Monday, 3 August 2020

සූස්ති (2020) - සිංහල චිත්‍රපටිය ගැන අදහස්


ස්පොයිල් වීමට ඉඩ තිබේ.

මේ චිත්‍රපටිය හෝල් එකකට ගිහින් බලන්න පුළුවන් වෙයි කියල හිතුණ එකක් නෙවෙයි. ඒකට විවිධ හේතු කීපයක්ම තිබුණා. නමුත් කලින් සැලසුම් කරගෙන හිටපු දේවල් කීපයක් වෙනස් වීම නිසා සූස්ති චිත්‍රපටියත් ඇවිලෙනසුලුයි චිත්‍රපටියත් එකම දවසක එකම ශාලාවක 10.30ට සහ 1.30ට බලන්න පුළුවන් වුණා.

සූස්ති චිත්‍රපටියෙ ට්‍රේලර් එකවත් නොබල ඒ ගැන කිසිම දෙයක් කියවන්නෙවත් නැතුව හිටි පසුබිමකයි මම හෝල් එකට ගියේ. රෝඩ් ට්‍රිප් වර්ගයේ චිත්‍රපටියක් බවත් දසුන් පතිරණ රඟපාන බවත් විතරයි මට මතක තිබුණෙ. චිත්‍රපටියෙ විනාඩි පහළොවක් විතර යනකල්ම මම හිතුවෙ දසුන් ප්‍රධාන චරිතෙකට ඇති කියලයි :P

චිත්‍රපටිය ගැන මට හිතුණ සමස්ත අදහස ගත්තොත් කියන්න වෙන්නෙ ‘මරු! තව පොලිෂ් වුණා නං මරේ මරු‘ වගේ එකක්. එහෙම එකක් ඉබේම දැනෙන එක වළක්වන්න බෑ. මේ වෙද්දි ලංකාවෙ මිනිස්සු සැලකිය යුතු පිරිසක් අඩු ගානෙ චිත්‍රපටි සහ ටෙලි නාට්‍ය සම්බන්ධයෙන් ජාත්‍යන්තරය ඇසුරු කරන අය. ඒ නිසා එයාලව රවට්ටන්න බෑ.  ඒ නිසා ඒක සාමාන්‍යයෙන් හැම විදියෙම චිත්‍රපටි බලන මනුස්සයෙක්ට හිතෙන්න පුළුවන් දෙයක්. ඉතිං මට හිතෙන දේ ඒක. වැඩේ මරු. තව ටිකක් පොලිෂ් වුණානං තවත් මරු. හැබැයි ලංකාවෙ වැඩක් විදියට නියමයි. සූස්ති කොහොමත් බහුතරයක් මිනිස්සු නරඹන්න ඉඩ තියෙන වර්ගයේ චිත්‍රපටියක් නෙවෙයි. නමුත් බහුතරයකගේ රසාස්වාදය විවිධත්වය දිශාවට තවත් නැඹුරු කරන්න කරන වෑයම දිගටම සිදුවිය යුත්තක්. දෙදාස් පන්සීයේ සහ පන්සිය පනහේ ම හිරවෙලා ඉන්න ඕන නෑ. සූස්ති කියන්නෙ ඒ විදියෙ සාම්ප්‍රදායික ප්‍රේක්ෂකයිනුත් ආකර්ෂණය කරගන්න පුළුවන් විදියෙ චිත්‍රපටියක්. ඉතිං ඒක බලල රස විඳපු බහුතරයක් නොවන අය විසින් පෙළඹවීමක් ඇති කල යුතුයි. මේ වෑයම ඒ වෙනුවෙන්.

