Wednesday, 5 February 2014

නිර්වාණයේ දොරකඩ හිඳිමි


එය 2005 හෝ 2006 වර්ෂයේ වෙසක් පෝය දිනයයි. මා පෝය සමග පැමිණි නිවාඩු දින කීපයම ගොඩගම ගනේගොඩයාගේ නිවසට වී සිටියෙමි. ඒ දින කීපය පුරාම විටින් විට දුමින් මත් වෙමින්ද, නිද්‍රාගත වෙමින්ද, මිදුලේ ගල් තලාව මත 'මහා ධීවරයාණෝ' පොතේ පිටු අතර පේදුරු සහ ෆාරා සමග වයින් බොමින්ද රොටී අනුභව කරමින්ද විසූයෙමි. පසු කලෙක ප්‍රත්‍යක්ෂ කල, 'ජීවිතේ සුන්දරම කාලය වර්තමානයයි' යන අදහස මට දැනෙන්නට ඇඹෙමින් තිබූ කාලයකි එය.

රාත්‍රිය එළඹි පසු නින්දෙන් නැගිටගත් ගනේගොඩයා මා ද ඔහුගේ ට්‍රේලේ නංවා ලීල අක්කාගේ පොට් එකට ඉගිලුණේය. ඔහු සුපුරුදු පරිදි සුදුවා වඩියක් දෙකක් උගුරෙන් පහළට යවද්දී ලීල අක්කා මට ම කියා හදනා වැඩි සීනි ප්ලේන්ටියට මම වග කීවෙමි. විනාඩි කීපයක් එහි ගතකොට අප ආයෙත් ඉගිල්ලුණේ 'සම්පත්' සෙවීමටයි.

ගොඩගම නගරයෙන් එපිට අතුරු මාවත් ඔස්සේ ට්‍රේල මතින් ඉගිලෙමින් අපි සේන්දු වූයේ එක් කුඩා හන්දියකටයි. එහි පාරේ පසෙකට වන්නට අටවා තිබූ තාවකාලික මඩුවක් තුළ මහ හයියෙන් එවකට අතිශයින් ජනප්‍රියව තිබූ දමිත් අසංක හෝ චාමර වීරසිංහ වැනි ගායකයකුගේ කැසට්පටයක් වාදනය වෙමින් තිබුණි. ගැටවර වයසේ කොල්ලන් දහ දොළොස් දෙනෙක් මහ පාරේ ඒ සංගීතයට නටමින් සිටියෝය. උන්ගෙන් ඇතැමෙක් ඒ වන විටත් හැකි උපරිමෙන් මත්වී සිටිනු මම දුටිමි.

ගනේගොඩයා මා ඇදගෙන මඩුව තුළට ගොඩවිය. ඒ තුළ හිඳගෙන සිටි මදක් වැඩිමහලු තරුණයන් අතරින් එකෙකු ඔහු සමග කතා කළේය.

'ආ... ගනේගොඩ අයියා... කෝ උඹ හත වෙද්දි එනව කිව්වනේ...'

'නින්ද ගියා මල්ලි... කෝ...දන්සල ඉවරද?'

'ඔව් බං.. හතාමාර වෙද්දි බඩු ඉවරයි.'

'ච: අපරාදෙ'

'හිටපං... මුට්ටියෙ අඩියෙ ටිකක් තියෙනව'

තරුණයා මඩුව පසෙක ගඩොල් කැට වටකොට සෑදූ තවමත් ගිනි අඟුරු දැල්වෙමින් තිබූ ලිපක් මත වූ විශාල ඇලුමිනියම් මුට්ටියකින් ප්ලාස්ටික් කෝප්ප දෙකකට ද්‍රවයක් වත් කළේය. මාගේ නහය විනිවිද ගියේ අවුරුදු ගණනකින් අත්විඳ නොමැති බෙලිමල් සුවඳකි. ස්වල්ප වේලාවකින් මා අතට තරමක කිතුල් හකුරු කැබැල්ලක් හා උණු බෙලිමල් කෝප්පයක් ලැබිණි. සෙමෙන් එය තොල ගා හමාර වෙත්ම ගනේගොඩයා මා අත තැබුවේ දැල්වෙමින් තිබූ කන්සා සුරුට්ටුවකි. එය කීප දෙනෙකු අතර බෙදී යාමට නියමිත වූ බව වටහාගත් බැවින් මම වහා උගුරු කීපයක් උරා එය මා අසල පොරොත්තුව සිටි තරුණයා අතට දුනිමි. වමතේ ඉතිරිව තිබූ කිතුල් හකුරු කැබැල්ල දිව යට තබාගතිමි. ගනේගොඩයා මට සමීප විය.

'මෙතන පොරක් ගාව බඩු නං තියෙනවා. අරහෙ යන්න ඕන නෑ. උඹ සල්ලි ගෙනාවද?'

- - - - - -

නිවසට යන අතුරු මාර්ගයේ එක් තැනකදී අපට විශාල වෙල් යායක් හමුවේ. මීටර දෙසීයක පමණ දුරක් පටු පාර වැටී ඇත්තේ එම වෙල් යාය මැදිනි. පාරේ පසෙකින් එම වෙල් යාය වෙත ජලය සපයන දිය පාර ගලා යයි. ඒ වන විට පුර හඳ ක්ෂිතිජයෙන් ඉහළට විත් බැබළෙමින් තිබූ අතර අවට පරිසරයේ ගුප්ත නිහඬ බව මට හැ‍ඟෙන්නට ඇරඹී තිබිණි. කන්සා උගුරු කීපය මාගේ සිතුවිලි ඉතා සියුම් දේ වෙත නාභිගත කරවමින් පැවතිණි. මොහොතක් මෙහි ගෙවන්නට මට උවමනා විය.

