Thursday, 24 March 2011
මගෙ අම්මා සහ ඇගෙ අම්මා | සියළු සත්වයෝ දුප් යන්න
මේ කියන්නට යන සිදුවීම් කීපය මුල් කරගෙන මගෙ අම්මාවත් ඇගෙ අම්මාවත් විග්රහ කරන්නට නොයන මෙන් මුලින් ඔබ සියළු දෙනාගෙන්ම ඉල්ලා සිටිමි.
මුලින් මගෙ අම්මාගේ කතාව කියන්නට උවමනාය.
තාත්තා නැති වූ පසු අම්මාගේ හිත හදන්නට එකී මෙකී නොකී සියළු දෙනා එක එක විජ්ජා යෝජනා කළෝය. කට්ටියක් කියවන්නට සුදුසු එක එක බැරෑරැම් පොත්පත්ද, පත්තරද ගැන කියවීය. මනස ගැන කියවන්නට උපදෙස් දුන්නෝය. නිවන ගැන බරපතල පොත් ගැන කිව්වෝය. අහන්නට හොඳ ධාර්මික ගීත ගැන ගායනා කළෝය. නින්දට යන විට අසන්නට කියා අලවතුරේ බ්‍රෑන්ඩඩ් හොඳ කවි බණ කැසට් නිර්දේශ කළෝය.
හැමෝටම උවමනා වූයේ තාත්තාගෙන් හිස්වූ අම්මාගේ හිතේ ආගම පුරවන්නටය. හාවක් හූවක් නැතිව සියල්ලටම කන් දුන් අම්මා දැන් ඉස්සර ජීවත් වූ ලෙසම ජීවත් වන්නීය. ඇය පන්සලට ගියේ මරණාධාර සමිතියේ රැස්වීමට පමණි. විශේෂයෙන් ඇසූ බණක්ද නැත. ඒත් ඇයගෙන් කාටවත් කරදරයක්ද වූයේ නැත. යහපත්ව ජීවත් වන්නට පන්සලවත් අගමවත් අත්‍යවශ්‍ය නැත කියන කාරණේ ඇයට කියා දී තිබුණේ පන්සලේ පස් නොපෑගූ තාත්තාය.
ඒත් තාත්තාගේ මරණයෙන් තෝන්තු වී සිටි ඇයට ආගමික පුරුදු එන්නත් කිරීමට ඇගේ අම්මා හෙවත් මගේ ආච්චි අම්මා තැත් දැරුවාය. අවසානයේ සීයාගේ මරණයෙන් පසු තමා ප්‍රතිස්ථාපනය වූ අයුරින්ම අම්මාවද සාමාන්‍ය තත්ත්වයට ගෙන ඒමට ආච්චි අම්මා සමත් වූවාය. දැන් අපෙ අම්මා බුදුන්ට පහන තියන්නීය. හවස හයට මල් පූජා කර හඳුන් කූරක්ද දල්වා බුදුන් වඳින්නීය. ආච්චි අම්මා විසින් නිර්දේශ කරනු ලැබූ ගාථා අඩංගු පොත් වහන්සේ ළඟ තබාගෙන එම ගාථා කියවන්නීය. ඇගේ මේ වතාවත් හවස හයේ සිට නොවරදින දෛනික පිළිවෙතක් බවට පත් වී ඇත.
...............................
අපෙ අම්මා බළලුන්ට කැමති නැත. උන් ඇල්ලීමටද කැමති නැත. උන්ගේ ඥාව්වද ඇයට හිරිහැරයකි. බළලුන්ට ආදරය කරන්නට අම්මාට උගන්වන්නට තාත්තා අසමත් වුවත් තාත්තා විසින් නිවසේ ඇති කරන ලද බැළලිය වෙත අම්මා තවමත් කරුණාව දක්වන්නීය.
එම බැළලිය විසින් ප්‍රසූත කරන ලද පැටවුන් දෙදෙනෙක්ද මේ දිනවල අප නිවසේ වෙසෙයි. තවමත් දොට්ටපිලට යාමට උවමනා වූ විට නිවසෙන් එලියට යාමට අසමත් මුන් ගේ හැමතැනම උන්ට රිසි අහු මුළු සුවඳ කරයි. මෙය අම්මාට ඉවසුම් නොදෙන්නකි. නිවසේ වූ බළලුන්ගේ අතිශයින් දුර්ගන්ධ වූ මළ පිරිසිදු කිරීමද, මුත්‍රා පිස දැමීමද ඇය කලේ බළල් පැටවුන්ටද උන්ට කිරි දෙන උන්ගේ මෑණියන්ටද බැණ වදිමින් බව මම දනිමි. එයට තිබූ අකමැත්ත නිසාම ඇය බළලුන් නිවසේ අහුමුළු වෙත, කාමර වෙත ඇදෙනවා දුටු සැණින් ආවේස වී උන් එලවන්නීය. එවිට ඇය උන් හිටිතැන් අමතක වන තරමටම විස්සෝප වන්නීය.