‘සූස්ති‘ සිනමාවේ විවිධත්වය හොයන ප්‍රේක්ෂකයා නොරවටන චිත්‍රපටියක්. මේ වගේ බටහිර හෝ යුරෝපීය චිත්‍රපටි ගණනාවක් බලල තිබුණත් මේක ඊට වෙනස්. මොකද මේ රෝඩ් ට්‍රිප් එක අස්සේ ලංකාවෙ මේ මොහොතේ ඇත්ත අල්ලගෙන තියෙනවා. ‘සූස්ති‘ අපි ජීවත් වෙන සමාජය නිරුවත් කරල අපේ මූණටම දමල ගහන චිත්‍රපටියක්. සිංහල සිනමාව කියන එක මේ හැරෙන පැත්ත, එහෙම නැත්තං බෙදෙන අත්ත ශක්තිමත් වෙන්න ඕන කියන එකයි මගේ එකම පැතුම. මොකද මේක ෆිල්ම් ගැනත් සමාජය ගැනත් ස්ටඩි එකකින් එන එකක් මිස ෆිල්ම් හදන්න උපකරණ තියෙන නිසා එළියට ආපු වැඩක් කියල පේන්නෙ නෑ. එහෙම එකක් සම්පූර්ණයෙන් ගොඩ යන්නෙ මිනිස්සු ඒක බැලුවොත් තමයි.

කළණගෙ ලිවීම් ගැන මම දැනගෙන හිටියෙ ඔහු කවි පොතක් පළ කරපු බව කියවල තිබුණ නිසා. යූටියුබ් එකේ දැක්ක සම්මුඛ සාකච්ඡාවකදි ඔහු උත්තර දෙන විදියෙන් ඔහු කියවීමක් හැදෑරීමක් සහිතව වැඩේ ඇතුළෙ ඉන්න මනුස්සයෙක් කියන අදහසත් මට තිබුණා. ඒ නිසා ඔහුගේ ලිවිල්ල ගැන බලාපොරොත්තුවක් තිබුණා.

ලිවිල්ල ඉතාම හොඳ තැනක තිබුණත් තවත් මටසිළුටු කරන්න තිබුණා කියන අදහස මට තියෙනවා. චිත්‍රපටිය තුළ ගොඩනැගෙන සංවාදය දියුණුයි. ඒත් සමහර දෙබස් අස්සෙ ප්‍රායෝගික නැති තැනක් දෙකක් බලද්දි අහු වෙනවා. ඒක වෙන්නෙ චිත්‍රපටියට යොදවාගෙන ඉන්න මයින්ඩ් එක බිඳවැටීම නිසා. හරියට වීඩියෝ එකක ග්ලිච් එකක් වගේ එහෙම ස්වභාවික නොවෙන පොලාපැනීම් තේරෙනවා. ඒ සංවාදය තව ටිකක් බිමට ගේන්න පුළුවන්ද කියල මම දන්නෙ නෑ. සමහර විට පිටපත් ගැන තව තවත් සාකච්ඡා කළා නම් එහෙම වෙනස් වෙන්න තිබුණා. සමහර විට මෙ චිත්‍රපටිය ගැන ඔවුන්ගේ සාකච්ඡාවල දිගුව එළියට එන්න ඉඩ තියෙන්න ඊළඟ නිර්මාණයේදි වෙන්නත් පුළුවන්. එහෙම වෙන්න කියන එකත් මගේ පැතුමක්.

ඒ උඩින් කියපු දේ සෑහෙන්නෙ මගඇරෙන්නෙ කළණ සහ සමනලීගෙ රඟපෑම නිසා. කලින් සමනලී රඟපාපු එකක් බලල නෑ වගේම කළණව ගත්තොත් මම ඔහුගේ කූඹියෝ ටෙලියවත් සම්පූර්ණයෙන් බලල නෑ. මට හිතෙන්නෙ සමනලීගෙ රඟපෑම චිත්‍රපටිය පුරාම අපූරුයි. කළණගේ දෙබස් ඩිලිවරිය සමහර විට ඔහුම ලියපු නිසාද මන්දා ඉතාම ස්වභාවිකයි. දෙන්නම චරිතය තේරුම් අරන් සීන් එකේ ඉන්න බව තේරෙනවා.

