Sunday, 12 May 2013
ස්ටාර්ට් ලයින් එක අඳිමුද?
මේක ලියවෙන්න ආසන්නතම හේතුව චාමි විසින් බුකියෙ ෂෙයා කරපු බස්සාගෙ ස්ටේටස් අප්ඩේට් එකක්. බසුතුමා ඒකෙ සෑහෙන්න හිතේ අමාරුවෙන් කතා කරල තිබුණෙ. ඔය හිතේ අමාරුව සංවේදීකම තියෙන, පොළොවෙ ජීවත්වෙන කාටත් තියෙන එකක්. නමුත් ගොඩක් අය ඇහෙන්නෑ පේන්නෑ වගේ ඉන්න නිසා මේ ගැන මෙහෙමවත් කතා කරන්නෙ ඉවසන් ඉන්න බැරිම වුණ මනුස්සයෙක් විතරයි. ඉතිං බස්සගේ ඒ කතාව කියෙව්වම ආතක්පාතක් නැතිව මගේ හිතේ එහෙ මෙහෙ යමින් තිබුණ අදහස් කීපයක් එලියට දාන්න ඒක හොඳ ස්ටාට් එකක් කියල හිතුණා.
මේ වෙන දේවල් බැලුවම කියෙව්වම අපි ජීවත්වෙන සමාජය සීඝ්රයෙන් කඩාවැටෙමින් යනව කියල තේරෙනවා. ඒකට කියන අනිත් වචනෙ පිරිහෙනවය කියන එක. ඕක එක එක විධියට දකින්න පුළුවන්. දියුණුවෙන් දියුණුවට පත් වෙන ඒවත් සමාජෙ තියෙනව. නමුත් ඒකට සාපේක්ෂව මානුෂික වටිනාකම්වලින් අපි දියුණු වෙන්නෙ අනිත් පැත්තට. පත්තරවල, ටීවීවල සහ කටින් කට ආරංචි වෙන අපරාධ හැමතැනම. කෙනෙක් කියයි ඒ කාලෙත් එහෙම තමයි. දැන් ජනමාධ්‍ය දියුණු වෙලා කියලා. ඒ කතාව වැරදි නෑ. නමුත් හරියටම හරිත් නෑ. පහුගිය අවුරුද්ද දෙක ඇතුලත අපි අහන දකින දේවල් සෑහෙන්න වෙනස් වෙලා කියන එක මග අරින්න බැරි ඇත්තක්. අය යුද්දෙ නැතුව පාළුයි සෙට් එක කියනව වගේ යුද්ධෙ අවසන් වීම නිසා ලංකාවට මගහැරුණු කුරිරු ත්‍රාසය නැවත ලබාගන්න තියෙන උවමනාව නිසා උදාවුණ තවත් තත්ත්වයක්ද ඒක?
වැඩේ කියන්නෙ මේ කාලෙ වෙද්දි වෙන කවරදාටත් වඩා ආගමික ප්රබෝධය 'කියන එක' තියෙන්නෙ ගොඩක් ඉදිරියෙන්. මම හිතන්නෙ හැම ආගමකම. නමුත් ඇත්තටම ආගම්වල තියෙන අර්ථයන් මිනිස්සු අතරෙ තියෙනවද කියන ප්‍රශ්ණයට උත්තර නෑ. සාමාන්‍යයෙන් ඕන මිනිහෙක් එක්ක කතා කරද්දි හිතෙන්නෙ 'මූ මාර හොඳ මිනිහෙක්' කියලා. හම්බවෙන හැමෝම වගේ සර්ව සාධාරණයි. අවංකයි. පරාර්ථකාමීයි. නමුත් සමාජයක් විධියට අපි ජීවත්වෙන වටපිටාව එහෙම නැහැ. අවුල කොතනද?
මේ දවස්වල වෙසක් එකට අපේ ඔෆිස් එකෙන් සංවිධානය වෙන සීල ව්‍යාපාරය ඇතුලෙ තියෙන පඩ ෂෝ ටික ගැන වුණ කතාවකදි කෙල්ලෙක් කියපු කතාව වටින්නෙ ඒක කෙල්ලෙක් කියපු නිසාමයි.
