Saturday 14 February 2009

මගේ තනි විනෝද ගමන

කොස්ලන්ද කියන්නෙ පුංචි නගරයක්. තියෙන්නෙ බෙරගල නගරයෙන් කන්ද පහලට වැල්ලවාය දක්වා දිවෙන පාරෙ හරි මැදක. එහෙම කියන්නෙ කොස්ලන්ද නගරයෙ ඉඳන් බෙරගලටත් වැල්ලවායටත් අය කරන බස් ගාස්තුව එකක් වීම නිසයි.

අද උදේ මම බදුලු කොළඹ බස් එකක බෙරගලට ගිහින් එතනින් වැල්ලවාය බස් එකක් අරන් කොස්ලන්දට ගියා. බෙරගල කියන්නෙත් පුංචි හන්දියක්. එතනින් කන්ද ඉහලට යන පාර යන්නෙ හපුතලට. කන්ද පහලට යන පාරෙ තමයි කොස්ලන්ද තියෙන්නේ. හපුතලේ ඉඳන් කන්ද බැහැගෙන එද්දි පහලින් පෙනෙන ඈත ක්ෂිතිජය දක්වාම දිවෙන කඳු වැටි පිරුණ නිම්නය වෙතට තමයි බෙරගලින් ඇරඹෙන කොස්ලන්ද පාර ඇදෙන්නේ.

මේ පැත්ත හරිම ලස්සනයි. කඳු මුදුන් මීදුමෙන් වැහිලයි තියෙන්නේ. පරිසර දූෂණයක් නෑ. මධ්‍යස්ථ කාලගුණයක් තියෙන්නේ. මිනිස්සු වුණත් අහිංසක දිළිඳු අය.

කොස්ලන්ද දිසා රෝහල ඉදිරිපිට තියෙන පුංචි කඩෙන් උදේ ආහාරය විධියට මම පොල් රොටි දෙකයි පැටිස් එකයි ලැවරියයි ප්ලේන්ටියයි සේරම රුපියල් 65කට ගත්තා. ගාණ අදහන්න බැරි නිසා මම ආයෙත් ඇහුවම ගාණත් වැරදි නෑ. කොළඹදි ඔය ටික කන්න රුපියල් 150ක් වත් යනව.

මම මං ගිය වැඩේ කරගෙන ආයෙමත් කොස්ලන්දෙන් වැල්ලවාය බස් එක අරන් මම වැල්ලවායට ගියා. ආ පාරෙම නොගියෙ රට තොට බලන්න ඕන නිසයි. ඒ මගදි තමයි දියළුම දිය ඇල්ල තියෙන්නෙත්. ඒක මහ විශාල කන්දක් මුදුනෙ ඉඳන් පහලට වැටුණෙ මාව මා තුලම හකුලවමින්. මොකද ඒක වැටෙන්නෙ හරිම ඉහලකින්. හරියට දුරකථන කුළුණක් ගාව ඉඳන් ඒකෙ මුදුන බලනව වගේ එකක් තමයි ඒකත්.



මට මතකයි හයේ පන්තියෙද කොහෙද සිංහල පාඩම් පොතක දියළුම ගැන පාඩමක් තිබුණා. ඒ වුණාට කවදාවත් මට ඒක බලන්න යන්න වුණේ නෑ. ඔන්න අද ගියා. :D

කොහොම හරි වැල්ලවායට ගිහින් එතනින් ආයෙත් ඇල්ල නගරය හරහා බදුල්ලට යන බස් එකක මං ගෙදර ආවා. ඒ පාරට කවුරුත් කට වහරේ කියන්නේ ඇල්ල-වැල්ලවාය පාර කියලා. ඒ පාරෙ තමයි රාවණ ඇල්ල තියෙන්නේ. ඒක නම් මම කලින් දැකල තියෙනවා. ඒක ඒ තරම්ම උස නැතත් ගලා යන රටාවෙ ලතාවක් තිබුණ.



රාවණ රජ මහ විහාරයත් තියෙන්නෙ ඊට ටිකක් නුදුරින්. ඔය එකක්වත් මම බැලුවෙ බස් එකෙන් බැහැල නෙවෙයි. බස් එකේම කවුළුවෙන්. කොහොම වුණත් ආයෙ විශේෂ අවස්ථාවකදි මිස ඔය පලාතෙ යන්න නොවෙන නිසා ඕන වුණෙත් දැනගන්නත් එක්ක මම ගිය ඒ චාරිකාවෙන් මම ලොකු තෘප්තියක් ලැබුව.

සමහරවිට දවසක ආයෙත් වඩා හොඳින් ඒ දේවල් විඳින්න පුළුවන් වෙයි.

බලාගෙන ඉමු.

