Saturday, 2 November 2024

ගුණතිලකයා

 

මං ගලක් වගේ දැඩි මිනිහෙක් කියල හිතං ඉන්න ලෙවල් එක සමහර වෙලාවට දඩහ් ගාල කඩං වැටෙනවා බං. එහෙම වෙලාවලදි දැනෙන එක ඒ වෙලාවට විතරක් අයිති හැඟීමක්. කලින් තිබිලත් නැති ආයෙ එන්නෙත් නැති එකක්.

කවදා හරි අඳුරගෙන කතාවක් දාන්න පුළුවන් නම් හොඳයි කියල හිතෙන එවුන් බොහොම කීප දෙනෙක් තාම මට ඔන්ලයින් හමුවෙනවා. කලින් ටිකක් හිටියා. දැන් කීප දෙනයි. එදා ඉඳන් උන් දිහා බලං ඉද්දි උං තමන්ගෙ අදහස වෙනුවෙන් පෙනී ඉන්නෙ බොක්කෙන්ම කියල දැනෙන්න අරන් තියෙන නිසා තාම මං උං එහෙමම දිගටම ඉඳියි කියල හිතනවා. දැන් එතන තව එකෙක් අඩුයි.

මේක අවුලක්ද, නැද්ද, හරි විදියක් තියෙනවද නැද්ද වගේ ප්‍රශ්න අවුරුදු ගාණකට කලින් තිබුණට මේ සේරම එක ප්‍රවාහයක් වගේ ඇදෙන සමස්ථයක් කියන අදහස තව තවත් ඔප්පු කරන පැතිරුණු මිනිස්සු ඉඳ හිට හමුවෙනවා. සමහර විට හෑෂ් ටැග් එකකින්...

ජීවිතේ වැදගත්ම දේ සන්තෝසෙන් ඉන්න එකයි කියන එක ආයෙ ආයෙත් සපථ වෙනව...

ජීවත් වෙලා ඉද්දි කතා කරන්න තිබුණ ඒවා දැන් කතා කරල වැඩක් නෑ බං... දැනෙන හිස් කම තේරුම්ගන්න වචන අපේ ඩික්ෂනරියෙත් නෑ... 

#suckmydickෂනරි

 

Tuesday, 4 July 2023

කේ.කේ. සමන් කුමාරගේ මාක්ස් ලයිව් ඉන් ශ්‍රී ලංකා පොත ගැන අදහස්


 

ස්පොයිලර්ස් සහිතයි.
පොතේ විවරණයක් නොව, කියවද්දි හිතුන එක එක ඒවායි.

කේ.කේ. සමන් කුමාරගේ පොත් අතරින් මම කියවල තියෙන්නෙ පිණි අහුරක් ඉහිරුණා පොත විතරයි. ඒක 2002/3 කාලෙ විතර අරන් ඒ කාලෙදිම කියවපු එකක්. 2002/3 කියන්නෙ මං දැන් හිතන විදිය ගත්තම ළදරු කාලයක් වගේ කියල දැන් හිතුණ වුණත් සහ ඒ පොත සහමුලින්ම මට තේරුණේ නැතත් මං ඒ පොතට සහ ඒකෙ තිබුණ විවෘත ගතියට ඒ දවස්වලත් කැමති වුණා. ඒත් ඊට පස්සෙ සමන්ගෙ පොතක් මම කියවල නැහැ මේ වෙනකල්. ඒකට හේතුව මම කියවන්නෙක් නොවී හිටපු කාලයක් තිබුණ නිසයි. පොමා ගොර්දයෙව්, දනිලොව් නම් වියෝලා වාදකයා, ඔවුන් යුධ වැදුනේ මව්බිම වෙනුවෙනි පළමු වෙළුම වගේ පොත්වලින් පස්සෙ තමයි මම කියවන එක නතර කළේ. ඔය දෙදාස් මුල් කාලෙදිම. ඒව මට තේරුණේ අසාර්ථක පරිවර්තන විදියට. මොකද පෙරළුෑ නැවුම් පස, සියක් වසක හුදකලාව, ලොලිටා වගේ අති විශිෂ්ට පරිවර්තනයන් කිහිප වරක් කියවලා පරිවර්තනය ඉතාම රසවත්ව කල හැකියි කියල හොඳටම දැනිල තියෙද්දි ඊට වඩා රසයෙන් අඩු පොත් කියවන්න ඉබේම මැලි වුණා. පොත් ගෘප්වල වරින් වර ඉස්මතු වුණ පොත් රැළි ගැන හොඳ අදහසක් මට තිබුණෙ නෑ වගේම ඒවයේ නිතර කතා කරපු ගුරු ගීතය වගේ පොතක් මට නිරස වීම නිසාම පොත් ගෘප්වල නිර්දේශත් මග ඇරලා තමයි හිටියේ. ඒ එක්කම චිත්‍රපටිවලට ඇබ්බැහි වීමත් පොත් කියවන්නෙක් නොවී ඉන්න හේතු වුණා.