අනිත් අතට මට හිතෙන්නෙ මේකෙ ඉන්න දෙමව්පියො දෙන්න ඕනම නෑ කියලයි. ඒ දර්ශන කීපය විසින් ෆ්ලෝ එක කඩල දානව වගේම ඒ ටික නොතිබුණා කියල කතාවෙ තීම් එකට ලොකු බාධාවක් වෙන්නෙ නෑ. සමහර විට ප්‍රධාන නළු නිළි දෙපළගේ සාකච්ඡා අස්සෙ නොකියවෙන කෝණයකුත් චිත්‍රපටිය අස්සට දාන්න කුෂාන් සහ කළණ දෙන්නට ඕන වෙන්න ඇති. සාමාන්‍යයෙන් මුලින්ම නිර්මාණයක් කරද්දි වෙන ප්‍රශ්නයක් ඒක. තියෙන ඔක්කොම රිංගවන්න යන එක. සමහර විට චිත්‍රපටියේ ගලායාම කඩල පොඩි විවේකයක් දීම අරමුණක් වුණා වෙන්නත් ඇති.

මේකෙ සංගීතයත් ගීතයත් ගේන වයිබ් එක නියමයි. කැමරාව මෙහෙයවීම වෙනම වැඩක්. එක දිගට සෑහෙන්න වෙලාවක් රූපගත කරපු දර්ශන කීපයක්ම තිබුණා. කලින් එහෙම වැඩ තියෙන සිංහල චිත්‍රපටි දැකල තිබුණෙ නැහැ. ඒ දීර්ඝ දර්ශන අස්සෙ ඇදෙන දෙබස් තියෙනව කියන්නෙ කට්ටිය වැඩේ ෆුල් සීරියස් අරන් කියන එකයි.

අපේ රටේ (ලෝකෙමත් සමහර විට) මේ වෙනකොට තියෙන සමාජ විපරිත බව ඇතිවෙන්නෙ අධ්‍යාපනය අවුල් වීම නිසා කියල මට හිතෙනව. ඉවසීම, විනය වගේ වචන නොදන්න, ප්‍රශ්නයක් දිහා විවිධ පැතිවලින් බලන්න නොතේරෙන, අන්‍යෝන්‍ය ගෞරවය රැකගෙන වැඩ කරන්න නොතේරෙන මිනිස්සු පේනව වැඩියි. ඒක ක්ෂණිකව වුණ දෙයක් නෙවෙයි. ආර්ථික සමාජ පද්ධතීන් වෙනස් වීමත් එක්ක ඒකට හැඩගැහෙන ක්‍රමවේද අප්ඩේට් නොවීමේ අවුලක්. ඒක මේ වෙද්දි අපේ සමාජෙ පුරාම පැතිරුණු එකක්.  එපා වෙන තරමට හැම තැනකදිම හමුවෙන, රිපීට් වෙන දෙයක්. ඒ අස්සෙ ඔය සේරම එපා වෙලා ඉන්න කෙනෙක්ට බොහොම සුළු සිදුවීමක් ඇති ජීවිතේ එපා වෙලා මැරෙන්න ඕන වෙන. එහෙම වෙලාවක ජීවිතේ වෙනස් විදියකට දකින්න පෙළඹවීමක් ඇති වෙන්න තප්පරයක් ප්‍රමාණවත් වෙයිද?

මේ චිත්‍රපටිය එක්තරා විදියක පරීක්ෂණයක් කියල මට හිතෙනවා. ලංකාවෙ මේ වගේ ස්ක්‍රිප්ට් එකකට යන්න පුළුවන් දුර මොන වගේද කියන එක පරීක්ෂාවට ලක් වෙන තැනක්. දේශපාලනය ගැන ඇක්ෂන් මට්ටමේ නිර්මාණ බිහි වෙලා තිබුණත් ඒක දාර්ශනික පැත්තකින් ගොඩනගමින් බිහිවුණ චිත්‍රපටියක් මම බලල නෑ. මම හිතන්නෙ මේක ඒ වගේ වැඩවලට හොඳ ප්‍රවේශයක්. සමාජය ගැන කියවීමක්, සංවාදයක් ඔළුවට දාන චිත්‍රපටියක්. මේ කාලෙ හැමෝම සමාජ දේශපාලනික විශ්ලේෂකයෝ වෙලා ඉන්න නිසා මෙහෙම එකකට වටිනාකමක් ලැබෙයි කියල හිතනවා. මේ ලංකාවට අවශ්‍ය ටිත්‍රපටියක්. අපේ ජීවිත ගැන සංවාද කරන අපේ චිත්‍රපටියක්.

