Saturday, 21 July 2012
ගල් ජීවිතයෙන්...
කාර්යාලයෙ ඉතාම හදිස්සි වැඩක යෙදෙන්න පටන්ගන්නකොටම දුරකථනය සාක්කුව ඇතුලෙ වෙව්ලන්න ගත්තා. මේ වෙලාව ලේසියෙන් කෙනෙක්ට මට සම්බන්ධ වෙන්න පුළුවන් වෙලාවක් නෙවෙයි. ඒත් මේ ඇමතුම කොයිම වෙලාවකදිවත් රිජෙක්ට් කරන්න පුළුවන් එකකකුත් නෙවෙයි. ජීවිතේ ඉතිරිවෙලා තියෙන මනුස්ස සම්බන්ධ කීපය අතරින් එකක් එහා කොනේ තියෙන බව මම දන්න නිසයි ඒ.
හලෝ....
මම ඇමතුමට පිළිතුරු දුන්නා...
උඹ අම්බාණක් වැඩද?
ගනේගොඩ අද නම් තවමත් හොඳ සිහියෙන්...
නෑ නෑ ෂේප්...
ඒ මම කවදත් දෙන උත්තරය. ගනේගොඩ වෙනුවෙන් මම දන්න තරමින් මම ලේසියෙන් බිසි වෙලා නෑ. කොහොමත් ඔහු එහෙම කතා කරන්නෙ මාසෙකට දෙකකට සැරයක් විතරයි...
උඹ බිසි වුණත් කරන්න දෙයක් නෑ බං.. මම දැන් ටිකකට කලින් අම්බාණක් ඇඬුව. මේක දරාගන්න අමාරුයි බං.
ඔහු කියාගෙන ගියා.
ඇයි මොකක්ද වෙලා තියෙන්නෙ?
මුකුත් වෙලා නෑ. දරාගන්න අමාරුයි බං. මේව මං කාටද කියන්නෙ?
මොකද ඉතිං අඬන්න හේතුව?
හේතුවක් නෑ හර්ෂ මට අම්ම මතක් වුණා. චූටි මතක් වුණා. අමරෙගෙ පරණ සින්දු ටික ඇහෙනකොට හිස්ට්‍රියට ගිහින් ඉතිං ඇඬුණ. මේව කියන්න එකෙක් නෑ බං. මිනිස්සුන්ට කවදද මේව තේරෙන්නෙ.
මිනිස්සුන්ට වැඩ තියෙනවනෙ ඉතිං. දරාගන්න වෙනවා.
උඹ කියන්නෙ විකල්පයක් නෑ කියලද? උඹ කවදාවත් එහෙම අඬල නැද්ද?
සෑහෙන්න ඉස්සර. අම්මයි තාත්තයි හින්ද.
උඹ මොකද කළේ ඉතිං.
මං ගල්ගැහුණ ඉතිං. වෙන කරන්න දෙයක් නෑ. ඒ කාලෙ එහෙම ඒව කතා කරන්න තරං ෆිට් මනුස්සයෙක් හිටියෙ නෑනෙ.
දරාගන්න එක තමයි නේද බං සීන් එක? දරාගන්නෙ කොහොමද මචං. ඒකෙත් ඉවරයක් නෑ බං. හැඟීම් දැණෙනව වැඩි වුණාමත් මාර වාතයක්.
දැන් අපි ඉන්න ලෝකෙදි ඒක ලෙඩක්.
මොනව කරන්නද බං.. උඹ එහෙනං වැඩක් කරගනිං.
ළඟපාත දුමක් තියෙනවනං ඉතිං ඔය ෆීලිං එක වාෂ්ප කරල දාන්න... නැත්තං නින්දක් දාල නැගිටින්න.
වෙන කරන්න දෙයක් නෑ බං. මං ගාව රුපියල් දහයක් තිබුණා. ගේ අස්සෙ අවුස්සල බලල ඉතිරි ගාන හොයාගන්න ඕන දුමක් ගේන්න.
