Thursday 28 March 2019

ජී මේ ලව


ජී මේලයෙන් නිකන් දෙන
ගිගා පහලොව අවසනට ළංව
මකන්නට හෙව්වා පරණ
පින්තූර යැවූ ගෘප් ඊ මේල

ඉස්සර සෝෂල් මීඩියා නැතිව
ඊ මේලයෙන් ඩිජිටලුන් වී
බෙදාගත් බලු පූස් පැන්ඩාවන්
ලා නිල් පින්තූර මේලද මැකුණා

ඉතිහාසයේ එක දිනකට පසු
ඒ මේල සියල්ල අභිබවා
යැවුණු ලැබුණු එකම ලිපිනය
ආයෙම දිස්ව හිත ගැස්සුවා

ඉන් පසු අවුරුදු ගාණක්ම
පරණ වෙවී අළුත් වෙවී
ගෙවී ගිය අතීතය මත
හිත ඇවිද්දා අද දවස දක්වාම

එකම වහලක් යට එකට
එකම යහනක නිදි වැදුණද
එදා පින්තූර බෙදාගත් අතීතය
දැන් අමතකැයි හිතුණා

ස්පේස් බාරය නැති කීබෝඩ් එකකින්
කියන්නට නොනවතින දේ තිබූ අතීතය
ස්පේස් බාරය විතරක්ම ඇති
කීබෝඩයක් හා වර්තමානය ව

එකම වහලක් යට දකින
මකුළු දැල්වල රැල් ගණින තරමට
කියාගන්නට කිසිත් නැති
ඊමේල ආදරය හැකිලිලා බින් එකට

ටෙරා ගණනක හාඩ් ඩිස්ක් ඉඩ
කිලෝ බයිට් එක දෙකේ ෆයිල්වලින්
කොයිතරම් කාලයක් පුරවන්න
මෙහෙම පුුළුවන් වෙයිද අපට

නැතිනම් එය ගෙන නැවත
වයිරස් ගලවා රීසයිකල් කරන්නට
බැරිවෙයිද මටයි උඹටයි
ආයෙමත් ඇවිලෙන්නට