Thursday 23 May 2013

පඬියා සහ බිරිඳ

පඬියා හේතුවාදියෙක්. හැම එකකම හේතුවක් හොයන, හැම එකකටම හේතුවක් තියෙන්න ඕන කියල හිතන එකෙක්. හැම එකක් ගැනම ඕනවට වඩා හිතන එකෙක්. එක එක විධියෙ පඬියො අතරෙ එහෙම උන්ටත් පඬියො කියල කි‍යනව.

පඬියාගෙ බිරිඳ පඬියට කැමති වුණේ ඒ ලක්ෂණවලට වෙන්න බෑ. ඒ වුණාට පඬියගෙ තියෙන බිරිඳ විතරක් දන්න සුවිශේෂත්වයක් ඈව තාමත් ඔහුත් එක්ක රඳවගෙන...

මට හිතන්න ඕන තනියම. ඒ නිසා මට සමහර දවස්වලට තනියම ඉන්න වෙයි.

පඬියා වෙනම කාමරයක පදිංචි වුණා. පදිංචි වුණාම නෙවෙයි. පඬියට එහෙම ‍තනිකමක් උවමනා වුණා.

දෙන්නා අතරෙ ලෝකාස්වාද ගණුදෙනුව පවා ටිකෙන් ටික කෘතිම වෙන්න ගත්තා. ජීවිතේ ඇතුලෙ හැම දේම එලාම් එකක් වදිනව වගේ ක්‍රමාණුකූලව දෛනිකව සිද්ධ වුණා. උස් වීමක් පහත් වීමක් පේන්නෙ නැති හරි මැදකට ළඟින් තියෙන තනි හීනි සරළ රේඛාවක් උඩ...

ඔව් අර 'මධ්‍යස්ථය' ගැන දාර්ශනික අදහස. පඬියා හිතුව.

ඒක හරිම බෝරිං එකක්. බිරිඳ හිතුවා.

ජීවිතේට උස් පහත්වීම් ඕන.

පඬියා කාටවත් සුභ පතන එකෙක් නෙවෙයි. අඩු ගානෙ අළුත් අවුරුද්දකට, උපන් දිනේකටවත් මිනිහ සුභ පැතුවෙ නෑ. මිනිහට සුභ පතනවට කැමති වුණෙත් නෑ.

සුභ පැතීම් හරි කෘතිමයි.

පඬිය හිතුවෙ එහෙම.

නමුත් තමන් ගෙවන ජීවිතයත් නිර්වචනය කරගත්තු අර්ථ දැක්වීම් අස්සෙ කෘතිම වෙලා කියල පඬියට තේරුණේ නෑ.

නමුත් මිනිහට ඒක තේ‍රෙන්න අරන් තිබුණා. තමන් සැලකිය යුතු තරම් කෘතිම වෙලා කියල ඔහුට තේරෙන්න අරන් තිබුණා.

මිනිහගේ උපන් දිනේ ලබපු දවසෙ රෑ දොලහට බිරිඳ අනිත් කාමරේ ඉඳන් ඇමතුමක් අරන් සුභ පැතුවා.

ස්තූතියි. ඒත් ඒක ගොඩක් කෘතිමයි.

ඔහු බිරිඳට කිව්වා.

විස නසන්න ඕන විසෙන්

බිරිඳ පඬියට කිව්වා.

පඬියට ඒක තේරුම් යන්න ටිකක් වෙලා ගියා. බිරිඳගෙන් තමන්ගෙ කෘතිම බව නැති කරන්න කෘතිම උත්තේජනයක්.

පඬියට යමක් තේරුම් ගියා. බිරිඳට අඩි කීපෙක දුරක ඉඳන් රෑ දොළහට තමන්ව දුරකථනයෙන් අමතන්න සිද්ධ වෙන තරමට තමන් ගෙවන්නෙ කෘතිම ජීවිතයක්ය කියන එක ඔහුට දැණුනා. ඔහුගෙ හිරි වැටුණු, හැඟීම් අවම ජීවිතේට කඳුළු බින්දුවක්!

ඔහු බිරිඳ හොයාගෙන ගියා... ඈව වැළඳගත්තා.

ඔයා ආයෙත් ඕනවට වඩා හිතන්න අරන්...

බිරිඳ කිව්වා.

8 comments:

  1. //ඔහු බිරිඳ හොයාගෙන ගියා... ඈව වැළඳගත්තා.
    ඔයා ආයෙත් ඕනවට වඩා හිතන්න අරන්...
    බිරිඳ කිව්වා.//

    අන්න තැන.

    ReplyDelete
  2. කලාකාරයන්ට සමහර වෙලාවට ඕකේ අනිත් පැත්ත වෙනවා නේ... කල්පනා කරලා බැලුවාම වැඩි ප්‍රතිශතයක් කසාද දෙකක්වත් බැඳපු අයනේ.... එක්කෝ නැත්තම් බේබද්දෝ.... හැමදේකම කලාත්මක සැඟවුනු දේවල් හොයන්න ගියාම තමන්ගේ ඇත්ත ජිවිතේ බෝරිං කියලා හිතෙනවා ඇති... හි හි....

    ReplyDelete
  3. මේ ආකාරයට කෘතීම ජීවිත ගත කරන අය ජීවිතේ පසු කලක කලකිරෙනවා . අතීතය ආයිමත් ගන්න බැරුව දුක් වෙනවා .

    ReplyDelete
  4. තේරුනේ නෑ මට..... :D

    ReplyDelete
  5. ඔය පඬි බුවාලා ඉන්නවා නේද උන්ව මට්ටු කරන්න වයිෆිගේ බෙහෙට්ත හරියටම හරි. :)
    අපි නම් ඉතින් පඬිකමට ඒ කාලේ ( තරුණ කාලේ කියපු ඒවා දිරවා ගන්න බැරිව බොහොම අමාරුවෙන් කාගෙන ඉන්නවා සමහර දේවල් වලදි. එහෙම කිව්වේ මමමද කියලා හිතා ගන්නත් බෑ සමහර දේවල් වලදි.
    දැන් එතකොට වයිෆි විතරක් නෙමෙයි අපිත් විශ් කෙරුවාට කමක් නැතිව ඇතිනේ නේ....
    සුභ උපන් දිනයක් හරේ බෝයි......!!!!!!

    ReplyDelete
  6. මමත් ඔහොම පඬියෝ රංචුවක් එක්ක තමයි රස්සාව කරන්නේ. සෙමිනාර් එකකට ගිහින් බලමුකෝ ඉන්න පඬියෝ ගොඩ!

    ReplyDelete
  7. ස්තූති වේවා කියවපු ‍ලියපු හැමෝටම!

    ReplyDelete

මං ඔයාගෙ එකේ බයිල ගහන නිසාවත් ඔයා මාව දන්න නිසාවත් නෙවෙයි. මගේ වමනෙ පාර දැකල ඔයාලටත් වමනෙ යන්ඩ වගේ එනවනම් විතරක් මේ කොමඩ් එකට දාන්ඩ!