මම ඔහුව දැනගෙන සෑහෙන්න කාලයක් වුණාට ඔහුව දැණෙන්නෙ අවුරුදු 8-9කට විතර කලින්. ඊට පස්සෙ නොනැවතී අද දක්වාම අපේ ඇසුරුකිරීම් අස්සෙ ඔහු මාව වෙනස් කරනව. ටියුන් කරනව. සමහර විට ඒ කිසිම වැඩකට නැති දේවල් උදෙසා වෙන්න පුළුවන් වුණාට ජීවිතේ කොහොමත් ඒ තරම් වැඩකට ඇති එකක් නෙවෙයි. අපියි ඒක වැඩකට ඇති එකක් කරගන්නේ. විශ්ව තියරියක් වෙන "මුකුත් නැති එකට වඩා මොනව හරි තියෙන එක හොඳයි" නිසා.
මට ඔහු කියල දුන්න ලොකුම දේ කිසි දෙයක් ගණන් ගන්න එපා කියන එක. ඒ එක්කම මම නිදහස් විය යුත්තෙ මගෙන්මයි කියන එක. ඒ කතාව ගොඩක් අය දැනගෙන හිටියත් බොහොමයක් දෙනෙක්ට එක පාරම තේරුම් යන එකක් නෙවෙයි. හැබැයි මිනිස්සු අවුරුදු සෑහෙන්න ගාණක් ඒ දේ දැනගෙන හිටියා. දැනුවත්ව හෝ නොදැනුවත්ව ඒ සම්බන්ධ ලොකු දැනුමක් මිනිස්සු අතර විසිරිල තිබුණ. ඒත් ඒ දැනුම පාලනය කරන පිරිස අතින් එක එක කාරණා උඩ ඒව වෙනස් වෙලයි තියෙන්නෙ. ඒ නිසා දැනගත්ත පමණින් වැඩක් ගන්න බැරි ගොඩක් දේ අතරෙ තවත් එකක් විධියට ඒ දැණුම සැඟවිලා ගිහින්. එක අතකට කාලාන්තරයක් පවතිනකොට ඕනෙම දේකට ඒ දේ වෙන එක පුදුමයක් නෙවෙයි.
ඇත්තටම ලෝකයේ ආගම් කියල කියන දේවල් තව දුරටත් මිනිස්සුන්ට විමුක්තිය උදාකරවන දේවල් නෙවෙයි. තමන්ට හිතන්න තියෙන හැකියාව පාවිච්චි කරල ජීවිතේ තේරුම්ගන්න එක ගැන ඉගැන්වීමට වඩා ආගම් වල තියෙන්නෙ වතාවත් කරන එක. පිළිවෙත් රකින එක. ගොඩක් විට ඒ දේවල් සැබෑ අර්ථයට වඩා වෙන වෙන සාධක මත පදනම් වුණ වතාවත්. ඒ නිසා තව දුරටත් ආගම කියන්නෙ මිනිස්සුන්ට වැඩක් ඇති දෙයක් නෙවෙයි. තව තවත් මිනිස්සු අතර බෙදීම් ඇති කරන දෙයක් විතරයි ඒක. පාලකයන්ටත් තමන්ගෙ වාසියට පාවිච්චි කරන්න පුළුවන් මෙවලමක්. ඒත් මිනිස්සුන්ට ආගම ඕන. ඒක වර්තමානයේදි හොඳට හෝ නරකට සමාජයක් තුල තියෙන යම් පාලන ක්‍රමවේදයක්.
ලෝකය යා යුත්තෙ තනි යායක් දෙසට. ඒකෙදි අපි හදාගෙන වෙලිල ඉන්න සීමාවල් ගොඩක් අතාරින්න සිද්ධ වෙන්න පුළුවන්. අපේ සහ මගේ කියන වචන වලට අළුත් තේරුම් හොයාගන්න සිද්ධ වෙන්න පුළුවන්. දැන් ලෝකය තව තවත් බෙදෙමින් පවතින එකක් නිසා ඒක තනි යායක් වීම පේන අනාගතේක සිද්ධ නොවුණත් යම් කාලෙකදි ඒක විය හැකි සත්‍යයක්. බලාපොරොත්තුවක් කියන්නෙ එහෙම එකක්. මුකුත් නැතිවට වඩා මොකක් හරි තියෙන එක හොඳයි.