වරින් වර පොතක් දෙකක් කියෙව්වත් මං ආයෙත් නිතරම පොත් කියවන්නෙක් වෙන්නෙ දෙදාස් දහ නමයෙන් පස්සෙ. කාර්යාලීය ප්‍රවාහන සේවය නිසා යන එන ගමන් පැයක දෙකක විතර කාලයක් දවසකට කියවන්න පුළුවන් වුණා. දැන් බොහෝ විට මම සමාන්තරව පොත් දෙකක් කියවනවා. හැබැයි දැන් නව කතාවක් කියවන එකෙන් මට ප්‍රහර්ෂයක් දැණෙන්නෙ නැති තරම්. දැන් ගොඩක් වෙලාවට යම් විෂයන් සම්බන්ධයෙන් ලියවුණු පොත් පමණක් කියවීමේ නැඹුරුවක් තමයි තියෙන්නේ. නව කතාවක් කියවන්න ඒක අති විශේෂ එකක් වෙන්නම වෙනවා. එහෙම නැත්තං සංකීර්ණ පොතක් කියෙව්වට පස්සෙ ඔළුවට පොඩි නිදහසක් දෙන්න කියවන සරළ පොතක් විදියට නව කතාවක් තේරෙන්න පුළුවන්. එහෙම සරළ විකල්පයක් විදියට තෝරගත්තත් සමන්ගෙ පොත සංකීරණද සරළද කියන එක පැහැදිළි නෑ.

කොහොම වුණත් පාට්නර් පොත් පෙරේතියක් නිසාම සමන්ගෙ පොත් කීපයක්ම අපේ අල්මාරියේ තිබුණා. මහිලාවංශය ලෝන්ච් එකේදි සමන්ගෙ අත්සනින්ම පොතක් ගන්න පුළුවන් කියල මාව ඇදගෙන ගියේ රචියා. ඒකත් අලුත් පිටම තැන්පත් වෙලා තිබුණා. ගුඩ්රීඩ් එකේ කියවීමට බලාපොරොත්තු වෙන පොත් ලිස්ටෙකට දාගත්ත පොත් එකින් එක කියවන ක්‍රියාවලියෙ හිටියත් සමන්ගෙ පොතක් කියවන්න ඕන කියල හිතෙන්නෙ පොර සන්නස්ගල එක්ක කරපු ඉන්ටවිව් එක ඇහුවට පස්සෙ.

සර්පයාගෙ පොතක් කියන්නෙ වෙනස් අත්දැකීමක් බව මම කියන්න ඕන නැහැ. ඔහුව කියවන්න පටංගන්නෙම මොකක් හරි තව ලේයර් එකක් දෙකක් යටින් තියෙනවද කියන අදහසත් එක්ක. නමුත් එහෙම මහ ලොකු එකකුත් නෑ කියලයි මට දැන් හිතෙන්නේ.

සමහර විට වෙන කෙනෙක්ට 'මාක්ස් ලයිව් ඉන් ශ්‍රී ලංකා' කෙටි කතාවක් වෙන්න පුළුවන්. සර්පයා ඒක අදිනවා සෑහෙන්න ඇදිල්ලක්. හොඳ ලිවිලිකාරයෙක් වෙන්න ඒ හැකියාව ඕන. ඒකෙදි වට පිටාවෙ තියෙන සමහර දේවල් මතු වෙනවා. සමහර ඒවට වදිනවා. සමහර ඒව කුඩු වෙලා විසි වෙනවා.

පොත ඇතුලේ ගලාගෙන යන ගැහැණු පිරිමි සංවාදය ඉවර වෙන එකක් නෙවෙයි. ඒක තමයි මට ඒකෙ තියෙන ආකර්ශනීයම සංවාදය. ඒක අපි කොයි තරම් සංවාද කලත් එක පාර්ශවයකටවත් අනෙක් පාර්ශවය තේරුම් නොයන සංවාදයක්. සංස්කාර සහ ධර්මතා ගැන කතාව අස්සේ යන්න පුලුවන් උපරිමය කොහෙද? සංස්කාර කියන්නෙ අපි නිෂ්පාදනය කරගත්ත තත්වයන් (හදාගත්තුවා) විදියටත්, ධර්මතා කියන්නෙ ස්වභාවයෙන්ම ඇති වී තියෙන තත්වයන් විදියටත් තේරුම් ගත්තොත් ගැහැණියගේ ධර්මතාවයන් තියෙන්නෙ ගැහැණියගේ සංකේත ලෝකයෙනුත් බැහැරින්ද කියන ප්‍රශ්නය එනවා. ඒ කියන්නෙ එයාලත් තාම එයාල කව්ද කියන එක දන්නෙ නෑ.

මේ ඉදිරි අදහස් ටිකට කාලාන්තරයක් තිස්සෙ කියවල තියෙන දේවල් එකතු වෙලා තියෙනවා. ඒ කාලෙ මේ දේවල් කියෙව්වෙ කිසිම තේරුමක් නැතුව. නමුත් කාලාන්තරයක් එක්ක සමාජය අස්සෙ විවිධ ගෑණු පිරිමි ඇසුරු කරද්දි ඒ කියවපු ඒවායින් ඇත්ත කියල තේරෙන දේවල් ටිකක් තියෙනවා. ඉතිං මම මේ කියන්නෙ මට තේරෙණ ටික. කිසිම පර්ෆෙක්ට් අදහසක් ලෝකයේ නැති නිසා වඩා නිවැරදියි කියල මට කල්පනා වෙන දැනුමකින් මේවා අනාගතේදි ප්‍රතිස්ථාපනය වෙන්න පුළුවන්.