9 comments:

  1. ස්තූතියි හරේ විස්තරයට. මටත් මේ සති අන්තයේ වගේ අනුරාධපුරේ පැත්තෙ ගමනක් සෙට් වෙලා තියනවා.එහෙ හැමදාම යන තැන් අත ඇරල නොගිය තැන් කිහිපයකට මේ පාරවත් යන්න හිතන් ඉන්නව.

    ReplyDelete
  2. හ්ම් හ්ම්... මේ ඒ වුනාට තනියම ඔය වගේ ගමන් බිමන් යන්න හොද නැහැ...!

    ReplyDelete
  3. "කොස්ලන්ද දිසා රෝහල ඉදිරිපිට තියෙන පුංචි කඩෙන් උදේ ආහාරය විධියට මම පොල් රොටි දෙකයි පැටිස් එකයි ලැවරියයි ප්ලේන්ටියයි..." මමත් කොස්ලන්දෙ ඉන්න අපේ නැන්දා බලන්න ගිය වෙලාවක ඔය කඩෙන් බත් කාලා තියෙනවා. කඩේ මුදලාලි අය්යා මොරටුවෙ කෙනෙක් - හරිම නිහතමානී මනුස්සයෙක්. ඔය කඩේ මට මතක හිටියෙ එදා කාපු බත් එකට මාළු තිබුනා.. මාළු වර්ගයෙ නම තමයි "දිය කුකුළා". මම තාමත් දන්නෙ නෑ පහතරට වහරින් "දිය කුකුළා" කියන්නෙ මොන මාළුවන්ටද කියලා. නමුත් බත් එක නම් පුදුම රසක්.

    ReplyDelete
  4. මමත් ඔය පැත්තේ යනවා ඒ කියන්නේ බදුල්ලට ලංකාවට ආව හැම වතාවකම වගේ මොකද මගේ හිතවත්ම යාලුවෙක් වැඩ කරන්නේ එහේ නිසා.

    මට මතකයි රාවණා වයින් ස්ටෝර්ස් කියල මහ විසාල තැබෑරුමක් තියෙනවා හන්දියක...හරියටම නිච්චියක් නෑ ඒ කොහෙද කියලා...

    මම එතනින් යද්දී මහ අමුතු හැගීමකින් වටපිට බල බල ගිය බව මතකයි.

    ReplyDelete
  5. මම හිතන්නේ ගොඩක් දෙවල් වල නියම සුන්දරත්වය ලබාගන්න පුලුවන් වන්නේ තනියම තමයි

    ReplyDelete
  6. ෂඃ මරු වටයක්නෙ ගිහින් තියෙන්නෙ! මාත් ඔය හැම තැනකටම වාගෙ ගිහින් තියෙනවා!

    ඒක නොවෙයි සෑහෙන් න වියදම් ඇති නේද? :D

    ReplyDelete
  7. ඔව් ඔව්...තව ටික කාලෙකින් වහනයනක හමිනේවත් පැත්තකිනි වාඩිකරගෙනම යන්න බැරියෑ නේද???? ...මම ලංකාවට අවම ඔන්න හරේ ලගෙ බදුල්ල බලල නතර වෙලා යන්නම එනව(දැනට එළකිරි එකෙන් හම්බෙලා set වෙලා රැයක් නතර වෙලා ඒ ආතල් එක ගත්ත බොහොම සුළු පිරිසකගෙන් එකේ වෙන්න ඇති මමත්(මම කිව්වෙ බෝලගෙ ගෙදර)) ඔන්න ඒ වගේ හරේ ලගෙ ගෙදර ආවමත් ඔය දන්න කියන තැන් ඔක්කොම පෙන්නල අපිට සලකන්න වෙයි හරේට...

    ReplyDelete
  8. චනදිමට

    දිය කුකුලනම් මම අහල නැහැ..නමුත් මුහුදු කුකුල කියල නම් බොහොම රස කරවල වගයක් තියෙනව..මාරම රහයි..නමුත් ටිකක් මිලයි සහ හිගයි

    ReplyDelete
  9. තනියම යනකොට තියෙන්නෙ වෙනම ආතල් එකක් එතකොට තමා ඔය සුන්දරත්වය ලස්සනට පේන්නෙ... සෙට් එක එක්ක ගියාම තියෙන්න වෙනම ආතල්... ඒකෙත් වෙනම ආතල් එකක් තියෙනවා...

    ReplyDelete

මං ඔයාගෙ එකේ බයිල ගහන නිසාවත් ඔයා මාව දන්න නිසාවත් නෙවෙයි. මගේ වමනෙ පාර දැකල ඔයාලටත් වමනෙ යන්ඩ වගේ එනවනම් විතරක් මේ කොමඩ් එකට දාන්ඩ!