Friday, 12 December 2008

බේබදු බිරිඳ















මේක අවකාශය වෙනුවෙන් ලියවුණ එකක්...
ලියන්න තරම් දෙයක් හිතට නොඑන නිසා මේක දාන්න හිතුවා. ;)


බේබදු බිරිඳ

සැන්ඳෑ සාදයේ
මධුවිත අතට ගෙන
මා වලකද්දිත්
යහමින් උගුරට හලාගෙන
බිව්වා නේද?

මම දැන හුන්නත්
මට දැනෙන තරමට
යහමින් දාගන්න
යන්තම් වැනෙන්න

ඉඳහිට මා දෙතොල් හැර
මධුවිත තොලගාන නුඹ
කිමිදුණා නේද ගැඹුරටම
මධුපැන් පිරි සයුරේ

මා කර මත‍ට වාරු වී
නිවසට පැමිණි ඇසිල්ලේ
නුඹ කඩා හැලුණා
අපේ සිරි යහනේ
මට ඉඩක් නොතියාම

යහන් කෙලවර
මගේ තනි අසුනට බරවී
පෙම් පුරා මා බලා උන් හැටි දැක
වෙරි සහ නුරා බර සිනාවෙන්
මසිත පුරවා දමා
නුඹ දෑස වැසුවා මතකද?

නුඹට මතකද?

නෙද්දකින් විතරක්!
මේ ගෑණිට කිසි දෙයක් මතක නෑ!

________________________

මේ කවිය තුලින් කිසිදු අයෙක් වෙත පුද්ගලික හෝ රාජ්‍ය තාන්ත්‍රික ලෙස මඩ ගැසීමේ අදහසක් නැත. මෙය තොප්පියක් නොවන බැවින් ඉල්ලා දමාගැනීමෙන් වලකින්න.



© Haresh Eranga
2008-12-05

Friday, 5 December 2008

ඔයාගෙ බඩවැල් වලට මම ආදරෙයි රත්තරන්

මේක ඇත්තටම නිකන් ජෝක්මය සටහනක්. ඒ වුණාට ලියන්න හිතුවා ලැබුණ පුංචි විවේකයෙදි. අද මගේ මිතුරා රවි මහත්තයා ඇවිත්, අපි දෙන්නා ටිකක් කතා කලා. එයා මගෙන් ඇහුවා මම කාට හරි රත්තරන් කියලා කියල කියෙනවද කියලා. මම ඔව් කිව්වා සහ ඒ එක්ක ලොකු කතාවක් ඇදුණා අපි දෙන්නා අතර. මේක සාරංශයක්...

තමන්ගෙ පෙම්බරියට හෝ පෙම්බරාට රත්තරන් කියල අමතන එක කාලාන්තරයක් පුරා තියෙනවා මම දන්න තරමින්. අපේ අම්මල තාත්තල ආදරේ කරද්දිත් එයා‍ලගෙ දෙමව්පියො ආදරේ කරද්දිත් මේ රත්තරන් භාවිතා කරන්න ඇති. කොහෙන් පටන්ගත්තද මන්දා මේ රත්තරන් කෑල්ල. අර කුස පබාවතී කතාවෙත් රත්තරන් කඳක් ගැන කියවෙන හින්දා මේක ලොකු ඉතිහාසයක් තියෙන කතාවක් කියලා හිතන්න පුළුවන්. කොහොම නමුත් ඒක ඉන්දියාවෙන් හෝ වෙනත් බටහිර රටකින් ආපු භාවිතාවක් කියල කියන්නත් බෑ වගේ මට නම්.

කොහොම නමුත් මට තේරෙන විධියට "මම ඔයාට ආදරෙයි රත්තරන්" කෑල්ල අද වෙනකල්මත් පෙම්වතුන් පෙම්වතියන් භාවිතා කරනව. ඒ වගේම එකක් තමයි ඔය "මැණිකේ" කෑල්ල. මගේ මැණිකෙ කියල දැන් නම් තමන්ගෙ බිරින්දැට කියනවද දන්නෙ නෑ පිරිමි අය.

