටත් ඇහෙන්න දානවනං

තමන්ට ඕන දේ වෙනුවෙන් ඕන බොරුවක් කියනවනං

තමන්ට අයිති නැති, අයිති කාරයෙක් පේන්න නැති දෙයක් දැක්කම ගන්න හිතෙනවනං

තමන් අතින් වරදක් උනාම ඒක පිලිගන්න බෑ වගේ හිතෙනවනං, වෙන එකෙක්ව අහු කරනවනං

පොදු තැන්වලදි තමන් විතරයි ඉන්නෙ වගේ ෆෝන් එකෙන් හෙණ හයියෙන් වීඩියෝ බලනවනං

අනිත් උන් වැරදියි කියන ගමන් තමන් හරි සුදනා කියල හිතනවනං

තොපිත් වැඩක් නෑ තොපිත් පල!


Tuesday, 10 May 2022

පොදු මතය මොකක්ද?

 

පාර්ලිමේන්තුවෙ මහජන ඡන්දයෙන් ඉන්න උදවිය තම තමන් බලයේ රැඳී ඉන්න මිසක් ජනතාව වෙනුවෙන් ඉන්න අය නෙවෙයි කියල පැහැදිලිවම පේනව. එහෙට මෙහෙට වෙවී කල් ඇද ඇද සාකච්ඡා තිය තිය ඒ අතරෙ එක එක ජෝක් කරල මිනිස්සුන්ව වටේ යවන අතරෙ එයාල කොහොම හරි කාලය ගත කරගන්නවා. මෙතනදි කල්පනා කරන්න ඕන දේ තමයි මෙයාලව ආපහු කැඳවන්න නීතිමය හෝ ව්‍යවස්ථාමය හැකියාවක් ජනතාවට නැහැය කියන එක. ඒක මම කියන්නෙ නීති පසුබිම් හෝ ආණ්ඩුක්‍රම ව්‍යාවස්ථාව කියවල නෙවෙයි. පේන දේවල් අනුව විතරයි. එතකොට කෙනෙක් අහයි ජනතාව පාරට බැහැල '225ම එපා' කියද්දි ඒක යාවත්කාලීන වුණ ජන මතය නෙවෙයිද කියල. එතකොට එන ඊළඟ ප්‍රශ්ණෙ පාරට බැහැල තියෙන ජනතාවගෙන් සමස්ථ ජනගහනයේ මතයම නියෝජනය වෙනවද කියන එක. කෑගහන්නේ හෝ මොන විධියෙන් හරි මේ වෙලාවෙ ජනප්‍රිය අදහසට සපෝට් කරන්නෙ මුළු ජනගහනයෙක් කොයි තරම් ප්‍රතිශතයක්ද? විවිධ හේතු නිසා තමන්ගෙ අදහස නොකියා ඉන්න මිනිස්සු කොච්චර ඉන්නව ඇතිද? මේක මනින්න විදියක් නෑ. ඡන්දයක් වගේ එකක්ම හැර ජනතා මතය ගණනය කරන්න විදියක් නෑ.



Thursday, 27 August 2020

The Boy Who Harnessed the Wind (2019) - චිත්‍රපටිය ගැන අදහස්

 



ස්පොයිල් විය හැක

මේ චිත්‍රපටිය බලන්න ගන්නෙ චිත්‍රපටි ගෘප් එකකින් ලැබෙන ඔත්තුවක් මත. චිත්‍රපටියෙ නමින්ම ඉඟි කරන විදියට මේක ධනාත්මක සිතුවිලි ඇති කරන චිත්‍රපටියක්. තමන්ගෙ සීමා බිඳගෙන ඉදිරියට යන ජීවිතයක් පිළිබඳ චිත්‍රපටියක්. එහෙම චිත්‍රපටි මහ ලොකු ගාණක් නැතත් තියෙන ඒව බැලුවම දැනෙන හැඟීම් ජීවිතේ ගැන සුබවාදී සිතුවිලි ඇති කරනව. ඒකට ඒ චිත්‍රපටිය හැදෙන්නෙ මොන රටේද, උන් කතා කරන්නෙ මොන භාෂාවද, උන් මොන පාටද, තේමා වෙන්නෙ මොකක්ද වගේ කිසි දෙයක් අදාළ නෑ. මිනිස්සු විදියට තමන් උපන් ජීවන තත්ත්වය ස්වෝත්සාහයෙන් වෙනස් කරගෙන වඩා පහසු ජීවන තත්ත්වයක් කරා යන චරිත අපිවත් දිරිගන්වනව. මේ චිත්‍රපටිය බලන්න ගන්නෙම ඒ අදහස ඇතිවයි.

Chiwetel Ejiofor කියන නළුවාගේ නම කවදාවත් මතක තිබුණේ නැහැ. ඔහු රඟපෑ මතක ඇති රංගනයක් තියෙන්නෙ 12 years a slave චිත්‍රපටියෙ පමණයි. නමුත් චිත්‍රපටි ගණනාවක සහය නළුවෙක් විදියට පෙනී සිටි ඔහුගේ පෞරුෂය හිතේ ඇඳිල තියෙන එකක්. මේ චිත්‍රපටිය ඔහුගේ අධ්‍යක්ෂණයක්. තිර රචනයත් ඔහුගේමයි. කරන චරිතයත් කරනව උපරිමයෙන්ම.

මලාවි රාජ්‍යයේ දිළිඳු ගොවි පවුලක අවුරුදු 13ක පුතා ඇහිඳගන්න දැනුමකින් තමන්ගෙ පියාගෙ වගාවට වතුර පොම්ප කරන්න සුළං මෝලක් නිර්මාණය කිරීම තමයි චිත්‍රපටියෙ තේමාව වෙන්නෙ. ඒක බැලූ බැල්මට මහ ලොකු දේකුත් නෙවෙයි වගේ පෙන්න පුළුවන්. නමුත් එහෙම තීරණයක් ගන්න ඔහුට සිද්ධ වුණේ ඇයි කියන එක චිත්‍රපටිය පුරාම විහිදුවන ඛේදනීය හේතුවක්. ඒ තීරණය ගන්නෙ ඔහුගෙ කුතුහලය නිසා විතරක්ම නෙවෙයි. කුතුහලය ඔස්සේ යන්න පුළුවන් යම් දුරකට. නමුත් බාධක නොසලකා මිනිහෙක් වෙනස් වැඩකට බහින්නෙ විකල්පයක් අවශ්‍ය නිසා. විකල්පයක් සෙවීම ඔහුගේ වැඩක් බවට පත් කරගත්ත නිසා. තමන්ට කල හැකි දෙයින් වැඩක් ගත්ත නිසා. මිනිස් ශිෂ්ටාචාරය ලෝකය වෙනස් කරන මට්ටමට සංවර්ධනය වෙන්නෙම එහෙම මිනිස්සු නිසා. ඒ අර්ථයෙන් ගත්තම විලියම් කම්ක්වම්බා කියන දරුවා මිනිහෙක්.

චිත්‍රපටිය පුරාම දකින්න ලැබෙන මානව බැඳීම් හා ඝට්ටනයන් ඉතාම සංවේදීයි. පවුල පිළිබඳවත් සාමූහිකත්වය සහ සහජීවනය පිළිබඳවත් මේ ජනතාව තුළ තියෙන ආකල්පය බොහොම ගෞරවණීය එකක් බව පේනවා. ඒ වගේම ඒක පාරම්පරිකව උරුමකරගෙන ආපු වටිනාකමක් බවත් පේනවා. ඉපදුන නිසා ජීවත් වෙනවාට වඩා වටිනාකමක් එකිනෙකා සම්බන්ධයෙන් ඔවුන් තුළ පවතින බව පැහැදිලියි. නමුත් චිත්‍රපටියෙ කියවෙන කාල සීමාව වෙද්දි දේශපාලකයන් විසිනුත් ව්‍යාපාරික ප්‍රජාව විසිනුත් ජනතාව සතු ඒ වටිනාකම් වෙනස් කරමින් ලාභ ප්‍රයෝජන ලබා ගන්න විධිය චිත්‍රපටිය තුළට යොදාගැනීමෙන් චිත්‍රපටියේ වටිනාකම තව ඉහළ ගිහින් තියෙනවා.

චිත්‍රපටිය හැදෙන්නෙ පොතකින්. පොත ලියල තියෙන්නෙ විලියම් කම්ක්වම්බා විසින්ම තම අත්දැකීම ඇසුරිනුයි. පොත කියවන්න හොයාගැනීමේ උවමනාවකුත් තියෙනවා. අප්‍රිකානු කලාපයේ ජීවිත ගැන වඩා යථාර්ථවාදී විස්තරයක් චිත්‍රපටියටත් වඩා පොත තුළ විස්තර වෙනව ඇති කියල හිතෙනවා. කවුරුන් හෝ ඒක පරිවර්තනය කරනවානම් පැති කීපයකින් රස විඳින්න පුළුවන් කෘතියක් වෙයි කියලත් හිතෙනවා.

මේක නාට්‍යමය චිත්‍රපටියක්. දූවිලි පිරුණු කාෂ්ටක කැළඹිලි සහිත ගමනකින් ඔබව නිල්ලත් සැනසිල්ලත් පිරුණු අවසානෙකට ගෙන යන චිත්‍රපටියක්. එහෙනම් බලන්න!


https://www.imdb.com/title/tt7533152/

Monday, 3 August 2020

සූස්ති (2020) - සිංහල චිත්‍රපටිය ගැන අදහස්


ස්පොයිල් වීමට ඉඩ තිබේ.

මේ චිත්‍රපටිය හෝල් එකකට ගිහින් බලන්න පුළුවන් වෙයි කියල හිතුණ එකක් නෙවෙයි. ඒකට විවිධ හේතු කීපයක්ම තිබුණා. නමුත් කලින් සැලසුම් කරගෙන හිටපු දේවල් කීපයක් වෙනස් වීම නිසා සූස්ති චිත්‍රපටියත් ඇවිලෙනසුලුයි චිත්‍රපටියත් එකම දවසක එකම ශාලාවක 10.30ට සහ 1.30ට බලන්න පුළුවන් වුණා.

සූස්ති චිත්‍රපටියෙ ට්‍රේලර් එකවත් නොබල ඒ ගැන කිසිම දෙයක් කියවන්නෙවත් නැතුව හිටි පසුබිමකයි මම හෝල් එකට ගියේ. රෝඩ් ට්‍රිප් වර්ගයේ චිත්‍රපටියක් බවත් දසුන් පතිරණ රඟපාන බවත් විතරයි මට මතක තිබුණෙ. චිත්‍රපටියෙ විනාඩි පහළොවක් විතර යනකල්ම මම හිතුවෙ දසුන් ප්‍රධාන චරිතෙකට ඇති කියලයි :P

චිත්‍රපටිය ගැන මට හිතුණ සමස්ත අදහස ගත්තොත් කියන්න වෙන්නෙ ‘මරු! තව පොලිෂ් වුණා නං මරේ මරු‘ වගේ එකක්. එහෙම එකක් ඉබේම දැනෙන එක වළක්වන්න බෑ. මේ වෙද්දි ලංකාවෙ මිනිස්සු සැලකිය යුතු පිරිසක් අඩු ගානෙ චිත්‍රපටි සහ ටෙලි නාට්‍ය සම්බන්ධයෙන් ජාත්‍යන්තරය ඇසුරු කරන අය. ඒ නිසා එයාලව රවට්ටන්න බෑ.  ඒ නිසා ඒක සාමාන්‍යයෙන් හැම විදියෙම චිත්‍රපටි බලන මනුස්සයෙක්ට හිතෙන්න පුළුවන් දෙයක්. ඉතිං මට හිතෙන දේ ඒක. වැඩේ මරු. තව ටිකක් පොලිෂ් වුණානං තවත් මරු. හැබැයි ලංකාවෙ වැඩක් විදියට නියමයි. සූස්ති කොහොමත් බහුතරයක් මිනිස්සු නරඹන්න ඉඩ තියෙන වර්ගයේ චිත්‍රපටියක් නෙවෙයි. නමුත් බහුතරයකගේ රසාස්වාදය විවිධත්වය දිශාවට තවත් නැඹුරු කරන්න කරන වෑයම දිගටම සිදුවිය යුත්තක්. දෙදාස් පන්සීයේ සහ පන්සිය පනහේ ම හිරවෙලා ඉන්න ඕන නෑ. සූස්ති කියන්නෙ ඒ විදියෙ සාම්ප්‍රදායික ප්‍රේක්ෂකයිනුත් ආකර්ෂණය කරගන්න පුළුවන් විදියෙ චිත්‍රපටියක්. ඉතිං ඒක බලල රස විඳපු බහුතරයක් නොවන අය විසින් පෙළඹවීමක් ඇති කල යුතුයි. මේ වෑයම ඒ වෙනුවෙන්.

‘සූස්ති‘ සිනමාවේ විවිධත්වය හොයන ප්‍රේක්ෂකයා නොරවටන චිත්‍රපටියක්. මේ වගේ බටහිර හෝ යුරෝපීය චිත්‍රපටි ගණනාවක් බලල තිබුණත් මේක ඊට වෙනස්. මොකද මේ රෝඩ් ට්‍රිප් එක අස්සේ ලංකාවෙ මේ මොහොතේ ඇත්ත අල්ලගෙන තියෙනවා. ‘සූස්ති‘ අපි ජීවත් වෙන සමාජය නිරුවත් කරල අපේ මූණටම දමල ගහන චිත්‍රපටියක්. සිංහල සිනමාව කියන එක මේ හැරෙන පැත්ත, එහෙම නැත්තං බෙදෙන අත්ත ශක්තිමත් වෙන්න ඕන කියන එකයි මගේ එකම පැතුම. මොකද මේක ෆිල්ම් ගැනත් සමාජය ගැනත් ස්ටඩි එකකින් එන එකක් මිස ෆිල්ම් හදන්න උපකරණ තියෙන නිසා එළියට ආපු වැඩක් කියල පේන්නෙ නෑ. එහෙම එකක් සම්පූර්ණයෙන් ගොඩ යන්නෙ මිනිස්සු ඒක බැලුවොත් තමයි.

කළණගෙ ලිවීම් ගැන මම දැනගෙන හිටියෙ ඔහු කවි පොතක් පළ කරපු බව කියවල තිබුණ නිසා. යූටියුබ් එකේ දැක්ක සම්මුඛ සාකච්ඡාවකදි ඔහු උත්තර දෙන විදියෙන් ඔහු කියවීමක් හැදෑරීමක් සහිතව වැඩේ ඇතුළෙ ඉන්න මනුස්සයෙක් කියන අදහසත් මට තිබුණා. ඒ නිසා ඔහුගේ ලිවිල්ල ගැන බලාපොරොත්තුවක් තිබුණා.

ලිවිල්ල ඉතාම හොඳ තැනක තිබුණත් තවත් මටසිළුටු කරන්න තිබුණා කියන අදහස මට තියෙනවා. චිත්‍රපටිය තුළ ගොඩනැගෙන සංවාදය දියුණුයි. ඒත් සමහර දෙබස් අස්සෙ ප්‍රායෝගික නැති තැනක් දෙකක් බලද්දි අහු වෙනවා. ඒක වෙන්නෙ චිත්‍රපටියට යොදවාගෙන ඉන්න මයින්ඩ් එක බිඳවැටීම නිසා. හරියට වීඩියෝ එකක ග්ලිච් එකක් වගේ එහෙම ස්වභාවික නොවෙන පොලාපැනීම් තේරෙනවා. ඒ සංවාදය තව ටිකක් බිමට ගේන්න පුළුවන්ද කියල මම දන්නෙ නෑ. සමහර විට පිටපත් ගැන තව තවත් සාකච්ඡා කළා නම් එහෙම වෙනස් වෙන්න තිබුණා. සමහර විට මෙ චිත්‍රපටිය ගැන ඔවුන්ගේ සාකච්ඡාවල දිගුව එළියට එන්න ඉඩ තියෙන්න ඊළඟ නිර්මාණයේදි වෙන්නත් පුළුවන්. එහෙම වෙන්න කියන එකත් මගේ පැතුමක්.

ඒ උඩින් කියපු දේ සෑහෙන්නෙ මගඇරෙන්නෙ කළණ සහ සමනලීගෙ රඟපෑම නිසා. කලින් සමනලී රඟපාපු එකක් බලල නෑ වගේම කළණව ගත්තොත් මම ඔහුගේ කූඹියෝ ටෙලියවත් සම්පූර්ණයෙන් බලල නෑ. මට හිතෙන්නෙ සමනලීගෙ රඟපෑම චිත්‍රපටිය පුරාම අපූරුයි. කළණගේ දෙබස් ඩිලිවරිය සමහර විට ඔහුම ලියපු නිසාද මන්දා ඉතාම ස්වභාවිකයි. දෙන්නම චරිතය තේරුම් අරන් සීන් එකේ ඉන්න බව තේරෙනවා.

අනිත් අතට මට හිතෙන්නෙ මේකෙ ඉන්න දෙමව්පියො දෙන්න ඕනම නෑ කියලයි. ඒ දර්ශන කීපය විසින් ෆ්ලෝ එක කඩල දානව වගේම ඒ ටික නොතිබුණා කියල කතාවෙ තීම් එකට ලොකු බාධාවක් වෙන්නෙ නෑ. සමහර විට ප්‍රධාන නළු නිළි දෙපළගේ සාකච්ඡා අස්සෙ නොකියවෙන කෝණයකුත් චිත්‍රපටිය අස්සට දාන්න කුෂාන් සහ කළණ දෙන්නට ඕන වෙන්න ඇති. සාමාන්‍යයෙන් මුලින්ම නිර්මාණයක් කරද්දි වෙන ප්‍රශ්නයක් ඒක. තියෙන ඔක්කොම රිංගවන්න යන එක. සමහර විට චිත්‍රපටියේ ගලායාම කඩල පොඩි විවේකයක් දීම අරමුණක් වුණා වෙන්නත් ඇති.

මේකෙ සංගීතයත් ගීතයත් ගේන වයිබ් එක නියමයි. කැමරාව මෙහෙයවීම වෙනම වැඩක්. එක දිගට සෑහෙන්න වෙලාවක් රූපගත කරපු දර්ශන කීපයක්ම තිබුණා. කලින් එහෙම වැඩ තියෙන සිංහල චිත්‍රපටි දැකල තිබුණෙ නැහැ. ඒ දීර්ඝ දර්ශන අස්සෙ ඇදෙන දෙබස් තියෙනව කියන්නෙ කට්ටිය වැඩේ ෆුල් සීරියස් අරන් කියන එකයි.

අපේ රටේ (ලෝකෙමත් සමහර විට) මේ වෙනකොට තියෙන සමාජ විපරිත බව ඇතිවෙන්නෙ අධ්‍යාපනය අවුල් වීම නිසා කියල මට හිතෙනව. ඉවසීම, විනය වගේ වචන නොදන්න, ප්‍රශ්නයක් දිහා විවිධ පැතිවලින් බලන්න නොතේරෙන, අන්‍යෝන්‍ය ගෞරවය රැකගෙන වැඩ කරන්න නොතේරෙන මිනිස්සු පේනව වැඩියි. ඒක ක්ෂණිකව වුණ දෙයක් නෙවෙයි. ආර්ථික සමාජ පද්ධතීන් වෙනස් වීමත් එක්ක ඒකට හැඩගැහෙන ක්‍රමවේද අප්ඩේට් නොවීමේ අවුලක්. ඒක මේ වෙද්දි අපේ සමාජෙ පුරාම පැතිරුණු එකක්.  එපා වෙන තරමට හැම තැනකදිම හමුවෙන, රිපීට් වෙන දෙයක්. ඒ අස්සෙ ඔය සේරම එපා වෙලා ඉන්න කෙනෙක්ට බොහොම සුළු සිදුවීමක් ඇති ජීවිතේ එපා වෙලා මැරෙන්න ඕන වෙන. එහෙම වෙලාවක ජීවිතේ වෙනස් විදියකට දකින්න පෙළඹවීමක් ඇති වෙන්න තප්පරයක් ප්‍රමාණවත් වෙයිද?