ඒත් ඒ වෙනුවෙන් සමාගම් අටවගන්නවට වඩා තනි තනි සෙල්ලමක් තුලින් වඩා හොඳ ප්‍රතිපල ලබාගන්න පුළුවන්ද මන්දා. ඒ ගැන ස්ථිරවම කියන්න අමාරුයි. ඔය සංගම් සංස්ථා දැනටත් මිනිස්සුන්ට ලැබිල තියෙන දැණුම වෙනස්වෙන්න බලපාල තියෙන විධියට ඒක හොඳම ක්‍රමය නම් නෙවෙයි. ඒත් ආයෙමත් ඒක මුකුත් නැති තැනකට උවමනා දෙයක්.
මම දැනගෙන හිටපු සළු පෙරවගත්තු බුද්ධ සහ ජේසුස් සහමුලින්ම නිරුවත් කරල ඔවුන් අමු මිනිසුන් බව මට පෙන්නුවේ ඔහු. ඒ විග්රහයත් එක්ක මට බුද්ධ සහ ජේසුස් අළුත් වුණා. ඔවුන්ගේ කතාවේ එකම රටාවල් මට පෙණුනා. ඒත් ඒ ඔවුන් සම්බන්ධයෙන් පමණයි. ඔවුන්ගේ සමාගම් වෙනම එකක්.
ඉතින් මේ සටහන සංගම් වලට විරුද්ධ වුණ දේශකයෙක් වෙනුවෙන්. තමන්ගෙන් තමන්ව ගලවාගැනීම තුල විමුක්තියට පවතින්න සරල අර්ථයක් සපයපු මිතුරා වෙනුවෙන්. ඊයේට (2011-05-11) යෙදුණු ඔහුගේ සමුගැන්මේ තිස් වෙනි සැමරුම් දිනය වෙනුවෙන්. බොබ් මාලේ වෙනුවෙන්. ඔය සැමරීම් ඒ තරම් දේවල් නොවුණට ආයෙමත්......
................
මුකුත් නැතිවට වඩා මොකක් හරි තියෙන එක හොඳයි.
බැලවෙමි මිදුලට බැස.
පුදුමයක් ය!
වෙසක් පහන් වලින් ගලන
සවණක් ගන රැසින් වැසී
පොළොව බෙදූ තාප්ප හා කටු කම්බි ද
මොහොතින් අතුරු දහන් වී ගොසින් ය.
උපුටාගැන්ම: 58 පිටුව, ප්රබුද්ධ, මහගම සේකර
(උපුටාගැනීම - මිලින්දගේ පියසටහන් අඩවියෙන්)
Bob Marley speed painting from Jonathan Olson on Vimeo.
මට හැමදාමත් හිතුනු දෙයක් තමයි ගොඩක් ලාංකීයයෝ බොබ් මාර්ලේව කියවන්නේ කණපිට කියලා. ඒ අස්සේ නාසිසස් ලා බොබ් මාර්ලේ ගේ ගංජා ගැහිල්ල එක්ක බොබ් මාර්ලේගේ අයිඩියෝලොජි එක සමපාත කරන්න උත්සාහ කරනවා.
ReplyDeleteමට විමුක්ති සටන ගැන බොබ් මාර්ලේ ගේ අදහස් සහ ස්ටීව් බිකෝ ගේ අදහස් අතර සමානකම් සෑහෙන්න පේනවා. මාර්ලේ කිවුවේත් සුදු "සිස්ටම්" එක කඩලා දාලා ඒ නටබුන් මතින් කළු "සිස්ටම්" එකක් හදලා වැඩක් නෑ කියලා. බොබ් මාර්ලේ සිහින දැක්කේත් සුදු කළු බේදය නොපවතින, සෑමදෙනෙක්ටම අයත් දෙවියන්ගේ භූමියක් ගැන.