මේ සිදුවීම සිදු වන විට අම්මා සිටියේ නිවසේ බුදු පිළිමය තබා තිබූ වේදිකාව යට කුෂන් එකක් දමා එහි හිඳගෙන ඇගේ දෛනික වන්දනාවේ යෙදෙමිනි. නිහඬ පරිසරය අතරින් ඇයගේ මිමිණීම මට ඇසුණි. බුදු ගෙය අසලම පුටුවක මා සිටියේ කියවමිනි.
එක් වරම අම්මා කෑ ගැසුවාය.
"දු:ප් යන්න"
මම හැරී බැලුවෙමි. අම්මා වහා වන්දනාව නතර කර හුන් තැනින් නැගිට නිවසේ ප්‍රධාන දොර වෙත දිව ගියාය.
"පෙනේද මේකා කරන්න ගිය වැඩේ... මං බලාගෙන හිටියෙ හෙමින් හෙමින් දොර මුල්ලට කිට්ටු කරනව... දැක්කෙ නැත්තං චූ කරනව."
ඇය බළල් පැටවෙක් සෙමෙන් පාදයෙන් තල්ලු කර නිවසෙන් එළියට දැමීය. පසුව නැවත පැමිණ දොහොත් එක්කොට වඳින්නට වූවාය.
...............................
ඇගෙ අම්මාගේ හෙවත් මගේ නැන්දම්මාගේ කතාවේ ප්‍රධාන චරිතය ඇය නොවේය. එසේම සාමාන්‍ය දිනයකදී නම් එම සිදුවීම වැඩි දුර නොසිතාම බැහැර කරන්නට මට හැකියාව තිබෙන්නට ඉඩ තිබුණි. එහෙත් මේ දිනය විශේෂය.
එදා ඇගෙ අම්මාගේ නිවසෙන් පන්සලේ දිවා දානය පිරිනමන දිනයයි. සෑම මසකම කලින් වෙන් කරගත් දිනක ඇය බැතිබර සිතින් පන්සලට දානය පිළියෙල කරන්නීය. ඒ සඳහා සම දායකත්වය සපයන්නේ නැන්දම්මාගේ අල්ලපු ගෙදර මිතුරිය වන කාන්ති නැන්දාය. දෙදෙනා ගජ මිතුරියන් වනවා මෙන්ම මෙවන් දාන මාන ආදී කටයුතු වලදී අන්‍යෝන්‍ය වශයෙන් උදව් පදව් කරගනියි.
මෙදින දානය පිළියෙල කිරීමද දෙදෙනා විසින් සිදු කල අතර ඇය හෙවත් මගේ බිරින්දෑද සහයට ඩැනීවරියක් සේ කටයුතු කළාය. මා සාලයට වී සිටියේ පසුගිය සතියේ පුවත් පත දිගඇරගෙනය. පුවත්පත මත දෑස තිබුණද සවනට වැටුණේ කුස්සියේ වූ කතා බහයි.
තිදෙනා එක්ව අර්තාපල් සුද්ධ කිරීම සඳහා සූදානම් වන හඬ මට ඇසේ...
"අනේ ඕක ඔයාට කරන්න බෑ.. කෝ දෙන්න මම කරන්න. මේව පිළිවෙලට කරන්න එපැයි ඔයා යන්න අර කරපිංච, මිරිස් ටික සෝදල ගන්න..."
නැන්දම්මා තම දියණියට පවසන්නීය.
"අනේ ඒක තමයි දූ... අම්මට දෙන්න ඕක කරන්න. දානෙ දෙන්නනේ..."
කාන්ති නැන්දාද ඇගෙ අම්මාගේ පැත්තේය.
කතාවත් වැඩත් එක දිගට ගලා යයි. මමත් පත්තරේ එකම ඡේදය කියවමින් නිදිමතේ සිටිමි. මගේ නිදිමත බිඳුණේ එක වරම ඔවුන්ගේ කතාව වෙනස් වූ බැවිණි.
"ආනේ මේ.... තෙල් කූඹි ආයෙත් ඇවිත්.... බලන්න කාන්ති අක්කෙ මේ තෙල් කූඹි වගයක් ඇවිත් හරිම කරදරේ"
"කෝ බලන්න.... ආ... "
"කලිනුත් ඇවිත් ඉඳල මම පිහිදාල දැම්මා... දැන් ආයෙත් ඇවිත්... මේ.. මේ... බිත්තිය අයින දිගේ එනවා..."
"ඔය කූඹි පිහිදැම්මට යන්නෙ නෑ... ලාම්පු තෙල් දාන්න ඕන... කෝ ලාම්පු තෙල් තියෙනවද?"
"දූ.. ඔන්න ඔය කෑන් එක දෙන්න නැන්දට..."
