Thursday, 2 December 2010

පහු වුණ මොහොතක...

මම තනියම

මමයි පෙම්වතියයි

මමයි පවුලෙ උදවියයි

මමයි යාළුවොයි

මමයි සමාජයයි

Friday, 26 November 2010

ස්ත්‍රීන් නැති හෙටක්!


අසභ්‍ය වෙබ් අඩවි තහනම් කරල, පෙම්වතුන්ව පන්නල දාල, අම්මලට සාරි අන්දල, අක්කලට ඔසරි අන්දල, නංගිලට ළමා සාරි අන්දල, අබිසරුලියන් කූඩුවල දාල රටම සුද්ද කලත් කාන්තාවන්ට තිබුණ ලිංගික බලහත්කාරකමේ ප්‍රශ්ණ නැවතුණේ නෑ...

සංස්කෘතියයි, සභ්‍යත්වයයි, දේශීයත්වයයි, අපේකමයි, සිංහලකමයි, දෙමළකමයි, මුස්ලිම්කමයි, වෙස්ටන්කමයි අරවයි මේවයි මොකකවත් වෙනසක් වුණෙත් නෑ...

පත්තරවල හැමදාම ස්ත්‍රීන්ගේ පතිවෘත්තාව සිඳුණ කතා පල වුණා. සංස්කෘතිය, සභ්‍යත්වය වගේ ඉස්සෙල්ල කියපු සෙට් එකටම කෙලවගත්තු ප්‍රවෘත්ති හැමදාම පල වුණා.

දවසේ වැරැද්ද කොපි කරපු හැම ටීවී චැනල් එකේම දවසේ වැරද්ද කිය කිය පෙන්නන්න කාන්තා ප්‍රශ්ණයකුත් තිබුණා. අදාල නිව්ස් එකට මුල් වුණ කාන්තාවගේ හත්මුතු පරම්පරාවගේම අලගිය මුලගිය තැන් හොයමින් රබර් වෙවී නිව්ස් අයිටම් ගියා. ප්‍රවෘත්ති නිවේදකයො කම්මුල් වල අත් තියාගෙන දුක් වුණා. නිවේදිකාවො හොටු පෙර පෙර ඇඬුවා.

ඔහොම කාලයක් යද්දි කාන්තාවගේ ප්‍රශ්ණය කාන්තාවමයි කියල දොදොල් මූණක් තියෙන ලොක්කෙක් හොයාගත්ත.

ඉක්මනටම ඒක රටේ තියෙන ලොකුම ප්‍රශ්ණය වුණා. ටීවීවලින් ලොකු බඩවල් තිබුණ සුදු රෙද්දයි කෝට් එකයි ඇඳගත්තු පිරිමි හිටු කියලා කාන්තාවන්ට දෙහි කැපුවා. මනස්කාන්ත, අයස්කාන්ත, තරුණ, කඩවසම් නිවේදකවරු තම තමන්ගෙ ගැඹුරු, දාර්ශණික, විධග්ග වචන මාලාව දාල මේ සොයාගැනීමේ හිස්තැන් පිරෙව්වා. මේක ඊළඟ අවුරුද්දෙ නොබෙල් තෑග්ග දෙන්න වටින සොයාගැනීමක් කියල දේශපාලන විචාරකයො උදේ හවා ජප කලා.

අහා!චාර්යවරු, මහාචාර්යවරු, මනෝවිශ්ලේෂකවරු මේ නව සොයාගැනීම මනෝ විද්‍යාත්මකව, රසායන විද්‍යාත්මකව, අභ්‍යවකාශ විද්‍යාත්මකව සහ නිකං විද්‍යාත්මකව, විශ්ලේෂණාත්මකව, පච්චාත් පශ්චාත් නූතනවාදීව, ව්‍යවහාරික ගණිතමයව විග්‍රහ කලා. ‍ජෝතීර්වේදීල කුජ, බුධ, ගුරු, එක්ක ශුක්‍රත් ගාවගෙන මදිපාඩුවට කුයිපර් පටියත් අස්සට දාගෙන මේ නව ප්‍රවණතාවයට ජෝති‍ර්වේදී පැහැදිලිකිරීම් කලා. ‍

රේඩියෝවල හැමදාම පාන්දරට මලකඩ හඬවල් යටිගිරියෙන් බෙරිහන් දීල කාන්තාවන් සංකල්පීයව අතුගාල දැම්මා.