අපි දන්නවා අපිට තවත් කෙනෙක්ට යමක් තේරුම් කරවන්න ඒ කෙනා නොදන්න භාෂාවකින් බෑ. අපි කෙනෙක්ට කියනවා "ඔයා එන ඉරිදා උදේ අටට නුගේගොඩ බෝ ගහ ගාවට එන්න" කියලා. ඒක අනිත් කෙනාට තේරුම් යන්න නම් එයා ඔයා කියපු වාක්‍යයේ හැම වචනෙකම ඔයා අදහස් කරපු තේරුම දැනගන්න ඕන. ඒ වචන දෙන්නටම වැටහෙන පොදු වචන සෙට් එකේ තියෙන්න ඕන. එකක් හරි මිස් වුනොත් හමුවීම මඥ්ඥං වෙන්න පුළුවන්. එන ඉරිදා, උදේ අට, නුගේගොඩ, බෝ ගහ කිව්වම වෙන ගහක පටලා නොගැනීම වගේ හේතු ගොඩක් ඒකට තියෙනවා. ඔය ටිකට පොදු අර්ථ ටිකක් තියෙනවා වගේම ඒ අර්ථ ටික එකම තේරුමෙන් ඔයත් එයත් එක වගේම දන්නවා වෙන්න ඕන.

අවකාශයේ අදහස් තියෙනවා. ඒ අදහස්වලට හැමෝටම ඇක්සස් තියෙනවා. භාෂාව කියන ශබ්ද මාලාවලින් ඒ ඒ අදහසට ගැලපෙන වචන නිර්මාණය වෙලා තියෙනවා. ඔයා ඔයාගෙ අදහසට ගැලපෙන වචන ටිකක් අරන් අකුරු විදියට ගලපලා අනිත් කෙනාට පෙන්වනවා. එයත් ඒ අකුරු කියවලා ඒකට අදාල වචනවලට අදාල අදහස අර අවකාශයෙන් තේරුම්ගන්නවා. මේ ක්‍රියාවලියෙදි දෙවෙනි පුද්ගලයාට මොකක් හරි වචනයකට අදාල අදහසට ඇක්සස් නැත්නම් (එයා ඒ වචනේ තේරුම දන්නෙ නැත්නම්) එයාට පණිවිඩය තේරෙන්නෙ නෑ. භාෂාව කියන්නෙ අදහස් ඩිලිවර් කරන ක්‍රමය තමයි. ඒත් අපි කී දෙනෙක් තමන්ගෙ මව් බාසාවවත් හොඳින් ප්‍රගුණ කරල තියෙනවද? ඒ නිසා භාෂාව ගැන දැනුවත්කම අදහසක් ඩිලිවර් කරද්දි ඉතාම වැදගත් වෙනවා. පාර්ශව දෙකකට යමත් තේරෙන්න නම් ඒ දෙන්නටම කොමන් භාෂාවක් තියෙන්නම වෙනවා. ඒ වගේම ඒ කොමන් භාෂාව සහ අදාල පාර්ශව භාවිතා කරන මුල් භාෂා අතර වචනවලට නිශ්චිත තේරුම් තියෙන්නම වෙනවා.

ලෝකයේම පිරිමි සහ ගැහැණු හිතන විධි ගත්තම ඒ ක්‍රම දෙකකට බවත් (ප්‍රධාන ක්‍රම දෙකක් කියලයි හිතන්න වෙන්නේ. ගැහැණු පිරිමි අන්ත දෙකට අයිති ප්‍රධාන ක්‍රම දෙකයි. ඒ දෙක මැද ලොකු පරාසයක භාෂාවල් ඇති), ඒ ක්‍රම එකිනෙකට සංකල්පීය තලයේදිම වෙනස් නිසා ඒවා මොනවද කියල අනිත් පාර්ශවයට තේරුම් කරවන්න පුළුවන් පොදු භාෂාවක් ඕන බවත්, මෑතක් වෙනකල්ම මේකට පොදු භාෂාවක් කියල තියෙන්නෙ පිරිමි භාෂාවම බවත්, ගැහැණු හිතන විධිය මෙහෙමයි කියල පිරිමි විසින් පිරිමි භාෂාවෙන් කියල තියෙන කතා සේරම ඇත්තද කියල අපි ආයෙත් හිතන්න ඕන බවත්, ගැහැණු විසින් තමන්ගෙ භාෂාවෙන් කතා කරන්න පටන් අරන් තියෙන බවත් තමයි මම හිතන්නේ. ඒ ගැන තමයි මේ සත දෙක.

