Tuesday, 13 December 2011

සුද්දන්ගෙ සංගීත පිඟානක්....

සංගීතය කෑමක් නොවෙන්නෙ ඒක කෑමට නොගන්නවනම්. නමුත් උවමනා නම් කෙනෙකුට කන්න බැරි දෙයකුත් නැති තරම්. සංගීතය කියන එක සින්දු වලින් ගලවගෙන රස විඳින කොට ඒක කෑමක් වෙනවා විතරක් නොවී ලෝකෙ පුරාම කරක් ගහමින් තවත් රසය හොයන්න පොළඹවන කාරණයක් වෙනවා.

ඒ නිසාම සින්දු කියන රාමුවෙන් සංගීතය නිදහස් කරගත්තම මල වදයක්. ඒක ඇත්තටම කෙනෙක්ව පැත්තකට කරල විනාශ කරල දාන එකක්.

ෂහ්! මාත් ආසයි රේඩියෝ එකේ පැයකට සැරයක් යන සින්දු ටිකම ෆෝන් එකට දාගෙනත් අහමින් සැනසිල්ලෙ ඉන්න පුළුවන් වුණානම්. ඒත් මේ හෙවිල්ලේ අසනීපයත් එක්ක එහෙම එක තැනක පොඩි පොඩි රවුම් ගහමින් ඉන්න එක අමාරු වැඩක්.

සමහර මිනිස්සුන්ට සංගීතය තේරෙන්නෙ නෑළු. ඒ නිසා තමන් දන්න වචන සෙට් එක ඔන්න ඔහේ තාලෙකට කියාගෙන යද්දි එක මාර ආතල් එකක් වෙනවා. හැමෝම එකම වචන ටිකම වෙනස් තාල වලින් කියනවා. වචන වලින් සංගීතය විනාශ කරල තියෙද්දි ආයෙ කොහෙද ඒක තේරෙන්නේ.

ඇත්තටම මිනිස්සුන්ට එදිනෙදා උවමනා වෙන්නෙ බොහොම සීමිත වචන ටිකක්. එක තැන ජීවත් වෙන්න ගත්තම ඕන මිනිහෙක්ට ඒක වෙනවා. නමුත් තේරෙන ඒව සහ නොතේරෙන ඒවට අමතරව මිනිහෙක්ට දැණෙන දේවල් ඕන තරම් තියෙනවා. ඒ දැණෙන දේවල් වල තේරුමක් ඇත්තටම නැති වෙන්න පුළුවන්. සංගීතයත් වෙලාවකට කිසිම තේරුමක් නැති එකක්. නිකං හැඟීමක්. වචන වලින් නිර්වචනය කරන්න බැරිවුණ හැඟීමක්. ඒක දැණෙනවා විතරයි. කාටවත් කියන්නත් බැරි නම් ලත වෙන්නැතිව ඔහේ විඳගෙන ඉන්න පුළුවන් එකක්.

ලෝකෙ කිසි දේක තේරුමක් නැති එකේ සින්දු වල තේරුම ගැන විතරක් උනන්දු වෙන්නෙ මොකටද? ඔන්න ඔහේ විඳිනව මිස. කෙල්ලන්ව මල් වගේ විතරක්ම කරල තියෙනකොට, ඒ මල් මල් ගීත වමනය ඇති කරවන තරම් එපා වෙලා බෝරිං වෙලා නතර වෙලා තියෙද්දි අහන්න හිතෙනවා ආදරේට හෙණ ගහපන් කියල කියන සින්දුවක්. ඒක කියන්නෙ ඩැඩීලගෙ විරේෂ් කුරේ...




