Saturday, 2 November 2024

ගුණතිලකයා

 

මං ගලක් වගේ දැඩි මිනිහෙක් කියල හිතං ඉන්න ලෙවල් එක සමහර වෙලාවට දඩහ් ගාල කඩං වැටෙනවා බං. එහෙම වෙලාවලදි දැනෙන එක ඒ වෙලාවට විතරක් අයිති හැඟීමක්. කලින් තිබිලත් නැති ආයෙ එන්නෙත් නැති එකක්.

කවදා හරි අඳුරගෙන කතාවක් දාන්න පුළුවන් නම් හොඳයි කියල හිතෙන එවුන් බොහොම කීප දෙනෙක් තාම මට ඔන්ලයින් හමුවෙනවා. කලින් ටිකක් හිටියා. දැන් කීප දෙනයි. එදා ඉඳන් උන් දිහා බලං ඉද්දි උං තමන්ගෙ අදහස වෙනුවෙන් පෙනී ඉන්නෙ බොක්කෙන්ම කියල දැනෙන්න අරන් තියෙන නිසා තාම මං උං එහෙමම දිගටම ඉඳියි කියල හිතනවා. දැන් එතන තව එකෙක් අඩුයි.

මේක අවුලක්ද, නැද්ද, හරි විදියක් තියෙනවද නැද්ද වගේ ප්‍රශ්න අවුරුදු ගාණකට කලින් තිබුණට මේ සේරම එක ප්‍රවාහයක් වගේ ඇදෙන සමස්ථයක් කියන අදහස තව තවත් ඔප්පු කරන පැතිරුණු මිනිස්සු ඉඳ හිට හමුවෙනවා. සමහර විට හෑෂ් ටැග් එකකින්...

ජීවිතේ වැදගත්ම දේ සන්තෝසෙන් ඉන්න එකයි කියන එක ආයෙ ආයෙත් සපථ වෙනව...

ජීවත් වෙලා ඉද්දි කතා කරන්න තිබුණ ඒවා දැන් කතා කරල වැඩක් නෑ බං... දැනෙන හිස් කම තේරුම්ගන්න වචන අපේ ඩික්ෂනරියෙත් නෑ... 

#suckmydickෂනරි

 

Tuesday, 4 July 2023

කේ.කේ. සමන් කුමාරගේ මාක්ස් ලයිව් ඉන් ශ්‍රී ලංකා පොත ගැන අදහස්


 

ස්පොයිලර්ස් සහිතයි.
පොතේ විවරණයක් නොව, කියවද්දි හිතුන එක එක ඒවායි.

කේ.කේ. සමන් කුමාරගේ පොත් අතරින් මම කියවල තියෙන්නෙ පිණි අහුරක් ඉහිරුණා පොත විතරයි. ඒක 2002/3 කාලෙ විතර අරන් ඒ කාලෙදිම කියවපු එකක්. 2002/3 කියන්නෙ මං දැන් හිතන විදිය ගත්තම ළදරු කාලයක් වගේ කියල දැන් හිතුණ වුණත් සහ ඒ පොත සහමුලින්ම මට තේරුණේ නැතත් මං ඒ පොතට සහ ඒකෙ තිබුණ විවෘත ගතියට ඒ දවස්වලත් කැමති වුණා. ඒත් ඊට පස්සෙ සමන්ගෙ පොතක් මම කියවල නැහැ මේ වෙනකල්. ඒකට හේතුව මම කියවන්නෙක් නොවී හිටපු කාලයක් තිබුණ නිසයි. පොමා ගොර්දයෙව්, දනිලොව් නම් වියෝලා වාදකයා, ඔවුන් යුධ වැදුනේ මව්බිම වෙනුවෙනි පළමු වෙළුම වගේ පොත්වලින් පස්සෙ තමයි මම කියවන එක නතර කළේ. ඔය දෙදාස් මුල් කාලෙදිම. ඒව මට තේරුණේ අසාර්ථක පරිවර්තන විදියට. මොකද පෙරළුෑ නැවුම් පස, සියක් වසක හුදකලාව, ලොලිටා වගේ අති විශිෂ්ට පරිවර්තනයන් කිහිප වරක් කියවලා පරිවර්තනය ඉතාම රසවත්ව කල හැකියි කියල හොඳටම දැනිල තියෙද්දි ඊට වඩා රසයෙන් අඩු පොත් කියවන්න ඉබේම මැලි වුණා. පොත් ගෘප්වල වරින් වර ඉස්මතු වුණ පොත් රැළි ගැන හොඳ අදහසක් මට තිබුණෙ නෑ වගේම ඒවයේ නිතර කතා කරපු ගුරු ගීතය වගේ පොතක් මට නිරස වීම නිසාම පොත් ගෘප්වල නිර්දේශත් මග ඇරලා තමයි හිටියේ. ඒ එක්කම චිත්‍රපටිවලට ඇබ්බැහි වීමත් පොත් කියවන්නෙක් නොවී ඉන්න හේතු වුණා.

වරින් වර පොතක් දෙකක් කියෙව්වත් මං ආයෙත් නිතරම පොත් කියවන්නෙක් වෙන්නෙ දෙදාස් දහ නමයෙන් පස්සෙ. කාර්යාලීය ප්‍රවාහන සේවය නිසා යන එන ගමන් පැයක දෙකක විතර කාලයක් දවසකට කියවන්න පුළුවන් වුණා. දැන් බොහෝ විට මම සමාන්තරව පොත් දෙකක් කියවනවා. හැබැයි දැන් නව කතාවක් කියවන එකෙන් මට ප්‍රහර්ෂයක් දැණෙන්නෙ නැති තරම්. දැන් ගොඩක් වෙලාවට යම් විෂයන් සම්බන්ධයෙන් ලියවුණු පොත් පමණක් කියවීමේ නැඹුරුවක් තමයි තියෙන්නේ. නව කතාවක් කියවන්න ඒක අති විශේෂ එකක් වෙන්නම වෙනවා. එහෙම නැත්තං සංකීර්ණ පොතක් කියෙව්වට පස්සෙ ඔළුවට පොඩි නිදහසක් දෙන්න කියවන සරළ පොතක් විදියට නව කතාවක් තේරෙන්න පුළුවන්. එහෙම සරළ විකල්පයක් විදියට තෝරගත්තත් සමන්ගෙ පොත සංකීරණද සරළද කියන එක පැහැදිළි නෑ.

කොහොම වුණත් පාට්නර් පොත් පෙරේතියක් නිසාම සමන්ගෙ පොත් කීපයක්ම අපේ අල්මාරියේ තිබුණා. මහිලාවංශය ලෝන්ච් එකේදි සමන්ගෙ අත්සනින්ම පොතක් ගන්න පුළුවන් කියල මාව ඇදගෙන ගියේ රචියා. ඒකත් අලුත් පිටම තැන්පත් වෙලා තිබුණා. ගුඩ්රීඩ් එකේ කියවීමට බලාපොරොත්තු වෙන පොත් ලිස්ටෙකට දාගත්ත පොත් එකින් එක කියවන ක්‍රියාවලියෙ හිටියත් සමන්ගෙ පොතක් කියවන්න ඕන කියල හිතෙන්නෙ පොර සන්නස්ගල එක්ක කරපු ඉන්ටවිව් එක ඇහුවට පස්සෙ.

සර්පයාගෙ පොතක් කියන්නෙ වෙනස් අත්දැකීමක් බව මම කියන්න ඕන නැහැ. ඔහුව කියවන්න පටංගන්නෙම මොකක් හරි තව ලේයර් එකක් දෙකක් යටින් තියෙනවද කියන අදහසත් එක්ක. නමුත් එහෙම මහ ලොකු එකකුත් නෑ කියලයි මට දැන් හිතෙන්නේ.

සමහර විට වෙන කෙනෙක්ට 'මාක්ස් ලයිව් ඉන් ශ්‍රී ලංකා' කෙටි කතාවක් වෙන්න පුළුවන්. සර්පයා ඒක අදිනවා සෑහෙන්න ඇදිල්ලක්. හොඳ ලිවිලිකාරයෙක් වෙන්න ඒ හැකියාව ඕන. ඒකෙදි වට පිටාවෙ තියෙන සමහර දේවල් මතු වෙනවා. සමහර ඒවට වදිනවා. සමහර ඒව කුඩු වෙලා විසි වෙනවා.

පොත ඇතුලේ ගලාගෙන යන ගැහැණු පිරිමි සංවාදය ඉවර වෙන එකක් නෙවෙයි. ඒක තමයි මට ඒකෙ තියෙන ආකර්ශනීයම සංවාදය. ඒක අපි කොයි තරම් සංවාද කලත් එක පාර්ශවයකටවත් අනෙක් පාර්ශවය තේරුම් නොයන සංවාදයක්. සංස්කාර සහ ධර්මතා ගැන කතාව අස්සේ යන්න පුලුවන් උපරිමය කොහෙද? සංස්කාර කියන්නෙ අපි නිෂ්පාදනය කරගත්ත තත්වයන් (හදාගත්තුවා) විදියටත්, ධර්මතා කියන්නෙ ස්වභාවයෙන්ම ඇති වී තියෙන තත්වයන් විදියටත් තේරුම් ගත්තොත් ගැහැණියගේ ධර්මතාවයන් තියෙන්නෙ ගැහැණියගේ සංකේත ලෝකයෙනුත් බැහැරින්ද කියන ප්‍රශ්නය එනවා. ඒ කියන්නෙ එයාලත් තාම එයාල කව්ද කියන එක දන්නෙ නෑ.

මේ ඉදිරි අදහස් ටිකට කාලාන්තරයක් තිස්සෙ කියවල තියෙන දේවල් එකතු වෙලා තියෙනවා. ඒ කාලෙ මේ දේවල් කියෙව්වෙ කිසිම තේරුමක් නැතුව. නමුත් කාලාන්තරයක් එක්ක සමාජය අස්සෙ විවිධ ගෑණු පිරිමි ඇසුරු කරද්දි ඒ කියවපු ඒවායින් ඇත්ත කියල තේරෙන දේවල් ටිකක් තියෙනවා. ඉතිං මම මේ කියන්නෙ මට තේරෙණ ටික. කිසිම පර්ෆෙක්ට් අදහසක් ලෝකයේ නැති නිසා වඩා නිවැරදියි කියල මට කල්පනා වෙන දැනුමකින් මේවා අනාගතේදි ප්‍රතිස්ථාපනය වෙන්න පුළුවන්.

අපි දන්නවා අපිට තවත් කෙනෙක්ට යමක් තේරුම් කරවන්න ඒ කෙනා නොදන්න භාෂාවකින් බෑ. අපි කෙනෙක්ට කියනවා "ඔයා එන ඉරිදා උදේ අටට නුගේගොඩ බෝ ගහ ගාවට එන්න" කියලා. ඒක අනිත් කෙනාට තේරුම් යන්න නම් එයා ඔයා කියපු වාක්‍යයේ හැම වචනෙකම ඔයා අදහස් කරපු තේරුම දැනගන්න ඕන. ඒ වචන දෙන්නටම වැටහෙන පොදු වචන සෙට් එකේ තියෙන්න ඕන. එකක් හරි මිස් වුනොත් හමුවීම මඥ්ඥං වෙන්න පුළුවන්. එන ඉරිදා, උදේ අට, නුගේගොඩ, බෝ ගහ කිව්වම වෙන ගහක පටලා නොගැනීම වගේ හේතු ගොඩක් ඒකට තියෙනවා. ඔය ටිකට පොදු අර්ථ ටිකක් තියෙනවා වගේම ඒ අර්ථ ටික එකම තේරුමෙන් ඔයත් එයත් එක වගේම දන්නවා වෙන්න ඕන.

අවකාශයේ අදහස් තියෙනවා. ඒ අදහස්වලට හැමෝටම ඇක්සස් තියෙනවා. භාෂාව කියන ශබ්ද මාලාවලින් ඒ ඒ අදහසට ගැලපෙන වචන නිර්මාණය වෙලා තියෙනවා. ඔයා ඔයාගෙ අදහසට ගැලපෙන වචන ටිකක් අරන් අකුරු විදියට ගලපලා අනිත් කෙනාට පෙන්වනවා. එයත් ඒ අකුරු කියවලා ඒකට අදාල වචනවලට අදාල අදහස අර අවකාශයෙන් තේරුම්ගන්නවා. මේ ක්‍රියාවලියෙදි දෙවෙනි පුද්ගලයාට මොකක් හරි වචනයකට අදාල අදහසට ඇක්සස් නැත්නම් (එයා ඒ වචනේ තේරුම දන්නෙ නැත්නම්) එයාට පණිවිඩය තේරෙන්නෙ නෑ. භාෂාව කියන්නෙ අදහස් ඩිලිවර් කරන ක්‍රමය තමයි. ඒත් අපි කී දෙනෙක් තමන්ගෙ මව් බාසාවවත් හොඳින් ප්‍රගුණ කරල තියෙනවද? ඒ නිසා භාෂාව ගැන දැනුවත්කම අදහසක් ඩිලිවර් කරද්දි ඉතාම වැදගත් වෙනවා. පාර්ශව දෙකකට යමත් තේරෙන්න නම් ඒ දෙන්නටම කොමන් භාෂාවක් තියෙන්නම වෙනවා. ඒ වගේම ඒ කොමන් භාෂාව සහ අදාල පාර්ශව භාවිතා කරන මුල් භාෂා අතර වචනවලට නිශ්චිත තේරුම් තියෙන්නම වෙනවා.