මේ චිත්‍රපටිය එක්තරා විදියක පරීක්ෂණයක් කියල මට හිතෙනවා. ලංකාවෙ මේ වගේ ස්ක්‍රිප්ට් එකකට යන්න පුළුවන් දුර මොන වගේද කියන එක පරීක්ෂාවට ලක් වෙන තැනක්. දේශපාලනය ගැන ඇක්ෂන් මට්ටමේ නිර්මාණ බිහි වෙලා තිබුණත් ඒක දාර්ශනික පැත්තකින් ගොඩනගමින් බිහිවුණ චිත්‍රපටියක් මම බලල නෑ. මම හිතන්නෙ මේක ඒ වගේ වැඩවලට හොඳ ප්‍රවේශයක්. සමාජය ගැන කියවීමක්, සංවාදයක් ඔළුවට දාන චිත්‍රපටියක්. මේ කාලෙ හැමෝම සමාජ දේශපාලනික විශ්ලේෂකයෝ වෙලා ඉන්න නිසා මෙහෙම එකකට වටිනාකමක් ලැබෙයි කියල හිතනවා. මේ ලංකාවට අවශ්‍ය ටිත්‍රපටියක්. අපේ ජීවිත ගැන සංවාද කරන අපේ චිත්‍රපටියක්.

හැබැයි ඒ සංවාදය හෝල් එකෙන් එළියෙත් සිද්ධ විය යුතුයි. නිර්මාණය මගින් ඇති කරන සමාජ බලපෑම ක්‍රමයෙන් සමාජයේ වෙනස් වීමට බලපෑ යුතුයි. ඉතින් ඔබ සූස්ති නැරඹිය යුත්තේ ඒ නිසයි.

https://www.imdb.com/title/tt10827784/


Wednesday, 9 September 2015

කොට කෑලි


මමයි කුමායි අහම්බයකින් කාලෙකට පස්සෙ හමු වුණේ ටිකක් ඈත ගමක පැවතුණු එකම පොදු රාජකාරියට ආයතන දෙකකින් සහභාගි වුණ නියෝජිතයන් විධියටයි.

රාජකාරිය අවසන් වෙලා හවස 3ට විතර ගෙවල් බලා යන්න කලින් අපි දෙන්නා මහ පාර අයිනෙ ගමට හැරෙන හන්දියෙ ළඟ තිබුණ එකම සිල්ලර බඩු කඩේට ගොඩවුණා. දෙන්නා දුම් කූරු දෙකක් පත්තුකරගෙන ආගිය කතා කියවන්න ගත්තෙ පැරණි මතකයන් අතර හිතින් සැරිසරමින්.

පවුල් ගැනත් ළමයි ගැනත් සුපුරුදු කතා ටිකෙන් ටික යොමු වුණේ දේශපාලනේට.

ඉතිං කොහොමද ඡන්දෙ එහෙම? Yeahපාලනේ සැපද?

අනේ මන්ද බං... සේරම මහ අවුලක් වෙලා දැන්... උන් උන්ගෙ ප්‍රශ්ණ තමයි රටේම ප්‍රශ්ණ වෙලා තියෙන්නෙ. මිනිස්සුන්ගෙ ප්‍රශ්ණ හැමදාම ගොඩගැහෙනවා.

ඉස්සරත් එහෙම තමයි බං... තමන් වෙනස් නොවී රට වෙනස් වෙන්නෙ නෑ කියන එක මිනිස්සුන්ට තේරෙන්නෙ නෑ.

ඒ වුණාට හැමදාම කට්ටිය ඡන්දෙ ඉල්ලන්නෙ වෙනසක් කරන්න. ඡන්දෙ ගත්තම වෙනස කරගන්නෙ එයාලට...


අපේ කතාව දුම් උගුරු අතර වරින් වර නතර වුණා... ප්ලේන්ටියක් බොන්න තැනක් පේන මානෙක නොතිබුණ නිසා කුමා පළතුරු බීම බොතල් දෙකක් ගත්තා. දුම් උගුරු අතරෙ සැන්ඩ්විච් කරමින් ඒ බීම බෝතලේ හිස් කරන අතරෙ තප්පර කීපෙකට මනෝ ලෝකෙකට ගිය මගේ අවධානය ආයෙමත් පියවි ලෝකෙට යොමුවුණා. ඒ වෙද්දි කුමාගෙ අවධානය යොමු වෙලා තිබුණෙ කඩේට ගොඩවෙලා හිටපු අපේ වයසෙම වගේ කියල හිතෙන කාන්තාවක් දිහාට.

සීනි 100යි, තේ කොල 50යි, පොඩි කිරිපිටි පැකට් එකයි, රතු ළූනු 100යි. මිරිස් කුඩු 50යි. පොල් ගෙඩියයි...

කඩේ මුදලාලි ලැයිස්තුවක් කියවනව. ලැයිස්තුවේ තියෙන්නෙ කවුන්ටරේ හිටගෙන හිටපු කාන්තාව ඉල්ලපුව. බඩු සියල්ල රුපියලේ ෂොපිං බෑග් එකකට දමාගත් ඇය ඒ මල්ල දකුණතේ ඇඟිලිවල පටලා පොල් ගෙඩියත් ඒ අතට ගත්තා.

වමතේ පොඩිවෙලා තිබුණ රුපියල් කොල කීපයක් මුදලාලි අතට ගියා. ඉතිරි වුණ කාසිවලින් ඇගේ සායෙ එල්ලිය හිටපු අවුරුදු 5-6ක විතර පොඩි එකාට ජෙලි පැකට් එකක් ලැබුණා. ඌ ඒක ගත්තෙ නිධානයක් ලැබුණ වගේ සතුටකින්. ඒ පොඩි එකා බාලාංශෙ වගේ පන්තියක වෙන්න ඕන. මඩ පැල්ලමින් බොර පාට වුණ සුදු කමිසෙ කලිසමට යට වෙලා තිබුණෙ බාගෙට.

ගනු දෙනු බේරපු කාන්තාව හිමින් හිමින් හන්දියෙන් හැරිලා ගම ඇතුලට ඇදුණා. පොඩි එකාගෙ පිටේ එල්ලුන ඉස්කෝල බෑග් එකේ ජනප්‍රිය දේශපාලකයෙක් ඉලක්කමක් දිහා බලාගෙන හිනා වෙමින් හිටිය.

මගේ කට කොනට හිනාවක් ආවා...

කුමාගෙ දුම් කූරෙ අග අඟලක අලු වැටියක්. මම උගෙ මූණ දිහා බැලුවා...

උගේ මූණෙත් උපහාසාත්මක හිනාවක්...

ඒත් ඒක හිනාවෙන්න ඕන දෙයක් නොවෙන බව ඌත් දන්න බව මම දන්නවා.

වැඩක් නෑ බං... බම්බුව...

දුම් කූරෙන් ක්ෂණිකව උගුරු දෙකක් ඇදලා කුමා කොට කෑල්ල බිම දාල සපත්තුවෙන් පොඩි කලා.

Saturday, 11 October 2014

තාරා මගේත් දෙව් දුව

තාරා යනු කවුදැයි මා දන්නෙ නැත. එය සෙවීමටද උවමනාවක් මට නැත. එහෙත් සිත පැහැරගත් විජේමාන්නයන්ගේ තාරා ගැන බිඳක් ලියන්නට උවමනාය.

යුද්ධය හා උදාව ඇති එහි පශ්චාත් තත්ත්වයන් ගැටළු සියල්ලට විසඳුමක්ද යන්න ගැන විජේමාන්නයන් ප්‍රශ්ණ කරයි. එයට කිසිවකු පිළිතුරු නොදෙන බව දැන දැනම ඔහු එම ප්‍රශ්ණය නගයි. ඇත්තෙන්ම ඔහු පිළිතුර දනී. එක් පිරිසක් විජයග්‍රහණයෙන් උද්දාමව ජයපැන් බොන ඇසිල්ලේ තාරා සදහටම නික්ම යවන්නේ එහෙයිනි. ඇයට කල හැකි කිසිවක් නැත. හුදු සෞන්දර්යවාදී සාහිත්‍ය ලෝලීන් පිරිසක් මනෝ ප්‍රහර්ෂයට ලක් කරනු හැර තාරාට කරන්නට යමක් ඉතිරිව නැත.

තාරා ලංකීය සාහිත්‍යයේ පවතින තැන එතරම් ඉහල නොවිය හැක. ඉහත කී ප්‍රශ්ණ නැගීම හැර ඉන් එපිට දේශපාලනීය මැදිහත්වීමක්ද ඉන් සිදුවන බවක නොපෙනේ. සරාංශය ගත්විට එහි එතරම් ගත යුත්තක් ඇති බවක්ද නොදැණේ.

එහෙත් එය විශිෂ්ට ලිවීමක් බව කිව යුතුය.

එසේ කිව හැක්කේ මන්ද යන්න නැවතත් සිත අවදි කල යුතු කරුණකි. විජේමාන්නයන්ගේ වාග් කෞෂල්‍ය වෙනදා මෙන්ම ලගන්නා සුළුය. අන් කිසිදු කරුණකින් තොරව වුවද තාරා විශිෂ්ට ලිවීමක් ලෙස දැණෙන්නේ එබැවිනි.

තාරා අවදි කරන්නේ මාගේ කාන්සාමය මතකයන්ය යන්න ප්‍රතික්ෂේප කල නොහැකි සත්‍යයකි. පැරණි ප්‍රේමයන් සම්බන්ධ එම මතකයන් බොහොමයක් අමතකවන්නට ඉඩ දී ඇත. එහෙත් මීදුමත්, කඳු වැටිත්, තේ වතුත්, සීතලත් කැටිවුණ මතකයන් කිසිදා අමතක වන්නට ඉඩක් නැත. එම තෙත් මතකයන්ගෙන් තොරව වුවද අතීත සුන්දර සිහිනයක් සැබෑ ජීවිතය තුල විඳින්නට අකමැති අයෙක් වේද?

තාරා පැහැරගන්නේ ඔබේ ඒ ආශාවයි.

ප්‍රියංගා යනු එම සිහිනය සැබෑව තුලද සිහිනයක් පමණක්ව විඳින්නට භාණුක බැඳ දමන්නියයි. ඇය භාණුකගේ බිරිඳව නොසිටියානම් මෙහි කියන්නට කතාවක් නැත. මන්ද ප්‍රියංගා නොවන්නට තාරා හා භාණුක දරුවන්ද පිරිවරා ගෙවන ඒකමිතික ජීවිතයක් අරඹන්නට ඉඩ ඇති බැවිනි. එහෙත් ප්‍රියංගා භාණුක ලිහා දැමිය යුතු වපරිසය දනී. මෙම තුන්කොන් ප්‍රේමය තුල ඇගේ චරිතය මා හට අභව්‍ය බව දැනෙන්නේ එහෙයිනි. නොඑසේ නම් ඇය තාරාටත් ඉදිරියෙන් රැඩිකල්ය. අවබෝධශීලීය. එවන් ගැහැණුන් සැබෑ ලොවේ සිටීදැයි මම නොදනිමි.

ගොඩගත් තාරා මා තෙහෙට්ටු කරවන්නීය. ඇය මාගේ මනසේ රූපගත කිරීම මට අපහසුය. මන්ද විජේමාන්නයන්ගේ තාරාට සම කර හැකි රුවක් මා අතීතයේද වර්තමානයේද දැක නැත. එය සිතින් මවාගන්නටද මා අපොහොසත්ය. නැතිනම් මා උවමනාවට වඩා ක්ෂුද්‍ර ලක්ෂණ ගැන උනන්දු වනවා වන්නට පුළුවන.

කෙසේ වුවද මට තාරා දෙව් දුවක් ලෙසම සිටින්නට අවශ්‍යය.

මට ඈ නැවත වලදමන්නට උවමනාය.

Sunday, 12 May 2013

ස්ටාර්ට් ලයින් එක අඳිමුද?



මේක ලියවෙන්න ආසන්නතම හේතුව චාමි විසින් බුකියෙ ෂෙයා කරපු බස්සාගෙ ස්ටේටස් අප්ඩේට් එකක්. බසුතුමා ඒකෙ සෑහෙන්න හිතේ අමාරුවෙන් කතා කරල තිබුණෙ. ඔය හිතේ අමාරුව සංවේදීකම තියෙන, පොළොවෙ ජීවත්වෙන කාටත් තියෙන එකක්. නමුත් ගොඩක් අය ඇහෙන්නෑ පේන්නෑ වගේ ඉන්න නිසා මේ ගැන මෙහෙමවත් කතා කරන්නෙ ඉවසන් ඉන්න බැරිම වුණ මනුස්සයෙක් විතරයි. ඉතිං බස්සගේ ඒ කතාව කියෙව්වම ආතක්පාතක් නැතිව මගේ හිතේ එහෙ මෙහෙ යමින් තිබුණ අදහස් කීපයක් එලියට දාන්න ඒක හොඳ ස්ටාට් එකක් කියල හිතුණා.

මේ වෙන දේවල් බැලුවම කියෙව්වම අපි ජීවත්වෙන සමාජය සීඝ්‍රයෙන් කඩාවැටෙමින් යනව කියල තේරෙනවා. ඒකට කියන අනිත් වචනෙ පිරිහෙනවය කියන එක. ඕක එක එක විධියට දකින්න පුළුවන්. දියුණුවෙන් දියුණුවට පත් වෙන ඒවත් සමාජෙ තියෙනව. නමුත් ඒකට සාපේක්ෂව මානුෂික වටිනාකම්වලින් අපි දියුණු වෙන්නෙ අනිත් පැත්තට. පත්තරවල, ටීවීවල සහ කටින් කට ආරංචි වෙන අපරාධ හැමතැනම. කෙනෙක් කියයි ඒ කාලෙත් එහෙම තමයි. දැන් ජනමාධ්‍ය දියුණු වෙලා කියලා. ඒ කතාව වැරදි නෑ. නමුත් හරියටම හරිත් නෑ. පහුගිය අවුරුද්ද දෙක ඇතුලත අපි අහන දකින දේවල් සෑහෙන්න වෙනස් වෙලා කියන එක මග අරින්න බැරි ඇත්තක්. අය යුද්දෙ නැතුව පාළුයි සෙට් එක කියනව වගේ යුද්ධෙ අවසන් වීම නිසා ලංකාවට මගහැරුණු කුරිරු ත්‍රාසය නැවත ලබාගන්න තියෙන උවමනාව නිසා උදාවුණ තවත් තත්ත්වයක්ද ඒක?

වැඩේ කියන්නෙ මේ කාලෙ වෙද්දි වෙන කවරදාටත් වඩා ආගමික ප්‍රබෝධය 'කියන එක' තියෙන්නෙ ‍ගොඩක් ඉදිරියෙන්. මම හිතන්නෙ හැම ආගමකම. නමුත් ඇත්තටම ආගම්වල තියෙන අර්ථයන් මිනිස්සු අතරෙ තියෙනවද කියන ප්‍රශ්ණයට උත්තර නෑ. සාමාන්‍යයෙන් ඕන මිනිහෙක් එක්ක කතා කරද්දි හිතෙන්නෙ 'මූ මාර හොඳ මිනිහෙක්' කියලා. හම්බවෙන හැමෝම වගේ සර්ව සාධාරණයි. අවංකයි. පරාර්ථකාමීයි. නමුත් සමාජයක් විධියට අපි ජීවත්වෙන වටපිටාව එහෙම නැහැ. අවුල කොතනද?

මේ දවස්වල වෙසක් එකට අපේ ඔෆිස් එකෙන් සංවිධානය වෙන සීල ව්‍යාපාරය ඇතුලෙ තියෙන පඩ ෂෝ ටික ගැන වුණ කතාවකදි කෙල්ලෙක් කියපු කතාව වටින්නෙ ඒක කෙල්ලෙක් කියපු නිසාමයි.

'ඉස්සර තමයි සීලෙ තිබුණෙ. ඊට පස්සෙ සීල ව්‍යාපාර තිබුණා. දැන් සීලෙ හැලිල ව්‍යාපාර තමයි තියෙන්නේ.'

පඩ ෂෝ සමාජය කියන එක මේ වෙනකොට සමාජය නම් කරන්න පුළුවන් එක ක්‍රමයක්. පොඩ්ඩක් හිතල බැලුවොත් ඇයි එහෙම කියන්නෙ කියල තේරෙයි.

ඔය සියළු දේවල් අස්සෙ අපේ විශ්වාසයන් සේරම විනාශ වෙනවා. අපි පිළිගත්තු සාරාර්ථ අපේ ජීවිත පෝෂණය කරනවා වෙනුවට අපිට කෙලවනවා. සමහරුන්ට මේක තේරෙනවා. අහිංසක මිනිස්සු ගොඩ දෙනෙක්ට මේක තේරෙන්නෙ නෑ. ගොඩක් කපටි තවත් කොටසක් තේරුණත් තේරෙන්නෙ නෑ වගේ ඉන්නවා. එ‍් එක්කම අනිත් මිනිස්සුන්ට කොචෝක් දානවා. හැබැයි ඒ අය තමයි පරිණාමිකව ඉදිරියෙන් ඉන්න මිනිස්සු. එයාල ඕන පැත්තට හැරෙන්න පුළුවන් ලැජ්ජාවක් නැති අය. ලැජ්ජාව නැති වීම අද යුගයේ අවශ්‍යතාවයක්.

අපි විතරක් නෙවෙයි. අපෙන් පස්සෙ එන පරම්පරාව, අපේ දරුවො එන්නෙත් මෙහෙම විකාර වුණ සමාජ‍යකට. ඒ නිසා මේක වෙනස් කරන්න අවශ්‍යයි කියන කතාව තමයි බස්ස කියල තිබුණෙ. කතාව ඇත්ත. මේක ගොඩක් පරණ කතාවක්. හැම තිස්සෙම තියෙන සිස්ටම් එක අවුල් තමයි. වඩා හොඳ සිස්ටම් එකක් වෙනුවෙන් අනාදිමත් කාලෙක ඉඳන්ම හීනයක් තියෙනවා. ඒ හීනය ගොඩක් මිනිස්සුන්ව ජීවත් කරල තියෙනව වගේම ඒ හා සමාන මිනිස්සු ටිකක් මරණයට පත් කරලත් තියෙනවා. ඒ හීනය හොඳ මාකට් එකක් තියෙන වෙළඳ භාණ්ඩයක් දැන්.

ටික කාලෙකට කලින් වුණ සෙට් වීමකදි එක යාළුවෙක් කිව්වෙ ඇමරිකාව වගේ රටක් මාර හොඳ ඇති කියලා. ඒ වගේ රටක හිටියනං මෙහෙම අවුලක් වෙන එකක් නෑ කියලා. ඌ එහෙම කිව්වෙ ඒ වගේ රටක ටැලන්ට් එක මාකට් කරන්න තියෙන ඉඩ වැඩි නිසා. ලංකාවෙදි ටැලන්ට් එක කියන්නෙ මිනිහෙක්ට දියුණු වෙන්න තියෙන අවම සාධකය වෙලානෙ තියෙන්නෙ. ගොට්ට ඇල්ලුවොත් තමයි ගොඩ යන්නේ. කොහොම නමුත් මේ වෙනකොට ලෝකෙටම තියෙන්නෙ සහ පොම්ප කරන්නෙ ඇමරිකානු සිහිනයක්. ඉතිං ඇමරිකාව ගැන ඒ දවස්වල මමත් එහෙම හිතුවා. නමුත් ඇත්ත ඒක නෙවෙයි. ඇමරිකාව වගේ දියුණුයි කියල කියන රටවල් තරම් මිනිස්සුන්ව සිස්ටම් එකෙන් පාගන රටවල් තවත් නැහැ. එකම වෙනස ඒ පෑගිල්ල පරම්පරා කීපයක් තිස්සෙ බොහොම සංවිධානාත්මකව වෙන නිසා දැණෙන්නෙ නැතිව ගිහින් තියෙන එක. එහෙම කියන්න මම ඇමරිකාවට ගිහිල්ලවත්, ගියපු කෙනෙක් එක්ක ඒ ගැන කතා කරලවත් නෑ. නමුත් ඇමරිකාවෙන් එලියට එන චිත්‍රපටි අස්සෙ තියෙන අතුරු කතාවල සහ යටින් යන කතාවල ඇමරිකාවෙ හෙළුව ප්‍රදර්ශණය වෙනවා. මම දන්නව චිත්‍රපටි බොරුයි කියල. නමුත් අතුරු කතා බොරු නෙවෙයි.