කතාව කවදාවත් ඉවර වෙන්නෙ නෑ. ලංකාවෙ කොල්ලන්ට කෙල්ලන්ට ආදරණීය විවෘත ලිංගික ගණුදෙනුවක් හදාගන්න බැරිව සංස්කෘතික අටමගුල් හැටහුටාමාරක් එක්ක ගැටෙද්දි ඒක කියාගන්න බැරිව වටේ කැරකෙන මල් සින්දු වලට හෙණම ගහපන්... කියල මට කියන්න බැරි ලංකාව තවම සංවර්ධනය වෙමින් පවතින රටක් හින්දා... ඒ වුණාට ලංකාවෙදි ගැහැණු පිරිමි අතරෙ එහෙම සංස්කෘතියකට ආශ්චර්යය උදාවෙන පාටක් පේන තෙක්මානෙක නැති නිසා තව පරම්පරාවක් දෙකක්වත් ඔය මල් වලට ලොල් වෙයි.

ලෝකෙ තියෙන සුන්දරම සංගීතයන් තියෙනවයි කියල මම විශ්වාස කරන්නෙ බටහිර ලතින් ඇමරිකානු රටවල. ඔය චිලී, පේරු වගේ. ඒවයෙ මුල් තියෙන්නෙ යුරෝපයෙ වෙන්න පුළුවන්. පෘතුගාලයේ, ස්පාඥ්ඤයේ සහ ප්‍රංශයේ. කියුබාව කියන්නෙත් ලතින් ඇමරිකානු රටක්. චේ නොහිටින්න අපි එහෙම රටක් ගැනත් නොදැන ඉන්න තිබුණා. කොහොම නමුත් ඒක තියෙන්නෙ දකුණු ඇමරිකාවෙ නැගෙනහිරට වෙන්න. කියුබාවෙ අගනුවර වෙන හවානා නුවර 1940 ඉඳන් 1990 වගේ වෙනකල් තිබුණ සමාජ ශාලාවක් තමයි Buena Vista Social Club කියන්නෙ. මේක ඒ දවස්වල සංගීතකාරයො, නැට්ටුක්කාරයො හොඳට සෙල්ලම් පෙන්නපු තැනක්. ඒ වගේම කියුබානු සංගීතයෙ අනන්‍යතාවය රැඳුණ තැනක්. මෙතන දැන් වැහිලා. හොයාගන්නත් බැරි තරමට කියුබාවෙ පැවතුණ අනන්‍ය සංගීතය තියෙන්නෙ මියැදෙමින්. ඒ අක්මුල් හොයන්න කරපු උත්සාහයක ප්‍රතිඵලයක් වුණේ Buena Vista Social Club කියන ගීත ඇල්බමය. මේ ඇල්බමයට සහභාගි වෙන බොහොමයන් ශිල්පීන් කියුබාවෙ මියැදෙන සංගීත රටාවන්වල අවසාන පුරුක්. මේ නමින්ම පස්සෙ හැ‍දෙන Buena Vista Social Club (1999) වාර්තා චිත්‍රපටිය ගැන මෙතන නොකියා ඉන්නම්.

මේ තියෙන්නෙ Buena Vista Social Club ඇල්බමය ලෝකයට අරගෙන ගිය ‍අපි නොදන්නව වුණාට දන්න අය දැනගෙන හිටපු Chan Chan ගීතය.



මේක Ibrahim Ferrer කියන De camino a la vereda. මම කියන්නෙ පෙරේරගෙ සින්දුව කියල. මේ ගිතයෙ Ibrahim Ferrerගෙ කටහඬේ විචලනයන් මාව මේකට ගැටගහල.



එතකොට මේක හුරු පුරුදු ඇති. අපේ භාතිය සන්තුෂ් එක්ක රූකාන්ත මේ තනුවෙ කෑල්ලකින් සින්දුවක් කියනවනේ.