පත්තරවල කාන්තාවන්ගෙ පින්තූරයක්වත් පල වුණේ නෑ. රේඩියෝ වල කාන්තා හඬවල් යන්ත්‍රානුසාරයෙන් පිරිමි බවට පත්කරා.

ටීවී වල ‍තිබුණෙම කොටු විතරයි.

ඇ‍ඟේ මස්රොදක් නැතිව ඇට ගැහුණු මිනිස්සු රොත්තක් කාන්තාවට එරෙහිව කොඩි, බෝඩ් උස්සන් පෙලපාලි ගියා.

බ්ලොග්කාරයො දෙපැත්තකට බෙදිලා පරම්පරාවල් සිහි කලා. සමාජ ජාල අඩවි වලට ගිහින් පොඩි කොල්ලො අළුත් කුණුහරුප ඉගෙනගත්තා.

කාන්තාව කොටස් වශයෙන් තහනම් වුණා. කාන්තාව අප්‍රසිද්ධ වස්තුවක් වුණා. ප්‍රසිද්ධියේ කාන්තාබව නිරූපණය කිරීම මත කාන්තාවො හත්අටදෙනෙක් ගෝනි වලින් වහල උසාවි ගෙනිච්චා.

කාන්තාව කැබලිකර වහල දැම්මා..

අන්තිමේ කාන්තාවො සර්වාංගෙම ලෝගු පුරවගත්තා.

දැන්වීම්වල, ටෙලිවල, චිත්තරපටිවල කාන්තාවන්ට රඟපාන්න වුණෙත් පිරිමින්ට!

දැන් පිරිමින්ට කාන්තා අවස්ථා ඇවිත්. පිරිමි තරගෙට කාන්තාවො වෙන්නයි උත්සාහෙ.

පිරිමින්ගෙ රුව වඩවන ආලේපන වැහි වැහැලා. කලින් තිබුණ ජාති සේරගෙම ‘වොමෙන්’ කියල තිබුණ තැන් වල ‘වො’ කපල ‘මෙන්’ ඉතිරි කලා.

දැන් කාන්තා විලාසය ඇති පිරිමින්ට රජ මගුල්!

----------------------------
පින්තූරෙට අනුග්‍රහය - http://www.imagesofceylon.com/

Tuesday, 23 November 2010

ලොරෙන්සෝ ද අල්මේදගෙ ගිටාර් එක…

ගනේගොඩ අයියට පොත් හම්බවුණ කතාව කලින් කිව්වනේ... මේ පාර කියන්ට යන්නේ ලොරෙන්සෝ ද අල්මේදගේ ගිටාර් එක ගැන. මේ කතාවට ගනේගොඩ අයියගෙ සම්බන්ධය තමයි ඒ ගිටාරය එයාගෙ ගෙදර තිබීම!

ලොරෙන්සෝ ද අල්මේද ගැන කට්ටිය අහල තිබුණට හරි මතකයක් නැතිව ඇති. උන්නාන්සෙ තමයි මුලින්ම ලංකාවට ගොඩ බැහැපු පෘතුගීසි නැව් කණ්ඩායමේ ලොක්ක. ඉතිං අපි කතාවට කියන්නෙ උන්දැ තමයි ලංකාවට මුලින්ම පය තිබ්බ පෘතුගීසිකාරය කියල. (එව්ව එහෙම තමා... දන්නවනේ හමුදාවෙ දුප්පත් කොල්ලො යුද්ධ කරල දිනාගත්තු සාමයට ලොක්කො අයිතිවාසිකං ගන්ට ඇදපු අංචි ;-) ) එව්වයෙන් දැන් වැඩක් නෑ.