කාන්තාවගේ අතීත භූමිකාව වුණේ පවුල නඩත්තු කරන එක. එයාට තිබුණෙ ගෙදර ඉඳන් දරුවො බලාගන්න එක. පවුල වෙනුවෙන් සම්පත් උත්පාදනය කළේ පිරිමියා. ඒ නිසාම පිරිමියා නිවසෙන් පිට රැඳෙද්දි කාන්තාව රැඳෙන්නෙ නිවස ඇතුලෙ හෝ තවත් කාන්තාවන් එක්ක. මේක බොහෝ දුරට සිද්ධ වුණ අපිට පොදුවෙ පිළිගන්න පුළුවන් ඇත්තක් කියල මම හිතනවා.

ක්‍රමයෙන් ලෝකය කාලය හරහා වර්තමානයට එද්දි අවශ්‍ය වෙන අළුත් දැනුම නිපදවන්න සංවාද පටංගන්නෙ පිරිමින් විසින්. මොකද බොහොමයක් බාහිර අභියෝගවලට මුහුණු දෙන්නෙ පිරිමි. එයාල ඒවට උත්තර හොයනවා. සමහර විට ඒවට ගැහැණිය දායක වෙලා තියෙන්න පුළුවන්. එක අතකට එක පාරම ලෝකය පිරිමියාගේ නිර්මිතයක් කියන එකම අසාධාරණ අදහසක්. ලෝකය වෙනස් කරපු පිරිමින් කී දෙනෙක් කාන්තාවන්ගේ නිසා ඒ දේවල් කලා වෙන්න බැරිද? ඒක වෙනම සංවාදයක්. කොහොම නමුත් ප්‍රධාන වශයෙන් ලෝකයේ අළුත් දැනුම නිපදෙව්වෙ පිරිමියා කියල පිලිගත්තම මේ කතාව ගොඩනගන්න ලේසියි. අපි ඒක උපකල්පනයක් කියලා ගත්තත් පසුව ඒක ඇත්ත වෙන්න හොඳටම ඉඩ තියෙනවා. (කාන්තාවන්ට කිසිම ගෞරවයක් නැති එයාල තමන්ගේ අයිතිය බලපැවැත්වෙන භාණ්ඩ විදියට සලකන තනි තනි පිරිමිත්, සංවිධානත් තාම ලෝකයේ ඉතිරි වෙලත් තියෙනවා. මේ උත්තම පුරුෂත්වය තුල කාන්තාවනුත් කැමති යම් ලිංගික සංකේතකරණයක් තියෙනව වෙන්න පුළුවන්. නමුත් ඒක පෞද්ගලිකයි.) කොහොම නමුත් අළුත් දැනුම පිරිමියා නිපදවද්දි ඒ දැනුම සහ දැනුම ඔස්සේ ලෝකයේ වෙන වෙනස්කම් සිද්ධ වෙන්නෙ පිරිමියාට ඕන විධියට. පිරිමි ඔළුවක් ඇතුලෙ. පිරිමියාගේ ආසාව වෙනුවෙන්. බොහෝ විට නොදැනුවත්වම.

පිරිමියා ඒ විධියට ලෝකය නිර්වචනය කරන වැඩේ කරන අතරෙ එයාලා කාන්තාවවත් ඒ ලෝකයට ඇතුලත් කරනවා. නැතිනම් කාත්තාව මේ වගේ කියල තමන් හිතං ඉන්න ආකෘතිය පොදු එක බවට පත් කරනවා. කාන්තාවට අර්ථ දැක්වීමක් දෙන්නෙ පිරිමියා විසින්. තවමත් අපි කාන්තාව කියල පිලිගන්නෙ පිරිමින් නිර්වචනය කරන කෙනෙක්. ඒක බොහොම වෙලාවට කාත්තාවමත් පිළිගන්නවා. ඒක හැර එයාලට විකල්පයක් නැති තරම්. අපි ලිබරල් කියල කාන්තාවන්ම කියාගන්න අවස්ථාවලදිත් බොහොම වෙලාවට වෙන්නෙ ඇයට නොදැනීම තවත් ලෙවල් එකක පිරිමි අවශ්‍යතාවයක් ඉටු කිරීමක්.

හැබැයි ඒ ඇත්තටම කාන්තාවමද? ඇය හිතන විධියට ඇය කවුද? ඇයගේ ආසාව මොකක්ද? ඒව පැහැදිලි නැති දේවල්. සරලවම ගත්තොත් කාන්තාව පැහැදිලිව නිර්වචනය කරන්න පිරිමි නිර්මාණය කරපු භාෂාවකට බෑ. කාන්තාවගේ සාරය පිරිමි ඔළුවට අහුවෙන්නේ නෑ කියල කියන්නෙම ඇගේ සාරය විස්තර කරන්න පිරිමි භාෂාවකට බැරි නිසා. ඒ නිසාම පිරිමි අපි හිතනව කාත්තාවන්ට සාරයක් නැහැ කියල.

