සංගීතය කියන්නෙ ඕන කෙනෙක්ගෙ ජීවිතේ කොටසක්, සින්දු කියන විෂය ගැන මලදානයක් නොදන්න, සින්දුවක් නාහන කෙනෙක්ගෙ වුණත් රිද්මයක් තියෙනවා. රිද්මය කියන්නෙ සංගීතමය දෙයක්. ඒක වෙන වෙන විධි වලටත් අර්ථ දක්වගන්න පුළුවන් ඇති. නමුත් හදවත ගැහෙන තැන ඉඳන් මුළු ජීවිතය පුරාම සංගීතමය අවකාශයක ජීවත්වෙන සත්ත්වයින් සහ ඒ රිද්මය සංගිතය කියන විෂය හරහා නැවත කියවන මනුෂ්‍ය අපි ජීවත්වෙන්නෙ සංගීතයත් එක්කමයි.
හැමදාම උදේට පා පැදියෙ රාජකාරියට යන විනාඩි 10-15ක වගේ කාලය මම සංගීතයත් එක්ක ගෙවන අමෘතමය විනාඩි කීපයක්. පාරෙ යන ගමන් සින්දු මුමුණන එක ආරක්ෂාව පැත්තෙන් ඒ හැටි හොඳ දෙයක් නෙවෙන්න පුළුවන්. නමුත් බාහිර පරිසරයටත් සංවේදී වෙමින් සින්දුවක පද මුමුණන එක කරන්න බැරි වැඩකුත් නෙවෙයි. විශේෂයෙන්ම ඔය මිමිණිල්ල අනිච්ඡානුගවම සිද්ධ වෙනකොට. ඒක තව දුරටත් ආයාසයකින් කරන දෙයක් නොවෙනකොට.
නමුත් එතනදි අපි පිවිසෙනව බොහොම පෞද්ගලික තැනකට. සංගීතයත් එක්ක වල්වැදෙන, පරිසරය අමතක වෙන තැනකට. අර ආරක්ෂාව කියන සාධකයට විතරක් දොර ඇරපු තැනකට. නොදැනීම ඒ පුද්ගලික අවකාශය සංගිතයෙන් පිරිල යනවා.
ඕක හැමදාම වෙන වැඩේ...
මෑතකදි මට තේරුණ ඔය හිස් තැන හැම වෙලේම එක රිද්මයකට කැමතියි කියල. ඒක සින්දුවක්. හැමදාම උදේට මට මිමිණෙන සින්දුවක්. දැන් අවුරුදු ගාණක් පුරාම එකදිගට. අඩුගාණෙ පද පේළියක් දෙකක්. ගිටාර් එකෙන් වැයෙන එක ස්වරයක්.
ඒ ඇයිද කියල මම කල්පනා කලා. කවදාවත් උත්තරේ හොයාගන්න බැරිබව දැන දැනම. නමුත් අන්තිමේ මට කිට්ටු කරන්න පුළුවන් වුණා.
ඒ මගේ ජීවිතේ පුරා බැඳුණු සයිනාකාර රිද්මයේම තවත් එක පැත්තක්. උස් පහත් සමතල අවස්ථා සියල්ලම එක රිද්මයක ගැයෙන තැනක්. වෙනත් නිර්මාණවලින් නොදැණෙන මට්ටමට සහ මට විග්රහ කරගන්න පුළුවන් මට්ටමට තියෙන එකක්. ඒක නොගැලවෙන විධියටම ජීවිතේට ඇළුන එකක් වෙලා.
කසුන්ගෙ රැඩිකල් ප්‍රේමය ඇල්බම් එකේ ගීතයක්. සුජීව සම්පත් පීරිස්ගෙ ලිවීමක්. සංගීතය කසුන් කල්හාරගෙ. කසුන් ඉන්ද්‍රචාප දෙන්නගෙම මුඛ වාදනයෙන්.
