Showing posts with label Buddhism. Show all posts
Showing posts with label Buddhism. Show all posts

Wednesday, 17 June 2020

හිතන්න දේවල් නැතිකමට



සමන් සහ මගේ මිත්‍රත්වයට අවුරුදු 16කට වැඩි මිසක් අඩු නෑ. ඌ ජීවිතේ ගැන වෙන පැත්තක් හිතන්න පෙළඹවීම් ඇති කරපු යාළුවෙක්. කොළඹ ටවුන්වලත්, ගම්වලත්, කැලෑවලත් ඇවිදින්න මාව ඇදන් ගිය යාළුවෙක්. ජීවිතේ ගියපු හොඳම චාරිකාවත් උගේ අනුග්‍රහයෙන් ලැබුණ එකක්. මොන ප්‍රශ්ණ ආවත් කොයි තරම් ඈත් වුණත් දැනටත් ඕන දෙයක් කතා කරන්න පුළුවන් යාළුවෙක්.

කොවිඩ් අස්සෙ ගේ ඇතුලටම වෙලා ඉද්දි ඌට ඉස්සර කතා කරපු දර්ශනවාදය මතක් වෙලා අපි සෑහෙන්න ඒ ගැන චැට් කලා. ජීවිතේ සමහර දේවල්වලදි අපි ක්‍රියා කරන විධිය හරිද වැරදිද කියන ප්‍රශ්ණය හිතන්න ඌට වෙලාවක් ලැබිලා. ඒකෙදි ලියපු දීර්ඝ ඊමේල් එකක් මේක. ඌ හිතන විධියත් මම හිතන විධියත් වෙනස් වීම ගැන පැහැදිලි කරන්න ලියපු එකක්. මේව සර්ව සම්පූර්ණ ලිවීම් නෙවෙයි. ඕන දිහාකට වැවෙන්න ඇකිලෙන්න පුළුවන් ඒව...

මේ ටික උඹේ චැට් එක බලන අතරෙ හිතුණ බයිල ටිකක්. උඹට හිතෙන ඒවත් කියපං.



ඔය පයිතගරස් ප්‍රමේය ප්‍රායෝගිකව සාධනය කරන වීඩියෝ එක එව්වේ නිකං. සීමාවල් සහ සීමාවල් බිඳින එක ගැන කතා කරපු නිසා. සීමාවල් බිඳින්න පුළුවන් වෙන්නේ මුලින්ම ලෝකය තේරුම් ගන්න උත්සාහ කළොත් විතරයි. සීමාවල් අඳුනගන්නෙ එතකොට. පයිතගරස් ලොක්කා ලෝකෙ තියෙන දේවල් තේරුම්ගන්න උත්සාහ කළා විතරක් නෙමෙයි හැමෝටම ඒක තේරුම් ගන්න පුළුවන් විදිහට ඒක මූලධර්මවලට ගෙනාවා. එයා ලෝකයේ චින්තනයේ වෙනස්වීමක් වෙනුවෙන් ලොකු දායකත්වයක් කලා.

අපි බුදුන් වහන්සේව සලකන්නෙත් හිත කියන එක තේරුම් ගන්න උත්සාහ කරපු හිතේ ස්වභාවය මූලධර්ම වලට/ තියරිවලට ගොඩනගන්න උත්සාහ කරපු කෙනෙක් විදියට.

මම මේ චැට් එක ඊයෙ දවසෙ මුල ඉඳන්ම කියෙව්වා. උඹ මගෙන් අහල තියෙන සමහර දේවල් අපි සෑහෙන කලින් කතා බහ කරලා තියෙනවා. හැබැයි උඹ ඊට පස්සේ ඉදිරියට ඒ ගැන හිතලා නෑ වගේ කියලා මට හිතෙන්නේ. එහෙම උනානං උඹට තාමත් ඒ ප්‍රශ්න තියෙන්න විදිහක් නෑ. නමුත් මම උඹට මොකුත් කියන්නෑ ඒකට. උඹ ගෙවන ජීවිතේ එක්ක උඹට ඒ ගැන හිතන්න පොඩ්ඩක්වත් චාන්ස් එකක් ලැබෙන්නෙ නැතිව ඇති. නමුත් මට කාලය ගැන ලොකු ප්‍රශ්නයක් නැති නිසා මම එක එක දේවල් හිත හිත ඉන්නවා. වැඩක් ඇති නැති ඔළුවට එන හැම එකම හිතනවා. ඒකෙන් අදහස් කරන්නේ නෑ මම ගොඩක් දේවල් තේරුම් අරන් කියලා. නමුත් උඹ තාම කරමින් ඉන්න කතාබහ තවදුරටත් කරන එක තේරුමක් නෑ කියල නම් මට තේරිලා තියෙන්නේ. ඒ වගේම මම ලොකු රවුමක් වටයක් ගහලා තේරුම් ගන්න දේ උඹ අසුරු සැනින් තේරුම් ගන්නවා කියලත් මම දන්නවා. සමහර දේවල් උඹ තේරුම්ගන්නෙ ජානමය හැකියාවෙන්. කිසිම තියරියක් නැතුව මේක මෙහෙම තමයි කියලා උඹ තේරුම් ගන්නවා. හැබැයි ඊට පස්සේ ඒක එහෙම වෙන්නේ කොහොමද කියලා හිත හිත ඉන්නවා.

උඹගේයි මගෙයි වෙනස අපි දෙන්න හිතන විදිය ක්‍රම දෙකක් වීම. Two separate thinking patterns. උඹ පොඩි කාලේ ඉඳන් ඉගෙන ගත්ත ආගමික පොත් ටිකයි හාමුදුරුවන්ගේ බණ ටිකයි ඔළුවේ තියාගෙන කතා කරන්නේ. මම ඊට වෙනස් ලයින් එකක ඉන්නේ. ඔය දෙකේම ලොකු වෙනසක් නැතුව ඇති. නමුත් අපිට වඩාත් පැහැදිලි මාවත මොකක්ද කියලා තෝර ගන්න ඕනේ. ඒකෙදි අපි දෙන්නා තෝරගන්න පාරවල් දෙක දෙකක් වෙන්නත් පුළුවන්.

උඹ සිද්ධාර්ථ කියන පොත කියවල තියනවද? ඒක ලියලා තියෙන්නේ හර්මන් හෙස කියල ප්‍රංශ ජාතික දාර්ශනිකයෙක්. මහාචාර්ය සෝමරත්න බාලසූරිය පරිවර්තනය කරල තියෙනව. ෆිල්ම් එකකුත් තියෙනව. මම හිතන්නේ අපි බලලා ඇති. ඒකෙ තියෙන්නෙ යාළුවො දෙන්නෙක්ගෙ කතාවක්. උන් දෙන්නම සත්‍යය සොයාගෙන යනවා. දෙන්නටම මගදී බුදුහාමුදුරුවන් හම්බෙනවා. එක යාලුවෙක් ඒ වෙලාවෙම බුදුහාමුදුරුවො ගැන පැහැදිලා මහණ වෙනවා. අනිත් කෙනාට ඒක හරියන්නෙ නැහැ. එයා කියනවා සත්‍යය කියන එක තමන්ම තේරුම් ගත යුතු දෙයක් මිස වෙන කෙනෙක්ව අනුගමනය කිරීමෙන් ලබා ගන්න පුළුවන් දෙයක් නෙමෙයි කියලා. එනිසා එයා යාළුවට සමුදීලා එයාගෙ ගමන යනවා. එයා නගරයකට ගිහිල්ලා පොඩි රස්සාවක් කරලා ටික ටික ධනවතෙක් වෙනවා. හොඳට සල්ලි හොයනවා. නගරයේ ඉන්න ලස්සනම කෙල්ලො ආශ්‍රය කරනවා. දරුවෙක් හදනවා. ජීවිතයේ කරන්න පුළුවන් හැමදේම කරනවා. ඒත් අවසානයේ එයා හොයන සත්‍යය එයාට හමු වෙන්නේ නැහැ. එනිසා එයා සියලුදේ අතහැරලා යනවා. එතකොට එයාට හම්බෙනවා ගඟක ඔරු පදින තොටියෙක්. මෙයා මේ තොටියාට උදව් කරගෙන ඉන්නවා. ඔය අතරේ එයා දවසක් ගඟේ තමන්ගෙ ඡායාව දකිනවා. ඒ දකින්නේ තමන්ගේ ම තාත්තාව. ඒ කියන්නෙ ඒ වෙද්දි එයා වයසට ගිහිල්ලා එයාගේ තාත්තාගෙ මුහුණුවර තමයි දැන් එයාට තියෙන්නේ. එයා ඒ ඔස්සේ හිතන්න ගන්නවා. එතකොට එයාට තේරෙන්න ගන්නවා ජීවිතය කියන්නේ ප්‍රවාහයක් කියලා. ඒක හරියට ගඟක් වගේ එක දිගට ගලනවා. තාත්තාලා අපිව බිහි කළා. අපි තව දරුවන් බිහි කරනවා. දරුවෝ තවත් දරුවන් බිහි කරනවා. ඒක හරියට ගඟක් වගේ. ජීවිතය ප්‍රාණීන් අතරින් ගලාගෙන යනවා. තාත්තලා සීයලා වෙද්දි පුතාලා තාත්තලා වෙනවා. එයාට ජීවිතේ චක්‍රීය ස්වභාවේ වැටහෙන්න ගන්නවා. අවසානයේ එයා ඒක තමයි සදාතනික ඇත්ත කියල තේරුම් ගන්නවා. ඇතිවීම, පැවතීම හා නැති වීම.

ඔය පොත මමත් ආයෙ කියවන්න ඕනේ. දැන් කියවද්දී එකේ වෙනත් අර්ථයක් මට තේරෙන්න ඉඩ තියෙනවා.

උඹ හිතනවා ලෝකෙ කෙළවර හොයාගන්න බැරිකම අපිට තියෙන සීමාවක් කියලා. මිනිස්සු කියන්නේ සීමාවල් බිඳගෙන දියුණු වෙච්ච සත්ව කොට්ඨාශයක්. උඹ අකැමති නං ඒක දියුණුවක් විදියට සලකන්න එපා. නමුත් පොදු අර්ථයෙන් ඒකට කියන්නේ දියුණුව කියලා. කැළෑවේ ගල් ගුහාවක් අස්සේ ගල් ආයුධ වලින් මුගටියෙක්ව තලාගෙන කාපු කාලෙ ඉඳන් අපි මේ වෙද්දි සෞරග්‍රහ මණ්ඩලයේ තියෙන වෙනත් ග්‍රහලෝකයකට යානයක් යවල ඒ ග්‍රහලෝකය ගැන හොයන්න පුළුවන් තරමට දියුණු වෙලා තියෙනවා. ඒ වැඩේ මීට අවුරුදු සීයකට කලින් හිතන්න පුළුවන් කමක් තිබුන එකක් නෙවෙයි. ඒ පැත්තෙන් එහෙම දියුණු වෙද්දී අපි අනිත් පැත්තෙන් මිනිස් ශිෂ්ටාචාරය සංවර්ධනය වුනේ කොහොමද කියලා ඉතිහාසය දිහාවට පරීක්ෂණ කරමින් යනවා. ඒ අනුව උඹ, මම, ඇමෙරිකාවෙ මිනිස්සු, චීන මිනිස්සු, ඕස්ට්‍රේලියාව මිනිස්සු ආදී සියලු හෝමෝ සේපියන්ලා අප්‍රිකාවෙන් සම්භවනය වුණ බව අපි හොයාගෙන තියනවා. ඒක තනි මිනිහෙක් හොයාගත්ත එකක් නෙවෙයි. අවුරුදු ගාණක් තිස්සේ එක එක මිනිස්සු එක එක පැති ඔස්සේ පරික්ෂා කරල සනාථ කරගත්ත දෙයක්. ඒකෙදි අපි තේරුම් ගන්න ඕන දෙයක් තමයි ලෝකෙ තේරුම් ගැනීම කියන කාරණය මනුස්සයෙක්ට තමන්ගේ ජීවිත කාලය තුලදී සම්පූර්ණ කරලා ඉවර කරන්න බැරි බව. ඕන මිනිහෙක්ට පුළුවන් සාමූහික ක්‍රියාවලියක කොටස් කාරයෙක් වෙන්න විතරයි.

