Monday, 8 August 2011
සඳ සඳ වගේ වුණාට...
මහරගමින් ඉංගිරියකට ගොඩවී පූජ්‍ය පක්ෂයට අසුන් දෙකකට පසුපසින් අසුන්ගෙන මම හිතේ තිබූ සියල්ල විමධ්‍යගත කොට මදකට හිස් වන්නට තැත් කළෙමි. එහෙත් ගමන දුරයි නම් බසයක් තුල පීදෙන සිතිවිලිද බොහෝය. ඇත්තෙන්ම වැසිකිලියට පසු එසේ සිතිවිලි උපදින එකම අවස්ථාව බසය පමණකි. බසයේ ගමන්ගත් එදා මෙදා තුර විසූ මනෝ විකාරකාරයන් සියල්ලන්ටම මෙන් මටද බසය යනු මනෝ විකාරයකට වැද වල්මත්ව ධ්‍යානගත වීමට තෝතැන්නකි.
බසයේ සිටින මට පෙනෙන සියළු දෙනා මා මෙන්ම තමන්ගේ ලෝක වලය. මා මෙන්ම සියල්ලෝම බුම්මාගෙනය. වචන වලින් දන්නා කිසිදු හැඟීමක සලකුණක්වත් නැත. ඇත්තෙන්ම ඒ සියල්ලන්ගේම මුහුණුවල මට නොපෙණෙනවා මෙන්ම මාගේ මුහුණේද අනෙකෙකුට කිසිදු හැඟීමක් නොපෙනෙනවා විය යුතුය.
අයෙක් කවුළුවෙන් පිටතට දෑස යොමා සිටී. බොහොමයක් දෙනා එක් දිසාවක් දෙස බලාගෙන මා මෙන්ම කල්පනාබරිතවය. ඔවුන්ටද ඇතැම් විට කල්පනා කිරීමට අවකාශ ඇත්තේ බසය තුලදී පමණක් වීමට ඉඩ ඇත. තවත් අයවලුන් කීප දෙනෙක් දුරකථන ඇමතුම්වලය. උන් පමණක් ඇමතුම් තුල සිනාබරිතවය. ඒත් උන්ද ඇමතුම හල ඇසිල්ලෙන් අනෙකුන් මෙන්ම හැඟීම් විරහිත වෙයි. ඒ අතර මට පසෙකින් හුන් දැවැන්ත කයකින් යුත් රළු පුද්ගලයෙක් ඇමතුමකින් අයෙකුට දෙහි කපයි.
ඒ එක් එක් චරිතයන් පිළිබඳ පසුබිම් කතා ගොතන්නට මම නොයමි. ඒත් මාද ඇතුලත් පොදු බස් රිය තුල සැමගේ කතා තුල වැඩි වෙනසක් තිබිය නොහැක. එනම් එකිනෙකා සමග කතා කරන්නට ඕනෑ තරම් දේවල් බසය තුල සිටින සියළු දෙනා සතුව තිබීම අනිවාර්යයකි. ඒත් අපි එසේ කතා නොකරමු. සුපුරුදු බුම්මාගත් විලාසයෙන් වෙසෙමු. එහෙත් ඒ සියල්ලන්ගේ අභ්‍යන්තරය තුල ඔවුන් සියල්ලෝම සුන්දර මිනිසුන් විය යුතුය.
මා කියවන බ්ලොග් තුල සිටින, වෙබ් අවකාශයේ වෙනත් සමාජ මූට්ටු අවකාශයන්හි වෙසෙන සොඳුරු මිනිසුන් මෙන් මෙම බසය තුල සිටින්නන්ද සුන්දර විය යුතුය. පුවත්පතක පිටු කිහිපයකට සීමාවන අපරාධකාර පුවත් මවන්නන්ගෙන් විමුක්තව සිටින අන් සියළු පිටුවලට පුවත් ගෙතූ මිනිසුන් මෙන් සුන්දර විය යුතුය. ඇත්තෙන්ම දන්නා හඳුනන මිතුරු කව තුල මේ සිටින සියළු දෙනා සොඳුරු මිනිසුන් වනවාට සැක නැත. ඒත් පොදු අවකාශයේ ඔවුන් සියල්ලෝම හැඟීම් විරහිත යන්ත්‍ර මෙනි. සියල්ලෝම තමන්නේ සැබෑ සුහදත්වයෙන් පිටස්තරව රවාගත්වනම සිටියි.