දැන් එන්නෙ ලෝකෙ තවත් සුන්දර සංගීතමය සංස්කෘතියක් තියෙනවය කියල මම හිතන අයර්ලන්තයට. අපි පිස්සුවෙන් බලපු රොබින් හුඩ් එකේ සංගීතය කරපු Clannad, එතකොට ඔය කසුන් කල්හාර රිදම් කෑලි උස්සනවයි කියල චෝදනා කරන Corrs වගේ කණ්ඩායම් බිහිවෙන්නෙ අයර්ලන්තයෙ. මේ රටේ අනන්‍යතාවය තියෙන සංගීතය හඳුන්වන්නෙ Irish හෝ Celtic කියල. Irish folk music, නැත්තං අයර්ලන්ත ජන ගීත ලෝකයෙ ගොඩක් නිර්මාණ වලට දායක වෙලා තියෙනව. ඒවට අයිතිකාරයො නැති නිසා සහ ඒව අදටත් වින්දනීය නිසා ලෝකයෙ ඉන්න නිර්මාණකාරයො අයර්ලන්ත ජන ගී තමන්ගෙ නිර්මාණ වලට අදටත් යොදාගන්නව. මේ වර්ගයේ සංගීතය අමතක වෙලා තිබිල මෑතකදි ඔළුවට පොල්ලකින් ගැහුව වගේ වැදුණෙ Orthodox Celts කණ්ඩායමේ ඇල්බම් කීපයක්ම අහන්න ලැබුණ හින්ද. ඔවුන් අයර්ලන්ත ගීත නිර්මාණය කලාට ඇත්තටම ඔවුන් සර්බියානු සංගීත කණ්ඩායමක්. ඔවුන්ගෙ ගොඩක් නිර්මාණ පැරණි ජන ගී වල ප්‍රතිනිර්මාණ, නැත්තං අපි cover versions කියල කියන ඒවා. නමුත් Orthodox Celts ඒවට ඔවුන්ගෙ වර්ණ නොසෑහෙන්න මිශ්‍ර කරල තියෙනව.

මේක මේ ලස්සන ගෑණු ළමයෙක්ට වහ වැටිල කියන සින්දුවක්.... Star Of The County Down නමින් හොයල බැළුවොත් මේ සින්දුවෙ අනුවාද ගණනාවක්ම එක එක සංගීතවේදීන් විසින් කරල තියෙන බව පෙනෙයි.




ඒ සින්දුවෙ ඉන්න ගෑණු ළමය තමයි මේක කියන්නෙ. එයා කොහෙදෝ හිර වෙලා... එතනින් එළියට ගන්නලු.




බලන්න වයලීනයත් එක්ක අතරමං වෙන්න පුළුවන්ද කියල...




එතකොට ලංකාවෙ ගල් සංගීතය ගැන කියද්දි ඔළුව අතගාල ටොකු අනින ස්කිට්සෝලට රම්බො හම්බවෙලා තියෙනව තෝසෙ කඩේක ප්ලේන්ටියක් ගගහ ඉන්නකොට! ඒ කතාවත් බලමු!

දන්නවනෙ වීරයො මැරිල කියල. ඉන්න උනුත් වීරකම් පෙන්නන්නෙ නැති බැරි උන්ටමයි. ඒ තරමට වීරයො ජෙනරලයිස් වෙලා...




Buena Vista Social Club එක්ක Orthodox Celts ඇල්බම් මට දුන්නෙ අපේ ලබෙන් හෙවත් ආගන්තු:කයා. උගෙන් මේ ටික අරන් ඌත් එක්කම හෙඩ් ඔෆිස් එකේ වට මේසෙ ඉඳගෙන දුමක් එක්ක මේ ටිකේ මුල්ම කොටස් අහද්දිම මම දැනගත්ත මගේ අතින් ඒ සංගීතය ගැන මෙහෙම බලු ලියවිල්ලක් ලියවෙනව කියල. La ben ටත් ඒක කවුද මන්දා දුන්නලු. කොහොම හරි මට ඒ ඇල්බම් කීපය සංගීතමය නිධානයක් වුණා. හරියට මාස ගාණක් පරිප්පුයි බතුයිම කකා ඉඳල එකපාර ෆ්‍රයිඩ් රයිස් එකක් දැක්කම එන හැඟීමෙම වෙන වර්ෂන් එකක්.