විශ්වය කෙළවර හොයාගෙන ගියත් අපිට වෙන්නේ ඒ ගමනේ අවුරුදු 70ක 80ක විතර කාලයක් නියෝජනය කරන්න විතරයි. ඉස්සර මිනිස්සු හිතාගෙන හිටියේ ඉර පෘථිවියේ වටේ කැරකෙනවා කියලා. ඊටත් කලින් මිනිස්සු ඉර දෙවියෝ කියලා හිතාගෙන වන්දනාමාන කරා. 1500 ගණන්වලදී කොපනිකස් තමයි සූර්ය කේන්ද්‍රීය වාදය කියලා එකක් ගෙනාවේ. එයා ඒකෙන් අදහස් කරන්නේ ඉර මැදි කරගත්ත ඉර වටා යන සෞරග්‍රහ මණ්ඩලයක්. ඒක එයා කිව්වෙ නිකං නෙවෙයි අභ්‍යවකාශයේ තියෙන වස්තූන්වල චලනය නිරීක්ෂණය කරලා. හැබැයි පල්ලියෙන් එයාගේ අදහස් වලට සීමාවල් දැම්මා. එයා කිව්වෙ බොරු කියලා පිළිගන්න කියලා එයාට බල කරා. තමන් විසින් හොයාගත්ත දේවල් ප්‍රතික්ෂේප කරන්න එයාට සිද්ධ වුණා. පහුකාලෙක ජෝර්දානෝ බෘනෝ කියන ඉතාලියේ දාර්ශනිකයා කොපර්නිකස්ගේ අදහස හරි කියලා කිව්වා. එයාටත් පල්ලියෙන් බලපෑම් කරා. හැබැයි එයා තමන්ගේ මතය වෙනස් කර ගත්තෙ නෑ. ඒ නිසාම එයාව පණපිටින් පුච්චලා මැරුවේ. සත්‍යය හොයන්න උත්සාහ කරපු මිනිස්සුන්ට තිබුණේ ඔහොම අතීතයක්. හැබැයි ඒ සියලු දෙනාම විසින් මිනිසුන්ගේ සිතීමේ සීමා පුළුල් කරලා තියෙනවා. ඉස්සර පෘථිවිය විතරක් ලෝකය කියලා හිතපු මිනිස්සු දැන් විශ්වය ගැනත් මන්දාකිණි ගැනත් විශ්වයේ සීමාවෙන් එපිට තියෙන තවත් විශ්ව ගැනත් කතා වෙනවා හිතන්න පටන් අරන් තියනවා.

හිතපං උඹ 1400 ගණන්වල ඉපදුන එකෙක් කියලා. එතකොට උඹට විශ්වය ගැන තියෙන අදහස දැන් තියෙන එක වෙන්නෙ නෑ. ඒ කියන්නෙ අපි විශ්වාස කරන සත්‍යය පරම එකක් නෙවෙයි. කරුණු ගොඩකට සාපේක්ෂයි. සත්‍යය කියන අදහස වෙනස් වනසුළුයි.

සත්‍යය කියන්නේ ඒක නෙමෙයි කියලා උඹ කියයි. ඒකත් සත්‍යයේ කොටසක්. විශ්වයේ කෙලවර ගැන උඹ උනන්දුයි නම් ඒකෙ කෙළවරක් ගැන හොයන්න පටන්ගත්ත උන්ට වුන දේවල් දැනගන්න එක හොඳ නිසයි ඔය ටික කිව්වෙ.

මේ දේවල් කියන්නෙ මගේ තිංකිං පැටර්න් එක පැහැදිලි කරන්න. ලෝක ඉතිහාසයේ විද්‍යාත්මක සත්‍යය හොයපු අය ගැන දැනගන්න විවේකය සහ ඩේටා තියෙන වෙලාවක cosmos (2014) කියන වාර්තා වැඩසටහන් ටික හොයාගෙන බලන්න.

හැබැයි ඉඳලා හිටල ආගමික ශාස්තෘවරු කියන කට්ටිය බිහිවෙලා ලෝකයට පරම සත්‍යය කියලා එකක් දේශනා කරනවා. ඒ අනුව බිහිවෙච්ච ආගම් හාරදාස් ගාණක් ලෝකෙ තියෙනවා. අපි උපන් ආගම හොඳම එක කියලා විශ්වාස කරන්න අපිට පුරුදු කරලා තියෙන නිසා අපි හිතෙනවා අපි විශ්වාස කරන ආගම තමයි හරිම එක කියලා. නමුත් ලෝකයේ තියෙනවයි කියන ආගම් හාරදාස් ගණන බැලුවම පස්සෙ අපේ ආගම නිවැරදිම එක වෙන්න තියෙන හැකියාව හාර දාහෙන් එකයි. ආගමක් කියල දෙයක් බිහි වෙන්නෙ අනුගාමිකයො ටිකෙන් ටික වර්ධනය වෙලා පසුකාලීනව. මුලදි ඒක එක මනුස්සයෙක් විසින් පවතින ක්‍රමයට අභියෝග කරමින් ඉදිරිපත් කරන අදහස් ටිකක් විතරයි. සමහර විට ඒ මනුස්සය ජීවත් වුණ පරිසරය, කාලසීමාව වගේ දේවල් එක්ක ඒ කාලෙට ඒක පරම සත්‍යය කියල පේන්න පුළුවන්.

අපි ඉපදුන ආගම බුද්ධාගම වුන නිසා අපි රහත් වෙන එක ගැන නිර්වාණය ගැන ඒව මේව හිතන්න පෙළඹිලා තියෙනවා. ලෝකෙ තව මිනිස්සු තම තමන් විශ්වාස කරන ආගම් අනුව අපි ඉපදුනේ කොහොමද අපි ඉන්න ඕනි කොහොමද අපි යන්නේ කොහෙටද වගේ ප්‍රශ්න වලට උත්තර හොයමින් ඉන්නවා. බහුතරයක් දෙනා ආගමික වතාවත් කරමින් ආගමෙන් කියල දෙන විධියට ජීවත් නොවෙමින් නමට ආගමික වෙලා ඉන්නවා.

හැබැයි ලෝකෙ තියෙන බුද්ධාගම නොවෙන අනිත් බොහොම ආගම් සැලකුවම ඒවයෙ තියෙන්නෙ ලෝකය දෙවියෙක් විසින් මැවුවා කියල එකක්. ලෝකයේ සිද්දවෙන දේවල් තීරණය කරන්න සර්වබලධාරී පොරක් ඉන්නවා. උඹට වෙන හොඳ-නරක සියල්ල තීරණය කරන්නේ උන්නාන්සෙ.

එහෙම අදහසක් නැතුව ආගමක් වගේ දේකට පවතින්න අමාරුයි. මොකද මිනිස්සුන්ගේ ප්‍රශ්න වලට අවසාන උත්තරේ තියෙන්නෙ 'ඒක දෙවියන්ගේ කැමැත්ත' කියන අයිඩියා එකේ.

දැන් එතකොට බුද්ධාගම ඊට වැඩිය වෙනස් ද? බැලූ බැල්මට බුද්ධාගමේ දෙවියෙක් ගැන කියන්නේ නෑ. අඩුගානේ ලෝකයේ සියලු දේවල් සර්වබලධාරී දෙවියෙක් විසින් තීරණය කරන දේවල් කියලා උගන්වන්නේ නැහැ. එතකොට බුද්ධාගම මෙච්චර කාලයක් පැවතුනේ කොහොමද? මිනිස්සු බුද්ධාගම ප්‍රශ්න කරල නැද්ද? බුද්ධාගම අදහන මිනිහෙක්ට ප්‍රශ්නයක් ඇති වෙන්නෙම නැද්ද? ඔය උඹට ආව වගේ ප්‍රශ්න බෞද්ධ මිනිස්සුන්ට ඇතිවෙලා නැද්ද? එක එක මිනිස්සු එක එක විදිහට ඉපදෙන්නේ ඇයි කියන එක ප්‍රශ්ණයක් වුනේ උඹට විතරද?

එහෙම වෙන්න බෑනෙ. මිනිස්සුන්ට ඔය ප්‍රශ්න ඇවිත් ඇති. එතකොට ඒකට දෙන උත්තරය මොකක්ද? ලොකු වටයක් ගහල අන්තිමට ලැබෙන උත්තරේ තමයි ඒක උගේ කරුමේ කියන එක. ඒ කියන්නෙ කර්මය.

මම කියන්නේ බුද්ධාගමේදි සර්වබලධාරී දෙවියෝ කියන අදහස හැදෙන්නේ වෙන විදිහකට. කර්මය විදිහට. උඹ උනත් ඔය වචනෙන් දමල ගහනව ඇති මිනිස්සුන්ට. කර්මය. මම හිතන විදියට නම් බුද්ධාගමේ දී කර්මය කියන්නේ දෙවියන් වහන්සේ. කර්මය කියන වචනෙ දාපු ගමන් සියලු තර්ක අහෝසි වෙනවා.

'සියලු දේ ඔබේ කර්ම ශක්තිය මත තීරණය වෙනව. මේ ආත්මෙදි ඔබ විඳින දුකට හේතුව පහුගිය ආත්මයකදී ඔබ කරන ලද පාපකර්ම. මේ ආත්මෙදි ඔබ පෝසත් වීමට හෝ දුප්පත් වීමට හේතුව පසුගිය ආත්මයකදී ඔබ දානමානාදිය ලබා දුන්නාද නැද්ද කියන එක. ඔබ ගිය ආත්මයේදී විරූපී මනුස්සයෙකුට හිනා වුණා නම් ඔබ මේ ආත්මෙදී විරූපී මිනිහෙක් වෙලා ඉපදෙනවා. එහෙම නැත්තං සතෙක් වෙලා ඉපදෙනවා. ඔබ මේ ආත්මෙදි කාලකන්නි වෙලා ඉන්නෙ ගිය ආත්මෙදි පාපකර්ම කරල තියෙන හින්ද.'

ඕක නෙවෙයිද උඹ ඉගෙන ගෙන තියෙන්නෙ?

අපේ පාලනයෙන් තොර දෙයක් විසින් අපිව පාලනය කරනව. හරියට දෙවියන් වහන්සේ වගේ.

මම අදහස් කරන්නේ නෑ බෞද්ධ දර්ශනය වැරදියි කියලා. අනිත් සියලු ආගම් සහ දර්ශනයන් වගේම ඒක ලෝකය තේරුම් ගන්න පුළුවන් එක ක්‍රමයක්. කැමති කෙනෙක්ට ඒ ක්‍රමයට ලෝකය තේරුම් අරගෙන සිස්ටම් එකේ පැවැත්මට අවම වශයෙන් දායක වෙලා මැරෙනකම් ෂේප් එකේ ඉන්න පුළුවන්. ඒකෙදි පරිස්සම් වෙන්න වෙනවා. මොකද අවුරුදු දෙදහස් ගාණක් තිස්සේ පැවත එන එකක් ඒ විදිහටම පවතිනවා කියලා අපිට හිතන්න අමාරු නිසා. ඒ නිසා බුද්ධ දර්ශනය වර්තමාන ස්වභාවය තේරුම් ගනිද්දි පරිස්සම් වෙන්න වෙනවා.

හරි. එතකොට නිවන් දැක්කම හරිද සේරම? කියන්නෙ එහෙමයි. හැබැයි දැකපු අය ඉන්නවද? දැක්කයි කියල කියන අය ඉන්නවා. එයාලව ෂුවර්ද? අපි නිවන් දැකලද සෝවාන් වෙලාද කියල දැනගන්නෙ කොහොමද?

නිර්වාණ මාර්ගයේ ඔය කියන සෝවාන් සකෘදාගාමි වගේ වචන වලින් අදහස් කරන්නේ එක එක බුද්ධි මට්ටම්. ඒ කියන්නේ ඒ මට්ටමට ආවට පස්සෙ ඌ අනිත් පැත්තට හැරෙන්නෙ නැහැ මළාටවත්. ඒක හරියට එකතු කරන්න දන්න එකෙක් 2+2 සමානයි 5යි කියලා කවුරු කිව්වත් පිළිගන්නෙ නෑ වගේ එකක් තමයි. ඒ දැනුම් මට්ටමට ආවට පස්සෙ ඒක වෙනස් වෙන්නේ නැහැ. ඒ මට්ටම් ළඟා කරගන්න මිනිස්සු හැම කාලෙකම ඉන්නවා. සමහරු කතා කරනවා බොහොම අය කතා නොකර ඉන්නවා. මොකද මේ කාලය එහෙම සුදුසු කාලයක් නෙවෙයි. මම රහත් කියල ඇත්තටම රහත් වුන එකෙක් කිව්වොත් ඌව මරාගෙන කන්නෙ නැති එක විතරයි. බෝසත් දිව්‍ය රාජයා බුදුවෙන උපතේ ඉපදෙන්න පස් මහ බැලුම් බැලුවෙ ඒකයි. මේ බුද්ධෝත්පත්ති කාලයක් නෙවෙයි. හැබැයි හිට් නොවන බුදුවරු අදටත් ඕන තරම් ඉන්නවා. සමහර විට බොහොම දෙනෙක් තමන් ඉන්න මට්ටම ගැන අවබෝධයක් නැතුව ජීවත් වෙනවා. බුද්ධාගම වගේ හිතේ මට්ටම් ගැන කතා කරන දර්ශනයක් ගැන අහල තියෙන, ඒ ගැන උනන්දු කෙනෙක් පොඩ්ඩක් ඒ ගැන හිතන්න හොයන්න පෙළඹෙනවා. ව්‍යාපාරික දැනුමක් සහ ඔය බුද්ධි මට්ටම කියන දෙකම තියෙන අය තමන්ගෙ රහත් බව ප්‍රකාශ කරල ඒකෙන් ව්‍යාපාරයක් කරනවා.

උඹ කැමති නං දිගට කතා කරමු.



Friday, 3 May 2013

ඔබේ නිවසට සිරිකත කැන්දන ගෙලුගන් ගල්


ඇය හිතුවෙ ඈ ඉන්නෙ තනියෙන් කියලා. ගෙවුණු දිනයේ හෙම්බත්කමින් මිරිකිලයි ඈ හිටියෙ. ඒ නිසාම ඈ සළු පිලි උනා දැම්මෙ නිදහසේ පැය කීපයක් වැතිරෙන්න... ඒත් ඇයට ඈ හිතපු නිදහස ලබන්න වුනේ නෑ... කවුළු තිර අතරින් අඳුරු පසුබිමේ ඈ දුටුවෙ දිලිසෙන ඇස් දෙකක්...

