Tuesday 22 February 2011
තීන්ත බාස්
තීන්ත බඳුණට වැටුණු කෘමියා ඒ මේ අත දඟලන්නට විය. මම වහා බුරුසුව පැත්තකින් තබා දබරඟිල්ල තීන්ත බඳුණට ඔබා කෘමියා එලියට ගත්තෙමි. එහෙත් තිනර් යොදා තනුක කල එනැමල් තීන්ත ද්‍රාවණයෙන් ඌට ගැලවීමක් පෙනෙන්නට තිබුණේ නැත. තීන්ත සීරැවෙන් කෘමියාගේ සිරැර වසා පැතිරී ඌ වර්ණ ගැන්විණි.
මොහොතකින් උගේ දැඟලිල්ල නතර විය. ඌ මට සිතාගතවත් නොහැකි මරණයකට ගොදුරු වී ඇත. ඇඟිල්ල ඒ මේ අත හරවා හොඳින් බැලූ විට කෘමියා මදුරුවෙක් බව පෙණුනි. වෙනදාට හොඳින් දැකිය නොහැකි ඌ ලේ උරා බොන කීලය ලා කොළ පැහැයෙන් වර්ණවත්ව හොඳින් පෙණෙන්නට තිබුණි. පිහාටු යුගල එනැමල් තීන්තෙන් එකට ඇලී දිස් විය. අඬු සහිත සිරුරේ ඉතිරි කොටස ඇඟිල්ල මත තීන්ත ගුලියකින් ඇලී තිබුණි.
මගේ සිතේ සියුම් දුකක් මතු වී එන්නට විය. මම වෙනදාට මදුරුවන් සිත්සේ මරුමුවට යවා ඇත්තෙමි. ඇඟේ වසා ලේ උරා බොන විටදීද, මදුරු දැල තුලට සිදුරකින් රිංගා නැවත පිටවීමට නොහැකිව පසු දින උදෑසන තෙක් රුඳී සිටි අවස්ථා වලදීද මම කිසිදු හැඟීමකින් තොරව උන් අත්ලෙන් තලා ඇත්තෙමි. මදුරු කරදරය දැඩි කාල වලදී කාමරයේ අහුමුළු වල එල්ලී සිටි මදුරුවන් බිත්තියට අත්ලින් ගසා පොඩි කල සලකුණු අද ද මාගේ කාමරයේ දකින්නට ඇත.
එහෙත් තීන්තෙන් පෙඟී මියගිය මදුරුවා මා තුල දුකක් ඇති කර ඇත.
......................
තාත්තාගේ අභාවයේ තෙමස් පූර්ණ දානමය පිංකම වෙනුවෙන් නිවසේ තීන්ත ආලේප කරන්නට උවමනා වූයේ අම්මාටය. අප නිවස අවුරුදු දහයකින් මෙපිට වර්ණ නොගන්වා දුර්වර්ණ වී තිබූ බැවින් එම අදහසට පවුලේ සියළු දෙනා විවාදයකින් තොරව එකඟ විය. මා තීන්ත උලන්නකු බවට පත්වූයේ එහි ඇවෑමෙනි.
නිවස තුල බිත්තිවල වර්ණ ආලේප කල පසු මම ජනෙල් රාමුවල ආලේප කරන්නට ගෙනා එනැමල් තීන්ත ආලේප කරමින් සිටියෙමි.
තාත්තා පසුගිය වසර කීපයේම නිවසේ තීන්ත ආලේප කරන්නට උනන්දු වූයේ නැත. ඒ පිළිබඳව අම්මා මැසිවිලි නැගූ හැම මොහොතේම 'වැඩ වැඩි කරගන්න එපා' යයි කියමින් තාත්තා එම අදහස ඉවත හෙලීය. නිවසේ වර්තමාන තීන්ත ආලේපය ප්‍රමාණවත් බවත් අනුන් කරන පලියට වසර දෙක තුනක විරාම සහිතව නැවත නැවත තීන්ත ආලේප කිරීම අනවශ්‍ය බවත් තාත්තා පැවසීය. එහෙයින්ම වැඩ වැඩි කර ගැනීමට කිසිසේත්ම කැමති නොවූ මා ද තීන්ත ආලේපය පිළිබඳව උනන්දු වූයේ නැත.
එහෙත් අවසානයේ තාත්තා විසින්ම නිවසේ තීන්ත ආලේප කරන්නට හේතුවක් සපයා දී ඇත.