මාගේ උවමනාව වැටහුණාක් මෙන් ගනේගොඩයා ට්‍රේල නතර කළේය. ඒ පාරේ යටින් දිය පාර ගලනා බෝක්කුවක් අසලය. එම ස්ථානයේ පාර මදක් පුළුල්ය. කොන්ක්‍රීට් යොදා තැනූ වැටි දෙකක් පාරේ දෙපස වෙයි. බෝක්කුව යටින් දිය පාර ගලන හඬ රැහැයි හඬ පරයා නැගී සිටියි. එම හඬ කුමනාකාර වේදැයි ලිවීම අපහසුය. දිය පාරක් ගලන්නේ 'සිලි සිලි' හඬින් බව වෙනත් ලේඛකයන් ලියා තිබෙනු මා කියවා ඇත. ඒත් මට ඇසෙන්නේ සිලි සිලි හඬක් නොවේ. ඒ හඬ මෙයාකාර වේ යැයි කියන්නට භාෂාවේ අකුරු නැත.

මෙම ස්ථානය අපට නුපුරුදු තැනක් නොවේ. මෙයට පෙරද කීප වතාවකදීම අපි දෙදෙනා මෙම ස්ථානයේ පැයක් දෙකක් වල්පල් දොඩවමින් හිඳ ඇත්තෙමු. කුඹුරු යාය අවසන් වන සීමාවේ ගස්කොළන් අතරින් පෙනෙන නිවෙස්වල විදුලි එළියත් පාරේ දෙතැනක පහන් කණුවල දැල්වෙන විදුලි එළියත් හැරුණුකොට මෙහි ඇත්තේ අඳුර පමණි. දිය පහරේ හඬත්, රැහැයි හඬත් පරයමින් විටින් විට ඈත හයිලෙවල් පාරේ දික්හැතැක්ම ඔස්සේ වේගයෙන් ඇදෙනා පරණ බස් රථයක හඬක් ඇසේ. හඳ නොමැති දිනක වලාකුළු සහ ක්ෂිතිජය දක්වා විහිදෙන තරු වියනකි. ඒ වෙනත් දිනවල මෙහි තනිවීමට සිත ලොල් කරවන ලක්ෂණ වේ. අද එයටත් අමතරව වලාකුළක් තරුවක් නොමැති අහසක පුර හඳ දිදුලමින් ඇත.

මම කොන්ක්‍රීට් වැටියේ හිඳගෙන හඳ වෙත නෙත් හෙළුවෙමි. ගනේගොඩයා අතින් පොඩි කල කන්සා පත්‍රිකා රළුවට කඩදාසියක ඔතා සුපුරුදු පරිදි සුරුට්ටුවක් සෑදීය. ඇසිල්ලකින් දැල්වුණු එය අප දෙදෙනා අත හුවමාරු වෙන්නට විය. මාගේ සිත මහා ධීවරයාණන්ගේ සිට ‍ටයිකෝ චුම්බක අනියමයද ඉක්මවා වෝප් වේගයෙන් අවකාශය වෙත ඇදෙන්නට විය. ගිණිය නොහැකි තරම් හැඟීම්, සිදුවීම්, කියවීම් ගණනාවක් ඇසිල්ලකින් සිතින් වින්දනය වන්නට විය. මම කටහඬ අවදි කළෙමි.

'මෙහෙම ඉඳල හරියන්නෙ නෑ... මොනව හරි කරන්න ඕන'

'මොනවද උඹ කරන්න යන්නෙ?'

'අඩුගානෙ ෂෝට් ෆිල්ම් එකක්වත් හදන්න ඕන'

'ඉතිං හදපං. මහ ලොකු දෙයක් නෙවෙයිනෙ'

'මොනව ගැනද හදන්නෙ?'

''දැන් උඹ කිව්වෙ හදන්න ඕන කියලනේ... අදහසක් නැද්ද ඉතිං?'

'අදහසක් නෑ. ෂෝට් ෆිල්ම් එකක් හදන්න ඕන. එච්චරයි'

'එහෙම වැඩක් නෑනෙ බං. ඉස්සෙල්ල උඹට අදහසක් ඕන. ඒක ෂෝට් ෆිල්ම් එකක් විදියට කරන්න පුළුවන්. එහෙම නැතිව ෂෝට් ෆිල්ම් එකක් කරන්න ඕන කිය කිය ඒකට අදහසක් නැතුව ඉඳල වැඩක් නෑනෙ'

'හ්ම්ම්'

'උඹ අදහස අවුට් කරන මීඩියා එක ගැන වදවෙනව. ඒකෙන් දෙන්නෙ මොනවද කියන එක ගැන හිතලවත් නෑ. ඉස්සෙල්ල මිනිස්සුන්ට කියන්න හොඳ කතාවක් හදන්න ඕන. ඒක අවුට් කරන්නෙ කෙටි කතාවකින්ද කවියකින්ද ෆිල්ම් එකකින්ද කියන මීඩියා එක පස්සෙ කරදර වෙන්න තියෙන වැඩක්...'

'හ්ම්ම්. මට ඕන ෂෝට් ෆිල්ම් එකක් කරන්න'

මද වෙලාවක් නිහඬතාවය පැවතිණි. එක්වරම ගනේගොඩයා නැවත මා ඇමතීය.

'චෙකොෆ්ගෙ පොතක් තියෙනව 'කළු සිවුරුදර භික්ෂුව' කියලා. උඹ කියවල තියෙනවද ඒක?'

'නෑ...'

'උඹ ඉතිං අඟල් ගණනංවල පොත් හොය හොය කියවනව මිස පොඩි පොත් කියවන්නෙ නෑනෙ. ගෙදර තියෙනව. අරං කියවපං.'

'ඒක අදාළ වෙන්නෙ කොහොමද?'

'දැන් උඹට ඕන උඹෙ නම තියන විදියෙ වැඩක් කරන්නනේ...'

'නෑ එහෙම නෙවෙයි.'

'හරි එහෙම නෙවෙයි කියමුකෝ... උඹ ෆිල්ම් එකක් හදල නම නැගල ගියා කියලත් කියමුකෝ.. හැබැයි ඒ කොච්චර කාලෙකටද?'

'ඒ කිව්වෙ?'