'ඉස්සර තමයි සීලෙ තිබුණෙ. ඊට පස්සෙ සීල ව්‍යාපාර තිබුණා. දැන් සීලෙ හැලිල ව්‍යාපාර තමයි තියෙන්නේ.'
පඩ ෂෝ සමාජය කියන එක මේ වෙනකොට සමාජය නම් කරන්න පුළුවන් එක ක්‍රමයක්. පොඩ්ඩක් හිතල බැලුවොත් ඇයි එහෙම කියන්නෙ කියල තේරෙයි.
ඔය සියළු දේවල් අස්සෙ අපේ විශ්වාසයන් සේරම විනාශ වෙනවා. අපි පිළිගත්තු සාරාර්ථ අපේ ජීවිත පෝෂණය කරනවා වෙනුවට අපිට කෙලවනවා. සමහරුන්ට මේක තේරෙනවා. අහිංසක මිනිස්සු ගොඩ දෙනෙක්ට මේක තේරෙන්නෙ නෑ. ගොඩක් කපටි තවත් කොටසක් තේරුණත් තේරෙන්නෙ නෑ වගේ ඉන්නවා. එ් එක්කම අනිත් මිනිස්සුන්ට කොචෝක් දානවා. හැබැයි ඒ අය තමයි පරිණාමිකව ඉදිරියෙන් ඉන්න මිනිස්සු. එයාල ඕන පැත්තට හැරෙන්න පුළුවන් ලැජ්ජාවක් නැති අය. ලැජ්ජාව නැති වීම අද යුගයේ අවශ්‍යතාවයක්.
අපි විතරක් නෙවෙයි. අපෙන් පස්සෙ එන පරම්පරාව, අපේ දරුවො එන්නෙත් මෙහෙම විකාර වුණ සමාජයකට. ඒ නිසා මේක වෙනස් කරන්න අවශ්‍යයි කියන කතාව තමයි බස්ස කියල තිබුණෙ. කතාව ඇත්ත. මේක ගොඩක් පරණ කතාවක්. හැම තිස්සෙම තියෙන සිස්ටම් එක අවුල් තමයි. වඩා හොඳ සිස්ටම් එකක් වෙනුවෙන් අනාදිමත් කාලෙක ඉඳන්ම හීනයක් තියෙනවා. ඒ හීනය ගොඩක් මිනිස්සුන්ව ජීවත් කරල තියෙනව වගේම ඒ හා සමාන මිනිස්සු ටිකක් මරණයට පත් කරලත් තියෙනවා. ඒ හීනය හොඳ මාකට් එකක් තියෙන වෙළඳ භාණ්ඩයක් දැන්.
ටික කාලෙකට කලින් වුණ සෙට් වීමකදි එක යාළුවෙක් කිව්වෙ ඇමරිකාව වගේ රටක් මාර හොඳ ඇති කියලා. ඒ වගේ රටක හිටියනං මෙහෙම අවුලක් වෙන එකක් නෑ කියලා. ඌ එහෙම කිව්වෙ ඒ වගේ රටක ටැලන්ට් එක මාකට් කරන්න තියෙන ඉඩ වැඩි නිසා. ලංකාවෙදි ටැලන්ට් එක කියන්නෙ මිනිහෙක්ට දියුණු වෙන්න තියෙන අවම සාධකය වෙලානෙ තියෙන්නෙ. ගොට්ට ඇල්ලුවොත් තමයි ගොඩ යන්නේ. කොහොම නමුත් මේ වෙනකොට ලෝකෙටම තියෙන්නෙ සහ පොම්ප කරන්නෙ ඇමරිකානු සිහිනයක්. ඉතිං ඇමරිකාව ගැන ඒ දවස්වල මමත් එහෙම හිතුවා. නමුත් ඇත්ත ඒක නෙවෙයි. ඇමරිකාව වගේ දියුණුයි කියල කියන රටවල් තරම් මිනිස්සුන්ව සිස්ටම් එකෙන් පාගන රටවල් තවත් නැහැ. එකම වෙනස ඒ පෑගිල්ල පරම්පරා කීපයක් තිස්සෙ බොහොම සංවිධානාත්මකව වෙන නිසා දැණෙන්නෙ නැතිව ගිහින් තියෙන එක. එහෙම කියන්න මම ඇමරිකාවට ගිහිල්ලවත්, ගියපු කෙනෙක් එක්ක ඒ ගැන කතා කරලවත් නෑ. නමුත් ඇමරිකාවෙන් එලියට එන චිත්‍රපටි අස්සෙ තියෙන අතුරු කතාවල සහ යටින් යන කතාවල ඇමරිකාවෙ හෙළුව ප්‍රදර්ශණය වෙනවා. මම දන්නව චිත්‍රපටි බොරුයි කියල. නමුත් අතුරු කතා බොරු නෙවෙයි.