ඒක කියද්දි මතක් වෙන්නෙ ළඟදි බලපු sirius (2013) වාර්තා චිත්‍රපටිය. ඒක ඇමරිකානු රජයේ රහස් ව්‍යාපෘති ගැන එලිකරන්න කරපු චිත්‍රපටියක්. තේමාව පිටසක්වල ජීවීන්. (මේ ගැන උනන්දු අය අනිවා බලන්න) ඒකෙ එක තැනක කියවෙනව මෙහෙම. ඇමරිකාවෙ තියෙන සල්ලිවලින් 40%ක අයිතිය තියෙන්නෙ 1%ක ජනතාවට. 80%ක ජනතාවට තියෙන්නෙ සල්ලිවලින් 7%ක් විතරයි. ලංකාව වගේමයි නේ...

Sirius චිත්‍රපටියෙ අදාල රූප රාමුව



මට අනුව නම් ඇමරිකාවෙ ගොඩක් ඉන්නෙ ආසාව මියගිය මිනිස්සු. තව දුරටත් උන්ගෙ ජීවිතවල ගන්න දෙයක් නැහැ. උන්ට ජීවත්වෙනව කියල දනවන එකම හැඟීම බය විතරයි. ලෝකෙ වෙන රටකින් ඇවිත් අපට ගහයි කියන බය විතරයි උන්ට හැඟීමක් කියල තියෙන්නේ. එහෙම නොවෙන අය නෑ කියල ඒකෙන් කියවෙන්නෙ නෑ. උන් තමයි මෙහෙ වගේම ලොක්කෝ. අර කති බොති සුඛති ඩයල් ටික. හැබැයි ජීවිතේ කියන්නෙ ඒකමද? ඔයාලත් හඳට ගල් විසි කරනවද?



ඉතිං අපි ලංකාවෙ සිස්ටම් එක වෙනස් කරන්නෙ ඇමරිකාව ටාගට් කරගෙන නම් ඒකෙ කිසි තේරුමක් නෑ. ඇමරිකාව ලංකාවට වඩා සාටර්. නමුත් වැඩේ කොතනින් හරි පටන් ගන්න ඕන. කොතනින්ද පටන්ගන්නේ.

මට හිතෙන්නෙ අධ්‍යාපනය කියලා. මිනිස්සුන්ව වගේම ළමයින්ව දැනුවත් කරන්න අවශ්‍යයි. මේ ගැන නදීක ජයවර්ධන පහුගිය දවසක misic.lk එකෙන් කරපු google hangout එකේදි කතා කලා. එයා කතා කලේ සංගීතෙට අදාලව විතරක් වුණාට ඒ කියපු කතාව සමස්ථ සමාජයේම ගැටළුවලට උත්තරයක් දෙනවා. මිනිස්සුන්ව දැනුවත් කරන්න අවශ්‍යයි. මිනිස්සුන්ට දැක්මක් අවශ්‍යයි. ඒ දැක්ම ලබා දෙන්න තිබුණ ක්‍රම සේරම විනාශ වෙලා තියෙද්දි කොහොමද ආයෙත් පටංගන්නෙ කියන එකයි ඉතිරි වෙන ප්‍රශ්ණය.

මම හිතන්නෙ සමාජය තුල ලෝකය ගැන මිනිස්සු ගැන තියෙන දැණුම අල්ප වීම ලොකු අවුලක්. මිනිස්සු ඉන්නෙ ළිං මැඩියො වගේ. ළමයි ගැන කතා කරල වැඩක් නෑ. ඒකට ප්‍රධාන හේතුවක් වෙන්නෙ කියවීම අඩු වීම කියලයි මට හිතෙන්නේ. හැබැයි කියවනව කියල කියවන්නෙ පත්තර විතරක් වීමත් අවුලක්. එකෙන් වෙන්නෙ අවුලෙන් අවුලට පත්වීම. සාහිත්‍යය නැති වීම ලොකුම අවුලක්. ඉස්සර පොත්පත් කියවන මිනිස්සු හිටපු කාලෙක ළමයි විධියට අපි මුහුණ දීපු සමාජය ‍මීට වඩා හොඳයි කියන කතාව ඕන කෙනෙක් කියයි. දැන් කියවීමේ මාධ්‍යයන් පොත්වල ඉඳන් වඩා දියුණු ක්‍රමවලට මාරු වෙලා තියෙනවා. තවමත් මිනිස්සු කියවනවා. කියවන්නෙ මොනවද කියන එකෙයි අවුල තියෙන්නෙ. ඕන කෙනෙක්ට ඕන දෙයක් ලියන්න පුළුවන් තරම් සමාජය ලිබරල් වෙලා තියෙද්දි ඒ ගැන පැත්තක ඉඳන් බයිල ගහන එකත් තේරුමක් ඇති වැඩක් නෙවෙයි. අනික මොන සාහිත්‍යය කියෙව්වත් ඇඟට ගන්නෙ නැත්තං ඇති වැඩක් නැහැ. බුද්ධියක් වැඩෙන්නෙ නැහැ. දැනුම සහ බුද්ධිය කියන්නෙ දෙකක්. (knowledge and intelligence) ඕන තරං දැනුම තියෙන උන් හොයාගන්න පුළුවන්. හැබැයි ජීවිතේ සම්බන්ධයෙන් ක්‍රියා කරද්දි තමයි තේරෙන්නෙ උන්ට බුද්ධිය නෑ කියලා. දැන් දැන් එදිනෙදා හම්බවෙන මිනිස්සු අතරෙනං 'සිහි බුද්ධිය' නැති උනුත් සෑහෙන්න ඉන්නවා.

අනිත් කාරණේ දැනුවත් කිරීම. දැනුවත් කරල මිනිස්සුන්ව වෙනස් කරන්න පුළුවන්ද? මේක ටිකක් අවුල් සහගතයි. දැනුවත් කිරීම අවශ්‍යයි කියල මම ම කලින් කිව්වත් මට හිතෙන්නෙ දැනුවත් කිරීම මේ වෙනකොට අසාර්ථක වැඩක් කියල. මොකද සමාජයෙ ඉන්නෙ සියල්ල දත් මිනිස්සු. එහෙම උන් දැනුවත් කරන්න යද්දි උන් අහනව ‘ඇයි අවුල්ද’ කියලා. විෂය ගැන ඉගෙනගෙන එන්න කියල කියනවා සෑහෙන්න විධග්ග විධියට. ඉතිං දැනුවත් කරන්නෙ කාවද?

හැබැයි ඔය ගොඩක් දැනුවත් කිරීම් ෆේස්බුක් එකේදිනම් වෙනවා අස්ප ගණංවලින්. ඒකෙ ඉතිං නොවෙන මගුලක් නෑනෙ. මේ ලියන බ්ලොග් අතරෙත් මේ ගැන ඕන තරං කතා වෙනවා. මෙතනින් එලියට ඒක යන්නෙ කොහොමද කියන එක තමයි අවුල. ඇත්ත ජීවිතේදි කතාකරන්න තියෙන නොහැකියාව ෆේස්බුක් එකෙන් හෝ බ්ලොග් එකෙන් පිටකරනවද කියලත් මට හිතෙනවා. හැබැයි ඔන්ලයින් පෙනී ඉන්න මතවාද වෙනුවෙන් ඇත්ත ජීවිතේදිත් පෙනී ඉන්න කෙනෙක් නිරායාසයෙන්ම වැඩට බැහැල ඉන්න බවත් මෙතනදි කියන්න ඕන.

අපේ පොඩි මාමා (අම්මගෙ ලොකු මලයා) අපේ තාත්තට පස්සෙ අපිව සැලකිය යුතු තරම් වෙනස් කරපු මනුස්සයෙක්. ඒක පොඩි කාලෙ ඉඳන් මේ දක්වාම එහෙම්ම ම තියෙන දෙයක්. තාත්ත නැති නිසා අදටත් ඕනම දේකදි පොඩි මාමගෙන් ටිකක් උපදෙස් අහන එක අපි කරන දෙයක්. එයා කියන්න තියෙන දේ කෙලින් කියන, වැරැද්දට එතනම බනින, සරළ නිර්ව්‍යාජ ජීවිතයක් ගෙවන මනුස්සයෙක්. අපේ ඥාති වර්ගයා අතර අපිට සමීපතම පුද්ගලයා එයායි. වැඩේ කියන්නෙ පවුලෙ අනිත් ඥාතීන් අතරෙ එයා ඉන්නෙ පැත්තක. එයාගෙ ඍජු විවේචන අනිත් අයට දිරවන්නෙ නෑ. අනිත් අය කරන මෝඩ ජෝක් වලට පොඩි මාමා බණින නිසා එයාව හැම එකකටම සම්බන්ධ කරගන්නෙ නෑ. දැනුවත් කරන්න යාම තුල ඕන කෙනෙක්ට අත්වෙන ඉරණම ඒ වගේ වෙන්න පුළුවන්. සමාජයෙන් පැත්තකට වෙන්න වෙන එක. තමන්ගෙ ආතල් කැඩෙන දේවල්වලට මිනිස්සු කැමති නෑනෙ.

මිනිස්සු හැමෝම ඉන්නෙ රෝලක. ලොකු පඩියක් ගත්ත කියල ඒකෙ වෙනසක් වෙනව කියල මම හිතන්නෙ නෑ. මොකද පඩියට හරියන්න තියෙන වියදම් ඒ වගේ. හම්බවෙන පඩියට හරියන්න ජීවත් වෙනවට වඩා ‍අපි ජීවත් වෙන්නෙ හම්බවෙන පඩිය යාන්තම් ගැටගහගන්න සිද්ධ වෙන ගානට. ඒක ගැන කතාකරන්න ගියොත් කතාව වෙන වෙන පැති වල යනව. මොනව වුණත් ජීවිතේ නැතිකරගන්න, හෝ කෑම නැතිව මැරෙන්න වෙන ගානට දුප්පත් වුණ කවුරුත් නෑ මට හිතෙන විධියට. අනික සති දෙකෙන් දෙකට ජනතාවට දෙන චුයින්ගමුත් දවස් කීපයක් හපන්න පුළුවන්. ඒ නිසාම මේ යන විධිය තාමත් බහුතරයකට ලොකු බලපෑමක් කරල නෑ.

මෙහෙම අච්චාරුවක් වෙනස් කරන්නෙ කොහොමද? දන්න දේශපාලන විකල්ප ගැන බලාපොරොත්තු අතාරින්න වෙලා තියෙද්දි කොහොමද මේක කරන්නේ. කවුද පටංගන්නෙ? මොනවද කරන්නේ? කරන්නනං වැඩ ඕන තරං ඇති. ඒ අතරෙ ගොඩක් තියෙනව ඇත්තෙ ප්‍රසිද්ධියෙ කියන්න බැරි ඒව. එදා මෙදා තුර අපේ සාම්ප්‍රදායික විකල්පය වුණ ඉඟුරු දීල මිරිස් ගැනීම තව දුරටත් කරනවද? නැත්තං 'විකල්ප' විකල්ප ගැන හිතනවද? ෆේස්බුකියෙම තිබුණ යෝජනාවක් අනුව අළුත් ‍දේශපාලන පක්ෂයක් සංවිධානය කරන එකත් හොඳ වැඩක් වෙන්න පුළුවන්. එහෙම නැත්තං සමාජය තුල අපි බලාපොරොත්තු වෙන වෙනස පුළුවන් තරං අපේ තනි ජීවිතවලට ඇතුල් කරගන්න ඕන. අනිත් අයට ගයිඩ් එකක් වෙන්න ඕන.

නමුත් වැඩක් වෙයිද?

සමාජය වෙනස් කරන්න ඕනය කියන එක ඇත්තක්. සමාජය කියන්නෙ මිනිස්සු. මිනිස්සු වෙනස් වෙන්න සූදානම්ද?

Saturday, 27 April 2013

අර්ත් වයරයක් දිගේ ජාතික මව් ගුණ ගීයකට!


විදුලි බිල වැඩි වුණ එක වෙන කවදාටවත් වඩා මේ වතාවෙ හිට් වුණ වැඩක් වෙලා. හැබැයි ඒක තවත් නාට්ටියක් නෙවෙයි. (මේ වෙද්දි එහෙමත් හිතෙනවා) ඒ නිසා දැනටත් ටීවී එකේ හදන කෑම දිහා බලාගෙන ඉඳල ඒකෙන් කටට කෙල උනවගෙන යන්තං කාගෙන ඉන්න මිනිස්සුන්ට මේක හොඳටම දැණෙනවා. මොකද දැන් එහෙම ටීවී බලද්දි කරන්ට් එක නගිනවා. ‍

මේ ගැන ඇතිවුණ කතාවල් කීපෙකදි එක එක අය මේකට විකල්ප යෝජනා ගෙනාවා. කවුරුත් වැඩිවෙන ගාණ ගෙවන්න කැමති නෑ. නමුත් ඒ ගැන කතා කරන්නත් කැමැත්තක් නෑ. අර කියනව වගේ තමන් වෙනුවෙන් කතා කරන කොන්ත්‍රාත් එක කාට හරි දෙන්නයි කට්ටියගෙ කල්පනාව. කට්ටියම ප්‍රයිවෙට් බස් එකක යනව වගේ මේකට මූණ දෙන්නෙත්. (එහෙම නැත්තං ප්‍රයිවෙට් බස් එකේ මිනිස්සුන්ගෙ හැසිරීම අපේ ඇත්ත ජීවිතේමද? ඔය එක ඔන්ලයින් චණ්ඩියෙක්වත් බස්වල යනව වෙන්න බෑ.)

සමහරු කතා කලේ කරන්ට් එක මීටරේට එන්න කලින් ඒක බයි පාස් කරන්න. ඒක කරන අය දැනටත් ඕන තරං ඇති. නමුත් මණ්ඩලේ කට්ටියගෙන් බේරිලා කරගන්න එක ටිකක් අමාරු වැඩක්.

තව කෙනෙක් කිව්වා කාන්දමක් මීටරේ ගාවින් තියලා මීටරේ කැරකෙන එක ස්ලෝ කරන විධියෙ එකක්. ඒකත් හරියට වෙනව නං මරු වැඩේ. හැබැයි ඒ වැඩෙත් ටිකක් බැරෑරුම්. මීටරේ අවුල් ගිහින් මාට්ටු වුණොත් ඇරියසුත් එක්ක ගෙවන්න වෙයි.

තව යාළුවෙක් කියන්නෙ එයාගෙ කරන්ට් බිල රුපියල් සීයට අඩුයි කියල. ඒක ගෙදර වයරින් කරද්දි එකම විධියෙ විදුලි ප්‍රමාණයක් වැය වෙන විධියෙ උපාංග වලට වෙන වෙනම බ්‍රේකර් වලින්ම පවර් ලයින් වෙන් කරල හදපු සිස්ටම් එකක්ලු. ඒ ගැන ඌ දන්නෙත් නෑ. ඒත් අපිටනං සැකයි. ඒ වගේ ක්‍රමයක් දන්න කෙනෙක් මේක කියවන අය අතරෙ හිටියොත් ඒක කරන විධිය කියන්න!

බුකියෙ තිබුණා ඒ.සී. කරන්ට් එකෙන් වැඩ කරන එල්.ඊ.ඩී. බල්බ් සෙට් එකක් හදාගන්න සර්කිට් එකක් ගැන පින්තූරයක්. වැඩේ ඇත්ත නම් ඒක කරගන්න තරම් ඉලෙක්ට්‍රොනික් දන්නෙ කීයෙන් කී දෙනාද? ඒ නිසා ඔන්න වැඩ දන්න ඉලෙක්ට්‍රිකල් පොරකට බිස්නස් එකක් කරනව නං චෑන්ස් එකක් තියෙනවා එව්ව හදල විකුණන්න. දරන්න පුළුවන් ගාණකට ආවොත් වැඩේ නැගල යන්න ඉඩ තියෙනවා! ලොක්කට දුක හිතිලා බිල අඩු කළොත් විනාසයි නිසා දැන්ම බිස්නස් එකට බහින්න.

හැබැයි ‍කොයි කාලෙටත් විදුලිය ඉතිරි කරගන්න පුළුවන් අනවශ්‍ය විධියට ඒක පාවිච්චි කරන එක නතර කළොත්. ඒත් අපට තියෙන අවශ්‍යතාවල හැටියට දැං ඒක කරන්න පුළුවන් වැඩකුත් නෙවෙයි. අපිට කුප්පි ලාම්පුවෙන්වත්, ඉටිපන්දමෙන්වත් ජීවත් වෙන්න තවදුරටත් බැහැ. කවුරු හරි එහෙම ඉන්න පුළුවන් කියල කියන කෙනෙක් ඉන්නවනං මේ යන විධියට ඉදිරියෙදි එයාට දවසකට එක වේලක් කාල ජීවත් වෙන්න වෙන තරමටම ආශ්චර්යය ව්‍යාප්ත වෙන බව කියන්න ඕන.

තව කෙනෙක් කිව්වෙ බිල නොගෙවා ඉමු කියල. ආණ්ඩුවට දැණෙන්න. ඒ කතාව ජංජාලෙ අස්සෙත් කීප තැනකදි මම දැක්කා. ඒක කරන්න පුලුවන් වැඩක්ද කියල කල්පනා කරන්න වෙනව. මොකද මේක ඔන්ලයින් විතරක් කතා කර කර ඉඳල වැඩක් නැති නිසා. දැනට ඔන්ලයින් කමියුන්ටිවල ඉන්න අයගෙන් වැඩි ප්‍රතිශතයක් අවුරුදු 18-28 අතරෙ අය. උන් බිල් ගෙවන්නෙ නෑනෙ. ගෙදරක විදුලි බිල ගෙවන මනුස්සයෙක්ව මේකට පොළඹවගන්න පුළුවන් වෙයිද? බිල නොගෙවා ඉඳල ලයින් එක කැපුවොත් ඒක හදාගන්න අරටත් වඩා ගාණක් දෙන්න වෙයි නේද? ඒ නිසා දිගටම නොගෙවා ඉන්න එක ප්‍රායෝගික නෑ. ඒත් අඩු ගානෙ රතු බිල එනකල් නොගෙවා හිටියොත් මෙයාලා ඒකටත් අළුත් නීතියක් ගෙනෙයිද?

එහෙම නෙවෙයි කියල හිතෙනවනං මෙතනට ගිහින් බලන්න. මේ කමියුනිටි පේජ් එකෙන් නොනැවතී මේ කතාව දන්න අය අතරට අරන් යන්න.

කොහොම වුණත් තර්ක සේරම අන්තිමේදි ඇවිත් නතර වෙන්නෙ එක තැනක. අවසානෙදි බිල ගෙවන්න වෙයි. මාත් මේ පෝස්ට් එක දාල 'හඬක් නැගුවා' කියල හිතාගෙන පැත්තකට වෙයි. හැබැයි බිල ගෙවන එක ප්‍රමාද කරන්න මිනිස්සුන්ව පොළඹවන්න උවමනායි. මේ වෙද්දි මම මේ ගැන කතා කරල අඩුගානෙ කීප දෙනෙක්ට ටොකු ඇනල තියෙනවා. ඒ වෙලාවලදි මිනිස්සු එක්ක කතා කරාම තමයි උන්ගෙ ප්‍රශ්ණ තේරෙන්නෙ. අඩු ගානෙ මට මුකුත් කරන්න බැරි නම් ඉන්ටර්නෙට් එකට කෙලවලම දාන්න පුළුවන්. ඒකෙන් ගාණක් ඉතිරියි. ඒත් ගොඩක් අය අපි වගේ මේ කිසිම අවශ්‍යතාවයක් නැති ඉන්ටනෙට් එකේ අයිඩෙන්ටිටි පවත්වගන්න තියා ඒක මොකක්ද කියලවත් දන්න මිනිස්සු නෙවෙයි. ඒත් උන්ගෙ බිලත් 90 පනිනවා.

