Tuesday, 16 February 2021

විලියම් ගෝල්ඩින් - මිතුරු දම් බිඳුණු පසු පොත ගැන අදහස්


මේ පොත 2007 පොත් ප්‍රදර්ශනයෙන් ගත්තත් කියවන්නෙ 2020 දි. ඒ අතරෙ කීප දෙනෙක් අතරෙ පොත ගමන් කරල තියෙනවා. ආපදාවලටත් ලක්වෙලා තියෙනවා.

මට මතක විදියට පොත ගන්න බලපාපු හේතුව ඒක 'කොරල් දූපත' පොතට සම්බන්ධයි වගේ අදහසක් තිබීම වෙන්න ඕන. සමහර විට ප්‍රදර්ශනයෙදි පිටුවක් දෙකක් කියවද්දි දැනුණ නම්ගම්වල හුරුව නිසා ක්ෂණයෙන් ගන්න හිතන්නත් ඇති.

ආර්. එම්. බැලන්ටයින්ගෙ 'කොරල් දූපත' යොවුන් නවකතාව ලංකාවෙ පරිවර්තකයන් කීපදෙනෙක්ම පරිවර්තනය කරල තියෙනවා. ඒ අතරින් කේ.ජී. කරුණාතිලක සූරීන් කරපු සංක්ෂිප්ත පරිවර්තනය මං පොඩි කාලෙ ඉඳන් නැවත නැවතත් කීප වතාවක් කියවපු රසවත්ම පොතක්. ජැක්, රැල්ෆ් එක්ක පීටර් සහ ඔවුන්ගේ අත්දැකීම් අමතක නොවන රූප සහිත මතකයන් නිර්මාණය කරල තියෙනවා.

'මිතුරු දම් බිඳුනු පසු' කියන්නෙ ඒ විදියෙම නම් ඇති චරිත සහ ආකෘතියකින් යුතු වුණත් ඒ වගේ පොතක් නෙවෙයි. මෙතනදි මිනිස්සු අතර අවබෝධය ගිලිහීම එක්ක ඇතිවෙන අර්බුදය ගැනයි කතා කරන්නෙ. ඒක එක පැත්තකින් ගත්තොත් කොරල් දූපතේ ප්‍රතිලෝමය. කැමතිනම් ඒක දේශපාලනිකව අර්ථ දක්වගන්නත් පුළුවන්.

පොතේ පරිවර්තනය ඉතාම හොඳයි කියල කියන්න බෑ මට. සමහර අවස්ථාවන් කිසිම පැහැදිලි අදහසක් ජනිත නොකරන වචන විදියට ලියවිලා තිබුණ බවයි තේරුණෙ. ඒක ලොකු බාධාවක් නෙවෙයි. නමුත් පොත වඩාත් සාර්ථකයි කියල කියන්න තිබුණා ඒ අවුල නොපෙනුනා නම්.

ඔබ Battle Royale හෝ ඒ ආකෘතියේ චිත්‍රපටි නරඹලා තියෙනවනම් 'පැවැත්ම' වෙනුවෙන් මිනිස්සුන්ට යන්න පුළුවන් අන්තයක් මොන වගේ ද කියල අදහසක් ඇති. එක අතකට ඒක තේරුම් ගන්න චිත්‍රපටි බලන්න අවශ්‍යත් නෑ. තමන්ගෙ පැවැත්ම වෙනුවෙන් පාවාදීමේ ඉඳලා මිනීමැරීම දක්වා ඕන තරම් දේවල් මිනිස්සුන්ට කරන්න පුළුවන්. අපි ශිෂ්ටත්වය කියල කියන්නෙ මායාවකට. සමහර විට ශිෂ්ටත්වය දුර්වලයො හොයාගත්ත අදහසක් වෙන්න ඇති.

මිතුරු දම් බිඳුනු පසු කියවන ඔබට බොහොම දේවල් හිතෙයි. ඔබ කොරල් දූපත පොතේ කුමන හෝ පරිවර්තනයක් කියවල තියෙනවනම් ඒක අමතර පහසුවක් වෙයි. එහෙම නැතිව අනිත් අතට යන්න ඔබ අදහස් කරනවනම් ඔබට විඳින්නන්ට ලැබෙන රස අසීමාන්තික යි.