ඒක කියද්දි මතක් වෙන්නෙ ළඟදි බලපු sirius (2013) වාර්තා චිත්‍රපටිය. ඒක ඇමරිකානු රජයේ රහස් ව්‍යාපෘති ගැන එලිකරන්න කරපු චිත්‍රපටියක්. තේමාව පිටසක්වල ජීවීන්. (මේ ගැන උනන්දු අය අනිවා බලන්න) ඒකෙ එක තැනක කියවෙනව මෙහෙම. ඇමරිකාවෙ තියෙන සල්ලිවලින් 40%ක අයිතිය තියෙන්නෙ 1%ක ජනතාවට. 80%ක ජනතාවට තියෙන්නෙ සල්ලිවලින් 7%ක් විතරයි. ලංකාව වගේමයි නේ...
මට අනුව නම් ඇමරිකාවෙ ගොඩක් ඉන්නෙ ආසාව මියගිය මිනිස්සු. තව දුරටත් උන්ගෙ ජීවිතවල ගන්න දෙයක් නැහැ. උන්ට ජීවත්වෙනව කියල දනවන එකම හැඟීම බය විතරයි. ලෝකෙ වෙන රටකින් ඇවිත් අපට ගහයි කියන බය විතරයි උන්ට හැඟීමක් කියල තියෙන්නේ. එහෙම නොවෙන අය නෑ කියල ඒකෙන් කියවෙන්නෙ නෑ. උන් තමයි මෙහෙ වගේම ලොක්කෝ. අර කති බොති සුඛති ඩයල් ටික. හැබැයි ජීවිතේ කියන්නෙ ඒකමද? ඔයාලත් හඳට ගල් විසි කරනවද?
ඉතිං අපි ලංකාවෙ සිස්ටම් එක වෙනස් කරන්නෙ ඇමරිකාව ටාගට් කරගෙන නම් ඒකෙ කිසි තේරුමක් නෑ. ඇමරිකාව ලංකාවට වඩා සාටර්. නමුත් වැඩේ කොතනින් හරි පටන් ගන්න ඕන. කොතනින්ද පටන්ගන්නේ.
මට හිතෙන්නෙ අධ්‍යාපනය කියලා. මිනිස්සුන්ව වගේම ළමයින්ව දැනුවත් කරන්න අවශ්‍යයි. මේ ගැන නදීක ජයවර්ධන පහුගිය දවසක misic.lk එකෙන් කරපු google hangout එකේදි කතා කලා. එයා කතා කලේ සංගීතෙට අදාලව විතරක් වුණාට ඒ කියපු කතාව සමස්ථ සමාජයේම ගැටළුවලට උත්තරයක් දෙනවා. මිනිස්සුන්ව දැනුවත් කරන්න අවශ්‍යයි. මිනිස්සුන්ට දැක්මක් අවශ්‍යයි. ඒ දැක්ම ලබා දෙන්න තිබුණ ක්‍රම සේරම විනාශ වෙලා තියෙද්දි කොහොමද ආයෙත් පටංගන්නෙ කියන එකයි ඉතිරි වෙන ප්‍රශ්ණය.
