ප්‍රේමකීර්ති එක විධියකට වීරයෙක් විධියට මම සලකන පුද්ගලයෙක්. ඔහු වීරයෙක් වුණේ ගනේගොඩ අයිය නිසා. රජයේ චිත්‍රපටි අංශයේ ඉන්න කාලෙ ප්‍රේමකීර්තිව පුද්ගලිකවම දැනගෙන හිටපු ඔහු ප්‍රේම්ගේ උග්‍ර රසිකයෙක්. ඒ නිසාම අපි සෙට් වුණාම පට්ට ගහන මර්වින් පෙරේරගෙ සින්දු ටික අස්සෙ ගනේගොඩ සැරින් සැරේ ප්‍රේමකීර්තිව මතක් කරන්නෙ ඔහුගෙ වචන අතර මාව අතරමං කරමින්.
ප්‍රේමකීර්ති මං මුලින්ම අඳුනගන්නෙ රූපවාහිනියෙ මහජන සම්පත වැඩසටහනින්. ඒ කියන්නෙ 1986-88 වගේ කාලෙ වෙන්න ඕන. මම හෙණ පොඩියි. ඒ වුණාට අම්මට ඒක බලන්න උණක් හැදිල තිබුණ. අම්ම එක්ක මමත් ඒක බලනව. ඒකෙ ආරම්භක නිවේදකයෝ වුණේ ප්‍රේමකීර්ති, රේණුකා බාලසූරිය සහ නිල්මිණි සිගේරා. දිනුම් වාරයක් පාසා රේණුකයි නිල්මිණියි මාරු වුණා. මම නං ඒ දවස්වල(ත්) කැමති රේණුකාට :P ඔය වැඩසටහන හිට් වුණේ ප්‍රේමකීර්ති නිසා. පැය බාගයක් විතර විකාශනය වෙද්දි ඔහු සෑහෙන්න රස කතා ගොඩක් කියෙව්වා. ප්‍රශ්ණ ඇහුවා. තැපැල්පත් වලින් ප්‍රශ්ණ වලට පිලිතුරු ගෙන්නුව කියලත් මතකයි. ඒක ලොතරැයි වැඩසටහනක් වුණත් සෑහෙන්න රසවත් එකක් වුණා.
පසුව ප්‍රේමකීර්ති මෙහෙයවනවා 'හරි පුදුමයි නේද?' කියල එකක්. ඒක ඔය ලොතරුයි වැඩසටහන අස්සෙම ගියාද වෙනමම ගියාද කියල මතක නෑ. නමුත් ඒකෙ විකාශනය වුණෙ ඔය ලෝකෙ තියෙන පුදුම සහගත දේවල් ගැන. ඔහු ඒ හැම දෙයක් ගැනම කියල අවසන් කළේ 'හරි පුදුමයි නේද?' කියල අහලා. දැන් නම් අපි ඒ පෙන්නපුව වගේ ඒවට කියන්නෙ hoax කියලා.
ඒ කාලෙදිම ඔහු හැම ඉරිදාම (මතක විධියට පස්සෙ සෙනසුරාදාත්) ආයුබෝවන් වැඩසටහනින් හම්බවෙනවා. ඒවට ඔහුත් එක්ක නිවේදනයට අසෝකා වනමලී, අනෝමා වත්තලදෙණිය, රවි ජෝන්, අරුන් ඩයස් බණ්ඩාරනායක වගේ අය සම්බන්ධ වෙනවා. ඒකෙ හිටපු අයගෙ නම් මතක නැති එක නම් හෙණ අපරාදයක්. ඒ වැඩසටහන් අපි මගඇරියෙ නැති තරම්. (ඉරිද ඉස්කෝලෙ නොගිය එකේ වාසිය :P) එක එක රස කතා, විහිළු වගේම මොළේ කචල් වෙන විධියෙ ගැටළු ගොඩකින් ප්‍රේමකීර්ති සන්නද්ධ වෙලා හිටියා. ඒ දවස්වල මම දන්නෙ ඔහු රූපවාහිනී නිවේදකයෙක් කියල විතරයි. ඒ වෙද්දි අම්මත් මමත් දෙන්නම ඔහුගෙ උග්‍ර පංකා හෙවත් fans බවට පත්වෙලයි හිටියෙ.