මිනිස්සු කොයි තරම් අසරණයිද? නමුත් තමන්ගෙ ඇත්ත තත්ත්වෙ කීයෙන් කී දෙනාටද තේරෙන්නේ? බහුතරයක් මිනිස්සු අන්ධයි. උන් ඉන්නෙ එක එක දේවල්වලට ප්ලග් හයි කරගෙන. ඒ මිනිස්සුන්ව පාලනය වෙන්නෙ ඒ ප්ලග් හරහා.

පහුගිය දවසක බුකියෙ වීඩියෝවක් ෂෙයා වෙලා තිබුණ. කොල්ලො දෙන්නෙක් ජාතික කොඩියෙ වරණ තීරු දෙක ඉරල පුච්චනවා. දැන් මුන්ට තියෙන ලොකුම ප්‍රශ්ණෙ රටේ එක එක මතවාද දරණ මිනිස්සු ජීවත් වෙන එකද?

මිනිස්සුන්ට නොදැනී උන්ව අන්ධ කරල ඉවරයි. උන් පණ නැති කරලා. ඇත්ත ප්‍රශ්ණෙ වෙනුවට බොරු ප්‍රශ්ණ මතු කරලා. බොරු ප්‍රශ්ණ උඩ දාන්න ඕන තරං කට්ටිය ඉද්දි ඇත්ත ප්‍රශ්ණෙ වෙනුවෙන් පෙනී ඉන්න කවුරුවත් නෑ. හැමෝම බලං ඉන්නෙ මුලින් කවුරු හරි ගලක් ගහනකල්. සමහර විට එතකොට කිසි දෙයක් ඉතිරි වෙලා තියෙන එකක් නෑ.

මෙහෙම වෙන්නෙ ඇයි? පළවෙනි හේතුව සාමාන්‍ය මිනිහෙක් මේ ගැන කතා කරල මහ ලොකු දෙයක් වෙයිද කියන අවිනිශ්චිත බව. සිවිල් බලයක් තියෙන මනුස්සයෙක්ට වුණත් මේ ගැන කරන්න පුළුවන් දේවල්වල සීමාව මොකක්ද?

ඒත් ඒ සේරටම වඩා අපිට අපිව ෂුවර් නැති ප්‍රශ්ණෙ නෙවෙයිද මෙතන තියෙන්නේ...

අද අපි ජීවත් වෙන්නෙ එකිනෙකා ගැන විශ්වාසය අවම වුණ, සමහර විට නැතිම වුණ සමාජෙක. හරියටම බඩු ෂුවර් කියල විශ්වාස කරන්න පුළුවන් කී දෙනෙක් තමන් දන්නවද කියල හිතල බැලුවම පුදුම හිතෙයි. එහෙම අය ඉන්නෙ අතක ඇඟිලි ගානටත් අඩුවෙන් වෙන්න පුළුවන්. හැබැයි මිනිස්සු බැලූ බැල්ම මාර එකමුතුයි වගේ පේනවා. හැමෝම හැමෝවම දන්නවා. ඒත් ඒ ගොඩක් සම්බන්ධ උවමනාවල් වෙනුවෙන් ඇතිකරගත්තු ඒවා. නිකං 'වැඩක් කරගන්න එයාව දැනගෙන ඉන්න එක හොඳයි' කියල ඇතිකරගත්තු සම්බන්ධ.

අවුරුදු ගානක් ඇතුලත අපිට තිබුණ විශ්වාසයන් සේරම විනාස වෙලා ගිහින් ඉවරයි. 'කවුද හිතුවෙ මෙහෙම වෙයි කියල' කියන කතාව දැන් හැමෝම කියනවා. සාමාන්‍ය මිනිස්සුන්ට අස්වැසිල්ලක් වුණ ආගම වගේ පරමාදර්ශී සංකල්ප පවා පිස්සු කෙලින්න අරන්. කරන්ට් බිල අඩු කරන්න කියල කතරගමට කියල වැඩක් නැතිබව ගැනත් මිනිස්සු දන්නවා.

ඇත්තටම ගත්තොත් කාටවත් කවුරුවත් නෑ.

එත‍කොට ඔය එකට බැඳිල තියෙන සංගම්, සමාජ, සේනා වගේ දේවල් පවතින්නෙ කොහොමද? හේතුව සරළයි. ඒව බැඳිල තියෙන්නෙ විශ්වාසය මත නෙවෙයි. ප්‍රතිපත්ති මත, බල ධූරාවලිය මත, සැලසුම් මත, එහෙමත් නැත්තං ලැබෙන කුට්ටිය මත. ඒ සංගම්වලට මහ ලොකු දේවල් නෑ පෞද්ගලිකව නැති වෙන්න. නැතිවුණත් ඒ ගොඩක් අයට ලැජ්ජාවකුත් නෑ. විදුලි බල මණ්ඩලේ ලාභ පිට ලාභ ලබන ආයතනයක් කියල පට්ටපල් බොරු ගොඩක් අපි පහුගිය කාලෙ අහලත් ඒව කියපු උන්දෙලා තාමත් ලැජ්ජාවක් නැතිව තවමත් බයිල ගහන්නෙ ඒකයි. මොකා ඇත්ත කියනවද මොකා බොරු කියනවද කියල හොයාගන්න බැරුව අපි තාමත් අන්දමන්දයි!

නමුත් ඇත්තටම පුද්ගලිකව ගත්තම හැමෝටම හැමෝවම ෂුවර් නෑ. ඒ නිසා මිනිස්සු මිනිස්සු එකතු වෙලා හඬක් නගන විධියෙ වැඩක් වෙයි කියල හිතන්න බෑ. ඕන තරම් ෆන් එකට සෙට් වුණාට එතනින් එහා යන ප්‍රැක්ටිකල් වැඩක් සිද්ධ වෙන එක විහිළුවක් වෙලා.

අන්තිමේදි අපට ඉතිරි වෙන්නෙ තමන් විතරක් වෙයිද?

‍තල්මස් කතා අස්සෙ හාල්මැස්සන්ගෙ ෂෝට් නෝට් කීපයක් කියෙව්වට සමා වෙන්ඩ!

අජිත් කියන මේ සින්දුව ඔයාට කොයි තරම් දැනෙයිද?


Thursday, 28 February 2013

මටත් පිස්සු ඕයි!



පහුගිය දවසක පිස්සා මහතා ආයෙත් මට හම්බ වුණා. යාළු කොල්ලො කෙල්ලො කීප දෙනෙක් එක්ක පොඩියට සෙට් වුණ හැන්දෑවකදි පොර ආයෙමත් අපට බයිලයක් ගැහුවා. ඒ විධියටම නොවුණත්, ටිකක් අවුට් ඩේටඩ් වුණත් ඒක මෙන්න මෙහෙම ලියල දාන්න හිතුවා. ලියාගන්න උදව් කරපු අපේ ගෙදර උන්දැට මුලින්ම ස්තූතිය. මේක අම්බාණක් දිග නිසා කෑලිවලට කඩල කියවගන්ඩ වෙයි. ඒකට පහසු වෙන්ඩ ඕන්න පරිච්ඡේද වෙන් කරලම තියෙනවා.



  1. අනුන්ගෙ රෙදි සහ තමන්ගෙ රෙදි
  2. චංගුමී සහ ගුද රමණය
  3. ජෝතික්ෂය අනුව අහසින් ගල් වැටෙන තැන්
  4. සුපිරි අහම හෙවත් සුපර් ඊගෝ
  5. ඉතිරි නැතිව බෙදන්න
  6. ඇනුවල් එකමස්ථාන ට්‍රිප් එක
  7. සුපර් කොලිටි ජීවිතයක්
  8. හලාල් අමාත්‍යංශය
  9. වේදනා නොදී මැරූ ඌරු මස් හොදී





අනුන්ගෙ රෙදි සහ තමන්ගෙ රෙදි

සිංහලද මුස්ලිම්ද දෙමළද හොඳ? නෑ ඉතිං මම එහෙම කතාවක් කියන්නේ නෑ. හැම එකාම කාළකණ්නියෝ. ජාතිය කියන එක ගාව ගත්ත තැන දෙමළ ද සිංහල ද මුස්ලිම් ද මොකෙක්ද එහෙම වෙනසක් නෑ උන් ඔක්කොම කාළකණ්නියෝ. ජාතිය කියන එක ගාව ගත්ත ගමන්ම එතන අවුලක් තියනවා.

මිනිස්සු එක එක භාෂාව කතා කරනවා වෙන්න පුළුවන්. ඒක ඉතිං අපි ඉපදෙන රට, සංස්කෘතිය වගේ එවා එක්ක තියන එකක් නේ. නමුත් ඒක පදනම් කරගෙන මම හොඳයි අනිත් මනුස්සයා නරකයි කියාගෙන ඒව මේවා කරන එක නම් කිසි තේරුමක් නෑ. මම කියන්නේ නෑ මුස්ලිම් මිනිස්සු හරියි කියලා. එහෙම කියනවනම් ඒක අම්බානෙක වැරදියි. උන් හෙන කාළකණ්නි තක්කඩි. මොකද උන් හෙන බිස්නස් කාරයොනේ. උන් හෙන තක්කඩියි ඇත්තටම සිංහල මිනිස්සුන්ට වැඩිය. සිංහල උන්ට වැඩිය කපටියි. උන් කොහොම හරි උන්ගේ වැඩ කරගන්නවා.

සිංහල මිනිස්සු හැමදාම උන්ගේ ඒවට බැණ බැණ බොරුවට කෑගහනවා. අපි උන් කරනව වගේ දෙයක් කරන්නෙත් නෑ. වෙන මොනව හරි කරල දියුණු වෙන්නෙත් නෑ. මොකද අපි හැම තිස්සෙම අනිත් මනුස්සයාගේ රෙද්ද බල බල ඉන්නවා මිසක් අපි දියුණු වෙන වැඩක් කරන්නේ නැහැනේ. ඒක ඉතිං හැම දාම වෙච්ච කේස් එකනේ. ඕක තේරුම් ගත්ත කොටසක් ඉන්නවා. බහුතර සිංහලයෝ, මං කියන්නේ සිංහල බහුතර මිනිස්සු හැමදාම කරේ කවුරු හරි බූරුවෙක් කියන එකක් අහගෙන ඌට වැඳගෙන ඇන්දිලා ඉන්න එක. අන්තිමට උන් ඇවිල්ලා අපිට පස්ස පැත්තට ඇරලා යනවා අපි දන්නෙත් නෑ. ඒකනේ හැම දාම උනේ නේ? ඕගොල්ලෝ ගියපාරත් අර හෙළ උරුමෙ කිය කිය නැටුවනේ. අන්තිමට ගහපු පදේකුත් නෑ, නටපු නැටුමකුත් නෑ, බෙරේ පලුවකුත් නෑ, මොකුත් නෑ. උන් ශේප් එකේ ඇතුලට ගියා. පස්සෙ ඇතුලේ හිටපු ලොක්කෝ ටිකක් මන්ත්‍රීලා ඇමතිලා උනා.



චංගුමී සහ ගුද රමණය

දැන් ඉතිං මිනිස්සු ආතල් එකේ ඉන්නවා අර කලින් විදියටම. උන් එන්න කලිනුත් ඒ වගේ. දැන් ඉන්නෙ ඊටත් අන්ත විදියට. උන් ඉතිං මළ උරුමේ කියලා අර මගුල ඇතුලට ගියාට මොකද කරේ? කරපු මගුලක් නෑනේ අන්තිමට. බොරුවට කෑ ගැහුවා. ඡන්දේ දුන්නා තියලා හිටු කියලා. පස්සෙ දුන්නා අම්මට සිරි අපි වෙනුවෙන් අපි අරවා මේවා කියලා. දැන් මොකද වෙලා තියෙන්නේ? දැන් කතාවක් නෑ. දැන් චංගුමී බලනවා කට්ටිය. දැන් අර, ඒවා නෑ. අපිට ඒවා ඕනේ නෑ. අපිට පඩි ඕනෙත් නෑ. ජීවිතේ කොලිටියක් ඕනත් නෑ. රට දියුණු වෙන්න ඕනෙත් නෑ. දියුණුව කියලා පෙන්නුවම ඇති. මොකක්ද ඉතිං දියුණුව නේ? ඔක්කොම ඉතිං යනවා යනවා යනවා අපිට පෙනි පෙනි කොච්චර නාස්ති කරනවාද මිනිස්සු නේ?

දැන් ඊයේ පෙරේදා කියනවා තෙල් බාර ඇමති, උගේ පළවෙනි උත්සවේට කෝටියක් පැනලලු වියදම. අළුතෙන් පේන්ට් ගාලා මල් පෝච්චි ගෙනත් දාලා ඒ මිනිස්සුන්ට වැඩ කරනවාට දවස් හතරක ඕටී දීලා. ඔක්කොම බැලුවම කෝටිය පැනලලු වියදම. ඒ උනාට ඒකේ අර මිනිස්සු යන ටොයිලට් වල හෙන ජරාවලු. කැඩිලලු අරවා මේවා වෙලාලු. උත්සවේට අච්චර වියදම් කරනවා අර වගේ එකක් හදන්න අමාරු ඇති. ඇස් පනා පිට පේනවා. අපි ඒවා ගණන් ගන්නේ නෑ. මොකද ඒවා ප්‍රශ්ණ විදියට අපිට තේරෙන්නේ නැහැ නේ. අපිට තියෙන රියල් ප්‍රශ්ණේ වෙනුවට මේ වෙන ප්‍රශ්ණ ටිකක් එහෙං මෙහෙං අපේ ඔළු වලට එහෙන් මෙහෙන් දානවා. චංගුමී එනවා. ඔය ටීවී එකේ කතා බලන එක නම් මෙලෝ රහක් නැති වැඩක්. ඊට වඩා හොදයි පත්තරයක් බලනවා. බැළුවත් වැඩක් නෑ විචාර බුද්ධියක් කියල එකක් නෑනේ අපිට. මැටි කරලානේ තියෙන්නේ අපිව. ඒ කියන්නේ අපි දෙයක් කියවලා ඒක එහෙම වෙන්නේ ඇයි කියලා හිතන්නේ නෑ. ඒ මැටි කම හින්දම තමයි අර අපිට දවස් හතෙන් මතක නෑ කියලා ප්‍රභාකරන් කිව්වේ.

ඒක ඉතිං ඇත්තනේ කතාව නේ? අපිට මතක නැහැනේ අපි ඉතිහාසේ හිටපු විදිය. ඒවා මොකුත් මතක නෑ. ඉස්සර කාලේ වීරයා දැන් හතුරා. එහෙමනේ වෙන්නේ. ඉස්සර කරුණා කියන්නේ හතුරෙක්. ඒත් දැන් මිතුරෙක් ඇයි ආණ්ඩුවට හේත්තු උනානේ. ඒක හින්දා ඌ මිනිස්සු මැරුවේ නෑ. ඌ සිංහල මිනිස්සු මැරුවෙත් නෑ. දෙමළ මිනිස්සු මැරුවෙත් නෑ. මුස්ලිම් මිනිස්සු මැරුවෙත් නෑ. ඌ දැන් සිරා ඩයල් එකක්. ඌ හෙන පොරක්. අපිට හැමදාම වෙන්නේ ඕක තමයි. අන්තිමට ඔය කියන උන් ඇවිල්ලා අපිට ඇරලා යනවා. අපි උඩ බලන් ඉන්නවා හැමදාම . අපි ඉතිං ඊට පස්සේ තව කවුරු හරි එකෙක් හොයාගෙන ඌ කියන එකක් අහගෙන ආ.. එහෙයි එහෙයි ඔව් ඔව් ඒක තමයි ඇත්ත කිය කිය වඳිනවා. මං අද කියන්නං 2016 ආයේ ඡන්දයක් එනවා. සමහර විට ඊට කලින් එයි. ඔය ඔයාලගෙ සේනාව ඡන්දේ ඉල්ලා ඇතුලට ගිහිල්ලා ඕගොල්ලන්ට... මට ඉතිං හරි වචනෙම කියන්න හිතෙනවා... ඕගොල්ලන්ට පුකේ ඇරියේ නැත්තං බලන්න. අපි දන්නෑ. ඕගොල්ලෝ ඉතිං එදාටත් චංගුමී බල බල ඉඳියි.



ජෝතික්ෂය අනුව අහසින් ගල් වැටෙන තැන්

නිකං හිතන්න මේ ඊයේ පෙරේදා මාස කීපයක් ඇතුලත කොච්චර දේවල් වුණාද නේ? එක එක දේවල් වෙනවානේ. එළි එනවා. ඒලියන්ස්ල පේනවා. ලෝක විනාසේ එනවා. කාලයක් තිස්සේ අපිට කතා කරන්න දේවල් තිබ්බනේ. ඒ අස්සේ අරගොල්ලෝ එක එක දේවල් ගත්තා. ඒගොල්ලන්ගේ දීමනා හදා ගත්තා. අරවා මේවා එක එක දේවල් කර ගත්තා. ඊට පස්සේ කාලයක් එළි පේනවා කට්ටියට. දැන් කාටවත් එ‍ළි පෙන්නේ නෑ. දැන් අහසින් එක එක දේවල් වැටෙනවා. ඒක තමයි අළුත්ම ට්‍රෙන්ඩ් එක. දැන් ඔය කොහෙන්ද නුවර කිට්ටුවට වැටිලා. මේක ඉතිං හරියටම කියන්න බෑ. ඒ උනාට අපි සාමාන්‍යයෙන් දන්නවා වැලිගොඩකට උඩ ඉදන් මොනා හරි වැටුනම එතන වලක් හැදෙනවා කියන එක. එහෙම වෙනවනෙ නේ? ලොකූ ගල් කුට්ටියක් සාමාන්‍ය මට්ටමෙන් පස් ගොඩකට අතඇරියමත් එතන සාමාන්‍ය වලක් හැදෙනවා කියන එක දන්නවනෙ නේ? නමුත් ඔය අරෙහෙට මෙහෙට වැටිලා තියෙන ඒවා පොළව උඩ තියෙනවා පොළොව නිකං ෆ්ලැටේ ෆ්ලැට්. හෙණ ලොකු කුට්ටි තියෙන්නේ. ඒවා වැටුනා කියලා කිසි සළකුණක් නෑ. තණකොළ ගොඩ උඩින් නිකං ලස්සනට ගෙනත් තියලා වගේ. ඔය සමහරක් ඒවා මට නම් දැක්ක ගමන්ම හිනා ගියා.

දිරපු ගල් තියනවා. එක එක ඔය වතුර ගලන තැන් වලින් එහෙම කාලයක් තිස්සේ අස්සෙන් එහෙන් මෙහෙන් වතුර ගිහින් දිරලා, මැදිලා ඒ ගල් වල අමුතු රටාවල් හැදිලා තියෙන්නේ. ඔය ගලක් ඉතිං වෙන කොහෙන් හරි ගෙනිහිල්ලා අරහේ කොහේ හරි ගිහිං තිබ්බයින් පස්සේ ඒ පැතිවල ඒ වගේ ගල් දැකලා නෑ මිනිස්සු. මොකද ඒවා ඒ පැතිවල නෑ. ඒවා තියෙන්නේ උඩින් වතුර වැටෙන දිය ඇළි වගේ තියෙන පැතිවල. එහෙම තැනක හැදෙන්න පුළුවන් ඒ ගල් කාලයක් තිස්සේ. අපිට කියන්න බෑ කොහේ හැදෙන ඒවාද කියලා. නමුත් කොහේ හරි තියෙන එකක් වෙන පළාතක හාත් පසින් තියෙන්නේ නැති වෙන්න පුළුවන්. ඉතිං එතෙන්ට ඒ ගල ගෙනිච්චට පස්සේ අම්මට සිරි ඒ පැත්ත පලාතක මිනිස්සු ඒ වගේ ඒ පාට ගලක් දැකලා නෑ. ලංකාවේ අපි කොච්චර පැති වලද ගිහින් තියෙන්නේ? ඔය ලංකාවේ හැම අඟලක්ම ආවරණය කරන එකක් ජීවිතේට කරන්න බැහැනේ. ඉතිං කොහේ හරි තියෙන එකක් මෙතන පෙන්නපු ගමන් අප්පට සිරි මේක අහසින් වැටිච්ච එකක් කියලා ඔන්න පත්තු වෙනවා. ටිවි එකේ යනවා. මිනිස්සු බලනවා. උන්ටත් එක එක ඒවා පේන්න ගන්නවා ඊට පස්සේ. ඇයි ඉතිං මේක මරු වැඩේ නේ. ඒක තමයි පහුගිය දවස් වලත් උනේ. දැන් ඉතිං ඔය දැකපු එළි එකක්වත් පැහැදිලි වෙලා තියනවාද? මම ඉස්සරත් කිව්වේ ඔය කියපු මිනිස්සුන්ට නඩු දාන්න ඕනේ. ඇයි මිනිස්සුනව නොමග යවනවට. ඔය බොරු කියලා. එතකොට ඔය ලෝක විනාසේ කියලා පම්පෝරි ගහපු අයියලා ජ්‍යෝතිශ්‍යකාරයෝ. උන්ට නීතිමය පියවර ගන්න ඕන. ඕගොල්ලෝ තාමත් ඕවා බලනවානේ. තාමත් විශ්වාස කරනවා. ඔය ලොකු කප් ගහපු උන් තමා කිව්වේ. උන් කියන ඒවා තාමත් පත්තර අරන් බලනවා කට්ටිය.



