මනෝජ් ගීතිකා එක්ක ඉස්පිරිතාලෙට ආවෙ ලොකු අක්කව බලන්න. කලින්දා රෑ රුධිර පීඩනේ වැඩි වෙලා ලොකු අක්කව ඉස්පිරිතාලෙ නවත්තල.
ඉහල මාලෙට නගින පළල් පඩිපෙලේ වයසක සීය කෙනෙක් අමාරුවෙන් හෙමින් හෙමින් අත්වැල අල්ලගෙන ඉහලට නගිනවා...
"නගින්න අමාරුයි නේද සීයා..." මනෝජ් සීයගෙ දකුණු අත යටින් අත දාල සීයව වත්තම් කරගෙන හෙමින් ඉහලට එක්කගෙන ගියා...
සීයා රෝහලේ රෝගියෙක් බව පේන්න තිබුණා. මැණික් කටුවෙ තිබුණ සේලයින් දෙන්න අමුණපු කටුවක්.
ඒත් මේ උඩ තට්ටුවෙ තියෙන්නෙ කාන්තා වාට්ටුවක්.
"මේ... සීය වාට්ටුව වරද්දගෙනද දන්නෑ... උඩ තියෙන්නෙ ගෑණු අයගෙ වාට්ටුවනේ" ගීතිකා මනෝජ්ගෙ කණට කෙඳිරුව.
"සීය හරි වාට්ටුවටද යන්නේ...?" මනෝජ් ඇහුවා.
වැරදි වාට්ටුවට ගිහින් අනිත් පාර බලධාරියගෙන් බැණුම් අහගන්නත් වෙයි උදව් කලා මදිවට...
"නෝන ඉන්නෙ උඩ වාට්ටුවෙ මහත්තයෝ..." සීය හරිම හෙමින් මිමිණුවා...
ඒ කියපු කතාව මනෝජ්ට තේරුණෙ නැතත් සීයට යන්න උවමනා උඩ වාට්ටුවට බව ඒ කතාවෙන් තේරුණ නිසා මනෝජ් ආයෙ මුකුත් කියන්න ගියෙ නෑ...
වාට්ටුව පටන් ගන්න කොරිඩෝව ගාවදි මනෝජ් සීයට සමු දීල ලොකු අක්ක හිටපු පැත්තට හැරුණා. සීය මූණ පුරා හිනාවක් ඇඳන් මනෝජ් දිහා බැලූ බැල්මෙ වචන වලට පෙරලන්න බැරි තරම් ස්තූතියක් ගැබ්වෙලා තිබුණ.
මනෝජ් ගීතිකාවත් ඇදන් සෙනග අස්සෙන් ලොකු අක්කගෙ ඇඳ ගාවට ගියා. අක්කගෙ පුතයි දුවයි දෙන්නත් ඇවිත් හිටිය. ඒ එක්කම ලොකු අක්කලගෙ ගෙදරට අල්ලපු ගෙදර සින්ති අක්කත් ඇවිත්.
ආගිය තොරතුරු කතා කරමින් දොස්තරල කියපුව ගැන අහමින් ඉන්න අතරෙ සින්ති අක්ක කොහේදෝ ගිහින්... එයා නොදන්න කෙනෙක් නෑ ඉස්පිරිතාලෙ... කාව හරි හම්බවෙන්න යන්න ඇති කියල ලොකු පුතා කිව්ව.
ලෙඩ්ඩුන්ට කෑම දෙන කෑම ට්‍රොලිය තල්ලු කරන් ආපු රෝහලේ සේවිකාවො දෙන්නෙක් කෑම ඕන කට්ටියට කෑම බෙදුවා.. මනෝජ් ලොකු අක්කත් එක්ක ආයෙමත් ලෙඩ ගැන කතාව ඇදගෙන ගියා...
"අනේ පව් අර සීයයි ආච්චියි... දෙන්නම වාට්ටු දෙකේ නැවතිලලු... " කොහෙදෝ ඉඳන් ආපු සින්ති අක්ක මැද්දට පැන්නා.
සින්ති අක්ක කවුරු හරි එක්ක කතා කරපු ටිකට ඕපයක් හොයාගෙනද? කට්ටියම බැලුවා සින්ති අක්ක බලන් හිටපු දිහා.
මනෝජ් වාට්ටුවට එක්කරගෙන ආපු සීය තවත් ආච්චි කෙනෙක් එක්ක ඇවිත් කෑම ට්‍රොලියෙන් කෑම ගන්නව. දෙන්න බත් දෙකක් බෙදාගෙන වාට්ටුව කෙළවරේම ඇඳට ගිහින් ඉඳගෙන කන්න පටන්ගත්ත. දෙන්නටම එක වගේ වයස. ඇවිදගන්නෙත් අමාරුවෙන්..
