Thursday, 20 June 2019

නික්ම යාම



දමිත චන්ද්‍රසිරි අතුරුදහන් වී ඇත. අතුරුදහන් වී ඇත කියා කියන්නේ දැනට ඔහු පිළිබඳ තොරතුරු නතර වී ඇත්තේ ඒ ආකාරයට වීම නිසා මිස ඇත්තටම ඔහු අතුරුදහන් වී සිටීම නිසා නොවේ. ලකා කියන්නේ ඔහු සැඟව යන්නට ඇති බවය. සමාජයෙන් ගැලවී යම් කාලයක් හෝ සදහටම ඉන්නට උවමනාවක් ඔහුට තිබූ බව ලකාගේ ෆේස්බුක් සටහනෙන් හැඟවේ.

එහෙත් උන් දෙන්නා කර ඇති වැඩවල හැටියට මේ යම් ආකාරයක මාකටින් ගේමක් කියා නොසිතෙන්නේද නැත.

එහෙත් දමිත ඇත්තටම සැඟව ගොස් ඇති බව විශ්වාස කරන්නට මම කැමතිය. එය විශ්වාස කරන විට මට දැනෙන්නේ ඉරිසියාවකි.

ඒ නිමිත්ත කාලයක් අමතක කර හිඳින්නට උත්සාහ කල මතකයන් සහ කතාබහ රාසියක් නැවත සිතේ වේදිකාවට ගෙන එන්නකි.

ජීවිතේ පිළිබඳ විවිධාකාර අර්ථකථන මට තිබී ඇත. ඒවා කාලයක් තිස්සේ විවිධාකාරයෙන් හැඩගැසෙමින් වර්තමානය දක්වා පැමිණ තිබේ. එය සංවර්ධනයක්ද නැත්නම් නිකන්ම පරිවර්තනයක්ද යන්න මා නොදනිමි. වර්තමානය තුල මා ජීවත් වන පද්ධතියේ වඩාත් නිදහස් විභවයකට නිරායාසයෙන් ගමන් කිරීමට මා වඩාත් කැමති වන බව පමණක් මම දනිමි. එහෙත් ජීවිතය ගැන සෑහෙන කලකින් සීරියස්ව සිතන්නට උවමනා වී නැත. ඒ වර්තමානය වන විට ඒ පිළිබඳව සිත වෙහෙස නොකර ඔහේ සිටීමේ ප්‍රයත්නයක යෙදී සිටීම හේතුවෙනි. එහෙත් හිටිගමන් සැඟව ගිය මතකයන් ඉස්මතුව සිතට වද දෙයි.

ගනේගොඩයාව සෑහෙන කාලයකින් සිහියට නැගුණි. ඔහු සදහටම සැඟව ගොස් අවුරුදු හයක් සම්පූර්ණ වී ඇත. ඔහු සිටියා නම් ජීවිතේ බොහෝ දේ පිළිබඳව මා සිටිනු ඇත්තේ වෙනත් ස්ථාවරයන්හි වීම අනිවාර්යය. එහෙත් දැන් තනිව ජීවිතයට මුහුණ දිය යුතුය. ගනේගොඩයා මිය ගිය පසු මාගේ එක් මිතුරකු පැවසුවේ එසේ වීම නිසා මා නිදහස් වූ බවය. එවක මා ලියූ, කතා කල බොහොම දේවලට ගනේගොඩයාගේ සෙවණැල්ල වැටී තිබීම හේතුවෙන් තමා එසේ පවසන බව කියා ඔහු තම ප්‍රකාශය සාධාරණීකරණය කළේය. ඔහු නිරීක්ෂණයෙන් නිවැරදිය. නමුත් ඔහු දන්නේ මොනවාද?

ගනේගොඩ හිතනවාට වඩා හිතෙනවාට පෙම් කළ පුද්ගලයෙකි. 'හිතෙන්නෙ දැණෙන නිසා බං. හිතනව කියන්නෙ දැණෙන දේ තේරුම්ගන්න යන එක. එතකොට අපි අහුවෙන්න ඉඩ තියෙනවා.' ඔහු වෙනත් වචනවලින් එසේ කියා ඇත. හිතෙන දේ අමු අදහසක් නම් හිතන දේ යනු අප විසින් ගොඩනංවන ලද කෘතිම අදහසකි. එය වෙනත් අඩුවැඩියද එකතු වී පැරණි අදහස්වලින්ද දූෂ්‍ය වී ඇති දෙයකි. මා තර්ක කළේ හිතෙන දේ එහේ හිතෙන්නා තෘප්තිමත් කරන අතර හිතන්නා විසින් නිර්මාණයක් කරන බවටයි. හිතෙන පුද්ගලයා තමා තුල තෘප්තිමත් වන අතර හිතන පුද්ගලයා හිතීම ඔස්සේ නිර්මාණ කරයි. මා හට වූයේ නිර්මාණයක් කිරීමේ උවමනාවයි. 'ඒකත් එහෙම තමයි බං... කලාකාරයෙක් කියන්නෙ හිතෙන එකෙක්ද හිතන එකෙක්ද?' ඔහු නැවතත් ප්‍රශ්ණ කරයි. ඔය කිසිවක් පැහැදිලි නිර්වචන නැති තියුණු දාර නැති වචනාර්ථ සීමාවල් බැවින් තර්ක කර පැහැදිලි කරගැනීම අපහසුය.