ඔහුගේ නික්ම යාමේ තෙමස් පූර්ණ පිංකම සඳහා ඉතිරිව ඇත්තේ සතියකට මදක් වැඩි කලකි. සියල්ලෝ ඊට සූදානම් වූයේ බොහොමත්ම සැදැහැවත් සිතකිනි. ධර්ම දේශණයට පෙර, නිවසේ සූදානමේ සිටම දානමය පිංකම අවසානය දක්වාම සියල්ල සැලසුම් වූයේත් ඒවාට අදාල දින වකවානු වෙන් වී වගකීම් බෙදී ගියේත් වසර ගණනාවකින් අප නිවසේ පැවැත්වෙන පිංකම වෙනුවෙන් භක්තිමත් සිතිණි.
මා තවත් කීප දෙනෙකු හා එක්ව කල් තියා තීන්ත ආලේප කරන්නට වූයේ දින ආසන්නවත්ම වෙනත් රාජකාරි අධික වන හෙයිනි.
නිවසේ කවුළු වලට ඉහලින් තිබූ වා කවුළු තුල තීන්ත ආලේපයේදී මම ඒවා තුල බැඳ තිබූ කුඹලුන්ගේ මැටි ගෙවල් කීපයක්ම කඩා ඉවත් කලෙමි. ඒව ඉතා පැරණි වූ අතර මේ වන විට වාසස්ථාන වී තිබුණේ නැත. එබැවින් ඒවා විනාශ කිරීම පිළිබඳ වරදකාරී හැඟීමක් මට දැණුනේ නැත.
නිවස තුල මෙන්ම පිටතද බැඳ තිබූ මකුළු දැල් රාශියක් අම්මා විසින් කොස්සකින් කඩා ඉවත් කරන ලදී. කොස්සෙන් ඉවත් කිරීමට නොහැකි මුළු වල තිබූ සියුම් මකුළු දැල් තීන්ත ආලේප කරන අවස්ථාවේදී කෝටු කැබැල්ලක අමුණා ඉවතලන ලදී. මකුළුවන් කිහිප දෙනෙකුට වඩා මා නුදුටු අතර උන් ඇතැම් විට පැමිණෙන විපතේ සේයාව දැනී කලින්ම ඉවත්ව ගොස් සිටින්නට ඇත.
නිවසට පිටින් සහ ඇතුලතින් විහිදී තිබූ කුහුඹු මාවත් සහමුලින්ම විනාශ විය. ආලේපයට පෙර රෙදි කැබැල්ලකින් ගසා කුහුඹුවන් ඉවත් කලද ආලේපයෙන් පසු උන් ඒ මත ඇවිදින්නට යාමෙන් තීන්තෙහි ඇලී කණ්ඩායම් වශයෙන් මියගොස් සිටි අයුරු මම දුටුවෙමි. උන් මත ආලේප වන සේ නැවතත් බුරුසුවෙන් තීන්ත පාරක් යැවීම හැර වෙනත් විකල්පයක් තිබුණේ නැත.
......................
මම තවමත් මාගේ දබරඟිල්ල මත මියගොස් සිටි මදුරුවා දෙස බලා සිටින්නෙමි. මදුරුවා මහා ජීවිත සංහාරයක් පිළිබඳව මාගේ සිහිය අවදි කලද ඒ වෙනුවෙන් ඌට දිවියෙන්ම වන්දි ගෙවීමට සිදුවී ඇත. ආසන්නව ගත්කල ජීවිත සියයකට වැඩි ප්‍රමාණයක් මේ තීන්ත ආලේප සංග්‍රාමය නිසා විනාශ වී ඇත. නමුත් පිංකම පිළිබඳ හැඟීම බලවත් වී ඇති බැවින් එම ජීවිත සංහාරය පිළිබඳව අප සවිඥාණික වූයේ නැත.
දානමය පින්කමේ පින් බලය ජිවිත සියයක සංහාරය වෙනුවෙන් තුලනය වෙයිද?
මගේ මනස තෝන්තුවන්නට විය. කලාතුරකින් දැණෙන ආගන්තුක තැනක වෙසෙනවා වැනි හැඟීමක් මොහොතකට මට දැණුනි. වහා මේ සියල්ලෙන් පලායන්නට මට උවමනා විය.
මම දබරඟිල්ල මහපටඟිල්ලට තෙරපා දුන්නක් සේ බලය කවා නැවත ක්ෂණයෙන් විහිදා මදුරුවා කවුළුවෙන් පිටතට විසි කළෙමි.