"අනේ හරිම පව්... ළමයි නැද්ද දන්නෙ නෑ..." ගීතිකා මනෝජ්ගෙ අතින් අල්ලගෙන කිව්ව.
"ළමයි හතර දෙනෙක් ඉන්නවලු... සලකන්නෙ නෑලු..." එහෙම කිව්වෙ ලොකු අක්කට අල්ලපු ඇඳේ හිටපු ලොකු අක්කගෙ වයසෙම වගේ අක්ක කෙනෙක්. එයා ඇඳේ හරි බරි ගැහිල ඉඳගත්තෙ කතාව කියන්න. ඒ අක්ක කෝච්චියක් වගේ කියවන්න දස්සයි කියල උදේ ආපු වෙලේ ලොකු අක්ක කියල තිබුණ.
"ඔය සීය කෑම ගන්න වෙලාවට ආච්චිව හොයාගෙන එනව. එයා ඉන්නෙ පහල පිරිමි වාට්ටුවේ..."
"පව් නේද..." කව්දෝ කිව්ව.
"ළමයි බලන්නෙ නෑලු... ඔය වැඩිහිටි නිවාසෙන් තමයි ගෙනත් බාර දීල තියෙන්නෙ... ආච්චි දැන් සති දෙකක් විතර ඉන්නවලු..." අල්ලපු ඇඳේ අක්ක සම්පූර්ණ කතාවම කියනවා...
දරුවෙක්ට එහෙම වෙන්න පුළුවන්ද?
මනෝජ් කල්පනා ලෝකෙකට වැටුණ. මනෝජ්ට අම්මල දෙන්නෙක් හිටිය. එක්කෙනෙක් වදාපු අම්ම. අනිත් එක්කෙනා මේ ලොකු අක්ක. මනෝජුත් ලොකු අක්කත් අතර තිබුණ අවුරුදු 16ක විතර වයස් පරතරේ නිසා පුංචි කාලෙ මනෝජ්වයි අනිත් සහෝදර සහෝදරියො 4 දෙනාවයි හැදුවෙ ලොකු අක්කා... අදටත් පුංචි දේටත් ලොකු අක්ක ගාවට දුවගෙන එන මනෝජ්ට ලොකු අක්ක ගැන තිබුණෙ අම්ම කෙනෙක් ගැන දැණෙන හැඟීමක්. ගීතිකා එක්ක විවාහ වුණ දවසෙ ඉඳන් ලොකු අක්ක ගැන ඒ හැඟීම ගීතිකාටත් පොවන්න මනෝජ් උත්සාහ කලේ ඒකයි.
සීය ආච්චි එක්ක කෑම කාල ඉවර වෙලා ආයෙත් හෙමින් හෙමින් වාට්ටුවෙ කොරිඩෝව දිහාට ඇදුණ. ආච්චි හිස් පිඟන් දෙකත් අතේ තියාගෙන ඇඳේ ඉඳගෙන බලන් හිටිය. ආච්චිගෙ ඇඳට අල්ලපු ඇඳේ හිටපු අම්මව බලන්න ඇවිත් හිටපු තරුණ ගෑණු ළමයෙක් සීයව වත්තන් කරන් එලියට ගියා...
ගීතිකාගෙ ඇස් කෙවෙනි වල කඳුළු බින්දුවක් රැඳිල තියෙනව මනෝජ් දැක්ක.
රෝහල් ආරක්ෂක අංශයෙන් ඇවිත් එලවනකංම මනෝජ්, ගීතිකයි ලොකුපුතයි දුවයි සින්ති අක්කයි එක්ක ලොකු අක්කව ශක්තිමත් කරන්න විහිලුවෙන් තහලුවෙන් පැය බාගයක් ගෙව්වා. රුධිර පීඩනේ පැත්තකට දාල ලොකු අක්කත් කැකිරි පැලුවා.. අන්තිමේ ලොකු අක්කට සමු දීල පස් දෙනාම එලියට ආවා...
පහල තට්ටුවෙ පිරිමි වාට්ටුව පහුකරගෙන යද්දි අර සීය ආයෙමත් හම්බවුණා... එයා කොරිඩෝවෙ එළියෙ දාල තියෙන ඇඳක ඉඳගෙන කොරිඩෝවෙ කණු අතරින් පේන අහස දිහා බලාගෙන කල්පනාවක. මුහුණෙ දරාගන්න බැරි දුකක පෙනුමක්...
මනෝජ්ගෙ අතින් අල්ලන් හිටපු ගීතිකාගෙ අතේ ග්‍රහණය දැඩි වෙනව මනෝජ්ට දැණුනා...
පින්තූරෙ මෙතනින්...