ලෝක රූප රාජිණියගේ අභිරහස් මරණය...

දැනගන්න නම් අද හවස 7ට මයිල් කෙලින් වෙන රාත්‍රිය සමග රැඳෙන්න...

චා... එෆ් එම්!


හොඳයි... අදත් හැම සතියෙම වගේ සතියේ කතා බහ විශේෂාංගය තුලින් අපි එකතු වෙන්නෙ ඔබ හොඳින් හඳුණන හිතවතෙක් එක්ක කතා කරන්න. රූපවාහිනියෙත්, ගුවන් විදුලියෙත්, මුද්‍රිත මාධ්‍යවලත් මෙතුමා ගොඩක් ජනප්‍රියයි. විශේෂයෙන්ම කොරියාවේ ‍රන්පතකින් හෙලිවුණ ගෙලුගන් ගල් අපට හඳුන්වාදීමේ ගෞරවය හිමිවෙන්නෙ ඔහුටයි. ඔහු තමයි ලෝක පූජිත දේශමාමී දේශ ශක්ති දේශබන්ධු ආචාර්ය සම්පත් ඉසරුවර්ධන මහතා. ඔබත් යස ඉසුරින් පිරුණු ජීවිතයක් ගෙවනව නම් ඒ මෙතුමා හඳුන්වා දුන් ගෙලුගන් ගල්වල ආනුභාවයෙන් කියන එක අපට හොඳටම විශ්වාසයි. ඔබට දුරකථනයෙන් සම්බන්ධ වෙන්න පුළුවන් ඔබ හොඳින් දන්න අපේ දුරකථන අංකය ඔස්සේ. ඔබට තියෙන ගැටළුව කතා කරන්න අපි මේක අවස්ථාවක් කරගන්නව. අපි එහෙනම් කතාබහ පටන් ගමු. සුභ උදෑසනක් ඔබට ඉසුරුවර්ධන මහත්තයා.


සුභ උදෑසනක්...


මුලින්ම අපට කියන්න ඔබේ රසිකයින්ට දැනගන්න ඔබ මේ දවස්වල මොකද කරන්නේ?


‍මේ දවස්වල සෑහෙන්න කාර්ය බහුලයි. මම අළුතෙන් බැටික්ලෝවල අවුට්ලට් එකක් ඕපන් කලා පෙරේදා. කැන්ඩිවල 3 වෙනි ෂොප් එක කිංස්ට්‍රීට් එකේ ලබන සතියෙ ඕපන් කරනවා. ඒකටත් මහන්සි වෙනවා. ඊට අමතරව මගේ ප්‍රින්ටින් ෂොප් එකත් වැඩ කෙරීගෙන යනවා. හැමදාම උදේට මර්ණවාහිනියෙ සතියේ ගෙලුගන් ඵලාපල කියන වැඩෙත් කරනවා. අද හවස ගොරටීවී චැනල් එකේ බියුටි කන්ටෙස්ට් එකේ ජජ් බෝඩ් එකට යන්නත් ඕන. ඒ වගේ ඉවෙන්ට්ස් කීපයක්ම ඉස්සරහට තියෙනවා. මගේ මස්සිනා ලියපු ‘හිතපු තරම් ගඳ නෑ‘ පොතෙන් ෆිල්ම් එකක් කරන්න හිතාගෙන ඉන්නවා. මේ දවස්වල ඒකට ඩිරෙක්ටර් කෙනෙක් හොයනවා. ඒව තමයි මේ දවස්වල කරන්නේ. ඊට අමතරව ඉංග්ලිෂ් ක්ලාස් එකකට යනවා.


හොඳයි අපට කියන්න ගෙලුගන් ගල් කියන්නෙ මොනවද?


ඔව් බොහොම හොඳ ප්‍රශ්ණයක්. සරලවම කිව්වොත් ගෙලුගන් ගල් කියන්නෙ ඕන කෙනෙක්ගෙ නිවසට සිරිකත කැන්දන ගල් විශේෂයක්. මේව ගෙදර තියාගත්තම නිවසේ ශ්‍රියා කාන්තාව නිතර වැඩ ඉන්නවා.


ඔබ කොහොමද මේක හොයාගත්තේ?


මේක මම හොයාගත්ත දෙයක් නෙවෙයි.කොරියාවෙන් හම්බුණ රන්පත් කීපයක තමයි මේ ගැන සම්පූර්ණ විස්තර තිබිල තියෙන්නේ. ඒක අවුරුදු දහස් ගාණක් වැලලිලා තිබුණ ශාස්ත්‍රයක්.


ඔබට ඒ රන්පත් හම්බ වුණාද?


ඔව් ඔව්. මම කාලයක් කොරියාවෙ වැඩ කලා දැන් අවුරුදු කීපෙකට කලින්. ඒ කාලෙ මුණ ගැහුණ කොරියන් මනුස්සයෙක් තමයි ඒ ගැන මට කිව්වෙ. එයා ගාව තමයි ඒ රන්පත් තිබුණෙ. ඒ වුණාට කොරියාවෙත් ඒක ගැන දැනගෙන හිටියෙ නෑ කවුරුත්. මමත් ඒ දවස්වල ඒක ඒ තරං ගණන් ගත්තෙ නෑ. ලංකාවට ඇවිත් රස්සාවක් නැතිව එහෙ මෙහෙ ඇවිදිද්දි තමයි මට හිතුණෙ ගෙලුගන් ගල් වැඩේට බහින්න ඕන කියලා.


ඔබට කොහොමද ඒ පෙළඹවීම ආවෙ?


ඔය කන්න බොන්න නැති වුණාම මං මළ ගෙවල්වලට රිංගලා කෑම කාපු වෙලාවල් තිබුණා. ඒවයෙදි කවුරුවත් හොයන්නෙ නෑනෙ. ඔහොම ගිය වෙලේක දවසක් පාංශුකූලෙ දෙනකොට හාමුදුරුවො බණට කිව්වා චුල්ලසෙට්ඨි ජාතකය. අර මනුස්සයෙක් මීයෙක් විකුණලා දියුණු වෙන්නේ... අන්න ඒ කතාව. ඒක මට හොඳට වැදුණා. මම ඒ අනුව හිතුවා. කන්න බොන්න නැති වුණාම නිර්මාණශීලී අදහස් එන්නෙ නෑ කිව්වට මට ආපු අදහස හරියම හරි ගියා. අනික මේක ජනතා සේවයක් නිසා දෙවියන්ගෙ ආශිර්වාදය මට හැමදාම තිබුණා.

ඊට පස්සෙ මම කැළණි ග‍ඟේ බැහැලා බෝල ගල් ගොඩක් එකතු කරගත්තා. අර කොරියන් යාළුවට කියල එයා ගාව තිබුණ රන්පත් ෆැක්ස් කරවගත්තා. ඒ මන්ත්‍ර 432 වතාවක් ජප කරලයි අර ගල් ගෙලුගන් ගල් බවට පත් කරගත්තේ. ඊට පස්සෙ මම පාරෙ අයිනෙ, බස් හෝල්ට්වල, බස් ඇතුලෙ බිස්නස් පටන්ගත්තා. ජනතාව මේ ගැන දැනගත්තා. දැන් අපේ ප්‍රධාන කාර්යාලයේ ශ්‍රියා මන්දිරයේ ඔරිජිනල් රන්පත් තැන්පත් කරල තියෙනවා.



ඔබේ අනුගාමිකයින් ගෙලුගන් ගල් ගැන හොඳ අවබෝධයක් තියෙන අය. ඒත් අද මේ වැඩසටහන අහන අළුත් අසන්නන්ට දැනගන්න අපි කියමු ගෙලුගන් ගල්වලින් කෙරෙන දේවල් ගැන.


මේක ඇත්තටම දියුණු ශාස්ත්‍රයක්. අපට ලැබුණ රන්පත් අනුව මේක අවුරුදු 10000කට විතර කලිනුත් මිනිස්සු පාවිච්චි කරල තියෙනවා. මේක ටිකක් සංකීර්ණ ශාස්ත්‍රයක්. ඒ නිසාම මේක හරියට නොදැන කළොත් හොඳ ප්‍රතිඵලයක් ලැබෙයි කියල විශ්වාස කරන්න අමාරුයි. ඒ නිසාම සෑම ගෙලුගන් ගල් 5ක් එක්කම අපි සරළ උපදෙස් පත්‍රිකාවක් ලබා දෙනවා.ඊට අමතරව අපේ ගෙලුගන් සාප්පුවලින් ඔබට විස්තරාත්මක උපදෙස් තියෙන පොත් මිලට ගන්න පුළුවන්. ඒ වගේම ගෙලුගන් විසිතුරු ගස්, ගෙලුගන් පින්තූර, ගෙලුගන් සබන්කැට, ගෙලුගන් හඳුන් කූරු, ගෙලුගන් සුවඳ පැන්, ගෙලුගන් ඩිෂ්වොෂ්, ගෙලුගන් ටොයිලට් පේපර් වගේ ඔබේ නිවසේ ප්‍රසන්න බව ඇති කරන වටිනා දේවල් ඔබට මිලට ගන්න පුළුවන්.

ගෙලුගන් ගල්වලට අමතරව ඔය මම කියපු අනිත් ‍දේවල් ඇත්තටම උවමනා වෙන්නෙ ගෙලුගන් ගල්වල බලය වැඩි කරන්නයි. ඒ හැම නිෂ්පාදනයක් ගැනම සරල උපදෙස් අඩංගු පොත් ඔබට මිලට ගන්න පුළුවන්. ඔබට වඩාත් විස්තරාත්මක තොරතුරු අවශ්‍යනම් විස්තරාත්මක ‍පොත් පෙලක් අපි පසුගිය සාහිත්‍ය මාසෙදි නිකුත් කලා. ඒව ටිකක් මිලෙන් වැඩියි. හැබැයි වර්ණ පින්තූර සහ උපදෙස් පාඨ ඇතුලත්. ඔබට ලේසියෙන් අමතක නොවෙන්න අපි ජනප්‍රිය ගීත වල තාලයට ගෙලුගන් පාඨ සකස් කරල තියෙනවා ඒ පොත්වල. වියදම් කරන මුදල ඔබට කවදාවත් පාඩුවක් නොවෙන බවට ඒ පොත් ගැන මම සහතික වෙනවා.

ගෙලුගන් ගලකින් ඇත්තටම කරන්නෙ ඔබේ නිවසේ ශ්‍රියා කාන්තාවට රැ‍ඳෙන්න පහසු සුවදායී පරිසරයක් ඇති කිරීමයි. මේ ශ්‍රියා කාන්තාව කියන්නෙ ඇත්තටම දෙවි කෙනෙක්. කොරියාවෙදි ඇයව ගොඩක් ඉහලින් පූජාවට ලක්වෙන දෙවඟනක්. ඇය හැමෝගෙම නිවසේ රැ‍ඳෙන්න හැකියාව ඇති කෙනෙක්. නමුත් ඇයව දිගින් දිගට රඳවා තබාගැනීමේ හැකියාව හැමෝටම නැහැ. ගෙලුගන් ගල්වලින් ඔබට ඒ පහසුකම සපයනවා.


 ඒ කියන්නෙ ගෙලුගන් ගලක් ගෙදර තියාගන්න එක ඒකට ප්‍රමාණවත්ද?


නෑ නෑ.. එහෙම බෑ. අඩු තරම එක කාමරේකට ගලක් හෝ දෙකක් විධියට තියන්න අවශ්‍යයයි. ගල් දෙකක් හෝ තුනක් හෝ උපරිම 5ක් පමණ වෙනකල් තැබුවට කමක් නෑ. ඒව නිකංම තියලත් හරි යන්නෙ නෑ. ඒකට ලඝු ගණක ආශ්‍රයෙන් හදපු වගුවක් තියෙනවා. ඒ කෝණවලට අනුව ගල් තියන්න ඕන. ඒ ගැන විස්තරාත්මක උපදෙස් තියෙන පොතකුත් අපි දැන් නිකුත් කරල තියෙනවා. ඒකත් එක්ක නොමිලේ ලබන ජූනි 30 දක්වා අපි ගෙලුගන් මානයක් ලබා දෙනවා. මේක වාත්තු කරපු තඹ වලින් හදපු කෝණ මාණයක්. නමුත් ගෙලුගන් කෝණ ගණනය කරගන්න බොහොම පහසුයි මේකෙන්. පොතත් එක්ක ඒක නොමිලේ හම්බ වෙනවා. එහෙම නැත්නම් ඔබට මේක වෙනම ම මිලදී ගන්නත් පුළුවන් ජූනි 30ට පස්සේ...


පොඩ්ඩක් ඉන්න අපට දුරකථන ඇමතුමක් එනවා... කතා කරන්න කවුද මේ...?

හලෝ...

ඔව් ඔබව ඇහෙනව කතා කරන්න...

හලෝ...

ඇහෙනව ඇහෙනව කතා කරන්න...

ආ මහත්තයෝ මං මේ මුතූ කතා කරන්නෙ මහරගමින්...

ඔව් මුතූ මහත්තය ඔබේ ගැටළුව ඉදිරිපත් කරන්න...