හැබැයි ඒ සංවාදය හෝල් එකෙන් එළියෙත් සිද්ධ විය යුතුයි. නිර්මාණය මගින් ඇති කරන සමාජ බලපෑම ක්‍රමයෙන් සමාජයේ වෙනස් වීමට බලපෑ යුතුයි. ඉතින් ඔබ සූස්ති නැරඹිය යුත්තේ ඒ නිසයි.

https://www.imdb.com/title/tt10827784/


Wednesday, 29 July 2020

The Newspaper (2020) - ද නිව්ස්පේපර් සිංහල චිත්‍රපටිය ගැන අදහස්




ස්පොයිලර්ස් අඩංගුයි

මේ සිංහල චිත්‍රපටිය හෝල් එකේ බලන්න උවමනාව ඇති වුණේ සරත් කොතලාවල සහ කුමාර තිරිමාදුර මහත්වරු අපිව අමාරුවේ දාපු අවස්ථා අවම නිසා. ඒ කියන්නෙ රංගනය පැත්තෙන්. අධ්‍යක්ෂකවරු විදියටත් එයාල සුපිරි වැඩක් කරයි කියන බලාපොරොත්තුව තිබුණා. ඒ නිසාම විවිධ සමූහවල මේක බලපු උදවිය පල කරපු එක සටහනක්වත් කියවන්නෙ නැතිවයි මම හෝල් එකට ගියේ. ට්‍රේලර් එක බැලුවෙත් මේ සටහන ලියද්දි. ඒක මට මගහැරිල තිබුණෙ.

මේක සෑහෙන්න පරිසමාප්ත හැඟීමක් ඇති කරපු චිත්‍රපටියක්. නියර්ලි පර්ෆෙක්ට්. ඒක මට තේරෙන මට්ටමින් රඟපෑම්, තිර රචනය, අදියුරුවම, සංස්කරණය, කලා අධ්‍යක්ෂණය හා සංගීතය වගේ කලාත්මක සහ තාක්ෂණික අංග සියල්ලම සමව සහ උපරිමයෙන් දායක වෙලා වුණ වැඩක්. අඩුපාඩුවක් නොපෙනුණ තරම්. ඒ කතාව මුලදිම කියල ඉන්න ඕන.

සිංහල චිත්‍රපටියක් විදියට මීට කලින් අවසානෙට මෙහෙම හැඟීමක් ආවෙ 'හෝ ගාන පොකුණ' චිත්‍රපටියෙන්. ලාංකික චිත්‍රපටියක් විදියට 'කෝමාලි කිංග්ස්' චිත්‍රපටියෙන්. ඔය කාල සීමාව ඇතුළත හෝල් එකකට ගිහින් සිංහල චිත්‍රපටියක් බලල නෑ. ඒ නිසා තිබුණත් මට අහුවෙන්න විදියක් නෑ.

මේක ඉදිරිය ගැන සුබවාදී බලාපොරොත්තු ඇති කරවන්නක්. සිංහල සිනමාව වෙනුවෙන් වැඩක් කරන්න පුළුවන් තව දෙන්නෙක්ම ඉන්නවා. එයාලගෙ කුළුදුල් වැඩේ සාර්ථක වුණොත් ඉදිරියටත් එයාලා ලංකාවට වගේම ලෝකෙටමත් රසවිඳින්න තරම් කොලිටි වැඩ කරයි.

චිත්‍රපටියක් සාර්ථක වීමේ පළමු අවස්ථාව තිර රචනයයි බොහෝ විට. රටවල්, අනුව ඒක වෙනස් වෙන අවස්ථා තියෙනවා. නළු නිළියො නිසා හෝල්වලට ඇදෙන රසිකයො ලංකාවෙ නෑ මම හිතන්නෙ. එයාලට ඕන කතාවක්. තමන්ට කනෙක්ට් වෙන්න පුළුවන් කතාවක්. රජ කතා සහ ආගමික කථාවලට කොහොමත් ඇදෙන පිරිස ගැන නෙවෙයි මේ කියන්නේ. ඊට වෙනස් විදියකට ජීවිතේට මූණ දෙන, ජීවත් වෙන්න කට්ටක් කන අතරෙ පොඩි විනෝදෙකට, හෝ වෙනසකට චිත්‍රපටියක් බලන සැලකිය යුතු කොටසක් ගැන. ඒ කොටසත් අර කලින් කියපු ආගමික කතා රසිකයිනුත්, ඒ දෙගොල්ලොම නොවෙන රසිකයිනුත් එකතු කරගන්න පුළුවන් තිර පිටපතක් ලියන එක ලේසි වැඩක් නෙවෙයි. 'නිව්ස්පේපර්' ඒ මට්ටමේ වැඩක්.

