යාන්තම් ආදරය යන වචනය කුණුහරුපයක් නොවන තරමට මුහුකුරා ගිය අවදියේ පටන් සිත තුල පමණක් ඵල නැගුණු ඒක පාර්ශවික ආදර කතන්දර ගණනාවකට පසු මම එහි ඊළඟ පියවර තැබුවෙමි.
සියල්ලටම හැකිතාක් විද්‍යාත්මක පැහැදිලි කිරීම් බලාපොරොත්තු වූ මා ආදරයටද විද්‍යාත්මක පැහැදිලි කිරීමක් සෙව්වෙමි. බොහොම පසුකලෙක ගැහැණිය විද්‍යාවට හසු නොවන මානයේ පවතින්නියක් බවත් පිරිමි ආදරය හා ගැහැණු ආදරය දෙයාකාර විය හැකි බවත් තේරුම් ගතිමි. ඇතැම් විට ඒ වන විට මා ප්‍රමාද වී සිටියා වැඩිද යන්න කීමට මා තවම ඉක්මන් වැඩිය.
සුභාවිත ඇසුරු කර හිස් මුදුනේ තබා සිටි 'ආදරය රාගයෙන් තොරය' යන උපදේශය අහඹු, අසාර්ථක, හුදකලා තත්පර කීපයක් තුල ඈ තුරුල් කරගත් මොහොතක යට කලිසම තෙත් වූ දා මුසාවක් ලෙස පුස් වී විනාශ වී ගියේය. ආදරය රාගයෙන් වෙන් කල නොහැක්කකැයි එදින සිට මා වටහා ගතිමි. එසේ වන්නේ කෙසේද යන්න පිලිබඳ කුතුහලයෙන් එදින සිට මා ආදරයට සමීකරණ සොයන්නට පටන් ගත්තෙමි.
මූලික රසායනය වැනි පාඩමක විද්‍යුත් චුම්භක වර්ණාවලිය පෙන්වනවාක් මෙන් ඍජු දණ්ඩක් ඇඳ එහි දෙකෙලවර sex සහ soul ලෙස නම් කලෙමි. එක් කෙළවරක් රතු වර්ණයෙන්ද අනෙක් කෙලවර නිල් වර්ණයෙන්ද සංතෘප්තය. දණ්ඩේ එක් කෙලවරක සිට එහි අනෙක් කෙලවරට එම වර්ණ දෙක ක්‍රමයෙන් තුනී වී යයි. දණ්ඩ මැදදී වර්ණ දෙකම සම ඝනත්වයෙන් යුක්තය. සැබෑ ආදරය ඇත්තේ දණ්ඩේ හරි මැද බව මා ඊ තලයක් ගසා නම් කලෙමි. එම සටහනේ පිටපතක් එවක පිටු ගණන් ලියූ ලිපියකට ඇතුලත් කර ඇයට දුන්නෙමි.
ඒ ආදරය බීදී ගියේ ඒ පඬිකම් නිසා නොවේ. තවත් සැලකිය යුතු කලකට පසු කරන්නට යෙදුනු සැලකිය යුතු වෙනත් පඬිකම් හේතුවෙනි.
එය එවැනි රූප සටහන්ද සහිත පඬිකමක් කල පලමු හා අවසාන අවස්ථාව විය. ඉන්පසු ජීවිතය තුල විවිධ පිටු පෙරලුනු අතර ඒ ඒ පිටු අතර නොයෙක් වර්ගයේ ආදර කතා අත්දුටුවෙමි. ඒ එක් එක් ආදරයන් තුල ඊටම අනන්‍ය වූ සුවිශේෂකමක් සමග ඉතාම පොදු සාධකද ගණනාවක් ඇති බව දුටිමි. ආදරයට එකම රූප සටහනක් සැකසීමේ මගේ උවමනාව ක්ෂය වී ගියේය.