'අපි ජීවත්වෙන්නෙ මැරෙන්නෙ නැති මිනිස්සු වගේනෙ බං. අපි අපේ නම තියන්න වැඩ කරනවා. මැරුණට පස්සෙ අපේ නම මතක තියෙන්න ඕන විදියෙ සිරා වැඩ කරන්නනෙ මිනිස්සු හැමවෙලේම ට්‍රයි කරන්නේ?'

'සාමාන්‍යයෙන් මිනිස්සු ඒකට කැමතියි නේද? මැරුණට පස්සෙත් තමන් ගැන මිනිස්සු කතා කරනවයි කියල දන්න එක මිනිස්සු විඳින්න කැමති හැඟීමක්'

'ඔව්.. හරි... ඒත් හිතපං කොයි තරං කාලයක් මිනිහෙක්ව එහෙම මතක තියෙයිද?'

'අවරුදු දෙදාස් ගණං මතක තියාගෙන වඳින පුදන ඩයලුත් ඉන්නවනේ...'

'අවුරුදු දෙදාස් ගාණක් තිස්සෙ ඒ මිනිස්සු ඒ විදියටම මතක තියාගෙන නෑනෙ බං...'

'ඒකනං එහෙම තමයි. කාලයත් එක්ක ඒව වෙනස් වෙනවා...'

'ඒක තමයි. එහෙනං තමන්ව කවද හරි අමතක වෙනව කියන එක දැන දැන තමන්ගෙ නම තියන්න වැඩ කරන එකේ වැඩක් තියෙනවද බං?'

'එහෙම ගත්තොත් කවුරුවත් කරන කිසි දේකින් වැඩක් නෑනෙ.'

'ඒක තමයි පොයින්ට් එක. ඒ හින්දා නම තියන්න වැඩ කරල වැඩක් නෑ. වැඩ කරපං. තියෙන කාලයක් නම තියෙයි.'

'දැන් මට ෂෝට් ෆිල්ම් එකක් හදන්න තියෙන උවමනාවට මේ කතාව අදාළ වෙන්නෙ කොහොමද?'

'ඒකෙ එකපාර පේන අදාළ වීමක් නෑ. උඹට ෂෝට් ෆිල්ම් එකක් හරි මොකක් හරි දෙයක් කරන්න උවමනාව එන වෙලාවට ඒක වෙයි.'

'සමහර විට උවමනාවක් නැති වෙන්නම ඉඩ තියෙනවා...'

'ඉතිං මොකද? උඹ හෙණ සිරා වැඩක් කරලා ඒකෙන් ලෝකෙ අම්බානක් වෙනස් වෙයි කියලද උඹ හිතන්නේ?'

'නෑ එහෙම හිතන්නෙ නෑ...'

'උඹේ ආතල් එක වෙනුවෙන් වැඩ කරපං. වෙන වෙන ගයිඩ්ලයින් වැඩක් නෑ. ලෝකෙ කොහොමත් හොඳ නරක දෙක බැලන්ස් එකේ තියෙනව. කාලෙකදි හොඳයි. කාලෙකදි නරකයි.'

මම නැවතත් හඳ දෙස බැලීමි. ජීවිතේ පූර්ණ වශයෙන් වටහාගැනීම කිසිවකුට කල හැක්කක් නොවේ. අප පරිපූර්ණත්වය වශයෙන් හඳුනාගන්නා බොහෝ දේවල් ඒ තුළම බිඳවැටී ඇති තර්කයන්ගෙන් ගොඩ ඒමට නොහැකිව වැල්වටරම් රාශියකින් වටවී බොරු පරිපූර්ණත්වයක් මවා පායි. දෙවියන්ද, බලාපොරොත්තුවද අපගේ වර්තමාන දුර්වලතාවයන්හි ප්‍රතිඵලයක් පමණි. බොහෝ දේ සැලසුම් කරන්නේ යැයි සිතුවද අවසානයේ කර ඇති දෙයක් නොමැත. වෙන අයෙකුගේ අදහසකට වඩා මා දරන අදහස උසස් හෝ වෙනස් යැයි සිතන්නට උත්සාහ කළද අවසානයේ මා යනු තවත් එක් වංචාකරයකු පමණි. සමස්තය එයට අවශ්‍ය ලෙසින් වෙනස් වෙමින් පවතී. මා එහි එක් සංඝටයක් පමණි.

පුර හඳ තවත් ඉහළට නැග ඇත. ක්ෂිතිජය කෙළවර තනිව දැල්වුණු එක් තරුවක් විය. ඒ තරුව වටා භ්‍රමණය වන ‍ග්‍රහළොවක විශාල වෙල් යායක් මැද හිඳිමින් මා දෙස බලා සිටිනා පිටසක්වලයෙකි. එක් ක්ෂණයකින් ඔහුගේත් මාගෙත් නෙත් ගැටුණි. මාගේ සිතෙහි වූ ප්‍රශ්න කීපයම ඔහුගේ දෑස තුළ මම දුටුවෙමි. අඳුර නිවමින් අලුත් එළියක් දැල්විණි. හිස මත වූ යම් බරක් ඉවත ලූවා වැනි හැඟීමක් මට දැනේ.

'තනියෙන් හිතන්න එපා බං'

ගනේගොඩයා කියවයි.

'නෑ මං නිර්වාණයේ මොහොතක් අත්වින්දා'

'හෙහ් හෙහ්... මට කිව්වට කමක් නෑ... ඒ වුණාට වචන පාවිච්චි කරද්දි පරෙස්සං වෙයං. ඕව සමහර අයගෙ ට්‍රේඩ් මාක් ගහපු වචන. ඕවට අයිතිකාරයො ඉන්නවා'

ගනේගොඩයා ම වෙත ඇසක් වසා මහ හඬින් සිනහ විය. මමත් ඔහුට එක් වීම්. අපි දෙදෙනාම සිනහසෙන්නට වීමු.