අවුරුදු දෙක තුනකට කලින් මලයාලම් චිත්‍රපටිවල මැජික් නොවන මැජික් එකට මම අහුවෙන්නෙ අහම්බයකින් නෙවෙයි. ඒ චිත්‍රපටි අතරින් සැලකිය යුතු ප්‍රමාණයක තියෙන්නෙ ලංකාවෙ මිනිස්සුන්ගෙ ජීවිත වගේම ඒවා. ඒ කතා අපේම කතා. වෙන සංස්කෘතියක කතාවලට වඩා ගැමි මලයාලම් සංස්කෘතියෙ කතා ලංකාවෙම කතාවක් වෙනවා. ටැප් වතුරෙන් සැන්ඩි කරල අරක්කු බොන, සෙට් වෙනවයි කියල ප්ලෑන් ගහල සෙට් වෙන අවස්ථාවල ඉඳල ගඟෙන් රෙදි හෝදල රබර් සෙරෙප්පු දාගෙන චිරිස් චිරිස් සද්දෙ එක්ක ගෙට ගොඩ වෙන චරිත දක්වා දේවල් දකිද්දි ලංකාවෙ චිත්‍රපටි ගැන දැනෙන්නෙ හිස් හැඟීමක්. ඒ හිස්කම පුරවන චිත්‍රපටියක් විධියට දැනුණ එකක් තමයි ‘නිව්ස්පේපර්‘ කියන්නේ.

මේක දුවවන්නෙ සරත් සහ කුමාර දෙන්නත්, පසුව මාෂිත් වුණාට බොහොම සුළු චරිතෙකට ඉන්නෙත් රඟපෑමේ හොඳම ජීවය හිමි කලාකරුවන් වීම නිසා අපිට ගොඩනැගෙන විශ්වාසය වාසියක් වෙනවා චිත්‍රපටියට. ට්‍රේලර් එකට තියෙන යූටියුබ් කමෙන්ට් අස්සෙත් ඒක තමයි කියවෙන්නේ. ඒ විශ්වාසය චිත්‍රපටිය පුරාම පලුදු නොකර තියාගන්න කට්ටිය සමත් වෙලා තියෙනවා. විශේෂයෙන් සරත් කුමාර (තනි නමක්) රසායනය අස්සෙ අපට දැනෙන හෘදයාංගම මිත්‍රත්වය චිත්‍රපටිය පුරාම අපිව වශී කරන සාධකය වෙනවා. මොනව වුණත් උන් දෙන්නට උන් දෙන්න ඉන්නවා කියන අදහසින් අපට ආරක්ෂාවක් දැනෙනවා. රූප රාමුත්, අවශ්‍යම මොහොතේ යෙදවෙන සංගීතයත්, මට සිලුටු ඡේදනයත් මේ හැඟීම පවත්වගන්න දෙන්නෙ උපරිම සහයක්. මේ සියල්ලේ ගිනියම අවසාන ජවනිකාවෙදි ඔබේ දෑස් කෙවෙනි උණු කරමින් ගලා යන්න පුළුවන්.

මට හිතුණා ලුවිස්ගේ චරිතය තව ටිකක් සංවර්ධනය වෙන්න තිබුණ කියලා. සමහර අවස්ථාවලදි ඒ තරම්ම ඔහුව ගොන් නොකර දෙබස්වලින් වැඩි රසයක් දෙන්නත් තිබුණා කියල මට හිතුණා. මට ඒ චරිතය පැහැදිලිව විස්තර නොවෙන චරිතයක්. ඒක ගොඩ දාන්න ලේසි චරිතයකුත් නෙවෙයි. මොනව වුණත් තිරිමාදුර මහත්තයාගේ රඟපෑම ඉස්තරම්. කර්කශ අවස්ථාවක ලුවිස් කියන වචන රත්තරන්.