සුපිරි අහම හෙවත් සුපර් ඊගෝ

දැන් අපි කිව්වේ මුස්ලිම් මිනිස්සුන්ගේ කතන්දරේනේ. මම නම් කියන්නේ ඉතිං ඔගොල්ලොත් ඔහොම ගිහින් අන්තිමේදි වෙන්නේ ඒ මිනිස්සු වෙලා නතර වෙන එක. ඔතන ඉතිං පොඩි ඊරිසියාවක් වගේනේ තියෙන්නේ ඕකෙ ඇත්තටම. ඒ මිනිස්සු ඒ ගන්න සල්ලි වලින් ඒගොල්ලන්ගේ පවුල් පෝෂණය කරනවා. මොකක් හරි සංවිධානෙකින් ඒ ගොල්ලන්ගේ ජාතිය පෝෂණය කරනවා. මම කියන්නේ ඉතිං ඒ වගේ ජාතික ව්‍යාපාර ඕනනෙ අනේ. ඕනෙම රටක තියෙන්න ඕනේ ඒ වගේ ව්‍යාපරයක්. ඒගොල්ලෝ නිකං රාජ්‍ය නොවන සංවිධානයක් වගේ. එහෙම හිතන්න ඉතිං. එකම වෙනස ඒක එක ආගමක්. ඒගොල්ලන්ගේ යම් ප්‍රතිපත්ති විදියකට ඒක කරනවා. යම් යම් විදි වලින් අරමුදල් රැස් කරලා ඒගොල්ලන්ගේ මිනිස්සු අතරේ ඒ මුදල් බෙදා දෙනෙවා. ඒක ඉතිං හොඳ දියුණු හොඳ සමාජයක ලක්ෂණයක්නේ. ඒ සිස්ටම් එක හොඳයි මම කියන්නේ. සිංහල මිනිස්සු අතරේ එහෙම ක්‍රමයක් තියනවද? ඒ කරොත් එහෙම ඒ සල්ලි එකතු කරන එකා හොරා කනවා. ඕකනේ වෙලා තියෙන්නේ. ඉස්සෙල්ලා ඒවා හැදෙන්නේ නැතුව බොරුවට වෙන මිනිස්සු ටිකක් ඒගොල්ලන්ගේ එක හදාගන්න එකට අපිට මොකුත් කියන්න බෑ. ඒ කතා කරන එක තනිකර ඊරිසියාව සම්බන්ධ දෙයක්.

අපිට නැති ආතල් එකක් අනිත් මිනිස්සු ගන්නවා කියලා අපිට අර හිතෙන්නේ. හැම තිස්සෙම අල්ලපු ගෙදර මනුස්සයා මොනාද ගන්නේ? බලන්න මෙයාට සල්ලි තියනවා. මෙයාට වාහනයක් තියෙනවා. අරවා ගන්නවා මේවා ගන්නවා. මට මොකුත් නෑ. අපිට අර ඊරිසියාවක් හිතෙන්නේ. ඕකම තමයි ඔතනත් තියෙන්නේ. අනික ඔය ජාතිවාදය කියන එක දාන්නේ හෙන පරාජිත මිනිස්සු. දියුණු මිනිස්සු ඔය ජාතිවාදේ කියන එක මහා ලොකුවට ගණන් ගන්නේ නෑ. ඒ මිනිස්සු ශිෂ්ඨ මිනිස්සු. අපි ශිෂ්ඨ මිනිස්සු කියලා කියන්නේ එහෙම අයට. ශිෂ්ඨාචාරගත වෙනව කියන්නේ මිනිස්සු වනචාරී බවෙන් මිදිලා ටික ටික ශිෂ්ඨ වෙනවා කියන එකනේ. ඉතිං ඒ ශිෂ්ඨත්වය තනිකර අපේ මොළේ, බුද්ධියත් එක්ක ගණුදෙණු කරන එකක්. මම කියන්නෙ මුස්ලිම් මිනිහ ශිෂ්ඨයි සිංහලය වනචාරියි කියල නෙවෙයි. උන් දෙගොල්ලොටම මේක පොදුයි. උන් දොගොල්ලොම පට්ට අශිෂ්ඨයි. මුලින්ම කිව්වෙ ජාතිය කියන එක එද්දිම එතන අවුලක් තියෙනව කියලා ඒකයි.



ඉතිරි නැතිව බෙදන්න

ශිෂ්ඨ මනුස්සයෙක් කියන්නේ දියුණු මනුස්සයෙක්. එයාට භාෂාවක් තියනවා කතා කරන්න. එයා භාෂාවක් ඔස්සේ අදහස් සන්නිවේදනය කරනවා. කතා කරනවා. මිනිස්සුන්ව තේරුම් ගන්නවා. ඒ මනුස්සයාගේ තියෙන සංස්කෘතික වෙනස් කම් ඇතුලේ ලස්සනක් තියෙනවා. ඒ මනුස්සයෙක් මුස්ලිම් වෙලා ඉන්නවා වගේ මම සිංහල හෝ වෙන මොකෙක් හරි වෙලා ඉන්නවා එක ඇතුලේ සුන්දරත්වයක් තියෙනවා.මට ආවේනික ලක්ෂණ ටිකක් තියෙනවා. මම කතා කරන විදියක් තියෙනවා. මම කතා කරන භාෂාවේ වචන ටිකක් තියෙනවා. ඒ වචන වලින් මම දේවල් කියන විදියක් තියෙනවා. ඊට අමතරව සංස්කෘතියේ මට වෙනස් වෙනස් දේවල් ටිකක් තියෙනවා. ඒගොල්ලන්ගේ උත්සව තියෙනවා. අපේ උත්සව තියෙනවා ඒවා ඇතුලේ ඒ සුන්දරත්වය, ලස්සන, සංස්කෘතිකමය දේවල් තියෙන එක නිසා තමයි මේ සමාජයක් කියලා දෙයක් තියෙන්නේ පොදුවේ. එහෙම නැත්තං හෙන බෝරින් නේ? ඇයි නිවාඩු? ඒගොල්ලෝ හින්දා අපිට අවුරුද්දකට නිවාඩු කොච්චරක් එනවාද? ඒගොල්ලන්ට අපි හින්දා කොච්චර නිවාඩු හම්බ වෙනවාද? මං කියන්නේ එක දෙයක් විතරයි. ඉතිං එහෙම දේවල් තියෙනවා. ඒවා අපි අගය කරන්නේ නැතුව, ඒවා රස විඳින්නේ නැතුව ආ... මුං වැඩක් නෑ... මුංට ගහන්න ඕනේ... මේවා හරියන්නේ නෑ... ඉතිං ඔහොම කරන්න ගියොත් අපිට කෙලවරක් නෑ.

ඔය බෙදිල්ලේ කෙලවර කියන්න? දැන් ඉස්සර අපිට ප්‍රභාකරන් හිටියා ගහගන්න. ගහලා ගහලා ගහලා ඒ මිනිහව මරලා දැම්මා. දැන් හරි! දැන් අපිට ඒත් ඉන්න බෑ. දැන් අපිට කවුරු හරිම ඕනේ. අර හරියට කතා කර කර ඉන්න කවුරු හරි ඕනේ වගේ කවුරු හරි ඕනේ ගහ ගහ ඉන්න. දැන් ඕන්න අල්ල ගත්ත මුස්ලිම් මනුස්සයා. දැන් උන්ටත් ගහලා ගහලා එයාවත් ඉවර කරලා දානවා. මේක සිංහලයගෙම වැරැද්දක් කියනව නෙවෙයි. ආගම, ජාතිය කියන සංකල්ප මිනිස්සුන්ව වෙන් කරගන්න තියෙන මල විකාර විධියට තේරුම් අරගෙන තියෙන එක තමයි කාගෙත් ප්‍රශ්ණෙ.

මේ කතා කියනකොට ඕගොල්ලන්ට මාව මරන්න හිතෙනව ඇති. මූ මුස්ලිම් මිනිහගෙ පැත්ත අරන් කියල හිතෙනව ඇති. එහෙම එකක් නෑ. මේ කියන ටික උන්ටත් අදාලයි. දැන් මෙතන ඉන්නෙ සිංහල මිනිස්සු නිසයි මේක කියන්නෙ. මේ යන විධියට ගිහින් ආයෙත් රටේ මිනිස්සුන්ගෙ ලේ හැලෙන මට්ටමකට ආවොත් ඒ වැරැද්දට අහුවෙන්න එපා කියන පණිවිඩේ විතරයි මට දෙන්න ඕන.

අපි හිතමු එහෙම කලා කියලා. මුස්ලිම් මිනිස්සුන්ව පන්නලා දැම්මා. දැන් උනුත් නෑ. හැබැයි දැන් ඊළඟට ක්‍රිස්තියානි කාරයො ඉන්නවා. උනුත් වෙන ආගමකනේ. ඊටපස්සෙත් ආයේ ඕක රිපීට් වෙන්නේ නැද්ද. ඊට පස්සේ ඕගොල්ලෝ ඔය හිතන් ඉන්නවා වගේ හෙන සාමකාමී හෙන ආඪ්‍ය වෙච්ච ආශ්චර්යය එයි කියලා.. හෙහ්..!!



ඇනුවල් එකමස්ථාන ට්‍රිප් එක

දැන් ආශ්චර්යේ ලණුව කෑවනේ එක පාරක් නේ? ඒ ලණුව අපට මතක කාලේ එක පාරයි කෑවේ. ඒත් ඇත්තට ඉස්සර ඉඳන්ම කාපු ලණුවක් ඒක. ඒ උනාට අපට මතක ඉතිහාසේ තියෙන්නේ උපරිම අවුරුදු 20ක් 30ක් විතරනේ. ඊට එහා මතකේ ඉන් ඩීටේල් නැහැනේ. අවුරුදු 30ක මතකෙනුත් අපිට කොච්චරද හරියට මතක? බොහොම පොඩ්ඩයිනේ. ඉතිං මේ දන්න කාලේ තියන දේවල් වලින් අපි හිතන්නේ නැතුව මහා පරිමාණෙන් හිතලා වැඩක් නෑ. මතක කාලෙ වෙලා තියෙන දේවල් දැක්කම හොඳට තේරෙනවා වෙන්නේ මොකක්ද කියලා ඕන මනුස්සයෙක්ට. අපි හැම තිස්සෙම ඇන්දෙනවා ගොනාට වගේ. කවුරු හරි කියන දෙයක් විශ්වාස කරගෙන අපි ඇත්ත ප්‍රශ්නේ අමතක කරලා බොරු ප්‍රශ්ණ ටිකක් ඔළුවට දාගෙන දුක් විඳිනවා.

අපේ ඇත්ත ප්‍රශ්නේ ඕක නෙවෙයි. අපි කාගෙත් ඇත්ත ප්‍රශ්නෙ ජීවත් වෙන ප්‍රශ්ණේ. කොහොමද ජීවත් වෙන්නේ. කොහොමද අපි ජීවත් වෙන ක්‍රමේ ලස්සන කරගන්නේ? මිනිහෙක් දියුණු වෙනවා කියන්නේ අර අපි සාමාන්‍යයෙන් කියන්නෙ ආඪ්‍ය වෙච්ච ජීවිතයක් ගත කරන්න පුළුවන් තත්වෙකට එනවා කියලා. අන්න ඒකනේ. වැඩිපුර වැඩ කරන්න ඕනේ නෑ. වැඩ කරන්නෙ ප්‍රමාණවත් ගාණකට. එහෙමනේ අපි කියන්නේ. වැඩිපුර අපි ආදරේ කරන මිනිස්සුත් එක්ක ඉන්න පුළුවන්. ළමයි එක්ක ඉන්න පුළුවන් අම්මලා තාත්තලා එක්ක ඉන්න පුළුවන්. අපිට යාළුවෝ එක්ක ට්‍රිප් එකක් යන්න පුළුවන්. අපට විවේකයක් හදා ගන්න පුළුවන්කමක් ලැබෙනවා. ඒකට සල්ලි ටිකක් ඉතිරි කරගන්න එකත් අමාරු වැඩක් නෙවෙයි. ජීවිතේ දැනට වඩා එන්ජෝයි කරන්න පුළුවන්. දැන් අපි ගෙවන ජීවිත එහෙමද? විනෝදය කියන්නේ මොකක්ද? විනෝදය කියලා ඔයාලා දන්නේ රෑට ගිහිං චංගුමී බලන එක. අර කතා ටික බලන එක ඒක තමයි විනෝදේ. මිනිස්සුන්ට කොච්චර දේවල් කරන්න පුළුවන්ද?

මිනිස්සුන්ට කරන්න කොච්චර දේවල් තියෙනවාද? ෆිල්ම් බලන්න යනවා. මිනිස්සු ට්‍රිප් යනවා. ට්‍රිප් කියන්නේ එසේ මෙසේ ට්‍රිප් නෙවෙයිනේ මිනිස්සු යන්නේ. ලොකු ට්‍රිප් යනවා. රට වටේ යනවා. එහෙම යන්න පුළුවන්නෙ නේ අපිට? අඩු තරමේ අවුරුද්දකට ට්‍රිප් දෙකක් යන්න පුළුවන්. නමුත් ගිහින් තියෙනවාද එහෙම? ඕගොල්ලෝ ට්‍රිප් ගියත් කරන්නේ කොළඹ හරි නුවර හරි ගිහින් ඔය ශොපින් කරලා එන එක. කතරගම හැම අවුරුද්දෙම යනවා. සිරිපාදෙ යනවා. ඕව තමයි ට්‍රිප්. ඊට වැඩිය දේවල් තියෙනවා. අපි පුංචි කාලේ කොච්චර දේවල් කරාද? අපි ස්වභාවික පරිසරයත් එක්ක කොච්චර ගැවසුනාද? ලංකාවේ කොච්චර තැන් තියනවාද බලන්න යන්න? අපි හැමදාම එක්කෝ අනුරාධපුරේ යයි එක්කෝ පොළොන්නරුවේ යයි. ඊට වැඩිය කොච්චර තැන් තියෙනවාද ? මම ගිහිල්ලත් නෑ. මේ මල ඉලව් කියෙව්වට මම ඕගොල්ලගෙන් වැඩි වෙනසක් නෑ. නමුත් මගේ අදහස තියෙන්නේ එහෙම යන්න ඕන කියලා. අඩු තරමේ එහෙම විවේකයක් හදා ගන්න ඕන කියලා. අඩු තරමේ අවුරුද්දට තුන් පාරක් කොහේ හරි යන්න ඕන කියලා. ගෙදර මිනිස්සු එක්ක නැත්තං යාළුවෝ ටිකක් එක්ක.



සුපර් කොලිටි ජීවිතයක්

මම හිතන්නේ නෑ එහෙම ගොඩක් මිනිස්සුන්ගේ ජීවිත වල තියෙනවා කියලා. පවුල් පිටින් යන ට්‍රිප් බොහොම කලාතුරකින්නේ තියෙන්නේ නේ? ඉතිං අපිට එහෙම තත්වෙකට එන්න පුළුවන්. යන එක ප්‍රශ්ණයක් නොවෙන්න. ඒ ගියායින් පස්සේ ඔෆිස් එකෙන් කෝල් කරලා අරක තියෙනවාද මේක තියෙනවාද කෝ මේක ඇයි කරලා නැත්තේ? යතුර තියලා ගියේ නැද්ද? ඔහොම අහනවා නම් ඒකේ වැඩක් නැහැනේ නේ? ඉතිං අපිට එහෙම ක්‍රමේකට යන්න පුළුවන්. ඒක තමයි එක විධියකට ශිෂ්ඨත්වය කියන්නේ. මිනිස්සු දියුණු වෙනවා. මිනිස්සුන්ට හොඳට කෑම බීම තියෙනවා. පෙරේතකමට පිරෙන්න කනවා නෙවෙයි. කන්න බොන්න තියෙනවා ප්‍රමාණවත් විදියට. මිනිස්සුන්ට දුක් විඳින්න දෙයක් නෑ. ට්‍රිප් එකක් යන්න තමන්ගේ වාහනයක් තියෙනවා. ඒ කියන්නෙ සාමාන්‍යයෙන් අවුලක් නැතිව අනිත් මිනිහ ගැන ප්‍රශ්ණයක් නැතිව හැමෝටම වැඩ කරන්න වගේම විනෝදෙන් ඉන්න අවස්ථාවක් තියෙනවා. මම කියන්නෙ එහෙම තත්වයක්!

දැන් අපි ගත්තොත් මේක බෙදිලා අවුලක් වෙලානේ තියෙන්නේ. එක කොටසකට තියෙන ඔක්කොම ටික තියෙනවා. උන්ට වැඩියත් එක්ක තියෙනවා. උන් එවාගෙන් පිස්සු කෙලිනවා අම්බානෙකට. කාර් රේස් යනවා. තව කොටසක් ඉන්නවා ඇති මගුලක් ඇත්තෙම නෑ. වැඩිය ඕනේ නෑ අපිවම ගන්න. මෙතන ඔය වෙනස ඇයි වෙලා තියෙන්නේ නේ? ඔය වෙනස වෙලා තියෙන්නේ අපි හැමදාම ඇන්දෙන හින්දා. අපි කවදාවත් ඇත්ත ප්‍රශ්ණේ තේරුම් ගන්නේ නෑ. අපිට තියන ප්‍රශ්ණ අපි තේරුම් ගන්නේ නෑ. ඒක නිසා හැමදාම වෙන්නේ ලොකු මිනිස්සු ටිකක් එකතු වෙලා නැති මනුස්සයව පාගලා දාන එක. මම කියන්නේ නෑ අද ඊයෙ වුණා කියල. ඕක හෙන කාලෙක ඉඳන් ලෝකේ පුරාම එහෙමයි. ඒක යම් තරමකට තියෙන්නත් ඕන කියල මට හිතෙනවා. ඕකට අපි කියන්නේ 80-20 තියරිය කියලා. දැන් නම් ඒක වෙනස් වෙලා 90-10 තියරි කියලා එකක් වෙලා තියෙන්නේ. ඒ කියන්නේ එක රටක මිනිස්සු ප්‍රතිශතයෙන් 90%ක් අතේ 10%ක සල්ලි ප්‍රමාණයක් විතරයි තියෙන්නේ. සල්ලි වලින් 90%ක් තියෙන්නේ මිනිස්සුන්ගෙන් 10%ක් අතේ. සල්ලි වලින් සීයට දහයක් තමයි 90%ක් මිනිස්සු අතරේ බෙදිලා තියෙන්නේ. දැන් ඕකනේ වෙලා තියෙන්නේ. එක කොටසක් ඉන්නවා ඒගොල්ලන්ට තියෙනවා සල්ලි ඕන තරම් තියෙනවා. තව හෙන ගොඩක් මිනිස්සු ඉන්නවා ඒගොල්ලන්ට චුට්ට චුට්ට සල්ලි තියෙන්නේ. ඒක එහෙම වෙන එක අවුල්නේ. ඒක එහෙම වෙලා තියෙන්නේ ඇයි? අපි ඒ ප්‍රශ්ණ වෙනුවෙන් කතා කරන්නේ නැති හින්දා. එහෙම්මම කියන්නත් බෑ එක අතකට. වැඩ කරන මිනිස්සු, සල්ලි හොයන්න උවමනා මිනිස්සු අර 90% ගොඩේ ඉඳන් 10% ගොඩට යනවා. වැඩ නොකරන කම්මැලියොත් මේකෙන් වාසි ගන්න යයි අන්තිමට.