ලෝකයේම පිරිමි සහ ගැහැණු හිතන විධි ගත්තම ඒ ක්‍රම දෙකකට බවත් (ප්‍රධාන ක්‍රම දෙකක් කියලයි හිතන්න වෙන්නේ. ගැහැණු පිරිමි අන්ත දෙකට අයිති ප්‍රධාන ක්‍රම දෙකයි. ඒ දෙක මැද ලොකු පරාසයක භාෂාවල් ඇති), ඒ ක්‍රම එකිනෙකට සංකල්පීය තලයේදිම වෙනස් නිසා ඒවා මොනවද කියල අනිත් පාර්ශවයට තේරුම් කරවන්න පුළුවන් පොදු භාෂාවක් ඕන බවත්, මෑතක් වෙනකල්ම මේකට පොදු භාෂාවක් කියල තියෙන්නෙ පිරිමි භාෂාවම බවත්, ගැහැණු හිතන විධිය මෙහෙමයි කියල පිරිමි විසින් පිරිමි භාෂාවෙන් කියල තියෙන කතා සේරම ඇත්තද කියල අපි ආයෙත් හිතන්න ඕන බවත්, ගැහැණු විසින් තමන්ගෙ භාෂාවෙන් කතා කරන්න පටන් අරන් තියෙන බවත් තමයි මම හිතන්නේ. ඒ ගැන තමයි මේ සත දෙක.

කාන්තාවගේ අතීත භූමිකාව වුණේ පවුල නඩත්තු කරන එක. එයාට තිබුණෙ ගෙදර ඉඳන් දරුවො බලාගන්න එක. පවුල වෙනුවෙන් සම්පත් උත්පාදනය කළේ පිරිමියා. ඒ නිසාම පිරිමියා නිවසෙන් පිට රැඳෙද්දි කාන්තාව රැඳෙන්නෙ නිවස ඇතුලෙ හෝ තවත් කාන්තාවන් එක්ක. මේක බොහෝ දුරට සිද්ධ වුණ අපිට පොදුවෙ පිළිගන්න පුළුවන් ඇත්තක් කියල මම හිතනවා.

ක්‍රමයෙන් ලෝකය කාලය හරහා වර්තමානයට එද්දි අවශ්‍ය වෙන අළුත් දැනුම නිපදවන්න සංවාද පටංගන්නෙ පිරිමින් විසින්. මොකද බොහොමයක් බාහිර අභියෝගවලට මුහුණු දෙන්නෙ පිරිමි. එයාල ඒවට උත්තර හොයනවා. සමහර විට ඒවට ගැහැණිය දායක වෙලා තියෙන්න පුළුවන්. එක අතකට එක පාරම ලෝකය පිරිමියාගේ නිර්මිතයක් කියන එකම අසාධාරණ අදහසක්. ලෝකය වෙනස් කරපු පිරිමින් කී දෙනෙක් කාන්තාවන්ගේ නිසා ඒ දේවල් කලා වෙන්න බැරිද? ඒක වෙනම සංවාදයක්. කොහොම නමුත් ප්‍රධාන වශයෙන් ලෝකයේ අළුත් දැනුම නිපදෙව්වෙ පිරිමියා කියල පිලිගත්තම මේ කතාව ගොඩනගන්න ලේසියි. අපි ඒක උපකල්පනයක් කියලා ගත්තත් පසුව ඒක ඇත්ත වෙන්න හොඳටම ඉඩ තියෙනවා. (කාන්තාවන්ට කිසිම ගෞරවයක් නැති එයාල තමන්ගේ අයිතිය බලපැවැත්වෙන භාණ්ඩ විදියට සලකන තනි තනි පිරිමිත්, සංවිධානත් තාම ලෝකයේ ඉතිරි වෙලත් තියෙනවා. මේ උත්තම පුරුෂත්වය තුල කාන්තාවනුත් කැමති යම් ලිංගික සංකේතකරණයක් තියෙනව වෙන්න පුළුවන්. නමුත් ඒක පෞද්ගලිකයි.) කොහොම නමුත් අළුත් දැනුම පිරිමියා නිපදවද්දි ඒ දැනුම සහ දැනුම ඔස්සේ ලෝකයේ වෙන වෙනස්කම් සිද්ධ වෙන්නෙ පිරිමියාට ඕන විධියට. පිරිමි ඔළුවක් ඇතුලෙ. පිරිමියාගේ ආසාව වෙනුවෙන්. බොහෝ විට නොදැනුවත්වම.

පිරිමියා ඒ විධියට ලෝකය නිර්වචනය කරන වැඩේ කරන අතරෙ එයාලා කාන්තාවවත් ඒ ලෝකයට ඇතුලත් කරනවා. නැතිනම් කාත්තාව මේ වගේ කියල තමන් හිතං ඉන්න ආකෘතිය පොදු එක බවට පත් කරනවා. කාන්තාවට අර්ථ දැක්වීමක් දෙන්නෙ පිරිමියා විසින්. තවමත් අපි කාන්තාව කියල පිලිගන්නෙ පිරිමින් නිර්වචනය කරන කෙනෙක්. ඒක බොහොම වෙලාවට කාත්තාවමත් පිළිගන්නවා. ඒක හැර එයාලට විකල්පයක් නැති තරම්. අපි ලිබරල් කියල කාන්තාවන්ම කියාගන්න අවස්ථාවලදිත් බොහොම වෙලාවට වෙන්නෙ ඇයට නොදැනීම තවත් ලෙවල් එකක පිරිමි අවශ්‍යතාවයක් ඉටු කිරීමක්.

හැබැයි ඒ ඇත්තටම කාන්තාවමද? ඇය හිතන විධියට ඇය කවුද? ඇයගේ ආසාව මොකක්ද? ඒව පැහැදිලි නැති දේවල්. සරලවම ගත්තොත් කාන්තාව පැහැදිලිව නිර්වචනය කරන්න පිරිමි නිර්මාණය කරපු භාෂාවකට බෑ. කාන්තාවගේ සාරය පිරිමි ඔළුවට අහුවෙන්නේ නෑ කියල කියන්නෙම ඇගේ සාරය විස්තර කරන්න පිරිමි භාෂාවකට බැරි නිසා. ඒ නිසාම පිරිමි අපි හිතනව කාත්තාවන්ට සාරයක් නැහැ කියල.

හැබැයි දැන් සියවසක විතර ඉඳන් කාන්තාවන් ක්‍රමයෙන් තමන්ව ප්‍රකාශ කරන්න ඔවුන්ගේම භාෂාවක් නිර්මාණය කරගනිමින් ඉන්නව. ඔවුන් ලෝකය තමන්ගෙ භාෂාවෙන් අර්ථ දක්වාගනිමින් ඉන්නවා. ඒ නිසාම ඇය ස්වාධීන වෙමින්, පිරිමියාගේ බලපෑමෙන් මිදෙමින් ඉන්නවා. මේ අර කලින් කියපු ලිබරල් එක නෙවෙයි.

බුකියෙ කීප වරක් ෂෙයා වෙනව දැකපු පෝස්ට් එකක් තියෙනවා.

'පිරිමින්ට මුදල් ලැබුණු විට ඔහු තම ගැහැණියට උපරිමයෙන් සලකයි
ගැහැණුන්ට මුදල් ලැබුණු විට පිරිමියකු අවශ්‍ය නොවන බව ඇයට වැටහෙයි'

මේක බොහෝ දුරට ඇත්ත. ප්‍රශ්නය තමයි මේක දිහා අපි බලන්නෙ ශිෂ්ටාචාරය පුරාම ගොඩනගාගෙන ආපු පිරිමි දැණුමින් වීම. ඒ නිසා මෙහෙම වෙන එක වස වැරැද්දක්ය, සංස්කෘතිය විනාශ වීමක්ය, මිනිස් පැවැත්මට තර්ජනයක්ය වගේ ඒව තමයි එක පාරම කෙනෙක්ගෙ ඔළුවට යන්නේ. නමුත් වැඩේ කියන්නෙ ඔය පෝස්ට් එකේ කියන තත්වය උදාවෙලා තියෙන්නෙ කාත්තාව තමන්ගේ ලෝකය අර්ථ දක්වගන්න පටන් අරන් තිබීම නිසා වීම. ඇය තමන්ගේ වාග් මාලාව අනුව, ඇගේ භාෂාවෙන් ලෝකය අර්ථ දක්වන්න පටන් අරන් තියෙනවා. ඒ ලෝකයේදි ඇයට ඕන මුදල් වෙන්න පුළුවන්. පිරිමි නෙවෙයි වෙන්න පුළුවන්. මුදල් කියන්නෙ මේ යුගයේදි ගැහැණු පිරිමි බේදයකින් තොරව යම් ආකාරයක සතුටක් ලබාගන්න පුළුවන් ක්‍රමයක්. එහෙම නෙවෙයි කියන අය වෙනස් කරන්න පුළුවන් මුදලේ ප්‍රමාණය මත. ඔබට ඕනෑ අසීමිතව මුදල්ද නැත්නම් ඔබටම ගැලපෙන කාන්තාවක්ද කියන ප්‍රශ්ණය ආවොත් ඔබ දෙන උත්තරය මොකක්ද?

කාන්තාවගේ පරම අරමුණ පිරිමියෙකුගේ ආදරය හරි මොකක් හරි ලැබීම කියන එක පිරිමි ඔළුවේ අදහසක්. ඒක කාන්තාවගේ අදහස විය යුතුම නෑ. ඉතිං පිරිමියා පිළිබඳව කාන්තාව තුල තියෙන අදහස වෙනස් වෙමින් තියෙනවා. ඉතිහාසය පුරාම කාන්තාව මත පටවපු පිරිමි බලය දැන් ගිලිහෙමින් තියෙනවා. ඒකට ප්‍රතිචාර දක්වන්නත් අනිත් පැත්තට තල්ලු කරන්නත් ඇය පටන් අරන් තියෙනවා. ඇය ස්වාධීන ජීවියෙක් වෙන්න පටන් අරන් ඇයට ඕන විධියට ඇගේ ලෝකයට අර්ථ දෙමින් තියෙනවා.

මේ නිසාම මානව සම්බන්ධතාවල විලාසය ඉදිරි අඩ සියවස වගේ කාලය ඇතුලත රුදුරු විදියට වෙනස් වෙන්න නියමිතයි. රුදුරු කියල කියන්නෙ අපි උපකල්පනය නොකරන විදියකට. ඒකෙදි අපි අද උත්තම තත්වයන්වල තියල සලකන සංස්කෘතිකමය දේවල් උඩු යටිකුරු වෙන්න ඉඩ තියෙනවා.

ඒ වෙද්දි ගැහැණියගේ භාෂාව තේරුම්ගන්න පිරිමියාට පුළුවන් වෙයි කියල අපට හිතන්න වෙනවා. මොකද මේ වෙද්දි ඒ භාෂාව තේරෙන්නෙ නැහැ පිරිමින්ට. ඒ නිසාම මේ කාලෙ කාන්තාව තමන්ගේ භාෂාවෙන් ඇමතුවම හෝ ක්‍රියා කලාම පිරිමි ගල් වෙනවා. මැරෙන්න යනවා සමහර විට යක්කු වෙනවා. මැරෙන තුරාවට ඔබව පතාගෙන කියලා ටැටූ ගහනවා. තමන්ව අතෑරපු කෙල්ලව හොයන් ගිහින් කරදර කරනවා. මරන්න වුණත් පෙළඹෙනවා. ඒ අර පිරිමි ආධිපත්‍ය අභියෝගයට ලක් වීම නිසයි. කාන්තාව තමන්ට යටත්ව ඉන්න ඕන කියල හිතන පරණ පිරිමි ගතිය නිසයි. දැන් ටික ටික මේ ධ්‍රැව මාරු වෙන්න අරන්. සමහර රටවල මේක අනිත් පැත්තටත් ගිහින් ගැහැණු තනියෙන් ඉන්න උත්සාහ කරද්දි පිරිමි අය ජීවිත කාලෙම එකට ඉන්න ගැහැණු හොයන් ආසියාවට එනවා කියලා අපේ මස්සිනා බන්දුෂා ළඟදි පාට්නර්ට කියල තිබුණා. එහෙම මාරු වෙන්න පුළුවන් ඉතිං. කොහොම නමුත් ඉදිරියේදී යම් කාලෙක මේක සෑහෙන්න සමතුලිත වෙයි. සමාජයේ සාරධර්ම කියන ඒවා වෙනස් වෙයි. වෙනස් වීම නතර වෙන එකකුත් නෑ ඉතිං.

සමන්ගෙ පොතේ ඔය ධර්ම කතිකාව ඇති වෙන්නෙත් ඒ අවුල විසඳගන්න ඕන නිසයි. තවමත් මම කියවල තියෙන සහ සමාජය තුල ප්‍රදර්ශනය වෙන තත්වයන් මත තීරණය කළොත් කාන්තාවන්වත් එයාලගෙ භාෂාව හරියට අඳුරගෙන නෑ. ඒක නිසා අපි පොදුවේ කියන්නේ කාන්තාවගේ ආසාව එයාලවත් දන්නෙ නෑ කියල. මම හිතන්නෙ එයාලගේ ආසාව තේරුම්ගන්න ඕන කරන භාෂාව පිරිමි විසින් නිර්මාණය කරල නෑ. ඒ නිසා පිරිමි භාෂාවක් ඇතුලේ ගැහැණුන්ගෙ ආසාව විස්තර කරන්න වචන නෑ. ඒ වචන පිරිමින්ට හදන්න බෑ. ඒත් මේ වෙනකොට වෙනස ආරම්භ වෙලා තියෙනවා. භාෂාවෙන් කෙසේ වෙතත් ක්‍රියාවන්වලින් ගැහැණිය පිරිමියාගේ ග්‍රහණයෙන් මිදෙමින් ඉන්නවා. ඒ්ක භාෂාවෙන් තේරුම් ගන්න අපට සෑහෙන්න කාලයක් යයි.

