Tuesday 1 November 2022

බෂාම්ගේ අසිරිමත් ඉන්දියාව ගැන අදහස්


අසිරිමත් ඉන්දියාව කියවන්නත් කලින් ඉන්දියාව මට ප්‍රේමනීය රටක්. සමහර විට දේශපාලනිකව සහ හැම විටම කලාත්මකව. ඉතිහාසෙට යද්දි ඔය දෙකේ වෙනස හොයන්නත් බෑ. කොහොම වුණත් ඉන්දියාව නිසා මම රසවිඳපු රසවිඳින දේවල් තියෙන්නෙ උපරිමයන්ගෙ. ඒක ඉන්දියානුවන්ගේ ආභාෂයෙන් ලංකාවෙ මට උරුම වෙලා තියෙන සංස්කෘතියෙ විචිත්‍රවත් ගතියෙ ඉඳන් මේ වෙද්දි ඉද්දියානුවන්ගෙ සංගීතය, නර්තනයන්, ක්‍රීඩාව, චිත්‍රපටි, ගණිතය සහ තව නොයෙක් දේ වගේම කෑම බීම දක්වාම දිව යන පැතිරුණු එකක්. හිතට සතුට සහ මොළයට දැනුම ගේන දේවල් බොහොමයක් ඉන්දියාවෙන් මට ලැබෙනව. ඉතිං ඉන්දියාවේ අසිරිය ගැන කියවීම තවත් ඒ ආදරය වැඩි කිරීමක්. ගොන් කතාවක් වුණත් ඉන්දියාව අසල රටක ජීවත් වීම සහ ඉන්දියාව විඳින්න තරමට රසයක් දියුණු කරගන්න පුළුවන් වීම ගැන ආඩම්බර වෙන්න පුළුවන්.

ඉන්දියානු ඉතිහාසය මුලදි විග්‍රහ කළේ බොහෝ දුරට යුරෝපීය ඉතිහාසඥයන් නිසා සමහර දේවල් වල ක්‍රෙඩිට් එක ඉන්දියාවට හරියට ලැබිලා නෑ කියන එක ඇත්තක්. (ලංකාව සම්බන්ධයෙනුත් එහෙම දේවල් තියෙනව) ගණිතය, තාරකා ශ්‍රාස්ත්‍රය වගේ දේවල් සම්බන්ධයෙන් ඉන්දියානුවන් දියුණු කරපු දැණුමත් ඒ වගේ. උසස් පෙලට අපට භෞතික විද්‍යාව උගන්වපු ගංඇති සර් තමයි මුලින්ම ශ්‍රීනිවාස් රාමනුජන් ගැන කියල දෙන්නෙ. ඒ ඔස්සෙ අමතර කියවීම් වගේම දෙව් පටෙල් රඟපාන The Man Who Knew Infinity චිත්‍රපටියත් පසුකාලෙක පෙරේතකමේ බලන්නෙ ඉන්දියාවට නැති වුණ දේ ගැන දැනගැනීමේ ආසාව නිසා වෙන්න ඇති. සමහර විට ඉන්දියානුවන්ම තමන්ගෙ දේවල් අතෑරලා ලෝකෙයේ වෙනස් වීම් ඉක්මනින් වැළඳගන්නවා වෙන්නත් පුළුවන්. ආචාර්ය බර්ට්‍රම් ලියනගේ කරන දේශනයකදි ඔහු කියන විධියට මරාති වගේ භාෂාවක් තවමත් පවතින්නෙ භාවිතා කරන මිනිස්සු ප්‍රමාණය වැඩි හින්දා විතරයි. නමුත් භාෂාව විතරක් සැලකුවොත් ස්වභාෂා අමතක වෙන තරමටම ඉංග්‍රීසිය වේගයෙන් සාමාන්‍ය ඉන්දියානුවන් අතරට පිවිසෙමින් තියෙනවා.

