Tuesday, 19 August 2008

විශ්වයේ කෙලවර හිඳ හෝර්ටන් එක්ක...

විශ්වයේ කෙලවර හොයන්න එපා කියල බුදු හාමුදුරුවො කිව්ව කියල මම කියවල තියෙනව. හික්.. ඒ ගැන මම අනිත් අයට බණත් දේශනා කරල තියෙනව කෙලවරක් නැති තර්ක ඇදගෙන නාද්දි. විශ්වයේ කෙලවර ගැන යන්තම්වත් නොහිතපු අය මට ඒ ගැන හිතන්න එපා කියල නොයෙක් වතාවලදි කියල තියෙනව. විශ්වයේ කෙලවර ගැන හිතුවනම් කාටත් තේරෙන්න තිබුණා කොයිතරම් ප්‍රශ්ණ ටිකක් ඊට කලින් විසඳගන්න තියෙනවද කියලා. හික් නොකියා වෙන මොනව කියන්නද?

කොහොම හරි මම නම් මට යන්තම් දැණෙන්න ගත්ත කාලෙ (මේ කාලය ගැන මට නිසි මතකයක් නෑ. ඒක කාල පරිච්ඡේදයක්) පටන් දීර්ඝ කාලයක් තිස්සේ නොදැන හිතපු දේවල් සහ ඇසුරු කරපු දේවල් හරහා විශ්වයේ ඇරඹුම සහ ඒකෙ ව්‍යාප්තිය ගැන අදහසක් ගන්න හිතුව. අන්තිමේ මම විශ්වයේ කෙලවර හොයාගනිද්දි තවත් අමතර ප්‍රශ්ණ ගොඩකට පිළිතුරු ලැබුණ මට.

මම මේක පැහැදිලි කරන්න හෝර්ටන්ගෙ උදව් ගන්නම්. එයාව මම හොඳට දන්නව. ඔයාල එයාව දන්නෙ නැද්ද දන්නෙ නෑ. දැනගන්න වටින කෙනෙක්. මම නම් අවුරුදු 7ක විතර පොඩි එකෙක් වෙලා මෙයාව වරක් ඇසුරු කලා. ආයෙත් වර්තමාන මම විධියටත් මෙයාව ඇසුරු කලා.



'HORTON HEARS A WHO!' MOVIE TRAILER

හික් හික්... මම මේකෙන්ම පටන් ගන්නම්.

මේකෙ ඉන්න හෝර්ටන් කියන අලියට හම්බවෙනව පුංචි මලක් වගේ එකක්. ඒක ඇතුලෙ තියෙනව වෙනම ලෝකයක්. හරියට පෘථිවි‍යෙ වගේම දියුණු සමාජගත සත්ත්ව පිරිසක් ඉන්නවා ඒක තුල. හෝර්ටන් ට මෙයාලගෙ හඬ ඇහෙනවා. එයා ‍මේ ලෝකයේ අය එක්ක කතා කරන අතරෙ මේ ලෝකය, ඒ කියන්නේ මේ මල ආරක්ෂා කරනවා. අනිත් කැලේ සත්තු සේරම හිතන්නෙ හෝර්ටන්ට පිස්සු කියලා. එයාල හොර්ටන්ට දඬුවම් දෙන්න ඔන්න මෙන්න තියෙද්දි අර ලෝකෙන් එන හඬක් අනිත් සත්තුන්ටත් ඇහෙනවා. අන්තිමේ හැමෝම මේ මල ආරක්ෂා කරනවා හෝර්ටන්ගෙන් සමාව ඉල්ලල.

අන්තිමේදි හෝර්ටන් ප්‍රධාන අනෙක් සත්තුන්ගෙන් කැමරාව Zoom out වෙනව. ඒ කියන්නෙ ටික ටික සත්තු ඈතට ගිහින් එයාල ඉන්න කැලේ පුංචි වෙනව. අන්තිමේ බලද්දි මේ හෝර්ටන් ඉන්න ලෝකය තියෙන්නෙත් අර වගේම මලක් ඇතුලේ. ඒ කියන්නේ මේ මුළු ලෝක සේරම එකක් තුල තව එකක් වශයෙන් පිහිටල තියෙනව.

මේක තමයි මම විශ්වය ගැන දරන අදහස. හික්... තමන්ට පුළුවන් ඉමකට හිතන්න විශ්වය සීමා කරගන්න ඕනද නේද? මේ ගැන නොහිත ඕන නම් හිතන්න ඕන තරම් දේවල් තියෙනව දැන් නම්. ටීවී එක දැම්මම හිටු කියල බලන්න දේවල්. ඒ නිසා මේක තේරෙන්නෙ නැත්නම් ගණං ගන්න එපා. හික්.. අමතක කරල ටීවී බලන්න.