ගනේගොඩයා හිතෙන්නෙක් වී හිතෙන දේ විඳිමින් හිඳ මිය ගියේය. මම හිතෙන හිතන හැමදේම තවමත් විසඳාගනිමින් සිටිමි.

ගනේගොඩ වරක් ඔහුගේ මරණය සිදුවීම ඔස්සේ සිදුවිය හැකි සිදුවීම් මාලාවක් පෙළගැස්වීය. එයින් ඔහු බලාපොරොත්තු වූයේ මිනිසුන්ගේ ප්‍රතිචාර කියවීමයි. එවකටද එය බැලූ බැල්මට පිස්සු වැඩක් වුවද අනිත් අතට මහාචාර්ය නන්දසේන රත්නපාල පන්නයේ පරීක්ෂණයකි. එහෙත් එය තනිව කල නොහැක. කිපදෙනෙකුගේ උදව් අවශ්‍යය.

ගනේගොඩ පිළිස්සී මිය යයි. අඟුරු වූ සිරුර මුද්‍රා තබන ලද පෙට්ටියක පැමිණේ. අපට කරන්නට ඇත්තේ මළ ගෙදරට පැමිණෙන ඥාතී මිත්‍රාදීන් ඔහු ගැන කරන කතා බහ වාර්තා කර ගැනීමයි. සැඟවී සිටින සැබෑ ගනේගොඩයා තම නාට්‍යමය මරණයේ අවසන් කටයුතු සිදු කරන දිනයේ වෙස්වලාගෙන කනත්තට පැමිණ, පෙට්ටිය වල දැමූ පසු චූටි අක්කා පසුපසින් ගොස් 'කොහොමද චූටි?' කියා අසයි. මුලින් තැතිගන්නා චූටි අක්කා සියල්ල වටහාගත් පසු අසලක ඇති වියළි පොල් හනස්සක් ගෙන ගනේගොඩයාට පහර දෙයි. මෙයට හවුල් වූ අපටද ගුටි වදියි. නමුත් අවසානයේ ඔහුට ජීවිතයේ පැතිකඩක අවබෝධයක් ලැබේ. තමන් ඇසුරු කරන්නන් පිළිබඳ කිසිදා දැනගත නොහැකි කරුණු රාසියක් එකතු වේ. බෝනස් එකක් ලෙස සුළු කලකට ගනේගොඩයාගේ පවුල් ජීවිතය අලුත් වේ.

මෙය ගනේගොඩ නම් කොන් ආර්ටිස්ට්ගේ පැත්තෙන් බලාපොරොත්තු විය හැකි වැඩක් වුවත් ඒ ගැන පසු කලක කල්පනා කරන විට සිතුනේ එය ගොන් වැඩක් කියාය. (මා කම්මැලියකු වී ඇත්තේ එවක 'මරු වැඩ' ලෙස සැලකූ සියල්ලද ගොන් වැඩ ලෙස වර්ගීකරණය කරගනිමින්ය.) විවිධ ක්‍රමවලින් අනුමාන කර ලබාගත හැකි ප්‍රතිඵලයක් වෙනුවෙන් බොරුවට මිය යාමේ විහිළුව අනවශ්‍ය ලෙස බරපතලය. පවුල් ජීවිතය ඉක්මනින් නැවත පරණ වනු ඇත. සාමාන්‍යයෙන් මිනිසුන් ජීවත්වන පුද්ගලයෙකුට වඩා මිය ගිය පුද්ගලයෙකුට ගරු කරයි. මියගිය පසු ලැබෙන ගෞරවයෙන් කිසිවෙකුට ගැලවිය නොහැක.

ගනේගොඩයා ඇත්තටම මිය ගිය පසු ඒ බව අපි අත් වින්දෙමු. පන්සලකට වැස්සකටවත් ගොඩ නොවූ ඔහු ගමේ විසූ හොඳම උපාසකයා බවට පත්කරමින් ගමේ පන්සලේ හාමුදුරුවෝ පාංශුකූලයේදී ගනේගුණ ගැයුවේය. අපි කීප දෙනෙක් පැත්තකට වී කතා කළේ මිය ගොස් ඇත්තේ වෙනත් කෙනෙකු විය යුතු බවටය. මියගිය පසු කිසිවකුගේ ජීවිතය තමන්ට අයිති නැත. සමුගත යුත්තේ අනුන්ට උවමනා විධියටය.

ගනේගොඩයා වනගතව සැඟවීමේ අදහස විහිලුසහගත කළේය. එහෙත් වනගත වී සැඟවීම සම්බන්ධයෙන් අපට වූයේ වෙනම අදහසකි. ඇත්තෙන්ම මට ඒ පිළිබඳව දැණුදු පැහැදිලි අදහසක් නැත. වනය යනු අප ජීවත්වන වටපිටාවම බව ඔහුත් මමත් පිළිගත්තෙමු. එහෙත් ඒ ගැන ප්‍රමාණවත් තරම් සාකච්ඡා කරන්නට අපට කාලයක් නොවීය. ඔහු 2012දී මිය ගියේය. නොඑසේ නම් එතැන් සිට අද දක්වා ගතවුණු අවුරුදු කීපය තුල නරඹන්නට හැකිව තිබූ චිත්‍රපටි ඔස්සේ අප දෙදෙනාට අපි සිතූ බොහොමයක් තියරිවල ප්‍රායෝගික අවස්ථා කතා කරන්නට හැකියාව ලැබෙන්නට තිබුණි.