හැබැයි දැන් සියවසක විතර ඉඳන් කාන්තාවන් ක්‍රමයෙන් තමන්ව ප්‍රකාශ කරන්න ඔවුන්ගේම භාෂාවක් නිර්මාණය කරගනිමින් ඉන්නව. ඔවුන් ලෝකය තමන්ගෙ භාෂාවෙන් අර්ථ දක්වාගනිමින් ඉන්නවා. ඒ නිසාම ඇය ස්වාධීන වෙමින්, පිරිමියාගේ බලපෑමෙන් මිදෙමින් ඉන්නවා. මේ අර කලින් කියපු ලිබරල් එක නෙවෙයි.

බුකියෙ කීප වරක් ෂෙයා වෙනව දැකපු පෝස්ට් එකක් තියෙනවා.

'පිරිමින්ට මුදල් ලැබුණු විට ඔහු තම ගැහැණියට උපරිමයෙන් සලකයි
ගැහැණුන්ට මුදල් ලැබුණු විට පිරිමියකු අවශ්‍ය නොවන බව ඇයට වැටහෙයි'

මේක බොහෝ දුරට ඇත්ත. ප්‍රශ්නය තමයි මේක දිහා අපි බලන්නෙ ශිෂ්ටාචාරය පුරාම ගොඩනගාගෙන ආපු පිරිමි දැණුමින් වීම. ඒ නිසා මෙහෙම වෙන එක වස වැරැද්දක්ය, සංස්කෘතිය විනාශ වීමක්ය, මිනිස් පැවැත්මට තර්ජනයක්ය වගේ ඒව තමයි එක පාරම කෙනෙක්ගෙ ඔළුවට යන්නේ. නමුත් වැඩේ කියන්නෙ ඔය පෝස්ට් එකේ කියන තත්වය උදාවෙලා තියෙන්නෙ කාත්තාව තමන්ගේ ලෝකය අර්ථ දක්වගන්න පටන් අරන් තිබීම නිසා වීම. ඇය තමන්ගේ වාග් මාලාව අනුව, ඇගේ භාෂාවෙන් ලෝකය අර්ථ දක්වන්න පටන් අරන් තියෙනවා. ඒ ලෝකයේදි ඇයට ඕන මුදල් වෙන්න පුළුවන්. පිරිමි නෙවෙයි වෙන්න පුළුවන්. මුදල් කියන්නෙ මේ යුගයේදි ගැහැණු පිරිමි බේදයකින් තොරව යම් ආකාරයක සතුටක් ලබාගන්න පුළුවන් ක්‍රමයක්. එහෙම නෙවෙයි කියන අය වෙනස් කරන්න පුළුවන් මුදලේ ප්‍රමාණය මත. ඔබට ඕනෑ අසීමිතව මුදල්ද නැත්නම් ඔබටම ගැලපෙන කාන්තාවක්ද කියන ප්‍රශ්ණය ආවොත් ඔබ දෙන උත්තරය මොකක්ද?

කාන්තාවගේ පරම අරමුණ පිරිමියෙකුගේ ආදරය හරි මොකක් හරි ලැබීම කියන එක පිරිමි ඔළුවේ අදහසක්. ඒක කාන්තාවගේ අදහස විය යුතුම නෑ. ඉතිං පිරිමියා පිළිබඳව කාන්තාව තුල තියෙන අදහස වෙනස් වෙමින් තියෙනවා. ඉතිහාසය පුරාම කාන්තාව මත පටවපු පිරිමි බලය දැන් ගිලිහෙමින් තියෙනවා. ඒකට ප්‍රතිචාර දක්වන්නත් අනිත් පැත්තට තල්ලු කරන්නත් ඇය පටන් අරන් තියෙනවා. ඇය ස්වාධීන ජීවියෙක් වෙන්න පටන් අරන් ඇයට ඕන විධියට ඇගේ ලෝකයට අර්ථ දෙමින් තියෙනවා.

මේ නිසාම මානව සම්බන්ධතාවල විලාසය ඉදිරි අඩ සියවස වගේ කාලය ඇතුලත රුදුරු විදියට වෙනස් වෙන්න නියමිතයි. රුදුරු කියල කියන්නෙ අපි උපකල්පනය නොකරන විදියකට. ඒකෙදි අපි අද උත්තම තත්වයන්වල තියල සලකන සංස්කෘතිකමය දේවල් උඩු යටිකුරු වෙන්න ඉඩ තියෙනවා.