හා හා ඕන එකක්. හොයාගන්න බැරි වුණොත් ආයෙත් ඇති තරම් අඬන්න.
දුරකථන සංවාදය සුපුරුදු බායි කීපයකට පස්සෙ නිමා වුණේ හිතේ තැන්පත් වුණ බරක් එක්ක. හැමදාම ඔහුත් එක්ක සංවේදී සංවාදයකින් පස්සෙ මට තනියෙන් හිතන්න ඉතිරි වෙන හැඟීම මට දැණුනෙ කාලෙකින්. ඒ තරමට ඔහුත් මමත් ඈත් වෙන්න අරන්. ඇත්තම කිව්වොත් ජීවිතේ අපි අතර ලොකු ප්‍රතිරෝධයක් ඇති කරලා. එකිනෙකා එක්ක සංවාදෙකට වඩා අදහස් තමන් තුලම ගොනු වෙන තනිකමක් ගොඩනැගිලා.
ජීවිතේ අර්ථදැක්වීම් සෑහෙන්න ප්‍රමාණයක් අළුතෙන් හඳුනාගත්තු මිනිහෙක්ට ආදරේ වෙනුවට මිනිස් සම්බන්ධ වල ගනුදෙනු තේරෙද්දි ජීවිතේ අමාරු වෙන එක සරල ඇත්තක්. ඒ අස්සෙ වටේ තියෙන සීමිත මිනිස් සම්බන්ධතා අස්සෙ තියෙන ආදරේ දැණෙද්දි ඇඬනව තමයි. අඬනව ඇරෙන්න ඒකට වෙන විසඳුමක් නැති තරම්. තමන් අසරණයි නම්, තමන්ට උදව් කරන්න ඉන්න අය ඊටත් වඩා අසරණයි නම් මිනිහෙක්ට වෙන විකල්පයක් නැතුව ඇති.
ජීවිතයත් මරණයත් අතර එක්තරා යුද්ධයක් කරමින් ජීවත් වෙන මනුස්සයෙක් වෙනුවෙන් මට කරන්න පුළුවන් මොකක්ද? හැම මාසෙකදිම ගිගා බයිට් විස්සක තිහක චිත්‍රපටි ටිකක් එක්ක දුම් කූරු හතරක් පහක් විතරක්??? සමහර විට ඔව්. ජීවිතේ වෙනස්වීම් එක්ක එතනින් එහා සංවාද සේරම වචන කීපයකට විතරක් සීමා වෙද්දි, මට ඔහු එක්ක රැඳෙමින් චිත්‍රපටියක් ගැන මොළේ අවුල් කරන සාකච්ඡාවක යෙදෙන්න කාලයක් නැති වෙලා ගිහින්.
එහෙම නැත්තං මුල්ලකින් ඇදල ගන්න 'මම කවුද' කියන උත්තර නැති ප්‍රශ්ණෙ ඔස්සේ හාවගේ ලොම්වලිනුත් මිදිල අභ්‍යවකාශයේ නිමක් නැති එකඟත්වයකුත් නැති සංවාදවල කිමිදෙන්න....
ජීවිතේ සංකීර්ණ වෙලා... හැඟීම් ගල්කරගන්න ඕන වෙලා. අච්චු වලට හැඩගැහුණ ජීවිත අස්සෙ හුරු පුරුදු ඇනුවල් වෙනස්වීම් ඇරුණම කිසිම අහම්බයක් නැතිවීම ඔහුගෙත් මගේත් සිග් සැග් සයිනාකාර ජීවිත ලීනියර් කරන්න අරන්...
උඹ ආයෙ එනකොට එහෙනං අළුත් වස්තු සම්භාරයක් අරන් වරෙන්...
ඔහු හැමදාම සමුගනිද්දි කිව්වෙ එහෙම.