ආ... මහත්තයො මේකයි... අපේ ගෙදර හරි හතරැස්. ළඟදි හැදුවෙ. ප්‍රශ්ණෙ කියන්නෙ ගෙදර බ්‍රහ්ම පාදය පෑගෙනවනේ. ඒක කමක් නෑ තියල තමා බාස් උන්නැහේ කිව්වෙ. ඒ වුණාට ගිය සතියෙ උදේ චොර ‍ටීවී එකේ අළකොළ හෙවණට ඇවිත් ඔබතුමා කිව්වනෙ ඒක හොඳ නෑ කියලා.. මට ඒකට මුකුත් කරන්න පුළුවන්ද කියල දැනගන්නයි ඕන.


ඔව් මේක ගොඩ දෙනෙක් වැඩිය ගණන් ගන්නෙ නෑ. ගෙදරක බ්‍රහ්ම පාදය කියන්නෙ ගෙදර කේන්ද්‍රය. ගෙදර ප්‍රධානම තැන. අපි ගෙදර තලීය වස්තුවක් කියල සැලකුවොත් බ්‍රහ්ම පාදය තමයි ගෙදර බර දරණ තැන. ඒක පෑගෙනව කියන්නෙ කොහෙත්ම හොඳ දෙයක් නෙවෙයි. ඒකට බොහොම පහසුවෙන් කරන්න පුළුවන් දේවල් තියෙනවා. උදාහරණෙකට ඔබට පුළුවන් ඔය හිටවල තියන්න පුළුවන් රුක් කලාවක් වගේ එකක් බ්‍රහ්ම පාදය ගාව තියන්න. එහෙම නැත්තං ඒ විධියෙ මොකක් හරි කලාත්මක, ප්‍රසන්න දෙයක් එතන තියන්න පුළුවන්. ඔබ මහරගම නිසා අපේ ප්‍රධාන ගෙලුගන් මන්දිරයට අදම ගියොත් ඔබට කැමති විධියෙ විසිතුරු භාණ්ඩයක් මිලට අරන් එතන තියන්න පුළුවන්.


හොඳයි... පිළිතුර ප්‍රමාණවත් ඇති. ඔබ කියමින් හිටියෙ නිවසේ ගෙලුගන් ගල් තබන විධිය ගැන...


ඔව්... ගෙලුගන් ගලක් නිකංම නිකං මේසයක් උඩ තියල හරි යන්නෙත් නෑ. ඔබට වෙනම ම ටීපෝවක් ගෙදර නැතිනම් ඒකට වෙනම ගෙලුගන් ටීපෝවක් අවශ්‍ය නම් මිලට ගන්න පුළුවන්. ඒ උඩ විශේෂ ‍සේලයක් අතුරල ඒ මත විශේෂ ගෙලුගන් මැටි පීරිසියක් තියල ඒක තුල තමයි ගල් තියන්න ඕන. මේ ගැන වැඩි විස්තර ඔබව අපේ දිවයින පුරා පැතිරුණ ශාඛා ජාලයෙන් දැනගන්න පුළුවන්. ඒ සේල සහ පීරිසිත් මිලට ගන්න පුළුවන්. දැන් හැම ප්‍රධාන දිස්ත්‍රික්කයකම අපේ ගෙලුගන් මන්දිර තියෙනවා. ඊට අමතරව සාප්පු 47ක් මේ වන විට දිවයින පුරා ක්‍රියාත්මක වෙනවා. මේ ඕනම තැනකින් ඔබට ගෙලුගන් නිෂ්පාදන මිලට ගන්න පුළුවන්.


එතකොට මගේ ගෙදර කාමර තුනකට මම ගෙලුගන් ගල් පහළොවක් එක්ක ඔබේ වෙනත් උපකරණත් අරගෙන තැන්පත් කලාම ඒක ප්‍රමාණවත්ද?


මෙහෙමයි. අපි මිනිස්සු විධියට අපිරිසිදු ‍සත්ත්ව කොටසක්. ඒ නිසා ගෙලුගන් ගලක ක්‍රියාකාරිත්වය අවුරුද්දකට පොඩ්ඩක් වැඩි කාලයක් විතරයි පවතින්නේ. මොකද අපේ ශ්වාසයෙන්, වෙනත් අපද්‍රව්‍යවලින් ගෙලුගන් ගල්වල ශක්තිය හීන වෙනවා. ඒ නිසා අපි නිර්දේශ කරන්නෙ සෑම මාස 14කටම සැරයක් ගල් මාරු කරන්න කියලයි. මොකද ඒක නිසා ඔබට ආයෙමත් අළුත් ජවයක් එනවා. ඔබේ ජීවිතේට ජවය උවමනායි. සාර්ථකත්වයේ එක රසහක් තමයි ජවය. මෝල්ට් තේ එකකින් ඒක ලබන්න බෑ.


හොඳයි ඔබ ආයෙත් ප්‍රශ්ණයක් අහන්න උවමනා නොවෙන්න සේරම දේවල් කියල දැම්මා. දැන් අපේ කාල වේලවත් අවසාන වෙන්න ළඟ නිසා අවසානෙට කියන්න ඔබට දෙයක් තියෙනවද?


ඔව්. මුලින්ම කියන්න ඕන ‍ඇතැම් අය හිතනවා මේක බොරුවක් කියල. මම ඒ අයට අභියෝග කරනව එයාල දන්න දෙයක් නෑ කියල. මේක බොරු නම් රටේ ලක්ෂ ගාණක් ජනතාව මේක විශ්වාස කරන්නෙ නෑ. ඒ නිසා තමන් දන්න දෙයක් කතා කරන්න කියල මම ඒ අයගෙන් ඉල්ලා සිටිනව.

මේක දැන් ලෝකෙ පුරා ව්‍යාප්ත වෙනව. ඇමරිකාවෙ මේක ගෙලුගන්වාදය කියල හඳුන්වන චින්තකයො ඉන්නව. මේ ගැන විශ්ව විද්‍යාලවල උගන්වන්න පාඨමාලා සකස් වෙනව. අපේ රටේ ජනාධිපතිතුමා, එතුමගෙ නෑයො, ලොකු ඇමතිවරු, දේශපාලන නායක‍යෝ, කලාකරුවො, ක්‍රිකට් ක්‍රීඩකයො, විශ්ව විද්‍යාල ආචාර්යවරු මේ ගෙලුගන් ගල් නිසා සාර්ථක වෙලා තියෙනව. මේ ළඟදි ගොඩක් ජනප්‍රිය වුණ ‘ඔබ ලස්සන හොටු පෙරෙනකොටයි’ සින්දුව කියන තරුණ ගායිකාව මගේ කිට්ටු රසිකාවියක්. එතකොට ඔය ගැන්නම් ස්ටයිල් සින්දුව කියන ප්සයි කියන්නෙ උග්‍ර ගෙලුගන් අනුගාමිකයෙක්...

මගේ රසික ජනතාවට සහ පාරිභෝගිකයන්ට මම බොහොම ආදරෙන් ස්තූති කරනව. ඔබ තමයි අපේ ශක්තිය. ඒ ශක්තිය තමයි නැවත ඔබට වාසනාවක් වෙන්නේ. දිගින් දිගටම අපේ ගෙලුගන් නිෂ්පාදනවලින් ඔබේ ගෙදර ශ්‍රියාමත් නිවසක් කරගන්න. ඔබට අවශ්‍ය ඕනම වෙලාවක ඔබේ ජීවිතේට සහනයක් වෙන්න අපි සූදානම්. බොහොම ස්තූතියි.


හොඳයි. ඔබටත් බොහොම ස්තූතියි අද මේ වගේ කාර්ය බහුල දවසක හරි ඇවිත් අපිව ගෙලුගන් ගල් ගැන දැනුවත් කලාට. අද අපි කතා කලේ මේ වෙනකොට ලෝකෙ පුරා මිනිස් ජීවිත සාර්ථක කරන ගෙලුගන් ගල් ගැනයි. ඒ ගැන කතාකරන්න අපිත් එක්ක එකතු වුණ ලෝක පූජිත දේශමාමී දේශ ශක්ති දේශබන්ධු ආචාර්ය සම්පත් ඉසරුවර්ධන මහතා වෙත අපේ ගෞරවනීය ආදරය පුද කරනවා. බොහොම ස්තූතියි


මේ විරාමයෙන් පස්සෙ හරේගේ අප්සෙට් ගී සමග රැඳී ඉන්න ආරාධනා කරමින් මම ඔබෙන් සමුගන්නවා.ස්තූතියි!


මේ සති අන්ත ජාතික ගුවන් විදුලියක විකාශය වීමට නියමිත නැති සම්මුඛ සාකච්ඡාවකි.

Wednesday, 23 January 2013

අරිසාන කතා වස්තුව - පොතේ නැති වෙනම කතාවක්!


තවද එක් සමයෙක්හි අසම සම වූ මහා ප්‍රාඥයන් දඹදිව ද්වීපාරාමයේ වැඩවසන කල්හි දිනක් ධර්මාලෝක ලබනු පිණිස පිණිස රැස්ව හුන් දහසක් වූ ජනයා ධර්ම ශ්‍රවණයෙහි යෙදෙති. උන් සියල්ලෝ සාවධානයෙන් මත්ව මහා ප්‍රාඥයන් දෙස සවන් දෑස් අයා සිටින ඇසිල්ලේ ඒ මහ සෙනග අතරින් උන් ධර්ම සිත් සිඳවමින් පිලිකුල් ධවනිත කරමින් ධර්ම මණ්ඩපය වෙත රෝගී කුෂ්ඨයන්ගෙන් වැසි දුර්ගන්ධයෙන් පිරි කෘෂව ගිය දස දහසෙක පමණ වූ සූකර රැලක් පැමිණෙන්නට පටන්ගත්තේය.

ධර්ම සිත් සිඳී ගිය ජනයා කලබල කරන්නටත් ඒ මේ අත දිවෙන්නටත් ආක්‍රෝෂයෙන් පරිභව කරන්නටත් වූයේ ප්‍රාඥයන්ගේ එක් බැල්මෙකින් දැමුණු සිත් ඇතිව දුර්ගන්ධය ඉසමින් නැවත ධර්ම ශ්‍රවණයට පිලිපන්නාහුය.

උන් අතර වූ එක් වියපත් උපාසකයෙක් සකල ගුණ නිධාන වූ මහා ප්‍රාඥයන් අසබඩින්ම හිඳ ධර්ම ශ්‍රවණය කරන්නේ උන් වහන්සේ අමතා මෙසේ විචාරන්නේය.

"ස්වාමීනී භාග්‍යවතුන්වහන්ස අප දහසක් වූ ගම්වැසි ජනයා කිසිවකුට අවමන් නොකරන්නේය, කහටක් නොකරන්නේය. අප සියළු දෙනා මෙහි වැඩ සිටින ඔබ වහන්සේට අපමණ භක්ත්‍යාදර ‍වන්නෙමු. පැහැදුණු සිත් ඇති වෙමු. ඔබගේ ධර්මයෙන් බිඳකට සවන් යොමා ආලෝකය ලබන්නට අද ද මෙහි පැමිණියා වෙමු. එවුවද අපගේ පහන් සිත් බිඳවමින් මේ විසල් වූ කිලිටිව ගිය සූකර රැල මෙහි වැද ඇත. අතීතෙකදී අප මහා පාපයක කොටස් කරුවන් වී දැයි දෝමනස්සයක් දැනේ. මෙහි අරුමය කියා දෙනු මැනව."

එකල්හි භාග්‍යවතුන් වහන්සේ විසින් රැස්ව හුන් ජනයා අරභයා පහත වූ අරිසාන කථා වස්තුව වදාල සේක.

ඒ කෙසේද යත්,

පෙර එක් දවස සොලොසාසංක්‍ය කල්ප දෙලක්ෂයකට පෙර තිලෝ ප්‍රදීප වූ ගෞතම බුදුන් ලොව පහලව වසර දෙදහසකුත් පන්සියයක් ඉක්ම ගියා වූ කල එක් දුර්භාග්‍යමත් වූ කාලයක් පහල විය. එකල්හි සියළු ධර්මයෝ අමනයන් කෙරෙන් ප්‍රකාශිත හෙයින් අමනෝඥ වන්නාහ. අන්ධයන් සේ ධර්මයේ හැසිරෙන්නා වූ ජනයා ස්වයංවම ධර්මය කෙලෙසන්නේය. උන්ගේ ධර්ම ශාස්තෘන්ගේ ධර්මයන් අව්‍යක්තව ව්‍යාජයෙන් අර්ථ නිරූපණය කොට තූ තූ කොට හැරපියා ඇත්තේය. උන්ගේ රිසි ලෙස ධර්මය අර්ථදක්වමින් වියරුවෙන් අධර්මයේම හැසිරෙන්නෝය. ධර්මය වැපිරීම පිණිස සිටිනවුන් ධර්මයෙන් සුඛ විහරණයම උපයමින් අධර්මයම වපුරන්නේය. පාලකයෝද පාලිතයෝද අධර්මිෂ්ඨයන්ම වන්නේය. මිනිස් ලොව කහවණුව වැජඹෙන්නට ගෙන උතුම් වූ මනුස් දම් වියැකී ලොව මහත් වූ ව්‍යසනයන්ගෙන්ද අශ්ශීලයෙන්ද වහනයව පවතින්නේය.

