මරණයත් අපිට අයිති දෙයක් අපි ඒ ගැන වැඩිය නොහිතා හිටියට.
මරණය ජීවිතයට ගෙන ඒමත් අපේ අයිතියක් කියල හිතුවොත්? ඒ කියන්නෙ මට උවමනා නම් ඕන වෙලාවක මැරෙන්න තියෙන හැකියාව මගේ අයිතියක් කියල හිතුවොත්...
සාමාන්‍යයෙන් මිනිස්සු මරණය ගැන හිතන්නෙ නෑ. හිතුවත් මරණය කියන්නෙත් තමන්ගෙ අයිතියක් විධියට හිතන්න සාමාන්‍යයෙන් මිනිස්සු කැමති නෑ. මරණය මහ භයංකර දෙයක් විධියට කිරුළු පළඳල ඉන්න නිසා මරණය ගැන නොහිතා ඒක ස්කිප් කරල මරණයෙන් පසු තියෙනවාය කියන ජීවිතය සුන්දර කරගන්න උත්සාහ කරන එක තමයි මිනිස්සු කරන්නේ. ඒ මිසක් මරණය කියන්නෙ සුන්දර දෙයක් විධියට දකින්න පුළුවන් මිනිස්සු නැති තරම්. මරණය කියන්නෙ මහ පාපතර වැඩක් කියල තමයි අපට උගන්වන්නෙත්...
ඒත් ජීවිතය ඔය කියන තරම්මත් වටිනවද?
මරණය ගැන සමීප අත්දැකීම් සමුදායකට පස්සෙ ඒ ගැන කියවෙන සුන්දරම චිත්‍රපටියක් බලන්න මට පුළුවන් වුණා. මේක සත්‍ය කතාවක් ඇසුරින් නිර්මාණය වුණ චිත්‍රපටියක්. No country for old men චිත්‍රපටියෙ දුෂ්ඨයාගෙ චරිතයෙන් කලින් හම්බවෙලා තියෙන ඒත් දැනගෙන නොහිටපු Javier Bardemගේ සුපිරි රංගනයක් එක්ක චිත්‍රපටිය පුරාම දැණුනෙ අපූරු සජීවී බවක්...
චිත්‍රපටියෙ නම Mar Adentro හෙවත් ඉංගිරිසියෙන් The Sea Inside. මේක ස්පාඤ්ඤ චිත්‍රපටියක්. IMDBය පැත්තෙ ගිහින් කැරැට්ටුව හොයාගන්න පුළුවන්.
Ramón Sampedro කියන්නෙ තරුණ මසුන් මරන්නෙක්. ඔහු තමන්ගෙ තරුණ කාලෙ ලෝකෙ වටේ රවුම් ගහමින් බොහොම සන්තෝසෙන් ජීවත් වුණ පුද්ගලයෙක්. වයස අවුරුදු 25දි ඔහුට අනතුරක් සිදුවීම නිසා ශරීරයේ බෙල්ලෙන් පහල කොටස අප්‍රාණික වෙනව. සංවේදන නැති වෙලා යනව.
ඇඳටම වෙලා ජීවිතේ ඉතිරි කාලය ගෙවන්න සිද්ධ වෙන ඔහු තමන්ගෙ ජීවිතය නැති කරගන්න උදව් ඉල්ලනව. අතපය අප්‍රාණික නිසා ඔහුට වෙන කෙනෙක්ගෙ සහයෙන් තොරව ජීවිතය අහිමි කරගන්නත් විධියක් නෑ.
ඇඳටම වෙලා ගෙවන රමෝන්ගේ කතාව කියවෙන්නෙ ඔහුට හමු වෙන ගැහැණුන් දෙන්නෙක් එක්ක. එක්කෙනෙක් උත්සාහ කරන්නෙ ජීවිතේ වටිනාකම ඔහුට කියල දෙන්න. අනිත් කෙනා ඔහුගේ මරණය වෙනුවෙන් තියෙන අයිතිය දිනාගන්න ඔහුට උදව් කරන නීතීඥවරියක්. කොහොම නමුත් අවසානෙදි රමෝන් වෙනස්වීම කොහොම වුණත් මේ කාන්තාවන් දෙන්නගෙ ජීවිත රමෝන් නිසා වෙනස් වෙනව.
