Wednesday, 6 April 2011
ආදි ශිෂ්‍ය සංගමය
ඊයේ දහවලදී මා හට මිතුරෙකුගෙන් ඇමතුමක් ලැබුණි.
ඉදිරියේදී පැවැත්වීමට නියමිත සුහද හමුවක් ගැන ඔහු විනාඩියක් පමණ කියවූවේය.
පාසල් කාලයේ සගයන්ගේ සුහද හමුවක් පැවැත්වීමට ඔවුන් සූදානම්ය. දින කීපයකට පෙරාතුව වෙනත් මිතුරෙකුද මා අමතා අදාල හමුවීමේ ඉසව්ව වෙනුවෙන් ලෝගෝවක් නිර්මාණය කරගැනීමේ අවශ්‍යතාවය පිළිබඳව පැවසීය. පාසලේ පැරණි මිතුරන් දහ දොලොස් දෙනෙකු එක්ව ආදි සිසු සංගමයක් වැන්නක් සාදාගැනීමට අර අදී. ඒ දැනටත් නාමිකව ඇති එකට අමතරව විය යුතුය.
මිනිසා සමාජශීලී සත්ත්වයෙක් බව උගෙන ඇතත් ස්වභාවයෙන්ම සමාජශීලී නොවූ මම ඔවැනි හමුවීම් පිළිබඳව ධනාත්මක ලෙස සිතීම උගහටය. තෙමසකට පෙර පැවති ක්‍රිකට් තරගාවලියට සහභාගි වීමට නොහැකි වූයේ මා එදින කොළඹ පැමිණ ඇයත් සමග රෝන්දයක යෙදී සිටි නිසාවෙනි. ඊටත් පෙර පැවැත්වූ හමුවීම් සැසියේදී මා සිටියේ මාගේ පියාගේ අවමගුල කරමත පටවාගෙනය.
එහෙත් මේ අවස්ථාවේදී මෙය වෙනුවෙන් සහභාගි වීමට මට සිදුවනු ඇත.
මම ඔවුන් වෙනුවෙන් ලාංඡනයක් නිර්මාණය කරන්නට පටන් ගතිමි. එය නිර්මාණය කරගෙන යාමේදී පැරණි මතකයන්ද නව සිදුවීම්ද සමග සිත ඒ මේ අත දිව ගොස් අවසන බ්ලොගය දෙසට යොමු විය.
ඉතින් මම ලියමි.
මේ මිතුරන් බොහොමයක් පාසල් අවදියෙන් පසු මට හමුවී ඇත්තේ දෙතුන් වරකි. හේතුව වසර අටකට ආසන්න කාලයක් මා ගමින් බැරව සිටීමය. ඒ කාලයත් වර්තමානයත් සලකන විට මා වෙනස් වී ඇත්තේ අභ්‍යන්තරයෙන් පමණි. බාහිරින් මා තවමත් පැරණි, නොවෙනස් හා ඒකචර වන අතර පෙර කී මිතුරන් බොහොමයක් දෙනා දෙන්නා තුන් දෙනා හතර දෙනා වී ඇත. දැන් ඔවුන්ගේ දරුවන්ට පාසල් සොයන කාලය පැමිණ ඇත්දෝයි මට සිතේ. මන්ද පාසල පාදක කරගත් හමු පැවැත්වීමට වෙනත් හේතුවක් තවමත් මට නොදැණෙන බැවිණි.
වරක් මා සේවය කල ආයතනයක ප්‍රධානියා හෙවත් බොසා අධ්‍යාපනය ලද පාසලේ පැරණි මිතුරකු ආයතනයට පැමිණි අවස්ථාවක ඔවුන් අතර ඇතිවූ සාකච්ඡාවක් මට සිහිවේ.
බොසාගේ මිතුරාගේ දරුවා එම වසරේදී පාසලට ඇතුලත් කර තිබූ අතර එය ජනප්‍රිය පාසලකි. එය බොසා සහ මිතුරා අධ්‍යාපනය ලද පාසල වූ අතර මිතුරාගේ දරුවා එම පාසලට ඇතුලත් කරගැනීමේදී සලකා තිබූ ප්‍රධාන කාරණය වූයේ පියා පාසලේ ආදිශිෂ්‍ය සංගමයේ සාමාජිකයකු වීමය. එවකට මාගේ බොසාට දරුවන් නොසිටි අතර ඔහුගේ මිතුරාගේ උපදෙස වූයේ හැකි ඉක්මනින් බොසාට සහ බොසාගේ බිරින්දෑට තම පාසල්වල ආදි සිසු සංගමයන් හි සාමාජිකත්වය ලබාගන්නා ලෙසයි. එවිට දරුවකු ලැබී නියමිත වයස පැමිණෙන විට පාසලට ඇතුලත් කරගැනීමේ හැකියාව නිතැතින්ම හිමිවන බව මිතුරාගේ අදහස විය.
මේ කරුණ මේ අයුරින්ම අවස්ථා කීපයකදී මාගේ මිතුරන්, පාරිභෝගිකයන් සහ ඥාතීන් සම්බන්ධයෙන් අත් විඳ ඇත්තෙමි. ඔවුන් ආදි සිසු හමු පිළිබඳ උනන්දු වන්නේ තම දරුවාගේ අධ්‍යාපන අවශ්‍යතා වෙනුවෙනි. එහි වරදක් මට නොපෙනේ. තරගකාරීත්වය අතරේ සියල්ල එසේ ගණුදෙනු බවට වෙස් පෙරලී ඇත.