මම හිතන්නෙ සමාජය තුල ලෝකය ගැන මිනිස්සු ගැන තියෙන දැණුම අල්ප වීම ලොකු අවුලක්. මිනිස්සු ඉන්නෙ ළිං මැඩියො වගේ. ළමයි ගැන කතා කරල වැඩක් නෑ. ඒකට ප්‍රධාන හේතුවක් වෙන්නෙ කියවීම අඩු වීම කියලයි මට හිතෙන්නේ. හැබැයි කියවනව කියල කියවන්නෙ පත්තර විතරක් වීමත් අවුලක්. එකෙන් වෙන්නෙ අවුලෙන් අවුලට පත්වීම. සාහිත්‍යය නැති වීම ලොකුම අවුලක්. ඉස්සර පොත්පත් කියවන මිනිස්සු හිටපු කාලෙක ළමයි විධියට අපි මුහුණ දීපු සමාජය මීට වඩා හොඳයි කියන කතාව ඕන කෙනෙක් කියයි. දැන් කියවීමේ මාධ්‍යයන් පොත්වල ඉඳන් වඩා දියුණු ක්‍රමවලට මාරු වෙලා තියෙනවා. තවමත් මිනිස්සු කියවනවා. කියවන්නෙ මොනවද කියන එකෙයි අවුල තියෙන්නෙ. ඕන කෙනෙක්ට ඕන දෙයක් ලියන්න පුළුවන් තරම් සමාජය ලිබරල් වෙලා තියෙද්දි ඒ ගැන පැත්තක ඉඳන් බයිල ගහන එකත් තේරුමක් ඇති වැඩක් නෙවෙයි. අනික මොන සාහිත්‍යය කියෙව්වත් ඇඟට ගන්නෙ නැත්තං ඇති වැඩක් නැහැ. බුද්ධියක් වැඩෙන්නෙ නැහැ. දැනුම සහ බුද්ධිය කියන්නෙ දෙකක්. (knowledge and intelligence) ඕන තරං දැනුම තියෙන උන් හොයාගන්න පුළුවන්. හැබැයි ජීවිතේ සම්බන්ධයෙන් ක්‍රියා කරද්දි තමයි තේරෙන්නෙ උන්ට බුද්ධිය නෑ කියලා. දැන් දැන් එදිනෙදා හම්බවෙන මිනිස්සු අතරෙනං 'සිහි බුද්ධිය' නැති උනුත් සෑහෙන්න ඉන්නවා.
අනිත් කාරණේ දැනුවත් කිරීම. දැනුවත් කරල මිනිස්සුන්ව වෙනස් කරන්න පුළුවන්ද? මේක ටිකක් අවුල් සහගතයි. දැනුවත් කිරීම අවශ්‍යයි කියල මම ම කලින් කිව්වත් මට හිතෙන්නෙ දැනුවත් කිරීම මේ වෙනකොට අසාර්ථක වැඩක් කියල. මොකද සමාජයෙ ඉන්නෙ සියල්ල දත් මිනිස්සු. එහෙම උන් දැනුවත් කරන්න යද්දි උන් අහනව ‘ඇයි අවුල්ද’ කියලා. විෂය ගැන ඉගෙනගෙන එන්න කියල කියනවා සෑහෙන්න විධග්ග විධියට. ඉතිං දැනුවත් කරන්නෙ කාවද?
හැබැයි ඔය ගොඩක් දැනුවත් කිරීම් ෆේස්බුක් එකේදිනම් වෙනවා අස්ප ගණංවලින්. ඒකෙ ඉතිං නොවෙන මගුලක් නෑනෙ. මේ ලියන බ්ලොග් අතරෙත් මේ ගැන ඕන තරං කතා වෙනවා. මෙතනින් එලියට ඒක යන්නෙ කොහොමද කියන එක තමයි අවුල. ඇත්ත ජීවිතේදි කතාකරන්න තියෙන නොහැකියාව ෆේස්බුක් එකෙන් හෝ බ්ලොග් එකෙන් පිටකරනවද කියලත් මට හිතෙනවා. හැබැයි ඔන්ලයින් පෙනී ඉන්න මතවාද වෙනුවෙන් ඇත්ත ජීවිතේදිත් පෙනී ඉන්න කෙනෙක් නිරායාසයෙන්ම වැඩට බැහැල ඉන්න බවත් මෙතනදි කියන්න ඕන.