පොතේ ඡේද අස්සේ යටින් උඩින් සහ සමාන්තරව යන කොමඩික් ෆීලිං එක තමයි පොතට මාව රඳවපු සාධකය. ඒක හිනාව හාස්‍යය නෙවෙයි. බකස් ගාල ගිහින් ඉවර වෙන හිනාවකට වඩා කට කොනකට නැගෙන මන්දස්මිතියක් සෑහෙන්න කාලයක් රඳවල තියන හාස්‍යයක්. උපහාසයක් අපහාසයක් සේරම එකතු වුන හැඟීමක්. ලංකාවෙ ස්ටෑන්ඩ් අප් කොමඩිවලට හිනා යන්නෙ නෑ කියන මිනිස්සු ගොඩකට මේ වැඩේ කොහොම තේරෙයිද කියන අවුල මට ආවා ඉතිං. එයාල කොහොමත් සමන්ව කියවනව වෙන්න බෑ.

පොතක් කියවීම කියන්නෙ ගනු දෙනුවක්. පොත කියවීම සඳහා සන්තක කරගැනීමට දරණ වියදම හෝ වෑයම, කියවන්න වැය කරන කාලය වගේ දේවලට සාපේක්ෂව පොත විසින් කියවන්නාට යමක් ලබා දෙන්න ඕන. ඒක සංතෘෂ්ටියක්, දුකක් ආදී වෙන් කරගන්න පුළුවන් ඕනම හැඟීමක් හෝ කීපයක් වෙන්න පුලුවන්. මේ පොතෙන් දැනෙන එකට එහෙම වචන නෑ. මංමුලා වෙලා යාම කිව්වොත් සමහර විට හරි ඇති. හැබැයි රෑ වෙනකල් හිටියොත් එළියක් හොයාගන්න පුළුවන්. හදිසි නම් ගහකට නගින්න පුළුවන්. ඒ දෙකටම ඔබට පුහුණුවක් ඕන.

අපිට ඇත්තක් ඕන. පට්ට ඇත්ත කතා ජනප්‍රියයි. ඒත් ඇත්තත් සිහිනයක් අතර සිද්ද වෙන ගනුදෙනු ටික වෙනුවෙන් ඉඩක් ඕන. ඒක උවමනා කෙනෙක්ට පොත හොඳට සෙට් වෙන්න පුළුවන්.

අපි දකිනවා සමහර විචාරවලදිත්, බුකි හෑලිවලත් සමහර අය වටේ යනවා. සර්වජන ෆේස්බුක් එකේ සමහර හෑලිවල තියෙන්නෙ "මම මේ වටේ යන්නේ. මැද මාර එකක් තියෙනවා. ඒක මං දන්නවා හැබැයි කියන්නෙ නෑ" වගේ එකක්.

ඇත්තම ඇත්ත හේතුව එයාලා මැද තියෙන එක මොකක්ද කියලා නොදන්න එක වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඇත්තටම මැද කිසි දෙයක් නැති වීම. මැද තියෙනවා කියන එකත් නිශ්චිත නෑ. ඒ නිසා අපට තියෙන්නෙ තම තමන්ගේ භාෂා සහ අවබෝධතා ලෝකවල ඉඳන් මැද තියෙන යමක් තේරුම් ගන්න දරණ උත්සාහ කිරීම විතරයි. මැද හෙණ එකක් තියෙනවා කියල ලොකු හෑල්ලක් ලියාගෙන එද්දිම අපි තේරුම් ගන්න ඕන දේ තමයි ගොඩක් වෙලාවට එයා දන්න ලබ්බක් නෑ කියන එක. ලියන හෝ කියන මනුස්සයා ගොඩනගන්න හිතලවත් නොතිබුණ ඇත්තක් හෝ යථාර්ථයක් කියවන්නා විසින් හොයන්න යන එක තේරුමක් ඇති වැඩක් නෙවෙයි.

අමතර -
අලියාගේ වෘෂණ කෝෂ හිසේ පිහිටා ඇති බව සහ අලියාට අලි කන් ඇත්තේ ඒවා සිසිල් කිරීම සඳහා පවන් සැලීමට බව සමන් ලියා ඇතත් ඒ කතාව බොරුවකි. එය සමන් සිතා මතා ලිව්වා වන්නටද බැරි නැත. වෘෂණ ශරීර අභ්‍යන්තරයේ ඇති තවත් සතුන් සිටී. ඒත් තවමත් මේ වෘෂණ අලින්ගේ ශරීර අභ්‍යන්තරයේ තිබෙන්නේ ඇයිද යන්න නොවිසඳුණ ගැටළුවකි. සමහරවිට අලි වෘෂණ ශරීර අභ්‍යන්තරයේ පිහිටා ඇත්තෙ ඒවා වෙනත් සිවුපා ක්ෂීරපායීන්ගේ මෙන් බාහිරින් පිහිටා තිබුණොත් අලියා වැනි බරසාර සත්වයෙකුට ඒවා කළමනාකරණය කරගැනීම දුෂ්කර නිසා වන්නට පුළුවන්ය.

Friday, 2 June 2023

සතුටින් ඉන්නෙ කොහොමද?

 

මේක සිය දිවි හානි කරගැනීම ගැන මලී ලියපු ෆේස්බුක් හෑල්ලකට දාපු කමෙන්ට් ඒකක් සහ ඒ්කට ආපු ප්‍රතිපාර්ශවීය පිළිතුරකට ලියපු පිළිතුරක්.

මේ සටහන ගැන මට දැනට හිතෙන දේ මේක. සම්පූර්ණයෙන්ම වැරදි වෙන්න පුළුවන්.

මානසිකව බිඳවැටීම කියන්නෙ සාපේක්ෂව අලුතෙන් ඉස් මතු වෙලා තියෙන ප්‍රශ්නයක් වෙන්න ඕන. මම හිතන්නෙ නෑ එහෙම ප්‍රශ්න අතීතයේදි තිබුණ විධිය ගැන පරීක්ෂණ කරලා තියෙනවා කියලා. අතීතයෙදිත් තියෙන්න ඇති. නමුත් අපේ සමාජ ජීවිත සංකීරණ වීම එක්ක මානසික අවුල් වැඩි වෙලා තියෙනවා කියන එකයි මගේ අදහස.

ඕකෙන් ගැලවිලා ඉන්න නම් සරලවම තමන්ගෙ රසඥතාවය සෑහෙන්න දියුණු කරගන්න ඕන. එහෙම නැත්නම් ඒක නැති කරලම දාලා වර්කොහොලික් වෙන්න ඕන. හිත්වලට එන හිස්කම පුරවන්න පුළුවන් ඔය ක්‍රම දෙකට කියලයි මට හිතෙන්නෙ. රසය දියුණු කෙනෙක්ට ලෝකයේ රස විඳින්න දේවල් ඕන තරම් තියෙනවා. කෑමක් බීමක්, කළා නිර්මාණයක් හෝ බොහොම සුළු දේවල් රස විඳගන්න පුළුවන් නම් හිස්කම ඒව අස්සෙ දිය වෙලා යනවා. වර්කොහොලික් කෙනෙක්ට නම් වැඩ අස්සෙ ඕක දිය කරල දාන්න පුළුවන්.

තමන්ගෙ බලාපොරොත්තු බොහොම සුළු අනාගතයකට සීමා කරගන්න පුළුවන් නම් සෑහෙන්න හොඳයි. ඒකෙන් අදහස් කරන්නෙ නෑ දිග අනාගතයකට ප්ලෑන් කරන්න එපා කියලා. ප්ලෑන් කරන්න. වැඩ කරන්න. බලාපොරොත්තු නොවෙන්න. වෘත්තීයමයව ඇරුණම කාගෙන්වත් මොකවත් බලාපොරොත්තු නොවෙන ගානට එන්න පුළුවන් නම් මරු. අමාරුයි. හැබැයි පුළුවන්.

උදේ නැගිට්ටම මගේ තියෙන ලොකුම බලාපොරෙත්තුව හවස ගෙදර ඇවිත් ගහන සිගරට් එක. රෑ වෙද්දි කැමති එපිසෝඩ් එකක් බලන එක, යූ ටියුබ් සංවාදයක් අහන එක. එතනින් එහා බලාපොරොත්තු කියන ඒවාට වැදගත් කමක් ලැබෙන්නෙ ඒ අවස්ථාව අනුවයි. ඒ බලාපොරොත්තු වෙනුවෙන් වෙන මහන්සිය අපතේ යන්නෑ කියන කාරණය මත විතරයි මංනං බලාපොරොත්තුවක් පස්සෙන් යන්නේ.

සමාජ ජීවියෙක් වෙද්දි ඕනම කෙනෙක් සමාජයෙන් බලාපොරොත්තු වෙනවා පිළිගැනීමක්. ඒ එක්කම තමන් විසින් ළඟා විය යුතු ජීවිත මට්ටමක් ගැන බලාපොරොත්තුවකුත් තියෙනවා. ඒවා නොලැබෙද්දි නොසන්සුන් වෙනවා. සමාජෙත් එක්ක අවම සම්බන්ධ තියාගෙන සමාජටෙ බ.ම්.බු. ගහගන්න කියල ඉන්නත් පුළුවන්. හිතෙන් හදාගත්ත ස්ටෑන්ඩර්ඩ් හිතෙන්ම විනාශ කරල දාන්න පුළුවන්. හිත පොළොව මට්ටමේම තියාගන්න පුළුවන් නම් මරු මම හිතන්නෙ.

මේ කියපු දේවල් බහුතරයකට අදාළ කරගන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඒ නිසා ඉතිං ඔය ඇඟේ කෙමිකල් ටික බැලන්ස් කරගන්න බෙහෙත් බොන එකත් හොඳයි.

සමාජයෙන් එන ප්‍රශ්නයකට සමාජෙන් උත්තර හොයන්න බැරිදත් මන්දා. කොහොම වුණත් මේවට යුනිවර්සල් උත්තර නෑ.

හෑල්ලෙන් හෑල්ල උතුම් හෑල්ලක් වේ.


---------------------

මේකෙන් සෙල්ෆිෂ් වීමක් ගැන නෙවෙයි කියන්නෙ. තමන් තුළ ගොඩනගාගන්න පුළුවන් මානසික තත්වයන් ටිකක් ගැන. ඒකෙන් බලාපොරොත්තු වෙන්නෙ බාහිරින් එන බලපෑම්වලදි නොසැලී ඉන්න හැකියාව ලැබෙන එක. මොකද අපි මොන විදියට හිටියත් බාහිරින් අපට යොමු වෙන බිඳවැටීම්වලට මුහුණ දෙන්න වෙනවා. අපේ හිත ඒවයින් බිඳගන්නෙ නැතුව තියාගන්නෙ කොහොමද කියලයි මම ඔය කියපු එකේදි කල්පනා කරන්නේ. හැබැයි ඒකෙන් කියන්නෙ නෑ හැඟීම් දැනීම් නැති ගල් මිනිහෙක් වෙන්න ඕන කියන එකත්. ඉමෝෂන් එකකදි සංවේදී වෙලා ඒකට ප්‍රතික්‍රියා කරන එක තමයි හොඳම. හැබැයි ඒක පස්සෙ එල්ලිලා ඉන්නෙ නැතුව ඒකෙන් වෙන ලෙඩ හදාගන්නෙ නැතිව ඉන්න පුළුවන් අර දේවල් පුහුණු කළාම. අපි සේරම මේ එක එක තත්වයන්වලදි ස්‍රාවය වන හෝමෝන සහ කෙමිකල්වල වහල්ලු තමයි ඉතිං.

මෙහෙම තත්වයක් ප්‍රගුණ කළා කියලා මිනිහෙක් වගකීම් විරහිත වෙන්නෙ නෑ. ඕන නම් තවත් වගකීම් සහගත වෙයි. එක අතකින් මේකෙන් මිනිහෙක්ට නරුමයෙක් වෙන්නත් පුළුවන් සාන්තුවරයෙක් වෙන්නත් පුළුවන්. ඔය දෙන්නා බවටම පත්වෙන්න පුළුවන් නම් අයිඩියල්. එතකොට තමන් වොරි වෙන්න ඕන සීමා ටික හොඳටම අඳුනගන්න පුළුවන්. ලෝකෙම ප්‍රශ්න තමන්ට දාගන්නවද නැත්තං තමන්ට අදාළ ප්‍රශ්න විතරක් දාගන්නවද කියල එතකොට ෆිල්ටර් කරගන්න පුළුවන්.