Thursday, 22 October 2020

කාංචනා අමිලානිගේ ගුහා සටන පොත ගැන අදහස්

 


ස්පොයිල් විය හැක!

2008-2009 කාලෙ හිටු කියලා බ්ලොග් වමාරපු යුගයේ හිටියා හිටපුගමන් අමුතු ප්‍රශ්න අහපු බ්ලොගර් කෙනෙක්. මිනිහට වතාවක් ආපු ප්‍රශ්නෙ තමයි මේක.

අපි ගෙදර ඉඳන් ගමනක් යද්දි අහම්බෙන් අපේ ඇඟේ එල්ලුන කූඹියෙක් සෑහෙන දුරක් ගියාට පස්සෙ තමයි අපි දකින්නෙ. අපි ඒ වෙලාවෙදිම කූඹියව බිමට ගසනවා. එතකොට ඒ කූඹිය වැටෙන්නෙ වෙනමම තැනකට. කූඹියට නුපුරුදු තැනකට... ඉතිං ඇත්තටම කූඹියට මොනව හිතෙයිද?

මේක ගැන ඒ පෝස්ට් එකේ සෑහෙන්න දේවල් කියල තිබුණත් දැන් මතක ඒ ප්‍රශ්නය විතරයි.

දැන් මට හිතෙන්නෙ කාංචනා අමිලානිගෙ ගුහා සටන කියවන්න ගත්තම කෙනෙක්ට වෙන දේ ම සමහර විට එහෙම අතරමං වුණ කූඹියෙක්ටත් වෙනව ඇති කියලයි. ඒ නිසා පොත කියවගෙන යද්දි මොකක් හරි තැනකින් අහු වෙයි කියල බලාපොරොත්තු නොවන එක හොඳයි.

මේක කියවන්න ඕන වුණේ පොතේ ප්‍රචාරණය නිසාමයි. එහෙම නැත්තං සාමාන්‍යයෙන් මම කියවන්න පොතක් තෝරගන්න කාරණාවට පොත අලුත් වීම අදාල නෑ. නමුත් ගුහා සටනේ ප්‍රචාරණය අස්සෙ තිබුණෙම මේක වෙනස් වැඩක් කියන ඉඟිය. ඉතිං එහෙම එකක් කියවන්න හිතෙන එක ස්වභාවිකයි.

පොතේ ඇතැම් සිදුවීම් සහ චරිත මට මතක් කළේ මලයාලම් චිත්‍රපටිවල දර්ශන කීපයක්. ගමේ හැමෝම එකිනෙකාව දන්න වටපිටාවක්, පිස්සු පොලීසියක්, බුල් කෙළින ආණ්ඩුවක් (ඒක නං විශ්වීය තත්වයක් වෙන්න ඇති) සහ විවිධාකාර චරිත කීපයක් කියන්නෙ මලයාලම් චිත්‍රපටියකින් කියවෙන ලංකාවෙ පරණ ගමක කතාවකට හොඳ තුනපහ. සුළු සිදුවීමක් ඉතාම විස්තරාත්මක විදියට ඉදිරිපත් කිරීම අස්සෙත් දැනුණෙ ඒක. ඒ එක්කම සමහර සිදුවීම් මට මතක් කළේ 'පෙරළූ නැවුම් පස' පොතේ සිදුවීම්. කියවල තියෙන පොත් අතලොස්ස අස්සෙ ආයෙ ආයෙ හමුවීම් වෙන එකත් මරු.

පොතේ ප්‍රචාරණය නොදැන, එහෙම නැත්තං මේ පොත කොටස් වශයෙන් ඔන්ලයින් ලියවුණ කාලෙ ඒ ගැන නොදැන අමුවෙන්ම පොත අතට ගන්න කෙනෙක්ට පොතේ අඩංගු රූප උදව් වෙයි චරිත ගොඩ නගාගන්න. චිත්‍ර මවාගන්න. පොත විසින් මවන චිත්‍ර නිසැකයෙන්ම Antz සහ A Bugs Life ඉඳන් ආපු බොහොමයක් ඇනිමේෂන්, විශේෂයෙන් කෘමි සත්තු ඉන්න චිත්‍රපටි මතක් කරන එක විශ්වාසයි. සමහර විට ඒ චිත්‍රපටි සහ පොතේ තියෙන චිත්‍ර වඩාත් පහසුවක් වෙනව ඇති කතාවේ වෙන දේවල් තේරුම්ගන්න. මට හිතෙන්නෙ මේක ඒ චිත්‍රපටි ආකෘතියටත් ලේසියෙන් හරවන්න පුළුවන් පොතක්.