අපේ පොඩි මාමා (අම්මගෙ ලොකු මලයා) අපේ තාත්තට පස්සෙ අපිව සැලකිය යුතු තරම් වෙනස් කරපු මනුස්සයෙක්. ඒක පොඩි කාලෙ ඉඳන් මේ දක්වාම එහෙම්ම ම තියෙන දෙයක්. තාත්ත නැති නිසා අදටත් ඕනම දේකදි පොඩි මාමගෙන් ටිකක් උපදෙස් අහන එක අපි කරන දෙයක්. එයා කියන්න තියෙන දේ කෙලින් කියන, වැරැද්දට එතනම බනින, සරළ නිර්ව්‍යාජ ජීවිතයක් ගෙවන මනුස්සයෙක්. අපේ ඥාති වර්ගයා අතර අපිට සමීපතම පුද්ගලයා එයායි. වැඩේ කියන්නෙ පවුලෙ අනිත් ඥාතීන් අතරෙ එයා ඉන්නෙ පැත්තක. එයාගෙ ඍජු විවේචන අනිත් අයට දිරවන්නෙ නෑ. අනිත් අය කරන මෝඩ ජෝක් වලට පොඩි මාමා බණින නිසා එයාව හැම එකකටම සම්බන්ධ කරගන්නෙ නෑ. දැනුවත් කරන්න යාම තුල ඕන කෙනෙක්ට අත්වෙන ඉරණම ඒ වගේ වෙන්න පුළුවන්. සමාජයෙන් පැත්තකට වෙන්න වෙන එක. තමන්ගෙ ආතල් කැඩෙන දේවල්වලට මිනිස්සු කැමති නෑනෙ.
මිනිස්සු හැමෝම ඉන්නෙ රෝලක. ලොකු පඩියක් ගත්ත කියල ඒකෙ වෙනසක් වෙනව කියල මම හිතන්නෙ නෑ. මොකද පඩියට හරියන්න තියෙන වියදම් ඒ වගේ. හම්බවෙන පඩියට හරියන්න ජීවත් වෙනවට වඩා අපි ජීවත් වෙන්නෙ හම්බවෙන පඩිය යාන්තම් ගැටගහගන්න සිද්ධ වෙන ගානට. ඒක ගැන කතාකරන්න ගියොත් කතාව වෙන වෙන පැති වල යනව. මොනව වුණත් ජීවිතේ නැතිකරගන්න, හෝ කෑම නැතිව මැරෙන්න වෙන ගානට දුප්පත් වුණ කවුරුත් නෑ මට හිතෙන විධියට. අනික සති දෙකෙන් දෙකට ජනතාවට දෙන චුයින්ගමුත් දවස් කීපයක් හපන්න පුළුවන්. ඒ නිසාම මේ යන විධිය තාමත් බහුතරයකට ලොකු බලපෑමක් කරල නෑ.
මෙහෙම අච්චාරුවක් වෙනස් කරන්නෙ කොහොමද? දන්න දේශපාලන විකල්ප ගැන බලාපොරොත්තු අතාරින්න වෙලා තියෙද්දි කොහොමද මේක කරන්නේ. කවුද පටංගන්නෙ? මොනවද කරන්නේ? කරන්නනං වැඩ ඕන තරං ඇති. ඒ අතරෙ ගොඩක් තියෙනව ඇත්තෙ ප්‍රසිද්ධියෙ කියන්න බැරි ඒව. එදා මෙදා තුර අපේ සාම්ප්‍රදායික විකල්පය වුණ ඉඟුරු දීල මිරිස් ගැනීම තව දුරටත් කරනවද? නැත්තං 'විකල්ප' විකල්ප ගැන හිතනවද? ෆේස්බුකියෙම තිබුණ යෝජනාවක් අනුව අළුත් දේශපාලන පක්ෂයක් සංවිධානය කරන එකත් හොඳ වැඩක් වෙන්න පුළුවන්. එහෙම නැත්තං සමාජය තුල අපි බලාපොරොත්තු වෙන වෙනස පුළුවන් තරං අපේ තනි ජීවිතවලට ඇතුල් කරගන්න ඕන. අනිත් අයට ගයිඩ් එකක් වෙන්න ඕන.
නමුත් වැඩක් වෙයිද?
සමාජය වෙනස් කරන්න ඕනය කියන එක ඇත්තක්. සමාජය කියන්නෙ මිනිස්සු. මිනිස්සු වෙනස් වෙන්න සූදානම්ද?