සාමාන්‍යයෙන් චිත්‍රපටියක එසෙන්ස් එක, එහෙම නැත්තං සාරය වචනවලට ගේන ඒම කරන්න අමාරු වැඩක්. ලොකු දාර්ශනික සහ සාමාජයීය හැදෑරීමක් එක්ක උත්සාහ කළයුතු දෙයක් ඒක. ඒ කොහොම නමුත් අවසානයෙදි චිත්‍රපටියෙ මතකයේ රැඳෙන සහ අපිව කම්පනය කරන කොටස ඒක. එහෙම සාරයක් නැති චිත්‍රපටි අපට ඉක්මනින්ම අමතක වෙලා යනවා. සාරවත් චිත්‍රපටි අපි නැවත නැවතත් බලනවා. අපේ ජීවිතවලට ඒ සාරයෙන් අංශුවක් හරි තව අරගන්න උත්සාහ කරනවා. ‘නිව්ස්පේපර්‘ චිත්‍රපටියත් ආයෙත් බලන්න තරම් ආත්මයක් තියෙන චිත්‍රපටියක්. චිත්‍රපටිය පුරාම දැනෙන හැඟීම ඒ අපිව ඒ චරිතවලට සම්බන්ධ කරනවා. එයාලගෙ හැඟීම් අපට දැනෙනවා. ඒ බැඳීම් අපේ බැඳීමක් වෙනවා. ඒ අස්සෙ සමහර මොහොතක අපට අපිවම විනිශ්චය වෙන මොහොතක් එළඹෙන්න පුළුවන්.

මේක දූවිලි ගැන චිත්‍රපටියක්. දූවිලි අපි කවුරුත් ගණං ගන්නෙ නැහැනෙ. මේකත් එහෙම ගණං නොගන්න මිනිස්සුන්ගෙ කතාවක්. ඕනම කෙනෙක්ට දූවිල්ලක් වෙන්න යන්නෙ සුළු මොහොතයි. බලය සහ ධනය තියෙන අය ඒකෙන් ගැලවුණත් සාමාන්‍ය අපිට ගැලවෙන්න ලේසි නෑ. අපි විශ්වාස කරන පරමාදර්ශවත්, අපේ පැමිණිලි අහන්න පඩි ගන්න අයවත්, අපි විශ්වාස කරන බොහොම අයවත් එහෙම මොහොතක අපි වෙනුවෙන් ඉදිරියට එන එකක් නෑ. එයාලත් ගොඩක් විට අපිව දූවිල්ලක් කරන්න ඉදිරිපත් වෙන්න පුළුවන්. මොකද බොහෝ විට ඒ අයටත් ඒ නිසා දූවිලි වෙන්න සිද්ධ වෙනවා. එහෙමයි සාමාන්‍ය අපට වෙන්නේ. ඒ නිසා මේක අපේ කතාවක්.

මේක අපි බැලුවෙ වාද්දුවෙ නිව් වින්ස් සිනමාහලේ. කොවිඩ් වසා දැමීමෙන් පස්සෙ විවෘත කරල දවස් දෙකයි. බලන්න හෝල් එකේම හිටියෙ අපේ පවුලෙ හතර දෙනා විතරයි. හෝල් එක වායු සමණිත රු. 250 ටිකට් එකට සරිලන එකක්. චිත්‍රපටිය බ්‍රයිට්නස්, කන්ට්‍රාස්ට් අඩු පතෝලමය පෙනුමකින් බලන්න ලැබුණෙ. ලෙන්ස් එකේ අවුලක් කියල ඔපරේටර් මල්ලි කිව්වා.