Wednesday, 31 May 2023

චූටි බුබුල


තව තව කුඩා කරමි
මා ආරක්ෂිත බුබුල
හිවලුන් වෘකයන්
සිංහ කෝට් කාරයින්
බූරූ මේස් කාරයින්
පඩ ෂෝ ආගමිකයින්
ආගමික නිරාගමිකයින්
ඊනියා ප්‍රජාතන්ත්‍රවාදීන්
මැදවාසී අන්තවාදීන්
ගොබ්බ සමාජවාදීන්
හිඟන ධනවාදීන්
හැත්ත බුරුත්තම
පන්නා තනි වෙමි
චූටි බුබුල තුල
අහුමුළු අස්සෙන්
ජීවිතය සොයාගමි



2023-05-29

Monday, 29 May 2023

තරිඳු ශ්‍රී ලොකුගමගේ ගේ ජීවිතයේ ඔයිල් පැල්ලම් - පොත ගැන අදහස්

 

ජීවිතයේ ඔයිල් පැල්ලම් කෘතිය ගැන ඒක ආපු කාලෙ සහ සම්මානයට නිර්දේශ වුණ කාලෙ කතාබහක් ඇතිවුණා මතකයි. පොත් සම්බන්ධයෙන් මට සමාන රහක් තියෙනවයි කියල හිතන යාළුවො කීප දෙනෙකුත් ඒ ගැන කියල තිබුණා. හැබැයි කියෙව්වෙ අවුරුදු ගාණකට පස්සෙ.

වැඩට යන එන ගමන් බස් එකේදි දවස් දෙකකදි පැය හතර පහක් ඇතුළත එක හුස්මට කියවගෙන ගියේ සෑහෙන කාලෙකින් ඒ විදියට කියවපු පොත බව මතක් කරමින්.

මම හිතන්නෙ දිනේෂ් කොළඹගේ ලියපු 'සුළඟ වගේ ඇවිදින්' පොතට පස්සෙ ඒ ආරේ ලිවිල්ලක් අහුවුණ පළවෙනි වතාව. පොතේ ප්‍රධාන චරිතය දිනේෂ් කෙනෙක් වීම අහම්බයක් නෙවෙයිද මන්දා.

ලංකාවෙ සාමාන්‍යයෙන් දකින්න ලැබෙන්නෙ මෙහෙම මිනිස්සු. ගේම් කාරයෝ. ගේම් කාරයෙක් කියල මනුස්සයෙක් නාමකරණය වුණාම ඒක හෙණ ආඩම්බරයක්. ගේම් කාරයො අස්සෙන් රිංගලා යන්න පුළුවන් පොරක් වෙන එක හැමෝගෙම හීනයක්. කූඹියෝ වගේ ගේම්කාර ටෙලියක් ලංකාවෙ හිට් වෙන්නෙත් මේ ගතිය නිසා. ඒ නිසාම ලංකාවෙ පිරිමින්ට විශේෂයෙන් කතාව සෙට් වෙනවා.

තරිඳු යොදාගන්න උපමා මොඩර්න්. ඒක වෙනම සාහිත්‍යයක්. අළුත් සාහිත්‍යයක්. එක විදියකට පොත ඉතිහාසයෙන් ගැලවෙන්නෙ ඒකෙන්. ඒක පොතටම අනන්‍ය එකක්. එහෙම ඒවා දෙකක් නෑ. ඒ ගතිය 'සුළඟ වගේ ඇවිදින්' එකෙත් තිබුණා.

පොතේ එක ශුද්ධ චරිතයක්වත් දුෂ්ට චරිතයක්වත් නෑ. හැම කිල්ලෝටෙම හුණු තියෙන අළු පාට චරිත ගොඩක්. ගෑනු පිරිමි හුටපට, ළමා අපචාර, මරිසිකම්, මැරකම්, හොරකම්, බේබදුකම් සේරම එකට බ්ලෙන්ඩ් වෙලා. ඒ චරිත සහ සිදුවීම් අස්සෙ හැරි හැරී බම්ප් වෙවී අපි කියවගෙන යන්නෙ හරියට වාහනයක ගමනක් යනවා වගේ තමයි.

ලිවීම කියන්නෙ කොයි තරම් අභියෝගාත්මක දෙයක්ද කියලා දන්නෙ ලියන මිනිස්සු. එහෙම එකේ තව මනුස්සයෙක්ට එපා නොවී එක දිගට කියවන්න පුළුවන් විදියට ලියන්න පුළුවන් කියන්නෙ ඒක මාර වැඩක්. තරිඳුගේ ඊළඟ වැඩ ගැන ඇහැ ගහගෙන ඉන්න ඕන ඒකයි.

Friday, 26 May 2023

අම්මගෙ රොටිය

 


 

අම්මා රොටි හදද්දි
පැටි කාලෙදි ඉල්ලුවා මතකයි
අම්මා හීනි රොටියක් ඕන
කර කර ගාල හැපෙන්න
අම්මා කොහොම හරි
රොටියක් හදල දුන්නත්
සමහර වෙලාවට හිතපු තරම්
ඒක තුනී නැතිවෙනකොට
හිත නොරොක් වුණත් මතකයි

අද ඉඳහිට පවුලට
ගෑස් ලිපේ රොටී හදනකොට
තේරෙනවා අමාරුව
අඟුරු නොවී අමුත් නැතිව ගාණට
රොටි තුනී කරල පුච්චන
මතක් වෙනව අම්මව
අකීකරු ගින්දර එක්ක
දර ලිපේ රොටි පුච්චපු
හිත කඩා වැටෙනවා එතකොට

පවුලේ අය රොටි දෙක තුන
හරිම රහයි කියා කනකොට
හිත යටින් නැගෙන සතුටට
දැනෙනවා අම්මාත් හවුල් බව
අම්මා හදන විදියටම
ඒ රහටම සුවඳටම
රොටිය පිච්චිලා එනකොට
හිත පිරී සැනසෙන්නෙම
මතක් වෙලා අම්මාව

2023-05-21

Friday, 10 March 2023

යුද්ධය අත්හල රණ විරුවෝ

 

යුධ ගින්නෙන් මියැදෙනවුන් ගණන් දෙමින්
ගෙවු අතීත මතකය යලි අවුළුවමින්
නැවතත් මිය යයි වැසියන් පවුල් ලෙසින්
ජීවත් වීමේ යුද්ධය දිග් ගැසෙමින්

තනි තනි ලෙසින් නොව සිය පවුලම එක්ව
බිළිඳුන් දරුවන් යොවුන්ද වෙන් නොමව
පවුලක් ලෙසින් දිවි නහගන්නට සිත්ව
කෙලෙසින් හිත හදාගන්නෙද වීලද මත්ව

ජීවිකාව ගෙන යන්නට හැකි නැත්තේ
වැටුපක් කුලියක් උපයන්නට නැත්තේ
දරුවන් හඬන හඬ රැව් දෙන කන් මත්තේ
ඉවසාගන්න බැරි සීමාව ඉස්මත්තේ


Wednesday, 1 March 2023

ලන්ච් රූම් ප්‍රේමය

 

උදයෙත් දහවලෙත් ඇය මේසෙක එපිට
බත්මුල ලිහයි නිහඬව ඇයගෙම ලොවක
ලන්ච් රූමයේ වෙනකෙකු නැති අවට
ඇගෙ හැඩ විඳිමි මෙහි සිට මම ඇස් අගක

වදනක් නොබා ඇය බත්පත වළඳන්නේ
දුරකථනයට එබිලයි මම බත් කන්නේ
ඈ පෙර දැක නොමැති බව නිසැකව දන්නේ
ස්ථාන මාරු ලැබ විය යුතුයි ඇය එන්නේ

පෙනුමෙන් නොමැත ඇගෙ ඒ හැටි විශේෂයක්
මේ දහසක් කතුන් වැඩ කරන පරිශ්‍රයක්
උන් අතරේ මම දන්නේ දහ දොළහක්
ඒ අතරට ඈත් ආවොත් ප්‍රහර්ෂයක්

වැඩි මිතුරුකම් ගැන නෑ මට මනාප
තනිවම හිඳිමි මම නැහැ කිසි විලාප
වැඩි සබඳකම් වාතයි විවිධ ස්වරූප
ඇය නැහැ වෙනස් එ වුණත් නෑ අමනාප

ඇගෙ කුසගින්න මට කුසගිනි වෙලාවෙම
දැණුනේ කොහොම මගෙ සිතුවිලි පුරා මම
හිත යට සිට නැගෙන පිබිදුම තලා බණ
ආදරේ ඇත්තෙ බඩවල අපෙ sync වුණ

Thursday, 23 February 2023

නිවන් සුව ලැබේවා

එපා කරපු එවුන්ට නිවන් සුව පතන එක මරු වැඩක්. ඒක කවුරුවත් ප්ලෑන් නොකරපු සෝෂල් වැඩක් කියලයි දැනට මට හිතෙන්නෙ. එහෙම කියන එක නිවන ගැන වැරදි විදියට අර්ථ දැක්වීමක් කියල සමහර අය කියනවත් ඇහුණා.

මෙතනදි කට්ටිය නිවන් සුව ලැබේවා කියල කියන්නෙ 'මැරියං' කියල කියන එකටනේ. අපි කොහොමත් හරියටම ඕන දේ කියනවට වඩා වටේ යන්න දක්ෂ නිසා එහෙම නොකියා ටිකක් පොලයිට් විදියට 'නිවන් සුව' කියල කියනවා.

ලංකාවෙ ඝන වස්තුවල ධර්ම ඩිලිවරිය කොහොමද කියනවනම් නිවන් සුවය කියන එක මැරුණට පස්සෙ ලැබෙන එකක් කියල තමයි මිනිස්සු තේරුම් අරන් ඉන්නේ. ඒ නිසා මැරුණට පස්සෙ ඒක ලැබියං කියල ප්‍රාර්ථනා කරල පොඩ්ඩක් හිත සනසවගන්නවා.

කොහොම වුණත් නිවන් ලබපු කෙනෙක්ට ආයෙ ඉපදීමක් තියෙන්න විදියක් නෑ තියරියට අනුව නම්. නිවන් දැකපු කෙනෙක් නැවත ඉපදීම කියන හුය බිඳල දාල නිදහස් මනුස්සයෙක් වෙනවා. ඊට පස්සෙ එයාට ඉපදීමක් නෑ. නිවන් දැකපු කෙනෙක් දිව්‍ය ලෝකෙකවත් අපායකවත් ඉපදෙන්නෙ නෑ. චුත වෙලා නැති වෙලාම යනවා.

ඉතිං මිනිස්සු තමන්ට එපා වුණ උන්ට නිවන් සුව ලැබේවා කියන එකේ අවුලක් නෑ. මොකද උන් අපායකවත් ආයෙ ඉපදෙන්න ඕන උන් නෙවෙයි.

Wednesday, 4 January 2023

තලවතුගොඩ, පැලවත්ත සහ මාලඹේ නම් හැදුනෙ කොහොමද?

 https://www.bobvila.com/articles/495-the-plumb-bob/

 

දවල්කෑමගනිද්දිඑතනටසෙට්වුණවෙනආයතනයකවැඩකරනසහෝදරයෙක්තමයිමේකතාවකියන්නෙ.


කෝට්ටෙ යුගයෙ ශ්‍රාස්ත්‍රීය කටයුතු සඳහා භාවිතා කළේ තල්පත්. මේ තල්පත් සපයාගන්න මුලින් කළේ උතුරුමැද සහ නැගෙනහිර පැත්තෙ හැදෙන තල් ගස්වලින් කපල ඒව ගෙන්නගන්න එක. හැබැයි කාලයක් යද්දි පුරෝහිත කෙනෙක්ට කල්පනා වෙනව තල් ගස් වගා කළා නම් ලේසියෙන්ම පත්‍ර ලබාගන්න පුළුවන් නේද කියලා. නිසා තල් වගාවක් පටන්ගන්නවා කෝට්ටෙ මාලිගාවට ටිකක් දුරින් දියවන්නා වගුරෙන් වෙන් වෙලා පිහිටි ඉඩමක. මේ තල් වගාව තිබුණ ඉඩම තමයි "තලවතුගොඩ" වුණේ.

මේ තල් වගාවට අවශ්‍ය තල් පැල තවාන් කරපු ස්ථානය ටිකක් මාළිගාව කිට්ටුවයි හැදුවෙ. ඉඩම "පැලවත්ත" වුණා.

15-16
සියවල්වලදි ඔය කෝට්ටේ රජ මාළිගාව පිහිටල තිබුණෙ දැන් කෝට්ටෙ මාළිගාව පාර කියල තියෙන පාරෙන් ගියාම තියෙන තැනකලුනේ. දැන්නම් එතන තියෙන්නෙ පැක් වුණ ගෙවල් ටිකක්. රජ මාලිගය වටේ තිබුණ ප්‍රාකාරෙ නටබුන් තාම තියෙනවා. මේ ප්‍රාකාරෙ අඩි 30ක් විතර පළලලු. දවස්වල දළඳා පෙරහැර එහෙම ගිහින් තියෙන්නෙ ඔය බැම්ම උඩලු.