එසමයෙහි එක් විභූතීය වූ දිළිඳු රාජ්‍යයක තරුණියන් හා කාන්තාවන් තම රාජ්‍යය විභූතික වුවද එහි ජීවිකාවෙන් සුඛය සෙවීම දුෂ්කර වූ හෙයින් වඩා උසස් වූ දිවි ගෙවුමකට රිසිව වෙනත් පොහොසත් රාජ්‍යයන්හි බැල මෙහෙවරට පැමිණ බැල මෙහෙ කරන්නට හුරුව සිටින්නේය. ඒ පොහොසත් රාජ්‍යයන්ද උක්තවූ ලෙසින්ම අධම මිසදිටු අධර්මයෙන් දූෂිත වන්නේ හෙයින් ඒ තරුණියන් විඳින්නට වන දු:ක්ඛ දෝමනස්සයෙන් ඍජුව ගිය හිතැත්තේ ඒ පොහොසත් හාම්පුතුන්ගේ පෙළීම් ගර්ජනයන් ඉවසා වදාරමින් බැල මෙහෙ කරන්නේය. උන්ගේ දාහයෙන් උපයන කහවණුවෙන් උන් උපන් රාජ්‍යයේ පවුල පෝෂණය කරන්නේය.

උන් අතර එක් දුගී බමුණු කුළයක අරිසාන නම් වූ දැරියක තම සොයුරු සොයුරියන්ගේ ශිල්ප හැදෑරීමේ උවමනාවද, කැලෑ දර කහවණු කොට පවුල රැක්කා වූ ස්ව පියාණන්ගේ දුක්බර ස්වභාවයද වටහා තම පවුල රක්ෂා කරනු වස් එපරිද්දෙන් වෙනත් රාජ්‍යයක බැල කෙරුමට පිටව ගොස් සිට්න්නේය. ඈ ඒ රට සුඛිත හාම්පුතුන්ගේ දරු නලවමින් කහවණු උපයන්නේ දිනක සිය මනෝඥහානියෙන් හේතුප්‍රාප්තව මහත්ව අභාග්‍යමත් වීය. එනම්, ඈ නලවමින් හුන් දරුවා කිසියම් හේතුවකින් නාසයෙන් මුඛයෙන් කිරි වමනය කර ක්ෂණයකින් මරුමුවට පත්වූයේ උහු රකිමින් හුන් අරිසාන දැරිය එහි දෝෂයට පාත්‍රවීය.

පුරා පස් වසක් මතු නඩු අස්සවා ඇය දෝෂ මුක්ත කෙරුමට හේතු හිස්ව ගියෙන්ද ඒ අධම හාම්පුතුන්ගේ ක්ෂමා හීනව ගියෙන්ද අරිසාන තරුණිය දඬුවමට පාත්‍රවූයේ දින ස්වල්පයක් මත්තෙන් ඇගේ හිස කඳෙන් වෙන්වන්නටම ගසාපියාලීය. එකී අකටයුත්තට හේතු වූ අධමයන් හට උන්ගේ අමනුෂ්‍යය වූ නීතිය මිනිස්කම දෙවෙනි වන තරමට විසල් වූයේ නිර්දෝෂී තරුණිය හිස් සිඳුමෙන් මහත්ම වූ පාපයකටම වග කියන්නේය.

මෙකල්හි මෙසේ වූ මහත් අපරාධය ඒ තරුණියගේ උපන් බිම කැළඹූයේ දෙකෝටික වූ ජනයා තුඩග රැව් දෙවමින් උනුන් බේද භින්න කෙරෙමින් කම්පාවෙන් වියවුලට පත්වීය. ඇසූ ඇසූ තැනැත්තේ තරුණිය නැසූ අධම රාජ්‍යයට දෝෂ පහ කලේ ඇයගේ විමුක්තිය මත්තේ හඬ නොනැග නිෂ්චලව හුන් රටේ පීතෘ වූ මහ රජුන් කෙරේද සිත් බිඳවා ගත්තේය.

මෙකල්හි රූපවහර්ණිකාව නම් වූ අරුම වූ උපාංගයක් වන්නේ මාර්ගඵල ලද්දෙක් ඍධි ප්‍රාතිහාර්යය පාන්නේ යම් සේද එවූ ලෙසින් යම් තැනෙක යම් දෙයක් සිදුවන්නේද ඒ දසුන ඒ ලෙසින්ම වෙනත් තැනෙක ප්‍රාදුර්භූත කරන්නට සමත් වන්නේය. මෙවූ රූපවහර්ණිකා එකල නෙක දනන් මනස් විසූක දස්සනයෙන් විකෘත කරවමින් උන් කෘරත්වයටම මෙහෙයවන්නේ කහවණු අපේක්ෂාවෙන්ම මිනිස් ගති අම‍තක කරදමන්නට දනන් පොළඹවමින් හුන්නේය.

එවන් එක් වහර්ණිකාවක් තරුණිය හිස සිඳින්නේ මෙපරිද්දෙන් යැයි මහ ජනයා මුලා කොට වෙනත් වූ අපරාධයක් ප්‍රාතිහාර්යයෙන් පෙන්වන්නේ අවබෝධ හීන ජනයා මුලාවෙන් මුලාවටම ඇද හෙලන්නේය. එකල්හි රටේ ජනයා ඉන් පෙර කලෙක පුරා තිස් වසක් මුළුල්ලේ පැවතුනා වූ යුධයෙන් මනෝ විපරිතව අපරාධයම දකින්නට අසන්නට ඉඳුරන් ගෝචරව හිඳින්නේ මහත් අභිරුචියෙන් අපරාධය රූපවහර්ණිකාවෙන් නැරඹීය.

උන් එපමණකිනුදු නොනැවතී එය නැවත නැවත නරඹන්නටත්, නොනැරඹූවන් නරඹන්නට පොළඹවන්නටත් අපරාධය කෙරේ සිතමින් සිත් දූෂ්‍ය කරගන්නටත් සමත් වී මහත්ම වූ පාපකර්මයකටම මග පාදාගත්තේය.

එහි ඇවෑමෙන් උන් සියළු දෙනා මරණින් මතු දුගතියෙහි ඉපිද වසර සොලොසාසංක්‍ය කල්ප දෙලක්ෂයක් පුරා අපා දුක් විඳිමින් තවමත් නිරයේම වෙසෙන්නේය. උන්ගෙන් ඇතැමෙක් මරණය එක් වරක් පමණක් දැක පිළිකුල් සහගතව එය සිතෙන් ඉවතලන්නට තැත් දැරීම හේතුවෙන්ද හුදු අකුසල සිතක් පමණක් ඇතිකරගැනීමෙන්ද අකුසල කර්මය දුර්වල වූයේ නිරා දුක් අවසන්ව මේ භවයේදී කුෂ්ඨයෙන් වෙලී දුක් විඳින සූකරයන් ලෙසට උපත් ලබා ඇත්තේය. අද දින මාගෙ දහම් පඬුරෙන් මුන් සිත් පිරිසිදුව වඩා උසස් කුලයක උපත ලබන්නට පින් ලබන්නේ දුක් සහිත භවයන් අවසන් කොට සුඛිත වූ භවයන්හි උපත ලබන්නේය. මුන් සමගම නිරයේ උපන් තවත් කෝටියකට අධික වූ මිනිසුන් කොටසක් මරණයේ ආරංචිය පැතිරූ හෙයින්ද, නැවත නැවත ඒ නරඹමින් දූෂ්‍ය වූ හිත් ඇත්තේ වූ හෙයින්ද උන්ගෙ අකුසලය විසල්ව ඇත්තේ තවත් මහත් වූ කාලයකට දුකෙන් නොමිදෙන්නේය. එමෙන්ම අරිසාන තරුණිය මරණයට කැප කල වූවන් තවත් කල්ප ගණනාවකට අපා දුකෙන් නොමිදෙන්නේය.

ශ්‍රාවකයෙනි, මේ සූකරයන් මාගේ ධර්ම ප්‍රකාශයෙන් මතු වනයට නික්මෙන්නේය. උන්ගෙ විමුක්ති මාර්ගයේ ඇරඹුම වන්නේ අද දින ලබන ධර්ම අවබෝධයේ බිජුවටම වන්නේය. උන්ගෙන් පසෙකට වී ධර්ම ශ්‍රවණය කරනු මැනවයි වදාලා ප්‍රාඥයයන් අතීත කළාව නිමා කල සේක.

ඉක්බිත්තෙන් මැද පෙළක හිඳි තරුණ කොළු ගැටයෙක් අතීත කතාවේ වූ අරුමයෙන් ඉවසා සිටිනු නොහැක්කේ මෙසේ විචාලේය.

"ස්වාමීනී රූපවහර්ණිකාව පිළිබඳව විස්තර කරනු මැනව. මාර්ගඵල නොලබාම එසේ ඍද්ධි ප්‍රාතිහාර්යය පෑ හැකි වේද? නොඑසේ නම් ඒ කිනම් අරුමයක්ද?"

මෙයට කරුණා බැල්මක් හෙලූ ප්‍රාඥයයන් තරුණයාගේ විමසිල්ල පාදක කර ගනිමින් මනා වූ ධර්ම කතිකාවක නියැලෙන්නට වී ය.

ශ්‍රාවකයෙනි, රූපවහර්ණිකාව උපාංගයකි. එය අදින් වසර ගණනාවක් මත්තේ නැවත ලොව වෙනස් මගක් ගත් කළෙක නැවත බිහිවනවා ඇත. එය වටහා ගැනීම අර්ථ ඇත්තක් නොවේ.

මිනිසුන් සියල්ල අවබෝධ කරගැනීමට වෙහෙසෙන්නේය. උන් දැනුමින්ද, සෙවීමෙන්ද සන්නද්ධ වන්නටත් සියල්ල සතු කරගන්නටත් වෙහෙසෙන්නේය. එහෙත් පරම සත්‍යය වූ 'අවබෝධ කරගැනීමටත් සතු කරගැනීමටත් කිසිවක් නොමැති බව' අවබෝධ කරගන්නට උන් වෙහෙස නොවේ. සියල්ල අවබෝධ කිරීමට වඩා කිසිවක් නොමැති හිස් බව අවබෝධ කිරීම වඩා ප්‍රඥා ගෝචර නොවන්නේද?

Saturday, 26 May 2012

නිර්වාණය සහ ගුරුත්වාකර්ෂණය



මිනිහෙක් ආයෙ ඉපදෙන්නෙ නෑ කියල කියන අදහස කට්ටියට ප්‍රශ්ණයක්... මට ඇසුරු කරන්න වෙන ගොඩක් ආගමික මතධාරියො ‍ඉන්නෙ තමන් ෂුවර් ඇන්ඩ් ෂොට් ආයෙ ඉපදෙනව කියන මතයෙ. ඕක ගැන එයාල එක්ක තවත් කතා කරද්දි පින් පව් කතා ඇදිල එනව. ඊට පස්සෙ කර්මයයි තව එක එක කතායි... ඔය විධියට ගිහින් අන්තිමේදි එයාල නැවත ඉපදීමක් තියෙනවය කියන මතය සාධාරණීකරණය කරන්න තවත් මත ගොඩක පිහිට පතනව. ඒ වුණාට වැඩේ කියන්නෙ ඒ මතවාදයන් සේරම තියෙන්නෙ එක පද්ධතියක් ඇතුලෙ වීමයි. ඒ පද්ධතියෙන් එලියෙ ඒ මතවලට අර්ථයක් නෑ.

කොහොමත් ආගම් වලින් කියන දේවල් පවතින්නෙ ඒ ආගම තුලින්ම නිර්මිත රාමුවක් ඇතුලෙ විතරයි. ඒ ආගමේ නිර්වචන රඳා පවතින්නෙ ඒ ආගමෙන්ම කියවෙන වෙනත් නිර්වචනවල. ඒ වගේම ප්‍රා‍යෝගිකව ආගම කියන්නෙ ෆේල් වුණ සංකල්පයක් කියල අමුතුවෙන් කියන්න අවශ්‍ය නෑ. මොකද ඒවයින් ලෝකයට වුණ අමුතු සෙතක් නෑ පිරිසකට බඩවියත රැකගන්න රස්සාවල් ලුබුණ එක ඇර. ආගම රැකගන්න කියල වෙන මිනිහෙක්ව විනාශ කරද්දිම ආගම ෆේල් වෙලා ඉවරයි. හැබැයි ආගම් අනවශ්‍යයි කියල කියන්නත් බෑ.

ගෞතම කියන්නෙ තනියෙම ලොකු දැණුමක් ගොඩනගාගත්තු මිනිහෙක්. ඔහු ඒ දවස්වල තිබුණ සංකල්පත් එක්ක මතවාදී ගැටුමක් නිරාකරණය කරගත්තෙ නිර්වාණය කියන අදහසත් එක්ක. ඔය දැනුම වර්තමානය දක්වා එද්දි වෙලා තියෙන වෙනස්කම් නිසා ඒ ගැන අදහසක ඉන්න එක අමාරු වැඩක්. ඔය 'වෙනස් වෙලා' කියන එකේදිම ආයෙමත් මුළු කතාවම අවුලකට යනවනේ. නමුත් ගවේශනයෙදි ගෞතම කියන්නෙ ගයිඩ් කෙනෙක්!

ගෞතමට එයා, ඔහු විධියට ආමන්ත්‍රණය කරනකොටම මතධාරියෙක්ගෙ ලේ රත්වීම තුල ඔහුට ගිලිහෙන්නෙ ගෞතමවමයි.