පොතේ චරිතවල නම් කියවෙන විදියටනං මේක ලෝක මට්ටමේ වැඩක්. විශේෂයෙන්ම යුද්ධය ලෝක යුද්ධයක්. ඒකෙ හැම රටකම මිනිස්සු ඉන්නවා. 'ග්‍රහ ලෝකයක විනාශය' පොත කියවල තියෙන කෙනෙක්ට සමහර විට ගුහා සටනේ නම්වල අමුත්තක් නැති වෙයි. ඒ අතර ලොකු සම්බන්ධයක් නෑ. නිකං මතක් වුණා ඒක.

පොතක් කියවීම ම වෙනස් අත්දැකීමක් වීම හැම විටම වෙන දෙයක් නෙවෙයි. කියවීමේ අත්දැකීම ලැබෙන්නෙ ලිවීමේ වෙනස්කම් නිසා. ලිවීමේ තාක්ෂණික කාරණා නිසා. ලිවීමේ විලාසය නිසා. මේක එහෙම අත්දැකීමකට කියාපු පොතක්.

එතකොට කතාව? ඒක සමහර විට අපේම කතාවක් වෙන්න පුළුවන්. සමහර විට ඇත්තටම කූඹින්ගෙ කතාවක් වෙන්නත් පුළුවන්.

Thursday, 27 August 2020

The Boy Who Harnessed the Wind (2019) - චිත්‍රපටිය ගැන අදහස්

 



ස්පොයිල් විය හැක

මේ චිත්‍රපටිය බලන්න ගන්නෙ චිත්‍රපටි ගෘප් එකකින් ලැබෙන ඔත්තුවක් මත. චිත්‍රපටියෙ නමින්ම ඉඟි කරන විදියට මේක ධනාත්මක සිතුවිලි ඇති කරන චිත්‍රපටියක්. තමන්ගෙ සීමා බිඳගෙන ඉදිරියට යන ජීවිතයක් පිළිබඳ චිත්‍රපටියක්. එහෙම චිත්‍රපටි මහ ලොකු ගාණක් නැතත් තියෙන ඒව බැලුවම දැනෙන හැඟීම් ජීවිතේ ගැන සුබවාදී සිතුවිලි ඇති කරනව. ඒකට ඒ චිත්‍රපටිය හැදෙන්නෙ මොන රටේද, උන් කතා කරන්නෙ මොන භාෂාවද, උන් මොන පාටද, තේමා වෙන්නෙ මොකක්ද වගේ කිසි දෙයක් අදාළ නෑ. මිනිස්සු විදියට තමන් උපන් ජීවන තත්ත්වය ස්වෝත්සාහයෙන් වෙනස් කරගෙන වඩා පහසු ජීවන තත්ත්වයක් කරා යන චරිත අපිවත් දිරිගන්වනව. මේ චිත්‍රපටිය බලන්න ගන්නෙම ඒ අදහස ඇතිවයි.

Chiwetel Ejiofor කියන නළුවාගේ නම කවදාවත් මතක තිබුණේ නැහැ. ඔහු රඟපෑ මතක ඇති රංගනයක් තියෙන්නෙ 12 years a slave චිත්‍රපටියෙ පමණයි. නමුත් චිත්‍රපටි ගණනාවක සහය නළුවෙක් විදියට පෙනී සිටි ඔහුගේ පෞරුෂය හිතේ ඇඳිල තියෙන එකක්. මේ චිත්‍රපටිය ඔහුගේ අධ්‍යක්ෂණයක්. තිර රචනයත් ඔහුගේමයි. කරන චරිතයත් කරනව උපරිමයෙන්ම.

