සමන් වික්‍රමාරච්චි මහතාගේ ‘අප්පච්චි ඇවිත්‘ කියවන්න ගත්තෙ හිස් අදහසකින්
යුක්තව. විශේෂ පූර්ව නිගමන නැතිව. මොකද ඒ පොත ගැන එක එක තැන්වලදි ඇස ගැටුන
අදහස් අනුව බැලුවම ඒක එකිනෙකාට තේරෙන විධිය අනුව දරුණු විධියට පාඨකයාව
ධ්‍රැවීකරණයට ලක් කරපු පොතක්. පොතට කැමතියි හෝ අකමැතියි කියන අන්ත දෙකින්
එකකට ලේසියෙන් වැටෙන්න පුළුවන්.
සමන් වික්‍රමාරච්චි මහතාගෙ අසනි
වැසි නව කතාව අවුරුදු විස්සකටත් වැඩි ඈතකදි මම කියවල තියෙනව. ඒකෙ අන්තර්ගතය
ගැන දැන් මට මතකයක් නැහැ. හැබැයි වික්‍රමාරච්චි මහතාගේ ලිවීම් අස්සෙ වඩාත්
නූතන දාර්ශනික අදහස් තියෙන බව මම කියවල තිබුණ නිසා පොතේ අන්තර්ගතය පිළිබඳව
නම් යම් අදහසක් නොතිබුණාමයි කියන්නත් බෑ.
පොත කියවන් යද්දි මුලදි අපි හිතනවා පොත අපට අහු වෙනව කියල... නමුත් ටිකකින් තේරෙන්න ගන්නවා අපි පොතට අහු වෙනවා කියල.
හැම
මිනිහෙක්ටම තමන් ගැන තක්සේරුවක් තියෙනවා. ඒක මත ඔහු අතින් සැසඳීම් සිද්ධ
වෙනවා. ඔහු තමා අවට ලෝකය ගොඩනගාගන්නෙ, දේවල්වලට වටිනාකම් ලබා දෙන්නෙ මේ
තක්සේරුව සහ සැසඳීම් මත. සමහර අහඹු අවස්ථාවන්වලදි මේ ලෝකය බිඳවැටෙනවා. එහෙම
වෙලාවක මනුස්සයෙක් හැසිරෙන විධියෙන් ඔහු තමන් ගැන තබාගෙන ඉන්න තක්සේරුව
හඳුනගන්න පුළුවන්. අපි හැමෝම අඩු වැඩියෙන් ඒ විධියයි. තමන්ව දිය වුණ, තමන්ට
වටිනාකමක් නැති ලෝකයක් මනුස්සයෙක්ට ගොඩනගන්න පුළුවන්ද කියන එක සෑහෙන්න
පරණ ප්‍රශ්නයක්.
මෙහෙම තත්වෙකදි අපි අපේ වටිනාකම ගොඩගනාගන්න ප්‍රවාද
හදාගන්නවා. අපේ ජීවිතය නැවත ගොඩනගනවා. සමහර වෙලාවට අපි ඒවට එක ලේයරයකදි
කියනවා ‘පොර ටෝක්‘ කියලත්. පම්පෝරි ජනක වගේ චරිත අපේ අස්සෙත් සුළුවෙන් හරි
ඉන්නවා. තමන් විසින් ගොඩනගන තමන් හැම විටම සාධාරණ වෙනවා වගේම ලෝකෙ ඉන්න
හොඳම මනුස්සයාත් වෙනවා ගොඩක් වෙලාවට. වැරදි කළත් බොහොම විට ඒ බහුතර
සුභසිද්ධිය වෙනුවෙන්. ඉතිං මෙහෙම යද්දි සුළුවෙන් හරි කිසිම අතීත
ප්‍රබන්ධයක් නැති මනුස්සයෙක් ඉන්න බෑ කියල හිතෙන්න එකත් සාධාරණයි.
ඔබට
අතීත ප්‍රබන්ධ කිසිවක් නැද්ද? හානිකර විධියට නෙවෙයි, අඩු ගානෙ
ප්‍රශ්නයකින් පැන යන්නවත් තාවකාලිකව ඔබව නැවත නිර්මාණය කරගෙන නැද්ද? ඔබ සතු
අමිහිර මතකයක් හෝ ඔබේ යම් දුර්වල ගුණයක් යටපත් කරවන්න ඔබේ විශිෂ්ට ගුණයකට
වැඩි බරක් දීල තමන්ව විනිශ්චය කරලම නැද්ද? එහෙම නම් ඔබ මාරයි!