ඔහු මිය ගිය ප්‍රවෘත්තිය අපට අදහගන්න බැරි එකක් වුණා. ඒක අපට කිව්වෙ තාත්තා. ඔහු ඒක දැනගෙන තියෙන්නෙ ගුවන්විදුලියෙ පාන්දර ප්‍රවෘත්ති වලින්. අම්මයි මමයි දෙන්නම ඉන්න තැන තාත්ත ඒ ගැන කිව්වෙ 'අන්න ඔය දෙන්නගෙ යාළුවට වෙඩි තියල' කියලයි. ඊට පස්සෙ මම සාමාන්‍ය විධියට හැසිරෙන්න උත්සාහ කලත් එදා දැණුන ඒ හැඟීම වචන වලින් කියන්න බැරි එකක් බව මම අද දන්නවා. ඒ හැඟීම ආයෙම දැණුනෙ 1993දි ප්‍රේමදාස ජනාධිපතිතුමා මියගිය දවසෙ. දේශපාලනය ගැන මෙලෝ දැනුමක් නැති වුණාට ඒ කාලෙ ඔහු අපට පෙණුනු/පෙන්නපු පරමාදර්ශයක් වීමයි ඒකට හේතුව.
ඊට පස්සෙ කතාව සාමාන්‍ය වෙනවා. ප්‍රේමකීර්ති තියා සංගීතෙත් නොදැණුන කාන්තාරමය කාලෙකට පස්සෙ ආයෙත් ඔහු මට අනුව පොරක් වෙන්නෙ 2003දි ගනේගොඩව හම්බ වුණාට පස්සෙ. මර්වින්ගෙ සින්දු අස්සෙ ප්‍රේමකීර්ති ලියපුව ගනේගොඩ අඳුණගන්නෙ වචන වලින්. මට ඒ ගැන තේරුමක් නොතිබුණත් ගනේගොඩ අයියට ප්‍රේමකීර්තිගේ වචන ගැන ඒ තරම් දැනුමක් තිබුණා.
හැම සිදුවීමක්ම මට මතක නැතත් ප්‍රේම් ලියපු මර්වින් කියන 'නිමා නොවෙන පෙම් හැඟුම්' කියන සින්දුව ගනේගොඩ මට තේරුම් කරපු විධියනං මතකයි.
'උඹ ලව් කරන කෙල්ල එක්ක යද්දි වෙන කෙල්ලො දිහා බලන්නෙ නැද්ද?'
ගනේගොඩ ඇහුව.
'නෑ'
මම ඒ දවස්වලත් හෙණ පඬිය.
'අනෙ පළයං බං යන්න බොරු නොගහ'
ගනේගොඩගෙ කිණ්ඩි හිනාව මාව කූඹියෙක් කලා.
'බලන්න ඕන වුණාට බලන්නෙ නෑ ඉතිං හරි නෑනෙ'
මං ෂේප් වුණා.
'ඒක තමයි කියන්නෙ. උඹ කොයි තරම් ලව් එකේ හිටියත් උඹේ හිත හැම තැනම යනවා. බලපං ඔය සින්දුවෙ කියන්නෙ ඒක ගැන තමයි'
නිමා නොවෙන පෙම් හැඟුම්
මහා සමුදුරක් ලෙසින්
ගෙඋයන් සීමා දොරින්
නික්ම යනු දුටිම්
සොරෙන්
'ඕකෙ විධියට උඹ උඹේම කියල ගෙයක් හදාගෙන ඉන්න ගියාට හිත උඹටත් නොදැනීම පිටවෙලා වෙන ගෑණු පස්සෙ යනවා... පෙම් හැඟුම් කියන ඒව එක ගෑණියක් කියල සීමාවක් දාගෙන තියාගන්න පුළුවන් ඒව නෙවෙයි.'
ගනේගොඩ කියාගෙන ගියා. මම සින්දුව රිවයින් කරල මුල ඉඳන් ඇහුවා.