ඒ වෙද්දි ගැහැණියගේ භාෂාව තේරුම්ගන්න පිරිමියාට පුළුවන් වෙයි කියල අපට හිතන්න වෙනවා. මොකද මේ වෙද්දි ඒ භාෂාව තේරෙන්නෙ නැහැ පිරිමින්ට. ඒ නිසාම මේ කාලෙ කාන්තාව තමන්ගේ භාෂාවෙන් ඇමතුවම හෝ ක්‍රියා කලාම පිරිමි ගල් වෙනවා. මැරෙන්න යනවා සමහර විට යක්කු වෙනවා. මැරෙන තුරාවට ඔබව පතාගෙන කියලා ටැටූ ගහනවා. තමන්ව අතෑරපු කෙල්ලව හොයන් ගිහින් කරදර කරනවා. මරන්න වුණත් පෙළඹෙනවා. ඒ අර පිරිමි ආධිපත්‍ය අභියෝගයට ලක් වීම නිසයි. කාන්තාව තමන්ට යටත්ව ඉන්න ඕන කියල හිතන පරණ පිරිමි ගතිය නිසයි. දැන් ටික ටික මේ ධ්‍රැව මාරු වෙන්න අරන්. සමහර රටවල මේක අනිත් පැත්තටත් ගිහින් ගැහැණු තනියෙන් ඉන්න උත්සාහ කරද්දි පිරිමි අය ජීවිත කාලෙම එකට ඉන්න ගැහැණු හොයන් ආසියාවට එනවා කියලා අපේ මස්සිනා බන්දුෂා ළඟදි පාට්නර්ට කියල තිබුණා. එහෙම මාරු වෙන්න පුළුවන් ඉතිං. කොහොම නමුත් ඉදිරියේදී යම් කාලෙක මේක සෑහෙන්න සමතුලිත වෙයි. සමාජයේ සාරධර්ම කියන ඒවා වෙනස් වෙයි. වෙනස් වීම නතර වෙන එකකුත් නෑ ඉතිං.

සමන්ගෙ පොතේ ඔය ධර්ම කතිකාව ඇති වෙන්නෙත් ඒ අවුල විසඳගන්න ඕන නිසයි. තවමත් මම කියවල තියෙන සහ සමාජය තුල ප්‍රදර්ශනය වෙන තත්වයන් මත තීරණය කළොත් කාන්තාවන්වත් එයාලගෙ භාෂාව හරියට අඳුරගෙන නෑ. ඒක නිසා අපි පොදුවේ කියන්නේ කාන්තාවගේ ආසාව එයාලවත් දන්නෙ නෑ කියල. මම හිතන්නෙ එයාලගේ ආසාව තේරුම්ගන්න ඕන කරන භාෂාව පිරිමි විසින් නිර්මාණය කරල නෑ. ඒ නිසා පිරිමි භාෂාවක් ඇතුලේ ගැහැණුන්ගෙ ආසාව විස්තර කරන්න වචන නෑ. ඒ වචන පිරිමින්ට හදන්න බෑ. ඒත් මේ වෙනකොට වෙනස ආරම්භ වෙලා තියෙනවා. භාෂාවෙන් කෙසේ වෙතත් ක්‍රියාවන්වලින් ගැහැණිය පිරිමියාගේ ග්‍රහණයෙන් මිදෙමින් ඉන්නවා. ඒ්ක භාෂාවෙන් තේරුම් ගන්න අපට සෑහෙන්න කාලයක් යයි.

පොතේ ඡේද අස්සේ යටින් උඩින් සහ සමාන්තරව යන කොමඩික් ෆීලිං එක තමයි පොතට මාව රඳවපු සාධකය. ඒක හිනාව හාස්‍යය නෙවෙයි. බකස් ගාල ගිහින් ඉවර වෙන හිනාවකට වඩා කට කොනකට නැගෙන මන්දස්මිතියක් සෑහෙන්න කාලයක් රඳවල තියන හාස්‍යයක්. උපහාසයක් අපහාසයක් සේරම එකතු වුන හැඟීමක්. ලංකාවෙ ස්ටෑන්ඩ් අප් කොමඩිවලට හිනා යන්නෙ නෑ කියන මිනිස්සු ගොඩකට මේ වැඩේ කොහොම තේරෙයිද කියන අවුල මට ආවා ඉතිං. එයාල කොහොමත් සමන්ව කියවනව වෙන්න බෑ.

පොතක් කියවීම කියන්නෙ ගනු දෙනුවක්. පොත කියවීම සඳහා සන්තක කරගැනීමට දරණ වියදම හෝ වෑයම, කියවන්න වැය කරන කාලය වගේ දේවලට සාපේක්ෂව පොත විසින් කියවන්නාට යමක් ලබා දෙන්න ඕන. ඒක සංතෘෂ්ටියක්, දුකක් ආදී වෙන් කරගන්න පුළුවන් ඕනම හැඟීමක් හෝ කීපයක් වෙන්න පුලුවන්. මේ පොතෙන් දැනෙන එකට එහෙම වචන නෑ. මංමුලා වෙලා යාම කිව්වොත් සමහර විට හරි ඇති. හැබැයි රෑ වෙනකල් හිටියොත් එළියක් හොයාගන්න පුළුවන්. හදිසි නම් ගහකට නගින්න පුළුවන්. ඒ දෙකටම ඔබට පුහුණුවක් ඕන.

අපිට ඇත්තක් ඕන. පට්ට ඇත්ත කතා ජනප්‍රියයි. ඒත් ඇත්තත් සිහිනයක් අතර සිද්ද වෙන ගනුදෙනු ටික වෙනුවෙන් ඉඩක් ඕන. ඒක උවමනා කෙනෙක්ට පොත හොඳට සෙට් වෙන්න පුළුවන්.

