සංගීතය කියන්නෙ ඕන කෙනෙක්ගෙ ජීවිතේ කොටසක්, සින්දු කියන විෂය ගැන මලදානයක් නොදන්න, සින්දුවක් නාහන කෙනෙක්ගෙ වුණත් රිද්මයක් තියෙනවා. රිද්මය කියන්නෙ සංගීතමය දෙයක්. ඒක වෙන වෙන විධි වලටත් අර්ථ දක්වගන්න පුළුවන් ඇති. නමුත් හදවත ගැහෙන තැන ඉඳන් මුළු ජීවිතය පුරාම සංගීතමය අවකාශයක ජීවත්වෙන සත්ත්වයින් සහ ඒ රිද්මය සංගිතය කියන විෂය හරහා නැවත කියවන මනුෂ්‍ය අපි ජීවත්වෙන්නෙ සංගීතයත් එක්කමයි.
හැමදාම උදේට පා පැදියෙ රාජකාරියට යන විනාඩි 10-15ක වගේ කාලය මම සංගීතයත් එක්ක ගෙවන අමෘතමය විනාඩි කීපයක්. පාරෙ යන ගමන් සින්දු මුමුණන එක ආරක්ෂාව පැත්තෙන් ඒ හැටි හොඳ දෙයක් නෙවෙන්න පුළුවන්. නමුත් බාහිර පරිසරයටත් සංවේදී වෙමින් සින්දුවක පද මුමුණන එක කරන්න බැරි වැඩකුත් නෙවෙයි. විශේෂයෙන්ම ඔය මිමිණිල්ල අනිච්ඡානුගවම සිද්ධ වෙනකොට. ඒක තව දුරටත් ආයාසයකින් කරන දෙයක් නොවෙනකොට.
නමුත් එතනදි අපි පිවිසෙනව බොහොම පෞද්ගලික තැනකට. සංගීතයත් එක්ක වල්වැදෙන, පරිසරය අමතක වෙන තැනකට. අර ආරක්ෂාව කියන සාධකයට විතරක් දොර ඇරපු තැනකට. නොදැනීම ඒ පුද්ගලික අවකාශය සංගිතයෙන් පිරිල යනවා.
ඕක හැමදාම වෙන වැඩේ...
මෑතකදි මට තේරුණ ඔය හිස් තැන හැම වෙලේම එක රිද්මයකට කැමතියි කියල. ඒක සින්දුවක්. හැමදාම උදේට මට මිමිණෙන සින්දුවක්. දැන් අවුරුදු ගාණක් පුරාම එකදිගට. අඩුගාණෙ පද පේළියක් දෙකක්. ගිටාර් එකෙන් වැයෙන එක ස්වරයක්.
ඒ ඇයිද කියල මම කල්පනා කලා. කවදාවත් උත්තරේ හොයාගන්න බැරිබව දැන දැනම. නමුත් අන්තිමේ මට කිට්ටු කරන්න පුළුවන් වුණා.
ඒ මගේ ජීවිතේ පුරා බැඳුණු සයිනාකාර රිද්මයේම තවත් එක පැත්තක්. උස් පහත් සමතල අවස්ථා සියල්ලම එක රිද්මයක ගැයෙන තැනක්. වෙනත් නිර්මාණවලින් නොදැණෙන මට්ටමට සහ මට විග්‍රහ කරගන්න පුළුවන් මට්ටමට තියෙන එකක්. ඒක නොගැලවෙන විධියටම ජීවිතේට ඇළුන එකක් වෙලා.
කසුන්ගෙ රැඩිකල් ප්‍රේමය ඇල්බම් එකේ ගීතයක්. සුජීව සම්පත් පීරිස්ගෙ ලිවීමක්. සංගීතය කසුන් කල්හාරගෙ. කසුන් ඉන්ද්‍රචාප දෙන්නගෙම මුඛ වාදනයෙන්.
ඒක ඉහළ යනවා.... ආයෙ පහළ යනවා... ඒ අතරෙ බොහොම සමතලා තැනක රැඳෙනවා. ජීවිතේ වගේමයි.
අවසානයේ...
උස් තැන්, පහත් තැන්, සමතලා තැන් හැමදේම සුණු විසුණු වෙලා විනාශ වෙලා යනවා....
..................................................
ඉරිමා උදයේ
සීතල මුතු පිණි මතින්
මද්දහනේ වැටෙනා
හිරුගේ කිරණ වැසි
සිත් නිම්නයට සතුටක්
ගතේ දුවනා
ආදරේ නොදී එය සඟවා //
මුවගට සිනා තබා
දෑසට කඳුළු ගෙනා
ඔබ ඇඳි සිතුවම් මතකේ රැඳුණා //
එය දකිනා...
නෙත් සතුටක්දෝ
ආහ් මේ හිත මුමුණන ගීතය ගැනනේ කියන්නේ. ඇත්ත තමා අයියා
ReplyDeleteමේ වගේ මොහොතවල් අපි හැමෝටම පොදුයි කියලායි මට හිතෙන්නේ. සංගීතය ගැන මෙලෝ හසරක් නොදන්න මාත් හිටි ගමන් පාරේ යමින් ගමන් ඔෆීස් එකේ වැඩ කරන ගමන් මේ වගේ කරනවා.
ReplyDeleteමම ඒකට වචනයක් හදාගෙනයි ඉන්නේ ගෙවෙන මොහොතේ විඳීම කියලා. විඳවනවට විඳින එක මොන තරම් නම් සුන්දරයිද නේද?
කිසිම සම්බන්දයක් නැති උනත් බ්ලොග් එක කියෙව්වම ඔළුවට ආවේ මේක.
කසුන් කල්හාර මහත්මයාගේ (මහත්මය කිව්වම නිකන් මොකද්ද මොකද්ද වගේ.. ඒත් ඉතිං නිකන්ම නම කියන්නථ් මොකද්ද මොකද්ද වගේ) රොමැන්ටික් ඔපෙරාවේ රෑ අහසින් ගීතයත් අහලා බලන්න .. අර පාරේ තියෙන හම්ප්ස් උඩින් වාහනේක යද්දි අමුතු කුචියක් දැනෙන්නේ .. එහෙම ගතියක් දැනෙනවා ඒ සිංදුවේ :)
ReplyDeleteමෙන්න link එක,
http://www.youtube.com/watch?v=Knzfi6rRsU8
සංගීතය කියන එක එකිනෙකාට දැනෙන විදියත් වෙනස් වෙනව. කසුන්ගෙ ඉහළ පහල යන ගායන විලාසයත් සමහරුන්ට බොහෝ ප්‍රිය වෙනව.
ReplyDeleteමගේ රුචිය අනුව කසුන්ගෙ උච්චස්ථානයේ ගායනයට ඇල්මක් ඇතිවෙන්නෙ නෑ. ඒත් මධ්‍යස්ථයේ ගායනයට බොහෝ කැමැත්තක් ඇතිවෙනව. ඒක නිසාද මන්දා කසුන්ගෙ "එන්න සොඳුරිය දොර ඇරන්" කියන ගීතයේ පද පේලි තමයි මට නිතර කියවෙන්නෙ.