හලාල් අමාත්‍යංශය

මෙහෙම දේවල් ගැන කතා කරද්දි එහෙම ඇත්තටම කරන්න පුළුවන්ද කියලත් සැක හිතෙනව. මොකද අපි කවදාවත් එහෙම ආර්ථික පරිසරයක ජීවත් වෙලා නෑ. ඒක එක පාර වෙන්නෙත් නෑ. වුණත් එක ස්ථාවරයක තියෙන එකකුත් නෑ. කොහොම නමුත් ඇත්ත ප්‍රශ්ණෙ තේරෙණකල්, ඒක ගණන් නොගන්න කල් බහුතරයකට හැමදාම කම්මුලේ අත ගහගෙනයි ඉන්න වෙන්නේ. මමත් එහෙම තමයි. මම ඕගොල්ලන්ගෙන්, අනිත් මිනිස්සුන්ගෙන් ගැලවිලා කියනවා නෙවෙයි. නමුත් මම කතා කරනවා ඒක ගැන. මිනිස්සුන්ට ඒ ගැන කියලා දෙනවා. උඹලා මෙහෙම කරොත් එහෙම මෙහෙම වෙනවා කියලා. කතා කර කර ඉඳලත් හරි යන්නෙ නෑ හැබැයි. නමුත් ප්‍රශ්ණ ගැන අවබෝධයක් තියෙන සමාජයක් ඒ ප්‍රශ්ණ වලට සංවේදී මිනිස්සුන්ව පාලකයො විධියට පත් කර ගනියි.

දැං එතකොට හලාල්! දැන් ඔතන තියෙන්නෙත් ඕකෙම වෙන ප්‍රශ්ණයක් විතරයි. මොකද මෙච්චර දවසක් කිසි ප්‍රශ්ණයක් නැතුව ඕගොල්ලෝ හලාල් කෑවා නම් දැන් මොකද මේ කලබල වෙලා? හලාල් කියන්නේ එක විධියකට වලංගුයි කියන එක. ඒ කියන්නේ ඒක කෑමට සුදුසුයි කියන එක. ඒ අදහසම හෙන මොංගල් එකක් තමයි. නමුත් කෑමක් හදන කොලිටි එක ගැන ගත්තම හලාල් කන එක හලාල් නැති ඒවා කනවට වැඩිය ආරක්ෂා සහගතයි. මොකද ඒවා හදන්නේ මොනයම් හෝ ආගමකින් වලංගු ක්‍රමයකට. මොන ආගමකවත් උනත් ඒවා වැරදියට හදන්නේ නැහැ නේ. ඉස්ලාම් ආගම කියලා ඒවා ඒගොල්ලෝ මිනිස්සුන්ට අජීර්ණ වෙන විදියට හදන්නේ නැහැනේ නේ? එගොල්ලෝ හලාල් කියලා ඒකට වස දාන්නේ නැහැ නේ. ඒගොල්ලෝ යම් තත්වයක් බලාපොරොත්තු වෙනවා. මේවා හදනකොට මේවා තියෙන්න බෑ. මේවා මේ විදියට මේ කොලිටීස් වලින් තියෙන්න ඕනේ. ඒ වගේ තියරි ටිකක් තමයි ඒවායින් බලන්නේ. ඇත්තට ඒක රජයකින් කරන්න ඕන වැඩක්. මම කියන්නෙ හලාල් ගහන එක නෙවෙයි. ඒ තත්ත්වෙ නිෂ්පාදනවල තියාගන්න එක චෙක් කරන එක. එහෙම වුණොත් ඒකට වෙන අමාත්‍යංශ පිහිටුවලා ඇමතිලා පත් කරලා තව ටිකක් මණ්ඩලේ වැඩි කර ගනියි අපේ අයියලා.

ආගමික අර්ථයෙන් හලාල් කියන්නෙ මෙලෝ වැඩක් නැති අදහසක්. මුස්ලිම් මිනිස්සු ඌරව නොකා අනිත් සත්තු කනව වගේම බූරු අදහසක්. ඒ ගැන ඕගොල්ලෝ එක එක පැති වලින් අහපුවනේ කියන්නේ. මමත් අහපුව තමයි කියන්නේ හැබැයි හොයලා බලලා කීප දෙනෙක්ගෙන් අහලා. මොකද මේ එක්කෙනෙක්ගෙන් දෙන්නෙක්ගෙන් අහපුවම කියන්නේ ඒගොල්ලෝ හිතන් ඉනන් ඒවනේ. මමත් දැන් කියන්නේ මම කියවපු දෙයක් නේ. මටත් තාම කවුරුවත් හරි ඩෙෆිනිෂන් එකක් දීලා නෑ හලාල් යනු මේකයි කියලා. මුස්ලිම් මිනිහෙක්ගෙන් ඇහුවොත් ඌත් ෂුවර් දන්නෙ නෑ. උං දන්නෙ පොතේ තියෙනවා අපිත් කරනවා කියන්න විතරයි. අර දෙන දේ කාල වෙන දේ බලාගෙන ඉන්න හොඳම මොඩල් එකේ කට්ටියනෙ ඒ අය. ප්‍රශ්ණ කිරීම් නෑ. හරියට අපි වගේම තමයි නේද?



වේදනා නොදී මැරූ ඌරු මස් හොදී

මේ ගැන වඩා විශ්වාසනීය මනුස්සයෙක් මට කියපු විධියට හලාල් කියන්නේ ඕනෙම දේකදි ඒකේ වලංගු කම චෙක් කරන එක විදියක් SLS වගේ එකක් කියලා. SLS වල වෙන වෙන තියරි ටිකක් බලන්නේ. මේකේ බලන්නේ වෙන තියරි ටිකක්. කෑම සම්බන්ධයෙන් ගත්තොත් ඒක කෑමට සුදුසු ද වගේ එකක්. සතෙක් මරණ එකක් ගත්තොත් එහෙම, සතෙක් මරණවා කියන්නේ මොනා උනත් උගේ හිතේ කෝපයක් එනවා. ඒ කෝපයත් එක්ක සතා මැරුවොත් පස්සේ සතාගේ ලේ වලට ඒ කෝපයෙන් එන හැඟීමෙන් යමිකිසි විදිහේ වැරදි බලපෑමක් එන්න පුළුවන්. සතා කෝපයෙන් මැරුණා කියන්නේ ඒ සතාගේ ලේවලට යම්කිසි විසක් එකතු වෙන්න පුළුවන්. අපි දන්නේ නෑ අපිට ඔප්පු කරන්න බෑ ඒක. විද්‍යාවෙන් ඔප්පු කරන්න බෑ. මටත් මුලින් ඇහුවම මඤ්ඤං වගේ. නමුත් අපි එහෙම හිතනවා. එහෙම වෙන්න හැකියාවක් තියෙනවා කියලා. ඉතිං හලාල් වලදි ඒක එහෙම නොවෙන්න ඒ වේදනාව, මර‍ණ භය කියන එක අවම වශයෙන් දැනෙන විදියටලු මරන්නේ. මම දන්නේ නෑ. ඒ මම අහපු කතාවක්. ඔය වීඩියෝවල නං එහෙම පේන්නෙ නෑ. අනික වේදනාවක් නැතිවෙන්න බෙල්ල කපනව කියන්නෙ මල විකාරයක්. කොහොම වුණත් ඒ විදියට තියෙන කෑම කන එක අපිට අනිත් කෑම කනවාට වැඩිය හොඳ වෙන්න පුළුවන්.

මම කියන්නෙ ඒක නෙවෙයි. ඔය ඉලව්ව අවුරුදු දාස් ගාණක් තියෙන එකක්. ලංකාවෙත් අපි දැන දැන ඕක මතක කාලෙ ඉඳන් තියෙන්න ඇති. හැබැයි ඔය හලාල් ප්‍රශ්ණේ දැන් ඇදිලා ආවේ මිනිස්සුන්ගේ ඡන්දේ ගන්න බලාගෙන. එහෙම නැත්තං අර නාට්‍ය මාලාවෙ තව එකක්. අර ඕගොල්ලන්ගෙ සේනාවෙ යුනිෆෝම් කාරයන්ට පාර්ලිමේන්තුවට යන්න ඕනේ හින්දා. ඒගොල්ලෝ ඇවිල්ලා කතන්දරයක් හදලා දැම්මා එළියට. අපේ මිනිස්සු ඇන්දුනා. දැන් ඊළඟ ඡන්දෙදි ඒගොල්ලෝ ඡන්දේ අරන් ඇතුලට යනවා. ඕගොල්ලන්ට හුළං! ඔගොල්ලන්ට ගෙදර ගිහිල්ලා අර ටීවි එකේ යන චංගුමී බල බල ඉන්න පුළුවන්!

මට හිතෙන්නෙ ඔය ජාතීන් අතර යුද්ධ තව අවුරුදු සීයක් දෙසීයක් යද්දි නැති වෙයි. මොකද දැන් ලෝකෙ එක ගාණට දැනුම ව්‍යාප්ත වෙනවා. තොරතුරු ව්‍යාප්ත වෙනවා. දැන් ඔය ඉන්ටර්නෙට්වලත් මිනිස්සු ජාති බෙදිල ගහගත්තට ඒ උන් සංක්‍රාන්ති කාලෙක ඉන්න නිසා. තව කාලයක් යද්දි ඉපදෙන උන්ට ඔයිට වඩා වැඩ තියෙයි. අන්තිමේදි තාක්ෂණය මිනිස්සුන්ව එකතු කරයි. සමහර විට මට එතනදි පොඩ්ඩක් වැරදිලා වෙන්න පුළුවන්.

සමහර විට මේ මුළු බයිලාවම මට වුණ මහම මහ වස වැරැද්දක් වෙන්න පුළුවන්.


..........

පිස්සා කතාව නතර කලා. නදීකා හිටියෙ කම්මුලේ අත් දෙක ගහගෙන කතාව අහගෙන. එයා පිස්සාව නිවැරදි කලා.

'අයියෙ චංගුමී ගිය සතියෙ ඉවර වුණා...'

Tuesday, 8 January 2013

කල්ලඩි පාළම යටින් මුම්බායට


දවස් කීපයකට පස්සෙ යන්තරේ ඉස්සරහ ඉඳගත්තෙ කිසි දෙයක් කොටන්න උවමනාවකින් නොවුණත් මොහොතකට කලින් හිතට දැණුන හැඟීම මාව ලියන්න පෙළඹෙව්වා.

දවස් දෙකක නැගෙනහිර සවාරියෙන් පස්සෙ මම ගෙදර ඇවිත් මුලින්ම අහන්න ගත්තෙ කපුගේගෙ කල්ලඩි පාළම පාමුල සින්දු කියපු මාළුවන්ගෙ සින්දුව. අද දවල් කල්මුණේ ඉඳන් මඩකලපු යන අතරෙ කල්ලඩි පාළම පහු වෙද්දි උවමනා වුණා ඒ සින්දුව හොයාගෙන අහන්න. මම හිතන්නෙ ඒක මම කවදාවත් හරියට අහල නෑ. තනුව මතක තිබුණට වචන ගැන කිසිම අදහසක් මට තිබුණෙ නෑ. ඒ නිසාමදෝ මන්ද අද ඒ සින්දුව අහද්දි ඇස් වලට කඳුළු ඉනුවෙ නොදැනීම.

එහෙම වෙන්නෙ කොහොමද කියල ටිකක් හිතුවමනම් ඒක මහ ලොකු දේකුත් නෙවෙයි. මේ දවස්වල ලංකාවෙ ආයෙ ආයෙමත් පෑරෙන වර්ගවාදී තුවාල දැකල හෙම්බත් වෙලා ඉද්දි කල්ලඩි පාලම සින්දුව තියෙන වචන මිනිහෙක්ව අඬවන්න තරම් ප්‍රබලයි. සංවේදීයි. හැබැයි ආගම් ජාති අතර තියෙන වෙනස්කම්වල සුන්දරත්වය වෙනුවට ඒවයෙ තියෙන අවුල්ම තැන් ඔස්සෙ හිතන්න පුරුදු වුණ මිනිස්සු අතරෙ අඬන මිනිහෙක් කියන්නෙ එක විධියක පරාජිතයෙක්. සමහර විට පහුගිය දින දෙකේදි මට මුණ ගැහුණු දෙමළ මුස්ලිම් මිනිස්සු කීප දෙනා අතරෙ භාෂාව මිසක් වෙන වෙනසක් දකින්න හැකියාවක් නොතිබීම ම මගේ පරාජිත බවට සාක්ෂියක්.

ඒ මුණ ගැහුණු උන් සේරම සිංහල මිනිස්සු වගේම ආත්මාර්ථකාමියො. මරිසියෝ. ප්‍රැක්ටිකල් නැති මෝඩ අන්ත ආගමිකයෝ. ඒකෙ කිසි වෙනසක් නෑ. අව්වට පොඩ්ඩක් කර වෙලා හිටියට, වෙන බාසාවකින් කතා කළාට උන්ගෙයි සිංහල මිනිහෙක්ගෙයි ඇති වෙනසක් නෑ. උන් දෙතුන්ගොල්ලොම ජීවිත කාලෙම එක එක ඒවට ඇන්දිලා රැවටිලා ඔහේ ජීවත් වෙනවා.

උඹ කියයි මම ප්‍රශ්ණෙ තේරුම් අරන් නෑ කියල. සමහර විට උඹ ප්‍රශ්ණෙ තේරුම්ගන්න විධිය මට තේරෙන්නෙ නෑ වෙන්න ඇති. මොකද උඹ මාර විසංවාද ගොඩක්. සාමය සහජීවනය ගැන බණ ටෝක් දෙන අස්සෙ මිනිස්සු සමූල ඝාතනය කරන්න කතා කරන වර්ගයේ එකෙක්.

පහුගිය දින දෙකේදිම කල්මුණේ සවාරියට එකතු වුණ මගෙ යාළුවො දෙන්න කරපු ගොඩක් සාකච්ඡා වලදි මම නිහඬව හිටියෙ ඒවට එකඟ වෙනවද නොවෙනවද කියන එක මට ෂුවර් නැති වුණ නිසයි. එහෙම නැත්තං ඒ අය කතාකරපු වර්ගවාදී අදහස් එක්ක ගැටෙන්න මට උවමනා නොවුණ නිසයි. ගැටුණත් මම පරදින එක ෂුවර්. උන් දිනපතා පත්තර බලන නූතන අපරාධකාරී දැනුමින් සන්නද්ධ උන්. ලංකාවෙ ප්‍රශ්ණෙට උන් ගේන හේතුව සහමුලින්ම වෙන රටක එකක්. හැබැයි මම දන්නෙ හැමෝම මිනිස්සුය කියන එක විතරයි. ඒක බොහොම පරණ යල් පැනපු තර්කයක්.

හැමෝම තමන් කලින් පිලිඅරන් ප්‍රක්‍යක්ෂ කරපු මතයක් තහවුරු කරන්න කරුණු එකතු කරනව කියලයි මට හිතෙන්නෙ. ඒ නිසාම ඔය කාටවත් අනිත් මනුස්සයව පේන්නෙ නෑ. එහෙම නැත්තං උවමනාවෙන්ම අමතක කරල දානව. ඒ නිසාම කවුරුවත් කියන දේවල් එකපාර පිලිගන්න බෑ. මම කියන ඒවත් එහෙමයි.

ක්ලාක්ගෙ 2001 පොතේ හේවුඩ් ප්ලොයිඩ් හඳට යන ගමනෙදි ඩිජිටල් පත්තරයක් බලනව. ඒ පරිච්ඡේදය 9/10 වගේ පංතියකදි අපේ සිංහල පාඩම් පොතක තිබුණ. ප්‍රවෘත්ති බලල හේවුඩ් හිතන්නෙ යුද්ධයක් නැති ලෝකයක ප්‍රවෘත්ති නිරස වෙයි කියල. නමුත් දැන් වෙන්නෙ ප්‍රවෘත්ති නිසා යුද්ධ ඇතිවෙන තරමට වැඩේ දරුණු වෙමින් යන එක.

කීප දෙනෙක්ගෙ වැඩ නිසා දහස් ගාණක් මිනිස්සුන්ට දුක් විඳින්න හෝ ජීවිතයෙන් වන්දි ගෙවන්න සිද්ධ වීම ඉතිහාසය පුරාම අපට පේන්න තියෙන දෙයක්. ලෝකෙ කොයි තරම් දියුණු වෙලා මිනිස්සු අතරෙ තියෙන වෙනස්කම් නැති වෙන තරමට ලෝකය පුංචි වෙලා තිබුණ වුණත් මිනිස්සු හැම වෙලේම ජීවත් වෙන්නෙ බයෙන්, ඉරිසියාවෙන්.

බය සහ ඉරිසියාව වගේ හැඟීම් මිනිස් වර්ගයාගේ ඉදිරි ගමන හොඳින් හෝ නරකින් වෙනස් කරන එක වෙනම කතාවක්. පාලකයෝ කියන අය මේ බය සහ ඉරිසියාව වපුරමින් සත්ත්ව සංහතියෙ ඉතිහාසයේ ඉඳන් අවසානෙ දක්වාම රජ කරන එකත් වෙනම කතාවක්. අවසානයේ දුබලයා පරාජය වෙලා ප්‍රබලයා ඉතිරි වීමත් වෙනම කතාවක්.

ඔය වෙන වෙන කතා සේරම එදා මෙදා තුර ලෝකය පැවතුන විධිය ගැන එකම එක කතාවක්.

ඒ ගැන මේ විධියට කතා කරන එක මෙලෝ රහක් නැති, මෙලෝ වැඩක් නැති වෙනම ම කතාවක්.

ඔය කල්මුණේ ට්‍රිප් එක ගිහින් මාසෙකට විතර පස්සෙ ආයෙත් බාගෙට ලියල දාපු මේ සටහන සම්පූර්ණ කරන්න හිතුණා...



මුම්බයි මෙරි ජාන් [Mumbai Meri Jaan (2008)] චිත්‍රපටිය ගැන මට මුල්ම ඔත්තුව දුන්නෙ රෑ රූ ලියන චමිල. ඒ අවුරුද්දකටත් කලින්. හින්දි චිත්‍රපටියක් බලන්න නිරායාසයෙන්ම එක කම්මැලිකම හින්දා ඒක බාගන්න එක මේ තරම් කල් ගියා. ඒ වුණාට මුම්බයි මෙරි ජාන් චිත්‍රපටිය බැලුවට පස්සෙ ඒක බැලීම කල් යවපු එක ගැන මට පොඩි කණගාටුවක් ඇති වුණා. ඒක ඒ තරමටම විශිෂ්ඨ මට්ටමේ චිත්‍රපටියක්.

ප්‍රධාන චරිත කීපයක්, ඒ ඒ අයට අදාල වෙනස් කතා කීපයක් ඔස්සේ කියවෙන එකම කතන්දරයක්.

කතාවට තේමාව වෙන්නෙ 2006 ජූලි 11 වෙනිද මුම්බායි නගරය අවට දුම්රිය ස්ථාන හතක සිද්ධ වෙන ත්‍රස්තවාදී බෝම්බ ප්‍රහාරය. ඒ සිදුවීමත් එක්ක ගැටෙන චරිත කීපයක ජීවිත ඒ පිපිරීමත් එක්ක කම්පනය වෙනව. ඒ කම්පනයට ඔවුන් ප්‍රතිචාර දක්වන විධිය චිත්‍රපටිය පුරාම දිව යනවා. අවසානයේ ඇතැම් අයට ඒකෙන් ගැලවෙන්නත් අනිත් අයට අවනත වෙන්නත් සිද්ධ වෙනවා. මේ ක්‍රියාවලිය චිත්‍රපටියෙදි පෙන්වන්නෙ නරඹන්නන්වත් කම්පනය කරලා. ඔවුන්ගෙ ගැටළුවට අපිව මැදි කරලා. ඒක බොහොම තදින් දැණෙනවා.