මම විශ්වයේ කෙලවර තෙක් ගියා මගේ මනසින්. ‍සියළු ග්‍රහලෝක, සූර්යයන්, චක්‍රාවාට, මහා චක්‍රාවා‍ට පොකුරු, චක්‍රාවාට තරම් ලොකු දුහුවිල්ලෙන් හැදුණු මහා නෙබියුලාවන් පහු කරන් මම විශ්වයේ කෙලවරට ගියා අනන්ත දුරක තිබුණ. ඒකෙ කෙලවර තිබුණෙ පටලයක්! බැලුමක් වගේ ඇදෙන සුළු පටලයක්. එතනින් එහාට යන්න හරිම ලේසියි. මම ඒක කඩාගෙන විශ්වයෙන් එලියට ගියා.

හික් හික්...

මම හිටියෙ ඉලෙක්ට්‍රෝනයක් මතින් ඔළුව දාගෙන. ඒ ඉලෙක්ට්‍රෝනය අයිති පරමාණුවක් තිබුණා. ඒ පරමාණුව අයිති තව විශ්වයක් තිබුණා. ඒක ගැන හිතාගන්නවත් බැරි තරම් ඒක විශාල වුණාට ඒකෙ කෙලවර ඇරෙන්නෙත් ඊටත් එහා තියෙන වෙනත් විශ්වයකට කියල මම ඒ වෙනකොට දැනගෙන ඉවරයි.

මේ සංකල්පය මහා මිථ්‍යාවක් තමයි. කොටින්ම හිතළුවක්. නමුත් මේ අදහස වෙනත් අයටත් තිබිල තියෙනව කියල මම පසුව දැනගත්තා. එක විද්‍යා ප්‍රබන්ධයක් තියෙනවා විද්‍යාඥයෙක් තමාගේ දරුවන් කණ්ඩායමක් යම් ක්‍රමවේදයකින් පරමාණුවක් වෙත යවන. මේක ටිකක් පරණ කතාවක්. ඒ නිසා ‍ඒ කාලෙදි පරමාණුක ව්‍යූහ ගැන එයා දැනගෙන ඉන්න නැතිව ඇති. කොහොම හරි එයා හොයාගන්නව මේ හැම පදාර්ථයක්ම හැදිල තියෙන්නේ පුංචි පුංචි සෞරග්‍රහ මණ්ඩල වලින් කියල. ඒ අනුව එයා කරන පරීක්ෂණ අනුව එයා හොයාගන්නව පරමාණු තුල වෙනම ජීවයක් පවතින බව. එයා තමන්ගෙ දරුවන් සහ එයාලගෙ මිතුරු කණ්ඩායමක් මේ පරමාණුක සෞරග්‍රහ මණ්ඩලයකට යවනව.

පරමාණුක කාලය අපේ සාමාන්‍ය කාලයට වඩා අතිශය වේගවත්. මේ දරුවන් කණ්ඩායම මේ පරමාණුක ලෝකය තුල ඉන්නෙ තත්පර කීපයයි. ආයෙත් එලියට එයාලව ගනිද්දි හෙන සෙට් එකක් එනවා. බැලින්නම් ඒ එයාලගේ හතරවෙනි පරම්පරාවෙ කට්ටිය. සාමාන්‍ය මිනිස් තත්පරයක් තුල ‍මේ ක්ෂුද්‍ර ලෝකයේ පරම්පරා හතරක් ගතවෙලා.

මේ සියළු දේවල් අදහන්න බෑ තමයි. හික් හික්... අදහන්න බැරි කොයිතරම් දේවල් අහවල් අහවල් අය කියපු / කියන නිසා අපි අද විශ්වාස කරනවද? ඒව ගැන ආයෙ නිර්වචන දෙන එකත් මැරෙන්න වටින දේවල්නේ. ‍කොහොම වුණත් තමාගෙ හිත තමාගෙ. ඒක වෙන කාගෙවත් නෙවෙයි. වෙන අයට ඕන දේවල් විතරක් හිතන්න ඒක පාවිච්චි කරනවා කියන එක නම් මාර පව් වැඩේ! ඒත් ඕක තේරුම් ගන්න එක ගැන හිතන්නත් කම්මැලි වුණ මිනිස්සු තමයි දැන් බහුතරයක් ඉන්නේ.

ඒවයින් වැඩක් නෑ.