කොහොම නමුත් මාළිගාව මුලින් හදන්න ප්ලෑන් කරල තියෙන්නෙ දැන් මාලඹේ තියෙන හරියෙ. හදන වැඩෙත් පටං අරන් තියෙද්දි දවසක් රජතුමා විසිට් එකකට ආවලු. තමන්ගෙ මාලිගාවෙ ප්‍රගතිය බලන්න. ඇවිත් බලද්දි කවුරුත් පේන්න නැහැලු. බිත්ති බාගෙට බැඳගෙන ගිහින් තියෙනවලු. ඉතිං රජතුමා කතා කළාලු "බාසුන්නැහේ" කියල. කීප වතාවක් කතා කරද්දි බිත්තියක් එහා පැත්නෙත් ඇහෙනවලු "මාලඹේ" කියල. ආයෙත් "බාසුන්නැහේ තමුසෙ කොහෙද?" කියල ඇහුවම උත්තරේ එනවලු "මාලඹේ" කියල. රජතුමා වටෙන් ගිහින් බලද්දි බාසුන්නැහේ ලඹේ එල්ලිලා ඉන්නවලු.

රජා ඈතින් එද්දි දැකලා කලබල වුණ පාරට මිනිහට උන් හිටි තැන් අමතක වෙලා ඵලංචියෙන් වැටිලා උඩ එල්ලල තිබුණ ළඹේක පැටලිලා. ඉතිං එහෙමලු "මාලඹේ" හැදුණෙ.

Monday, 5 December 2022

ආරියවංශ අබේසේකරයන්ගේ 'ආරාමදාස' පොත ගැන අදහස්


 මේ පොත කියවන්න පටන් අරන් සුළු වේලාවකින් තේරුණ දේ තමයි ඒක විශිෂ්ට ලෙස ලියවුණු එකක් කියන එක. ඒ ලිවීම පර්ෆෙක්ට් කියල දැනෙනවා. ඒ කියන්නෙ සිංහල භාෂාව හසුරුවල තියෙන විධිය හරිම පිළිවෙළයි. වාක්‍ය මොන තරම් දීර්ඝ වුණත් සංකීර්ණ වුණත් ව්‍යාකරණ නියමෙටම හරි. (මගේ දැනුම අනුව) ඒ වගේම වචන අපතේ නොයවා පරිස්සමින් ලියල තියෙන්නෙ සූක්ෂම මෝස්තර සහිතව වියපු රෙදි කෑල්ලක් වගේ. අවධානය බිඳුනොත් සෑහෙන රහක් මිස් වෙනව. ඒ හින්දම එක හුස්මටම එක අවදානෙන් කියවගෙන යන්න ඕන පොතක්.

මේක වෙනස්ම අත්දැකීමක්. මීට කලින් කොහොමටවත් කියවල නැති පුරාවිද්‍යා වැඩබිම්වල වැඩකරන කම්කරුවන් ගැන කතාවක්. වැඩ බිම ගැන හෝ වැඩ කරන රටාව ගැන ලොකු විස්තරයක් පොතේ නෑ. බෙල් පාටියක වැඩ කරන ක්‍රමය තව විස්තර වෙලා තිබුනනම් ඒක මට තවත් රසවත් වෙන්න තිබුණා. නමුත් පොතේ අරමුණට ඒක ඒ තරම් අදාළ නැති නිසා අවුලකුත් නෑ.

මුල් ටිකේදි ආස වෙන චරිතය සුවාරිස් කියන වාමාංශිකයා. මිනිහා සමාන අයිතීන් ගැන කතා කරන ගමන්ම හොඳින් වැඩ කරන මනුස්සයෙක්. ඔය "වාමාංශික" කියන අදහස අවුල් වෙන තැනක් තමයි වැඩ කිරීම කියන එක. සමාන අයිතීන් හෝ වරප්‍රසාද නිකංම ලැබෙද්දි මිනිස්සු වැඩ කරන්න කම්මැලි වෙන්න පුළුවන්ය කියන එක දක්ෂිණාංශික අදහසක්. 'වාමාංශික" කියන අදහසත් එක්ක ඔය 'වැඩ නොකර ඉන්න මුස්පේන්තු මිනිස්සු තමා වාමාංශිකයෝ' කියන අදහස පරම්පරා කීපයක් තිස්සෙ ඇවිත් තියෙනවා. ශෝලහොව්ගෙ පෙරළූ නැවුම් පසෙත් එහෙම අදහසක් දරණ මිනිස්සු ඉන්නවා. නමුත් සුවාරිස් ඊට වඩා ප්‍රායෝගික චරිතයක්. මිනිහ ගමේ ඉන්න අයිඩියල් ගැමියෙක්. අනුන්ට උදව් කරන්න සීමාවක් නැති හිත හොඳ මනුස්සයෙක්. මිනිහගෙ එකම කොස්ස මිනිහා වාමාංශික වීම. මිනිහ ගැන ගමේ තියෙන පොදු අදහස ඒක. එක අතකට අවුරුදු දහස් ගාණක් පත්තියං වෙච්ච බොරුවෙන් මිනිස්සු නැගිටවන එකත් ලේසි නෑ.

අපිට කියල දීල තියෙන ඉතිහාසය කියල සටහන් වෙලා තියෙන්නෙ ප්‍රභූ ඉතිහාසයක්. පාලකයා සහ පාලකයාගේ සිත් ගත්ත පූජකයා තමයි ඉතිහාසය ලියන්නෙ. පූජකයන්ට ඒ කාලෙදි තිබුණ ශ්‍රාස්ත්‍රීය අයිතිය හින්ද ඉතිහාසය සටහන් කිරීමේ අයිතිය නිතැතින්ම එයාලට ලැබෙනවා. ඉතිං එයාල ලියන්නෙ එයාලගෙ ඉතිහාසය. ඉතිහාසය ලියන එකම එයාල සඳහා දේශපාලනික වාසි ලබාගැනීමේ ව්‍යාපෘතියක්. ඒ් නිසා ලිඛිත ඉතිහාසය අස්සෙ සාමාන්‍ය මිනිස්සුන්ගෙ ජීවිතය ගැන ඍජුව සඳහන් වෙන්නෙ නැති තරම්. හැබැයි පුරාවිද්‍යාව සහ සූක්ෂම ලිඛිත ඉතිහාස අධ්‍යයනයන් මගින් ඕනම කෙනෙකුට අතීත සාමාන්‍ය මිනිස්සු ගැන අදහස් ඉදිරිපත් කරන්න පුළුවන්. ආරාමදාස අස්සෙ අපට හුදී ජනයාගෙ ඉතිහාසෙ මෙහෙම වෙන්න ඇති කියන ඡායා මාත්‍රයක් පෙන්නනවා. ඒක නියම වැඩක්.

ඒකත් ඔළුවෙ තියාගෙන කියවද්දි තේරෙන දේ තමයි සාමාන්‍ය ජනතාව පාලකයන්ගෙනුත් ආගමික නියෝජිතයන්ගෙනුත් ඇන්දෙනවා කියන එක. ඒක එදත් අදත් එක සේ වලංගු කතාවක්.

ඔය ඇන්දීම ගැන තියෙන අවබෝධය නිසාම පොතේ සඳහන් ගමට හාමුදුරු කෙනෙක් ආව කියනකොටම කියවීම ටිකක් නැවතුණා. ඒක අනතුරක පෙරනිමිත්තක්. ඕනම සාමාන්‍ය තැනකට ආගම සම්බන්ධ වුණ ගමන් අනතුරක් වෙන්න ඉඩ වැඩියි.

ආගමේ කාර්යය මේ වෙද්දි ඉවරයි කියලයි මට හිතෙන්නෙ. ඒක මමත් තාම කල්පනා කරන අදහසක්. දැන් ආගම් විසින් කරන්නෙ තමන්ගෙ පැවැත්ම වෙනුවෙන් ආගමික සංකල්ප පවත්වාගැනීමක්. ඒවයින් ආගමික ශාස්තෘවරුන්ගේ තමන්ගෙ අදහස් දේශනා කරපු මුල් අභිප්‍රායන් තෘප්ත වෙන්නෙ නෑ. වෙනත් දැනුම සම්බන්ධයෙන් ගත්තොත් ඒව කාලානුරූපීව වෙනස් වෙන අවස්ථාවලදි ඒ සම්බන්ධ අදහස් සහ අභිප්‍රායන් කාලානුරූපව වෙනස් වෙනවා. නමුත් ආගම්වල ඩෙෆිනිෂන් එකම 'සදා නොවෙනස් සත්‍යය' වගේ එකක් නිසා ආගමික දැනුම හරි නම් එහි ශාස්තෘවරයා විසින් දේශනා කරපු දේවල්ම විය යුතුයි. නමුත් එහෙම ඒව හොයන්න නැති නිසා මේ වෙද්දි ආගම නිකං විහිළුවක් විතරයි. ඉතිං ලස්සන කියවීමක් අස්සට ආගම රිංගද්දි මගේ හිත අවුල් සහගත වෙන එක සාමාන්‍යයි.

ආගම වගේ පරණ අදහස්වලින් එක ජන කොටසක් උත්තම කරන එක මේ යුගයට හරි යන්නෙ නෑ. දැන් පොදු සමාජ වගකීම් මූලික වුණ ජීවන විලාසයක් අස්සෙ තමන්ගෙ නිදහසට වටිනාකමක් තියෙන ජීවන ක්‍රමයක් මිනිස්සුන්ට හුරු කරන්න වෙනවා. සමාජ ආගමක් මිනිස්සුන්ට අවශ්‍යයි. ඒක යුරෝපීය රටවල මිනිස්සු ක්‍රමයෙන් හොයාගනිමින් යනවා. නමුත් කිසිම දෙයක් පර්ෆෙක්ට් නෑ. ඒ නිසාම තවම ඒ වගේ විකල්ප ජීවන විලාසයන් සම්බන්ධව තියරි ගොඩනගන්න බෑ. හැබැයි මිනිස්සු ආගම්වලින් නොගැලවෙන තාක් ආගමික වෙනස්කම් විසින් ලෝකයේ මිනිස්සු අස්සට තවත් අනවශ්‍ය වෙනස්කම් අරං එනව. ඒක පොදු මිනිස් සමූහයක් විදියට එක් වෙමින් තියෙන ලෝකයට සුදුසු තත්වයක් නෙවෙයි.

ආයෙත් පොතට ආවොත් පොතේ කියන ධාර්මික පිළිලය වසංගතයක් වගේ රටම වෙලාගෙන ඉවරයි. ඒක ආරම්භ වෙන විධිය ගැන ලේඛකයා විස්තර කරන්න විධිය රසවත් වගේම ඇත්තටත් ඉතාම ආසන්නයි කියල හිතෙනවා.

නිර්මාණයක් තුළ ඇති ලේයර ගණන වැඩිවන තරමට ඒ්ක රසවත්. ඒ්ක විහිළුවකට, සිනමා පටයකට, පොතකට වගේම වෙනත් නිර්මාණ ඕනෑම එකකට අදාළයි. ආරාමදාස ලේයර් සහිත කෘතියක්. ඒ් හින්දම විවිධ වර්ගයේ කියවන්නන්ට ආස හිතෙන පොතක් වෙන්න පුළුවන්. මේක නියර්ලි පර්ෆෙක්ට් කියන්න මම කැමතියි. පොතේ අන්තර්ගත විෂය, ලේඛන විලාසය, චරිත, පොතෙන් යෝජනා කරන දේවල් සහ කියවාගෙන යාමේ පහසුව වගේ පැති ගොඩකින් පොතට මම කැමතියි. කාලෙකින් කියවපු සාරයක් දැනෙන පොතක් කිව්වොත් නිවැරදියි. සමහර විට ඒ රට ගැන පුරවැසියෙක් විදියට තියෙන ආදරේ නිසා වෙන්න ඇති.

ආරාමදාසයින් කියන්නෙ වහලුන්. මියගිහින්වත් වහල් බවින් මිදෙන්නට බැරි අය. කලින් කියපු එක ලේයර් එකක් සැලකුවොත් අපි හැමෝම ආරාමදාසලා කියල හිතන්න පුළුවන්.

Friday, 18 November 2022

ශ්‍රී කාන්ත/ ශ්‍රී කාන්ත සහ රාජලක්ෂ්මි පොත් ගැන...

 

ශ්‍රී කාන්ත/ ශ්‍රී කාන්ත සහ රාජලක්ෂ්මි පොත් යුගල ගෙදර පුස්තකාලෙ තියෙන්නෙ 2011 ඉඳන්. නමුත් මට ඒ පොත් යුගල කියවන්න ඕන වෙන්නෙ චිත්‍රපටියක් නිසා. (ශරත් චන්ද්‍ර චැටර්ජි, චින්තා ලක්ෂ්මි සිංහ ආරච්චි)

ප්‍රදීප්ත භට්ටාචාර්ය කියන බෙංගාලි සිනමාකරුවාගේ Bakita Byaktigato (2013) චිත්‍රපටිය මායා යථාර්ථවාදී අරුම පුදුම චිත්‍රපටියක්. මේක බලන්නෙ 2020 කොවිඩ් කාලෙදි. මේකෙන් අධ්‍යක්ෂවරයා ගැන පැහැදිලා ඔහුගේ තව නිර්මාණ ගැන හොයන්න ගත්තම Rajlokhi O Srikantho (2019) චිත්‍රපටියත් හමු වෙනවා. චිත්‍රපටියෙ ඩිජිටල් පිටපතක් 2020 දි ම බාගන්න පුලුවන් වුනත් ගැලපෙන සබ්ටයිටල් එකක් නොතිබුණ නිසා බලන එක අතෑරලා තිබුණා. 2022 අගෝස්තු මාසෙදි විතර දාපු සර්ච් එකකදි ඉංග්‍රීසි සබ් එකක් ලැබෙනවා. හෙණ කට්ටක් කාලා ඒකෙ ටයිමින් ඇජස්ට් කරගෙන බැලුවට පස්සෙ මට පොත කියවන්න ඕන වෙනවා.