මේ ලියල තියෙන එව්ව ගැන මම දන්න ඉලව්වකුත් නෑ ලාවට එහෙං මෙහෙං කියවල දැනගත්තුව මිසක්. මොකද ඔය හෙවිල්ල අස්සෙ තමයි අළුත් එව්ව මාට්ටු වෙන්නේ... ඒ නිසා වැරැද්දක් තියෙනවනං පෙන්නුවොත් හොඳා.....

16 comments:

  1. අපූරු සින්දු ටිකක්.. සමහර ඒවානම් මම අහලා තියෙනවා කලින්..

    ReplyDelete
  2. ඇත්තටම අර වයලින් පාට් එක අහන්න සැලැස්සුවාට ඔබට බෝම පිං .. මට නම් ඒ වයලින් පාර මාර විදිහට දැනුනා ..

    ReplyDelete
  3. ලතින් ඇමරිකානු සංගීතෙන් නිකන් අමුති කික් එකක් තියනවා නේ.. :D

    ReplyDelete
  4. පින් සිද්ධ වෙනවා.. මමත් ගොඩාක් වෙලාවට කිසිම දෙයක් තේරෙන්නෙ නැති ගීත රස විඳිනවා. ඒ ශබ්ද රසය මාව නිවනවා, සනසනවා. එකම් දේකට කොටු වෙලා ඉන්නේ මෝඩයෝ. ඒ දෙවල් දැක්කහම් අපි කොච්චර හිඟන්නොද කියා හිතෙනවා. ඔය් සමහර ගීත මම කලින් රස විඳලා තියෙනවා එකක් දෙකක්. අදම නෙට් කැෆේ එකකට ගිහින් රස විඳින්න ඕන. මොකෝ මගේ සවුන්ඩ් කාඩ් නෑ.. හොඳම පෝස්ට් එකක්...

    ReplyDelete
  5. ඇත්තටම ඇයි අපි සිංදුවල තේරුම හොයන්නෙ, හිතට වදිනවා නං මොන බම්බුවද ...

    මම නං මගේ කනට හොඳයි කියලා හිතෙන ඕන සිංදුවක් අහනවා, තේරුම මොක උනත් ...

    ReplyDelete
  6. ඇහුවා, වින්දා, නියමයි. මමත් යුරෝපා ජන සංගීතයට කැමතියි. කණ්ඩායමක් ඉන්නවා Nightwish කියල, සමහරවිට ඔබ දන්නවාත් ඇති. එයාලගෙත් මේ අභාෂය ලැබුණු බව පේන්න තියනවා. මේ දවස් වල මම අහන්නේ ඒවා.

    ReplyDelete
  7. සේරම සින්දු ටික රසවින්දා... තැන්කෝ මචන්... Couragie Fox Hunters තමයි ආසම...

    ReplyDelete
  8. ලිපිය නම් මරු සහෝ... මටත් සින්දු ටික අහන්න වෙන්නේ පස්සේ තමා... ඔයා කිව්වා වගේ සංගීතය කියන එකෙන් ‘සං‘ හලලා අපේ අය ගීතය විතරයි විඳින්නේ. ඒත් music කියන්නේ ඊට ගොඩාක් එහා ගිය එකක්... ඒකට භාෂාවක්, හැඩයක් හෝ අනන්‍යතාවයක් තියෙන්න බෑ. මොකද music කියන්නේ පරිසරය/ සොභාදහම නිසා...

    හොඳට මියුසික් දැනෙන එකා හොඳ සෞන්දර්යවාදියෙක්... හොඳම උදාහරණය තමයි උඹ ! මමත් අහුවෙන හැම මඟුලම අහනවා. මට සම්ප්‍රදායන් නෑ... ක්ලැසික්, රොක්, රෙගේ, ෆියුෂන්, ඉන්දියන් ඕනේ එකක්. අමරදේවගේ, එල්ටන් ජෝන්ස්ගේ ඉඳන් අරාෂ්ගේ, ලහිරුගේ ඕන එකක් මම අහනවා... රස විඳිනවා...

