Tuesday, 21 June 2011
කණේ වැටුණු එදිනෙදා කතාවක්!
මෙය කාර්යාලයේ දහවල් කෑම පැයේදී මතුවී පැමිණි එදිනෙදා කතාවක් මතින් හටගත් අදහසක් වන අතර කිසි සේත්ම සීරියස් නැති තවත් කතාවකි.
මාස කීපයකට පෙර මාගේ කාර්යාලීය මිතුරා උතුම් වූ පීතෘත්වය ලැබීය. ඔහු විසින් නිතර දෙඩීමේ යෙදෙන ඔහුගේ කුඩා දියණියගේ දඟකාරකම් දහවල් කෑම පැයේදී අප තුටු කරවන අංගයක් වෙමින් පවතී. අද දින ආහාර ගන්නා අතරතුර මා මිතුරා පැවසූවේ තව මසකින් පමණ දියණියගේ කණ් විදීමට අවශ්‍ය බවයි.
මම එයට එක හෙලා විරුද්ධ වීමි.
"ඒකි ලොකු වෙලා එයාටම ඕන කියල හිතුණොත් එයා විදගනියි."
මම කීවෙමි.
"ලොකු වුණාම විදින්න අමාරුයිනෙ. එතකොට වේදනාව වැඩියි."
"ඒ වුණාට එයාට ඕන නිසානෙ එතකොට විදගන්නේ..."
මිතුරා මා දෙස අවඥ්ඥා සහගත බැල්මක් හෙලීය.
"උඹ ඔය කියන එක ප්‍රායෝගික නෑ මචන්..."
ඔහු කීය.
"උඹල ඔය ඉන්න හීන ලෝක වල දේවල් හැබෑ ලෝකෙ කරන්න බෑ බං..."
ඒ ඔහුගේ බැල්ම තුල ගම්‍ය වූ ඔහු නොකී දේ ය.
ලබන මස ඔහු තම දියණියගේ කන් පෙති සිදුරු කිරීමට වග කියනු ඇත.
ලංකාවේ ගැහැණිය ගැහැණියක් කිරීම ඇරඹෙන්නේ එලෙසය.
මෙය අළුත් මාතෘකාවක් නොවේ.
වසර දොළහකට පමණ පෙර මා ඇතුළු එවක පාසල් අවදියේ හුන් මිතුරන් කීප දෙනෙකුගේම මොළයේ සාම්ප්‍රදායික මළකඩ සෝදා හරින ලද සඟරාවක කුඩා දියණියන්ගේ කන් විදීමේ අර්බුදය ගැන ලිපි කීපයක් පලවී තිබිණ. දැන් ඒවා මතකයට නැගෙන්නේ නැතත් බොහෝ ගැඹුරු දාර්ශණික හේතු සහ කාරණා සපයමින් අදාල කන් විදීමේ කටයුත්ත ගැහැණියට ස්ත්‍රීත්වය එබ්බවීමේ පුරුෂ ක්‍රියාවලියේ ආරම්භක අවස්ථාවක් ලෙස එහි විස්තර වී තිබුණි.
එකල වචනාර්ථයේ රැඩිකල් චින්තන සංකල්පයේ බැස හුන් අප එම අදහස් හිස් මුදුණින් ගෙන මහා සොයාගැනීමක් සේ සාකච්ඡා කල අයුරු මට මතකය.
ගැහැණිය සහ පිරිමියා යනුවෙන් මානසිකවම වෙන් කිරීමේ කටයුත්තට අත් පොත් තැබෙන්නේ දියණියන්ගේ කන් පෙති සිදුරු කිරීමෙනි. බොහෝ විට මෙය සිදු කිරීමට තීරණය කරන පියවරුන් ඉන්දියාවේ කාන්තාවන් විසින් සිදු කරන සති පූජාව පිළිබඳව උණුසුම් ලෙයින් ප්රකෝපිත වන්නවුන්ය. තමන්ගෙ දියණියට කිසිදු අනතුරක් සිදුවන්නට ඉඩ නොදෙමැයි සිතින් ගිවිස ගන්නා මව සහ පියා යන වධකයින් දෙදෙනා විසින්ම තම දියණියගේ කඳුලු දකිමින් ඇයගේ දෙකන් පෙති විද දමයි. එහෙත් එය සාධාරණය. මන්ද එළොවටත් මෙළොවටත් දෙළොවටම නැති අතරමැදියකු ලෙස තම දියණිය වැඩෙනවා දකින්නට දෙමාපියන් අකමැති බැවිණි.