පොතේ තියෙන සමහර කාරණා ගැන දැනුම මේ වෙද්දි යාවත්කාලීන වෙලා තියෙනවා කියලත් හිතෙනවා. මහාචාර්ය රාජ් සෝමදේව කියන විධියට ආර්ය කියන සංකල්පයම යුරෝපීය ඉතිහාසඥයන් ගොතපු ප්‍රවාදයක්. ඉන්දියානු විශිෂ්ථත්වයේ මූලයන් යුරෝපයට ගෙනයෑමේ උවමනාවෙන් ව්‍යවහරයෙන් පූර්ව වර්ෂ 2000-1500 විතර කාලයෙදි මධ්‍යම යුරෝපීය ජන කණ්ඩායම් විසින් පැරණි ඉන්දු නිම්න ශිෂ්ඨාචාරයන් පෙරලගෙන වයඹ දිග ඉන්දියාවෙන් උතුරු ඉන්දියාවට ඇතුල් වීම ආර්ය සංක්‍රමණය විධියට පුරාවිද්‍යාත්මකව ඉදිරිපත් කල බවත්, ඒ දිහා විවෘතව බැලිය යුතු බවත් තමයි ඔහු කියන්නේ.

කොහොමත් ඉතිහාසය කියන්නේ කරුණු හෝ අවස්ථා විධියට සලකනවට වඩා 'විශාල අදහසක්' (big picture) විධියට සැලකිය යුතු විෂයයක් කියලයි මට හිතෙන්නෙ. කරුණු සහ අවස්ථා විධියට සැලකුවොත් ඉතිහාසෙ අවස්ථා හේතුවෙන් වර්තමානය විනාස කරගන්නයි වෙන්නෙ. මොකද මිනිස්සු ඉතිහාසය අනාගතයට ආයෝජනය කරනවට වඩා ඉතිහාස නිසා මරාගන්න ආසයි.

ලංකාවෙ X කියන හිටපු ජනාධිපති හොරෙක් කියන්න සාධක තියෙනව වගේම ඔහු අග්‍රගනයේ නායකයෙක් කියන්නත් කරුණු තියෙනවා. අවුරුදු 20ක විතර ඉතිහාසය ගත්තත් හරියටම වුණ දේට වඩා වාර්තා වෙලා තියෙන කරුණු වෙනස්. ඉතින් අවුරුදු දහස් ගණනක ඉතිහාසය ගැන කතා කරල වැඩක් නෑ.

අසිරිමත් ඉන්දියාව ශ්‍රාස්ත්‍රීය ලේඛණයකට වඩා සරල බසින් ලියවුණු එකක්. ඉතිහාසය කියවන්න කැමති උදවිය නැතුව වෙන කෙනෙක්ට වුණත් කැමති හිතෙන තොරතුරු ඇතුලත්. කියවන්න ලේසි නොවුණෙ සමහර කරුණු ගැන ඉන්ටර්නෙට් එකේ හොයමින් ඒවයෙ පින්තූර බලමින් අතුරු කියවීමකුත් කරමින් කියවන්න වුණ නිසා. එහෙම නොවී කියවල වැඩකුත් නෑ. ආසන්නව 13වන සියවසේ ඉඳන් ක්‍රමයෙන් ඉන්දියාව මුස්ලිම් ආක්‍රමණවලට ලක් වෙනව. ඒ දක්වා ඉන්දියානු භූමියේ සිදු වුණ විවිධාකාර වෙනස්කම් මාතෘකා ගණනාවක් ඔස්සෙ කතා කරනවා පොතේ.

No comments:

Post a Comment

මං ඔයාගෙ එකේ බයිල ගහන නිසාවත් ඔයා මාව දන්න නිසාවත් නෙවෙයි. මගේ වමනෙ පාර දැකල ඔයාලටත් වමනෙ යන්ඩ වගේ එනවනම් විතරක් මේ කොමඩ් එකට දාන්ඩ!