පොත
ලියවෙලා තියෙන විධියත්, අවසානයේ නඩු ශාලාවේ කරන පැහැදිලි කිරීමත් මට ඉතාම
රසවත් වුණා. පොතේ කතාව ගොඩ නැගෙන්නෙම අවසානයේ කියවෙන දාර්ශනික කාරණා
පැහැදිලි කරන්න කියලයි මට හිතෙන්නේ. ඒ අතින් ඒක මේ වෙන තෙක් කියවල තියෙන
පොතකින් නොගෙනියපු අභ්‍යන්තර ගවේශනයකට ඔබව ගෙනියන්න සමත්.
මේ
‘පියාගේ නාමකරණය‘ පිලිබඳ නොයෙක් දාර්ශනිකයන් ගොඩනගල තියෙන දැනුම සිංහලෙන්
තියෙන්නෙ ඉතාම අවමයෙන්. ඒ තියෙන ටිකත් කියවල තේරුම්ගන්න එක කරන්න බැරි තරමට
අමාරු වැඩක්. ඒකට ඒ සීන් එකේම ඉන්න ඕන. ඒ නිසා එහෙම නැතිව සාමාන්‍ය පරිදි
පොතක් කියවගෙන ඉන්න, ඔය පිලිබඳව සාමාන්‍ය උනන්දුවක් සහිත මිනිස්සුන්ට ඒ
විෂය ගැන මෙහෙමවත් ලියවෙන එක ලොකු දෙයක්. මම මේ ගැන කලින් අමාරුවෙන් කියවල
තේරුම් අරන් හිටපු දේවල් සමහරක් අලුත් වීමත්, අලුත්ම දැනුමක් එකතු වීමත්
‘අප්පච්චි ඇවිත්‘ නිසා සිද්ධ වුණා.
මේ 'පියා පිලිබඳ අදහස' යොදාගෙන
ලෝකයේ බොහොම දේවල් නිර්වචනය කරන්න පුළුවන් කියලත් මම කියවල තියෙනවා.
මිනිස්සු ගස් ගල් පිළිමවලට වන්දනා කරන එක, ස්වභාවයෙන්ම යම් පීඩිත/ පාලිත/
යටත් වූ මානසිකත්වයක ඉන්න ආස එක, රස්සාවලට ඇවිල්ලත් නිල ඇඳුම් අඳින්න ආස එක
වගේ බොහොම දේවල්වලට හේතුව මේ අහිමි වුණ පියා කැඳවාගන්න තියෙන අවිඥානික
අවශ්‍යතාවයද කියලත් මට හිතෙනවා. ඒවගේ ප්ලොට් සහිතවත් කාට හරි පොතක් ලියන්න
පුළුවන් නම් නියමයි!
Tuesday, 28 September 2021
සමන් වික්‍රමාරච්චිගේ අප්පච්චි ඇවිත් පොත ගැන අදහස්
Tuesday, 16 February 2021
විලියම් ගෝල්ඩින් - මිතුරු දම් බිඳුණු පසු පොත ගැන අදහස්
මේ පොත 2007 පොත් ප්‍රදර්ශනයෙන් ගත්තත් කියවන්නෙ 2020 දි. ඒ අතරෙ කීප දෙනෙක් අතරෙ පොත ගමන් කරල තියෙනවා. ආපදාවලටත් ලක්වෙලා තියෙනවා.
මට
මතක විදියට පොත ගන්න බලපාපු හේතුව ඒක 'කොරල් දූපත' පොතට සම්බන්ධයි වගේ
අදහසක් තිබීම වෙන්න ඕන. සමහර විට ප්‍රදර්ශනයෙදි පිටුවක් දෙකක් කියවද්දි
දැනුණ නම්ගම්වල හුරුව නිසා ක්ෂණයෙන් ගන්න හිතන්නත් ඇති.
ආර්. එම්.
බැලන්ටයින්ගෙ 'කොරල් දූපත' යොවුන් නවකතාව ලංකාවෙ පරිවර්තකයන් කීපදෙනෙක්ම
පරිවර්තනය කරල තියෙනවා. ඒ අතරින් කේ.ජී. කරුණාතිලක සූරීන් කරපු සංක්ෂිප්ත
පරිවර්තනය මං පොඩි කාලෙ ඉඳන් නැවත නැවතත් කීප වතාවක් කියවපු රසවත්ම පොතක්.