මා හට ඇති ගැටළුව වන්නේද එයයි. දෙකන් පෙති නොවිදි ගැහැණු දරුවකු වර්ධනය වීමේදී අන් ගැහැණු ළමුන් අතර ඇයගේ පැවැත්මේ වෙනස ඇයට කෙසේ බලපානු ඇත්ද? ඇගේ කන් පෙති නොවිදීම පිළිබඳ ඇගේ මිතුරියනුත්, ගුරුවරියනුත් ඇයව මුළුගත කිරීමට ඉඩ ඇත. නිවස අවට වෙසෙන්නන් ඇයව අමුතු සත්ත්වයෙක් ලෙස දකින්නට ඉඩ ඇත. ඥාතීන් අතර ඇය අවපස ලෙස සුවිශේෂ වනු ඇත. ඇය නිතර ඇයගේ අඩුවක් ගැන සිතමින් සිටින්නියක් වනු ඇත. එවිට ඇයට විසඳුමක් ලෙස ස්ව කැමැත්තෙන්ම කන් පෙති විදගැනීමට උවමනා වනු ඇත. එය අතිශය වේදනාකාරී දෙයක් වන නිසාම ඇය තම දෙමාපියන්ට ශාප කරනු ඇත.
"අනේ ඔයාලගෙ කෙහෙල්මල් ආදරේ.... පුංචි කාලෙදිම මගේ කන් විද්දනම් ඉවරයිනේ...."
කඳුළු පිරි දෙනෙතින් ඇය නගන්නට ඉඩ ඇති මැසිවිල්ල එසේ නොවනු ඇතැයි කිව හැකිද?
දෙමාපියන් සැලිකිලිමත් වීමට අවශ්‍ය වනුයේ එය පමණක්ම නොවේද?
සියල්ලටම වඩා බියකරු සාධකය වනු ඇත්තේ ඇයගේ ස්ත්රීත්වයේ උවමනාවන් සහ ලක්ෂණයන්ද මෙකී කන් නොවිදීමේ අඩුව නිසා ඇයට අහිමි වන්නට හැකිද යන්නයි. එනම් ඇය පිරිමියකු ලෙස දැණෙන ගැහැණියක වේද යන්නයි. එය පිළිබඳව කීමට තරම් ඒ සම්බන්ධ දැනුමක් මට නොමැති බැවින් එම අවස්ථාව විශ්ලේෂණය කරගැනීම ඔබට බාරය. කන් නොවිදි ගැහැණු දරුවකුගේ මානසික ලිංගිකත්වය ඒ හේතුව නිසාම වෙනස් වන්නට ඉඩ තිබේද?
මට සිතෙන්නේ එසේ වීමට හැකියාවක් නම් නැති වග වුවත් දියණියන්ගෙ කන් පෙති විදින්නට පෙරුම් පුරන පියවරුන්ට නම් එය එසේ වනු ඇතැයි සිතීම වාසි සහගතය.
එසේ වුවත් මා පවසන්නේ සිය දියණියගේ සිඟිති කන් පෙත්ත සිදුරු කරන්නට පළමු සෑම දෙමාපියෙක් විසින්ම සිය කණ් පෙත්ත සිදුරු කරවා ගැනීමට උත්සාහයක් ගත යුතු බවය. නොඑසේ නම් කණ් විදීම යනු දරුවන් ආයෝජනයක් ලෙස දැකීමේම තවත් එක් පැත්තක්ද යන්න පිළිබඳව නැවත සිත අවදි කල යුතු බවය.
සියල්ල අවසානයේ කීමට තවත් යමක් ඇත. මේ සටහන ලියවෙන්නේ දිනක් තුල දෙවතාවක් මා ගැහැණු දරුවන්ගේ කන් පෙති සිදුරු කිරීමේ මානුෂික වෘතය පිළිබඳ සිත් පහල කල බැවිණි.