මම චිත්‍රපටිය ගැන වැඩිය කියන්න යන්නෙ නෑ. නමුත් ඉර්ෆාන් ඛාන් රඟපාන තෝමස්ගේ චරිතය මාව බොහොම තදින් වැළඳගත්තා. ඔහු දුප්පතෙක්. තමන්ගෙ පවුලේ සතුට වෙනුවෙන් දුක් මහන්සි වෙන දුප්පතෙක්. අවසානයේ ඔහුට ඉතිරි වෙන්නෙ බොහොමයක් දුප්පතුන්ට වගේ තමන්ගෙ හිතේ සතුට විතරයි. පරේෂ් රවාල් කියන නම මම දැනගත්තෙත් මේ චිත්‍රපටිය නිසා. මොකද ඔහු නැති හින්දි චිත්‍රපටියක් 90 ගණන්වල තිබුණෙ නැතිම තරම්. ඒත් ඒ ‍බොහොමයක ඔහු හිටපු චරිත අනුව ඔහුව මම ඒ තරම් අඳුණගන්න උත්සාහ කළේ නෑ. නමුත් මේ චිත්‍රපටියෙ විශ්‍රාම ගන්න ආසන්නව ඉන්න පොලිසියෙ පටිල් රාළහාමි විධියට කාලෙකට පස්සෙ ඔහුගෙ දක්ෂ රඟපෑමක් මම දැක්කා. ඔහු අර දුප්පතුන් ඇරුණම රටේ බහුතරයක් මරිසියන්ව නිරූපණය කරනව කියල මට හිතෙනව. ඇත්තටම වැල යන පැත්තට මැස්ස ගහනව වගේ ජීවත් වෙනව ඇරෙන්න ඔහුටත් විකල්පයක් තිබිල නෑ කියල චිත්‍රපටිය අවසානෙදි අපට තේරෙනව.

චිත්‍රපටියෙ මම කැමතිම දෙබස් ඛණ්ඩය කියන්නෙ ඔහු විසින්.



ඒක සිංහලට කරකවන්න කම්මැලියි...

This is Aadam Sheikh, a Muslim.

And I am a Hindu, Tukaram Patil.

Now suppose I push him. And he pushes me back.
Then one Hindu stands by my side in support.
And two Muslims stand by his side.
Four Hindus appear here, eight Muslims there!

Hindus versus Muslims!

Everyone pushing each other.
It never stops.

It starts when you are young... and doesn't stop even
when you get old. Right?

I have grown old but I'm still being pushed around.
I will retire soon.

But will you young men think of finding a solution for this game before you grow old?


අන්තිමේදි කාවවත් සුද්ද කරන්නවත් කාටවත් ඇඟිල්ල දික් කරන්නවත් මට උවමනාවක් නැති බව කියන්න ඕන. ජීවිතේ කියන්නෙ බයෙන් ගෙවන්න ඕන එකක් නෙවෙයි. කවුරු හරි බය වෙලා ඉන්නවනං තමන් කාටද බය වෙලා ඉන්නෙ, ඇත්තටම කවුද තමන්ව බය කරන්නෙ කියල හොයල බලපල්ලා කියල විතරයි මට කියන්න ඕන.


Wednesday, 8 August 2012

ජනාදිපතිතුමනි! මේ ඔබේ අවදානය පිනිස නොවේ!


අද අපි ගොඩ දෙනෙක් සිටින්නේ කුක්කු බබාලා වාගේය. අපි මුකුත් දන්නේ නැතිය. මොකද අපි කුක්කු බබාලා නිසාය. ඒත් ඇත්ත කතාව ටිකාක් විතර අපිට තේරෙනවාය. ඒ අපි ඇත්තටම කුක්කු බබාලා නොවන බවය. ඒ බව අපි එක්ක කතාවට එන ඕන කෙනෙක්ට තේරෙනවාය. මොකද කුක්කු බබාලා වගේ හිටියත් කට ඇරියොත් මහදැනමුත්තාටත් ඉහලිං අපි පංඩිත නිසාය. ඒත් අපි කුක්කු බබාලා නොවෙන බව දැන දැනම කුක්කු බබාලා වාගේ ඉන්නට උත්සාහ කරන්නවාය.

හෙළුවැල්ලෙන්ම කියල දැම්මොත් අපි සේරම දන්නවා වුනාට දන්නෙ නෑ වගේ ඉන්න ආසය. එහෙම ඉන්න එකට කියන තනි වචනය 'නරුමවාදය' කියා ශිෂ්ශත්තෙට පාඩං කරන අයියා කෙනෙක් කිව්වේය. බැරි වෙලාවත් අපිට දැන දැන බොරු කරන්න බැරි ඇත්ත කේස් එකකට මූන දෙන්න සිද්ද වුනොත් අපි එතනින් මාරු වෙනවාය. ඒකට කියන්නේ 'බබා හුකුං දානවා' කියලාද කියන එක මට ෂුවර් නැතිය.

මේ සේරම කියන්නේ එක තැනකට එන්නය.

ඊයෙ පෙරේදා ජනාදිපතිතුමා අපේ නගරෙට ආවේය. නගරේ පුරා කටවුට් ඇලවුනි. ලකුනු දමාගන්න ගමේ ජනතා නියෝජිත සියලුම අංකල්ලා උන්දලාගේ මූනත්තහඩුව අමුනා ජනාදිපතිතුමාගේ ලයිප් සයිස්ට වඩා සයිස් එකේ කටවුට් ගැසුවෝය. සමහර කටවුට් නිසා පාරවල්වල හන්දි ඇහිරිලාය. බස් ස්ටැන්ඩෙකේ පාර පුරා ගසා ඇති කටවුට් එකක් නිසා අද දවසේත් වාහන එහෙ මෙහේ යන එකේ අනතුරක් තිබුනේය. මොකද පාරේ බාගයක් ඒකට වැහිලාය. එහා පැත්තෙං එන වාහනේ පේන්නේ නැතිය.

නගරයේ හන්දියේ ලොකු රවුන්ඩබවුට්ටෙක වටේ සැනකෙලියක් වගේය. ‍එක එක පාටින් කටවුට් පිරිලාය. වෙසක් තොරන් වගේය. එකම වෙනස ඒවා බලන්ඩ බැරි තරං අජූත මූනවල්වලින් පිරිල තියෙන එකය. සමහර කටවුට් ජනාදිපතිතුමාගෙන් රැස් විහිදෙන ආකාරය මනරම් ලෙස විදහා දැක්වෙන ආකාරයට සාදා තිබුනේය.

ගුගල් අර්ත් එකේ හරහට බලන්න පුළුවන්නං ඔයාලටත් ඒ මනරම් දර්සනේ බලන්න පුළුවන්ය. එහෙම පුළුවන් වුනානං අපේ ජනාදිපතිතුමා දැන් ඉන්නේ කොහේද කියලාත් හරියටම කියන්නත් පුළුවන්ය. මොකද උන්දෑ යන යන තැන අහස සිඹින කටවුට්ය. හතුරෙක් නැති එක ‍හොඳට හිටියේය. නැත්තං ගුගලෙන් බලා ගේමක් දෙන්න පුළුවංය.

හතුරෝ මර්ධනේ කරාය කියලා එතුමා ඉන්නේ නිදහසේය කියා මට හිතෙන්නේ නැතිය. උන්නාන්සේ ඉන්නේ හරි බයෙන් වගේය. කොයිතරං බයෙන්ද කියනවානං නගරයේ මීටර් 10න් 10ට පොලිසි, ආමි මාමලා සිටියෝය. අනේ ඒ වෙනුවට පොලිස් නැන්දිලාවත් හිටියානං ඒ පොඩි වෙලාවට අපේ නගරය ලස්සන වෙන්න තිබුනාය. ඒ බව අජිත් කුමාරසිරි නැමැති ගල් මූසල සින්දුකාරයාද එයාගේ ත්‍රස්තවාදී සින්දුවක කියලා තියෙනවාය.

උන්නාන්සෙගේ සම්ප්‍රාප්තිය වෙනුවෙන් නගරේ පාරවල් හේදුනේය. දූවිලි පොඩිත්තක්වත් නැති අළුතෙං තාර දාපු පාරවල් වගේ එදා දවසේ අපේ පාරවල් තිබුනේය. ඒ වුනාට අපට ඒවායේ යන්නට හම්බ වුනේ නැති තරංය. පාරේ වාහනයක්වත් නවත්තනවාට පොලිස් මාමලා ඉඩ දුන්නේ නැත. කොටිංම මගේ පුංචි බයිසිකලේ පාර අයිනේ නතර කරන්නේ නැතිව අතුරු පාරක අස්සකට ගොස් නතර කරන ලෙස පොලිස් මාමා කෙනෙක් මට කිව්වේය. සමහරවිට ජනාදිපතිතුමා මිනිස් පුළුටක් නැති වාහනයක් නැති දුමක්, දූවිල්ලක් නැති පොලිසිය විතරක් ඇති කාන්තාරයක් වගේ නගරයකට කැමතියි වෙන්නට පුළුවන්ය. එහෙමත් නැත්තං උන්දැටත් මට වගේ ස්වසන රෝගයක් තියෙන නිසා වාහන දුම පාලනය කරා වෙන්න පුළුවන්ය. මගේ ටිකිරි මොලේටත් ඔව්වා තේරෙනවාය.

ඒ අස්සේ අපේ චන්ද්‍රිකා අක්කලාගේ ගෙවල් පැත්තට ප්‍රාදේසීය සබාවෙං දවස් ගානක් වතුර එවන්නේ නැතිව මහ අලකලංචියක් වෙලාය. එයා ගමේ අයගෙං සල්ලි එකතු කරලා වතුර බවුසරයක්ම ගමට ගෙන ගියාය. බූලි තුන ගානේ ගමේ කට්ටිය වතුර බෙදාගෙන තිබුනාය. ගමම එකතු වුනොත් කරන්න බැරි වැඩක් නැති බව ඒකෙන්ම ඔප්පු වෙනවාය. ජනාදිපතිතුමා චන්ද්‍රිකා අක්කාගේ මේ වීර ක්‍රියාව දැනගත්තානං එයාට වීර පදක්කමක් දෙන එක ෂුවර්ය.

හැබැයි ඔන්න ආස්චර්යය නං උදා වුනේය. ඇත්තට ඒක මහම මහ ආස්චර්යයක්ය. ඒක උදා වුනේ අර කලිං කිව්ව රවුන්ඩබවුට් එකටය. සෑහෙන්න ඉස්සරනං ඒක මැද හිටියේ රන විරුවෙක්ය. හරියටම කිව්වොත් රන විරුවෙක්ගේ පිලිමයක්ය. රන විරුවෝ කිච වීගෙන එනකොට ඒක එතනින් ගැලවී නගරයේ මුල්ලක වෙන තැනකට ගියේය. ඊට පස්සේ ආතක් පාතක් නැතිව තිබුන රවුන්ඩබවුට් එකේ මැද ඊයෙ පෙරේදා හිටි අඩියේ රෝස මල් පිපුනේය. රැයක් ගෙවිලා පහුවදා උදේ වෙනකොට හොඳට පිපුනු ලස්සන රෝස මල් රොත්තක් රවුන්ඩබවුට් එක මැද දිලිසි දිලිසි නගරෙ ලස්සන කලේය. ඒවා නගර සභාවේ හෙන ආස්චර්යමත් වැඩය. ඒකෙ ඉන්න උන්දලා ජාතික ටීවී එකෙං බලා ගෙවතු වගා හෙම ‍කරන ඈයො වෙන්න ඕනෑය.

උදේ හම්බවුන ත්‍රීවීල් අයියා කිව්වේ පැය දෙකකට රුපියල් කෝටි විස්සක්ම වියදං කොරලා කියලාය. පොලිස් මාමලාගේ ඩියුටි ගාස්තු එක්ක උන්දලාගේ වාහනවලට තෙල් ගහනකොටම බරගානක් යන්න ඇති කියලා ඒ අයියා කීවේය. කටවුට් හදන උන්ගේ රස්සා ගැනත් ලොක්කන් උනන්දු බවක් උන්දෑ කිව්වා මතකය. ඒවා ජනතා මුදල් කියලා ඒ අයියාට තරහා ගිහින් තිබුනාට උන්දෑ ඔය වැඩේට සතයක්වත් දීලා නැති බව මම දන්නවාය. ඒ නිසා උන්දා කිව්වේ ඇත්තද බොරුද කියා මම දන්නේ නැතිය. ලකුනු ටිකක් වැටෙන එක හැම එකටම වඩා වටිනවා වෙන්න ඕනෑය.

ඇත්තටම මේ කැටයං සේරම ‍නිකං ලකුනු දාගන්න කොරන පුක් වැඩ බව මේ පුංචි මට යන්තං කිලෝමීටර වෙනවාය. ඔය සන්තෑසිය ජනාදිපතිතුමා සම්බන්දයෙං විතරක් නෙවේය. මුළු රාජ්‍ය අංසයේම ව්‍යාප්ත වෙලා අහවරය. පුද්ගලික අංසෙත් නෑ කියන්න බෑය. දැන් සේරම සිද්දවෙන්නේ ලොක්කාගෙන් ලකුනු දාගන්න එක උඩය. වැඩ නොකරාට කමක් නැත. වැඩ කරන උන් වැඩම කරන නිසා උන්ට ලකුනු ගැන හිතන්න වෙලා නැතිය. ඒ හින්දා උන් කරන වැඩ ටිකටද ලකුනු දාගන්න ඕන තරං කට්ටිය ඉන්නවාය.

අපේ ජනාදිපතිතුමා මට වඩා ගොඩ්ඩ්ඩාක් ලොකු ඇත්තෙක් හින්දා උන්දැටත් මේවා නොතේරෙනවා වෙන්න බැරිය. ඒත් උන්දෑත් මං වගේම කුක්කු බබෙකි. උන්දෑත් මේව සේරම දැන දැන දන්නේ නෑ වගේ ඉන්නවාය. ඉතිං රටේ ලොකුම ඇත්තාගෙන් පටං අරං පාතම ඉන්න මං වගේ එකෙක් වෙනකල් රටම කුක්කු බබාලා බව දැන් පැහැදිලිය. මෙච්චර අකුරු කොටලා තටමලා මට ඕන වුනේ ඒක කියන්නය.


පස්සෙ ලිව්වා...

ජනාදිපතිතුමා මගේ බ්ලොගය කියවනවා වෙන්න බැරිය. අඩුගානේ ලේකංතුමාවත් බලනවා වෙන්ඩ බැරිය.

ඒත් දැක්කොත් කරන්ඩ දෙයක් නැත. කරන්ඩ තියෙන එකම දේ නොදැක්කා වගේ ඉන්න එකය.

Tuesday, 31 July 2012

ප්‍රේමකීර්ති, ගනේගොඩ, අම්මා සහ මම


ප්‍රේමකීර්ති එක විධියකට වීරයෙක් විධියට මම සලකන පුද්ගලයෙක්. ඔහු වීරයෙක් වුණේ ගනේගොඩ අයිය නිසා. රජයේ චිත්‍රපටි අංශයේ ඉන්න කාලෙ ප්‍රේමකීර්තිව පුද්ගලිකවම දැනගෙන හිටපු ඔහු ප්‍රේම්ගේ උග්‍ර රසිකයෙක්. ඒ නිසාම අපි සෙට් වුණාම පට්ට ගහන මර්වින් පෙරේරගෙ සින්දු ටික අස්සෙ ගනේගොඩ සැරින් සැරේ ප්‍රේමකීර්තිව මතක් කරන්නෙ ඔහුගෙ වචන අතර මාව අතරමං කරමින්.

ප්‍රේමකීර්ති මං මුලින්ම අඳුනගන්නෙ රූපවාහිනියෙ මහජන සම්පත වැඩසටහනින්. ඒ කියන්නෙ 1986-88 වගේ කාලෙ වෙන්න ඕන. මම හෙණ පොඩියි. ඒ වුණාට අම්මට ඒක බලන්න උණක් හැදිල තිබුණ. අම්ම එක්ක මමත් ඒක බලනව. ඒකෙ ආරම්භක නිවේදකයෝ වුණේ ප්‍රේමකීර්ති, රේණුකා බාලසූරිය සහ නිල්මිණි සිගේරා. ‍දිනුම් වාරයක් පාසා රේණුකයි නිල්මිණියි මාරු වුණා. මම නං ඒ දවස්වල(ත්) කැමති රේණුකාට :P ඔය වැඩසටහන හිට් වුණේ ප්‍රේමකීර්ති නිසා. පැය බාගයක් විතර විකාශනය වෙද්දි ඔහු සෑහෙන්න රස කතා ගොඩක් කියෙව්වා. ප්‍රශ්ණ ඇහුවා. තැපැල්පත් වලින් ප්‍රශ්ණ වලට පිලිතුරු ගෙන්නුව කියලත් මතකයි. ඒක ලොතරැයි වැඩසටහනක් වුණත් සෑහෙන්න රසවත් එකක් වුණා.

පසුව ප්‍රේමකීර්ති මෙහෙයවනවා 'හරි පුදුමයි නේද?' කියල එකක්. ඒක ඔය ලොතරුයි වැඩසටහන අස්සෙම ගියාද වෙනමම ගියාද කියල මතක නෑ. නමුත් ඒකෙ විකාශනය වුණෙ ඔය ලෝකෙ තියෙන පුදුම සහගත දේවල් ගැන. ඔහු ඒ හැම දෙයක් ගැනම කියල අවසන් කළේ 'හරි පුදුමයි නේද?' කියල අහලා. දැන් නම් අපි ඒ පෙන්නපුව වගේ ඒවට කියන්නෙ hoax කියලා.

ඒ කාලෙදිම ඔහු හැම ඉරිදාම (මතක විධියට පස්සෙ සෙනසුරාදාත්) ආයුබෝවන් වැඩසටහනින් හම්බවෙනවා. ඒවට ඔහුත් එක්ක නිවේදනයට අසෝකා වනමලී, අනෝමා වත්තලදෙණිය, රවි ජෝන්, අරුන් ඩයස් බණ්ඩාරනායක වගේ අය සම්බන්ධ වෙනවා. ඒකෙ හිටපු අයගෙ නම් මතක නැති එක නම් හෙණ අපරාදයක්. ඒ වැඩසටහන් අපි මගඇරියෙ නැති තරම්. (ඉරිද ඉස්කෝලෙ නොගිය එකේ වාසිය :P) එක එක රස කතා, විහිළු වගේම මොළේ කචල් වෙන විධියෙ ගැටළු ගොඩකින් ප්‍රේමකීර්ති සන්නද්ධ වෙලා හිටියා. ඒ දවස්වල මම දන්නෙ ඔහු රූපවාහිනී නිවේදකයෙක් කියල විතරයි. ඒ වෙද්දි අම්මත් මමත් දෙන්නම ඔහුගෙ උග්‍ර පංකා හෙවත් fans බවට පත්වෙලයි හිටියෙ.

ඔහු මිය ගිය ප්‍රවෘත්තිය අපට අදහගන්න බැරි එකක් වුණා. ඒක අපට කිව්වෙ තාත්තා. ඔහු ඒක දැනගෙන තියෙන්නෙ ගුවන්විදුලියෙ පාන්දර ප්‍රවෘත්ති වලින්. අම්මයි මමයි දෙන්නම ඉන්න තැන තාත්ත ඒ ගැන කිව්වෙ 'අන්න ඔය දෙන්නගෙ යාළුවට වෙඩි තියල' කියලයි. ඊට පස්සෙ මම සාමාන්‍ය විධියට හැසිරෙන්න උත්සාහ කලත් එදා දැණුන ඒ හැඟීම වචන වලින් කියන්න බැරි එකක් බව මම අද දන්නවා. ඒ හැඟීම ආයෙම දැණුනෙ 1993දි ප්‍රේමදාස ජනාධිපතිතුමා මියගිය දවසෙ. දේශපාලනය ගැන මෙලෝ දැනුමක් නැති වුණාට ඒ කාලෙ ඔහු අපට පෙණුනු/පෙන්නපු පරමාදර්ශයක් වීමයි ඒකට හේතුව.