මට දැනට විශ්වයේ කෙලවර සම්බන්ධව මේ කතාව මාර ඇත්තක්. බුදුන් මේ කෙලවර හොයන්න එපා කිව්වෙ ඇයි කියල මම තේරුම් ගත්තෙ බුදුන් කියපු දේ අහල නෙවෙයි. විශ්වයේ කෙලවර තරණය කරල. හික්! එක අතකට මම ඒක තරණය කරන්න භාවිතා කරපු දේවල් කිසිම දෙයක් නැතිව බුදුන් ඔය කතාව කිව්ව එක මොන තරම් විශිෂ්ඨද කියල හිතුණ. අපේ සිතට නැගෙන හැම සිතිවිල්ලක් ගානෙම පැහැදිලි කිරීම් කරපු ශ්‍රේෂ්ඨ විද්‍යාඥයා.

කොහොම හරි මිනිහෙක් විධියට නැගෙන මූලික ප්‍රශ්ණය වන මම මෙහෙම ඉන්නෙ ඇයි? කියන ප්‍රාථමික ගැටලුව තමයි මේ වගේ විමසිලිමත් වෙන්න අපට පොළඹවන්නේ. ඒ ගැටලුව ආවොත් අපට විශ්වයට යන්න හිතෙනව. විශ්වය තුල ඉඳන් ආයෙත් අපි දිහා බලද්දි පේනව අපි කොයි තරම් වැරදිද කියල. අපේ අඩු පාඩු, වැරදි ලක්ෂණ කොයිතරම් තියෙනවද කියල. කවදාවත් මම තුල ඉඳන් මාව නිවැරදි කරගන්න බෑ. මගෙන් මාව ගලවගෙන පිට ඉඳන් මාගෙ දිහා බැලුවොත් තමයි මට මාව හරියට පේන්නේ. එහෙම නැත්නම් ඉතිං මම ම හදාගත්ත ලෝකෙක මගේ නිර්වචන තුල තනි මට මගේ ජීවිතේ ගෙවන්න පුළුවන්. මේකෙදි මේ මගේ ලෝකය කියන එක බහුතර අයට ක්‍රමය විසින් මවල දුන්න එකක්. ඒක තුල එයා සර්ව සම්පූර්ණයි කියලත් ඒ‍ ක්‍රමයම කියනවා. ඒක පීඩාවක් වෙද්දි ධනාත්මක චින්තනය කියල එකක් තියෙනවා. ඒක ප්‍රශ්ණ අමතක කරන්න අරක්කු ගහනවා වගේ භාවිතා කරන්න පුළුවන්. තමන්ගෙ ප්‍රශ්ණ වලට බාහිර අය තුල පිලියම් සෙවීම නිසා කෙලවරක් නැති නූල් බෝලයක් වගේ එකක මාත් ඇතුළුව අපි සේරම පැටලිලා.

ඉතිං දැන් ඇති.. එන්න විශ්වයට යන්න.

විශ්වයේ ඉඳන් ඔයා දිහා බලද්දි ඔයාටම තේරෙයි ඔයා මොන තරම් නිර්වචන කන්දරාවක් තුල ඔයාව සීමා කරන් මේ ලෝකයට සහ ඔයාටම වදයක් වෙවී (ඒ බව නොදැන ඒත් යම් කිසි තැවිල්ලකින් හැම විටම) සහ මේ ලෝකයේ ස්වභාවික සෑම දෙයකටම වයිරසයක් වෙවී ඉන්න අපූරුව.

උත්සාහයක් ගන්න! හෝර්ටන් උදව් කරයි. පුංචි දරුවෙක් වෙන්න මොහොතකට!

රාග හල...

සෙනසුරාද හවස නලිනුයි, නිශාන්තයි, මමයි ගනේගොඩ අයියලගෙ ගෙදර ගියා. මනෝ කන්දක නැගල කතාවක් දාගෙන ඔලිම්පික් බැලුව. රෑ සමන්‍ට කතා කලාම එයත් ආවා. නලින් ගෙදර ගියා. පහුවදාට රා පාරක් දාමුද කියල ගනේගොඩ අයිය දාපු යෝජනාවට කලබල වුණ සමන් දුරකතන ඇමතුමකින් ඒක සූදානම් කලා.

උදේ 6.00ට විතර සීතලේ මායි සමනුයි එයාගෙ බයිසිකලේ ගියා අංගම්පිටියට. රා මදින අයිය පහුවදා රෑ හොඳට දාල මිදුලෙ වමනෙත් දාල සාලෙ බුදියන් හිටිය. නැගිටලත් මිනිහට ආතල් තවම සූර් ඕයි කියල. කොහොම හරි මිනිහ මත යනකල් පැය බාගයක් විතර ඉඳල මිදුලෙ තිබුණ තැඹිලි ගහ‍ට නැගල මුට්ටියක් බෑව. ස්ප්‍රයිට් වගේ පෙණ. ඇඟිල්ලක් ගහල බැලුව. පැණි රසයි. අපි ඒක අරන් ආව.