අපි දකිනවා සමහර විචාරවලදිත්, බුකි හෑලිවලත් සමහර අය වටේ යනවා. සර්වජන ෆේස්බුක් එකේ සමහර හෑලිවල තියෙන්නෙ "මම මේ වටේ යන්නේ. මැද මාර එකක් තියෙනවා. ඒක මං දන්නවා හැබැයි කියන්නෙ නෑ" වගේ එකක්.

ඇත්තම ඇත්ත හේතුව එයාලා මැද තියෙන එක මොකක්ද කියලා නොදන්න එක වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඇත්තටම මැද කිසි දෙයක් නැති වීම. මැද තියෙනවා කියන එකත් නිශ්චිත නෑ. ඒ නිසා අපට තියෙන්නෙ තම තමන්ගේ භාෂා සහ අවබෝධතා ලෝකවල ඉඳන් මැද තියෙන යමක් තේරුම් ගන්න දරණ උත්සාහ කිරීම විතරයි. මැද හෙණ එකක් තියෙනවා කියල ලොකු හෑල්ලක් ලියාගෙන එද්දිම අපි තේරුම් ගන්න ඕන දේ තමයි ගොඩක් වෙලාවට එයා දන්න ලබ්බක් නෑ කියන එක. ලියන හෝ කියන මනුස්සයා ගොඩනගන්න හිතලවත් නොතිබුණ ඇත්තක් හෝ යථාර්ථයක් කියවන්නා විසින් හොයන්න යන එක තේරුමක් ඇති වැඩක් නෙවෙයි.

අමතර -
අලියාගේ වෘෂණ කෝෂ හිසේ පිහිටා ඇති බව සහ අලියාට අලි කන් ඇත්තේ ඒවා සිසිල් කිරීම සඳහා පවන් සැලීමට බව සමන් ලියා ඇතත් ඒ කතාව බොරුවකි. එය සමන් සිතා මතා ලිව්වා වන්නටද බැරි නැත. වෘෂණ ශරීර අභ්‍යන්තරයේ ඇති තවත් සතුන් සිටී. ඒත් තවමත් මේ වෘෂණ අලින්ගේ ශරීර අභ්‍යන්තරයේ තිබෙන්නේ ඇයිද යන්න නොවිසඳුණ ගැටළුවකි. සමහරවිට අලි වෘෂණ ශරීර අභ්‍යන්තරයේ පිහිටා ඇත්තෙ ඒවා වෙනත් සිවුපා ක්ෂීරපායීන්ගේ මෙන් බාහිරින් පිහිටා තිබුණොත් අලියා වැනි බරසාර සත්වයෙකුට ඒවා කළමනාකරණය කරගැනීම දුෂ්කර නිසා වන්නට පුළුවන්ය.

Friday, 2 June 2023

සතුටින් ඉන්නෙ කොහොමද?

 

මේක සිය දිවි හානි කරගැනීම ගැන මලී ලියපු ෆේස්බුක් හෑල්ලකට දාපු කමෙන්ට් ඒකක් සහ ඒ්කට ආපු ප්‍රතිපාර්ශවීය පිළිතුරකට ලියපු පිළිතුරක්.

මේ සටහන ගැන මට දැනට හිතෙන දේ මේක. සම්පූර්ණයෙන්ම වැරදි වෙන්න පුළුවන්.

මානසිකව බිඳවැටීම කියන්නෙ සාපේක්ෂව අලුතෙන් ඉස් මතු වෙලා තියෙන ප්‍රශ්නයක් වෙන්න ඕන. මම හිතන්නෙ නෑ එහෙම ප්‍රශ්න අතීතයේදි තිබුණ විධිය ගැන පරීක්ෂණ කරලා තියෙනවා කියලා. අතීතයෙදිත් තියෙන්න ඇති. නමුත් අපේ සමාජ ජීවිත සංකීරණ වීම එක්ක මානසික අවුල් වැඩි වෙලා තියෙනවා කියන එකයි මගේ අදහස.

ඕකෙන් ගැලවිලා ඉන්න නම් සරලවම තමන්ගෙ රසඥතාවය සෑහෙන්න දියුණු කරගන්න ඕන. එහෙම නැත්නම් ඒක නැති කරලම දාලා වර්කොහොලික් වෙන්න ඕන. හිත්වලට එන හිස්කම පුරවන්න පුළුවන් ඔය ක්‍රම දෙකට කියලයි මට හිතෙන්නෙ. රසය දියුණු කෙනෙක්ට ලෝකයේ රස විඳින්න දේවල් ඕන තරම් තියෙනවා. කෑමක් බීමක්, කළා නිර්මාණයක් හෝ බොහොම සුළු දේවල් රස විඳගන්න පුළුවන් නම් හිස්කම ඒව අස්සෙ දිය වෙලා යනවා. වර්කොහොලික් කෙනෙක්ට නම් වැඩ අස්සෙ ඕක දිය කරල දාන්න පුළුවන්.

තමන්ගෙ බලාපොරොත්තු බොහොම සුළු අනාගතයකට සීමා කරගන්න පුළුවන් නම් සෑහෙන්න හොඳයි. ඒකෙන් අදහස් කරන්නෙ නෑ දිග අනාගතයකට ප්ලෑන් කරන්න එපා කියලා. ප්ලෑන් කරන්න. වැඩ කරන්න. බලාපොරොත්තු නොවෙන්න. වෘත්තීයමයව ඇරුණම කාගෙන්වත් මොකවත් බලාපොරොත්තු නොවෙන ගානට එන්න පුළුවන් නම් මරු. අමාරුයි. හැබැයි පුළුවන්.