ජීවිතය තමන් හොඳින් වටහාගත්තු බවත්, ඒ නිසාම ඒක අවසන් කරගන්නත් තමන්ට අයිතියක් තියෙන බවත්, මේව කියන්නෙ තමන්ට පිස්සු නිසා නොවෙන බවත් ලෝකයට කියන්න රමෝන් දරන උත්සාහය වක්‍රව අපිව ප්‍රශ්ණ කරන්නෙ මේ නීතිය කියන එක මොන තරම් නොවටිනා සීමාවක්ද කියන එක ගැනයි. ඒ එක්කම මරණය ගැනත් ජීවිතය ගැනත් අපට ආයෙම හිතන්න ඉඩක් චිත්‍රපටියෙ අවසානෙදි ඉතිරි වෙනව.
සංගීතය ගැන මට ලොකුවට කියන්න බැරි වුණත් අන්තිමේ මම රැපිඩ් ෂෙයා එක්ක ලොකු සෙල්ලමක් කරල මේකෙ සංගීත ඛණ්ඩ ටික බාගත්තා. ඒ සංගීතය දැණෙන්නෙ වෙනස් විධියට. වෙලාවකට තනිකම, පාළුව එක්ක ආයෙත් මුදුනකට යන්න පුළුවන් ඒවත් එක්ක. ඇත්තටම චිත්‍රපටියෙදි Ramón අතපය පණ නැති ඇඳේම ඉන්න පුද්ගලයෙක් වුණාට ඔහුගේ සිතුවිලි වල ප්‍රාණවත් බව සංගීතයෙන් සුන්දරව නිරූපණය වෙනවා. වතාවක් ඔහු ජනේලයෙන් එලියට පියාඹන්නෙ ඔහුව ප්‍රේමයෙන් වෙලපු ඇයව හොයාගෙන. ඒ සුළු මොහොත එකම සංගීතමය ප්‍රමෝදයක්.
අවසානයේ රමෝන් තමන්ගෙ අරමුණ වෙත යනව. ඒ වෙනුවෙන් ඔහු අවුරුදු 28ක් නීතිය එක්ක සටන් කරනව. ඒත් ඔහුට ඒකට ඉඩක් ලැබෙන්නෙ නෑ. අන්තිමේ තමන්ට කිට්ටුම හිතවතුන් කීප දෙනෙක් මාර්ගයෙන් තමන්ගෙ අරමුණ කරා යන්න ඔහු සැලසුම් කරනව. අදාල මිතුරන් කාටවත් වරදක චෝදනාවක් නොඑන විධියට ඔවුන්ව තමන්ගෙ අරමුණ වෙනුවෙන් දායක කරගන්න ඔහුට පුළුවන් වෙනව.
ඔහුගෙ අවසාන වචන වලින් ඔහු ඒ බව කියනව.
නඩුකාරයිනි, දේශපාලන සහ ආගමික බලධරයිනි, ගෞරවය ගැන ඔබ දන්නේ මොනවද? ඔබේ හෘදය සාක්ෂියේ පිලිතුර කුමක් වුණත් මට මේ වැදගත් ජීවිතයක් නෙවෙයි. මට අඩුතරමෙ ගෞරවණීය ලෙස මැරෙන්න උවමනයි. ඔබලාගේ ආයතන වල කම්මැලිකම මාව මහන්සි කරවනව. අද මට අපරාධකාරයෙක් වෙන්න වෙලා තියෙන්නෙ ඒ නිසා. ඔබ දැනගත යුතුයි මගේ මරණය සිදුවෙන ක්‍රියාවලිය අපරාධමය නෙවෙන පුංචි පුංචි ක්‍රියාවන් ගණනාවකින් යුක්ත බව. යාළුවො කීපදෙනෙක්ගෙ උදව්වෙන් ඒව සිද්ධ වෙන්නෙ. ආණ්ඩුව ඔවුන්ට වරද පටවනවනම් ඔවුන්ට හිමි දඬුවම විධියට ඔවුන්ගේ අත් කපාදාන්න කියල මම ඉල්ලනව. මොකද ඔවුන්ගෙ දායකත්වය එපමණයි. මේ ක්‍රියාවලියේ නිර්මාතෘ මමයි.
මම ආසාවෙන් බැළුව. ඕනනම් කෙලින්ම මෙතනින් ගන්න තියෙනව...