ඔහු නිර්වාණය හොයාගත්ත කියල කියමු. අඩු ගානෙ ඒ කාලෙදි තිබුණය කියල කියවෙන එක එක විධියෙ මතවාදයන් අතරෙ නිර්වාණය කියන්නෙ එක සිරා අදහසක්. ඒකෙන් කියවෙන්නෙ අත්හැරීම ගැන. නොඇලීම ගැන. නිදහස් වීම ගැන. හැබැයි එහෙම කියනකොට ගෞතමගෙ ඉගැන්වීම් හෙන බෝරිං වෙනව. ජීවිතේ ආතල් එහෙම කඩාගන්නෙ කොහොමද?

නැවත ඉපදීම කියන එක ඒ කාලෙත් තිබුණ අදහසක් කියල හිතන්න පුළුවන්. පළවෙනි හේතුව අදට වඩා කල්පනා කරපු මිනිස්සු හිටපු කාලෙක ඉපදීම සහ මරණය වගේ දේවල් ගැන මිනිස්සු තදින් කල්පනා නොකලා වෙන්න බැරි වීම. අනිත් හේතුව ගෞතම විසින් 'නැවත ඉපදීම' කියන මුදුන් පරාලය හෙවත් කැණිමඩල විනාශ කිරීම ගැන කතා කරල තිබීම. මේක මට තේරෙන්නෙ ගෞතමගෙ අදහස්වල වැදගත්ම කෑල්ල(ක්) කියල. ඔය නැවත ඉපදෙනවාය කියන අදහස ඔළුවෙ තියෙනතාක් කල් මිනිස්සු අත්හරින්න සූදානම් නෑ. ගෞතම විසින් විනාශ කරන්නෙ ඒ නැවත ඉපදීම කියන අදහස. ඒක ඔහු සමාන කරන්නෙ ‍ගෙයක මුදුන් පරාලයකට. මුදුන් පරාලය මතයි අනිත් හැම පරාලයක්ම රඳාපවතින්නෙ. මුදුන් පරාලය සිඳීමෙන් ඔහු මුළු වහලම විනාශ කරනවා. ඒ කියන්නෙ නැවත ඉපදීම කියන අදහස උඩ ආත්ම ගාණකට හිතේ පුරවං ඉන්න ආසාවල් සියල්ල ගලවල විසි කරනවා. ඔහු හිත විවෘත කරනවා බැඳීම් නැති නිදහස් අවකාශයකට... මේක ඇතුලෙයි නිර්වාණය කියන ‍ගෞතමගේ සංකල්පය පවතින්නේ.

මේතනදි මේ නිර්වාණය කියන අදහසේ පේටන්ට් එක ගෞතමට යනව වුණාට ඒ කාලෙ මේ ගැන කල්පනා කරපු අය ඕන තරම් ඉන්න ඇති. තනි තනිවමත් මේක හොයාගත්ත අය ඕන තරම් ඉන්න ඇති. නමුත් ලෙජන්ඩ් එකක් වුණේ ගෞතම. ‍පුරාවෟත්ත අනුව ඔහු රජ පවුලේ කෙනෙක් වීමම ඒකට හේතු වෙන්න ඇති. ඇත්තටම එහෙම ගත්තම ඔහුට "බුද්ධ" කියල කියන එකෙන්ම වැඩේ කෙලවෙලා ගිහින් ඉවරයි. බුද්ධ කියන්නෙ ඔහු ගොඩනගාගත්තු දැණුම නිසා ලැබුණ නමක්. ඇත්ත නම මොකක්ද කියල හොයාගන්න වෙන එකක් නෑ. හැබැයි ඇත්තටම අපට අනවශ්‍යම වෙන්නෙත් ඔහුගෙ අනන්‍යතාවයයි. සත්‍යය කියන දේ අනන්‍යතාවයක් මත රඳාපවතිනව වෙන්න බෑ.

ඉතිං ගෞතම මේක හොයාගත්තා. නමුත් අපි තවම ඒක අල්ලගෙන නෑ. ඒක හරි පුදුම විධියට සංකල්ප ගණනාවක් අස්සෙ හිර කරපු අදහසක් වෙලා. නිර්වාණය ඒ නිසාම තියෙන්නෙ මතවාදී විධියට සෑහෙන්න ඈතින්. ඒක වෙත යන්න මිනිහෙක්ට මාර කට්ටක් කන්න වෙනව. සෑහෙන්න වියදං කරන්න වෙනව. නොදන්නා ආත්ම ගාණක් දුක් විඳින්න වෙනව. හෙණ සයිස් පොත් බරගාණක් පාඩං කරන්න වෙනව. ඉතිං දැනටමත් හොයාගෙන තියෙන දෙයක් පවතින්නෙ මිනිස්සුන්ට අතගහන්න බැරි තරම් ඈතක. බණ පද ආලෝකවර්ෂ ගාණක් ඈතක!

ඒක ගැන කියන්න හොඳම උදාහරණයක් නොවුණට අපි නිර්වාණය සලකමු නටඹුන් පුරවරයක් විධියට. ඒ නටඹුන් පුරවරය පොඩි ගමක නිදහසේ තිබුණ එකක්. මිනිස්සු නිදහසේ ඒකෙ පරණ බිත්ති අතර සැරි සැරුවා. නටබුන් අතරෙ සුන්දරත්වය වින්දා. ටික ටික මිනිස්සු ගැවසීම වැඩිවෙන්න වෙන්න ආණ්ඩුවෙන් ඔතන කවුන්ටරයක් ගහල ටිකට් විකිණුවා... වටේට කඩ ටිකක් හැදුණා... ටික ටික ඒක වටේට නූතන නගරයක් හැදුණා. දැන් මිනිස්සු ඒ නගරයට එන්නෙ නටබුන් බලන්න නෙවෙයි. දැන් ඒ නටබුන් සහිත කොටස මිනිස්සුන්ගෙන් සෑහෙන්න ඈතයි. ඒකට යන්න ටිකට් ගන්නත් වෙනවා. නටබුන් නගරයට තිබුණ වටිනාකම වෙනුවට එතන දැන් තියෙන්නෙ වෙනත් වටිනාකමක්.

ඒ කියන්නෙ දැනටමත් හොයාගෙන තියෙන දෙයක් සහ ඒක ප්‍රයෝජනයට ගන්න අය අතරෙ වෙනත් දේවල් ගොඩක් සංවර්ධනය වෙලා. ඒ දේවල් අස්සෙ අපට ඔය කලින් හොයාගත්තු එක ආයෙමත් හොයාගන්න වෙලා.

අනිත් අතට ගුරුත්වාකර්ෂණය!!! අපි දන්නවා ඒක තියෙනවා කියල. ඒක කලිනුත් තිබුණා. නමුත් ඒක මුලින්ම පැහැදිලිව නිර්වචනය කලේ නිවුටන්. වචන වලින් නොනැවතී ඒක ගණිතයෙනුත් ඔප්පු කලා. ගණිතය විශ්වයේ භාෂාව. දැන් ඒක ගැන ඉගෙනගත්තු ඕන කෙනෙක් දන්නවා ගුරුත්ව බලය ගැන. ඒක මතවාද අස්සෙ හිර වුණ දෙයක් නෙවෙයි. සරලවම ගත්තොත් උඩ පැන්නොත් බිම වැටෙන බව. ඒක ගැන බොරු කරන්න අමාරු විධියෙ ගණිතමය නිර්වචනයක් ඒකට තියෙනව. සාමාන්‍ය වශයෙන් ලෝකයෙ තියෙන ඕනම වස්තුවකට ගුරුත්වයේ මූලධර්ම වැඩකරනව.

ගුරුත්වයේ මූලධර්ම භාවිතා කරන්න ආස කෙනෙක් ඒක නැවත හොයාගන්න යන්නෙ නෑ.

Friday, 4 May 2012

ගෙදර යන ගමන්...


“උඩුකන්දෙ ගෙදර ‍සීලවතී උපාසිකා මාතාව රුපියල් 4500ක් පරිත්‍යාග කරල තියෙනව... සත්සර ස්ටෝර්ස් අධිපති නිමල් ලක්තිලක මහතා බැනර් 3ක් වෙනුවෙන් රුපියල් 4500ක් පරිත්‍යාග කරල තියෙනව...”

ගමේ පාර දිගට යකඩ කටවල් හතක් අටක් ගැටගහල පන්සලේ පෙරහැරට දායක වුණ උදවියගෙ ලැයිස්තුව ගමටම ඇහෙන්න කියවනව.

මම යටි හිතෙන් හිනා වීගෙන ඒ සද්දෙ පහු කරගෙන ආව.

සතියකට දෙකකට විතර කලින් දායක සංගමේ ලොකු ආච්චිල දෙන්නෙක් අම්මට ගෙනත් දීල තිබුණ ‍දිග ලැයිස්තුවක්. ඒක ඇස්තමේන්තුවක්! පන්සලේ පෙරහැර වෙනුවෙන් මුදල් එකතු කිරීමේ ආධාරපත්‍රයක්.

“ඒකෙ තියෙන ගණන් දීල කොහොමද මාසෙ ජීවත් වෙන්නෙ”

එයාල ගියාට පස්සෙ අම්ම කිව්ව. අවුරුදු ඉවර වුණ ගමන් නිසා මගෙ අතෙත් සල්ලි නැති විත්තිය අම්ම දැනගෙන හිටිය.

“අම්ම ගාව තියේනං පුළුවන් ගාණක් දෙන්න... මාසෙ ඉතිරි ටික කොහොම හරි ඉමු!”

මම කවදත් වගේ ඒ ගැන උදාසීනව හිටිය...

බෝධිය ගාව කඩේ පහුවෙද්දි ආපු සූ සද්දෙන් මම හැරිල බැලුව. සංජීවයත් වැඩ ඇරිල එන ගමන් කඩේට ටිකක් ගොඩ වෙලා. බඩු මල්ලත් උස්සගෙන මිනිහත් මට එකතු වුණා.

“ලව්ඩ්ස්පීකරෙන් නම කියවෙනකොට කට්ටියට මාර ආතල් ඇති නේද?”

සංජීව මගෙ දිහා බලාගෙන හිනා වෙනව.

මටත් හිනාවෙනව ඇරෙන්න කියන්න දෙයක් හිතාගන්න බැරි වුණා.

“පෙරහැරේ එස්ටිමේට් එක ලක්ෂ පහළොවක්! දුප්පත් පවුල් දෙක තුනකට ගෙවල් හදල දෙන්න තිබුණා...”

සංජීව කියවගෙන යනවා..

“එච්චර ගාණක්?”

මම පුදුම වුණා...

“මම එස්ටිමේට් එකේ ගණන් එකතු කෙරුවා. හරිනං ඊටත් වඩා වැඩියි වියදම.”

“හ්ම්...”

“තේරුමක් නැති වැඩ... පෙරහැර කියල තමයි එකතු කරන්නෙ”

“මමත් ඔය ලිස්ට් එක නම් දැක්ක. ඔච්චර ගාණක් තිබුණද ඒකෙ? මේ මාසෙ ලොකු ගාණක් වියදම් කරන්නත් අමාරු නිසා මම ඒ ගැන උනන්දු වුණේ නෑ...”

“ඕන කරන සේරම දිස්නෙට හදාගෙන තියෙන නිසා පන්සල සංවර්ධනය කරන්න කියල දැං එකතු කරන්න බෑනෙ...”

සංජීව කියන්නෙ උපහාසෙන්... කතාවෙන් කතාව අපි වෙන්වෙන තැනට ඇවිත් තිබුණ.

“ලක්ෂ පහලොවක්...?”

මගෙ හිතේ දෝංකාර දුන්නා...

අවුරුදු දහයකට විතර කලින් බත්තරමුල්ලෙදි හම්බවුණ මලයගෙ කතාව මට මතක් වුණා. නම අමතක හින්දා මම මිනිහට චන්දන කියල කියන්නම්.

මිනිහ ආවෙ අපේ වැඩපොලේ අත් උදව්කාරයෙක් විධියට. ඒ තරම් දුරට ඉගෙනගන්න උවමනාවක්වත්, උනන්දුකිරීමක්වත් මිනිහට තිබිල නෑ. ඒ නිසාම යන්තම් අවුරුදු පහළොව දාසය වෙද්දි එක එක තැන් වල වැඩකරන එකට හුරුවුණාට ඌ කාටවත් වදයක් නැති අහිංසක කොල්ලෙක්.

දවසක් බර වැඩක් ඉවර වෙලා හවස නාන්න සෙට් වුණාම අනිත් කොල්ලන්ට චන්දනගෙ කරේ එල්ලිල තිබුණ කුරුසයක් මාට්ටු වෙලා. කතාවෙන් පෙනුමෙන් චන්දන බෞද්ධ වෙන්න ඇති කියලයි හැමෝම හිතුවෙ.

දවසක ඔය ගැන කතාවක් ඇදිල ආව.

“අපි ඉස්සර බුද්ධාගමේ. පස්සෙ තමයි ක්‍රිස්තියානි වුණේ...”

චන්දන කිව්ව.