චිත්‍රපටි බලලද සමාජයක් අවබෝධ කර ගත්තේ ?
ReplyDeleteඅනේ අනිච්චන් !
(දැනුවත් කරන්න යාම තුල ඕන කෙනෙක්ට අත්වෙන ඉරණම මටත් වෙයිද ? )
හරේ කියන කතාවලට අන්තිම බින්දුවට යනකම් මාත් එකඟයි. වෙනසක් අවශ්‍යයි. ඒත් ඒක කරන්න ඕනේ ක්‍රමවත්ව.
ReplyDeleteදැන් තියෙන සමාජය අස්සේ ඒක කොහෙන් පටන් ගන්නද කියලා හිතා ගන්නවත් බෑ. ඉස්සෙල්ලම මනුස්සකම කියන එක ලික්විඩ් කරලා පොවන්න වෙයි. ඊට පස්සේ ස්ටෙප් ටු ස්ටෙප් අනිත් දේවල් දෙන්න වෙයි කියලයි මට හිතෙන්නේ.
අනේ මන්දා මම වගේ හිතන තව එකෙක් හරි ඉන්නවා නම් ඌයි/ඒකියි මායි කැමතියි මාසයක් නැහිලා හම්බ කරගන්න පඩියෙන් පුළුවන් විදියට කාලා ඇහැක් විදියට ජොලියක් දාලා අනිත් වෙලාවට කම්පුයුටරේ කාලේ කාලා නිදිගෙන ඉන්න.. එහෙම නැතුව මේ සමාජේ වෙනස් කරන හෙන ගේමවල් ගහන්න ගිහින් පස්ස බිම ඇනගෙන රිදෙනවෝ රිදෙනවෝ කියලා කෑ ගහන්න දැන් නම් මට හිතෙන්නේ නෑ.. එහෙම ලේ පොපියපු කාල තිබුනා දැන් නම් නෑ...
ReplyDeleteමොකද කොයි දේ කලත් අන්තිමේ අපි ඇන්දෙනවා මිසක් විසදුමක් හම්බවෙයි කියලා තඹේක විස්වාසයක් නැති හින්දා..
ඉච්ඡාබංගත්වය කියන්නේ එකටද මන්දා
අනේ මන්දා බං හරේ මේවා බ්ලොග් පිරෙන්න ලියන්න හොදයි බං එහෙම නැතුව ප්‍රායෝගික නෑ!
ඇමරිකාව ගැන බල අරගලය ගැන කියැවෙන මේ ඩොකියුමෙන්ට්‍රිය බලන්ඩ.ඒකේ කොටස් තුනක් තියෙනවා.බලනවානං සිරා.
ReplyDeleteZeitgeist
Zeitgeist: Addendum
Zeitgeist: Moving Forward
ඔය පොඩි කාලේ ඉඳං දැනුවත් කිරීම කියන එක සාර්ථකද? ගුරු ගීතය පොතේ දුයිෂෙන් අම්මා කියලා ලියන්ඩ කියලා දෙන්ඩ කළිං ලෙනින් කියලා ලියන්ඩ කියලා දෙනවා.හිට්ලර් ජර්මනියේ ළමයින්ට යුදෙව්වො කියන්නේ කුරිරු ජාතියක් ජර්මානුවෝ තමයි ආර්ය ජනතාව කියලා කියලා දෙනවා.හැමෝම තමුන් හරියි කියලා හිතන දේ කියලා දෙනවා උනාට ඇත්තටම කියලා දෙන දේ හරිද කියලා කොහොමද තීරණය කරන්නේ?
අනිත් මිනිස්සු දිහා අනුකම්පාවෙන් බලන්ඩ පුරුදු කිරීම සහ මනුස්සයෙකුට උදව්වක් කරද්දි ඒ මනුස්සයාගේ අවශ්‍යතාවය දැකලා ඒ මනුස්සයා කෙරේ හැඟීමකින් උදව්වක් කරන්ඩ පුරුදු වෙලා මිසක් පව් පින් කියන සංකල්ප එක්ක ඉන්නකං මිනිස්සු හැදෙන්නේ නෑ.