වටිනා සටහනක් හරේ
"They say the sun, shines for all but in some people world, it never shine at all. They
say love is a stream, that will find its course some think life is a dream so they
making matter worse..." ~ Bob marley
බොබ් මාර්ලේ ගැන මම මුලින් ම ආසාවක් ඇතිවෙන්නේ sun is shining එකේ රීමික්ස් එක අහපු දවසේ ඉඳලා. මරුම වැඩේ කියන්නේ හරේෂ් අයියා.., මම එතකොටත් දන්නේ නෑ මේක කියන මනුස්සයා කවුද කියලා.., ඒ අවුරුදු ගාණකට ඉස්සර..,
ReplyDeleteඊට පස්සේ මගේ මතකය ආපහු බොබ්ගේ පැත්තට හැරෙන්නේ මේ ළැඟදි රංගී අක්කා එක්ක මලී ආපු වෙලාවේ මම මලියාගෙන් ඉල්ලා ගත්තු සත්සර විප්ලවවාදියා පොතෙන්.., මම තාමත් අර මගේ ඔලුව හරහා ගිය රූපයයි.., මේ කියවන පොතේ තියෙන රුපයයි සමානද කියලා තවමත් හිතනවා. මොනවා උනත් මම මාර්ලේගේ 30 වන සමරුව වෙනකොට ඒ මනුස්සයාගේ පොතක් මගේ අතේ තියෙන එක එක විදියක coincident එකක්, මට මේ පෝස්ට් එක කියෙව්වම ඔය උඹේ තියෙන out of bound සිතුවිලි වල උප්පත්තියට මේ මනුස්සයාගේ මොකක් හරි දායකත්වයක් තියෙනවා කියලයි මට හිතෙන්නේ..!!
මම හිතනවා බොබ් මාර්ලේගේ සහ ස්ටීව් බිකෝ ගේ අයිඩියෝලොජි අතර ලොකු සමාන කමක් තියෙනවා කියලා. ස්ටීව් බිකෝ විශ්වාස කලේ සුදු මිනිහාගේ "සිස්ටම්" එක සුන් කරලා දාලා ඒ නටඹුන් මත කළු "සිස්ටම්" එකක්ම හදන එක තේරුමක් නැහැ කියලා. ඔහු කතා කලේ කළු විඥානයක් ගැන. බොබ් මාර්ලේ කථා කරන්නේත් සුදු කළු භේදයක් නොපවතින දෙවියන්ගේ දේශයක් ගැන.
ReplyDeleteඋඹ සරලව කදිමට ලියලා තියෙනවා බොබ් මාර්ලේ ගේ වටිනකම ගැන.
Me only have one ambition, y'know. I only have one thing I really like to see happen. I like to see mankind live together - black, white, Chinese, everyone - that's all. ~ Bob Marley
පැතුම්ගෙ අදහසට මාත් එකගයි.මම ස්ටීව් බිකෝ ගැන කියෙව්වෙ බොබ් මාර්ලේ කවුද කියල දැනගන්නත් කලින්.සුනිල් මාධව පරිවර්තනය කරපු "හඩනු මැන නිදහස" පොතෙන්.
ReplyDeleteඊට අවුරුදු ගානකට පස්සෙ බොබ් මාර්ලේගේ buffalo soldiers අහල විස්තර හොයද්දි තමා බොබ් මාර්ලේ ගැන දැනගත්තෙ.ස්ටීව් බිකෝගෙ හීනය උන කළු විඥානය අඩු වැඩි වශයෙන් බොබ් මාර්ලේගේ ගීතවලත් ගැබ්වෙලා තියෙනවා.
කව්රු මොනවිදිහට අර්ථ දැක්වුවත්,ගන්ජ කාරයෙක් පිස්සෙක් කිවුවත් බොබ් මාර්ලේගේ දර්ශනය අපේ ජීවිතවලට ගොඩක් සමීපයි.