සමන් ගෙදර වැඩකට ගියා. නිශාන්ත අමධ්‍යප. මායි ගනේගොඩයි දහයට විතර ගහන්න ගත්ත. වීදුරුවක් ගහල ටිකක් යද්දිම මාර ගතියක් දැනෙන්න ගත්තා. නිදි මතක් එක්ක හරි කූල් ගතියක්. ඔලිම්පික් දාගෙන බලන්න ගත්තා. කෑමත් බඩ‍ට යන අතරෙ ටින ටික රා ජොග්ගුව හිස් වුණා. වීදුරු 3ක් ගත්තම මට හිතුණා දැන් නම් ඕන නෑ කියල. ගනේගොඩ අයියත් ෂේප් එකේ සනීපෙට නිදි. මමත් ඔලිම්පික් නිවලා කුංග්ෆු පැන්ඩා බැලුව ආයෙමත් තුන්වෙනි වතාවට.

ඒ එක්කම පොඩි ඇඩ්වර්ටයිසින් කෑල්ලක් දාන්න හිතුණා.. හික්.. හික්...


Jack Black -Kung Fu Panda Trailer Movie (Teaser) 6 June 2008



මේකෙ Original Trailer එක මේක නෙවෙයි. කොහොම වුණත් ජැක් බ්ලැක් ගෙ වැඩ කෑල්ලක් තියෙන නිසා මේක මාර ගති කියල හිතුණා.කොහොම වුණත් මේ චිත්‍රපටිය මට නම් නැවත නැවත පට්ට ගැසිය හැකි වර්ගයේ එකක්. පුංචි පුංචි දේවල් ගොඩක් තියෙනව. දැනට එකක් කියන්නම්. මේකෙ ඉන්න ඉබි පූජකයා ඌග්වේ (Oogway) කියන දෙයක් මේක.

Yesterday is History
Tomorrow is a mystery
Today is a Gift...
That's why it calls Present

ඒක නෙවෙයි කියන්න ඕන කලේ. මමත් ‍චිත්‍රපටියෙ භාගයක් යද්දි නිදි. නැවතත් හරියට ඇහැරුණේ අද (18) උදේ 10ට විතර. කාලෙකින් පැය10ක විතර දිග නින්දක්. මම 12.30ට විතර රාජකාරිය‍ට වාර්තා කලා.

අද දින මට ලැබුණ පුංචි විෂුවල් එකක් මට හිතට ඇල්ලුවා. මේක බලල ඇති ඔයාල සමහර විට. කියන්නෙ මධුමාධව. තිබුණෙ cyberlk2003 ගේ අඩවියේ.




Lamba Sawan Ranpatin


මේක ගැන කතා කරන්න යන්නෙ නෑ මම. නමුත් මේ විෂුවල් එකට සම්බන්ධ Little Buddha චිත්‍රපටිය සහ ඒක හදපු Bernardo Bertolucci ගේ Dreamers කියන චිත්‍රපටිය මගේ හිතේ ඇඳුණ.

Dreamers නම් වෙනම එකක්. Little Buddha චිත්‍රපටියෙ එන එක දසුනක් තියෙනව. බුදුන් බුද්ධත්වය ලබන මොහොතෙදි එයාට එයාවම පේනව. නමුත් ඒ තමයි නපුරු සිතිවිල්ල හෙවත් යක්ෂයා. එයා තමන් වගේමයි, නැත්නම් එයා ඉන්නෙ තමන් තුලමයි කියන දේ නිරූපනය වෙනව මෙතනින් ලස්සනට. අන්තිමේදි ඒ යක්ෂ ප්‍රතිබිම්භය නැතිව යනව බුද්ධත්වය ලැබීමත් එක්ක. මම කීප වරක්ම කියල තියෙනව වගේ සහ මේ මිතුරු කැලේ බොහෝ අය එකඟත් වෙනව වගේ සත්‍යය තියෙන්නේ තමා තුලම තමයි. ‍බාහිර ක්‍රම වලින් ඒක හොයන්න උත්සාහ ගන්න එක දැනගෙන කලොත් නම් හොඳයි.

විශ්වයේ කෙලවර
මට හම්බවුණ විධිය කියන්නත් හිතෙනව. ඒත් දැන් නිදිමතයි!


