ඒ දවස්වල මම ගිටාර් එකක් ගත්තෙ මගෙ කතාව ඒකෙන් කියන්න. ගිටාරයක් සහිත පිරිමියෙක් හෝ ගැහැණියක් හැමවෙලේම කියාගන්න කතාවක් තියෙන කෙනෙක් වගෙයි මට දැණෙන්නේ. ඒක අනිත් කිසිම භාණ්ඩයකට වඩා දැණෙන්න තියෙනවා ගිටාර් එකේ. සමහර විට ඒක ඔය එක එක ඉතිහාස කතා සහ වර්තමාන කතා එක්ක මම හදාගත්ත තවත් මනෝ විකාරයක් වෙන්න ඇති.
කොහොමත් මනෝ විකාර ඇත්ත ජීවිතේට වඩා සුන්දරයි. ඒක හුදෙක්ම මගේ ලෝකය තුල පවතින එකක් මිස ඇත්ත එක්ක කිසි සම්බන්ධයක් නෑ. ඒ නිසා ඇත්ත ලෝකෙ ඉන්න පණ්ඩිතයන්ගෙ පඬි වාක්‍යවලින් විනාස නොවී මනෝ විකාරයකට පවතින්න පුළුවන්.
කොහොම හරි ඔය කියපු ගිටාර් එක මම කවදාවත් ඉගෙනගත්තෙ නෑ. ඒක කළු පාට රෙදි බෑග් එකකින් ආවරණය වෙලා තාමත් මගෙ කාමරේ මුල්ලක. එයාට තනියට ඉන්නවා ඒ වගේම කළු බෑග් එකක හිරවුණ බොංගෝ එකක්.
ඔය ගිටාර් එක පිටේ ගැටගහන් මම ඇයව හම්බවෙන්න ගියේ නිවාඩුවක් දාල. ඇත්තම කිව්වොත් දෙන්නම හවස් වරුවෙ දවස් බාගයක් නිවාඩු දාල ඇවිත් හිටියෙ. විහාර මහ දේවි පාක් එක පැත්තට අපි දෙන්න ගියෙ ඇත්තටම යන්න වෙන තැනක් නොතිබුණ නිසාමත් නෙවෙයි. ඒ වෙනකොට මාස කීපයක් විතරක් වයස්ගත වුණ අපේ ආදර කතාව ඇතුලෙ නිදහසේ ආදරේ කරන්න යන්න පුළුවන් ගොඩක් තැන් වල අපි ඒ වෙද්දිත් ගිහින් හිටපු නිසයි. ඒක අපි දෙන්න කතා වෙලා දාගත්තු ගමණක්. ෆිල්ම් හෝල් එකකට ගියොත් දෙන්නම ෆිල්ම් එක බලනව මිස කතාවක් නැති නිසා ඒක හරිගියේ නෑ. ඒ අවට අපට දරාගන්න පුළුවන් ගානකට පැයගානක් කතාකරන්න පුළුවන් අවන්හලක් ගැන අපි දැනගෙන හිටියෙත් නෑ. ඉතිං එදා දවසෙ අපේ විකල්පය වුණේ විහාර මහ දේවි එක.
ඒක ඇතුලෙ අපට ඉඳගන්න තැනක් හොයාගන්න සෑහෙන්න මහන්සි වෙන්න වුණා. ඒකෙ එක කෙලවරක පෙම්කරන අය විතරක් හිටපු පැත්ත දිහා යන්තම් බලල ඒ ගැන හිතෙන් අයින් කරගත්තෙ ඒක බොහොම හිර වෙලා තිබුණ බව පෙනුණ නිසා. ඉඳගන්න බංකුවක් හොයාගන්න බැරිවුණ පෙම් යුවලවල් විතරක් පාක් එක පුරා පාරවල් දිගේ ඉබාගාතෙ ඇවිදිමින් හිටිය. අන්තිමේ කෙලවරක තිබුණ ඉස්සර කුරුල්ලන්ගෙ වැසිකිලියක් වෙලා තිබුණ බංකුවක් පිහිදල අපි ඉඳගත්ත.
ඊට පස්සෙ එයා සින්දුවක් කියන්න ගත්ත. මම ගිටාර් එක ගැහුව. එයාට හරියට සින්දු කියාගන්න බැරි වුණා වගේම මට හරියකට ගිටාර් එක ගහගන්න පුළුවන් වුණෙත් නෑ. සැරින් සැරේ එක එක යුවල ඇවිත් අපි දිහාත් බලල අපි හිටපු බංකුව දිහාත් බලල මූණ බර කරගෙන යන්න ගියා. එක යුවලක් අන්තිමේ වහල තිබුණ ලොකු කුණු බක්කියක ඉඳගත්තා.
