Wednesday, 18 May 2016

පැටි කිරිය - සුමන ආලෝකබණ්ඩාර - පොත ගැන අදහස්


සුමන ආලෝකබණ්ඩාර මහතාගේ පෑලවිය කෘතිය බොහොම ඈතකදී කියවීමෙන් පසුව නැවත ඔහුගේ කෘතියක් ලෙස කියවූයේ පැටි කිරියයි. මෙය පුවත්පතක කොටස් වශයෙන් පළවූ ලිපි එකතුවකි. පැටිකිරිය යනුවෙන් සිංහල වී ඇත්තේ ඉංග්‍රීසි බසින් Pedigree යන්නයි. ඒ අර්ථයත්, 'පැටි අවදියේ කල කී දෑ' යන අර්ථයත් යන ද්වර්ථයම ඉස්මතු වන ලෙස මේ පොත 'පැටි කිරිය' ලෙස නම් ව ඇත.


ආලෝකබණ්ඩාර මහතා කුඩා කල සිට තරුණ විය දක්වා වයඹ පලාතේ නිකවැරටිය නගරය ආශ්‍රිතව ගමේ සහ පාසල්වල ගතකල ජීවිතයත්, එකල ජීවත්ව සිටි විවිධාකාර මිනිසුන් පිළිබඳ ඔහුගේ මතකයත්, ඉතිහාසය, සමාජය පිළිබඳව ඔහු දරන අදහසුත් පොතේ ප්‍රධාන තේමාවන් වේ.

පැටි කිරිය එක්තරා පරම්පරාවක් ගැන කතා එකතුවකි. 80 දශකයේ තරුණ විය ගතකල පරම්පරාවේ ළමා අවදිය ගැන කියවීමකි. 50 සහ 60 දශකවල ගමක විසූ මිනිසුන් පිළිබඳ කතා ගොන්නකි.

අව්කන බුදු පිළිමය පිළිබඳව පොත් පිංචක් ලිවීම පිණිස ඔහු කල හැදෑරීම්වලදී ලංකාව ජනාවාස වීම ගැන ඔහුට තොරතුරු හමුවේ. ලංකාවේ අසමජ්ජාතීන් ගැන ඔහු ඒ අනුව ලියයි.

මානව හිමිකම් ගැන ලොකුවට දොඩවන අතරේ මානව යුතුකම් කියා දෙයකුත් කතා කල යුතු බව ඔහු කියයි. එය මා සිත් ගත් අදහසකි.

පැටි කිරිය ඇරඹුමේ සිට අවසානය දක්වා ලංකාවේ සමාජ ස්ථර කීපයක සිදුවන වෙනස් වීම් ඔහු විස්තර කරයි.

එහෙත් ඒ අතීතය වර්තමානයේ උදාහරණ සමග ගලපමින් ආලෝකබණ්ඩාර මහතා වර්තමානය පිළිබඳ අසතුටු සිතින් කතා කරන අවස්ථාද බොහෝ හමු වේ. ඒ කාලෙ එහෙමයි... දැන් කාලෙ මෙහෙමයි ආදී සැසඳීම් බහුලය. මාගේ පුද්ගලික අදහස නම් එසේ විස්සෝප වීම අවශ්‍ය නැති බවය. ඒත් අවස්ථා කීපයකදී දැණුන කම්මැලි ගතිය හැරෙන්න 'පැටි කිරිය' ජීවන අත්දැකීම් ඇතුලත් ඒ ආකාරයේ කෘති කියවන්නන්ට රසවත්ව දැනෙන්නට බොහොම ඉඩ ඇති කෘතියකි.

https://www.goodreads.com/si/book/show/54250507

Wednesday, 9 September 2015

කොට කෑලි


මමයි කුමායි අහම්බයකින් කාලෙකට පස්සෙ හමු වුණේ ටිකක් ඈත ගමක පැවතුණු එකම පොදු රාජකාරියට ආයතන දෙකකින් සහභාගි වුණ නියෝජිතයන් විධියටයි.

රාජකාරිය අවසන් වෙලා හවස 3ට විතර ගෙවල් බලා යන්න කලින් අපි දෙන්නා මහ පාර අයිනෙ ගමට හැරෙන හන්දියෙ ළඟ තිබුණ එකම සිල්ලර බඩු කඩේට ගොඩවුණා. දෙන්නා දුම් කූරු දෙකක් පත්තුකරගෙන ආගිය කතා කියවන්න ගත්තෙ පැරණි මතකයන් අතර හිතින් සැරිසරමින්.

පවුල් ගැනත් ළමයි ගැනත් සුපුරුදු කතා ටිකෙන් ටික යොමු වුණේ දේශපාලනේට.

ඉතිං කොහොමද ඡන්දෙ එහෙම? Yeahපාලනේ සැපද?