විමුක්තිය සොයන්නට කියා වනගත වෙන්න උවමනා නැත. විමුක්තිය හරියට අහුවන විට වැඩක්පලක් කරගෙන ජීවිතේ නිදහසත් රැකගෙන ඔහේ ජීවත් වන ක්‍රමයද අසුවේ. කෙසේ ජීවත් වුවත් පරිසරයට හැඩ ගැසිය යුතුමය. එයට වනය හෝ නගරය ලෙස වෙනසක්ද නැත. තමන්ට පවතින්නට උවමනා කෙසේද යන්න තීරණය කල පසු අවශ්‍ය වන්නේ ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වීම පමණි.

ගනේගොඩගේත් මගේත් කතාබහේ වනගත වෙන තරුණයා අවුරුදු 20 ඉක්මවූවෙකි. ඔහු ජීවිතයේ වගකීම්, බැඳීම් සියල්ලෙන් ගැලවී නිදහස් වීමේ උවමනාවෙන් ඩෙනිමක් හා ටී ෂර්ට් එකක් ඇඳ කැන්වස් සපත්තු දෙකක් පැළඳ වනගත වෙයි.

හවස ෆුට්බෝල් සෙල්ලම් කරන්නට එකතු වී ආපසු ගෙදරට නොයා ඔහු තණ පිටිය කෙළවර වැට්න් එපිට රක්ෂිතයේ සීමාව පසු කර වනගත වෙයි.

පළමු දිනයේ ඔහු ඉන්නේ උතුරන සතුටකිනි. දීර්ඝ කාලයක් කල්පනා කරමින් සිටි තීරණයක් ඔහු ගෙන තිබේ. හිතට නිදහසක් දැණේ. මෙම තීරණය ගැනීමට පෙර හිතට බරක් වී පැවති සියළු ප්‍රශ්ණ තවදුරටත් ප්‍රශ්ණ නොවේ. අත්හැර දමා ආ අය පිළිබඳව හැඟීමක් නොදැනේ. ජීවිතය අළුතින් ආරම්භ කර ඇත.

කුසගින්න දැණුනත් ඔහුට හිතට හරියන කෑමක් සොයාගත නොහැකි වේ. වනයේ ඔහු දන්නා පළතුරක් සොයාගත නොහැක. ගහ කොළ පිළිබඳ එහෙමට දැනුමක්ද ඔහුට නැත. හිතේ අනුමානයෙන් වසක් විසක් නැතැයි තීරණය කර ඔහු ගසක කොළ ටිකක් ආහාරයට ගනියි. ඒ කොළ ඇඹුල් රසය.

රාත්‍රියේ නතර වෙන්නට ඔහු තෝරාගන්නේ ගල් ගුහාවකි. එහෙත් එය ගුහාවක්ම නොවේ. පොළොවට සුළු ආනතියකින් පිහිටි විශාල පර්වතයක් හේතුවෙන් පොළොවේ යම් කොටසක් ආවරණය වී ඇත. එහි අපහසුවකින් තොරව ඇළවී සිටිය හැක. ඔහු පර්වතය පාමුල පොළොවේ වියළි ශාක පත්‍ර අතුරා දළ යහනක් සාදා වැතිරෙයි.

අඳුර උදාවන විට මදුරුවන්ගෙන් ඔහුට සැලකිලි ලැබේ. මදුරුවන් නොවන වෙනත් කෘමීන් වර්ගයක් හෝ කීපයක්ද වෙසෙන බව ඔහුට දැණේ. හතර අතට තලමින් ඔහු සවස් කාලය ගෙවා දමයි. ගින්නක අඩුව ඔහුට දැණේ. හෙටම ගින්නක් ඇතිකරගන්නට අවශ්‍ය පරීක්ෂණ ආරම්භ කල යුතු වේ. ලී කූරක් තදින් පිරිමැද වියළි පත්‍ර අවුළුවාගන්නා අවස්ථා සහිත චිත්‍රපටි ඔහු නරඹා ඇත. එය හෙටට කල් දැමේ. අද දින ඉවසා සිටීම හැර විකල්පයක් නැත. කුස ගින්න දැණෙන අතරම වැතිරී හිඳි ඔහුට මැදියම් රැයේ නින්ද යයි.

මුහුණට ජල බිඳු කීපයක් වැටෙන විට වේලාව මහ පාන්දර විය යුතුය. නින්දෙන් මිදෙන ඔහු පර්වත බිත්තියේ මුල්ලටම තල්ලු වී ඇකිලී යයි.. ලා පොදයකින් ඇරඹි වැස්ස පසුව දා පහන් වන විට කෙමෙන් තරමක වැස්සක් බවට පත්ව ඇද හැලෙයි. තරුණයා පර්වතයට තදින් පිට තබා හේත්තු වේ. එහෙත් ඔහු සහමුලින්ම තෙමී ඇත. පර්වතය ඔස්සේ ගලා එන ජලය කිතියක්ද දනවමින් ඔහුගේ පිට ඔස්සේ ගලා යයි. ඔහු හිඳ සිටින තැන ජලය පිරී කෙමෙන් මඩ ගොහොරුවක් බවට පත් වෙයි. හිමිදිරි සීතලත්, වැස්සත් සමග ඔහුගේ දත් ඇඳි එකට ගැටේ. පර්වතය පාමුළ ගුළි වී වෙව්ලමින් ඔහු උණුසුමක් සොයයි. පළමුවරට කණගාටුවක් දැණේ. කාංසාවක් දැනේ.