පාසල් අවදියේ මා හා එක්ව පෙර කී රැඩිකල්මය නොයෙක් දේ හදාල සහ ඒ පිළිබඳව කථා කල මා මිතුරෙක් සිය දරු දෙදෙනාත් බිරිඳක් කැටුව අද දින මට සම්මුඛ විය. එකල ඔහු තමා දිනෙක දියණියකගේ පියෙකු වූ විටෙක කිසි කලෙකවත් ඇගේ කන් පෙති නොවිදින බවට කැඩ කැඩූවකු වූ අතර මෙකල ඔහු වසරකට මදක් වැඩි වයසැති කන් පෙති විදින ලද දියණියක් කරපින්නාගෙන සිටියේය.
"උඹ ඔය කියන එක ප්‍රායෝගික නෑ මචන්..."
ReplyDeleteලෝකයා යන විදියට අපි යනවා මිසක් අපිට තනියම ඒක වෙනස් කරන්න යන්න බෑ බං.. ලංකාවේ සංස්කෘතිය නේ...
ජය වේවා...!!
පුංචි කන් දෙක විදින එක නම් අපේ හිත රිදෙන වෙලාවක් තමයි එත් කෙල්ලෝ හරිම කැමතියිනේ කනේ ආබරණ වලට.. දැන් ඉතින් නොවිදින්නේ කොතනද ඒ ගොල්ල ? ඔය කොල්ලොත් විදගෙන ඉන්නේ ?
ReplyDeleteතාම කෙල්ලක් නැද්ද ?
නන්දාගේ සින්දුව මතක් උනා.
යටිතොල කණපිට හැරුනා..
කඳුළු බින්දුවක් වැටුණා..
"ඒකි ලොකු වෙලා එයාටම ඕන කියල හිතුණොත් එයා විදගනියි."
ReplyDeleteඔව් ඇත්ත ඒක තමයි වෙන්න ඕනේ. ඒත් ලංකාවේ ඔය සෙල්ලම් බෑ. අන්තිමට උඹම කියලා තියෙන්නේ කන් පොත් නොවිද්දොත් ඒ ළමයා ගැන සමාජය දකින විදිහ. ඒක තමයි ඇත්ත. සෝරෝ කියනවා වගේ හැමෝම යන පැත්තට තමයි අපිටත් යන්න වෙන්නේ. ඊට විරුද්ධ අතට යන්නවනම් සෑහෙන සිද්ධීන් වලට මුහුණ දෙන්න බලාගෙන යන්න ඕනේ. ඒත් එතකොට අපේ පවුලේ අය?
අපේ නංගි කෙනෙක්ට මන් කිව්වා ඕක ලොකු උනම කැමති නම් විදගන්න අරින්න කියලා. එතකොට රිදෙනවලු රිදෙනවනම් ඔය හැමතැනම විදගන්නේ. අනික ඕක විදින්නෙත් කරාබුවම පොඩ්ඩක් උල් කරලා. මට නම් කන් විදින එක පේන්නේම වනචාරී ගෝත්‍රික ලක්ෂණයක් වගේ ඇයි ඉතින් එයාලනේ හැම තැනම විදගෙන යකඩ කෑලි එල්ලන් ඉන්නේ
ReplyDeleteජීව විද්‍යාත්මක උපතේදී ලැබෙන ලිංගික වෙනස විතරක්ම මිනිසුන්ට ප්‍රමාණවත් නොවීම නිසා තමයි ලිංගිකත්වය තව තවත් ඉස්මතු කෙරෙන විවිධ දේවල් ස්ත්‍රීය මත වගේම පුරුෂයා මතත් ඇති කරල තියෙන්නෙ. ඔබ කීවාසේම මේවායේ ආරම්භය පුරුෂ මූලික අවශ්‍යතාවයක් විතරයි. ඒත් අද ඒ පුරුෂ ලිංගික ආරෝපණය ගැහැණිය ස්ව-අනන්‍යතාවය ලෙස සලකනව. ගැහැණියට ගැහැණිය ළඟමසේම පුරුෂ සමාජය ළඟත් ස්ව-අනන්‍යතාවය රැකගන්න කන්විදීමත් අවශ්‍යතාවයක් වෙන්නෙ එහෙමයි.
ReplyDeleteඊට විරුද්ධව ගමන් කරන්නනම් ඇයට ශක්තිමත් සිතක් තියෙන්න වෙයි.