Saturday, 10 August 2013

ලෝකලයි සීන්ස්

ලෝකලයිසින් ගැන ඒ තරම් විධිමත් අදහසක් මට නැතත් මේ පාර ඒ ලෙවල් කරන කීප දෙනෙක්ට ICT සම්බන්ධව කතා කරන්න ලැබුණු අවස්ථාව ලෝකලයිසින් ගැන ටිකක් හිතන්න මට අවස්ථාවක් දුන්නා.

සිම්පල් විධියම කිව්වොත් සමහර ලෝකලයිස් කිරීම් මට පේන්නෙ විකාර වගේ. අළුත් දැනුමක් ලෝකලයිස් වෙද්දි ඒ දැනුම සංක්‍රමණය වුණ භාෂාවෙන්ම දේශීයව භාවිතා වෙනව ඒක නම් ලොකු පහසුවක් වෙනව කියලයි මට හි‍තෙන්නෙ. උදාහරණයක් විධියට අපි පරිගණක තාක්ෂණයම ගත්තොත් ඒක ලෝකලයිස් වෙන්නෙ පට්ට අමාරු විධියට. පරිගණක තාක්ෂණය සිංහලෙන් ඉගෙනගන්න උත්සාහ කරපු කෙනෙක් ඒක දන්නව ඇති. එතනදි වැඩේ තවත් සංකීර්ණ වෙලා මිසක් ලේසි වෙලා නෑ.

ඉස්සර ඉඳන්ම අළුත් දැනුම ලෝකලයිස් කිරීමේ ව්‍යාපෘති තිබිල තියෙනවා. අනුර සී පෙරේරා, එස්. එම්. බන්දුසීල, ඊ.ඩබ්ලිව්. අදිකාරම් වගේ වියතුන් සිංහල භාෂාවෙන් විද්‍යාත්මක දේවල් ගැන ලියපු ලේඛකයො. ඒ අය ඔය විද්‍යාභිවර්ධන සංගමය වගේ ඒව එක්ක එකතු වෙලා වෙනත් භාෂාවලින් ආපු විද්‍යා දැණුම සිංහලෙන් කියන්න සිංහල වචන හැදුවා. ඊට පස්සෙ බිහි වුණ පරම්පරාවල් විද්‍යාව ඉගෙනගත්තෙ ඒ වචනවලින්. ඒක නිසා හැත්තෑව අසූව දශකවලින් පස්සෙ අපට විද්‍යාව ඉගෙනගනිද්දි ඒක ලෝකලයිස් වුණ දැණුමක් විධියට දැණු‍ණෙ නෑ. විස්තාපනය, ත්වරණය, ප්‍රවේගය වගේ වචනවල තේරුම අපි දන්නෙ නැතිව වුණත් ඒව ඉගෙනගනිද්දි වෙන භාෂාවකින් නිපදවුණ දැණුම කියන වගක්වත් අපට දැණුණෙ නැත්තෙ ඒ නිසයි.

කොහොමත් විද්‍යාවෙන් ඉගෙනගත්ත දේවල් අපේ ප්‍රායෝගික ජීවිතේ එක්ක ඒ තරමට සම්බන්ධ වුණේ නෑ. පස්සෙ කාලෙකදි ඒ සම්බන්ධ විෂයන්වල වැඩ කරන්න ලැබුණ කෙනෙකුට මිසක් අනිත් කාටවත් ඒ දැණුමින් වැඩක් වෙලා නෑ. නිකංම දැණුමක් විධියට ඉගෙනගත්ත මිස ඒව ප්‍රායෝගික නොවුණ නිසා ගිරව් වගේ කටපාඩම් කරන්න කිසි බාධාවක් වුණේ නෑ.

නමුත් පරිගණක තාක්ෂණය ලෝකලයිස් වෙන්නෙ දැන්. ඒ තාක්ෂණය ගැන විධිමත් විධියට දැණුවත් වෙන්න කලින්ම පරිගණක තාක්ෂණය අපේ ගෙවල්වලට ඇවිත් ඉවරයි. ඔය ටෙක් ශ්‍රී ලංකා වගේ ආරම්භක අවදියෙ ආයතනවලින් පරිගණක දැණුම ව්‍යාපාරික මට්ටමින් සාමාන්‍ය මිනිස්සුන්ට දෙන්න කලින්ම ඒ දැණුම අවශ්‍ය අයට ළං වෙලා තිබුණ.

හැබැයි ඒ ලෝකලයිස් වෙලා නෙවෙයි. අමු ඉංග්‍රීසියෙන්. පරිගණක තාක්ෂණය පැත්තට යොමු වුණ ලාංකික මුල් පරම්පරා කීපයම ඒකට යොමු වෙන්නෙ ඉංග්‍රීසි භාෂාවෙන්. තවමත් පෞද්ගලික අධ්‍යාපන ආයතනවල පරිගණකය ගැන උගන්වන්නෙ ඉංග්‍රීසියෙන්. මේක මහ ලොකුවට සිංහල කරන්න ඕන වෙලා තියෙන්නෙ රාජ්‍ය අංශයට. පාසල් විෂය මාලා වල සම්පාදකයන්ට. හැබැයි ඒක පට්ට එපාකරවන සුළුයි. ඉස්කෝලවල තොරතුරු තාක්ෂණ විෂය ළමයින්ට කොහොම දැණෙනවද කියල හොයල බලන්න පුළුවන් නම් මේ ගැන අදහසක් ගන්න පුළුවන් වෙයි.

මට හිතෙන දේ නම් දැණුම සංක්‍රමණය වෙන භාෂාව ලෝකලයිස් වෙන එක වැඩක් නැති දෙයක් කියල. විශේෂයෙන්ම ලෝකලයිස් වෙනකොටත් මිනිස්සුන්ට අමුතුවෙන් දෙයක් ඉගෙනගන්න වෙනවනම් ඒ ලෝකලයිස් වීමට වඩා මුල් භාෂාවෙන්ම ඉගෙනගන්න එක වඩා පහසුයි.