අපට වැඩි වෙලාවක් එතන ඉන්න වුණේ නෑ. හවස තුන වෙද්දි ගාඩ් කෙනෙක් ඇවිත් අපට යන්න කිව්වා. අර තැන් තැන් වල තමන්ගෙ ලෝක අස්සෙ හිටපු පෙම්යුවල එක දෙක ඒ තැන් වලින් එලියට ආවා. හවස තුනෙන් පස්සෙ පාක් එක වෙන් වෙන්නෙ පෙම් කරල හෝ නොකරල අන්තිමේ කසාද බැඳල ළමයි හදපු පවුල් වලට. ඒ පවුල්වල ළමයින්ට අපව පේන්න හොඳ නැති නිසා තමයි අපට එලියට යන්න වුණේ. ඔය පාක් එකේ රෑට නිදාගන්නව වයසක සීයල ආච්චිල කීප දෙනෙක්. ඒ අය දවල්ට ඔය පුංචි වෙළඳාම් කරන අය. පාක් එකේ කාලෙ වෙන්වෙලා තිබුණෙත් ජීවිතේ අනුවද මන්දා.
ඊට පස්සෙ අපි ආවෙ බොරැල්ලට. බත්තරමුල්ලට බස් එක ගන්න අපි වෝඩ් ප්ලේස් එක පැත්තෙ තියෙන උමගට ඇතුල් වුණා. ඒක අස්සෙ අපට පාර වැරදුණා. කොහොමත් දැන්වීමක් නොකියවන මිනිස් පුරුද්ද අපි දෙන්නටම තිබුණ නිසා දෙන්නම එකිනෙකාගෙ අතින් ඇදන් එහෙ මෙහෙ ගියා. ඒක ඇතුලෙ වෙනම ලෝකයක්. පාරවල් කීපයකින් එක මැදකට එකතු වුණ මිනිස්සු එකිනෙකා හරහා වෙන වෙන පැති වලට ගියා. අපි දෙන්න වගේම තවත් දවස විනාස කරගත්තු යුවල ගනණාවක් අස්සෙ අර පාක් එකේ කුණු බක්කියෙ ඉඳගෙන හිටපු යුවලත් අපි දැක්කා. ඒ දෙන්න හිටියෙ අරගලයක. මං වගේම හීනයක් අරන් කොළඹ ඇවිත් නන්නත්තාර වුණ කොල්ලෙක්... පාර හොයාගන්න බැරිව අතරමං වෙන එකටත් වඩා ජීවිතේ අතරමං කරගෙන. අපට වඩා වෙනසක් නෑ වගේ. පුංචි කාලෙ ඉඳන් තිබුණ හීන... අම්මල තාත්තල එක්ක උගන්නපු ගුරුවරුන්ගෙ ඉඳල නෑදෑයො හිතවත්තු හැමෝගෙම හීන... හැමදේම අන්තිමේ ජීවිතේ කටුකත්වය අස්සෙ දියවෙලා ගිහින්. ඒ හීන ඉටු කරවන්න ඉත්තො වෙලා ඇත්ත ජීවිතේ අස්සෙ සෙල්ලමෙන් කැපිල බෝඩ් එකෙන් ඉවත් වෙනකල් අපි ඒ කොටුවට මේ කොටුවට එහෙට මෙහෙට නොනැවතී. එකෙක් දෙන්නෙක් කෙලවරට යද්දි ගොඩක් අය බිමට. දිනන්න යන හරි පාර හොයාගන්න එක එක පාරක් දෙපාරක් වරද්දල හරි බොරැල්ල මංසන්ධියෙදි පාර හොයාගන්නව තරම් ලේසි නෑ. ඒක ඒ වගේ තරගයක්!
ඒ හීන තරග වලින් ගැලවිල ජීවිතේ හොයාගන්න එක ලේසි නෑ වගේම ඒකට අපි උත්සාහ කරන්නෙත් නැති තරම්...
අන්තිමේ ඒක එහෙම තමයි කියල සැනසෙනව ඇරන්න වෙන දෙයක් නෑ. හැමෝම අන්තිමේ මොනව හරි කරමින් ජීවත් වෙනව. ඒ දේවල් අස්සෙ එදිනෙදා දකින, සිද්ධ වෙන මිනිස්සුන්ට වින්නැහියක්ම කරන බෝම්බ කියා සැකකල හැකි බොහෝ දේවල් ගැන සංවේදී වෙන්නෙ කොහොමද?