මට මගේ ළමා කාලේ එක් අවධියක් සිහිවුණා. පොඩිම කාලේ මගේ කන් වල කරාබු රැඳුණේ යලට මහට වගේ. මං හිතන්නෙ ඒවා මට අසාත්මික වුණා. එක කනක විදි සිදුරක් කරාබු දැමූ මොහොතේ සිට ආසාදනය වීමක් වුණා. ඊටපස්සෙ ඒ කන ඔහෙ තිබුණාවෙ කියල අනික් කනේවත් කරාබුව තියාගන්න කීව නොදා හිටියොත් කන් සිදුර වැහිල යයි කියල. ඊට පස්සෙ මං එක කරාබුවෙන් සෑහෙන කාලයක් සතුටින් හිටිය. ඒ කනේ සිදුර මැද හා වී තිබුණා.
ReplyDeleteඒත් වැඩිවිය පත්වෙන්න කිට්ටු ගෑණු ළමෙක් කියල දැනෙනකොට ගොඩක් නෑයොයි දන්න කියන අයයි දැන්වත් මේ කෙල්ලගෙ කන විදගන්න කියල අම්මටයි තාත්තටයි මතක් කළා.
අම්මයි තාත්තයි මාව දොස්තර කෙනෙක් ළඟට එක්ක ගිහින් කන විදවගත්තා.
එදා මං ගියේ මරන්න ගෙනියන හරකෙක් වගේ. ලොකු ළමෙක් නිසා දොස්තර නෝනත් අඬන්න එපා කීවා. මට අඬන්න වුනෙත් නෑ. විදල දැම්මා. අම්මයි තාත්තයි එදා ගොඩාක් සතුටු උණා. :-)
වේදනාව කියනාදේ සංවේදනාවක් විදියට ගත්තම මට හිතෙනවා.., ගෑණු කියන ජාතිය, විශේෂයෙන් ම; ලංකාවේ කාන්තාවන්, ඉපදිලා තියෙන්නේම වේදනා විඳින්නද කියලත්...!
ReplyDeleteශා.. මට මතකයි මීට ගොඩ කාලෙකට කලිනුත් අපි මේ ගැන කතා කරා.. ගෑණු ගෑණු වෙන්නේ කරාබු හින්දමද කියලා.. අනේ මන්දා ඉතිං.. අපිට අපි වෙනස් වෙනවා මිසක් වෙන අයව වෙනස් කරන්න බැහැ කොයි තරම් කතා කලත්..! ඒක ඉතිං කවදත් එහෙම තමයි
ReplyDeleteගෑණූ ළමයෙක් විදියට මම හරිම ආසයි මගේ කනේ හිල් නොතිබුනා නම්..!
හොඳම දේ තමයි අනිත් අය කරන දේම නොකර අපි හරි වෙනස් වෙන එක.
ReplyDeleteලොකු උනාම ඔය දේවල් ඒ අයටම කර ගන්න අපි ඉඩ තියන්න ඕන කියලායි මම නම් තාම හිතන්නේ... උන් කොහොමත් කන් විතරක් විදලා නතර වෙන එකක් නෑ.ඒක හින්දා භය වෙන්න දේකුත් නෑ.
අදහස් සියල්ලට ස්තූතියි... මට කියන්නට දෙයක් නැති බව පෙනෙයි...
ReplyDeleteමම දන්න යෙහෙළියන් කීප දෙනෙක්ම හිටියා කන් වල සිදුරු නැති. උන්ට කිසිම අවුලක් තිබුණෙ නම් නෑ... මම දන්න භෞතික විද්‍යා ගුරුවරයෙක් ඉන්නවා තමන්ගෙ දියණියගෙ කන් විදීම ගැන විරෝධාකල්පයෙන් කතා කරපු. එතුමගෙ දියණියට දැන් අවුරුදු 7-8ක් විතර. ඇය බොහොම නිදහසේ ජීවත් වෙනවා. ඇයට එක එක දේවල් කියන්න කවුරුත් එන්නෙ නැත්තෙ තාත්ත මැද්දට පැනල ඒ අයට විසි වෙන්න උත්තර දෙන හින්දා..