"කෝ දෙන්න කෑන් එක... පොල් මුඩ්ඩක් කෝටුවක ගැටගහල ගන්න දුව..."
සැර භූමිතෙල් සුවඳක් සමග ඔවුන්ගේ ජරමරය මට ඇසුණි. සෙමෙන් කුස්සිය වෙත ඇදුණු මා දුටුවේ හිරමණ බංකුව මත නැගී කුස්සියේ එක් බිත්තියක භූමිතෙල් ආලේප කරන කාන්ති නැන්දාය. ඇගෙ අම්මා භූමිතෙල් දැමූ පොල්කටුවක් අල්ලාගෙන සිටින අත ඇය ඉණට දෑත තබාගෙන බලා සිටියාය.
...............................
මේ කතා යුග්මයම අප දෙදෙනා විසින් සාකච්ඡා කර ගන්නා ලද අවසන් තීරණය වූයේ අප දෙදෙනා කෙසේ වෙතත් අවම වශයෙන් අපේ අම්මලා එක බෝට්ටුවේ බවය.
හුදු නිර්මාණයක් පමණි. නම් ගම් මන:කල්පිතයි. සිදුවීම් තුල කතාව මවාපෑම පිණිස යොදාගත් චරිත, අන්තර් සම්බන්ධතා සහ අතිශයෝක්ති සහිතයි.
හපෝ ඔව් වෙනස්කම් ටිකක් තිබුනට මොකෝ, මම නම් හොඳටම දන්න කතාව. හරේ අයියලගේ අම්මව වැඩි දවසක් හම්බෙලා නැහැනේ. ඒ වුනාට ඔයාගේ වයිපරේගේ අම්මවත්, එයාගේ යාලුවාවත් හුඟක් හම්බෙලා තියෙනවනේ. ඇත්ත, කිරි අම්මගේ මස් නොකන මිනිස්සු හරක් වත්තට පැන්නොත් පොලු වලින් කෙලින්නේ. සිල් ගන්න ගියත් ලොකු බත් මුලක්මයි හොයන්නේ. ඔව්වා ඔහොම තමයි; තමුන්ට පාඩු වෙන තැනක් ආවොත් සීලේ කැලේ.
ReplyDeleteහැබැයි අරයව අල ගෙඩියක් සුද්ධ කරගන්න බැරිතරම් පහල තත්වෙකට දාපු එක හරි නෑ.
හරේ මේක ප්‍රබන්ධයක් කිව්වට මේක තමයි ගොඩක් තැන්වල සිද්ධවෙන දේ. ලෝකෙට පේන්න පිංවත් උනාට හදවත් ඇතුලෙන් අපි කවුරු කවුරුත් ඔහොමයි. එහෙමත් නැත්නම් අපි "පිං" වලට දීපු අර්ථකතනයේ කොහේහරි වැරැද්දක් වෙලා.
ReplyDeleteඕකට වැරැද්ද මිනිස්සු තුළ තියෙන්නෙ ආරෝපණය කරපු ආගම් වීමයි. ඒ ආරෝපණය අනුන්ගෙන් ලැබුණ එකක්.
ReplyDeleteඅනෙ මන්දා කවුරු කොහොම කිවුවත් හැමොම ලග ඔය වගෙ ගති පැවතුම් අඩු වැඩියෙන් තියෙනවා...
ReplyDeleteමුචා - හි හි... හොඳ වෙලාවට මේ දවස්වල නෙට් වැඩ නැද්ද කොහෙද... හෙට අනිද්දා සෙට් වෙද්දි මගේ වෙනසක් හෙම දැක්කොත් ගණං ගන්න එපා... ;-)
ReplyDeleteනවම් - මේකයි බං... දැනගෙන කලොත්නෙ කේස් එක... මේවගේ ඒව නොදැනීම දක්වන ප්රතික්රියානේ... :D
අවුට් - සිරාවට. ආගම කියල එකකුත් තියෙනවා. ඒක කරන වෙලාවට ඒක කරනවා. නැති වෙලාවට ඒක අදාල නෑ... ;-)
දිනේෂ් - ඇත්ත. මේක ලිව්වය කියල මටත් ඒකෙන් ගැලවෙන්න බෑ. ප්‍රතිපත්ති කියල ජාතියක් මිනිහෙක්ට තියෙන්න පුළුවන් වුණාට ඒව කැඩෙන වෙලාවල් ගැන සම්පූර්ණ දැණුමම මිනිහෙක්ට ලබාගන්න බෑ නේ.. :D
මේ පිළිබඳව දැනටම කතා කර ඇති නිසා අලුතින් ටයිප් කිරීමට දෙයක් නැත. නමුත් කතාව පෙළගස්වා ඇති ආකාරය අගය කරමි..!!!
ReplyDeleteමලී - කතා කලා? කවුද? කොහෙද? කවදද? කීයටද?
ReplyDelete