ලොරෙන්සෝ ද අල්මේද ඉන්දියාවෙ පළවෙනි පෘතුගීසි ආණ්ඩුකාරය විධියට සැලකෙන ෆ්‍රැන්සිස්කෝ ද අල්මේද මහත්තයගෙ පුත්‍රයා. ඒ දවස්වල.... ඒ කියන්නෙ 15 වෙනි සියවසේදි මුස්ලිම් ජාතිකයො ඉන්දියාව ආශ්‍රිතව වෙළඳාමේ රජකොරපු කාලෙ... පෘතුගීසින්ට ඕන වුණා ඒ වෙළඳාමට අත පොවන්ට. ඒක කොරන්ට මුස්ලිම්වරුන් භාණ්ඩ ප්‍රවාහනය කරපු මුහුදු මාර්ගවල රැකවල් යොදන්ට සිද්ධ වුණා. ඒ දවස්වල තරුණ ගැටයෙක් වුණ ලොරෙන්සෝ ද අල්මේද තමන්ගෙම නැව් කණ්ඩායමක් එක්ක මේ කෙරුවාව ශ්‍රී ලංකාවට දකුණු මුහුදේ කොරමින් හිටපු වෙලාවක නැව කුණාටුවකට අහු වුණා. කුණාටුවට අහුවෙලා නැව ඇදිල ආවෙ ගාල්ලට. ඒ 1505දි.

කුණාටුවට අහුවුණ වෙලේ ආතක් පාතක් නැතිව හිටපු ලොරෙන්සෝ ද අල්මේද කුකුලෙක් හඬලනව ඇහිල කෑගහපු කෑගැහිල්ල නිසා ගාල්ලට ඒ නම වැටුණාය කියන මතේ ජනප්‍රිය එකක්ය කියල  ගාලු නගර සභා අඩවියෙ තියෙනව ඕං.

ගාල්ලට නම ලැබුණු ආකාරය පිළිබඳ බොහෝ දෙනකු පිළිගත් මතය වන්නේ ක්‍රි.ව.1505 දී සැඩ සුළඟකට හසුවීම නිසා අහම්ඛෙන් ගාල්ලට සේන්දු වූ පෘතුගීසි නාවික ලොරෙන්සෝ ද අල්මේදා කුකුළකු හඬලනු අසා ගාලෝ, ගාලෝ කී යයි ද ඒ නිසා ගාල්ල වී යැයි යන කථාවයි. ගාල්ල නගරයේ සංකේතය ලෙස බොහෝ ස්ථානයන්හි කුකුළා සළකුණ යොදාගෙන තිබේ.

කොහොම හරි පස්සෙන් පහුවෙලා මනුස්සය දැනගන්නව තමං ගොඩබැහැල තියෙන්නෙ ලංකාවටය කියල. ඒ දවස්වල මුතු, කුළුබඩු වගේම ඇත්තු නිසාත් ලංකාව යුරෝපෙ ප්‍රසිද්ධ වෙලා තිබුණ නිසා අල්මේද කොල්ලගෙ කට ගියා කන් දෙකට! ඒ කාලෙ ඉලෙක්ට්‍රික් බල්බ් නොතිබුණ හින්ද ලොරෙන්සෝගෙ ඔළුව උඩ එකපාර 'ටිං!' ගාලා ඉටිපන්දමක් පත්තුවුණාය කියල හිතාගන්ටකෝ...