ජැක්, රැල්ෆ් එක්ක පීටර් සහ ඔවුන්ගේ අත්දැකීම් අමතක නොවන රූප සහිත මතකයන්
නිර්මාණය කරල තියෙනවා.
'මිතුරු දම් බිඳුනු පසු' කියන්නෙ ඒ විදියෙම
නම් ඇති චරිත සහ ආකෘතියකින් යුතු වුණත් ඒ වගේ පොතක් නෙවෙයි. මෙතනදි
මිනිස්සු අතර අවබෝධය ගිලිහීම එක්ක ඇතිවෙන අර්බුදය ගැනයි කතා කරන්නෙ. ඒක එක
පැත්තකින් ගත්තොත් කොරල් දූපතේ ප්‍රතිලෝමය. කැමතිනම් ඒක දේශපාලනිකව අර්ථ
දක්වගන්නත් පුළුවන්.
පොතේ පරිවර්තනය ඉතාම හොඳයි කියල කියන්න බෑ මට.
සමහර අවස්ථාවන් කිසිම පැහැදිලි අදහසක් ජනිත නොකරන වචන විදියට ලියවිලා
තිබුණ බවයි තේරුණෙ. ඒක ලොකු බාධාවක් නෙවෙයි. නමුත් පොත වඩාත් සාර්ථකයි කියල
කියන්න තිබුණා ඒ අවුල නොපෙනුනා නම්.
ඔබ Battle Royale හෝ ඒ ආකෘතියේ
චිත්‍රපටි නරඹලා තියෙනවනම් 'පැවැත්ම' වෙනුවෙන් මිනිස්සුන්ට යන්න පුළුවන්
අන්තයක් මොන වගේ ද කියල අදහසක් ඇති. එක අතකට ඒක තේරුම් ගන්න චිත්‍රපටි
බලන්න අවශ්‍යත් නෑ. තමන්ගෙ පැවැත්ම වෙනුවෙන් පාවාදීමේ ඉඳලා මිනීමැරීම දක්වා
ඕන තරම් දේවල් මිනිස්සුන්ට කරන්න පුළුවන්. අපි ශිෂ්ටත්වය කියල කියන්නෙ
මායාවකට. සමහර විට ශිෂ්ටත්වය දුර්වලයො හොයාගත්ත අදහසක් වෙන්න ඇති.
මිතුරු
දම් බිඳුනු පසු කියවන ඔබට බොහොම දේවල් හිතෙයි. ඔබ කොරල් දූපත පොතේ කුමන හෝ
පරිවර්තනයක් කියවල තියෙනවනම් ඒක අමතර පහසුවක් වෙයි. එහෙම නැතිව අනිත් අතට
යන්න ඔබ අදහස් කරනවනම් ඔබට විඳින්නන්ට ලැබෙන රස අසීමාන්තික යි.
Thursday, 22 October 2020
කාංචනා අමිලානිගේ ගුහා සටන පොත ගැන අදහස්
ස්පොයිල් විය හැක!
2008-2009 කාලෙ හිටු කියලා බ්ලොග් වමාරපු යුගයේ
හිටියා හිටපුගමන් අමුතු ප්‍රශ්න අහපු බ්ලොගර් කෙනෙක්. මිනිහට වතාවක් ආපු
ප්‍රශ්නෙ තමයි මේක.
අපි ගෙදර ඉඳන් ගමනක් යද්දි අහම්බෙන් අපේ ඇඟේ
එල්ලුන කූඹියෙක් සෑහෙන දුරක් ගියාට පස්සෙ තමයි අපි දකින්නෙ. අපි ඒ
වෙලාවෙදිම කූඹියව බිමට ගසනවා. එතකොට ඒ කූඹිය වැටෙන්නෙ වෙනමම තැනකට. කූඹියට
නුපුරුදු තැනකට... ඉතිං ඇත්තටම කූඹියට මොනව හිතෙයිද?
මේක ගැන ඒ පෝස්ට් එකේ සෑහෙන්න දේවල් කියල තිබුණත් දැන් මතක ඒ ප්‍රශ්නය විතරයි.
දැන්
මට හිතෙන්නෙ කාංචනා අමිලානිගෙ ගුහා සටන කියවන්න ගත්තම කෙනෙක්ට වෙන දේ ම
සමහර විට එහෙම අතරමං වුණ කූඹියෙක්ටත් වෙනව ඇති කියලයි. ඒ නිසා පොත කියවගෙන
යද්දි මොකක් හරි තැනකින් අහු වෙයි කියල බලාපොරොත්තු නොවන එක හොඳයි.
