අප්සෙට් ගී එක්ක රැඳෙන්න පුළුවන් කියල කලින් රේඩියෝ පෝස්ට් එකේ කිව්වනේ. ඉතිං මේ කියන්න යන්නෙ අප්සෙට් ගීත කීපයක් ගැන. අප්සෙට් කිව්වට අප්සෙට් නෑ. සින්දුනේ... ඇත්තම කිව්වොත් කිසිම සින්දුවක් අප්සෙට් නෑ. එක එක නීති රීති දාගෙන සින්දු අහල ඒවට ලේබල් ගහන අපි තමයි අප්සෙට්. හැබැයි එහෙම ලේබල් නොගහ සින්දු අහන එකත් සාමාන්‍යයෙන් අමාරු වැඩක්.
එව්වයෙන් වැඩක් නෑ.
සාමාන්‍යයෙන් සෑහෙන්න සින්දු අහන මනුස්සයෙක් විධියට සමහර සින්දු අහද්දි තේරෙන සමහර දේවල් ගැන නොකියා බෑ. මතකයිනෙ ශ්‍රී ලාංකික සමරිසි ගීත එකතුව ගැන, එහෙම නැත්තං සුද්දන්ගෙ සංගීත පිඟාන ගැන. අද කියන්න යන්නෙ ඒ දෙකටම වඩා වෙනස් එකක් ගැන...
අවුරුදු 4කින් කෙලවාගැනීම කියල කියන්නත් පුළුවන් මේකට. ඒ කියන්නෙ අවුරුදු 4 ලව් ගැන ගැන සඳහන් වෙන ගීත. විශේෂයෙන් ලියන්න තරම් ඒක විශේෂ වෙන්නෙ මේ ලක්ෂණ තියෙන සින්දු 4ක්ම මට හමුවීමයි. අනික මමත් අවුරුදු 4කින් කෙලවාගැනීම නිසයි... ඒක වෙන කතාවක්!
මේක තමයි පළවෙනි එක.
තනි වෙන්නට මගේ ලොවේ
පුරුදු පාළුවෙන්
රැගෙන යන්න සොඳුරියේ ඔබේ
සුවඳ මා ළගින් //
සිව් වසරක පෙම් ගීතය
ගොළු වෙලා ගියාදෝ //
අළුත් ලොවක ඔබ සතුටින්
කිරුළු පැළඳුවාදෝ
තනි වෙන්නට මගේ ලොවේ...
මායාවකි ප්‍රේමය මා
හදවත රිදවූයේ //
සෝ ගීයකි දුක්බර වූ
සැනසුම කොහි වේදෝ
තනි වෙන්නට මගේ ලොවේ...
සංගීතය - රෝහණ වීරසිංහයන්
ගී පද - බුද්ධදාස ගලප්පත්ති
අනේ පව්... අවුරුදු 4කින් ගොළු වෙලා ගිහින්. හැබැයි වික්ටර් රත්නායක තාම ගොළු නෑ.
බලන්න මෙයාට මොකද වෙලා තියෙන්නෙ කියලා
සිතුවිලි ගංගා දෙනෙතෙහි ඇඳෙනා
කඳුලක් වී දෙනෙතෙහි පාවේවා
සුසුමන් හැඬුවා ඒ ඔබ හින්දා
ආදරයට සිවු වසරක් ගෙවුණා
ආදරයට සිවු වසරක් ගෙවුණා
රතු මල් කලඹක සුවඳ ගලා ගිය
මනරම් වූ ඒ හැන්දෑවේ
සුදු මල් අහුරක් අතින් තුරුලු කර
කවුරුද හොර රහසෙම හැඬුවේ
කාටද පෙම් ලොව දුක දැණුනේ
සිතුවිලි ගංගා දෙනෙතෙහි ඇඳෙනා...