උදෑසනත් සමග තුනීව යන වැස්සෙන් පසු නැගිටින ඔහු අව් රැල්ලක් සොයා පර්වතය වටා එහි මුදුනට නගියි. පර්වතය කඳු වැටියකට යාව ඇත. වැස්සෙන් තෙත්ව ඇති පොළොවේ වැඩි දුරක් පාවහන් සහිතව ගමන් කල නොහැක. මඩ ගොඩක එරී යන සපත්තුවක් නැවත ගලවාගැනීමට වෙහෙස නොවී ඔහු අනිත් සපත්තුවත් ගලවා දමයි. නිරුවත් දෙපයින් ඔහු පර්වතය මුදුනට ඇවිද යයි. කූඩැල්ලන් කීප දෙනෙකු විටින් විට ගලවා දමමින් ඔහු පර්වතය මත තැනිතලාවට ළඟා වේ.

පර්වතය මුදුනේ දිය කඩිත්තකින් වතුර බිඳක් බොන ඔහු ගල් තලාවේ වැතිර හිරු එළියෙන් වියලෙයි. ඇඳුම් සිරුරේ නොඇලෙන තරමට වියලී ගිය පසු පර්වතය මත ඇවිදින ඔහු තැන් කීපයක ඇති සතුන්ගේ වසුරු දකියි. පර්වතය මුදුනේ දිය කඩිත්ත වන සතුන් අතර ජනප්‍රිය එකක් විය හැක. කලින් නොදැණුන ලා තැතිගැන්මක් දැනේ. වනගත වීම සූදානමකින් සිදු වූවක් නොවේ. සියළු කාරණා සලකා බලා නැත. එසේ විය යුත්තේද නැත.

ඊළඟ අභිප්‍රාය බඩගින්න නිවාගැනීමය. දශක දෙකකට වැඩි ජීවිත කාලය තුල ඇති කරගත් පුරුදු අත්හැරදැමීම එකවර කල නොහැක. ක්‍රමයෙන් වනයට ගැලපෙන රටාවකට ජීවිතය හුරු කරගන්නා තුරු සිරුර හුරු වී ඇති පරණ පුරුදු ආකාරයට දින කීපයක් ගෙවන්නට සිදු වනු ඇත. කලින් දා කෑමට ගත් කොළ වර්ගයද අමිහිරි අත්දැකීමක් එකතු කර ඇති බැවින් වඩා හොඳ කෑමක් සොයාගත යුතුය.

නහයට හුරු පුරුදු සුවඳක් ඔස්සේ ඉව කරන ඔහු ගසක තරමක් උසින් ඇති සතුන‍් සිදුරු කල වරකා ගෙඩියක් දකියි. පර්වතයේ තැන්න අවසන්ව කන්ද ඇරඹෙන තැන කොස් ගස් කීපයකි. කොස් ගහක් නොදන්නේ කවුද?

ඔහු ගෙඩිය කඩාගන්නා විධියක් කල්පනා කරයි. මදක් කන්දට නැග ආධාරකයකින් කොස් ගසේ දෙබලකට පය තබයි. කොස් ගෙඩිය දෑතින්ම සොලවයි. නටුව අඹරයි.

පිහියක් තිබුණා නම් කියා සිතේ.

දින ගණනාවක් වනය තුල ගැවසෙන තරුණයා නැවත කල්පනා කරයි. ඔහුට අවශ්‍ය නිදහස වනය තුල ඇත්තටම පවතීද? සමාජ ජීවිතය නැති වීම එක විධියක පහසුවකි. බොහෝ ප්‍රශ්ණ ගැන තවත් වද වෙන්නට උවමනා නැත. අනිත් අයට උවමනා ආකාරයට වෙනස් වීමට අවශ්‍ය නැත. සල්ලාපයේ උවමනාව නිසාම කලින් දා විකාශය වූ ටෙලි නාට්‍ය ගැන කියවන්නටද අවශ්‍ය නැත. සල්ලාපයේ නොයෙදුනා කියා කොන් වීමේ අවදානමක්ද නැත. ප්‍රවෘත්ති ඇසිය යුතු නැත. දේශපාලකයන් ඕනෑම නැටුමක් නටාගත්තාට කමක් නැත.

ජීවිතය මදක් කුඩා වී ඇත. එය හිස් නොවී පවත්වාගන්නට බොහෝ දේවල් සොයන්නට අවශ්‍ය නැත. ජිවිතය තුල කිසිදු හිස් බවක් නොදැනෙන තරමට එය කුඩා කරගත හැකිනම්...

එහෙත් වනගත ජීවිතය ඔය කියන තරම්ම නිදහස්ද?

දින කීපයක් ගතවේ...

සැලකිල්ලෙන් බලන විට වනය තුලද නිදහස අහිමි කරන දේවල් බොහොමයක් ඇති බව ඔහුට හැඟේ. වනයේ ජීවත් වීමට අවශ්‍ය අවම පහසුකම් සපයාගත යුතුය. ඒ වෙනුවෙන් තව අමතර දේවල් එකතු කරගත යුතුය. ඔහු ගල් පතුරුවලින් කටුක පිහිතල කීපයක් සාදාගෙන ඇත. වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව මගින් වනයේ පිවිසුම් මගක සවි කර තිබූ යකඩ දැන්වීම් පුවරුවක තහඩුව ගලවා ඔහු වඩා සාර්ථක ආයුධ හදන්නටද සැලසුම් කර ඇත.