ඒක ඉහළ යනවා.... ආයෙ පහළ යනවා... ඒ අතරෙ බොහොම සමතලා තැනක රැඳෙනවා. ජීවිතේ වගේමයි.
අවසානයේ...
උස් තැන්, පහත් තැන්, සමතලා තැන් හැමදේම සුණු විසුණු වෙලා විනාශ වෙලා යනවා....
..................................................
ඉරිමා උදයේ
සීතල මුතු පිණි මතින්
මද්දහනේ වැටෙනා
හිරුගේ කිරණ වැසි
සිත් නිම්නයට සතුටක්
ගතේ දුවනා
ආදරේ නොදී එය සඟවා //
මුවගට සිනා තබා
දෑසට කඳුළු ගෙනා
ඔබ ඇඳි සිතුවම් මතකේ රැඳුණා //
එය දකිනා...
නෙත් සතුටක්දෝ
Friday, 29 June 2012
Saturday, 23 June 2012
අරියාතිගේ සැඟවුණු ලෝකයට...
ආලෝකය ඇගේ මුහුණේ තියුණු දාර සහිත චිත්‍රයක් මවා තිබුණා. හුළඟට ලෙලදුන්න කෙස්වැටිය ඒ චිත්‍රය වරින්වර වෙනස් කලා. බොහොම හීනියට නලියමින් ඇගේ දෑස් මතින් ඇරඹුණු ලොකු කඳුළු කැටයක් කම්මුල දිගේ ගලාගෙන ඇවිත් නිකට අද්දරින් බේරුණා.
..............
මම දන්නව මේ කතාව මගේ වැඩිහිටි වචන වලින් විනාශ වෙනව කියල. ඒ වුණාට අද වෙනකල් මම හිතාගෙන හිටියෙ මගේ මතකයේ රැඳිල තිබුණ ඒ පුංචි සිදුවීම් ටික හුදෙක් මතකයන් විතරක් කියල. එහෙම නැත්තං යන්තම් කියවන්න පුළුවන් වුණා කාලෙ කියවපු සුරංගනා කතාවක් කියල... ඒ වුණාට අද මම දන්නව ඒක සුරංගනා කතාවක් නෙවෙයි කියල. හිතේ වියවුල් අඳුරු සිතුවිලි අතරින් ඒ මතකය ආයෙමත් හිතට එලියක් වුණේ ඒකයි.
සේරම පටන්ගත්තෙ මට මතක විධියට මගෙ වයස අවුරුදු 6-7 වගේ කාලෙක. ගෙදර පිටිපස්සෙ සිමෙන්ති පඩියක් හදන්න තාත්ත පොළොව කඩල තිබුණා. ඒ දවස්වල මම ඉස්කෝලෙන් පස්සෙ සෙල්ලම් කලේ ඔය අයින් කරපු පස් කන්ද උඩ. පොල් කට්ටකට වතුර අරන් ඒ වතුරෙන් පස් අනල මැටි ගොඩක් හදල ඒකෙන් එක එක දේවල් හදපු එක. නැව්, කාර්, බස්... ඇතුළු දන්න වාහන සේරම... හදල ටිකකින් ආයෙම කඩල දැම්මත් ඒ පොඩි මොහොතෙ මම ලැබුවෙ අසීමිත තෘප්තියක්. ගෙදර පඩිය හදන වැඩේ කල් ගිය හින්දදෝ මන්ද ඒ පස් ගොඩ සෑහෙන්න කාලයක් එතන තිබුණා. මගේ සෙල්ලමත් ඒ වගේම...
හැමදාම ඉස්කෝලෙන් පස්සෙ මම ගත කළේ එතන. කිසිම විශේෂ දෙයක් නොවී ගෙවුණ ඒ දවස් ටික ඉවර වුණේ පුදුම විධියට.
මට හම්බ වුණා පුංචි මැටි භාජනයක්.