බත්තරමුල්ලට යන බස් එකේ අපට ඉඳගන්න හම්බ වුණේ තැන් දෙකක. එක ළඟ ඉඳගන්න එක වගේම තැන් දෙකක ඉඳගන්න එකත් ඒ වෙනකොට අපි දෙන්නට ඒ හැටි දෙයක් වුණේ නෑ. අපි දෙන්නම අපි දෙන්නගෙ ලෝක දෙකකට වෙලා වෙන්නෙ ඒ වගේ මොහොතවල. ඒත් දැහැනකට වැටෙමින් හිටපු මම ගැස්සුණේ පැත්තකින් ඇහුණ සද්දයකින්. තරුණ කොල්ලො දෙන්නෙක් අතරෙ තදින් ඇදෙන කතාවක්. පේන විධියට එක කොල්ලෙක් එක්ක හිටපු එයාගෙ ගෑණු ළමයට අනිත් කොල්ල හේත්තුවක් දාල. ඒ අර කුණු බක්කිය උඩ ඉඳගත්තු, බොරැල්ලෙදි ආයෙ හම්බවුණ කපල් එක. පෙම්වතා වීරයට රඟපාන්න අරන්. මට උන් දෙන්නගෙ වලියට වඩා හිතට ඇල්ලුවෙ අර කෙල්ලව. කලින් හරියට දැක්කෙ නෑ. හැඩකාර කෙල්ලක්. කොහොමත් ඔය බස් එකේ ජැක් වදින වර්ගයේ කෙනෙක්. සැබෑවට කරගන්න බැරි වුණත් ඇයව මම ක්ෂණයෙන් නිරුවත් කලා... කතාව අහන අතරෙ මගේ ඇස් දෙකින් එලියට ආපු අත් දෙකකින් මම ඒ කෙල්ලගෙ පහස වින්දා...
කොල්ලො දෙන්නගෙ වලිය ඉවර වුණේ හේත්තුව දාපු කොල්ල කලිසමේ දකුණු කකුල උඩට උස්සල පෙන්නුවට පස්සෙ. මිනිහගෙ දකුණු දණහිස දෙපැත්තෙන්ම සැත්කම් කරපු ලකුණු. ඇහුණ විධියට කලින් ආමි එකේ ඉඳල මිනිහගෙ කකුලට වෙඩි වැදිල. අස්ථිය බිඳිල නිසා ඒකට ප්ලේට් දාල ඇණ හයි කරලලු. බ්රේක් පාරකදි මිනිහ අර පෙම්වතීගෙ ඇඟට නොදැනුවත්වම හේත්තු වෙලා. පෙම්වතාට තද වෙලා තියෙන්නෙ ඒකට. කතාව දැනගත්තට පස්සෙ ඒ ළඟ ඉඳගෙගන හිටපු වෙන කොල්ලෙක් නැගිටල මිනිහට සීට් එක දුන්නා.
බත්තරමුල්ලෙදි අපි දෙන්න ඊළඟ හමුව ගැන පසුව කතාවෙන තීරණය මත දෙපැත්තට වෙන්වුණාට පස්සෙ මම ගත්ත සිගරට් එකක් එක්ක පත්තරයක්. ඒකෙ තියෙනව කෙටිකතාවක්. සිගරට් එක පිටකොටුවෙ ඉඳන් මරදානට එද්දි මම එක හුස්මට ඒක කියෙව්වා.
විජේරත්න හොස්පිටල් එකක කාර්යාලෙ වැඩකරන ලිපිකාරයෙක්. දවස් කීපෙකට කලින් මිනිහගෙ ගෑණි මිනිහට ගෑස් එකක් ගේන්න කියල කිව්වට කලින් දා මිල වැඩි කරපු නිසා සල්ලි මදිවෙලා ගෑස් ගෙනියන්න වෙන්නෙ නෑ. ඒකට තද වෙලා ගෑණි විජේරත්නට ඇඳේදි ගෑස් පෙන්නන්නෙ මිනිහට තමන්ගෙ නිධානෙ පලාතෙවත් එන්න නොදී. ඒක මිනිහට තදින් දැණෙනව. තමන්ගෙ උවමනාව සපල කරගන්න ක්‍රමයක් නැති වෙලා ලතවෙමින් තමයි විජේරත්න ඒ දවස් ගෙවන්නේ. ඉස්පිරිතාලෙදි හැමදාම සිගරට් ගේන්න කඩේට යවන මෝචරියෙ වැඩකරන සුමතිපාල ඕක ගැන විජේරත්නගෙන් අහනව. මිනිහගෙ ප්‍රශ්ණෙ ගැන දුක් වෙන සුමතිපාල විජේරත්නව එක්ක යන්නෙ මෝචරියට. මෝචරියෙ තියෙනව පැය කීපයකට කලින් ගෙනාපු අවුරුදු 20ක විතර කෙල්ලකගෙ මල කඳක්. කලින් ඉඳන්ම මේ කෙරුවාව කරල තිබුණ, ඒ ගැන දැනගෙන හිටපු විජේරත්නට මල කඳක් කියන එක අමතක කරල තමන්ගෙ උවමනාව වෙනුවෙන් සූදානම් වෙන එක ඒ තරම් අමාරු වුණේ නෑ. ඒත් අන්තිමේ වැඩේ ගැස්සිල විජේරත්නට විරුද්ධව නඩුවක් වැටෙනව. විජේරත්නව චූදිතය කරල තියෙද්දි මනෝ ලෝකෙක තනිවෙලා ගෑස් මිල වැඩි කරපු ආණ්ඩුවට වරද පවරන විජේරත්නගෙ ඊළඟ මොහොත ගැන හිතන්න ඉඩක් එක්ක කතාව ඉවර වෙනව. මේක ලියද්දි ඒ ලේඛකය කවුද කියල මගෙ මතකෙට එන්නෙ නෑ. දන්න කෙනෙක් ඉන්නව නම් කියන්න.