රූපවාහිනී ප්‍රවෘත්ති විකාශයක හඬ මට ඇසේ. ඉන් කියවෙන්නේ පැවති අධික වර්ෂාවෙන් හා නාය යාම්වලින් අවතැන් වූවන් සහ මරණයට පත් වූවන් ගැන නවතම සංඛ්‍යාලේඛණ වාර්තාවය.
පින්තූරය මෙතනින්
Subscribe to:
Post Comments (Atom)
දානයක් දෙනවා නම් ඒ විදියට දෙන්න ඕනි.. ඔය විදියට සත්තු මරපු එක අපේ ආගමට කරන නිගාවක්! ඔහේලා බෞද්ධයෝද? මේ විදියට ආගම දහමට නිගා කරමින් අහිංසක සත්තු මරමින් දාන දීම ගැන මගේ බලවත් විරොධය.!
ReplyDeleteප/ලි:- ඒ වුනාට අපිත් සත්තු මරනවා හලො!
සිරාවට අපේ අතින් කොච්චරනම් සත්තු මැරෙනවද? මදුරුවෙක් ඇඟේ වැහුවාම අතකින් ඌව චප්ප වෙන්නේ අපිටත් නොදැනීමයි. අපි ඒ පව්කාර වැඩේට ඒ තරම්ම හුරු වෙලා. ඒත් නැත්තම් හොඳට එල්ලේ බලලාම මදුරුවා මරන්නේ ඌ අපිව කනකොට එන වේදනාවට ඌත් එක්ක තියන තරහට......
ReplyDeleteහිතලා කරපු දෙයක් නෙවෙයිනේ සහෝදරයා ඒකනිසා ඕක අමතක කරලා දාන්න . ජීවිතේ ඔහොම තමයි. මදුරුවාගෙත් එකයි මිනිහාගෙත් එකයි .
ReplyDeleteහැබැයි ඔයා නියමෙට ලියලා තියනවා. මෙන්න මේ විදිහට ලියන ඒව බලන්න මම කැමතියි ..
ඔය මදුරුවයි, මගෙයි සම්බන්දය බොහොම ඈතට යන එකක්. මට මතකයි ඒ කාලෙ එයා එනව කණ ගාව සිංදු කියන්න.පුරසාරම් කියනව නෙවෙයි, මං හරි දස්සයි, හඬ අනුව ප්‍රහාර එල්ල කරන්න. කු.....න්..කු..න්..ඤැක් ගාල සිංදුව මඟදී ඇණ හිටියා කියන්නෙ මගේ ප්‍රහාරය සාර්ථකයි කියන එකයි.
ReplyDeleteඔහොම හිටියට ඕකාත් බාස් කෙනක් තමයි. බාස් කිව්වට, වඩු බාස්, හැබයි වස කම්මැලියා. ඔය මහ දෙයියෝ කුරුල්ලන්ට ගොටවල් දීපු වෙලාවෙ, මදුරුවත් ගියාලු එයාගෙ හොට ගන්න. ගිහින් තියෙන්නෙ පරක්කුවෙලා. හුටා, යනකොට, බඩු ඉවරයිලු. මූත් ඇරියෙ නෑලු , දෙයියගෙ කණ ගාව කැරකි, කැරකි පටන් ගත්තලු සුපුරුදු අඳෝනාව "අපි ටිකක් පරක්කු වෙලා ආවොත් තමයි, කුඩම්මගෙ සැලකිලි...කූ....න්..කු..න්" කිය කිය.දෙයියට මල පැනලා, හොටවල් හදන්න අරං ඉතිරි වෙලා තිබ්බ, නියනක් මුගෙ කටේ ගැහැව්වලු. ඒ ගමන මු ආයෙ නාහෙන් අඬන්න තිබා ගත්තලු " හුහ්, නියනක් දුන්නෙ, මොකද්ද මේකෙන් ඇති වැඩේ අත කොලුවක් නැතිව" කියල. දෙයියා කිව්වලු" හා, උඹ ඒ ගැන කරදර වෙන්න එපා. ගිහින් නියන තියල බලාපන්කො, අතකොලු පාර එහෙන් හම්බු වෙයි"කියලා.
ප.ලි: ලොක්කා, අර "සඳමාලි" ගැන කතාවත් ලියමු නේද?
ජීවිත ගැන වෙලාවකට ගණනක් හිතෙන්නෙ නෑ.