ඒක සෙන්ටිමීටරයක් පළල නැතිව ඇති. නමුත් සාමාන්‍ය මැටි හට්ටියක තියෙන සම්පූර්ණ ගතිය ඒකෙ අඩු නැතිවම තිබුණා. පැත්තකින් පළුදු වෙලා... මගේ අල්ල උඩ ඒක තියාගෙන ඇස් දෙකට ළං කරගෙන මම ඒ දිහා බලාගෙන හිටිය විනාඩි කීපයක්. ඊට පස්සෙ කෑ ගහගෙන ගියේ ඇඳුමක් මහමින් හිටපු අම්ම ගාවට. අම්මට ඒක පුංචි පුදුමයක්වත් වුණේ නෑ. ඈ කිව්වෙ වතුර බින්දුවක් උඩ ඉඳන් වැටිල නිකංම හැදෙන්න ඇති කියල. ඇත්තටම ඇයට ඇගේ මහන වැඩේට අවධානය දෙන්න ඕන වෙලයි තිබුණෙ.
ඒ වුණාට මම මුල ඉඳන්ම හිතුවෙ වෙන දෙයක්.
කුරුමිට්ටෝ...
ගලිවර්ගෙ කතාවෙ හිටපු කුරුමිට්ටෝ. එයාල ඇත්තටම ඉන්නව. මම ඒක දැනගෙන හිටිය.
මේක ඒගොල්ල හදපු භාජනයක්.
ඊට පස්සෙ මගේ එකම අරමුණ වුණේ කුරුමිට්ටන්ව හොයන එක. පස් ගොඩ උඩ ඇණ තියාගෙන මම නිසොල්මන්ව සෑහෙන වෙලා බලං හිටියෙ කොතනින් හරි උන් මතු වෙනකල්. තාත්තගෙ විශාලන කාචය අරගෙන මම පස්ගොඩ වටේම අඟලින් අඟල ඒකෙන් බැලුව. කුරුමිට්ටො මම අනල ඉතිරි වෙන මැටි වලින් භාජන හදනව. මට ඒක හොඳටම තේරුණා.
දවස් කීපයකට පස්සෙත් මම බලාපොරොත්තු අතාරින්න සූදානම් වුණේ නෑ. ඒ දවස් ටිකේම මම ඉස්කෝලෙ පොත් හැම එකකම කුරුමිට්ටො ඇන්ද. උන් එක එක පාටින් පාට කළා. මම හිතුවෙ උන් එහෙම වෙන්න ඇති කියල. නැතත් ඒ දවස්වල ඇඳපු චිත්රවලට හරිම පාට ගාන්න උවමනාවක් මට තිබුණෙ නෑ. ඒ නිසාම මගේ පොත්වල හිටියෙ කහ පාට, කොළ පාට, නිල් පාට කුරුමිට්ටො. ඒ කොහොම වෙතත් මට උන්ව ඇත්තට දැකගන්න පුළුවන් වුණේ නෑ.
මම ඒ නිසාම වෙනත් සැලැසුමක් හැදුව. කුරුමිට්ටො එන්නෙ රෑට කියල ඒ වෙද්දි මට හොඳටම තේරිල තිබුණ. ඒ නිසා මම කළුවර වැටෙන්න ඔන්න මෙන්න තියෙද්දි අර පස් ගොඩ වැහෙන්න වතුර බාල්දි කීපයක් හැලුව. කුරුමිට්ටො ආවොත් උන්ගෙ අඩි පාරවල් මට ලේසියෙන්ම හොයාගන්න පුළුවන්.