උදේ නැගිට්ටම මගේ තියෙන ලොකුම බලාපොරෙත්තුව හවස ගෙදර ඇවිත් ගහන සිගරට් එක. රෑ වෙද්දි කැමති එපිසෝඩ් එකක් බලන එක, යූ ටියුබ් සංවාදයක් අහන එක. එතනින් එහා බලාපොරොත්තු කියන ඒවාට වැදගත් කමක් ලැබෙන්නෙ ඒ අවස්ථාව අනුවයි. ඒ බලාපොරොත්තු වෙනුවෙන් වෙන මහන්සිය අපතේ යන්නෑ කියන කාරණය මත විතරයි මංනං බලාපොරොත්තුවක් පස්සෙන් යන්නේ.

සමාජ ජීවියෙක් වෙද්දි ඕනම කෙනෙක් සමාජයෙන් බලාපොරොත්තු වෙනවා පිළිගැනීමක්. ඒ එක්කම තමන් විසින් ළඟා විය යුතු ජීවිත මට්ටමක් ගැන බලාපොරොත්තුවකුත් තියෙනවා. ඒවා නොලැබෙද්දි නොසන්සුන් වෙනවා. සමාජෙත් එක්ක අවම සම්බන්ධ තියාගෙන සමාජටෙ බ.ම්.බු. ගහගන්න කියල ඉන්නත් පුළුවන්. හිතෙන් හදාගත්ත ස්ටෑන්ඩර්ඩ් හිතෙන්ම විනාශ කරල දාන්න පුළුවන්. හිත පොළොව මට්ටමේම තියාගන්න පුළුවන් නම් මරු මම හිතන්නෙ.

මේ කියපු දේවල් බහුතරයකට අදාළ කරගන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඒ නිසා ඉතිං ඔය ඇඟේ කෙමිකල් ටික බැලන්ස් කරගන්න බෙහෙත් බොන එකත් හොඳයි.

සමාජයෙන් එන ප්‍රශ්නයකට සමාජෙන් උත්තර හොයන්න බැරිදත් මන්දා. කොහොම වුණත් මේවට යුනිවර්සල් උත්තර නෑ.

හෑල්ලෙන් හෑල්ල උතුම් හෑල්ලක් වේ.


---------------------

මේකෙන් සෙල්ෆිෂ් වීමක් ගැන නෙවෙයි කියන්නෙ. තමන් තුළ ගොඩනගාගන්න පුළුවන් මානසික තත්වයන් ටිකක් ගැන. ඒකෙන් බලාපොරොත්තු වෙන්නෙ බාහිරින් එන බලපෑම්වලදි නොසැලී ඉන්න හැකියාව ලැබෙන එක. මොකද අපි මොන විදියට හිටියත් බාහිරින් අපට යොමු වෙන බිඳවැටීම්වලට මුහුණ දෙන්න වෙනවා. අපේ හිත ඒවයින් බිඳගන්නෙ නැතුව තියාගන්නෙ කොහොමද කියලයි මම ඔය කියපු එකේදි කල්පනා කරන්නේ. හැබැයි ඒකෙන් කියන්නෙ නෑ හැඟීම් දැනීම් නැති ගල් මිනිහෙක් වෙන්න ඕන කියන එකත්. ඉමෝෂන් එකකදි සංවේදී වෙලා ඒකට ප්‍රතික්‍රියා කරන එක තමයි හොඳම. හැබැයි ඒක පස්සෙ එල්ලිලා ඉන්නෙ නැතුව ඒකෙන් වෙන ලෙඩ හදාගන්නෙ නැතිව ඉන්න පුළුවන් අර දේවල් පුහුණු කළාම. අපි සේරම මේ එක එක තත්වයන්වලදි ස්‍රාවය වන හෝමෝන සහ කෙමිකල්වල වහල්ලු තමයි ඉතිං.

මෙහෙම තත්වයක් ප්‍රගුණ කළා කියලා මිනිහෙක් වගකීම් විරහිත වෙන්නෙ නෑ. ඕන නම් තවත් වගකීම් සහගත වෙයි. එක අතකින් මේකෙන් මිනිහෙක්ට නරුමයෙක් වෙන්නත් පුළුවන් සාන්තුවරයෙක් වෙන්නත් පුළුවන්. ඔය දෙන්නා බවටම පත්වෙන්න පුළුවන් නම් අයිඩියල්. එතකොට තමන් වොරි වෙන්න ඕන සීමා ටික හොඳටම අඳුනගන්න පුළුවන්. ලෝකෙම ප්‍රශ්න තමන්ට දාගන්නවද නැත්තං තමන්ට අදාළ ප්‍රශ්න විතරක් දාගන්නවද කියල එතකොට ෆිල්ටර් කරගන්න පුළුවන්.