මෙතනදි ගැටළුවක් වෙන්නෙ වෙන භාෂාවකින් කියවෙන දැණුමක තියෙන පාරිභාෂික වචන ලෝකලයිස් වෙන්නෙ කොහොමද කියන එක. විශේෂයෙන්ම වෙනත් භාෂාවක වචන ඒ විධියටම පාවිච්චි කළොත් ලෝකල් භාෂාව හසුරුවද්දි තියෙන ආවේණික ලක්ෂණ  වෙනස් වෙන්න පුළුවන්. ඉංග්‍රීසි උපකරණ සිංහලට ලෝකලයිස් වීමේදි පාවිච්චි වෙන 'එක' කියන වචනෙ සෑහෙන්න පාවිච්චි කරන්න වෙනවා. 'සීපීයූ එක', 'මව්ස් එක', 'කී බෝඩ් එක' වගේ. 'මොනිටර් එක' මේ වෙද්දි 'මොනිටරය' විධියට පාවිච්චි වෙනවා. නමුත් හැම වචනයක්ම එහෙම සුමටව සිංහලීකරණය කරන්න අමාරුයි.

ලෝකලයිස් වීම අවශ්‍යයි කියන අයට තියෙන ප්‍රධාන තර්කයක් විධියටත් ඒක මතුවෙනවා. භාෂාවේ සුමට බව විනාශ වීම. නමුත් ඒක ඒක ඒ තරම් ප්‍රශ්ණයක් නෙවෙයි කියලයි මට හිතෙන්නෙ. දැනටමත් අපිට ගාණක් නැතිව සුමට වෙලා විශේෂත්වයක් නැතිව මුල් වදනයෙන්ම ලෝකලයිස් වුණ වචන කොයි තරමි තියෙනවද? අපි පාවිච්චි කරන සමහර පෘතුග්‍රීසි, ලන්දේසි, ඉංග්‍රීසි වචන වෙන භාෂාවකින් ආව බවක් අපි දන්නෙවත් නෑ. මොකද වචනවල තියෙන නුහුරු වීම කාලයක් යද්දි සාමාන්‍ය වෙනවා. අනික මවුස් එකට මූෂිකය කියල කොච්චර පොත්පත්වල ලිව්වත් ප්‍රැක්ටිකලි නොකියවෙන දෙයක්. එහෙම වුණා කියල අමුතුවෙන් භාෂාව දියුණු වෙන ඉලව්වක් වෙන්නෙත් නෑ. තව සංකීර්ණ වෙනව මිස.

නමුත් ලෝකලයිස් වීම ව්‍යාපාරික අගයක් ලැබෙන දෙයක් බවට පත්වීගෙන යද්දි මිනිස්සු කැමති වුණත් නැතත් ඒක අනිවාර්යයෙන් ‍සිද්ධ වෙන දෙයක් වෙයි. ඒ වගේම දේශීයත්වය ප්‍රමෝට් කිරීමෙන් ලකුණු දමාගැනීම වගේ මේ කාලෙ ලේසියෙන් පොර වෙන්න පුළුවන් අවස්ථා මගඅරින්න කට්ටිය ලෑස්ති වෙන එකකුත් නෑ.

Tuesday, 4 June 2013

ඔළුව ඇතුලෙ චිත්‍රපටි


ක්රූඩ්ස් බලල ඒකෙ ත්‍රිමාණ අත්දැකීම ගැන බලන්න සෙට්වුණ උං එක්ක සංවාදෙක ඉන්න ගමන් කල්පනාවට මුල පුරපු දේවල් ටිකක් ලියන්න හිතුණා නිකමට. චිත්‍රපටි බැලීම වගේම චිත්‍රපටිවලින් ගොඩනැගෙන අතුරු අවකාශය ගැනත් විමසිල්ලෙන් ඉන්න එක සාමාන්‍යයෙන් පිස්සු රසිකයන්ට තියෙන උවමනාවක්. ඒ පසුබිම ගැන කලින් මෙතන සහ මෙතන ලියවිලා තියෙනවා. ඒ එක්කම ඕනම කෙනෙක්ට අනාගතේදි චිත්‍රපටි නළුවෙක් වෙන්න අවස්ථාව සලසන විද්‍යාත්මක සොයාගැනීම ගැන මෙතන තියෙනවා. හැබැයි දිග චිත්‍රපටි බලන්න අකමැති අය මේ සටහනටත් කොහොමත් කැමති වෙන එකක් නෑ.

අපි පොඩි කාලෙ හෝ දැණෙන්න චිත්‍රපටි බලන්න පටන්ගත්තු කාලෙ කවදාවත් ලබන්න නොහිතපු අත්දැකීමක් ත්‍රිමාණ චලන රූප තාක්ෂණය ඔස්සේ අපට විඳින්න ලැබිල තියෙනව. ඒ හැකියාව චිත්‍රපටියක සජීවී බව තීවෘ කරන ප්‍රබල සාධකයක්. සාමාන්‍ය විධියට දෘෂ්‍ය රූප සහ හඬ විතරක් ආශ්‍රය කරගෙන චිත්‍රපටිය විඳිනවට අමතරව ‍ත්‍රිමාණය ඔස්සේ අපට එක්තරා විධියකට විත්‍රපටියෙ තල දෘෂ්‍ය පරාසය තුල ගැඹුර ගැන අත්දැකීම විඳගන්න පුළුවන්. ඒක ඇත්තටම අපේ ඇස් රවට්ටනවා. ත්‍රිමාණය තලීය දර්ශන මාධ්‍යකින් පෙන්නන තාක්ෂණික පැහැදිලිකිරීම වීඩියෝ කතා කියන සම්පත් මෙතන කියල තියෙනවා.

ජුරාසික් පාක් චිත්‍රපටිය ප්‍රදර්ශණය වුණ කාලෙදි චිත්‍රපටි ශාලාවේ පුටුව යට ස්පීකර් හයි කරල ශබ්දයෙන් අමතර වින්දනයක් දෙන විධියෙ වැඩක් ක්‍රියාත්මක වුණා. ඒක ගැන ඊට පස්සෙ වැඩිය ඇහුණෙ නැත්තෙ සාමාන්‍ය දෙයක් වුණ නිසාද?