මිනිසුන් එසේ හැමකෙකුම සමගම සමාජගතවන්නට උවමනා නැත. කෙසේ කීවත් එය ප්‍රායෝගික නොවන විහිළුවක් පමණි.
එහෙත් අවශ්‍යතාවය අනුව මිතුරන්ද සතුරන්ද චරිත මාරු වීම ස්වභාවිකය. එය පොදු අවකාශයේ අයෙකුගේ පැවැත්ම තහවුරු කරන සාධකයක් ලෙස වටහා ගැනීම මාගේ ගැටළුවක්දැයි මා දන්නෙ නැත. එහෙත් අවශ්‍යතා වෙනුවෙන් බොහෝ මිනිස් සම්බන්ධයන්හි ස්වභාවය වෙනත් ස්වභාවයන් වෙත වෙස් මාරු කරනු මම ඕනෑ තරම් දැක ඇත්තෙමි.
මමද එසේ වර්ණ ගැන්වෙන අයෙක් බව විශේෂණය කරන්නට අවශ්‍ය නැත. එය පොදු අවකාශයේ වර්තමාන ගැලීම විසින් පුද්ගලයෙකුගෙන් බලාපොරොත්තු වන තත්ත්වයකි. අද මා සමග බසයේ එකම අසුනේ බුම්මාගෙන සිටින තැනැත්තාට මාද බුම්මාගෙන සිටියත් හෙට ගණුදෙනුකරුවකු ලෙස මට ඔහුට සිනහවන්නට සිදුවන්නට ඉඩ තිබේ. එය එසේ වීම මාගේ හෝ ඔහුගේ වරදක්ද?
නැත. මම එය සරලවම තත්ත්වයක් ලෙස වටහාගනිමි. මම මා මය. එහෙත් මම වෙනස් ආකාරය.
සැලකිය යුතු කලක පටන් මට කණ්නාඩියෙන්, කලකට පෙර මා දුටු, මා දන්නා රූපය නොපෙනී යාමට පටන්ගෙන ඇත.
සඳ සඳ වගේ
තරු තරු වගේ
මල් මල් වගේ
අපි...
බස් වල යනකොට හිතෙන දේවල් මහා පුදුමාකාරයි. සමහර වෙලාවට බස්වල යන සමහර මිනිස්සුන්ව දැක්කම මට හිතිලා තියනවා අනේ මට අනිත් මිනිස්සුන්ගේ හිත් කියවන්න පුළුවන් වුනානම් කියලා.
ReplyDeleteමම මම වගේ
උන් උන් වගේද?
උන් මං වගේමද?
// ඇත්තෙන්ම වැසිකිලියට පසු එසේ සිතිවිලි උපදින එකම අවස්ථාව බසය පමණකි. //
ReplyDeleteටක්කෙටම වචන ටික !!! මටත් ඔය අවස්ථා දෙකේදි තමයි ඔබ ගොඩක් ‘අහා‘ අයිඩියාස් එන්නේ. අනේ මන්දා ඒ වෙලාවට ඔළුවට එන ඒවා කොහෙන් එනවද කියලා. සමහර වෙලාවට බස් එකේ යන ගමන් මම ෂෝට් ෆිල්ම් හදාගෙන මමම බලනවා. ඔහොම ගිහින් දවස් දෙක තුනක් බස් එකෙන් බහින්නත් අමතක වෙලා තියෙනවා...
අපි අපි වගේ... එත් මම ??? උඹ ???
මටත් හිතෙන්නෙම මට තියෙන ප්‍රශ්න මේ මිනිස්සුන්ට තියෙනවද, නැද්ද කියන ගැටළුවම විතරයි.
ReplyDeleteබස් ගමන් වලදි මට නින්ද යන්නෙ හරිම අඩුවෙන්. කාලයක් මගේ රැකියාව දුශ්කර පලාතක නේ. ගමනාන්තයට කාලය අවම වශයෙන් පැය 6ක්. ඔය දුර යද්දි ජනෙල් කවුළු අතරින් දහසක් දේ පේනව, චරිත විසිතිස් ගානකගෙ හැසිරීම පේනවා. අම්ම, තාත්ත ,පෙම්වතා වගේම තරහකාරයොත් මතක් වෙනව. දවසක් මගෙත් එක්කම බස් එකට නැග්ගා ස්කෝලෙ අයියා කෙනෙක්.
" නංගි නම් නිදා ගන්නෙ නැතුව පරිසර සුන්දරත්වය විඳිනවා නේද? " ගමනාන්තෙදි ඒ අයියා ඇහුවා.