//කොහොම නමුත් මේ වෙනකොට ලෝකෙටම තියෙන්නෙ සහ පොම්ප කරන්නෙ ඇමරිකානු සිහිනයක්. ඉතිං ඇමරිකාව ගැන ඒ දවස්වල මමත් එහෙම හිතුවා. නමුත් ඇත්ත ඒක නෙවෙයි. ඇමරිකාව වගේ දියුණුයි කියල කියන රටවල් තරම් මිනිස්සුන්ව සිස්ටම් එකෙන් පාගන රටවල් තවත් නැහැ. ...........නමුත් ඇමරිකාවෙන් එලියට එන චිත්‍රපටි අස්සෙ තියෙන අතුරු කතාවල සහ යටින් යන කතාවල ඇමරිකාවෙ හෙළුව ප්‍රදර්ශණය වෙනවා. මම දන්නව චිත්‍රපටි බොරුයි කියල. නමුත් අතුරු කතා බොරු නෙවෙයි//
ReplyDeleteඅද ධනවාදී රටවල ක්‍රියාත්මක වන්නේ කාල්-මාක්ස් යුගයේ තිබුණු ධනවාදය නෙමෙයි. ධනවාදය/ප්රජාතන්ත්රවාදය යුග ගණනාවක් පුරා පරිණාමයට භාජනය වෙලා සමාජවාදී මූලධර්ම වලින් පෝෂනය වී දියුණු වුනා. එකම තැන පල් වෙච්ච සමාජවාදය, සම-සමාජයක් සෑදීම කෙසේ වෙතත්, ඒකාධිපති පාලනයක් පැත්තට සේන්දු වුනා. මම සමාජවාදී රටක ඉඳලා නෑ, ඒත් ඒ රට වලින් මේ ධනවාදී රටවලට පැමිණි අය ඇසුරු කරල තියනවා. ඒ අය කියන්නෙ, පාටි මැම්බර්ලට සම්බන්ධ කම් තියනවා නං ඕනෙ දෙයක් කරවා ගන්න ඇහැකිලු.එකම වෙනස, ඇමරිකාවේ වගේ පවතින ක්‍රමය විවේචනය කිරීමට ඉඩක් නෑ. ඒ නිසාම අප ඒ ගැන දන්නෙත් නෑ. දැං චීනයම ගමු: එයා හදන්නෙ කලාපීය බලවතා වෙන්න, එයාලගෙ අමුද්‍රව්‍ය සැපයුමත්, නාවික මාර්ගත් ආරක්ෂා කරගන්න. ඇමෙරිකාවට තියෙන බලය චීනයට තිබුනා නං, අපට බලාගන්න තිබුනා සෙල්ලම :)
මේ ධනවාදී රටවල , සමාජවාදීයි කියාගන්නා අපේ රටවලට වැඩිය සමාජවාදයක් තියනව කියල මට හිතෙනවා. මෙහේ " ආනන්ද, නාලන්ද, රෝයල් කොලීජි නෑ. හැම තැනම එකම ප්‍රමිතියෙ ඉස්කෝල. ගෙවන්න ඕනෙ, ඒත් ඕනෙකම තියනවා නං ඕනෙ කෙනෙකුට කැම්පස් ගියෑකි. ආණ්ඩුවෙන් ඒ සඳහා ණයක් දෙනවා.
සුපිරි ධනවතුන් ගැන ගැන කතාව ඇත්ත වෙන්න ඇති, හැබැයි මෙහෙ ඉන්න දුප්පත්ම කියන අය තමයි පට්ට පල් හොරු. නිකම්ම ඉඳලා ආණ්ඩුවෙන් ලැබෙන හැම සහනයම අරං, ටැක්ස් රිටන් එකත් අරං අපට වඩා හොඳට ඉන්නවා.
මේ රටවල් සර්ව සම්පූර්ණ නෑ. ඒත් මෙහේ සුදු වෑන් නෑ, පාර්ලිමේන්තුවෙ මදාවියො, කුඩු මුදලාලිල නෑ. අතිකාල නැති මගේ මැනෙජ්ර්ට වඩා වැඩි පඩියක් සමහර මාස වල මං ගන්නවා. රෙස්ටොරන්ට් එක අතුගාන, ටොයිලට් ක්ලීන් කරන එකාත් එන්නෙ කාර් එකේ.බොහෝවිට, රස්සාවල් දෙකක් කරන එහෙම අයගේ මාසික ආදායම අපට වඩා බොහෝ වැඩියි.