නිමා නොවෙන පෙම් හැඟුම්
මහා සමුදුරක් ලෙසින්
ගෙඋයන් සීමා දොරින්
නික්ම යනු දුටිම් සොරෙන්
නික්ම යනු දුටිම්
පාළු රැයක ඈ අභියස හිඳිනා මොහොතේ පවා
කැදැල්ලෙන් මිදී සිතුවිලි සියොතුන්
නුරා ලවන් සොයා පියා සලා යයි
නිමා නොවෙන පෙම් හැඟුම්...
හද ගැඹරේ බැඳි සෙනෙහස බිඳකුදු නොමැකී ඇතේ
එනමුදු රන් රූ පරයන අඟනන්
නුරා නුවන් සොයා හැඟුම් පලා යයි
නිමා නොවෙන පෙම් හැඟුම්...
'එහෙම වෙනව කියල උඹ උඹේ කෙල්ලට ආදරේ නැති ලබ්බක් නෙවෙයි කියන්නෙ. ආදරේ එහෙම්මම තියෙයි. හිතේ සීමාවක් නැති එක ගැනයි කියන්නෙ'
මම එදා ඒක තේරුම්ගත්තෙ ආදරේ සහ කෙල්ලො ගැන මට තිබුණ ප්‍රශ්ණ කීපයක්ම විසඳගෙන. පෙම් හැඟුම් නිමා වෙන්නෙ නෑ...
එදා ඉඳන් අද වෙනකල් ගනේගොඩ එක්ක සෙට් වෙන ඕනම වෙලාවක සින්දු කියන්න පුළුවන් මෝඩ් එක ආවොත් මර්වින්ගෙ සින්දු සෙට් එක වරදින්නෙ නෑ. ඒක අපිත් එක්ක සාමාන්‍යයෙන් සෙට් වුණ පුද්ගලයින් අනුව නිරායාසයෙන්ම ඉදිරිපත් වුණ ඉල්ලීමක් වුණා. කවදාවත් සින්දුවක් පාඩම් හිටල නැති මට 'කතරක තනි වී ඔබ යන අයුරු පෙනි පෙනී' සින්දුවෙ අන්තරා කෑලි පැටලිලා හරි මතක හිටියෙ ඒ සෙට්වීම් නිසා. ඒ හැමවෙලේම ප්‍රේමකීර්තිගෙ වචන ගැන ගනේගොඩ පුන පුනා කියන්නෙ ඔහු ගීතය තනිකරම වචන වලින් ආස්වාදනය කරපු නිසා. ඒ වගේම ඔහුත් එක්ක මෝටර් සයිකලේ ගිය කතා, බේබදු කතා, සහ අඹ ගැට වලට තිබුණ ප්‍රේම්ගෙ පෙරේතකම ගැන කතා ගනේගොඩ සැරින් සැරේ කියවනව.
ඒ එක්කම ඒ අර්ථයෙන් ප්‍රේම් දිහා බලන්න මමත් හුරු වෙනව. ඔහු මගේ වීරයෙක් වෙන්නෙ එහෙම. වික්ටර්ගෙ මර්වින්ගෙ ප්‍රියාගෙ සින්දු අහද්දි මම ඒ සංවාද වලට යන්නෙ නිරායාසයෙන්.
ප්‍රේමකීර්ති ගැන අයිටීඑන් එකේ ගිය අවුරුද්දෙ ගිය ප්‍රෝග්‍රෑම් එක මට බලන්න බැරි වුණා. ඒක මේ වතාවෙ ආයෙමත් පෙන්නුවා. ඒකෙදි දිලීප අබේසේකර මරු කතාවක් කිව්වා. 'ප්‍රේමකීර්ති ජීවත්වෙලා හිටපු කාලෙදි කරපු දෙවල් බැලුවම ඔහු මේ වෙනකොටත් ජීවත් වෙලා හිටියනම් කොහොම දේවල් කරයිද කියල හිතාගන්න බැහැ. ඔහු චිත්‍රපටියක් කරන්න තිබුණා. ටෙලි නාට්‍යයක් කරන්න තිබුණා. අපට පුළුවන් ඒ ගැන හිතල ඔහු කරපු ටික රසවිඳින්න විතරයි'
ඔහුගෙ අතිවිශාල හිතේ තිබුණ දේවලින් අපි දන්නෙ බොහොම පොඩ්ඩක් විතරයි. සමහර විට ඔහු ජීවත්වෙලා හිටියනම් ලොකු දෙයක් නොවෙන්නත් පුළුවන්. නැති දේ ගැන දුක් වෙන එක අපි කාටත් පොදු දෙයක්.