    සංගීතෙට සීමා නෑ... මේ සින්දු ටික ඒකට හොඳම උදාහරණයක් !!!

    ReplyDelete
  9. මරු පෝස්ට් එකක් මචන්. මාත් කැමතිම විදිහෙ මියුසික් ටිකක් ගැන තමයි දාලා තියෙන්නෙ.
    මාත් කියවපු, බලපු, කරුණු ටිකක් මේකට එකතු කරන්ඩ දෙන්ඩ. කියුබාවෙ බිහිවෙච්ච ඔය සංගීතයට කියන්නෙ සොන්(Son) කියල. ඒකේ මුල් තියෙන්නෙ යුරෝපයේ, ලතින් ඇමරිකාවෙ විතරක් නෙවේ. අප්‍රිකාවෙනුත්. ඒ රිදම් එකට අප්‍රිකානු අභාශය සෑහෙන්ඩ තියනව.

    මේකෙ විශේෂත්වය උදාහරණයකින් කියන්නන්. හිතන්ඩ අම්ම කෙනෙක් ළමයෙක්ගෙ අතින් අල්ලගෙන යනව කියල. අම්ම තමයි බීට් එක. ළමය තමයි මෙලොඩි එක. සාමාන්‍ය යුරෝපයේ සංගීතයෙ තිබ්බෙ මේ දෙකම එකට යන එක. හරියට කොල්ලව කඩේට එක්කරන් යනව වගේ. අම්මයි ලමයයි එක පෙලට අත් අල්ලගෙන. ඒත් හිතන්ඩ කොල්ලව ඉස්කෝලෙ එක්කරන් යන්නෙ මරන්ඩ ගෙනියන හරක වගේ. අම්ම ඉස්සරහින් යනව. කොල්ල ඇදි ඇදි රබර් එක වගේ පිටිපස්සෙන් එනවා. ඒ විදිහට තමයි ජෑස් මියුසික් එහෙම නැත්තන් ස්වින්ග් හැදෙන්නෙ. බීට් එක පස්සෙ මෙලොඩි එකේ අනික් සංගීත(හෝ ගායනය ) ඇදි ඇදී යනවා.
    ඒත් හිතන්ඩ මේකෙ අනිත් පැත්ත. කොල්ලව බීච් එකට සෙල්ලන් කරන්ඩ එක්ක යනවා. අම්මව පහු කරගෙන කොල්ල දුවනව. සොන් මියුසික් වල වෙන්නෙ මේකයි. බීට් එක කඩාගෙන මෙලොඩි එක ඉස්සර වෙනවා.
    (සොන් වල ඇත්තටම නම් මෙලොඩි එක විතරක් නෙවේ බේස් එකත් ඉස්සරවෙනව )

    ඕක අපේ සමහර බයිල ගායකයොන්ගෙත් ඉඳල හිටල තියනව. විශේෂයෙන්ම එම්. එස්. ප්‍රනාන්දු, වොලී බැස්ටියන් වගේ අය. නදීක ගුරුගේ ටීවී එකේ දවසක් කිව්වා අපේ පහතරට ශාන්තිකර්ම ගී(මතක විදිහට නම් තෙල්මෙ ) වලත් ඒ විදිහට කරනව කියල. ඕක බයිල වලට තෙල්මෙ වලින් ආවාද සොන් වලින් ආවද කියන්ඩ නම් දන්නෙ නෑ.