පෑයූ රන් දේදුනු නිල් අහසේ
වැහි කෝඩෙන් සැඟවී යනවා
මනමාලී ඔබෙ විකසිත පැතුමන්
පවු කල දෑසින් පාරනවා
රෑ සඳ මගෙ තනියට එනවා
සිතුවිලි ගංගා දෙනෙතෙහි ඇඳෙනා...
ආදරේට අවුරුදු 4 පිරෙන දවසෙ වෙන කෙනෙක් එක්ක යන එක හරිද මන්දා. චන්දන ලියනාරච්චිත් අවුරුදු 15ක් විතර පැණි බේරෙන සින්දු කිව්වට පෙළවහක් කරගත්තෙ මේ ළඟදිලු නේ...
මෙතන තියෙන්නෙ තව ඒ වගේ එකක්...
සුභාෂිණී ඔබ මගේ නමට එවු ඇරයුම්පත ලැබුණා
මනාලියක වී සුභ නැකතින් හෙට යන බව එහි තිබුණා
ඊයේ වන තුරු මට පෙම් බැන්දේ ඔබදැයි සැක සිතුණා
ඔබේ චපලකම හඳුණාගන්නට සිව් වසරක් ගෙවුණා
යාළු මිතුරු කැල ඔබ ගැන කී දෙය ගැන නෑ මා සිතුවේ
පාළු සිතට මගෙ එළියක් ඔබගෙන් ලැබගන්නයි පැතුවේ
ලෝකය එරෙහිව ආවත් මා හැර නොයන බවයි කීවේ
ප්‍රේමය පිවිතුරු බව පෙම් හසුනක ඔබමයි මට ලීවේ
සුභාෂිණී ඔබ මගේ නමට එවු ඇරයුම්පත ලැබුණා...
මංගල දිනයට ඇරයුම් කෙරුවත් කෙළෙසද මා එන්නේ
පෙම් කල සිතකට වෛර කරන්නට සිත නෑ ඉඩ දෙන්නේ
සිතට වහල් වී මා හැර යන මුත් නෑ දොස් පවරන්නේ
ඔබ වැනි ළඳකට පෙම් කල මා ගැන මම අද දුක්වෙන්නේ
සුභාෂිණී ඔබ මගේ නමට එවු ඇරයුම්පත ලැබුණා...
පුන්සිරි සොයිසට නං වෙලා තියෙන්නෙ මේ වගේ අකරතැබ්බවල්ම තමයි.
මේකත් බලන්නකෝ. ඒ තරම්ම ජනප්‍රිය නෑ මගෙ හිතේ. හැබැයි මේත් එහෙම එකක්. මේක මට හම්බ වුණේ මෙතන තියෙද්දි.
හන්තාන කඳු වැටිය එදා වාගෙයි අදත්
මහවැලිය පුරුදු සේ ගලායාවී හෙටත්
සරසවියෙ තුරුවදුලු මිලින වී නෑ තවත්
එහෙත් අද කුමරියේ ඔබ කොහිද මා කොහිද
එදා අප පෙම් වදන් දෙඩූ ලිය මඩුලු යට
පෙම්වතුන් පෙම් වදන් දොඩනවා
අප සමග නිදා සිටි අවන්හල දෙසුම්හල
පුරුදු සේ බලාගෙන ඉන්නවා
හන්තාන කඳු වැටිය එදා වාගෙයි අදත්
මේ බිමේ සැඟව ඇති සිව් වසක අතීතය
යලි යලිත් මතකයට නැගෙනවා
මහත් වෙහෙසක් දරා සඟවන්න තැත් කරත්
නෙතු අගට කඳුළු බිඳු නැගෙනවා
සංගීතය - ඩැනිස්ටර් පෙරේරා
ගී පද - උපාලි මල්දෙණිය
අමරසිරි පීරිස් හන්තානට පායන හඳ ගැන අවුරුදු 4ක්ම අහලත් වැඩක් වෙලා නෑ...
ඇත්තට හන්තාන ගැන සින්දුත් බර ගාණක් ඇති නේද?