ReplyDeleteවෙලාවකට අපිව සෑහෙන සසල කරවනව. විශේෂයෙන් සතුන්.
ඕක මම හිතන්නෙ අවස්ථාවට අනුව තමයි සිද්ධවෙන්නෙ.
දානමාන උත්සව වගේ දේවල් වලට සූදානම් වෙද්දි ඔයවගේ අද්දැකීම් වලට හෙනට මුහුණ දීල තියනව මමත්. අවුරුද්ද වගේ උත්සව වලට ගෙවල් කළඑලි කරද්දි තව ගෙවල් කීයක් නම් කඩන්න වෙනවද? තේරුමක් නැති විදිහට ජීවිත කීයක් නැති වෙනවද?
තේරුමක් නැති දෙයම තමයි තේරුම කියල හිත හදාගන්න බලපන්.
මට ඔය දාන කියන එකට හරිම වචනය හොයා ගන්න බැරි උනා තාම. කොටින්ම ඉස්සර මම ලංකාවට ආවම හැමදාම දානයක් දීලා පිරිතක් කියලා අපේ නෑයො පරම්පරාවටයි හිතවතුන්ටයි ගම්මුන්ටයි ඔය පිංකමක් කරන්න අපේ ගෙදර අය මාව යොදා ගත්තා. ඒත් එකම අසරණ මිනිසෙක්වත් ඒ දානෙට ආවේ නෑ. කන්න බොන්න නැති මිනිහෙක්වත් ආවෙ නෑ. කොටින්ම සිවුරු දාගත්තු පිරිසක් හා ඉහල පැලැන්තියේ පිරිසක් වෙනුවෙන් මේ කරන පිංකම මට හිතුනේ කරුමයක් වගේ.
ReplyDeleteඒත් පස්සේ කාලෙක මගේම කියලා වචනයක් පටන් ගන්න පුළුවන් උනාම මම අපේ ගෙදර අයට කීවා අඩුම ගානේ මේ වගේ ඒවා මගේ ඇස් ඉස්සරහා නම් කරන්න එපා ඕනේ නම් මම නැති දවසක කරන්න ඒ විතරක් නෙමෙයි මම දුක් මහන්සි කරන සල්ලි ඔය වගේ තේරුමක් නැති වැඩ වලට යොදවන්නත් එපා කියලා. (මේකෙන් කියන්නේ මම ඒ සල්ලි නාස්ති නොකර එකතු කරනවා නෙමෙයි.) මගේ සතුට හා අනුන්ගේ සතුට වෙනුවෙන් මම ඒ සල්ලි වියදම් කරයි ඒත් මේ වගේ බොරු වැඩ වලට නෑ. දැන් අපේ ගෙදර අය ඒක තේරුම් අරන් කොටින්ම මම ලංකාවට ආවම නෑයෙක්වත් අපේ ගෙදරට ගෙන්වන්නේ නෑ ලේසියෙන්.
එහෙම වෙන මම අපේ ගමේ මිනිසුන්ගේ වගේම ඕනෙම අසරණ මනුස්සෙක්ගේ දුකකදි ඒ අය එක්ක ඉන්න එකත් අපේ ගෙදර අය අනුමත කරනවා අකැමැත්තෙන් උනත්.
අර සත්තු කතාව ගැන වගේම තමයි මට ඔය දාන මාන වලදි මුලින්ම දැනුනු දුක. ඔය දාන වලට සහභාගි වෙන හාමුදුරුවෝ ගොඩාක් වෙලාවට ආවේ ලොකු කාර් එකකින්. ඒ විතරක් නෙමෙයි ඒ අයගේ විශෙශ ඉල්ලීම් පවා තිබ්බා. ඒත් එක දවසක් ඔය දානයක් අස්සේ අපේ ගෙදරට ආව හිඟන්නෙක් කෑවේ මිදුලෙ ඉඳගෙන හරියට පුටුවක්වත් නැතිව. එදා මම යකෙක් වගේ ඔක්කොමලා ඉස්සරහා කෑගහලා අඬන්න තරම් අසරණ උනා. එදා තමයි මම අපේ නෑයො හා අපි ආස්‍රය කරන මිනිස්සු එක්ක යුද්ධය පටන් ගත්තේ.
දැන් අපේ අයියා අක්කලා මම ලංකාවට එනවා කියලා ඇහුනත් ඔය දේවල් අපේ ගෙදරට ගේන්නේ නෑ.