ඒ දවස්වල මම උග්‍ර ආගම්වාදියෙක් නොවුණත් බෞද්ධ පවුලක උපත ලැබීම නිසා ගැලවෙන්නම බැරි ගච්ඡාමි සීන් එකක ගැටගැහිල හිටිය. ඒක නිසා මිනිහගෙ කතාවට අනිත් කොල්ලන්ගෙ ගාණටම මගේ ලේ රත්වුණා. අපි සේරම චන්දනගෙ ආගම් මාරුව ගැන සැරින් සැරේ කියමින් මිනිහව කපල දැම්මා.

“මම මොනව කරන්නද යකෝ.. තාත්තනෙ පල්ලියට බැඳුණේ”

චන්දන ගැලවෙන්න කිව්වෙ ඒ ටික විතරයි.

ඒත් ටිකෙන් ටික ඒ රස්නෙ අඩු වුණා. චන්දනගෙ කතාවෙ ඇත්ත අපි දැනගත්තෙ සෑහෙන්න පස්සෙ කාලෙක. ඒ කතාවල පසුබිම ගැන මම මුකුත් නොදන්න නිසා මම කියන්නෙ මම දන්න ටික විතරයි.

චන්දනගෙ නංගි අංග විකල ගෑණු ළමයෙක්. තාත්තට හරි රස්සාවක් තිබුල නෑ. ඉන්න ගෙයකුත් නැති තත්ත්වයක් උදා වුණාම කතෝලික පල්ලියක මොකක් හරි ව්‍යාපෘතියකින් මෙයාලට වාසස්ථානයක් ලැබිල තිබුණ. ඒ වගේම නංගියෙ අධ්‍යාපනයටත් ඒ විධියෙ උදව්වක් ලැබිල. හිලව්වට චන්දනල කතෝලික වෙලා.

සල්ලි වලට අන්‍යාගමිකකරණය ගැන ලොකු කතා කියන අය ගැන මට දුකක් දැණුනා.

චන්දනටවත් එයාගෙ දෙමව්පියන්ටවත් ජීවත් වෙන එකට අමතරව ආගම වගේ වෙනත් ප්‍රශ්ණ තිබිල නෑ. ආගම කියන්නෙත් ජීවිතේට හයියක් වෙන දෙයක් විධියට විතරයි එයාල දැක්කෙ. කරපින්නගෙන දුක් විඳිනවට වඩා අතෑරල දාන එකෙන් සැපක්, පහසුවක් ලැබෙනවනම්...

චන්දනලට විකල්පයක් තිබිල...

මට චන්දනගෙ කුරුලෑ ලප පිරුණු අඳුරු මූණ මතක් කරගන්න පුළුවන්... ඒ මූණෙ අඳුර අතරෙ මට කවදාවත් තේරුම්ගන්න බැරි අසරණකමක් තිබුණ නේද කියල මට තේරුණෙ සෑහෙන්න පස්සෙ...

“සමහර විට දැන් මිනිහ හොඳින් ජීවත්වෙනව ඇති.”

මම එහෙම හිතල දුකට පත්වෙන්න තිබුණ මගේ හිත ලොක් කරගත්ත.

සේරම හිතෙන් අයින් කරල හොඳ නින්දක් දාන්න ඕන කියන සිතිවිල්ලත් එක්ක මම ගේට්ටුවෙන් ඇතුළු වුණා.

“...වීරකැටිය පාරේ වි‍ජේසිංහ මහතා සහ එම මහත්මිය රුපියල් 1500කින් දායක වෙලා තියෙනව...”

පන්සලේ පෙරහැරේ දායක ලැයිස්තුව තවම යකඩ හඬින් කියවෙනව.

අම්මා ගේ ඉස්සරහ පඩි පේළියෙ ඉඳගෙන යකට කටේ සද්දෙට කණ තියන් ඉන්නවා...

යටි හිතේ රැ‍ඳෙන්න බැරිව මගේ හිනාව එලියට පැන්නා... මම හිනාවුණා...

“රුපියල් පන්සීයෙ ඒව අද කියන්නෙ නෑ වගේ...”

අම්මා එහෙම කියාගෙන මාත් එක්කම ගෙට ආවා...

Monday, 14 March 2011

බහිර්ශීල දමනය | පොතේ නැති කතාවක්!


තවද එක් සමයෙක්හි අප මහ තිලෝගුරු බුදුරජාණන් වහන්සේ සැවැත් නුවර ජේතවනාරාම විහාරයේ වැඩ වාසය කරන කල්හි අනේපිඬු සිටාණන්ගෙන් නිරන්තරයෙන් දානමානාදිය ලබන්නේ වරෙක් ඉන් ම‍ඳෙක් ඉවත්ව බුද්ධ වංශය ප්‍රකාරව පිණ්ඩපාතයෙහි වැඩීම යෙහෙකැයි කල්පනා කල සේක.

උන් වහන්සේ පාත්‍රයද විවෘතව ගෙන යටිකුසෙහි තෙරපා මද ජනාකීර්ණ පුළුල් මාවතක් පසෙකින් සන්සුන් ගමනින් පිඬු සිඟා වඩින්නට වූහ.

මෙකල්හි බුදුන්ගේ කීර්තියත් උන්වහන්සේගේ ධර්මයෙහි ස්වාධීනත්වයත් එහි වූ නොබිඳිය හැකි භාවයත් පිළිබඳව ඊර්ෂ්‍යා සහගතව බුදුන් පර්වශයෙහි ක්‍රෝධ සිත් ඇත්ව සිටි බහිර්ශීල නම් වූ එක්තරා බ්‍රාහ්මණයෙක් වේදයන් කියවා මඳ ඉසිඹුලන ඇසිල්ලේ ආරාමයේ කවුළු තිර අතරින් බුදුන් දිටී. සතුරා දුටු ක්ෂණයෙන් ගිණිදළු ලා සිරුර වෙලාගත් ක්රෝධයෙන් අනූනව මෙකී බ්‍රාහ්මණයා වහා මාවතට පිළිපන්ව බුදුන් මග අවුරා බුදු නෙතට මුහුණ ලා සිට හොත්තේය.

තම ගමන ඉදිරියේ අදිසියේ පහළ වූ රූපකාය දෙස නොබලාම ඒ පහළ වූයේ යහපත් අරමුණකින් නොවන බව වටහාගත් බුදුරජාණන් වහන්සේ ‘මොහු හා මුහුණ බැලීමෙන්ම අර්ථ විරහිත අගතියක්ම වේය’යි සිතා බහිර්ශීල බ්‍රාහ්මණයා මගහැරයාමට දකුණු පසට පා තැබූහ. එකෙණෙහිම බහිර්ශීලයාද ස්වකීය වම්පසට බරවී නැවත බුදුන් මුහුණ ලා ‍සිටියේය. එවිට බුදුන් තම වම් පසට හැරී නැවත බහිර්ශීලයන් මගහැරීමට තැත් දැරූහ. එකල්හි නැවතත් බහිර්ශීල තෙම බුදුන් අභිමුඛ වන ලෙසට තම දකුණු පසට බර වීය.

බහිර්ශීලයන්ගේ දුෂ්ට අභිප්‍රාය වූයේ බුදුන් හා ගැටුමක් නංවා තම වේද දැනුමින් බුදුන් පරාජය කොට මාවතෙහි යනෙනා මගීන්ගෙන්ද දුෂ්ට බස් අසවන්නට සලස්වා උන් අතර බුදුන් අවමානයට පත්කරලීමටය. එහෙත් ඉවසිලිවන්ත වූ බුදුරජාණන් වහන්සේ ඉදිරියෙහි ගොඩනැගෙන්නේ තේරුම්සහගත කිසිවක්ම නොවන බව වටහාගත්තේ බහිර්ශීල මගහැරයාමටම තැත් දැරීය. අවසන බහිර්ශීල බ්‍රාහ්මණයා බුදුරජාණන් වහන්සේගේ උරයට තම අත ගසා තදින් තෙරපා උන්වහන්සේ නවතාලීය.

“වහසි බස් දොඩන ශ්‍රමණය, මා හා සම්මුඛ වන්නට මැලි වන්නේ කිම්ද? තට එතරම් කඩිනමක් කිමද?”

බහිර්ශීලයා ගුගුරාලීය.

“පින්වත් බ්‍රාහ්මණය, මා කුසගිනි නිවාගනු පිණිස යමක් සොයාගැනීම පිණිස පිණ්ඩපාතයෙහි වඩින්නෙමි. තොපට අවැඩක් වන කිසිවක් මා සිදුකර නැති බව තොප දන්නවා ඇත. මාගේ මග අවුරන්නේ කිමද?”

බුදුරාජාණන් වහන්සේ කරුණා වදන් බහිර්ශීලයන් වෙත මුදාහල සේක.

එහෙත් බහිර්ශීල බ්‍රාහ්මණ තෙම කිසිවක් අත්හැර දැමීමට සූදානම් වූවෙක් නොවේ. වේද ශාස්ත්‍රය සමගින් තර්ක ශාස්ත්‍රයද ඔහු මැනවින් ප්‍රගුණ කර සිටියෙකි.

“මා හට අවැඩක් සිදුකළ බව ‍තොපට සිහි නොතිබුණාට කලයුත්තක් මට නැත. තා තාගේ වහසි බස් දෙඩීම ඇරඹූ දා පටන් කළේ මා හටත් මාගේ දහමටත් නින්දාවක්මය.”

“බ්‍රාහ්මණය, මා ඔබටවත් ඔබගේ දහමටවත් නිගරුවක් කියා නැත. මා හුදෙක් මවිසින් ගවේෂණය කර සාක්ෂාත් කරගත් කාරණා ගැන පමණක් දේශනා කරන්නෙමි. තොපගේ දැනුම අනුව තොප මාගේ වහසි බසට කන් යොමුකරවූවා නම් තොපගේ බුද්ධි මහිමය අනුව තොපටම එය අවබෝධ වී ද තිබිය යුතුය.”

බහිර්ශීලත් බුදුරජාණන් වහන්සේත් අතර ඇතිවෙමින් පවතින වාදයට යොමුවෙනු වස් ආරාමයේ හුන් බහිර්ශීලයන්ගේ ගෝල බ්‍රාහ්මණයෝ පිරිසක්ද බහිර්ශීල අසලින් පෙළගැසී සිටගති.

“තගේ වහසි බස් තා තියාගනුව. තා මේ නගරයේ වැසියන් මුළා කරන්නේය. සිටාණන්ද මහ රජුන්ද රවටා අනුග්‍රහ ලබන්නේය. උන් අප කුලය කෙරේ බිඳවන්නේය. අප හට උවටැන් කල වැසියන් මුළාවෙන් වශී කර උන්ගේ උවටැන් ලබන්නේය.”

“බ්‍රාහ්මණය, මා කිසිවෙකු රවටා නැත. උවටැන්ද යැද නැත. ප්‍රභූ හෝ වේවා දිළිඳු හෝ වේවා මට එහි දුහුවිලි පිඩක් බඳු වූද වෙනසක් නැත. මාගේ ධර්මයේ අර්ථයක් දැක ඉන් තම ජීවිතය ආලෝකමත් කරගත්තෝ මා හටත් මාගේ ධර්මයටත් සඟරුවනටත් අනුග්‍රහ දක්වන්නෝ වෙති. මා ඒ කිසිවක් සඳහා යදින්නෙකු නොවේ. මා ඒ මත යැපෙන්නෙක්ද නොවේ...”

බුදුන්ගේ කරුණා වදනත් බහිර්ශීලයන්ගේ ගොරහැඬි භාෂිතයත් කරණ කොටගෙන සිය ගණනක් ජනයා මේ අවනඩුව වටා රොක්වන්නට විය. ඇතැමුන් බහිර්ශීල වෙත පක්ෂවද ඇතැමුන් විපක්ෂවද උනුන් අතර රහසින් හේතු මුමුණන්නට වූහ. වැසියන් ඇතැමෙක් උපේක්ෂා සිතින් නිහඬව සවන් යොමු කල අතර බුදුන් සරණගොස් හුන් ඇතැමුන් බුදුන් තෙපලන වදනක් පාසා සාධුකාරය දෙන්නට විය. සහය පල කරන්නට වූ ඇතැම් පිරිසක් බහිර්ශීලයා සහ බුදුන් වහන්සේ විසින් දොඩන වදනක් පාසා ඔල්වරසන් දෙමින් කෑ ගසන්නට වීය.

රැස්වී සිටි වැසියන්ගෙන් ‍තමා වෙත ලැබෙන උත්තේජයෙන් ප්‍රාණවත්ව ඔද වැඩී බහිර්ශීල තෙම ගුගුරන්නට විය.

“තාගේ කෙරුම් ගැන තා එසේ කීවාට සැබෑව ලොව දනී. තා මේ දනව්වට නිග්‍රහයෙකි. අපගේ පුරයෙන් තා නෙරපිය යුතුය. එතැනින් නොනැවතී තා මේ දේශයෙන්ද පිටමං කල යුතුය.”

“එසේය... නිවට ශ්‍රමණය... තා මේ දේශයේ මායිමෙන් පිටමං කල යුතුය. තා මේ දේශයටම නින්දාවකි. දේශයට මුළාව වගුරුවන බරකි.”

“ලොව ඇරඹි දා පටන් ලෝ වැසියන් අර්ථයෙන් පෝෂණය කල අපගේ වේදයන් තා හෙළාදකින්නේය. තාගේ මුග්ධකම ඉන්ම ප්‍රදර්ශණය වන බව නොපෙනේද? තා අපගේ පාරම්පරික දැණුම පාගා ඒ මත සිට මුසාවාද පතුරුවන අධමයෙකි. වහා මෙරටින් පිටවෙව.”