මේකෙ සයිකොලොජිකල් කෑල්ල මොකක්ද? රාජලක්ෂ්මි ශ්‍රීකාන්ත වෙනුවෙන් කැපවී සිටීම කියන කාරණය අස්සෙ පිරිමි ආස තැනක් තියෙනවා. ශ්‍රීකාන්ත සෑහෙන්න නිදහස් මිනිහෙක්. ඔහු තමන්ට උවමනා දේ හොයාගෙන යන පිහාටුවක් වගේ සැහැල්ලු මිනිහෙක්. ඒත් ඔහුට අවශ්‍ය මොහොතේ සල්ලිකාර, රූමත් කාන්තාවක් ඔහු වෙනුවෙන් ඉන්නවා. ඔහුට යන්තම් මතක, ඒත් ඇයට හොඳින් මතක ඉතිහාසයක් ඔවුන් දෙදෙනාටම තියෙනවා. ඒ මතකය ඇය සතුව හැමදාම තියෙනවා. ඒ නිසාම ඇය ඔහුව හොයාගෙන එනවා. ඒක එක විධියක පිරිමි ෆැන්ටසියක්. අවසානයට එද්දි ශ්‍රීකාන්තට රස්සාවකුත් නොකර පොත් කියවමින් විතරක් ඉන්න පුලුවන් ජීවිතයක් විවෘත වෙනව. ශ්‍රීකාන්ත වගේ පිරිමියෙක්ට ඔයිට අමතරව ඕන මොනවද?

ඔය අස්සෙ මට මෙහෙමත් කල්පනා වෙනවා. පොතේ කියවෙන රාජලක්ෂ්මි චරිතය ශ්‍රීකාන්ත ගැන දක්වන අසීමිත ආදරය සමහර විට මේ පොත් රචනා වුණ කාලෙ එක්ක ගත්තම කාන්තා ෆැන්ටසියක් වෙන්නත් පුළුවන්. ඒ කියන්නෙ තමන් ආදරය කරන පිරිමියට සලකගෙන ඔහුගේ සියළු වතාවත් කරමින් එක්තරා ආගමික වර්ගයේ භක්තියකුත් එක්ක පවුල් කන්න කල්පනා කරන ගැහැණු කියන්නෙ ඒ කාලෙ උත්කර්ෂයක් වෙන්නත් ඇති. වර්තමාන කාලෙ වෙද්දි මේ තත්ව එහෙම්මම වලංගු නෑ. නමුත් පොත රස විඳින්න ඒක බාධාවක් නෑ.

Rajlokhi O Srikantho (2019) චිත්‍රපටියෙ ශ්‍රීකාන්ත රඟපාන්නේ මේ වෙද්දි ඉන්න විශිෂ්ඨතම තරුණ ඉන්දියානු චරිතාංග නලුවා කියල මම පිළිගන්න රිත්වික් චක්‍රබෝර්ති. ඔහුට චරිත අස්සෙ දිය වෙන්න පුළුවන්. රාජලක්ෂ්මි චරිතය රඟපාන්නෙ කලින් දැකලාවත් නැති ජ්‍යෝතිකා ජ්‍යෝති කියන බංගලිදේශ නිලිය. කාලෙකට පස්සෙ ඇයත් මම කැමති වුණ නිලියක්. මේ චිත්‍රපටිය ශරත්චන්ද්‍ර චට්ටෝපාධ්‍යායගෙ ශ්‍රී කාන්ත පොතේ චරිත සහ සිදුවීම් ආශ්‍රයෙන් ගොඩනගපු වර්තමානයෙ කතාවක්. ඒ නිසා පොතේ චරිත සහ සිදුවීම් එක්ක චිත්‍රපටිය ඒ විදියටම පෑහෙන්නෙ නෑ.

මගේ කාර්යාලීය මිතුරෙක් සහ මිතුරියක් අතර තියෙන දැඩි මිතුරුකම මට පේනවා. ඒ මිතුරුකම ගැන වෙනත් අය කියන කතාත් මම අහල තියෙනවා. මම ඒ දෙන්න අතර තියෙන්නෙ මොන විධියෙ සම්බන්ධයක්ද කියල හිතන්න උත්සාහ කරන්නෙ නැහැ. ඒ දෙන්නම දරුවනුත් ඉන්න පවුල් නඩත්තු කරන අය. හැබැයි මේ සම්බන්ධය අස්සෙ ඔවුන් දෙන්නම තමන්ට වෙන තැනකින් නොලැබෙන දෙයක් තෘප්ත කරගන්නවා කියල මට හිතෙනවා. දෙන්නා අතරෙ ඇතිවෙන රණ්ඩු සහ කතාබහ මට ඇහෙනවා. ඒ ගැන අවධානය යොමු කරන්න ලැබුණොත් මට තේරෙන්නෙ ඒ දෙන්න අතර තියෙන්නෙ වේදනාත්මක බැඳීමක් කියල. පීඩාවෙන් තෘප්ත වීමක්. මට තේරෙන සරල දෙයක් ඒක. කිසිසේත්ම ඕවර් තිංකින් නෙවෙයි.

ඒ කතාව කියන්නෙ ශ්‍රී කාන්ත සහ රාජලක්ෂ්මි අතරත් එහෙම පීඩාකාරී බැඳීමක් නිරීක්ෂණය වුණ නිසා. දෙන්නා උවමනාවෙන්ම වෙන් වෙනව. දෙදෙනා අතර දුරස්ථ බවක් රඳවගන්නවා. ඒ නිසාම වේදනාවට පත් වෙනවා. හිස් තැන සම්පූර්ණ කරන්න තියෙන එකම හැකියාව අනෙකා විධියට තේරුම් අරන් ඒ ගැන කල්පනා කරමින් ඉන්නව. ඒත් තමන් විශ්වාස කරන වෙනත් දේවල් නිසා උවමනාවෙන්ම දෙන්නා අතර දුරස්ථ බව තියාගන්නව. සමහර විට ඒක වඩාත් තෘප්තිමත් තත්ත්වයක් වෙන්න ඇති.

මේක ලියවෙන්නෙ 1900 මුල් ගණන් වලදි වෙන්න ඇති. ඒ නිසා විසි එක්වෙනි ශතවර්ෂයේ ආරම්භයේ මානසික තත්වයකින් මේ කතාව තේරුම් ගන්න අමාරුයි. කොහොමත් පොතේ දැක්වෙන බ්‍රාහ්මණ පූජා අවස්ථා මම කියෙව්වෙ හිනාවක් එක්ක. භක්තියයි පාරම්පරික පුරුදුයි නිසා මිනිස්සු පියවි තත්වයෙන් කොයි තරම් වෙනස් වෙන්න පුලුවන්ද කියන එක ගැන මට ඕන තරම් උදාහරණ මතක් වුණත් පොතේ දැක්වෙන ඒවත් හරිම විහිළු සහගත වුණා. ආගමික භක්තිය තම තම නැණ පමණ කියල දැනගෙන හිටියත් හිනාවෙන්න තියෙන අවස්ථා මගහැර ගන්නෙ ඇයි ඉතිං.



Monday, 14 November 2022

මැද!

 

Source - https://www.bbc.com/news/world-australia-49589160

ලියන්න නොහිතෙන්නෙ ඇයි කියන එක හෙන ප්‍රශ්ණයක් නෙවෙයි මට. නමුත් ඒකට හේතුව ලියල තියෙන එක වටිනවා. යමක් ගැන මතයක් නැතිනම් ඒ ගැන ලියන්න බෑ. මම ටිකෙන් ටික මත දැරීමෙන් අයින් වෙමින් යනවද කොහෙද... ඒක තමයි දැනට ඒ ගැන මම දරණ මතය. කම්මැලිකම කෙසේ වෙතත් පොඩියට හරි ලියන්න බාධාවක් තියෙන්න විධියක් නෑ.

යමක් ගැන පාර්ශවික අදහසක් නැතුව ඒ ගැන ලියන එක හරිම කම්මැලියි. දෙපැත්ත හෝ කීප පැත්තක් බැලන්ස් කරලා අන්තිමට මම එන්නෙ තිසිම තේරුමක් නැති මැදකට. උනුත් හරි මුනුත් හරි වගේ තැනකට. සම්පත්ගෙ සාධාරණවාදය. ඒ නිසාම යම් දෙයක් ගැන අදහසක් එද්දිම ඒකෙ විලෝමය ගැනත් අදහසක් එනවා. ඉතිං මම දරණ අදහස ශුන්‍ය වෙලා යනවා.

හිතන්න ලංකාවෙ ඉන්නෙ මානසික රෝගියො කියල කිව්වොත් ඒක ජස්ටිෆයි කරන්න මට කරන්න තියෙන වැඩ ටික දරාගන්න බැරි තරම් ලොකුයි. දැන් එකෙක් දියසෙන් කියල ප්‍රමෝට් කරගෙන එනව. සිවුරක් දාගත්ත එකෙක්. ඒ මදිවට ඔටුන්නකුත් දාගන්නවා. ටික දවසකට කලින් පාස්ටර් ඩයල් එකක් මැච් දිනවන්න කතා කලා.

එහෙම මිනිස්සුන්ට ඕඩියන්ස් එකක් හැදෙන එකත් තියෙන අවුලත්. ඒක මට අවුලක් වුණාට සාධාරණවාදය අනුව ඒක උන්ගෙ අයිතිය. ලංකාව අජූත වෙලා තියෙද්දි සියළු මත දරන්නන්ට තම තමන් කැමති පිස්සු කෙලාගන්න අවස්ථාව තියෙනව. ඒ ගැන කතා කරන්න ගියොත් ඒකට විරුද්ධ මතත් ඒ තරමටම එන්න ගන්නවා. ඉතිං කතා කරන්නෙ නැති තරමට හොඳයි.

Thursday, 3 November 2022

මරණය සමග කවි!

 



සිනා සිය දහසක් මැද
කඳුලක ලුණු රස දැණුනාද
පැටළුණු අත් දහසක් අතර
ඔබ දෑත් බැඳගෙනද
තරු පිරුණු අහසක් යට
පෙනෙන්නේ සඳේ තනිකමද
සොඳුරු මිහිරක් දකින්නේ
ගුප්ත අඳුරක් තුල විතරමද

පාලනය කල හැකිනම් සිහින
සදා නිදන් ඉන්න හිතෙනවද
අයිතියක් ඇත්නම් හැඟීම්වලට
උදුරා ගිණිබත් කරන්න හිතෙනවද
ගලන කඳුලක් සිසිල් කිව්වට
ලෝදිය මෙන් ගිණියම්ව දැණෙනවද
හයියෙන් කෑ ගහන්න ඕන වුණත්
හඬ නොඇසෙන්න උගුර වියලී ගිහින්ද

අගයන සිය ගාණක් අතර
දැණෙන්නේ හුදකලාවද?
පිරුණු ජීවිත ගොඩක
ඔබට ඇත්තේ හිස්කමක්ද?
ආදරේ කියන්නන් ළඟ
ඇත්තෙ තව බොරුවක්ද?
යුතුකම් ඉටු කරනු හැර
තව කුමක් කරන්නද?

ජීවිතය පුරවන්න
ගත් තැත ව්‍යර්ථද?
පුරවන්න ආ අය
තවත් හිස් කර ගොස්ද?
දැනුත් ළඟ ඉන්න අය
උනුත් ඒ පහුරෙමද?
ජීවිතේ හිස්කමින්
දැන් ඔබට තෙහෙට්ටුද?

කරන්නට ඇති හැමදේම
අවසන්ය හිතෙනවද?
අන් අයට වදයෙකැයි
ඔවුන් මගැර හිඳියිද?
එදිනෙදා දේවල්
නොසිතාම ඔහේ වෙනවද?
ජීවිතේ හෙට දවසට
අරමුණක් නැද්ද තව?

ජීවිත් වෙන්නට අරමුණක්
ඕනෑ කියූවන් කොහෙද?
අරමුණක් නැති ජීවිතය
අභියොගයක්ව ඇත්ද?
අන් අය කරදර වන දේ ගැනම
කරදරවන්නට තිබුණා නම් හොඳද?
ජීවිතේ ගත් අතීත තීරණ
ආයෙත් විනිෂ්චය වෙනවාද?

අහිමි දේවල් ගැන
විටින් විට හිතෙනවද?
හිමිකරගන්නත් ඒත්
ආසාවක් නැතිද?
ආසාවෙන් කල හැමදේම
දැන් තේරුමක් නැද්ද?
ගසා බසා හැමදේම
යන්නම හිතෙනවද?

ජීවිතේ හිස්කම
තදින්ම දැනෙනවද?
සතුට මුහුණු සියල්ල
ඇත්තටම සතුටින්ද?
මරණයේ ගිණි දෑස
හැඟීම් පුබුදයිද?
ආදරෙයි මරණයට
දැන් ඒක දැණෙනවද?