ඔය කිව්වෙ අවුරුදු හතරෙ කතාව... මේ කියන්නෙ මැකී යන කතාව...
අහල තියෙනව ඇති මේක. චන්ද්‍රකුමාර් කඳනාරච්චි මහත්තයගෙ...
මිරිඟුව නලියන පාර දිගේ
ඔබ යනවා ඈතට යනවා
නොපෙනී යන තුරු පුංචි තිතක් වී
මා සිටියා ඔබ මැකී ගියා
අහිංසකයි ඔබ පරාජිතයි මා
එකම හදයි මේ දෙකඩ වුණේ
සමුගන්නේ ඔබ හමුවුනු හින්දයි
මියැදෙමු උපදින්නට ආයේ
මිරිඟුව නලියන පාර දිගේ...
අකුරු ලියා නැති හිස් පිටුවක් වී
හිතත් ඉතින් අසරණ වෙද්දෙන්
අතොරක් නැති පෙම් විරහ කරදරෙන්
මමත් ඔහේ අසරණ වෙද්දෙන්
මිරිඟුව නලියන පාර දිගේ...
මැකී ගිහිල්ල නේද? එතකොට මෙන්න මේකත් අහල ඇති අනිවාම! අමරසිරි පීරිස් ලේසියෙන් එහෙ මෙහෙ වෙන්න විධියක් නෑ...
ඇය යන්න ගියා මැකිලා
වන සිරසක තුරු සෙවනැලි අතරේ
ගී ගයමින් හිඳ මා තුරුලේ
ඇය යන්න ගියා මැකිලා
පිණි කඳුල මල පෙති අග තවරා
ඉහිදුම් සලුවෙන් මුහුණ වසා
නිල්ල නිලන නිල් කඳු වැටි අතරේ
සඳ එළියේ මංපෙත පාදා
රහසක් සඟවා ගොලුවූ හදකින්
ඇය යන්න ගියා මැකිලා
ඇය යන්න ගියා මැකිලා
යළි කවදාවත් හමු නොවනා බව
මද පවනක් හිස අත ගා කීවද
අදහා ගන්නට නොහැකිය කිසි දින
ඇය යළි නොඑතැයි ගිම්හානෙට පෙර
ඇය යන්න ගියා මැකිලා
ඇය යන්න ගියා මැකිලා
සංගීතය - එච් එම් ජයවර්ධන
ගී පද - සුනිල් සරත් පෙරේරා
ඒකටත් පස්සෙ එහෙනං මේක... මේක පහුගිය ටිකේ චන්ද්‍රසේන හෙට්ටිආරච්චි මහත්තයව උඩට උස්සල තියපු සින්දුවක්නේ. ඒකත් දැන් මැකිල ගිහින්...
ඔයා නිසා මගේ සිනා මැකී ගියාදෙන්
ඔබේ සිනාවන් මතකේ රැදී තියෙද්දෙන්
ඔබේ පුංචි දොතොල් අතරේ මා තනිවෙද්දෙන්
ඔයා ලැබෙන්නේ නැතිනම් තනිකඩ වෙද්දෙන්
තනිකමෙන් ගඟ ගලා යනවා
සඳේ නුඹ නෑ අම්බරේ
විඳවමින් සිත සොයනවා තව
ඔයා කොතනද හැංගුනේ
අපි හමුවුනොතින් සඳ එයි නැගිලා
ගංගාවට එලිය අරන්
ආදර මල් යායක් අරන්
බලා ඉන්නම් තව හුඟක් කල්
ඔයා එනතුරු මා සොයා
ඔයා නාවත් ඉවසලා හිත
හදාගන්නම් ඔබ නිසා
තනිකම උහුලා පහලට ගලනා
ගඟ සේ ඉන්නම් සතුටින්
සෙනෙහස රන්දා රහසින්
ඔයා නිසා මගේ සිනා
ගායනය - චන්ද්‍රෙස්න හෙට්ටිආරච්චි
සංගීතය - රදීශ් වැන්දබොනා
පද රචනය - ලසිත් ජයනෙත්තිආරච්චිගේ
එහෙනං හරිනේ... ඔය තමයි අහම්බෙන් අහුවුණ අවුරුදු හතරෙන් මැකී යන ගීත. මේවයින් ගන්න තියෙන්නෙ එකම එක ආදර්ශයයි. ඔයාලත් අවුරුදු 4 සමරන විධියෙ අවස්ථාවල් බලාපොරොත්තු වෙනවනං ප්‍රවේසං වෙන්න වෙයි. මොකද නොසිතූ විධියට මැකී යන්ඩ ඉඩ තියෙනවා...