අන්තිමේදි නාට්‍යය ඉවර වුණා.
කලම්බෝ කලම්බෝ!
කලම්බෝ කලම්බෝ වී ලව් යූ කලම්බෝ!
දැණෙන කම්පනයක් එක්ක ආයෙත් ඒක බලන්න ඕන කියන අදහස හිතට ආවා. දැකපු දැණුන දේවල් මහත් තොගයක් වුණ නිසා සහ මගේ මතකය අතිශය සුළු එකක් නිසා එක එක ගැන කියන්න තරම් දෙයක් මතකයෙ නෑ. ඒ වුණත් සමස්ථයක් විධියට කොළඹ තුල තියෙන ලංකාවෙ මිනිස්සුන්ගෙ අතරමං වුණ ජීවිතේ, ආදරේ සහ බලාපොරොත්තු ඇතුළු හැමදේම ගැන නාට්‍යයේ තේමාවත් රංගනය සහ සංගීතයත් මාව ඒකට ගැටගහල තියාගන්න සමත් වුණා.
ආයෙ තිබුණොත්, යන්තම් හරි නාට්‍යය පිස්සුවක් තියෙනවනම් හෝ ඒ නැතත් අනිවාර්යයෙන් බලන්න යන්න.
මට වඩා හොඳට මේ පහතින් තියෙන තැන් වල එක එක අය මේක ගැන හොඳට කියල තියෙනව. මේව සහ මගේ සටහන නිසා මොලේ මඥ්ඥං වෙනව වගේ නම් ඒක නාට්‍යය බැලුවම හරි යනවා...
- කලම්බෝ කලම්බෝ..............වී ලව් යූ කලම්බෝ..
- කලම්බෝ කලම්බෝ වී ලව් යූ කලම්බෝ - [By අමිල ගලප්පත්ති]
- කලම්බෝ : මේ ඔබේ මිනී පෙට්ටියේ කතාවයි
- කලම්බෝ කලම්බෝ - අත්‍යාවශ්‍ය පසුවදනක්
- කලම්බෝ කලම්බෝ අයි ලව් යූ.........කලම්බෝ.......
අපරාදේ... මමත් කලම්මෝ කලම්බෝ බලන්න යන්න හිටියේ... ඒත් අමතක වුනා නේ...
ReplyDeleteනාට්‍යනම් බලන්න වෙන්නෙ නෑ.
ReplyDeleteඒත් කොළඹදි කැපිචච ඉත්තො ගැන හොඳට වැටහෙනව අත්දැකීමෙන්ම.
@සෝරෝ - ඒක නම් අපරාදේ... කමක් නෑ ආයෙ තියෙයි. මමත් ආයෙ බලනවා.
ReplyDelete@අවුට් - නාට්‍ය බලන්න මටත් වෙන්නෙ නැති තැනක තමයි තාම මම ඉන්නේ. ඒ වුණාට උපරිම ට්‍රයි එකේ හැමදාම...
නියමම නාට්‍යයක් අයියා. කැම්පස් එකෙත් මේ අවුරුද්දේ මැද ඕක පෙන්නුවා. උපරිමයි
ReplyDeleteමතකය අවදි කළ ලිපියට ද..
ReplyDeleteමේ ගැන ලියූ මගේ ලිපියට දුන් link එකටද ස්තූතියි..
නමුත් link එක වෙනස් විය..
http://thapasgekoloma.blogspot.com/2011/05/blog-post.html