ඒ කාලෙ උදවියට දැනගන්න තිබුණ වටිනාම දේ රත්තරන් සහ පොදුවේ මැණික් තමයි. නමුත් දැන් ආභරණ වලට පාවිච්චි කරන වඩා වටින ලෝහ තියෙනවනේ ප්ලැටිනම් වගේ. (ප්ලැටිනම් කියන්නෙ වටිනම ලෝහය නෙවෙයි. හැබැයි රත්තරන් වලට වඩා වටින ඒකෙන් අභරණ හදනවා.) ඒ වුණාට තාම අපි අපේ ප්‍රේම ලෝකයට ප්ලැටිනම් ගෙන්නගෙන නෑ නේද?

හික් හික්.. මෝඩ ප්‍රශ්ණයක් තමයි... අර සින්දුවක නම් තියෙනවා "ප්ලැටිනම් කඳකටත් වැඩිය වටිනව මට ඔයාව, ෆ්ලෑෂ් ලයිට් වලට වැඩිය එලියයි ඔබෙ හිනාව" කියල.

මම් නම් මගේ එක්කෙනාට text කරද්දි ඉඳල හිටල කියනව Hi Platee කියල.. ;)


--------------------------

ඔය කතාව යන අතරෙ දීපිකාගෙ සින්දුවක් ගියා පසුබිමින්...

"මගේ කඳුළු වැල්.. ඔබට සිනා මල්..
මගේ සුසුම් වැල්... ඔබට පවන් රැල්..." කියලා...

මිස්ටර් රවි කෑ ගහල කිව්වා... එතකොට මගේ බඩවැල් ඔබට මොනවගේද කියලා.....

Tuesday, 2 December 2008

කසුන් කල්හාරගේ රොමෑන්ටික් ඔපෙරාව

පැමිණි ඔබ සැමට බොහොමත්ම ස්තුතියි. දැන් අපි වැඩේ පටන් ගමු.

මේ වචන තමයි කසුන් ඊයෙ වේදිකාවෙදි කියපු මුල්ම වචන ටික.

ඉතිං....
කාර්ය බහුලත්වයත් එක්ක පහුගිය සති කීපයේ මම තිත් තුනක් තිබ්බා. දැනටත් ඒක වලංගුයි. ඒ වුණත් මේක ගැන නම් කියන්නම ඕන කියල හිතුණ.

The Romantic Opera කියන්නේ කසුන් කල්හාරගේ තුන්වෙනි ගීත ඇල්බමය. ඒකෙ දොරට වැඩීම වෙනුවෙන් ඊයෙ හෙවත් නොවැම්බර් 30 වෙනිද බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ තිබුණ කසුන් ප්‍රධාන වුණ සංගීත ප්‍රසංගයක්. කවදාවත් මම දැකල නැති විධියට ප්‍රේක්ෂකාගාර සියල්ල පිරී ඉතිරුණු ප්‍රසංගයක්. සියළු ටිකට්පත් සහ විකිණීමට තිබුණ ගීත ඇල්බම් මම දන්න තරමින් විකිණී අවසානයි.

මේකට යන්න කලින් අපට නොයෙක් මති මතාන්තර තිබුණ මේකෙදි කසුන් කියයි කියල අපි හිතපු සින්දු ගැන. එයා බොහෝ විට වෙනත් ප්‍රසංග වලදි කියන්නෙම එයාගෙ අතිශය ජනප්‍රිය FM වල පට්ට ගහන ගීත කීපයක් විතරයි. මේ ප්‍රසංගයෙදි ඒක වෙනස් වෙයි කියන දැඩි සිතිවිල්ල අතිශය සාර්ථකවම සාක්ෂාත් වුණා‍. ඒ ප්‍රසංගයෙදි අතිශය සුන්දර ගීත එකතුවක් ඉදිරිපත් වුණා.