ඕකනම් මටත් නිතරම හිතෙන දෙයක්..
ReplyDeleteහැම වෙලේම මේ පුංචි සත්තු ආරක්ෂා කරන්න ගියත් උනුත් කරුමෙකට වගේ විනාශයම හොයාගෙන එද්දි කේන්තිත් යනව.
ඒත් අන්තිමට හිත හදාගන්නව ඇරෙන්න කරන්න දෙයක් නෑ. ඒත් ලොකු සත්තුන්ට වගේම පොඩි වුණත් උන්ටත් ඒ වගේම ජීවිතයක් තියෙන බව අමතක කරන්න බැරි වෙනව.
ඔයවගෙ හුඟක් වෙලාවට මටත් කල්පනා වෙල තියෙනව, ඒත් මොනව කරන්නද කියල හිත හදාගන්නවා,
ReplyDeleteමලී - දානෙ දෙන්නෙ නම් ඒ විධියට තමයි. මේ දානය වෙනුවෙන් ලොකු මාළු කූරියො 4-5 දෙනෙක් එක්ක ගොයම් ගස්, පරිප්පු ගස්, ලූණු ගස්, අල ගස් වගේ ජීවීන් බර ගාණක් ජීවිතේ පුදනවා...
ReplyDeleteපූසා - ඒක ගැන කවදාවත් අපි ආයෙ හිතන්නෙ නෑ නේද? අපි ඒ තරම්ම ඒවට අසංවේදී වෙලා...
හිස් - අමතක කළෙමි. ඇත්ත... ජීවිතේ හැමෝගෙම එකයි. කියවන්න කැමති වීම ගැන සතුටුයි... :D
සිරි - මදුරුවට හොට ලැබුණ කතාව නම් මරු... ඔය සද්දෙ අනුව ෂොට් එක දෙන එක මටත් ටිකක් හුරුයි. නිදාගන්න ගියාම කණ වටේ කැරකෙන එක්කෙනෙක්ගෙ සද්දෙ නවතින්න පාරක් දුන්නම පුංචි සතුටකුත් දැනෙනවද කොහෙද...
සඳමාලි ගැනත් ලියාගන්න බලමු...
රේ - සිරාවටම... ජීවය කියන එක එකිනෙකා නිර්වචනය කරගෙන ඉන්න විධිය අනුවනේ ඔය හැඟීම දැණෙන්නේ... බිත්තර නොකන අය වුණත් බත් කනවනේ... ;-) අර කිව්ව වගේ අවස්ථාව අනුව අපි ඒක හදාගන්නවා...
ඉල් - මටත් දැං දානෙ කෙරුවාව මළම මගුලක් වෙලා... කොටින්ම මම ඒකට කියන්නෙ දහනය හෙවත් combustion කියලා. නමුත් ඒ දේවල් වෙනස් කිරීමේ බලයක් මට නෑ...
අවුට් - මෙතන මට මතුවෙලා තියෙන විසංවාදයත් ඒකයි. වතුරට වැටිල ඉන්න කැරපොත්තෙක් ඒකෙන් ගලවගන්න ගමන්ම අපි අපේ ඇඳුම් අල්මාරි වල ඉන්න කැරපොත්තන්ව එළවනව
රවි - අන්තිමේ ඒක විතරයි තමයි ඉතිරි වෙන්නේ.... නේද?
මම ඔයාව බ්ලොග් අවකාශයේ දැකල තිබුනත්, ඒ හැම වෙලාවකම මොකක් හරි හේතුවක් නිසා කියන එක මගෑරිල ගියා, ආයෙමත් අහම්බෙන් මගේ පෝස්ට් එකකට දාපු කමෙන්ට් එකකින් තමයි මතක් උනේ.
ReplyDeleteඅපි එදිනෙදා අත්විඳින සංසිධියක් හරිම අපූරුවට, කලින් අත්විඳල තියනව කියල නොහිතෙන්න ලියල, පිං පවු ගැන නොහිතා කියෙව්වම හරිම සමීප ඒත් වෙනස්ම අත්දැකීමක් ලබන්න පුළුවන් ලියමනක්.
නවම් - සමාවෙන්න ප්‍රතිචාරය අගය කරන්න ප්‍රමාද වුණාට. මේ දවස්වල තීන්ත වැඩයි සිමෙන්ති වැඩයි ගොඩයි...
ReplyDeleteබොහොම සතුටුයි සටහන හොඳට රස විඳීම ගැන. :-)