වෙනත් රටවල සිනමා ශාලාවේ පුටුව මෝටර්වලින් චලනය කරමින් චිත්‍රපටියෙ අවස්ථාවට අදාල කම්පනයන් ප්‍රේක්ෂකයට දැනෙන්න සලස්වන ක්‍රමයක් තියෙන බව කියවල තියෙනව. ලංකාවෙ එහෙම ශාලාවක් තියෙනවද මන්දා.

ඉස්සර රූපවාහිනියෙ ගිය beyond 2000 වැඩසටහනේ පෙන්නුව චිත්‍රපටියට අදාල එක එක සුවඳ වර්ග ඒ ඒ අවස්ථාවලදි නිකුත් කරන ක්‍රමයක් ගැන. මට මතක විධියට ඒක ජපානෙදි අත්හදා බලපු ව්‍යාපෘතියක්. ඒක අනුව සුවඳ වර්ග කීපයක් කාට්‍රිජ් විධියට පුටුවෙම තැනක රඳවන්න පුළුවන්. ඒ ඒ සුවඳ නිකුත් කරන්න ඕන වෙලාවල් චිත්‍රපටියෙ සේයා පටලය අනුව කලින් සැලසුම් කලාම චිත්‍රපටිය පෙන්වන අතරෙ අදාල අවස්ථාවලදි ඒ සුවඳ නිකුත් වෙනවා. ඒක වාණිජ මට්ටමින් ක්‍රියාත්මක වෙනවද කියන එක ෂුවර් නෑ. හැබැයි වෙනවනං ඒක වෙනම විධියෙ මාකට් එකකට දොර අරිනවා.

උදාහරණෙකට අපි හිතමු චිත්‍රපටියෙ ප්‍රධාන නළුවා පොල් සම්බල්, කුම්බලා කරවල බැදුම එක්ක කැකුළු හාලෙ බත් කන දර්ශනයක් තියෙනව කියලා. ඒක යද්දි කුම්බලා කරවල, පොල් සම්බල් සහ උණු බත්වල සුවඳ ශාලාව පුරා විහිදෙනවා. ඊට පස්සෙ ඉන්ටවල් දෙනවා. ඉන්ටවල් එකේදි සිනමා ශාලාවෙ කැන්ටිමේ තියෙනවා කුම්බලා කරවල, පොල් සම්බල් එක්ක උණු බත් පැකට්! බඩු විකිණෙන්නෙ නැති වෙයිද? (උදාහරණෙට පේස්ට්‍රිවලට වඩා බත් ෂේප් නේ)

මේ විධියෙ අමුතු අමුතු අතුරු ගැජට් කෑලි අටවපු පුටුවල ඉඳන් චිත්‍රපටි බලන්න දැනටත් අවස්ථාවක් තියෙනවා. හැබැයි සාමාන්‍ය චිත්‍රපටි ශාලාවකට ඒ වගේ දේවල් වියදම් වැඩි නිසා මේව තියෙන්නෙ ඔය ඩිස්නිලන්තෙ වගේ 'තීම් පාක්' සංකල්පයේ තැන්වල තියෙන සිනමා ශාලාවල කියල තමයි කියවන්න ලැබුණේ. ඒවට කියන්නෙ 4D චිත්‍රපටි ශාලා කියල.

ඒ කිව්වෙ අතුරු කතා ටිකක්. මම මේක ලියන්න හිතුවෙ අනාගතේදි චිත්‍රපටි වින්දනය කරන්න අපට මොන මොන විධියෙ තාක්ෂණයන් ලැබෙයිද කියන එක ගැන ටිකක් කතා කරන්නයි.

දැනට ගෙදරදි චිත්‍රපටියක් බලනවනං කෙනෙක්ට සිද්ධවෙනව තමන්ගෙ රූපවාහිනී හෝ පරිගණක තිරයේ සීමාවේ රැඳෙන්න. ටිකක් සල්ලි තියෙනවනං වීඩියෝ ‍ප්‍රොජෙක්ටරයක් ගන්න පුළුවන්. ඒත් ඒවයෙ බල්බ් එක පිච්චුනාම දාගන්න එක මාර වාතයක්. ජංගම දුරකථනයේ ප්‍රොජෙක්ටරයක් ඇතුලත් වෙන කතාවක් ටික කාලෙකට කලින් කියෙව්වට ඒක තවම මාකට් වෙලා නෑ. Samsung galaxy beam කියල එකක් ගිය අවුරුද්දෙ ආවත් ඒ ගැන ඒ තරං හොඳ ප්‍රතිචාර ලැබිල නැද්ද මන්දා. මට හිතෙන්නෙ ඒකට හේතුව ප්‍රොජෙක්ටර් යාන්ත්‍රණය විසින් සෑහෙන්න විදුලියක් පාවිච්චි කිරීම වෙන්න ඕන. ඒක ජංගම දුරකථනයේ බැටරියට දරාගන්න අමාරුයි. නමුත් ඒකෙන් කියන්නෙ නෑ ප්‍රොජෙක්ටරේ ජංගම දුරකථනෙකට එන්නෙ නෑ කියල. වැඩේට ප්‍රමාණවත් බල සැපයුමක් හැදුණු දවසක ෆෝන් එක බිත්තියකට එල්ල කරලා අඩි තුන හතරක ප්‍රමාණයට චිත්‍රපටි බලන්න අපිට පුළුවන් වෙයි.

සිනමා ශාලා අතින් ගත්තොත් අපේ දෘෂ්‍ය පරාසය සම්පූර්ණයෙන්ම ආවරණය වෙන විධියෙ පුළුල් තිර සිනමා ශාලාවල හැදෙන්න ඉඩ තියෙනවා. දැනටමත් එහෙම ඒව තියෙනව කියල මම කියවල තියෙනවා. ඒකෙන් වෙන්නෙ සාමාන්‍යයෙන් අපට ඇස් දෙකෙන්ම ආවරණය වෙන අංශක 170ක විතර කෝණයක පරාසය තිරයෙන් සම්පූර්ණයෙන්ම ආවරණය වීමයි. ඒ කියන්නෙ ඒක ලොකු තිරයක්. ඒකෙන් චිත්‍රපටියක් නරඹද්දි අපිට තිරයේ සීමාව දැණෙන එකක් නෑ.