ඔය කාලෙ  ලංකාව කෝට්ටේ, නුවර සහ යාපනේ ප්‍රධාන වුණ ප්‍රාදේශීය රජවරු 7 දෙනෙක් යටතේ තමයි පාලනය වෙලා තියෙන්නෙ. එයිනුත් අගනගරය වුණේ කෝට්ටේ නිසා කුණාටුව හොඳ වුණ වහාම ආයෙත් නැව් නැග්ග ලොරෙන්සෝ සහ පිරිස කොළඹට ගොඩ බැස්සා... ඒ දවස්වල කොළොම්තොට ප්‍රධාන භාණ්ඩ අපනයන නැව් තොටක්. මුස්ලිම්වරුන් තමයි පණ කඩාගෙන බිස්නස් කොරල තියෙන්නේ...

කොළඹ තොටේ නැංගුරම් දාල වෙරළට වෙලා හිටපු ලොරෙන්සෝ ඇතුළු කණ්ඩායම ගැන රස කතා ඔයගොල්ල හොඳට දන්නවා... උන්දල පාන් කමින් වයින් ‍බීපු වෙලාවෙ ඒක දැකපු ස්වදේශිකයො වහාම රජතුමා ගාවට ගිහින් කිරිවාන ගල් එක්ක ලේ බොන අමුතු මිනිස්සු ජාතියක් කොළඹට ඇවිල්ල ඉන්නවය කියල කියපු කතාව සිද්ධ වුණේ එතනදි. ඒක අහපු රජුතුමා දූත පිරිසක් පිටත් කොරල ඒ අමුතු මිනිස්සු කෝට්ටෙට ගෙන්නෙව්වෙ ඊට පස්සෙ. පරංගියා කෝට්ටේ ගියා කියන කතාව හැදෙන්ට හේතු වුණ කාරණේ සිද්ධ වුණෙත් එහෙමයි... ඒ කියන්නෙ වරුවෙන් කෝට්ටේ මාලිගාවට යන්ට පුළුවන්කම තියෙද්දි දවස් තුනක් පුරා පෘතුගීසි දූත පිරිස දුෂ්කර ගමනක් එක්ක ගියේ ඒ දවස්වල ලංකාවෙ වාසලේ හිටපු අයියලා තමයි!

ඔය කිව්වෙ ලොරෙන්සෝ ද අල්මේදගේ ලංකා ආගමනය ගැන... ඒ ගැන ඩබ්ලිව්. ජයසිරි මහත්තය ලියපු ජිප්සීස්ල ගායනා කොරන අපූරු සින්දුවකුත් තියෙන්නේ... ඕන නං ගිහිං අහන්ට! පද වැල් ගත්තෙ මේං මෙතනින්!
ලොරෙන්සෝ ද අල්මේදා කොලොම්තොටට යහපත් නාවිකයා
හන්දි කඩේ ලෑලි පුටින් ඩිනර් පාටි අතින් කටින්
රට වටේට ණය වෙනවා සුදිය මිසක් වෙන වැඩ නෑ
පියානෝ, ටැමරින්, බැන්ජෝ, මැන්ඩලින්
ලයිට් කරන්ට් කම්බි ඇදලා කණු හතරෙම ලයිට් දාලා

ඉංගිරිසිය නැතිකරන්න ඉංග්ලිශ්ලම ගොඩ ගැහිලා
ටේල්කෝට් ටොප් හැට් එක සුදුරෙදිවල රෝල්කරලා
නෝනා මට අත වනනවා
මම ඉඳගෙන බෑ බෑ කියනවා
එයා ඉඳන් කම් කම් කියනවා
අපි ඔක්කොම නෝ නෝ කියනවා
නෝනා මට අත වනනවා
අපි ඔක්කොම එයාට බෑ කියනවා
නෝනා මට අත වනනවා
අපි ඔක්කොම එයාට බෑ කියනවා

බ්‍රැන්ඩි බීලා නොන්ඩි ගහලා අම්බානක ගුස්ති දාල
ඉම්පෝටඩ් මොරිනාකා ඇපල් තැපැල් ගොඩගැහිලා
නෝනා මට අත වනනවා
මම ඉඳගෙන බෑ බෑ කියනවා
එයා ඉඳන් කම් කම් කියනවා
අපි ඔක්කොම නෝ නෝ කියනවා
නෝනා මට අත වනනවා
අපි ඔක්කොම එයාට බෑ කියනවා
නෝනා මට අත වනනවා
අපි ඔක්කොම එයාට බෑ කියනවා