මමත් එක්ක මේකට ගිය මිතු‍රන් තිදෙනාමත් හරියටම කියනවනම් සමස්ත ප්‍රේක්ෂකයන් සියල්ලමත් අතිශය ප්‍රමෝදමත් ‍පැය කීපයක් ගෙව්ව. වැඩසටහනේ සංවිධා‍නයේ ඉඳන්ම සියල්ල අති සාර්ථකයි. එකම අවුල වුණේ නිවි සැනසිල්ලෙ විඳින්න ඕන සින්දු ඒ එක්ක ඉදිරිපත් වුණ නර්තණ වලින් නිරෑපනය කරන්න අසමත් වීමයි. ප්‍රේක්ෂකාගාරයෙන් වරක් දැඩි හඬක් නැගුණ "නටන්න එපා" කියල. ඒ වුණාට නටන අයත් ජීවත් වෙන්න එපැයි. මේ වගේ ප්‍රසංග නැත්නම් එයාල කොහොමද ජීවත් වෙන්නේ. කොහොමත් මේ ප්‍රසංගය වෙළඳ වාසි අරභයා සංවිධානය වුණ එකක්නේ.

මම ඇල්බමය මිලදී ගත්ත. මේ වතාවේ සහමුලින්ම වෙනස් ගීත කීපයක් තමයි තියෙන්නේ. වරක් කසුන් එයාගෙ ආසම සංගීත කණ්ඩායම කියල කියපු Scorpions ලගෙ ආභාශය තදින්ම ලැබිල තියෙන ගීත කීපයක්ම තියෙනව. (කසුන්ගෙ Radical ප්‍රේමය ගී එකතුව අයර්ලන්ත Corrs ලට සමානයි කියල වරක් දීප්ති කුමාර ගුණරත්න මහත්මය කියල තිබුණ) සිංහල ගීත අතර සන්ධිස්ථායක් කියල මට නම් කියන්න පුළුවන්. මොකද මේ ඇල්බමයේ සිංහල චවන සංගීතවත් වෙලා තියෙන විධියට මීට කලින් කිසිම සිංහල ගීතයක් තිබිල නෑ. ඇත්තටම මේක සංගීතය මුල් වුණ ඇල්බමයක්. වචන මේ තුල කරන්නෙ අල්පයක්. කොහොමත් කසුන්ගෙ සින්දු ඒ වගේ නේ.

ලියන්න කම්මැලියි. අන්තිමට කියන්න තියෙන්නේ කසුන් කල්හාර කියන්නෙ නියම සංගීතවේදියෙක්. සංගීතයේ සියළු නිර්වචනය කල මායිම් බිඳින නිර්මාණකරුවෙක්. ලංකාවෙ එදා මෙදා තුර බිහි වුණ කටහඬ භාවිතය සම්බන්ධ විශිෂ්ටයා කිව්වොත් මම නිවැරදියි. (කටහඬ භාවිතය සම්බන්ධ විශිෂ්ටම ගායිකාව නම් සුජාතා අත්තනායක කියලයි මට හිතෙන්නේ)

මේ සටහන දාන්නෙ කසුන් වෙනුවෙන්. කසුන්ගෙ නිර්මාණ වලට සහය දෙන හැමෝම වෙනුවෙන්. කසුන්ට ආදරය කරන හැමෝම වෙනුවෙන්.

සුභ ගමන් කසුන්! හොඳ වැඩ කරමින් හෙමින් යමු. හදිසියක් නෑ.

ඔබට ජය!


පසු ලිවීම

මම නිකමට ගුගල් කලාම තවත් කියවන්න හිතෙන දේවල් කීපයක් තිබුණා.

http://adhahas.wordpress.com/category/uncategorized/page/4/

http://lakdiwa.blogspot.com/2008/02/blog-post_6601.html

http://agniezine.googlepages.com/

http://www.sarasaviya.lk/sathsara/?id=sathsara28

මේකත් බලන්නකෝ

amila325 කියන Youtube යාළුවට බොහොම ස්තූතියි...




Re Ahasin live in concert