වඩා ගැඹුරට විහිදුන, එහෙත් ජලය නොරැඳෙන ගුහාවක් සොයාගැනීමට හැකි වූ බැවින් වහලක අවශ්‍යතාවයක් දැන් ඇත්තේ නැත. වැටී තිබූ ගස් කඳන් කීපයක් වැල්වලින් බැඳ දළ මැස්සක් ඔහු සාදාගෙන ඇත. එය නිදන්නට තරම් සුමට නැති බැවින් ඔහු එය යට නිදයි. එවිට මදුරුවන් සහ වෙනත් සතුන්ගෙන් මද ආරක්ෂාවක් ලැබේ. එහෙත් පාන්දර සීතලට පිලිසරණක් නැත.

කාලය ගත වෙයි. තරුණයාට සිතන්නට උවමනා තරම් වෙලාව ඇත. එහෙත් සිතන්නේ මොනවාද? දිනය තුල පැවතීම ඔහුගේ පරම අවශ්‍යතාවය වෙයි. ඒ පිළිබදව සිතන්නට ඇති දේවල්ද ක්‍රමයෙන් ක්ෂය වී යයි. කෑමට ගත හැකි දේවල් පිළිබඳව දැන් ඔහුට අවබෝධයක් ඇත. එම ආහාර කර්කෂය. රළුය. එහෙත් කුසගින්න නිවන්නට සමත්ය. පිහියක් සෑදීමට යකඩ තහඩුවක් සොයා වනයේ පිවිසුමට යාමේ උවමනාවක් දැන් නැත. අවශ්‍යතාවයන් සපයාගැනීමට උවමනා කරන දළ ආම්පන්න ගණනාවක් ඔහු සකස් කරගෙන ඇත. ගිණි අවුළුවන්නටද ඔහු උපක්‍රමයක් අටවාගෙන ඇත. ඒත් ගිණ්නෙන් පලහාගන්නට තරම් විවිධ ආහාර වර්ග ඔහුට නැත. ආහාර නොගන්නා වාරද ඇත. නමුත් කුසගින්නේ සිටින්නට තරම් හිඟයක්ද නැත. නියමිත වේලාවකට ආහාර ගැනීමට වඩා කුසගින්න මගින් මෙහෙයවන ආහාර රටාවකට ඔහු හැඩ ගැසී ඇත.

කුසගින්නට යටත් නොවනු පිණිස ඔහු ගුහාවේ කෙළවරක බිත්තියේ තිරස් අතට වලක් හාරා අල වර්ග කීපයක් එහි ගබඩා කරගෙන ඇත. ඒවා අල දඩයමේදී වැඩිපුර එකතු වෙන ඒවායි. දින කීපයක් නැවුම්ව තබාගත හැක. වියලී ගියත් කෑමට හැක. කොහොමත් එවෙලේ හොඳයි කියා හිතෙන ඕනෑම දෙයක් කෑමට දැන් ඔහුට හැකියාව ලැබෙමින් තිබේ. හිතත් ශරීරයත් එයට හුරුව ඇත.

තදින් වැසි වසින දිනයක ආහාරයක් සොයාගත නොහැකි අවස්ථාවක බඩගින්න දරා සිටින විටදී ඇතැම්විට අම්මා හැදූ කෑම රස ඔහුට මතක් වේ. ඔහුගේ කටට කෙළ උනයි.

වැස්සද ගණන් නොගෙන කෑමට යමක් සොයා වරක් ගුහාවෙන් පිටව ගිය අවස්ථාවේ කන්දෙන් පහලට ලිස්සා ගොස් බේරුණේ අනූ නවයෙනි. එදින හොඳටම තෙතබරිව පැමිණ ගුහාව තුල අටවාගත් පැළ ගිණිමැලයෙන් වියළෙන්නට හැකි වුවත් ඉන් පසු දින ගණනාවක් සෙම්ප්‍රතිශ්‍යාවත් උණත් සෑදී ඔත්පලව ඉන්නට සිදු විය.

ඔහුට මරණ බිය දැණුනි. ගත් තීරණය වැරදි දෝ යි නැවතත් සිතුණි.

සවස් යාමයේදී සිරුරේ මඩ ආලේපයක් තවරාගැනීමෙන් මදුරු කරදරයෙන් ගැලවිය හැකි බව ඔහු අත්දැකීමෙන් දැනගනියි. එම ක්‍රමය වනය තුල මෙහෙයුම්වල නිරත සොල්දාදුවන්ද පුරාතනයේ පටන් වනගතව බවුන් වැඩි තවුසන්ද භාවිතා කරන්නක් බව තමා දැන සිටිය බව ඔහුට මතක් වෙයි. එහෙත් එය කල්පනා වූයේ දිනක් මඩ ගොහොරුවක එරී ගිය පසුවයි. එදිනට පසු රැය උදාවත්ම ඔහු ශරීරය මඩින් ආලේප කරගත්තේය.