ඊට පස්සෙ කතාව සාමාන්‍ය වෙනවා. ප්‍රේමකීර්ති තියා සංගීතෙත් නොදැණුන කාන්තාරමය කාලෙකට පස්සෙ ආයෙත් ඔහු මට අනුව පොරක් වෙන්නෙ 2003දි ගනේගොඩව හම්බ වුණාට පස්සෙ. මර්වින්ගෙ සින්දු අස්සෙ ප්‍රේමකීර්ති ලියපුව ගනේගොඩ අඳුණගන්නෙ වචන වලින්. මට ඒ ගැන තේරුමක් නොතිබුණත් ගනේගොඩ අයියට ප්‍රේමකීර්තිගේ වචන ගැන ඒ තරම් දැනුමක් තිබුණා.

හැම සිදුවීමක්ම මට මතක නැතත් ප්‍රේම් ලියපු මර්වින් කියන 'නිමා නොවෙන පෙම් හැඟුම්' කියන සින්දුව ගනේගොඩ මට තේරුම් කරපු විධියනං මතකයි.

'උඹ ලව් කරන කෙල්ල එක්ක යද්දි වෙන කෙල්ලො දිහා බලන්නෙ නැද්ද?'

ගනේගොඩ ඇහුව.

'නෑ'

මම ඒ දවස්වලත් හෙණ පඬිය.

'අනෙ පළයං බං යන්න බොරු නොගහ'

ගනේගොඩගෙ කිණ්ඩි හිනාව මාව කූඹියෙක් කලා.

'බලන්න ඕන වුණාට බලන්නෙ නෑ ඉතිං හරි නෑනෙ'

මං ෂේප් වුණා.

'ඒක තමයි කියන්නෙ. උඹ කොයි තරම් ලව් එකේ හිටියත් උඹේ හිත හැම තැනම යනවා. බලපං ඔය සින්දුවෙ කියන්නෙ ඒක ගැන තමයි'

නිමා නොවෙන පෙම් හැඟුම්
මහා සමුදුරක් ලෙසින්
ගෙඋයන් සීමා දොරින්
නික්ම යනු දුටිම්
සොරෙන්

'ඕකෙ විධියට උඹ උඹේම කියල ගෙයක් හදාගෙන ඉන්න ගියාට හිත උඹටත් නොදැනීම පිටවෙලා වෙන ගෑණු පස්සෙ යනවා... පෙම් හැඟුම් කියන ඒව එක ගෑණියක් කියල සීමාවක් දාගෙන තියාගන්න පුළුවන් ඒව නෙවෙයි.'

ගනේගොඩ කියාගෙන ගියා. මම සින්දුව රිවයින් කරල මුල ඉඳන් ඇහුවා.

නිමා නොවෙන පෙම් හැඟුම්
මහා සමුදුරක් ලෙසින්
ගෙඋයන් සීමා දොරින්
නික්ම යනු දුටිම් සොරෙන්
නික්ම යනු දුටිම්

පාළු රැයක ඈ අභියස හිඳිනා මොහොතේ පවා
කැදැල්ලෙන් මිදී සිතුවිලි සියොතුන්
නුරා ලවන් සොයා පියා සලා යයි

නිමා නොවෙන පෙම් හැඟුම්...

හද ගැඹරේ බැඳි සෙනෙහස බිඳකුදු නොමැකී ඇතේ
එනමුදු රන් රූ පරයන අඟනන්
නුරා නුවන් සොයා හැඟුම් පලා යයි

නිමා නොවෙන පෙම් හැඟුම්...



'එහෙම වෙනව කියල උඹ උඹේ කෙල්ලට ආදරේ නැති ලබ්බක් නෙවෙයි කියන්නෙ. ආදරේ එහෙම්මම තියෙයි. හිතේ සීමාවක් නැති එක ගැනයි කියන්නෙ'

මම එදා ඒක තේරුම්ගත්තෙ ආදරේ සහ කෙල්ලො ගැන මට තිබුණ ප්‍රශ්ණ ‍කීපයක්ම විසඳගෙන. පෙම් හැඟුම් නිමා වෙන්නෙ නෑ...

එදා ඉඳන් අද වෙනකල් ගනේගොඩ එක්ක සෙට් වෙන ඕනම වෙලාවක සින්දු කියන්න පුළුවන් මෝඩ් එක ආවොත් මර්වින්ගෙ සින්දු සෙට් එක වරදින්නෙ නෑ. ඒක අපිත් එක්ක සාමාන්‍යයෙන් සෙට් ‍වුණ පුද්ගලයින් අනුව නිරායාසයෙන්ම ඉදිරිපත් වුණ ඉල්ලීමක් වුණා. කවදාවත් සින්දුවක් පාඩම් හිටල නැති මට 'කතරක තනි වී ඔබ යන අයුරු පෙනි පෙනී' සින්දුවෙ අන්තරා කෑලි පැටලිලා හරි මතක හිටියෙ ඒ සෙට්වීම් නිසා. ඒ හැමවෙලේම ප්‍රේමකීර්තිගෙ වචන ගැන ගනේගොඩ පුන පුනා කියන්නෙ ඔහු ගීතය තනිකරම වචන වලින් ආස්වාදනය කරපු නිසා. ඒ වගේම ඔහුත් එක්ක මෝටර් සයිකලේ ගිය කතා, බේබදු කතා, සහ අඹ ගැට වලට තිබුණ ප්‍රේම්ගෙ පෙරේතකම ගැන කතා ගනේගොඩ සැරින් සැරේ කියවනව.

ඒ එක්කම ඒ අර්ථයෙන් ප්‍රේම් දිහා බලන්න මමත් හුරු වෙනව. ඔහු මගේ වීරයෙක් වෙන්නෙ එහෙම. වික්ටර්ගෙ මර්වින්ගෙ ප්‍රියාගෙ සින්දු අහද්දි මම ඒ සංවාද වලට යන්නෙ නිරායාසයෙන්.

ප්‍රේමකීර්ති ගැන අයිටීඑන් එකේ ගිය අවුරුද්දෙ ගිය ප්‍රෝග්‍රෑම් එක මට බලන්න බැරි වුණා. ඒක මේ වතාවෙ ආයෙමත් පෙන්නුවා. ඒකෙදි දිලීප අබේසේකර මරු කතාවක් කිව්වා. 'ප්‍රේමකීර්ති ජීවත්වෙලා හිටපු කාලෙදි කරපු දෙවල් බැලුවම ඔහු මේ වෙනකොටත් ජීවත් වෙලා හිටියනම් කොහොම දේවල් කරයිද කියල හිතාගන්න බැහැ. ඔහු චිත්‍රපටියක් කරන්න තිබුණා. ටෙලි නාට්‍යයක් කරන්න තිබුණා. අපට පුළුවන් ඒ ගැන හිතල ඔහු කරපු ටික රසවිඳින්න විතරයි'

ඔහුගෙ අතිවිශාල හිතේ තිබුණ දේවලින් අපි දන්නෙ බොහොම පොඩ්ඩක් විතරයි. සමහර විට ඔහු ජීවත්වෙලා හිටියනම් ලොකු දෙයක් නොවෙන්නත් පුළුවන්. නැති දේ ගැන දුක් වෙන එක අපි කාටත් පොදු දෙයක්.

අන්තිමේදි ඔහු වෙනුවෙන් අපට කරන්න පුළුවන් ඔහුගේ නිර්මාණ බෙදාගන්න එක. ඒ රසය ඒ ගැන නොදන්න අයට යොමු කරන එක. මේ සටහන ඒකට පොඩි තල්ලුවක් වෙයි කියල හිතන එක ඇරෙන්න මටත් කරන්න දෙයක් නැති තරම්.

ප්‍රේමකීර්ති සම්බන්ධයෙන් මම මුලින්ම ලියන්න ගියේ ක්ලෝඩ් ප්‍රනාන්දු මහත්තය ලියපු ලිපියක් ආශ්‍රයෙන් කරපු පරිවර්තනයක්. ඒක කම්මැලිකමත් එක්ක සම්පූර්ණ වුණේ සෑහෙන්න හෙමින්. නමුත් ඒකත් බ්ලොගේ දානව.

ප්‍රේම් ගැන අනාගතේදි වෙන දෙයක් ගැන ඊටත් පස්සෙ...

Wednesday, 25 July 2012

හිඟන ස්ටාර් අරමුදල

සල්ලි නැති කෙල්ලක් පාරෙ ගියපු ගෑණියෙක්ගෙ මාලයක් කැඩුවා. කෙල්ල පොලිසි ගිහින් කිව්වෙ මාර අනුවේදනීය කතා පුවතක්. ඒ කතා පත්තරවලින් පට්ට ගැහුව. ටීවී නිව්ස් පටි අස්සෙ සිංහල බාසාවෙ තියෙන ඇඬන වදන් වලින් තරුණියගෙ කතාව කොටස් කලා. ඒ මදිවට නිව්ස් කියන ඩයල් එක කතා කලේ කෙල්ලව කසාද බඳින්න වුණත් කැමති ගාණට.

තමන්ගෙ දුප්පත්කම වෙනුවෙන් එහෙම පියවරක් ගත්තු ඒ කෙල්ල දවසින් වීරයෙක් වුණා. එක අතකට සාධනීය වීරයො මැරිල ඉද්දි ඕන කෙනෙක්ට වීරයෙක් වෙන්න කරන්න තියෙන්නෙ එහෙම නීති විරෝධී වීරකමක් විතරයි.

බැරි වෙලාවත් ඕක කොල්ලෙක් කරානං උගේ ඇට නැතිව එන්න වෙන්නෙ.... නෑ නෑ.. ඌ තාම කූඩුවෙ එහෙනං.

ඒක කියනකොට මතක්වෙන්නෙම මේ දවස්වල හිට් වෙන නිව්ස් කෑලි. මම බොහොම සන්තොසෙන් ගෙදර ඉන්නෙ මේ දවස්වල ටීවී එක කැඩිල නිසා. නිකමටවත් ඔය කුණු නිව්ස් අහන්න සිද්ධ වෙන්නෙ නෑ. ඒ වුණාට ඔෆිස් ගිය ගමන් එතන ඉන්න ගෑණු ටික කලින් දා ගියපු කුණු නිව්ස් කියන්නෙ රහ කර කර.

ගෑණු දූෂණය කරපුව, ළමයි පිච්චුන ඒව, අම්මල කිරි බොන වයසෙ ළමයි දාල ගිය ඒව, පොඩි කොල්ලන්ව අපයෝජනය කරපුව රූප රාමුවෙන් රාමුවට විස්තර කරන්නෙ සියුමැලි ළඳවල් කියල බැලූ බැල්මට පේන ගෑණු. අනේ උන්ගෙ සියුමැලිකම. උන්ට හරියට ඒ අපරාධකාරයො දැන් මාර පොරවල් වෙලා වගේ කියල මට හිතෙනව. මොකද ඔය සිදුවීම් උස්සල දාල කියවන විධියට ඒව කරන උන් නිකංම ස්ටාර්ල වෙලා... ළඟදිම එකක් පටන්ගනියි එස්.එල්. පෝන් ස්ටාර් කියල. ඒ වෙනකොටනං ටී.වී. එක හදාගන්න වෙනව.

දැන් කාලෙ පොඩි කෙල්ලක් අපයෝජනය කරාම මාර පොරක් වෙන්න පුළුවන්. එහෙම කරපු උන් අල්ලල හිරේ දැම්මම උන් වෙනුවෙන් බැනර් උස්සන් පාරට බහින උන් ටිකකුත් ඉන්නවනේ.

එව්ව වැඩක් නෑ... ඔන්න අර මාලෙ කඩපු කෙල්ල අන්තර්ජාලෙ අස්සෙත් පොරක් වුණා. එයාගෙ කතාව ලෝකෙ පුරාම පැතිරුණා. ඒ එක්කම කවුදෝ කරපු යෝජනාවකින් කෙල්ල වෙනුවෙන් අරමුදලක් පටන්ගත්තා. ඒක ‍සෑහෙන්න නැගල ගියා. පරම්පරා ගාණකට හරියන්න කෙල්ලගෙ එකවුන්ට් එක පිරුණා.

මේක නිහඬව බලාගෙන හිටපු කීප දෙනෙක් වැඩේ අල්ලගත්තා. මේක මරු වැඩේ. හරියට අර බස් වලට නැගල තාත්ත පොල් ගහෙන් වැටුණ, කසාදෙ කැඩුණ අක්ක ළමයි දුසිමක් එක්ක ගෙදර ඇවිත් ඉන්න, ගෑණිට පිළිකාවක් හැදුණ, ළමයි හතර දෙනෙක් ඉස්කෝලෙ යන්න බැරිව ඉන්න, වගේ කතා කියල ලංකාවෙ දුගී දුප්පත් බස් මගීන්ගෙන්ම ගාණ කපාගන්න දුගී දුප්පත් අයියල කරනව වගේ වැඩක්.

ඔන්ලයින් හිඟමන් යැදීමක්. කොහොමද ඒක?

මේ කාලෙ හැම ඉලව්වක්ම ඔන්ලයින් නිසා හිඟමනට විතරක් එහෙම නොවී තියෙන්න බෑනෙ. අර ඉස්සෙල්ලාම සව්දි ගිහින් ආවම අපේ යාළුවෙක් කිව්ව වගේ 'උන්ගෙ බලු කූඩුවක් හැදුවත් ඒකත් ඒසී කරනව බං' වගේ වැඩක්. විශ්ව ගම්මානයට ලංකාව යද්දි හිඟන්නො ටික දාල යන්න බෑනෙ.

කට්ටිය වැඩේ පටන්ගත්තා. වැඩිය මතු වෙන්නෙ නැතිවෙන්න ගාණට වැඩේ ගියා. බො‍රුවට කරදරයට ලක්වුණ විධියට මිනිස්සුන්ව පෙන්නලා අරමුදල් හැදුවා.

වැඩේ නැගල ගියා.

මේක බලාගෙන හිටියෙ අන්තර්ජාලෙ හිටපු ආණ්ඩුවට සම්බන්ධ කට්ටියක්. අන්තර්ජාලය මාර්ගයෙන් සමාජ සේවය කියල සල්ලි හොයන එක හරි ලේසි වැඩක්. ඔය රට ඉඳන් වැඩ කරන උන් ලොකු ගණං දානවා. කම්පැණි වලින් ඇට්ටි හැලෙන්න ගරන්න පුළුවන්. එස් එම් එස් කැම්පේන් කරලත් බර ගාණක් හොයාගන්න පුළුවන්නේ....

උන්දල රැස්වීමකදි යොජනාවක් ගෙනාවා. අසරණ වුණ මිනිස්සු වෙනුවෙන් පිහිට වෙන අරමුදලක්. ඒකට ඔන්ලයින් දායක වෙන්න පුළුවන්. ලංකාවෙ යම් අසරණකමකට ලක්වෙන ඕන කෙනෙක්ට ඒකෙන් ප්‍රතිලාභ ගන්න පුළුවන්. මේක මරු වැඩක්. රාජ්‍ය ආරස්සාවත් තියෙනවනේ...

කට්ටිය ඔය යෝජනාව සකස් කරලා ලොක්කන්ට ඉදිරිපත් කලා.

‍හප්පා.... තවත් අරමුදලක්....!!!

ලොක්කන්ගෙ කටවල්වල කොන් කන්වලට ඇදුණා...

Friday, 5 November 2010

මාළුකාරයා සහ කපු‍ටෝ…

මම බයිසිකලය පැදගෙන ගෙදර එන්න ආවෙ ටිකක් කලින්! ටවුමට ගිහින් කරගන්න තිබුණ වැ‍‍ඩේ ඉක්මනට ඉවර කරගන්න පුළුවන් වුණේ මාව ටිකක් දන්න ඇමතිගෙ පොරක් මගෙ හොඳ වෙලාවට ඉඩම් කාර්යාලෙට ඇවිත් හිටපු හින්දයි.

නැත්තං ඔය ඔෆිස් එකෙන් වැඩක් කරගන්න යන එක නං දෙපාරක් හිතන්න ඕන වැඩක්!

ගෙට එන්න තියෙන තාර පාරෙ අයිනක අපේ ගමේ මාළු විකුණන මාළු කාරය බයිසිකලේ නවත්තගෙන කපුටො පිරිවරාගෙන මිසිස් පෙරේරට මාළු කපල දෙනව... ගමේ අනිවාර්ය මාළු ගැණුම්කාරයො කීප දෙනෙක් මේ මාළු කාරයට හිටිය... උදේම හම්බන්තොටින් වෑන් වල එන මාළු කිලෝ දහයක් පහලොවක් බයිසිකලේ ලී පෙට්ටියෙ දාගෙන මිනිහ දෙවෙනි රවුම පෑගුවෙ අපේ ගමට... කොහොමත් තියෙන මාළු වලින් බාගෙකට වැඩිය හැමදාම අපේ ගමේ කට්ටිය ගත්තු නිසා මනුස්සයගෙ කෑ ගැහිල්ල උදේ 10 විතර වෙද්දි දැන් ගමට පුරුදු සද්දයක්!

ඉස්සර ටිකක් පුංචි කාලෙ නං මාළුව කපන විධිය අපි බලං හිටියට දැන් ඒවට වෙලාවක් නෑ අපට...

මම මාළු කාරයට හිනාවක් දාගෙන එතනින් බයිසිකලේ පැදන් ආවා...

"ඒ පැත්තට එනව මහත්තයා..."

මිනිහ මගෙ දිහා බලල උඩු රැවුල අස්සෙන් කහට දත් එක්ක හිනා වුණා...

කැපිල අයින් වෙන කොර පොතු, බඩවැල්, කරමල වලට වහ වැටිල මිනිහ පස්සෙන් ගම වටේ පියාඹන කපුටො රංචුව මගේ ගමන නිසා පාරෙන් ඉවතට පියෑඹුවා...

.......................

ගෙදර ගිහින් ෂර්ට් එක ගලවන අතරෙ මට පාර පැත්තෙන් මාළු කාරයගේ සද්දෙ ඇහුණා...

"මාලො... මාලෝ...."

ඒක කියන්නෙ මිනිහගෙම තාලෙකට... අයිස්ක්‍රීම් වාහනේ නලා සද්දෙ වගේ ඒ හඬ මිනිහටම තිබුණ හඬක් වුණා... සමහර විට ගමේ ගෑණු ඔය සද්දෙ නිසාත් මාළු ගන්න හිතන්න ඇති...

ඒ සද්දෙ හොඳට අඳුරණ ගෙදර පූස පාරට දිව්ව. අපෙ ආච්චිත් නෑඹිලියක් අරන් පාරට දුවනවා මම දැක්ක... හැමදාම වගේ ආච්චි තමයි ගෙදරට මාළු අරගන්නේ... එයා ඔය මාළු කාරයගෙ යාවජීව කස්ටමර් කෙනෙක්!

මමත් එයා පස්සෙන් එළියට ගියා... දොර ගාවට!

මාළු කාරය ගේ ඉස්සරහ බයිසිකලේ නතර කලා... කපුටො රංචුව අවට ගස් වල වැහුව....

මාළු කාරය අපේ ආච්චි ගත්තු මාළු කූරි දෙන්නව කපන්න ගත්තා... කොරපොතු සුද්ද වෙලා වරල්, වලිග කෑලි කැපිල මාළුවගෙ තොල් දෙකයි කරමල කෑලියි ගැලවිල පැත්තකට විසි වුණා... පූස ඒවට කිට්ටු වුණා...

මාළුවගෙ බඩ කපල බඩවැල් එක්ක අතුණු බහන් සේරම ටික පාරෙන් එහාපැත්තට විසි කලා.. කපුටො රංචුව ඔන්න ඒකට එකතු වුණා... උන්ගෙ ගෝරනාඩුව එක්ක උන් තම තමන්ගෙ කොටස් වෙනුවෙන් දඟලන්න ගත්තා...

උන්ට කොච්චර තිබුණත් මදි! මල පෙරේතයෝ...

සේරම ටික ඉවර වෙනකල් උන්ගෙ ගෝසාව තිබුණා...

අත් දෙක ‍සරමෙ පිහිදල සල්ලි අරගත්තු මාළු කාරය බයිසිකලේ නැගල යන්න ගියා...

කපුටො රංචුවත් ඒ පස්සෙන් පියෑඹුවා...