අන්තිමේදි ඔහු වෙනුවෙන් අපට කරන්න පුළුවන් ඔහුගේ නිර්මාණ බෙදාගන්න එක. ඒ රසය ඒ ගැන නොදන්න අයට යොමු කරන එක. මේ සටහන ඒකට පොඩි තල්ලුවක් වෙයි කියල හිතන එක ඇරෙන්න මටත් කරන්න දෙයක් නැති තරම්.
ප්‍රේමකීර්ති සම්බන්ධයෙන් මම මුලින්ම ලියන්න ගියේ ක්ලෝඩ් ප්‍රනාන්දු මහත්තය ලියපු ලිපියක් ආශ්‍රයෙන් කරපු පරිවර්තනයක්. ඒක කම්මැලිකමත් එක්ක සම්පූර්ණ වුණේ සෑහෙන්න හෙමින්. නමුත් ඒකත් බ්ලොගේ දානව.
ප්‍රේම් ගැන අනාගතේදි වෙන දෙයක් ගැන ඊටත් පස්සෙ...
ප්‍රේම්කීර්ති ජිවත් වෙලා හිටි කාලේ අපේ ගෙදර ටීවි තිබ්බේ නැති නිසා හා මම පොඩි කාලේ හින්දා මට ඇත්තටම ඒ කාලේ දැකපු අහපු දේවල් ගැන මතක නෑ.. ඒත් පස්සේ කාලේ මගේ ඕල් ටයිම් ෆේවරිට් ගොන්නට වැටුනු සිංදු ගොඩක් ඔහුගේ ගී පද කියලා දැන ගත්තයින් පස්සේ තමයි අපිට නැති වෙලා තියෙන්නේ කොයි තරම් වටින පුද්ගලයෙක්ද කියලා දැනුනේ.. ඒත් සමහර විට ඔහුගේ හොඳම දේවල් ටිකක් දීලා කලින්ම ගිය එක හොඳයි කියලා.. අද වගේ කාලෙක හිටියා නම් මේ කලාව කියලා බිහිවෙන දේවල් එක්ක ඔහුගේ පැවැත්ම මොන වගේ වෙන්න තිබුනද? නේ??
ReplyDeleteප.ලි - මං හිතන්නේ ප්‍රේම් ගේ සිනහව අද වගේම ඒ කාලේ ගෑණු අයවත් අම්බානෙකට ආකර්ෂණය කර ගන්න ඕනි.. ආයි හම්බුනාම ගනේ අයියාගෙන් අහන්න ඕනා.. ;-)
ආසාවෙන් කියෙව්වා.. ප්‍රේමකිර්ති ගැන කොයි විදිහට ඇහැව්වත් හිතට දැනෙනවා..
ReplyDeleteඅපි ඉපදෙනකොට එයා යන්න ගිහිල්ලා! ඒ පද අහනකොට පුදුම හිතෙනවා...
ReplyDeleteඅසාවෙන් කියවපු ලිපියක් . නොදත් කරුණුත් දැන ගත්තා . බොහොම ස්තූතියි !
ReplyDelete"ප්‍රේම් - වික්ටර්" මම කැමති තවත් සුසංයෝගයක්...
ReplyDeleteමම ඊයෙ රෑ ඇහුවා ප්‍රේමකීර්ති වෙනුවෙන් ගිය විශේෂ ආරාධනා වැඩසටහනක්... ඒකේ ගියා ප්‍රේමකීර්ති විසින් රූපා ඉන්දුමතීට ලියපු සිංදු ටිකක්.. සිරා සිංදු ටික, මම ඒවා කලින් අහලා තිබුනෙ නෑ.. එතකොට මට හිතුනා අපි අහලා නැති ලස්සන සිංදු තව කොයිතරම් නම් ඇතිද කියලා... අවාසනාවට මට අහන්න පුලුවන් වුනේ වැඩසටහනේ අවසන් ටික..