එහෙත් ආදරය යන්න තේරුම් ගැනීමේ නොඑසේ නම් එයට නිර්වචනයක් ලබා දීමේ වෑයම අත්හැරීමට හේතුවක් එවකට මට නොතිබුණි. ආදරය තුල දැනෙන සියල්ල 'machine' යන අදහසට ඇති නිර්වචනය මෙන් වචන ගණනාවකින් යුත් වාක්‍යයක් තුලට බහාලිය හැකි බවට මම විශ්වාස කලෙමි. ඒ මා ය. ඉතා සෙමෙන් පරිණාමයට ලක් වෙමින් නොයෙක් අතුරු මාවත් ඔස්සේද ගමන් කල මා ය.
කෙසේ වුවත් ආදරය යනු සියලු වර්ගයේ භෞතික මිනිස් බැඳිම්වල නරුමකම් වසාලීමට ශිෂ්ඨත්වය තුල උපත ලබා දුන් හැඟීමක්ය යන්න දැනටත් මම විශ්වාස කරන ආදරයේ නිර්වචනයකි.
පේන විධියට මා එතරම් පරිණාමය වී නැත. බිරිඳ යස අගේට විග්‍රහ කරන පරිදි මා සියල්ල පැහැදිලි, සියල්ල මනාව අර්ථ දැක්වුණු, අහම්බයක් හෝ පොලාපැනීමක් නැති ස්ථාපිත වටපිටාවක් තුල මාගේ සුව පහසු කලාපය ස්ථාපනය කරගෙන සිටින්නෙකි. ඇත්තෙන්ම එම කලාපයෙන් පිට මා ස්ථානගත විය හැක්කේ කොතැනකදී ද යන්න මා සිතා නැත. එය සිතීමම භයංකරය. මාගේ සුවපහසු කලාපයෙන් පිටතට එන්නට මට බල කරන්නන් පරිස්සම් විය යුතුය. කෙසේ වුවත් ඕනෑම මිනිසකුගේ සුව පහසු කලාපය ඔහුටත් වඩා ඔහුගේ බිරිඳ දන්නා බව නම් සහගහන ඇත්තකි. එය බොහෝ සැමියන් දන්නේද යන්න නම් සැක සහිතය.
එහෙත් ආදරය යනු පරිණාමය වන්නකි. එය නිතර බිඳෙමින් නැවත ගොඩනැගෙමින් කඳුලු සහ සිනා අතර එයට හිතුමතේ ජීවිතයක් එහෙ මෙහෙ යවමින් පරිණාමය වන්නකි.
එසේ පරිණාමය වන ආදරයක් කාලාන්තරයකදී ආදරය කරන්නා තුල තැන්පත් වේ. එය හදවතට, මොළයට, සිරුරට උරා ගනී. සියලු ශාරීරික සීමා අභිබවා පැලපදියම් වේ. දීර්ඝ කාලයක් පවතී. ලෝකයට බොරු කරමින් සිනා නොවුවද එකිනෙකා දෙස බලා ජීවිත කාලයක් සිනාසෙන බොහෝ යුවතිපතීන් ආදරයේ ඒ අඩියේ තැන්පත් වූ රසය විඳින්නෝය.
ඒ පාඩම මට කියා දුන්නේ මාගේ විවාහය පිලිබඳව කරන ලද පූර්ව සාකච්ඡාවකදී මාගේ පොඩි මාමා විසිනි. ආදරය යනු ඔය දැන් දැනෙන එකම නොවන බවත්, පවුලක් වීම තුල එයට අලුත් අර්ථ ලැබෙන බවත් ඔහු පැවසීය. ගෑණි මහත් වෙනවද, කොණ්ඩෙ ඉදෙනවාද, පඩ අරිනවද, රෑට ගොරවනවද, කට ගඳද වගේ ඒවා ගණන් නොගන්න මට්ටමක් දක්වා ආදරය ගමන් කරන බවත්, දිවි හිමියෙන් කැපවීම දක්වාත් ඉන් ඉදිරියට සියලු කොන්දේසි අභිබවමින් උත්කර්ෂය දක්වාත් ආදරය ගමන් කරන බව ඔහු කියා දුන්නේය. මව්පියන් තම දරුවන්ට දක්වන්නාක් මෙන් කොන්දේසි විරහිත අපිරිමිත ආදරයක් දක්වා එය ගමන් කරන බවත් ඔහු තමන්ගේ වචනවලින් කියා දැම්මේය.