Tuesday, 1 November 2022

බෂාම්ගේ අසිරිමත් ඉන්දියාව ගැන අදහස්


අසිරිමත් ඉන්දියාව කියවන්නත් කලින් ඉන්දියාව මට ප්‍රේමනීය රටක්. සමහර විට දේශපාලනිකව සහ හැම විටම කලාත්මකව. ඉතිහාසෙට යද්දි ඔය දෙකේ වෙනස හොයන්නත් බෑ. කොහොම වුණත් ඉන්දියාව නිසා මම රසවිඳපු රසවිඳින දේවල් තියෙන්නෙ උපරිමයන්ගෙ. ඒක ඉන්දියානුවන්ගේ ආභාෂයෙන් ලංකාවෙ මට උරුම වෙලා තියෙන සංස්කෘතියෙ විචිත්‍රවත් ගතියෙ ඉඳන් මේ වෙද්දි ඉද්දියානුවන්ගෙ සංගීතය, නර්තනයන්, ක්‍රීඩාව, චිත්‍රපටි, ගණිතය සහ තව නොයෙක් දේ වගේම කෑම බීම දක්වාම දිව යන පැතිරුණු එකක්. හිතට සතුට සහ මොළයට දැනුම ගේන දේවල් බොහොමයක් ඉන්දියාවෙන් මට ලැබෙනව. ඉතිං ඉන්දියාවේ අසිරිය ගැන කියවීම තවත් ඒ ආදරය වැඩි කිරීමක්. ගොන් කතාවක් වුණත් ඉන්දියාව අසල රටක ජීවත් වීම සහ ඉන්දියාව විඳින්න තරමට රසයක් දියුණු කරගන්න පුළුවන් වීම ගැන ආඩම්බර වෙන්න පුළුවන්.

ඉන්දියානු ඉතිහාසය මුලදි විග්‍රහ කළේ බොහෝ දුරට යුරෝපීය ඉතිහාසඥයන් නිසා සමහර දේවල් වල ක්‍රෙඩිට් එක ඉන්දියාවට හරියට ලැබිලා නෑ කියන එක ඇත්තක්. (ලංකාව සම්බන්ධයෙනුත් එහෙම දේවල් තියෙනව) ගණිතය, තාරකා ශ්‍රාස්ත්‍රය වගේ දේවල් සම්බන්ධයෙන් ඉන්දියානුවන් දියුණු කරපු දැණුමත් ඒ වගේ. උසස් පෙලට අපට භෞතික විද්‍යාව උගන්වපු ගංඇති සර් තමයි මුලින්ම ශ්‍රීනිවාස් රාමනුජන් ගැන කියල දෙන්නෙ. ඒ ඔස්සෙ අමතර කියවීම් වගේම දෙව් පටෙල් රඟපාන The Man Who Knew Infinity චිත්‍රපටියත් පසුකාලෙක පෙරේතකමේ බලන්නෙ ඉන්දියාවට නැති වුණ දේ ගැන දැනගැනීමේ ආසාව නිසා වෙන්න ඇති. සමහර විට ඉන්දියානුවන්ම තමන්ගෙ දේවල් අතෑරලා ලෝකෙයේ වෙනස් වීම් ඉක්මනින් වැළඳගන්නවා වෙන්නත් පුළුවන්. ආචාර්ය බර්ට්‍රම් ලියනගේ කරන දේශනයකදි ඔහු කියන විධියට මරාති වගේ භාෂාවක් තවමත් පවතින්නෙ භාවිතා කරන මිනිස්සු ප්‍රමාණය වැඩි හින්දා විතරයි. නමුත් භාෂාව විතරක් සැලකුවොත් ස්වභාෂා අමතක වෙන තරමටම ඉංග්‍රීසිය වේගයෙන් සාමාන්‍ය ඉන්දියානුවන් අතරට පිවිසෙමින් තියෙනවා.

පොතේ තියෙන සමහර කාරණා ගැන දැනුම මේ වෙද්දි යාවත්කාලීන වෙලා තියෙනවා කියලත් හිතෙනවා. මහාචාර්ය රාජ් සෝමදේව කියන විධියට ආර්ය කියන සංකල්පයම යුරෝපීය ඉතිහාසඥයන් ගොතපු ප්‍රවාදයක්. ඉන්දියානු විශිෂ්ථත්වයේ මූලයන් යුරෝපයට ගෙනයෑමේ උවමනාවෙන් ව්‍යවහරයෙන් පූර්ව වර්ෂ 2000-1500 විතර කාලයෙදි මධ්‍යම යුරෝපීය ජන කණ්ඩායම් විසින් පැරණි ඉන්දු නිම්න ශිෂ්ඨාචාරයන් පෙරලගෙන වයඹ දිග ඉන්දියාවෙන් උතුරු ඉන්දියාවට ඇතුල් වීම ආර්ය සංක්‍රමණය විධියට පුරාවිද්‍යාත්මකව ඉදිරිපත් කල බවත්, ඒ දිහා විවෘතව බැලිය යුතු බවත් තමයි ඔහු කියන්නේ.

කොහොමත් ඉතිහාසය කියන්නේ කරුණු හෝ අවස්ථා විධියට සලකනවට වඩා 'විශාල අදහසක්' (big picture) විධියට සැලකිය යුතු විෂයයක් කියලයි මට හිතෙන්නෙ. කරුණු සහ අවස්ථා විධියට සැලකුවොත් ඉතිහාසෙ අවස්ථා හේතුවෙන් වර්තමානය විනාස කරගන්නයි වෙන්නෙ. මොකද මිනිස්සු ඉතිහාසය අනාගතයට ආයෝජනය කරනවට වඩා ඉතිහාස නිසා මරාගන්න ආසයි.

ලංකාවෙ X කියන හිටපු ජනාධිපති හොරෙක් කියන්න සාධක තියෙනව වගේම ඔහු අග්‍රගනයේ නායකයෙක් කියන්නත් කරුණු තියෙනවා. අවුරුදු 20ක විතර ඉතිහාසය ගත්තත් හරියටම වුණ දේට වඩා වාර්තා වෙලා තියෙන කරුණු වෙනස්. ඉතින් අවුරුදු දහස් ගණනක ඉතිහාසය ගැන කතා කරල වැඩක් නෑ.

අසිරිමත් ඉන්දියාව ශ්‍රාස්ත්‍රීය ලේඛණයකට වඩා සරල බසින් ලියවුණු එකක්. ඉතිහාසය කියවන්න කැමති උදවිය නැතුව වෙන කෙනෙක්ට වුණත් කැමති හිතෙන තොරතුරු ඇතුලත්. කියවන්න ලේසි නොවුණෙ සමහර කරුණු ගැන ඉන්ටර්නෙට් එකේ හොයමින් ඒවයෙ පින්තූර බලමින් අතුරු කියවීමකුත් කරමින් කියවන්න වුණ නිසා. එහෙම නොවී කියවල වැඩකුත් නෑ. ආසන්නව 13වන සියවසේ ඉඳන් ක්‍රමයෙන් ඉන්දියාව මුස්ලිම් ආක්‍රමණවලට ලක් වෙනව. ඒ දක්වා ඉන්දියානු භූමියේ සිදු වුණ විවිධාකාර වෙනස්කම් මාතෘකා ගණනාවක් ඔස්සෙ කතා කරනවා පොතේ.

Monday, 11 July 2022

තොපිත් පල

 


පාවිච්චි කල මාස්ක් එක පාරෙ දානවනං

ටොපි චොකලට් අයිස්ක්‍රීම් කාල ඒව ඔතපු පොලිතින් හිටපු තැනම දානවනං

පේජ් කාරයන්ගෙ පින්තූර පෝස්ට් හෙවිල්ලක් බැලිල්ලක් නැතුව ෂෙයා කරනවනං

සෝෂල් මීඩියාවල දකින තමන්ගෙ ඇජොන්ඩාවට සෙට් වෙන ඕන බොරුවක් ආයෙ ආයෙ පතුරුවනවනං

විශේෂිත කාරණයක් වෙනුවෙන් හදාගත්ත චැට් ගෘප් අස්සෙ කිසිසේත්ම අදාල නැති පෝස්ට් දානවනං

පෝලිමක ඉඳල වැඩක් කරගන්න පුරුද්දක් නැත්තං

ආයතනයකින් වැඩක් කරගනිද්දි නියමිත ක්‍රමය අනුගමනය කරනව වෙනුවට ආයතනය ඇතුලෙ කන්ටැක්ට් හරහා වැඩේ කරගන්න ට්‍රයි කරනවනං

ට්‍රැෆික් එකක් සෙට් වුණාම ඉවක්බවක් නැතුව හෝන් ගහනවනං

ගෙදර සවුන්ඩ් සෙටප් එක හතර වටේ ගෙවල්වලටත් ඇහෙන්න දානවනං

තමන්ට ඕන දේ වෙනුවෙන් ඕන බොරුවක් කියනවනං

තමන්ට අයිති නැති, අයිති කාරයෙක් පේන්න නැති දෙයක් දැක්කම ගන්න හිතෙනවනං

තමන් අතින් වරදක් උනාම ඒක පිලිගන්න බෑ වගේ හිතෙනවනං, වෙන එකෙක්ව අහු කරනවනං

පොදු තැන්වලදි තමන් විතරයි ඉන්නෙ වගේ ෆෝන් එකෙන් හෙණ හයියෙන් වීඩියෝ බලනවනං

අනිත් උන් වැරදියි කියන ගමන් තමන් හරි සුදනා කියල හිතනවනං

තොපිත් වැඩක් නෑ තොපිත් පල!


Sunday, 3 July 2022

ජයතිලක කම්මැල්ලවීරගේ සුළු තනි තිත පොත ගැන අදහස්

 

 

 


ලංකාවෙ මම කියවල තියෙන ලේඛකයන් අතරින් ජයතිලක කම්මැල්ලවීර කියන්නෙ වෙහෙසකාරී නැතිව කියවන්න පුලුවන් විදියට රහට ලියන්න පුළුවන් ලේඛකයෙක්.

ඔහුගේ නිර්මාණ බහුතරයක් රස විඳල නැතත් කියවා තියෙන නිර්මාණ කීපය අස්සෙ සරලව ලියපු ලොකු කතා තිබුණා. ඔහු අත්දැකීම් අස්සෙන් කතා පූදවන්නෙක්. විශ්වාසයෙන් චරිත ගොඩනංවන්නෙක්. එවන් චරිත බොහොමයක් ඔහු වෙනම කෘතිවල එළිදක්වල තියෙනවා. සුළු තනිතිත කියන පොත ඒ චරිත අතර හිස්තැන් පිරවීමක්. හරියට විවිධ පොත්වල ඔහු ලියූ චරිත කීපයක් එක පොතකට ගෙනත් තමන්ගේ චරිතය ඒ අනිත් චරිත අතර සම්බන්ධය ගොඩනගන්නා බවට පත් කළා වගේ වැඩක් ඒක. ඔහුට ඒ තරම්ම ලියන්න පුළුවන්.

කම්මැල්ලවීරගේ කතා වලට මම කැමති ඒවා අනවශ්‍ය දීර්ඝ කම්මැලි විස්තර වලින් තොර, අදාළ කාරණය ගැන පමණක් සැකෙවින් කතා කරන නිර්මාණ වීම නිසයි. හැබැයි චරිතාපදානයක් වැනි ආකාරයට ලිය වී ඇති මෙම නිර්මාණයට එම ශෛලිය ගැළපෙන්නෙ නැද්ද කියලත් මට හිතෙනවා. අවශ්‍යම සිදුවීම් එක්ක කතාව විස්තර කරගෙන යනවා වෙනුවට බොහොම සියුම් තැන් තව තවත් විස්තර වුණා නම් හොඳ බවක් දැනුණා. ඒත් ඒක මට විතරක් අදාළ ඒකක්. කියවා තියෙන බොහොම චරිතාපදාන පොත් ටිකක් මහත වීම නිසා සුළු තනිතිත සිහින් පොතක් වීම ගැන මගේ අදහස වෙන්න පුළුවන් ඒ. නමුත් අනිත් අතට කම්මැල්ලවීරගේ අනන්‍යතාවය තියෙන්නෙත් ඒ සුළු ලිවීමෙම තමයි.

දෙදහස් මුල් ගණන්වලදී වරක් විභවි ආයතනයෙන් සංවිධානය කල සාහිත්‍ය තරගයක ප්‍රතිපලයක් විදියට මට අපේගම පරිශ්‍රයේ තිබුණු එක් දින වැඩමුළුවකට සහභාගි වෙන්න ලැබුණා. ඒ වැඩේ මෙහෙයවුනේ කම්මැල්ලවීර සහ කීර්ති වැලිසරගේ අතින්. මම කම්මැල්ලවීරයන්ව දැන හැඳින ගත්තේ එදා. ඔහු ලේඛනය ගැන කතාකරනව ඇහුවෙ එදා. ඊට කලින් ඔහුගේ නිර්මාණ මම කියවල තිබුණා. නමුත් මට ඒවා ගැන අදහසක් තිබුණෙ නැහැ.

ඒ වැඩමුළුවට පස්සෙ කම්මැල්ලවීර මට යෝධයෙක් වෙනවා. තාම එහෙමයි කිව්වත් හරි. හැබැයි සුළු තනිතිත පොතෙන් ඔහු තමන්ගෙ අඟුටුමිටි බව ගැන ලියල තියෙන බව මට පේනවා.

ඔහු ලොකු චිත්‍රයක පොඩි තිතක්. චිත්‍රය තවමත් අසම්පූර්ණයි කියලයි මට හිතෙන්නෙ.

පොත ඉතාම රසවත්. ඔහුගේ ජීවිතයේ රිද්මයන් එක්ක යාවෙන්න ඔබටත් අවස්ථාවක් ලැබෙයි.

Tuesday, 10 May 2022

පොදු මතය මොකක්ද?