    කොහොම හරි ඔය සොන් වල රිදම් එකේ වෙනස නිසා ඒකෙන් මතු වෙන්නෙ නිකන් සාමාන්‍ය ඩාන්ස් එකක් නෙවෙයි සරාගී විදිහට ඇඟ පද්දන සල්සා වගේ ඩාන්ස් එකක්. තව ඔය නානාප්‍රකාර දකුණු ඇමරිකානු නැටුම් වලට ඔය රිද්මෙ බලපාල තියනවා.

    කොමෙන්ටුව දිග වැඩි උනාද මන්දා. ඒත් අහපු දැකපු දේ බෙදාගන්නෙ නැතුව ඉන්න එක අප්සට් වගේ. ඒ හින්දා ඕනෙ මගුලක් කියල ඔනන් දැම්මා.

    මේ විස්තර ටික මං ඇහුවෙ පහල ලින්ක් එකේ විඩියෝ එකෙන්. මේවයෙ සංගීතමය පැත්ත ගැන වැඩි විස්තර ඕනෙ නම් ඒකට ගිහින් බලන්ඩ පුලුවන්.

    http://youtu.be/YzRGH-5yk-w

    ReplyDelete
  10. හොද පොස්ට් එකක් අය්යා.දන්නේ නැති දේවල් ටිකක් දැනගත්ත.
    චමිය ++++

    ReplyDelete
  11. ල:බෙන් ට Buena Vista Social Club දෙන්නේ හෂිත අබේවර්ධන.., මේ ගැන මෙහෙම ලියවිල්ලක් දාපු එක වටිනවා හරේෂ් අයියා..!! මේවා ගොඩක් අය දන්නේ නෑ..!!
    උපරිමයි..!
    ජය!!

    ReplyDelete
  12. සින්දු ටික ඔක්කොම රස වින්ද, ලස්සනයි,
    බලමු හොයා ගන්න පුළුවන් වෙයිද කියල ඔය ඇල්බම් ටික.

    ReplyDelete
  13. ඔය බුවෙනාවිස්තා ඇල්බම් එක එන්නේ හෂිත අබේවර්ධන ලොක්කාගෙන්. ඉතින් දවස් දෙකක් විතර පිලිවෙලට අහලා තමා ෆිල්ම් එකට පනින්නේ.. ඕතොඩොක්ස් සෙල්ට් ගැන කියනවානම් ඉතිං පලවෙනි සින්දුව චමිල ද අල්විස් කියලා එකෙක්ගෙන් අහලා උඹට වගේ මටත් තියෙන මොලේ අමාරුවට ඇල්බම් ඔක්කොම බාලා ඉස්මුරුත්තාව වෙනකම් කාලා. අම්ල ගතිය යන්න පෙරේරාගේ සින්දු ටික අහනවා.
    ආ තව එකක් පෙරේරා අංකල් ඔය චන් චන් සින්දුව කියන්නේ අවුරුදු 90ක් සපුරලා තියෙද්දි..
    මල් සින්දුවක් අහලා යන්න ගිය කබරයා පාර මෙතන දැම්මා.. නියමයි ලොක්කා..

    ReplyDelete
  14. අලුත් පාරක් ඇරල දුන්නට හුඟක් පිං...

    ReplyDelete
  15. ලස්සන සිංදු ටිකක් අහන්න පුලුවන් වුණා. සංගීතය කියන්නේ විශ්ව භාෂාවේ තවත් කොටස් ටිකක් අද සම්පූර්ණ කරගත්තා.....

    ReplyDelete
  16. මේවට උත්තර දෙන්න ඕන නෑ අප්පා.. කට්ටියම හොඳට විඳලා ගන්න දෙයක් අරන් තියෙනවනේ :-)

    ReplyDelete

මං ඔයාගෙ එකේ බයිල ගහන නිසාවත් ඔයා මාව දන්න නිසාවත් නෙවෙයි. මගේ වමනෙ පාර දැකල ඔයාලටත් වමනෙ යන්ඩ වගේ එනවනම් විතරක් මේ කොමඩ් එකට දාන්ඩ!