අවසානයේ මේක තනි තනි කැමැත්ත මත සිද්ධ වෙන තවත් එකක්. අපිට පුළුවන් කතා කරන්න විතරයි... :-)
මගේ කන් විද්දෙ පුංචි කාලේ උනත් මට මතකයි එදා... මට කලින්ම ඇඩුවෙ අම්මයි අයියයි...තාත්තාත් දුකෙන් ඉන්න ඇත්තෙ. ඒත් ඒ කාලේ මට මූන බලලා දුක අදුරා ගන්න තේරුමක් නෑ...
ReplyDeleteචූටි කාලේ කන් විදින්නෙ දෙමව්පියන්ගේ කැමැත්තට තමයි... ඒත් මගේ කන් විදින්නේ නැතුව තිබුනනම් කොච්චර කරාබු දාන්න ආස උනත් මංනම් රිද්දගෙන කන් විදින්නෙ නෑ...
සාමාන්‍යයෙන් ඉපදිලා මාස කීපයක් ඇතුලත නේද ඔය චාරිත්‍රෙ කරන්නේ? ඒ කාලෙ මතක තිබුණ කියන්නෙ මන්තරකාරිගෙ කන් දෙක් විදල තියෙන්නෙ සෑහෙන්න පස්සෙ වෙන්න ඇති. එහෙම නෙවෙයිනම් බටකොල ආච්චිගෙ මතකය සුපිරි!
ReplyDeleteමචං ඕක මීට කලිං මං කතා කරලා නැති මාතෘකාවක්. උඹේ කතාව කියෙව්වට පස්සේ මට හිතුනෙත් ඒක වැරදි වැඩක් විදිහට. අනික මං දන්න කෙල්ලෝ සෑහෙන්න ඉන්නවා කණේ හිල් නැති උන් වගේම, හිල් තිබිලත් කරාබු නොදාන උන්. උන් ඔය ජොලියේ ඉන්නේ. අර කිව්වත් වගේ ඒක (කණේ හිල් නැති එක) අපි ප්‍රශ්ණයක් කරගන්න නරකයි.
ReplyDeleteමොකටද නිකං පොඩි එකාට රිද්දන්නේ? ඕන නං කලකදී විදගනියි. එදාට ඒකිට තේරෙන්න ඕන "පුංචි කණ් විද්දොත් මේ වේදනාව දැනෙන බව දන්න නිසා තමයි මට තියෙන ආදරේට අම්මයි තාත්තයි මගේ කණ් විදින්න නැතුව ඇත්තේ" කියලා.
ඒ නිසා ඕක ඕන දවසක ඕන හැටියක තමුන්ට් ඕනනං විදගන්න කියලා හිටියනං හරි. ලොකු පොඩි කියලා නෑ නේ බං වේදනාවට. කොයික වුනත් බොහොම කෙට් කාලයයි නේ ඔය වේදනාව ඇත්තේ. ඊට පස්සේ ගානක් නැතුව යනවනේ.
අනික බං දැං තියෙන්නේ ක්‍රම කණ් විදින්නේ නැතුව හැඩ කරන්න. කණේ දෙපැත්තට හිර වෙන එවා. මැග්නටික් එවා. නිකම ගූගල් එකේ සර්ච් එකක් දාලා බැළුවා නං magnetic earrings for girls කියලා බඩු හෑව්. ඒ කෙන් වැඩ දෙකම කෙරෙනවානේ.
කොහොමත් මං කවදාවත් නොහිතපු මාතෘකාවකට මාව යොමු කරාට උඹට ස්තූතියි. මං උඹේ කතාවට 100% එකඟයි!
ඔය ඉන්නෙ අනාගතේ තාත්තල වෙන්න ඉන්න කොල්ලෝ... කිව්වත් වගේ තමන් වෙනස් වෙන්න එපැයි අනිත් අයට බණ කියන්න කලින්... :D අපි බලමු උඹල දෙන්න ළමයි හදනකොට :-)
ReplyDeleteඅපේ නංගිගෙත් කන් විදින්න තාත්තා කැමති වුණේ නැහැ... ඒත් එයාම ලොකු වෙද්දී එයාටම හිතුණා කන් විදින්න ඕනේ කියලා. ඊට පස්සෙයි එයාගේ කන් විද්දේ
ReplyDelete