චිත්‍රපටිය රස විඳින එක ඊට වඩා පුද්ගලික මට්ටමට යද්දි අපට ලැබෙන්න පුළුවන් ගොගල්ස් දෙකක්. ඒ කියන්නෙ ඇස් සම්පූර්ණයෙන්ම ආවරණය වෙන විධියෙ කණ්නාඩි යුවලක්. ඒකෙන් ආයෙමත් අපේ ඇස්වලට විතරක් පෞද්ගලික දෘෂ්‍ය පරාසයක දර්ශණ අපිට ලබා දෙනවා. මේක දැනටමත් වීඩියෝ ක්‍රීඩාවල තියෙන තාක්ෂණයක්. ඇත්තටම කිව්වොත් ඒ තාක්ෂණේ තවත් දියුණුයි. නිකංම නිකං චලන රූප පෙන්නනවට වඩා ඒකට පුළුවන් අපේ ක්‍රියාකාරකම් ඒ වෙලාවෙදිම සැකසුම් කරල වීඩියෝ ක්‍රීඩාවට යොමු කරවන්න. හැබැයි ඒ හැකියාව තනිකරම ගොගල්ස්වල හැකියාවක් නෙවෙයි. virtual reality හෙවත් අතථ්‍ය යථාර්ථය, augmented reality හෙවත් වර්ධිත යථාර්ථය වගේ තාක්ෂණයන් වීඩියෝ ක්‍රීඩාවලට ටිකෙන් ටික පැමිණෙමින් තියෙනව.

සමහර විට ඒ තාක්ෂණය චිත්‍රපටි කර්මාන්තයටත් ආවොත් අපි චිත්‍රපටි බලන විධිය සහමුලින්ම වෙනස් වෙන්න ඉඩ තියෙනවා. එතකොට පැත්තක ඉඳන් චිත්‍රපටිය නරඹනව වෙනුවට අපට යම් යම් විධිවලින් චිත්‍රපටිය එක්ක ගණු දෙනු කරන්න පුළුවන් වෙයි. චිත්‍රපටිය විවිධ කැමරා කෝණ වලින් බලන්න පුළුවන් වෙයි. චිත්‍රපටියෙ දර්ශණ තල ඔස්සේ දුවගෙන යන්න පුළුවන් වෙයි. හැබැයි එහෙම වෙන්න නං ඒ චිත්‍රපටිය තව දුරටත් සාමාන්‍ය විධියට හදපු චිත්‍රපටියක් වෙන එකක් නෑ. චිත්‍රපටි නිෂ්පාදන තාක්ෂණයත් ඒ එක්කම අළුත් වෙයි. කවුද දන්නේ.

ඔය ක්‍රමය තවත් දියුණු වෙද්දි අපට පුළුවන් වෙයි චිත්‍රපටියෙ චරිතයක් වෙන්න. ඒ කියන්නෙ කලින් කියපු අථත්‍ය යථාර්ථය හෙවත් සිංහලෙන් වර්චුවල් රියැරිටි වගේ තාක්ෂණේකින්. ඒ වෙද්දි චිත්‍රපටි ඇතුලෙ ප්‍රේක්ෂකයට ආදේශ වෙන්න පුළුවන් විධියෙ විවෘත වුණ චරිත නිර්මාණය වෙයි. තවත් ඉදිරියට යද්දි විත්‍රපටිය විවිධ විකල්ප අවසානයන් කීපයක් තියෙන විධියට නිර්මාණය වෙයි. එක්කෝ දුෂ්ධයා මැරෙයි. නැත්තං කෙල්ල තනි වෙයි. අවශ්‍ය අවසානය තීරණය කිරීම ප්‍රේක්ෂකයට ලැබෙයි. හරියට වීඩියෝ ගේම් එකකදි වගේම චිත්‍රපටියෙ ඇතුලෙදි අපට චිත්‍රපටිය වෙනස් කරන්න අවස්ථාවක් ලැබෙයි. වීඩියෝ ගේම් එකක් ඇතුලෙ වර්චුවල් චරිත රඟපානව වගේ චිත්‍රපටියක් ඇතුලෙත් කීප දෙනෙක්ට වර්චුවල් විධියට රඟපාන්න ලැබෙයි. එහෙම වුණොත් යාළුවො එකතු වුණාම චිත්‍රපටියක සජීවීව රඟපාන්න සෙට් වෙයි. තුන් හතර දෙනෙක් චිත්‍රපටියෙ චරිතවලට ඇතුල් වෙලා චිත්‍රපටියෙ ඇතුලෙ ජීවත් වෙමින් චිත්‍රපටිය රස විඳියි.

මේක මෙහෙම වෙන්නෙ නෑ කියල ඕන තරම් තර්ක ගේන්න පුළුවන්. නමුත් වර්තමානයෙදි ලෝකය ගමන් කරන්නෙ පෞද්ගලික රසවින්දනය පැත්තට. යම් දෙයක වින්දනය හැකි තරම් පෞද්ගලික වෙන විධියට ලබා දෙන්නයි මේ වෙද්දි කටයුතු වෙන්නෙ. මූඩ් එකට ගැලපෙන්න කැමතිම සින්දුව ඉල්ලනව වගේ අනාතගේදි මූඩ් එකට ගැලපෙන්න චිත්‍රපටියත් වෙනස් කරල ඉල්ලුවොත් දෙන්න බඩු තියෙන්න එපැයි ;-)

මෙතනදි මතක් වෙන්නෙ ක්ලාක් මහත්තයගෙ 3001 වීර චාරිකාවෙදි කියවෙන මොළ වැස්ම කියන උපකරණය. මේක තාක්ෂණිකව සහ ජෛව විද්‍යාත්මකව සැබෑ වෙන්න තව සෑහෙන කාලයක් යයි. තාක්ෂණය ගමන් කරන විධිය අනුව අනිවාර්යයයෙන් සැබෑ වෙන්න හැකියාව තියෙනවා. මේකෙ සංකල්පය ගොඩක් සරළයි.