මලාවි රාජ්‍යයේ දිළිඳු ගොවි පවුලක අවුරුදු 13ක පුතා ඇහිඳගන්න දැනුමකින් තමන්ගෙ පියාගෙ වගාවට වතුර පොම්ප කරන්න සුළං මෝලක් නිර්මාණය කිරීම තමයි චිත්‍රපටියෙ තේමාව වෙන්නෙ. ඒක බැලූ බැල්මට මහ ලොකු දේකුත් නෙවෙයි වගේ පෙන්න පුළුවන්. නමුත් එහෙම තීරණයක් ගන්න ඔහුට සිද්ධ වුණේ ඇයි කියන එක චිත්‍රපටිය පුරාම විහිදුවන ඛේදනීය හේතුවක්. ඒ තීරණය ගන්නෙ ඔහුගෙ කුතුහලය නිසා විතරක්ම නෙවෙයි. කුතුහලය ඔස්සේ යන්න පුළුවන් යම් දුරකට. නමුත් බාධක නොසලකා මිනිහෙක් වෙනස් වැඩකට බහින්නෙ විකල්පයක් අවශ්‍ය නිසා. විකල්පයක් සෙවීම ඔහුගේ වැඩක් බවට පත් කරගත්ත නිසා. තමන්ට කල හැකි දෙයින් වැඩක් ගත්ත නිසා. මිනිස් ශිෂ්ටාචාරය ලෝකය වෙනස් කරන මට්ටමට සංවර්ධනය වෙන්නෙම එහෙම මිනිස්සු නිසා. ඒ අර්ථයෙන් ගත්තම විලියම් කම්ක්වම්බා කියන දරුවා මිනිහෙක්.

චිත්‍රපටිය පුරාම දකින්න ලැබෙන මානව බැඳීම් හා ඝට්ටනයන් ඉතාම සංවේදීයි. පවුල පිළිබඳවත් සාමූහිකත්වය සහ සහජීවනය පිළිබඳවත් මේ ජනතාව තුළ තියෙන ආකල්පය බොහොම ගෞරවණීය එකක් බව පේනවා. ඒ වගේම ඒක පාරම්පරිකව උරුමකරගෙන ආපු වටිනාකමක් බවත් පේනවා. ඉපදුන නිසා ජීවත් වෙනවාට වඩා වටිනාකමක් එකිනෙකා සම්බන්ධයෙන් ඔවුන් තුළ පවතින බව පැහැදිලියි. නමුත් චිත්‍රපටියෙ කියවෙන කාල සීමාව වෙද්දි දේශපාලකයන් විසිනුත් ව්‍යාපාරික ප්‍රජාව විසිනුත් ජනතාව සතු ඒ වටිනාකම් වෙනස් කරමින් ලාභ ප්‍රයෝජන ලබා ගන්න විධිය චිත්‍රපටිය තුළට යොදාගැනීමෙන් චිත්‍රපටියේ වටිනාකම තව ඉහළ ගිහින් තියෙනවා.

චිත්‍රපටිය හැදෙන්නෙ පොතකින්. පොත ලියල තියෙන්නෙ විලියම් කම්ක්වම්බා විසින්ම තම අත්දැකීම ඇසුරිනුයි. පොත කියවන්න හොයාගැනීමේ උවමනාවකුත් තියෙනවා. අප්‍රිකානු කලාපයේ ජීවිත ගැන වඩා යථාර්ථවාදී විස්තරයක් චිත්‍රපටියටත් වඩා පොත තුළ විස්තර වෙනව ඇති කියල හිතෙනවා. කවුරුන් හෝ ඒක පරිවර්තනය කරනවානම් පැති කීපයකින් රස විඳින්න පුළුවන් කෘතියක් වෙයි කියලත් හිතෙනවා.

මේක නාට්‍යමය චිත්‍රපටියක්. දූවිලි පිරුණු කාෂ්ටක කැළඹිලි සහිත ගමනකින් ඔබව නිල්ලත් සැනසිල්ලත් පිරුණු අවසානෙකට ගෙන යන චිත්‍රපටියක්. එහෙනම් බලන්න!


https://www.imdb.com/title/tt7533152/