හිතුව වගේම මට දවස් දෙක තුනකින් කුරුමිට්ටන්ගෙ අඩි පාරවල් හොයාගන්න පුළුවන් වුණා. සෙන්ටිමීටරයක් විතර දිග තිබුණ පා අඩි එක පේළියට පස් ගොඩේ ඉඳන් ගේ දිහාවට ගිහින් තිබුණ. පස් වල මැටි ගතිය නැති වෙනකොට ඒව මැකිලයි තිබුණෙ. ඒ වුණාට ඒ අඩි විහිදුණේ ගෙදර පිටිපස්සෙ තිබුණ දර, වත්තෙ වැඩ කරන උපකරණ වගේම කැඩුණු බඩු දාල තිබුණ තාවකාලික මඩුව පැත්තට.
මගේ ඊළඟ සෙවීම සිද්ධ වුණෙ ඒ මඩුව ඇතුළෙ. දවස් දෙක තුනක්ම මම ඒක අස්සට ගිහින් ටෝච් එකත් පත්තු කරගෙන කුරුමිට්ටන්ගෙ සලකුණක් හෙව්ව. අම්ම ඒ වෙද්දි මගේ ගවේශණයට ඔරවන්න පටන් අරගෙනයි තිබුණෙ. ඈට මගේ කුරුමිටි ප්‍රශ්ණ ලොකු හිසරදයක් වෙන්න ඇති.
එක දවසක්... ඒ දවස මට අමතක වෙන්නෙම නෑ... මම දැක්ක මඩුවෙ එක මුල්ලකට වෙන්න තිබුණ දර ගොඩ අතරින් පුංචි රෙදි කෑල්ලක්. ඒක අම්ම මහමින් හිටපු ඇදුමෙන් කැපිල අයින් වුණ එකක්. මම ඉක්මනට මඩුවෙ දර කෑලි ගොඩ උඩ නැගල කීපයක් පෙරලල ඒ රෙදි කෑල්ල අවට සෝදිසි කලා. දර ගොඩ උඩ මම පය ගහගෙන හිටියෙ අමාරුවෙන්. එක අතකින් දර කෑලි බදාගෙන පහලට නැවිල මම රෙදි කෑල්ල අතට ගත්ත. ඒක අඟල් කීපයක රෙදි කෑල්ලක්. අම්මගෙ ඇඳුමෙන් කැපුණු එකක්.
මේක මෙතනට ආවෙ කොහොමද?
මම ටෝච් එක ගැහුව වටේටම. තාම අමාරුවෙන් එක අතකින් එල්ලීගෙන. ඒත් ටෝච් එළියෙන් මම අඳුනගත්ත පුංචි විවරයක්...
ඔව් ඒක දොරටුවක්!!!
මම හොඳටම දැක්ක ඒක. හතරැස් විවරයක්... ඒකෙන් පහලට යන්න පුංචි පඩි පේලියක්... මම තව තව පහලට බර වුණා...
මට මතක එච්චරයි... ඊට පස්සෙ මම හිටියෙ මගේ ඇඳේ... කකුලක් බැන්ඩේජ් කරල තිබුණ. අත් දෙකේම තැනින් තැන ප්ලාස්ටර් දාල. මූණෙත් තුවාල කීපයක් තියෙන බව මට තේරුණ. ඒත් මට ඒක වගක් වුණේ නෑ... මම කෑ ගහල ඇඬුවෙ කුරුම්ට්ටො හම්බ වුණාද කියල අහල.
වේදනාව නැතිවෙන්න දීපු බෙහෙත් සැර නිසාම සති කීපයක් නින්දෙම හිටපු මට හොඳටම සිහිය එද්දි ගොඩක් කල් ගිහින් තිබුණා. වරින්වර ආච්චි අම්මල, නැන්දල මාව බලන්න ආපු බව මට මතකයි යන්තමට. එයාල කතා කරපුවත් මට මතකයි... හැමෝම මට කිව්වෙ 'පිස්සු ළමයෙක්' කියල. 'පුංචි කාලෙ එහෙම තමයිනෙ' කියල ඒ හැම වතාවකදිම අම්ම මාව බේරගත්ත කියල මගෙ සිහියෙ තිබුණ.