ප්‍රේමකීර්ති, මගේ ලෝකයේ වීරයෙක් බවට පත්වෙන්නේ, මම වික්ටර් රත්නයකයන්ගේ සිංදු වල උග්‍ර රසිකයෙක් වෙනවත් එක්කම වගේ. මට මතකයි වික්ටර් රත්නායකයන් ම දවසක් ටීවී එකෙ කිවුවා "ප්‍රේමකීරිති කියල කෙනෙක් හිටියෙ නැත්තං වික්ටර් රත්නායක කියල කෙනෙකුත් නෑ" කියලා...
මටත් මතක් වුණේ ඔයා වගේම මමත් අම්මයි අක්කයි එක්ක ප්‍රේමකීර්ති කරපු ආයුබෝවන් බලපු හැටි. එක දවසක් වැඩසටහන පටන් ගත්ත ගමන් අපිට පොඩි ගැටළුවක් දුන්න,
ReplyDeleteහාවෙක් ගෙ රූපයක් පෙන්නල මේ හාවා මුවා කරන්න පුළුවන් ද කියල. වැඩසටහන පුරාම අපි එක එක ව්දියට ඒ හාවගේ රූපේ මුවෙක් වගේ කරන්න දැඟළුව හැටි තාම මතකයි. ඇත්තටම හිනා යනවා.
වැඩසටහන අන්තිමට ප්‍රේමකීර්ති බොහෝම අපූරුවට අර හාවගේ රූපේ අතින් වහල ඔන්න මම හාවා මුවා කළා කියල කිව්වා.
හැමදාම ආයුබෝවන් වැඩසටහන නොවරදවා බලන තත්වෙ අපි හිටියේ. ඔහුගේ සිංදු රසවිඳින්න පටන් ගත්තේ ටිකක් ලොකු වෙලා තේරෙනකොට වුණාට. මොකුත් නොදන්න පොඩිවුන්ගේ කාළෙ ඉඳලම අපි ඔහුට ආදරේ කළා. ඒ තරම් අපූරු මනුස්සයෙක්. මේ සටහනට ස්තූතියි.
හරිම අපූරුයි !!
ReplyDeleteප්‍රේමකීර්ති මැරෙන්නේ 88 විතර නේද? මොකද ප්‍රේමාදාස මහත්තයා මැරෙනකොට නම් ලංකාවේ නැති උනත් ඒ 93 කියලා මතකයි.
ReplyDeleteඉස්සර බ්ලැක් ඇන් වයිට් ටී වී වල උදේ පාන්දරට ප්‍රේම් හිටියා කියලා මතකයක් තියෙනවා. ඒත් ඉතින් ඔහුගේ සින්දු හා ගැන නම් මතක අද ඇහෙන දකින දේවල් වලින් විතරයි.
මම නං අහල නෑ ඔහුගේ කටහඬ.
ReplyDeleteජීවත්ව හිටියනං ජැක්සන්ලගෙ ගානට වැටෙන්නත් තිබුන. කවුද දන්නෙ.
කොතැනකදී හරි මම කියෙව්වා ප්‍රේම කිර්ති ටයි මහත්තයාට බැහැයි කියලා බැහැ ගීතය ලිව්ව අපූරුව, ඒ වගේමයි ලස්සන, කඩවසම් අයට වෙන්වෙලා තිබුණු රූපවාහිනී නිවේදකකම කලු කැත අයටත් කරන්න පුලුවන් බව පෙන්නුවේ ප්‍රේමකීර්ති
ReplyDelete:( ඔහු ගැන දන සිටියේ නැහැ.
ReplyDeleteස්තූතියි සහෝ ඔබට.
හොද ලිපියක්.මම ප්‍රේමකීර්ති ද අල්විස් කියන සුන්දර මනුස්සයව දකින්නේ එතුමාගේ ගීත තුලින්.ඒ සින්දු ඇහෙනකොට හිතෙන්නේ තවමත් එතුමා අපි අතරම ඉන්නවා වගේ
ReplyDeleteමමත් ප්‍රේම කිර්තිගෙ රසිකාවියක් වෙන්නේ, මහජන සම්පත සහ අයුබෝවන් නැරබිමෙන්.මමයි තාත්තයි තමඉ එක බලන්නේ.එතකොට මට වයස 5ක් 6ක් වගේ.දැන් හිතෙනවා එච්ච්‍ර පුන්චි කාලේදි රසිකත්වයක් ඇතිවෙන්න පුලුවන්ද කියලත්.