මා නැවත මාගේ මිතුරන් පිලිබඳ සිතමි. ඔවුන්ගේ අරමුණ කුමක් වුව එසේ කුමන හෝ අරමුණක් වෙනුවෙන් මිනිසුන් එක්වීම යහපත්ය. මාගේ සහභාගීත්වය හෝ දායකත්වය මාගේ තීරණයක් වුව කල්ලි ගැසීම සාමාජික කාරණා අරභයා යහපත් බැව් මම විශ්වාස කරමි. මා සාමාජික සත්ත්වයෙක් නොවීම අනුන් පිළිබඳව මා හට එසේ සිතන්නට බාධාවක් වී නොමැත.
එහෙත් ඔවුන් මා බලාපොරොත්තු වනු ඇත.
මා නැවත ලාංඡනයේ කටයුත්තට අත ගසමි.
අඩු තරමේ අනාගතයේ දිනෙක සංගමය උවමනා වූ විටක ලාංඡනය නිර්මාණය කරදී තිබීම මා හට වාසියක් වනු ඇත.
ඔබ කියන දේටම සමාන දෙයක් මටත් තියෙනවා. මම දැන් වසර 15 ක් වෙනවා පාසලෙන් නික්මිලා. එදා සිට මේ වන තුරු නොදැකපු මිතුරන් රැසක් සිටිනවා. සමහරු ඒ අතර කාලයේදී මෙලොවත් හැරගොස් ඇති බව පසුව දැන ගන්න ලැබුනා. මේ මාසේ 16 වනදා මිතුරන් සියල්ලම එක්වන Get together එකක් ගාල්ලේ තිබුනත්, දැන් වගකීම් රැසකින් බැදී සිටන නිසා යාමට හැකියාවකුත් නැහැ. දැන් පදිංචිය නුවර නිසා ක්ෂනිකව ගොස් ඒමට හැකියාවකුත් නැහැ. කණගාටුයි, ඒත් ඉතින් මොනව කරන්නද?
ReplyDeleteඔබේ අදහස නිවරදියි.. අද ජනප්‍රිය පාසල් වල තියෙන තරගයත් එක්ක ආශි ශිෂ්‍ය සංගම් වගේ භාහිර වැඩ වලට එක් වෙන එක අනාගතයට ගොඩාක් වැදගත් වෙනවා...
ReplyDeleteදිනේෂ් - ඔයාට තියෙන ප්‍රශ්ණෙ දුර. ඒ වුණාට මට තියෙන්නෙ උවමනාවෙ ප්‍රශ්ණය :-(
ReplyDeleteහුටා... යට දිනේෂ් - ඒක තමයි... අන්තිමේ මම හිුවා ඔන්න ඔහේ ගැදරිං එකට යන්න කියලා... :D
මට වෙලාවකට හිතෙනවා උඹ ලියන්නේ මං වෙනුවෙන් කියලා, මොකද ගොඩක් දේවල් දිහා උඹ බලන්නේ මම බලන ඈන්ගල් එකෙන්මයි. උඹේ ජීවන දර්ශනයට මම ඇත්තටම කැමතියි. මම මෙහෙම කියන්නේ උඹේ සම්පූර්ණ බ්ලොග් එකම කියවලා. කමෙන්ට් කරලා නම් නැතුව ඇති ඒකට හේතුව මම උඹටත් වඩා කම්මැළියෙක් වෙච්ච එක තමයි. උඹ අඩු ගානේ ලියනවා, මම ඒකටත් කම්මැළියි :)
ReplyDeleteනිෂා - ඉස්තූතියි මචෝ... මම ලියන්නෙනං මම වෙනුවෙන්... මොකද මේකෙදි වෙන ගනුදෙනුව ඇතුලෙ ආයෙත් මට වෙනස් වෙන්න අවස්ථාවක් තියෙන නිසා.... ඒක වෙන්නෙ සමහර විට කමෙන්ටුවකින්... නැත්තං මමම මේක ආයෙත් කියවීමෙන් වෙන්න පුළුවන්. කම්මැලිකමේ රසය හොඳට දන්න එකෙක් විධියට උඹට කියන්න දෙයක් නෑ මට. එක එක කාලෙට හැදෙන පිස්සු අතරෙ දැන් මට තියෙන පිස්සුව මේක... වෙන එකක් හැදුන දාට ලියන එක ආයෙත් නවතියි..... :D
ReplyDeleteඑකට කමක් නෑ ඔය සාදයට යන්න.. ගියාම තමන් ගැන හුඟක් දේවල් ඉගෙනගන්න ලැබෙනවා !! ඔන්න මම අපේ සාදෙට ගියාම තමයි දැක්කේ තාමත් හරි හමන් රස්සාවක් නැතිව ඉන්න ප්‍රමාණය. ඉතින් මට මගේ රස්සාව ගැන තිබුන සිතුවිලි වෙනස් උනා. කෙල්ලෝ බැඳලා ළමයි ගොඩක් එක්ක..කොල්ලෝ තට්ට පෑදිලා බඩ ගෙඩි නෙරලා. පරණ ලවු කෑලි නියවනවා...ඔය වගේ දේවල් !
ReplyDeleteලංකා - සිරාවට අත්දැකීමක් විධියට ඒක ජීවිතේට අළුත් දෙයක් එකතු කරගන්න පුළුවන් අවස්ථාවක් තමයි නේද? බලමුකෝ ගිහින්!
ReplyDelete