අකුරු මැකී නෑ..
ReplyDeleteමැකුනු අතීතේ නටඹුන් අතරේ..
සිරාවටම හරේ, ඇයි බන් අවුරුදු 4 න් මැකී යන්නේ.. ඒක හෙන සුලබ දෙයක් නේද... මගෙත් මැකිලා ගියේ අවුරුදු 4.. :(
ReplyDelete:)
ReplyDeleteමේ ලගදි සින්දුවක් අහලා මට කලන්තෙ වගේ දැනුනා.
ඒකෙ තිබ්බෙ 'සෙනෙහසේ මුට්ටියේ තම්බලා ආදරේ' කියලා. හෙන ජනප්‍රියයිලු. මං හිතන්නෙ කුකරි සින්දු කැටගරියකට වගේ දාන්න ඇහැක්වෙයි.
වික්ටර්ගේ සිංදුවේ නම් අවුරුදු 4 ගැන ව්‍යංගයෙන් කියලා තියෙන්නේ සරසවි ප්‍රේමයක් ගැන ලු.. අනිත් ඒවගෙනුත් සමහර ඒවා එහෙම වෙන්නැති නේ..
ReplyDeleteහන්තානට පෑව්ව එකනම් මරු..ආහ්..
ReplyDeleteහා හා මේ ඈයෝ ඔක්කොම බිඳුනු පෙම් ගැන අඬන්න නෙමෙයි නේ හරිනම් කරන්න ඕනේ. අවුරුදු හතරක්ම එකම කෙල්ලට හෝ කොල්ලට ලව් කරාට නියම විදියට තෑගි දෙන්න එපැයි. හොඳ වෙලාවට බ්රේක් නොවුනා හිර ගෙදරට ගියා හා සමානයිනේ.
ReplyDeleteඅපි නම් කියන්නේ 1 වෙනි අවුරුද්ද ලව් විත් ෆැසන්, 2 ෆැසන් ටිකක් අඩු වෙලා මස්ට් එකක් වෙනවා. 3 ෆුලු බෝරඩ් 4 ඉන් ප්‍රිසන්..... හා හා සෝ ඩිස් පීපල් මස්ට් බී හැපි නොට් ගෙටින් ටු ද පමනන්ට් ජේල්....
ගීතයකට කෙතරම් දුරකට සිත ගෙනයන්න පුලුවන්ද ඇත්තටම
ReplyDeleteකියවූ, අදහස් දැක්වූ හැමෝටම ස්තූති වේවා.. සෝරෝ කියන විධියට අවුරුදු 4 සරසවියත් එක්ක බැඳිල ඇති ගොඩක් ඒවයෙ. හැබැයි එහෙම නොවෙන තැන් වලදිත් අවුරුදු 4 කියන්නෙ නිකං විශේෂ අවස්ථාවක් වගේ. ඔය තව එකෙක් උඩ කියල තියෙන්නේ ;-)
ReplyDeleteඉල් කියනව වගේ 4 වෙද්දි හිරේ නොයා නිදහස් වෙන එක කොයි තරම් ෂෝක් වෙන්න ඇත්ද අප්පා :-(