ප්රජාතන්ත්රවාදයෙ ප්‍රභේද තියනවා. ඔය චීනෙ තියනවයි කියන ප්‍රජාතන්ත්‍රවාදෙට "Chinese Democracy" කියන නමක් තියෙන්නෙ ඒක නෙව. අපේ රටත් තියෙන්නෙ ප්‍රජාතන්ත්‍රවාදෙ කියල අපි හිතාගෙන ඉන්නවා.
අන්තිමටම කියන්න තියෙන්නෙ මං අහපු කියමනක්:
Democracy may not be the best, but it is the best among the worst.
සමාජ ක්රමයේ වෙනසක් ඕන බව ඇත්ත...සමාජය නිද්‍රාවකට පත් වෙලා ඉන්නෙ ඇත්ත බොරුව මොකක්ද කියල හොයා ගන්න බැරි තරමට නන්නත්තාර වෙලා... මං හිතන්නෙ මේ වෙනස් චින්තනය ළමයින්ගෙන් පටන් ගන්න ඕන කියල...
ReplyDeleteකතාවට එහා ගිය වැඩක යෙදිල ඉන්න නිසා මට හිතෙනවා... එකවර ලෝකෙම වෙනස් කරන්න බැරි උණත්... එක සිතුවිල්ලක් එක පුද්ගලයෙක් එක්ක යහපත් වෙනසක් ඇති කරන්න පුළුවන් කියල....
ස්තූති වේවා කියවපු සහ අදහසකුත් දුන්නු හැමෝටම. ප්‍රති උත්තර වෙන වෙනම දෙන්න අවශ්‍ය නෑ වගේ වුණත් පස්සෙ හිතුණොත් මොනා හරි කියන්නං :-)
ReplyDeleteකට්ටියටම උත්තර දෙන්නං.
ReplyDelete@ මසොපි - චිත්‍රපටියක් බලල සමාජයක් තේරුම්ගන්න බෑ. හැබැයි චිත්‍රපටි (බහු වචන) බලල ඒවයින්, ඒවයෙ තියෙන අතුරු කතාවලින් සහ ඒකට සම්බන්ධ වෙනත් තොරතුරු මගින් සමාජයක් තේරුම්ගන්න පුළුවන්.
@ ඉල් - ඔව්. මිනිස්සු එක එක මතවාදවලට බෙදෙද්දි නැති වෙන්නෙ මනුස්සකම.
@ මලී - ගෑණුන්ට තරං ලේසියෙන් පිරිමින්ට ගේම අතාරින්න අමාරුයි මගෙ හිතේ. වැඩක් නැති බව දැන දැනත් දිගටම ගේම ඉල්ලන්නෙ ඒකයි.
@ දිනුක - පොඩි කාලෙ ඉඳන් ඔළුවට දාන්නෙ එකිනෙකාගෙන් බෙදෙන සංකල්ප වෙලා තියෙද්දි උඹ කියන කතාව හරි යනවා. නමුත් පොඩි කාලෙ ඉඳන් හැමෝම එකයි කියන හැඟීම දුන්නොත් ළමයි එහෙම හිතන්න පුරුදු වෙයි කියල මට හිතෙනවා. උඹේ ලින්ක්වලට ස්තූතියි. ටොරන්ටි ටික හොයාගත්තා.
@ ඇනෝ - ඔයා කියන කතාව ඇත්ත. ඇමරිකාවෙ ඒ තියෙන නිදහස් ආර්ථිකයම මිනිස්සුන්ගෙ ආත්මය විනාශ කරල කියල මට හිතෙනවා.
@ තරු - ඔව්. ඔය එක්කෙනා දෙන්න හැමදාම හිටිය. හැමදාම යම් නොගිනිය හැකි ප්රතිශතයක මිනිස්සු තමංම හිතලා වෙනස් වෙනවා.
@ හරේ - අනේ පලයං බං යන්ඩ!