අනේ මන්ද බං... සේරම මහ අවුලක් වෙලා දැන්... උන් උන්ගෙ ප්‍රශ්ණ තමයි රටේම ප්‍රශ්ණ වෙලා තියෙන්නෙ. මිනිස්සුන්ගෙ ප්‍රශ්ණ හැමදාම ගොඩගැහෙනවා.

ඉස්සරත් එහෙම තමයි බං... තමන් වෙනස් නොවී රට වෙනස් වෙන්නෙ නෑ කියන එක මිනිස්සුන්ට තේරෙන්නෙ නෑ.

ඒ වුණාට හැමදාම කට්ටිය ඡන්දෙ ඉල්ලන්නෙ වෙනසක් කරන්න. ඡන්දෙ ගත්තම වෙනස කරගන්නෙ එයාලට...


අපේ කතාව දුම් උගුරු අතර වරින් වර නතර වුණා... ප්ලේන්ටියක් බොන්න තැනක් පේන මානෙක නොතිබුණ නිසා කුමා පළතුරු බීම බොතල් දෙකක් ගත්තා. දුම් උගුරු අතරෙ සැන්ඩ්විච් කරමින් ඒ බීම බෝතලේ හිස් කරන අතරෙ තප්පර කීපෙකට මනෝ ලෝකෙකට ගිය මගේ අවධානය ආයෙමත් පියවි ලෝකෙට යොමුවුණා. ඒ වෙද්දි කුමාගෙ අවධානය යොමු වෙලා තිබුණෙ කඩේට ගොඩවෙලා හිටපු අපේ වයසෙම වගේ කියල හිතෙන කාන්තාවක් දිහාට.

සීනි 100යි, තේ කොල 50යි, පොඩි කිරිපිටි පැකට් එකයි, රතු ළූනු 100යි. මිරිස් කුඩු 50යි. පොල් ගෙඩියයි...

කඩේ මුදලාලි ලැයිස්තුවක් කියවනව. ලැයිස්තුවේ තියෙන්නෙ කවුන්ටරේ හිටගෙන හිටපු කාන්තාව ඉල්ලපුව. බඩු සියල්ල රුපියලේ ෂොපිං බෑග් එකකට දමාගත් ඇය ඒ මල්ල දකුණතේ ඇඟිලිවල පටලා පොල් ගෙඩියත් ඒ අතට ගත්තා.

වමතේ පොඩිවෙලා තිබුණ රුපියල් කොල කීපයක් මුදලාලි අතට ගියා. ඉතිරි වුණ කාසිවලින් ඇගේ සායෙ එල්ලිය හිටපු අවුරුදු 5-6ක විතර පොඩි එකාට ජෙලි පැකට් එකක් ලැබුණා. ඌ ඒක ගත්තෙ නිධානයක් ලැබුණ වගේ සතුටකින්. ඒ පොඩි එකා බාලාංශෙ වගේ පන්තියක වෙන්න ඕන. මඩ පැල්ලමින් බොර පාට වුණ සුදු කමිසෙ කලිසමට යට වෙලා තිබුණෙ බාගෙට.

ගනු දෙනු බේරපු කාන්තාව හිමින් හිමින් හන්දියෙන් හැරිලා ගම ඇතුලට ඇදුණා. පොඩි එකාගෙ පිටේ එල්ලුන ඉස්කෝල බෑග් එකේ ජනප්‍රිය දේශපාලකයෙක් ඉලක්කමක් දිහා බලාගෙන හිනා වෙමින් හිටිය.

මගේ කට කොනට හිනාවක් ආවා...

කුමාගෙ දුම් කූරෙ අග අඟලක අලු වැටියක්. මම උගෙ මූණ දිහා බැලුවා...

උගේ මූණෙත් උපහාසාත්මක හිනාවක්...

ඒත් ඒක හිනාවෙන්න ඕන දෙයක් නොවෙන බව ඌත් දන්න බව මම දන්නවා.

වැඩක් නෑ බං... බම්බුව...

දුම් කූරෙන් ක්ෂණිකව උගුරු දෙකක් ඇදලා කුමා කොට කෑල්ල බිම දාල සපත්තුවෙන් පොඩි කලා.

Tuesday, 16 June 2015

අදහසක් ආවොත් කණේ පාරක්

The Hitchhiker's guide to the galaxy (2005) කියන චිත්‍රපටියෙ එක ස්ථානයක් තියෙනවා ප්‍රධාන චරිත ටික පහු කල යුතු. මෙතනදි හිතේ කිසිම විදියක අදහසක් ඇති වෙන්න බෑ. අදහසක් හිතට ආවොත් වැලි අතරින් මතු වෙන සවලකින් (මැස්සන්ට ගහන fly swatters කියල කියන්නේ) මූණට පාරක් වදිනවා.


අවුරුදු ගාණකට කලින් මේ සීන් එක දැකපු වෙලේ ඉඳන් හිතෙන්නෙ අපේ රටේ බහුතර උන්ව වගකිවයුතු පුරවැසියො කරන්නත් මෙහෙම එකක් ඕන කියලයි.