" සුන්දරත්වය කෙසේවෙතත් මාව මෙච්චර ඈතට දාපු එකාගෙ මූණ පේනවද කියලයි මම මේ බලන්නෙ " මට කියවුනා
හරේ වැඩි වැඩියෙන් බස් වල යනවාට මම නම් කැමතියි.
ReplyDeleteබස් වලදි මට ඔයා වගේ හිතන්න වෙලා නම් නෑ. ඒත් මම ඕක හරියටම කරන්නේ බාත් රූම් එකේදි. උදේ පාන්දරට නැගිට්ට ගමන් ෆෝන් එකත් උස්සගෙන ගිහින් පැයක් වගේ බ්ලොග් ටික කියවලා මනෝ ලෝක වල රවුම් ගහලා අන්තිම විනාඩි දහයේ තමයේ නාගන්නේ.
ඔයා කියනවා වගේ අපි හදාගෙන ඉන්න ප්‍රථිරූප බිඳිලා දිය වෙලා යන එක නම් මටත් එහෙමයි. ඒත් මට අනුව නම් මට ආදරේ කරන්න පුළුවන් අගේ කරන්න පුළුවන් අය එකෙක් දෙකෙක් හරි ඉන්නවා. ඒ මදෑ...
anonimas blog eke aluth articleka damme oyada? eka nam niyamai.
ReplyDeleteඉස්සර කාලේ නම් බස් එකේ යන එක ඔය වගේ නිස්සද්ද තත්වයක් තිබුනේ නැහැ. හැමෝම කතාව.. ඉතින් මම ඉස්සෙල්ලම ලංකාවෙන් පිට රටකට ගියාම මට නිකම් පිස්සු වගේ,. අයි බස් වල එකෙක් වත් කතා කරන්නේ නැහැ උන් උන්ගේ වැඩ. එක්කෝ ඔහේ බලාගෙන ඉන්නවා නැත්නම් කියවනවා ඔහොම තමයි මන් ඉතින් හිතුව දියුණු උනාම මේකයි මිනිස්සුන්ට වෙන්නේ කියල. අපේ රට ඉතින් දියුණු වෙන්නේ ආපස්සට නිසා මේ වෙන දෙයක්. වැඩි දෙනෙක් මිනිස්සු ප්‍රශ්නවලින් මිරිකිලා. ඉතින් හිතනවා හිතනවා..
ReplyDeleteහරිම අපූරු හිතුවිල්ලක් ...මමත් එක්ක ඉන්න යාඵවෝ අතරෙත් ඔය විදියට හිතන ඵකෙක් දැකපු ගමන් මම කියන්නෙ..අර සූර පප්පලාගේ `කසාය මුට්ටියට වැටිච්ච් එකෙක්` කියල.
ReplyDeleteඅපිට සාමූහික වෙන්න බෑ වගේම හුදෙකලා වෙන්නත් බෑ ඒකයි ගැටඵව. මේ දෙක අතරෙ දෝලනය වෙන්න බල කෙරෙනව මිනිස් ස්වභාවය විසින්.
ReplyDeleteඉතින් අද බුම්මගෙන ඉන්න දෙන්නෙක් අවශ්‍යතාවය අනුව හෙට සිනාසී කතා කරනව. ඒ එකතු වීම වගේම අර හුදෙකලාවත් අවශ්‍යයි.
මට නම් වෙන්නෙ වෙන දෙයක්.. කොමෙන්ට්ස් වල දාන්න බෑ.. ගොඩක් වල් සිතිවිලි..
ReplyDeleteකාලයක් මමත් බස් වල යනකොට කල්පනා ලොව මල් වනේ ඇති තරම් සැරිසැරුවා.. ඒ නිසා ඔළුව අදහස් වලින් පුරව ගන්නත් පුළුවන් උනා.. ඒත් දැන් නම් බස් එකට නඟින්නේ නිදාගන්න බලාගෙන නිසා ඒ තත්වය නැති වෙලා තියෙන්නේ.. ඒ අතින් ගත්තම බස් වල නිදාගන්නේ නැතුව කල්පනා කරන එක නම් පට්ට ආතල් වැඩක්!
ReplyDeleteඇවිත් කියවල අදහසක් දුන්න හැමෝටම ස්තූතියි... අන්තිමට අපි අපි වගේ.. අතිශය පුද්ගලික වෙනස්වීම්...
ReplyDelete