ගිණිමැලයක් දැල්වීමෙන්ද මැසි මදුරු කරදරය අඩු වී යයි. රාත්‍රියේ කීයට හෝ එය නිවී යතත් ඒ වන විට ඔහුට නින්ද ගොස් තිබේ. රාත්‍රිය උදාවත්ම නින්දට යාම හැර කල හැකි වෙනත් දෙයක්ද නැත.

දිවා කාලයේදීද ආහාරයක් සෙවීම විනා ඔහු වෙන දෙයක් නොකරයි. ඇතැම් විටක මුළු දහවලමත් නින්දෙන් ගෙවයි. බලාපොරොත්තු හෝ වගකීම් කිසිවක් නැත. මහ ලොකු බරපතල දේවල් සිතෙන්නේද නැත.

නොසිතෙන්නේද නැත.

තමා වරක් සිතින් පෙම් කල තරුණිය ඔහුට සිහි වේ. ඒ පාසල් සමය අවසන්ව විභාග ප්‍රතිඵල පැමිණෙන තුරු ඉංග්‍රීසි ඉගෙනීමට අධ්‍යාපනය ලද සමයයි. ඇයටද ඔහුගේ ජීවිතය හා එක් වන්නට අවශ්‍යව තිබූ බව ඔහු දැන සිටියේය. එහෙත් තමන්ට ජීවිතය පිළිබඳ පැවති අස්ථිර ආකල්ප හේතුවෙන් එම ප්‍රේමය සිත තුල පමණක් තබාගන්නට ඔහු පරිස්සම් විය. එය එසේ වූවා නම් ඇය තනිවන්නට ඉඩ ඇති බවට ඔහු සැක කළේය. මන්ද එවකද ඔහු වනගත වෙන්නට තීරණය කර සිටියේය. බැඳීම් ගලවා දමන්නට ඔහුට උවමනා විය. ආදරය නොදැනෙන තරමට ඉන් ඈත්ව සිටින්නට ඔහුට උවමනා විය.

පසු කලෙක ලද ලිංගික අත්දැකීම්වල ආදරය තිබුණේ නම් ජීවිතය ගැන ආකල්ප වෙනස් වෙන්නට හැකියාව තිබුණි. එහෙත් මුදලට ලබාගත් එම අත්දැකීම් හුදෙක් කුතුහලය විසින් මෙහෙයවූ ආසාවල් තෘප්ත කරගැනීමකින් එපිටට ගියේ නැත. ජීවිතයේ විඳින්නට අවශ්‍ය බොහෝ දේ විඳින්නට අවශ්‍ය කාලයක් ඔහුට විය. ලිංගික ආසාව පදනම්ව ඇතිවන ආදරයක් පිළිබඳව පමණක් ඔහුට අත්දැකීමක් ලබාගත හැකි වූයේ නැත. ඒ ඔස්සේ බිඳ දැමිය නොහැකි බැඳීමත් ඇති වේ යැයි ඔහු තුල සැකයක් විය.

රැකියාවක් කරන්නට පටන්ගත් පසු එම රැකියා ස්ථානයේ ඔහුව සිත්ගත්, පවුල තුල අසතුටින් ගෙවූ විවාහක කාන්තාවක් ඔහු වෙත ගෙන දුන්නේ තවත් අත්දැකීමකි. තමන් වරදක් සිදු කරන බව දැන දැනද දීර්ඝ කාලයක් ඔහුට ඉන් ගැලවීමට අපහසුව ගෙවී ගොස් තිබුණි. ජීවිතයද මිනිසුන්ද ගැන තවත් කළකිරීමක්ද වේදනාවක්ද සහිතව ඔහු එයින් මිදෙන විට වනගත වීම පිළිබඳ ඔහුගේ ආසාව තවත් ලියලා තිබුණි.

වනගත වූ පසු කිහිප වරක් ඒ අතීත මතක ඔස්සේ ලිංගික තෘප්තිය සෙවූ අවස්ථා විය. එය සම්පූර්ණයෙන්ම අසාර්ථක වූයේ නැත. එහෙත් එය කෙමෙන් දුර්වල වී ගියේය.

අම්මාගේ ආදරය සහමුලින්ම අමතක කිරීමට ඔහු අසමත්ය. ඇය ඔහුගේ ජීවිතය බොහෝ සෙයින් පහසු කර තිබුණි. එදිනෙදා ජීවිතයේ මහන්සි විය යුතු බොහෝ දේවල් ඈ විසින් සිදු කරමින් පැවතුණි. ඒ නැතත් ඔහුට ජීවිතය පහසුවෙන් ගෙවන්නට හැකියාව තිබුණි. ඔහු හැර දමා වනගත වූයේ පහසු ජීවිතයකි. රස්සාවත්, නිවසත්, හදාරමින් සිටි අධ්‍යාපන පාඨමාලාවත්, පොතුත්, ෆුට්බෝල් ක්‍රීඩාවත් මිතුරනුත් අත්හැර වනගත ව ලබාගැනීමට අපේක්ෂා කල නිදහස කුමක්ද?

සිතන්නට ඔහුට නිදහස තිබුණි. අවශ්‍ය නම් නිදහස සාදාගැනීමටද හැකියාව තිබුණි. එහෙත් සියල්ල අත්හැර වනගත වීම තුල ජීවත් වීමේ නිදහස වඩා පුළුල් කරගැනීමකට වඩා දෙයක් පවතී යැයි ඔහු විශ්වාස කළේය.