ReplyDeleteඑ කලේ අපෙ තාත්තගෙ පුරුදදක් තිබ්බා, හැම ජනවරි 1දාම නුවර මාලිගාව වදින්න මාව එක්කන් යන..
ඒ එක දවසක බොගම්බර පිට්ටනිය මැදින් ඇවිද යන ගමන් තාත්තා එක පාරටම, පුතා ඔන්න ඔයගේ යලුවෙක් එනවා කිව්වා..
මට අදටත් මතකයි,ප්‍රේම කිර්ති මගෙ දිහ බලාගෙන හිනා වෙවි ඇවිදන් අපු හැටි.
ගොඩාක් ලොකුවෙල, ඔහුගෙ ගීත රසවිදින්න පටන් ගත්තම තමයි මට තෙරුනේ.. අර මාලිගව ඉස්සරහ ඔහුව දැකපු එක මොහොතක වටිනාකම.
ඔබට පුලුවන්නම් ඔබේ ලිපි මේ රීඩර් එකට දාන්න . මෙවැනි ලිපි තවත් මිනිසුන් අතරට යායුතුයි කියා සිතනවා.
ReplyDeletehttp://www.facebook.com/groups/iamablogreader/
හැමෝටම ස්තූතියි. මම ස්තූති කරන්නත් දෙයක් නෑ. කට්ටිය හැමෝම ප්‍රේමකීර්ති කියන මනුස්සයට තියෙන කැමැත්ත නිසා ආපු අදහස්නෙ මේවා.
ReplyDeleteසෝරෝ බලපු වැඩසටහන යූටියුබ් දාල නැද්ද?
පැතුම් මතක් කරපු ඔහුගේ ඔය විධියෙ වැඩ සෑහෙන්න ප්‍රමාණයක් අපිව ඇන්දුවා ඒ කාලෙ.
මුන්දෝ නේනට තැංකිව් අවුරුද්ද මතක් කලාට. ප්‍රේමදාස මහත්තය නැතුවුණ අවුරුද්ද මම දාල තිබුණෙ වැරදියට. ඔයාගෙ මතකය ඉතිං එස්ඩී කාඩ් එකක් වගේ කියල අපි දන්නවනේ ;-)
රාජ්ගෙ කතාවෙ විධියට ප්‍රේමකීර්ති අද හිටියනං ජැක්සන්ල වගේ වෙන්නත් පුළුවන්. නමුත් මිනිහෙක්ගෙ ධාරිතාවය එහෙම වෙනස් වෙන්නෙ නෑනෙ නේද? ප්‍රේම් අදත් ජීවත් වෙලා ඉඳල ආණ්ඩුවට කඩේ ගියත් ඔහුගේ නිර්මාණ රසයෙන් අනූන වෙන්න තිබුණා.