මේක
කියවන්න ඕන වුණේ පොතේ ප්‍රචාරණය නිසාමයි. එහෙම නැත්තං සාමාන්‍යයෙන් මම
කියවන්න පොතක් තෝරගන්න කාරණාවට පොත අලුත් වීම අදාල නෑ. නමුත් ගුහා සටනේ
ප්‍රචාරණය අස්සෙ තිබුණෙම මේක වෙනස් වැඩක් කියන ඉඟිය. ඉතිං එහෙම එකක්
කියවන්න හිතෙන එක ස්වභාවිකයි.
පොතේ ඇතැම් සිදුවීම් සහ චරිත මට මතක්
කළේ මලයාලම් චිත්‍රපටිවල දර්ශන කීපයක්. ගමේ හැමෝම එකිනෙකාව දන්න වටපිටාවක්,
පිස්සු පොලීසියක්, බුල් කෙළින ආණ්ඩුවක් (ඒක නං විශ්වීය තත්වයක් වෙන්න ඇති)
සහ විවිධාකාර චරිත කීපයක් කියන්නෙ මලයාලම් චිත්‍රපටියකින් කියවෙන ලංකාවෙ
පරණ ගමක කතාවකට හොඳ තුනපහ. සුළු සිදුවීමක් ඉතාම විස්තරාත්මක විදියට
ඉදිරිපත් කිරීම අස්සෙත් දැනුණෙ ඒක. ඒ එක්කම සමහර සිදුවීම් මට මතක් කළේ
'පෙරළූ නැවුම් පස' පොතේ සිදුවීම්. කියවල තියෙන පොත් අතලොස්ස අස්සෙ ආයෙ ආයෙ
හමුවීම් වෙන එකත් මරු.
පොතේ ප්‍රචාරණය නොදැන, එහෙම නැත්තං මේ පොත
කොටස් වශයෙන් ඔන්ලයින් ලියවුණ කාලෙ ඒ ගැන නොදැන අමුවෙන්ම පොත අතට ගන්න
කෙනෙක්ට පොතේ අඩංගු රූප උදව් වෙයි චරිත ගොඩ නගාගන්න. චිත්‍ර මවාගන්න. පොත
විසින් මවන චිත්‍ර නිසැකයෙන්ම Antz සහ A Bugs Life ඉඳන් ආපු බොහොමයක්
ඇනිමේෂන්, විශේෂයෙන් කෘමි සත්තු ඉන්න චිත්‍රපටි මතක් කරන එක විශ්වාසයි.
සමහර විට ඒ චිත්‍රපටි සහ පොතේ තියෙන චිත්‍ර වඩාත් පහසුවක් වෙනව ඇති කතාවේ
වෙන දේවල් තේරුම්ගන්න. මට හිතෙන්නෙ මේක ඒ චිත්‍රපටි ආකෘතියටත් ලේසියෙන්
හරවන්න පුළුවන් පොතක්.
පොතේ චරිතවල නම් කියවෙන විදියටනං මේක ලෝක
මට්ටමේ වැඩක්. විශේෂයෙන්ම යුද්ධය ලෝක යුද්ධයක්. ඒකෙ හැම රටකම මිනිස්සු
ඉන්නවා. 'ග්‍රහ ලෝකයක විනාශය' පොත කියවල තියෙන කෙනෙක්ට සමහර විට ගුහා සටනේ
නම්වල අමුත්තක් නැති වෙයි. ඒ අතර ලොකු සම්බන්ධයක් නෑ. නිකං මතක් වුණා ඒක.
පොතක්
කියවීම ම වෙනස් අත්දැකීමක් වීම හැම විටම වෙන දෙයක් නෙවෙයි. කියවීමේ
අත්දැකීම ලැබෙන්නෙ ලිවීමේ වෙනස්කම් නිසා. ලිවීමේ තාක්ෂණික කාරණා නිසා.
ලිවීමේ විලාසය නිසා. මේක එහෙම අත්දැකීමකට කියාපු පොතක්.
එතකොට කතාව? ඒක සමහර විට අපේම කතාවක් වෙන්න පුළුවන්. සමහර විට ඇත්තටම කූඹින්ගෙ කතාවක් වෙන්නත් පුළුවන්.