ලිෂා - ඔය පොතෙන් නම් බොබ් ගැන අදහසක් ගන්න යන්න එපා. මොකද පොත කරුණු අතින් පෝෂ්‍යදායී වුණාට නිරවද්‍යතාවයක් නැති දින වකවානු කීපයක් මට අහු වුණා. ඒ එක්කම ඒක බොබ්ගෙ දර්ශණය ගැන ඒ තරම් කතා කරන්නෙ නෑ... බොබ් ගැන දැනගන්න ඔහුගේ නිර්මාණ ඇසුරු කිරීම තමයි කල යුත්තේ :D ඔහුගේ පරම්පරාව විසින් ඒ නිර්මාණ රිමික්ස් කිරීමත් එක්ක මුල් සංගීත ඛණ්ඩ වල තිබුණ අර්ථාන්විත සාරවත් බව නම් ටිකක් අඩු වෙලා කියලයි මට හිතෙන්නේ.
ReplyDeleteපැතුම් - ඇත්තටම... ඒකයි මම මේ තනි යායෙ කතාව උඩට ගත්තේ. සුදු සිස්ටම් එක වෙනුවට කළු සිස්ටම් එක කියන්නෙ ලංකාවෙ පක්ෂ දේශපාලනය වගේම අලයක්. මොනව වුණත් සිස්ටම් එක කියන්නෙ දැන් ගැලවෙන්න බැරි තරමටම මිනිස්සු වෙලාගත්තු එකක්. ඒකෙදි සියළු අදහස් අතරින් වඩා සාධාරණ විය හැකි දෙය ක්‍රියාත්මක කිරීමට හැකියාවක් තියෙන දේශපාලනයක් ගොඩනගාගන්න පුළුවන් නම් ඔය සාපේක්ෂ භේද සියල්ලම නැති වෙනව කියල හිතන්න පුළුවන් නේද?
ඇනෝ - ඔහු අළුත් දෙයක් කිව්වෙ නැති තරම්. ඔහු කිව්වෙ ස්වභාව ධර්මය ගැන. එතුල නිදහසේ ජීවත් වීම ගැන. අපට ඒ දේවල් අළුත් සහ වෙනස් වෙන්නෙ අපි ඒ ස්වභාවිකත්වයෙන් වෙනස් වීම නිසා නේද? ඒ කාලෙ බුද්ධ, ජේසුස් වගේ අයටත් මිනිස්සු ඕව කියන්න ඇති.
ඇත්තටම බැලුවොත් ඔහු අළුත් දෙයක් කියලා නෑ.. ඒත් ඇයි අපිට ඒක අළුත් වගේ පේන්නේ. විප්ලව ඔක්කොම ෆේල් වෙන තැන ඔතන මොකද අනික් පැත්ත ගැහුනා කියලා කිව්වාට ආයි ඉස්සරහට වෙන්නේ පරණ කතන්දරේමයි. ප්‍රභාකරන්ලාට අපිට සහ එකී මෙකී නොකී හැමෝටම අහුවෙන්නේ නැත්තේ ඒකයි. සුදු සිස්ටම් එක කුඩු කරලා කළු එකක් ගොඩනැගීමෙන් නැවත කල්ලන්ගෙන් සුද්දොන්ට වෙන්නේ අර පරණ කතාවමයි. ඕක හැමෝටම ගොඩ දාගන්න පුළුවන් සරල සංකල්පයක් ඒත් වැඩේ තියෙන්නේ අපිට ඒක හෙන අළුත් දෙයක් වෙන එක තමා.. ඒ අතින් බොබ් මාලේ ඉස්සරහින් ඉන්නවා. අනික තමා දේශපාලනික මතය කියන එක ගොඩ නගන්න තුවක්කුවම ඕනි නෑ කියලා කියන්න පුළුවන් තවත් හොඳ උදාහරණයක් මට එච්චර ලොකු කියවීමක් බොබ් මාලේ ගැන නෑ ඒත් මගේ පරාසය ඇතුලේ බුවා වීරයෙක්.
ReplyDelete