ක්‍රමයෙන් ඔහුට වනය ඒකාකාරී බව දැනෙන්නට පටන්ගනී. උදාවෙන දිනය තුල පැවතීමේ අභියෝගය හැර ඔහුට අභියෝගයක් නැත. ජීවිතේට අභියෝග අවශ්‍යමද? ඒකාකාරී බව නැති කරන්නේ එකිනෙකට වෙනස් අභියෝගද? අභියෝගය කියන්නේ හිත විසින් ඉල්ලන රහ ආහාරයක් නෙවෙයිද? අභියෝගයකුදු අවශ්‍ය නොවන ගණනට හිත මෙල්ල කරගන්නට විධියක් නැද්ද?

පරීක්ෂණයක් ලෙස සිතා ඔහු භාවනා කරන්නට උත්සාහ දැරීය. භාවනාව පිළිබඳව න්‍යායික අවබෝධයක් ඔහුට නැත. ඒ හෙයින් එය පරීක්ෂණයක්ම විය. සිත ගැනම සිතන්නටත් සිතෙන දේවල් නැවත සිතන්නටත් ඔහු උත්සාහ කළේය. සිතුනේ ඔහු ගෙවන වනගත ජීවිතයත් ඒ වෙත එළඹීමට ඔහු දිගු කලක් කල අරගලයත් ගැන පමණි. භාවනා නොකලද වනයේ අසිරියකින් ප්‍රමුදිතව සිතුවිලි රහිතව ගෙවූ නිමේෂයක හැර ඔහු නිතර සිතමින් සිටියේ ද ඒ පිළිබඳව පමණි.

භාවනාවෙන් බලාපොරොත්තු වන්නේ කුමක්ද යන්න පිළිබඳ අවබෝධයක් ඔහුට නොවීය. භාවනාව යනු සිත එකඟ කිරීම යැයි උගන්වා ඇති බැවින් සිතට එන සිතුවිලි යටපත් කර එය ආයාසයෙන් එකඟ කරන්නට ඔහු වෑයම් කලේය. අවසානයේ වෙහෙසක් ඉතිරි විය. කල් ගෙවෙද්දී වෙහෙසක් නොවේ යැයි සිතා ඔහු තවත් වෑයම් කළේය. එහෙත් එය හරි යන කෙරුවාවක් නොවීය. නැත්නම් ඔහු දන්නා භාවනාව බොරුවකි. ඒ ගැන ඉගෙන ගන්නටද ක්‍රමයක් නැත. ඒ ගැන සිතීමද වෙහෙසකරය.

මෙය ඔහු පැතූ නිදහස නොවේ.

නැවත තමන් ගන්නා ලද තීරණය පිළිබඳව සලකා බැලීමට අවශ්‍ය බවක් ඔහුට කෙමෙන් වැටහුණි. ඒ සඳහා ඔහු පිවිස සිටියේය.

නිවසත් රාජකාරියත් ප්‍රමුඛව ගෙවූ කාලයේදී ද ඔහු වින්දේ වර්තමානය හා සමාන නිදහසක් බව ඔහුට දැණෙන්නට විය. ජීවත් වන ක්‍රමයත්, වට පිටාවේ දර්ශණයත් වෙනස් වීම හැර වෙනත් විශේෂ යමක් සිදු වී නැත. එසේ නම් ජීවිතයේ වෙනසක් අපේක්ෂාවෙන් ගන්නා ලද තීරණවල තේරුම කුමක්ද? නගරයේ සංකීර්ණ යැයි සිතූ ජීවිතයත් වනයේ නිදහස් යැයි සිතූ ජීවිතයත් අතර ඇත්තේ විස්තර කළ නොහැකි තරම් සුළු වෙනසක්ද?

ඔහු සිතිවිලි ඔස්සේ හඹා යන්නට විය. දොළ ඉවුරේ අඳුරේ හිඳින විට පඳුරු අතරින් පෙනෙන ගලා යන ජල තලය මත ඔහු පිහිනීය. අහසට නැග දිය බිඳු ගසා වලා අතරින් ඉගිලීය. වායු ගෝලය ඉක්මවා තාරකා දෙසට පාවීය. එම ගමනේ කිසිම පාලනයක් තිබුණේ නැත. හිතට නිදහසේ පාවී යන්නට ඉඩ දුන් මොහොතකි එය.

එතකොට...

පාලනයකින් තොර වන්නේ හිත විතරද? හිතේ සීමාව ඇත්තේ දැනුමේ සීමාවෙනුත් එපිටද?

ඔහු හිතුවා...

ඔබ තාරකා ගැන දැනුවත් නම් ඒ දෙසට හිතෙන් පියාඹල යන්න පුළුවන්. අභවකාශයේ නෙබියුලාවක් ගැන දන්නේ නම් ඒ තුල දහසක් සූර්යයන් ඉපදෙන අයුරු නැරඹිය හැකියි. කලු කුහර ගැන දන්නේ නම් මන්දාකිණියේ මධ්‍යයේ කළු කුහරය තුලට යා හැකිය.