මම හරි කතාව දැනගත්තෙ තාත්තගෙන්. එදා අර විවරය බලන්න පොළොවට බර වුණ වතාවෙ මම නැගල හිටපු දර ගොඩ පෙරළිල තිබුණ මගෙ ඇඟ උඩට. මාව හොයාගෙන තියෙන්නෙත් පැයකට විතර පස්සෙ කිසිම සද්දයක් නැති වුණාම. හොඳ වෙලාවට ටිකක් දරුණු තුවාල මිස වෙන අනතුරක් මට වෙලා තිබුණෙ නෑ.
ඒත් මගේ හිතේ ලොකු අනතුරක් වෙලා තියෙනව කියල මට දැණුනා. ඒ සිදුවීමෙන් පස්සෙ තාත්ත වහාම අර පස්ගොඩ අයින් කරල තිබුණ. ගෙදර පඩියත් ඉක්මනින්ම හදල තිබුණ. සේරටම වඩා අර මඩුව ගලවල අයින් කරල තිබුණ. කවදාවත් මට ඊට පස්සෙ කුරුමිට්ටන් ගැන සලකුණක් හම්බ වුණේ නෑ. යන්තම් ඇවිදගන්න පුළුවන් වුණ ගමන් මම සුපුරුදු ගවේශණය පටන්ගත්තත් කවදාවත් මට ආයෙ බලාපොරොත්තුවක් ලැබුණෙ නෑ.
මාස ගාණක්ම මම ගෙදර වටේ හැමතැනම හෙව්වා. කිසිම දෙයක් නෑ. ඊට පස්සෙ මම ආයෙත් ගෙවත්තෙන් පස් කපල කලින් තැනම පස් ගොඩක් හැදුවා. සති ගාණක් ටිකෙන් ටික පස් ටික වැස්සෙන් හේදිල යනකල්ම හැමදාම ඒක උඩට ගිහින් සෝදිසි කලා... ඒත් කිසි දෙයක් හම්බ වුණේ නෑ...
මාස ගාණක් පුරවගෙන හිටපු බලාපොරොත්තු ටිකෙන් ටික දිය වෙලා ගියා... ඒ අතරෙ මම ලොකු මිනිහෙක් වෙන්න ගත්ත. ආයෙ පුංචි වෙන්න බැරි තරමටම...
..............
ආලෝකය ඇගේ මුහුණේ තියුණු දාර සහිත චිත්‍රයක් මවා තිබුණා. හුළඟට ලෙලදුන්න කෙස්වැටිය ඒ චිත්‍රය වරින්වර වෙනස් කලා. බොහොම හීනියට නලියමින් ඇගේ දෑස් මතින් ඇරඹුණු ලොකු කඳුළු කැටයක් කම්මුල දිගේ ගලාගෙන ඇවිත් නිකට අද්දරින් බේරුණා.
අරියාති වෙන්වෙලා යන්න සූදානම් වෙලා... ඇගේ හිසේ කෙස් එකට අමුණල තිබුණ රෙදි අමුණන ප්ලාස්ටික් පින් එක ඈ ඔහුට දුන්න... ඔහුගෙ විශාල දබරඟිල්ල දෑතින්ම අතට අරන් ඇගේ නළල මත තියාගත්ත.
"මම ප්‍රාර්ථනා කරන්නෙ ඔයාට ලෝකෙ තියෙන හොඳම ජීවිතය..."
ඇය ඔහුට අන්තිමට කිව්වෙ ඒ වචන ටික...
පුංචි ළමයින්ට විශේෂයි... වා.මු. නිලන්ත පියසිරි සොයුරා ඇතුළු බයිස්කෝප් කට්ටියටම ස්තූතියි...
ඕන නම් - http://www.baiscopelk.com/?p=12008
වැඩි විස්තර - http://www.imdb.com/title/tt1568921/