මා එය අත් විඳිමින් සිටිමි. අවම වශයෙන් එහි බෝතලය අරින ශබ්දය මම රස විඳිමි. බෝතලය රස විඳින්නට ලැබේවායි ඉත සිතින් බලාපොරොත්තු දල්වා සිටිමි. හිත තුලට කිඳා බැස ඇති ආදරය විවිධ වර්ණයෙන් දිදුලනු අත් විඳින්නට පෙරේතකමේ සිටිමි.
ඇය කෙරෙහි මා තුල අපිරිමිත ආදරයක් පවතින බව මම දනිමි. එය ඇයටම පමණක් විවරව මියෙනා තෙක් පවත්වාගන්නට මට ආත්ම විශ්වාසයක් පවතින බව මම දනිමි. මෙලෙස ලියා දමනවාට වඩා වෙනස් කිසිදු ක්‍රමයකින් ඒ බව ප්‍රකාශ කරන්නට මට නොහැකි බව මම දනිමි. එය දැනෙන්නට හඟවන්නට, බෙදාගන්නට හෝ ඒ මත නැහෙන්නට තියරටිකල් පඬියකු වන මා අසමත් බව මම දනිමි. ඒ සඳහා මා දන්නා ක්‍රම අල්පය. සිතා මතා වචන තෝරා ජීවිතය ගැන මෙසේ සටහන් ලියූවද ඇත්ත ජීවිතය තුල වචන මුමුණද්දී මා ඉතා රළුව අමු වචනයෙන් සියල්ල එකවර කියන්නට ගොස් අනාගන්නෙක් වෙමි. වචනවලට අයිසින් දමා කියන්නට දන්නා චාටු කතාකාරයෙක් නොවීම නිසාම අහිමිව ඇත්තා යැයි මා සිතන බොහෝ දේවල් අතරට ඈ අයත් නොවීම මාගේ වාසනාවකි. අඩු තරමින් මම එසේ විශ්වාස කරන්නට කැමැත්තෙමි.
මන්ද ආදරය ඒක පාර්ශ්විකය. එසේය. කෙතරම් හිත රිදවනසුලු වුවත් ආදරය ඒක පාර්ශ්වික වීම වැලැක්විය හැක්කක් නොවේ. ඇවටාර් චිත්‍රපටියේ ජීවීන් සතු වනවා මෙන් ස්නායු පද්ධතිය එක් කරන ජෛව සම්බන්ධයකින් තොරව ආදරය ද්වි පාර්ශවීය ද යන්න සොයත හැකි අන් ක්‍රමයක් නැත. ආදරයක් නොහැඳිනූ, ගොරෝසු කැලෑවෙන් එලි බැස ශිෂ්ඨ වී ආදරයට වහල් වූ මිනිසා ලද සාපය එයයි. හුදෙක් වචනයෙන් කියනා, චුම්භනයෙන්, ලිංගික ආලෝලනයෙන් දැනෙනා, හැඟෙනා, ලැබෙනා සියල්ල සැබැවින්ම ආදරය නිසා හටගත්තේ දැයි සොයාගැනීමට ක්‍රමයක් නැත.
එහෙයින් ආදරය 'විශ්වාසය' නම් වචනයෙන් අදහස් කරන කොන්දේසි ගොන්නක්ද සමග එන ටෝටල් පැකේජයක් ලෙස බාරගැනීමට මිනිසාට සිදුව ඇත. ආදරය හුදෙක් ආදරය මතම නොරැඳී වෙනත් අටමගල් ඔස්සේද කිරා මැන ගන්නට මිනිසාට සිදුව ඇත.
ආදරය ඒ තුලම සාපයක් වන්නේ එහෙයිනි.
No comments:
Post a Comment
මං ඔයාගෙ එකේ බයිල ගහන නිසාවත් ඔයා මාව දන්න නිසාවත් නෙවෙයි. මගේ වමනෙ පාර දැකල ඔයාලටත් වමනෙ යන්ඩ වගේ එනවනම් විතරක් මේ කොමඩ් එකට දාන්ඩ!