ගිගා බයිට් විස්සක තිහක වස්තු සම්භාරය...
අඩු තරමෙ ඒ වචන කීපය තාමත් අපි සම්පූර්ණයෙන්ම ගල් වෙලා නෑ කියන එකට සාක්ෂියක් වුණා...
මරු....
ReplyDelete"තමන් අසරණයි නම්, තමන්ට උදව් කරන නඉන්න අය ඊටත් වඩා අසරණයි නම් මිනිහෙක්ට වෙන විකල්පයක් නැතුව ඇති"
ReplyDeleteමේ කතාව හරි ඇත්ත හරේෂ්! මා ඊයේ දැනගත් දෙයක් නිසා (මගේ ලඟම ඥාතියෙක් ගැන) මට රෑ නින්ද ගියේ නැහැ. අපටත් ගොඩක් කරදර වෙලා තියනවා. නමුත් මා අහපු දේට සේරම ගල් උනා. නමුත් මට කරන්න දෙයක් නැහැ. සක්කරයටවත් කරන්න දෙයක් නැහැ.
කියන්නට දෙයක් සිහියට නොනැගේ
ReplyDeleteලොකු සුසුමක් පිට උනා !
ReplyDeleteවෙලාව හොයාගන්න පුඵවන් බං වුවමනාව දැඩි වෙන්න ඕනි ඒකට.
ReplyDeleteඅර පරිණාමය වෙන සත්තු වගේ නේද..? වඳවෙන්න බැරි කමට අකමැත්තෙන් හරි වෙනස් වෙනවා...
ReplyDeleteගල් හිත් තියෙන ගල් ජීවිත තමයි යුගයේ අවශ්‍යතාවය... :)
අපි හැමෝම එක විදියකට ගල් ජීවිත ගෙවන්නේ බෝයි.
ReplyDeleteඅනෙකාගේ දුකේදි හැමවෙලේම අපිට පිහිට වෙන්න බෑ. අපිට සමහර දේවල් තේරෙනකොට කල් ගිහින්.
මේ පෝස්ට් එක දැම්ම දවසේ ඉඳං අද වෙනකොට හතර සැරයක් විතර කියෙව්වා. ඒ හැම වෙලේම ලියන්න දෙයක් මතක් උනේ නෑ. මතක් උනේ මේ සිද්ධිය විතරයි... අවුරුද්දකටත් එහා ගිය මතකයක්!
ReplyDeleteප්‍රිය විප්රයෝගය කියන්නේ ලෝක ස්වබාවයක් නේ.මටත් තිබුන ඔය වගේම කාලයක්.දේශපාලනයෙන් පටන් ගන්න කතන්දර ගොඩක් වෙලාවට ඉවර වෙන්නේ අවකාශය කාලය වගේ අවිනිශ්චිතය අනන්ත මාතෘකා වලින් අපිම වික්ෂිප්ත වෙලා. ජීවිතයේ යථාර්තය ගැන කතා කරපු , තර්ක කරපු. කොහෙවත් නැති අමුතුම ලෝකයක් ගැන හීන මවපු එකා වගේ හිටපු එවුන් හැමදේම වගේ කාලෙත් එක්ක ඈත් වෙලා ගිහින්.මම ඇරෙන්න ගොඩ දෙනෙක් , ගොඩක් බිසී වෙලා කොහෙද දුවනවා.සමහරු තාමත් හිතන්නේ ඉස්සර වගේම තමයි.හැබැයි ඒ හිත් වලින් විතරයි.පවතින ක්‍රමය විසින් මිනිස්සු වෙනස් කරන හැටි දැක්කම තමයි ජීවිතේ මහා පුදුමක් කියල හිතෙන්නේ.........
ReplyDeleteඇත්තම කතාව නම් සමහර වෙලාවට ගල් ජීවිත ගෙවනව හැර විකල්පයක් නැති කම...
ReplyDelete