හසිත ඔය කියන කතාව වෙනත් අඩවි කීපයකම තිබුණා වගේ මතකයි. ටයි මහත්තයා ප්‍රේම්ගෙන් කීප වතාවක්ම සින්දුවක් ලියල දෙන්න කියල කියමින් ඉඳල බැරි තැන "උඹට බැරිනං බෑ කියල කියපං යකෝ" වගේ වාග් ප්‍රහාරයක් දුන්නලු. එහෙම කියනකොට මට හිතෙන්නෙ ප්‍රේම්ට සින්දුවක් ලියන එක අපි වාක්‍යයක් ටයිප් කරනව වගේ සරල දෙයක් වෙන්න ඇති කියලයි ;-)
ගිම්හානිට ස්තූතියි රීඩරේට ලින්ක් එක දුන්නට. මේක ටයිප් කරන අතරෙ ඔයා මාව ගෘප් එකට ඇඩි කරල තිබුණා :-)
ප්‍රේම කිර්ති රූපවාහිනියට එන්න කලින් හිටිය ගුවන් විදුලියේදී පවා ඔහුගේ ප්‍රතිභාව පෙන්නුවා. සෙනසුරාද රෑ ගිය ඔහුගේ වැඩ සටහනක් (සනිදා සාදය වගේ) ඉතා ජනප්‍රිය උනා. ප්‍රේමකීර්ති ලියපු හා මර්වින් ගයපු ගීත වගේම (පීචන් කියන) ප්‍රියා සුරිය සේන ගයන ගීත කීපයකටත් මා ඉතා කැමතියි. ප්‍රේම කිර්ති වගේම, කරුණාරත්න අබේසේකරගේත්, කේ ඩී කේ ධරමවර්ධනගේත් ගීත වලට මා කැමති ඔවුන් යොදාගෙන හා තෝරාගෙන තියන වචන වල තියන අපුර්ව බව නිසයි. සමහර ගීත ඉතා සරලයි. ඔබට වැඩිපුර හිතන්න ඕනේ නැහැ. ප්‍රේම කිර්ති ලියපු මර්වින් ගයන ඔබ දේදුන්න ආකාසයේ හෝ කේ ඩී කේ ලියපු මර්වින් ගයන නිලුපුල් යුවලේ වගේ ගීතයක් අහන්න, නැත්නම් ප්‍රේමකීර්ති ලියපු ප්‍රියා ගයන ප්‍රනීත මී පැණි ගෙන ආවත් වගේ ගීතයක් අහන්න. ඔබට මා කියන දේ තේරුම් යාවි. එයාලට එහෙම ලියන්න පුළුවන් උනේ ඔවුනගේ සිංහල ශබ්දකෝෂය හරි පුළුල් නිසා. ප්‍රේමකීර්ති විතරක් නොවේ ඒ පාපතර යුගයේ මරපු හැමදෙනාම ගැනම පාහේ මා නම් දුක් වෙනවා. නමුත් ප්‍රේමදාස මියගිය පුවත නම් එහෙම කනගාටුවක් මා තුල ජනිත කලේ නැහැ. ලංකාවේ බිහිඋන ජරා පාලකයන් අතුරින් එක අයෙකු තමා ඔහු මට.ලංකාවේ ප්‍රේමකීර්ති ලා කව්ද කියල දන්නේ නැති පරම්පරාවක් ඉන්නවා කියන එක ගැන නම් මට කනගාටුයි.
ReplyDeleteThis comment has been removed by the author.
ReplyDelete\\ලස්සන, කඩවසම් අයට වෙන්වෙලා තිබුණු රූපවාහිනී නිවේදකකම කලු කැත අයටත් කරන්න පුලුවන් බව පෙන්නුවේ ප්‍රේමකීර්ති //
ReplyDeleteමේකට නං එකඟ වෙන්න බැහැ. කඩවසම් යැයි පවසන බොහොම දෙනෙකුට නොතිබුණු,ලෙංගතු වර්ගයේ හිනාවක් පේමකීර්ති අංකල්ට ( ඒ කාලේ කිව්වා වගේම කිව්වා ඔන්න) තිබුනා.
අර ජැක්සන් ගැන කිව්වහම තමයි හිතුනේ. ඇත්තට කල්පනා කලහම ජැක්සන් මහත්තයා දැන් කථා බහා කරන්නේ ප්‍රේමකීර්ති මහත්මයාගේ ටෝන් එකෙන්ද කියලා හිතුනා. වේගයෙන් කියවාගෙන යන, මගදි නවත්තලා හිනාවෙන...... ම්ම්.......
''ප්‍රේමකීර්තිනී'' නමින් ප්‍රේමකීර්ති ද අල්විස් මහතාගේ මරණයට වගකිව යුත්තන් ගැන හෙළිකරමින් ලියා ඇති පොතෙහි නවතම(දෙවන) මුද්‍රණය දැන් පිටවී තිබෙනවා. ඒගැන නිර්මලා ද අල්විස් මහත්මියගෙන් අසා දැන ගන්න මේ දුරකථන අංකයට කතා කරන්න. 071-4531673
ReplyDelete