“මෙතුවක් අපගේ ශාස්ත්‍ර ඇසුරෙන් උපදෙස් ලබා රට පාලනය කල රජුන්ද මේ වහසි බස් දොඩන්නා විසින් මුලාවේ හොවා ඇත. මෙතුවක් සාමයෙන් පැවතුණු දේශය තොපගේ මුසා කියුම් වලින් බෙදී වෙන් වී යන්නේය. තා වහා මෙරටින් පිටමං කල යුතුය.”

බහිර්ශීලයන්ගේ ගෝල බ්‍රාහ්මණයන්ද වාදයට එකතු වී බිරුසම් දෙන්නට විය.

බ්‍රාහ්මණයන්ගේ කෑ ගැසීම විසින් වාදය කෙමෙන් අරගලයක් බවට පත් කල අතර වටකොට සිටි ජනයා අතරින් සියුම්ව ඇරඹි වාග් හරඹය එකිනෙකා පොරබැදීමක් බවට පත් වීය. බුදුන් හා බහිර්ශීල වටා හුන් සාමාන්‍යය ජනයා දෙපිරිස එකිනෙකා අවුළුවා පොරයෙහි යෙදුණු අතර ඉන් ඔද වැදුණු බ්‍රාහ්මණ ගෝල පිරිසෙහි නොදැමුණුන් කීප දෙනෙක් බුදුරජාණන් වහන්සේ තෙරපාලීමටත්, පොළොවේ පෙරළාලීමටත් උත්සාහ ගති.

එහෙත් එම ස්ථානයෙහි රැඳී සිටි විහාරය අසල මාවත් පිරිසිදු කරන බුදුන් දහම් අසා පැහැදී හුන් කම්කරු පිරිසක් බුදුරජාණන් වහන්සේ වට‍කොට උන්වහන්සේ බ්‍රාහ්මණයන්ගේ ග්‍රහණයෙන් මුදවා පසෙක වූ ගසක් මුලට කැඳවා ගෙන ගියෝය.

මෙකෙණෙහිම මාවතේ දුහුවිලි අවුස්සමින් අනේපිඬු සිටු වාසල ප්‍රධාන සෙනෙවියා ප්‍රමුඛ අසරුවන් පිරිසක් පවන් වේගයෙන් එම ස්ථානයට පැමිණියෝය. වහා ගැටුම් නතර කල ජනයා රක්ෂා ස්ථාන කරා පසුබෑ අතර ගැටුමට මුල් වූ අන්ත පාක්ෂිකයන් කිහිප දෙනෙක් පමණක් බහිර්ශීල ප්‍රමුඛ බ්‍රාහ්මණයන් වටා රැඳී සිට අවසන් මොහොතේ හිස් ලූ අත දිව ගියෝ බහිර්ශීල ස්වකීය ගෝලයන් සමගින් තනිව සිටගති.

සිටු ආරක්ෂකයන් බහිර්ශීල හා උහු ගෝලයන් වටකොටගත්තේ වහා උන් බිම දණ ගැස්වීය. ප්‍රධාන සෙනෙවියා බුදුන් අසලට ගොස් වැඳ වැටුණේය.

“ස්වාමීණී, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේට මිසදිටුවන් අඩන්තේට්ටම් කරන බව වාත වේගයෙන් වාසලට සැලවීය. අප මහසිටුතුමා කෝපයෙන් සැලෙයි.”

“සෙනෙවිය, සිටුතුමාවත් ඔබවත් කවුරුන්වත් එසේ කෝප වීමට අවශ්‍ය නැත.”

බුදුරජාණන් වහන්සේ ‍බිනීය.

“බහිර්ශීල සහ ගෝලයන් තම නොදැමුනු බව පෙන්වාලූවා පමණයි. ඔවුන් මට හානියක් කළේ නැත. මා ගතේ එක් සීරීමකුදු රහිතව රක්ෂා සහිතව සිටින බව සිටුතුමා වෙත සැල කරන්න.”

“එසේය ස්වාමීනි, එහෙත් මේ නීචයන්ට දඬුවම් පැමිණවීමට අපහට අණ ලැබී තිබේ. ඔබ වහන්සේගේ අවසරය සහිතව මම මුන් කුදලා වාසලට ගෙන යමි. අවසර ස්වාමිනි...”

ප්‍රධාන සෙනෙවියා නැගිට බහිර්ශීල ඇතුළු පිරිස යදම්ලෑමට අනෙකුත් ආරක්ෂකයින්ට සන් කළේය.

“නවතින්න සෙනෙවිය...”

බුදු රජාණන් වහන්සේ ඉදිරියට විත් ආරක්ෂකයන් වලකාලීය.

“මාගෙන් අයෙකුට දඬුවම් පැමිණවීමට අවසර ඉල්ලීමට තරම් සිටුතුමා මා කෙරේ අව‍බෝධ හීන වීද? මොවුන්ට දඬුවම් දීමට අවසර මාගෙන් ලැබෙන්නේ නැත. මොවුන්ව නිදහස් කරන්න.”

“එහෙත් ස්වාමිනි, මොවුන් ඔබතුමාට කෙනෙහිලිකම් කළෝය. ප්‍රසිද්ධියේ ඔබ වහන්සේට නිග්‍රහ කළෝය. අවමානයට පත් කළෝය. මොවුන් යළි එවැන්නක් නොකිරීම පිණිස දඬුවමට ලක් කල යුතුයි...”

“නැත සෙනෙවිය. වෛරය සන්සි‍ඳෙන්නක් නොවේ. වෛරය මාගේ දේශනයෙන් ඉවතහල යෙදුමකි. මා ඒ වෙනුවට මොවුන් වෙනුවෙන් මෙත් වඩමි. මොවුන් මුදා හරින්න. ඔවුන්ට නියමිත දණ්ඩනය ඔවුනගේම කර්ම ශක්තිය අනුව ලැබෙනු ඇත.”

“නැත ස්වාමිනි, ‍අප හෝ මෙම කම්කරුවන් මෙහි නොවන්නට මොවුන් ඔබවහන්සේට තුවාල සිදු කරන්නටද ඉඩ තිබුණා. ඔබවහන්සේගේ ජීවිතයට පවා අනතුරක් කරන්නට ඉඩ තිබුණා. මොවුන් ඒ වෙනුවෙන් වන්දි ගෙවිය යුතුයි”

“ඔබ පවසන අයුරු මාගේ කර්ම ශක්තිය අනුව මා මෙතැනදී බහිර්ශීලයන් අතින් පිරිනිවන් පාත්‍ර වූවා නම් සහ එය වැළකීමට කිසිදු ක්‍රමයක් නොවූවා නම් එය එසේ සිදු විය යුතු වූවක්. එහෙත් එය එසේ සිදු වූයේ නැත. එසේ හෙයින් උපකල්පිත අපරාධයක් හේතුවෙන් මොවුන්ට දඬුවම් දීමට අවශ්‍ය වන්නේ නැත. මට අහිමි මා ගැන මා කරදර වන්නේ නැත. මාගේ ධර්මය ලෝවැසි සියලු දෙනාටම මෛත්රි ය වැඩීම මත පදනම් වූවක් වන්නේ එලෙසයි. ඔබට මා යම් පමණකින් හෝ අගයක් වේ නම් වහාම මොවුන් නිදොස් කොට වාසලට පිටව යන්න.”

බුදුරජාණන් වහන්සේ නිගරුවට ලක්වන බව සවන් ලූ ඇසිල්ලේ සිට උණුසුම්ව හුන් ප්‍රධාන සෙනෙවියා බුදුන්ගේ මෙම වදනින් සිසිලසට ලක්වීය. හෙතෙම නැවතත් බුදුන් වහන්සේ වන්දනා කළේය.

“ස්වාමීනි, ක්ෂමා කළ මැනව. ඔබ වහන්සේ කෙරේ ඇති අපමණ භක්ත්‍යාදරය හේතුවෙන් මා හට ඔබවහන්සේගේ ධර්මය අමතක වී ගියේය. අප මහ සිටාණන්ද මෙවෙලේ ඇත්තේ එලෙසින්මය. ඔබට සිදුවූ ගැහැට සවන් වැටුණු ක්ෂණයෙන් බහිර්ශීල බ්‍රාහ්මණයා තලාපියා දඟගෙට යැවීමට එතුමා ගුගුළේය. අප කෙරේ අනුකම්පාවෙන් වාසලට වැඩම කර අප මහ සිටාණන් කෝප සිඳනු වස් එතුමාණන් වෙත ධර්ම දේශනා කළ මැනව.”

“එසේය සෙනෙවිය. මා විහාරයට වැඩම කර දන් වළඳා සවස් යාමයේ වාසල වෙත පැමිණෙන බැව් ඔබ දැන් පිටව ගොස් සිටාණන් වෙත සැලකරන්න.”

ප්‍රධාන සෙනෙවි ඇතුළු ආරක්ෂක පුරුෂයන් බුදුන් වහන්සේ එම ස්ථානයෙන් නික්මෙන තුරු බහිර්ශීල ඇතුළු ගෝල පිරිස රැකවල් ලීමට සූදානම් විය. බුදුන් බහිර්ශීල දෙසට අවධානය යොමු කල සේක. බහිර්ශීල තෙම බිම වැටී දුහුවිලි වැකී මුඛයෙන්ද හුස්ම පිඹිමින් හුන්නේය. ආරක්ෂකයින් ඔහු හා ගෝලයන් වටකොට සිටගෙන සිටියෝය.

“බහිර්ශීලය... මා කිසිවකුට අයිති නැත. අවම ලෙස මා මටද අයිති නැත. එබැවින් මා හට තැවෙන්නට කිසිවක් නැත. මගේ ධර්මය ප්‍රකාශ කිරීමේ කුසලතාව මා වඩා තිබුණද ධර්මය මාගේ යමක් නොවේ. එය ස්වභාවධර්මයේ ඇති සත්‍යය මාගේ දැණුමින් හා විග්‍රහයෙන් ප්‍රකාශ කිරීමක් පමණි. මා හට අයත් වූවක් නොවේ. සත්‍ය වශයෙන්ම එයද පරම සත්‍යය වන සියල්ලෙහි ඇති නැසෙනසුළු භාව ප්‍රකාර වූ ස්වභාවධර්මයාගේ අර්ථයන්ට යටත්ව කලෙකදී නැති වී යන්නකි. ‍එහෙයින් මා ඒ ගැනද නොතැවෙමි. ඔබම මොහොතකට පෙර ප්‍රධාන සෙනෙවි තෙම කෙරෙන් දුටු ලෙස භක්තියෙන් අන්ධ වූ කළ ධර්මය නොපෙනී යයි.

ඔබ ඔබගේ ධර්මය බදා වැළඳ සිටියි. ඊට භක්තිමත්ව සිටියි. එහෙත් එතුළ ඇති හර ඔබට නෙපෙනී ගොස් ඇති සෙයකි. ඔබ ඉන් ඉගෙන නොගනී. එය නැතිවේ යැයි බියෙන් සිටී. සදාකල් එය රැක්මට හැකැයි සිතා එය ආරක්ෂා කරයි. එහෙයින් එය අන් ධර්මයන් කෙරේ වෛරයම පතුරුවයි. අන් ධර්මයක් ඔබේ සතුරකු කරගනියි.

ඔබ අවබෝධ කටයුත්තේ සදාකල් පවතින්නක් නොමැති බව නොවන්නේද? එසේනම් හැකි තරම් යහපත් වීමට ක්‍රියා කරනු විනා කළ හැකි අන් යමක් වේද? යහපත් වූ අදහස් ගොන්නක් වෙත භක්ත්‍යාදරය පාමින් එම අදහස් සුරකිමින් එහෙත් එය අමතක කර එයට විරුද්ධ සෑම දෙයක්ම විනාශ කරන්නට යාමෙන් ඔබේ වෘතය ආරක්ෂා වේද? ඔබට සිතන්නට ඇති ඉඩ බොහෝමයි බහිර්ශීලය...

මාගේ ධර්මයේ වෛරය නැත. එහි ඇත්තේ හුදෙක් මෛත්‍රිය පමණි. එහෙයින් ඔබටද මාගෙ මෛත්‍රිය හිමිවේ. ඔබ මගේ සතුරකු නොවේ. යන්න. නැගිට ගොස් හොඳින් ස්නානය කර පිරිසිදු වී ඔබගේ අද දවස නැවත විමසීමක යෙදෙන්න. ඔබට ඔබවම ගැටලුවක් වන ඕනෑම මොහොතක මා ඔබට උදව් කිරීමට සූදානම්...”

බුදුරජාණන් වහන්සේ බහිර්ශීල වෙත දීර්ඝ ලෙස අවවාද කොට නැවත ශාන්තව පිණ්ඩපාතයෙහි වැඩීම පිණිස නික්ම ගිය සේක.

බහිර්ශීල බ්‍රාහ්මණයා ආරක්ෂකයන්ගේ දෙපා අතරින් පෙනෙන සන්සුන් ගමනින් ඉවතට වඩින බුදුන් දෙස දෑස් අයා සිටියේය.

විකල්ව ඇවිස්සී ඒ මේ අත විසිරී තිබූ තම සිත තුළ මහා සැනසීමක සලකුණු කෙමෙන් පහළවන බැව් ඔහුට දැනෙන්නට විය.