අවසාන වශයෙන්, මේක විචාරයක් නෙවෙයි. රස කෑමක් ලැබුණ කපුටෙක්ගෙ කෑ ගැසීමක්. ඔබ ලංකාවෙ සිනමාවක් දකින්න කැමති කෙනෙක්නම් අනිත් අයටත් ඒ පෙළඹීම කරන්න. මේක හොඳ කාලයක් නෙවෙයි. ඒ නිසා තමන්ගෙත් අනිත් අයගෙත් ආරක්ෂාව තහවුරු වෙන විදියට ගිහින් නිව්ස්පේපර් බලන්න.

https://www.imdb.com/title/tt9711868/

Komaali Kings (2018) - කෝමාලි කිංග්ස් - හඳුන්වාදීම



පහුගිය වසර කීපය තුල ලංකාවෙ හැදුණු චිත්‍රපටි අතර ශාලාවකට ගිහින් බලන්න තරම් හොඳයි කියල හිතුණ චිත්‍රපටි අතලොස්ස අතරින් හොඳම එක මොකක්ද කියල ඇහුවොත් ඒ අනිවාර්යයෙන්ම කෝමාලි කින්ග්ස් කියල කියන්න මට පුළුවන්. ඒක කියන්න පුළුවන් වෙන්නෙ චිත්‍රපටිය ඔන්ලයින් බලාගන්න දීල තියෙන අවස්ථාවෙන් ප්‍රයෝජනය අරන් දෙවෙනි වතාවටත් චිත්‍රපටිය බැලුවට පස්සෙයි. මොකද දෙහිවල කොන්කෝඩ් එකේ චිත්‍රපටිය බලපු අත්දැකීම ඒ තරම් හොඳ එකක් වුණේ නෑ. වෙහෙසකර දවසකට පස්සෙ කීප වතාවක් නින්ද යෑම එක්ක කතාවෙ හොඳම ප්ලොට් පොයින්ට් ටිකක් මගඇරිල තිබුණ. ඒ වගේම සබ් එක්ක හෝල් එකේ චිත්‍රපටියක් බලද්දි නතර කරල කියවගන්න ඕන වෙලාවලදි ඒක කරගන්න බැරි වීමත් ඒකට එක හේතුවක්. මොකද කොන්කෝඩ් එකේ පෙන්නුවෙ සිංහල සබ් තියෙන වර්ෂන් එක නෙවෙයි.

නමුත් දැන් එයාල චිත්‍රපටිය ඔන්ලයින් බලන්න අවස්ථාව දීල තියෙනව. කැමති නම් සිංහල හෝ ඉංග්‍රීසි සබ් එක්කම https://ceynema.com/ සයිට් එකේ. ගෙවන්න වෙන මුදල ඒ හැටි ගාණක් නෙවෙයි.

කෝමාලි කිංග්ස් චිත්‍රපටිය ඊට කලින් 1976 නිපදවුණ කෝමාලිකල් චිත්‍රපටියෙන් ආභාශයක් ගත්ත බවක් කියවෙනවා. ඒ වුණත් මේක බොහොම සාර්ථකව නිපදවුණ, අධ්‍යක්ෂණය වුණ චිත්‍රපටියක්. කිං රත්නම් ඒ අතින් ඇත්තටම වැඩකාරයෙක්. පොඩි පොඩි අවුල් තැන් අතාරින්න පුළුවන් තරම්.

වැඩියෙන්ම මගේ හිත ගත්තෙ සිවාට රඟපාන රාජා ගනේෂන් මහතාගේ රඟපෑම. ඒ එක්කම රොසාන්ට රඟපාන කමල්රාජ් බාලක්‍රිෂ්ණන් හොඳටම වැඩේ ගොඩ දානවා. තව අර ටැබ් එක උස්සන් බ්ලැක්මේල් කරන පොඩි එකත් මරු.

මේක සිම්පල් කතාවක්. සිම්පල් කතාවකින් පැය දෙකක චිත්‍රපටියක් ගොඩදාන හැකියාව මීට කලින් දැනෙන්න දැකල තිබුණෙ මලයාලම් චිත්‍රපටිවලින් විතරයි. නමුත් ඒ වැඩේ කරන්න පුළුවන් ලංකාවෙ එවුනුත් ඉන්නව කියල දැණෙන එක මාර හැඟීමක්.

https://www.imdb.com/title/tt7977914