ලොරෙන්සෝ ද අල්මේදා කොලොම්තොටට යහපත් නාවිකයා
හන්දි කඩේ ලෑලි පුටින් ඩිනර් පාටි අතින් කටින්
රට වටේට ණය වෙනවා සුදිය මිසක් වෙන වැඩ නෑ
පියානෝ, ටැමරින්, බැන්ජෝ, මැන්ඩලින්
ලයිට් කරන්ට් කම්බි ඇදලා කණු හතරෙම ලයිට් දාලා
නෝනා මට අත වනනවා
අපි ඔක්කොම එයාට බෑ කියනවා

නෝනා මට අත වනනවා
අපි ඔක්කොම එයාට බෑ කියනවා

හික් හික්! මේක ඉතිං කියන්නේ ලොරෙන්සෝ ගැනම නෙවෙයි...

ඉතිං ඔන්න ලොරෙන්සෝ ඔහොමයි... උන්දැගෙ ගිටාර් එක? :-O හප්පා තව ටිකෙන් අමතකම වෙනවා... කොහෙද කියන්න ආපු කාරණේ නෙවෙයිනෙ වැඩිපුරම කියවන්නේ... ජාන ජාන වෙන මොනාද?

මාස දෙකකට විතර කලියෙන් ගොඩගම ගනේගොඩ අයියලගෙ ගෙදර ගිහින් වෙලාව තිබුණ නිසා ගේ වටේ ඇවිදපු වෙලාවෙ ගේ පිටිපස්සෙ දොර ගාව පැත්තකිං ගිටාර් එකක් එල්ලල තියෙනව... ඒකෙ යටින් ගහල තියෙනව ලොරෙන්සෝ de අල්මේදා ක්‍රි.ව. 1505 කියලා...

දැක්ක ගමන් මට හිනා ගියා... ඒක ඇත්තටම එයා පාවිච්චි කරපු පරණ ගිටාර් එකක්! ජරාවාස වෙලා ගිහිල්ලා කෞතුක භාණ්ඩයක් වෙලා... ඔය කියන වෙලේ මමත් ලොරෙන්සෝ ද අල්මේද ගැන මේ කියෝපු තරං දැනං හිටියෙ නෑ. ඉතිං ගනේගොඩ අයියමයි කිව්වෙ පොර තමයි ඉස්සෙල්ලම ලංකාවට ගොඩබැහැපු පෘතුගීසිකාරය කියල... මම ඇහුව ඇයි ඉතිං මේක එයාගෙම වුණේ කියල.. එතකොට එයා කිව්වෙ පෘතුගීසිකාරයො හොඳට කාපු බීපු විනෝදෙන් හිටපු කට්ටියක් කියලා.. ඔය බයිල කියන සංගීත ක්‍රමයත් පෘතුගීසිකාරයංගෙලුනේ...

මමත් ඉතිං කාට කාටත් පෙන්නන්න වටින නිසා පිංතූර කීපයක් ගත්ත. ඇරපු අතක් නෑ ලොරෙන්සෝ මහත්තයගෙ එකම තමයි. බලන්ටකෝ...






ඒකෙන් මේකෙන් සෑහෙන්න කතාවක් කිව්ව නෙව! ඕං ඕන කෙනෙක්ට ලොරෙන්සෝ ලොක්ක ගැන විස්තර ඕන නං තව කියවන්ට තැං!

http://mahawansa.wordpress.com/2009/01/18/the-arrival-of-the-portuguese/

http://www.rootsweb.ancestry.com/~lkawgw/slm-portuguese.htm

http://www.sundayobserver.lk/2007/02/04/ind03.asp

http://www.divaina.com/2009/10/11/feature01.html