 

පාර්ලිමේන්තුවෙ මහජන ඡන්දයෙන් ඉන්න උදවිය තම තමන් බලයේ රැඳී ඉන්න මිසක් ජනතාව වෙනුවෙන් ඉන්න අය නෙවෙයි කියල පැහැදිලිවම පේනව. එහෙට මෙහෙට වෙවී කල් ඇද ඇද සාකච්ඡා තිය තිය ඒ අතරෙ එක එක ජෝක් කරල මිනිස්සුන්ව වටේ යවන අතරෙ එයාල කොහොම හරි කාලය ගත කරගන්නවා. මෙතනදි කල්පනා කරන්න ඕන දේ තමයි මෙයාලව ආපහු කැඳවන්න නීතිමය හෝ ව්‍යවස්ථාමය හැකියාවක් ජනතාවට නැහැය කියන එක. ඒක මම කියන්නෙ නීති පසුබිම් හෝ ආණ්ඩුක්‍රම ව්‍යාවස්ථාව කියවල නෙවෙයි. පේන දේවල් අනුව විතරයි. එතකොට කෙනෙක් අහයි ජනතාව පාරට බැහැල '225ම එපා' කියද්දි ඒක යාවත්කාලීන වුණ ජන මතය නෙවෙයිද කියල. එතකොට එන ඊළඟ ප්‍රශ්ණෙ පාරට බැහැල තියෙන ජනතාවගෙන් සමස්ථ ජනගහනයේ මතයම නියෝජනය වෙනවද කියන එක. කෑගහන්නේ හෝ මොන විධියෙන් හරි මේ වෙලාවෙ ජනප්‍රිය අදහසට සපෝට් කරන්නෙ මුළු ජනගහනයෙක් කොයි තරම් ප්‍රතිශතයක්ද? විවිධ හේතු නිසා තමන්ගෙ අදහස නොකියා ඉන්න මිනිස්සු කොච්චර ඉන්නව ඇතිද? මේක මනින්න විදියක් නෑ. ඡන්දයක් වගේ එකක්ම හැර ජනතා මතය ගණනය කරන්න විදියක් නෑ.



Tuesday, 28 September 2021

සමන් වික්‍රමාරච්චිගේ අප්පච්චි ඇවිත් පොත ගැන අදහස්


සමන් වික්‍රමාරච්චි මහතාගේ ‘අප්පච්චි ඇවිත්‘ කියවන්න ගත්තෙ හිස් අදහසකින් යුක්තව. විශේෂ පූර්ව නිගමන නැතිව. මොකද ඒ පොත ගැන එක එක තැන්වලදි ඇස ගැටුන අදහස් අනුව බැලුවම ඒක එකිනෙකාට තේරෙන විධිය අනුව දරුණු විධියට පාඨකයාව ධ්‍රැවීකරණයට ලක් කරපු පොතක්. පොතට කැමතියි හෝ අකමැතියි කියන අන්ත දෙකින් එකකට ලේසියෙන් වැටෙන්න පුළුවන්.

සමන් වික්‍රමාරච්චි මහතාගෙ අසනි වැසි නව කතාව අවුරුදු විස්සකටත් වැඩි ඈතකදි මම කියවල තියෙනව. ඒකෙ අන්තර්ගතය ගැන දැන් මට මතකයක් නැහැ. හැබැයි වික්‍රමාරච්චි මහතාගේ ලිවීම් අස්සෙ වඩාත් නූතන දාර්ශනික අදහස් තියෙන බව මම කියවල තිබුණ නිසා පොතේ අන්තර්ගතය පිළිබඳව නම් යම් අදහසක් නොතිබුණාමයි කියන්නත් බෑ.

පොත කියවන් යද්දි මුලදි අපි හිතනවා පොත අපට අහු වෙනව කියල... නමුත් ටිකකින් තේරෙන්න ගන්නවා අපි පොතට අහු වෙනවා කියල.

හැම මිනිහෙක්ටම තමන් ගැන තක්සේරුවක් තියෙනවා. ඒක මත ඔහු අතින් සැසඳීම් සිද්ධ වෙනවා. ඔහු තමා අවට ලෝකය ගොඩනගාගන්නෙ, දේවල්වලට වටිනාකම් ලබා දෙන්නෙ මේ තක්සේරුව සහ සැසඳීම් මත. සමහර අහඹු අවස්ථාවන්වලදි මේ ලෝකය බිඳවැටෙනවා. එහෙම වෙලාවක මනුස්සයෙක් හැසිරෙන විධියෙන් ඔහු තමන් ගැන තබාගෙන ඉන්න තක්සේරුව හඳුනගන්න පුළුවන්. අපි හැමෝම අඩු වැඩියෙන් ඒ විධියයි. තමන්ව දිය වුණ, තමන්ට වටිනාකමක් නැති ලෝකයක් මනුස්සයෙක්ට ගොඩනගන්න පුළුවන්ද කියන එක සෑ‍හෙන්න පරණ ප්‍රශ්නයක්.

මෙහෙම තත්වෙකදි අපි අපේ වටිනාකම ගොඩගනාගන්න ප්‍රවාද හදාගන්නවා. අපේ ජීවිතය නැවත ගොඩනගනවා. සමහර වෙලාවට අපි ඒවට එක ලේයරයකදි කියනවා ‘පොර ටෝක්‘ කියලත්. පම්පෝරි ජනක වගේ චරිත අපේ අස්සෙත් සුළුවෙන් හරි ඉන්නවා. තමන් විසින් ගොඩනගන තමන් හැම විටම සාධාරණ වෙනවා වගේම ලෝකෙ ඉන්න හොඳම මනුස්සයාත් වෙනවා ගොඩක් වෙලාවට. වැරදි කළත් බොහොම විට ඒ බහුතර සුභසිද්ධිය වෙනුවෙන්. ඉතිං මෙහෙම යද්දි සුළුවෙන් හරි කිසිම අතීත ප්‍රබන්ධයක් නැති මනුස්සයෙක් ඉන්න බෑ කියල හිතෙන්න එකත් සාධාරණයි.

ඔබට අතීත ප්‍රබන්ධ කිසිවක් නැද්ද? හානිකර විධියට නෙවෙයි, අඩු ගානෙ ප්‍රශ්නයකින් පැන යන්නවත් තාවකාලිකව ඔබව නැවත නිර්මාණය කරගෙන නැද්ද? ඔබ සතු අමිහිර මතකයක් හෝ ඔබේ යම් දුර්වල ගුණයක් යටපත් කරවන්න ඔබේ විශිෂ්ට ගුණයකට වැඩි බරක් දීල තමන්ව විනිශ්චය කරලම නැද්ද? එහෙම නම් ඔබ මාරයි!

පොත ලියවෙලා තියෙන විධියත්, අවසානයේ නඩු ශාලාවේ කරන පැහැදිලි කිරීමත් මට ඉතාම රසවත් වුණා. පොතේ කතාව ගොඩ නැගෙන්නෙම අවසානයේ කියවෙන දාර්ශනික කාරණා පැහැදිලි කරන්න කියලයි මට හිතෙන්නේ. ඒ අතින් ඒක මේ වෙන තෙක් කියවල තියෙන පොතකින් නොගෙනියපු අභ්‍යන්තර ගවේශනයකට ඔබව ගෙනියන්න සමත්.

මේ ‘පියාගේ නාමකරණය‘ පිලිබඳ නොයෙක් දාර්ශනිකයන් ගොඩනගල තියෙන දැනුම සිංහලෙන් තියෙන්නෙ ඉතාම අවමයෙන්. ඒ තියෙන ටිකත් කියවල තේරුම්ගන්න එක කරන්න බැරි තරමට අමාරු වැඩක්. ඒකට ඒ සීන් එකේම ඉන්න ඕන. ඒ නිසා එහෙම නැතිව සාමාන්‍ය පරිදි පොතක් කියවගෙන ඉන්න, ඔය පිලිබඳව සාමාන්‍ය උනන්දුවක් සහිත මිනිස්සුන්ට ඒ විෂය ගැන මෙහෙමවත් ලියවෙන එක ලොකු දෙයක්. මම මේ ගැන කලින් අමාරුවෙන් කියවල තේරුම් අරන් හිටපු දේවල් සමහරක් අලුත් වීමත්, අලුත්ම දැනුමක් එකතු වීමත් ‘අප්පච්චි ඇවිත්‘ නිසා සිද්ධ වුණා.

මේ 'පියා පිලිබඳ අදහස' යොදාගෙන ලෝකයේ බොහොම දේවල් නිර්වචනය කරන්න පුළුවන් කියලත් මම කියවල තියෙනවා. මිනිස්සු ගස් ගල් පිළිමවලට වන්දනා කරන එක, ස්වභාවයෙන්ම යම් පීඩිත/ පාලිත/ යටත් වූ මානසිකත්වයක ඉන්න ආස එක, රස්සාවලට ඇවිල්ලත් නිල ඇඳුම් අඳින්න ආස එක වගේ බොහොම දේවල්වලට හේතුව මේ අහිමි වුණ පියා කැඳවාගන්න තියෙන අවිඥානික අවශ්‍යතාවයද කියලත් මට හිතෙනවා. ඒවගේ ප්ලොට් සහිතවත් කාට හරි පොතක් ලියන්න පුළුවන් නම් නියමයි!

Tuesday, 16 February 2021

විලියම් ගෝල්ඩින් - මිතුරු දම් බිඳුණු පසු පොත ගැන අදහස්


මේ පොත 2007 පොත් ප්‍රදර්ශනයෙන් ගත්තත් කියවන්නෙ 2020 දි. ඒ අතරෙ කීප දෙනෙක් අතරෙ පොත ගමන් කරල තියෙනවා. ආපදාවලටත් ලක්වෙලා තියෙනවා.

මට මතක විදියට පොත ගන්න බලපාපු හේතුව ඒක 'කොරල් දූපත' පොතට සම්බන්ධයි වගේ අදහසක් තිබීම වෙන්න ඕන. සමහර විට ප්‍රදර්ශනයෙදි පිටුවක් දෙකක් කියවද්දි දැනුණ නම්ගම්වල හුරුව නිසා ක්ෂණයෙන් ගන්න හිතන්නත් ඇති.

ආර්. එම්. බැලන්ටයින්ගෙ 'කොරල් දූපත' යොවුන් නවකතාව ලංකාවෙ පරිවර්තකයන් කීපදෙනෙක්ම පරිවර්තනය කරල තියෙනවා. ඒ අතරින් කේ.ජී. කරුණාතිලක සූරීන් කරපු සංක්ෂිප්ත පරිවර්තනය මං පොඩි කාලෙ ඉඳන් නැවත නැවතත් කීප වතාවක් කියවපු රසවත්ම පොතක්. ජැක්, රැල්ෆ් එක්ක පීටර් සහ ඔවුන්ගේ අත්දැකීම් අමතක නොවන රූප සහිත මතකයන් නිර්මාණය කරල තියෙනවා.

'මිතුරු දම් බිඳුනු පසු' කියන්නෙ ඒ විදියෙම නම් ඇති චරිත සහ ආකෘතියකින් යුතු වුණත් ඒ වගේ පොතක් නෙවෙයි. මෙතනදි මිනිස්සු අතර අවබෝධය ගිලිහීම එක්ක ඇතිවෙන අර්බුදය ගැනයි කතා කරන්නෙ. ඒක එක පැත්තකින් ගත්තොත් කොරල් දූපතේ ප්‍රතිලෝමය. කැමතිනම් ඒක දේශපාලනිකව අර්ථ දක්වගන්නත් පුළුවන්.

පොතේ පරිවර්තනය ඉතාම හොඳයි කියල කියන්න බෑ මට. සමහර අවස්ථාවන් කිසිම පැහැදිලි අදහසක් ජනිත නොකරන වචන විදියට ලියවිලා තිබුණ බවයි තේරුණෙ. ඒක ලොකු බාධාවක් නෙවෙයි. නමුත් පොත වඩාත් සාර්ථකයි කියල කියන්න තිබුණා ඒ අවුල නොපෙනුනා නම්.

ඔබ Battle Royale හෝ ඒ ආකෘතියේ චිත්‍රපටි නරඹලා තියෙනවනම් 'පැවැත්ම' වෙනුවෙන් මිනිස්සුන්ට යන්න පුළුවන් අන්තයක් මොන වගේ ද කියල අදහසක් ඇති. එක අතකට ඒක තේරුම් ගන්න චිත්‍රපටි බලන්න අවශ්‍යත් නෑ. තමන්ගෙ පැවැත්ම වෙනුවෙන් පාවාදීමේ ඉඳලා මිනීමැරීම දක්වා ඕන තරම් දේවල් මිනිස්සුන්ට කරන්න පුළුවන්. අපි ශිෂ්ටත්වය කියල කියන්නෙ මායාවකට. සමහර විට ශිෂ්ටත්වය දුර්වලයො හොයාගත්ත අදහසක් වෙන්න ඇති.

මිතුරු දම් බිඳුනු පසු කියවන ඔබට බොහොම දේවල් හිතෙයි. ඔබ කොරල් දූපත පොතේ කුමන හෝ පරිවර්තනයක් කියවල තියෙනවනම් ඒක අමතර පහසුවක් වෙයි. එහෙම නැතිව අනිත් අතට යන්න ඔබ අදහස් කරනවනම් ඔබට විඳින්නන්ට ලැබෙන රස අසීමාන්තික යි.