අපි දන්නව අපිට සංවේදන කියල තේරෙන්නෙ මොළය විසින් තේරුම්ගන්න සංඥාවන් කියල. ඇස් වලින්, කන්, නාසය, දිව, ස්පර්ශය කියන ‍භෞතික සංවේදකවලින් ලැබෙන සංඥා ඔස්සේ මොළය තේරුම්ගන්නව ඒ මොකක්ද කියල. මේ සංවේදන අපට විද්‍යුත් පරිපථයකින් ඉලෙක්ට්‍රොනික සංඥා බවට හරවගන්න පුළුවන් නම් අපට ඒකෙන් සෑහෙන්න දෙවල් ටිකක් කරන්න පුළුවන්. මොළ වැස්ම කියල කියන්නෙ මේ වැඩේ කරන උපකරණය. ඒක 3001 වගේ කාලෙ වෙද්දි හැමෝගෙම හිසේ හමට යටින් හිස් කබල මත තැන්පත් කරන පරිපථ ගොඩක් තියෙන තුනී හෙල්මට් එකක් වගේ එකක් කියල හිතමු. ඒකෙන් විහිදෙන ඉලෙක්ට්‍රෝඩ මොළයේ සංවේදන තේරුම්ගන්න සෛල දක්වා දිවෙනවා. ඒකෙන් මොළයෙන් නිකුත් කරන සංඥා විද්‍යුත් තරංග බවටත්, විද්‍යුත් තරංග මොළයෙන් තේරුම්ගන්න පුළුවන් සංඥා බවටත් පත් කරනව. ඒ වගේම ඒ සංඥා වෙනත් ග්‍රාහකයකට යවන්න පුළුවන් ගුවන් විදුලි පරිපථයකුත් මොළ වැස්මෙ තියෙනවා. සරළවම කිව්වොත් මොළේට කොම්පියුටරයක් හයි කලා වගේ වැඩක්. මේක නිකංම නිකං විද්‍යා ප්‍රබන්ධයක කතාවක් විතරක් නෙවෙයි. මේ දේවල් වර්තමානයෙදි පර්යේෂණ මට්ටමෙන් ක්‍රියාත්මක වෙනව.

මේකෙදි අපි හිතන දේවල් ලියනව හෝ කියනව වෙනුවට ඒව ඉලෙක්ට්‍රොනිකව වෙන තැනකට යවන්න පුළුවන්. ඒ වගේම අපට කියවන්න අවශ්‍ය දෙයක් දෑහින් කියවන්නෙ නැතිව කෙලින්ම මොළයට ඉන්පුට් කරන්න පුළුවන්. ඔයාල මේට්‍රික්ස් චිත්‍රපටිය බලල තියෙනවනං තේරෙයි මේ කියන්නෙ ඒකෙ කියන ට්‍රේනින් ‍ප්‍රෝග්‍රෑම් ලෝඩ් කරන එක නේද කියලා.

චිත්‍රපටි බැලිල්ල මෙතනට සම්බන්ධ වෙන්නෙ එහෙම. ඒ කියන්නෙ තව දුරටත් චිත්‍රපටියට පිටින් ඉඳන් ඒක බලනව වෙනුවට මොළ වැස්ම ඔස්සේ අපට පුළුවන් චිත්‍රපටිය අපේ ඔළුව ඇතුලෙ විකාශය කරවන්න. මෙතනදි වෙන්නෙ අපේ මොළේට චිත්‍රපටියෙ රූප මාලාව පේන්න සලස්වන එක. ඒකට හරියන උපකරණයකුත් එයි. අපට අවශ්‍ය චිත්‍රපටිය අර උපකරණය මගින් ගුවන්විදුලි තරංග ඔස්සේ මොළ වැස්මට ලැබෙන්න සලස්වනවා. මොළ වැස්මෙන් ඒ රූප අපේ මොළයේ තියෙන දෘෂ්‍ය රූප තේරුම්ගන්න සෛල වලට ලබා දෙනවා.

නමුත් මට හිතෙන්නෙ ඒක ඊට වඩා දියුණු වෙයි. අර කලින් කියපු චිත්‍රපටියක් ඇතුලෙ චරිතයකට ආදේශ වෙලා චිත්‍රපටිය විඳින එක මොළ වැස්ම නිසා තවත් ඉදිරියට යයි. ඔන්ලයින් වීඩියෝ ගේම් සෙල්ලං කරනව වගේ අපි යාළුවො එක්ක චිත්‍රපටියෙ චරිතවලට ආදේශ වෙලා චිත්‍රපටි බලයි. ඒක වෙනකල් අපි වගේ උන් (මේ වෙනකල් මේක කියවන උන්) නොහිටියොත් හොඳා නැත්තං අර මත් වෙන ඒව පාවිච්චි කරනව වගේ දවස් ගණන් චිත්‍රපටි අස්සෙ ජීවත් වෙන්න ගනියි. ‍ආර්ථිකේට කොයි තරං පාඩුවක්ද ;-)






_______________________________________________

බෝනස්

All Time 10s කියන යූ ටියුබ් චැනල් එකෙන් ලෝකෙ කාටවත් තවමත් පැහැදිලි උත්තර දීගන්න බැරි වුණ ගැටළු 10ක් ගැන විද්‍යාත්මක පදනමින් කතාකරන්න අවස්ථාවක් අරගෙන. අඩුගානෙ උන්ට ඒ ගැන කතාකරන්න තරං දියුණු කැපෑසිටියක් තිබීම ගැන ඉරිසියාවෙන් මාත් බැලුවා. කැමැත්තෝ ඒක ගිහින් බලත්වා.