හික්! මේ.. මේකෙ මාතෘකාවෙ වචනවල පද බෙදුනෙ වැරදියට අප්පා...

Saturday, 16 August 2008

අබාට ජේසු පිහිටයි!

මේක මම ලියන්න හිතුවෙ ක්ෂණිකව. ටිකක් දුර දිග හිතුව නම් මේවගේ මල විකාර දේවල් ගැන කතා නොකර ඉඳියි මම.

මම දැක්ක අබා චිත්‍රපට විචාරයක තියෙනව අබා හරහා කතෝලික පල්ලිය සංස්කෘතිය ආක්‍රමණය කරනවා වගේ දෙයක්.

මම ඒක ගැන කියන එක එතනින් නවත්වනවා.

මම දන්න තරමින් අබාගෙ කාලෙ මේ කතෝලික ආගම ලංකාවෙ තිබුණෙ නෑ. ඒ නිසා මේ කියන විධියට ජීසස්ව සිහි කරන දර්ශන හරහා ඇත්ත පහදන්න වගේම ඕන නම් බුදුන්ගේ චරිතය හරහාත් යම් සත්‍යයක් කියන්න ජැක්සන් උත්සාහ කලා නම් හොඳයි තමයි.

ජැක්සන්ට අභියෝගයක් තියෙනව මුහුණ දෙන්න මීළඟට. මොකද මේ තර්කය අසාර්ථක නෑ. බුදුන් හෝ අදාල කතාවක් අදාල කරගන්න පුළුවන් කම තියෙන්න තිබුණා මීට වඩා. කොහොමත් ඒක කලාකරුවගෙ කැමැත්ත වෙන්න ඇති!

හැබැයි මම කියන්නෙ නෑ ජීසස් වැරදියි කියලා. සමාගම් නම් කෝකත් එකයි. ලොක්කො පරමාදර්ශ වුණත් දුවවන්නෙ අප්සෙට් සොක්කොනේ.

ජීසස් බුදුන් කියපු සත්‍යයම කියන්න ගිහින් (එයාගෙම ආරකට) බුදුන්ට තිබුණ රාජ්‍ය අනුග්‍රහය නොතිබුණ නිසා ක්රමය විසින් විනාශ කරපු නියම සත්‍යවාදී මනුස්සයෙක්. එයා මිය ගියෙ අපි වෙනුවෙන්. මිනිස්සුන්ගෙ සමාන අයිතිය වෙනුවෙන්. සෑම මිනිසෙක්ටම සුවසේ ජීවත් වෙන්න පුළුවන් සමාජයක් හදන්න තනිව කරපු අසාර්ථක විප්ලවයක ප්‍රතිඵලයක් වශයෙන්.

එයාට අපි කොයි තරම් ගරු කරන්න ඕනද? බුදුන්ට හෝ වෙනත් ඕනම ආගමික සාස්තෘවරයෙක්ට වගේම. බුදුන් ගැන මේ චිත්‍රපටියෙ දර්ශන තිබුණ නම් මෙහෙම ප්‍රශ්ණයක් නෑ නේද?

මම හිතන්නෙ දැන් අබා හදල අපි ඒක බලලත් ඉවරයි. රටේ සැලකිය යුතු පිරිසක් මේක බලයි! මේ හැමෝම මේ සංකේත අඳුනගන්න එකක් නෑ. අපි නොදන්න live නේ ලංකාව. ඔන නම් ජීසස්ව මතක් වෙයි. ඒ මොහොතින් අමතක වෙයි. චිත්‍රපටිය ඉවර වෙනකොට ජීසස් කවුද කියල මතක් කරගන්නත් ටික වෙලාවක් යයි. හික්!

කොහොමත් මේ ගැන තර්ක තේරුමක් නෑ දැන්. මේක කුමණ්ත්‍රණයක ප්‍රතිඵලයක් නම් චිත්‍රපටිය බලද්දි ඒ කුමන්ත්‍රණ කාරයො ටික කට කොනකින් හිනා වෙයි. එපමණයි.

අබා අපේ රටේ මිනිස්සු තුල ජාති ආගම් හෝ කුල භේද හදනවට වඩා තනි රටක් විධියට නැගී සිටීමේ අභිප්‍රාය වර්ධනය කරනව නම් හොඳයි. ඉන් පසුව බැරියැ ලෝකයක් විධියට නැගී සිටින්න. නමුත් ඒක මගෙ හිතළුවක් විතරක් වෙයි සමහර විට.

බොහෝ අයට මේක තවත් එක චිත්‍රපටයකට වඩා දෙයක් වෙන එකක් නැද්ද?