ඉන් එපිට යා නොහැක්කේ ඒ ගැන දැනුමක් නැති නිසාද? නැත්නම් ඉන් එහා නොදන්න ඉසව් වල හිත හිතුමතේ යන නිසාද? දන්න තැන්වල පිළිවෙලට සැරිසරන ගමන් නොදන්න තැන්වල හිතුමතේ යන්න පුළුවන්ද හිතට? එහෙමනම් නම් සිතට යා හැකි දුර අසීමිතයි. සිතට ඇති නිදහස අසීමිතයි. එය සියලු සීමාවලින් බැහැරයි.

එතකොට හිත හිර වෙලා තියෙන්නෙ හිතෙන්ම හදාගත්ත සීමාවක නෙවෙයිද? ඒ සීමාවල් ගලවගන්න පුලුවන් නම් හිතට ලැබෙන නිදහස අසීමාන්තිකයි නේද?

ඉතින් ශරීරය පවතින තැන් වෙනස් කරල හිතේ නිදහස ලබාගන්න පුළුවන්ද? ශරීරය ලබන අත්දැකීම වෙනස් වීම මත සිතේ නිදහස උදා වෙයිද? නිදහස විඳින්න භෞතිකව ඉන්න තැන අදාලද?

ඔහුට තීරණයක් ගන්න ඕන වුණා...

ඇත්තෙන්ම හිතේ අසීමාන්තික බව තුල නගරයත් ගමත් වනයත් අතර වෙනසක් ඇත්තේම නැත. තවත් සරල වුවහොත් ගම නගරය වනය වැනි ස්ථානීය දෑ සිතට අදාල නැත. අවශ්‍ය වන්නේ ඒ දේවල්වලට ලොබ බඳින සිතේම එක් කොටසකින් ගැලවීමයි. නැතිනම් එය ගලවා දැමීමයි. සිත සිතෙන්ම නිදහස් කරගැනීමයි.

ලෝකයේ හෝ ජීවිතයේ තේරුම සෙවීමෙන් පලක් තිබේද? මරණය තෙක් එක් එක් දේ කරමින් පැවතීම ජීවිතයයි. එය කිසිම පාලනයකින්ද තොරයි. හැම විටම සිතන්නට දේවල් එකතු කරගැනීම ජීවිතය පවත්වාගැනීමට ඉන්ධන සපයයි. ඒත් ජීවිතය යනු කිසිවකුගේ අවධානයට ලක් නොවී අභ්‍යවකාශයේ පාවෙන දූවිලි කැබැල්ලකට වඩා වෙනස් දෙයක් නොවේ. ජීවිතයට ලබා දී ඇති වටිනාකම් කිසිවක් සැලකිය යුතු දේවල් නොවේ. එම වටිනාකම් සියල්ලෙහි අරමුණ හිත සීමා කිරීමයි.

තමන් හිතන දේවල් ගැන ඔහුට සන්තෝසයක් දැණුනා. එහෙන් මෙහෙන් දැණුන දේවල් අදහස්වලින් තේරුම්ගන්න තරමට හිත මෙහෙයවන්න ඔහුට පුළුවන් වෙලා තියෙනවා. ඒ කියන්නේ හිතේ පාලනය අතට ගත්තොත් ඕන ගේමක් ගහන්න පුළුවන්ද?

එහෙම නැත්තං ගේමක් ගහල සනසවන්න අවශ්‍ය නැති තැනට හිත ගේන්න පුළුවන්ද? දෙකින් හරි මොකක්ද? හරි වැරැද්ද කියල දෙයක් තියෙනවද?

සිද්ධ වෙන දේවල් ගැන ප්‍රතික්‍රියාවක් දක්වන්න අවශ්‍ය නැත්නම්? එහෙම වුණාම ජීවිතේ කොහොම ගෙව්වත් ඒක කාටවත් ගැටළුවක් වෙන්න විධියක් නෑ. ඔව් කිසි දෙයක් ගණං නොගන්න ජීවිතයක්... කැලේ හිටියත් එකයි ගමේ හිටියත් කොහේ හිටියත් එකයි...

දින ගණනකට පස්සෙ ඔහු දොළ ඉවුරේ පඳුරු ගොන්නෙන් එලියට ආවා. දණක් ගැඹුරු වතුර පහරේ වැතිරුණා. විනාඩි ගණනක් තෙමුණා. මාස ගණනකට පසු දැණුනේ සැහැල්ලුවක්. දැන් අභියෝගය වුණේ ඒ සැහැල්ලුව පවත්වගන්න එක.

නැහැ. අභියෝගය වෙන්නෙ අභියෝග ගණන් නොගෙන ඉන්න එක. සැහැල්ලුව උදා වෙන්නෙ එහෙම.

ඔහු හෙමින් ආයෙමත් ගම පැත්තට ඇදුණා. මාස කීපයක කාලයකට පස්සෙ ආයෙත් සමාජයට යන එක ගැන ඔහුට මුලදි දැණුන ලොකු නොසන්සුන්කම දවස් කීපයකට පස්සෙ තුනී වෙලා තිබුණා.

වනයේ මායිමේ පිට්ටනියේ ඔහුගේ ගමේ මිතුරන් ෆුට් බෝල් සෙල්ලම් කරමින් හිටියා.

No comments:

Post a Comment

මං ඔයාගෙ එකේ බයිල ගහන නිසාවත් ඔයා මාව දන්න නිසාවත් නෙවෙයි. මගේ වමනෙ පාර දැකල ඔයාලටත් වමනෙ යන්ඩ වගේ එනවනම් විතරක් මේ කොමඩ් එකට දාන්ඩ!